Wednesday, October 14, 2020

සමුපකාරේ රතු හාල සහ මදුරාසියේ රතු හාල, මාටිං මාමාගේ වී මෝල, ඉඳිආප්ප කතා, කොච්චියාගේ රා සප්පායම, මාදුවා හමුවීම සහ සුද්දාගේ වගාව.

 


           


   




පසුගිය කොටස

අපි දැන් ඉන්නේ සමුපකාරෙන් කූපන් හාලුත් අරගෙන මහතුන් එක්ක මාරි බිස්කට් කකා නාරන්වත්ත පාර දිගේ ගෙදර යන ගමන්ය.  සමුපකාරෙන් දුන්නේ රතු හාල් නම් අපේ ගමන් මග මීට වඩා වෙනස්ය.  ඒ රතු හාල් මෝලට දමා තරමක් පොලිෂ් කර ගෙනෙන්නට වෙන නිසාය.  දෙවේලට තම්බන ලද කුඹුරු හාල් කන අපේ ගෙවල්වල රතු හාල ගන්නේ පිටි කොටා ආප්ප, ඉඳිආප්ප, පිට්ටු ආදිය හදන්නටත් රසකැවිලි හදන්නටත්ය.  ඒ සඳහා තදම තද රතු හාල නොගැලපෙන බැවින් මෝලට දමා පාහා ගත යුතුය.  එවිට හාල ලස්සන රෝස පාටක් ගනී.

සමුපකාරෙන් රතු හාල් අරගෙන අපි ඊළඟට යන්නේ මාටිං මාමාගේ වී මෝලටය.  එය ඇත්තේත් සමුපකාරයට නුදුරිනි.  අපි යද්දිත් මාටිං මාමා වී කොටනවා හෝ හාල් පාහිනවා නම් ටිකක් වෙලා බලා ඉන්නට සිදුවේ.  මෝලේ කවුරුවත් නැතත් අපිට තව ටික වෙලාවක් බලා ඉන්නට සිදුවන්නේ එක්කෙනෙකුට පමණක් වී කොටන්නට මාටිං මාමා වී මෝල ස්ටාට් නොකරන බැවිනි.  ඒ කාලයේ වී මෝල් අද වගේ විදුලියෙන් ක්ෂණිකව පණ ගන්වන්නට බැරි අති විශාල ඇන්ජිම් සහිත ඩීසල් වලින් ක්‍රියාකරවන මෝල්ය.  දෙතුන් දෙනෙක් එකතුවූ විට මාටිං මාමා ඇන්ජිමට ලීවරයක් දමා මුළු ශරීරයේම වෙර යොදා අතින් කරකවයි.  දෙතුන් වතාවක් කහින ඇන්ජිම අවසානයේ මහ හඬක් නගමින් දුම් දමා වැඩකරන්නට පටන් ගනී.  ඈත තියෙන ඇන්ජිමේ රෝදයට සවි කර ඇති ගනකම් සහ දිග පටිය හෙවත් බෙල්ට් එක වී මෝලේ රෝදයට සවි කර ඇත.  අද නම් වී කොටන්නේ මැෂින් තුනකිනි.  මුල් මැෂිමෙන් වී ඇටයේ පොත්ත ගැලවී යයි.  පොත්ත ගැලවුණු හාල් තවත් මැෂිමකට දමා පොලිෂ් කරගනී.  ඉන්පසුව තවත් මැෂිමකින් ගල් වැලි හා කළු ඇට ඉවත් කරයි.  මේ ළඟදී මෝලට ගිය මම දැක්කේ ඔය කාර්යයන් තුනම දැන් එකම මැෂිමකින් කරන තරමට මෝල දියුණුවී ඇති බවය.

හැබැයි ඒ මාටිං මාමාගේ මෝල නොවේ.  අපේ ගමට එහා ගමේ ඇති මෝලකි.  මාටිං මාමාගේ මෝල වැසී ගොස් සහ මාටිං මාමා පරලොව ගොස් දැන් බොහෝ කල් ගෙවී ගොස් ඇත.  මාටිං මාමා ඔය කාර්යයයන් සියල්ලම කළේ එකම මැෂිමෙනි.  නමුත් ඒ මෝලේ ගල් වැලි ඉවත් කිරීමක් නොවූ නිසා හැමදාම උයද්දී හාල් ගරා ගත යුතු විය.  මාටිං මාමා පළමුව වී ටික මෝලේ බක්කියට දමා පොතු ගැලවී ගිය පසු නැවතත් හාල් ටික ආපසු බක්කියට දමා සුදු කර ගනී. ඔය වැඩ දෙකම ඔහු කළේ මැෂිමට සවි කර ඇති ඇණයක් වැනි උපකරණයක් තද කරමින් හා බුරුල් කරමිනි.  සමහර වෙලාවට කොටද්දී හාල් ටික කුඩුවී යයි.  එවිට මාටිං මාමා කියන්නේ වී ටික වේලිලා වැඩි බවය.

වී කොටද්දී ඉවත යන දහයියා ටික වෙනම කටකින් මෝලට පිටින් ඇති දහයියා ගොඩට වැටේ.  ඒ දහයියා ගොඩ අවුස්සමින් දවල් දවස තිස්සේම අහුලා කන කුකුළු කිකිළියන් රෑනකි.  උන් එහා වත්තේ පිස්කල්ගේ කුකුළු රංචුවය.  උන්ට කන්න දෙන්නට පිස්කල්ට කිසිම වියදමක් දරන්නට වෙන්නේ නැත. ඔය වගේ තව කතාවක් මම කියවපු පොතක තිබුණා මට මතකය.  ඒ රොඩ්නි ජොන්ක්ලාස් ලියූ වාලම්පුරි නම් පොතය.  එහිද මුහුදෙන් ගොඩට ගෙනෙන හක්ගෙඩි කුණුවෙන්නට දමා තියෙන මඩුව යට කුකුළු රංචුවකි.  උන් හක්ගෙඩි කුණුවී වැටෙන පණුවන් අහුලමින් ආහාරයට ගනිති.  කුකුළු රංචුව වාඩියේ කෝකියාගේය.  කුකුළු රංචුවට කෑම දෙන්නට සත පහක් වත් වියදම් නොකරන කෝකියා බිත්තර සහ සතුන් විකිණීමෙන් ලොකු මුදලක් සොයන බව කියැවිණ.

