අද පලවන කතාවත් පහුගිය සාහිත්‍ය මාසය වෙනුවන් ලියන්නට සිටි සටහනකි.ඒ මා මෑතකදී කියවා රසවිඳි පොතක් පිළිබඳවයි.පොතේ නම "කොටි දියණියකගේ පාපෝච්චාරණය" කතුවරිය නිරෝමි ද සොයිසා.එය අපට හුරුපුරුදු නමක් නොවේ.පරිවර්තනය කොට ඇත්තේ සුනිලා විජේසිංහයි.යුද්ධය කොටි සංවිධානය හා කොටි ගැන අප ඇති පදමට කියවා ඇතත් ආරම්භයේ පටන් කොටි සංවිධානය තුළ සිට ක්‍රියාකාරීව යුද වැදුන කොටි සෙබළ සෙබළියන් හෝ නිලධාරීන් ලියු කතා අපට කියවන්නට ලැබී නැති බව මගේ විශ්වාසයයි.එයට හේතු බොහෝ ඇතත් ඒවා වෙනම සාකච්ඡා කළ යුතු කරුණුය.මේ කතාව විශේෂිත වන්නේ එබැවිනි.නිරෝමි කොටි කාන්තා බලකායට පළමුවෙන්ම බඳවා ගත් කණ්ඩායමට අයත් තරුණියකි.සිය දීප්තිමත් පාසල් අධ්‍යාපනය හැර දමා ඇය ස්වේච්ඡාවෙන්ම කොටි සංවිධානයට එක්වන්නේ පවුලේ අයගේ මෙන්ම ජ්‍යෙෂ්ට කොටි නායකයන්ගේද විරුද්ධත්වය මැද බලහත්කාරයෙන් මෙනි.අපි පරිවර්තිකාවගේ සටහනේ කොටස් කිහිපයක් කියවමු.
"යුද්ධය කඨෝරය,කර්කශය,අමිහිරිය,අප්රසන්නය.නිරෝමි ඒ බව තමාම අත්දුටුවාය.වසර එකහමාරකට පසුව ඇය යුද බිමෙන් සමුගෙන ජීවිතයෙහි යතාර්ථය සොයා ඇදුනේ එබැවිනි.ඇගේ බොහෝ සගයන් යුදබිම තුළ අකාලේ හා අයාලේ මිය පරලොව යද්දී ඇය ආරක්ෂා වුයේ ඇය'තින් මෙදියත වෙත මහඟු මෙහෙවර රැසක් ඉටුවීමට නියමිත නිසා විය යුතුය.'Tamil Tigress' නම්වූ අසාමාන්‍ය අත්දැකීම් මාලාවක් හෙළිදරව් කෙරෙන අපූර්වතම නවකතාව ලොවට දායාද කිරීම ඒ අතරින් එක් සුවිශේෂී මෙහෙවරක් විය යුතුය.
නිරෝමි ද සොයිසා යනු පොතේ කතුවරියගේ සැබෑ නම නොවේ.ඇය ඒ නම භාවිතා කොට ඇත්තේ අප අතරින් අවාසනාවන්ත ලෙස වියෝවූ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාණන් හට උපහාර වනු පිණිසය.මේ පොත කියවන ඕනෑම කෙනෙකුගේ සිතෙහි කොතැනක හෝ සිහින් කටුවක් ඇමිණී ඇති කලෙකසේ සියුම්ව රිදුම් දෙන පැනයක් ඉතිරිවනු ඇත.ඒ නිරෝමිට පෙම් බැඳී රොෂාන්ගේ ඉරණම පිලිබඳවය.එකුන් පනස් වියට එළැඹෙද්දී ඉන්දියාවේ අනාථ කඳවුරක දී හෘදයාබාධයක් වැළඳීමෙන් රොෂාන් මියගිය පුවත මෑතකදී මම අන්තර්ජාලයෙන් කියැවුයෙමි."
ඒ පරිවර්තිකාවගේ සටහනෙන් කොටසකි.පොත ආරම්භ වන ආකාරය බලන්න.
"විසල් වතුර ටැංකියක් පිටුපස එහි සෙවනැල්ල යට මම නිසොල්මනේ වාඩිවී සිටියෙමි.මගේ මුළු සිරුරෙහිම බර භාරදී තිබුණේ දකුණු පයටය.නැහැ පුඩු හරහා ගලා ගියේ අප්‍රසන්න ගන්ධයකි.ඒ ඉදුණු කෙසෙල් හා තල්ගෙඩිවල සුවඳ එකට මුහුම්ව හමා ආ හෙයිනි.
