Thursday, June 8, 2017

අහසින් එන්නන්ගේ මංගල්‍යය,කන්‍යාකුමරි සවාරිය,මනපාඩ් ,කොටි උද්ඝෝෂණ හා හාමතේ සිටි මඟුල් ගෙදර.

අද මම ලියන්නට යන්නේ මඟුලක් ගැන කතාවකි.  ඒ මීට සෑහෙන කලකට පෙර මා සහභාගිවූ මඟුලකි.   ඊට පෙර මීට දින කීපයකට පෙර ගිය මගුලක් ගැන මහක්වේ.   ඒ අපේ සොයුරු බ්ලොග් කරුවෙක් සහ බ්ලොග් කාරියෙක්ගේ මඟුලකි.   අප කවුරුත් දන්නා පරිදි ඒ අහසින් එන්න බ්ලොගය ලියන කසුන් සහ නිර්මාණි ගේ මගුල් ගෙදරයි.    එදා ඒ මඟුල් ගෙදරට එකතුවූ දුටු හා නොදුටු බ්ලොග් කරුවන් බ්ලොග් කාරියන් හමුවීම මහත් ආශ්වාදයක් විය.   නව යුවල සහ පවුලේ උදවිය අපව ආදරයෙන් පිළිගෙන සංග්‍රහ සත්කාර කළහ.   උත්සව ශාලාවල පැවැත්වෙන වෙන මඟුල් වලදී එන අමුත්තන්ට පිළිගැන්වෙන වෙල්කම් ඩ්‍රින්ක් එකට අමතරව අවශ්‍ය අයට කෑමට කැවුම්, කිරිබත්, ආස්මී ඈ දේශීය කෑම වර්ගද නොමඳව තිබුණද රස බලන්නට නොහැකි වුයේ අප එන අතරමඟදී බඩගිනි දැයි අසා සජ්ජා අරගෙන දුන් පැටිස් රෝල්ස් ආදියෙන් බඩ පුරවාගෙන සිටි නිසාත් අපේ අයට මද්‍යපාන සංග්‍රහයට සහභාගී වන්නට තිබු නොඉවසිල්ල නිසාත්ය.    ජෝඩුව ගැන නම් මට දුකත් සිතුණේ අපි ආපු වෙලාවේ සිට ආපසු යනතුරුම උන් දෙන්නා හිටිදාරණේ එකතැන හිටගෙන ආපු අය පිළිගැනීමත් සමුදීමත් කළා හැරෙන්නට වෙනත් තැනකට යන්ටවත් අවස්ථාවක් නොලැබුණු එකටය.  කෙසේ වුවද රසවත් දිවා භෝජන සංග්‍රහයෙන් පසු අපි නව යුවළට සුබපතා සමුගෙන  ආපසු එන්නට පිටත් වුණේ සෑහෙන දුරක් ආපසු එන්නට තිබු නිසාවෙනි.   එන්නට කඩිනම් වූ නිසාවෙන් අටමා නව යුවළට සුබ පතා කරන්නට යෙදුණු සාරගර්භ කතාවද අහගන්නට නොහැකිවිය.

ඊළඟට කියන්නට තිබෙන්නේ අනික් මඟුල ගැන කතාවය.   ඒ මීට සෑහෙන කාලයකට පෙර මා ඉන්දියාවේ චෙන්නායි හිදී සහභාගී වූ මඟුලකි.   ඒ මඟුලේ මනාලිය වුයේ අපේ හිතවත් අසෝකන් ගේ සොහොයුරිය වූ අතර මනාලයා ලංකාවේ සිට පැරිස් වල‍ට සංක්‍රමණය වූ තරුණයෙකි.   අසෝකන් ගැන මා මීට පෙරද ලියු කතාවල සඳහන් කර ඇත්තෙමි.   අසෝකන්ලා ලංකාවේ ඉපදී හැදී වැඩී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම හේතුවෙන් ඉන්දියාවට සංක්‍රමණය වූ පවුලකි.   අසෝකන්ගේ පියාවූ මනවෙයිතම්බි දැඩි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු මෙන්ම දේශපාලනයේ යෙදෙන්නෙකු ද  වීම නිසා ආණ්ඩුවට ඇණයක් වී සිටීමද ඔහුගේ පවුල පිටින්ම ඉන්දියාවට පිටත් කරන්නට තෝරාගැනීමට වැදගත් හේතුවක් වී ඇත.   ගිවිසුමට අනුව ඉන්දීය රජය ඔවුන්ට ඉන්දියානු  පුරවැසි භාවය ලබාදී ඉන්දියාවේ පදිංචි වෙන්නට පහසුකම් ද සලසා ඇත.   ඉන්දියාවට පැමිණි අසෝකන්ලා පදිංචි කරවා ඇත්තේ තමිල්නාඩුවේ දකුණු මුහුදු තීරයේ සුන්දර ධීවර ගම්මානයක් වූ මනපාඩ් නම් ගමේය.    මනපාඩ් පිහිටියේ කන්‍යාකුමරි නගරයේ සිට කිලෝමීටර් 77 කට ආසන්න දුරකිනි. අසෝකන් ලාගේ පියාට ඔහුගේ දේශපාලන වැඩ හේතුවෙන් මනපාඩ් හි පදිංචිව සිටීම අපහසුවක් බැවින් පවුල පිටින්ම මදුරාසියට පදිංචියට පැමිණ ඇත.   අපි පසුකලෙක අසෝකන් සමග කන්‍යාකුමරි ගිය වෙලේ අසෝකන්ලා මුලින්ම පදිංචිවී සිටි ගම බලන්නටද ගියෙමු.

