Showing posts with label අතීත මතක සටහන්. Show all posts
Showing posts with label අතීත මතක සටහන්. Show all posts

Thursday, October 3, 2024

ජීවිතයෙන් බිඳක්, ප්‍රේමයේ කෝඩුකාරයෝ, ස්වප්නාගේ අතදීම, මී ගොන් කරත්ත, කඩේ අයියා සහ සුනිල් සහෝදරයා.

අපේ ජීවිතය අපේ කීවාට මගේ ජීවිතය ගැන කල්පනා කරද්දී එහි විචිත්‍රවත් බව ගැන වෙලාවකට පුදුමත් හිතෙයි.  ජීවිතයේ බොහෝ දුර ඇවිද ගොස් ආපසු හැරී බලනකල අතීතයේ කරපු කියපු දේවල් විටෙක මදහසකින්ද විටෙක දුකකින්ද විටෙක උපේක්ෂාවෙන්ද විටෙක කෝපයෙන්ද සැමරිය හැකිය.  එහෙම පරණ දේවල් මතක් වීමේ ප්‍රතිපලය වශයෙන් මේ පෝස්ටුව ලියන්නට ගතිමි.  2022 ට පසු එනම් අවුරුදු දෙකකට මදක් වැඩි කාලයක් මම මොකුත් ලීවේ නැත.  ඊට හේතුව මූලික වශයෙන් බොහෝසේ කාර්ය බහුල වීමත් ලිවීමේ උපකරණ එනම් ඩෙස්ක් ටොප්, ලැප්ටොප් ආදී උපකරණ නිෂ්ක්‍රිය වීමත් කම්මැලිකමත් යන කරුණූ වේ.  කාර්ය බහුල වීමට හේතුව නම් හැලපැට්ටාගේ කටයුතුය.  ඉන්පසුව අවුරුද්ද මැදදී පමණ යම් ඉස්පාසුවක් ලැබුනද ආපසු ලියන්නට ඉඩ හසර ලබාගන්නට නොහැකි විය.  ඉන්පසුව හිත හදාගෙන ලැප්ටොපයක් රෙපෙයාර් කර ගත්තේ අසීරුවෙනි.  ගෙදර ඇවිත් ලියන්නට බලන කල බ්ලොගර් මට පිටුපාලාය.  මට මතක නැති පාස්වර්ඩ් ආදී සියල්ල මුල සිට ඉල්ලයි.  කෙසේ හෝ ගූගල්ට බැගෑපත්වී නව පාස්වර්ඩ් ආදිය ඉල්ලා ගතිමි.  සිංහලද නැතිව ගොස් තිබූ නිසා දාගත් නව සිංහලය තවම මට නුහුරුය.  හැලපයා යන පුරුදු නමින් කමෙන්ට් කරන්නට තවම බැරිය.  කමෙන්ට් යන්නේ ඇනෝ හැටියටය.

ඇනෝලා මගේ යහලුවන් නිසා ඒකට නම් කමක් නැතිය.  මගේ පෝස්ටුවලට විශේෂයෙන් අවසාන පෝස්ටුවට ඇනෝලා ලියූ කමෙන්ට් තොගය කියවීමෙන් මා ලද සතුට සුවය අප්‍රමාණය.  ලිවීම ශරීරයට ජීර්ණය වී ඇති එකෙකුට නොලියා ඉන්නට අමාරුය.  හරියට කොටු පැන පුරුදු එකාට කොටු නොපැන ඉන්නට බැරුවා වාගේය.   කුඩුකාරයාටත් බඩුකාරයාටත් කුඩුත් බඩුත් නැතිව ඉන්නට බෑ වගේ හැලපයාටත් නොලියා ඉන්නට බැරි යැයි කවුදෝ මගේ පෝස්ටුවකට ලියා තිබූ කමෙන්ටුව කෙතරම් නිවැරදි දැයි මට සිතේ.

කොහොම වුණත් ආයෙම ලියන්නට ගන්නේ රටට අලුත් පාලනයක් ලැබී තිබියදීය.  පාලනයේ හොද නරක කියන්නට තවම කල් වැඩි උනත් මට හමුවන අය නම් කතා කරන්නේ නව පාලනය ගැන මහත් ආශ්වාදයකිනි සතුටකිනි.  අලුත් පාලනය ගැන කියද්දී අපේ පරණ යාලුවෙක් මට මතක් විය.  ඔහු නමින් සුනිල් සහෝදරයාය.  ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ්කාලීනයෙකු වූ ඔහු වැලිසර, අඩි විස්ස පාර, මහබාගෙ, ඇලපිටිවල ආදී ප්‍රදේශවල කරක් ගසමින් හමුවන්නන්ට කොකු ගසමින්, ඊට පසු පංති කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක කටයුතු ඉහලින්ම ඔසවා තබන්නට හදවතින්ම කැපවුනු තරුණයෙක් විය.  මීට පෙරද මම මගේ පෝස්ටු දෙකක ඔහු ගැන ලියා ඇත්තෙමි.  කතාව පටන් ගන්නට 1981 තරම් ඈත කාලයකට අපට යන්නට සිදුවේ.

ඒ වනවිට මම මගේ පලවෙනි පෙම් සබඳතාව බිඳවැටී දරුණු මානසික ව්‍යාකූලතාවකින් ගතකල සමයයි.  බිඳ වැටුනා කීවද සිදුවුනේ ඇය එක්වරම මා අතහැර යාමය.  ප්‍රේමයට කෝඩුකාරයෙක් වු මට එය මහත් කම්පනයක් විය.   ඇය මා හැරගියාටත් වඩා මට සිත් වේදනාවක් වූයේ හැරගිය ආකාරයයි.  කාන්තා සිත හෝ ආකල්ප ගැන මෙලෝ අවබෝධයක් මාහට නොතිබූ ඒ කාලයේ ප්‍රශ්නයක් වුවද ඇය මාහැර ගිය හේතුව පසුකාලීනව මට පැහදිලි විය.  ප්‍රේම සම්බන්ධතාවක් කඩා වැටීමේදී තරුණයෙකුට වදින ක්ෂණික ප්‍රහාරය වනුයේ තමාගේ වූ යුවතිය අහිමි වීමේ වේදනාවටත් වඩා ඇයගෙන් ප්‍රතික්ෂේප වීමේ වේදනාවයි.  ප්‍රතික්ෂේප වන්නට අප කවුරුත් අකැමැතිය.  අප ප්‍රතික්ෂේප වන්නේ තරුණියකගෙන් නම් එය වඩාලාත්ම දරුණු වෙයි.  එවැනි ප්‍රහාරයකින් වැටුණු විට නැගිටින්නට නම් තවත් තරුණියකගේ උපකාරය අත්‍යාවශ්‍ය බව මගේ පුද්ගලික අත්දැකීමයි.  තරුණියකට නම් තරුණයෙකුගේ උපකාරය අවශ්‍යයය.  එසේ නොමැතිවූ විට අවුල්වූ මනසින් යුත් මෙම තරුණ තරුණියන් විවිධවූ ප්‍රතිචාර දක්වති. සමහරු සියදිවි නසා ගැනීම දක්වා දිගදුර යන්නේ මෙවැනි අවුල් වූ මනෝභාවයන්‍ වේ.  මෙම ප්‍රතිකර්ම අවශ්‍ය වනුයේ කෙනෙකුගේ කුලුඳුල් පෙම් සබඳතාවට පමණක් බව වැඩිදුරටත් මතක තබා ගත යුතුවේ.  ඊට පසු ඇතිවන සබඳකම් වලදී පෙර අත්දැකීම් වලින් ප්‍රයෝජන ගන්නා ඔවුන් ඇතිවන ප්‍රශ්න මනාව කළමණාකරණය කරගැනීමට සමත් වෙති.  එමතුද නොව පසුකාලීනව සිදුවන අතහැරයාම් හෝ ප්‍රතික්ෂේපවීම් ද ගණනකට නොගෙන සිටීමට පුරුදු වෙති.  ඉතින් මා පෙර කියූ කතාව තවත් ටිකක් විස්තර කරන්නට අවශ්‍යය.  එනම් කොල්ලෙක් නම් කෙල්ලෙකුගේ අතේ හෝ කෙල්ලෙක් නම් කොල්ලෙකුගේ අතේ එල්ලී ගොඩ ඒමේ කතාවය.

ස්වප්නා කතාවට ප්‍රවිෂ්ට වන්නේ මේ ආකාරයටය.  ඇය පත්වීමක් ලබා වැලිසර රෝහලට එන්නේ ඔය මා සඳහන් කල කාලයේදීය.   සරලවම කිව්වොත් දඩ බූටක් කා මබ්බෝද වී සිටි මට රෑ නින්දද හරියකට නොලැබේ.  උදේ පාන්දරින් ඇති කෝච්චියෙන් මම වැඩට යමි.  ස්වප්නා වැඩට එන්නේද ඒ කෝච්චියෙන් බව දැනගතිමි. 

දිනක් දුම්රියෙන් බැසගත් මා දුටුවේ ඉදිරියෙන් ගමන් කරන උස මහත කැපී පෙනෙන අඟපසඟ ඇති තරුණියකි.  මා යන දෙසටම ගමන් කළ ඇය මාව දුටුවේ පාර පනින්නට ආපසු බලද්දීය.  රෝහලේදී දැක පුරුද්දට ඇය සිනහවක් පා මා එනතුරු නැවතී සිටියාය.  පළමුවරට අපි එදා කතාකරමින් රෝහලට ගියෙමු.  ඉන්පසුව එය පුරුද්දක් බවට පත්වී කෝච්චියේද එක පෙට්ටියේ එන තරමට ප්‍රගතියක් ඇතිවිය.

