අපේ මහ ගේ ඉස්සරහ තියෙන වෙල්යායෙ නියරට බැස්සම කොස්සැටදෙනිය කුඹුරට අඩි සීයක්වත් දුර නෑ,එතන කුඹුරු කෑලි හත අටේ වපසරිය වී බෙර තුනක් තුනහමාරක් ඉතර ඇති,දැන් වැඩ නොකර කැලෑ වැහිලා තිබ්බට බොහොම සාරවත් ඔය කුඹුර වැඩකළේ අපේ බාප්ප කෙනෙක්, නම රිචඩ් වෙන්න ඇති අපි කිව්වෙ රිචී බාප්ප කියලයි...
ගෙදරට අවුරුද්දෙ ඉස්සෙල්ලම අලුත් වී ගන්නකොට ගන්නෙත් ලඟම කුඹුර වුන කොස්සැටදෙනියෙනුයි,වී ගෙට ගැනිල්ල කෙරෙන්නෙ මෙහෙමයි,පුරපස දවසක හිමිදිරි පාන්දර කපුටො අඬන්න කලින් වී ගෙටගන්න ඕනෑ, ඔන්න තෝරගත්ත දවසෙ පාන් කළුවෙන් වැඩට යන්න සුදානම් වෙන තාත්තා මාවත් ඇහැරවගෙන නිදිමතේ ඉන්න මගෙ ඔලුවෙ සුදු රෙදි කෑල්ලකින් ජටාවක් බැඳල අතින් අල්ලං නියර දිගේ එක්ක ගිහිල්ල කොස්සැටදෙනියෙන් පැහිච්ච ගොයං මිටක් කතා නොකර කපාගෙන ඒකත් සුදු රෙදි කෑල්ලක ඔතල මගේ ඔලුව උඩ තියල පිටට තට්ටු කරනව,ඒ කියන්නෙ ගෙදර යන්න කියලයි,යන්න කියන්න බෑනෙ,මම ගෙදර එනව තාත්ත එතනින්ම වැඩට යනවා...
වී ගෙට ගන්නෙත් හොඳ කෙනෙක්ගෙ අතින්ලුනෙ,ඉතිං මම කරල් මිටියත් ඉහේ තියාගෙන ගෙදර ඇවිත් අපේ කෑම මේසෙ තියෙන තැනට එහයින් තියන මහ වී පෙට්ටිය උඩින් කරල් මිටිය තියනව,දවල් වෙලා අයිය එහෙම ඇහැරුනාම අම්ම අයියට කියල කරල් මිටිය වී පෙට්ටිය උඩින් තියෙන මහ බාල්කෙ එල්ලනවා,ඊළඟ කන්නෙ වී කරල් ගෙට ගන්නකල්ම ඒ වී කරල් මිටිය එතනම එල්ලෙමින් තියෙනවා...
ඔය වී කරල් මිටියට අමතරව දෙයියන්ට වෙන්කරපු පොඩි වී මලු දෙකකුත් ඒ බාල්කෙම එල්ලල තියෙනව,ලෙලි ගහපු කොළපතක් මහල හදාගන්න පොඩි මලු දෙකකට වී පුරවල කට ගැටගහල එක මල්ලක අඟුරු කෑල්ලකින් ''ප'' කියලත් අනික් මල්ලෙ ''වි'' කියලත් ලියල උඩ බාල්කෙ එල්ලල තියනව,ප ලියන්නෙ පත්තිනි දෙයියන්ට වෙන්කරපු වී කොටසටයි,වි කියල ලියන්නෙ විෂ්ණු දෙයියන්ගෙ වී කොටසටයි...
ඒ වී මලු දෙක දෙයියන් වඳින්න කපු මහත්තය ගෙදරට ආව දවසට ලෙහල කපුවට දෙනවා,හැම අවුරුද්දකම ගොයං කැපුවට පස්සෙ මහ පන්සලේ දේවාලෙ කපුරාළ ගෝලයෙකුත් එක්ක ගෙවල් ගානෙ දෙයියන් වඳින්න යනවා,දෙයියන් වඳිනකල් ගෙවල්වල පිටි කොටන්න කැවුම් උයන්න තෙල් වලං ලිප තියන්න තහංචියි,ඒ නිසා කපුරාළ අලුත් අවුරුද්දට කලින් ගෙවල්වලට ඇවිත් දෙයියන් වැඳල කරලදෙන්නෙ සුළුපටු උදව්වක් හෙම නෙවෙයි ...