චෙන්නායි එග්මෝර් දුම්රිය පොළෙන්  හරියටම  සවස 5.30 ට පිටත්වන කන්‍යාකුමරි එක්ස්ප්‍රස් ශීඝ්‍රගාමී දුම්රිය පසුදා උදේ 6.30 වනවිට කන්‍යාකුමරි දුම්රියපොළට ළඟාවේ.   උදේ පාන්දර දුම්රියෙන් බට අප හෝටල් කාමර වෙන්කරගෙන එදා දවසම නගරයේද දුපතේද රවුම් ගසා පසුදා උදේ පාන්දරින්ම නැගිට සුප්‍රසිද්ධ කන්‍යාකුමරි ඉර උදාවද නරඹා කාර් එකක් කුලියට ගෙන මනපාඩ් වෙත ගියෙමු.   අසෝකන්ලා මුලින් පදිංචිවී සිටි ඉඩම්වල දැන් ඔහුගේ බාප්පා පවුල පිටින්ම පදිංචිවී සිටිමින් ධීවර කර්මාන්තයේ යෙදෙයි.   ට්‍රෝලර් බෝට්ටු කීපයක් මුහුදට දමා ඇති ඔහු මාළු මුදලාලි කෙනෙකි.   මනපාඩ් වෙරළ තීරය සැබවින්ම අලංකාර  එකකි වෙරළට ඉහලින් පිහිටි කතෝලික පල්ලියද ඊට උඩින් ඇති පහන් ටැඹ ද මවන්නේ අතිශය සුන්දර දසුනකි.   මූදට පනින්නට තිබු හදිස්සිය නිසාම ගෙනගිය බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලයෙන් වීදුරු දෙකක් ගිලදැමූ අප දෙදෙනා පොඩි උන්ද සමග දවල් කෑම ලෑස්ති වෙනතුරු මුහුදට ගිය අතර ආපසු එද්දී සෑහෙන දවල්වී තිබිණි.   ඒ අතර කලකින් විදේශීය මත්පැනක් දුටු අසෝකන්ලාගේ බාප්පා අප එද්දී බෝතලයෙන් සෑහෙන ප්‍රමාණයක් හිස්කර දමා වෙරිමරගාතේ ඇඳට වැටී නොනවත්වා දොඩවමින් සිටියේය.  ඔහුට එහෙමම නින්ද ගිය අතර නැගිට්ටේ පසුදා උදයේය.   පසුදා උදයේ අප අසොකන්ලාගේ බාප්පා සමග වෙරළට ගියේ මාළු ඔරු ගොඩ එනු බලන්නටය.   රාත්‍රියේ ඔරුවලින් අල්ලා ගොඩට ගෙන එන අලුත් මාළු ගොඩගසා එතනදීම වෙන්දේසි කෙරේ.  එවෙලේම ඔරුවකින් ගොඩ බෑ තෝරා කුරියන් කීප දෙනකු ඔහු මිළට ගත්තේ අපේ උදේ ආහාරයටය.   ගෙදර ගෙනා තෝර කුරී අසොකන්ලාගේ පුංචිඅම්මා විසින් කපා කිරට උයන ලදී.   ඉන්පසුව ඇය ඉඳීආප්ප තැම්බූවේ ඉඩ්ලි කුකරයට ඉඳිආප්ප වක්කරලාය.   ඒ උදේ ආහාරය කෑ හැලපි කීවේ එතරම් රසවත් කෑමක් කවදාවත් කන්නට ලැබී නැති බවය.   උදේ ආහාරයෙන් පසු මනපාඩ් සිට තිරුචෙන්දුර් වෙත පැමිණි අපි එදින සවස දුම්රියෙන් ආපසු චෙන්නායි බලා පැමිණියෙමු.

