Wednesday, April 26, 2017

මගේ ලිවිල්ල, පොල්කිරි හොද්ද,පීරීස්ගේ අඹ ඇඹුල, කර්තකොලොම්බන් අඹ පළදාව සහ සුද්දාගේ අඹ කැඩීම.


අද ලියන්නට සැරසෙන්නේ සංචාරක සටහනකි.    මීට පෙර දවස් කීපයක්ම මේ සටහනතබන්නට සැරසුනත් මොන මොන හේතූන් නිසා හෝ ලියාගන්නටනොහැකි විය.    ඒ නිසාම අද මේ සටහන ලියා අවසන් කරන්නට සිතුවෙමි.     ඒ සමගම ඔබට දැන්විය යුතු තවත් කරුණක් මේ සමගම ලියා තැබීම සුදුසු යැයි මට සිතේ එනම් මගේ ලිවිල්ල පිලිබඳවය.     ඩොමැස්ටික් සෙන්සර්ෂිප් ඉතා තදින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මගේ සුපුරුදු ලිවීම දිගටම කරගෙන යෑම සම්බන්ධව දැඩි ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුවී ඇත.       වාරණයට යටත්ව ලිවීමට මගේ කිසිම කැමැත්තක් නැත.      එය හරියට දෙඅත් බැඳ ලිවීම හා සමානය මුලසිටම මගේ ප්‍රතිපත්තිය හා ලිවීමේ රටාව වුයේ ලියන දේ අත දිගහැර ලිවීමය.      නමුත් අත දිගහැර ලිවීමට නොහැකිනම් ඒ ලිවීමට වඩා නොලියා සිටීම නම්බුකාරය.     එබැවින් මා මෙතෙක් ලියාගෙන ආ "භීෂණ සමයේ ටෙලිනාට්‍ය සමග ජීවිතය" සහ "දෙසතිය මතක" ලිපි පෙළට තාවකාලිකව සමුදීමට සිදුවී ඇත.

එයින් කියැවෙන්නේ මා ලිවීම නවත්වන බව නොවේ.    ආන්දෝලනාත්මක හෝ විවේචනාත්මක මාතෘකා නොවන සාමාන්‍ය ලිපි මට ඉඩ හසර ඇති අයුරින් පළවනු ඇත.      පළ නොවන්නේ ලුණු ඇඹුල් ඇතිව ලියාගෙන ආ ලිපි පෙළය.       ලුණු ඇඹුල් කියනවිට එකවරම මගේ මතකයට නැගෙන්නේ කිරි හොද්දකි.      කිරි හොද්ද නොහොත්  පොල්කිරි හොද්ද යනු මා ඉතා ප්‍රියකරන ආහාරයකි.    බැලු බැල්මට එය පිළියෙළ කිරීම ඉතා සරල වුවත් මා සිතන හැටියට හරියට රසට ලුණු ඇඹුල් ඇතිව කිරි හොද්දක් පිළියෙළ කරගැනීම ඉතා සංකීර්ණ කාර්යයකි.     උයන කෙනෙකුගේ එම කාර්යයේ නිපුණත්වය ඔහු හෝ ඇය සාදන කිරි හොද්දකින් මැනගත හැකි බව මගේ විශ්වාසයයි.      කිරි හොද්දක් පිළියෙළ කරන ක්‍රමවේදය හා බ්ලොග් ලිපියක් ලියන ක්‍රමවේදයේ සමානකම් ඇති බව මා විශ්වාස කරමි.

කිරි හොද්ද රසවත් වන්නේ කුළු බඩු, දුරු මිරිස්, උම්බලකඩ,ලුණු ඇඹුල් , රම්පෙ කරපිංචා ආදිය පදමට දමා හැඳි ගාමින් පිළියෙළ කළ විටය.     මොන තරම් අඩුම කුඩුම දැම්මත් ළඟ ඉඳගෙන හැඳි නොගෑවොත් හොද්ද උතුරා කැටිගැසේ.     ඒ නිසාම යන්තම් හොද්ද රත්වෙන්නට ගත් මොහොතේ සිට හැඳිගාන්නට පටන් ගත යුතුය.   ඒ හැඳිගෑම හොද්ද ඉදී අහවර උනත් නවත්වන්නට නොහැක.    හොද්ද ඉදවා ලිප නිවා ඇඹුල් මිශ්‍රකල පසුවද හැඳිගෑම කරගෙන යායුතුය.     හොද්ද නියම ආකාරයට රසවත් වන්නේ එවිටය.      බ්ලොග් ලිපියක් ලිවීමේදීද මේ ආකාර දෙකම උපයෝගී කර ගත හැක.    එකක් නම් තමන්ම සීමාවන් පනවාගෙන ලියන්නට ඇතිදේ සියල්ලම නොව අවශ්‍ය දේ පමණක් ලියාගෙන ගොස් ලිවීම අවසානවූ වහාම පළකිරීමය.     එවිට තමන් ලියා ඇති ලිපියේ අඩුපාඩු, වැරදි, රස නීරස කිසිම දෙයක් නැවත පරීක්ෂා කර බලන්නට හැකි නොවේ.    එසේ වුවිට  එම ලිපිය හැඳි නොගා හදන කිරි හොද්ද මෙන් නීරසවේ.

