Showing posts with label කොන්දේසි සහිත ආදරය. Show all posts
Showing posts with label කොන්දේසි සහිත ආදරය. Show all posts

Wednesday, October 2, 2013

93.කොන්දේසි සහිත ආදරය 3



ආදරයට ආදරය කරපු සරෝජිනී ගැන මම ලියපු කතාවට අපේ පාඨකයන්ගෙන් විවිධාකාර ප්‍රතිචාර ලැබිලා තිබුණා...අද මම ලියන්න යන්නෙ සරෝජිනීගෙ හොඳම යාලුවා වෙච්චි තනුජා ගැනයි, ඇයත් ආදරයට ආදරය කළ තරුණියක් වුණත් දෛවය ඇයට එතරම් කාරුණික වුණේ නෑ.

කාලය 90 දශකයේ මුල් භාගය,සරෝජිනිත් තනුජාත් රැකියාවලට යන්න පටන් ගත්ත මුල් අවදියෙ සරෝජිනී කිරිඳිවැල ඉඳලත් තනුජා එල්ලක්කල ඉඳලත් බස් එකේ ඇවිත් අපේ ස්ටේෂන් එකෙන් මහව කෝච්චියට නැග්ගා...ඒ දවස්වල මහවෙ තුන්වෙනි පෙට්ටියෙ ගමන්කරපු අපේ කණ්ඩායම පහළොවකට වැඩියි...දුර ඉඳන්ම ආවෙ පොතුහැරින් ගොඩවෙන වනසිංහ වැඩකළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ, අත්තනගල්ලෙ අලවල ඉඳන් ආපු පතිරණ වැඩකළේ රජයේ මුද්‍රණාලයෙ හෙවත් ප්‍රෙස් එකේ, වනසිංහයි පතිරණයි අපේ සීට් එකෙ ගියපු උන්ගෙ සුපිරිම බයිට් දෙකක් වුණා...

වතුපිටිවල ඉඳන් එන රැවුලගෙ නමත් පතිරණ,රැවුලා වැඩකලේ මෙඩිකල් කොලේජ් එකේ,වනයයි පතිරණයි බයිට් කරන්න පටන් ගන්නෙ රැවුලා...

ඔය දවස්වල වනසිංහ වැඩට එනකොට ඔෆිස් බෑග් එකක් ගේන්න පටන් ගත්තා...අපි හවසට ගෙදර එන්නෙ කුරුණෑගල කෝච්චියෙ වනයයි රැවුලයි දෙන්නම නගින්නෙ මරදානෙන්...දවසක්දා කෝච්චිය මරදානෙ නවත්තපුවම අපි දැක්කෙ වනය කෝච්චියට නගින්න පොරකනකොට පිටිපස්සෙන් ආපු රැවුලා වනයගෙ බෑග් එකට වේලිච්චි බෝගන්විලා අතු කෑලි වගයක් ඔබනව...ආයෙ දවසක රැවුලා හොඳටම පැතලි කිලෝ දෙකතුනක් බර කලුගල් කෑල්ලක් කොහෙන්ද හොයල කොළේක ඔතාගෙන කෝච්චියට අරං ආවා...

දෙන්නෙක් වනයත් එක්ක කයිය ගගහ ඉද්දි අනික් උන් වනයගෙ බෑග් එක උඩ රැක් එකෙන් අරගෙන කලුගල් කෑල්ල දාල වහල තිබුණු විදියටම තිබ්බා...වනයට ගානක් නෑ කෝච්චියෙන් බැහැල කලුගලත් උස්සන් ගෙදර ගිහිං...මූට මාරය ආවේස වෙච්චි පාර පහුවදා එනකොට උල් පිහියකුත් බෑග් එකේ දාං ඇවිත් රැවුලට කෙලල දන්න කියල...අනික් අය මේක දැකල කලින්ම පිහිය අරගෙන තිබ්බ නිසා අනින්න නං වුණේ නෑ...වනයගෙ ටෝච් එකේ කෑලි මාරුකරන එකයි බල්බ් එක ගලෝන එකයි නං හැම තිස්සෙම කළා...

ඔය විදියට හැමදාම උදේ හවස පිස්සු නටාගෙන ගමන් කරන අතර සරෝජිනී තනුජත් එක්ක අපේ සීට් එකට ක්‍රමයෙන් සෙට්වුණා...මේ දෙන්නගෙ තව යාලුවො දෙන්නෙක් ගම්පහින් කෝච්චියට නැග්ගා...

තනුජා උසයි මහතයි රූමත්ම කියන්නත් බෑ නමුත් අජූවකුත් නෑ...කවුරු එක්කත් හොඳට කතාබහ කරනව කොටින්ම සෝෂල් කෙල්ලෙක් කියල කියන්න පුළුවනි...පොඩි වැරැද්දකට තිබුණෙ ලොරි ටෝක් දෙන එක තමයි...අලවල පතිරණයව එහෙන් මෙහෙන් බයිට් කරමින් හිටපු අපි තනුජා ආවත් එක්කම ඒ කෙල්ල මූට සම්බන්ධ කරමින් කතාවක් හැදුවා...මේ කතාව කියපු ගමන් පතිරණයට නහුතෙට තදවෙනව මුන් දෙන්න හරියට තල්මහයි හාල්මැස්සයි වාගෙනෙ...

