Tuesday, October 28, 2014

අමරෙගෙ කඹ ඇදිල්ල අපේ බෝල පිට්ටනිය සහ ටැප් එක ළඟ ක්‍රිකට් කණ්ඩායම.

අමරෙගෙ ගේ තියෙන්නෙ අපුරු තැනක,පැත්තකින් වෙල්යාය අනික් පැත්තෙන් දෙපා ඇළ, ඒ දෙපැත්තෙන්ම සිසිල් සුළං රැළි හමාඑද්දී දෙකක් දාගෙන දවල්කෑම කන අමරය වඩුමඩුවේ බුරු ඇඳේ ඇලවෙලා සරම අස්සට හමන සුළං පහස විඳගනිමින් නින්දක් නිදාගෙන ආපහු ඇහැරෙන්නෙ හවස්කරේ බඩුමිටියක් ගේන්න ජිනාගෙ ගෙදරට යන්නයි.මිටියත් ඔතාගෙන ගහල රෑට කෑම කාල එහෙම රෑ දෙගොඩහරියක් වෙනකල් වඩු මඩුවෙ වැඩ කරනවා.ඔන්න දවසක් මරු වැඩක් උනා.

ඒ දවස්වල අපි ප්‍රථම වතාවට ලංකාවෙ පවත්වපු සාක් සම්මේලනයට පණ දාගෙන වැඩ කරනවා.වීරෙයි සුමනෙයි මමයි ඇතුළත් වෙලා තිබ්බෙ ෆුඩ් කමිටි එකට හෙවත් සාගිනි කමිටුවටයි.අපේ ප්‍රවාහන කටයුතු වලට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගනිපු පැජරෝ එකකුයි රියදුරෙකුයි වෙන්කරල තිබුණා.උදේ පාන්දර ඔය පැජරෝ එකේ කොළඹ යන අපි ගෙදර එන්නෙ මහ රාත්තිරියෙ යක්කු ගස්යන වෙලාවටයි.රෑ එකොළහට විතර කොළඹින් පිටත්වෙන වාහනේ ඉස්සෙල්ලම වීරෙව උඩුගම්පොලින් බස්සවල ඊට පස්සෙ මාව ගෙදරින් දාල අන්තිමට සුමනෙ බස්සන්න ඌරපොල යනවා.එදා වීරෙව බස්සල අපි ඇවිත් ටවුමෙ රෑ කඩෙන්  සුදුආප්පයි ලුණුමිරිසුයි කෑවා.ඒ වෙනකොටත් අපි පාවිච්චි කරමින් ආපු බෝතලේ කාලකට පොඩ්ඩක් විතර අඩුවෙන් ඉතුරුවෙලා තිබුනට ආප්ප කෑමෙන් පස්සෙ ආපහු බොන්න කවුරුවත් කැමති උනේ නැති නිසා ඉතිරිටික අපේ පාරෙ ඇහැරලා ඉන්න කාට හරි දෙමු කියල එන්න පිටත්වුනා.

පාරෙ එක ගේකවත් එළියක් දකින්නට තිබුනෙ නෑ. ඒ මහ රාත්‍රියේ හෙවල්වල එළි නැතිවීම පුදුමයක් නෙවෙයි,ඊටමත් රාත්‍රියේ එන පැජරෝවක් ගම්වල මිනිස්සු දැක්කෙ මරණයේ පණිවිඩය රැගෙන එන වාහනයක් හැටියටයි.රට මහා අඳුරු සමයක් පසුකරමින් උන් ඒ අවදියේ මිනිසුන්ගෙ සිත් තුලට භීෂණයේ රුදුරු අත්දැකීම් තදින් කාවැදී තිබුණා.ඒ නිසා පැජරෝවක හඬ රාත්‍රියේ ඇහෙන විට තියෙන එළියත් නිවා දමන්නට මිනිසුන් පෙළඹීම පුදුමයක් නොවෙයි.

බලුකපුටෙක්වත් පේන්න නැති අන්ධකාර පාරදිගේ වාහනය වේගයෙන් ඇදී එද්දී ඉදිරියෙ ඇති වෙල අයිනෙ එළියක් දකින්නට තිබුණා.ඒ වෙන කවුරුවත් නොවෙයි,රෑ නිදිමරාගෙන  වැඩකරන අමරෙගෙ වඩුමඩුවෙ එළියයි.

අන්න සුමනෙ අමරයද කොහෙද ඇහැරලා ඉන්නව ඉතුරුටික මිනිහට දෙමු...

කියමින් මම බෝතලේ ඉතුරු හරිය වීදුරුවට වක්කරද්දීම වාහනේ අමරෙගෙ වඩුමඩුව ළඟ ක්‍රාස් ගාල නැවැත්තුවා.

අමරේ...

කියල මම කතාකරද්දි ඕඕ කියමින් අමරෙ එක තප්පරෙන් වාහනේ ළඟ පෙනී සිටියා.

ආ..මේ .....මහත්තයනේ...

කියමින් ක්ෂණයකින් මාව අඳුනාගත් අමරෙට

මෙන්න මේක බීල දානවා...

කියල  මගේ අතේ තිබුණ වීදුරුව දුන්නා.වීදුරුව අතට ගත් සැණින් ගුඩු ගුඩුස් හා වීදුරුවෙ තිබූ ටික එක උගුරට ගිලදැම්ම අමරෙගෙන් සමුගෙන අපි එන්නට පිටත්වුණා.මේ සිද්ධියේ පසුවදන හෙවත් අමරේ මෙය අර්ථකථනය කර තිබූ ආකාරය මට දැනගන්නට ලැබුණේ ඊටත් මාස ගාණකට පසුවයි.ඒ ගමේ තරුණයන් කීප දෙනෙක් සමග එක් සවසක සතුටු සාදයකට හවුල් වෙමින් සිටි අවස්ථාවෙයි.

අමරෙ අයියට මරු වැඩක් කලාලු නේද...

එක කොල්ලෙක් මගෙන් ඇහුවම මේ කිසිදෙයක් නොදැන සිටිය මම වැඩි විස්තර ඇහුවා.අමරෙ ඔහුට  සිද්ධිය කියපු  ආකාරයට කතාව මෙහෙමයි.

එදා රාත්‍රියේ පැජරෝව වඩුමඩුව ළඟ නවතද්දී අමරෙ හිතා සිටියේ  එය ඔහුව මරන්න ගෙනයන්නට පැමිණි වාහනයක් බවත් ඒ රාත්‍රිය අමරෙගේ අවසන් රාත්‍රිය බවත්ය.වාහනය තුළ මා හිඳිනු දැකීම ඔහුට මහත් අස්වැසිල්ලක් සහ සැනසිල්ලක් වී තිබෙනවා.

වීදුරුවකින් පුරෝල එකක් දුන්න බං,තියෙන්නෙ මොනවද කියලවත් බැලුවෙ නෑ පණ බයට එක හුස්මටම ගිලල  දැම්මා.එච්චරම තමා මතක ගිහිං ඇඳේ වැටුනා මතකයි ඇහැරුනේ පහුවදා...

