Saturday, February 2, 2013

24.ප්‍රධාන අමුත්තා



අපි ඒ කාලෙ පදිංචි වෙලා හිටියෙ ඉන්දියාවෙ හරියටම කිව්වොත් තමිල්නාඩුවෙ මදුරාසියෙ,දැන් නං චෙන්නායි.

සැරයක් අපි ලෑස්තිකලා සිංහල චිත්‍රපටි උළෙලක් චිත්‍රපටි සංස්ථාවත් එක්ක එකතුවෙලා,කාලෙ ගැන කිව්වොත් 1998 අවසාන භාගයෙ විතර.

චිත්‍රපටි සංස්ථාවෙන් චිත්‍රපටි පහක් එක්ක කවුරුහරි ප්‍රධානියෙක් සහභාගි වෙනවා ප්‍රධාන ආරාධිතය හැටියට.

ශාලාව,ආරාධිතයන්,උත්සවය සංවිධානය,ආදී ඉතිරි සියළුම කටයුතු අපි බලාගන්නව.
 එකඟතාව වුණේ එහෙමයි.

අපි ඔය අන්නා සාලෙයි ගුවන් පාලම හරියෙ තියෙන හෝල් එකකුත් වෙන්කරවගෙන ලහිලහියෙ චිත්‍රපටි උළෙලට ලෑස්ති වුණා.නියමිත දිනයට කලින් චිත්‍රපටි ටිකත් ලැබුණා.
ඔන්න දැන් චිත්‍රපටි උළෙල පටන් ගන්න දවසත් ආව,උත්සවය හවස හයට.අපේ පැත්තෙන් ඔක්කොම ලෑස්තියි.

හැබැයි එක පරහක් තිබුණා,උළෙලේ ප්‍රධාන අමුත්තා හැටියට එන්නට නියමිතව හිටපු සංස්ථාවෙ ලොක්කා ඇවිත් නෑ,ඒ වෙනුවට කෙනෙක්වත් එවල නෑ.
දැන් මොකද කරන්නෙ....

ඔය තමිල්නාඩුව තියෙනව නේද...උත්සවයක් මොන තරම් ලස්සනට සංවිධානය කළත් ප්‍රධාන අමුත්තා හැටියට ඉහළම තලයේ පුද්ගලයෙක් හරි දේශපාලකයෙක් හරි සහභාගි වුණේ නැතිනම් ඒ ගොල්ල ගණන් ගන්නෙ නෑ.
මොන තරම් ශ්‍රේෂ්ට චිත්‍රපටි ගෙනල්ල පෙන්නුවත් වැඩක් නෑ...නමක් තියෙන ප්‍රධාන අමුත්තෙක් නොහිටියොත්.

අපි කට්ටිය එකතුවෙලා කතාකරනව දැන් මොකද කරන්නෙ කියල.....එතකොට තමයි නාගේෂ්වරන් ඔතනට ආවෙ...මොකක්ද ප්‍රශ්ණෙ කියල නාගේෂ් ඇහුවාම අපි කිව්ව.

එතකොට නාගේෂ් කියනව...

ඇයි..මිනිස්ටර් ලක්ෂ්මන් ජයකොඩි ඉස්පිරිතාලෙට ඇවිත් ඉන්නව නේද...එයාට කතාකරල බලමුකො..... කියල

ලක්ෂ්මන් ජයකොඩි මහතා එතකොට ලංකාවෙ සංස්කෘතික ඇමති.ඔහුට ඊට අවුරුදු තුන හතරකට ඉස්සරවෙලා ලොකු හෘද සැත්කමක් කරල තිබුණා ඇපලෝ ඉස්පිරිතාලෙ.සාමාන්‍යයෙන් කෙරෙන පසු පරීක්ෂාවකටයි ඒ දවස්වල මදුරාසියට ඇවිත් හිටියෙ...නාගේෂ්ට හොඳ වෙලාවට ඒක මතක තිබ්බ.

අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒ මොහොතෙම ඇමතිවරයා මුණගැහෙන්නට හෝටලේට ගිහිං එදා හවස පැවැත්වෙන චිත්‍රපටි උළෙලේ ප්‍රධාන අමුත්තා හැටියට සහභාගි වෙන්න කියල ආරාධනා කළා.

අපරාදෙ කියන්න බෑ ඇමතිවරයත් ඉතාම නිහතමානීව ආරාධනාව පිළිගත්ත.

අපට දැන් හරිම සතුටුයි....අමුත්තා හැටියට කවුරුවත් නැතිව හිටපු අපට ලංකාවෙ සංස්කෘතික ඇමතිවරයම ලැබිල තියෙනවනෙ...
හවස්වරුවෙ අපිට තිබුණු හොඳම වාහනය හෝටලයට යැව්ව..නියමිත වෙලාවටම ඇමතිවරයා ශාලාවට සැපත්වුණා.

පිළිගැනීම්,පින්තූර ගැනීම් ආදී කටයුතු මහ ඉහළින් සිද්ද වුණා...පෙරහැරින් ඇමතිවරයව වේදිකාවට කැඳවාගෙන ආවා.

