Friday, April 5, 2013

46.ආපසු පැමිණීම


අසෝකන් සති අන්තෙ දවස්වල හවසට අපේ ගෙදර එන්නෙ මොනවහරි ටිකක් බීල මාත් එක්ක පරණ කතා කියකිය විනෝද වෙන්න....සතියක මහන්සිය දුරුකරගන්නෙ එහෙමයි මම හිතන හැටියට....
අපි දෙන්න එකතූනාම කරන්නෙ කාව හරි බයිට් කරන එක තමයි......ගොඩක් වෙලාවට අපේ බයිට් එක විශ්වනාදන්.

විශ්වනාදන් අන්නා නගර්වල මැඩ්‍රාස් මෙඩිකල් මිෂන් රෝහලේ ප්‍රතිකාර ගන්න එන ලාංකික රෝගීන්ට මාර්ගෝපදේශනය වාගෙම භාෂා පරිවර්තක වැඩෙත් කරනව...මේ නිසා නිතරම රෝහල ඇතුළෙ ගැවසෙන විශ්වනාදන් රෝහලේ සියලුම දෙනා හොඳින් අඳුනන චරිතයක්......කාගෙන්වත් කරදරයක් නැතිව රෝහලේ ඕනැම තැනක සැරිසරන්න ශ්‍රී ලංකා ගයිඩ් කියන නම යොදපු රෝහල් හැඳුනුම්පතක්ද පාලනාධිකාරිය විශ්වනාදන්ට දීල තිබුණා.

රෝහල විසින් විශ්වනාදන්ව පිළිගැනීමත් එක්කම ඔහුගෙ ආදායම ඉහළ ගියා....අපේ ඔෆිස් එකට රෝගීන් එක්ක ආවෙ ගියෙ විශ්වනාදන්.....අපි ඔහුව හැඳින්වුවෙ ඩොක්ට විශ්වනාදන් කියල.

ඔෆිස් එකට එන දවසට විශ්වනාදන් මට කතාකරනව......

සර් මම අද එනවා.....පාන් එහෙම ඕනැනං කියන්න.....

ලංකාවෙ මනුස්සයෙක් අන්නා නගර්වල කරගෙන ගිය බේකරියකින් විශ්වනාදන් ලංකා පාන් අපට ගෙනත් දෙනවා.....ඔෆිස් එකේ ඔක්කොම වාගෙ ලංකා පාන් කන්න කැමති නිසා වාහනේ රෝස් පාන් තැටි පාන් එහෙම පුරෝපු ලොකු උරේකුත් දගෙන තමයි විශ්වනාදන් එන්නෙ.

අසෝකන් නං විශ්වනාදන්ට කිව්වෙ පාං මාම කියලයි....

දෙකක් වදිනකොට අසෝකන්ට විශ්වනාදන්ව මතක් වෙනවා.....

පාං මාමට කතාකරමුද.....

මම හිනාවෙනකොට ඔන්න අසෝකන් කෝල් එක ගන්නව......විශ්වනාදනුත් දවසෙ වැඩ ඉවරවෙලා පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාගෙන පරණ දෙමළ සිංදුවක් අහමින් සතුටෙන් සමාදානෙන් ගෙදර ඉන්න වෙලාවනෙ....

හලෝ.....ඩොක්ට විශ්වනාදන් ප්ලීස්.....

යේස් යේස්....ටෙල් මී....

ඩොක්ට මගෙ මේ පුකේ අමාරුවක් තියනව....ඒකට බේතක් කරගන්න කවදද හම්බවෙන්න පුළුවන්.....

අඩෝඕඕ.....කවුද යකෝ කතාකරන හු@#$ගෙ පුතා....තොගෙ අම්මට....

තිත්ත කුණුහරුප ඉවරයි...

අපි දෙන්න හූ කිය කිය හිනාවෙන්නෙ බඩ අල්ලගෙන.

තවත් දවසක බොන ගමන් අසෝකන් කියනව.....

යමුද මදුරෙයි ගිහින් එන්න.....

මමත් හා කිව්වා....ටෙලිපෝන් එක ගත්ත ගමන් අසෝකන් එග්මෝර්වල මදුරා ට්‍රැවල්ස් එකට කතාකරල ඊළඟ සති අන්තෙ මදුරෙයි වලට ටිකට් බුක් කලා....පුල් හතරයි බාග දෙකයි.