හිරු දීප්තිමත්ව නැග එමින් තිබුණි.අප පසුකොට ආ කුඹුරු යායෙහි ගොයම් පත් අග රැඳී තිබු සියලු පිණි බිංදු වාෂ්පවී යන්නට ඇත.එහෙත් ඒ වනවිටත් රෑසියන්ගේ කරච්චලය නැවතී නොතිබුණි.කුඩා ගම්මානය ජනහීන විය.නමුත් සරුසාරව වැඩී තිබු මඤ්ඤොක්කා,කෙසෙල් හා පොල් ගස් නිසා ගම්මානයෙන් දිස්වූයේ කිසියම් සුන්දරත්වයකි.එහෙත් ඒ සුන්දරත්වයෙන් අපහට ඇති ඵලය කුමක්ද?අප යුදයට වන් සෙබළ සෙබළියන්ය.
ඒ එක්දහස් නවසිය අසුහත වර්ෂයයි.මගේ වයස අවුරුදු දාහතක් විය.නත්තලට තවත් තිබුණේ දින දෙකක් පමණකි.මට ඇසුණු එකම හඬට මම සවන් දෙමින් සිටියෙමි.ඒ මගේම හද ගැහෙන රාවයටයි.පෙනෙන්නට තිබු එකම දසුන දෙස මම බලා සිටියෙමි.ඒ මගේ සගයන්ගේ මුහුණු මත සටහන්ව තිබු භීතිය දෙසයි.අප හැම කෙනෙකුගේම ඇඟිලි තුඩු රැඳීතිබුණේ තුවක්කුවේ කොකා මතය.
දවසේ පළමු හිරු කිරණ අතරින් අපේ මුර භටයන් දැක තිබුණේ හමුදා සොල්දාදුවන් රෑනකි.
"උන් සිය ගණනක් මේ දැන් කෙසෙල් පඳුරු අස්සෙන් එළියට ආවා."
අප නවාතැන් ගෙන සිටි අත්හැර දමන ලද නිවසෙහි දොරකඩට වාධනා දුව ආවේ හති හලමිනි.ඇගේ දුඹුරුපැහැ විසල් දෙනෙත භීතියෙන් පුළුල්ව තිබුණි.පාන්දර දෙකේ කනිසමේ දී මුර සේවාවෙහි යෙදී සිටියේ මාය.ඒ හෝරාවේදී නම් අනතුරක සේයාවක් හෝ මට පෙනුණේ නැත.මා අඹ ගසක් මුල වාඩිවී සිටියේ AK 47 ගිණි අවිය අත දරාගෙනය.තාරකාවක් කඩා වැටුණි.මට රොෂාන් සිහිපත් විය.සමහර විට ඔහු කොහේ කොතැනක හෝ මා මෙන්ම මුර සේවයේ යෙදී සිටිනවා විය හැක.ඒ සිතුවිල්ල මගේ දෙතොලට ගෙන ආවේ මඳහසකි.කෙසේ නමුත් මේ නපුරු යුද්ධයෙන් දිවි ගලවා ගතහොත් නිසැකවම අපි නැවත මුණ ගැසෙනු ඇත.
වාධනාගේ අනතුරු හැඟවීම අප සැවොම වහා ක්‍රියාත්මක කළේය.ඒ මොහොතේ මා සතුව තිබුණේ එකම එක ඇඳුම් කට්ටලයකි.ඒ ඇඳ සිටි කමිසය සහ කලිසම පමණි.එයද දහඩියෙන් හා දැලි කුණුවලින් හඩු ගැසුනකි.කලින් සිදුවූ සුළු සටනකදී අප හට පාවහන් අහිමි විය.හැම කෙනෙකුටම අහිමි නොවී තිබු එකම දෑ 'කුප්පි' නොහොත් සයනයිඩ් කරලයි.එය කාගේත් ගෙලවටා සුරක්ෂිතව කළු නුලක දැවටී සැඟව සිටියේය.එක අතකට අප සුදානම් වෙමින් සිටියේ ජීවිතය වෙනුවෙන් නොව මරණය වෙනුවෙන් නොවේද?මහා මාර්ගයට දිවෙන කෙටි මාවතක් දිගේ අපි හොර රහසේ ඉදිරියට ඇදුනෙමු.ජල ටැංකියක් අසලදී මුරලි මට විශේෂ රාජකාරියක් භාර කළේය.
"නිරෝමි,දකුණු පැත්ත සම්බන්ධයෙන් වගකීම ගන්ඩ.ඔයාට ඉස්සරහින් ඉන්න එක එක්කෙනා පාර හරහා යවන්ඩ."