මේ ආයෙම දවසක වෙච්ච දෙයක්.අපේ ගමේ එක අවුරුදු උත්සවයක හවස්වරුවේ පැවැත්වෙන කාන්තා කඹ ඇදීමේ තරඟය ජයටම පැවැත්වෙමින් තිබුණා.තරඟ විනිශ්චයට මාත් සම්බන්ධවී සිටි නිසා තරඟය පැවැත්වෙමින් තිබියදී දෙපැත්තෙම තරඟකාරියන් කඹ අදින ආකාරය පරීක්ෂාවෙන් බලාගෙන මම කඹේ එක කොණක ඉඳන් අනික් කොනට ඇවිදගෙන ආවා.එක පැත්තක වැර දමා කඹය අදින සායවල් ගවුම් අතරේ සරමක් දැක්ක මම උඩගියෙ නැතුවා විතරයි.බලපුවම සරමත් පිටපොට ගහගෙන වලිකමින් අමරය හොඳ සීරුවට කඹේ අදිනවා.

නීති විරෝධී බව හොඳටම  දැන දැන අමරය කරන මේ වැඩේ දැක්කම මට කේන්ති ගියා,ඒත් එක්කම නවත්ත ගන්න බැරි හිනාවකුත් ආවා.එදා විතරක් නෙවෙයි ගෑනු ගොඩේ අමරය කඹේ ඇදපු ඇදිල්ල මතකවෙනකොට අදත් මට හිනාව නවත්ත ගන්න බෑ.හිනා ගියාට මු කරන වැඩේ නවත්තන්න එපායැ.මම විසිල් එක ගහන්න හදනකොටම පෙරළෙන රෝල්වෙන ගෑනු ගොඩ එක්කම අමරයත් අනිත් පැත්තට ඇදිල යන්න යනකොට පොර කඹේ අත ඇරල අහකට පැන්නා.ඒ නිසාම අප්සැට් එකක් නැතුව වැඩේ බේරගත්තා.පහුවදා හවස මීවිතකට හවුල් වෙන ගමන් මම මේ කතාව හිනාවෙවී අනික් කොල්ලන්ට කිව්වට උන් ඒක එච්චර ගාණකට ගත්තෙ නෑ.

ඔය යකා හැම අවුරුද්දෙම ඔය වැඩේ කරනවා.හැබැයි ඇදල දෙන්නෙ කොස්ගහ සයිඩ් එකට එන ගෑනුන්ට විතරයි.අනික් පැත්තෙ පිලට උගෙ ගෑණි ඇද්දත් අමරය කොස් ගහ පැත්තට එන පිලට අදිනවා,ඒ උගෙ හැටි ...

ඒකත් එහෙමද කියල මම නිකං හිටියා.අපි දන්නා කාලෙක ඉඳන් අපේ ගමටය කියල සෙල්ලං කරන්න පිට්ටනියක් තිබුනෙ නෑ.මුලදී අපි පොඩි කාලෙ නාරංවත්තෙ පිට්ටනියෙ සෙල්ලං කළා.ටිකක් දුර යන්න තියෙන නිසා පස්සෙ කාලෙක නාරංවත්තෙ පිට්ටනියට යාම නැවතිලා පෝටවත්තෙ සෙල්ලං කරන්න ගත්තා.අයිතිකාරයො පෝටවත්ත බෙදාගත්තට පස්සෙ සෙල්ලං කරන්න අවුරුදු උත්සව තියන්න තැනක් නැති  අපට යන එන මං නැතිවුනා.එහෙමයි කියල අපි නිකං හිටියෙ නෑ ගොයං කපපු වෙලේ අවුරුදු උත්සව තිබ්බා.වෙලේ වතුර කාලෙට පාරෙ අවුරුදු උත්සව තිබ්බා.අපි පාරෙ වෙලේ එහෙම අවුරුදු උත්සව තියද්දි අමරය පුදුමාකාර සහයෝගයක් දුන්නා.වෙන්දේසිකාරයෙක් අලවත්ත ඉඩම අරගෙන කෑලි කඩල විකුණන්න සුදානං වුණේ ඔය කාලෙදියි.

බොහොම දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ලොකු අරගලයකින් පස්සෙ අපේ ගමට පිට්ටනියක් සඳහා ඉඩම් කෑල්ලක් අලවත්තෙන් ලැබුණා.ඡන්දයක් අත ළඟ තිබුණු නිසා බොහොම ඉක්මනට පස් කපල සමතලා කරල පිට්ටනියත් හදල දුන්නා.අලුතෙන් ලැබුණු පිට්ටනියෙ ගමේ කොල්ලො බොහොම සතුටින් ක්‍රීඩා කළා.ඔන්න ඔය විදියට කාලය ගෙවිල යද්දි රැකියාවෙ අවශ්‍යතාව අනුව මට විදේශගත වන්නට සිදුවුනා.පිටරට ගියත් නිවාඩුවට ගෙදර ආවහම පිට්ටනියට ගිහිං සෙල්ලං කරන්න මම අමතක කලේ නෑ.මේ වෙද්දි අපේ පිට්ටනිය අවටපිට බොහොම ජනප්‍රිය වෙලා තිබුණා වගේම සෙල්ලං කරන්න අහළ පහළ ගම්වලින් ළමයි එන්න පටන් අරගෙන තිබුණා.මැච් ගහන්න ටුනමන්ට් තියන්න මේ එන සෑම සියලු දෙනාම පිට්ටනියට ආවෙ අපේ ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් හෝ එහි අනුදැනුම ඇතිවයි.

මෙන්න මේ පිළිගත් ආකාරයට විරුද්ධව පිට්ටනියෙ සෙල්ලං කරන්නට ආව කණ්ඩායමකුත් හිටියා.මේ අය ටවුමෙ පල්ලිය ආසන්නයෙ  ටැප් එක ළඟ කියන සුප්‍රසිද්ධ තැන තිබුණ නගර සභා නිවාස හරියෙ පදිංචිවෙලා හිටපු කණ්ඩායමක්.(මෙතන ටැප් එක කිව්වෙ පාර අයිනෙ තිබ්බ පොදු ජල කරාමයක්.පැය විසිහතරෙම වතුර ගලාගෙන ගියපු මේ ටැප් එක ළඟ කාන්තා පාර්ශවය පැය විසිහතර පුරාම නෑවා සහ රෙදි හේදුවා.)චණ්ඩි උණ සෑහෙන්න ගහල තිබ්බ මේ අය ළඟ විකට් බැට් බෝල මොකුත්ම තිබුනෙ නැති නිසා ඒවා ඔක්කොමත් බලෙන් වගේ ගත්තෙ අපේ ක්‍රීඩා සමාජයෙනුයි.අනුන්ගෙ ක්‍රීඩා උපකරණ වලින් තමන්ගෙ වගේ අපේ පිට්ටනියෙ ඕනෑ ඕනෑ වෙලාවට ඇවිත් සෙල්ලං කරන මේ අයට විරුද්ධව අපේ ගමේ කවුරුවත් කිසිදෙයක් කියන්න නොගියෙ ටවුමෙ චණ්ඩි එක්ක හැප්පිලා අන්තිමේ ටවුමටවත් යන්න නැතිවෙයි කියල බයටයි.ඊට පස්සෙ මේ අය එක එක ටීම් වලට චැලේන්ජ් කරල මැච් ගහන්න අපේ පිට්ටනියට එක්කං එනවා.ඒ ඇවිත් මැච් ගහන්නෙත් අපේ බැට් බෝල වලින්මයි.ඒ මදිවට සයිකල් පැදගෙන පිට්ටනිය ඇතුළටම එනවා.අපි ඒ දවස්වල සයිකල් පදිනව තියා පිට්ටනියෙ සයිකලයක් තල්ලු කරන්නවත් දුන්නේ නෑ.