වී කෙටීමෙන් ලැබෙන මුදලට අමතරව පැත්තක එකතුවෙන වී කුඩු විකිණීමෙන්ද මාටිං මාමාට අමතර මුදලක් ලැබේ.  සෙනග වී කුඩු ගෙනියන්නේ පුන්නක්කු සමග කලවම්කර හරකුන්ට කන්නට දෙන්නටය.  මෝලට පාහින්නට දුන්න රතු හාල් ටික සුද්දකර ගත් පසු අපි දෙන්නා ගෙදර එන්නේ අලවත්ත පාර දිගේය.  ඒ වගේ රතුම රතු හාලක් දවසක් මම මදුරාසියේ කඩේක දැක්කෙමි.  ඒ මාටිං මාමාගේ වී මෝලේ හාල් කෙටිල්ලට කාලාන්තරයකට පසුව මම ඉන්දියාවේ හිටපු කාලයේය.  ඒ රතු හාල් කිලෝ කීපයක් මිලට ගත් මම එතන ලඟම තිබුණු මෝලකට දී රෝස පාට වෙන්නට පොලිෂ් කරවාගෙන ගෙදර අරගෙන ගියෙමි.  ඒවා කොටා පිටි කරගත් විට ඉඳිආප්ප හදන්නට අනර්ඝ බව පෙනීගියේය.  එහෙම ඉඳිආප්ප හදන විට පිටි තම්බා ගෙන ඉඳිආප්ප සෑදිය යුතුය.  හාල් පිටි වලින් ඉඳිආප්ප හදන ක්‍රම දෙකක් ඇත.  එකක් නම් පිටි තම්බා ගෙන ඉඳිආප්ප හැදීමය.  අනෙක පිටි බැදගෙන ඉඳිආප්ප හැදීමය.  පාන් පිටිවලින් ඉඳිආප්ප හදනවා නම් බැදිල්ලක් නැත.  තම්බා ගත යුතුමය.

බැදගත් පිටිවලින් හදන ඉඳිආප්ප වල පිටි තම්බාගෙන හදන ඉඳිආප්ප වල තරම් මෘදු සෞම්‍ය බවක් එන්නේ නැත.  පිටි තම්බා සාදාගත් ඉඳිආප්පයේ රැල් බොහොම ලස්සනට රෝස පාටට දැක්ක දුටු ගමන් ඉඳිආප්පය කන්න හිතෙන විදියට පිරුණු බවක් සහිතව තිබේ.  දවසක් අපේ ගෙදර රෑ කෑමකට ආපු කේමදාස මාස්ටර්ටද අන්න ඒ විදියට හදපු ඉඳිආප්ප කන්නට දුන්නෙමි.  බොහොම සතුටින් ඉඳිආප්ප කෑ කේමදාස මාස්ටර් බොහොම කාලෙකින් රස ඉඳිආප්ප ටිකක් කෑවා කියමින් ඉඳිආප්ප වල අගය පාරට්ටු කළේය.  ඔය කතාව මම මීට කලින්ද බ්ලොගේට ලියපු කතාවක ලිව්වෙමි.  දැන් නම් ඒක සොයන්නට කම්මැලිය.  අපේ නයා ප්‍රසන්නට නම් ඒ කතාව මතක ඇති බව මම සිතමි.   දවසක් සුනිල් එදිරිසිංහත් මට කීවේ ඔහුත් රෝස පාට ඉඳිආප්පත් පොල් සම්බෝලත් කන්නට මනාප බවය.  ඒ ඕමාන් වල රෑ කෑමකදී අපි හමුවුණු වෙලේය.  එදා සුනිල් එදිරිසිංහ ඉඳිආප්ප සහ රතු පොල් සම්බෝලය බොහොම කැමැත්තෙන් අනුභව කළ බව මට මතකය.  අපි බෙන් එකේ ටෙලි නාට්‍ය කරන කාලයේ දවසක් උදේ ඉඳිආප්ප කන ගමන් කැමරා ශිල්පී කේ.ඒ. ධර්මසේන කීවේ ඔහු තරුණ කාලේ ලෙස්ටර් මහත්තයාගේ ප්‍රොඩක්ෂන් වල වැඩ කරද්දී උදේට ඉඳිආප්ප හැට හැත්තෑවක් කන බවය.  එහෙම නැතිව අලි පත යකඩ බාර්වල සවි කර ඇති විශාල ලයිට් උස්සන්නට බැරි බව ධර්මේ කියපු බව මට මතකය.  මේ ළඟකදී ටී වී වැඩ සටහනකට සහභාගී වූ සචිත්‍ර සේනානායක කීවේ ඔහු මාරි පැකට් දෙකක ඔට්ටුවකට ඉඳිආප්ප හැත්තෑපහක් කෑ බවකි.  මීටත් වඩා ලොකු ඉඳිආප්ප කෑමේ ඔට්ටුවක් ගැන මා කියවා ඇත.  එදා ඉඳිආප්ප කෑමේ ඔට්ටුවේ කතානායක වරයා වන්නේ තුන්වරක් මෙරට අගමැති ධුරය දැරූ ඩඩ්ලි සේනානායක මැතිතුමාය.  මේ කතාව 2018 ජුනි මාසයේ ලංකාදීප පත්‍රයකට නිහාල් ජගත්චන්ද්‍ර ලියුවක් බැවින් පත්‍රයේ තිබුණු පිළිවෙලටම උපුටා දක්වමි.

"මේ කාලයේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාරයේ නතරවී සිටි සිසුන්ට සැපයුනේ බටහිර ක්‍රමයට පිසූ ආහාර පානය.  එහෙත් ඒවාට එතරම් ප්‍රියමනාපයක් නොදැක්වූ ඩඩ්ලිගේ ප්‍රියතම ආහාරය වුයේ සිංහල ක්‍රමයට පිසූ බත් සහ මාළු පිණිය.  එසේත් නැත්නම් ඉඳිආප්ප හෝ පිට්ටුය.

ඒ අනුව ඩඩ්ලි සහ ඔහුගේ සම වියේ මිතුරන් විසින් පවත්වන ලද උද්ඝෝෂණයක ප්‍රතිපල වශයෙන් ඔවුන්ගේ උදෑසන ආහාරයට ඉඳිආප්ප සහ පිට්ටුද එක්කිරීමට විදුහල්පතිවරයාගේ අනුමැතිය යටතේ නේවාසිකාගාර පාලකයා පියවර ගෙන තිබුණේය.  එහෙත් බටහිර කෑම වර්ගද උදෑසන කෑම මේසයට එක්කර තිබුණේ බත් ඉඳිආප්ප හෝ පිට්ටු කෑමට ප්‍රියමනාපයක් නොදක්වන සිසුන් වෙනුවෙනි.