කපුරාළ ගෝලයෙකුත් එක්ක එන්නෙ එකතුවෙන වී තොගේ උස්සගෙන යන්නටයි,කාලයක් මුලින්ම අපේ ගෙදරට දෙයියන් වඳින්න ආපු කපුරාළ පස්සෙ පස්සෙ අන්තිමටම අපේ ගෙදරට එන්න ගත්තා,මුලදී අපට මේ වැඩේ එච්චර අමුත්තක් තේරුණේ නැතත් අන්තිමට අපේ ගෙදර එන එකේ කපුරාළට වාසි දෙකක් තිබුණා,එකක් එකතුවෙන වී තොගේ අපේ කරත්තෙන් නොමිලෙම ගෙදරට ඇදගන්න හැකිවීම,අනික ඒ දවස්වල හොඳට රා වැටෙමින් තිබුණු අපේ නාන ලිඳ ලඟ කිතුලෙන් රා වීදුරු දෙකතුනක් සප්පායම් වෙන්නට හැකිවීම...
කපුරාළ ගෙදරට ආවහම ගෙදර ඔක්කොම ඉස්තෝප්පුවට ඇවිත් බිම වාඩිවෙනවා,ඊට පස්සෙ කපුරාළ මොණරපිල් මිටිය අතට අරගෙන යාතිකාව පටන්ගන්නවා...
ඕං ආවඩ ආයිබේ ආවඩ ආයිබේ ආවඩ ආයිබෙහේඒඒඒ...
යාතිකාව ඉවරකරන කපුරාළ අපේ ඔලුව අතගාලා එහෙම
ඔන්න දැන් පුතාලට අවුරුද්දට කැවුම් කන්න පුළුවනි...
ලොකු වැඩක් ඉවරකලා වගේ කියල ඉස්තෝප්පුවෙ පුටුවෙ වාඩිවෙලා සීයත් එක්ක කතා කර කර ඉන්නකොට පිල පැත්තෙන් එබිකම් කරන රා මදින බාලයිය කපුරාලට එළියට එන්න කියල දෙන සංඥාවකට එළියට ගිහිං රැවුලත් පිහ පිහ ටිකකින් ආපහු ඇවිත් කයියක් ගහගෙන ඉඳල වී ටිකත් කරත්තෙ පටෝගෙන යන්න යනවා...
කොස්සැටදෙනියෙ කුඹුර ඉස්මත්තෙ රෙදිමෝලේ වැටට මායිම්වෙලා තිබ්බ පොඩි දෙනියක අපේ මහප්ප එළවළු වැව්වා,දෙනියෙ කළු පසේ බණ්ඩක්ක,මෑ,වැටකොළු එහෙම සාරෙට පලගත්තා, හරක් පනිනවට වැටක් ගහල තියෙන දෙනියෙ කොටුවෙ එළවළු පැළවලට වතුර දාන්න මහප්ප අපිව එක්කං යනවා,දෙනියෙ අයිනෙ නිල්කැටේ වගේ හැමදාම වතුර උතුරල යන පොඩි ළිඳක් වතුර ගන්න හාරලා තිබ්බා...
ඉර බැහැගෙන යන හැන්දෑ වරුවෙ අපි බාල්දිවලට ලිඳෙන් වතුර ගෙනත් පැළවලට වක්කරනවා,අපි වතුර දානකල් අයිය රෙදිමෝලේ වැට අයිනෙ වකාරෙට හැදිල තියෙන බතල වැල් ගොන්න අවුස් සනවා,ගොඩකරපු රතු පසේ බල්බ් වගේ සරුවට බහින රතු බතල අල මල්ලක්ම ටිකවෙලාවකින් හාර ගන්න පුළුවනි...
මෑ බණ්ඩක්ක පලදාව ලැබෙන කාලෙට එව්ව කාලම එපාවෙනවා පලදාව කඩේකට දෙන්න කියලයැ හරි මිලක් නෑනෙ,වට පිටේ අයට දීල ඉතුරු ටික ගිරව් කාපුවම ඉවරයි...
අපේ අල්ලපු වත්තෙ හිටපු සිරිල් මාමත් හොඳ ගොවියා,අත්ගුණේ කොච්චරද කිව්වොත් ගහක් ගලක් උඩ මොනව හරි හිටෙව්වත් අගේට පැළවෙලා පලගන්නවා, හම්බවෙන ආදායම නං කසිප්පු බොන්නමයි,පෙළක් දවස්වලට උදේ පාන්දර මම වැඩට යද්දී සිරිල් මාම මායක්කලෑ වත්ත පහළ අඩි පාරෙ රැකල ඉන්නව,අතේ විශාල මෑ කරල් මිටියක්...