මම මුරලි දෙස බැලුවෙමි.ඔහුගේ කොට්ටම්බා මද පැහැති දෙනෙතෙහි වුයේ කලාතුරකින් දැකිය හැකි අන්දමෙක කලබලකාරී බවකි.මා සිටියේ අජන්තිට පසුපසිනි.අජන්තිගේ උරහිසට ඉහළින් එබී මම මාර්ගය විමසුවෙමි.නීරා ඉදිරියට පියමනිනු මම හොඳ හැටි දුටුවෙමි.
"බෑංග්...!"
ඒ බියකරු වෙඩි හඬකි.
"අම්මා..."
නීරා අවසාන වතාවට හඬගෑවේ අම්මාටය.ඔහුගේ සුරත පපුවට සමීප වුයේත් ඒ හා ම ඔහු බිම වැටුනේත් මා බලා සිටියදීමය.ඊළඟ මොහොතේදී අප දෙසට එල්ල වුයේ වෙඩි සහ අත් බෝම්බ වර්ෂාවකි.අපි වහා බිමට පාත්වුයෙමු.මගේ කන්පෙති අසලින්ම වෙඩි උණ්ඩ පියාඹා ගියේ නළා හඬක් නංවමිනි.අත් බෝම්බ හා මෝටාර් පිපිරීමෙන් වූ ධුමයෙන් අවට වායුගෝලය වැසී ගියේය.වාතය දරාගත නොහැකි තරම් බරැති විය.මගේ ඇස් මෙන්ම පෙනහළුද දැවෙන්නට විය.දෙවැලමිට හා දෙදන බිම ඔබමින් මම අජන්ති පිටුපසින් ඉදිරියට වණුගෑවෙමි.අප සතර අතින්ම කොටුවුණා විය යුතුය.දැන් ඉතින් ගැලවීමක් නැත.මගේ පපු කුහරයෙන් පිටතට පැමිණි මගේම හදවත මා ඉදිරියේම පුපුරා යන සෙයක් මට දැනුණි.
ඉදිරියෙන් සිටි මගේ සගයන් කෙරෙහි අවධානය යොමු කරමින්ම මම AK 47 මහා මාර්ගය දෙසට යොමු කෙරුවෙමි.සාධා එක පිම්මට පාර හරහා යමින් සිටියාය.ජෙනීද ඇය අනුගමනය කළාය.සාධා ඇද වැටුණේ මා බලා සිටියදීමය.අත්බෝම්බ හා තුවක්කුවලින් නැගුනේ කන් බිහිරි කරවන සුළු හඬකි.ඒ හඬ අබිබවමින් නැගී ආ කෑ ගැසීම අතිශය වේදනාකාරී විය.තව තවත් ජීප් රථ හා යුද ටැංකි මහා මාර්ගයට එක්වුයේ විරුද්ධවාදීන්ගේ යුද බලය තවදුරටත් ශක්තිමත් කරවමිනි.අපට ඉහළින් ඉතා පහතින් යුද හෙලිකොප්ටරයක් හඬ නගමින් මදකට නැවතී සිටියා පමණක් නොව බෝම්බද හෙලුවේය.මම මගේ දෙවැලමිටට වාරුවෙමින් ඉදිරියට බඩගා ගියෙමි.අප කණ්ඩායමේ තවත් ගැහැණු ළමයෙකුවූ සාරධා වේදනාවෙන් කෑ ගසනු ඇසුණි.
"මගේ කකුල...අනේ,මට උදව් කරන්ඩ කවුරු හරි."
එසැණින්ම මා දුටුවේ වම් පසින් මා දෙසට පියාඹා එන අත් බෝම්බයකි.දෑත් හා දණහිස් බිම ඔබා ගනිමින් මා තැත් කළේ එතැනින් පළායාමටය.ඒ අත් බෝම්බයට ඊළඟට මුහුණ දී සිටියේ ගාන්ධිය.ඔහු වෙඩි තබමින් සිටියේ තල් ගසක් පිටුපස සැඟවී සිටිමිනි.
"ගාන්ධි අයියා පාත්වෙන්ඩ...!"
මම කෑගසා කීවෙමි.එහෙත් බෝම්බය පුපුරා ගියේය.සුණු විසුණු වී ගිය ගාන්ධිගේ හිසෙහි ලේ කැදලි හා මස් වැදලිවලින් මගේ මුළු සිරුරම නැහැවී ගියේය.ඔහුගේ හිස සුන් කවන්ධය පොළොව මතට ඇද වැටුණේ කපා දමනු ලැබූ ගසක කඳක් සේමය.මහා හඬින් කෑ ගසන්නට මට හොඳටම උවමනාව තිබුනත් මගේ මුවින් කිසිදු හඬක් පිටවුයේ නැත.දණ බිම ඔබාගෙන සිටි අජන්තිද AK 47 මානාගෙන පොළොවෙන් ඉහළට මතුවුවාය.ඈ සෙමෙන් මා දෙස හැරී බැලුවේ හරියට පාසලේ එකම පංතියේ මා ඇයට පිටුපස තෙවන පේළියේ වාඩිවී සිටියදී ඈ මා දෙස හැරී බැලුවා සේමය.
