Sunday, July 3, 2022

සේනගේ කතාව, ලණුවේ පටලැවිල්ල, නිළමේගේ සංග්‍රහය, ගුරාගේ කොටුව සහ නඩු විභාගය.

 

https://helapakade.blogspot.com/2020/07/blog-post.html

අපි අන්තිමට සේනගේ කතාව කියෙව්වේ 2020 අවුරුද්දේය.   කතාව තව ටිකක් කියන්නට ඇත.  අද ලෑස්ති වෙන්නේ ඉතුරු ටික කියන්නටය.  ඉවර කරගන්නට හැකිවේදැයි නොදනිමි.

සේනත් මමත් නිළමේගේ රා පොළෙන් රා කටු දෙක තුනක්ද සප්පායම් වී කයියක්ද ගසමින් සිට ආපහු ඩැනිස්ගේ කාමරයට ආවේ සෑහෙන්න ප්‍රමාද වෙමිනි.  අපි එනවිට ඔහු නින්දෙන් නැගිට උදේට කා බී සිගරට්ටුවක්ද උරමින් කොට බිත්තිය උඩ වාඩිවී සැහැල්ලුවෙන් සිටියේය.

"අම්මට සිරි! මේ සේන නේද?  මොකද මේ හදිස්සියෙ?" ඩැනිස් ඇසුවත් සේන හදිස්සියෙන් ආවේ ඇයි කියන එක ඔහු හොඳින් දැන සිටි බව ඔහු මට ඇසකින් ඉඟි කරන විටම තේරුම් ගියේය.

"නිකං ඇවිත් යන්න ආව සිල්වා රාළහාමි."  ඩැනිස්ට ගමේ කවුරුත් කතා කළේ සිල්වා රාළහාමි යනුවෙනි.

"යමු ඇතුළට දෙන්නම." කියමින් ඩැනිස් අපව කාමරය තුලට කැඳවාගෙන ගියේය.  

කාමරයට ගොස් ඇඳක හිඳගත් වනම සේනගෙන් ඩැනිස්ට ප්‍රශ්නය යොමුවිය. 

"ඇත්තද රාළහාමි මේ මෙයා කියන්නෙ?"

"මොකක්ද?"

"රාළහාමි රොටියත් එක්ක සම්බන්ධකමක් තියෙනව කියල?"

"ඉතිං මොකක්ද ඒකෙ ඇති වැරැද්ද?" සේනයාව මඩවන්නම හිතාගෙන  ඩැනිස් සැහැල්ලුවෙන් උත්තර දෙයි.  ඒ චෝදනාව ඩැනිස් තරයේ ප්‍රතික්ෂේප කරනු ඇතැයි සිතාසිටි සේන ඩැනිස් චෝදනාව වැඩි බරක් නැතුවම  පිළිගැනීම ගැන මවිතයට පත්වෙයි.   එන්න එන්නම සේනගේ ස්වරය හැඬුම්බර වෙයි.

"ඉතිං රාළහාමි බැඳලනෙ?"

"හරි මගුලක්නෙ.  බැඳපු මිනිහෙකුට කෙල්ලක් යාළු කරගන්න තහනම් කියල නීතියක් මොකක්හරි තියෙනවද?  මම ඇහුවා ඒකිත් කැමති උනා එච්චරයි."

"ඒ උනාට රොටියා මගෙත් එක්කනෙ යාලුවෙලා හිටියෙ."

"ඒ කලින් වෙච්ච දෙයක්නෙ.  යාලුඋනා නම් කෙල්ලව පරිස්සම් කරගන්න තමුසෙ දැනගන්න ඕනෑ.  කෙල්ලව ගෙදර දාල කැලෑ හතේ රස්තියාදුවෙ ගියාම කෙල්ලො වෙන අතක් බලාගන්නව තමයි.  ඒකට උන්ට දොස් කියල හරියන් නෑනෙ." 

"යකෝ ඕකිමනේ මට කිව්වෙ, අනාගතයක් තියෙන්න ඕනෑ, ගමේ රස්තියාදු ගගහ ඉඳල හරියන් නෑ.  රස්සාවකට ගිහිං යමක් කමක් හම්බ කරගන්න කියල.  ඒක හින්දනෙ මම ගියෙ.  ගිහිං මාසයක් උනේ නෑ ඕකි මට මෙහෙම  කළානෙ."