දිනක් නේවාසිකාගාර පාලකයා නිවාඩු ගොස් සිටි අවස්ථාවක උදෑසන ආහාර ගැනීම සඳහා කෑම ශාලාවට ගිය සිසුන්ට දකින්නට ලැබුණේ පෙර පරිදිම ඉඳිආප්ප,පිට්ටු සහ බටහිර ඌරුවට සකසන ලද කෑම වර්ග කීපයක් මේසය මත තිබෙන අයුරුය.  එදින වෙනදාටත් වඩා වැඩි ඉඳිආප්ප ප්‍රමාණයක් එහි තිබෙන බවද ඔවුන්ට පැහැදිලිව පෙනෙන්නට තිබුණේය.

ඩඩ්ලිට මෙතන තියෙන ඉඳිආප්ප කොච්චර කන්න පුලුවන්ද? සීයක්...

ඩඩ්ලි එහි තිබූ වෙනත් කෑම වර්ග දෙසවත් නොබලා ඉඳිආප්ප තසිම අසලින් හිඳගත් අයුරු බලා සිටි ඔහුගේ මිත්‍රයෙකු එසේ කීවේ විහිළුවටය.  තම මිත්‍රයා බොහෝ අවස්ථාවල දී ඉඳිආප්ප වැඩි ප්‍රමාණයක් කිසිදු  අපහසුවකින් තොරව ගිල දමන අයුරු ඔහු කොතෙකුත් දැක තිබුණේය.

'බැරිකමක් නෑ.  ඒත් මම ඒ තරම් ගණනක් කෑවොත් මගේ මේ මිත්‍රයා ඇතුළු වැඩි දෙනෙකුට බඩගින්නෙ ඉන්න සිද්ධ වෙනවා' යි කී ඩඩ්ලි සේනානායක ශිෂ්‍යයා තම මිත්‍රයින් පිරිස දෙස බලා උපහාසාත්මක සිනාවක් පෑවේය.  'නෑ...නෑ...ඒ ගැන ප්‍රශ්නයක් නෑ.  ඔයා ඉඳිආප්ප සීයකට වඩා කෑවොත් අපි ඔයාට මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ෆස්ට් ක්ලාස් ලන්ච් එකක් දෙනවා, ඒත් ඔයාට ඉඳිආප්ප සීයක් කන්න බැරිවුණොත් ඔයා අපිට මොනවද දෙන්නෙ?

ඩඩ්ලිට එම අභියෝගය ඉදිරිපත් කරමින් ඔහුගෙන් එසේ විමසන ලද්දේ උඩරට වතුකාර පවුලකට අයත් බ්‍රිතාන්‍ය ජාතික සිසුවෙකි.

'හරි ප්‍රශ්නයක් නෑ.  මම පැරදුනොත් ඔයගොල්ලන්ටත් මවුන්ට් ලැවිනියා හොටෙල් එකේ ඒ ලන්ච් එකම දෙනවා'. යි කී ඩඩ්ලි මුලින් ඉඳිආප්ප පනහක් තම පිඟානට බෙදා ගනිමින් ඒ අසල තිබූ කිරිමාළු තසිම ලඟට ඇද ගත්තේය.

'හැබැයි මම කන්නේ අතින්, එහෙම නැතුව රස නෑ.' යි කී ඩඩ්ලි සේනානායක වතුර උගුරක්ද බී තම කාර්යය අරඹන ලද්දේ සෙසු සිසුන් පිරිස වටවී බලාසිටින අතරතුරය.  අන්තිමේදී ඉඳිආප්ප එකසිය තිහක් ඉතා පහසුවෙන් ගිල දමා අවසන් කළ ඔහු දෑස් උඩ ඉන්දාගෙන තමන් දෙස බලාගෙන සිටි මිතුරන්ගේ අභියෝගය ජයගෙන හුනස්නෙන් නැගී සිටියේ තම සුරතේ ඇඟිලිද කටින් සූප්පු කරමිනි. "

ඉහත දැක්වෙන කතාව තරමක අතිශයෝක්තියක් බව මට නම් බැලු බැල්මට පෙනේ.  ඉඳිආප්ප හැට හැත්තෑවක් කන එක වෙනම දෙයකි.  ඒත් පාසැල් ශිෂ්‍යයෙක් ඉඳිආප්ප එකසිය තිහක් කෑවා යනු පිළිගන්නට ටිකක් අමාරු කාරණයකි.  සාමාන්‍යයෙන් පත්තරවලට ලියන අයගේ කතාවල තාර බර ඇරගෙන විශ්වාස කරන එක හොඳය.  ඩඩ්ලි සේනානායක මහතා හොඳට කාපු කෙනෙක් හැටියට නම් ප්‍රසිද්ධය.  මම කියවපු තවත් කතාවකට අනුව ඩඩ්ලි සේනානායක මහතා අවේලාවේ ඇවිත් කහබත් කන්නට ඉල්ලන නිසා ඔහු මැති සබයේ ඉන්නාවිට පාර්ලිමේන්තු භෝජනාගාරයේ උදවිය නිතරම එයට සුදානමින් ඉන්න බවද ඔහු වරකට ලොකු කහබත් පිඟානක් සහ බැදපු කුකුලෙක් කන බවද පත්තරයකට කියා තිබුණේ ඒ කාලයේ පාර්ලිමේන්තු භෝජනාගාරයේ හිටපු සේවකයෙකි.   

ඉස්සර අපේ ගෙවල්වල ඉඳිආප්ප හැදුවේ උදේ කෑමටය.  දැන් නම් මේ කියන පරක්කුවට ගෙදර කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම සුළු දෙයක් වුණත් දැන් වගේ ගෑස් කුකර් සහ ස්ටීමර් නැති ඒ කාලයේ ගෙදරට කන්නට ඉඳිආප්ප තම්බා ගැනීම ලොකු වැඩකි.  වංගෙඩියේ පිටි කොටා තම්බාගෙන මිශ්‍රණය තනාගත් පසු දර ලිපේ මැටි මුට්ටියට වතුර දමා පස්සා ඉඳිආප්ප වට්ටිවලට වක්කර ගත් පසු එකවර මුට්ටිය උඩ තියන්නට හැක්කේ ඉඳිආප්ප වට්ටි හතරක් හෝ වැඩිම වුනොත් පහකි.  ඒ වට්ටි පහ මුට්ටියේ කට උඩ තබා ලොකු මැටි මුඩියකින් වැසිය යුතුය.  ඉඳිආප්ප තැම්බී හුමාලය මුඩියෙන් පිටතට එන්නට පටන් ගත් පසු ඉඳිආප්ප බාන්නට පදම ඇවිත් බව දැනගනී.  අනික ඒ කාලයේ හවසට රෙඩිමේඩ් ඉඳිආප්ප විකුණන කඩ ගැන අහන්නට වත් තිබුණේ නැති බවද කිව යුතුය. ඉඳිආප්ප විස්සක් තම්බා ගැනීමට හතර සැරයක් හෝ පස් සැරයක් ඔය විදියට තම්බාගත යුතුය.     කොල්ලා කාලෙ වැඩිපුර කෑවත් දැන් නම් මට ඉඳිආප්ප පහළොවකට වඩා කන්නට අමාරුය.  හොඳටම බඩගිනි තිබුණොත් විස්සකි.  ඊට වඩා කෑවොත් බඩේ ගල් දැම්මා සේ දැනේ. 

