අද ඊඩ්...අපට නිවාඩු මේ රටේ ඊඩ්වලට සතියක් නිවාඩු...නිවාඩු දවසෙ මම හිතාන හිටියෙ කොණ්ඩෙ කපාගන්න,උදේ දහයට විතර එළියට බැහැල බලපුවාම බාබර් සාප්පු තියා ටොපියක් ගන්න කඩයක් නෑ ඔක්කොම වහල...මම එහෙම්මම ආපහු ආවා.
බාබර් සාප්පු කිව්වම මට පරණ කතාවක් මතක් වුණා...අපි පොඩිකාලෙ කොණ්ඩෙ කැපුවෙ ටවුමෙ නිව් සිටි සැලුන් එකෙන්...මම විතරක් නෙවෙයි අපේ සීයා,තාත්තා ආදී පරම්පරාවම කොණ්ඩෙ කපාගත්තෙ ඔතනින්...දැනට ටවුමෙ තියෙන පරණම සැලුන් එක...මමත් පොඩිකාලෙ අර උස පුටුවෙ ඉන්දවල කොණ්ඩෙ කපපු දවස්වල ඉඳල තව අද වෙනතුරුත් කොණ්ඩෙ කපන්නෙ එතනින්ම තමයි.
හැබැයි ඉස්සර වගේ සමෘද්ධියක් දැන් නෑ අයසට ගිහිං...සැලුන් එකේ ඉස්සරහ කෑල්ල පාරට කැඩිල,කොටසක් බේකරි නිෂ්පාදන කඩේකට ගිහින්...ඉස්සර පුටු හතර පහක් තියාගෙන කැපුව සැලුන් එකේ අද පුටු දෙකයි ඒවත් ඒ කාලෙ ඉඳලම තියෙන පුටු...දැන් බලන්න දුක්ඛදායක තත්වයක තියෙන්නෙ.
ඒ කාලෙ එහෙමද බොහොම ලස්සනට පිළිවෙලට තියාගෙන හිටියෙ පින්තූර එහෙම ගහල...මට හොඳට මතකයි ඇඩම් සහ ඊව් තහනම් ගහේ ගෙඩිකන දර්ශනය බිත්තියෙ එල්ලල තිබුණා.
මට මතක කාලෙ ඉඳල අද වෙනකල්ම ඔය සැලුන් එකේ නොකඩවා කොණ්ඩෙ කපන්නෙ ජිනදාස බාසුන්නැහැ...වයසක මනුස්සයට නිකම්ම නම කියන්න බැරි නිසා බාසුන්නැහැ කියනව...අපි ආදරේට කියන නම ජිනා,අද ඔය ටවුමෙ ජීවත්වෙලා ඉන්න අයගෙන් අපේ සීයව දන්න එකම එක්කෙනා ජිනා තමයි මම හිතන්නෙ.
ඒ කාලෙ ජිනාගෙ සහායකය හැටියට හිටියෙ අගෝරිස්...මම කොණ්ඩෙ කපන්න ඉඳගත්තම ඔය පරණ කතා ඔක්කොම ජිනාගෙන් අහනව...
ඇත්තටම මහත්තයො රාළහාමිට හිටපු මීහරක් කන්දරාව...හැබෑටම උං ටික කෝ දැන්...
අනේ මන්දන්නෑ බාසුන්නැහැ කවුරු කවුරු හරි ගෙනියන්න නැතෑ...මම විතරයි ඉතුරුවුණේ...
ආ ඒකත් එහෙමද...
බාසුන්නැහැට මතකද මෙතන ගහල තිබුණ පින්තූරෙ...අර සර්පයෙක් ඇපල් ගෙඩියක් කටින් අරගෙන ගහක එතිල ඉන්නකොට හෙලුබැල්ලෙන් ඉන්න ගෑණියක් ඒ ඇපල් ගෙඩිය ගන්න හදන්නෙ, කෝ ඒ පින්තූරෙ...(ඇඩම් ඇන්ඩ් ඊව් කිව්වට ජිනා දන්න එකක්යැ )
අපොයි මොකද මතක නැත්තෙ...ඔය පින්තූරෙ ඒ දවස්වල ඉඳන් කීදෙනෙක් නං ඉල්ලුවද...පස්සෙ මහත්තයල ගලවගෙන ගියා...
බාසුන්නැහැගෙ ඉස්සර හිටපු ගෝලය කෝ දැන්...කවුද මට නම මතක නෑ...
කවුද අගෝරිස්ද...අපොයි මිනිහ මළානෙ...දැන් අවුරුදු විස්සකටත් වැඩි ඇති...