බිම බලාගෙන හිසේ අත් ගසාගත් සේන හඬන්නට විය.  සේනයා අඬන හැටි ඩැනිස්ට බලාගෙන ඉන්නට බැරිවිය.  ජොලියට ලණුවක් දුන්නත් එය එහෙම පිටින්ම ගිල කතාව නොසිතූ පැත්තකට හැරේවි යයි අප බලාපොරොත්තු වුණේ නැත.

"ඔය විලාපෙ නවත්තගන්නව සේන.  අපි තමුසෙව රවට්ටන්න බොරුවක් කළේ.  යාලුවන්ට අපි එහෙමත් සවුත්තු වැඩ කරනවද මනුස්සයො."

ඩැනිස් හොඳින් කතාකර සේනගේ හිත හැදුවේය.  කඳුළු පිසදාගත් සේන අප දෙස බලා සිනාසුනේ සතුටිනි.  එදා හවස සේනත් රොටියාත් දෙහි ගහ යටටවී පෙම් බස් දොඩනු අප දෙදෙනා බලා සිටියේ සිනාසෙමිනි.  සේන පහුවදා පාන්දරම ගඩොල් වාඩියට යන්නට පිටත් වුණේ දවස් දෙකක් වැඩ පාඩු උනා යයි මට දොස් කියමිනි.

"අහිංසකයට පව් බං." ඩැනිස් කීවේය.

ගුරාද ඩැනිස්ගේ කාමර සගයෙකි.  නුවර දෙයියන්නෙවෙලින් පැමිණි ගුරාත් අලුත්ගම කළුවාමෝදරින් පැමිණි ඩැනිසුත් එක කාමරයක එකතුවුනේ රෙදි මෝලේ රස්සාව නිසාය.  ඔය වගේ රටේ විවිධ පළාත්වලින් පැමිණ එකට නැවතීගෙන කමින් බොමින් රස්සාව කරපු සිය ගණනක් ඒ කාලයේ අපේ ගම සිය තාවකාලික වාසස්ථානය කරගෙන සිටියහ(එමෙන්ම සමහරක් පසුකාලීනව තාවකාලික වාසස්ථානය සදාකාලික කරගත්හ)  රටේ හැම පැත්තකින්ම පැමිණි විවිධ ජනවර්ග වල අයගේ ප්‍රාදේශීය භාෂා ව්‍යවහාරයන්ද විවිධාකාර විය.  බිබිලේ දුෂ්කර ගම්මානයකින් පැමිණ රස්සාව කළ රසාක් කැඩි කැඩී සිංහල කතා කළේය.  බදුල්ල පළාතෙන් පැමිණි තරුණයෙක් වූ කරුනාසිංහත් ගිරුවා පත්තුවේ වීරකැටියටත් එහා ගමකින් පැමිණි පාලත් බෙහෙවින් ප්‍රිය කළේ රා බීමටය.  කොටින්ම එකල අපේ ගම මුළු ලංකාවේම හරස්කඩක් වුයේ රෙදිමෝල නිසාය.  මොන ජාතියක වුවත් රටේ කොයි පළාතක වුවත් නිවාඩු ඇති හැම වෙලාවේම කට්ටිය එක් රැස් වුණේ පොඩි මහින්දලාගේ ගේ ඉස්සරහ තිබුණු කොට්ටං ගහ යටටය.  වැඩුමල් වුනත් බාල උනත් පිටින් පැමිණි සියළු දෙනාම කරන දෙයක් කරන්නේ ගමේ කොල්ලන් වූ අපේ අනුදැනුම පිටය.  ඔය මම කියන්නට යන දවසේද අඩු තරමින් හත් අට දෙනෙක්වත් කොට්ටං ගහ යට එකතුවී කතා කරන්නට වුණේ අද කුමක් කරමුද කියාය.  මාසයේ අග දවස් නිසා  ඊළඟ මාසයේ පඩි ලැබෙනතුරු රස්සාව කරන උන් අතේ මුදල් නැත.  රස්සාවල් නැති කොල්ලන් වූ අපේ අතේ කවදාවත් මුදල් ගැවසුණේ නැත. හොර කුරුම්බා කැඩීම, අලවත්තේ අන්නාසි හොරෙන් කඩා කෑම, මාළු වලවල් ඉසීම, දෙල් හෝ මඤ්ඤොක්කා තම්බාගෙන කෑම සහ කොළ කැඳ හැදීම එකල අප අතර ජනප්‍රියම අංග විය.  එදා ඒ එකකටවත් කාගේවත් කැමැත්තක් නොතිබුණි.  අවසානයේ තීරණය වුයේ නිළමේ බලන්නට යෑමටය.  එයට සියළු දෙනාම එකඟ වුයේ මහත් සතුටිනි.   නිළමේ බලන්නට යාම යනු වෙන වචනයකින් කිව්වොත් රා බොන්නට යෑමය.  ඒ නිළමේ රාවලින් දේශීය නිෂ්පාදනයක් පෙරන්නට ගත් අලුතමය.  කැමති අයට කැමති දෙයක් බොන්නට ලැබෙන නිසාත් සත පහක්වත් වියදම නොයන නිසාත් හැම දෙනාම නිළමේ බලන්නට යන්නට බොහෝ මනාපය. 