ඒ වැඩේ එතනින් ඉවරයි අපට ගමන අමතක වෙලා ගියා....

දවසක් මදුරා ට්‍රැවල්ස් එකේ කෙල්ල කෝල් එකක් දෙනව ඇවිදින් ටිකට් අරන් යන්න කියල......එතකොට තමයි අපට ගමන මතක් වුණේ.....ගමන යන්න කිසිම ලෑස්තියක් නෑනෙ....

ගමන යැවෙන්නෙ නෑ....ටිකට් කැන්සල් කරන්න....

එහෙනම් කැන්සලේෂන් චාජස් ගෙවන්න......

රුපියල් හාරසිය ගාණක්.....මොකටද නිකං සල්ලි ගෙවන්නෙ...ඔන්න ඔහෙ යමු කියල ගිහින් ටිකට් අරගෙන ආවා.

ඊළඟ සිකුරාදා රෑ කෝච්චියට නැග්ග අපි පහුවදාට එළිවෙද්දි මදුරෙයිවල....නවාතැන් පොළකින් කාමර දෙකක් අරන් මහන්සි ඇරල දවල්ට කාල එහෙම අම්මන් කෝවිලට ගියා.

මදුරෙයිවල අම්මන් කෝවිල දකුණු ඉන්දියාවෙ තියෙන අති විශාල කෝවිල් වලින් එකක්.....එක සමානම දොරටු හතරක් ඇතුල්වෙන්න පිටවෙන්න තියෙන්නෙ...හරියට සළකුණු තියාගෙන නොගියොත්  ආපු දොරටුවෙන් නැතිව වෙනත් දොරටුවකින් පිටවෙලා අතරමං වෙන්නත් පුළුවන්......වන්දනා කාරයො ඇතුලෙ සූ ගාල.

ගාණක් කඩාගන්න බලාඉන්න පූසාරියෙක් අපට කොක්ක ගැහුව.....ඌ දැනගත්ත අපි ඉන්දියාවෙ නෙවෙයි කියල......පූජාවක් තියන්න කියල ඇතුළට එක්කං ගිහින් යාතිකාවකුත් කරල මාව පැත්තකට එක්කරන් ගිහින් සුදු හඳුන් කල්කයක් මූණෙයි ඇඟෙයි ගෑව......කෝවිල ඇතුලට යනකොට කමිසෙ ගලෝලනෙ යන්න ඕනැ......ගෑණුන්ට නං එහෙම ඕනැ නෑ.

හඳුන් කල්කෙ ගාල බෙල්ලට මල්මාලෙකුත් දැම්ම....දැන් මම හරියට අර හිස ගසා දාන්න ගෙනියන හොරදෙටුව වගේ.

 ගාණ කඩාගත්ත පූසාරිය මාරුවෙලා ගියා.....අපරාදෙ කියන්න බෑ හඳුන් ඇඟේ තවරපුවාම හරිම සනීපයි හරියට පවන් ගහනව වගේ.

කෝවිලේ සෑහෙන වෙලාවක් ගතකරපු අපි එළියට එනකොට හැන්දැවෙලා.....කාන්තාවන්ට ෂොපිං යන්නත් ඕනැය කියනව....ආපහු එන පාරෙ තිබ්බ තරමක් ලොකු කඩේකට අපි ගොඩවැදුනෙ බිරිඳට උණුවතුර බෝතලයක් ගන්න ඕනැකරල තිබුණු නිසා.....උණුවතුර බෝතල් ගන්න ගියාට ගෑණුන්ට කඩේ තියෙන හැම මගුලම අවුස්ස අවුස්ස බලබලා ගණං අහන්න එපායැ....කඩේ තරුණයො දෙන්නෙක් ඔය වැඩේ කරන අතරෙ මමයි අසෝකනුයි පැත්තකට වෙලා කතා කර කර හිටියා.

මහත්තයල ලංකාවෙ කොහෙද.....

අපි සිංහල කතාකරනව අහගෙන හිටිය කඩේ තරුණයෙක් අපෙන් ඇහුවා....