සීමාවන් රහිතව හිතේ හැටියට ලිවීම අනෙක් ආකාරයයි.       සිතේ ඇති සිතුවිලිවලට නිදහසේ ගලා එන්නට ඉඩ දෙමින් ලියන දෙය රස විඳිමින් බ්ලොග් ලිපියක් ලියා දින ගණනක් එය නැවත නැවත කියවමින් අඩුපාඩු සකස් කරමින් මටසිලුටු කරමින් හැඩ ගන්වමින් අනතුරුව පලකළ විට එම බ්ලොග් ලිපිය ඉතා හොඳින් හැඳි ගා පිළියෙළ කළ කිරි හොද්දක් මෙන් රසවත් වේ.     පලකළ පසුද නැවත කියවන විට වඩාත් හොඳින් සකස් කළ හැකි තැනක් දුටු විට එයද සකස් කිරීම හොද්ද ලිපෙන් බාගත් පසුවද හැඳි ගෑම වැනිය.   මා බොහෝ විට අනුගමනය කරන්නේ මේ දෙවැනි ක්‍රමයයි.

ලිපියක් ලියද්දි  ලිවීම පිළිබඳව වර්තමානයේ මා ඉතා සැළකිලිමත් වෙමි.   සමහර විට ලිපියේ තැනකට ගැලපෙන වචනයක් සිතට නොආ විට එතැනට ගැලපෙන වචනය ලැබෙනතුරු සමහර විට දින ගණන් ගතකරමි.      අපේ භාෂාවෙන් කිවහොත් හිට් වෙන විදියට බ්ලොග් ලිපිය පලකළ හැකිවන්නේ එවිටය.     ආප්ප බාන ලෙස බ්ලොගයේ ලිපි පළකිරීම මා අනුමත නොකරන බැවින් බ්ලොගය යාවත්කාලීන වීම මඳක් ප්‍රමාද වේ.    එහෙත්  අන්තර්ගතයේ ප්‍රමිතිය ඉහළ තත්වයකින් පවත්වාගෙන යෑමට නිතරම උත්සාහ ගන්නා කෙනෙක් ලෙස  සීමාවන් තුළ ලිවීමේදී මා අසාර්ථක වෙතැයි මට නිතරම සිතේ.    අසාර්ථක ලිපි ලියනවාට වඩා නොලියා ඉඳීම සැපතකි.    එසේ නමුත් අසාර්ථක ලිපිද කෙසේ හෝ ලියැවිය යුතුය.   මන්දයත් සාර්ථක ලිපි කිමෙක්දැයි මැන බලා ගැනීමට අසාර්ථක ලිපි මහඟු මෙහෙවරක් ඉටු කරන නිසාවෙනි.