තීරණයක් ගත් පසු ප්‍රමාද වෙමින් සිටීමේ තේරුමක් නැත.  ඔක්කොමල්ලා ඒ වනවිට මගට බැස හමාරය.  නිළමේ සිය වාඩිය තනාගෙන සිටියේ අපේ ගමට එහා ගමේ කෙළවර පියාගෙන් ලැබුණු ඉඩම් කැබැල්ලකය.  පාරෙන් යනවා නම් වාඩියට යන්නට කිලෝමීටර් දෙකහමාරක් තුනක් යන්නට ඇත.  අපි ගියේ කොට පාරවල් වලින් වතු උඩින් පැන ගනිමින් නිසා ඉක්මනටම වාඩියට යන්නට හැකිවිය.  අපි යනවිට අතුරේ ගසින් ගසට යමින් මල් කපමින් සිටි නිළමේ අපේ පැමිණීම දුරතියාම දැක අතුරෙන් බැස වාඩියට ආවේය.  සුළු කතාබහකින් පසු තව ගස් ටිකක් කපා ඉවරකරන්නට ඇතැයි කියා ඇල අසල බඩවැටියට ගිය නිළමේ තමන් ආපසු එනතුරු බොන්නටැයි කියා පිරී තිබු හතේ කෑන් එකක් ගෙනැත් තිබ්බේය.  බඩු වැඩිපුර කළවම් කර නොමැති නිසා සැර ඇතැයි කියූ ඔහු කළවම් කරගෙන බොන්නැයි අවවාදයක් කළ නිළමේ බයිට් එකට සැර ගමේ අච්චාරු මුට්ටියක්ද ගෙනැත් තබා ආපහු ගස් නගින්නට ගියේය.  අවවාද අනවශ්‍යය. අපේ උන් නිළමේ ගහ ලඟට යන්නටත් කලින් වක්කරගෙන බොන්නට පටන් ගත්හ.  මෙච්චර කොහොම බොන්නටදැයි විමතිය පළකරමින් පටන් ගත්තත් කෑන් එක කෙමෙන් කෙමෙන් අඩුවන්නට විය.  මුලින්ම වැටුනේ අබයාය.  ඌව වියපු පොල්අත්තක තබා තව පොල් අත්තකින් වැසුවේ අව් සැර වැටෙනවාටය.  තවත් දෙතුන් දෙනෙක් වැටෙද්දී කෑන් එකේ පතුල පෙනෙන්නට විය.  වත්තම් කරගෙන යන්නට පුළුවන් උන්වත් රැගෙන අපි ආපහු ආවෙමු.  එදා බීපු බීමේ සැරට මගේ උගුර පිච්චි දවස් කීපයක් කෑම කන්නද බැරිවිය.