රුපියල් පහළොවක් දෙන්නකො...
මෑ මිටිය මට දික්කරල කියනව,රුපියල් පහළොව කසිප්පු කාලෙ ගාන මම ඉතිං මෑ කරලුත් උස්සගෙන වැඩට යන්ඩයැ රුපියල් පහළොව දීල දානව...
මෑ ටික ගෙදරට දෙන්න මාමෙ...
පොර සල්ලි ටික අතට ගත්ත ගමන් කෙලින්ම ලොක්කයියලගෙ ගෙදරට දුවගෙන යන්නෙ කසිප්පු කාලක් ගහන්නයි, අත වෙව්ලනව වෙව්ලන සැර කියන්නෙ අතට ගත්ත වීදුරුවෙ තියෙන කසිප්පුත් විසිවෙනවා,පළවෙනි ෂොට් එක දාගන්න කවුරුහරි උදව් කරන්න ඕනෑ ඊට පස්සෙ නං ඕනැ තරං බොයි කිසිම ගේමක් නැතුව...
සිරිල් මාම රස්සාව කරලා තියෙන්නෙ ඇක්සයිස් දෙපාර්තමේන්තුවේ අපි ඉපදෙන්නත් කලින් පැන්ෂන් අරං අපි නං කිව්වෙ ඇක්සයිස් දෙපාර්තමේන්තුවෙන් ධීවර දෙපාර්තමේන්තුවට මාරුවෙලා කියලයි,මොකද කිව්වොත් මාළු අල්ලන්න හරිම හපනා ඔන්න සමහර දවසක රේල් බෝක්කුවට බිලී පිත්තක් දාගෙන ඉන්නව එක්කො මහ ඇලේ හරි ඩක ඩොක පාලම යට හරි දැල් ගහන්න යනවා,දැල් ගහන්න යනකොට නං අපිත් පස්සෙන් යනවා ගිහිං ඔක්කොම උදව් පදව් කරලා දීල මාළුත් අල්ලල දුන්නට මාළු ගෙදර නං ගේන්නෙ නෑ, ගෙනාවොත් වැඩේ අහුවෙනව ඊට පස්සෙ ගුටි...
දැල් ගහන්න ගියාට සිරිල් මාමටම කියල විසි දැලක් තිබ්බෙ නෑ කාලෙන් කාලෙට අනුන්ගෙන් දැල් ඉල්ලං ආව,තමන්ටම කියල විසි දැලක් නැති එක ගැන සිරිල් මාම නිතරම දුක්වුණා සරත් අයිය එහෙම ගෙදර ආපු වෙලාවට සිරිල් මාම කියවන්නෙ ඔය අඩුපාඩුව ගැනමයි...
මට වෙන මොකුත් ඕනැ නෑ දැලක් තිබ්බොත් ඇති...
සරත් අයියත් මේ අමාරුව හොඳටම දැනගත්තට දැලක් අරං දෙන්නෙ නෑ අපිත් එක්ක කිය කිය හිනාවෙනවා,අන්තිමේදී මේ කියවිල්ල ඉවසගෙන ඉන්නම බැරිතැන සරත් අයිය ගෙදර ආපු දවසක මීගමු ගිහිං රුපියල් එක්දාස් හාරසීයකටද කොහෙද විසි දැලක් ගෙනත් දුන්නා, සිරිල් මාමට එදා තරං සතුටක් කසාද බැඳපු දාවත් තියෙන්න නැතුව ඇති...
පහුවදා උදේම සරත් අයිය අපේ ගෙදර ආවා,ආපු වෙලේ ඉඳන් හිනාවෙනවා...
මල්ලි හරි වැඩේනෙ මම ඊයෙ රෑ ගෙදර නිදාගෙන හිටියා,පාන්දර හතරට විතර එකපාරටම මට ඇහැරුනානෙ සල සලං ගාල සද්දයක් ආවා,ආයෙමත් ටිකකින් එකපාරටම...