ඉතින් කිරිහොදි මතක්වුණ මේ වෙලාවේ ඒත් එක්කම මතක් වෙන්නේ අඹ මාළුවය.   සිරි ලංකාවේ අඹ පලදාව නහුතයටම නැග ඇති මේ අඹ වාරයේ කෑමකට කොහේ ගියත් මේසයේ  නිතරම පාහේ අඹ ව්‍යංජනයක් වරදින්නේ නැත.   මගේ ජීවිතේටම මෙතෙක් කල් කා ඇති රසම අඹ මාළුව අරගෙන ආවේ අපිත් එක්ක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩකරපු පීරිස්ය,   ඌත් පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙකුගේ වයස ගියත් එතෙක් කල් පිළිවෙලක් නොවී තනිකඩව හිටපු එකා නිසා හැමදාම උදේට ඌට බත්මුල හදා දෙන්නේ අම්මාය.   අම්මා කෙහෙල් කොළේ ඔතාදෙන බත් එකද අරගෙන බෙම්මුල්ලෙන් කෝච්චියට නැග කොළඹ එන පීරීස් දවල් කෑම කන්නේ මගෙත් එක්කය.    කන්තෝරුවල වැඩකරන අය වැංජන හුවමාරු කරගෙන කන සිරිත අනුව දවසක්දා පීරීස් දවල් කෑම එකේ තිබුණු අඹ වැංජනයෙන් කොටසක් මටත් බෙදුවේය.   එහි රස බැලූ මගේ රස නහර පිනාගියේ පීරීස්ගේ අම්මා  තුනපහ ආදිය හොඳට කළුකර දමා සීනි ටිකක්ද මිශ්‍ර කර අඹ මාළුව එතරම්ම ලකේට උයා තිබුණු බැවිණි.    ඊට පස්සෙ නම් එවැනි රස අඹ මාළුවක් මෙතෙක් මට කන්නට ලැබී නැත.    මම ඉන්දියාවේ රාජකාරි කරන කාලේ පීරිස් ටීච කෙනෙක්ව  පෙළවහට ගත්තාය කියා මට ලියා දන්වා එවා තිබුණි.    අඹ මාළුවක් හදෝගෙන වත් කන්නට  උගේ අම්මා නම් දැන් ජීවතුන් අතර ඉඳී කියා හිතන්නටද අමාරුය.

අඹ ගැන දිගටම කතාකරගෙන එනවිට මට තවත් අඹ කතාවක් මතක්වේ.    ඒ නම් මේ ඊයෙ පෙරේදා වෙච්චි දෙයකි.    අපේ යාලුවෙක් කලකට ඉස්සර ගත්ත පොඩි ඉඩම් කෑල්ලක් තිබේ.   එය තියෙන්නේද වැඩිදුරක නොව අපේ ගමට එහා ගමේය.   මේ ඉඩම් කෑල්ලේ තියෙන ගස්වල පළදාව නෙලන්නට අපේ හිතවතුන් යන්නේ අති විශාල වතුයායක පළදාව නෙලන්නට යනවාක් මෙනි.   මාස තුන හතරකට සැරයක් ගිහින් ඉඩමේ තියෙන ගස් කීපයේ පොල් කඩාගෙන ඒම ආදිය ඔවුන් කරන්නේ ඉතා උනන්දුවෙනි.  මේ ඉඩමට යන අය කරන කියන දේ ගැන මහ ඉහළින් කතා කළත් මට මෙතෙක් කල් ඔවුන් එක්ක ඉඩමට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.   දැනට දවස් දෙක තුනකට ඉස්සර එක රෑක බණ ගෙදරක ගිහිං බණ ගෙදර ආපු අයට රෑට දානය ලෑස්ති වෙනතුරු එතනම ළඟ ගෙදරක අපි දෙතුන් දෙනා චුට්ටක් සප්පායම් වෙමින් ඉද්දී හෙට උදේ අහවලාගේ ඉඩම් කෑල්ලේ අඹ කඩන්නට යන්නටත්  තියෙනවායි කියූ සුද්දා ඒකට කෙනෙක් හොයාගන්නටත් අවශ්‍යයි කියා අඹ කඩන්නට යන්නට මටද කතා කළේය.   එහෙනම් හෙට උදේ යමු කියා මමත් වැඩිදුර නොසිතාම කැමැත්ත දුන්නෙමි.   රෑ කරපු කර්තව්‍යය ටිකක් දිගදුර ගොස් රාත්‍රී ආහාර ගෙන අවසන්වී මම ගෙදර එද්දී පාන්දර ජාමය විය.