පිටරට රාජකාරි කාලය ඉවර කරල මම ලංකාවට එද්දී තිබුණ තත්වය ඔන්න ඔහොමයි.නමුත් මම මේ කාරණා කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑ.එක නිවාඩු දවසක උදේ මම කඩේ පැත්තෙ ගිහිං ආපහු ගෙදර එද්දි පිට්ටනියෙ බොහොම ජයට ක්‍රිකට් මැච් එකක් යනවා.අපේ අය මැච් එකක් ගහනව නං මම නොදැන ඉන්න විදියක් නෑ.අනික කණ්ඩායම් දෙකේම ඉන්න ක්‍රීඩකයන් දැකල පුරුදු අයත් නෙවෙයි.මේ වැඩේ මොකද්ද බලන්න මම පිට්ටනියට ගොඩවුනා.ගමේ කොල්ලො කීප දෙනෙක් පිට්ටනිය අයිනෙ ඉඳන් මැච් එක බලනවා.පිට්ටනිය අයිනෙ සයිකල් දහයක් විතර ගොඩගහල.

මේ මැච් එක මොකක්ද ටුනමන්ට් එකක්ද? මං ඇහුවා.

නෑ අර ටැප් එක ගාව කට්ටිය මැච් එකක් ගහනව...

මම වැඩිදුර විස්තර අහපුවම ඔය විස්තර ටික කියල ගමේ කවුරුවත් බය නිසා මේ වැඩේට විරුද්ධව කතා කරන්නෙ නැහැ බලාගෙන ඉන්නව ඇරෙන්න අපටත්  වෙන කරන්න දෙයක් නෑ කියලත් කිව්වා.කොල්ලො කියාපු කතාවට මට දුක හිතුණා.ටැප් එක ළඟ නෙවෙයි අඟහරු ලෝකෙ ඉඳන් ආවත් වැරදි වැඩේ වැරදිමයි,ඒ නිසා මේ කරන නිග්‍රහය සහ මදිපුංචිකමට විරුද්ධව මමවත් කතා කරනව කියල හිතාගෙන ගිහිං ටැප් එක ළඟ ටීම් එකේ අයගෙන් මේ ගැන ඇහුවා.ටැප් එක ළඟ ක්‍රීඩකයන් සහ මා අතර ඇතිවුන සුහද සංවාදය මේ විදියයි.

තමුසෙ කවුද ඕයි පිට්ටනියෙ අයිතිකාරයද?

අපට මෙහෙ නෙමෙයි ඕයි ඕනැ තැනක ගිහිං මැච් ගහන්න කාගෙන්වත් අහන්න ඕනැ නෑ දන්නවද?

මේ ඕයි...මීට වඩා හොඳ පිට්ටනිවලට අපට එන්න කිව්ව හරිද අපි ගියෙ නැතුවට තමුසෙ දන්නවද?

ඇයි තමුසෙ අපට මොනව කරන්ඩද?

අඩෝ මේ...නිකං...දෙන්නෙ නැතුව පලයං යකෝ ආව මෙතන අපේ ....අරින්න ..

අපේ ආදරණීය සංවාදය උස් හඬින් දිගින් දිගටම ඇදී යනකොට පිට්ටනියෙ සෙල්ලං කරමින් හිටපු අයත් සංවාදයට එකතු වුණා.පන්දුවට පහර දෙමින් හිටපු පල්ලිය ගාව  ත්‍රීවීල් එකක් එලවන ටැප් එක ළඟ තට්ටයා කියන සුරතල් නමින් හැඳින්වෙන ක්‍රීඩකයා බැට් එක දෝත බදල උස්සගෙන දුවගෙන ආවෙ කෙලින්ම මිඩ් විකට් හරහා ඇදී යනසේ මගේ ශීර්ෂයට දැවැන්ත හයේ පහරක් එල්ල කරන්නටයි.

අඩෝ දැනගනිං තොපි ලුණු කන්න හරි ටවුමට එන්න ඕනෑ හරිද එතකොට බලාගන්නං...

මොනවද ඩෝ එතකොට, බලාගන්න දෙයක් දැන් බලාගනිං...

මේ වෙනකොට පිට්ටනියෙ ගෝසාවට ගමේ ගොඩක් දෙනෙක් එතෙන්ට පිරුණා.දැන් වැඩේ නැගලම යනවා, වලිබර අමරයත් එතනම පහළ තියෙන වඩුමඩුවෙ ඉඳල කුරුල්ල වගේ පිට්ටනියට දුවගෙන ආවෙ දැඩි චිත්ත ප්‍රීතියෙන් යුතුවයි.මෙච්චර කල් බයට කවුරුත් කටවහගෙන හිටපු ටැප් එක ළඟ කණ්ඩායමට මම අභියෝග කිරීම ඔහුගෙ සිත අමන්දානන්දයට පත්කිරීමට හේතුවී තිබුණා.මම තියන අඩියක් ගානේ ධෛර්ය වඩවන වචන කියමින් හෙවනැල්ල වගේ අමරය මගෙ පස්සෙන්ම හිටියා.

කෙළල දාමු මහත්තයො ඔවුන්ට මොකට බයවෙන්ඩද? මම ටවුමට යනකොට නියන ඉනේ ගහගෙන යනව.වරෙන්කො ගහන්ඩ,ඇරල දාන්නෙ බොකු බඩවැල් එලියට එන්න...

කොහොමහරි අපිට කෙළගන්න ලැබුනෙ නෑ කට්ටිය වටවෙලා දෙගොල්ල දෙපැත්තට කළා.තවත් පැයක් විතර බැනගෙන ටැප් එක ළඟ කණ්ඩායම පහුබැහැල යන්න ගියා.ගහගන්න කොහොමත් බනින්න නං උන් හරි දස්සයි කියෝනව කියෝනව ගෑනු වගේ.මට බැනිල්ල බෑ එක්කො ගහනව නැත්නං ගුටිකනව එච්චරයි.පිට්ටනියෙ මම ගහගන්නව කියල ගෙදරට ආරංචි උනොත් ඊට හපන් බැනුම්.අන්තිමට වැඩේ ඉවර උනේ පොලිසියටත් ගිහිං.ඒක වෙනම කියන්න ඕනැ තව ලස්සන කතාවක්. ටැප් එක ළඟ ටීම් එක පොලිසියෙදි අපෙන් සමාව ගත්තා.පොලිසියෙ ඉඳන් ආපහු එද්දි අපි ටැප් එක ළඟ නැවතිල එතන තියෙන චෙරි ගහේ ගෙඩි කැඩුවෙ කන්න නං නෙවෙයි.ඔන්න ඔය විදියට ඒ වැඩේ ඉවර උනා.ඊට පස්සෙ ටැප් එක ළඟ ටීම් එක කවදාවත් අපේ පිට්ටනියට ආවෙ නෑ.හැබැයි අපි එන්න එපා කිව්වෙ නෑ. කිව්වෙ සෙල්ලං කරනවනං නිසි පරිදි අවසර ඇතුව සෙල්ලං කරන්න කියලයි.