ඔය අතරෙ අපි කෝච්චියෙ කට්ටිය විනෝද ගමනක් ගියා මයියංගනේ...ගිහිං ආපහු එද්දි හොඳටම රෑවුණු නිසා තනුජව ගෙදරට ඇරලවන්න ගියෙ පතිරණ...පහුවදා ඉඳං මේ ගැන නොයෙකුත් කතා හදනව දෙන්න එක්ක ගෙදර ගිය හැටි, රෑ වෙච්චි නිසා තනුජලගෙ ගෙදර නැවතිලා යන්න කියපු හැටි...ආදී නොයෙකුත් පද හදනකොට පතිරණය මාරාවේස වෙනව,තනුජට නං ගාණක්වත් නෑ හිනාවෙවී අහගෙන ඉන්නව...

ඔන්න ඔය අතරෙ පතිරණ ගෙදරින් ගෙනාපු යෝජනාවක් අනුව කසාද බැන්දා, මගුල් ගෙදරට කෝච්චියෙ යන  අපි ඔක්කොම අලවල ගියා...

ඔය අතරින් කෝච්චියෙ ගමනත් සුපුරුදු විදියට ගලායනවා...තනුජගෙ ලොකු ටෝක් දීමත් සුපුරුදු ආකාරයටම කෙරෙනවා...ගොඩක් වෙලාවට කියන්නෙ තනුජත් එක්ක යාලුවෙන්න ආපු කොල්ලො ගෑන,ඒ එක කොල්ලෙක්වත් සුලු පටු උන් නෙවෙයි ලොකු රස්සාවල් කරන හොඳට සල්ලිය බාගෙ තියෙන වාහනවලින් ගමන් බිමන් යන කඩවසම් තරුණයො,ආයෙ අපි වගේ ලපයි සිපයි නෙවෙයි...දවසක්දා තනුජා මටත් බුදු ටෝක් එකක් දුන්නා...

අයියත් එක්ක කතා කර කර ගියා කියල නලින් මට වරුවක් බැන්නා...

නලින් කිව්වෙ ගම්පහින් ගොඩවෙන කොල්ලෙක්,නලින් හම්බවෙච්චි වෙලාවක මම මේ ගැන උගෙන් ඇහුවා...

උඹ මොකටද බං අර කෙල්ලට බැන්නෙ...

උඹට පිස්සුද ඒකිට බනින්න මම ඒකිගෙ තාත්තද,මළ වාතයක් බං හැම තිස්සෙම කතාකරන්න එනව මම දැන් උඹලගෙ කෝච්චියට එන්නෙත් නෑ...

ඔන්න ඔය ආකාරයට ජීවිතය ගලායන අතරෙ දවසක්දා තනුජා අපිත් එක්ක කෝච්චියෙ යන රාජාට කතාකරල එයාගෙ යාලුවෙකුගෙ මුත්‍රා ටෙස්ට් එකක් කරගන්න තියෙනව කියල කිව්වා...රාජා වැඩ කළේ එම් ආර් අයි එකේ...

පොඩි කුප්පියකට චූ කරල ගෙනාවම ඇති,උඹ අරක්කු බෝතලේකින් එකක් අරං එන්න එපා මෙතන...

තෙන්නකෝන් තනුජට වදේ ගැහුවා,තෙන්නකෝනුත් වැඩකලේ එම් ආර් අයි එකේ...

තනුජයි සරෝජිනියි දෙන්න තෙන්නකෝන්ගෙ දුවලලු,අපි පුතාලලු...හවසට කෝච්චියෙ එනකොට දෙකක් දාගෙන ඇවිත්  මූ මරු කතා කියන්නෙ...

සැරයක් බටුවත්තෙ ස්ටේෂන් එකට ටිකක් එහා කන්ද උඩ තිබ්බ පරණ ගේකට තීන්ත එහෙම ගාල විකුණන්න දාල තියෙනව අපි කෝච්චියෙ යනකොට දැක්කා...තෙන්නකෝන් ඔය ගේ මට පෙන්නල...

ඒයි අපි අර ගේ ගම්මුද අරං බඩු පොට් එකක් දාමු...

ඉතිං බඩු කෝ...

ඇයි මුං දෙන්න ඉන්නෙ ඔවුන් දැනුත් ඕකමනෙ කරන්නෙ...

හැබැයි පිළිවෙලට වැඩේ කරගෙන යන්න ඕනැ,ගෙවන ගානෙ හැටියට තමයි වෙලාව දෙන්නෙ වෙලාව පැන්න ගමන් විසිල් එකක් ගහනව...ගියෙ නැති උන් එළියට ඇදල දාන්න ඕනැ හරිද....

තෙන්නය කියන කතාවලට හිනාවෙලා පණයනවා...

