Showing posts with label කෙටිකතා. Show all posts
Showing posts with label කෙටිකතා. Show all posts

Monday, December 2, 2024

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 20 . ෆිල්ම් යුනිට් එකේ ජිවිතය, අලුත් ටෙලි නාට්‍යය, ඉන්ද්‍රාගේ සහ රේනුකාගේ පලහිලව් සමග අනුරට වූ හදිය.

 

"අන්ර , වරෙන් ප්ලේන්ටියක් ගහන්න යන්න!"  

හිස හරවා බලන අනුර දුටුවේ සිය මේසය අසළ සිටින ලාල්ය.  ඔහු පසුපසින් ඉන්ද්‍රාද විය.  

"යමු,යමු!"  කියමින් අනුර නැගිටිද්දී ලාල් පෙරමුණ ගත්තේය.  තට්ටු හතකින් සමන්විත වූ අමාත්‍යංශයේ  ආපන ශාලාව පිහිටියේ හත්වන මහලේය.  අනුරලාගේ ශාඛාව පස්වන මහලේ පිහිටි හෙයින් පඩිපෙළ නැග ආපන ශාලාවට යෑම ඔවුන්ගේ පුරුද්දය.  ඉන්ද්‍රා ආපන ශාලාවට යන්නේ තේ පානය සඳහා පමණක් වුවද අනුරත් ලාලුත් උදේ සහ දවල් ආහාරයද ආපන ශාලාවෙන් ගැනීම සිරිත විය.  ශාඛාවේ අනික් අය දිවා ආහාරය නිවසින් රැගෙන ආවත් ස්වයං පිටුවහලෙක් වී සිටින අනුරට එවන් වාසනාවක් නොමැති හෙයින් ඔහුට කැන්ටිමේ දිය රසැති බතට හුරුවෙන්නට සිදුවුයේ නිරායාසයෙනි.  උදේ කෑම නම් කෙසේ හෝ කාගත හැකි වුවද මෙලෝ රසක් නැති දවල් කෑම පිඟාන කනවිට ඔහුට අම්මා බෙදා දෙන රසැති බත්පත මතක්වී දෑස කඳුලෙන් පිරේ.

"ඔයාල යන්න, මම ලයිබ්‍රරියට ගිහිං පොතකුත් අරන් එන්නම්!"

ඉන්ද්‍රා කීවේ තේ බී අවසන්ව මුව පිසදා ගනිමිනි.

"මටත් පොතක් නම් ගන්න ඕනෑ, ඒ උනාට මම කාඩ් ගෙනාවෙ නෑනෙ!"

අනුර කීවේය.  ඉන්ද්‍රා මෙන්ම අනුරද පොත් කියැවීමේ රුසියන් වූ අතර ගතවූ මාස හත අට තුල ඔවුන් දෙදෙනා පුස්තකාලයේ තිබු කතා පොත්වලින් බාගයකටත් වඩා කියවා අවසන් කර තිබුණි.

"එන්න, මගෙ කාඩ් එකක් දෙන්නම්!"

ඉන්ද්‍රා කීවීට අනුර අසුනෙන් නැගී සිටියේය.  ලාල් නිහඬවම නැගිට්ටේ ආපසු යන්නටය.  

"ඔයා ගෙනිච්ච පොත් දෙක කියවල ඉවරද?"ඉන්ද්‍රා ඇසුවේ අනුර පසුගිය සතියේ ගෙනගිය පොත් ගැනය.

"ඒ දෙක දවස් දෙකෙන් ඉවරයි.  අද ගේන්න හිටිය අමතක උනානෙ!"

"ආපහු දෙන්න කලින් මටත් කියවන්න දෙන්න!"

පුස්තකාලයෙන් පොත් තෝරාගත් දෙදෙනා ආපසු ශාඛාවට යන්නට පියගැට පෙළ බසින්නට පටන් ගත්හ.  අනුර හිතාමතාම ඉන්ද්‍රාට පසුපසින් ගියේ ඇගේ සිහින් සිරුරේ ලාලිත්‍යය නරඹමිනි.  ඉන්ද්‍රා ඇය පසුපසින් එන අනුර දෙස විටින්විට හැරී බැලුවේ ලජ්ජාවෙන් සිනාසෙමිනි.

අනුර සිය පළමු රැකියාවෙන් උසස්වීමක් සමග මීට අවුරුද්දකට පමණ පෙර මෙම කාර්යාලයට මාරුකර තිබූ අතර ලාල් අනුර සමග ආ කණ්ඩායමේ සගයෙකු විය.  දකුණු පළාතේ උපන් අයෙක් වූ ඉන්ද්‍රා ගාල්ල කච්චේරියේ සිට මාරුවී ආයේ මාස හත අටකට පෙරය.  අසාර්ථක විවාහයකින් පසු තනිවම ජීවත්වන යුවතියක් වූ ඇය කැලණිය පැත්තේ නිවසක නතරවී සිට සේවයට පැමිණෙයි.  ලාල්ද ගාල්ලේ අයෙකු වූයෙන් ගමේ කමට ඉන්ද්‍රා සමග ඉක්මනින් හිතවත් විය.  

එය රටේ නොසන්සුන් කාරී වාතාවරණයක් පසුපසින් භීෂණය හිස ඔසවාගෙන එන සමයක් විය.  සතියේ වැඩකරන දින පහෙන් දෙක තුනකම කාර්යාල ගොඩනැගිල්ලේ කුමන හෝ මහලක තිබී හමුවන ලියුම් කැබැල්ලක් නිසා විනාඩි ගණනාවකින් මුළු කාර්යාලයම හිස්ව යයි.  සේවය නිමවී ගෙදර යන්නට ප්‍රවාහන සේවා නැත.  ඉඳහිට එන දුම්රියක හිරවී තෙරපී ගෙදර යන දවස් මෙන්ම බස් එකක නැගී ගොස් වැලි ලොරිවල ගොඩවී ගෙදර ගිය දවස්ද තිබුණි.  ඒ මදිවාට රෑට ගම් වටලා කෙරෙන සෝදිසි කිරීම්ය.  දවසක් අනුර උදේ පාන්දර නැගිට වැඩට යන්නට ගෙදරින් පිටත්විය.  ඒත් හමුදාවෙන් ගමෙන් පිටවෙන්නට ඇති පාරවල් ඔක්කොම වසා තිබුණේ කිසි කෙනෙකුට පිටවෙන්නට නොදී සෝදිසි කරන්නටය.  පාරවල් වැසුවාට හමුදාව නොදන්නා කෙටි පාරවල් ඕනෑ තරම් දන්නා අනුර ඒ පාරකින් ලේසියෙන්ම දුම්රිය පොළට ගියේය.  ගමනාගමනයේ කරදර නිසාම රස්සාවද එපාවූ අනුර තමන් මුහුණදෙන අසීරුතාව සිය සගයෙකු වූ විමල්ට කීවේය.

"ඉතිං ඇවිදින් අපේ ෆිල්ම් යුනිට් එකේ නැවතියන්.  ඒකෙ දෙන්නයි ඉන්නෙ, හොඳට ඉඩකඩත් තියෙනවා!"

විමල් කීවේය.  කල්පනා කර බලා විමල්ගේ යෝජනාව පිළිගැනීම පහසු මෙන්ම තර්කානුකුල බවට තීරණය කළ අනුර පසුදා විමල් හමුවී තමන් ලබන සතියේ සිට පිල්ම් යුනිට් එකේ නවතින්නට එන බව දැනුම් දුන්නේය.  ෆිල්ම් යුනිට් එක සාලයක් කාමර තුනක් සහ කුස්සියක්ද සහිත තරමක විශාල නිවෙසකි.  එක කාමරයක කැමරා උපකරණ සහ විදුලි ආලෝක සැපයීමේ උපකරණ ගොඩගසා ඇති අතර ඊට යාබද කාමරය යුනිට් එකේ වැඩකරන නුවන් සහ ප්‍රසාද්ගේ නිදන කාමරය විය.  කලින් සිටි කාර්යාලයේදී හඳුනාගත් විමල් සමග ටෙලි නාට්‍යයක නිෂ්පාදන අංශයට එකතුවූ අනුර එහිදී නුවන් හඳුනාගෙන සිටි අතර ප්‍රසාද් නුවන්ගේ ගමේ සිට ඔහු කැඳවාගෙන ආ කොල්ලෙකි.  ඊළඟ ඉරිදා සවස අනුර ඇඳුම් බෑගයත් රැගෙන ෆිල්ම් යුනිට් එකේ පදිංචියට පැමිණි අතර ඔහු එන බව විමල් නුවන්ලාට දන්වා තිබූ නිසා ඔවුන් දෙදෙනා ඔහු එනතුරු බලා සිටියහ.  ඉඳහිට ගෙදර ඉන්නට ලැබෙන නිවාඩු දිනයක දවල් කෑම කුස්සියේ පිළියෙළ වුනත් ඔවුන් වැඩිපුරම කෑම ගත්තේ පිටිනි.  චිත්‍රපටයක හෝ ටෙලි නාට්‍යයක වැඩ ලැබුණු විට නුවන්ද ප්‍රසාද්ද බඩුත් පටවාගෙන පිටව ගිය පසු අනුර ගෙදර සිටින්නේ තනියමය.  අලුත් තැන සිට කාර්යාලයට බස් දෙකක යායුතුය.  වැඩ ඇරී හෝටලයකින් ගන්නා කෑම පාර්සලයක්ද රැගෙන ගෙදර එන අනුර නින්දට යන තුරු පොත් කියවමින්ද රුපවාහිනිය නරඹමින්ද කාලය ගතකරයි.

අමාරුම කාරිය උදේට බස් එකක් අල්ලාගන්න එකය.  ගේ ඉදිරිපිටින් බස් ධාවනය වුවද ඒවායේ පොල් පැටවුවාසේ පිරී ඇති සෙනග නිසා ගොඩවන්නට බැරිය.  බොහෝ බස් නොනවත්වාම ධාවනය වේ.  සන්නද්ධ කල්ලිය විසින් ඇඳිරි නීතිය පනවන ලද දිනකදී නම් දුවන්නේ බස් දෙක තුනකි.  නුවන් ගෙදරින් ගෙනත් යුනිට් එකේ තබාගෙන සිටි චැලිය එවන් දිනවලට අනුරට ගමන් පහසුව සැලසුවේය.  වාහනත් අඩු පාරේ චැලියේ ගමන පහසුය.  බොහෝ දිනවල කාර්යාලය ඇරී ආපසු එනවිට ඉන්ද්‍රාද අනුර සමග බොරැල්ලට ඇවිත් බැසගනී.  පොත් කියවීමෙන් පටන් ගත් අනුරගේද ඉන්ද්‍රාගේද හිතවත්කම මේ වනවිට තම තමන්ගේ පුද්ගලික තොරතුරු පවා හුවමාරු කරගන්නා තරමට වැඩි දියුණුවී තිබුණි.  දිනක් ඉන්ද්‍රා අනුරට කීවේ කාර්යාලයේ සමහර පිරිමි තමන්ට කරදරයක් වන තරමට හිතවත් වීමට තැත් කරන බවය.

"ඉතිං කියන්න එපායැ,  මම ඔය කතා දැනගෙන හිටියෙ නෑනෙ!"

"මොනව කියන්නද? ඔයා ෂූටිං, ෆිල්ම්,කොමර්ෂල් කිය කියා තැන තැන යනව මිසක ඔව්ව දන්න එකක්යැ.  අනික ඒ අය ඔයාගෙ ලඟම හිතවත්තු!"

"හරි බලමුකො, මීට පස්සෙ එහෙම උනොත් කියන්නකො!"

"මං හිතන්නෙ නෑ ආයෙ එහෙම වෙයි කියල.  මම ඔයා එක්ක යන්න එන්න ගත්තට පස්සෙ ඒ ගොල්ල මගෙ පස්සෙන් එන එක නවත්තල!"

"එහෙනං ඒකෙනුත් හොඳක් වුණා!"

"කොහොමත් ඔයා අනුන්ගෙ දේවල් හොයන්නැති පොතක් පතක් බලාගෙන පාඩුවෙ ඉන්න කෙනෙක්නෙ.  ඒකයි මම ඔයා එක්ක යන්න එන්න ගත්තෙත්!"

"යමු යමු තේ එකක් බීල එන්න!"

ඉන්ද්‍රා නිහඬවම නැගී සිටියාය.  එදිනද කාර්යාලයේ වැඩකරන අය අඩු දිනයකි.  ලාල්ද පැමිණ නැත්තේ ගමනාගමන අපහසුතාව නිසා විය යුතුය.   කිසිකෙනෙක් ගමන් නොකරන නිසාවෙන් තරප්පු පෙලද පාළු ස්වභාවයක් ගෙන ඇත.  ඉදිරියෙන් යන ඉන්ද්‍රාගේ ගතින් විහිදෙන තාරුණ්‍යය සහ ලලනා ලාලිත්‍යය අනුරගේ සිත මන්මත් කරවයි.   ඇගේ අතින් අල්ලා ලඟට ගත් ඔහු ඉන්ද්‍රාව සිප ගත්තේ ඇය තදින් තුරුළු කර ගනිමින්ය.  එවැනි දෙයක් බලාපොරොත්තු නොවූ නිසාදෝ ඉන්ද්‍රා සිය විසල් දෑස් දල්වා අනුර දෙස බලා සිටියාය.  විමතියක් මෙන්ම සෙනෙහසක්ද ඒ දෑස්තුළ විය.  ඇගේ දෙතොල් යාන්තමින් වෙවුලයි.  "යමු!"  ඇය කීවේ අනුරගේ අතකින් අදිමිනි.   තේ පානය කරද්දී මෙන්ම ආපසු එද්දීද ඉන්ද්‍රා කිසිම වෙනසක් නොමැතිව සුපුරුදු සිනහවෙන් සිටීම දෙගිඩියාවෙන් සිටි අනුරට සහනයක් විය.  

සති අන්තයේ නුවන්ලා සහභාගී වෙන රූපගත කිරීම් ලඟ පාතක ඇත්නම් එහි යන අනුර ඔවුන්ට උදව් වෙමින් කාලය ගෙවා දමයි.  නුවන්ලා පිට පළාතකට ගොස් ඇති දිනවල ඔහු ෆිල්ම් යුනිට් එකේ කාලය ගත කරන්නේ කම්මැලි කමිනි. සෙනසුරාදා දිනවල කොටුවේ ඕ සී අයි සී හි පැවැත්වෙන සිනමා සහ ටෙලි නිෂ්පාදන පාඨමාලාවකට සහභාගී වන්නට අනුරව උනන්දු කළේ විමල්ය.

"ෆීල්ඩ් එකට කැමති නම් ඒකෙ මූලික දැනීමක් වත් තියෙන්න ඕනෑ.  උඹ ඕ සී අයි සී ගිහිං ඉගෙනගනින්!"

කියූ විමල් අනුරට පාඨමාලාවට සම්බන්ධ වන්නට කටයුතු සලසා දුන්නේය.  විමල් ඊට අවුරුදු කීපයකට පෙර පාඨමාලාව අවසන් කර තිබුණි. පාඨමාලාව අනුරට බෙහෙවින් රසවත් වූ බැවින් ඔහු ඊට සහභාගී වුයේ ඉමහත් උනන්දුවකිනි.  උදේ නවයට ආරම්භ වන පන්තිය දවල් එක වෙද්දී අවසන්ය.  සමහර දිනවල පන්තියට උගන්වන්නට එන ආරාධිත දේශකයින් කෙටි චිත්‍රපට හා ටෙලි නාට්‍ය කොටස් පෙන්වා ඒවා උදාහරණයට ගනිමින් පවත්වන දේශන වලට අනුර ඉතා ප්‍රියකළේය. .  

මංගල උත්සව උපන්දින සහ වෙනත් සාදයන් වීඩියෝ කර දීමටද යුනිට් එකට ඇණවුම් ලැබේ.  වී එච් එස් කැමරාවකින් ඒවා රූපගත කරන්නේ නුවන්ය.  නුවන්ලා පිට වැඩකට ගොස් ඇතිවිට යෙදී ඇති උත්සව සඳහා අනුරට අනිවාර්යයෙන්ම සහභාගී වීමට සිදුවේ.  කැමරාව හැසිරවීම ගැන අනුරට දැනුමක් තිබුණද ලොකු මුදලක් අයකරගන්නා උත්සව රූගත කිරීම් අනුරට දෙන්නට යුනිට් එකේ අයිතිකරු මැලි වේ.

"අයි ටී එන් එකෙන් කවුරුහරි අඬගහගෙන පලයන් මල්ලි!"  ඔහු කියයි.  

අයි ටී එන් එකේ කැමරා ශිල්පීන් සියලු දෙනාම අනුර හොඳින් හඳුනන අයයි.  තමන්ගේ වැඩ සඳහා කැමරා උපකරණ රැගෙන යන්නටද ආයතනයෙන් තමන්ට ලැබිය යුතු මුදලක් ලබාගන්නටද ඔවුහු යුනිට් එකට පැමිණෙති.  යුනිට් එකේ සිට පයින් යන දුරක වූ අයි ටී එන් ආයතනයට ගොස් හමුවුනද ඇමතුමක් දී දැනුම් දුන්නද කැමරා ශිල්පියෙක් සොයාගත හැක.  විවාහ මංගල උත්සව වීඩියෝ කරන්නට අනුර කැමැත්තෙන්ම  ගියේ එහිදී හොඳ කෑම වේලක්ද වැඩේ අවසානයේ අතට මුදලක්ද ලැබෙන නිසාය.  තරු පංතියේ හෝටල්වල මෙන්ම සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ඉහළ පෙලේ මගුල් වලදී කෑමෙන් බීමෙන් සන්තර්පණය වූ ආරාධිතයන් නැටුම් භූමියට අවතීර්ණ වනවිට සේකරගේ ප්‍රබුද්ධ කාව්‍යයෙහි පදපෙළක් මතක්වී අනුරට සිනා යන්නේ නිතැතිනි.

බඩ මහත දැඩි පිරිමි  

 සෙම බරිත තඩි ගැහැණු

කය පුබුදුවී අවුත් 

මස සසල කොට නටත්.