නැවතත් කතාවට ආවොත් මනපාඩ් හි සිට මදුරාසියට පැමිණි මනවෙයිතම්බි රැකියාව වශයෙන් සංචාරක ඒජන්සියක් ආරම්භ කළේය.   ඊට අමතරව ඔහුට උණක් තිබු දේශපාලනයටද නොමඳව සහභාගිවිය.   ඇම්.කරුණානිධි ඔහුගේ ලඟම හිතවතෙකු වූ අතර තමිල්නාඩුවේ සිටි විවිධාකාර අන්තවාදී දේශපාලකයන් ඔහුගේ මිතුරන් විය.   පියාගේ ඒජන්සියේ විවිධ වැඩ කටයුතු වලට අපේ කාර්යාලයට එන අසෝකන් ඉක්මනටම අප සමග හිතවත් විය.   අසෝකන් අපට හිතවතෙක්,මාර්ගෝපදේශකයෙක්, මෙන්ම අත් උදව්කරුවෙකුද විය.   මේ මම කියන කාලය චෙන්නායිවල ලංකාවට විරුද්ධව උද්ඝෝෂණ, රැළි හා පෙළපාලි අඩුවක් නැති සමයක් විය.   එනමුත් චෙන්නායි නගරයේ පදිංචිව සිටි අපට නම් කිසිම කරදරයක් සිදුවුණේ නැත.   ඒ සමය කොටි සංවිධානය සෑහෙන ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබු කාලයක් වූ බැවින් කොටි සංවිධානයේ මුදලින් යැපුණු චෙන්නායිහි අන්තවාදීන්ට ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහිවීම අතේ දුරින් පෙනුණු කරුණක් නිසා ලාංකිකයන්ට හිරිහැර කිරීම අනවශ්‍ය යැයි ඔවුන් සිතා සිටියා වියහැක.   කෙසේ වුවද අපි චෙන්නායි හි ඇති නිදහස් වාතාවරණය නොමඳව අත්විඳිමින් සිටියෙමු.   තත්ත්වය එසේ වුවද මාස කීපයකට වරක් තමිල්නාඩුවේ ධීවරයින්ට ලංකා නාවික හමුදාවෙන් හිරිහැර කරනවා යැයි කියමින් පෙළපාලියෙන් විත් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සාමාන්‍ය දෙයක් විය.(එදවස ධීවර බෝට්ටු  වලින්ද මාළු අල්ලන මුවාවෙන් කොටින්ට ආයුධ ගෙනැත් ගොඩබාන නිසා නාවික හමුදාව ධීවර බෝට්ටු කෙරෙහිද තද ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කොටි සංවිධානයට හිසරදයක් විය)  මේ පෙළපාලි සංවිධායකයින්ට ඒ සඳහා කොටි සංවිධානයෙන් මුදල් ලැබේ.   වැඩේ සද්දය තියෙන්නේ ලැබෙන මුදලේ තරමටය.     ඇතිවෙන්නට බඩකට පුරා මුදල් ලැබුණොත් වැඩේ මහ සද්දෙන් කෙරෙන අතර මුදල අඩුනම් සද්දයද අඩුය.  මේ මොන උද්ඝෝෂණ,පෙළපාලි, විරෝධතා  තිබුණත් ඒ සියල්ලම අපි  ලංකාවට වාර්තා කළ යුතු විය.  නිකම්ම නොව ඡායාරූප ද සමගින්ය.   කාර්යාලයේ සිටි පිංතුර කාරයා වීම හේතුවෙන් ඒ හැම දෙයකම පිංතුර ගැනීම යන ගුටි කන රාජකාරිය හැමදාම පැවරෙන්නේ මටය. අහුවෙයිද කියා බයෙන් වුවද මට ඒ සැම විරෝධතාවක්ම හොඳින් ඡායාරූප ගත කර ගන්නට හැකි විය.  