ඒ දවස්වල හවසට අපේ ස්ටේෂන් එකෙන් බහින කට්ටිය ටවුමෙ කඩේකින් ආප්ප කන්න පුරුදුවෙලා හිටියා,චිත්‍රපටි හෝල් එක ළඟ හෝටලේක හවසට හොඳ රස ආප්ප තියෙනව කියල තෙන්නකෝන් හොයාගත්තෙ...මම, රැවුලා,තෙන්නකෝන්,සරෝජිනී,තනුජා කට්ටියම ආප්ප කන්න යනවා පතිරණය මග ඇරල ගෙදර යනවා ඌට අපි වදේ ගහන හින්දා...

හෝටලෙන් ආප්පයි බිත්තර ආප්පයි කාල උන් ටික බස්වල යනවා මම පයින්ම ගෙදර යනවා...

ඔය කතාව අපි කෝච්චියෙ කියපුවම රාජටයි සෝමෙටයි අපිත් එක්ක ආප්ප කන්න යන්න ඕනැවුණා...දවසක උන් දෙන්නවත් ආප්ප කන්න එක්කරගෙන ගියා,කාල බීල එළියට බැහැල බලපුවම උන් දෙන්නට යන්න තියෙන්නෙ මහව කෝච්චිය ඒක එනකොට හත විතර වෙනවා,එතකොට අපි ගෙවල්වල ගිහිල්ලත් ඉවරයි...

ඔය කාලෙ වෙද්දි පතිරණටත් දරුවෙක් හිටියා...රාජා යූරින් ටෙස්ට් රිපෝට් එකත් ගෙනල්ල තනුජට දුන්නා...තවත් මාසයක් විතර ගෙවිල යද්දි තනුජා කෝච්චියට එන එක එකපාරටම නතරවුණා...

 දවසක් හවස කෝච්චියෙදි හිටපු ගමන් තනුජව හම්බවුණා,කොටු කොටු දිළිසෙන සාරියකුත් ඇඳන් ඇඟිල්ලක මඟුල් මුද්දකුත් තිබුණා...මූණත් ටිකක් පිපිහළු ගතියක් තිබුණ වගේ මතකයි,විස්තර අහපුවම හදිස්සියෙ කසාද බැන්දය මහත්තය රට ගියාය කියල කිව්වා...හබැයි ටිකක් තිගැස්මකින් තමයි ඇය කතාකරපු මුලු කාලෙම හිටියෙ...
 
ඊට පස්සෙනං තනුජව ඇහැට දකින්නවත් ලැබුණෙ නෑ...සරෝජිනීගෙන් ඇහුවත් දන්නෙ නෑ කිව්වා...තනුජල එක්කම වැඩකරපු මගෙ තව යාලුවෙක් හිටියා,ඇයගෙන් මම විස්තරේ අහගත්තා ඇයට අපි ලසිතා කියමු, ලසිතා කියපු කතාව මෙහෙමයි...
 
වැඩක් කරගන්න තනුජලගෙ කන්තෝරුවට ආපු කෙනෙක් එක්ක තනුජා සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණා...ඔහු තනුජට වඩා තරමක් වයස වුණත් හොඳ කඩවසම් අතේ මිටේ සල්ලි බාගෙ ගැවසුනු වාහනයකුත් පාවිච්චි කරපු කෙනෙක්...තනුජා සිහින මැව්වෙත් මෙවැනිම කෙනෙකුට නිසා ඔහුට ආදරය පිළිගන්වන්න තනුජට දෙසැරයක් හිතන්න උවමනා වුණේ නෑ...
 
මේ දෙන්නගෙ ආදර කතාව කිසි කෙනෙකුගෙන් කරදරයක් බාධකයක් නැතිව මාස කීපයක් ගලාගියා...අලුත් පෙම්වතා තනුජගේ සියළුම ඕනැ එපාකම් පිරිමහන්න කිසිම ලෝබකමක් නැතිව වියදම් කළා,ඇයත් පෙම්වතාට තමන් සතු සියළුම දේ පිළිගන්වන්න මොහොතකටවත් පැකිලුනේ නෑ...
 
දෙන්න පෙම් සුව විඳිමින් හිටපු දවසක තනුජා පෙම්වතාගෙ කණට රහසක් කෙඳිරුවා...
 
දැන් ටික දවසක ඉඳල මගෙ ඇඟට අමුත්තක් දැනෙනව අනේ...බබෙක්වත්ද දන්නෙ නෑ නේද...
 
පෙම්වතා පොඩ්ඩක්වත් කලබල වුණේ නෑ, ඔහු තනුජාට කතාකලේ මුව පිරුණු සිනාවක් එක්කයි...
 
හරියටම ස්ථිර කරල බලාගන්න ළමයෝ...එහෙම නං අපි පහුවදාම කසාද බඳිමු...
 
තනුජා රාජාට කියල මුත්‍රා බලාගත්තෙ ඊට පස්සෙයි,ප්‍රතිපලය පොසිටිව්...තනුජාට හරි සතුටුයි ඇය පහුවදාම මේ සතුටුදායක ආරංචිය පෙම්වතාට කිව්වා...  

 පෙම්වතා කොහෙ ගියාද කියල අන්දෝ සංසාරයක් ඊට පහුවදා ඉඳන් තනුජාට හොයාගන්න බැරිවුණා.

මතු සම්බන්ධයි....