ඇඳට වැටුණු සැණින් මළාක් සේ නින්ද ගිය මට පසුදා උදේ ඇහැරුණේ ගේ ඉදිරිපිට සුද්දා කෑගසන හඬ ඇසෙනවිටය.    බැලුකොට වෙලාව උදේ නමයටත් කිට්ටුය.   ඉඩමට යන්නට දැනටමත් පරක්කුය කියූ සුද්දා මට තව එකෙක් එක්ක ඉඩමට එන්න පට්ටල් කරදී යන්නට ගියේය.   ඉක්මනටම මුහුණ සෝදා හැඳ පැළඳගෙන එළියට බහිද්දී උදේම කොහි යනවාදැයි හැලපි ඇසුවාය.   ගහක අඹ කඩාගෙන එන්නම්ය කියුවිට කොහෙ ගියත් හවස තුන වෙද්දී ගමන යන්නට ගෙදර එන්නටය කියා හැලපි කීවේ ඇයගේ යාලුවෙක්ගේ ගෙදර යන්න එනවායි මම කලින් දවසේ පොරොන්දුවී සිටි නිසාය.    වැඩි කල් වේලා නොගොස් අපි දෙන්නා ඉඩමට යද්දී සුද්දා සහ අඹ කඩන එකා බර වැඩය.   ඌ ගහ උඩ සිට ගොට්ටක් ගැට ගසා තිබු කෙක්කකින් අඹ කඩා පෝර උරයකට දමා පහළට එවද්දී සුද්දා අඹ ටික ගොඩගසයි.   ඉඳහිට බිමට වැටෙන ගෙඩියක් ඇරෙන්නට ඉතිරි අඹ සියල්ලම නොතලා පරිස්සමින් කඩාගන්නට ගහේ හිටපු එකා සුරයෙකි.   ඌම ගහේ නැග්ගා මිසක මම නම් මසුරන් දෙනවා කිව්වත් ඒ ගහට නොනගින්නේ සිලි සිලි ගා එතරම්ම දිමියන් තොගයක් ගහේ පුරාම පිරී සිටි නිසාමය.    ගහ උඩ අඹ කඩන එකා සැරෙන් සැරේට ලාම්පුතෙල් කුප්පියක් ගහේ කඳේ හලන්නේ දිමියන් ඇඟට එන එක වළක්වාලන්නටය.    දිමි හිටියාය කියා අතහැර දමන්නටත් බැරි ඒ ගහ කර්තකොලොම්බන් ගහක් වීමත් මෙදා සැරේ ගෙඩිත් හොඳට අලංකාරව සම්පූර්ණවී හැදී කහ කෑල්ල වගේ පැසී තියන නිසාවෙනුත්ය.

ටිකකින් ඉඩම අයිතිකාරයාත් පැමිණියේය.   අහල පහළ ගෙවල් දෙකක ඉන්න අයගේ පැමිණිල්ල වුයේ ඒ අයගේ වතුවලට නැවී ඇති අඹ අතු කපා දමන්නට කියාය.   ඒ ගමන සුද්දා ආපහු ගෙදර ගිහින් අඹ අතු කපා බාන්නට කඹද, මන්නා පිහි, පොරෝ ආදියද රැගෙන ආවේය.   දැන් අඹ කැඩිල්ල තියෙද්දි අතු කපා බාන වැඩේ පටන් ගෙනය.    විශාල අතු දෙකක් කපා කඹයේ ගැටගසා බිමට බානවිට එහි තිබුණු හොඳට පැසුණු අඹ සෑහෙන ප්‍රමාණයක් බිම වැටී තැලී පිපිරී වැඩකට නැති තත්ත්වයට පත්විය.   අපි ඉක්මන් වුයේ ඉතිරි අඹ ටිකවත් පරිස්සමින් ඉවත් කරගන්නට වුවත් අත්ත පුරා පිරී සිටි දිමි රංචුව නිසා එය ලේසි පාසු කාර්යයක් නොවීය.   අත්තේ තිබුණු අඹ ටික කඩාගන්නට ගිය මගේ අත් දිගේ උඩට නැග ආ දිමි රංචුව අත්, බඩ,පපුව, පිට ,කණ, මුහුණ ආදියේ එල්ලී සපාකන්නට වුවෝය.   කලිසම අස්සෙන් කකුල් දිගේ නැග ආ දිමි පිටිපතුල, බත්කෙන්ඩ, කලව, පුක(පුක යනු කුණුහරුපයක් නොවේ.පේටන්ට් අයිතිය කකා සතුය.) ඈ මතුනොව සංසාර කුට්ටමේද එල්ලී ගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට වුවෝය.    අඹ කැඩිල්ල අතහැර දැමු මම කමිසයද ගලවා ගසමින් දිවගියේ ඒ මරුමුස් දිමි ප්‍රහාරයෙන් බේරෙන්නටය.  කලිසම ගලවන්නට පිළිවෙලක් නොවුයේ අහල පහළ ගෑණු මෙන්ම  ළමිස්සියන්ද බලාගෙන සිටි නිසාය.   වෙනත් සතුන් මෙන් නොවැ දිමින්ගේ හොඳක් තියෙන්නේ හපාකන විට ඇති වේදනාව හැරුණු විට හපාකෑමෙන් පසු ඉදිමීම් වේදනා ආදී වෙනත් පශ්චාත් ආබාධ කිසිවක් නොමැති වීමය.