මෝලේ වැඩකරපු සැට් එකේ ඉන්න වැඩි හරියක් බීමට කප් ගහපු උන්ය.  කෑම නැතත් කොහෙන් හෝ බීම සොයාගනිති.  බීමට පසු ප්‍රමුඛත්වය ලැබෙන්නේ මෝලටය.  බීවාට පසු මෝල් අමාරුව හැදෙන උන්ද බීවද නොබීවද නිතරම මෝල් අමාරුව ඇති උන්ද ඉන්න අතර මේ අය නිතරම අමාරුව සුව කරගන්නට තැන තැන සැරිසරති.  දවසක්දා හවස ඇඳිරි වැටීගෙන එන වෙලාවේ නාකියාගෙන එහෙම කාමරයට ආ ගුරා යාළුවෙක්ට කතා කළේය.

"ඒයි, එනව ගමනක් යන්න!"

"කොහෙද ඕයි?"

"තමුසෙට ඒකෙන් වැඩක් නැනෙ.  එනවකො යන්න!" කී ගුරා කඩිමුඩියේ ලොකු සිමෙන්ති කඩදාසි කවරයක් ගෙන ඌ පුට්බෝල් ගහනවිට ඇඳ අයින් කර දමා තිබු පරණ ජර්සි වගයක් කවරයට පුරවන්නට විය.  ජර්සි කවරයට පුරවා ලොකු පාර්සලයක් ඔතාගත් ගුරා යාළුවාත් එක්ක දෙවැට පාර දිගේ පල්ලම් බහින්නට විය.  එකල අපේ ගම වෙන්වී තිබු කුඹුරු යාය හරහා වැටුණු පාර තිබුණේ නැත.  කවුරු කවුරුත් දෙවැට දිගේ වැටී තිබු අඩිපාරෙන් ගොස් වෙල නියර දිගේ එගොඩ ගොඩට යන්නට පුරුදුවී සිටියහ.  දෙවැට පාරේ මඳක් දුර ගොස් ගෙදරක කම්බි වැට අයිනේ නැවතුණු ගුරා බලා සිටින්නට විය.  ටික වෙලාවකින් ගේ පිටුපසින් කාන්තාවක් එළියට ආවාය.  ඇය ඉක්මන් ගමනින් කබල් වැට අයිනේ සිටි ගුරා ලඟට විත් නැවතුනාය. 

"රෙදි ගෙනාවද?"  කාන්තාව කසු කුසුවෙන් ඇසුවාය.

"ඔව් මේ !" ගුරා පරණ ජර්සි පාර්සලය ඇයට පෑ විට කාන්තාව එය අතට ගත්තාය.  යාලුවා එතැනම පොල් මුලක් උඩ වාඩිවී බලා සිටී.  ගුරා ඌව ගෙනැවිත් ඇත්තේ ඔත්තු බලන්නටය.  

"එන්න!" ගුරා කීවේ රහස් හඬකිනි.

කාන්තාව වැට පැන එන්නට අදි මදි කරයි.  ගුරාද වැට පැන ඇතුළට යන්නට කැමති නැති සෙයකි.  දෙදෙනා මඳ වෙලාවක් කසු කුසුවෙන් සාකච්ඡා කර අන්තිමේ දෙදෙනාටම එකඟ විය හැකි විසඳුමකට පැමිණියහ.  කාන්තාව සිය හැඳිවත උනා දෙකට නැවී මළකඩ කාච්ච කම්බි දෙපොටක් අතරින් සිය විසල් පශ්චාත්භාගය එළියට දමා දණගසා ගත්තාය.  ගුරා කාන්තාව ලඟට කිට්ටු වුණේ තොළකට ලෙවකමිනි.  විනාඩි දෙක තුනක් ගතවන්නට ඇත.  දෙවැට පාරේ කන්ද උඩින් ගිණි පුපුරක් සෙලවෙනු යාලුවා දුටුවේය.  ගිණි පුපුර වරෙක දීප්තිමත් වෙයි.  නැවත එළිය අඩු වෙයි.  යාළුවා විමසිලිමත් විය.  ගිණි පුපුර තරමක වේගයෙන් කන්ද බසී.  කවුරුන් හෝ දුම්වැටියක් දල්වාගෙන කලුවරේම එන බව පැහැදිළිය.  ගුරාට සංඥාවක් කළ යාළුවා පහළට දුවන්නට විය.  ගුරාද ඔහු පසුපස ඉගිළුනේය.  යාළුවා වෙල නියර පසු කරමින් ගොස් නැවතී බලා සිටියේය.  ගුරා ආගිය අතක් නැත.  දුම්වැටිය දල්වාගත් පුද්ගලයාද යාළුවා පසුපසම ඇවිද ඇවිත් මහ නියරට ගොඩවී අනෙක් අතට යන්නට විය.  දුමවැටිය උරමින් ඇවිත් තිබුණේ නිළමේ බව යාළුවා දුටුවේ එවිටය.   හැමදාම උයාගෙන කන වාඩිබත එපාවුණු විට නිළමේ අම්මාගෙන් බත් කන්නට සතියකට වතාවක් දෙකක් ගෙදර යයි.  එදාද නිළමේ ගෙදර ගිය දවසකි.  ටික වෙලාවක් බලා සිට ගුරා නැති තැන යාළුවා ගෙදර ගියේය.  