කෙසේ හෝ ස්වප්නාගේ ඇසුර හේතුවෙන් මගේ සිත්තුල තිබූ ඔල්මොරොන්දම් මූසල ගතිය ටික ටික මග හැරෙන්නට වී යම් තරමක ප්‍රකෘති තත්ත්වයකට පැමිණී බව මටම වැටහිණි.  අවංකවම කිව්වොත් බුට් කා බිමටම වැටී සිටි මා නැවත නැගිට්ටේ ස්වප්නාගේ උදව්වෙන් ඇගේ අතේ එල්ලීගෙනය.  කෙනෙකුට ඇතිව තිබෙන දරුණු සිත් තැවුලකින් මෙසේ මිදෙන්නට හැකිබව තේරුම් ගිය මම  බූට් කා හොඳටම අසනීප වී සිටි යුවතියන් කීප දෙනෙකුටම සනීප වෙන්නටම පසුකාලීනව ප්‍රතිකාර කලේ ඔවුන් පෙළන ශෝකයෙන් මුදවා ගැනීමේ පවිත්‍ර චේතනාවෙනි.  

ස්වප්නා මාව තමන් සතු කරගන්නට බලාගෙන සිටින බව මට රහසක් නොවීය.  ග්‍රාමීය ජීවිතයෙන් දැඩි ලෙස හික්මවූ ගති පැවතුම් රැසක් ඇගේ දිවියට බද්ධ වී තිබුනේ ගසට පොත්ත මෙනි.  කොල්ලන් කෙල්ලන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා ගැන යමක් කිව්වොත් කෙල්ලෙක් සමග සම්බන්ධතාවකින් කොල්ලෙක් බලාපොරොත්තු වන්නේ ආදරය,අවධානය, පාලුව මකාගැනීම, ලිංගිකත්වය ආදී සරල දේවල් වුවද කෙල්ලෙකු විෂයෙහි එය සම්පූර්ණ වෙනස් වේ. කෙල්ලෙක් හුදෙක් ආදරයට අමතරව අවධානය, ආරක්ෂාව,ප්‍රේමයේ ස්තාවර බව මෙන්ම මුල්‍ය ශක්තියද බලාපොරොත්තු වෙයි.  ගමක හැදී වැඩුණු සාම්ප්‍රදායික ගති පැවතුම් ඇති යුවතියක් වූ ඇයගේත් මගේත් සිතුම් පැතුම් ගොනා සහ මීමා මෙන් දෙපැත්තට ගම න් කරන බව මට වැටහී ගොස් තිබුණී.  ගොනා ගොඩට අදින විට මීමා අදින්නේ මඩටය.  බෝතලේ වලව්වේ මී ගොන් කරත්තයක් තිබෙනු මම දැක ඇත්තෙමි.  මී හරකුන් දෙන්නෙක් බැන්ද එය පාවිච්චි කලේ ගමේ කුඹූරුවල වී වලව්වට අදින්නටය.  වලව්වට එන පාරේ එක පැත්තක ඇලය.  අනික් පැත්තේ වෙල්ය.  පොඩ්ඩ බැරි වෙනකොට එක්කෝ කරත්තය ඇලේය නැත්නම් වෙලේය.  මා කුඩා කල මේ සෙල්ලම බොහෝ විට දැක ඇත්තෙමි.  ඇති පදමට එලගොන්නු සහ කරත්ත ඇති වලව්වේ මී ගොන් කරත්තයක් හැදුවේ කවුදැයි ප්‍රශ්නයකි.  ඒ කරත්තය මගේ ජීවිතයේ මෙතෙක් කල් දුටු ඒ ජාතියේ එකම කරත්තයයි.  ගම කරත්ත වලට සමුදුන්නේ අත් ට්‍රැක්ටර් යුගය ආවාට පසුවය.  ඕනෑම අත් ට්‍රැක්ටරයට ගමේ කීවේ ලෑන්ඩ් මාස්ටර් හෝ ලෑම් මාස්ටර් කියාය.  මුලින්ම පාවිච්චියට ගත් වර්ගයේ නම විය හැකිය.  පසුකාලීනව විවිධ වර්ගවල අත් ට්‍රැක්ටර් පාවිච්චියට පැමිණ තිබූ බව මට මතකය.

කුබෝටා, ෆාම් මාස්ටර් ආදී වර්ග අතර ඉසෙකි නම් අත් ට්‍රැක්ටරයක්ද විය.  ඒක අයිති වුනේ පිළිකන්නවත්තේ ගෙදරටය.  එලෙව්වේ කඩේ අයියාය.  කඩේ අයියා අපේ ලොකු අම්මාගේ මහප්පාගේ අයියාගේ ලොකු පුතාය.  කඩේ කිව්වාට ඔවුන්ට තිබුනු කඩයක් නොවීය.  ආදි කාලයේ කඩයක් තිබුනු නිසා ඒ නම වැටෙන්නට ඇත. කුඹුරු ගොවිතැන් කරමින් සිටි කඩේ අයියාට ඊට අමතරව ට්‍රැක්ටරයේ කටයුතුද පැවරිණි.  කඩේ අයියාට කුකුල් කොටුවක් දා ගන්නට උදව් කලේ වයි ඇම් සී ඒ එකෙනි.  කුකුල් කොටුව හදන්නට වත්තේ ඉඩ නොතිබූ නිසා එය හැදුවේ මහගෙදර වත්තේය.  කිකිළියන් සිය ගණනකට සෑහෙන්නට හැදූ ලොකු කුකුල් කොටුවක් වූ එය බාගෙට මැටි බිත්ති බැඳ දැල් ගසා පොල් අතු සෙවිලි කළ කොටුවේ බිමට දහයියා අතුරා නිම කර තිබුණී.  වයි ඇම් සී එකෙන් දුන් කුකුල් පැටව් පෙට්ටිද කුකුල් කෑම ගෝනිද මීරිගම සිට ඉසෙකියේ පටවාගෙන ආවේ අපි දෙන්නාය.  පැටව් කූඩුවට නිදහස් කල විට මම උන්ට වතුර දුන්නේ නිකමට වගේය.  රෑ පහන් කීපයක් තබා උණුසුම දුන්නෙමු.  පසුවදා බලන විට වෙහෙස නිසා මියගොස් තිබුනේ පැටව් පස් දෙනෙක් වගේය.  ගෙනිච්ච අනික් අයට සාපේක්ෂව එය ඉතා හොඳ ගණනක් විය.  ඉන්පසුව මගේ දවස ගෙවුණේ කුකුළන් එක්කය.  කෑම දීම වතුර දීම අවශ්‍ය වුණොත් එලියට දමා නැවත ආපසු දැමීම මගේ රාජකාටි අතර විය.   පැටව් ලොකු වෙද්දී හැදෙන ලෙඩ වලට බේත් දීමද අත්‍යාවශ්‍ය කාරියක් විය.  කුකුලන්ට හැදෙන විවිධ ලෙඩ වර්ග මා අත්දුටුවේ කොටුවේ වැඩ කරද්දීය. 

කුකුළන්ගේ වැඩේට කරදර වෙන්නට අනවශ්‍ය නිසා කඩේ අයියා පැෂන් ෆෲට් හෙවත් වැල් දොඩම් කොටුවක් දැම්මේද වයි ඇම් සී එකේ උපකාරයෙනි.  පැල,පොහොර ආදිය ලැබෙන අතර අස්වැන්න වයී ඇම් සී එක මිලදී ගනී.  බිත්තර මිලදී ගන්නවා  වගේමය.  ඔවුන් වියදම් කළ මුදලින් කොටසක්ද කපාගනී.  ඒ කාලයේ කඩේ අයියා කරපු දේශපාලනයක් නැත.  නමුත් පසුකාලීනව ඔහු ජනතා විමුක්ති පෙරමුණේ භක්තිවන්ත අනුගාමිකයෙක් විය.  මොන වැඩේ කලත් උපරිම කැපවීමෙන් එය කරන කඩේ අයියාගේ සිරිත අනුව ඔහු ජ වි පෙ දේශපාලනයද උපරිම කැපවීමෙන් කළේය.  ඒ කාලයේ මැයි දිනයේ ටවුන් හෝල් එක හරියට වී ජ වි පෙ මැයි පෙළපාලිය නැරඹීම මගේ සිරිතක් විය.  ඒ අසූ ගණන්වල මුල හරියේ වන්නට ඇත.  අසූ තුනේ ජ වි පෙ තහනම් විය.  හැම අවුරුද්දේම මැයි දින පෙළපාලි වල කඩේ අයියා සුපුරුදු දසුනක් විය.  ඔහු පෙළපාලියේ සැමදාම ඉදිරිපත් කරන්නේ ඒකාංගික රංගනයකි.  එක්කෝ වෙස් මුහුණක් දමාගෙන යකෙකුට ඇඳ නටයි.  එක්කෝ සුදු පිරුවටයක් හැඳ රතු රෙද්දක් ඉනේ ඔතාගෙන බෙරයක් ගසමින් යාදිනි කවි කියමින් ගමන් කරයි.  88/89 භීෂණ සමයේ කඩේ අයියා පණ බේරාගත්තේ ඉතා අසීරුවෙනි.  පොලිසියද විවිධවූ සන්නද්ධ කණ්ඩායම්ද රෑ දවල් නොමැතිව ඔහු පසුපස එළවද්දී දිවි බේරාගන්නට කැලෑවට වැදී ගල් ගුහාවල මැස්සන් මදුරුවන් හා සර්පයින්ගෙන් පීඩා විඳිමින්, අව්වට වේලෙමින්, වැස්සට තෙමෙමින් නොවිඳිනා දුක් වින්දේය.  