සමහර මාසවල මගුල් ගෙවල් හතර පහක්ම වීඩියෝ කරන්නට ලැබෙයි.  සතියේ දිනවලට යෙදෙන මගුල් වලට කාර්යාලයෙන් නිවාඩු ලබාගෙන ගියත් පාඩුවක් නැත.  අනුර සාමාන්‍යයෙන් නිවාඩු ලබා නොගන්නා නිසා ඔහුගේ නිවාඩු ඉතිරිව ඇති අතර ලබාගැනීමේ අපහසුවක්ද නැත.  මගුල් වැඩිපුර ලැබුණු මාසවල අනුරගේ ආදායම ඔහුගේ වැටුපද ඉක්මවා යයි.  ලැබෙනා වැටුපෙන් මාසය ගතකිරීමේ අසීරු කාර්යයක යෙදී සිටි අනුරට මෙසේ ලැබෙන අතිරේක ආදායම මහත් සහනයක් විය.  මේ නිසාම ඔහුගේ ආර්ථිකය කාර්යාලයේ අනික් අයට සාපේක්ෂව හොඳ තත්වයක පැවතුණි.  එක් දවසක ගිය මංගල්‍යයක උත්සවය අවසානයේ ආපසු එන්නට බඩු ටික එක්රැස් කරමින් සිටියදී මනමාලියගේ ඥාති නැන්දා කෙනෙක් වටපිට බලමින් සිට අතේ තිබූ ලොකු කඩදාසි බෑගයක් අනුර අතට දුන්නේ  "මේක ඔය ළමයා අරන් යන්න!" කියමිනි.  බෑගය ඇර බැලූ අනුර දුටුවේ එය පුරවා ඇති වෙඩින් කේක් ගොඩකි.  ඒවා මගුලට ගෙනා වෙඩින් කේක්වල ඉතිරි හරිය වෙන්නට ඇතැයි අනුර සිතුවේය.  බෑග් එක රැගෙන ආ අනුර පහුවදා එය කාර්යාලයට රැගෙන ගොස් දවල් වෙද්දී එය ලාල්ට දුන්නේය.

"මෙන්න මේ ටික ඔෆිස් එකේ ඔක්කොටොම බෙදල දාපං!"

" මේ මොනවද බං!"

"ඔය වෙඩින් කේක් වගයක්, ඊයෙ වැඩකට ගිය වෙලාවෙ මට ලැබුණා.  ඉතිං මං අරගෙන ආවා!"

"යකෝ මෙතන වෙඩින් කේක් බර ගාණක් තියනවනෙ!" යි කියූ ලාල්  කාර්යාලයේ සියළු දෙනාටම වෙඩින් කේක්  බෙදන්නට විය.

"වෙඩින් කේක් කොහෙන්ද ලාල්!" කෙනක් අසයි.

"අපේ අන්රයගෙ වෙඩින් එක ඊයෙනෙ තිබුනෙ.  ඔය උඹලට!"

"ඒයි අනුර මේව හරියන් නෑ.  අපිට බෝතල් පාටියක් දියන් මගුලත් නොකිව්ව එකේ!"

"හරි හරි බෝතල් පස්සෙ දෙන්න බැරියැ.  දැන් ඔව්ව කාපල්ලකො!"  අනුර කීවේය.  කාර්යලයේ සැමටම වෙඩින් කේක් බෙදූ පසුවද තවත් කීපයක් බෑගයේ ඉතිරිව තිබිණි.  

"මේ ටිකට මොකද කරන්නෙ බං!" ලාල් ඇසුවේය.

"ඔය ටික උඹ කාපං!"  අනුර කීවේ සිනාසෙමිනි.

"එහෙනං මම තව දෙකක් ගන්නව වයිෆ්ටයි දුවටයි!" කියූ ලාල් වෙඩින් කේක් දෙකක් ගත්තේය.

"ලාල් එහෙනං මටත් තව එකක් දෙන්නකො නාලිට දෙන්න!" කියූ ඉන්ද්‍රා වෙඩින් කේක් කෑල්ලක් ගත්තාය.  නාලි යනු ඇයත් සමග කාමරයේ එකට පදිංචිවී සිටින තරුණියයි.

"එකක් නෙවෙයි ඔයා ඔය ටික ඔක්කොම අරන් යන්න!"  අනුර කීවේය.

"අනේ උඹට හැමදාම වෙඩින් වීඩියෝ කරන්න යන්න ලැබේවා!" ලාල් කීවේ සිනහ වෙමිනි.

කොළඹ නගරයේ සිනමාහල්වල කලාත්මක චිත්‍රපට තිරගත වේ නම් විමල් අනුර සමග ඒවා බලන්නට යයි.  එක් සතියක ඉංග්මාර් බර්ග්මාන්ගේ චිත්‍රපට සතිය එල්පින්ස්ටන් සිනමා ශාලාවේ නැරඹු ඔවුන් ඊළඟ සතියේ රාජ්‍ය නාට්‍ය උළෙලට ප්‍රදර්ශනය කරන නාට්‍ය නරඹන්නට ජෝන් ද සිල්වා රඟහලට ගියහ.  රාජ්‍ය නාට්‍ය උළෙල වෙනුවෙන් මරාසාද් රඟදැක්වූ දිනයක ජෝන් ද සිල්වා රඟහල ඇතුළට යන අනුර සහ විමල් දුටුවේ නාට්‍යයේ නිෂ්පාදක සුගතපාල ද සිල්වා මහතාය.  කොරිඩෝවේ පැත්තක තිබු පඩියක වාඩිවී සිගරැට්ටුවක්ද උරමින් නාට්‍යය බලන්නට යන ප්‍රේක්ෂකයන් දෙස ඔහු බලා සිටියේය.  විමල් අනුරත් සමග ඔහු ලඟට ගොස් කතා කළේය.  එදා විමල්ට අනුර සමග සුගතපාල ද සිල්වා මහතා ගැන කියන්නට බොහෝ කතා විය.  චිත්‍රපට හෝ නාට්‍ය බලා බම්බලපිටියේ අවන්හලකට වැදී බියර් බොමින් ඒ ගැන වැඩිදුර කතා කිරීම විමල්ද අනුරද පුරුද්දක් වශයෙන් කළහ.  බියර් බීමෙන් පසුව හෝටලයකින් රාත්‍රී ආහාරය ගෙන අනුර ගෙදර එන්නේ මහ රෑ මැදියමේය.

රට පුරා ක්‍රියාත්මක වෙන රාජ්‍ය විරෝධී ව්‍යාපාරය ඒ වනවිට උච්චස්ථානයකට පැමිණ තිබු අතර ඊට සමාන්තරව රජයෙන් දැඩි ලෙස මර්දනය ක්‍රියාත්මක විය.  අනුරලාගේ යුනිට් එක හරියේ එපමණ ප්‍රශ්න නොමැති වුනත් ඒ හරියේද තැන තැන යම් යම් දේවල් සිදුවෙමින් පැවතින.  හෝකන්දරදී පොලිස් ජීප් රථයක් බිම් බෝම්බයකට හසුවී පුපුරා ගිය අතර කිඹුලාවල හරියේ වෙලකට තරුණ මළසිරුරු කීපයක් ගෙනැවිත් දමා තිබුණි.  දවස පුරා හමුදා වාහන ගේ ඉදිරිපිටින් එහා මෙහා යයි.  දිනක් අනුර ගේ ඉදිරිපිට සිටියදී පාරේ පාපැදියකින් යමින් සිටි තරුණයෙක් අසල ජීප් රථයක් ක්රාස් ගා තිරිංග තදකරමින් නැවතුණි.  ඊලඟ මොහොතේ සයිකල් කරුවාව ජීප් රථය තුලට ඇද දමාගත් කීප දෙනෙක් එහි දොර වසා මහ හඬින් රෝද  කෑ ගස්සවමින් පිටත් වූහ.  මුළු ක්‍රියාවටම ගියේ විනාඩියක් හෝ දෙකකි.  අනුර පාරට ගොස් බලන විටත් බිම පෙරලී තිබූ පාපැදියේ රෝද කැරකෙමින් තිබුණි.   අනුර ගමේ සිටියදී සිදුවූ එවැනි දෙයක් ඉතා හොඳින් ඔහුගේ මතකයේ තැන්පත්වී ඇත.  එදා අනුර නගරයට ගියේ පයින් ඇවිදගෙනය.  අල්ලපු ගමේ කන්ද බසින විට සයිකලයක් පැදගෙන කෙනෙක් ගිය බව අනුර දුටුවේය.  මොහොතකින් ඇසුණු වෙඩි ශබ්දයක් සමග කපුටන් කෑ ගසමින් ඉගිල ගොස් මොහොතකින් හාත්පස දැඩි නිහඬතාවක ගිලෙනුද ඊළඟ මොහොතේ මිනිසුන් කෑ ගසමින් එදෙසට දිවයනුද අනුර දිටීය.  පය ඉක්මන් කර ගිය ඔහු දුටුවේ ටිකකට පෙර සයිකලයේ ගිය මිනිසා බිම වැටී සිටින ආකාරයයි.  වගා නිලධාරියෙක් ලෙස දේශපාලන පත්වීමක් ලැබීමෙන් පසුව ග්‍රාමසේවක තනතුරක් ලැබූ මියගිය පුද්ගලයා කුඩා දරුවන් සිටින අහිංසකයෙකි.  ගල්කටස් තුවක්කුවකින් වෙඩි තබා ඔහුට ජීවිතය අහිමි කර තිබුණේ සන්නද්ධ කල්ලියයි.  මියගිය මිනිසාගේ හිස පසාරු කරගෙන ගිය උණ්ඩයෙන් සෑදුනු විවරයෙන් තාර පාරද දර්ශනය වනු භීතියෙන් තැතිගෙන සිටි අනුර දුටුවේය.

අනුර තනිවම ගෙදර සිටි දිනක රාත්‍රියේ දොරට තට්ටු කරන හඬක් ගොස් බැලු විට සිටියේ අල්ලපු ගෙදර සිටින තරුණියකි. ඇය සමග ඇගේ කුඩා නැගනියද වූ අතර දැඩි භීතියක් ඔවුන්ගේ මුහුණුවල තිබු බව අනුර දුටුවේය.  විස්තර අසන විට ඇය කීවේ මේ දැන් පැමිණි තරුණයින් කීප දෙනෙක් සිය පියාට ලිපියක් දී ගිය බවයි.  ඇගේ අතේ තිබු ඒ ලිපියෙන් කියා තිබුණේ ඔහු මාතෘ භූමියට ද්‍රෝහියෙක් බවත් වහාම දේශපාලනයෙන් ඉවත් නොවුණහොත් මරණය නියත බවත්ය.  කුමක් කරන්නදැයි නොදැන අනුර සොයා ආවේ උපදෙසක් ලබා ගන්නට බව ඇය කීවාය.  පහුගිය මහ ඡන්දය කාලයේ ආණ්ඩු පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් බොහෝ දෙනෙක් ඒ පැත්තේ කැන්වසින් යන්නට පටන් ගත්තේ ඔවුන්ගේ නිවසට රැස්වී බවත් පක්ෂයේ ප්‍රබල අනුගාමිකයෙකු වූ ඔවුන්ගේ පියා ඡන්ද අපේක්ෂකයන්ට සිය නිවසේ සංග්‍රහ පැවැත්වූ බවත් අනුරට මතක් විය.  කෙසේ වුවත් හඬන්නට ඔන්න මෙන්න කියා සිටින දේශපාලනයේ හයක් හතරක් නොදත් කෙල්ලන් දෙන්නෙකුට ඔවුන්ගේ පියාට ලිපිය දුන් හේතුව කියා දෙනවාට වඩා ඔවුන්ගේ හිත හදන එක වැදගත් බව අනුර සිතුවේය.

"කෝ දැන් ද්‍රෝහියා?" අනුර ඇසූවිට කෙල්ලන් දෙදෙනාට බකස් ගා සිනා ගියේය.  ලිපිය කියැවූ ද්‍රෝහියා එය පැත්තකට විසිකර අරක්කු බොන්නට හොරපොලට ගිය බවත් අරක්කු බීගෙන ආයෙමත් ලිපිය දුන් කොල්ලන්ට බැන වදින බවත් ඒවා ඔක්කොම කොල්ලන්ගේ කනට යන බවත් තරුණිය කීවාය.

"අනේ මොකද අයියෙ අපි කරන්නෙ?" තරුණිය ඇසුවාය.

මඳක් කල්පනා කළ අනුරට පරණ සිදුවීමක් මතක් විය.  අනුර ගෙදර සිටි කාලයේ ඔහුගේ අල්ලපු ගෙදරටද ඔවැනි ලිපියක් ලැබී තිබුණි.  ඔවුන් කළේ දැන්වීම් කීපයක් ලියා වැටේද ගේට්ටුවේද ඇලවීමයි.  ඉන්පසු මරණ තර්ජන නැවතුණි.  දැන්වීම් අලවන්නට අනුරද සහභාගී වූ නිසා එහි ලියා තිබූ දෑ ඔහුට හොඳට මතකය.

"හරි, අපි වැඩක් කරමු. මං හිතන්නෙ බොහෝ දුරට ඒක හරියයි.  හැබැයි තාත්තගෙ කට වහල තියාගන්න වෙයි.  නැතුව තැන තැන බැන අඬගහන්න ගියොත් එහෙම බඩු හම්බවෙයි !" අනුර කීවේය.

"අනේ අපි කාමරේට දාල වහල හරි තියාගන්නම්, මොකක් හරි කරන්න!" තරුණිය කීවේ බයාදු හඬකිනි.

කොලයක් සහ පෑනක් ගත් අනුර එහි දැන්වීමක් ලීවේය.  මින්පසු කිසිදිනෙක දේශපාලන කටයුතුවලට මැදිහත් නොවන බවත් ආණ්ඩු පක්ෂයේ අය සමග ඇති සියළු සම්බන්ධතා ඒ මොහොතේ සිට අතහරින බවත් එහි සඳහන් විය.

"හරි, දැන් ගිහිං මේක ප්ලැටිනම් පෑනකින් ලස්සනට කොළ දෙකක ලියාගෙන එන්න.  මගෙ අකුරු එච්චර හරි නෑ!"

 කියූ අනුර කොලය කෙල්ලන් දෙදෙනාට දුන්නේය.  කොලය රැගෙන ගිය කෙල්ලන් දෙදෙනා තවත් විනාඩි දහයකින් පමණ  අනුර ඉදිරියේ පෙනී සිටියේ කොළ දෙකක්ද අතැතිවය.

 "ලිව්වද?"  අනුර ඇසුවේය.

"ඔව්, හැබැයි තාත්තට කියල අස්සන් කරගන්න විදිහක් නං නෑ.  එයාට මේක දුන්නොත් ඉරල වීසිකරයි!" තරුණිය මදක් පැකිලෙමින් කීවාය.

"නෑ එහෙම අස්සන් කරන්න කියල විශේෂ ඕනැකමක් නෑ.  යටින් තාත්තගෙ නම ලියන්නකො, ඒ ඇති!"  අනුර කියා සිටියේය.

දැන්වීම තමන් ලියු පරිදිම ලියා ඇද්දැයි දැනගන්නට එය කියවා බැලු අනුර කොළ දෙක තරුණියට ආපසු දුන්නේය.

"දැන් දෙන්නම ගිහිං කොළ දෙක මල් වැටේ එල්ලන්න!" 

ගේට්ටුවෙන් එළියට ආ අනුර පාර අයිනට වී නැවතුණි.  ඈතින් දැල්වෙන පහන් කණුවේ එළිය ඔවුන් සිටින සාවියට වැටෙන්නේ යාන්තමිනි.  ඔහු කෙල්ලන් දෙදෙනා අඩ අඳුරේ  දැන්වීම් එල්ලන ආකාරය බලා සිටියේය.  වැඩුමල් තරුණිය තරමක් මහත කැපී පෙනෙන අඟපසඟ ඇති කැරලි කොණ්ඩය කොල්ලෙකුගේ මෙන් කොටට කැපු යුවතියකි.  දැන්වීම් ඇලවීම අවසන් කොට ඔවුහූ අනුර ලඟට පැමිණියෝය.

"අනේ බොහෝම ස්තූතියි අයියෙ කරපු උදව්වට, අපි හොඳටම බයවෙලා හිටියෙ නේද නංගි?"

"ආ, දැන් බයවෙන්න දෙයක් නෑ.  ආයෙම තාත්තට තර්ජන එන එකක් නෑ.  මම කියපුව මතකනෙ.  තාත්තව බලාගන්න, හරිද?"

"මතකයි මතකයි මම අම්මටත් කියන්නංකො!"

"කෝ,අල්ලපු වැටේ හිටියට මම ඔය ගොල්ලන්ගෙ නම්වත් දන්නෙ නෑනෙ!"

"මම රේණුකා!" වැඩුමල් තරුණිය කීවාය.

"එතකොට මෙයා?"

පොඩි කෙල්ල ලජ්ජාවෙන් ඇඹරෙමින් සිටියා මිසක කතා කළේ නැත.

"එයා ප්‍රියානි!" තරුණිය කීවාය.

"එතකොට නෝනා කියන්නෙ කවුද?" අනුර අසා සිටියේ නෝනා කියා ඒ ගෙදර අය කාටදෝ කතා කරනු ඔහුට ඇසී තිබුණු බැවිනි.  විළියෙන් ඇඹරුණු පොඩි කෙල්ල අතින් කට වසාගත්තේ සිනාසෙමිනි.

"ආ.. ඒත් මෙයාට තමා, ගෙදරට කියන නම!"  රේණුකා කීවාය.

"එතකොට ඔයාට නැද්ද ගෙදරට කියන නමක්?"

"එයාට කියන්නෙ බබා කියල!"  ප්‍රියානි ඉදිරියට පැන කීවාය.

"එතකොට රේණුකා මේ වැඩේට මාවම හොයාගෙන ආවෙ ඇයි? මම ඇවිල්ලත් වැඩි කාලයක් නෑනෙ?"

"අම්ම කිව්වෙ..අයිය කොළඹ කන්තෝරුවක වැඩ කරන්නෙ, කිව්වොත් මොකක් හරි කරලා දෙයි ඒ ගොල්ල ඕව ගැන දන්නවනෙ කියල!"

"එහෙනං බබයි නෝනයි දැන් ගෙදර යන්න.  තව මොනව හරි උනොත් මට කියන්නකො!"  අනුර කතාව අවසන් කරමින් කීවේය.