ඊට පස්සෙ අවුරුද්දෙ මට ආපහු විදේශගත වෙන්නට උනා.ඒ ඇවිත් අවුරුද්දක් ගියෙ නෑ අමරෙ හදිසියෙන්ම මළා.මරණෙ සිද්ද උනේ මෙහෙමයි.යලට වපුරන්න ගෙවල් ළඟ කුඹුර කොටමින් හිටපු අමරෙට එක පාරටම උණ ගත්තා.පැනඩෝල් බිබී දවස් දෙකක් හිටියට උණ බැස්සෙ නැතිතැන ගිහිං බේත් ගත්තා.හවස බේත් අරං ගෙදර ඇවිත් බේත් ටික හෙට ඉඳල බොනව අද අරක්කු ටිකක් බොනව කියල කසිප්පු ගෙනත් බීල තියෙනව.මී උණට අරක්කු වහ වගේලු.පහුවදා උදේ හොඳටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා.ආපහු ගෙදර එන්න උනේ පෙට්ටියක.මට අමරෙගෙ වල කපන්නත් ලැබුනා෴

88 comments:

  1. හපොයි බයේ බෑ. හැලපේ මාර චන්ඩියෙක්නේ...හී හී...

    අමරේ පව්. එදා අර අරක්කු වීදුරුව බීලා නිදන්ට ඇත්තේ මැරුණා කියලා හිතාගෙනම වෙන්ට ඇති. උදේ නැගිට්ටාම පුදුම සතුටකුත් දැනෙන්ට ඇතිනේ...

    ReplyDelete
    Replies
    1. චණ්ඩි කමක් නෙවෙයි පොඩ්ඩි.ඇත්ත යුත්ත කතාකරන්න ගියෙ.
      අමරෙ දන්නෙ නැද්ද ඉතිං,එදා ඉඳන් මට පුදුම විදියට සැලකුවා.

      Delete
  2. අපේ ගමෙත් ඔයවගේ ආරවුලක් තිබුනා ටවුමෙ උන් එක්ක කාලයක් තිස්සෙ.
    උන් කියන්නෙ තොපි ලුනු ඇටේ ගන්නත් ටවුමට එන්න ඕනෙනෙ එතකොට බලා ගමු කියල.
    හැබැයි ඒ ආරවුලනම් ඉවෙරෙටම ඉවර උනේ, උන්ගෙ ගැන්සියක් අපේ ගමටම ඇවිත් පාට් එකක් දමද්දි එකෙක්ව වලපල්ලට සහ තව දෙන්නෙක් අසාද්ද්‍ය වෙනෙතුරු කඩුවලින් පෙති ගැසීමෙන් පසුවයි

    ReplyDelete
    Replies
    1. චණ්ඩින්ට වදිනකොට දුවන්න පාර ඉඩ මදි.කටිං බයකරගෙන ඉන්නකං චණ්ඩි.කවුරුහරි විරුද්ධව ආපු දාට වැඩ ඉවරයි.

      Delete
  3. හිහි.. අමරෙ පව් අප්ප.. මොක වුණත් හිත හොද බුලට් එකක් වගේ... සමාර විට වලියක් නැත්තං නින්ද යන්නැි ඩෑල් එකද්ද දන්නෙ නෑ...
    ඔය වෙලාවකට හෙන චන්ඩි චන්ඩි කියල බුවාල ඉන්නව නේද ගැන්සි බැහැල කට විතරයි හැලපෙ එකෙක්කෝම හරි ඉස්සල්ල ගැහුව කියන්නකො ඔන්න අනික් උංටත් පොඩ්ඩක්පණ එනව ... එතකොට නැගලම යනව.. උංට කලිං අපි ඉස්සර වුනොත් හූ කියාගෙන දුවන්නෙ.... ඒ ඕනත් නෑ ඔයිං එකෙක් එහෙම තනියෙං හිටියොත් බලන්න ඕන.......... කුක්ක වගේ.... ඔය ජාතියෙ උන්නෙ සද්දෙ විතරයි හැලපෙ...
    හෙක් හෙක්

    ReplyDelete
    Replies
    1. අමරෙ කොහොමත් වලිබර පොරක් මහේෂ්.දෙකක් දාගත්තම නං ගේම ඉල්ලපු ගමන්මයි.මහේෂ් කියන කතාව සහතික ඇත්ත.ඔය අයගෙ සද්දෙ විතරයි.

      Delete
  4. ක්‍රිකට් ටූනමන්ට් නම් කියලා වැඩක් නෑ. මම ආස දුර ගිහින් ගහන ඒවට. සමහරු නම් දෙවිවරුන්ට වගේ සලකනවා. මොකෝ කැළණියේ කිව්වට කොළඹ වගේ නේ අනික අපේ ටීම් එකේ සුද්දෝ දෙන්නෙක් තුන් හතර දෙනෙකුත් හිටියා.. ඒ කියන්නේ මමයි ලංසි එවුන් සෙට් එකයි.. ඒ වගේම හැලපේ කියපු ආකාරයෙනුත් සංග්‍රහා ලැබුන වාර අනන්තයි. එක සැරයක් වත්තල සෙන්ට් ඇන්තනීස් එකේ මැච් එකකට ගියා.. වනවාසල හරහා පයින් ගියේ. අපි පොඩි උන්. අර ටීම් එක 25-30 උන්. මැච් එක ගැහුවා. අපි දිණුම්. තව එකක් ගහමු කිව්වේ. ඉස්සෙල්ල බැට් කලේ අපි. උන්ගේ එක එක විකට් එක වැටීගෙන එන කොට 6 වෙනියට විතර ආපු එකා අවුට් උනා විතරයි ඌ බැට් එකෙන් අපේ විකට් කීපර්ට ගැහුවා.. අම්මට හුඩු මෙන්න එකසිය ගාන අනික් උනුත් අපිට නෙලනවා.. අම්බානකක කෑවා.. බෙට් එක දුන්නෙත් නෑ.. හොඳ වෙලාවට බලන්න ඇවිත් හිටපු උනුයි.. පල්ලියේ ෆාදරුයි අපිව බේරුවේ.. නැත්නම් තාමත් කනවා.. ඔය වගේ කතා අනන්තයි අප්පරමානයි..

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ටුනමන්ට් ගැන කතා නං සෑහෙන තොගයක් තියෙනවා.වෙනම කතා සීරිස් එකක් උනත් ලියන්න පුළුවනි.ඇත්තට දැන් ඒ වගේ ටුනමන්ට් නෑනෙ.

      Delete
  5. අඩේ අප්පා.... පික්සු හැදෙයි... :D

    ReplyDelete
    Replies
    1. එහෙමද.එහෙනං මාර වැඩේ තමා.

      Delete
  6. මේවගේ මතක සටහන් කොච්චර සුන්දරද? තව වයසට ගියාම ඔව්වා තවත් රසයි හැලපෙ. මෑතකදී මමත් මෙහෙම දේකට මැදිහත්වීම පුදුමාකාර සංසිද්ධියක්. මේ මෑත කාලේදී අපේ පොදු ක්‍රීඩාංගණයටත් මේ වගේ අසල්වැසි වෙනත් ප්‍රදේශවාසී තරුණ පිරිසක් ඇවිත් කුණුහරප කියමින් ක්‍රිකට් ගහන්න පුරුදුවෙලා හිටියා. මුන් ටිකත් අපේ ප්‍රදේශ වාසීන්ට පවා 'ජාති දාන්න' පෙළඹුනා. එන්නේ මෝටර් බයිසිකල් වලින් මුළු ගමම දෙවනත් කරගෙන. මෝටර් බයිසිකල් පාර මැද නවත්තනවා වෙන වාහන යන්න බැරිවෙන විදිහට. පන්ති ඇරිලා එන ගෑණු ළමයින්ටත් අරවා මෙව්වා කියනවා. මම කළේ පොලීසියේ ස්ථානාධිපතිට කෝල් එකක් දීම පමණයි. අනේ උන්නැහේ ඇවිත් කන් හත අටක් පැලුවා අරුන්ගේ. ප්‍රශ්නය සුටුස් ගාලා විසඳුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විචා හරිම සුන්දර මතක සටහන් ටිකක්.මෙවැනි අපතයන් රට හැම තැනම ඉන්නවා.හරිම කරදරයක්.දෙකක් වදිනකන් හරියන්නෙ නෑ.