2002 පළාත් පාලන මැතිවරණයේදී ජ වි පෙ කඩේ අයියාව මීරිගම ප්‍රාදේශීය සභාව තරග කිරීම සඳහා අපේක්ෂක ලැයිස්තුවට නම් කළේය.  එම මැතිවරණයේ බෝතලේ ශ්‍රී ගෝඨාභය රජමහා විහාරයේ තිබුනු ඡන්ද පොලේ ජ්‍යෙෂ්ට ඡන්ද ස්තානාධිපති කම මට ලැබී තිබුණි.  උදේ ඡන්ද දායකයන් ඡන්දය දමනු බලමින් සිටි මම දුටුවේ කඩේ අයියා තවත් අපේක්ෂකයෙකු සමග ඡන්ද පොලට ඇතුල්වෙන ආකාරයයි.  සුදු සරමක් කමිසයක් හැඳ අපේක්ෂක යනුවෙන් ලේබලයක් සක්කුවේ ගසාගෙන සිටි ඔවුන් ඡන්ද පොලවල් පරීක්ෂාවේ යන ගමන්ය.  මම ඔවුන්ට ඇතුළට කතාකර වාඩිවෙන්නට කියා තොරතුරු කතා කළෙමි.  ආපසු යන්නට ගිය කඩේ අයියා මඳක් ඉදිරියට ගොස් ආපසු හැරී ඇවිත් මගෙන් ඇසුවේ "මල්ලි නේද මෙතන ලොක්කා" යනුවෙනි. මහත්වූ ස්නේහයක් ඔහුගේ දෑස් තුළ විය.  අප අතීතයේ කළ කී දෑ ඔහුට මතක් වන්නට ඇත. කතා කරගන්නට බැරිව මුව ගොලුව ගිය මම සිනාසුනෙමි.  අවිවාහකයෙකු වූ කඩේ අයියා බැඳී සිටියේ පක්ෂයටය.  පක්ෂය ඔහුගේ බිරිඳ වූ අතර පක්ෂ ක්‍රියාකාරීන් ඔහුගේ දරුවන් විය.  දුරස්තරව ජීවත්වීම මෙන්ම මා රටේ නොසිටීමද හේතුවෙන් පසුකාලීනව මට කඩේ අයියාව බොහෝ දුරට මග හැරුණි.

ටික කලක් අසනීපයෙන් සිටි කඩේ අයියා මීට දසවසරකට පමණ පෙර මියගියේය.  ඔහුගේ මරණයටද සහභාගි වෙන්නට මට නොහැකි වුයේ රටේ නොසිටි නිසාවෙනි.  මම එයට කැමත්තෙමි.  කඩේ අයියාගේ නිසල කය නොදුටු මගේ සිත තුල හැමදාටම ජීවත් වෙන්නේ මා දන්නා කඩේ අයියා බැවිනි.  සිය ජීවිතයේ වටිනාකම තුට්ටු දෙකට දමා පෞද්ගලික පරමාර්ත අමතක කරමින් කඩේ අයියා පැතූ පාලනය දැන් බිහිව ඇත.  ඔවුන් පැතූ ලොව ඉදිවේද නැද්ද යන්න කියන්නට තවම කල් වැඩිය.  කොහොම උනත් කඩේ අයියාට ඉන්න තැනක ඉඳ සතුටු වෙන්නට මේ හොඳටම ප්‍රමාණවත් ය.  කඩේ අයියා මට නැවත කවදා හෝ හමුවනු ඇත.  එදාට අපි ආයෙම කුකුල් කොටුවක් දමා පැෂන් කොටුවක්ද වවමු.  

ඊලඟට සුනිල් සහෝදරයාය.  තමන් විශ්වාස කල අරමුණ වෙනුවෙන් සිය පෞද්ගලික ජීවිතය අමතක කර දළ අහර බුදිමින් බොහෝවිට කුසගින්නේ සිටිමින් අනන්ත කැපකිරීම් කළ සුනිල් සහෝදරයා මට ආපසු කවදාවත්ම මුණ නොගැසුනු චරිතයකි.  අප පුද්ගලික ජීවිත වෙනුවෙන් වෙහෙසෙද්දී ඔහු සැවොම වෙනුවෙන් වෙහෙසුනේය.  සමහර විට අද සුනිල් සහෝදරයා ජීවත්ව සිටින්නට පුලුවන.  එසේ නොමැති නම් භීෂණ සමයේදී වධ දී මරා ටයරයක් මත අවසන් ගමන් ගියා වන්නට පුලුවන.  ජීවත්ව සිටීනම් අද අවුරුදු හැත්තෑ ගණනක වයෝවෘද්ධයෙක් හැටියට සතුටු වෙනවා ඇත.  වයස කීයක් ගියත් විප්ලවීය ජීවගුණය නොනැසී පවතින සුනිල් සහොදරයාගෙන් විහිදෙන සහෝදරත්වයේ සුවඳ නොනැසී පවතිනු ඇත.

Friday, December 24, 2021

අම්මාගේ බත් ගෙඩිය, දර ලිපේ ඉවීම,පෙමයියා, දරමඩුව, මාළු විකිණීම සහ වැල් අල .

 

අපේ අම්මා බත් බඳින හැටි බලන් ඉන්නට අපූරුය.  ඇය බඳින්නේ අද මෙන් බත් මුල් හෝ බත් පාර්සල් නොව බත් ගෙඩිය.  හැලපි නම් අපි වැඩට යන කාලෙ බත් බැන්දේ ලන්ච් ෂීට් එකක් කඩදාසිය උඩ එලා ඒ උඩට බත්ද බත් උඩින් වටේටම මාළු පිණිද තබා හතර වටෙන් නමා කඩදාසියේ එතීමෙනි.  ඒත් අපේ අම්මාගේ බත් එතීම වෙනම විදියක්ය.  ඇය තාත්තා වැඩට යන කාලයේ අවුරුදු විසි ගණනක් පමණ හැමදාම හිමිදිරි උදේ තාත්තාට බත් ගෙඩිය සකස් කර දුන්නාය.  ඊට පසු මම විවාහ වන තුරුම මට වැඩට ගෙනියන්නට බත් මුල ඔතා දුන්නාය.  රස්සාව ලැබෙන්නට ප්‍රථම වුවද අපි කොහේ හරි ගමනක් යතොත් දවල්ට කන්නට අම්මා බත් මුලක් බැඳ දෙයි.  ගෙදර කෑම හැමදාම කන මම ඒ දවස්වල හෝටලේකින් කන්නට හරි ආසවෙන් සිටියෙමි.  ඒත් අම්මාගේ බත් එකත් එක්ක හෝටලයකින් කෑමේ සිහිනය බොඳවී යයි.  අම්මා දුන්න බත් මුලේ වටිනාකම තේරුණේ පසු කලෙක එක එක හෝටල්වලින්ද කැන්ටින් වලින්ද මෙලෝ රහක් නැති වතුරයි බතුයි වගේ කෑම කනවිටය.  එතකොට අම්මාගේ බත් එකේ රස මතක්වී ඇහැට කඳුලක් උනයි.  මම අපේ අම්මා ගැන බ්ලොගයේ වැඩිපුර ලියා නැත.  අම්මා මරණාසන්නව ඉද්දීද ඇය මියගිය පසුද ඒ ගැන පෝස්ටු දෙකක් ලිව්වා මිසක ඇය ගැන විස්තර ඇතුව ලියා නැත.

පටන් ගත්තේ අම්මා බත් බඳින හැටි කියාගෙන නිසා මුලින්ම ඒ විස්තරය බලමු.  උදේ පාන්දර නැගිට බත් මාළු පිණි උයා ඉවරකරන අම්මා වත්තට ගිහිං කෙහෙල් අගිස්සක් කපාගෙන එයි.  ගෑස් කුකර් ගැන අහලාවත් නොතිබුණු ඒ කාලයේ ඇය දර ලිපේ දුම් කාගෙන උයපු බව අමුතුවෙන් කිව යුතු නැත.  දර ලිප්වලට අමතරව තිබුණා නම් තිබුණේ බුමිතෙල් ලිප්ය.  ඒවා ගම්වල තිබුණේ නැත.  අම්මා ඇය ගෙනා කෙසෙල් කොලය ලිපට අල්ලා හොඳින් තවාගනී.  තවාගෙන කොළයේ නාරටිය එහෙම ඉරා දමා වට්ටියක් උඩ එලු කඩදාසියක උඩින් කෙසෙල් කොලය තබයි.  ඊළඟට ඇය මුට්ටියේ ඇති බත් තව වට්ටියකට නිවෙන්නට දමයි.  වට්ටියට දැමූ බත් ගානට නිවෙන විට බත් හැඳි කීපයක් කෙසෙල් කොළය උඩට දමයි.  ඉන්පසු හිඳෙන්නට උයාගත් මාළු පිණි බත උඩින් තබා ආයෙම බත් හැඳි කීපයක් ඒ උඩට දමා මාළු පිණි එළියට නොඑන්නට අතින් සකසයි.  ඉන්පසුව කෙසෙල් කොළයේ දෙපැත්ත උඩට කර එය සුරුට්ටු කර උඩින් නවා දෙපැත්තද නවා ඇතුලේ ඇති බත් තදවෙන්නට දෙපැත්ත වට්ටියේ තට්ටු කර කඩදාසියේ ඔතාගෙන ගෝණි ලණුවකින් බත් ගෙඩිය ගැටගසා වැඩේ ඉවර කරයි.  දවල්ට කන්නට බත් ගෙඩිය දිග අරින විට එන සුවඳ නම් ඉවසන්නටම බැරිය.  බත් එක ලෙහා ගත් පසු ඇත්තේ තනිකරම ගල වගේ බත් ගෙඩියකි.  එය පැත්තෙන් කඩා ඇතුලේ ඇති මාළු පිණි සමග කන්නට හැක.

