ඈ හාමිනේ අපේ රංජිත් ඉස්කෝලෙ මහත්තය ගැන මොකද හිතන්නෙ...
පත්තරෙන් දෑස් ඉවතට ගත් ජයතිස්ස ලොකු ඉස්කෝලෙ මහත්තයා එහෙම ඇහුවේ පියවතී හාමිනේගෙනි.අතේ තිබූ කොස්ස බිත්තියට හේත්තු කළ ඇය ගවුමට උඩින් ඇඳ සිටි චීත්ත රෙද්ද තද කර ඇඳ ගත්තාය.
මොකෝ මහත්තය හදිස්සියෙන්ම එහෙම ඇහුවෙ?...පියවතී හාමිනේ ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි.ඇසේ තිබු කන්නාඩි කුට්ටම නළලට කරගත් ඉස්කෝලෙ මහත්තයා කතාකරන්නට විය.
නෑ හාමිනේ වෙන මහත්තුරු මේ කැලේට ආපුදා ඉඳල කරදරයි අමාරුයි පහසුකම් නෑ කියල නාහෙන් අඬනව.කොහොමහරි මාරුවක් හදාගෙන යන්නනෙ බලන්නෙ.ඒ උනාට බලන්ඩකො රංජිත් මහත්තය කවදාවත් බැරි අමාරුකම් කියල යන්න හදල තියෙනවද...
ඒක නං සහතික ඇත්ත මහත්තයො කරදර ගැන වචනයක්වත් නොකිව්වට හොඳට පහසුකම් ඇතුව හැදිච්ච යමක් කමක් ඇති තැනක ළමයෙක්ලු මම දවසක් කතා කළානෙ...
ඔන්න මිනිහ ඒ ගමන අක්කර දෙකක මිරිස් දාළලු.කුඹුරු කෑලි තුන හතරකුත් බද්දට කරනවනෙ, තමන් ඉන්න තැනේ හැටියට හැඩ ගැහෙන්න දන්න කෙනෙක්.මම රංජිත් මහත්තයට බොහොම මනාපයි. කොල්ලො ඉන්න ඕනෑ ඔහොම තමයි කෙල්ලො වගේ නාහෙන් අඬල හරියනවැයි ...
රංජිත් මහත්තය අපේ පවුලට නරකද මහත්තයො...
ඕං ඕකම තමයි හාමිනේ මමත් ඇහුවෙ,හාමිනෙත් ඒකම අහන එක අපූරුයි...
එහෙනං තොරතුරු හොයල බලන එකයි.හැබැයි ලොකු දූට වඩා ටිකක් මිටියි වගේ නේද, ළමය කැමති වේවිද දන්නෙ නෑ ...
ඕන්නං අඟලක් දෙකක් උස අඩු ඇති කවුද එහෙම ගණන්ගන්නෙ අපේ ලොකු දුවත් දණ්ඩ වගේ උසයි නොවැ,ඉස්කෝලෙ වොලිබෝල් කණ්ඩායමටත් ගැහුවෙ ඒ නිසානෙ...
ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාට දුවරුම දෙදෙනෙකි.ලොකුදුව දිලිනි වන අතර පොඩි දුව නයනිය.දෙන්නාම රුවැත්තියන්ය.දුරින් මස්සිනා වෙන තරුණයෙක් නයනිට නම නියමකරගෙන තිබුනේ පාසැල් සමයේ සිටම වන අතර දැන් ඒ කසාදය ස්ථිරය.දීග දෙන කෙල්ලෙකුට ඉන්නේ දිලිනි පමණය.රංජිත් දුෂ්කර සේවය සඳහා ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මුල්ගුරුකම දරන ගල්ගමුවේ පාසැලට ආවේ අවුරුද්දකට පමණ පෙරය. කොළඹට නුදුරු සැපදායක පළාතක උපන්නෙකුවූ රංජිත්ගේ පියාද විදුහල්පතිවරයෙකි.පාසල් සමයේ සිටම ක්‍රීඩාවට වැඩි නැඹුරුවක් දැක්වූ රංජිත් දුර දිවීමේ ශූරයෙකු විය.ඔහු පාසල් ක්‍රීඩා සඳහා කීප වතාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සංචාරවලට සහභාගීවී ඇත.විදේශයන්හිදී ජයග්‍රහණ වාර්තා කළ අයට ඒ හේතුවෙන්ම ක්‍රීඩා ගුරු පත්වීම් ලබාදීමට රජය තීරණය කර තිබු හෙයින් රංජිත්ටද පාසැලෙන් ඉවත්වී අවුරුද්දක් යන්නට පෙර ක්‍රීඩා උපදේශක කමක් ලැබිණි.දුෂ්කර සේවය සඳහා පැමිණි ගල්ගමුව ඔහුගේ දෙවෙනි පාසැල විය.