Saturday, September 14, 2013

89.කොන්දේසි සහිත ආදරය 2






පළමුවෙනි කොටස


අපි දෙන්න රහසිගතව සොයා ගෙන යනකොට දැනගන්නට ලැබුණු විස්තරය මෙහෙමයි...

ඔය මනමාලය කාලෙකට ඉස්සෙල්ල බඳින්න කියල නිවාඩු ඉල්ලගෙන ඇවිදින්  සති දෙක තුනක් ගමේ රස්තියාදු ගහල ගිහින් තිබිච්චි නිසා මෙදා සැරේ මඟුලට කියල නිවාඩු ඉල්ලන්න විදියක් නැති තැන ගෙදර යන්න නිවාඩු ඉල්ලලා ...ඒ නිවාඩුව අනුමතවෙලා නැහැ,  මඟුල දවසෙත් මිනිහට ඩියුටි කරන්න වෙලා...

මනමාලයගේ  පැත්තෙන් ඇවිත් හිටපු පළාත් සභා මන්ත්‍රී කෙනෙක් ඇතුළු වැඩිහිටි උදවිය දන්න දන්න ලොකු අයට කතා කරලා මනමාලයව කෑම්ප් එකෙන් මුදා ගැනීමේ මහා මෙහෙයුමක් ආරම්භ කරලා තියෙනව...

ඒ මෙහෙයුමේ ප්‍රතිපලයක් විදියට මනමාලයට සතියක් නිවාඩු දීල කෑම්ප් එකෙන් මුදා හැරලා...ඒ වෙනකොටත් මගුලට පැමිණෙමින් සිටිනවා...මනමාලය ඒ වෙනකොට ඉන්න තැන නිශ්චිතවම හොයාගන්න විදියක් තිබුනෙ නෑ ඒ දවස්වල අද වගේ හැම කෙනා අතේම මොබයිල් පෝන් තිබුනෙ නැති නිසා...

ඒ කාලෙ මොබයිල් පෝන් එකක් තිබුනෙ කලාතුරකින් කෙනෙක් අතේනෙ...මොබයිල් කිව්වට ඒවා අර ගඩොල් ගෙඩි තරං විශාල එලියට ඒරියල් එකක් විහිදුනු හෙනට බර භාන්ඩයක්...

මනමාලය එන බව සහසුද්දෙන්ම දැනගත්තට පස්සෙ පිළියෙළ කරලා තිබුණු ආකාරයටම මඟුල් උත්සවය පැවත්විලා...

ඔන්න ඔය ටික තමයි පැයක් විතර මහන්සිවෙලා රැවුලයි මමයි හොයාගත්තේ...

කෑම කාලත් ටික වෙලාවකට පස්සෙ ආපු අය එකා දෙන්න ගෙවල්වලට යන්න පල්ලම් බහිනව, වෙලාව හතරටත් කිට්ටුයි...

අයියෙ ඔයාලත් දැන් යනවද...

සරෝජිනී ඇවිත් මගෙන් ඇහුවා...ඇයව දැක්කහම මට හරිම දුකක් ඇතිවුනා...

නෑ නෑ අපි කොහෙවත් යන්නෙ නෑ ඔයා බය නැතිව ඉන්න...

එහෙම කියල මම අපේ අනික් යාළුවො ටිකට කතාකලා...

මේ කෙල්ලව මෙතන අතඇරල අපි යන එක හරි නෑනෙ...වැඩේ මොකක් හරි පිළිවෙලක් වෙනතුරු අපි කට්ටිය ඉම්මු...

බිරිඳටත් කතාකරල යන කට්ටියත් එක්ක යන්න ලැස්ති කරල දුන්න දුර යන්න එපායැ...කලින් කතාවෙලා හිටියෙ මඟුල ඉවරවෙලා අපි දෙන්න ජෝඩු දාල බිරිඳව ඇරලවන්න එහෙ යන්න...

අන්තිමට ඉතුරුවුණේ අපි ටික විතරයි...ඉන්න ගමන් කරන්න දේකුත් නැති නිසා තව බෝතල් දෙකක් ගෙන්නගත්තා...

ඔය බෝතල් බොමින් ඉන්න අතරෙ අර මම කලින් ගියපු මඟුල් ගෙදර ජෝඩුව,ඒ ජෝඩුවත් රෑ නවතින්න අපි හිටපු  හෝටලේටම ආවා...

ඔහොම ඉඳල ඉඳල අන්තිමේදී හවස හතහමාරට විතර මනමාලය සුභ නැකතින් හෝටලේට පය තැබුවා කියන සුභ ආරංචිය ලැබුනා...ඒ වෙනකොට අපට ටවුමට යන්න බසුත් නෑ එකෙක් ගිහිං කුලී කාරෙකක් ගෙනාව...අපි ජෝඩුවගෙන් සමුගන්න ගියාම හිටියෙ මනමාලි විතරයි මනමාලය එතනම කාමරේකට වෙලා මෙලෝ සිහියක් නැතුව බාගයක් ගහනවා...

අපි ටික කාර් එකේ ටවුමට ඇවිත් කෝච්චියෙ යන අය ස්ටේෂන් එකට දාල බස්වල යන අය බස්වලට නග්ගල මම පයින්ම ගෙදර යන්න පිටත්වුනා...