මුට්ටිය කියනකොට මට මතක් වුණේ තවත් මුට්ටියක කතාවකි.  ඊට මමත් සම්බන්ධය.  ඔන්න දවසක් මම කොහේ හෝ ගිහිං අවේලාවේ ගෙදර ආවේ හොඳටම බඩගිනි වෙලාය.  මම කන්නට එතැයි බලාපොරොත්තුවෙන් නොසිටි නිසා ගෙදර මට කෑම තබා තිබුණේ නැත.  හොදි මාළු පිණි ටිකක් තිබුණත් බත් නැත.  මම කන්නට ඉල්ලපු වෙලේ අම්මා පොඩි මුට්ටියකට හාල් ගරා දමා ලිපේ තබා මට බලාගන්න කියා නාන්නට පහල ලිඳට ගියාය.  මම ලිප ළඟ ඉඳගෙන සිටියෙමි.  බත ඉදවන විදිය මම දන්නේ නැත.  බත් මුට්ටියට මොනවා කරන්නදැයි නොදන්න මට මේ වැඩේ පවරා ගිය අම්මා එක්ක මට දැන් හරි තරහය.  මම දන්නේ ලිපට දර කෑලි ඔබන්නට පමණය.  දැන් නම් දර ලිපේ බතක් පිස ගැනීම මට සුළු දෙයකි.   මම දර ලිපේ ඉවීම පුරුදු වුණේ හැලපිගෙනි.  ඇයට දර ලිපේ කෑම ඉවීම ගැන මනා පළපුරුද්දක් ඇත. ගෑස් අර්බුදය එන්නට පෙර සිටම රයිස් කුකර් එකක් තිබුණත් අපි දර ලිපේ බත සහ අනෙකුත් මාළු පිණි උයන්නට පුරුදුව සිටියෙමු.  

දර ලිපට අවශ්‍ය දර සොයා දර මඩුව හෙවත් දර ගොඩ තරකිරීම තනිකරම මගේ වැඩකි.  අපි හදාගෙන තියෙන පොල් ගස් දෙක තුනේ වැටෙන පොල් අතු ගෙන ඒම , ගස් කපපු තැන්වලින් ඉතුරු කොට සහ දඬු අරගෙන ඒම, ඒවා පලා වේලා ගැනීම ආදිය මම කරමි.   දර පැලීම නොමිලයේම ශරීරයට හොඳ ව්‍යායාමයක් ලැබෙන වැඩකි.  ගේ ඉස්සරහ පාර අයිනේ මම දර කොට පලනවිට පාරේ යන උන් මට හිනාවෙවී යති.  මොකදැයි ඇසූවිට ගෑස් එකක් තියාගෙන මොකට නහිනවාදැයි කියති.  දර පැලීමේ සොමිය උන් දන්නේ නැත.  අපේ පැත්තේ ඒ කාලයේ දරමඩු කීපයක්ම තිබුණා මට මතකය.  එකක් තිබුණේ පෙමයියාටය.  පෙමා හෙවත් පෙමයියා කියූ ඔහුගේ නම පෙමානිස් විය යුතුය.  පෙමයියා පරණ රබර් ගස් ගලවපු වතුවලින් ලොකු කොට මිලට ගෙන ලොරියක දමාගෙන දර මඩුවට ගෙන එයි.  ඒ කොටන් ඔහු සිය පුතාවත් හවුල් කරගෙන බණ්ඩි කියතකින් එක සමාන විදියට කුට්ටි කරනවා එතනින් වැඩට යන මම දකිමි.  කුට්ටි කළ කොට ඔහු ගොඩ ගසා තබයි.  ඒ කුට්ටි පලන්නේ දර ඕඩරයක් ආපු විටය.  කලින් පලා තිබ්බොත් අව්වට වේලී දරවල බර අඩුවෙයි.  ලොකු පොරවකින් පලා කුඤ්ඤ ගසමින් පලු කරගන්නා දර කුට්ටි අත් පොරවකින් කැබලි කර හොන්ඩර ගණනට කිරා අත් කරත්තයක අහුරාගෙන අවශ්‍ය තැනට ගෙනගොස් බාරදීම සිදුවේ.  වැඩිපුරම දර ඕඩර් ලැබෙන්නේ ටවුමේ අයගෙනි.  ගම්වල දර මිලට ගැනීමේ සිරිතක් නැත.  පෙමයියා දර රාජකාරිය කරන්නේ හැන්දෑ වරුවේය.  උදේ වරුවේ ඔහු මාළු විකුණයි.  

උදේ පාන්දරම පාගන බයිසිකලයකින් මීගමු යන ඔහු මාළු මිලදී ගෙන බයිසිකලයේ බැඳ ඇති පෙට්ටියේ දමා උඩින් වෙලෙන් කඩා ගන්නා හබරල කොළවලින් වසා ගෙනැවිත් ගෙවල් ගානේ ගොස් මාළු විකුණයි.  දවල් වෙනවිට අව්වට මාළු ටික වියලි ස්වභාවයක් ගනී.  එවිට ඔහු අලවත්ත අයිනේ ඇති ඇලට බැස මාළු සෝදා හුරුල්ලන් සාලයින් වැනි කුරින්ගේ වැලි තවරා මාළු ටිකට අලුත් මුහුණුවරක් දී නැවතත් බයිසිකලය තල්ලු කරගෙන ගෙවල් ගානේ යයි.  දැන්නම් පෙමයියාගේ දරමඩුව තිබුණු තැනක්වත් නැත.  පෙමයියාගෙන් පසු දරමඩුව අභාවයටම ගියේය.  එපමණක් නොව ටවුමේ තිබුණු දරමඩුද වැසී ගොසිනි.  අපේ පැතිවල තිබුණේ දර යාර ගණනට හෙවත් ගමේ කියපු විදියට දර ජාර විකිණීමය.  ගස් කැපුවිට දර කොටන් යාරයක් දිගට කපා යාරයක් උසට යාරයක් දිගට ගොඩගසා ගත් විට එය දර යාරයක් හෙවත් ජාරයකි.  බොහෝ විට යාර කපා විකුණන්නේ කජු, කොට්ටං, කැන්ද වැනි කොට වර්ගය.  යාරවලට අමතරව පිට පළාත්වල තියෙන ලී මඩුවලින් කැපෙන පිට පලු ලොරියක පටවා ගෙනැවිත් බාගත් කළ ඒ ටික අවුරුද්දකට හමාරකට සෑහේ.

අපේ ගමට ළඟ ලොකු පොල්වතු දෙකක් තිබුණි.  එකක් බැවුන්වත්තයි.  අනික හිග්ගොල්ල වත්තයි.  ඒ වතුවලින් වැටෙන පොල්පිති කපා ගෙන ඒම ගමේ අය දර සපයා ගන්නා තවත් ක්‍රමයකි.  වත්තේ මහත්තයා කලින් හමුවී පොල්පිති කපා ගන්නට තුණ්ඩුවක් අරගෙන ඉරිදා දවසක වත්තට ගිය විට මුරකාරයා පොල්පිති කපා ගන්නට ඉඩ දෙයි.  වරුවක් යනතුරු ගස් යට වැටී ඇති පොල්පිති කපා එක තැනකට ගොඩගසා තබති.  පොල්පිති අරගෙන යන්නට කරත්තයට එන්නට කියා කලින් පණිවිඩය කියා ඇත.  කරත්තය ආවිට පොල්පිති පටවාගෙන ගෙදර එන්නේ හැන්දෑ කළුවර වැටෙන විටය.  ඔය පෙමයියලාගේ ගෙවල් හරියේ ගෑණු දහයක් පහළොවක් පමණ හැමදාම ඔය වතුවලට ගොස් පොල්අතු මිටි බැඳගෙන එන සිරිතක් තිබුණි.  පොල් අතු එකතුකර මිටි බැඳගෙන හිසට රෙදි කෑල්ලක් තබා දර මිටිය හිසට ගෙන හැතැප්ම දෙකක් පමණ ඇවිදගෙන එන ගෑණු පෝලිම පොල් අතු මිටිය බිම තබන්නේ අපේ ගෙවල් හරියේදීය.  පොල් අතු මිටි ගස්වලට හේත්තු කර විඩා නිවා ගන්නා ගැහැණු නැවතත් එක එක්කෙනාගේ හිසට දරමිටිය අල්ලාදුන් විට අවසන් දර මිටිය හිසට ගන්නට නියරේ යන කාගේ හෝ උදව් ඉල්ලති.  ගෑණු ගෙනයන දරමිටි ඇතුලේ වත්තේ වැටී ඇති පොල් ගෙඩි කීපයක්ද සුක්ෂමව දමාගෙන එන බව කවුරුත් දනිති.  හැමදාම මේ දරමිටි පෝලිම නියර දිගේ යන නිසා දර ගෙනියන්නේ වැඩි කොටස විකුණන්නට විය යුතුය.  ඒ කාලයද අවසන්වී දැන් බොහෝ කල්ය.  ලොකු වතු ටිකද කෑලි කඩා විකුණා ඇත.