සල සලාං
තව පොඩ්ඩකින් ආයෙමත් ඒ සද්දෙ,නිදාගන්නත් නෑ මම ඒ ගමන දොර ඇරල පොඩ්ඩක් ඔලුව දාල බැලුව,බැලින්නං තාත්ත මැද මිදුලෙ දැල ගහන්න පුරුදුවෙනව යකඩ බරු සිමෙන්තියෙ වැදෙන සද්දෙ මට ඇහිල තියෙන්නෙ,මට ඉල නෑ හිනාවෙලා මල්ලි,මොනව කරන්නද ඉල්ලං කාපු එකට මම ආපහු දොරත් වහගෙන කාමරේට රිංගගත්තා...
මම කියාගෙන ආවෙ කොස්සැටදෙනියේ වෙල ඉස්මත්තෙ දෙනිය ගැන නේද,අපේ මහප්පල එහෙම නැතිවුනාම රිචී බාප්ප කුඹුර කොටන ගමන් ඔය දෙනිය ටික ටික කොටල කුඹුරටම යාකරල කුඹුර ලොකුකර ගත්තා ඔන්න ඔය විදියට ඒ ලස්සන දෙනිය සදහටම නැතිවුණා දැන් දෙනියත් නෑ රිචී බාප්පත් නෑ වෙල කරන්නෙත් නෑ...
පස්සෙ කාලෙක රාජා කොස්සැටදෙනිය අඳේට වැඩකරද්දි අපි දෙතුන්දෙනා එකතුවෙලා දෙනිය තිබ්බ හරියෙ කොටල ගොමයි වැටමාර අතුයි ගෙනත් දාල පෝර කරලා පොළෙන් කංකුන් මිටි ටිකක් ගෙනත් හිටෙව්වා,කිව්වහම මොකද කංකුන් ටික ලස්සනට සනීපෙට හැදුනා, ගෙදර හදවන් කන්න ඕනැ වෙලාවට අපි ගිහිං කපාගෙන ඇවිත් කනවා,කංකුන් හීනියට ලියල බල කරෝල කෑල්ලකුත් දාල තෙලෙන් තෙම්පරාදු කරල කාල එහෙම තියෙනවද, ඉඳිආප්පත් එක්ක මාර රහයි...
ඒ උනාට කංකුන් කියලත් හැමදාම කන්න පුලුවනෑ නමුත් නොකැපුවොත් කංකුන් ටික මෝරල යනව ඒ නිසා තුන් දෙනාම එකතු වෙලා කංකුන් පාත්තියම කපල මිටි බැඳල වස විස නොගහපු කංකුන් කියල සැන්ටින් මුදලාලිගෙ කඩෙන් ගිහිල්ල තිබ්බා,තිබ්බ මිටි ඔක්කොම ටික වෙලාවකින් විකිණිලා තිබුණා හම්බවෙච්චි සල්ලිවලට මදි හරිය දාල අපි තුන්දෙනා බෝතලයක් ගෙනාවා...
මේ එළවළු කොටු කතාව මට මතක්වුනේ දමිත්ගෙ වම්බටු කොටුවෙ පෝස්ට් එක දැකලයි දමිත්ගෙ කොටුවෙ වම්බටු ලස්සනට පහලට එල්ලී එල්ලී තියෙනව දකිනකොට මට නොහිතුන දෙයක් නෑ...
ඉස්සෙල්ලම මතක්වුනේ පර්මිනා දාසාගේ ආදරය ඉල්ලගෙන ලියුම් ලිය ලිය පස්සෙන් ආපු ෆ්ලොරෙන්තිනෝ අරීසාට ඇය ලියු පළවෙනි ලිපිය හෙවත් වාක්‍ය පේළිය...
''හොඳයි මං ඔයාව බඳින්නම්,හැබැයි ඔයා මට පොරොන්දු වෙනවා නං විතරක්,වම්බටු කන්න මට බල කරන්නෙ නැහැ කියලා''
මට ඊළඟට මතක් වුනේ කළු ධර්මෙය දවසක්දා මට කියපු කතාවක්,කොල්ල කාලෙ කළු ධර්මය වැටකොළු කොටුවක් වැව්වලු හොඳ සරුවට වැවුණු කොටුවෙ දැන් වැටකොළු කරල් පලඅරං ලස්සනට පහළට එල්ලී එල්ලී තියෙනවලු,දවසක්දා උදේ කොටුවට වතුර දාන්න යද්දී වැටකොළු කරල් කඩු වගේ කෙලින්වෙලා ඉහළට ඉස්සිලා තියෙනව ධර්මෙ ඈත ඉඳන්ම දැක්කලු,මේ මොකක්ද යකෝ මේ පුදුම වැඩේ කියල ධර්මය හනි හනිකට කොටුවට දුවල ගිහිං බලද්දී වැඩේ ඇත්ත හරි පුදුමයි,වැටකොළු කරල් නිකං පොලු වගේ කෙලින් වෙලා උඩට ඉස්සිල තියෙනව, අතින් පහළට දැම්මත් ආපහු පටස් ගාල කෙලින් වෙනවලු...