මේ වනවිට වෙලාව හවස දෙකටත් කිට්ටුය.   දවාලට කෑමක් ගැන කාටවත් මතකක් නැතිවුණත් දානෙ ගෙදරින් දිගින් දිගටම ඇමතුම් ලැබෙන්නට වුයේ කෑමට එනවාද කියා අසමිනි.     අපි කට්ටියටම කෑම තියන්නටය කියා කෑම ඕඩරයද ලබා දුන්නෙමු.     අඹ ගහෙන් බාගෙක අඹ කඩලාද කපන්නට තිබුණු අතු ටික කපලාද අහවරය.   ඉඩම අයිතිකාරයා ඇතුළු අපි කාටත් දැන් දැන් මහන්සී වගේම  බොන්නට තිබහක්ද ඇතිවෙලාය.   ඒ ගමන සියලු වැඩ අත්හැරලු අප හැමදෙනාම ඉඩමේ පැත්තකට ගොස් පස්වෙනි සිල්පදය කඩන්නට පටන් ගත්තෙමු.   දෙකහමාර පමණ වනවිට යන්නට එන්නේ  නැද්දැයි හැලපි කතාකර ඇසුවාය.   ගමනක් යන්නටත් තිබෙනවා නොවේදැයි මතක් වුනෙත් එවෙලාවේය.   ඉක්මන් කර ගෙදර එන්නට ලෑස්ති වෙනවිට එකෙක් අඹ ටිකකුත් මල්ලකට දමා මට දුන්නේය.    එයත් රැගෙන ගෙදර පැමිණි මම හැලපිගේ අත් අඩංගුවට පත්වුනෙමි.    අඹ නිසා ගෙදරින් එපමණ ප්‍රශ්න මතු නොවුණු අතර මම දැන් බලා සිටින්නේ අඹ ටික ඉදෙන තුරුය෴ 

56 comments:

  1. කතා නොකර දිමියෙක් පොඩි කරලා ඉනේ ගැහ්ගත්හම දිමි කන්නේ නැහැලු

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. කූඹි යන පාර ඇඟෙන් එන කෙමිකල් එකකින් මාක් කරනව කියනවනෙ. සමහරවිට පොඩි කරල වෙන තැනක ගෑවොත් උන් වෙන පැත්තකට යයි.
      මොකකද දැක්කා ඊ. ඕ. විල්සන් -ලෝඩ් ඔෆ් ද ඈන්ට්ස්, එහෙම කරනව.

      Delete
    3. අන්න හරි දැන් තමයි කතාව දන්නේ

      Delete
    4. දිමියෙක් ,දෙන්නෙක් පොඩිකරල කොලේක ඔතල ඉනේ ගහගෙන තමයි අපි ඉස්සර දිමි ඉන්න ගස් වලට නගින්නෙ. එතකොට දිමි කන්නෙ නෑ
      ප්‍රාජේ , ඔව් ඔව් මමත් දැකල තියනව ඔය කූඹි යනගමන් වටපිටබලල නැවතිලා පස්සෙ කකුල් දෙකක් උස්සල පදුරු වලට මුත්‍රා කරනව

      Delete
    5. මාළු බොක්කක් ගහට තියල බැන්දත් දිමි එතන වටවෙනවලු. හැබැයි කරලා නම් නෑ.

      Delete
    6. ප්‍රා,
      දිමි නං එහෙම නෑ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නෙ.

      Delete
    7. කම්මල,
      ඔය සාත්තරේ දැනගෙන හිටිය නං කිසි කරදරයක් නැතුව අඹ ටික කඩා ගන්නවනෙ.

      Delete
  2. අඹ වගේම රසවත් කතාවක්.. මේ දවස්වල අපේ පේර ගහෙත් ඔය කියනවා වගේම දිමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. ඕකුන් බෝවුනොත් ඉවරයි.

      Delete
  3. අසාර්ථක ලිපි??? කව්ද ඩෝ කිව්වේ උඹ ලියන එව්වා සාර්ථකයි කියලා.. හැක්..