පැමිණ අවුරුද්දක් ගතවන්නට මත්තෙන් එතෙක් කිසිම ක්‍රීඩාවක් නොතිබූ පාසැලෙන් කලාප තරඟ හා දිස්ත්‍රික් තරඟවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමට රංජිත්ට හැකිවීම ජයතිස්ස මුල් ගුරුතුමා දුටුවේ ඔහුගේ ජයග්‍රහණයක් ලෙසය.ක්‍රීඩාවට යෙදවුනේ පාසල් කාලයෙන් ඉතා ටිකක් බැවින් රංජිත්ට ගුරුවරුන් නොමැති සමහර පන්තිවල පාඩම් ගන්නට විටින් විට සිදුවිය.එහෙත් රංජිත් උගන්වන විට ඔහුගේ ගන්ටාර කටහඬ ශාලාවේ ඈත කෙළවරේ උගන්වන ගුරුවරුන්ටද කරදරයක් බව ටික දවසකින්ම මුල් ගුරුතුමාට පැමිණිලි ලැබෙන්නට වීම මුල් ගුරුතුමා දැඩි අපහසුතාවකට පත් කරවන්නක් විය.එහෙත් මොළේ කල්පනා කර වැඩකළ මුල් ගුරුතුමා ඊට පසුව රංජිත්ට පංතියක් බලාගන්නට දෙනවිට කිව්වේ,
රංජිත් මහත්තයො ගුරුවරයෙක් නැතුව තුනේ පංතියේ එව්වො කෑගගහ ඉන්නව මහත්තය උන් ටිකත් අරගෙන ආං අර කෝං ගහ යටට යන්නකො...කියාය.
පාසල් වෙලාවෙන් පසු රංජිත්ට විවේකය බොහෝ වුයෙන් ගමේ අනෙක් ගැමියන් කරන්නාක් මෙන් ඔහුද හේනක් කොටන්නට පටන් ගත්තේය.රංජිත් හේන් වැඩ කරන්නට නොදන්නා බැවින් ඔහු හේන කෙටෙව්වේ කුලියටය.කලට වැසි වැටී හේන හොඳින් පැහුණු බැවින් ගොවිතැන් ගැන රංජිත්ට ඇතිවුනේ ආසාවකි.ඊළඟ කන්නයේදී පාළුවී තිබු කුඹුරු කෑලි දෙක තුනක් බදු අරගෙන කරන්නටද ඔහු පෙළඹුනේ ඒ නිසාය.පාලුවට ඇරෙන්නට ගිය හේනේ මිරිස් පැළ ඉන්දුවේද කුලී කරපු ගැමියන්ගේ කීම නිසාය.
රංජිත් මහත්තය දැන් හොඳ ගොවියෙක් වෙලානෙ...
වගාව බලන්නට දවසක් ආ ලොකු මහත්තයා කීවේ රංජිත්ගේ ගොවිතැන ගැන සතුටිනි.රංජිත්ගේ නවාතැනට ආපහු යන ගමනේ ලොකු මහත්තයා ඔහුගේ වං හුං අහන්නට උනේ වෙනදා මෙන් ආවට ගියාට නොවේ.
එතකොට මහත්තයට අක්කයි නංගියි විතරයි...
ඔව් ඒ ගොල්ල බැඳල ගමෙන් පිට ගියා.මල්ලිලා දෙන්නා පහුගිය කලබල කාලේ පොලීසියෙන් ගෙනිහින් අතුරුදහන් කළා...
මොනවා මහත්තයො...
ලොකු මහත්තයා පාරමැද නතරවුණේ ගල් ගැසුනාක් මෙනි.