      Delete
  7. අම්මෝ බයේ බැ , මෙයා හෙන චන්ඩියෙක්නේ

    ReplyDelete
    Replies
    1. නෑ බං චන්ඩිකමක් නෙවෙයි.ගියේ හරි වැරැද්ද කතාකරන්නයි.අවාසනාවට උන්ට ඒ බාසාව තේරෙන්නෙ නැහැ.ඉතිං මම වෙන මොනව කරන්නද?

      Delete
  8. හැලපේ..................

    කතාව නම් නියමයි... වලිය ටික නම් නියමයි..... ඒත් අමරෙගේ කතාව ගැන නම් කණගාටුයි.... නොසැලකිල්ලයි හේතුව හැලපේ... මේක අපිටත් හොද පාඩමක් කියලයි හිතෙන්නේ.........

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කුරුටු ළමයි.අමරෙගේ නොසැලකිල්ලට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනානෙ.

      Delete
  9. හෙහ් හේ... වලියට යන හැම එකාම දන්නවා අනිවාරෙන් අන්තිම මොහොතෙ හරි දෙපැත්තට වෙන් කරන්න කට්ටියක් ඉන්නවා කියලා. ඒකයි ඔය බය නැතිව යන්නෙ උඩ දාගෙන. බැරිවෙලාවත් එහෙම නොවුනම තමයි ඔය පැණි බේරෙන්න කන්නෙ.

    සුන්දර අතීතයක්. අතීතාවර්ජනය හොඳ කලාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනොෂ්.මම නං ගියෙ ගහගන්න නෙවෙයි සාකච්ඡාවටයි.නමුත් උන්ට එක තේරුණේ නෑ.

      Delete
  10. එල ද බ්‍රා..අවශ්‍ය තැනදි නායකත්වය ගතයුතුමයි..ඊයෙ රෑ වුන සිද්ධියක් කියන්නම් මමයි සදුයි පොඩි මෙන්ඩයි ගියා පාමසියට හොදටම වහිනවා පාරේ අයිනේ ලොකු වලක් වතුර පිරිලා හින්දා වාහන වලට වල පෙනෙන්නේ නෑ දඩං බඩං ගාලා වාහන වලේ වැටෙනවා ඊට එහා පැත්තෙන් බෝක්කුව තව ටිකකින් වාහනයක් වලේ වැටෙන පාරට බෝක්කුවේ වදින බව මගේ ටිකිරි මොලේට දැනුනා..මම ලොකු කොල අත්තක් කඩාගෙන ඇවිත් එ්ක අර වල අයිනේ වාහන වලට පෙනෙන විදිහට හිටවන්න ට්‍රයි එකක් දෙනවා පාමසිය අයිනේ කඩපිලේ හිටපු කොල්ලෝ සෙට් එක මට කින්ඩියට හිනා වෙවි ඉදලා..මගේ පොඩි මෙන්ඩා එක පාරටම වැස්සට පැනලා මම ලගට දුවගෙන ඇවිත් පොඩි පොඩි ගල් කෑලි අහුලලා දිලා මට උදව්කරා..සදු වෙනදාට පොඩ්ඩට පින්නෙවත් එලියට බහින්න දෙන්නේ නෑ ඒවුනාට ඒ වෙලාවේ වචනයක්වත් කිව්වේ නෑ..ඊට පස්සේ ඔන්න අර කොල්ලෝ ටික ටයර් දෙකක් ගෙනත් එතන අයිනේන් තියලා රතු කොඩියක් දාලා මට වැඩේට උදව් කරා...සදුට ඇහුනලු කොල්ලෝ ටික කතා වෙනවා බලපන් බං අපි හැමදාම මෙතන ඉන්න උන් වාහන වලින් මෙතනින් යන්නේ ඒන්නේත් අපි අර අයියා හොද වැඩක් කරන්න හදනකොට අපි ඌට හිනාවෙනවා..කියලා එක කොල්ලේ එලියට බැස්සලු මම යනවා ඒ අයියට උදව් කරන්න කියලා...
    පොඩි මෙන්ඩියා තවම ඉස්කෝලේ යන්නෙත් නෑ..මට ඌ ගැන ආඩම්බරයි.

    ReplyDelete
    Replies
    1. නියම තාත්තයි, පුතයි. නිකම් බලාගෙන හිටපු හිපාටුවන්ට කනට ගැහුව වගේ ඇති.
      නියම ආදර්ශයක් පොඩි එකාට - එලද බ්‍රා මෙන්ඩිය -.

      Delete
    2. මේක මම හුඟක් රස විඳපු සිදුවීමක් මෙන්ඩා. මේකේ ලොකු ගැඹුරක් තියෙනවා. පොඩි මෙන්ඩා බුලට් බඩුවක්නේ.

      Delete
    3. මෙන්ඩ උඹ තෙමිල ගිහින් ගල් කාලක් ගැහුව නේද ? නැත්නම් උන ගැනෙයි.

      Delete
    4. මෙන්ඩා කවදත් බුලට් , එලද බ්‍රා මෙන්ඩෝ

      Delete
    5. එලද බ්‍රා! -තාත්තටයි පුතාටයි දෙන්නටම-(පුතාට යන්න දුන්න නෝනටත් ඕනනං බ්‍රා එකක් දෙන්නං)

      Delete
    6. පොඩි මෙන්ඩටයි ලොකු මෙන්ඩාටයි මන්න මගේ සැලියුට් එක!!

      Delete
    7. හරේ..ඔන්න මම අද ගමේ යනවා..නල්ලච්චිය වැවේ දුපතට ගිහින් බෝතලයක් ගහලා හෙලුවෙන් නාලා ගහට නැගලා වැවට බල්ටි ගහනවා..
      එහනම් ගිහින් එන්නම්...

      Delete
    8. මෙන්ඩි පවුලටම එළද බ්‍ර...:)

      Delete
    9. මෙන්ඩියාලා කිව්වොත් ඉතිං එලම තමයි. හොඳ දේවල් බෝ වෙනවා කියන්නේ ඔන්න ඕක තමයි. අප්පා කළ දේ පුතා නොකලා නම් ඌ නොට්ටිගේ පුතා කියන්නේ ඕක තමයි. ජයවේව මෙන්ඩියෝ !!!

      Delete
    10. මෙන්ඩාටයි,මෙන්ඩිටයි, පොඩි මෙන්ඩටයි මෙන්න අපේ සැලුට් එක!!!!