ගෑස් සැපයුම අඩපණවී දැන් නැවතත් පුළු පුළුවන් අය දරවලට හුරුවෙමින් ඉන්න මේ කාලයේ දර ලිපේ බතක් උයාගන්නා හැටි පුරුදුවීම කාලෝචිතය.  මුලින්ම දර ලිපේ උයන්නට හුරු වෙන අයට මෙය ටිකක් අමාරු කාරියකි.  විශේෂයෙන්ම දර ලිපේ ගින්දර පාලනය කරගැනීම ටිකක් අමාරු වැඩකි.  අනික් කාරණය විවිධ හාල් වර්ග විවිධ උෂ්ණත්වයේ ඉදෙන ඒවාය.  වැරදුනොත් කර වෙයි, අඩිය අල්ලයි, බත බෙරි වෙයි ආදී නොයෙකුත් අකරතැබ්බය.   මුලින්ම හාල් සෝදා ලිපේ තබා ගිණි අවුළුවා ගත යුතුය.  ඉස්සර නම් හාල් හෝදලා මදිය.  ගරන්නත් ඕනෑය.  ඒ කාලේ අද මෙන් ගල් වැලි ඉවත්කළ හාල් තිබුණේ නැත.  ඒ නිසා බත උයන්නට පෙර හාල් ටික දෙසැරයක් වත් ගරා ගත යුතුය.  නැති නම් බත් කනවිට ගල් හැපේ.  ස්වාමිපුරුෂයා යාලුවනුත් එක්ක බත් කනවිට ගල් හැපුනොත් එය බිරිඳට හොඳ නැත.  ඒ නිසාම හාල් ගරාගෙන බත උයද්දී අපේ අම්මලා එහෙම බොහොම පරිස්සම් වූහ.  බත උයාගන්නා ක්‍රම දෙකක් ඇත.  එකක් නම් මුට්ටියට වැඩිපුර වතුර දමා හාල් ටික තැම්බුණු පසු වතුර පෙරා ඉවත් කිරීමයි.  ආදී කාලයේ සිටම බත් ඉව්වේ එසේය.  නමුත් දැන් බත පිසෙන්නට හරියන ප්‍රමාණයට වතුර තබා බත ඉදවති.  බොහෝ විට රයිස් කුකර් වලින් උයද්දී වතුර පෙරන්නට බැරි නිසා මේ ක්‍රමය යොදාගන්නට ඇත.  බතට වතුර තියන්නට කියන්නේ මැද ඇඟිල්ලේ පුරුක් දෙකක ගණනටය.  එහෙම උනත් ඊට වඩා වතුර තියන්නට පුළුවන් හාලුත් ඇත.  එය තමන්ගේ පළපුරුද්ද අනුව ගණන් බලා කල යුතුය.  අපේ අම්මා බත් උයද්දී සමහර විට බත් මුට්ටිය වහන නෑඹිලියට වතුර ටිකක් දමයි.  බත ඉදෙද්දී නෑඹිලියේ වතුරත් රත්වෙයි.  එහෙම කරන්නේ බතට වතුර මදි වුනොත්  නෑඹිලියේ ඇති වතුර ටික මුට්ටියට දමන්නටය.  වතුර මදිවෙලා ඇල්වතුර දැම්මොත් එහෙම එය ප්‍රශ්නයකි.  බත බෙරිවෙන්නට එහෙම නැත්නම් ඇට්ටකුණා වෙන්නට පුළුවන.

ඉතිං දැන් අපි දර ලිපේ හාල් මුට්ටිය තබා ඇත.  දැන් තියෙන්නේ ගින්දර දැමීමයි.  මුලින්ම මුට්ටියේ වතුර පැහෙන්නට ඇර ඊට පසු හාල් දමන්නටද පුළුවන් අතර කෙළින්ම හාලට වතුර දමා ලිපේ තබන්නටද හැකිය.  එය සිදුවෙන්නේ හාල අනුවය.  දැන් අපි මඤ්ඤොක්කා වැල් අල එහෙම තම්බද්දී නම් අල ටික අනිවාර්යයෙන්ම පැහෙන වතුරට දැමිය යුතුය.  ඉදිරියට එන්නේ වැල් අල ගලවන කාලයයි.  අප්‍රේල් මාසය වෙනතුරු වැල් අල ගලවා ගන්නට හැකිය.  වැල් අල ගලවා එවෙලේම කෑමට ගන්නට පුළුවන් උනත් එතනදී වැල් අලයේ නියම රස අපට ගන්නට ලැබෙන්නේ නැත.  අලය ගලවා සතියක් හෝ දෙකක් හුළං වදින්නට තබා තිබිය යුතුය.  ඒ අලයේ ඇති වතුර ගතිය අඩුවෙන්න්ටය.  කඩවල්වල එහෙම දැන් විකුණන්නට තියෙන වැල් අල අව්ව හුළං එහෙම වැදී නියම ගණනට වේලී තියෙන නිසා ඒවා තම්බන්නට කදිමය.  මමත් මෙදා සැරේ අල වැල් දහයක් දොළහක් හදා ඇත.  ඒවාද දැන් කොළ මැරී තියෙන නිසා ගලවන්නට කාලය හරිය.  ගිය සැරේ මම අවුරුදු දෙකක් පමණ ගතවූ වැල් අලයක් ගැලෙව්වෙමි.  ඒ අලය රාජ අල වල පාටට පොඩ්ඩක් අඩු පාටක් ඇති උතුරේ එහෙම බහුලව ආහාරයට ගන්නා අලයකි.  වැඩිය පොළොව යටට බහින්නේ නැතිව වට්ටක්කා ගෙඩියක හැඩයට උඩ පැතිරී යන අලය කෑමට කදිම රසක් ඇති අලයකි.  ගැලෙව්ව පසුව අලය මට තනියම උස්සගෙන එන්නට බැරි නිසා විල්බැරෝවක දමාගෙන ගෙදර ගෙනත් බලනවිට බර කිලෝ තිහක පමණ ප්‍රමාණයක් විය.  සාමාන්‍යයෙන් අලය වැඩිලා මදිය කියා හිතනවා නම් ගලවන්නේ නැතිව එහෙමම තබන්නට හැකිය.  එතකොට ඊළඟ අවුරුද්දේ තවත් ලොකුවී අලය හැදෙයි.  මගේ අල වැල් ටික නම් එක සැරේ නොගලවා ළඟදී එනවාය කියන සාගතයට මුහුණ දෙන්නට තබාගන්නට හිතාගෙන සිටිමි.

සාමාන්‍යයෙන් වැල් අල ලොකු වෙන්නේ වැල යන උස අනුවය කියාද කතාවක් ඇත.  වැල ඉහළ යන්නට යන්නට අලයේ ප්‍රමාණය වැඩිවේ.  ඒ නිසා වැල් අල හදන විට වැල උස ගහකට යවන්නට හැකිනම් හොඳ ප්‍රතිපලයක් ගන්නට හැකිය.  අපේ මිත්‍ර රැවුලාද උගේ වත්තේ අල වැල් ගොඩක් වවා ඇත.  මමත් අල වවන්නට ගුරු හරුකම්ද හිටවන්නට අලද ගත්තේ රැවුලාගෙනි.  අල වාරයට අපි අල කන්නට රැවුලාගේ ගෙදර යෑම සිරිතකි.  ඌත් අපටම කියා අල වැලක් දෙකක් වෙන්කර තියාගෙන සිටී.  අපි ගිය විට රැවුලා ලොකු අලයක් ගලවා සුද්ද කර කෑලි කපා තම්බන්නට පවුලට දෙයි.  අල හැලිය තැම්බෙන තුරු අපි පොඩ්ඩක් රහමෙර පානයේ ගැලී සිටින්නෙමු.  රැවුලාත් එකතු කරගෙන රහමෙර පානය කරනවාට රැවුලාගේ පවුල නම් පොඩ්ඩක්වත් කැමති නැත.  ඒ වුණාට අපි යනවිට ඇයගේ කුස්සියට සෑහෙන බඩු ප්‍රමාණයක් ගෙනියන නිසා ඇයව ෂේප් කර ගත හැක.  නැත්නම් මොකුත් නොබී අල විතරක් කන්නට වුනොත් ඒක මහා කරුමයකි.  කොහොම වුණත් අපි වාර්ෂිකව කරගෙන ගිය මේ සත්කාරය පහුගිය අවුරුදු දෙකේ ඇනහිටියේ කොරෝනා වසංගතය හේතුවෙනි.  ඒත් දැන් ගෙදරකට යන්නට තරම් තත්වය ෂේප් නිසා මම රැවුලාට කතා කළේ මීට දවස් කීපයකට පෙරය.  අපට කන්නට අල තියාගෙන ඉන්නවා යයි කියූ රැවුලා හැකි ඉක්මනින් එන්නැයි ආරාධනා කළේය.  නත්තල් පහුවෙලා එන්නෙමි කියා මම කීවෙමි.

මෙදා සැරේ නත්තල් සිරිය කොහොම වේදැයි නත්තලට පෙරදින වන අදත් කියන්නට බැරිය.  කොහොමත් අපේ පළාතේ නත්තල සමරන අය අඩුය.  නමුත් ටවුමේ කඩවල් නම් නත්තලට සුදානම් වී සිටින අයුරු මම දුටුවෙමි.  මෙදා නත්තල් කොහොමදැයි මම කතෝලික මිත්‍රයෙකුගෙන් නිකමට ඇසුවෙමි.  කංකුන් මිටිය රුපියල් හැත්තෑ පහක් වෙන රටේ කොහොම නත්තල් කන්නදැයි ඔහු පෙරළා මගෙන් ඇසුවේය.

සීත සුළං රැළි මැදින් මේ ගෙවී යන්නේ අවුරුද්දේ අවසන් දින කීපයයි.  අලුත් අවුරුද්ද ලබන්නට පෙර තවත් පෝස්ටුවක් ලියැවේ යයි සිතන්නට බැරිය.  මේ අවුරුද්දේ පෝස්ටු ලියවුණේ කීපයකි.  එනම් මේ පෝස්ටුවත් සමග පහකි.  නමුත් පහුගිය අවුරුද්දට වඩා වර්ධනයක් ඇත.  පහුගිය අවුරුද්දේ ලීවේ පෝස්ටු හතරකි.  එළැඹෙන 2022 වර්ෂයට කෙසේ ලියවේදැයි අපි බලමු.  ලබන්නාවු අලුත් අවුරුද්ද මගේ පාඨකයන් වන ඔබ සියළු දෙනාටත් ඔබේ පවුලේ අයටත් දුකෙන් තොර සැපෙන් බර වසංගත රෝග, සාගත ආදියෙන් විනිර්මුක්තවූ සුවබර, පින්බර, කිරි උතුරන්නාවූ සුඛිත මුදිත අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපී සමග හැලපැට්ටාය෴

Friday, October 2, 2020

ඩැනිස්ගේ ලණුව, සේනගේ සංවේගය,නිලමේගේ වගතුග, කූපන් පොත් සහ කරෝලිස් අයියගේ සමුපකාරේ කූපන් හාල්.


අද වනවිට හැලපකඩේ බ්ලොගය වල් වැදී මකුළු දැල් බැඳී නන්නත්තාරවී ඇත්තේ මාස ගණනාවකින් මොකුත්ම ලියාගන්නට නොහැකිවීම නිසාය.  එයට මුලිකම හේතුව වුයේ තාක්ෂණික දෝෂයකි.  තාක්ෂණික දෝෂය නිවැරදි කරගත් පසුව වුවද මොකුත් නොලිව්වේ කම්මැලිකම නිසාය.  ලිවීම අතපසුවූ කාලයේ මට කතාකරමින්ද ඊ ලිපි එවමින්ද නොලියන්නේ මන්ද යැයි ඇසු සියළුම පාඨකයින්ට මගේ ස්තූතිය පිරිනමමි.