    හැලපයගේ ක්‍රමය අනුගමනය කරන්න පුලුවන්න නං මාත් කැමතියි.. මාත් පෝස්ට් දාන්න ගියාම ආප්ප පුච්චනවා වගේ තමා.. කිසිම සෙවිල්ලක් බැලිල්ලක්.. අක්සර වින්‍යාස බැලිල්ලක් මුකු.් නෑ.. මට මතක නෑ කව්ද ලේඛඛයා කියලා.. එයාට ලියන්න නං මේසේ උඩ කොල රීම් 4 ක් වත් ලස්සනට තියෙන්න ඕනලු.. තව සමහර අයට ලොකු මේසයක් ඕනලු.. තවත් අයට හිටගෙන ලියන්න ඕනලු.. ඉතිං ඔය විදියට ලියන එක විවිදයි.

    දිමියොද? අපේ මහ ගෙදර අඹ ගහ යට ඉදං සිකරැට් එකක් බොන්න බෑ.. සෙද්ද..

    උඹටත් ලී කුට්ටියේ උන විකාරය නේද?? හැක්

    ReplyDelete
    Replies
    1. අඹ ගහ යට ඉදං බොන්න බැරිනං හිටං බීහංකො මගුල.

      Delete
    2. උඹ මේ දවස්වල ආප්ප පුච්චන්නෙ ලී කුට්ටියට පෙරේතකොමේ නොවැ. මට නං ඔය උණ විකාර නෑ උඹට වගේ. මගෙ එකක්වත් ලී කොටේ තරඟෙට දාලත් නෑ.

      Delete
  4. රස අනුව ලුණු දෙහිද දමලා හැදිගගා හැදු කිරි හොදී
    යසයි උපමා බ්ලොගට දුන් ඔබ අර්ථ අඩුවන්නට නොදී
    බස සිහල රැක ලියන හැකියා නොයයි ඔබගෙන් අත්මිදී
    රස පිරුණු මෙම බ්ලොගේ ලිපියට එක කවක් ලියලා මදී.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉස්තරම් කවියක් දුමී. ජය!

      Delete
  5. //අන්තර්ගතයේ ප්‍රමිතිය ඉහළ තත්වයකින් පවත්වාගෙන යෑමට නිතරම උත්සාහ ගන්නා කෙනෙක් ලෙස// මගුලක් කතා කරනව මෙයා. ඔහේ හිතාගෙන ඉන්නෙ ඔහේ ලියන ඒවයෙ අන්තර්ගතයක් තියෙනවයි කියලද? හැක්..

    ReplyDelete
    Replies
    1. ඕකට කියන්නේ සෙල්ප් ලොකුකම කියලා.. හැක්

      Delete
    2. අන්තර්ගතයක් තියෙනවද කියලනං මමත් දන්නෙ නෑ. හැබැයි බොලා කියෝනව කියල නං දන්නව.

      Delete
    3. දුසක,
      එහෙම ලොකුකම් තියෙන උනුත් ඉන්න එපායැ බං.

      Delete
  6. ඔය ගස්වල නැගල ගොට්ටට අඹ කඩන එක රස්සාවට කරන එවුවන්ට ඒ වැඩේට මාර පළපුරුද්දක් තියෙනව.

    අපි ඇවිල්ල 'හැලපයාට නිදහසේ ලියන්න ඉඩදෙනු' කියල බොලෑයි ගෙවල් ඉස්සරහ උද්ගෝෂනේ කරන්නං. ගෙදර කොසු ඉදල් එහෙම හංගල තියහං අයියෙ.

    ReplyDelete
    Replies
    1. උද්ගොසනේ කරන්න වෙන එකක් නෑ බං. "ඕනෑ ලබ්බක් ලියාගන්න එකයි" කියල මේ ඊයෙ පෙරේද අවසර දුන්නා. දැන් ඉතින් නැකතක් එහෙම බලල ලියන්න පටන්ගන්න ඕනෑ. ඒක නෙවෙයි බං නරකද දවසෙම ඔතන ඉඳගෙන මොනිටරේට මුණ ඔබාගෙන ඉන්න එකේ නැකත් බලන්න පටන් ගත්ත නං. කරන වෙන වැඩකුත් නැති නිසා. අනේ අම්මප කැමරාවත් අතේ තිබ්බ එකේ මට බොගෙ ඉඳන් ඉන්න ඉස්තානෙ පිංතුරයක් ගන්න බැරිඋනානේ. දන්න කරන ඔක්කොටොම බලාගන්න මට බ්ලොගේ දාන්න තිබ්බා අපරාදෙ මට නැතිවුණු ස්වර්ණමය අවස්ථාවක් යකෝ.