      Delete
    11. ගහේ කටු උල් කල මනායැ? මෙන්ඩලා පවුලටම ජය ශ්‍රී! මෙන්ඩ ගේ කොමෙන්ට් දකින කොට මට මගේ ගාල්ලේ හිටපු යාලුවෙක් මතක් වෙනවා. මීට අවුරුදු පහලවකට විතර කලින්.. කාලෙකින් දැක්කෙ නෑ.. උගේ ඒ කාලෙ නිතරම කටේ තිබ්බෙ.. 'එළද බ්‍රා- මල් දෙදරා'..

      Delete
    12. ආන්න මිනිස්සු. මෙන්ඩට හොඳටම දැනෙන භාෂාවෙන් ඔන්න එහෙනම් "එල ද බ්‍රා !!" :)

      Delete
    13. ඔන්න මෙන්ඩගෙ ෆැමිලි එකටම මගෙත් ආචාරය.එළ ද බ්‍රා!!!

      Delete
    14. ගින්දර කොල්ලෙක්...අනාගතය පැහැදිලියි මෙන්ඩිස් අයියා....එළද බ්‍රා....

      Delete
  11. හැක් එහෙනං අයිය තනියෙං ගේමට කතාකරල තියෙන්නෙ.
    අමරෙනං නියම ඩයල් එකක් තමයි. බෙහෙත් වලට වඩා මිනිහට ෂොට් එක ලොකු උනා.

    ReplyDelete
    Replies
    1. ගහගන්න නෙවෙයි ප්‍රසන්න මම ගියේ අසාධාරණයට එරෙහිව කතා කරන්නටයි.නමුත් ගේමක් දක්වා වැඩේ දිග දුර ගියා.

      Delete
  12. Replies
    1. ස්තූතියි බස්සි.

      Delete
  13. මේ කතාව කියවලා මට හිතුනා බං වෙලක් අයිනෙන් ඉඩං කෑල්ලක් අරං, ෂෝට් ඇඳිල්ල අතෑරලා සරම අඳින්න පට්ටාං ගන්න. ඕ යෙස්.

    ReplyDelete
    Replies
    1. උඹත් ෂෝට්ද බං අඳින්නේ ඩුඩ් අයියේ.යකෝ මෙච්චර මේ ගල්කිස්සේ ගමේ කොල්ලෙක් වෙලා මට නැහැ නේ බං ඔය එක ෂෝටක්වත්.කොටින්ම අපේ තාත්තා අඳින්නෙත් ෂෝට්.මට තියෙන්නේ සරම් විතරයි.හදිසියේ කඩේට යන්න ඕනේ වුනොත් "ඩෙනිම" තමයි.එත් සරමට බහින කම් ඉවසිල්ලක් නැහැ.ඒ තරම් සනීපයි බං.ඕ යෙස්..:D

      Delete
    2. නෑ බං ෂෝටවත් සරමවත් නැතුව ඉන්න තියෙනව නං මොන තරං සනීපද කියල හිතපන්.

      Delete
    3. මනෝජ් සරං ලෝලියෙක් මම වගේ.

      Delete
  14. රජ වත්තෙ රජ වැඩකාරයොත් ඉදල එහෙනම්, අපිටත් බණ්ඩාරනායක පාරෙ උන් වලියක් ඇද්ද අපිත් බේරිලා ගියේ උඹල ගහල වරෙල්ලකො ගම්පහින් යන්න කියල. සිම්පල්ම තියරිය ඒකනෙ.
    උඹට කියන්න හැලපෙ අයියෙ boxig ගහන්න ගිහින් අපිට නුවරදි ගැහුව මදි නොකියන්න boxing නෙමේ පොලුවලින්. උන්ගෙ කරුමෙට ඊලග පාර ආවෙ අපේ ඉස්කෝලෙට. මුන් පාන්දර 4.00 විතර මාරු වෙන්න ගියේ බණ්ඩාරනායක පාරෙන්, හිතන්නකො ඇම්බුශ් එක දාල තිබ්බෙ පල්ලෙහා ගේට්ටුවෙන් ගිහින් බෝ ගහයි, වෙලයි අතර මැද්දෙ .
    ගේමට ආවොත් අත අරින්නැති ගතිය එන්ඩ ඒ හරියෙ වතුර වල බලපෑමක් තියෙන්ඩ ඇති. මට තාමත් ඔහොමයි.

    ReplyDelete
    Replies
    1. චෙහ් කම්මලේ, යකෝ බෝ ගහ වෙල එහෙම මතක්වෙද්දී හිතට දැනෙන සුවය කියල වැඩක් නෑ බං.ඔය අපේ පැත්තෙ වතුර නාපු උන් ආපහු යන්නෙ නෑ කියලත් කතාවක් තියෙනවනෙ බං.

      Delete
  15. අම්මේ චණ්ඩි හැලපේ. අර ටැප් එක ගාව උන් සෙට් එක බයවෙන්න් ඇති ඇයි අම්මේ නීලමහා යෝධයා වගේ පොරක් ඇවිත් චැලේන්ජ් කලාම . මුගේ අතපයෙන් කෑවොත් ආයේ හොදි ඕනේ නෑ කියලා හිතන්න ඇති උන්ට .

    හැබැයි .....පපර පාන් ..මෙන්න රහද //"පිට්ටනියෙ මම ගහගන්නව කියල ගෙදරට ආරංචි උනොත් ඊට හපන් බැනුම්"// මම ටැප් එක ළඟ ටීම් එකේ හිට්‍යනම් කරන්නේ හෙමීට ගිහින් හැලප අක්කගේ කනේ තියනවා අන්න බොසා පිට්ටනියේ වලියක් කියලා ... එතකොට හම්බවෙයි සබ්බුව ...ඔ යේස්

    ReplyDelete
    Replies
    1. අම්මපල්ල බොල වැඩේ සිද්ද උනෙත් ඔය විදියටමයි.කෙළගෙන ඉවරවෙලා මම ගෙදර යද්දි මුළු සීන් එකම ගෙදර දන්නවා.මම එනකං බලං ඉඳලා.හපොයි හොදි ඕනෑ නෑ කියන්නෙ හොදි ඕනෑම නෑ බං.මට බැන්න බැනිල්ලක් හපොයි අපේ අම්මත් හිටියනෙ.දෙන්න එක්ක එකතුවෙලා,මැස්සෙකුට පියාඹන්න බැරිවෙන්න වාතය බැණුම් වලින් පිරිලගියා.

      Delete
  16. ඇතියන්තම් අමරෙට බීපුවා මොනවද කියලා නිච්චියක් නූනට හොද වෙලාවට බොන්න දුන්නෙ කවුද කියන එක මතක තිබුනෙ.

    ගෑණු මැද්දෙ කඹ අදිද්දි කොහොම තියෙන්න ඇත්ද නෙහෙ. ඇදලම බලන්න හිතයි මටත්. :D ;)

    හැලප අයියා පිට්ටනියෙ සිද්ධියට විරුද්ධ උන එක හරි. අර වගේ චණ්ඩි රජකරන්නෙ කවුරුත් උන්ට එරෙහි නොවන තාක් කල් පමණයි.!

    ReplyDelete
    Replies
    1. චණ්ඩි රජකරන්නෙ කවුරුත් උන්ට එරෙහි නොවන තාක් කල් පමණයි.!
      එල ද බ්‍රා..
      එකගයි

      Delete
    2. අමරයට බොන්න දීපු එක මැරෙනකන් ඌට මතක තිබුණමම හොඳ කඹයක් ගන්න ඉන්නෙ මෙහෙන් ටොප් කඹ තියෙනවනෙ.අරං කඹ ඇදිල්ලට දෙනවා.
      ඔව් ප්‍රියා කවුරු නමුත් අසාධාරනේට විරුද්ධ වෙන්න එපැයි.