 ඒ කතාව එහෙමය.  ඔය මම කිව්වේ ගෙදර කොටාගෙන හෝ පිටි මෝලෙන් ගන්නා පිටිවලින් හදන ඉඳිආප්ප ගැනය.  නමුත් කඩේ විකුණන්නට ඇති ක්ෂණික ඉඳිආප්ප පිටිවලින් හදාගන්නා ඉඳිආප්ප වලින් ඉඳිආප්පයේ ස්වභාවික රසය ගන්නට බැරිය.  මන්දයත් ඒවා කල්තබා ගැනීමට හා පිටිවල සුදෝසුදු වර්ණය ලබා ගැනීමට රසායනික ද්‍රව්‍ය බෙහෙවින් මිශ්‍ර කරන බැවිනි.  ඉඳිආප්ප කන්නට හදාගන්නා පොල් සම්බෝලයද ඔහේ ආගිය අතේ හදන්නේ නැතිව පිළිවෙලකට හදා ගත යුතුය.  රතුලූණු ටිකක් වැඩිපුර දමා උම්බලකඩද ගම්මිරිස් ඇට කීපයක්ද යොදා ගලේ අඹරාගෙන දෙහි ඇඹුල් ටිකකුත් මිශ්‍ර කර සාදාගත් පොල් සම්බෝලය සමග හිතේ හැටියට ඉඳිආප්ප කන්නට හැක.  පොල් සම්බෝලවලට අමතරව තිබ්බොටු සහ කුණිස්සන් මිශ්‍රකර සාදාගන්නා කහපොල් මැල්ලුමද ඉඳිආප්ප සමග නැගලා යයි.  මේ ළඟකදී අපේ ගෙදර ආපු කොච්චියාටත් මම උදේට කන්නට දුන්නේ ඉඳිආප්පත් කහපොල් මැල්ලුමත්ය.  මම කොච්චියාට උදේ කෑම වට්ටෝරු කීපයක්ම ඉදිරිපත් කළෙමි.  ඉඳිආප්ප සහ කහපොල් මැල්ලුම්, හීල් බත් එක්ක පොල් සම්බෝල, පාන් සමග කිරිමාළු හොදිත් පොල් සම්බෝලත් ආදී වශයෙනි.  කොච්චියා කීවේ හීල් බත් වලටත් කැමති නමුත් මෙදා ඉඳිආප්ප කමු කියලාය.

එදා කොච්චියා ඇවිත් තිබුණේ ජා ඇලින් රා කෑන් එකකුත් වල් ඌරු මසුත් අරගෙනය.  මදිපාඩුවට මම ඩීඩී බෝතලයකුත් ගෙන්නෙව්වෙමි.  රා බොන්නට නලින්ද අපිත් එක්ක එකතු වෙන්නට නියමිත විය.  නලින් කිව්වේ පන්සලේ රැස්වීමකට ගිහින් දවල් වෙනවිට එන බවය.  නමුත් රැස්වීමෙන් පසු හාමුදුරුවන්ගේ එක එක ගමන් වලට නලින්ව දවසම බුක් කරගෙන තිබුණු බැවින් නලින්ට වැඩේ මග හැරී ගියේය.  වෙනදාට කොච්චියාත් එක්ක එන අයිවන්ටද අසනීප නිසා එදා එන්නට බැරිවිය.  අයිවන් කියන්නේ අපිත් එක්ක ඕමාන් වල වැඩකරපු කෙනෙකි.  හොඳ බොන්නෙකු, ගිටාර් වාදකයකු සහ නියම විනෝදකාමියකු වූ අයිවන් නැතුවම  අන්තිමට අපි දෙන්නා වැඩේ පටන් ගත්තෙමු.  

රා බොන ගමන් නියම අතීතකාමියකු වූ කොච්චියා කීවේ අපේ ගෙදර එද්දී ගමට ඇතුල් වුන වෙලේ සිට දැක්ක පිරිමින් ඔක්කොම මාදුවාදැයි ඔහුට හිතුන බවයි.  එදා හොඳ වෙලාවට මාදුවලාගේ කුඹුරු යායේ ගොයම් කපන දවසය.  කුඹුර තිබුණේ අපි බොන තැනට මීටර් සීයක් පමණ පහලිනි.  දැක ගන්නට ඔච්චර ආසා එකේ දැම්මම ගිහින් මාදුවා හමුවෙමුය කියා රා බීම පැත්තක තබා අපි වෙලට ගියෙමු.  අපි යනවිට මාදුවාගේ කුඹුරේ ගොයම් කපා ඉවරය.  මාදුවා වී ගෝනි කුඹුරෙන් ගොඩට අදිමින් සිටියේය.  අපි කතාකරමින් ඉන්න විට මාදුවා කොච්චියාව පෙන්වා ඇසුවේ මේ කවුද කියාය.  මම නම් ඔයාව හොඳට දන්නවා යැයි කොච්චියා කී විට බ්ලොග් හෝ අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් නොදත් මාදුවා පුදුමයට පත්ව කීවේ ඒ කොහොමද? මම ඔයාව දැක්කෙත් අදනෙ! කියාය.  කෙසේ හෝ උන් දෙන්නාගේ හතර බීරි කතා අසමින් මම ඇතිවෙන්නට සිනාසුනෙමි.  මගේ කතාවල මාදුවාද එක් චරිතයක් බව ඌ නොදන්නා එක හොඳය.  සුද්දාද එසේමය.  මගේ කතාවල තමන්ද චරිතයක් බව සුද්දා නොදනී.  