රේණුකා ප්‍රියානිගේ අතින් අල්ලාගෙන නිවස දෙසට පියමැන්නේ අනුරට නැවතත් ස්තුති කරමිනි.  ගේට්ටුව වැසූ අනුර ගෙතුළට නොගොස් එළියේ පඩිය උඩ වාඩිවිය.  රට තුළ මහත් භීෂණයක් ඇති කරන සන්නද්ධ කල්ලිය ගැන අනුරට තිබුණේ මිශ්‍ර හැඟීමකි.  ඔවුන්ගේ පක්ෂය තහනම් වීමට පෙර ආයුධ සන්නද්ධ විප්ලවය පසෙක දමා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිගත් පක්ෂ නායකයා ජනාධිපති මැතිවරණයට තරග කරන සමයේ අනුරද පක්ෂ ක්‍රියාකාරිකයෙකු ලෙසින් කටයුතු කළේ එකල තරුණ තරුණියන් අතර පක්ෂය ජනප්‍රිය වීමත් සමගය.  83 කළු ජුලිය මුවාවෙන් ජනාධිපතිවරයා පක්ෂය තහනම් කරනවාත් සමගම නායකයන් සියළු දෙනා යටිබිම් ගතවුහ.  රහසේ සංවිධානය වූ පක්ෂය වසර කීපයකට පසු වෙනත් නමකින් පෙනී සිටිමින් රජයේ දේපොළ විනාශ කරන්නටද බස් සහ දුම්රිය ගිණි තබන්නටද මිනී මරන්නටද පටන් ගත් කළ කලකිරීමට පත් අනුර පක්ෂයේ වැඩවලින් ඉවත්ව තමන්ගේ වැඩක් බලාගෙන සිටියත් සන්නද්ධ කල්ලියේ මිනීමරුවන් අනුරට ඉව අල්ලන්නට පටන් ගත්හ.  ඊට පසුව පොලීසිය අනුර සොයා පැමිණියේය.  ඔවුන් සමග කළ හැංගිමුත්තන් සෙල්ලමෙන් හෙම්බත් වූ අනුරට ගෙදර හැර යාම මිස වෙනත් විකල්පයක් නොතිබුණි.  කර්කශ දේශපාලන කටයුතු හැරපියා ෆිල්ම් යුනිට් එකට පැමිණි පසු ඔහු ප්‍රියකළ විනෝදාංශවල නිදහසේ නිරත වීමට අවස්ථාව ලැබීම අනුරට ගෙන දුන්නේ ඉමහත් සහනයකි.  කල්පනාවේ ගැලී සිටි අනුරට කාලය ගතවෙනු නොදැනිණ.  කෙල්ලන් දෙන්නා සමග දැන්වීම් ලියන්නට වරුවක් ගතවූ හෙයින් රෑ කෑම අමතක වුවත් දැන් ඔහුට කුසගින්නක් දැනේ. ගෙට ගොස් මුදලක් සාක්කුවේ දමාගත් අනුර දොර වසා ගෙයින් පිටවුයේ හන්දියට යන්නටය.

කාර්යාලයේ සගයෙකු  රඟපාන වේදිකා නාට්‍යයක පුහුණුවීම් ඡයාරූප ගතකර දෙන්නැයි ඔහු අනුරගෙන් ඉල්ලා සිටියේ දින කීපයකට පෙරදීය.   ඊළඟ ඉරිදා දින නුවන්ගේ කැමරාවත් ඉල්ලාගත් අනුර රාජගිරියේ හේවාවිතාරණ විද්‍යාලයට ගියේ පුහුණුවීම් ඡායාරූපගත කරන්නටය.   ඡායාරූප ගැනීම අවසන් වීමෙන් පසුව ඔහු බස් නැවතුම්පලට ගියේ ආපසු යන්නටය.   ඔහුට ඉදිරියෙන් ගමන් කළ තරුණිය දැක පුරුදු කෙනෙකැයි අනුරට සිතුණි.  අනුර යනවිට බස් නැවතුම් පොලේ සිටියේ රේණුකාය.  ඇය සිනාසී අනුර ලඟට පැමිණ කතාකලාය.

"අයිය කොහෙද මෙහෙ?"

"මම පිංතුර වගයක් ගන්න ඉස්කෝලෙට ගියා, ඔයා?"

තමන් රාජගිරියේ ඡායාරූප ශාලාවක වෙළඳ සේවිකාවක් ලෙස වැඩ කරන බවත් එදා නිවාඩු දිනයක් නිසා වේලාසනින් ගෙදර යන බවත් ඇය කියා සිටියාය.  ඊළඟට පැමිණි බස් රථයේ නැග ඔවුන් දෙදෙනා ගෙදර ගියේ කතා කරමින්ය.   එසේ ඇරඹුණු ඔවුන්ගේ කතාබහ කිරීම උදේට එක බසයේ වැඩට යෑම දක්වා දිගදුර ගියේය.  රේණුකා මෙන්ම ගෙදර අනිත් කෙල්ලන්ද නෑවේ අනුරලාගේ ලිඳෙන්ය.  දිනක් සවස කළුවර වැටෙන යාමයේ අනුර කුස්සියේ සිටියේ උයමනක් කරමිනි.  කවුදෝ ලිඳේ නාන හඬ ඇසී එළියට විත් බැලු කල නාමින් සිටියේ රේණුකාය.  කුස්සියෙන් පිටවෙන දොරකඩ ඉහළින් ඇති විදුලි පහන නිවුවිට අඩවන් වූ දොරෙන් පිටතට එන  එළිය තීරුවක් හැරෙන්නට හාත්පස අඳුරුය.  ඔහු දොරකඩට වී බලා සිටියේය.  දියනෑම අවසන්ව කෙටි රෙදිකඩක් ද හැඳගත් රේණුකා එතැනින් පියමනිත්ම දුටුවේ එළියේ බලා සිටින අනුරවය.

"අම්මෝ මේ අයියනෙ, මම බයවුණා!"  රේණුකා කීවේ අනුර දෙස බලමිනි.

වචනයක්වත් නොදොඩා ඇය වෙත ගිය අනුර රේණුකාගේ අතේ තිබූ බාල්දිය ගෙන බිමින් තබා ඇගේ අත ගෙන බිත්තිය අයිනට ආවේය.  රේණුකා ආයේ පසුපසට අදිමිනි.  රත්වූ කය රේණුකාගේ සිසිල් සිරුරට තද කරගත්  අනුර ඇගේ මුව සිප ගන්නට වුයේ අතොරක් නැතිවය.  වචනයක් වත් නොදෙඩුවද රේණුකා දැඟලුයේ ඔහුගේ ග්‍රහණයෙන් මිදෙන්නට වුවත් හැඳ සිටි ලිහිල් රෙදිකඩ කඩා වැටෙන්නට ඇති අවදානම හමුවේ ඇය මඳක් පසුබෑවාය.  ලද අවසරයෙන් රෙදිකඩ මෑත් කළ අනුර ඇගේ පුළුල් ළමැදේ මුහුණ ඔබා ගත්තේය.  රේණුකා ගැහෙන්නට වුයේ දියෙන් ගොඩ දැමු මාළුවෙකු මෙනි.

"ඊයා අයියේ!" රේණුකා කසුකුසුවෙන් කීවාය.

"ඇයි!"

"මට ලැජ්ජයි!"

"මොකට ලැජ්ජ වෙන්නද?" 

"දැන් අතාරින්නකො මට යන්න ඕනෑ.  ගෙදර අය හොයාගෙන එයි .අනික කවුරුවත් දැක්කොත් එහෙම?"  

රේණුකා එක දිගට කියාගෙන ගියේ පහත් හඬිනි.  අනුරට සිනාගියේය.  රේණුකාගේ සිරුරෙන් මෑත් වූ ඔහු  ඇගේ පිට අතගෑවේ ආදරයෙනි.  ඇගේ හැසිරීම අනුරගේ සිත පහන් කර තිබුණි.

"හිනා තමයි.  දාඩිය දැම්ම පාරට තව ටිකෙන් මට ආයෙ නාන්න වෙනවා!"  

කියමින් රෙදිකඩ සකසාගත් රේණුකා පිටව ගියේ අනුරගේ නිකටට සෙමෙන් පහරක් ගසමිනි.   අනුර සෙමෙන් ගෙතුළට පිය මැන්නේ රේණුකාගේ සියුමැලි ගතේ මුදු සුමුදු පහසින් ගිනියම්ව ගිය සිරුරිනි.  ඉන්පසු ගෙදර කවුරුත් නැති සැන්දෑවල පිටුපස දොරෙන් ගෙතුළට ගත් රේණුකාව අනුර ඔහුගේ කාමරයට කැඳවාගෙන ගියේය.  ඔවුන් දෙදෙනා රාජගිරියේත් බොරැල්ලේත් නිතරම හමුවුහ.  අනුර ඇය සමග චිත්‍රපටයක් බලන්නට ගිය දවසක රේණුකාගේ නැන්දා කෙනෙක් ඔවුන් දෙදෙනා දැක ඇගේ ගෙදරට දන්වා තිබුණි.  ඊට පසු රේණුකා නිතරම අනුරට කියා සිටියේ ගෙදරට කතා කොට ඉක්මනින් ඔවුන්ගේ විවාහය සිදු කළ යුතු බවයි.  එහෙත් ඒ තරම් හදිසියෙන් විවාහයක් කර ගන්නට අනුරගේ කැමැත්තක් නොතිබුණි.  කුටුම්බයක් තුළ සිරවීම ගැන සිතන විටත් ඔහුට අපහසුවක් දැනුන අතර විවාහ ජීවිතයක් ගෙන යන්නට අවශ්‍ය ආර්ථික ශක්තිය තමන් තවම ලඟා කරගෙන නොමැති බව ඔහු කල්පනා කළේය.  රේණුකාගේ රැකියාවද ස්ථාවර ආදායමක් ලැබෙන එකක් නොවූ හෙයින් ගෙදර වියදම් අනුරට තනිවම දරා ගන්නට සිදුවේ.   ඔහුට අවශ්‍ය වුයේ තාරුණ්‍යය විඳින්නටත් තව ටිකක් ඉගෙනගෙන ආර්ථික ස්ථාවරත්වයක් ලඟා කරගන්නටත් මිසක සාම්ප්‍රාදායික කුටුම්බයක සිරවී දරු මල්ලන් ලොකු මහත් කරමින් ජීවන අරගලයට කර ගහන්නට නොවේ.  මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ඇතිවූ කතාබහ බහින්බස් වීම් දක්වා දුරදිග යන්නට වූ අතර බුම්මාගත් මුහුණින් අනුරව හමුවන රේණුකා නිතරම සිටියේ හඬාගත් ගමන්මය.  උදාවූ තත්ත්වය හමුවේ දැඩි කළකිරීමකින් සිටි ඔහු හැකි හැමවිටම ඇයව හමු නොවී සිටින්නට උත්සාහ දැරුවේය.  දිනක් අනුරගේ කාර්යාලයට පැමිණි රේණුකා ඔහුට පණිවිඩයක් එවා තිබුණි.  අනුර පහළට ගොස් රේණුකා පිටතට කැඳවාගෙන ගියේ කාර්යාලයේදී ඇය හඬන්නට වුවහොත් ඔහුට මුහුණ පාන්නට සිදුවන අපහසුතාව ගැන සිතමිනි.   ඔවුන් දෙදෙනා ලඟම පිහිටි අවන්හලකට ගියහ.  පුටුවක වාඩිගත් රේණුකා අනුර දෙස බලා සිනාසුනාය.  සිරිපොද වැස්සක් සමග සුළඟක් පිටතින් හමායද්දී රේණුකාගේ සිරුර කිළිපොලා යනු අනුර දිටීය.

"මොකද මෙහෙ ආවෙ?" ඔහු ඇසුවේ නොරිස්සුමෙනි.

"මෙහෙ ආවෙ ඔයාව හම්බ වෙන්න වෙන විදියක් නැති නිසා!"  රේණුකා කතාකලේ බිම බලාගෙනය.

"හරි දැන් හම්බවුනානෙ!"

"අද ආවෙ ඔයත් එක්ක රණ්ඩු වෙන්න නෙවෙයි.  හැමදාම රණ්ඩු වෙලා මට ඇතිවෙලා තියෙන්නෙ.  මම මෙච්චර දවස් ඔයාට කියපු දේවල් ගලකට කිව්වා නම් ගලත් උණුවෙනවා. ඔයාගෙ හිත ගලකටත් වඩා තදයි.  උදේ කොච්චිකඩේ පල්ලියට ගිහිං මම මේ ආවෙ.  දැන් මගෙ හිතට හොඳයි!"  

අනුර නිහඬව පාර දෙස බලා සිටියේය.  පාරේ වතුර එකතුවූ තැන් උඩින් ගමන් කරන වාහනවලට හසුවන ජලය  විටින් විට වතුර මල් මෙන් විසිරෙන්නේ සරාස් හඬ නගමිනි.

"ඔයාගෙ අදහස වෙනස් වෙන්නෙ නැත්නම් දිගින් දිගටම ඔයා වෙනුවෙන් බලා ඉන්න එකේ තේරුමක් නෑ.  මම මේ තීරනේ ගත්තෙ ගොඩක් කල්පනා කරලයි!"

රේණුකා කීවේ සිය හිතවතියක මාර්ගයෙන් ඉතා ඉක්මනින් විදේශගත වීමට තමන් තීරණය කර ඇති බවය.  තවත් ටික වෙලාවක් අනුරට නෝක්කාඩු කියූ ඇය අවන්හලෙන් පිටව ගියේ සමුගැනීමකින්ද තොරවය.  ඉන්පසුව ඔහුට රේණුකා මුණ නොගැසුණ අතර ඒ ගැන උනන්දුවක්ද අනුරට නොතිබුණි.  කෙටි එහෙත් සිදුවීම් බහුල සම්බන්ධයක නිමාව ගැන ගැන සිතනවිට තම ආත්මාර්ථය වෙනුවෙන්ම කටයුතු කළා මිසක රේණුකාගේ පැත්ත ගැන නොසිතුවේ යයි සිතුනත් ඒ ගැන අනුර කනස්සළු නොවීය.

එක් සිකුරාදා දිනෙක උදයේ ඉන්ද්‍රා කාර්යාලයට පැමිණියේ තරමක් ලොකු ගමන් මල්ලක්ද ඔසවාගෙනය.  

"ආ.. නෝනා වීක් එන්ඩ් එකේ ගෙදර යන්න වගේ!"  ලාල් කීවේ ඉන්ද්‍රා සිය අසුනේ වාඩි ගනිද්දීය.

"නෑ ලාල්, දැන් කාලෙකට වීක්එන්ඩ් එකේ ගෙදර යන්න වෙන්නෙ නෑ ක්ලාස් නිසා.  මේ නාලිගෙ ඇඳුම් වගයක්.  හදන්න දීල තිබිලා මම උදේ ගත්තා,ආයෙ ගෙදර යන්න වෙන්නෙ එග්සෑම් පහුවෙලා තමයි!"  ඉන්ද්‍රා කීවේ ලිපිගොනුවක් දිගහැර ගනිමිනි.

පරිපාලන සේවා සීමිත තරග විභාගයට පෙනීසිටීම සඳහා තමන් බොරැල්ලේ පැවැත්වෙන උපකාරක පන්තියකට යන බව ඉන්ද්‍රා අනුරට කලින්ම කියා තිබුණාය.  තමන්ද සෙනසුරාදා දිනවල පන්තියකට යන බව අනුර ඉන්ද්‍රාට කීවේ කැන්ටිමේදීය.  

"මොකක්ද ඔය ක්ලාස් එක?" ඉන්ද්‍රා ඇසුවාය.

"ඒක මේ ෆිල්ම් ඇන්ඩ් ටෙලි ගැන උගන්වන එකක්, කොටුවෙ ඕ සී අයි සී එකේ තියෙන්නෙ!"

"දැන් ළමය ඒ ෆීල්ඩ් එක පැත්තට බර වැඩියි වගේ, නිවාඩු දාගෙනත් ඒවට යනව නේද.  ඔව්ව කර කර ඉන්නෙ ඇයි ක්ලාස් ටූ කරන්න කල්පනාවක් නැද්ද?"

"නෑ නෑ ඒකට තව කල් තියෙනවනෙ,  අනික මේ කෝස් එක මාස හයයි.  ඊට පස්සෙ විභාගෙට ලෑස්ති වෙනවා!"

"කමක් නෑ,  බාහිර දේවල් කරල රාජකාරි විභාග අමතක කරන් නැත්නම්!"

"ඒක නෙවෙයි හෙට ඔයාට ක්ලාස් ඉවර වෙන්නෙ කීයටද?"

"දෙකට. ඇයි?"

"නෑ, මමත් දෙකට ඉවරයි.  ක්ලාස් ඉවරවෙලා කොටුව පැත්තෙ එන් නැද්ද?"

"ඒ මොන පිස්සුවකටද? මට යන්න බොරැල්ලෙන් බස් තියෙනවා!"  ඉන්ද්‍රා කීවේ දඟකාර සිනාවක් පාමිනි.

"හා කමක් නෑ එහෙනං, ඔයා බොරැල්ලෙන් යන්නකො!"

"මොකක්ද අනේ කියන්නකො ක්ලාස් ඉවරවෙලා කොටුවට එන්න කියල.  එහෙමනෙ කොල්ලො. හරි කොටුවෙ කොහෙටද එන්න ඕනැ?" ඉන්ද්‍රා කීවේ නෝක්කාඩු ස්වරයකිනි.

"ඔයා කොටුවෙ ස්ටේෂන් එක ලඟට එන්න.  මම එතන ඉන්නං!"

"හ්ම්ම්,  හැබැයි මම එද්දී ඔයා ඉන්න ඕනෑ හරිද? ස්ටේෂන් එක ඉස්සරහට වෙලා ඈනුම් ඇර ඇර බලාගෙන ඉන්න මට බෑ!"  ඉන්ද්‍රා තරවටුවක් කළාය. 

පසුදා පන්තිය අවසන්වූ විගසම අනුර දුම්රිය පොළ ඉදිරියේ ඇති බස් නැවතුමට වී බලා සිටියේ ඉන්ද්‍රා පැමිණෙන තුරුය.  ටික වේලාවකින් බස් නැවතුම පසුකර නැවැත්වූ බස් රථයකින්  බැසගත් ඉන්ද්‍රා වට පිට බලා බස් නැවතුමේ අනුර සිටිනු දැක ඉදිරියට ආවාය. සුපුරුදු ලෙස කරේ දමාගෙන සිටි  අත් බෑගයට අමතරව සටහන් කොළ පිරවූ ඉටි මල්ලක්ද ඇගේ අතක විය.  අනුර සමග සිනහසෙමින් ඇය එදෙසට ආවේ උරිස්සෙන් පහළට වැටෙන්නට තතනන සාරිපොට අතකින් නිසිලෙස සකස් කරමිනි.