මහා බ්‍රිතාන්‍යය කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි නම්කර එය බ්‍රිතාන්‍යයේ තහනම් කිරීම ඒ දිනවල සිදුවීම කොටි සංවිධානයට වැදුණු මරු පහරක් විය.   ඔවුන් වහාම චෙන්නායිහි අන්තවාදීන්ට මුදල් දුන්නේ බ්‍රිතාන්‍යයට විරුද්ධව විරෝධතාවක් සංවිධාන කරන්නටය.   ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍ය නිෂ්පාදන ප්‍රසිද්ධියේ ගිණි තැබීමක් සංවිධානය කළහ.   විරෝධතාව පැවැත්වුණු ස්ථානය වුයේ චෙන්නායිහි මහජන පුස්තකාලය ඉදිරිපිට මහපාරේය.    මේ විරෝධතාව පැවැත්වීමට කොටි සංවිධානය අත දිගහැර මුදල් වියදම්කර තිබු හෙයින් තමිල්නාඩුවේ හතර වටින්ම විරෝධතා කරුවන් එදිනට නගරයට ගෙන්වන්නට නියමිත විය.   සුපුරුදු පරිදි එදිනද පිංතුර ගැනීම මට භාරවිය.   තනියම යන්නට ටිකක් බය හිතුන නිසා නියමිත දිනයේ අසෝකන් ද කතාකරගෙන ත්‍රීවීල් එකකින් මහජන පුස්තකාලය අසලට ගොස් රියෙන් බැස්ස මම අසෝකන්ට කීවේ පැත්තකට වී බලා හිඳ මට කුමක් හෝ කරදරයක් වුවොත් විරෝධතා කරුවෙකු ලෙස පෙනී සිටිමින් පැමිණ මාව ඇදගෙන යන්නට කියාය.   විරෝධතාව පැවැත්වෙන්නේ වෙනදා මෙන් ලංකාවට විරුද්ධව නොව මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව බැවින් කලබලයට පත් තමිල්නාඩු රජය මහජන පුස්තකාලය ඉදිරිපිට මාර්ගය යකඩ වැටවල් දමා බාධක යොදා දහස් ගණනක පොලිස් බල ඇණියක ආරක්ෂාව යොදා තිබිණි.   දැන් මම පොලිසියටද සැක නොසිතෙන සේ සිටිය යුතු නිසා පාර අයිනේ මේ සිදුවීම නරඹන්නට ඇවිත් සිටින සෙනග අතරට මුසුවී කැමරාවද සාක්කුවේ දමාගෙන බලා සිටියෙමි.

උදෑසන එකොළහට පමණ කළු හැඳගත් විරෝධතා කරුවන් බස්වලින් පැමිණ මහජන පුස්තකාලය අසලට රැස් වන්නට  වුහ.     පොලීසිය වටවී බලාසිටී, එක්වරම තවත් විරෝධතා කරුවන් පිරිසක් සමග පැමිණි නැදුමාරන්(දැන් නැදුමාරන් කවුරුදැයි මගෙන් නොඅසන්න,මේ සමග ඇති පින්තුරය බලන්න)පැමිණියේය.   මම සෙනග පෙරලාගෙන ඉදිරියට දිවගොස් සිද්ධිය හොඳින් පෙනෙන යකඩ වැටක් උඩට නැග කැමරාවද අතට ගෙන බලා සිටියෙමි.   මා වටේටම පත්තර සහ ටී වී කැමරාකරුවන් රැසක් රොක්වී පිංතුර ගැනීමට සිටි නිසා කිසිවෙකුගේ විශේෂ අවධානයක් මා වෙත යොමු නොවීය.   බ්‍රිතාන්‍ය නිෂ්පාදන ගිනිතැබීම සංකේතවත් කරන්නට නැදුමාරන් එංගලන්තයේ නිෂ්පාදිත හිස් කාඩ්බෝඩ් බිස්කට් පෙට්ටියක් රැගෙන ගිණි තබා බිමට දමත්ම ඉදිරියට පැන්න පොලිස් භටයෙක් තඃ තඃ ගා පෙට්ටියට පයින් ඇන ගින්න නිවා දැමුවේය.   ඉන්පසුව විරෝධතා කරුවන් පිරිස බස් රථවල පටවාගත් පොලිසිය ඔවුන්ව පොලිස් ස්ථානයට රැගෙන ගියේය.   මේ සිදුවීම් සියල්ලම මම යකඩ වැට උඩ හිඳගෙන සිත්සේ ඡායාරුප ගත කළෙමි.   ඒ කලබලය නිමවූ පසු මම අසෝකන් සොයා ගියෙමි.   ඔහු මහත්සේ තැතිගෙන සිටියේ විරෝධතා කරුවන් අතර මා නොපෙනී යෑම නිසාය.   ෆිල්ම් රෝල අපේ ගෙවල් ළඟ කලර් ලැබ් එකේ පැයේ සේවාවට ලබාදී අසෝකන්ට යන්නට කියා මමද ගෙදර ගියෙමි.  දවල් කෑමෙන් පසුව පැමිණ මුද්‍රණය කරන ලද පිංතුර ටික ලබාගතිමි.   හොඳ තත්වයේ පිංතුර විසිපහකට වඩා ඇත්නම් කලර් ලැබ් එකෙන් ඇල්බම් එකක් ලැබේ.   ඇල්බමයට පිංතුර ටික දමාගත් මා කෙළින්ම කාර්යාලයට ගියෙමි.    ඒ මා නැදුමාරන් දුටු පළමු වතාවයි.
    