ලිවීමට කම්මැලිකම ඇතිවන්නට තවත් වැදගත් හේතුවක් වුණේ බ්ලොගය කියවන කමෙන්ට් කරන අයගේ කැපී පෙනෙන අඩුවීමය.  මහන්සි වී පෝස්ටුවක් ලියු විට ප්‍රමාණවත් පාඨක පිරිසක් එය නොකියවන්නේ නම් ලිවීමට වඩා නොලියා සිටීම යෙහෙකි යැයි සිතේ.  කෙසේ වුවද සමස්තයක් වශයෙන් ගත්කල බ්ලොග් ලිවීම සහ කියවීම බොහෝ දුරට අඩුවී ඇති බව පිළිගත යුතු සත්‍යයකි.  බ්ලොග් ලියනවාට කියවනවාට වඩා බුකියේ සැරිසැරීම වඩා ආතල් බව බ්ලොග් කරුවන්ද සිතනවා විය යුතුය.

මා විසින් ලියන්නට පුරන ලද අවසන් නොවූ කතා දෙකක් ඇත.  එනම් සේනගේ කතාව සහ ත්‍රිකෝණය කතාවයි.  කෙසේ හෝ එම කතා ද්විත්වයද අවසන් කළ යුතුය.  බ්ලොගයේ මෙතෙක් ලියු පෝස්ටු ප්‍රමාණය 296 ක් වන අතර 2019 අවසන් වනවිට පෝස්ටු 300 ක් සම්පූර්ණ කරන්නට සිතා සිටියද එය කළ නොහැකි විය.  කෙසේ වුවද අදත් මා ලියු සේනගේ කතාව කියවමු.

සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියේ ගඩොල් කපන්නට ගොස් සති තුන් හතරක් ගතවිය.  අපිත් සුපුරුදු ලෙස ඩැනිස්ගේ කාමරයේ ඔහුටද වාතයක් වෙමින් රස්තියාදු ගැසීම කරගෙන ගියෙමු.  ඉඳහිට කට්ටිය සේනයා මතක් කළේ උගෙන් කිසිම තොරතුරක් නොමැතිවීම නිසාය.  විස්තර අසා ලියුමක් ලියන්නටද බැරි ඉන්නා තැනක ලිපිනයක් නොදන්නා නිසාය.  ඔය කාලයේ ආරිගෙ අයියා වන නිළමේ අපේ ගමට එහා ගමේ අතුරක් මදින්නට පටන් ගත්තේ ඔහුට අයත් ඉඩමකය.  මදින්නට පටන් ගෙන ටික දවසකින්ම නිලමේගේ රා අතුර ප්‍රදේශවාසී ජනතාව අතර බෙහෙවින් ජනප්‍රිය තැනක් බවට පත්විය.  නිළමේද ගෙදර එන එක අතහැර දමා ඒ ඉඩමේම වාඩියක් හදාගෙන පදිංචි විය.  වැඩ නැති වෙලාවට ඉඩම අයිනේ තිබුණු කුඹුර අස්වැද්දු නිළමේ ගොඩ හරියේ එළවළු වගාවක් දැම්මේය.

අතුරෙන් බාන රා ටික ගහ යටදීම බොන්නට ගමේ අප්පුහාමිලා සැදී පැහැදී සිටි නිසා නිෂ්පාදනය විකුණා ගැනීමේ කිසිදු අපහසුවක් නොවීය.  පොඩි අවුලක් තිබුණේ අපේ ගමේ කොල්ලන්ගෙන් හෙවත් අපෙනි.  සතියකට දවසක් දෙකක් අපේ කට්ටිය අතුරට ගිහිං රා කල සියල්ලම හිස්කර පැමිණීම ඒ අවුලය.  සල්ලි දෙන්නේ අතේ තිබුණොත් විතරය.  නැත්නම් රා සියල්ලම බොන්නේ පිනටය.  රා නැතත් නිලමේගේ වාඩියට යෑමම සිතට සතුට දනවන කාරණයකි.  නිලට නිලේ ලස්සනට හැදී ඇති ගොයම පීරාගෙන කුඹුරු යායෙන් හමා එන මඳ සුළඟ,  සරුවට පීදී ගෙඩි, කරල් බරව ඇති මෑ බණ්ඩක්කා වම්බටු පිරි වගාව දකින විටත් සිතට සොම්නස දනවයි.  නිලමේගේ වාඩියේ ලී මැස්සට වී කයියක් ගහමින් ඉන්නා අපට බොන්නට රා කලයක් දෙකක් නිලමේගෙන් ලැබෙයි.  රා බිස්නස් එක නිසා අතමිට සරුවී ඇති නිළමේට කලයක් දෙකක් පිනට දෙන එක මහ කජ්ජක් නොවේ. 

නිළමේගේ වෙලේ ගොයම් කපනදා හරියටම මහ මුදලිගේ බල්ලා මැරුණු දා වගේමය.  ඒ ගමේත් අපේ ගමේත් අයගෙන් කුඹුරු යාය පිරී යයි.  ඉන්න සෙනගගේ හැටියට වැඩට ගියත් අපට කරන්නට වැඩක් නැත.  ඒ නිසා නිළමේ කුඹුරට තේ කහට, බුලත්විටද  උදේ දවල් ඇඹුල ද අරගෙන යෑම අපට පවරයි.  එදාට බොන්නට දෙන්නේද රා නොව නිළමේ විසින් රා වලින් දේශීයව නිෂ්පාදනය කරන ලද සුමිහිරි පළතුරු පානයකි.  ගමේ අය කුඹුරු වැඩට වහ වැටෙන්නේද ඔය කියන පානයේ රස දන්නා නිසාමය.  සතුටු සිනහවෙන් කුඹුරු යාය ඉපිලී යද්දී නිළමේ රජෙකු මෙන් නියර උඩ සිට සිනහවෙයි.

මීට පසු වාඩියට පැමිණි අය ඉල්ලා සිටියේ රා නොව නිලමේගේ නව නිෂ්පාදනයයි.  නිෂ්පාදනය කුඹුරු වැඩට පමණක් කළ බව කීවත් ඔවුන්ගේ පෙලඹවීමෙහි අඩුවක් නොවීය.  ඒ ඉල්ලුම යාචක ඉල්ලුමක් නොව ආර්ථික විද්‍යාත්මක ඉල්ලුමක් බව නිළමේද වටහාගත්තේය.  ඉන්පසුව මදින ලද රා වලින් වැඩි හරිය පෙරන්නට යොදාගත් නිළමේ රා වලට කලයක් දෙකක් පමණක් වික්කේය.  ටික දවසකින්ම නිළමේගේ අතට සල්ලි ගලන්නට විය.  අපි රා බොන්නට එන දාට නිළමේ රා කලයට ස්ප්‍රිට් බෝතලයක් කළවම් කරයි.  වෙනදාට රා කල දෙකතුනක් බොන අය එදාට එක කලයෙන්ම කට් වෙයි.  තමන්ගේ ගමේ කොල්ලො සෙට් එක නිතරම තම අඩවියේ ගැවසීම නිළමේගේ හිතටත් හයියකි.  දවස් තුන හතරකින් ඒ පැත්තේ නොගියොත් නිළමේ පණිවිඩ එවා අපව ගෙන්වා ගනී.  ඒ ගමේ කොල්ලන්ටත් අප්පුහාමිලාටත් පෙනෙන්නටය.  ඉඳහිට හෝ මොකුත් බොන්නට අතේ සතේ නැතිව සිටි අපට නිළමේ ගේ මෙම ත්‍යාගශීලීබව බොහෝ සැනසුම් ගෙන දෙන්නක් විය. 
මෙහෙම කල දවස ගෙවෙද්දී දවසක් මට ලැබුණු ලිපියකි.  ලිපිය ලැබුණේ මගේ නමට සහ පොඩි මහින්දගේ ගෙදර ලිපිනයටය.  එය අමුත්තක් නොවන අතර අපේ කොල්ලන් සියල්ලන්ටම පාහේ ලියුම් එන්නේ ඒ ආකාරයටය.  ලියුම් බෙදන්නාගෙන් ලියුම අරගත් ඩැනිස් ලියුම කාමරයේ තබා තිබු අතර මම ගිය වෙලාවේ ලියුම මට දුන්නේය.  මමත් ලියුම එතනදීම කඩා කියවුයෙමි.  ලියුම සේනගෙනි, ඔහුගේ විස්තර ලියා අවසානයේ රොටියා ගැනද අසා තිබුණි.  වැදගත්ම කාරණය වුයේ සේනයා අසා තිබුණේ "රොටියාගේ අලුත් පෙම්වතා කවුද?" යන්නයි.  මම ලිපිය කියවුයේ ඩැනිස්ටද ඇහෙන්නටය.  සිනාවෙමින් අසා සිටි ඩැනිස්,

"මූට අපි හොඳ වැඩක් කරමු!" යි කීවේය.

"ඒ කිව්වෙ?

"උඹ ලියපං දැන් රොටියා මගෙත් එක්ක යාළුවෙලා කියල!"

"කමක් නැද්ද?"

"උඹ ලියල දාපංකෝ මොකද වෙන්නෙ බලන්න?"

මමත් ඩැනිස් කී පිළිවෙලටම ලියුමක් ලියා සේනයාට තැපැල් කළෙමි.  ටික දිනකින් අපි දෙදෙනාටම ඔය ලියුම් පලහිලව්ව අමතකව ගියේය.  සතියක් ගතවන්නට ඇත.  දවසක් උදේ නින්දෙන් නැගිට නිදිගැට කඩමින් එළියට එනවිට සේනයා අපේ මිදුලේය.

"මොකද සේන මේ පාන්දර?"