"ඔයා ඇවිත් ගොඩක් වෙලාද?"

"වැඩි වෙලා නැහැ. පැයක් විතර ඇති!"

"යන්න අනේ බොරු නොකියා. ඔයා ඉවරවෙන්නෙත් දෙකටනෙ!"

"හ්ම්ම්..අපි යමුද?"

"කොහෙද?"

"ඔයා දවල්ට කෑම කෑවද?"

"ඔව්, දොළහට ලන්ච් ඉන්ටවල් එක දෙනවනෙ. ඔයා?"

"නෑ... බඩගින්නකුත් තාම නෑ.  අපි මොනව හරි බොන්න යමු!"

ඔවුන් සිසිල් බීමක් පානය කළේ දුම්රියපොළ ඉදිරිපිට ඇති හෝටලයකිනි.   බීම බඳුන අවසන්කළ ඉන්ද්‍රා අනුර දෙස බැලුවාය.   

"ඇයි?" 

"දැන්?"  ඉන්ද්‍රා ප්‍රශ්නාර්ථයක් දෑසේ දල්වා ගෙන ඇසුවාය.

"කොහෙ හරි යමු!"

"කොහෙද?"

"ෆිල්ම් එකක් බලන්න යමුද?"

"පරක්කු වෙයිද?"

"පරක්කු උනත් කමක් නෑනෙ. බෝඩිමට කීයට ගියත් මොකෝ කවුරු අහන්න කියලද?"

ඔවුන් දෙදෙනා බීමහලෙන් එළියට බැස්සේ සිනහසෙමිනි.  අනුර ඉන්ද්‍රාද කැටුව ගියේ රීගල් සිනමාහලටය.  එහිදී ඉන්ද්‍රා තරමක අපහසුතාවට පත්වුවාක් මෙනි.

"අයියෝ... මේක පාර කටේනෙ.  කී දාහක් මෙතනින් යනව එනවද? දන්න කවුරුහරි දැක්කොත් එහෙම?"

"එහෙනං එන්නකො යන්න!" කියූ අනුර ඉන්ද්‍රා සමග පාර පැන බසයකට ගොඩවී ඉබ්බන්වල හන්දියෙන් බැසගත්තේය.  එතැන සිට එම්පයර් සිනමාහලට ඇත්තේ පයින් ඇවිදින දුරකි.

"මේ කොහෙද?" ඉන්ද්‍රා ඇසුවාය.

"එම්පයර් එක. කලින් දැකල නැද්ද?"

"කොහොම දකින්නද? මීට කළින් මම කොළඹ පදිංචි වෙලා හිටියෙ නෑනෙ.  ඔයාට නං මේ තැන් හොඳට පුරුදුයි වගේ නේද.  කෙල්ලො එක්ක කලින් ඇවිත් පුරුදු නැතෑ!"  ඉන්ද්‍රා කීවේ සිනහසෙමිනි.

ඉන්ද්‍රා එක්වරම ඇසු ප්‍රශ්නයට අනුරට සිනාගියේ රේණුකා මෙන්ම ඔහුගේ පළමු පෙම්වතිය වී සිටි කමණි සමගද එම්පයර් සිනමාහලේ චිත්‍රපට නැරඹු බව මතක් වීමෙනි.  එහෙත් ඔහුට ඒ ගැන ඉන්ද්‍රාට කියන්නට  අවශ්‍ය නොවීය.  

"මොකද හිනාවෙන්නෙ හොරා වගේ?" 

"නෑ ඔයා එකපාරටම අහපු එකටයි මට හිනාගියෙ.  හොඳ චිත්‍රපටි තියෙනකොට මම විමල් එක්ක බලන්න යනවා.  මේකෙ විතරක් නෙවෙයි කොළඹ කොහෙ තිබුණත්!"

"ඔව් ඉතිං දෙන්නම චිත්‍රපටි පිස්සොනෙ!"

 සිනහවෙමින්ප්‍රවේශපත්‍ර ලබාගත් අනුර අඳුරු සිනමාහල තුලට ගියේ ඉන්ද්‍රාගේ අතකින් අල්ලාගෙනය.  චිත්‍රපටය ඒ වන විටද ආරම්භ වී තිබිණි.  

"වැරදිලාවත් මේවා ඔෆිස් එකට ආරංචි උනොත් එහෙම මට ඉන්න හම්බවෙන්නෙ නෑ!"  

ඉන්ද්‍රා කීවේ චිත්‍රපටය නරඹා අවසන්ව ආපසු එන විටදීය.  අනුර සිනාසෙමින් පාරේ තිබූ ටින් කබලකට පයින් ගැසුවේය.  ශබ්දයක් නගමින් ඇදී ගිය ටින් කබල කාණුවට විසි විය.  සති අන්තය බැවින් මගීන් කීප දෙනෙක් හැරෙන්නට වෙනදා මේ වෙලාවට බස් නැවතුම්වල පිරී සිටින කාර්යාල සේවකයන් නැති පාර පාළු ස්වභාවයක් ගෙන ඇත.  

"ආරංචි උනත් මොනව කරන්නද?"  අනුර කීවේ සැහැල්ලුවෙනි.

"ඔව් ඉතිං ඔයාට නම් මොකද? මටනෙ ඔවුන් කතා හදන්නෙ!"

"හරි හරි දැන් යමුකො.  එහෙම උනොත් ඒක ඒ වෙලාවට බලා ගන්නව මිසක දැන්ම ඉඳන් කලබල වෙන්න ඕනැ නෑනෙ!"  

ඔවුන් ඉදිරිපිට නැවැත්වූ බසයකට ඉන්ද්‍රා ගොඩකරවමින් අනුරද නැගගත්තේය.  තරමක් වෙහෙසට පත්වූ ස්වභාවයක් වතේ රැඳී තිබුණද ඉන්ද්‍රාගේ දෑස් දීප්තිමත්ය. ඔහුගේ අනවරත ආදරය පෑම හමුවේ ඇගේ මුහුණද දෙතොල්ද රත් පැහැ ගැන්වී ඇති අයුරු නිරීක්ෂණය කළ අනුර සාරියෙන් ආවරණය වූ ඇගේ සිරුරේ සුමට බව මෙනෙහිකළේ මදහසකිනි.

 "ඇයි හිනාවෙන්නෙ?"  ඉන්ද්‍රා අනුරගේ කණට කර සිහින් හඬින් ඇසුවාය.  එයටද අනුර සිනාවක් පෑවා මිස කතා කළේ නැත.

"පරක්කුත් වෙලා මේ විදියට ගියාම නාලි අනිවාර්යයෙන්ම මොනව හරි හිතනවා!"  ඉන්ද්‍රා කීවේ අනුරගේ අතැඟිලි මිරිකමිනි.

"ඇයි එහෙම හිතන එක ප්‍රශ්නයක්ද?"

"ප්‍රශ්නයක් නම් නෑ.  හැබැයි නාලි ඇහුවොත් මට ඇත්ත කියන්න වෙනවා.  මොකද එයාට බොරු කරන්න බෑ. හොඳ මොලයක්!"

"ඇහුවොත් කියන්න ඉතිං. මට නම් ගාණක් නෑ. කිව්වත් එකයි නොකිව්වත් එකයි!" අනුර කීවේ කතාව නවත්වමිනි.

ආයතනයේ හිමිකරු අලුත් ටෙලි නාට්‍යයක් නිපදවන්නට අතගැසුවේ මේ අතරය.  නිෂ්පාදනය පටන්ගත් දා සිටම ආයතනයේ සියලුම දෙනාට මෙන්ම අනුරටද උදාවුයේ කාර්ය බහුල කාලයකි.  ටෙලි නාට්‍යයට සහභාගී වන කලාකරුවන්ගේ සිට කාර්මික ශිල්පීන්ද ඇතුළු සියළු දෙනාගේම ගමනාගමන පහසුකම්, කෑම් බීම් සහ ඉඳුම් හිටුම් ගැන සොයා බලා කටයුතු කිරීමට තිබුණේ විනෝද්ටත් අනුරටත්ය.  ආයතන හිමිකරුගේත් විමල්ගේත් මිතුරෙකු වූ විනෝද් සැහැල්ලු ගති පැවතුම් ඇති තරුණ ව්‍යාපාරිකයෙකි.  සිය රථය පදවමින් ඔහු නිෂ්පාදන අංශය සඳහා හවුල් විය.  කෙතරම් කාර්ය බහුල වුවත් අනුර බාරගත්තේ සති අන්තවල සහ නිවාඩු දිනවල වැඩ කිරීමට පමණකි.  සංකීර්ණ රූපගත කිරීමක් ඇති විට ඔහු නිවාඩු ගෙන එයට සහභාගී වන්නේ විනෝද්ට තනියම වැඩ සියල්ලම කරගන්නට බැරි නිසාය.   එක් සති අන්තයක විනෝද් විමල් හා අනුරද මීගමුවට ගියේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂගේ ඉල්ලීම අනුව මීගමු රෝහලේ දර්ශනයක් රූගත කිරීමට ඇති හැකියාව සොයා බැලීමටය.  සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගයෙන් අවසර ලබාගෙන කරන්නට ගියොත් මාසයකට වැඩි කාලයක් ගත වන හෙයින් කෙටි මාර්ගයකින් කාර්යය කරගන්නට හැකියාව ඇත්නම් වඩා පහසු බව ඔහුගේ අදහස විය.  එහෙත් ඔවුන් දන්නා හඳුනන කිසි කෙනෙක් මීගමු රෝහලේ නොමැති බැවින් යන කාර්යය සාර්ථක වන්නට ඇති සම්භාවිතාව ඉතා අඩු බව විනෝද් කීවේ සැහැල්ලුවෙන් සිනාසෙමිනි.

මීගමු රෝහලට ගිය ඔවුන් තිදෙනා පරිපාලන අංශ ගොඩනැගිල්ලට ඇතුළුවුනේ අවසර ගතයුතු නිසි බලධාරියා වන රෝහල් ලේකම් හමුවීමටය.  වැඩි වෙලාවක් නොගොස් ඔවුන්ට ලේකම්වරයාගේ කාමරයට ඇතුල් වීමට අවසර ලැබුණි.

"ආ අනුර! මොකද මෙහෙ කරන්නෙ? හඬ ආවේ රෝහල් ලේකම් වරයා සිටි මේසයෙන් බව අනුර දුටුවේය.

එවැනි පිළිගැනීමක් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අනුර වඩා විපරමෙන් නිලධාරියා දෙස බැලු විට ඔහු දැක්කේ තමන් සමග එකට වැඩකළ චන්ද්‍රපාලය.  ඔහු රෝහල් ලේකම් තනතුරට පත්වූ බව හෝ මීගමු රෝහලේ වැඩකරන බව අනුර දැන නොසිටියේය.   ඔවුන් ගිය කාර්යයට අවසර ලබා ගන්නට ගත් වුණේ විනාඩි කීපයක් පමණක් වූ අතර චන්ද්‍රපාල වැඩි වෙලාවක් ගතකළේ කාර්යාලයේ පැරණි සගයන් ගැන සහ අනුරගේ නව තොරතුරු ඇසීමටය.  චන්ද්‍රපාලගේ සුළු සංග්‍රහයක්ද භුක්ති විඳ තිදෙනා එළියට පැමිණියෝය.  ගිය කාර්යය හිතුවාටත් වඩා හොඳින් සාර්ථක වීම ගැන විනෝද් සහ විමල් පසුවුනේ දැඩි සතුටකිනි.  

"ඒයි, අපි මේක සෙලිබ්රේට් කරන්න ඕනෑ!" යි කියූ විනෝද් වාහනය කෙළින්ම මීගමුවේ තානායමට පැදවීය.

ගිය කාර්යය සඳහා දවසෙන් වැඩි කාලයක් ගතවනු ඇතැයිද එසේ කාලයක් ගත කළද ලැබෙන ප්‍රතිපලය කුමක් වේදැයි හරියටම කියන්නට නොහැකි වැඩක් සඳහා ගිය අයගේ ඉක්මන් පැමිණීමක් ආයතනය බලාපොරොත්තු නොවන බැවින් ගත කිරීමට දවසක්ම ඔවුන් ඉදිරියේ විය.

"තව සීය සීය ගමු බං!" එක් වටයක් අවසානයේ විනෝද් කීවේය.

"ඊට පස්සෙ?" විමල් ඇසීය.

"දවල්ට කාල ආපහු යමු!"

"එහෙම නෙවෙයි!" අනුර කීවේය.

"මෙහෙම්මම අපේ ගෙදර ගිහිං නාගෙන එහෙම එහෙන් දවල්ට කාල ආපහු යමු.  මට ගොඩක් දවසකින් අම්මව බලන්න යන්නත් බැරිවුණා උඹලගෙ මේ වැඩ හින්දා!" අනුරගේ කතාව විමල් සහ විනෝද් අසා සිටියේ සැහැල්ලුවෙනි.  ක්ෂණයකින් දිනයේ වැදගත්ම පුද්ගලයා බවට පත්වූ අනුරට විරුද්ධ වන්නට ඔවුන්ගේ කිසිදු අදහසක් නොතිබුණෙන් අනුරගේ නිවෙසට යෑම සඳහා ඔවුන් පිටත් වූහ.  පැය බාගයක් පමණ ගමන් කළ ඔවුහු අනුරගේ ගමට ළඟාවන විට ඉර මුදුන් වුණා පමණකි.  ගෙදරට හැරෙන පාර ළඟදී අනුර දුටුවේ එතැන ගෙයි වහලට ගොඩවූ කීපදෙනෙක් කලුගැහුණු පරාල වගයක් ඇද දමමින් සිටිය බවය.  ගෙදරට ගිය විගස අනුර අම්මාගෙන් ඇසුවේ ඒ ගැනය.

"ඇයි ළමයො සිරිපාලලගෙ ගෙට ඊයෙ රෑ පොලීසියෙන් ගිණි තියලනෙ." අම්මා කීවේ රහසින් මෙනි.

"ඒ ගෙදර කොල්ල හොයන්න දවස් ගාණක් ඇවිත්, ඌ හැංගිලා ඉන්නෙ ගෙදර එන්නෙ නෑ.  ඔන්න ඊයෙ රෑත් ඇවිත් ,කොල්ල නැති තැන හිටපියව් තොපිට හොඳ වැඩක් කරන්න කියල එහෙම්මම පැට්‍රෝල් දාල වහලෙට ගිණි තිබ්බලු." අම්මා වැඩිදුරටත් කීවාය.

"ඒක තමයි,  මොකද මේ හොඳට තිබ්බ වහලෙ කඩල දාන්නෙ කියල මම කල්පනා කළේ."

"දැන් ඉතිං මේ හරිය එන්න එන්නම බයානක වෙනවා.  ඔය ළමයි දෙන්නත් එක්ක ගිහිං නාගෙන එන්නකො.  මම ඉක්මනට කන්න හදන්නම්."

 ගමේ හිටියානම් තමාද මේ වනවිට ආගිය අතක් නොමැති අයගේ ලේඛනයට ඇතුළත්ව බොහෝ කල් විය හකි යයි අනුර සිතුවේය.  අහුවෙන්නටම ගොස් නූලෙන් බේරුණු දවසක් ගැනද ඔහුට මතක් විය.  එදා මළගෙදරක ගොස් බොහෝ රෑ බෝවී ගෙදර පැමිණි අනුර සුපුරුදු ලෙස එළියේ කාමරයේ නිදාගත්තේය.  පොලීසිය ආවේ පාන්දර තුනට පමණය.  සංවිධානයට උදව් කළ තරුණියක් ගැන තොරතුරු සොයමින් ඔවුන් පැමිණ තිබුණේ ඔත්තුකරුවෙකුද සමගය.  එහෙම කෙනෙක් ගැන අනුර ඇත්තටම දැන සිටියේද නැත.  පොලිස් කණ්ඩායමටම උවමනා වී තිබුණේ අනුර රැගෙන ගොස් ප්‍රශ්න කිරීමට වුවත් කණ්ඩායම භාරව පැමිණි පොලිස් උප පරීක්ෂක වරයා අනුරගේ කාර්යාල හැඳුනුම් පත පරීක්ෂා කර බලා බොහෝ වෙලාවක් කල්පනාවේ නිමග්නව සිටියේය.

"අපි යනවා."  හැඳුනුම් පත ආපසු අනුර අතට දෙමින්  උප පරීක්ෂක වරයා කීදේ අනුරට අදහන්නටද බැරි විය.  ඔහු බලාගෙන සිටියේ ඇදගෙන ගොස් ජීප් රථයට දාගන්නා තෙක්ය.  මඳ දුරක් ඉදිරියට ඇවිදගෙන ගිය පොලිස් උප පරීක්ෂකවරයා යමක් මතක් වුනාක් මෙන් ආපසු හැරී පැමිණ අනුරට කතා කළේය.

"මම හිස් අතින් ගියාට ගම්පහින් ආවොත් නම් හිස් අතින් යන එකක් නැහැ.  ඒකත් මතක තියාගෙන ඉන්න එක හොඳයි!" කියූ ඔහු ආපසු හැරී යන්නට ගියේය.

ගම්පහ මතක් වන විට අනුරගේ සියොලඟ හිරිගඩු පිපුණේ ඒ වනවිට ගම්පහ පොලිස් බල ප්‍රදේශයට පැමිණ සිටි ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී වරයා සිහියට නැගීම නිසාය.  ඉතා දරුණු අලුගෝසුවෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි ඔහු සිය සහචර මැර නිලධාරීන් සමග එක්ව දිස්ත්‍රික්කය පුරා දැඩි භීෂණයක් වපුරා තිබුණු අතර ඒ කණ්ඩායමේ ග්‍රහණයට හසුවූ කෙනෙකු පණපිටින් ආපසු නොඑන බව නොදන්නා කෙනෙක් නොවීය.