                         (Photo curtsy: Google Images)
ඉතින් ඔවැනි වාතාවරණයක සතුටින් හා සමාදානයෙන් චෙන්නායිහි දිවි ගෙවමින් සිටි අපට අසෝකන් සිය නැගණියගේ මංගල්‍යයට ආරාධනා කළේය.   අපේ හැම වැඩකදීම උදව් උපකාර කරන අසෝකන් ගේ වැඩේට නොගිහින් කොහොමදැයි කියා අපේ කාර්යාලයේ සියලුම දෙනා හොඳට හැඳ පැළඳගෙන නියමිත දිනයේ පවුල් පිටින්ම මඟුල් ගෙදර ගියෙමු.    මඟුල පැවැත්වුණේ එග්මෝර් හි මංගල උත්සව ශාලාවක හෙවත් කල්‍යාණ මණ්ඩපම් එකකය.   මඟුල් ගෙදර ගිය අප සියලුම දෙනා අසෝකන්ගේ පියාවන මනවෙයිතම්බි සහ පවුලේ උදවිය විසින් ආදරයෙන් පිළිගනු ලදුව මනාල යුවලට සුබපතා තෑගී බෝගද දීමෙන් අනතුරුව නව යුවළ සමග ඡායාරූප කීපයක්ද ගත්පසු වාඩිගෙන සිසිල් පානයක්ද බීවෙමු.   සාමාන්‍යයෙන් හින්දු විවාහයන් අමද්‍යප හා නිර්මාංශික වන අතර මත්පැන් පිළිගැන්වීමක් හෝ මස් මාංශ කෑමට දීමක් නොමැති අතර පිළිගන්වන්නේ සිසිල් බීමත් නිර්මාංශ ආහාරත්ය.  කලකට පෙර නම් පැමිණෙන අමුත්තන් සියලුම දෙනා කිසිම විශේෂයක් නොමැතිව කෑම ශාලාවට කැඳවා බිම වාඩිකරවා පත් කොළයට බත්ද, මුදවාපු කිරිද, එළවලු ද, පපඩම්, චට්නි, සාම්බාරු ආදියද  බෙදා අමතරව චපාති සහ උළුඳු වඩේ සමගින් ලබාදෙන කෑමවේල අතිශය රසවත්ය.   පසුකාලීනව අමුත්තන්ව බිම වාඩි කරවීම ප්‍රායෝගිකව අපහසු බැවින් පටු දිග ලී මේසවලට බංකු තබා අමුත්තන්ව වාඩිකරවා පත්කොළ එලා කෑම පිළිගන්වනු ලැබේ.  

කොච්චර අමද්‍යප තැනකට ගියත් බොන්න හොයන අපේ හැටි හොඳින් දන්නා අසෝකන් මඟුල් ගෙදර සියලුම දෙනාට හොරෙන් අපට මද්‍යපානය ලබාදීමට නුදුරු ගොඩනැගිල්ලක ඉහළ මහලේ කාමරයක් සුදානම් කර තිබු බැවින් අසෝකන්ගේ ආරාධනයෙන් අපි එකිනෙකා එතැනට ගියේ කාන්තාවන්ටද ළමයින්ටද බඩගිනි නිසා අප එනතුරු නොසිට කෑමට කතා කලවිට කන්නටැයි කියමිනි.   මද්‍යපාන සංග්‍රහය සතුටින් ඇරඹුන අතර ටික වේලාවකදී අප සියලු දෙනාට හොඳ පදමට වැදී හමාරය.    වාඩිගෙන සිටි තැනින් නැගිට්ට මම එළියට බැස පහළට ආවේ හුළං ටිකක් වදින්නටත් දුමක් අදින්නටත් සහ ළමයි ටික කෑවාද බලන්නටත්ය.   ශාලාව ඇතුළට ගොස් කට්ටියට කතා කළ මා එළියට එනවිට දුටු දර්ශනයෙන් කරකවා අත හැරියාක් සේ වීමි.    පාරේ නතරකල වාහනයකින් බැස මුව පුරා පැතිරුණු සිනහවකින් යුතුව ශාලාවට ඇතුල් වන්නට පැමිණෙන්නේ නැදුමාරන් ය.  පස්වනක් ප්‍රීතියෙන් ඉපිලුණු මනවෙයිතම්බි දෑත් විහිදාගෙන ඉදිරියට පෙර ගමන් ගියේ නැදුමාරන් පිලිගන්නටය.   මම වහාම පඩිපෙළ නැග අනෙක් අය බොමින් සිටි කාමරයට ගියෙමි.   කාමරය කතාවෙන්ද සිනාවෙන්ද දුමෙන්ද පිරි එකම ගෝෂාවකි.   අමාරුවෙන් දෙන්නෙක්ට එළියට කතාකර පහළ සිදුවන දර්ශනය පෙන්වූයෙමි.   නැදුමාරන් හඳුනා ගත් වහාම කාමරය දෙබරයට ගල් ගැසුවාක් සේ වූ අතර සියල්ලෝම කාමරයෙන් එළියට පැන පහළට දිවැවිත් වාහනවලට පැන ගත්තේ හැකි ඉක්මණින් එතැනින් පලා යන්නටය.    