      Delete
  7. හැඳි ගා හදපු මේ කිරි හොද්දට ආප්ප බානවා වගේ කොමෙන්ට් කොටන්නේ කෝමෙයි.. මටනං කොරන්නම බැරි වැඩේ තමයි හිත හිතා ලියන එක.. හිතුනද ලියුවා පබිලිස් කරා.. අඩුම තරමින් ලියපු එකක් එවලේ පබ්ලිශ් කර ගන්න බැරි උනොත් ආයි පස්සේ ඒක දාන්නත් කම්මැලියි.. ඉතිං කොහෙද දවස් ගනං හිත හිත පෝස්ට් ලියන්නේ..
    අඹ කතා දෙකට නං කටට කෙළ උනනවා.. ඒත් ඔය හැටි ලොකු කර්තකොලොම්බන් ගහක් යාපනෙං මෙහා මට හම්බවෙලා නෑ.. අඹ ඉදෙන දවස් බලලා ඔය පැත්තේ ඇවිත් ගියත් පාඩු නෑ වගේ.. :)

    ReplyDelete
    Replies
    1. උඹට මං ගානේ ගල් කාලක්.. මටත් ඒමයි.. ඉවර නොකරපු ඒවා කපෙත් ඉවර කරන්න වෙන්නෑ. අර ආවේසයද මොකාද එකා පලා ගියාම ඒ කතාව ඉවරයි..

      Delete
    2. ඒකනෙ, ව්‍යාකරණ, අක්‍ෂර වින්‍යාස මොකුත් බලන්නෙ නැතුව ලියපු ගමන් පබ්ලිෂ් බටන් එක ඔබලා එතැන ඉඳන් පිළිවෙලට බැනුම් අහනවා. අර විචා මලේ බොලාගේ වාසනාවට වෙන්න ඇති.

      Delete
  8. අනේ අහිංසක සංසාර කූට්ටම...

    හැලපයා වසන්තයා කරමු..!!!

    ජය වේ වා !!1

    ReplyDelete
    Replies
    1. සංසාර කුට්ටම හමගියා බං. මම නං වසන්තෙට ලියල නෑ මේ වෙනකල්.

      Delete
  9. මං නං කොහේ ගියත් යන්න කලිනුත්, කීයට ආවත් ආවට පස්සෙත් බිරිඳව ඉල්ලලා අඹ ගන්නවා. එතකොට ඔය ගොඩක් ඇති විය හැකි ප්‍රශ්න යට යනවා!

    ReplyDelete
    Replies
    1. ඒක බොහොම හොඳ බේතක් තමයි. දිමියන්ටත් ඔය බේතම හරිද මංදා.

      Delete
  10. අඹ ඔය වගේ කළුවට උයලා රෝස් පාන් එක්ක එහෙම කන්න තියේනම් නියමයි.හැබැයි බත් එක්ක අඹ උයලා කන්න මගේ එච්චර මනාපයක් නැහැ.
    හැලපයියා ලියන කොයි කතාවත් රස නිසා උඹ ඔය කියන විදියෙ අසර්ථක එව්වා මට නම් අහු වෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. අපි නං වැඩිපුරම අඹ උයන්නෙ බත් එක්ක කන්නයි.

      Delete
  11. හැලප අයියේ, වරෙන් අපේ පැත්තට හොඳ අඹ මාළුවක් හදලා දෙන්ඩ....

    ReplyDelete
    Replies
    1. අඩේ ..අම්මට කියල පොලොස් ඇඹුලක් හදල දියංකො , අඹ මාළුවකුත් හදල දියං මම හැලපෙලගෙ ගෙදර ගිහින් ඒක දීල එන්නම්.

      Delete
    2. එහෙනං කම්මලේ සූටික්කලගේ ගෙදර ගිහිං අරං වරෙන්.

      Delete
  12. Replies
    1. වැට විතරද ඉයන්. කියන්න මොකුත්ම නැද්ද?

      Delete
  13. දිමි කෑවම වෙන අතුරු ආබාධ මොකුත් ඕනෙ නෑ උන්ගෙ ගඳම ඇති කොල තිබුනොත් මෝල්ගහෙත් ගොටු හදන එපාම කරපු ජාතියක් !
    ගෙදර උදවියට පොඩ්ඩක් මතක් කරන්න තොරතුරු දැනගැනීමේ පනත සම්මත වුනා කියල. බඩගෝස්තර ගැන වගකියනු නොලැබේ :)

    ReplyDelete
    Replies
    1. ගෙදර උදවිය ෂේප් වගේ බං. දැන් හරියයි.