මේ වෙලාවෙම තමයි එතකොට මදුරාසියෙ පදිංචි වෙලා හිටපු ශ්‍රී ලංකික චිත්‍රපටි අධ්‍යක්ෂ ටී.අර්ජුන, ප්‍රේමසිරි කේමදාසයනුත් කැඳවාගෙන ශාලාවට අවෙ.කේමදාසයන් ඇවිත් තියෙන්නෙත් ඔහුගෙ වකුගඩු අමාරුවට ප්‍රතිකාර ගන්න,නැවතිලා හිටියෙ අර්ජුනගෙ ගෙදර.

බැලුවහම උළෙලේ පෙන්නන චිත්‍රපටි පහටම සංගීතය සපයල තියෙන්නෙ ප්‍රේමසිරි කේමදාසයන්.....අපට තවත් සුවිප් එකක් ඇදුනා වගේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි කේමදාසයන් පොල්තෙල් පහන පත්තුකරන තැනටත් එතනින් වේදිකාවටත් එක්කරගෙන ගියේ ඔහුගේ විරෝධයද නොතකමින්.

උත්සව සභාව ආරම්භ වුණා....චිත්‍රපටි උළෙලේ ප්‍රධාන අමුත්තා හැටියට පැමිණි ශ්‍රී ලංකාවේ සංස්කෘතික ඇමතිවරයාවද උළෙලේ ප්‍රදර්ශනය වන චිත්‍රපටි පහටම සංගීතය සැපයූ ප්‍රේමසිරි කේමදාස අග්‍රගන්‍ය සිනමා සංගීතවේදියාද හඳුන්වා දී පිළිගැනීමෙන් පසු සංස්කෘතික ඇමතිවරයාට උත්සව සභාව අමතන ලෙස ගෞරවයෙන් ආරාධනා කෙරුණා.

පෙර සූදානමක්,දේශන පිටපතක් හෝ අඩු තරමින් කොළ කැබැල්ලක්වත් අතේ නොමැතිව ජාතික ඇඳුමෙන් සැරසුණු ඇමතිවරයා මයික්‍රපෝනය ළඟට පැමිණියා.

ද්‍රවිඩ සිනමාවේ මුල් යුගයේ චිත්‍රපටියක් වූ චින්තාමනී චිත්‍රපටියෙන් ආරම්භකර ලාංකික සිනමාව ද්‍රවිඩ සිනමාවෙන් ආභාෂය ලද ආකාරය එකින් එක උදාහරණද සහිතව ඔහු ගෙනහැර පෑවේ මුතු පොටක මුතු අමුණන්නාක් මෙන්.

චිත්‍රපටිවල දින වකවානු ගැන ඇමතිවරයාට යම් සැකයක් පවතිනවිට සභාවේ සිටි රසිකයන් වහාම ප්‍රතිචාර දක්වමින් නිවැරදි දිනයන් සඳහන් කළා.
මොහොතකින් එතන මැවුණේ ඉතා උද්යෝගීමත් සංවාදශීලී සභාවක්.ද්‍රවිඩ සිනමාව ගැන ඇමතිවරයා සතුව තිබූ දැණුම් සම්භාරය තමිල්නාඩු රසිකයන් විශ්මයට පත්කරවූවා.

රසිකයන් අමන්දානන්දයට පත්කරවමින් ඔවුන්ගේම සිනමාව ගැන දිය ඇල්ලක් ගලන්නාසේ පුරා පැයක් කළ සාරගර්භ දේශනය ශාලාව පිරී සිටි ජනතාව පිළිගත්තේ කන් බිහිරි කරවන අත්පොළසන් නාදයකින්.....

කතාව අවසන්කර වේදිකාවෙන් බැසගත් ඇමතිවරයාව වටකරගත් උද්යෝගිමත් තමිල්නාඩු රසිකයන්ගෙන් ඔහුව බේරා ගැනීමට අපට පැය භාගයක් පමණ ගතවුණා.

ලබාගත් සාර්ථක ආරම්භයෙන් පසුව ඉමහත් රසික ප්‍රතිචාර මැද ශ්‍රී ලංකා චිත්‍රපටි උළෙල  මහ ඉහළින් පැවැත්වුණා.

පසුදින මදුරාසියේ පළවන  හැම පුවත්පතකම සිනමා කෞතුකාගාරයක් බඳු ශ්‍රී ලංකා සංස්කෘතික ඇමතිවරයා ගැන මහ ඉහළින් වර්ණනා කරමින් ලිපි පළවී තිබුණා මට මතකයි.
 

අහම්බ සිදුවීම් කීපයක් සමග වුණත් අපි කරපු වැඩේ පිළිවෙලටම කෙරුණේ පටන් ගත්තු වෙලාවෙ හොඳකමද දන්නෙ නෑ.මොකද සමහරවෙලාවට හොඳටම සූදානම් වෙලා මහ වියදමකුත් කරල පටන් ගන්න වැඩ අසාර්ථක වෙලා යන හැටිත් දැකල තියෙන නිසා අපේ වැඩේ කෙරුණු විදිහ මතක් වෙනකොට දැනුත් හිතට පොඩි සතුටක් දැනෙනවා.