"මං පාරෙන් එහා පැත්තෙදි ඔයාව මුණගැහෙන්නම්."ඈ කඩිමුඩියේ මුමුණා කීවාය.
මම හිස සැලුවෙමි.එහෙත් ඒ මොහොතේ මගේ සිත තුළ එක් රොක් වෙමින් තිබුණේ සම්පූර්ණ අවිශ්වාසයයි."
ඉහළ මධ්‍යම පංතික පවුලක වැඩුමල් දියණිය වන නිරෝමිට සිටියේ ශිරානි නම්වූ නැගණියක් පමණකි.දෙමාපිය දෙදෙනාගේම මුල් පදිංචිය යාපනයේ වුවත් පියාගේ වෘත්තිය හේතුවෙන් ඔවුන් පදිංචිව සිටියේ මධ්‍යම කඳුකරයේය.පියා වෘත්තියෙන් මැවිසුරුවෙක් වූ අතර මව ගෘහිණියක වූවාය.මේ ඔවුන්ගේ ගෘහමය වටපිටාව සිත්තම් වන කොටසකි.
"ප්‍රදේශයේ වසන ද්‍රවිඩ පවුල් අතළොස්සකට අපගේ පවුලද අයිතිවන බව මා පළමුවරට දැනගත්තේ ඒ සිද්ධිය නිසාවෙනි.බොහෝ ද්‍රවිඩයන් පදිංචිව සිටියේ වතු ජනාවාස තුළය.එහෙත් අප අයත්වුයේ වතු පවුල්වලට නොවේ.මට ඒ පිළිබඳව දැනුණේ කිසියම් ශෝකයකි.අපේ පවුලේ අසල්වැසියන් හා මිතුරු මිතුරියන් හැම කෙනෙක්ම පාහේ සිංහල නැතහොත් බර්ගර් ජාතිකයෝ වුහ.මුණ ගැසුණු විටෙක අප බොහෝ විට කතා කළේ සිංහල භාෂාවෙනි නැතහොත් ඉංග්‍රීසියෙනි.ජාතිය හෝ භාෂාව පිළිබඳව ඉන් පෙර මා තුළ කිසිදු සුවිශේෂී හැඟීමක් තිබුණේ නැත.බාහිර වශයෙන් සියල්ලන් එක හා සමාන වුවද අප එකිනෙකා අතර වෙනස්කම් ඇතැයි මා සිතන්නට පටන් ගත්තේ එතැන් සිටය."
"තාත්තේ,ඇයි සිංහල අය දෙමළ මිනිස්සුන්ට කැමති නැත්තේ?"
දිනක් මම තාත්තාගෙන් ඇසුවෙමි.
"සිංහල- දෙමළ මිනිස්සු අතරෙ නෙමෙයි දුවේ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ.මේවා දේශපාලන ප්‍රශ්න.එක එක දේශපාලන පක්ෂවලට වාසිගන්නට ඒ ඒ අය මේ විදියෙ අවුල් ඇති කරනවා."
"ඒත් ඇයි තාත්තෙ එහෙම වෙන්නෙ?"
"ඉතින් මං කිව්වනෙ ඒක තමයි හේතුව."
මා තව දුරටත් ප්‍රශ්න විචාරනවාට තාත්තා එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.
"අම්මා තාත්තා සමග ටෙනිස් ක්‍රීඩා කරන හැටි හෝ තාත්තා ඉංග්‍රීසි ගීතවල තාලය අල්ලමින් රඟන හැටි බලන්නට ඉතින් මට ඉඩක් නැත.අම්මා උද්‍යාන පාලකයාටත් කෝකියාටත් උපදෙස් දෙමින් නිවසේ කටයුතු මෙහෙයවන දසුන දැන් මට අහිමිය.කට්ලට්ස්,අල පැටිස් හා හරක් මස් බුදිමින්,ඉංග්‍රීසි,ද්‍රවිඩ හා සිංහල යන භාෂාවන් ත්‍රිත්වයම යොදා කතා කරමින් මත්පැන් වීදුරු එකට ගටමින් ඔවුන් නිවසෙහි ප්‍රිය සාද පවත්වන අයුරු මට මතකයක් පමණක් වනු ඇත.බොහෝවිට එවැනි ප්‍රිය සාද හමාර වෙන්නේ පෘතුගීසි ආරයේ බයිලා ගායනා කරමිනි.ඒ සියලු දෑ දුරස් වුවද මට දරාගත නොහැකි අන්දමේ ශෝකයක් දැනුනේ මගේ කුඩානැගණිය ශිරානිගේ ඇසුර අහිමි වීමය.ශිරානි මට වඩා වසර තුනකින් බාලවුවාය.විශාලවතුයායක් මැද ඉංග්‍රීසි පන්නයට තනා තිබු දැවැන්ත බංගලාවක ජීවත්වූ අප හැදී වැඩුනේ අසල්වාසී දරුවන්ගෙන් දුරස්වය.නිවසෙහි සැප පහසු කාමර බොහෝ ගණනක් තිබු අතර ගෙවත්තද මනරම් විය."