වැටකොලුවලටවත් වගාවටවත් මේ වැඩේ නිසා කිසිම හානියක් නැතත් මේ සිද්දවෙලා තියෙන අටමගල් වැඩේ මොකක්ද කියල බලාගන්න ධර්මෙයට හිතුන හින්ද ගිහිං උන්ගෙ මාම දිනෝරිස්ට ඔක්කොම විස්තරේ කිව්වා...
යමංකො මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න කියපු දිනෝරිස් ධර්මය එක්ක කොටුවට ගිහිං සිද්දවෙලා තියෙන දේ දෑහින්ම දැකබලාගත්තා...
දැං උඹට මේ වැටකොළු කරල් ටික පාත් කරගන්න ඕනෑ එහෙම නේද...
දිනෝරිස් හිනාවෙවී ඇහුවා...
අනේ ඔව් මාමෙ වැටකොළු කරල් ටික මෙහෙම උඩට කෙලින්වෙලා තියෙද්දී පාරෙයන මිනිස්සුන්ටත් පේනවනෙ...
ඉඳපකො එහෙනං කියපු දිනෝරිස් එතනම බිම ඇන තියං ඉඳගෙන මොන මොනවද හෙව්ව,ටිකකින් හිනාවෙවී පඳුරු වගයක් ගලෝල විසික් කළා...
ඔන්න තව ටිකකින් බලපංකො කරල් ටික පාත්වෙලා තියෙයි...
මේ බලහංකො මාමෙ මේං දැම්මම කරල් ටික පාත්වෙනව,හැබෑටම මොකද්ද උඹ කරපු කෙම...
මං කොරපු කෙමක් නෑ බං පන්දලමට ගිහිං තිබ්බ මේං මේ වැල් පෙනෙල පඳුරු දෙක තුන ගලෝල විසික් කළා මිසක...
මට මතක්වුණු කතා දෙක ඔන්න ඕකයි, තව බන්දු කිව්ව කතාවකුත් මතක් වුනා ඒ කතාව වෙන වෙලාවක කියන්නං...
කිව්වහම මොකද මගෙ කෙහෙල් කොරටුවෙත් වැල් පෙනෙල සරුවට හැදිල තියෙනවනෙ,කෙහෙල් පඳුරුවලට පොල් පැළවලට එහෙම දාන පෝර උරාගෙන සනීපෙට පඳුරු ගගහ පෙනෙල වැල් හැදෙන හැටි බලන්න ලස්සනයි, කොටුවට යද්දි මම සෙරෙප්පු දෙකක්වත් දාන්නෙ නෑ වැල් පෙනෙල පෑගුණත් ඇඟට හොඳයිනෙ,ඉරිද දවස්වලට කැඳ හදන්න පඳුරු තුන හතරක් ගලෝල මම බිරිඳට ගිහිං දෙනව, හැබැයි කැඳ හදද්දී මුකුණුවැන්න ටිකකුත් දාලම වැල් පෙනෙල ටික අඹරගන්න නැත්නං ටිකක් වල් රහ එන්න බලනව, වැල් පෙනෙල විතරක් නෙවෙයි වෙන මොනයම්ම කොළ වර්ගයකින් කැඳ හැදුවත් කොළ අඹරද්දි මුකුණුවැන්න මිටි බාගයක් විතර දැම්මම ප්‍රනීත රසක් එනව, මුකුණුවැන්න කොලේ හරිය මැල්ලුමට අරං ඉතුරුවෙන දණ්ඩ ඔය වැඩේට හොඳටම හොඳයි...
වැල් පෙනෙල වල තියෙන විස්මිත ගුණය ගැන කියවෙන මේ කවිය කවුරුත් වගේ අහල ඇතිය කියල මම හිතනවා...
වැල් පෙනෙල සාකා
ගිතෙලෙන් මලවලා කා
අඹු නොතකන එකා
සියක් අඹුවන් වුවද සලකා