එදා හරියටම ජනාධිපති ප්‍රේමදාසගෙ අවමංගල උත්සවය පැවැත්වුණු දවස...ටවුමේ ඉඳල ගෙදරට යනතුරුම පාර දෙපැත්තෙ ගෙවල්වල තිබුන ටී වී වලින් ජනාධිපති ආර්යාවගේ නන්දෙඩවිල්ල නොනැවතීම ඇහුනා...

බැඳල වැඩිකල් නොගිහිම්ම සරෝජිනී මවක් වෙන සුබ ලකුණු පෙන්නුම් කලා...පුරපසට මෝරන සඳසේ ඇගේ බඩ විශාල වෙනකොට අපිත් එක්ක ගිය කට්ටියගෙන් හරි සැළකිලි...කන්න ආසා දේවල්, බත් පාර්සල් ආදිය නොකඩවාම ඇයට ලැබුණා...
 

දවස් සති මාස කෙමෙන් කෙමෙන් ගෙවී ගියා...වැහි කාලෙ දවසක වැඩ ඇරිල එද්දි තෙමීගෙන ගෙදර ගිය සරෝජිනී එහෙම්මම පීල්ලෙන් වැටෙන වැහි වතුරෙන් නාගත්තා, මේ වැඩේ ඇයට හොඳට පුරුදුයි...නමුත් වෙනද වගෙ වැඩේ හරිගියෙ නෑ සීතල වැඩිවෙලා සන්නියක් වගෙ හැදිල ඇඟ ඉදිමෙන්නට අරන්...ගෙදර අය ඉක්මනටම සරෝජිනීව ඉස්පිරිතාලෙට ඇතුල් කලහම කොළඹට මාරුකරල...අසිහියෙන්ම ඇයට ප්‍රසව වේදනා ඇවිත් තිබුණු නිසා ඒ රාත්‍රියෙම සීසර් කරල දරුවව අරං තියෙනවා...
 

සරෝජිනී රෝහලේ සුවපත් වෙමින් ඉන්න දවස්වල අපි ඇයව බලන්න ගියා...අපිත් එක්ක කෝච්චියෙ ගියපු රාජා වැඩකළේ එම් ආර් අයි එකේ...රාජා සරෝජිනීලගෙ තාත්තගෙන් අහනව...
 

අඩු මාසෙන් නේද අන්කල්...
 

නෑ නෑ පුතා දින ගණං හරි...
 

සරෝජිනීගෙ තාත්ත බොහොම විශ්වාසෙන් රාජට උත්තර දුන්නා...අපට මේ කතාව හරිම ප්‍රහේලිකාවක් ඒ වෙනකොට සරෝජිනී බැඳලත් මාස හතකට වඩා ගතවෙලා තිබ්බෙ නෑ...
 

අපට ඔය ගැන යම්කිසි උපකල්පනයක් විතරක් තිබුණා පසුකාලීනව සරෝජිනී ආපහු කෝච්චියෙ යන්න ආවට පස්සෙ ඒ උපකල්පනය ස්ථිර කරගන්න ලැබුණා...
 

මඟුල ගද්දිත් සරෝජිනීගෙ බඩට මාස දෙකක්, මනමාලයා ඒ දවස්වල මඟුලට කියල බොරුවට නිවාඩු අරං ආවට ඇත්තටම මදුසමයක් ගත කරලයි ගිහිං තියෙන්නෙ... හදිසි කරල මඟුල ගන්න ඕනැවුණේ තව ටිකක් දවස් ගියානං බඩ වසංගන්න බැරිවෙන නිසායි.
 

මමයි බිරිඳයි දවසක් අලුත උපන් දුව බලන්න සරෝජිනීලගෙ ගෙදර ගියා...කිරිඳිවැලට ගිහිං තවත් බස් එකක නැගල කිව්ව තැනිං බැහැගත්තා...සරෝජිනීලගෙ ගෙවල් කොහෙද කියල ඒ හරියෙ අයගෙන් අහපුවම කිසිකෙනෙක් දන්නෙ නෑ... උදේ හවා ඒ පාරෙන් වැඩට යන කෙනා ගැන දන්නෙ නෑ කිව්වම අපට හරි පුදුමයි...
 

අන්තිමේදි විස්තර කියල හැඩහුරුකං කිව්වට පස්සෙ එක්කෙනෙකුට මතක් වුණා...
 

ආ... මේ කියන්නෙ කුමාරිනෙ...
 

කුමාරි කිව්වම නං ගමම දන්නවා අපට ගේත් පෙන්නුවා...

කාලෙකට පස්සෙ දවසක අපේ සෝමෙට සරෝජිනීව හම්බවෙලා...
 

අපිත් වෙලාවක එන්නංකො බබා බලන්න...
 

ඒ වෙනකොට ළමය ගොඩක් ලොකුයි...
 

ගෙදර එන්න කරදර වෙන්න එපා සෝමෙ අයියෙ...මොන්ටිසෝරියෙ ගේට්ටුව ලඟට ආවොත් ළමය බලාගත්තහැකි...
 

ඔන්න මට කතාවක් මතක් වෙනවා...ඒකත් කියලම ඉන්නංකො...
 