ඒ නිරෝමිගේ පියා ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඇය හත් හැවිරිදි වියේදී යාපනයට රැගෙන යන්නට පෙර ඇගේ සිතේ ඇතිවන හැඟීම්ය.නිරෝමි යාපනයේ පියාගේ මහගෙදර පියාගේ අම්මාවූ අප්පම්මා ත් නැන්දලාත් සමග ජීවත්වෙමින් කන්‍යාරාමයක අධ්‍යාපනය ලබන්නීය.
"මා යාපනයට පැමිණ තෙමසක් ඉක්ම ගොස් තිබුණි.එක් සවස් යාමයක මා පාසැලෙන් පැමිණෙන විට අප්පම්මා ඉදිරි කාමරයේ කූඩයක් වියමින් සිටියාය.ඒ ඇගේ ප්‍රියතම විනෝදාංශයකි.
"මේක ඔයාට ඊයෙයි ආවෙ."
ඈ මා අතට කොළ කැබැල්ලක් පත්කළාය.මගේ සියලුම ලියුම් කියවා බැලීම ඇගේ සිරිතක් විය.ඉංජිනේරුවකු වූ මගේ පියා රැකියාවකට ඩුබායි රටට ගොසිනි.එය ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි වූ ප්‍රදානයක් යැයි ද ඔහු ලියා තිබුණි.වර්ෂාවසානයේ දී අම්මාත් ශිරානිත් යාපනයේ පදිංචියට පැමිණියහ."
ඊට අවුරුදු කීපයකට පසු නිරෝමිත් ඇගේ පාසල් යෙහෙළිය වූ අජන්තිත් දෙදෙනා කොටි කාන්තා සංවිධානයේ මුල්ම කණ්ඩායමට එකතුවෙති.
ඊට අවුරුදු කීපයකට පසු නිරෝමිත් ඇගේ පාසල් යෙහෙළිය වූ අජන්තිත් දෙදෙනා කොටි කාන්තා සංවිධානයේ මුල්ම කණ්ඩායමට එකතුවෙති.
"රජය ද්‍රවිඩ දේශපාලකයන් හා ද්‍රවිඩ විමුක්තිකාමීන් එක්ව පැවැත්වූ සාම සාකච්ඡාවලින් කිසිම ප්‍රතිපලයක් අපට අත්වුයේ නැත.ද්‍රවිඩ ජනතාවට ඉතිරිව තිබුණේ කොටි සංවිධානය හා එක්ව සටන් කිරීම පමණි.බෝම්බ භීතිය මරණ බිය අලාභය අප කරා වඩ වඩාත් ලං වෙද්දී අප බංකර් තුළ ගෙවිය යුතු කාලයද ක්‍රමයෙන් වැඩි විය.යුද බිමට ගොස් අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ උවමනාවද ඒ හා මසිතට වැඩි වැඩියෙන් දැනෙන්නට විය.මරණය අපට වඩාත් ලං වන කළ එය අර්ථවත් මරණයක් වේ නම් වඩාත් හොඳ නොවන්නේද?එහෙත් කොටි සංවිධානය ඒ වන විටත් කාන්තා හමුදා බලකායක් කැඳවා තිබුණේ නැත.සිතුවිලි ක්‍රියාවට නගන්නට මට ඉඩක් නොලැබුනද ඉතා ඉක්මනින් කොටි සෙබළියක් වීමේ බලාපොරොත්තුව අත් නොහළෙමි."
"එය මාර්තුවේ සති අන්ත දිනයක දිවා කාලය විය.මා නිවසින් පිටත්වන විටම මුලි ශංකර් අපේ දොරකඩ පෙනී සිටියේය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම මගේ නම කොටි සංවිධානයට ඇතුළත් කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.
"ඔයා තාම ළමයෙක්නෙ."ඔහු හඬ නගා කීවේ ම දෙස පුදුමයෙන් බලමිනි.