      Delete
  14. කරෝකලා අතෑරියා වගේ .පටං ගත්තෙ කොහෙංද ඉවරවුනේ කොහෙංද

    ReplyDelete
    Replies
    1. ඒත් ඉස්සර තරම් නෑ ඉවාන්.

      Delete
  15. හැමදාමවගේ රසවත් පොස්ට් එකක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලලිත්.

      Delete
  16. සංසාරකුට්ටම දිමියෙක්ට කියලා කවාගන්න ලංකාවටම එන්න වුනානේ ඉතින්....

    ReplyDelete
    Replies
    1. එහෙනං, මොකෝ වෙන රටවල දිමි කියල නාමයක් වත් ඉන්න එකක්යැ.

      Delete
  17. ///එයත් රැගෙන ගෙදර පැමිණි මම හැලපිගේ අත් අඩංගුවට පත්වුනෙමි.///
    රට හිටියනම් හොඳයි කියල හිතෙන්නේ නැද්ද අයියා මේ වෙලාවට... ;)

    /// අඹ නිසා ගෙදරින් එපමණ ප්‍රශ්න මතු නොවුණු අතර මම දැන් බලා සිටින්නේ අඹ ටික ඉදෙන තුරුය෴ ///
    මේකනම් ඉතීම් හොඳ සිද්ධියක් තමයි...
    ටික දොහකට කළින් වීරවිල ගිහින් කර්තකොලොම්බන් අරගෙන ආව, එවෙලේම ගහෙන් කඩාගෙන ආවේ...
    එව්වයේ පුදුම රහක් තිබුනේ, මතක් වෙද්දීත් කටට කෙළ උනනවා...

    ReplyDelete
    Replies
    1. වැඩේ කියන්නෙ ඔය අඹ ජාතිය ඉදවගන්න හරි අමාරුනෙ බං කොච්චර පරිස්සමට කැඩුවත් ආගිය අතේ කුනුවෙනවනේ.

      Delete
  18. මමත් මේ විදිහටම දිමියෝ කාගෙන අඹ කඩලා තියෙනවා. හැබැයි ඉතින් ගහේ ඉදුනු අඹයක් දිමියෝ කාගෙන හරි කනකොට තියෙන රහ ෂහ්......

    ReplyDelete
    Replies
    1. ඒක නං එහෙම තමා. මේ දවස් ටිකේම හැමදාම අඹ කනවා.

      Delete
  19. අඹ ගස් නේ...
    දිමියෝ ඉන්නවනේ....
    ඒත් අඹ කඩන්න ඕනෙනේ....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. කොච්චර දිමි හිටියත් අඹ කඩන්න ඕනෑ. ඒව අතැරල බෑ.

      Delete
  20. අර ටිකෙන් කොටසක් උයාපංකෝ හැලපේ. මම නම් කරන්නේ ඒකයි.

    උඹට වුනා වගේ වැඩක් සේපාල ඒකනායකටත් වුනානේ. ඒ කියන්නේ අතීතයට බලපාන නීති හදලා දඬුවම් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ වගේ හොඳ වටිනා අඹ උයන්න ඕනෑ නෑ බං. උයන්න අඹ මේ දවස්වල වකාරෙට තියෙනවා. තව ටික දවසකින් දන්සැල් හැම එකකම අඹ ඇඹුලක් උයල කන්න දෙයි.

      Delete
  21. හප්පේ ... මේ දවස් වල වෙන අවුරුදු වලටත් වඩා අඹ තියෙන නිසා අඹ මාළු, අඹ අච්චාරු නැති ගෙයක් නැතුව ඇති.. ඔය ඉදෙන්න තියෙපුවා යන්තම් ඉදෙන්න ගන්නකොට අඹ මාලුවකුත් හැදුව නම් තමයි හොඳ ...

    ReplyDelete
    Replies
    1. දැන් ඒ බඩු ඉවරයි තුශානි. ඔක්කොම ඉදෝල කෑවා. ටිකක් කුණුවුනා. හැබැයි උයපු අඹ නං සතියකට දෙතුන් පාරක් වරදින්නෙ නෑ. මොකද හැලපි අඹ උයල කන්න හරිම මනාපයි. තුශානිටත් එහෙම මනාපයක් වගේ තියෙනවනං කියන්න. උයල ගෙදරටම ගෙනැත් දෙන්නං.

      Delete
  22. අහෝ දුකකි ඉරකි තිතකි, අර දිමියො සෙට් එක වැරදි සෙට් එකකටනෙ විදල තියෙන්නෙ 😁

    ReplyDelete

ඔබේ අදහස්