      Delete
  17. හැලපෙ ලට පිට්ටනියක් ඔහොම හරි සෙට් වුණා අපි වොලිබෝල් ගහපු, ක්‍රිකට් ගහපු, එල්ලේ ගහපු , වයිම දාපු ඉඩම් කෑල්ලේ අයිති කාරයෝ ඇවිල්ල ගෙවල් හැදුවට පස්සේ අපිට සොරි වෙලාම ගියා ..

    ReplyDelete
    Replies
    1. අපේ වාසනාවට.වෙන මොකුත් නෙවෙයි.අපි සෙල්ලං කරපු ඉඩමත් අයිතිකාරයො බෙදාගෙන කම්බි ගහගත්තා.වෙලාවට අලවත්තෙ ඉඩම බෙදන්න ගත්තෙ.හැමදේම ගානට සෙට් වුනා.

      Delete
  18. ද චන්ඩි හැලපේ කියලා කාඩ් එකක් වැදුනද ඊට පස්සේ...?

    ReplyDelete
    Replies
    1. නෑ බං.ඒ උනාට ගමේ යම්කිසි නමක් නං ඇතිවුණා.

      Delete
  19. හැලපෙයත් 'කලා'වට වගේම 'වලි'යටත් බර පොරක් කියලා අදනෙ දන්නෙ. කියන්ටෙපෑ කලින්!

    ReplyDelete
    Replies
    1. කලාබර විතරයි කැන්ඩියන් වලිබර නෑ.

      Delete
  20. මට ක්‍රිකට් බැරිවුනත් මටත් ඔය වගේම අතීතයක් තියෙනවා.හැබයි ඉතින් ගුටි කන්න පටන්ගන්නෙත් මගෙන්ම තමා මොකද මම තමා මාර්කින්ග් කරන්නෙ. ඉහින් මට හිබ්බ කැත පුරුද්දක් තමයි කොක්චර බයානක ටීම් එකකක් වුනත්. ලකුනක් දෙකක් අපිට වාසිවෙනවිදියට වැටීම.ඉටින් වලි තමා

    ReplyDelete
    Replies
    1. හපොයි,හොර ලකුණු දාල අහුවුනොත් ඉතිං හොදි ඕනෑම නෑ.වැලි පුරේ.

      Delete
  21. සෑහෙන්න සුහදව සංවාදේ ගිහිං තියනවා. හැබැයි හැලප අයිය කියපු වචන ටිකත් දාන්න තිබ්බේ :)

    ReplyDelete
    Replies
    1. මං කියාපු වචන ටික දැම්මෙ නෑ.මොකද ඉතාම සුහද සංවාදයක් නොවැ.අනික මාත් ඉතිං බෝ පැලේ වාගෙ එකානෙ.

      Delete
  22. එදා ගහගත්තා නම් තමයි වැඩේ වෙන්නේ,අපේ ගමේ පිට්ටනියක් නැහැ නේ.එක නිසා වලිත් නැහැ,සෙල්ලමුත් නැහැ.
    කොච්චර වුනත් උඹලා ගහ නොගත්තු එකත් හොඳයි හැලපයියේ,නැතිනම් උඹට ගුටි කන්න වෙන්නේ ගෙදර ගිහින් හැලපක්කාගෙන්...:D

    ReplyDelete
    Replies
    1. ගහගත්තෙ නැතුවට ගෙදරින් නං අඩු නැතුව හම්බ උනා බං.අඩු නැතුවම හම්බ උනා.අපරාදෙ කියන්න බෑ.

      Delete
  23. චන්ඩියෙක්ට හැලපයා කියලා නමක් තියනවා ඇහුවමයි හැලපයෝ මරු කතාව හි හි

    ReplyDelete
    Replies
    1. තැන්කු ෂැගියෝ,හැලපයොත් චණ්ඩි වෙන වෙලාවල් තියෙනවනෙ.

      Delete
  24. මොකක් ද කොස්ගහ පැත්ත කියන්නෙ. පිට්ටනියෙ කොස් ගහක් තියනව ද, නැත්නම් ගමක් ද ?

    හැලප අයියා අකර සෙට් එකට බනින්න එපෑ "මං තොපෙන් හැලප හදනව කැන්ද කොල වල තියල" කියල. :D

    රසබර දුක්බර සමබර මතකයන් !!!. අමරෙ... කිව්වට බෑ ඉතින් වෙලාව ආවම ඔහොම තමයි. සුළං පහස නම් විඳින්න ඇත්තෙ අමරෙ නෙවෙයි මං හිතන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. *අකර නොවේ අර

      Delete
    2. පිට්ටනියෙ පාර පැත්තට අති විශාල කොස්ගහක් තියෙනව කොස්ගහ පැත්ත කිව්වෙ ඒ පැත්තටයි.
      මම එච්චර බැන්නේ නෑ බං උන් තමා මාව කන්න හැදුවෙ.
      හුළං පහස වින්දෙ අමරයගේ මල්ලි අර කොච්චි සාත්තුව හම්බ උනේ අන්න ඌ.

      Delete
  25. හැලපේ හැලපේ කිව්වට හෙන චන්ඩි පොරක්නේ. ඇත්තට ඒ වෙලාවේ අඩියක් වත් ගහලා හිටියද ? අපේ මල්ලිලාත් මේ වගේ දිගුකාලීන වලියක් ඇදගෙන තිබුණා. මුන් එහෙදි කනවා, උන් මෙහෙදී කනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි සුදීක චණ්ඩි කමකට නෙවෙයි.වැඩේ ඉවරවෙලා නං අපි කට්ටිය පොඩි අඩියක් ගැහුවා සන්තෝසෙටත් එක්ක.

      Delete
  26. අමරෙලා වගේ පොරවල් නැතිවුනාම ඒ මතකය නැතිවෙන්නේ නැහැ. ඒකනේ මෙහෙම ලියවෙන්නේ. අනිත් එක ඒ වගේ හිඩැස් පුරවන්න බැහැ. මගෙත් කුඩාකාලේ ඉඳන්ම අල්ලපු වත්තේ හිටියේ වඩු බාසුන්නැහෙලා පවුලක්. පුත්තු හතරදෙනාමත් වඩ්ඩෝ.වඩු මඩුවක් තිබුනා. මුන් හතර දෙනාම බොනවා. ඊට පස්සේ ඇරගන්නවා. කුණුහරුප හදලා මික්ස් කරලා එක එකාට පැරදෙන්නේ නැතුව කියන්නේ. දැන් ඉන්නේ හතර දෙනාගෙන් එකයි. අනිත් ට්‍රිබලම වැඩි කාලයක් ජීවත්වුනේ නැහැ. හොඳ එවුන්.

    ReplyDelete
    Replies
    1. ඇත්ත බං අමරෙල වගේ උන්ගෙ හිඩැස පුරවන්න කවුරුවත් තාම බිහිවෙලා නැහැ.මම හිතන හැටියට එහෙම වෙන එකකුත් නෑ.

      Delete
  27. හැලප අයියගේ මෑත කාලේ පෝස්ට් ඔක්කොම වගේ කියෙව්වට කොමෙන්ට් එකක් දැම්මේ නෑනේ.. ඕන් එහෙනම් මමත් ගොඩ උනා හැලප කඩේට..