"ඊට කලින් ඔයා ඉස්කෝලෙ වැඩ ටික ඉවර කරන්නකො.ඊට පස්සෙ අපි මේ ගැන කතා කරමු."
ඒ එක්දාස් නවසිය අසුහතේ අප්‍රේල් විසිඑක් වනදාය.කොළඹ මධ්‍යම බස් නැවතුම් පළේ බෝම්බයක් පිපිරීමෙන් මියගිය සාමාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව 113 ක් විය.පිළිතුරු වශයෙන් රජය ද්‍රවිඩ සංහාරයක් ආරම්භ කළා සේ විය.හැම පැත්තෙන්ම ඇසුනේ කන් බිහිරි කරවන බෝම්බ හා කාලතුවක්කු හඬය.ඒ රාත්‍රියේද අපි බංකරයට වී කන් බිහිරි කරවන පිපිරුම් හඬටත් හෙලිකොප්ටර් පියාසර කරන හඬටත් සවන්දී සිටියෙමු." පීඩාවන්ට පාත්‍ර වීමත්,අසරණ වීමත් තරම් අප්‍රසන්න හැඟීමක් තවත් තිබිය නොහැකිය.මේ සා භීතියකින් ජීවත්වීම තවදුරටත් පවත්වා ගෙන යා හැකිද?" මසිතට පහළ වුයේ එවැනි සිතුවිලිය.
පසුවදා උදෑසනින්ම ශිෂ්‍ය සංවිධාන කාර්යාලයට ගොස් මුරලි මුණගැසී යුද පුහුණුව සඳහා මගේ නම් ඇතුළත් කළ යුතු යැයි මම තීරණය කළෙමි."මගේ තීරණය වෙනුවෙන් දොස් පැවරිය යුත්තේ රජයටයි.මන්ද,යාපනයට එරෙහි මේ භීෂණය තුළින් ඔවුන් තව තවත් කොටි යුද භටයන් බිහි කරන බැවිනි."මගේ කල්පනාවන් එලෙස විය.
හා පාසලට අපකීර්තිය ගෙනදෙමින් මගේ කීර්තිය සදාකාලයටම වැනසී යනු ඇත."
මෙසේ ගලා යන කතාවේදී අපට කොටි නායක ප්රභාකරන්,මහත්තයා,කිට්ටු,රහීම්,යෝගී,හා දිලීපන් ඇතුළු කොටි ප්‍රධානීන් බහුලව හමුවේ.
"මා කාමරය තුළට පිවිසියේ දෙවියන් දකින්නට යන්නා සේය.ප්රභාකරන් යනු අපේ ගැලවුම්කරුය.අපේ වීරයාය.ඒ කුඩා අඩ අඳුරු කාමරය තුළ කිසිදු ප්‍රසන්න බවක් තිබුණේ නැත.සුදු පැහැති අත්කොට කමිසයක් සහ කළු කලිසමක් හැඳ සිටි ප්රභාකරන් ඩෙස්කුවක් පිටුපස වාඩිවී සිටියේය.ඔහුගේ විශාල දෑස මේසය මතවු චිමිනි ලාම්පුවේ මඳ ආලෝකයෙන් බැබලෙමින් තිබුණි.කුරුලෑ වලවල් සහිත ඔහුගේ පිරුණු රවුම් මුහුණෙන් පෙන්නුම් කළේ බිය උපදවන බල පරාක්‍රමයකි."
"වාඩිවෙන්න."ඉදිරිපසවූ පුටුව පෙන්වමින් ඔහු කීවේය.
ඒ නිරෝමිට ප්රභාකරන් හමුවූ පළමු දවසයි.
"ප්රභාකරන් පුරුදු පරිදි තම පිරිවරද සමගින් නිතිපතා අප බලන්නට පැමිණියේය.සමහර දිනෙක ඔහු තම බිරිඳ මදිවදනී සහ කුඩා දරුවන් දෙදෙනා ද කැටුව ආවේය.එකල කුඩා චාල්ස් ඇන්තනි තෙහැවිරිදි වියේවූ අතර දියණිය ද්වාරකා එක් හැවිරිදි බිලිඳියක විය."
ප්රභාකරන් විදෙස්ගතවන ද්‍රවිඩ ජාතිකයන් නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.ඔවුන් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වුයේය.
"අපි දුක්විඳලා අපේ ද්‍රවිඩ මාතෘ භූමිය ලබාගත්තාම ඒ අය ආපහු ඒවි.එතකොට මං එයාලව මායිම් ගම්මානවල පදිංචි කරවනවා සිංහල අයගෙන් පීඩා විඳින්ඩත් එක්ක."
ඔහු ඔවුන් පිළිබඳව පැවසුවේ එවැන්නකි.