විනාඩි කීපයක් ඇතුළත අප සියලු දෙනාම මඟුල් ගෙදරින් පලාගියේ කොටින් දුටු මුවන් ලෙසටය.  හේතු සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි.   මෙරටද පිටරටවලද මා සහභාගිවී ඇති මඟුල් ගණනින් සඳහන් කිරීම උගහටය.    එක දවසේ මඟුල් දෙකකට යන්නට තිබීම වැනි කාරණා හේතුවෙන් කෑම නොකා ගිය මඟුල් ඇතත් කෑම කන්නට නොලැබුණු මෙවැනි මඟුලකට ගිය එකම වතාව එය බව මගේ මතකයේ සටහන්ව ඇත.   අසෝකන් එදා මෙන්ම අද දක්වාද මගේ හොඳම මිත්‍රයෙකි.    ඔහුගේ පියාවූ මනවෙයිතම්බි මීට වසර කීපයකට පෙර මියගිය අතර මව මීට මාස දෙක තුනකට උඩදී මෙලොව හැර ගියාය.    අසෝකන් නිතර ලංකාවට පැමිණෙන අතර පහුගිය අලුත් අවුරුදු දින කීපය ඔහු ගතකලේ අපේ නිවසේය.    දැන් ඔහු නැවත ලංකාවට පැමිණ ඇති බව මට කතාකර කීවේය.   නැදුමාරන් මඟුල් ගෙදර ආපු කතාව ලියන්නදැයි මා අසෝකන් ගෙන් ඇසුවිට ඔහු මහ හයියෙන් සිනාසුණේය෴

56 comments:

  1. කියවලා එන්නං ඈ ....

    ReplyDelete
  2. හරිම අපූරු ලිපියක් ගොඩාක් රසවින්දා.

    ReplyDelete
  3. අර අපි ලඟදි ගිය මඟුල් ගෙදරත් නෙදුමාරන් ආවා. හැලපෙ දැක්කේ නැහැනේ. දෙන්නෙක් වෙනුවෙන් පෙනී හිටින්න තිබ්බ ඉල්ලීම ගැන ලියල නෑනෙ. හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. දෙන්නා හතරදෙනා වෙලා පේන්න ගත්තනෙ

      Delete
    2. අපෝ දෙන්නෙක් වෙනුවෙන් පෙනීසිටීම දෙන්නටම කෙළවෙන වැඩක් බව දැනගත්තේ ගියාට පසුවයි.

      Delete
  4. ඇයි නැදුමාරන්ව දැකල දිව්වේ...

    ReplyDelete
    Replies
    1. මටත් සීන් එක හරියට තේරුනේ නෑ. ඇයි දිව්වේ?

      Delete
    2. දැඩි අන්තවාදියෙක් වූ නැදුමාරන් හඳුනා ගන්නටද ඔහු සමග කතා කරන්නටද කෑම කන්නටද
      ඡායාරුප ගන්නටද වුවහොත් එයට ඇති දැඩි පිළිකුල නිසා එතනින් මගහැර යන්නට සිදුවූ අතර එය කිසිසේත්ම නැදුමාරන් ට ඇති බියක් නිසා වුවක් නොවේ.

      Delete
  5. පුදුම හදිස්සියක් නේ එන්ඩ තිබුනේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් දුර එන්න තිබ්බ හින්දනෙ බං.

      Delete
  6. හරිම සංවේදී සටහනක්

    ReplyDelete
    Replies
    1. සැබවින්ම ඇහැට කඳුළු එන සටහනකි.

      Delete
  7. කාපු බීපුවා දෙපිටින් යන්න ඇති! :D

    ReplyDelete
  8. නැදුමාරන්ට බයේ පැනලා දිව්වාට මම හිතන්නේ නැහැ "මනවෙයිතම්බි" මහත්තයා තමන්ගේ අමුත්තන්ට කරදරයක් වෙන්න ඉඩ තියාවි කියලා.බීපු එකේ බත් ඩිංගකුත් කලා යන්නමයි තිබ්බේ.

    ReplyDelete
    Replies
    1. දැඩි අන්තවාදියෙක් වූ නැදුමාරන් හඳුනා ගන්නටද ඔහු සමග කතා කරන්නටද කෑම කන්නටද
      ඡායාරුප ගන්නටද වුවහොත් එයට ඇති දැඩි පිළිකුල නිසා එතනින් මගහැර යන්නට සිදුවූ අතර එය කිසිසේත්ම නැදුමාරන් ට ඇති බියක් නිසා වුවක් නොවේ.

      Delete
  9. නොදැන සිටි කතා ගොඩක්... හමුවීම සතුටක් හැලප කඩේ අයියා !

    ReplyDelete
    Replies
    1. ඔබ හමුවීම මටත් අතිශය සතුටක් බෝධිනී.