කාන්තාව රෙදි ඉල්ලීම ගැන කතාවද පැහැදිලි කළ යුතුය.  රෙදි මෝලේ වැඩ කරන අයට අලුත් අවුරුද්දට රෙදි සලාකයක් හිමිවේ.  දෙන ප්‍රමාණය ගත් කළ සේවකයාගේ පවුලටම සෑහෙන රෙදි ප්‍රමාණයකි.  රෙදි සම්බන්ධයෙන් යම් යම් සීමා පැවති මේ සමයේ මෝලෙන් දෙන රෙදිවලට රෙදි සාප්පු කාරයන් සහ කලුකඩකාරයන් ඇස ගසාගෙන ඉන්නේ රෙදි හැකි ප්‍රමාණයක් මිළට ගන්නටය. මෝලේ වැඩකරන බොහෝ තනිකඩයන් තම රෙදි කොටස විකුණා අරක්කු බොති.  එක්කෝ හොරපොලේ ණය බේරති.  රෙදි ටික ගෙදර ගෙනයන්නේ පවුල් කාරයන්ය.  ඒත් ගෙදර ගෑනිගෙන් බේරෙන්නට හැකියාව ඇත්නම් උනුත් රෙදි විකුණති.  ගුරා කාන්තාව සමග ගනුදෙණුව කතා කරද්දී ඇය ඉල්ලුවේ රෙදිය.  මෙය එකල ග්‍රාමීය දුගී කාන්තාව මුහුණදී සිටි දරිද්‍රතාවේ එක් පැතිකඩකි.  බොහෝ කාන්තාවන් තම දරුවන්ට අවුරුද්දට අලුත් ඇඳුමක් මසා දෙන්නට නොහැකිව ලතවී සිටිති.  ඇගේ ස්වාමිපුරුෂයා උපයන මුදල බොහෝවිට යන්තම් ආහාර සඳහා සෑහෙන ප්‍රමාණයකි.  එහෙමත් නැත්නම් මනුස්සයා බේබද්දෙකි.  සිය පවුලට කෙසේ හෝ රෙදි ටිකක් ලබා ගැනීමේ අටියෙන් කාන්තාව රෙදි ලබා දිය හැකි කෙනෙකුට සිය සේවය ලබාදෙයි.

කලින්දා සිදුවුන දේ ගැන සංවාදයක් ඇතිවුනේ පහුවදා ගුරාගේ කාමරයේදීය.  

"ෂික් යකෝ, පටන් ගත්තා විතරයි!" ගුරා විස්සෝප වෙයි.

"කවුද දන්නෙ එන්නෙ නිලමයා කියල?" යාලුවා කියයි.

"ඒකනෙ, නැත්නං ෂේප් එකේ එහෙමම හැංගිල ඉන්න තිබ්බ බං!"

"ආයෙ ඉතිං එහෙ ගිහිං ඉවරයි නේද?"

"ඇයි ඒ?"

"නෑ ඉතිං රෙදි කියල ගෙනිච්ච කඩමාලු දැක්කම ආයෙ ඒ ගෑනි උඹේ මුණවත් බලයිද?"

"එහෙමම නෑ. හැබැයි මීට පස්සෙ හම්බෙන්නෙ අත්පිට මුදලට!"  ගුරා කොටු පැනීම් ගැන විශේෂඥයෙකි.

"තමුසෙට තිබුනෙ අර පාර්සලෙත් අරං පනින්න!"

"කොහෙ ගන්නද? පාර්සලේ උඩනෙ ඒකි අත් දෙක තියං හිටියෙ!"