"ඒක තමයි සටන අත්ඇරලා ගියාට එයාලට දෙන දඬුවම."
ඒ මොහොතේ අප එක්ව සිනාසුනේ මේ විදෙස්ගත ජාතිද්‍රෝහීන් අපේ සටනට එහි සිට උරදෙන බව නොදැනය."
1983 කළු ජුලිය සමයේ දැරියක්ව සිටි නිරෝමි ඉන්දියානු මැදිහත්වීමෙන් 1987 දී ශ්‍රී ලංකාව සාම ගිවිසුමකට එළැඹෙද්දී කොටි සටන්කාරියකි.
"දිනක් ප්රභාකරන් සුපුරුදු අඹ ගස යට හදිසි රැස්වීමක් පවත්වන්නට කටයුතු කොට තිබුණි.ඔහුගේ උපනායක මහත්තයා එක් පසෙකින්ද කිට්ටු අනෙක් පසින්ද වාඩිවී සිටියහ.ඔවුන් දෙදෙනා සැහැල්ලු සිනාවකින් මුහුණු සරසාගෙන අපදෙසබලා සිටියදී ප්රභාකරන් කතාව ආරම්භ කළේය.
ළමයිනේ දේශපාලන පැත්තෙන් අපිට අලුත් වර්ධනයක් දකින්නට පුළුවන් වෙලා තියෙනවා.
ඔහු ප්‍රකාශ කරන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ හමුදාව අතර සාම ගිවිසුමක් ඇති කරන්නට ඉන්දීය රජය උත්සාහ ගනිමින් සිටින බවයි.
වියට්නාමයේ ඇමෙරිකානුවන් වගේ,ඇෆ්ගනිස්තානයේ රුසියානුවන් වගේ තමිල් ඊළමෙන් ඉන්දියානු කාරයින් ඉවත්වෙන්නෙ නෑ. ප්රභාකරන් කීය.
හරියට කටයුතු කළේ නැත්නම් ඒ ගොල්ලො හොඳ පාඩමක් ඉගෙන ගනීවි."
දිලීපන්ගේ මාරාන්තික උපවාසයත් කුමාරප්පන් ඇතුළු සටන්කාමීන් හත්දෙනෙකුගේ දිවි නසාගැනීමත් හේතුවෙන් සටන් විරාමය කැඩීගොස් ඔවුන් ඉන්දීය හමුදාවට විරුද්ධව සටනට එළඹෙනු නිරෝමි අත්දුටුවාය.අවුරුදු එකහමාරකට පසු සංවිධානය කෙරෙහි කළකිරී ඉන් ඉවත්වෙන තුරුම ඇය ඇතුළු කණ්ඩායම සටන් කළේ ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහිවය.කොටි සංවිධානයෙන් ඉවත්වී යන්නට නිරෝමිට වාසනාව තිබුනද ඇගේ පාසල් මිතුරිය ද කොටි හමුදාවට එකට බැඳුනු යෙහෙළියද වූ අජන්ති එතරම් වාසනාවන්ත වන්නේ නැත.
"අනිත් පැත්තෙදි හම්බවෙමු."
ඇය පිටත්වන්නට පෙරාතුව මුමුණා කියනු මට යන්තමට ඇසුණි.පාරේ අනෙක් පසදී මුණගැසෙන්නට මම හිස වනා ඇය හා එකඟවූයෙමි.එහෙත් හිස වැනුවා විනා මසිතෙහි කිසිදු ස්ථිර බවක් තිබුණේ නැත.ඇය පාර හරහා එක එල්ලේ පැන යන්නට සැරසුණු අයුරු මම දුටිමි.
ඒ හා ම අජන්ති පසුපසට ඇද වැටුණාය.ඇගේ අත් පා අප්‍රාණික විය.ඇගේ නළලේ හරි මැදින් රුධිරය ධාරාවක් ගලා ආවේය.අනතුරුව ඇහි බැමි, ඇහි පියන් තෙමා දමමින් ගලා හැලුණු ඒ ලේ දහරාව ඇගේ තඹවන් කෙස් කළඹද තෙමා දැමුවේ ක්ෂණයකිනි.ඇගේ මුව විවරව ඇදවූ අතර AK රයිපලය පසෙකට විසිවී ගියේය.
මගේ පෙනහළු තුළ රැඳී තිබු හැම වාත බුබුලක්ම පිටතට ඇදී ගොස් තිබුණි.මට ආශ්වාස කළ නොහැකි විය.හිස හිරි වැටී ගියේය.මම අජන්තිට ළං වන්නට උත්සාහ කළෙමි.එහෙත් දුම් වලාවෙන් එපිට,ඈ මගෙන් බොහෝ දුර ඈතක සිටියා වැන්න.