අපේ ගමේ හිටපු වඩුවා තමා අමරෙ, වැඩක් කරවගන්න එහෙම හරි අමාරුයි...දවසක් නාරංවත්තෙ මනුස්සයෙක් අලුත උපන්න දරුවට තොටිල්ලක් හදන්න අමරෙට බාරදීලා...
 

මේ මනුස්සය අනේ දවස ගානෙ අමරය හම්බවෙන්න එනව තොටිල්ල හදලද බලන්න...
 

මොන...අත තියලවත් නෑ...
 

හරි හරි දවස් දෙකකින් එන්ඩකො මම හදල තියන්නං...
 

අර මනුස්සයත් හැමදාම ඇවිත් හිස් අතින් ආපහු යනව... 

දිගින් දිගටම ඇවිල්ල එපාවෙච්ච පාර මිනිහ වැඩේ අතෑරල දාල නිකං හිටියා...ඊට පස්සෙ ආවෙ නෑ...
 

ඔහොම කාලයක් ගියාට පස්සෙ දවසක්දා ටවුමෙදි අමරෙට තොටිල්ල හදන්න දීපු මනුස්සයව හම්බවෙලා...
 

ආ...මං අර තොටිල්ල හෙට අනිද්දට හදල දෙන්නංකො...
 

අනේ...බාස් උන්නැහැ දැන් ළමය මොන්ටිසෝරිත් යනවනෙ...
 

ඉතිං කතාව ඕකයි... මගේ මිම්මෙ හැටියට නං සරෝජිනී ආදරය ඉන්ෂුවර් කරගන්න නොහිතපු ආදරයට ආදරය කරපු කෙල්ලක්...
 

එදා අපි බලන්න ගියපු දුව දැන් ඒ ලෙවෙල් කරනව කියල දවසක ස්ටේෂන් එකේදි හම්බවුනු වෙලාවෙ සරෝජිනී මට කිව්වා...ඒ දුවට බාල තව පුතෙකුත් ඉන්නවලු.

Thursday, September 12, 2013

88.කොන්දේසි සහිත ආදරය


ආදරය කියන වචනයට නිවැරදි   නිර්වචනයක් හෝ අර්ථකතනයක් දෙන්නට තවම කිසි කෙනෙකුට හැකියාවක් ලැබිල නෑ කියල මට නිකමට හිතෙනව.

අද බොහෝවිට ආදරයක් එහෙමෙහෙ වුනාම තුවක්කුවක් උදුරගෙන වෙඩිතියල මරල දාන එක හරි හොඳට කැපෙන මන්නයක් අරං ගිහින් පෙති කපල දාන එක හරි ඉතාම සාමාන්‍ය දෙයක් වෙලානෙ තියෙන්නෙ...
මේ වෙඩි තියන,පෙති කපන අය අතරෙ ඇත්තටම ආදරයක් තිබිල තියෙනවද,එහෙම තිබුනානං මෙහෙම වෙන්න පුලුවනිද,ඔන්න ඕකයි මට තියෙන ප්‍රශ්නේ...

අනිකගේ කැමැත්තට ඉඩ දීල සතුටුවෙන එක නැත්නං අනිකගේ සතුට දැකල උපේක්ෂා සහගත වෙන එක නොවේද නියම ආදරය කියන්නෙ...හරියට දෑසනිසා එකේ නිරුදක වගේ එහෙම නැත්නං තුංමං හන්දියෙ අබිලිං වගේ...

'ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කෙස් ගසකට සමයි' කියල යමුනා විනෝදිනි කියනවා, වර්තමානයට නම්  ඔය පදපෙළ ටක්කෙටම ගැලපෙනවා ...යමුනා විනෝදිනී කිව්වට ඔය පද පෙළ ලිව්වේ වෙන කෙනෙක්නෙ...

ලිව්වේ කවුද කියල හොයාගන්න මම බොහොම උත්සාහ කළා නමුත් හරිගියේ නෑ...හරි නං ප්‍රේමයයි වෛරයයි අතරේ වෙනස කොස් ගසකටවත් සමවිය යුතුයි.මොකද ප්‍රේමය තියෙන තැන  වෛරය තියෙන්න විදියක් නෑ...ඒ වගේම වෛරය තියේනං එතන ප්‍රේමයක් තිබිලත් නෑ.

ඔයවාගෙ ඒ දවස්වල මොහිදීන් බෙග් සූරීන් බොහොම පණ්ඩිතමානී සහ ආදර්ශමත් ගීත රාශියක් කිව්වනෙ...

'සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා '

'මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
මිනිසාමයි ලොව තිරිසන් වන්නේ'

ඔය සිංදු අහගෙන ඉන්න අපේ අම්මා...

ඒ මනුස්සය විතරයි වැදගැම්මකට ඇති දෙයක් කියන්නෙ...

කියල කියනව,අම්ම හිතන්නෙ ඔය සින්දු ලියන්නෙත් බෙග් මාස්ටර්මයි කියලනේ...වෙන කෙනෙක් ලියල බෙග් මාස්ටර් කියනව කියල අපි කියන්න ගියොත්...