අපේ ටවුමෙ නම කියපුවාම ඒ තරුණය ඇතුළෙ හිටපු තව කෙනෙකුට කතාකළා....

අයියෙ......මේ ගොල්ලො අහවල් දිහෑලු....

ඒ ගමන ලොකු මුදලාලිත් එළියට ඇවිත් අපෙන් විස්තර ඇහුවා.....

බලපුවාම මේ අය කේ.ඇම්.පිච්චෙයි රාවුතර් කියල අපේ ටවුමෙ සිල්ලර කඩ දෙකකුයි වටද්දර පොල්තෙල් මෝලකුයි පවත්වගෙන ගියපු ලොකු ව්‍යාපාරිකයො.....ඔය කඩවලින් අපිත් ඒ කාලෙ ගණුදෙනු කලානෙ...

 1983 ජූලි කලබල වලදි ජාත්‍යාල කාරයො මේ ව්‍යාපාරික ස්ථානයි තෙල් මෝලයි කඩල ගිණිතියල දැම්මහම මේ ගොල්ලො පණ බේරගෙන ගිහින් දැන් මදුරෙයි වල ව්‍යාපාර කරගෙන ඉන්නව.

අපෙන් විස්තර අහල හරි සතුටු වුණු මුදලාලි ටවුමෙ එයා දන්න තව අයගෙත් විස්තර ඇහුවා....අල්ලපු හෝටලෙන් බීම ගෙනල්ල අපිට සංග්‍රහයකුත් කළා.

සිංහල අය ඒ ගොල්ලන්ගෙ මුළු සේසතම නැත්තටම නැතිකලත් සිංහලයො එක්ක කේන්තියක් ඒ අයගෙ තිබුණෙ නෑ.......කට්ටියම අපිත් එක්ක  පින්තූරත් අරන්  ආයෙ එනව නං නොවරදවාම කලින් දන්වල එන්නත් කිව්වා.

 ඉරිදා අපි ආපහු චෙන්නායි වලට ආවා....

සුපුරුදු විදියට සඳුදා වැඩට ගිහින් දවල් කෑමත් කෑවා....ටිකකින් කකුල්වල කැසිල්ලක් පටන් අරන් ඇඟ හැමතැනටම පැතිරුණා.....ඇඟ පුරාම පලු දාල ඉවසන්න බෑ කැසිල්ල......

සිරිසේනට කතා කරල මාව ගෙදර ගිහින් දාන්න කිව්වා....ගෙදර ගිහිල්ල ඇඟ හේදුවත් වැඩේ හරිගියෙ නෑ...

බිරිඳගෙ ඔෆිස් එකේ වඩේ හෙවත් වඩේ වීරසිංහත් එදා ලංකාවෙ ඉඳන් අපේ ගෙදර ඇවිත් හිටියා දිල්ලිවල ඉගෙනගන්න  දුව බලන්න රෑ කෝච්චියෙ යන්න.

 අපි බේත් ගන්න ඩොක්ට සේකර්ගෙ බේත් ශාලාව තිබුණෙ ගෙවල් ලඟම හන්දියෙ...හයේ හතරෙ කාමරයක් වුනාට ඒ පොඩි කෑල්ලෙ ඇඳන් දෙකකුත් දාල දෙන්නෙකුට ඩ්‍රිප් දෙන්න විදියටත් හදාගෙන තිබුනා....ඩොක්ට බේත් දෙන්න එන්නෙ හවස හයට....හය වෙනකන් ඉවසගෙන ඉන්නව කියල හිටියා....ඔය අතරෙ අසනීපෙ ගැන ආරංචි වුණු අසෝකනුත් ගෙදර ආවා.

හවස අසෝකනුත් එක්ක ඩොක්ට ගාවට යද්දි මට හොඳටම අසාධ්‍යයි....මාව දැක්ක ගමන්ම මම හිටපු තත්වෙ ඩොක්ට තේරුම් ගන්න ඇති.....මගෙ අතින් අල්ලල ශීඝ්‍රයෙන් අඩුවීගෙන යන නාඩි බලනකොට අසෝකන් ඩොක්ටට මං ගැන දෙමළෙන් මොනවද කියන්න ගත්ත...වහාම අසෝකන්ව නවත්තල....