    මේ මාතෘකා දෙකම.. අවුරුදු උත්සවත් ක්‍රිකට් ටූනමන්ටුත් හරිම සමීපයි.. අතීත මතක ගොඩයි.. ඒ දෙකටම වඩා හිතට වැදුනා අමරෙගේ මතකය.. ඒ වගේම අමරගේ මරණය..
    මී උණට අරක්කු තනිකරම වස.. අපේ අසල්වැසියෙක් පහුගිය අටවෙනිද නැති උනා ඔය හේතුවෙන්ම.. (මී) උණට බෙහෙත් වෙනුවට අඩියක් ගහල බුදියගෙන.. දැනුවත් බාවය හරිම වැදගත්.. විශේෂ ස්තූතිය මෙය මෙහි මතක් කරාට.

    ඉඩ තියෙන විදියට කලා හිත පැත්තෙත් ගොඩවෙන්න.. ජය ශ්‍රී!

    ReplyDelete
    Replies
    1. කල්‍යාණ මිත්‍රව ආදරයෙන් පිලිගන්නවා.
      ඔන්න ඔය මී උණ නිසා අපේ ගමේ කීප දෙනෙක්ම නැතිවුනා.හරිම කරුමයක් තමා.
      කලා හිත පැත්තෙ ගොඩවුනා විතරක් නෙවෙයි ගෙනත් රෝලෙත් එල්ලගත්තා එහෙනං.

      Delete
  28. යකෝ..හැලප ය රජ වැඩ කාරයෙක්නේ..

    නියම කතාව ...

    ReplyDelete
    Replies
    1. අමරේ ගැනනම් මටත් දුකයි ..

      Delete
    2. ස්තූතියි විභීෂණ.

      Delete
  29. නම හැලපය උනාට වැඩ වන්ඩුවා වගේනෙ යකෝ බලාගෙන ගියාම!

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. නෑ බං වන්ඩුවා වෙන්නත් වෙලාවක් තියෙනවනෙ.

      Delete
    3. කෙන්ජි,මොකෝ වැටවල් ගගහ ඇවිදින්නෙ කියන්න දෙයක් නැතෙයි.

      Delete
  30. කාලෙකින් උඹත් ලියලා. කාලෙකින් මටත් කියවන්න ලැබුනා. ඔහොම යන් ඔහොම යන්!!

    ReplyDelete
    Replies
    1. කාලෙකිං යමක් ලියවුනා තිලකේ.දැන් ඉස්සර වගේ බහුලව ලියවෙන්නෙ නෑ.

      Delete
  31. හැලපයියා කාලෙකින් බොහොම රහට කථාවක් ලියලා...අර ඉස්සර තිබුන කථා වල රහ මේකෙත් මදි නැතුව තියෙනවා...අමරෙ නම් බොහොම අපූරු චරිතයක් කියලා පේනවා...වීදුරුවෙ තිබුන ෂොට් එක ඇදපු විදිය නම් පට්ටම පට්ටයි.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිරා.ඔය අමරෙ ගැන මම කලිනුත් ලීවනෙ.මරු බඩුව අප්පා.

      Delete
  32. Okkoma post tika dawas 2 kin kiyewwa. Poth walata adaraya karana, sahena athdekeem ethi keneku lesa penawa. Eheth hariyata Muchalinda talks thiyanawa. Game anek ayage wisthara anuwa koi tharam gami , pedesaka dushcharitha piruna watapitawakin da oba bihiwee thiyenne kiya therenawa. Obath ehi kotaak misa, amuth porak nowana bawa kiyawana apata therunata obata therenne naha.obage seeyage sita situwaru wage pennanna hadanawa. Me blog kiyawanne Govigama aya pamanak nemey.Govi kulaye aya usas kiyala oba hithanawa nam obe danumen saha kiyaweemen athi palaya kumakda? Ma handunana Phillipphine kenek ahuwa , obe rate caste system ekak thiyanawada kiyala. Boho kalak UK indapu Mage yaluwa panapu gaman keewa, apo naha, ewa thiyenne Indiansla athare kiyala. Pasuwa ohu mata kiwwa, mama baya wuna oya ow kiyawi kiyala,

    ReplyDelete
    Replies
    1. විචාරයට ස්තූතියි ඇනෝ,කිසි කෙනෙක් මැරිච්ච බල්ලෙකුට පයින් ගහනව දැකල තියෙනවාද?ඊළඟ වතාවෙ සිංහලෙන් කමෙන්ට් කරාවි කියල හිතනවා.

      Delete
    2. Contd. caste kiyanne lajja nathi deyak, api nodiyunu aya kiyala eya hithawi kiyala thamay, Mage yaluwa baya wune.govi kulaya raja kale usas kulayak nemey. Deva kiyana kulaya thamay rajun Saha ihala niladhareen indala thiyenne. ( mahawamsa, Wikipaedia) sudda gen pasuwa thamay govi kulaya udata awith, e madiwata pahath kulawala aya aagamata gihin thanathuru aran pora wal wela thiyenne. Oyage nuugath amma ehema hithuwa hari kiyamuko. Eheth poth kiyawala danuma thiyana oba me wage dewal gana hithana widiha harima primitive. Handurukam beragaththa kiyalath liyala thibuna.e wagema me blog purama thiyana yatipela kiyanakota therenawa, oba math se mathpan walata lol wuu, sathun maragena Kanna wunath kamathi, ahinsaka sathakuge jeewithaya thuttuwakata wath maayam nokarana maanasikawa nodiyunu ayek kiyala.beepuway, saththummaragena kapuway, anunge ganunta kotu panapu eway, thamange trumpet eka thamanma pimbina eway, eka eka ratawala giyapu Maha Muchalinda katha wasthuy, harunu wita, wayasa wisin wath maturity ekak laba nodun harasun punguleku wisin liyana lada pal haeli thamay me blog eke thiyenne.

      Delete
    3. I am the above anno. Apparently my Singlish has made you uncomfortable. I don't have Sinhala font. So I decided to comment in English. I gave you my candid opinion. I could have patted on your back and shouted BRAAVOOOO above the roof tops, afte reading your blog. But when you take it as a whole, you would understand what I have commented has a value in it.

      Delete
    4. ඇනෝ,
      මගේ බ්ලොගයේ යටිපෙළ කෙසේ වෙතත් ඔබේ කමෙන්ටුවේ යටි අරුතක් ඇති බවට මා තුළ තිබුන සැකය ප්‍රස්තුතයට කිසිසේත්ම අදාළ නොමැති තුන්වන පාර්ශවයක් ඈඳා ගැනීමෙන්ම තහවුරු වෙනවා.ඒ නිසාම මේ කමෙන්ටුව මා ඉවත්කර දමනවා.මා ගැන වූ ඔබේ තර්කයට පිළිතුරු වශයෙන් මට කියන්නට ඇත්තේ ඉහත කී අදහසමයි.ඔබේ අරමුණ පැහැදිළි බැවින් මින් ඉදිරියට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම අවශ්‍ය නැත.

      Delete
    5. අන්න හැලපේ ඔයා මාතලන් ගෙ බ්ලොග් එකේ එයාගෙ කුලය ගැන ලියපු එකට තද වෙලා. හැලපය කියලා ඔයාට බැනලත්

      Delete

ඔබේ අදහස්