ගෙට පහළින් තිබූ නාන ළිඳේ වතුර උතුරා යමින් තිබුණි.  ඒ වනවිටත් දැඩිව තිබූ දාහය හේතුවෙන් අපහසුවට පත්වෙමින් සිටි ඔවුන්ට නාගන්නට යයි අමුතුවෙන් කියන්නට අවශ්‍ය නොවිණි.  ළිඳේ බොහෝ වේලාවක් ගතකර ගොඩට ආ ඔවුන් වෙනුවෙන් අනුරගේ මව පිළියෙළ කර තිබූ දහවල් අහාරයද භුක්ති විඳි ඔවුන් තිදෙනා ආපසු යන්නට පිටත් වූයේ තමන් ගිය කාර්යය සාර්ථක කරගන්නට ලැබීමේ සතුටිනි.  පිටත් වන්නට පෙර අම්මා සමග තනිව කෙටි කතාබහක නියැලුණු අනුරට ඇය කීවේ නිතරම ගෙදර එන්නට අවශ්‍ය නොමැති බවත් සිටින තැනක ප්‍රවේශමෙන් රාජකාරිය කරගෙන ඉන්නා ලෙසත්ය. එය මව වෙනදාට කියන කතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් වුවත් එහි තිබූ අනතුරු ඇඟවීම අනුරට හොඳින් තේරුම් ගියේය.

"විජිතගේ දානෙ ගෙදර කිව්වද?" දිනක් ඉන්ද්‍රා අනුරගෙන් ඇසුවේ සවස කාර්යාලයේ සිට ආපසු යද්දීය.  විජිතා  කාර්යාලයේ සේවය කරන කාන්තාවන් අතරින් ඉන්ද්‍රාගේ හොඳම යෙහෙළියයි.  කිඹුලාවල ප්‍රදේශයේ පදිංචි ඇයගේ නිවසට අනුර සිටි තැන සිට කිලෝමීටරයක්වත් දුර නොමැති තරම්ය.

"නැහැ!" අනුර කීවේ තරමක නොසැලකිල්ලකිනි.

"ඔයාටත් කියයි,  මටයි කුමාරිටයි කලින්දා හවස එන්න කිව්ව තියෙන වැඩවලට උදව්වටත් එක්ක!" 

"කවදටද දානෙ තියෙන්නෙ?"

"ලබන ඉරිදලු.  සෙනසුරාදා හවස අපිට යන්න තියෙන්නෙ!"

"ඔයා යන ගමන් අපේ පැත්තෙන් එන්න, හවසට දෙන්න එක්කම විජිතලගෙ ගෙදර යමු. මමත් මේ දවස්වල තනියම ඉන්නෙ!"

"ඇයි ඔයාගෙ පිරිවර කොහෙ ගිහින්ද?"

"උන් ටික ඔක්කොමල ෂූටිං ගිහින්. ගෙදර තනියම ඉන්න බෑ මළ පාළුයි!"

"පාළුව මකා ගන්නද මට එන්නය කිව්වෙ?"

"ඇයි හොඳ නැද්ද?"

ඉන්ද්‍රා සිනාසුනාය.  සිනාසෙන විට සිහින්වන ඇගේ නෙත් යුවළ දෙස බලා ඉන්නට අනුර ප්‍රියකරයි.  පසුවදා වෙද්දීම අනුරට විජිතාගේ ආරාධනාව ලැබුණි.

"ළඟ පාත ඉන්න නිසා කළින් දවසෙ හවසත් ඇවිත් පොඩ්ඩක් උදව් කරන්න!"  විජිතා කීවාය.

"ආයෙ කවුද එන්නෙ?"  අනුර කිසිවක් නොදන්නා සේ ඇසුවේය.

"ඇයි, ඔයාගෙ ක්‍රෂ් එකත් එයි!"  විජිතා කීවේ ඈත සිටි ඉන්ද්‍රා දෙසට ඉඟිමරමිනි.

සෙනසුරාදා උදයේ සිටම අනුර ඉන්ද්‍රාගේ පැමිණීම බලාපොරොත්තුව සිටියේය.  ඇය එන්නේ සවස් වරුවේ බව හොඳින්ම දන්නා නමුත් ඔහු උදේ සිටම විටින්විට පාර දෙස බලාසිටියේ හදිසියේ හෝ ඉන්ද්‍රා පාරේ පහළින් මතුවී පෙනෙතැයි සිතමිනි.  දහවල් කෑමෙන් පසුව අනුර එළියේ තබාගත් පුටුවක හිඳ බලාසිටියේ සිටගෙන සිටීම ඇතිවී තිබුණු නිසාය.  ගෙය පසුකරගෙන යන බසයක් ගානේ ඔහුගේ බලාපොරොත්තු දැල්වෙයි.  පාරේ කෙළවර ඇති බස් නැවතුමේ බසය නොනවත්වා යනවිට බලාපොරොත්තු සුන්ව ගියද අනෙක් බසය එද්දී නැවතත් බලාපොරොත්තු තබාගනී.  පාර කෙළවරෙන් කාන්තා රුවක් මතුවනවිට ඔහු හුනස්නෙන් නැගිට ගත්තේ ඒ නම් ඉන්ද්‍රා විය යුතු යයි සිතමිනි.  සුදු පාට ලොකු මල් වැටුණු කහපාට ගවුමක් හැඳ කිණිහිරිය මලක්සේ සුන්දරවූ ඉන්ද්‍රා එනවිට සවස දෙක පසුවී තිබුණත් අනුරට දැනුනේ ඇය බොහෝ ප්‍රමාද වූ බවකි.   ඔහු ගේට්ටුව ඇර ඉන්ද්‍රාව ඇතුළට ගත්තේ සතුට පිරී ගිය සිතිනි.  සැන්දෑ හිරු එළියේ හමන සුළඟ මෙන් සුමුදු වූ ජීවයෙන් පිරුණු වතින් යුත් ඇය අනුර ඉදිරියේ පෙනී සිටියේ සිනා මල් වස්සවමිනි.

"ඇයි පරක්කු උනේ?" අනුර ඇසුවේ ඇය පුටුවක වාඩි වෙද්දීමය.

"පරක්කු?" ඉන්ද්‍රා උපහාසාත්මකව අනුර දෙස බලමින් කීවේ හිසෙන් බිත්ති ඔරලෝසුව දක්වමිනි.

"මං ගොඩක් වෙලා ඉඳන් බලා හිටියෙ.  ඒක වෙන්නැති!"  අනුර කීවේ ලජ්ජාවෙනි.

ඉන්ද්‍රා ගේ සැමතැනම ඇවිද යමින් බැලුවේ අනුරගේ අතකින් අල්ලාගෙනය.  අවසානයට ඔවුන් දෙදෙනා අනුරගේ කාමරයට ගියහ.

"මොකක්ද අනේ, ඉන්න කාමරේවත් පිළිවෙලකට තියාගන්න බැරිද? මේ බලන්නකො හැමතැනම ඇඳුම්!"  ඉන්ද්‍රා කාමරයේ තැනතැන විසිරී තිබූ ඇඳුම් ගෙන ගසමින් ඇඳුම් රාක්කයේ එල්ලන්නට වුවාය.  තවත් බලාසිටිය නොහැකිවූ අනුර ඇය වැළඳගෙන ඇඳේ වාඩි ගත්තේය.  කිසිදු විරුද්ධත්වයක් නොපෑවද ඉන්ද්‍රා මඳ අපහසුවකින් මෙන් අනුරගේ උරයේ එල්ලී සිටියාය.

"ඇයි?"

"ඇඳුම් පොඩිවෙයි. විජිතලගෙ ගෙදර මෙහෙම යන්නෙ කොහොමද?"

වචනයකුදු නොදෙඩු අනුර කාමරයේ පසෙක තිබූ පෙට්ටියක් අවුස්සා කාන්තා නිදන ඇඳුමක් ගෙන ඉන්ද්‍රාට දුන්නේය.  ඇය ඇඳුම අතට ගෙන අනුර දෙස බලා සිටියේ ප්‍රශ්නාර්ථයක් මුහුණට නගා ගෙනය.

"ආ ඔය අපේ කලින් ප්‍රොඩක්ෂන් එකකට මහපු ඇඳුම්.  වැඩේ ඉවර උනාට පස්සෙ ලොන්ඩරියට දාල හෝදල මැදල මෙහෙ ගෙනත් තියනවා.  සමහරවිට තවත් වැඩකදී ඕනැ වෙන්න පුළුවන් නිසා!" 

"වෙන වැඩක් කිව්වෙ මෙහෙට එන කෙල්ලන්ට අන්දවන්න වෙන්න ඇති!"  ඉන්ද්‍රා සරදම් කළේ නිදන ගවුම ඇඟලා ගනිමින්ය.

"ඒකත් එක වැඩක් තමයි!" 

"කාටද අප්පා මේක මැහුවේ?  මෙච්චර මහත අයත් ඉන්නවද?"  එය තරමක් පළල් වූ ඇඳුමක් වූ අතර සිහින් සිරුරක් ඇති ඉන්ද්‍රා ඒ ගවුම ඇඟ ලා ගත්කළ ඔලගුවක් පොරවා ගත්තාක් මෙන් විය.  අසල වූ කැඩපතින් තමාවම නරඹමින් ඇය සිනාසුනේ උපහාසයෙනි.

"කමක් නෑ, අපේ උවමනාවට මේක වැඩිත් එක්ක නේද?" අනුර කීවේ ඉන්ද්‍රාව සයනයේ පෙරළා ගනිමිනි.

සවස් වනතුරු නිවසේ ගතකළ යුවළ විජිතාගේ නිවසට යන්නට පිටත් වූයේ සැන්දෑ හිරු සිය කහවන් ආලෝකයෙන් තුරු මුදුන් ආලෝකමත් කරද්දීය.  මහත් වූ සොම්නසක් රැඳි ඉන්ද්‍රාගේ වතෙහි තරමක් වෙහෙසකර ස්වභාවයක්ද අනුර නිරීක්ෂණය කළේය.

"මදැයි මේ ජෝඩුව එන වෙලාව.කොයි ලෝකෙ ගියාද මෙච්චර රෑ වෙනකල්?" ඔවුන් දෙදෙනා දුටුවනම විජිතා ඇසුවේ ඉන්ද්‍රා ඇය අතට දුන් පාර්සලය පසෙක තබමිනි.

"වෙලාව තියෙන නිසා අපි ඔහෙ හිමිහිට ආවා. නේද ඉන්ද්‍රා?" 

"හා යමු යමු ඇතුළට, මේ වැඩටික කොහෙන් පටන් ගන්නද කියල මම හිත හිත හිටියෙ!"

රාත්‍රියේ මැදියමක් වෙනතුරු නොයෙක් වැඩවල නිරතවූ අනුර නිදාගන්නට ගියත් තැන වෙනස් වූ නිසා නින්ද පමාවිය.  

"ආ ඔයා මෙතනද?  මම හැම තැනම බැලුවා!" අඳුරේම ඡායාවක් ලෙස අනුර ලඟට ආවේ ඉන්ද්‍රාය.

අනුර නිහඬවම ඉන්ද්‍රාගේ අතින් ගෙන ඇඳට ඇදගත්තේය.  ඇය ලතාවක් මෙන් අනුරගේ සිරුරේ වෙලී සිටියේ කතාබහකින් තොරවය.  රාත්‍රියේ පශ්චිම යාමය ගතවෙනු ඔවුන් දෙදෙනාට යන්තමින්වත් නොදැනුණි.  පසුදා දහවල් දානයෙන් පසුව ආපසු යන්නට පිටත්වූ අනුරගේත් ඉන්ද්‍රාගේත් අත්වල විජිතා ලබාදුන් කෑම පාර්සලයක් බැගින් විය.  නිහඬවම අනුර පසුපස පියමනින ඉන්ද්‍රාගේ නෙත්වල වෙහෙස හා නිදිමත පරයමින් තිබූ කාන්තිය කුමක්දැයි අනුර හොඳින් දැනසිටියේය.  ඒ දහවල බස් නැවතුමේ සිටියේ ඔවුන් දෙදෙනා පමණකි.  අනුර ඉන්ද්‍රාගේ අත අල්ලා ගත්තේය.  ඇය නෙත් දල්වා අනුර දෙස බැලුවාය.

"මම ලබන සතියෙ වගේ ගෙදර යනවා ගමේ යාලුවෙක්ගෙ මඟුලකට.  එතකොට ඔයා ගැන අම්මට කියන්නයි හිතාගෙන ඉන්නෙ.  එහෙම කමක් නෑ නේද?"

වචනයක් කතා නොකළද අනුර දෙස බැලු ඉන්ද්‍රාගේ මුහුණින් විහිදුනු සොම්නස ඇයගේ පිළිතුර හොඳින් කියා පාන්නක් විය.  මොහොතක් ඔහු දෙස බලා සිටි ඉන්ද්‍රා ඉවතට හැරී අත තිබූ ලේන්සුවෙන් දෑස් පිසදැමූවාය.

"ඇයි මේ?"

හිස දෙපසට වනමින් මොකුත් ප්‍රශ්නයක් නෑ යන්න අභිනයෙන් කියා පෑ ඉන්ද්‍රා අනුර දෙස බලා සිනාසුනාය.

"මොකද කතා පෙට්ටිය ලොක් උනාද?"

ඉන්ද්‍රා සිනාසෙමින් අත දිගුකර ඈතින් එන බසය දැක්වූවාය.  බොරැල්ලට යනතෙක් ඔවුන් දෙදෙනා තමන්ගේම කල්පනා ලෝකවල නිමග්න වෙමින් ගියේ කතාබහකින් තොරවය.  ඔවුන් බස් නැවතුම්පොලෙන් බැසගත් පසු අනුර ඉන්ද්‍රාව ඇයගේ බසයට හැරලුවේය.  

"කතා නොකළට මොකුත් හිතන්න එපා, හෙට කතාකරමු!"  බසයට නැගගත් ඉන්ද්‍රාගේ දෑස්වල තෙතමනයට යටින් යම් ආලෝකයක් දැල්වෙන බව අනුර දුටුවේය.

ඊට දින දෙක තුනකට පසු දවසක සවස කාර්යාලය අවසානයේ අනුර දුම්රියේ නැග ගෙදර ගියේ එදා රාත්‍රියට යෙදී තිබූ ඔහුගේ මිතුරාගේ මංගල්‍යයට සහභාගී වීම සඳහාය. මංගල්‍යයට යන්නට සුදානම් වන අතරේ අනුර ඉන්ද්‍රා ගැන මවට කීවේය.   ඇය කීවේ අනුර දැන් වැඩිහිටියෙක් බවත් තමන් කළයුතු නොකළයුතු දෑ හොඳින් වැටහෙන කෙනෙක් බැවින් ඔහුගේ කැමැත්තට ඇයගේ විරුද්ධත්වයක් නොමැති බවත්ය.  

දන්නා කරන මිතුරන් සියළු දෙනාම පාහේ මගුලට පැමිණ සිටි බැවින් අනුර ඔවුන් සමග රෑ මැදියමක් වනතුරු විනෝදයෙන් ගතකර ගෙදර ආවේ බමන මතිනි.  

"ඇතුලෙ කාමරේ ලෑස්ති කරල තියෙන්නෙ.  ඒකෙ නිදාගන්න!" අම්මා අනුරට ඔහුගේ සුපුරුදු ඉස්තෝප්පු කාමරයේ නිදාගන්නට ඉඩ දුන්නේ නැත.  ඇඳුම් මාරුකර ඇඳට වැටුණු මොහොතකින් අනුරට නින්ද ගියේය.  වෙනදාට නින්ද යනතෙක් ඇසෙන බල්ලන් බුරාහැලෙන හඬවල් සහ ගේ අවට ඇවිදින සපත්තු ශබ්ද නොමැති ඒ රාත්‍රියේ සුවසේ නිදාගත් අනුර පාන්දර නැගිට මව සුදානම් කරදුන් තේ කෝප්පයද බී සුදානම්ව මවට වැඳ ගෙදරින් පිටත් වුණේ පාන්දර 5.40 දුම්රිය අල්ලා ගැනීමේ අදහසිනි.  ඔහු වත්තේ කඩුල්ලෙන් පාරට ගොඩවුවා පමණි.  රවුම් සීතල යකඩයක් සිය ගෙලට තදවනු දැනී අනුර හිස හැරවුයේ ඒ කුමක්දැයි බලන්නටය.

"හැරෙන්න දෙයක් නෑ.  ඔහොමම ඉස්සරහට යමු.  කලබල කරන්න හැදුවොත් වෙනදේ දන්නවනෙ!"෴

Monday, November 1, 2021

ත්‍රිකෝණය 6 (අවසන් කොටස)

 



ත්‍රිකෝණය 5

අඩවන් වූ කවුළුවෙන් ගලා ආ සඳරැස් තීරුවක් කාමරයට වැටී ඇත.  අඩ නින්දේ සිටි රංජිත් ඇඳෙන් බැස වෙලාව බැලුවේය.

"දොළහත් වෙලා " රංජිත් තමාටම කියා ගනිමින් වතුර වීදුරුවක් වත්කරගෙන බොන්නට විය.  අගෝස්තු මාසයේ දවාලට ඇති දාහය දරාගන්නට නොහැකි තරමය.  නිදාගන්නට ඇඳට ගියද සියොළඟින් ගලන දහඩිය නිසා බොහෝ වෙලාවක් යනතුරු නින්ද නොඑයි.  ගිය සතියේ දවසක සවස රංජිත්ගේ කාමරයට ආවේ ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාය.  ඔහු ආවේ වැදගත් කතාවකට බව රංජිත් එක්වරම තේරුම් ගත්තේය.

"රංජිත් මහත්තය වැඩක්ද?"

"නෑ මම මේ පරණ පත්තරයක් බල බලා හිටියෙ.  මහත්තය වාඩිවෙන්න."

පසෙක තිබූ පුටුව ඇදගත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා එහි වාඩි ගෙන කතා කරන්නට විය.

"දැන් මහත්තය අපේ කටයුත්තත් ළඟ ලඟම එනවනෙ."

රංජිත් නිහඬවම අසා සිටී.

"ඉතිං මම කල්පනා කළේ දැන් මහත්තයට ගෙවල් ළඟ පාතකට මාරුවක් ගත්තොත් නරකද කියල.  බැඳල දෙන්න එකතැන් උනාට පස්සෙ ආයෙම මේ කැලේට එන එකේ තේරුමක් නෑනෙ.  මහත්තයගෙ දුෂ්කර සේවා කාලෙත් දැන් ඉවර වෙලානෙ.  හෙට අනිද්දම ලියුමක් ලියාගෙන අධ්‍යාපන කාර්යාලෙට යන්න.  මම නිර්දේශ කරන්නම්.  අධ්‍යාපන කාර්යාලෙ ඒ ඕ මහත්තය මම දන්න කෙනෙක්.  උන්නැහැ මහත්තයට උදව් කරයි."