"ඊයෙ රෑ ආවේ,  උදේම ඔයා බලන්න ආවා. යමුද පොඩ්ඩක් එලියට?"

"මම තව මුණ හෝදලත් නෑ, උදේට කන්නත් ඕනෑ.  සේන යන්න මම ටිකකින් එන්නම්."

සේන පිටත්වී ගියේය.  ඊට පැය බාගයකට පමණ පසු සුදානම් වී මම යද්දී සේනයා පොඩි මහින්දලාගේ ගෙයි කොට බිත්තිය උඩ ඉඳගෙන කකුල් හොල්ල හොල්ලා සිගරැට් එකක්ද අදිමින්   සිටියේය.  මාව දැකපු ගමන් සිගරැට් පැකට් එක මට දික්කළේය.  මමත් එකක් අරගෙන දල්වාගතිමි.  කොච්චර ලකේට හිටියත් සේනයා පසුවෙන්නේ ලොකු හිතේ අවුලකින් බව බැලු බැල්මටම පෙනීයයි.  ඩැනිස් රෑ වැඩමුරය අවසන් කර ඇවිත් කාමරයේ හොඳටම නිදිය.  ආයෙ ඇහැරෙන්නේ දවල් කෑමටය.  සේනයාට හදිස්සිය කොච්චරද කිව්වොත් ඩැනිස්ව ඇහැරවමුද කියා මගෙන් අසයි.

"පිස්සුද බං? ඔය මනුස්සයගෙන් බැණුම් අහන්න ඕනැද? පොර නැගිටිනකම් අපි රවුමක් ගහල එමු."

අපි දෙන්නා කෙළින්ම ගියේ නිළමේගේ පොට් එකටය.  ඒ යනවිටත් නිළමේ අතුරෙන් බැස නැත.  ලී මැස්ස උඩ හිඳගත් අපි කයියක් ගහමින් ඉන්නවිට, කොටම කොට කොට කලිසමක් ඇඳගෙන මල් කපන මන්න ඇතුළු ආයුධ සෙට් එක තියෙන "උගේ" ඉනේ රඳවාගත් නිළමේ ලොකු මුට්ටියකුත් එල්ලාගෙන ගෙට ගොඩවුනේය.

"මොකද එළිවෙනකොටම මේ පැත්තෙ?"  නිළමේ අසයි.

"නිලමේ අයියව බලල යන්න කියල ආවා!" 

"ආ..හොඳයි හොඳයි, සේන කවද්ද ගෙදර ආවෙ? " නිළමේ මුට්ටියේ ඇති රා ටික මටුල්ලකින් කළයකට පෙරයි.

"ඊයෙ රෑ, පොඩි නිමාඩුවක් අරන් ආවා."

"එහෙනං දෙන්නත් එක්ක තව ටිකක් ඔහොමම ඉන්නවද, මට තව ගස් දෙකතුනක් තියෙනවා කපල එනකල්?" 

නිළමේ ආපහු එළියට බැස්සේය.  උදේ පාන්දර කොට කලිසම ඇඳගන්නා නිළමේ කොට කලිසම ගලවා සරමක් ඇඳගන්නේ රෑ නින්දට යනවිටය.  ඔය විදියටම ඒ කාලේ අපේ මහප්පෙකුත් හිටියේය.  මහප්පා උදේට ඇඳගන්නා අමුඩය ගලවා සරමක් අඳින්නේ මහ රෑටය.  කුඹුරට යන්නට,හරක් බඳින්න යන්නට,කඩේ යන්නට ආදී වශයෙන් දවල් දවසේ ගම මුලුක්කාදියේ ඇවිදින්නේ ඔය අමුඩය පිටින්ය.  අද කාලෙ වගේ නොව ඒ කාලයේ ගැමියන් දවාලේ අමුඩයෙන් සැරසී ගමන් කිරීම කාහටත් අරුමයක් නොවීය.  මහප්පාගේ නම ජයලත් රාළලාගේ පුංචි බණ්ඩාරය.  එක වතාවක් හාල් පොත් ලියද්දී එතෙක් ලියැවුණු ජේ.ආර් පුංචි බණ්ඩාර කියන නම වෙනුවට අලුත් ග්‍රාම සේවක හාල් පොතේ අමු හිංගලෙන්ම ලියා තිබුණේ ජ.රා පුංචි බණ්ඩාර කියලාය.  මහප්පාගේ පමණක් නොව ගෙදර අක්කලා අයියලාගේද නම් ජ.රා ලෙස වෙනස් කර තිබුණි.  හාල් පොත් බැලු මහප්පා "මොකා මේවා ලියනවද මං දන්නෑ" කියමින් සිනාසුනේය.

ඒ කාලේ හාල් පොත අද ජාතික හැඳුනුම්පත වගේය.  හාල් පොතෙන් නොයෙකුත් ප්‍රයෝජන ගත්තා මෙන්ම නැති බැරි අමාරුවකදී හාල් පොත් උකස් තබා මුදල් ලබාගන්නා අයද එමට සිටියෝය.  හාල් පොතේ නිල නාමය හාල් සලාක පත්‍රය විය.  කොටස් දෙකකින් යුතු හාල් පොතේ මුල් කොටස රෙදි කූපන් වලටද දෙවෙනි කොටස හාල් කූපන් වලටද වෙන්වී තිබුණි.  කූපනයකට මුලදී හාල් සේරු දෙක බැගින් ලැබුණු අතර පසුව එය එක් සේරුවකට කපා දමන ලද්දේ  65 ඩඩ්ලි සේනානායක ආණ්ඩුවේ මුදල් ඇමතිවරයාව සිටි ජේ.ආර් ජයවර්ධන විසිනි.  ඔහුගේ එම ක්‍රියාව 70 යු.ඇන්. පී ආණ්ඩුවේ පරාජයට හේතුවූ තීරණාත්මක සාධකයක් විය.  70 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තුන් හවුලේ ප්‍රධානතම ඡන්ද පොරොන්දුව වුණේ කපා දැමු හාල් සේරුව නැවත ලබා දෙන බවය.  "අපෙ අම්මා ළඟ එනවා - හාල් සේරු දෙක දෙනවා" යනුවෙන් උදාන පාඨයක්ද තුන් හවුල් ඡන්ද වේදිකාවේ නිරන්තරයෙන් ගැයුණි.  හාල් ගේන්නේ කොහෙන්දැයි යු.ඇන්. පී යෙන් නගනලද ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් එක් ඡන්ද රැළියකදී සිරිමා බණ්ඩාරනායක මැතිණිය කියා සිටියේ හඳෙන් හරි හාල් ගෙනැත් දෙන බවය.  හඳෙන් හාල් දෙන බව කියා බලයට ආවත් තමන් දුන් පොරොන්දුව ඉටු කිරීමට මැතිනියටද නොහැකි විය.

පොතට හාල් සේරු දෙක දුන් කාලයේ හාල් පොත් ටික පන් මල්ලකට දමා ගෝනියක් ද අතට දී සමුපකාරේ හෙවත් අපේ අම්මලා කියූ පරිදි සමාගම් කඩේට හාල් ගේන්නට අම්මා මාව පිටත් කර හරී.  මම සමුපකාරෙට යන්නේ සිරිල් මාමලාගේ ගෙදර හිටපු මගේ යාළුවා වන මහතුන්ද කැටුවය.  කඩේ අපේ ගෙදර සිට හැතැප්ම දෙකක් පමණ දුර නිසා ඒ දුර හාල් බර මට තනියම කරගහගෙන එන්නට නොහැකි බැවින් මම මහතුන්ද අඬගහගෙන හාල් ගේන්නට යමි.  ඒ වෙනුවට මහතුන් හාල් ගේන්නට යන දවසට මම ඌත් එක්ක උදව්වට යමි.  අපේ සමුපකාරේ කළමනාකරු හෙවත් මැනේජර් හැටියට මට මතක ඇතිදා පටන් වැඩකලේ කරෝලිස් අයියාය.
කඩේ ගෝල වැඩේටත් කොල්ලෙක් සිටි අතර දැන් මට ඔහුගේ නම අමතකය.  

හාල් පොත් ටික අතට ගන්නා කරෝලිස් අයියා පොතකින් කුපනය බැගින් කතුරෙන් සීරුවට කපා ඉවත්කරගෙන කූපන් ටික ඔහුගේ මේස ලාච්චුවේ ඇති පෙට්ටියකට දමයි.  ඒ පෙට්ටිය පිරී ඇත්තේ කූපන් වලිනි.  ඉන්පසුව ඒ කපාගත් කූපන් ප්‍රමාණයට ලැබෙන හාල්වලට බිල ලියා අතට දෙයි.  හාල් වලට අමතරව තවත් දේවල් ගන්නට ඇත්නම් ඒ අවස්ථාවේම කියා බිල ලියවාගත යුතුය.  අපි ගන්නේ අම්මාගෙන් ඉල්ලා ගත් සත දහයට මාරි විස්කෝතුය.  ඒ අපි දෙන්නාට ගෙදර එනගමන් කකා එන්නටය.  බිල් ලියමින් ඉන්නා කරෝලිස් අයියා එක්වරම පුටුවෙන් නැගිට ගොස් කටේ ඇති බුලත්හපය පෘෂ් ගා ඉවතට විසිකර නැවත පැමිණෙයි.  බුලත් හපය කිව්වාට හපමින් සිටි බුලත් කොලයද පුවක් කෑල්ලද දුම්කොළ කෑල්ලද මුලින් කටේ දමාගත් ආකාරයටම වීසි කරන විටද තිබෙනු දැකිය හැකිය.  එහෙම වෙන්නේ කරෝලිස් අයියාගේ කටේ ඉස්සරහ දතක් ඇරෙන්නට අනිත් දත් සියල්ලම හැලී ගොස් ඇති නිසාය.