      Delete
  10. නිකං කලබල වෙලා වගෙයි මට පේන්නෙ. මනෝජ් කියනව වගේ එතන වලියක් යන්න අවස්ථාවක් නැති වෙන්න තිබ්බ.

    මොනව උනත් කට්ටියගෙ වෙරි හිඳෙන්න ඇති ඒ වෙලාවෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. දැඩි අන්තවාදියෙක් වූ නැදුමාරන් හඳුනා ගන්නටද ඔහු සමග කතා කරන්නටද කෑම කන්නටද
      ඡායාරුප ගන්නටද වුවහොත් එයට ඇති දැඩි පිළිකුල නිසා එතනින් මගහැර යන්නට සිදුවූ අතර එය කිසිසේත්ම නැදුමාරන් ට ඇති බියක් නිසා වුවක් නොවේ.

      Delete
  11. //අටමා නව යුවළට සුබ පතා කරන්නට යෙදුණු සාරගර්භ කතාවද// අපොයි දෙය්යනේ... අරුං දෙන්න ඊට පස්සෙ යහතිං ඉන්නවද කියල හොයල බැලුවද?

    ReplyDelete
    Replies
    1. උන් දෙන්න ආගිය අතක් නෑ කියලයි කතාව තියෙන්නෙ.

      Delete
  12. කසුන් සහ නිර්මාණි ගේ යුග දිවියට මගේ සුභ පැතුම්...!!

    ReplyDelete
  13. නෙදුමාරන් එහාට විතරද ආවෙ? ඇයි මතුගමටත් ආව නේද?
    මේ හිටියා... මේ නෑ... අපි බලනවා කෝ මේ ඈයො කියලා.. හපුච්චියේ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. අපි ටිකක් කලින් ආව බං. පැණි වරකාව කොහොමද?

      Delete
    2. අන්න ගහට වෙලා පෙරමඟ බලනවා... මම කිව්වා තව ටිකක් පැහියං කියලා..

      Delete
  14. දැන් තමා ආපහු ආවේ..... මොකෝ හදිස්සියෙන් මගුල් ගෙදරින් ආවේ..... කම්මලා තමා.....

    ReplyDelete
    Replies
    1. කම්මලා විතරක් නෙවෙයි මමත් හදිස්සි කළා.

      Delete
  15. නැදුමාරන් එද්දී හැලපයා ට තිබ්බේ සිංහ කොඩියක් අරගෙන සිංහයෙක් වගේ ඉස්සරහට යන්න නේ!

    ReplyDelete
    Replies
    1. මොනවටද ඔවුන්ට අනවශ්‍ය ගෞරවයක් දෙන්නෙ.

      Delete
  16. ඇයි නැදුමාරන් දැකල දිව්වෙ? පොලිසියෙං පනියි කියලද? වලියක් යයි කියලද?

    ReplyDelete
    Replies
    1. දැඩි අන්තවාදියෙක් වූ නැදුමාරන් හඳුනා ගන්නටද ඔහු සමග කතා කරන්නටද කෑම කන්නටද
      ඡායාරුප ගන්නටද වුවහොත් එයට ඇති දැඩි පිළිකුල නිසා එතනින් මගහැර යන්නට සිදුවූ අතර එය කිසිසේත්ම නැදුමාරන් ට ඇති බියක් නිසා වුවක් නොවේ.

      Delete
  17. ඇයි අප්පා නැදුං මාර වගේ බාල ලී වලට බයේ පැනල දිව්වේ. මේ අගනා අවස්ථාවක්නෙ අතෑරල තියෙන්නෙ. ඔය වෙලාවෙ ඒකව හම්බෙන්ටමයි තිවුනෙ. හම්බෙලා පොඩි කයිවාරුවක් කාරිය ගහලා අර අනික් බිල්ඩිමට එක්ක ගිහිං මද පමණට රත්වෙන්න ඩිංගක් වක්කරල දීලා සිංදුවක් දෙකක කියලා ඩාන්ස් පාරක් දාලා අහක වෙලා අන්තිමට
    "ඔන්නොය වලිය නවත්තල දාහං බං. ඔය යුද්දෙ ඇති රෙද්දක් නෑ. අපි ඕක නවත්තල දාල අඩියක් පුඩියක් ගහගෙන ඉමු බං"

    කියලා පොඩි යෝජනාවක් දැම්මනං.

    "උම්බ මගෙ බුද්දුප්..... බොක්ක මචං.... ආයි ෆිට් කොල්ලො තමයි යා...... ඉටපං මං දැං අරූට කෝල්ලෙයක් ජාල්ල කියන්නං කේෂ්ෂෙක ක්ලෝෂ් කියල අරී. මේ නැදුවායි... ගිව්වොක් ගිව්වා..."

    කියලා ප්‍රභාට කියලා එක කෝල්ලෙකෙං යුද්දෙ නවත්තනවනෙ. අපරාදෙ!