මාරුවක් ලබාගැනීම නරකම නැතැයි රංජිත් සිතුවේය.  ඒත් අවුරුදු කීපයක් සිටි තැන එක්වරම දමා යන්නට හිත හදාගන්නේ කෙසේද?  ඔහු ආසාවෙන් කළ ගොවිකම, කුඹුරු, හේන.  ඒ ඔක්කොටොමත් වඩා බිසෝ?

"මහත්තය මොනවද කල්පනා කරන්නෙ?" 

ජයතිස්ස මහත්තයගේ හඬින් රංජිත්ගේ කල්පනා දැහැන බිඳ වැටුණි.

"තමන් කාලයක් ආදරෙන් හිටපු ඉඩකඩම් දාල යන්න හිත හදාගන්න එක අමාරු තමයි.  ඒත් අපි කවුරුවත් හැමදාම මේ තැන්වල ඉන්න ඇවිල්ල නෑනෙ.  මහත්තය හිත හදාගෙන ගමට යන්න.  මට නම් ඉතිං ආයෙ වෙන තැනකට යන්න කාලයක් ඉතුරු වෙලා නැහැ.  ඔන්න ඔය ඉතුරු අවුරුදු කීපෙත් මෙහෙටම වෙලා ඉඳල විශ්‍රාම අරගෙනම ගමට යනවා.  මහත්තයල ජීවිතේ පටන් ගත්ත විතරයි.  හිත හදාගෙන ගිහිං අලුත් ජීවිතයක් පටන් ගන්න."

"නෑ ඉතිං, මට ඔය මාරු වැඩවල පළපුරුද්දකුත් නැහැනෙ.  නැතුව ගමට යන්න තියෙන අකමැත්තකට නෙවෙයි."

"අමුතු පළපුරුද්දක් ඕනෑ නෑ මහත්තය.  මම කියනවට අධ්‍යාපන කාර්යාලෙට යන්නකො.  ඉතුරු හරිය මම බලාගන්නම්."

ජයතිස්ස මහත්තයාගේ බලකිරීම නිසාම රංජිත් ඊට පසු දිනෙක නිවාඩු දමා අධ්‍යාපන කාර්යාලයට ගොස් පරිපාලන නිලධාරියා මාර්ගයෙන් අධ්‍යාපන අධ්‍යක්ෂ මුණ ගැසුනේය.  ඔහු කියා සිටියේ හදිසියේම රංජිත්ට මාරුවීමක් ලබා දෙන්නට නොහැකි වන්නේ ඔහු වෙනුවට පාසැලට අනුප්‍රාප්තිකයෙකු ලබාදීමට හැකියාවක් නොමැති නිසා බවය.  ඒත් ඊළඟ අවුරුද්දේ මුල භාගයේ පැමිණීමට නියමිත නව ගුරු පත්වීම් වලින් කෙනෙක් රංජිත් වෙනුවට එවිය හැකි බව ඔහු කියා සිටියේය.  ඒ ක්‍රියාමාර්ගය හොඳටම සෑහෙන බැවින් රංජිත් ආපසු ආවේ ගිය ගමන සපල වීමේ සතුටිනි.

එදින සවස ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ ගෙදරදී රංජිත් ඇතුළු දිලිනිගේ පවුලේ සැවොම ඒ ගැන කතා කළේ සතුටිනි.  වඩාත්ම සතුටට පත්ව සිටියේ දිලිනිය.  නව ජීවිතයකට ඇතුල් වන්නට නියමිත ඇය සිය අනාගතය මෙනෙහි කළේ  බිය මුසු සතුටකිනි.  තම ජීවිතයේ ඉදිරියට යන්නට අතුරා ඇති මාවත කුමන අයුරක එකක් වේවිදැයි ඇය සිතුවාය.

රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලාගේ නිවසේ සිට කල් වේලා නොගෙන කාමරයට ආවේය.  ඔහු සිටියේ දෙගිඩියාවකය.  සිය ජීවිතයේ තවත් එක් කඩඉමක් නොබෝ දිනෙකින් එළඹෙයි.  තමන් ගත් තීරණය බිසෝ කෙසේ පිළිගනීද?  ඇයගේ ප්‍රතිචාරය කුමක් විය හැකිද?  රංජිත් කාමරයට ආවේ සිතුවිලි දාමයක සිත පටලවාගෙනය.

 

ඊයේ සවස බිසෝත් එක්ක ඇතිවුණු කතාබහ රංජිත්ට සිහිවිය.  බිසෝ කෑමත් රැගෙන කාමරයට ආවේ හතර වටින් අඳුර ගලා එද්දීය.  රංජිත් සුපුරුදු ලෙස ඇයව යහනට ගෙන ගියද බිසෝගේ ප්‍රතිචාරය ඇල්මැරුණු එකක් විය.  ඇය රංජිත්ගේ අකීකරු දෑත පසෙකට කළේ සිනාවෙමිනි.

"ඇයි මේ?"

රංජිත්ගේ ප්‍රශ්නයට උත්තරයක් දෙනු වෙනුවට ඇය රංජිත්ගේ මුවට සිය ඇඟිල්ල තබා කියා සිටියේ නිහඬ වන ලෙසය.

"හැමදාම මහත්තය කතා කරනවා මම අහගෙන ඉන්නවා.  අද මම කතා කරන්නම් මහත්තය අහගෙන ඉන්න."

බිසෝ කීවාය.  බිසෝගේ ගතින් හමන තුරුණු සුවඳ රංජිත් මන්මත් කරවයි.  ඔහු බිසෝව ලඟට ඇද ගත්තේය.

"ඔය ඉතිං, කියන දේ තේරෙන්නෙ නෑනෙ.  ඔහොම ඉන්න."

බිසෝ ඇඳෙන් නැගිට අසල තිබූ පුටුවේ වාඩිවූවාය.  රංජිත් නිසලව බලාසිටියේ බිසෝ කරන්නට යන දේ ඔහුට නොතේරුණු හෙයිනි.

"දැන් ඉතිං මහත්තය අලුත් ජීවිතයක් පටන් ගන්න ලඟයිනෙ.  අපි සෑහෙන දවසක් කිට්ටු වෙලා හිටියට මහත්තයට මගෙ ළඟ හැමදාම ඉන්නත් බෑ මටත් එහෙම බෑ, කොහොමත් දවසක අපට වෙන් වෙන්නම වෙනවා.  මට මහත්තයව දාල යන්න ලෝබ හිතුනට කරන්න දේකුත් නෑ.  පහුගිය කාලෙම මම හිතුවෙ ඔය ගැනමයි.  කොහොම හරි පහුගිය මාසෙ මට අර අසනීපෙ හැදුනෙ නෑ.  මට එහෙම වෙන්නෙත් නෑ වෙනදට.  ඉතිං මම කල්පනා කළා දරුවෙක් වත්ද කියල.  කෝකටත් කියලා මම විල්සන් එක්ක රණ්ඩු කළා මට හැමදාම මෙහෙම ඉන්න බෑ දරුවෙක් ඕනැය කියල.  විල්සන් එච්චර ගනන් ගන්නෙ නැතුව උඹට දරුවො ලැබෙන්නෙ නැත්නං මම මොනව කරන්නද කියල ඇහුවා.

රංජිත් නිහඬව අසා සිටී.  

"ඒ ගමන මම කිව්ව නෑ නෑ කියල හිටියට හරියන්නෙ නෑ මොනව හරි යමක් කරල බලමු එහෙමවත් හරියයිද කිව්වම විල්සන් කැමති උනා.  ඒ ගමන මම විල්සන් එක්ක බටුකොළයායෙ නුගේ දේවාලෙට ගිහිං පාන් පත්තු කරල බාර උනා.  විල්සන්ල ඔය දෙවාලේ හාස්කම් හරියට විස්වාස කරනවනෙ.  ඉතිං දැන් මට බයක් නෑ.  විල්සන් අවිස්වාස කරන්නෙත් නෑ මට මහත්තයගෙන් දරුවෙකුත් ඉන්නවා.  ඒක මට හැමදාම මහත්තය මගෙ ළඟ ඉන්නව වගේ.  මම දරුවත් හදාගෙන මෙහෙ මගෙ ජීවිතේ ගෙවන්නම්.  මහත්තය ගමට ගිහිං අලුත් ජීවිතේ හොඳින් ගතකරන්න.  කොහොමත් අපි ඉතිං මේ කැලෑ ගම්වල හැදිල ජීවත්වෙලා මෙහෙ කැලෑගම්වලම මැරෙන්න නියම වෙච්ච අයනෙ.  මහත්තයල දැන උගත් රට රාජ්ජවල ගියපු අය.  අපි දෙගොල්ල කොහොමත් පෑහෙන්නෙ නෑ.  මට මහත්තය ගැන කිසිම තරහවක් නෑ, ආදරයක් මිසක.  කොහොමත් ආදරේ කරපු කෙනෙකුට වයිර කරන්න මට බෑ.  මහත්තය හිත හදාගෙන ගමේ යන්න.  ජීවිතේ ආයෙ දවසක වැරදිලා හරි මේ පැත්තෙ එවුනොත් අපිවත් බලන්න එන්න.

බිසෝ බරව ගිය කටහඬකින් කීවාය.  

"මම දැනගෙන හිටියෙ නැතුවට බිසෝ හරි හරි දේවල් කරල තියෙනවනෙ පහුගිය දවස්වල."

"ඔව් ඉතිං ගෑණු අපටත් අර ඉව කියල දෙයක් තියෙනවනෙ, නැතුව අපි මහලොකු උගත් අය නෙවෙයිනෙ.  ඉතිං ඒ ඉව හරි වෙලාවට පාවිච්චි කරන්න දැනගන්න ඕනෑ, ඉතිං මම යන්නං මහත්තය, අපි ආයෙම මුණ ගැහෙයිද දන්නෙ නෑ.  ඒ කෝක උනත් මෙහෙම ගෑනියක් මහත්තයට කවද හරි ආදරෙන් හිටිය කියල මතක තියාගත්තොත් මට ඒ ඇති."

බිසෝ අඩ අඳුරේ නිසොල්මනේම පිටත්ව ගියාය .  කල්පනාවෙන් බරවූ රංජිත් නිහඬවම බලා සිටියේය.


෴ සමාප්තයි ෴


පසු සටහන.

කතාව ලියන්නට ආරම්භ කරද්දී මා බලාපොරොත්තු වුණේ කොටසකින් හෝ දෙකකින් කතාව නිම කරන්නට වුවත් නොසිතු ලෙස කොටස් හයක් දක්වා කතාව දිගුවිය.  මෙය මා අත්දුටු සිදුවීමක් පරිකල්පනය ඔස්සේ විකාශනය කර ලියන ලද්දකි.  රංජිත්ගේත් දිළිනිගේත් විවාහයෙන් පසු සිදුවූ සිදුවීම් සමුදාය වඩාත් විචිත්‍රවත් බව මට සිතේ.  කවදාක හෝ ඒ කතාවත් මගේ සිතේ හැදී වැඩී ලියැවෙනු ඇත.  රංජිත්ද දිලිනිද දෙතැනක හෝ අදටත් මේ රටේ ජීවත්වෙති.  බිසෝගේ පසුකාලීන ජීවිතය පිළිබඳව දැනගන්නට නැතත් ඇයද සිය දරුවා සමග කොහේ හෝ ජීවත්වනු ඇත.  ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මෙලොව හැර ගියේ දැනට දසකයකට පමණ පෙරය.  මමද කුලියාපිටියේ පැවති ඒ අවමගුලට සහභාගී වුණෙමි.  ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඊටද පෙර සිය දිවි ගමන නිමාකළේය.  සියල්ලන්ටම පසු රංජිත්ගේ මව දිවියෙන් සමුගත්තාය.  අනුර මහත්තයා දැන් ලංකාවට පැමිණ සුපුරුදු ලෙස දිවි ගෙවයි.

බ්ලොග්කරණයේ දීර්ඝ විරාමයකට පසු නැවතත් ලිවීමට මට කතා කරමින් බල කළේ තට්ටයගෙ කොලම ලියන අපේ සහෘදයාය.  ඔහුට මගෙ ස්තුතිය පිරිනමමි.  එමෙන්ම 2015 වර්ෂයේ ආරම්භ වූ මේ කතාව වසර හයක් තිස්සේ ඉවසීමෙන් කියැවූ මගේ බ්ලොග් පාඨකයන්ටද ලොකු ස්තුතියක් කිරීමටද මෙය අවස්ථාව කරගනිමි. 

Friday, January 31, 2020

ත්‍රිකෝණය - 4

ත්‍රිකෝණය -3

අගෝස්තු පාසල් නිවාඩුවේ එක් සති අන්තයක කුලියාපිටියේ දිලිනිලාගේ ගෙදර යන්නට දින නියම විය.  ගමන යන්නට සුදානම් වුණේ රංජිත්, අම්මා, තාත්තා හැරෙන්නට රංජිත්ගේ අක්කාත්,ලොකු මස්සිනා හෙවත් අක්කාගේ මහත්තයාත්ය.  අක්කලාගේ වාහනයෙන් ගමන යන්නට තීරණය කර තිබුණු අතර ගමන යන පිරිස ඔත්තේ ගණනක් වීම නිසා රංජිත්ගේ අම්මා කෙඳිරි ගාන්නට වුයේ මනමාලියන් බලන්නට යන පිරිස ඉරට්ටේ ගණනක් විය යුතු බව කියමිනි.  ඒ නිසාම ගමනට එකතු වෙන්නට කිසිම සුදානමකින් නොසිටි රංජිත්ගේ පොඩි නංගිවත් ගමනට එක්කර ගන්නට අන්තිමේදී තීරණය විය.

නියමිත දින උදෑසන කුලියාපිටියේ දිලිනිලාගේ නිවසට පැමිණි ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ප්‍රමුඛ මනමාල පාර්ශ්වයේ පිරිස ජයතිස්ස මහත්තයා ප්‍රමුඛ මනාලියගේ පාර්ශ්වයේ ඇත්තන් විසින් ආදරයෙන් පිළිගන්නට යෙදුණු අතර කල් වෙලා නොඉක්මවා, පිළියෙළ කර තිබු තේ මේසයට කැඳවාගෙන යන ලදී.  දහවල් කෑම මේසය සුදානම් වන තුරු ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාටත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාටත් කතාකරන්නට පැරණි කතා  බොහෝ විය.  දිලිනි,නයනිත් එක්ක රංජිත්ගේ නංගිව අඬගහගෙන ගියේ වත්ත පහළින් ගලා ගිය ඔය පෙන්වන්නටයි.  රංජිත්ගේ අම්මාටත්, දිලිනිගේ අම්මාටත් කදේ වැටෙන්නට ඉඩදී රංජිත්, මස්සිනා සහ දිලිනිගේ මස්සිනා වූ කමල් සමග වත්තේ ඇවිදිමින් සිටියේය.

"රංජිත් අයිය එනකොට බෝතලයක් හමාරක් වාහනේ දාගෙන ආවෙ නැද්ද?" කමල් විහිළු කරන්නට විය.

"අරක්කු කොහෙ ගන්නද බං? අම්මයි තාත්තයි ඉද්දි, උඹේ ළඟ මොනාහරි තියෙනව නං ෂේප් එකේ ගහල දාමු!"  රංජිත් පිළිතුරු දුන්නේය.

"ඒ ගැන නං මොනව හරි කරගන්න පුළුවනි, එත් මේ වැඩෙයි දවසයි එක්ක වැරදිලාවත් ලොකු අයට අපි බිව්ව කියල ආරංචි වුනොත් හරි නෑ, ඒ හින්ද අදට වැඩේ අල්ලල දාමු."  කමල් දැනමුත්තෙකු ලෙස කියා සිටියේය.

තේ මේසය අවසන්වී කෑම මේසය සුදානම් වන තුරු තිබෙන පැය කීපය සාමාන්‍යයෙන් ගතවෙන්නේ මනමාලිගේ පැත්තේ ගම් බිම්වල දිග පළල වගේම  බල පුළුවන්කාරකම් ද දැනගන්නටයි.  ගමේ ගෑණු ටිකක් ඇවිත් කුස්සිය බාර අරගෙන කෑම සුදානම් කරන නිසා දිලිනිගේ අම්මාට ඒ ගැන කරදරයක් තිබුණේ නැත.  ඒ නිසා ඇයට රංජිත්ගේ අම්මාත් එක්ක ඕනෑ තරම් කතා කරන්නට කාලය තිබුණි.  රංජිත්ගේ අම්මාට තදින්ම උවමනාව තිබුණේ දීග යන දිලිනිට ගෙදරින් ලැබෙන දේවල් ගැන දැනගන්නට වුණත් ඒ ගැන කටක් හොල්ලන්නට එපාය කියා ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා මෙන්ම රංජිත්ද කළින්ම ඇයට අවවාද කර සිටි බැවින් දෑවැදි ගැන කතා නොකලත් ලැබෙන්නේ මොනවාදැයි වටින් ගොඩින් හෝ හෙළිකරගන්නට ඇය උත්සාහ  දරුවාය.

ඇගේ කුතුහලය වැඩි වෙලාවක් නොතිබුණේ කතා කරමින් ඉන්න ගමන්ම දිලිනිට ගෙදරින් ලැබෙන දේපළ ගැන දිලිනිගේ අම්මා ඇයට කිවූ නිසාය.

"ඉන්න ගේයි වත්තයි පොඩි දුවගෙ නමට ලියන්න හිතාගෙන ඉන්නෙ, කොහොමත් වයස යද්දී අපිව බලාගන්න ඉන්නෙ ඒ ළමයිනෙ.  ලොකු දුවට කුඹුරු අක්කර දෙකකුයි පරගස්වැව පොල් ඉඩමයි ලියනවා. ඔය තියෙන හැම දෙයක්ම ඔය දෙන්නටනේ!" දිලිනිගේ අම්මා කීවාය.  දිලිනි සතුව ඇති කණ කර ආභරණ වලට අමතරව ඇයට ගෙදරකට අවශ්‍ය සියළුම දේවල්ද ලැබෙන බව දිලිනිගේ අම්මා කීවේ රංජිත්ගේ මවගේ සිත සතුටින් පුරවාලමිනි.  කුලියාපිටියේ කටයුත්ත බොහොම හොඳ බව ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයාගේ මෙන්ම ගෙදර අනික් අයගෙත් ඒකමතික තීරණය විය.  ඔවුන් කුලියාපිටියේ සිට ආපසු ගෙදර ආවේ බොහෝ සතුටිනි.
                                                               ********
නිවාඩුවේ ඉතිරි දවස් කීපයද ගෙදර ගතකළ රංජිත් පාසල් ආරම්භයට දිනකට පෙර ආපසු ගල්ගමුවට ගියේය.  සුපුරුදු ගුරු නිවාසයට ආපසු පැමිණි රංජිත් බලන්නට බිසෝ එදා හවස ආවේ රෑ කෑමත් රැගෙනය.  කලකට පසු ආ රංජිත්ට කියන්නට බොහෝ දේවල් බිසෝ ලඟ තිබුණත් කලකින් නොලද බිසෝ ගේ රස පහසට ලොබ බැඳී රංජිත් බිසෝ තරයේ වැළඳගෙන ඇඳට රැගෙන ගියේ බිසෝට කතාකරන්නටවත් ඉඩ නොතබමිනි.