"ඒ ඇයි එහෙම?" යාලුවා අසන්නේ මෝඩකමටය.

"ඇයි ඕයි වැලමිටි දෙකේ ගල් කෑලි නිදිකුම්බ කටු එහෙම ඇනෙන හින්දනෙ!" ගුරා පණ්ඩිතයෙක් සේ කියන්නේ යාළුවාගේ මෝඩකම ගැන හිනාවෙමිනි.

ගුරාත් සේනත් හොඳම යාළුවන්ය.  දෙන්නාම එකම උස මහතය.  ගුරා උගේ ඇඳුම් සේනයාට අන්දවා චිත්‍රපටි රඟපෑම් කරවයි.  එහෙම නැත්නම් සිංදුවලට නටවයි.  සේන ගමේ නොහිටි නිසා මේ සෙල්ලම් ටික කලකට නතරවී තිබුණි.  ගඩොල් වැඩපොළේ වැඩ ඉවර කර සේන ගෙදර ආවේ මේ අතරය.  ආපහු වැඩකට යන්න නොසිතු සේන සුපුරුදු රස්තියාදුවට වැටුනේය.  වැඩියත්ම රොටියා සමග තිබූ පලහිලව්ව නැති වේ යයි බියෙන් පසුවුණු සේනයා හැමවිටම රොටියා ලඟින් සිටීමට වග බලාගත්තේය. දෙහි ගහ යටත් මහලිඳ ලඟත් උන් දෙන්නාගේ ප්‍රේම ජවනිකාවන් නිතරම රඟ දැක්වෙන්නට විය.  බෝම්බය පුපුරා ගියේ උන් දෙන්නාම නොසිතූ වේලාවකය.  සේනත් රොටියාත් ගැන ගමේ පැතිරුණු කටකතා මුලින්ම රොටියාගේ නැන්දා හෙවත් පොඩි මහින්දලගේ අම්මා විශ්වාස නොකළත් දිගින් දිගටම ඒ ගැන නොසිතා ඉන්නට බැරි තැනට වැඩ කටයුතු සිදුවන්නට වූයෙන් රොටියාට බැන වැදුණු ඇය මේ කතාවල ඇත්ත නැත්ත විමසුවාය.  මුලින් සේනත් සමග සම්බන්ධයක් තිබුණු බව ප්‍රතික්ෂේප කළත් නැන්දාගේ දැඩි ප්‍රශ්න කිරීම හමුවේ ඇය සත්‍යය පිළිගත්තේ වෙන කරන්නට දෙයක් නොමැති තැනය.  නැන්දාගේ පහළ උසාවියේ ඇසුණු නඩුව තවදුරටත් විභාග කිරීම සඳහා ඉහළ උසාවිය හෙවත් පොඩි මහින්දලාගේ තාත්තා හමුවට පැමිණවීමට ඇය කටයුතු කළාය.  

දවසක් හැන්දෑවේ අපි සුපුරුදු රස්තියාදුවට ඩැනිස්ගේ කාමරයට යද්දී සාලයේ වෙනදා නැති අමුතු දර්ශනයකි.  සේනත් රොටියාත් පුටු දෙකක වාඩිවී සිටිති.  පොඩි මහින්දලාගේ තාත්තා සහ අම්මා තවත් පුටු දෙකකය.  බිම බලාගෙන නළලට අත තබාගත් රොටියා නොනවත්වාම ඉකිබිඳිමින් හඬයි.  සේන නිශ්ශබ්දව බලාසිටී.  

"මේ ගොන් හරකිට මිනිස්සු නැතුවද ඈ? මේ කොහෙවත් නැති නිකමෙක් අල්ලගත්තෙ."  පොඩි මහින්දලෑ අම්මා රොටියාට දිගින් දිගටම දොස් කියයි.

"එහෙම කතා කරන්න එපා, කාටද නිකමා කිව්වෙ මටද?  මම නිකමෙක් නෙවෙයි.  මම ඇවිල්ල මට ඕනෑ වෙලාවක ඕනෑ ගාණක් හම්බ කරන්න පුළුවන් පොරක් හරිද!"  සේන වහාම ඔහුට එරෙහිව නැගුණු චෝදනාවට විරුද්ධ වෙයි.