මේ දවස්වල සුද්දා නැවතත් බදු වත්ත වගාකරයි.  අයිතිකාරයාගේ ඉල්ලීම අනුව අන්නාසි වගාවෙන් පසුව සුද්දා වත්ත නැවත ඔහුට බාර දුන්නේ අන්නාසි ගස් ගලවාදමා සුද්ද කර අගල් එහෙම කපලාය.  ඊට අමතරව බද්දට හිලව්වක් ලෙස සුද්දා වත්තේ පොල් පැළද සිටුවා තිබුණේය.  දැන් පොල් පැළද තරමක් ලොකුය.  වත්ත ආපසු දුන් සුද්දා තමන්ගේ වැඩක් බලාගෙන සිටියේය.   සුද්දා වත්ත ආපසු බාරදුන් පසු පොල් හොරුන් වැඩ පටන්ගෙන වත්ත සුද්ද කරන්නට පටන් ගත්තෝය.  තමන්ට වගකීමක් නැති නිසා සුද්දා නිහඬව සිටියේය.  ඊට පසු අයිතිකාරයා ආවේ පොල් කඩවන්නටය.  වෙනදාට පොල් කඩවා ට්‍රැක්ටරයක පටවාගෙන යන අයිතිකාරයාට මෙදා ඉතුරුවී තිබුණේ ගෝනි කීපයක දාගෙන යාමට සෑහෙන පොල් ප්‍රමාණයකි.

දවස් දෙක තුනකට පසු සුද්දා හමුවන්නට ආ අයිතිකරු වත්ත නැවත බාරගෙන වගා කරන ලෙස සුද්දාගෙන් ඉල්ලා සිටියේය.  ඔහු මුදල්ද රැගෙනවිත් සුද්දාට දී තිබුණි.  මුදල් අනවශ්‍ය බව සුද්දා කී විට ඔහු කියා තිබුණේ මෙතෙක් කල් වත්ත රැක බලා ගත්තාට ඒ මුදල ගන්නා ලෙසයි.  කෙසේ හෝ දැන් සුද්දා වත්ත නැවත වගා කරයි.  මෙදා සුද්දා සිටවා තිබෙන්නේ කිරි අල සහ මඤ්ඤොක්කාය.   වගා කරන්නට දඬු ලබා ගැනීමේ ප්‍රශ්නයක් සුද්දාට මතුවිය.  පළවෙනි කොරෝනා සමයේදී මම වත්තේ මඤ්ඤොක්කා සිටෙව්වෙමි.  ඒවායේ දැන් හොඳට අල බැහැලාය.  හැබැයි අල ටික ඌරු මීයන්ගෙන් බේරාගන්නට බැරිය.  ගෙදර කෑමට ගලවන ගමන් එකතු කළ දඬු ඔක්කොම මම සුද්දාට දුන්නේ මම ආපහු මඤ්ඤොක්කා නොහිටවන නිසා ඒ සමහර හොඳ දඬු වර්ග වඳ නොවී ආරක්ෂා කරගන්නටය.  දඬු සියල්ලම සිටවූ සුද්දා මගෙත් එක්ක කීවේ පහුගිය වැස්සත් එක්ක දඬු ටික හොඳට පැළවී ඇති බවය.  මම ගෙදර ප්‍රයෝජනයට මඤ්ඤොක්කා හිටෙව්වත් සුද්දා කරන්නේ වාණිජ වගාවකි.  සුද්දා මඤ්ඤොක්කා ගැලවූ දාට දඬු ටිකක් ආපහු අරගෙන ඇවිත් වත්තේ හිටවන්නට මම හිතාගෙන ඉන්නෙමි෴

Thursday, October 1, 2020

ඩැනිස්ගේ ලණුව, සේනගේ සංවේගය,නිලමේගේ වගතුග, කූපන් පොත් සහ කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්.


අද වනවිට හැලපකඩේ බ්ලොගය වල් වැදී මකුළු දැල් බැඳී නන්නත්තාරවී ඇත්තේ මාස ගණනාවකින් මොකුත්ම ලියාගන්නට නොහැකිවීම නිසාය.  එයට මුලිකම හේතුව වුයේ තාක්ෂණික දෝෂයකි.  තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් පසුව වුවද මොකුත් නොලිව්වේ කම්මැලිකම නිසාය.  ලිවීම අතපසුවූ කාලයේ මට කතාකරමින්ද ඊ ලිපි එවමින්ද නොලියන්නේ මන්ද යැයි ඇසු සියළුම පාඨකයින්ට මගේ ස්තූතිය පිරිනමමි.

ලිවීමට කම්මැලිකම ඇතිවන්නට තවත් වැදගත් හේතුවක් වුණේ බ්ලොගය කියවන කමෙන්ට් කරන අයගේ කැපී පෙනෙන අඩුවීමය.  මහන්සි වී පෝස්ටුවක් ලියු විට ප්‍රමාණවත් පාඨක පිරිසක් එය නොකියවන්නේ නම් ලිවීමට වඩා නොලියා සිටීම යෙහෙකි යැයි සිතේ.  කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත්කල බ්ලොග් ලිවීම සහ කියවීම බොහෝ දුරට අඩුවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.  බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය.

මා විසින් ලියන්නට පුරන ලද අවසන් නොවූ කතා දෙකක් ඇත.  එනම් සේනගේ කතාව සහ ත්‍රිකෝණය කතාවයි.  කෙසේ හෝ එම කතා ද්විත්වයද අවසන් කළ යුතුය.  බ්ලොගයේ මෙතෙක් ලියු පෝස්ටු ප්‍රමාණය 296 ක් වන අතර 2019 අවසන් වනවිට පෝස්ටු 300 ක් සම්පූර්ණ කරන්නට සිතා සිටියද එය කළ නොහැකි විය.  කෙසේ වුවද අදත් මා ලියු සේනගේ කතාව කියවමු.

සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියේ ගඩොල් කපන්නට ගොස් සති තුන් හතරක් ගතවිය.  අපිත් සුපුරුදු ලෙස ඩැනිස්ගේ කාමරයේ ඔහුටද වාතයක් වෙමින් රස්තියාදු ගැසීම කරගෙන ගියෙමු.  ඉඳහිට කට්ටිය සේනයා මතක් කළේ උගෙන් කිසිම තොරතුරක් නොමැතිවීම නිසාය.  විස්තර අසා ලියුමක් ලියන්නටද බැරි ඉන්නා තැනක ලිපිනයක් නොදන්නා නිසාය.  ඔය කාලයේ ආරිගෙ අයියා වන නිළමේ අපේ ගමට එහා ගමේ අතුරක් මදින්නට පටන් ගත්තේ ඔහුට අයත් ඉඩමකය.  මදින්නට පටන් ගෙන ටික දවසකින්ම නිලමේගේ රා අතුර ප්‍රදේශවාසී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් බවට පත්විය.  නිළමේද ගෙදර එන එක අතහැර දමා ඒ ඉඩමේම වාඩියක් හදාගෙන පදිංචි විය.  වැඩ නැති වෙලාවට ඉඩම අයිනේ තිබුණු කුඹුර අස්වැද්දු නිළමේ ගොඩ හරියේ එළවළු වගාවක් දැම්මේය.