පහුගිය සැරේ ලංකාවට යනකොට ජිනාගෙන් පරණ කතා අහගන්න ඕනැ නිසා මම කොණ්ඩෙත් හොඳටම වවාගෙන ගියෙ...
අපිව පොඩිකාලෙ උස්සල තියල කොණ්ඩෙ කපපු පුටුව තාම තියෙනව...
ඒ දවස්වල රාළහාමිත් එක්ක කොණ්ඩෙ කපන්න ආපුවාම කෑගහන කෑගැහිල්ල...
හැබෑටම වේදනාව දැනෙන මනුස්සයෙක් කෑ නොගහ ඉඳීද...ඒ දවස්වල කොණ්ඩෙ කැපුවෙ අර කට කට ගාල අතින් වැඩකරවන මැෂින්වලින්නෙ...ඔලුව පිටිපස්සෙ කොණ්ඩෙ කපාගෙන ගිහිල්ල උඩට එනකොට ගස්සල අහකට ගන්නව...මැසිමට අහුවෙල තියෙන කොණ්ඩගස් ඔක්කොම ගැලවෙනකොට හුජ්ජ යන තරමට වේදනාව...අඬල නිකං හිටිය ඇති...ජිනා ඕව දන්නවයැ.
ඔලුව වටේ දැළි පිහියෙන් ගානවා...පැත්තක එල්ලල තියෙන හම් පටියෙ අතුල්ලල අතුල්ලල දැළිපිහිය ළෙව්ව වගේ මුවාත තියාගෙන එනකොට ඊට වැඩියෙ බයයි...ඔලුව උඩහරිය ඉතුරුවෙන්න වටේම කොණ්ඩෙ ගාපුහාම හරියට නෑඹිලියක් ඔලුවෙ නැමුව වගේමයි...ඔය නෑඹිළි කට් එක කපාගෙන අපිත් ගෙදර එනව.
දන්න කාලෙක ඉඳලම සැලුන් එකට ගන්නෙ දිනමිණ පත්තරේ...අදත් එහෙමයි...
දවසක්දා මම කොණ්ඩෙ කපන්න යනකොට ජිනා හිටියෙ නෑ...ගෝලය විජේ විතරයි එදා වැඩ...
අද කෝ ජිනදාස බාසුන්නැහැ...
මිනිහ කතරගම වන්දනාවෙ ගිහිල්ලනෙ...අනේ අම්මප එක්ක ගිය මිනිහට නං නිවන් දකින්න ඔය පිනම ඇති...
මොකද විජේ එහෙම කියන්නෙ...
ඇයි සර් ඔය මිනිහ කවදාවත් සතපහක් වියදම් කරන එකක්යැ ඔහොම ගමනක් යන්න...ඔය කතරගම ගියාම වෙන්න ඇති මයෙ හිතේ...
අපි විතරක් නෙවෙයි ඒ දවස්වල නාවික හමුදාපති වෙලා හිටපු සඳගිරි මහත්තයත් කොණ්ඩෙ කපල තියෙන්නෙ ජිනාගෙන්,ඒ මහත්තයගෙ ගෙවල් කුඹල් ඔලුවෙ නෙවැ...
මහත්තය හමුදාපති වෙන්න ගොඩක් කලින් ඉඳල කොණ්ඩෙ කපන්නෙ මෙහෙන්...ඇවිදින් වාඩිවෙලා පත්තරේ බල බල ඉන්නව පුටුවක් හිස් වෙනකං...
හමුදාපති වුණාට පස්සෙත් දවසක්ද දෙකක්ද කොණ්ඩෙ කපාගන්න ආවා මයෙ හිතේ...හප්පා...එතකොටනෙ වැඩේ නේවි එකෙන් ඇවිත් මේක ඇතුළෙ පිරෙනව...මනුස්සයෙකුට ඇතුළට එන්න දෙන්නෙ නෑ...
අන්තිමේ මහත්තයටම තේරුණා මේකෙ තියෙන කරදරේ...ඊට පස්සෙ ආවෙ නෑ කොළඹින් කප්පවගන්න ඇති.
ඒ විතරක්ද ...අපේ බාප්පත් කොණ්ඩෙ කැපුවෙ ඔතනින්නෙ...
බාප්ප රට ඉන්නකොට එහෙම මම කොණ්ඩෙ කපන්න ගියොත් ජිනා මගෙන් බාප්ප ගැන නොවැරදීම අහනව...
කැප්ටන් මහත්තය එහෙම හම්බවුණේ නැද්ද මහත්තයො...
බාප්පා ස්වේච්ඡා හමුදාවෙ කැප්ටන්...අපේ ඉස්කෝලෙ විනය භාර ආචාර්යවරයා...