"අනේ උඹයි මමයි කරන හම්බ කිරිල්ල. යකෝ පවුලක් කනව නං යමක් කමක් හම්බ කරගෙන තියෙන්න ඕනෑ.  තොට තියෙන්නෙ ඉනේ වස්තරේ විතරයි.  කසාද බැඳල ගෑනිට කන්න දෙන්නෙ තොගෙ ලබ්බද?"  පොඩි මහින්දලෑ අම්මට හොඳටම කේන්ති ගිහින්ය.

"දැන් ඔය රණ්ඩුව නවත්තගන්නව.  තමුසෙ අගේට ගෙදර වැඩපල කරගෙන හිටපු ළමයට බොරු කියල රවට්ට ගත්තනෙ!"  මහින්දලෑ තාත්තා කීවේය.

"වැරදියි. මම රවට්ට ගත්තෙ නෑ හරිද? අපි දෙන්න කැමති වුණා. ඊට පස්සෙ ලව් කළා.  ඇයි මොකද වැරදිද?" සේනයා ආක්‍රමණශීලීය.

"මම දැක්කනෙ තමුසෙ ලියල දීල තිබුණු බොරු ගොඩ!"

සාලයේ කැබිනට් එක උඩ ලියුම් මිටියකුත් ලේන්සු කීපයකුත් කොණ්ඩා කටු වගයකුත් තබා තිබුණේ නඩු භාණ්ඩ වශයෙනි.  ඒවා සේන විසින් රොටියාට තෑගීදී තිබියදී සොයාගත් බව නඩු විභාගයේදී හෙළි වුනි.  නඩුව රෑ බෝ වෙනතුරු දිගින් දිගටම ඇදී ගියේය.  සේන පුරාජේරු කියවයි.  රොටියා දිගටම හඬයි. මහින්දලගේ අම්මා ජෝඩුවටම දෙස් දෙවොල් තබයි.  ඉවරයක් නැත.  කම්මැලි නිසා අපි යන්නට ගියෙමු.  පහුවදා උදේ අපි එද්දී තීන්දුව ලබා දී දඬුවම ක්‍රියාත්මක කරලාත් ඉවරය.  සේනයාට කිසිම දඬුවමක් නැත.  ඇත්තටම ඌට දඬුවම් දෙන්නට විදියකුත් නැත.  අහිංසක රොටියා වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදර පිටත් කරලාය.  ඊට පසු කවදාවත් මට රොටියා දකින්නට ලැබුණේ නැත.  හොඳින් පවුල් ජීවිතයක් ගෙනයමින් ඉන්නවා කියල නම් දැනගන්නට ලැබුණි.  පොඩි මහින්දලෑ කාමරය හිස්විය.  මුලින්ම යන්න ගියේ ඩැනිස්ය.  ඔහු රස්සාවෙන් අස්වී ගෙදර ගියේය.  ඊට පසු ගුරා ගියේ මාදුවාගේ ගෙදර කාමරයකටය.  පසුකාලීනව අපි සෙට් උනේ එතැනය.  එතකොට මාදුවලා චූ කොල්ලන්ය.  අපිටත් එක එක්කෙනාට රස්සාවල් ලැබෙන්නට වූ පසු කාමරේ එකතුවී පිස්සු නැටිල්ල අඩුවී ගියේ වැඩ වැඩිකම නිසාය.  කොහොමින් කොහොමින් හරි මට සේනව ගොඩක් මග ඇරුණේය.  පසුකලක ආරංචි වුණේ සේන වීරඟුලේ පැත්තෙන් කසාදයක් කරගෙන එහෙටම බින්න බැස ඉන්නවා කියලාය.  පහුගිය අවුරුද්දේ වගේ මට අහම්බෙන් සේනව හමුවුණේ සේනලාගේ මහගෙවල් පැත්තේ මලගෙදරකදීය.  මම යනවිට ආපහු එමින් සිටි සේනව දුටුවිට කතාකළෙමි.  සේන කීවේ ඔහු කලකට ඉහතදී දරුණු ලෙස අසනීප වූ බවත් දැනටත් බේත් බොමින් සිටින බවත්ය.  ඉතින් සේනගේ කතාව අවසන් වෙන්නේ ඔය විදියටය෴