අතුරෙන් බාන රා ටික ගහ යටදීම බොන්නට ගමේ අප්පුහාමිලා සැදී පැහැදී සිටි නිසා නිෂ්පාදනය විකුණා ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය.  පොඩි අවුලක් තිබුණේ අපේ ගමේ කොල්ලන්ගෙන් හෙවත් අපෙනි.  සතියකට දවසක් දෙකක් අපේ කට්ටිය අතුරට ගිහිං රා කල සියල්ලම හිස්කර පැමිණීම ඒ අවුලය.  සල්ලි දෙන්නේ අතේ තිබුණොත් විතරය.  නැත්නම් රා සියල්ලම බොන්නේ පිනටය.  රා නැතත් නිලමේගේ වාඩියට යෑමම සිතට සතුට දනවන කාරණයකි.  නිලට නිලේ ලස්සනට හැදී ඇති ගොයම පීරාගෙන කුඹුරු යායෙන් හමා එන මඳ සුළඟ,  සරුවට පීදී ගෙඩි, කරල් බරව ඇති මෑ බණ්ඩක්කා වම්බටු පිරි වගාව දකින විටත් සිතට සොම්නස දනවයි.  නිලමේගේ වාඩියේ ලී මැස්සට වී කයියක් ගහමින් ඉන්නා අපට බොන්නට රා කලයක් දෙකක් නිලමේගෙන් ලැබෙයි.  රා බිස්නස් එක නිසා අතමිට සරුවී ඇති නිළමේට කලයක් දෙකක් පිනට දෙන එක මහ කජ්ජක් නොවේ. 

නිළමේගේ වෙලේ ගොයම් කපනදා හරියටම මහ මුදලිගේ බල්ලා මැරුණු දා වගේමය.  ඒ ගමේත් අපේ ගමේත් අයගෙන් කුඹුරු යාය පිරී යයි.  ඉන්න සෙනගගේ හැටියට වැඩට ගියත් අපට කරන්නට වැඩක් නැත.  ඒ නිසා නිළමේ කුඹුරට තේ කහට, බුලත්විටද  උදේ දවල් ඇඹුල ද අරගෙන යෑම අපට පවරයි.  එදාට බොන්නට දෙන්නේද රා නොව නිළමේ විසින් රා වලින් දේශීයව නිෂ්පාදනය කරන ලද සුමිහිරි පළතුරු පානයකි.  ගමේ අය කුඹුරු වැඩට වහ වැටෙන්නේද ඔය කියන පානයේ රස දන්නා නිසාමය.  සතුටු සිනහවෙන් කුඹුරු යාය ඉපිලී යද්දී නිළමේ රජෙකු මෙන් නියර උඩ සිට සිනහවෙයි.

මීට පසු වාඩියට පැමිණි අය ඉල්ලා සිටියේ රා නොව නිලමේගේ නව නිෂ්පාදනයයි.  නිෂ්පාදනය කුඹුරු වැඩට පමණක් කළ බව කීවත් ඔවුන්ගේ පෙලඹවීමෙහි අඩුවක් නොවීය.  ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය.  ඉන්පසුව මදින ලද රා වලින් වැඩි හරිය පෙරන්නට යොදාගත් නිළමේ රා වලට කලයක් දෙකක් පමණක් වික්කේය.  ටික දවසකින්ම නිළමේගේ අතට සල්ලි ගලන්නට විය.  අපි රා බොන්නට එන දාට නිළමේ රා කලයට ස්ප්‍රිට් බෝතලයක් කළවම් කරයි.  වෙනදාට රා කල දෙකතුනක් බොන අය එදාට එක කලයෙන්ම කට් වෙයි.  තමන්ගේ ගමේ කොල්ලො සෙට් එක නිතරම තම අඩවියේ ගැවසීම නිළමේගේ හිතටත් හයියකි.  දවස් තුන හතරකින් ඒ පැත්තේ නොගියොත් නිළමේ පණිවිඩ එවා අපව ගෙන්වා ගනී.  ඒ ගමේ කොල්ලන්ටත් අප්පුහාමිලාටත් පෙනෙන්නටය.  ඉඳහිට හෝ මොකුත් බොන්නට අතේ සතේ නැතිව සිටි අපට නිළමේ ගේ මෙම ත්‍යාගශීලීබව බොහෝ සැනසුම් ගෙන දෙන්නක් විය. 
මෙහෙම කල දවස ගෙවෙද්දී දවසක් මට ලැබුණු ලිපියකි.  ලිපිය ලැබුණේ මගේ නමට සහ පොඩි මහින්දගේ ගෙදර ලිපිනයටය.  එය අමුත්තක් නොවන අතර අපේ කොල්ලන් සියල්ලන්ටම පාහේ ලියුම් එන්නේ ඒ ආකාරයටය.  ලියුම් බෙදන්නාගෙන් ලියුම අරගත් ඩැනිස් ලියුම කාමරයේ තබා තිබු අතර මම ගිය වෙලාවේ ලියුම මට දුන්නේය.  මමත් ලියුම එතනදීම කඩා කියවුයෙමි.  ලියුම සේනගෙනි, ඔහුගේ විස්තර ලියා අවසානයේ රොටියා ගැනද අසා තිබුණි.  වැදගත්ම කාරණය වුයේ සේනයා අසා තිබුණේ "රොටියාගේ අලුත් පෙම්වතා කවුද?" යන්නයි.  මම ලිපිය කියවුයේ ඩැනිස්ටද ඇහෙන්නටය.  සිනාවෙමින් අසා සිටි ඩැනිස්,

"මූට අපි හොඳ වැඩක් කරමු!" යි කීවේය.

"ඒ කිව්වෙ?

"උඹ ලියපං දැන් රොටියා මගෙත් එක්ක යාළුවෙලා කියල!"

"කමක් නැද්ද?"

"උඹ ලියල දාපංකෝ මොකද වෙන්නෙ බලන්න?"

මමත් ඩැනිස් කී පිළිවෙලටම ලියුමක් ලියා සේනයාට තැපැල් කළෙමි.  ටික දිනකින් අපි දෙදෙනාටම ඔය ලියුම් පලහිලව්ව අමතකව ගියේය.  සතියක් ගතවන්නට ඇත.  දවසක් උදේ නින්දෙන් නැගිට නිදිගැට කඩමින් එළියට එනවිට සේනයා අපේ මිදුලේය.