    ReplyDelete
    Replies
    1. සුරංගත් එතන ඉන්න තිබ්බෙ මොනා වෙයිද බලන්න.

      Delete
    2. මේ පකිරින්තුවගෙ කමෙන්ට් තමයි කමෙන්ට්..:)

      Delete
  18. ෂා මාර පොරක්වනේ මග ඇරලා තියෙන්නේ. ආවුද නැවක් ගේන්ඩ සෙට් කරගත්තා නම් දැන් නැව් අයිතිකාරයෙක් වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. ඔය දෙකයි පණහෙ අන්තවාදියොත් එක්ක මොන ආයුධ නැව්ද ලලිත්.

      Delete
  19. ෂහ් ලස්සන කථාවක් බං හැලපයියේ. බලාගෙන යද්දි උඹත් සී.අයි.ඩී. පොරක් වගේ නේද.

    ReplyDelete
    Replies
    1. අපටත් එහෙම වෙන්න වෙන අවස්ථා තියෙනව මල්ලි.

      Delete
  20. බොහෝ අයට වගේ නැදුමාරන් දැකල දිව්ව එක නම් මටත් ප්‍රශ්නයක්. හින්දු මගුල් ගෙදරකට යන්න ලැබිලා තියෙන්නේ එක වතාවයි. කිව්වත් වගේ නිර්මාංශ කෑම එක නම් බඩ පැලෙන්න කන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. දැඩි අන්තවාදියෙක් වූ නැදුමාරන් හඳුනා ගන්නටද ඔහු සමග කතා කරන්නටද කෑම කන්නටද
      ඡායාරුප ගන්නටද වුවහොත් එයට ඇති දැඩි පිළිකුල නිසා එතනින් මගහැර යන්නට සිදුවූ අතර එය කිසිසේත්ම නැදුමාරන් ට ඇති බියක් නිසා වුවක් නොවේ.

      Delete
  21. Replies
    1. දැඩි අන්තවාදියෙක් වූ නැදුමාරන් හඳුනා ගන්නටද ඔහු සමග කතා කරන්නටද කෑම කන්නටද
      ඡායාරුප ගන්නටද වුවහොත් එයට ඇති දැඩි පිළිකුල නිසා එතනින් මගහැර යන්නට සිදුවූ අතර එය කිසිසේත්ම නැදුමාරන් ට ඇති බියක් නිසා වුවක් නොවේ.

      Delete
  22. මට එන්න බැරි උනා

    ReplyDelete
  23. අම්මට හුඩු බලාගෙන යනකෝට හැලපයියත් නිකන් ජේමිස් බණ්ඩා වගේ පොරක් නොවැ දෙකට ගනින්න බැරි ගානට හිටියට, අපිට දාන්න තිබ්බේ හැලපේ කියල නෙමෙයි 007 & 1/2 කියල :-)

    අර අන්තිමට නොකා මාරු වෙච්චි හරිය ගැන නම් මට කොහොම කිව්වත් හිතෙන්නේ ගැලවිජ්ජාව වෙනුවෙන් කරපු උපාය මාර්ගිකව පණ එපා කියල දුවපු අන්ඩර් කවර් දිවිල්ලක්, එහෙම නැති නම් මොකා ආවත් කෑම බීම මග අරිනවයැ !

    මොනා උනත් හැලපයිය දස්සය, ඔයින් ගියා මදැයි :)

    ReplyDelete
    Replies
    1. අපිටත් ඔය වගේ පඩි නැති වැඩ නිතරම සැට් වෙනවා ඒ කාලෙ.බොහොම සතුටෙන් ඒව කළා කොල්ලොනේ.

      Delete
  24. හැලපයා ට මාව මතකද මන්දා.... කාලෙකින් මම බ්ලොග් ලෝකෙට ආවේ.. ඔහේ නැතුව පට්ට අවුල් අපට නම්...

    ReplyDelete
  25. Very good story you write and put post. All wedings I go there I also eat drink all do very well. I more like this post story. There big number tamil people send to india past period Sirima Shastri agriment. I tell that wrong. Tamil people also human beans. We no racism. Racism people come together and send Tamil people to india. We socalism people very aganst to that today evan.

    ReplyDelete
  26. හෙල පකඩේ සති ගානක් තිස්සේ අතුරුදහං. සොයාදෙන්නෙක්ට පුරුදු කර දෙනු ලැබේ. ඒක පට්ටද වේ?

    ReplyDelete
  27. හැලපයියා වෙතටයි,
    අනේ අයියා.. පැණි වරකෙ හුළඟට අහුවෙලා වැටුනා.. ගහේ ඉදවන්න ගිහින් කෙල උනා. මෙය දුටු වහා තරහ නොවී ආයෙ එන්න..
    මීට,
    ගස්ලබ්බා

    ReplyDelete

ඔබේ අදහස්