Thursday, December 31, 2015

නව වසර සහ බ්ලොග් අවකාශය



අවුරුද්ද අවසාන වී නව වසරක් ලබන්නට තව ඇත්තේ පැය ගණනකි.  මා විප්‍රවාසයේ ගෙවන සිව්වැනි වසර ක්‍රමයෙන් ගෙවී යමින් පවතී.  සිංහල සහ හින්දු අලුත් අවුරුදු හතරක්ද නත්තල් හතරක්ද ලංකාවේ ගෙවන්නට නොහැකි වුන බව මට මතක්වෙන්නේ දැන්ය.  මෙවැනි කාලසීමාවන්හි නොස්ටැල්ජියාව උපරිමයටම නගින්නේ ඒ දිනවලට සිතට දැනෙන පාළුවත් එක්කමය.   ඒ කාලයන්හි නොස්ටැල්ජික කතා ලියමින් පාළුව තනිකම මගහරවා ගන්නට යත්න දරමි.   කොහෙ හිටියත් ලංකාව වගේ නෑ කියා අපි කට්ටිය එකතු පහද වෙන තැන්වලදී කතාබස් කළත් ලංකාවට ගිහිං සතියක් ගතවෙන්නටත් පෙර ආපහු දුවගෙන එන්නට හිතෙන්නේ කුමක් නිසාදැයි මම නිතරම කල්පනා කරමි.   බොහෝවිට ඒ සාපේක්ෂව ලංකාවේ ජීවත්වීමට ඇති පහසුකම් මඳ බව වියයුතුය.   නමුත් අපි කතාකරන්නේ ලංකාවට පණ දෙන්න වගේය.   ඒ උනත් විදේශවල ජීවත්වෙමින් ඒ රටවල ඇති  පහසුකම් සියල්ලම අත්විඳිමින් ඒ රටවලටම පලු යන්නට බැන වදින ලාංකිකයන් මා දැක ඇත්තේ එක්කෙනෙක් දෙන්නෙක් නොවේ.  ලබන අවුරුද්දේ ස්ථිරවම ලංකාවේ පදිංචියට යන බව කියන බොහෝ දෙනෙක් ඊට අවුරුදු ගණනකට පසුවත් ඒ කතාවම කියමින්  ජොලියක් ගනිති  අපේ හැටි එහෙමය.

ඒ කාලයේ යුරෝපයේ ජීවත්වූ ද්‍රවිඩ ප්‍රජාව බොහොමයක් 2009 වනතුරු ජීවත්වුණේ මනසින් මවාගත් ඊළමකය.  ඔවුන් කිව්වේද ඊළම ලැබුන පසු ලංකාවට යන බවය.  එහෙම කියමින්ම ඊළමේ නියෝජිතයාට මාසිකව ගෙවිය යුතු මුදල ගෙව්වේ ටිකක් විතර කම්මැලිකමින් සහ හිතේ දුකකින්ය.  මොකද කිව්වොත් ඊළම කොච්චර උවමනා උනත් ගාන ගෙවන විට ටිකක් දුක හිතේ.  එහෙම උනත් ඇත්ත වශයෙන්ම ඊළම උවමනා උනේ විදේශවල සියලු පහසුකම් ඇතුව ජීවත්වෙමින් ජොලියට ඊලම ප්‍රමෝට් කරන උන්ට මිසක වන්නියේත් උතුරේත් එදා වේල ගැටගහගන්නේ  කොහොමද කියා දෙළෙහෙමින් හිටපු අහිංසක ද්‍රවිඩයන්ට නොවේ.  මට මේ ටික ලියවුනේ ඊළමට පණ දෙන්නට හෙවත් ඊලම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හිටපු ගොන් ද්‍රවිඩ තරුණයන් රැළ දැන් කුමක් කරනවාද කියා මතක් වුන නිසාය.   යුරෝපීයන්ට දෙකට නැවීගෙන උන්ගේ අහත් පහත කරමින් ඉඳීම ලංකාවේ ජීවත්වනවාට වඩා නම්බුකාර යැයි උන් හිතනවා ඇත.   එක වතාවක් බ්‍රසල්ස්හි යුරෝපීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල  අසළදී ඊළමට එරෙහිව මා සිදුකළ ක්‍රියාවකට උරණවී මාව මරාගෙන කන්නට හැදු ද්‍රවිඩ තරුණයන් කණ්ඩායම දැන් මොනවා කරනවා ඇත්දැයි මතක්වන විට සිනහ පහළවේ.  මම මෙහෙම කිව්වේ ජාතිවාදය කරපින්නා ගත් සිංහල  උනුත්  ද්‍රවිඩ උනුත් දෙගොල්ලන්ම එක මල්ලෙ පොල් වැනියයි හිතෙන්නේ උන්ගේ කතාවන් ක්‍රියාවන් දෑස්වලින්ම දැකගත් නිසාය.

වැඩිපුර ලියන්නට වෙලාව සොයාගැනීමේ අපහසුවකින් සිටියත් අවුරුද්දේ අවසාන පෝස්ටුව ලියා මගේ පාඨකයන්ට මෙන්ම බ්ලොග් අවකාශයේ සියලුම දෙනාටත් නව වසරට සුබ පතන්නේ නැතුව ඉන්නට කොහොමටවත් නොහැකිය.   මේ  වසර හිතාගන්නටත් බැරි තරම් වේගයෙන් අවසාන විය.   ඒත්  එක්කම අලුත් බ්ලොග් ලියන්නන් කීප දෙනෙක් පැමිණීම සිත සතුටු කරයි.  ඒ වගේම ලියමින් හිටි අය එක්වරටම සමුගැනීම සිතට ගෙන එන්නේ දුකකි.  මෑතකදීම පෝස්ටුවක් ලියමින් සමුගත් මධ්‍යස්ථ මතධාරියා ඉන් එකෙකි.   උගේ සමුගැනීම ගැන කීප තැනකම කතා බහ ඇතිවූ නිසා මම වැඩිදුර යමක් නොකිව්වත් මධ්‍යස්ථ මතධාරියා කියන නමට අනන්‍ය වීම සඳහා ඔහු  පහුගිය කාලය පුරාම සෑහෙන අරගලයක යෙදී සිටියේය.  මන්ද කිවහොත් ඔහු ලියු පෝස්ටු සහ කමෙන්ට් වලින් පෙනීගියේ මධ්‍යස්ථ බවක් නොව අන්තවාදී බවක්ය.   කෙසේ වුවත් සංවාදයකට එළඹීමට සහ දීර්ඝ කමෙන්ට් ලිවීමට ඔහු දැක්වූ සමත්කම අගය කළ යුතුය.   මට නම් ඇත්තටම එපමණ දිග කමෙන්ට් ලියන්නට කම්මැලිය.  කෙසේවුවද විවේකය ලැබුණු විට හෝ ඔහු නැවත ලිවීමට එන්නේ නම් අප සතුටුය.

ඉතිං අවසාන වශයෙන් බ්ලොග් අවකාශයේ සැරිසරන ලියන්නන් ලියන්නියන් කියවන්නන් කියවන්නියන් කමෙන්ට් කරන්නන් කරන්නියන් සෑම සියලු දෙනාටම ලබන්නාවූ 2016 වසර ප්‍රීතිය සතුට සමගිය සමාදානය පිරි සිතුම් පැතුම් ඉටුවන බත බුලතින් සරු වැඩි වැඩියෙන් පෝස්ට් කමෙන්ට් ලියැවෙන ජාතිවාදය පිටුදකින සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මාත් හැලපිත්  හැලපැට්ටාත්ය ෴