මගෙ කරුමෙට මාත් ඒ කාලෙම තමයි සෙන්ට්‍රල් එකට තේරුණේ...
කොල්ලො ටික මොනවහරි ආනාදි වැඩක් කරල අහුවුණාම මාත් කොණක ඉන්නවනං බඩුම තමයි...අනික් උන්ට වේවැල් පාරවල් දෙකනං මට හතරයි...අපිත් ඉතිං ඉස්කෝලෙ ඉන්නකල් කලේම පජාත වැඩනෙ...බුදු සන්තෝ බාප්පගෙන් ගුටි කාපු තරමක්...ඒ තමයි ඥාතියා වෙච්චි එකේ විපාක.
බාප්පා පැන්ෂන් ගිහින් ටික කාලෙකින්ම පවුලෙ කට්ටිය ඇමෙරිකාවට සංක්‍රමණය වුණත් බාප්පා පදිංචියට ගියෙ නෑ ගිහිල්ල එන්න ගියා මිසක...පස්සෙ කාලෙක බාප්පට ග්‍රීන් කාඩ් හම්බවුණාම අවුරුද්දකට සැරයක් ගිහින් සතියක් හමාරක් ඉඳල ආපහු එනවා ග්‍රීන් කාඩ් කැන්සල් වෙන නිසා...
ඔය අපේ රටේ තදයොත් අවුරුද්දකට සැරයක් ගිහිල්ල පාස්පෝට් එකේ සීල් එක වද්දගෙන එන්නෙ...කොච්චර තදයෙක් වුණත් ඒ රටේ නීතිය ඊට ඉහළින් තියෙනවනෙ...තදයත් එකයි පාරෙ ඉන්න හිඟන්නත් එකයි.
අධිරාජ්‍යවාදියො කිව්වත් ලෝක පොලිස්කාරයා කිව්වත් ඒ රටේ තියෙන සමානාත්මතාවත් ප්‍රජාතන්ත්‍රවාදී නිදහසත් ඇස් දෙකෙන් දැකපු මම ඒ ආශ්වාදය ඉහළින්ම විඳල තියෙනවා.
බාප්පා ගමේ ප්‍රභූවරයෙක් වගේ ම පිළිගත් චරිතයක්...සෑහෙන සිවිල් බලයක් ඇතුව ගමේ ජීවත්වුණු කෙනෙක්...එයා ඇමෙරිකාවෙ පදිංචි වුණානම් එහෙට තවත් එක මනුස්සයෙක් විතරයි.
ඔන්න ඔය හේතුව නිසා බාප්පා ඇමෙරිකාවට වඩා ලංකාවට ඇලුම් කලා.
බාප්පගෙ දුව පදිංචි වෙලා හිටියෙ කැලිපෝනියාවෙ ලැන්කැස්ටර්වල...ලොස් ඇන්ජලීස්වල ඉඳල කිලෝමීටර් සීයකට වඩා දුරයි...සමහර නිවාඩු දවස්වලට අපි කෝච්චියෙ ලැන්කැස්ටර් යනව...අපි හිටපු කාලෙත් බාප්පා ඇවිත් ගිහිල්ල තිබුණත් මට එහෙදි බාප්පව මුණගැහුනෙ නෑ...
අවසාන වතාවට බාප්පා ඇමෙරිකාවට ගිය වෙලේ දරුණු හෘදයාබාධයක් හැදිල ඉස්පිරිතාලෙට ගෙනිහින් සනීපවෙලා ආවෙ ඩොලර් ලක්ෂ ගාණක් වටින බැටරියකුත් පපුවෙ හයිකරගෙන...ඊට පස්සෙනං බාප්පට ගුවනින් යන එක වෛද්‍යවරු තහනම් කළා...
මේ අවුරුද්දෙ මුල හරියෙ බප්පා මියගියා...කොච්චර පහසුකම් තිබුණත් බාප්පා ජීවිතයේ අවසාන කාලය ගතකලේ එපමණ සතුටකින් නොවෙයි...රටින් පිට හිටපු එකම තමයි ඒකට ප්‍රධාන හේතුව.
මෙදා සැරේ කොණ්ඩෙ කපන්න ගියාමත් ජිනා බාප්පව මතක් කලා...
ඔය රටවල්වල කොණ්ඩෙ කපන්න කීයක් විතර යනවද මහත්තයො...
මම පිටරටක ඉඳල ඇවිත් කොණ්ඩෙ කපාගන්න ගියාම ජිනා අහනව...