"තව කී කාලෙකටද?" බිසෝ කීවේ රංජිත්ගේ මුව සිය මුහුණින් ඉවත් කරමිනි.

"ඇයි?"

"ඇයි කියන්නෙ? නිවාඩු කාලෙ ඔක්කොම කටයුතු කතා බහ කරගත්තලු නේද?"

"ආ, ඔව් ඔව් අම්මල තාත්තල කිව්වෙ මේවා කල් දදා ඉඳල බැහැයි කියලා, නැතුව මම හදිස්සි කළේ නෑ!"

"කොච්චර ලෝබ හිතුණත් මහත්තයව මට අයිතිකර ගන්න බෑ කියල මම දන්නවා, ඒත් මහත්තය වෙන කෙනෙකුට අයිති වෙනවා බලාගෙන ඉන්නත් මට බෑ!"

"ඕව ඔහොම තමයි බිසෝ, අපි කොච්චර කැමති වුනත් ආදරය කරන දේවල් අත් අරින්න වෙලාවකුත් එනවා, ඒකට සතුටින් මුහුණ දෙන්න හිත හදාගන්න වෙනවා."

"ජීවිතේ පළවෙනි වතාවට මම මහත්තයටයි ආදරේ කළේ!"

"එතකොට විල්සන්?"

"විල්සන්ට ආදරේ කරන්න මට වෙලාවක් තිබුනෙ නැහැ, අම්මල තාත්තල කියපු නිසා එයත් එක්ක ගියා මිසක.  එදා ඉඳන් ජීවිතේ ගැට ගහගන්න දැඟලුවා මිසක ආදරේ වගේ සොඳුරු දේවලට හිතේ වෙලාවක් තිබ්බෙ නැහැ.  එත් මගෙ මිනිහ හැටියට විල්සන්ට මම ආදරෙයි.  මහත්තයටත් ඒ වගේම ආදරෙයි!"

"එක සැරේ දෙන්නෙක්ට එක වගේ ආදරේ කරන්න පුළුවනිද බිසෝ?"

"ඇයි බැරි? ඒත් ඒ දෙවිදියක ආදරයක්!"

"ම්ම්, බිසෝ කියන එකෙත් හිතන්න දෙයක් තියෙනවා!"

"තව ටික දවසකින් මහත්තයව මට නැතිවෙනව කියල හිතෙනකොට දුකකුයි කේන්තියකුයි එනවා, ඌයි හැපුව නේද?  මහත්තය නිවාඩුවට ගිහිං ටික දවසක් යනතුරු මගෙ ඇඟේ රතු පැල්ලම් මැකුණේ නෑ.  එතකොට මට මහත්තයව මතක් වුණා.  හොඳ වෙලාවට එළියට පේන තැන්වල පැල්ලම් නැතිවුණේ."

"මම බැන්දයින් පස්සෙ බිසෝට මගෙ ගැන වෛරයකුත් ඇති වෙයි නේද?"

"කොහොම වේවිද කියන්න බෑ, වැඩි ආදරේ එකක්ම වෛරෙකුත් එනවා මම හිතන්නෙ!"

"අඩු තරමින් වෛරක්කාරයෝ නොවී ඉන්නවත් බලමු!"

"මොකෝ හැති හලන්නෙ?ගෙදර ගිහිං කම්මැලිකමට නිකම්ම හිටිය නේද?"

"ගෙදරදි මොනවා කරන්නද? කුඹුරු කොටන්න කියලයැ?"

"ඔව් ඉතිං තිබ්බ කුඹුරු කෑල්ලත් මෙහෙ කොට!"  බිසෝ අතින් කට වසාගෙන සිනාසෙයි.

"බිසෝ හරි හරි දේවල් දන්නව නොවැ!"

"ඇයි බොරුද? මම කිව්වෙ මහත්තයගෙ බදු කුඹුර ගැන!"

"මෙදා යලේ මොනවා කරන්නද මන්දා, වතුරත් නැතුව?"

"අම්මෝ මහත්තය,හොඳටම කරුවල වැටිලා! මම යන්න ඕනෑ, විල්සන් ගෙදර ඇවිත්ද මන්දා?" බිසෝ කීවේ ඇඳුම් ටික ලංකර ගනිමිනි.
                                                                   ********

"රංජිත් මහත්තය අපේ ගෙවල් පැත්තෙ එන්නෙ එහෙම නැද්දැ"යි ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා ඇසු විට නිවාඩුවට ගෙදර ගිහිං ආවාට පසු ඒ පැත්තෙවත් ගියේ නැති බව රංජිත්ට මතක්විය.

"එන්නං එන්නං, කොහෙද පහුගිය ටිකේම එක එක වැඩ යෙදුනනෙ!" රංජිත් පිළිතුරු දුන්නේ හැකි ඉක්මනින් ඒ පැත්තේ යන්නට හිතාගෙනය.  ඊට පසුවදා දහවල් ඉස්කෝලෙ ඇරී නාගෙන කෑම ගැනීමෙන් පසුව රංජිත් ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයලගේ ගෙදර ගියේ දිලිනිට තෑග්ගක්ද රැගෙනය.

"අම්මෝ, රංජිත් මහත්තයව දැකපු කල්!" පියවතී හාමිනේ රන්ජිත්ව පිළිගත්තේ සිනාසෙමිනි.

"එච්චර කලක් ගියැයි? සුමාන දෙකක් ඇති ඕනනං!කෝ අපේ ඉස්කෝලෙ මහත්තය එහෙම නැද්ද?"

"එයා කඩේට ගිහිං එන්න ගියා,  බඩු ගේන්න ගියාට මොකද කඩේ ළඟ ඉන්න අයත් එක්ක කයියක් ගහල එහෙමනෙ එන්නෙ.වෙලාව යනවා එයාට තේරෙන්නෙ නෑ! ඉන්නකො මම දුවට කතා කරන්න!"  ඇය ගෙතුළට ගියේ රංජිත්ට බොන්නට යමක් ගෙන එන්නටය.

තවත් මොහොතකින් දිලිනි එළියට ආවේ ලැජ්ජාව මුසු සිනාවක් මුවග රඳවාගෙනය.  රංජිත් සහ අම්මා අතර කෙරුණු කතාබහ ඇය ගෙයි සිට අසා සිටියාය.

"මොකෝ දිලිනි මේ මුණත් රතුකරගෙන?  කුස්සියෙද හිටියේ?"  රංජිත් ඇසුවේ විහිළුවටය.

දිලිනි සිනාසුනා මිසක උත්තරයක් දෙන්නට ගියේ නැත.  ඇය රංජිත්ද අඬගහගෙන මිදුලේ මල් ගස යටට ගියාය.

"දැන් ඔයා මොකද කරන්නෙ ප්‍රතිපල එනතුරු?" රංජිත් ඇසුවේය.

"ගෙදර නිකං ඉන්නත් කම්මැලි නිසා ඉංග්‍රීසි ක්ලාස් එකකට යනවා මේ දවස්වල!"

"ඒකෙත් වරදක් නෑ, හැමදාම ක්ලාස්ද?"

"නෑ, සතියට දවස් තුනයි. සර් ඇයි හැමදාම එන්නෙ නැත්තෙ?"

"මොකද මට සර් කියන්නෙ? මේ ඉස්කෝලෙ නෙවෙයිනෙ?"

"නම කියල කතාකරල මට පුරුදු නෑ, ඒ දවස්වල අපි සර්ට හරි බයයි, ඇයි බනිනවනෙ! මටත් කොච්චර බැනල ඇද්ද?"

"එහෙම තමයි, නැතුව කොල්ලො කෙල්ලො ආම්බාන් කරන්න පුළුවනැයි?"

"සර් එන බව කලින් දන්නව නම් රෑට කෑම ලෑස්ති කරන්න තිබුණ කියල අම්ම කිව්වා!"

"අයියෝ, මොකට කරදර වෙනවද?මට කෑම තියෙනවනෙ."

"සර් කෑම කන්නෙ විල්සන් ලගෙ ගෙදරින්ලු නේද?"

"ඔව් මම ආපු දවසෙ ඉඳල කෑවෙ එහෙං."

"කෑම රසට තියෙනවද?"

"වරදක් නෑ, මහ ලොකු ජාති නැතත් කන්න පුළුවන් විදියට තියෙනවා."

"ඉතිං දැන් මොකටද එහෙන් කන්නෙ? අපේ ගෙදර ඇවිත් කෑම කාල යන්න පුළුවන්නෙ?"

"මොකට කරදර වෙනවද? මම ඔය වෙනද විදියටම කන්නං!"

"ඒක නෙවෙයි සර් වැඩක් දන්නවද?"

"ම්හ්හ්."

"අපේ වැඩේ ඉක්මන් කරන්න ඕනයි කියල තාත්ත පෙරේද අම්මට කියනව මම අහගෙන හිටිය!"

"ඉතිං දිලිනි එහෙම කැමතිද?"

"මගෙ කැමැත්ත අකමැත්ත ඒ ගොල්ලන්ට ප්‍රශ්නයක් නෑනෙ, කාරණා කටයුතු ඔක්කොම සම්පූර්ණ නං තවත් කල්දාන්නෙ ඇයි කියලයි තාත්ත කිව්වෙ. ඇත්තනෙ ඉතිං, අද කෙරුණත් හෙට කෙරුණත් එකට ජීවත්වෙන්න යන්නෙ අපි දෙන්නනෙ.මට නම් කවද කෙරුණත් එකයි!"

"ජයතිස්ස මහත්තය මට කියයි එහෙනං,මම කියන්නම්කො මගෙත් විරුද්ධයක් නෑ කියල."

දිලිනිගේ මුව එළිය විය.  ඇය රංජිත්ගේ අතින් අල්ලාගෙන ඇඟේ වෙලුනේ ආදරයෙනි.  දිලිනිගේ මුදු පහස හමුවේ සිය ගත උණුසුම් වනු රංජිත්ට දැනුණි.  යෞවනියෙකුගේ පහස කෙතරම් සිත් ඇදගන්නා සුළු දැයි රංජිත්ට සිතුණි.  ඔහු දිලිනිව අල්ලා තුරුළු කරගත්තේය.  සතර වටින් අඳුර ගලද්දී දිලිනි වැලක් මෙන් රංජිත්ගේ ගතේ වෙලුනේ ආදරයෙනි.  රංජිත් දිලිනිව සිප ගත්තේ ප්‍රථම වතාවටය.  ආදරයෙන් මුසපත්වූ දිලිනි රංජිත්ට නොමඳව ප්‍රතිචාර දක්වන්නට වුවාය. 

"අපි ගෙට යමු! අම්මලත් බලාගෙන ඇති." දිලිනි සිය කොණ්ඩය අතින් සකසා ගත්තාය.

දෙදෙනා ගේ පැත්තට පිය මැන්නේ දෑත් පටලවාගනිමිනි.  ගෙට එන යුවල දෙස පියවතී හාමිනේ බලාසිටියේ දැඩි ආදරයකිනි෴

Sunday, June 16, 2019

ත්‍රිකෝණය - 3


                                                    Photo: Google Images.
ත්‍රිකෝණය

ත්‍රිකෝණය 2

ඈත කඳුවැටියේ ඉහළට අව් රැල්ලක් පායා තිබෙනු දිලිනි දුටුවාය.  ඇය මේ දැන් දිය නාගෙන ආ ගමන්ය.  කෙස් වැටියේ තෙත වියලෙන්නට තුවායක්ද ගැට ගසාගත් දිලිනි සේදු ඇඳුම් රෙදි වැලේ වනන්නට වුවාය.  විටින්විට ඇගේ සිතට නැගෙන්නේ අද උදේ අම්මා කියපු කතාවය.  ගුරුවරයෙක් ලෙස මෙතෙක් කල් ගෞරවය මුසු බියකින් සැලකු රංජිත් මහත්තයාට බිරිඳ වීම කරන්නට හැකි දෙයක්ද?  කොහොම වුණත් රංජිත් මහත්තයාගෙත් වරදක් නැත.  අම්මලා තාත්තලා දරුවන්ට වැරද්දක් වෙන්නට ඉඩ තියන්නේ නැත.  ඔන්න ඔහේ එන දේකට මුණ දෙනවා යැයි දිලිනි කල්පනා කළාය.

"ඈ ළමයො!" දිලිනි කල්පනා ලෝකයෙන් මිදුණේ මවගේ කටහඬිනි.

"අර උදේ මම කියපු දේ ගැන කල්පනා කලාද?"

"අනේ මංදා අම්මෙ, මට මොකුත් හිතාගන්න බැරුව ඉන්නෙ!"

"මොනව හිතන්නද ළමයෝ, රංජිත් මහත්තය නරක මනුස්සයෙක් නොවෙයි නෙ, යමක් කමක් හම්බ කරගෙන තියෙනවා, ඉන්න තැන තියෙනවා,ගෙදර වෙන කවුරුවකුත් නෑ,සතුටින් ඉන්න වෙන මොනවද ගෑනියෙකුට ඕනෑ කරන්නෙ?"

දිලිනි මුවින් නොබැන නිහඬවම සිටියාය.

"එහෙනං අපි ඒ වැඩේ තීන්දු කරගන්නව හොඳද?" අම්මා කීවේ කතාව නවතමිනි.
                                                                 
                                                                         *
" දැන් ඔය කට්ටිය කොයි පළාතෙද? ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා ඇසුවේ සිය බිරිඳගෙනි.  තද ගති පැවතුම් ඇති ධර්මසේන ලොකු ඉස්කෝලෙ මහත්තයා සිය දූ දරුවන්ද පාලනය කළේ පාසලේ ළමයින්ව පාලනය කරනවා මෙනි.  රංජිත් පැත්තකට වී හිටගෙන සිටි අතර කතා කළේ ඉස්කෝලෙ මහත්තයගේ බිරිඳය.

"කුලියාපිටිය පැත්තෙ කට්ටියක්, තාත්ත ඉස්කෝලෙ ප්‍රින්සිපල්, දුවල දෙන්න විතරයි, ලොකු ළමය තමයි මෙයාට කතාකරල තියෙන්නෙ, අපේ අයමයි!" ඇය විස්තරය දිගින් දිගටම කියාගෙන ගියාය.

"එහෙනං ඉතිං ඒ පැත්තෙ ගම් බිම් බලන්න දවසක් යොදාගමුකො, වචනයක් කියන්න වෙන්නෙ ඒ අය කවුද කියල හොයල බැලුවට පස්සෙනෙ!"

"එහෙනං ළමයො ඒ ගොල්ලන්ටත් කියල කුලියාපිටි යන්න දිනයක් දාගත්ත නං!"

අම්මාගේ කතාවට කිසිත් නොකියූ රංජිත් නිහඬවම සිය කාමරයට වැදුණේය.  දවසම ගෙවීගියේ වස කම්මැලිකමකිනි.  ටවුම පැත්තෙ ගියානං ඇඟ රත්කරගන්නට තිබුණා නොවේදැයි ඔහුට කල්පනා විය.  ඒත් තනියම ටවුමට යන්නට කම්මැලිය.  වෙනදාට තමා මුණ ගැසෙන්නට එන අනුර මහත්තයාද අද ආවේ නැත.  ඔහු හිටියා නම් දෙන්නත් එක්ක බාගයක් බෝතලයක් ඉවරකරන්නට තිබුණි.  සැබෑ විනෝදකාමියකු වූ අනුර මහත්තයා එක්ක බොන්න පටන් ගත්විට කාලය ගතවෙනවා නොදැනේ.  තමන්ට ලැබී ඇති විවාහ යෝජනාව ගැනද අනුර මහත්තයාට කියන්නට මෙය හොඳ අවස්ථාවක් නොවේදැයි සිතු රංජිත් කලිසමක් කමිසයක් හැඳගෙන අනුර මහත්තයා මුණ ගැහෙන්නට යන්නට එළියට බැස්සේය.

"මේ හැන්දෑවෙ කොහෙ යන්නද ළමයෝ!" අම්මා ඇසුවේ රංජිත් ගෙදරින් එළියට බසිද්දීය.

"මං පොඩ්ඩක් එහා ගොඩට ගිහිං එන්නම්!" යි කියූ රංජිත් පාරට බැස්සේය.

"කොහෙ ගියත් කමක් නෑ රෑ වෙන්න කලින් ගෙදර වරෙන්, ඉඳල ඉඳල ගෙදර එනවා කොයි මොහොතකවත් ගෙදර නෑ, ගමනෙමයි! කියාගෙන අම්මා ගෙට ගියාය.

"ආ රංජිත්, කාලෙකට පස්සෙ, එන්න, එන්න.  මාත් මේ කම්මැලිකමේ හිටියෙ!" අනුර මහත්තයා එසේ කියමින් ගෙට ගොඩවන රංජිත් පිළිගත්තේය.
                                                                           
                                                                       *
දෙකක් වැදුණු පසු රංජිත්ට මතක් වුණේම බිසෝවය.  නොසිතු මොහොතක හදිසියේ හමුවූ ඇය පහුගිය දවස්වලදී තමන්ට කෙතරම් සමීප වුයේදැයි ඔහුට මතක්විය.  බිසෝ මතක් වනවිට රංජිත්ගේ ගත සිත දෙකම උණුසුම් වෙයි.  මේ ඊයෙ පෙරේදා දවසක යහන්ගතවී අවසානයේ දෙදෙනා ඇඳ උඩම හුළං වදිමින් නිවී සැනසිල්ලේ කතා කතා බහේ යෙදී සිටියේ උපන් ඇඳුමෙනි.

"හෙට අනිද්දා වෙද්දී නං අපිව ඕනෑ නැතිවෙයි මහත්තේලට!" බිසෝ කීවේ එකවරමය.

"ඒ කිව්වෙ?" රංජිත් ඇසුවේ කතාවේ අගක් මුලක් නොතේරුණ නිසාය.