"මොකද සේන මේ පාන්දර?"

"ඊයෙ රෑ ආවේ,  උදේම ඔයා බලන්න ආවා. යමුද පොඩ්ඩක් එලියට?"

"මම තව මුණ හෝදලත් නෑ, උදේට කන්නත් ඕනෑ.  සේන යන්න මම ටිකකින් එන්නම්."

සේන පිටත්වී ගියේය.  ඊට පැය බාගයකට පමණ පසු සුදානම් වී මම යද්දී සේනයා පොඩි මහින්දලාගේ ගෙයි කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා සිගරැට් එකක්ද අදිමින්   සිටියේය.  මාව දැකපු ගමන් සිගරැට් පැකට් එක මට දික්කළේය.  මමත් එකක් අරගෙන දල්වාගතිමි.  කොච්චර ලකේට හිටියත් සේනයා පසුවෙන්නේ ලොකු හිතේ අවුලකින් බව බැලු බැල්මටම පෙනීයයි.  ඩැනිස් රෑ වැඩමුරය අවසන් කර ඇවිත් කාමරයේ හොඳටම නිදිය.  ආයෙ ඇහැරෙන්නේ දවල් කෑමටය.  සේනයාට හදිස්සිය කොච්චරද කිව්වොත් ඩැනිස්ව ඇහැරවමුද කියා මගෙන් අසයි.

"පිස්සුද බං? ඔය මනුස්සයගෙන් බැණුම් අහන්න ඕනැද? පොර නැගිටිනකම් අපි රවුමක් ගහල එමු."

අපි දෙන්නා කෙළින්ම ගියේ නිළමේගේ පොට් එකටය.  ඒ යනවිටත් නිළමේ අතුරෙන් බැස නැත.  ලී මැස්ස උඩ හිඳගත් අපි කයියක් ගහමින් ඉන්නවිට, කොටම කොට කොට කලිසමක් ඇඳගෙන මල් කපන මන්න ඇතුළු ආයුධ සෙට් එක තියෙන "උගේ" ඉනේ රඳවාගත් නිළමේ ලොකු මුට්ටියකුත් එල්ලාගෙන ගෙට ගොඩවුනේය.

"මොකද එළිවෙනකොටම මේ පැත්තෙ?"  නිළමේ අසයි.

"නිලමේ අයියව බලල යන්න කියල ආවා!" 

"ආ..හොඳයි හොඳයි, සේන කවද්ද ගෙදර ආවෙ? " නිළමේ මුට්ටියේ ඇති රා ටික මටුල්ලකින් කළයකට පෙරයි.

"ඊයෙ රෑ, පොඩි නිමාඩුවක් අරන් ආවා."

"එහෙනං දෙන්නත් එක්ක තව ටිකක් ඔහොමම ඉන්නවද, මට තව ගස් දෙකතුනක් තියෙනවා කපල එනකල්?" 

නිළමේ ආපහු එළියට බැස්සේය.  උදේ පාන්දර කොට කලිසම ඇඳගන්නා නිළමේ කොට කලිසම ගලවා සරමක් ඇඳගන්නේ රෑ නින්දට යනවිටය.  ඔය විදියටම ඒ කාලේ අපේ මහප්පෙකුත් හිටියේය.  මහප්පා උදේට ඇඳගන්නා අමුඩය ගලවා සරමක් අඳින්නේ මහ රෑටය.  කුඹුරට යන්නට,හරක් බඳින්න යන්නට,කඩේ යන්නට ආදී වශයෙන් දවල් දවසේ ගම මුලුක්කාදියේ ඇවිදින්නේ ඔය අමුඩය පිටින්ය.  අද කාලෙ වගේ නොව ඒ කාලයේ ගැමියන් දවාලේ අමුඩයෙන් සැරසී ගමන් කිරීම කාහටත් අරුමයක් නොවීය.  මහප්පාගේ නම ජයලත් රාළලාගේ පුංචි බණ්ඩාරය.  එක වතාවක් හාල් පොත් ලියද්දී එතෙක් ලියැවුණු ජේ.ආර් පුංචි බණ්ඩාර කියන නම වෙනුවට අලුත් ග්‍රාම සේවක හාල් පොතේ අමු හිංගලෙන්ම ලියා තිබුණේ ජ.රා පුංචි බණ්ඩාර කියලාය.  මහප්පාගේ පමණක් නොව ගෙදර අක්කලා අයියලාගේද නම් ජ.රා ලෙස වෙනස් කර තිබුණි.  හාල් පොත් බැලු මහප්පා "මොකා මේවා ලියනවද මං දන්නෑ" කියමින් සිනාසුනේය.

ඒ කාලේ හාල් පොත අද ජාතික හැඳුනුම්පත වගේය.  හාල් පොතෙන් නොයෙකුත් ප්‍රයෝජන ගත්තා මෙන්ම නැති බැරි අමාරුවකදී හාල් පොත් උකස් තබා මුදල් ලබාගන්නා අයද එමට සිටියෝය.  හාල් පොතේ නිල නාමය හාල් සලාක පත්‍රය විය.  කොටස් දෙකකින් යුතු හාල් පොතේ මුල් කොටස රෙදි කූපන් වලටද දෙවෙනි කොටස හාල් කූපන් වලටද වෙන්වී තිබුණි.  කූපනයකට මුලදී හාල් සේරු දෙක බැගින් ලැබුණු අතර පසුව එය එක් සේරුවකට කපා දමන ලද්දේ  65 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර් ජයවර්ධන විසිනි.  ඔහුගේ එම ක්‍රියාව 70 යු.ඇන්. පී ආණ්ඩුවේ පරාජයට හේතුවූ තීරණාත්මක සාධකයක් විය.  70 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තුන් හවුලේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වුණේ කපා දැමු හාල් සේරුව නැවත ලබා දෙන බවය.  "අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරු දෙක දෙනවා" යනුවෙන් උදාන පාඨයක්ද තුන් හවුල් ඡන්ද වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණි.  හාල් ගේන්නේ කොහෙන්දැයි යු.ඇන්. පී යෙන් නගනලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එක් ඡන්ද රැළියකදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය කියා සිටියේ හඳෙන් හරි හාල් ගෙනැත් දෙන බවය.  හඳෙන් හාල් දෙන බව කියා බලයට ආවත් තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට මැතිනියටද නොහැකි විය.