ඒ මනුස්සයට පිස්සුද මෙච්චර අපූරු සින්දු ලියල වෙන උන්ට කියන්න දෙන්නෙ...

කියල අම්ම කියයි,ඉතිං අපට වෙන්නෙ කරුණාරත්න අබේසේකරයන්ට කියල සින්දු කියවන්න...

අසූ ගණන්වල මම හිතන්නෙ අසූඑකේ හෝ අසූදෙකේ බෙග් මාස්ටර් එයාගෙ ඔක්කොම පරණ සින්දු ටික තරංගා කැසට් දෙකකට ගායනා කලා...

විජය රාමනායක පටන් ගත්ත තරංගා රෙකෝඩ් බාර් තමා ලංකාවෙ ඒ වර්ගයෙ පළවෙනි එක...මේ රෙකෝඩ් බාර් එක විවෘත කරද්දි පත්තරෙත් පළවෙලා, සිංහල පත්තරේ දාන්න මේ නම සිංහලට පරිවර්තනය කරන්න ඕනැනෙ... පත්තරේ කෙනෙක් මේ නම පරිවර්තනය කරල තිබ්බෙ මෙහෙමයි,
 

තරංගා තැටි තැබෑරුම
 

හොඳ වෙලාවට පත්තරේ යන්න කලින් දැකල නවත්තගෙන තිබුනා...

මම ඒ දවස්වල වැඩකලේ ඉස්පිරිතාලෙ...උදේට කෝච්චියෙ ඇවිත් රාගමින් බැහැපුවම ස්ටේෂන් එක ලඟම තියෙන රෙකෝඩ් බාර් එකක මේ සින්දු වාදනය වෙනවා...සින්දු ටික අපට කනේ මීපැණි වක්කරනව වගේ රසවත්...අපි සිංදු ටික ඔක්කොම එතන ඉඳන් අහල පරක්කු වෙලා වැඩට ගිහිං ෂෝට් ලීව් දානවා.

මම මෙච්චර අටුවා ටීකා ලිව්වෙ ආදරය කියන දේ බෙදන්න කොටස් කරන්න හෝ කොන්දේසි මත පිරිනමන්න පුළුවන් දෙයක්ද කියල විග්‍රහ කරගන්නයි...

සමහර කෙල්ලෝ ඉන්නව උන්ට ආදරය ප්‍රකාශ කරපුවම කියන්නෙ...

ගෙදරින් කැමතිනං මමත් කැමතියි...

ඔයා අපේ ගෙදරට කියන්නකො...

ආදී වශයෙන්නෙ...ඒ කියන්නෙ ආදරේ කරන්න  කලින්ම ඉන්ෂුවර් කරගන්න එක...කෙල්ල හිතන හැටියට ප්‍රේම සම්බන්ධයක් පටන්ගන්න කලින් ඉන්ෂුවර්  කරගන්න එක අත්‍යාවශ්‍ය දෙයක්...

මම ගිය අවුරුද්දට පස්සෙ අවුරුද්දෙ අපේ ඔෆිස් එකට ආපු සුරාජ්ට උන්ගෙ කණ්ඩායමේම හිටපු පුන්සරා ගැන පිලිබඳ සිතක් පහලවෙලා...ඒ කට්ටිය දවල්ට කන්නෙත් එකටමයි  දවල් කෑම වෙලාවට පුන්සරා හරි  වෙන කෙල්ලෙක් හරි  ඇවිත් අපේ බ්‍රාන්ච් එකේ දොර ලඟ පෙනී සිටිනවා...මොකුත් කියන්නෙවත් කතාකරන්නේවත් නෑ...ඒ කියන්නෙ සුරාජ්ට කෑමට එන්න කියන එක...

අන්න උඹව එක්ක යන්න ඇවිත් ඉන්නෙ පලයන්...

අපි කියනවා...සුරාජ් පුන්සරාට ඇති කැමැත්ත අපි එක්කත් කිව්වා...

තටම තටම ඉන්නෙ නැතිව  අහල බලපන්...

අපි කිව්වහම සුරාජ් කෙල්ලගෙන් අහලා...ඔය කොල්ලො කෙල්ලන්ගෙන් කැමැත්ත අහන්නෙත් විවිධ ක්‍රමවලටලු නොවැ  ව්‍යංගාර්ථයෙන් එහෙම,එක කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් ඇහුවලු...

මැරුණම අපේ පවුලේ සුසාන භූමියෙ සැතපෙන්න ඔයා කැමතිද ...

සුරාජ් නං කොහොම ඇහුවද දන්නෙ නෑ,පුන්සරාගෙන් කැමැත්ත අහපුවම...

අනේ මන්දා සුරාජ් ගෙදරින් කැමතිනං මම කැමතියි...

ඔන්න ඔහොමයි උත්තරේ ලැබිල තියෙන්නෙ...සුරාජයා ඇවිත් අපට කතාව කිව්වා...

වරෙල්ලකො බං පුන්සරාලගේ ගෙදර යන්න...