"හෙට අනිද්ද ලස්සන පොඩි කෙල්ලෙක් කසාද බැඳ ගත්තම අපිව මතක් වෙන එකකුත් නෑ, ඇයි මහත්තයට ලොකු ඉස්කෝලෙ මහත්තයගෙ ලොකු දුව කතා කරල තියෙනව නේද?" බිසෝ කීවේ බිඳුණු හඬින්ය.

තමන්ට ගෙන ආ විවාහ යෝජනාව ගැන මේ ඉක්මනට බිසෝ දැනගත්තේ කෙලෙසදැයි රංජිත් මවිතයට පත්විය.  එහි අමුත්තකුත් නැත්තේ මෙවැනි කුඩා ගම්වල ආරංචිවලට තටු ලැබී එක දවසෙන් ගම පුරාම ඉගිල යෑම සාමාන්‍ය දෙයක් වීම නිසාය.

"බිසෝට කවුද කිව්වේ?" රංජිත් ඇසීය.

"කවුරු කිව්වහම මොකද මහත්තය,කතාව ඇත්තනෙ!"

"තාම කතා කරල විතරයි බිසෝ, තීරණයක් නෑ!" රංජිත් කීවේය.

බිසෝගේ වත එළිය විය.  ඇය රංජිත්ට තුරුළුවුනේ දැඩි ආදරයකිනි.  බිසෝගේ නග්න සුමට සිරුරේ මෘදු ස්පර්ශය රංජිත් මුසපත් කරවන සුළු විය.  ඇයගේ අතොරක් නැති සිපගැනීම් හමුවේ සිය කය නැවතත් අවදි වනු රංජිත්ට දැනුණි.  මහත් ආයාසයකින් රංජිත් සිය මුව බිසෝගේ මුවින් මුදවාගත්තේ බිසෝව සිය සිරුරට යටකරගනිමිනි.

"මහත්තය!" ඇය කතාකළේ තදින් හුස්ම ගනිමිනි.

"ම්, ඇයි!"

"මහත්තය මගේ, මගෙමයි, මහත්තයව වෙන කෙනෙකුට අයිති වෙනව මට බලාගෙන ඉන්න බෑ, ඒත් මට කරන්න දේකුත් නෑ!" ඇය වැරෙන් රංජිත්ගේ උරහිස සැපුවාය.

"ඌයි"

"ඇයි රිදුනද?"

"රිදෙන් නැද්ද කොටි දෙන වගේ හපද්දී ?"

"ඒ ආදරේට අනේ, මට දුකයි මහත්තයව මට නැති වෙයි කියලා!"

"තාම නැති වුණේ නැහැනෙ, අපි දැන් ඔය කතාව නවත්තමු!" රංජිත් කීවේ හැති හලමිනි.

රංජිත්ගේ ආදරය පෑම හමුවේ රිදුම් දෙන සිරුරින් වුවද බිසෝ ගෙදර ගියේ හිත සැහැල්ලුවෙනි.

                                                                       *
"මොකෝ රංජිත් තනියම හිනාවෙන්නෙ? ඉස්කෝලෙ කෙල්ලෙක් වත් මතක් වුණාද?"  අනුර මහත්තයා ඇසුවේ සිනාසෙමිනි.

"ඒ වගේ එකක් තමා, හැබැයි ඉස්කෝලෙ කෙල්ලෙක් නෙවෙයි."

"ආ,එහෙනං ෂුවර් එකටම ගමේ කෑල්ලක්!" අනුර මහත්තයා කීවේ බැදපු කුකුල් අඬුවක් සපමිනි.

"ඒකම තමයි ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ!" රංජිත් වීදුරුවට තවත් එකක් වක්කර ගත්තේය.

"කියමුකො බලන්න අපිටත් දැනගන්න එක්ක!"

බිසෝ සමග ඇතිවූ සම්බන්ධයත් ඒ සමගම දිලිනි ගැන ඇගේ පියා ගෙන ආ යෝජනාවත් ගැන කතාව රංජිත් අනුර මහත්තයා සමග කීවේය.

"ඉතිං, මොකක්ද ඔතන තියෙන ප්‍රශ්නේ, කෙල්ල හොඳනම් බැඳගන්න!" 

"එතකොට බිසෝ?" රංජිත් එක්වනම අසා සිටියේය.

"හා,හා, මට තේරෙනවා, එතකොට කෙල්ලව බඳින්නත් ඕනෑ ගමේ ගෑණි අමතක කරන්නත් බෑ, එහෙම නේද?"

රංජිත් නිහඬවම අසා සිටියේය.

"රංජිත්, ඔයා බැන්දම ඒ ගෑණු කෙනා වෙන කවුරු හරි හොයාගනී, තව මිනිහෙක් ඕනෑම නං?  රංජිත්ට ඒ කෙනාම ඕනෑ නං ඉඳහිට ඇයි හොඳයියක් පවත්තන්නත් බැරුවයැ." අනුර මහත්තයා කීවේ හක හක ගා සිනාසෙමිනි.

"අනේ මංදා, ඕවා දිගදුර ගියාම නෙ පවුල් ආරවුල් හිට ඇතිවෙන්නෙ, ඒවට කොහොම මුණ දෙන්නද කියල මට නං හිතාගන්නවත් බෑ." රංජිත් කීවේය.

"මේ බලන්න රංජිත්, මේ ලංකාවෙ ඔය ප්‍රශ්නෙ ඇතිවුණු පළවෙනි එක්කෙනා ඔයා නෙවෙයිනෙ, මිනිස්සු ඕනෑ තරම් ඕවගේ ප්‍රශ්නවලට මුණ දෙනවා,  දැන් බලන්න මිනිස්සු ප්‍රසිද්ධියෙම ගෑණු දෙතුන් දෙනා තියාගෙන ඉන්නෙ, සමහර ලොකු ලොක්කන්ට දවසට එකා ගානෙ ගෑණු ඉන්නවා, ඇයි අහල නැද්ද දෙමළෙන් දෙවැනි ගෑණිට ඒ කියන්නෙ අනියම් බිරිඳට කියන්නෙ සින්න වීඩ,  දෙමළ භාෂාවෙ වීඩ හරි වීඩු හරි  කියන්නෙ ගෙදර, පළවෙනි ගෑණි පෙරිය වීඩ ඒ කියන්නෙ ලොකු ගෙදර, දෙවැනි ගෑණි සින්න වීඩ ඒ කියන්නෙ පොඩි ගෙදර, කොච්චර නිර්මාණාත්මකද බලන්න.  ලස්සන දෙමළ සිංදුවකුත් තියෙන්නෙ "චින්න වීඩ චිත්තිරා පෙරිය වීඩ කත්තිරා කියල."

අනුර මහත්තයා දෙමළ ගීතයක කොටසක් ගැයුවේ හිඳ සිටි පුටුවේ ඇන්දට අතින් තට්ටු කරමිනි.

"ඇයි චින්න චින ආසෙයි කියලත් එකක් තියෙන්නෙ!" රංජිත් පැවසුවේය.

"අන්න හරි, ටික ටික ආසයි, මරු සිංදුනෙ අප්පා!" වෙරිමත සමග අනුර මහත්තයා තුළ සිටින කලාකරුවා අවදිවෙයි.

"රංජිත් ඕමාර් ඛයියාම්ගෙ රුබය්යාට් කියවල තියෙනවද?" අනුර මහත්තයා එක්වරම ඇසුවේය.

"නම අහල තිබුණට ඛයියාම් ලියපුවා කියවල නෑ!"

"ෂැක්, ජීවිතෙන් බාගයක්ම අපතේ, ඒවනෙ කියවන්න ඕනෑ,  ඕමාර් ඛයියාම් මීට අවුරුදු දාහකට විතර කලින් පර්සියාවෙ,ඒ කියන්නෙ ඉරානයේ හිටපු ගණිතඥයෙක්, තාරකා විද්‍යාඥයෙක්, ඒ ඔක්කොමටත් වඩා කවියෙක්, ලෝකේ කොච්චර නම් කවියෝ ඇතිවෙලා නැතිවෙලා ගිහින් තියෙනවද? නමුත් ඛයියාම් එයාගෙ නිදහස් කවි ආර නිසා අදටත් ලෝකය පුරාම ප්‍රසිද්ධයි. එයාගෙ ප්‍රතිමා කීයක් ලෝකයේ ඉදිවෙලා තියෙනවද? ඛයියාම් අමුතු දෙයක් කිව්වෙ නැහැ. ඛයියාම් රුබය්යාට් පොතේ කිව්වේ ජීවිතය කියන්නෙ මීවිතත්, සංගීතයත්, ගැහැණියත්ය ඒ නිසා අපි ජීවත්වෙන මේ පොඩි කාලෙ ජීවිතය විඳින්නය කියලයි. මොන තරම් සොඳුරු සිතුවිල්ලක්ද? ඛයියාම්ගෙ කවියක් සිංදුවක් කරලා අමරදේවත් කිව්වේ, මම හිතන්නෙ ඒ සිංදුව ලිව්වෙ සේකර."

ඔබ මා තුරුළේ ගී ගයනා වේලේ 
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි
මේ වන රොද මට ස්වර්ග රාජ්‍යයයි  
සුරංගනාවියනේ ඒ ඒ

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවනැල්ලේ

අද අප ජීවිත සුමිහිරි වේනම්
මළ ඊයේ ගැන ඇයි ලතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේනම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිවයුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙනෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරා විත පුරවාලා

ඔබ මා තුරුළේ ..... 

අනුර මහත්තයා වෙරිමතින් ගයන්නේ දෑස පියාගත්වනමය.

"දැක්කද? මොන තරම් අලංකාර සිතුවිල්ලක්ද? මේ වගේ කවි ලියන්න පුළුවන් ඛයියාම්, ඒ වගේම කවිය ගීතයක් කළ සේකර වගේ සුන්දර මනුස්සයින්ටම තමයි!"  ගීතය අවසන් කළ අනුර මහත්තයා කීවේ වීදුරුවට තවත් එකක් පුරවාගනිමිනි.

"මහගම සේකර කියන්නෙත් අප්‍රමාණ මිනිහෙක් රංජිත්, ගීත රචකයෙක්, කවියෙක්, නවකතා කෙටිකතා රචකයෙක්, චිත්‍රපට අධ්‍යක්ෂ වරයෙක්, චිත්‍ර ශිල්පියෙක් මේ ඔක්කොම හැකියාවන් එක වගේ තිබුණු කලාකාරයෙක්.  මේ හැම හැකියාවක්ම එකට තිබුණු සේකර වගේ කෙනෙක් ආයෙ බිහිවෙන්නෙ නෑ රංජිත්."  අනුර මහත්තයා කීවේ තවත් කතාවකට මුල පුරමිනි.

"අපේ රටේ මිනිස්සු සේකරට සලකපු හැටි ගැන මම කතාවක් කියන්නම් රංජිත්."

"සේකර රදාවානෙ ඉපදිලා හැදිල වැඩිල රදාවානෙ ඉස්කෝලෙට ගියාට පස්සෙන් පහු රස්සාව හම්බවෙලා කසාද බැන්දට එහෙම පස්සෙ හිටියෙ ගම්පහ ගෙයක් කුලියට අරගෙන.  සේකරටයි එයාගෙ නෝන මහත්තයටයි වැඩට යන්න එන්න එතකොට ළමයින්ට ඉස්කෝලෙ යන්න එහෙම හැම දේටම පහසු නිසා ගම්පහ පදිංචි වුණාට පස්සෙ සේකර රදාවානට ආවෙ ගියෙ කලාතුරකින් ගමේ විශේෂ අවස්ථාවක් වුන වෙලාවට විතරයි.  ඒක සේකරම කවියකින් කියල තියෙනවා."

ඉඳහිට දිනෙක මා ගෙදරට යන කලට
අපේ ගමේ ඉස්කෝලය පෙනෙයි මට
සිංහල උළු සෙවිළි කළ ඒ වහල යට
සඟවා තිබෙයි මගෙ ජීවිතයෙහි සතුට

"ඒ වුණාට සේකර මැරුණට පස්සෙ ආදාහනය කළේ රදාවානෙ තුංමං හන්දියෙ.  ආදාහනය කරලා සේකරගෙ අළු කලෙත් තියල සොහොනකුත් තුං මං හන්දියෙම හැදුවා.  සොහොන හදල ගතවුණේ දවස් දෙක තුනයි ඒ පැත්තෙ අය සොහොනත් කඩල අළු කලෙත් බිඳල දාල තිබුණා.  ඒ වැඩේට හේතුව හොයද්දි එලි වුණේ මෙහෙම කතාවක්.  රදාවාන ගැන ලියල ජනප්‍රිය වුණාට ගමේ හිටියෙවත් නැති, ඔච්චර නමක් තියෙන ලොකු ලොකු සම්බන්ධතා තියෙන මිනිහෙක් වුණාට ආණ්ඩුවට කියල ගමේ පාරකට තාර ටිකක් දාල දුන්නෙ නැති, ගමට පාලමක් බෝක්කුවක් හදල දුන්නෙ නැති මිනිහෙකුගෙ සොහොනක් විතරක් තුංමං හන්දියට මොකටද කියලයි සොහොන කඩල දාල තියෙන්නෙ."

"ඔන්න බලන්න රංජිත්, රදාවාන, තුංමං හන්දිය, ගමේ ඉස්කෝලෙ අමරණීය කරපු මනුස්සයට ගමේ මිනිස්සු සලකපු හැටි?  ඒ මනුස්සයගෙ වටිනාකම තාර ටිකකට පාලමකට බෝක්කුවකට සීමා කළා.  ඔය භෞතික දේවල් කාලෙකදී කැඩිල බිඳිල නැතිවෙලා යනවා.  ඒ වුණාට සේකර ලියපුවා හැමදාම පවතිනවා.  ඔය ටික තේරුම් ගන්න බැරි මිනිස්සුනෙ ඉන්නෙ රංජිත්!"

"තව ජොලි කතාවක් තියෙනව රංජිත් ඒකත් අහන්නකො!"

"ඔය හැත්තෑවෙ මැතිනිගේ ආණ්ඩුවෙ සංස්කෘතික ඇමති වුණේ ඇස්. ඇස් කුලතිලක.හිටපු නඩුකාරයෙක්,හැබැයි සුන්දර මිනිහෙක්.  ඇමතිකම ගත්තට පස්සෙ මිනිහ කෙළින්ම කිව්වා මම දන්න ඇති සංස්කෘතියක් නෑ ඇමතිකම දුන්න නිසා ගත්ත කියල.  ඉතිං ඔය සේකරල එහෙම කලාකාරයො එකතු වෙලා පිහිටුවා ගත්ත කලා සංගමේකින් ඇමතිගෙන් සාකච්ඡාවක් ඉල්ලුවා ඒ ගොල්ලන්ට තියෙන ප්‍රශ්න, අවශ්‍යතා එහෙම ඇමතිට කියන්න.  ඉල්ලපු ගමන්ම සාකච්ඡාව ලැබුණා.  ඉතිං නියමිත දවසෙ කලාකාරයො ටික අමාත්‍යංශයට ගියා සාකච්ඡාවට.  ඇමතිත් එයාගෙ ලේකම් එච්. එස්. ප්‍රේමවර්ධන එක්ක නියමිත වෙලාවටම සාකච්ඡාවට ආවා.  දැන් සාකච්ඡාව යනවා, සේකර නැගිටලා ඒ ගොල්ලන්ගෙ අවශ්‍යතා,ප්‍රශ්න එහෙම ඇමතිට පැහැදිලි කරනවා. ඇමැතිත් නිකටෙ අත තියාගෙන බොහොම වුවමනාවෙන් අහගෙන ඉන්නව වුණාට එයාගෙ ඇහැ තිබුනෙ ජනේලෙන් එළියෙ තිබුණු ගස්ලබු ගහක.  සේකර බොහොම උද්වේගයෙන් කතාකරන අතරෙ එක පාරටම ඇමති ගස්ලබු ගහ පෙන්නල ලේකම්ගෙන් අහනව,

"ප්‍රේමවර්ධන, අර ලංසි පැපොල් ගහක්ද?" කියල.

"සේකරට යක්ෂය ආරූඪ වුණා,  ඇයි අප්පා, මෙච්චර වෙලා කියවපු දේවල් එකක්වත් මේ මනුස්සය අහගෙන ඉඳල නෑනෙ."

"මේ ඇමතියට කතා කරපු ටික බීරෙකුට කිව්වනං මීට වඩා හොඳයි, මෙන්න මෙහෙ වරෙල්ලා යන්න කියල සේකර අර කලාකාරයො ටිකත් ඇදගෙන එළියට බැහැල ආවලු!"

සංගීතය, චිත්‍රපටි, කවි හෝ ගීත ගැන කතාව පටන් ගත්තොත් අනුර මහත්තයාට වෙලාව ගතවෙනවා නොතේරේ.  ඔහුගේ ගීත ගායනය නැවතුනේ අනුර මහත්තයාගේ නෝනා ඇවිත් කතාකළ නිසාය.

"දැන් සිංදු කිව්ව මදැයි, දෙන්නත් එක්ක කෑම කන්න එන්න!"

"මට නම් ගෙදර කෑම තියෙනවා, අම්ම කිව්ව මම එද්දී කෑමට ගෙදර එන්න කියලා!" රංජිත් කීවේය.

"රංජිත්ට ගෙදර කෑම තියෙනව කියල මම නොදන්නවැයි? අපේ ගෙදරින් කෑම කාල ගියාට අම්ම මොකුත් කියන එකක් නෑ, අනික රංජිත් ගියාම කී කාලෙකට පස්සෙද ආයෙ හම්බවෙන්නෙ? යමු යමු, කන්න ඉස්සෙල්ල තව චූටි එකක් දාගම්මු නේද?"  අනුර මහත්තයා රංජිත්ව කෑම මේසයට කැඳවාගෙන ගියේය.

රංජිත් එදා මහ රෑ ගෙදර ගියේ අනුර මහත්තයලගේ ගෙදරින් කෑම ගැනීමෙන් අනතුරුවය. 

"ආපහු ගිහිල්ල මොකද වුණේ කියල විස්තරේ මටත් දන්වල එවන්න!" කියමින් අනුර මහත්තයා රංජිත්ට සමුදුන්නේය.  රංජිත් අනුර මහත්තයලගේ ගෙදරින් පිටව ගියේ බොහෝ සැහැල්ලුව ගිය සිතිනි෴