අජන්ති,නැගිටින්න නැගිටින්න.
මම කෑ ගසා කීවෙමි.නමුත් ඇයට මගේ හඬ නො ඇසුණා විය යුතුය.ඒ සමගම තවත් අත් බෝම්බයක් මගේ පසු පසින් පිපිරී යනු දැනුණි."
ඒ සටනේදී නිරෝමි දිවි ගලවා ගන්නේ ප්රාතිහාර්යයකින් මෙනි.පණ බේරාගෙන පළාගොස් කැලෑ වැදී බොහෝ දුක් වළඳන නිරෝමි අවසානයේ කොටි හමුදාව හැරගියාය.
"එක්දහස් නවසිය අසුඅට වසරේ ජුනි මාසයේ අම්මා ළඟ පාත තැනකට යන බව අඟවමින් ගෙයින් පිටවී ඇත.ඇගේ අත් බෑගය තුළ තිබී ඇත්තේ ඇයටත් මටත් ඇඳුම් කට්ටල දෙකක් හා අප දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර දෙකය.මට දැනුණේ කියාගත නොහැකි සහනයකි.මා දකින්නට පැමිණීම ගැන මම ඇයට කොතරම් නම් කෘතඥ වන්නේදැයි විස්තර කරන්නට මට උවමනා විය.ඇය දැකීමෙන් මා අප්‍රමාණ ලෙස සන්තෘෂ්ටියට පත්වූ බව කියන්නට මට අවැසිව තිබුණි.ශිරානි කොහේදැයි අසන්නට ද මට අවශ්‍යම විය.එහෙත් මා වැලඳගත් අම්මා නොනවත්වා වැළපෙමින් සිටියාය.මම නොසෙල්වී,හිරි වැටුණු කලෙක මෙන් පිළිමයක් සේ සිටියෙමි.මගේ සිත පිරී තිබුණේ සතුටින්ද නැතහොත් ශෝකයෙන්දැයි මට තේරුම් ගත නොහැකි විය.
මං හිතුවා අම්මට මාව එපා වෙලා ඇති කියලා.මං එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම අම්මට ද්‍රෝහී වුනා.
ඔයා මගේ දුව." අම්මා කඳුළු පිස දමමින් පිළිතුරු දුන්නාය.
මමවත් තාත්තවත් කවදාවත් ඔයාව අත අරින්නෙ නෑ."
තවත් මාස දෙකක් ගිය තැන අම්මා මා ඉන්දියාවේ පෞද්ගලික පාසලකට ඇතුළත් කළාය.ඒ වන විට මගේ පාසල් ගමන නැවතී වසර එක හමාරක් ගෙවී තිබුණි.පසුව මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුයෙමි.එහිදී මම ජීව තාකෂණය පිලිබඳ උපාධියක් උපයා ගතිමි.ඉන්පසු නීතිය හදාරා නීති උපාධියක් ලබා ගන්නටද මම සමත් වුයෙමි.මගේ පවුලේ අයද පසු කලෙක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුහ.අජන්තිගේ පවුලේ උදවිය මා අත්හැර දැමුවේ නැත.ඇගේ නැගණිය නිලන්ති හා මවුපිය යුවළද දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති.ඔවුන් සියලු දෙනාම මට දක්වන්නේ මහත් සෙනෙහසකි.
මේ කඨෝර වූ ගැටුම තුළ ගෙවී ගිය ඒ වසර තිස්තුන පුරා ලක් දෙරණට වටිනා මිනිස් ජීවිත ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අහිමි විය.මේ අතරින් 1987 දෙසැම්බර් 23 වනදා එනම් නත්තලට දින දෙකක් තිබියදී සටනින් මියගිය අජන්ති, මුරලි ඇතුළු මගේ සහෘදයන්ගේ දේහ කොටස් මහාවීර සුසාන භූමියෙහි වළ දමනු ලැබුණි.ඔවුන් මියගිය ස්ථානයට ආසන්නව පිහිටා තිබු එම සුසාන භූමිය අද එහි දක්නට නැත.2011 මාර්තු වන විට එම ස්ථානයෙහි දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් දැවැන්ත මුලස්ථාන ගොඩනැගිල්ලකි."
ආරම්භයේ සිටම කුතුහලය දනවමින් කතාව දිගහැරේ.කොටි සංවිධානයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන ලොවට රහසක් වී තිබු කරුණු බොහොමයක් මේ පොතෙන් හෙළිවේ. සිත් ඇද බැඳගන්නා පොතක් ලෙස මෙම "කොටි දියණියකගේ පාපෝච්චාරණය"නම් කළ හැක෴