පොතට හාල් සේරු දෙක දුන් කාලයේ හාල් පොත් ටික පන් මල්ලකට දමා ගෝනියක් ද අතට දී සමුපකාරේ හෙවත් අපේ අම්මලා කියූ පරිදි සමාගම් කඩේට හාල් ගේන්නට අම්මා මාව පිටත් කර හරී.  මම සමුපකාරෙට යන්නේ සිරිල් මාමලාගේ ගෙදර හිටපු මගේ යාළුවා වන මහතුන්ද කැටුවය.  කඩේ අපේ ගෙදර සිට හැතැප්ම දෙකක් පමණ දුර නිසා ඒ දුර හාල් බර මට තනියම කරගහගෙන එන්නට නොහැකි බැවින් මම මහතුන්ද අඬගහගෙන හාල් ගේන්නට යමි.  ඒ වෙනුවට මහතුන් හාල් ගේන්නට යන දවසට මම ඌත් එක්ක උදව්වට යමි.  අපේ සමුපකාරේ කළමනාකරු හෙවත් මැනේජර් හැටියට මට මතක ඇතිදා පටන් වැඩකලේ කරෝලිස් අයියාය.
කඩේ ගෝල වැඩේටත් කොල්ලෙක් සිටි අතර දැන් මට ඔහුගේ නම අමතකය.  

හාල් පොත් ටික අතට ගන්නා කරෝලිස් අයියා පොතකින් කුපනය බැගින් කතුරෙන් සීරුවට කපා ඉවත්කරගෙන කූපන් ටික ඔහුගේ මේස ලාච්චුවේ ඇති පෙට්ටියකට දමයි.  ඒ පෙට්ටිය පිරී ඇත්තේ කූපන් වලිනි.  ඉන්පසුව ඒ කපාගත් කූපන් ප්‍රමාණයට ලැබෙන හාල්වලට බිල ලියා අතට දෙයි.  හාල් වලට අමතරව තවත් දේවල් ගන්නට ඇත්නම් ඒ අවස්ථාවේම කියා බිල ලියවාගත යුතුය.  අපි ගන්නේ අම්මාගෙන් ඉල්ලා ගත් සත දහයට මාරි විස්කෝතුය.  ඒ අපි දෙන්නාට ගෙදර එනගමන් කකා එන්නටය.  බිල් ලියමින් ඉන්නා කරෝලිස් අයියා එක්වරම පුටුවෙන් නැගිට ගොස් කටේ ඇති බුලත්හපය පෘෂ් ගා ඉවතට විසිකර නැවත පැමිණෙයි.  බුලත් හපය කිව්වාට හපමින් සිටි බුලත් කොලයද පුවක් කෑල්ලද දුම්කොළ කෑල්ලද මුලින් කටේ දමාගත් ආකාරයටම වීසි කරන විටද තිබෙනු දැකිය හැකිය.  එහෙම වෙන්නේ කරෝලිස් අයියාගේ කටේ ඉස්සරහ දතක් ඇරෙන්නට අනිත් දත් සියල්ලම හැලී ගොස් ඇති නිසාය.

බිල අතට ගන්නා අපි ඒ බිල කඩේ අනික් කොටසේ ඉන්න බඩු කිරන ගෝලයාට දුන්න විට ඔහු අර විශාල තරාදියට පඩි දමා හාල් දමා කිරා අපි ගෙනගොස් ඇති ගෝනියට ඇල කර දමයි.  එතන ඇත්තේ අමුතුම සුවඳකි.  හාල්ද භුමිතෙල්ද කරෝලද සුවඳ එකතුවී එන ඒ අපූරු සුවඳ අදද මට හිතින් ආඝ්‍රාණය කළ හැක.  හාල් හැටියට නිතරම පාහේ සමුපකාරයෙන් ලැබෙන්නේ මිල්චාඩ්, රතුම රතු රතු කැකුළු හාල් සහ ඉටිහාල් යනුවෙන් අපේ අම්මලා හැඳින්වූ සුදු හාල් වර්ගයකි.  සුදු කැකුළු හාල් ලැබුණේ කලාතුරකිනි.  මේ හාල් වලින් අපි වඩාත්ම කන්නට කැමති වුණේ මිල්චාඩ් වලින් පිසූ බතටය.  දිග ඇටයකින් යුත් මිල්චාඩ් හාල් පිසෙන විට අමුතුම සුගන්ධයක් හමා එයි.  හොඳ පොල් සම්බෝලයකුත් තනා ගත් විට ඒත් එක්ක ලොකු බත් පිඟානක් කිසි අපහසුවකින් තොරව කන්නට පුළුවන.  අවුරුද්ද කන්නට ඇතිවෙන්නට වී ටික කුඹුරු වලින් අපට ලැබුණත් සමුපකාරයේ නොමිලේ දෙන හාල් ටික ගේන්නේ කැවිලි වලට පිටි කොටාගන්නටත් වැහි කාලයට වී තම්බාගන්නට බැරිවූ විට ප්‍රයෝජනයට ගන්නටත්ය.

සමුපකාරෙන් ගත්ත හාල් ගෝනියත් කරතියාගෙන මහතුන් එක්ක කැලෑ වැදෙමි.  කැලෑ වැදීම කියන්නේ අපි ගෙදර එන ආකාරයයි.  ආපහු ගෙදර එන්නට පාරවල් තුනක් ඇත.  ඔය පාරවල් තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ අලවත්ත පාරත් ගම මැද පාරත්ය.  නමුත් අපි දෙන්නා ගෙදර එන්නේ වෙනම පාරකිනි.  පාර වන්නේ  සමුපකාරය ඉදිරියෙන්ම ඇරඹි අපේ ගම කිට්ටුවටම දිවයන නාරංවත්ත පාරයි.  නාරංවත්ත දෙවෙනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ලංකාවේ තිබූ විශාල කඳවුරකි. යුද්ධය අවසානයේ විදේශ හමුදාවන් ලංකාවෙන් ඉවත්වූ පසු කඳවුර පාළුවට ගියේය.  නාරන්වත්තේ තිබු හොඳින් තාර දැමු පාරවල්, කැලෑ වැහුණු ජල පොකුණු ආදිය බලන්නට අපි කැලේ රිංගා ආපහු එන්නේ කන්නට මොනවා හරි ගඩා ගෙඩිත් අරගෙනය.  මහතුන් එක්ක මම ආපහු ගෙදර ආවේ ඔන්න ඔය කියන නාරංවත්තේ තිබු තාර දැමු නමුත් දෙපස වල් වැහුණු පාරදිගේය෴