මේ සුරාජ්...ඔහොම ලත් තැනම කෙල්ලගෙ ගෙදර යන සිරිතක් නෑ බං...ඉස්සෙල්ල කෙල්ලව යාලු කරගෙන ගෙදරට හොරෙන් ලව් කරපල්ල...කොහොම හරි ඔය කතාව ගෙදර දැනගන්නවනේ...ඊට පස්සෙ බඳින්න බැරියැ...එතකොටනේ බං ඒ ලව් එකේ ජොලිය තියෙන්නෙ...

කොහොමත් ඌ එක්ක කෙල්ලන්ගෙ ගෙවල්වල යන්න වෙලාවක් මට තිබ්බේ නෑ...මම ඒ දවස්වල ඉන්දියාවෙ යන්න සූදානම් වෙමින් හිටියෙ...අපි කවුරුත් යන්න බෑ කියපුවම

උඹලට බැරිනං  මම මල්ලි එක්ක හරි යනව...

සුරාජ් කොහොමහරි ගෙවල් කැමති කරවාගෙන පුන්සරාව කසාද බැඳගත්තා...එදා ඉඳල අද වෙනකං ජෝඩුව බොහොම සතුටින් පවුල් කනව...දැන් දරුවෝ දෙන්නෙක්,මේ දවස්වල පදිංචිවෙලා ඉන්නෙත් ලඟපාත රටකයි... ලඟකදී කතාකරපුවමත් එහෙ එන්න කිව්වා...

උඹල මේ පැත්තෙ එන්නෙ නැද්ද බං...

ඩ්‍රින්ක් එකක්වත් දාන්නවිදියක් නැති රටකට ඇවිත් වැඩක් තියේය බං...මෙහෙ එනවනං වරෙන් මම ඇතිවෙන්න බොන්න දෙන්නං...

ඉස්සර ඌට බියර් බෝතලයක් තනියම බොන්න බෑ වෙරිවෙනව...සුරාජ්ල රෝමෙ පදිංචි වෙලා ඉන්න කාලෙ අපි එහෙ ගියාම මම විස්කිවලට සෝඩා දාගෙන බොද්දි සුරාජ් බියර් දාගෙන විස්කි බිව්වෙ...එච්චර දියුණුයි...

ඔන්න ආදරය ගැන කියාගෙන ආව කතාව ට්‍රැක් පැනල වටේ ගියා...

අපිත් එක්ක කෝච්චියෙ වැඩට ගිය කෙල්ලෙක් හිටියා...අපි මෙයාට නමක් දෙමු සරෝජිනී කියල...සරෝජිනී විවාහ වෙන්න සූදානමෙන් හිටියෙ, මනමාලය ආමි එකේ කොල්ලෙක්,ඒ දවස්වල යාපනේට කිට්ටුව කෑම්ප් එකක හිටියේ...

කෝච්චියෙ අපිත් එක්ක   ගිය ඔක්කොටොම සරෝජිනී මගුල් කිව්වා...ඒ දවස්වල මමත් බැඳලා හිටියෙ මගුල අරං තිබ්බෙ නෑ, බිරිඳටත් මඟුල් කිව්වා...
මගුල් උත්සවය පැවැත්වුනේ පස්යාල මීරිගම පාරෙ හෝටලේක...එදාටම මට තව මඟුල් ගෙදරක යන්න වෙලා තිබුණා...ඒ අපේ පොඩි මහින්දගෙ බිරිඳගේ නංගිගෙ මගුල,තිබුනෙ පොඩි මහින්දලගේ  ගෙදර... 

මගුල් ගෙවල් දෙකටම යන්න උවමනාව තිබුණු නිසා ඉස්සෙල්ලම පොඩි මහින්දලගෙ ගෙදරට ගොඩවැදුනා එහෙන් කේක් කෑල්ලක් කාල බීම වීදුරුවක් බීල එහෙම ටිකක් දවල් වෙනකොට මට තව මගුල් ගේක යන්න තියෙනව කියල පිටත්වෙලා හෝටලේට ගියා...

හෝටලේ සරෝජිනීගේ මගුල බොහොම ජයට පැවැත්වෙනවා...කෝච්චියෙ යාළුවො කට්ටිය,බිරිඳ  එහෙම මම යනකොටත් ඇවිත් හිටියා...අපි කට්ටිය එකතුවෙලා සිසිල් බීම බීල ඉවරවෙද්දි සැර බීම බොන්නත් ආරාධනාවක් ලැබුණා...

ෂොට් දෙක තුනක් වැදිල මූණ කන් එහෙම රතුවෙනකොට මගුල් ගෙදර තිබ්බ බොහොම පොඩි අඩුපාඩුවක් ගැන මටත් දැනගන්න ලැබුනා...

ඒ මොකක්ද කිව්වොත් මනමාලය ඇවිත් නැති එක...අපට නං ඒක කොහොමත්ම ප්‍රශ්නයක් නෙවෙයි,නමුත් මනමාලිට ඒ ප්‍රශ්නෙ තදින් බලපානවනේ...

දැන් හෝටලේ සේවකයො දවල් කෑමත් බුපේ එකට ගෙනත් තියන්න ලෑස්තිය...ඔය අතරෙ මනමාලයට මොකද වුණේ කියල හොයන්න මමයි, රැවුලයි රහසිගත මෙහෙයුමක් දියත් කලා...

මතු සම්බන්ධයි....