විස්තර අහන්න කලින් ලෙඩා බේරගෙන ඉන්න ඕනැනේද කිව්වා...

සිහි නැතිවෙන්න මොහොතකට කලින් මගෙ පිටිඅල්ලෙ නහරෙකට ඩොක්ට පිට පිට ෂොට් දෙකක් දුන්න මට මතකයි....

මට සිහිය එද්දි එක ඩ්‍රිප් එකක් ඉවරවෙලා දෙවෙනි එක දුවමින් තිබුනා....

අසෝකන් බයවුනු පාර ගෙදර දුවල ගිහින් බිරිඳත් එක්කරගෙන ඇවිත්.....

ඊට පස්සෙයි ඩොක්ට මට කතාකරල වෙච්චිදේ මොකක්ද කියල ඇහුවෙ...

අපි මදුරෙයි ඉඳල ආපහු එද්දි කෝච්චියෙදි දවල්ට කාපු කුකුල් මස් සහිත කෑම වේල විසවෙලා....

දකුණු ඉන්දියාවෙදි වාහනවල යනකොට සකසල දෙන මස් මාලු කන්න මගෙ කොහෙත්ම කැමැත්තක් නැතත් පුතාටයි බිරිඳටයි ඕනැම කිව්ව නිසා බුරියානි ඕඩර් කළේ.....ඒ දෙන්නට බඩ එළිය ගිහිල්ල ගිහිල්ල හරිගියාට මට එහෙම උනේ නෑ  කෑම විෂවුනා....

ඩොක්ට සේකර් බයනැතිව වගකීම අරං කරපු ක්ෂණික ප්‍රතිකාර නොවෙන්න එදා මගෙ අවසාන දවස වෙන්න තිබුණා.
 
ඊට පස්සෙ මමත් බිරිඳත් අසෝකන්ට විහිලු කලේ මගෙ අවසාන වචනය අහගන්න බිරිඳව එක්කං ආවද කියල.....
 
කොහොම හරි වඩේටත් රෑට කන්න දීල අටට දිල්ලි යන තමිල්නාඩු එක්ස්ප්‍රස් එක අල්ලගන්න අසෝකන් එක්ක පිටත් කළා.
 
ඊට පස්සෙ ගිය ගමන් වලදි නම් මම බිරිඳටයි පුතාටයි තරයේම කිව්ව කෝච්චියෙදි කනකොට මස් මාලු ඉල්ලන්න එපා කියල.
 
එදා විතරක් නෙවෙයි.....ඊට අවුරුද්දකට පස්සෙ චෙන්නයිවල දූවිල්ල නිසාම මට හැදිච්ච දරුණු වීස් එකටත් ප්‍රතිකාර කළේ ඩොක්ටමයි.....මට ලෙඩේ කියන්නවත් කටඇරගන්න බෑ කැස්ස.....ඩොක්ට වහාම ප්‍රතිකාරය නියම කළා.....සතියක ඉන්ජෙක්ෂන් කෝස් එකක්....උදේ එකයි හවස එකයි....
 
හැබැයි මම හෙට ඉඳල චෙන්නයිවල නෑ පිට යනව නිවාඩුවකට සතියකිනුයි ආපහු එන්නෙ කියල.....
 
මගෙ ගෝලය උදේටයි හවසටයි ගෙදරටම ඇවිත් ෂොට් එක දෙයි කියලත් කිව්වා.
 
කිව්ව වාගෙම පහුවදා උදේ මම වැඩට යන්න ඉස්සෙල්ල ගෝලය සිරින්ජරෙත් අරන් ගෙදරට ආවා....හවසටත් එහෙමයි.....ඩොක්ට චෙන්නයි වලට එනකොට මගෙ ලෙඩෙත් සනීපයි.
 
ළඟදි මම චෙන්නයි ගියපු වෙලාවෙ ඩොක්ට සේකර්ගෙ බේත් සාප්පුවටත් යන්න අමතක කළේ නෑ.....හොඳ නෑනෙ...
 
කොහොම උණත් ඔයාලට කියවන්න මේ වැඩකට නැති ඕපාදූප ලියන්න මම තාමත් ඉතුරුවෙලා ඉන්නව ඩොක්ට සේකර් නිසා.