ඒක ඉතිං රටේ හැටියටනෙ බාස් උන්නැහැ...සමහර රටවල්වල රුපියල් දෙදාහකට කිට්ටුවෙන්න ගන්නව...සමහර රටවල හය හත්සීයක් ගන්නව...
අප්පා...එහෙනං අපි කපන ගාන කොච්චර ලාබද...නේද ඕයි...
ජිනා විජේගෙන් අහනවා...
මම කොණ්ඩෙ කපන්න වාඩිවුනු වෙලාවෙ ඉඳන් ජිනා මගෙ කොණ්ඩෙට කරන අපහාස නිමක් නෑ...ඔන්න කතුරෙන් ටිකක් කපාගෙන යනවා...
කෝ...කපන්න කොණ්ඩයක් තියෙනවයැ තට්ටෙනෙ...
ඔහොම තමයි දැන් ඉතිං වයසයිනෙ...
හැබෑටම බාසුන්නැහැ කොණ්ඩෙට ඉස්සෙල්ල රැවුල පැහෙන්නෙ මොකද...රැවුල කොණ්ඩෙට වඩා අවුරුදු විස්සක් විතර බාලයිනෙ...
ආ...ඒ හැම තිස්සෙම කපන හින්දනෙ...
ඔන්න ඔය විදියට අපහාස විඳගෙන වුණත් තාමත් ලංකාවෙ ඉන්නවනම් මම කොණ්ඩෙ කපන්න යන්නෙ ජිනා ලඟටමයි...
මෙදා සැරේ ලංකාවට ගිය වෙලාවෙ මම දෙසැරයක් කොණ්ඩෙ කපන්න ජිනා ළඟට ගියා...පළවෙනි සැරේ මට ජිනාගෙ පින්තූර ගන්න කැමරාව ගෙනියන්න අමතක වුණා...දෙවෙනි දවසෙ කැමරාවත් අරගෙන පුතත් එක්ක ගිහිල්ල පුතාට කියල පින්තූර ටික ගත්තා...
කොච්චර වුණත් අවුරුදු පණහකටත් වැඩි කාලයක් දස දහස් ගාණකගෙ කොණ්ඩ රැවුල් කපපු ජිනා මට නම් යුගයක් නියෝජනය කරපු චරිතයක්.
පහුගිය සතියකටත් වඩා කාලයක් බ්ලොග් ලෝකය පුරාම දෝංකාර දුන්නෙ රතුපස්වල සිදුවීමයි.ඒ ගැන බොහෝ සටහන්ද ලියවුණා...මට තිබූ පිළිකුල හා දරුණු කළකිරීම නිසාම මා වචනයක්වත් ඒ ගැන ලිව්වෙ නෑ.
අනික් අතට මම ලියන දේ ඒ දවස්වල පළකලා නම් එයත් කාලයට නොගැලපෙන දෙයක් වෙන නිසා මා නිහඬවම හිටියා.
පහුගිය දවස් කීපය පුරාම මා ටෙස්ට් වරම් ලැබීම කතා මාලාවේ තවත් කොටසක් ලියා අවසන් කළත් පළකරන්නට තිබුණු අද දවසේ වෙනත් කතාවක් ලියන්නට හිතුනු නිසා හදිසියෙන් මේ කතාව ලියා පළකලා.
බොහෝ අය මගේ නිහඬබව ගැන විමසූ නිසා මා මේ කෙටි සටහන ලිව්වෙ.ඒ සියළු දෙනාටම ස්තූතියි.
පහුගිය සතියකටත් වඩා කාලයක් බ්ලොග් ලෝකය පුරාම දෝංකාර දුන්නෙ රතුපස්වල සිදුවීමයි.ඒ ගැන බොහෝ සටහන්ද ලියවුණා...මට තිබූ පිළිකුල හා දරුණු කළකිරීම නිසාම මා වචනයක්වත් ඒ ගැන ලිව්වෙ නෑ.
අනික් අතට මම ලියන දේ ඒ දවස්වල පළකලා නම් එයත් කාලයට නොගැලපෙන දෙයක් වෙන නිසා මා නිහඬවම හිටියා.
පහුගිය දවස් කීපය පුරාම මා ටෙස්ට් වරම් ලැබීම කතා මාලාවේ තවත් කොටසක් ලියා අවසන් කළත් පළකරන්නට තිබුණු අද දවසේ වෙනත් කතාවක් ලියන්නට හිතුනු නිසා හදිසියෙන් මේ කතාව ලියා පළකලා.
බොහෝ අය මගේ නිහඬබව ගැන විමසූ නිසා මා මේ කෙටි සටහන ලිව්වෙ.ඒ සියළු දෙනාටම ස්තූතියි.