බිල අතට ගන්නා අපි ඒ බිල කඩේ අනික් කොටසේ ඉන්න බඩු කිරන ගෝලයාට දුන්න විට ඔහු අර විශාල තරාදියට පඩි දමා හාල් දමා කිරා අපි ගෙනගොස් ඇති ගෝනියට ඇල කර දමයි.  එතන ඇත්තේ අමුතුම සුවඳකි.  හාල්ද භුමිතෙල්ද කරෝලද සුවඳ එකතුවී එන ඒ අපූරු සුවඳ අදද මට හිතින් ආඝ්‍රාණය කළ හැක.  හාල් හැටියට නිතරම පාහේ සමුපකාරයෙන් ලැබෙන්නේ මිල්චාඩ්, රතුම රතු රතු කැකුළු හාල් සහ ඉටිහාල් යනුවෙන් අපේ අම්මලා හැඳින්වූ සුදු හාල් වර්ගයකි.  සුදු කැකුළු හාල් ලැබුණේ කලාතුරකිනි.  මේ හාල් වලින් අපි වඩාත්ම කන්නට කැමති වුණේ මිල්චාඩ් වලින් පිසූ බතටය.  දිග ඇටයකින් යුත් මිල්චාඩ් හාල් පිසෙන විට අමුතුම සුගන්ධයක් හමා එයි.  හොඳ පොල් සම්බෝලයකුත් තනා ගත් විට ඒත් එක්ක ලොකු බත් පිඟානක් කිසි අපහසුවකින් තොරව කන්නට පුළුවන.  අවුරුද්ද කන්නට ඇතිවෙන්නට වී ටික කුඹුරු වලින් අපට ලැබුණත් සමුපකාරයේ නොමිලේ දෙන හාල් ටික ගේන්නේ කැවිලි වලට පිටි කොටාගන්නටත් වැහි කාලයට වී තම්බාගන්නට බැරිවූ විට ප්‍රයෝජනයට ගන්නටත්ය.

සමුපකාරෙන් ගත්ත හාල් ගෝනියත් කරතියාගෙන මහතුන් එක්ක කැලෑ වැදෙමි.  කැලෑ වැදීම කියන්නේ අපි ගෙදර එන ආකාරයයි.  ආපහු ගෙදර එන්නට පාරවල් තුනක් ඇත.  ඔය පාරවල් තුනෙන් වැඩිපුරම පාවිච්චි වෙන්නේ අලවත්ත පාරත් ගම මැද පාරත්ය.  නමුත් අපි දෙන්නා ගෙදර එන්නේ වෙනම පාරකිනි.  පාර වන්නේ  සමුපකාරය ඉදිරියෙන්ම ඇරඹි අපේ ගම කිට්ටුවටම දිවයන නාරංවත්ත පාරයි.  නාරංවත්ත දෙවෙනි ලෝක යුද්ධය කාලයේ මිත්‍ර පාක්ෂික හමුදාවල ලංකාවේ තිබූ විශාල කඳවුරකි. යුද්ධය අවසානයේ විදේශ හමුදාවන් ලංකාවෙන් ඉවත්වූ පසු කඳවුර පාළුවට ගියේය.  නාරන්වත්තේ තිබු හොඳින් තාර දැමු පාරවල්, කැලෑ වැහුණු ජල පොකුණු ආදිය බලන්නට අපි කැලේ රිංගා ආපහු එන්නේ කන්නට මොනවා හරි ගඩා ගෙඩිත් අරගෙනය.  මහතුන් එක්ක මම ආපහු ගෙදර ආවේ ඔන්න ඔය කියන නාරංවත්තේ තිබු තාර දැමු නමුත් දෙපස වල් වැහුණු පාරදිගේය෴ 

Tuesday, August 13, 2019

ගින්නෙන් උපන් සීතල, 82 ජනාධිපතිවරණය , 83 ජනමත විචාරණය, දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය, අපේ දේශපාලනයේ නිමාව සහ උපයාගේ අවුල..

                                         Photo Credit: Google Images.
ගින්නෙන් උපන් සීතල...1

අලුත් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පවත්වන පළමුවන ජනාධිපතිවරණය දැන් ළඟ ලඟමය.  ජ.වි.පෙ ක්‍රියාකාරිකයින් මීමැස්සන් සේ කාර්ය බහුලවී සිටිති.  රැස්වීම් හැම තැනම පැවැත්වේ.  මහා ජනතා රැළිද කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටින් ද හන්දියක් ගානේ පැවැත්වෙයි.  සුනිල් සහෝදරයා මේ හැම තැනටම දුව පනිමින් සංවිධාන කටයුතුවලට උරදෙයි.  ලොකු රැස්වීම් අමතන්නේ ජ.වි.පෙ නායක විජේවීර, උප නායක උපතිස්ස ගමනායක, ලයනල් බෝපගේ, මහින්ද පතිරණ, වාස් තිලකරත්න ඇතුළු පක්ෂයේ පළමු පෙළ නායකයින් වන අතර කුඩා පොකට් මීටින් වල බොහෝවිට ප්‍රධාන කථිකයා වන්නේ වාස් තිලකරත්න හෝ මහින්ද පතිරණය.  ඔවුන්ට අමතරව ශාන්ත බණ්ඩාර, ගුණරත්න වනසිංහ ඇතුළු දෙවෙනි පෙළ නායකයින් පොකට් මීටින්වල කතාකරති.  පසුකලෙක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා බවට පත්වූ සෝමවංශ අමරසිංහ හෙවත් සිරි අයියා ලොකු හෝ කුඩා රැස්වීම් කිසිවක කතා කරනවා මා දැක නැත.  බලන්නට ළඟ පාතක ඇති රැස්වීම් සියල්ලම නැරඹීම අපි පුරුද්දක් ලෙස කරගෙන ගියෙමු.  ගම්පහ දිස්ත්‍රික්කයේ හොඳම රැස්වීම් නරඹන්නන් සිටින්නේ වත්තල ආසනයේ බව ඔවුන් කළ සමීක්ෂණයකින් හෙළිවූ බව දවසක් සුනිල් සහෝදරයා අපට කීවේ සිනාසෙමිනි.  ශාන්ත බණ්ඩාර රැස්වීම් වල කතාකරනවා කොතෙකුත් දැක ඇති නමුත් මට ඔහුව මුහුණට මුණ ගැසී නොතිබුණි.  දවසක් බටුවත්තේ තිබුණු කුඩා රැස්වීමක් බලන්නට දුම්රියේ එද්දී අප සිටි මැදිරියේම ශාන්ත බණ්ඩාරද සිටියේය.  ඔහුත් බටුවත්තේ රැස්වීමේ කතාකරන්නට යමින් සිටියේය.  පැහැපත් මිටි තරබාරු සිරුරක් හිමි ශාන්ත බණ්ඩාර සමග මම එදා දුම්රියේදී කතා කළෙමි.

දවසක් සුනිල් සහෝදරයා අපට කීවේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලය පිහිටුවීම වත්තල පුරහලේදී  විජේවීර සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් ළඟදීම සිදු කරන බවත් එය සංවිධානය කිරීම වත්තල දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරීන්ට පැවරී ඇති බැවින් ජනාධිපතිවරණයටද සහයෝගයක් ලෙස එය ඉහළින් පැවැත්වීමට පක්ෂය තීරණය කර ඇති නිසා වෙනත් සියළු වැඩ කටයුතු පසෙක ලා මෙතැන් සිට ඒ සඳහා කටයුතු කළ යුතු බවය.  වියදම් සඳහා මුදල් පක්ෂයෙන් නොලැබෙන බැවින් මුදල් සොයාගැනීමට කැට ව්‍යාපාරයක් සංවිධානය කිරීමට තීරණය කර ඇති බවද ඔහු කීවේය.  කැට ව්‍යාපාරය ඊළඟ සෙනසුරාදාට පැවැත්වෙන නිසා ආසනයේ සියලුම සාමාජිකයින් සහ හිතවතුන් එයට සම්බන්ධ කරවිය යුතු බවටද ඔහු නියම කළේය.  දෙනෝදාහක් සෙනග යනෙන මහ පාරේ හිඟන්නන් සේ කැට හෙල්ලීම කෙසේ කළ හැකිදැයි අපිට ප්‍රශ්නයක් විය.  දන්නා හඳුනන අයද, රෝහලේ වැඩ කරන අයද අනන්තවත් ඔය කොළඹ මීගමු පාරේ යන එන බැවින් අපි කැට හොල්ලමින් සිටිනවා ඔවුන්ට සිනාවට කාරණයක් විය හැකිය.  අපේ ප්‍රශ්නය ගැන අපටද පෙර සුනිල් සහෝදරයා සිතා ඇත.  ඔහු අපිට කීවේ රෝහල ළඟ පාතක නොව දුරින් ඇති හැඳල හන්දිය හරියේ කැට සොලවන ලෙසටයි.  අපි නියමිත දිනයේ උදේම හැඳල හන්දියට ගියේ සුනිල් සහෝදරයාත් සමගය.  අපි කණ්ඩායම මුළින්ම හෝටලයකට ගොස් උදේට කෑවෙමු.  පූර්ණකාලිකයන් වූ සුනිල් සහෝදරයලා ළඟ මුදල් නැති නිසා සියළු දෙනාගේම බිල අපි මුදල් එකතුකර ගෙව්වෙමු.  ඊට පසු සුනිල් සහෝදරයා අප එකිනෙකා කැට සෙලවිය යුතු පාරවල් පෙන්නා යන්නට ගියේය.  කැට ව්‍යාපාරය අප සිතූ තරමට අපහසු කාරියක් නොවූ අතර කැටවලට අප බලාපොරොත්තු වූවාටත් වඩා වැඩියෙන් මුදල් වැටෙන්නට විය.  කෑ ගසමින් කවි කීවොත් මුදල් වැටෙනවා වැඩිය.  එකතු කිරීමට නියමිත මුදලක් නොවූ අතර එකිනෙකා පරයා වැඩිපුර මුදල් එකතු කරගන්නට උත්සාහයක්ද නොවීය.  කෙසේ හෝ එදා හවස කැට ව්‍යාපාරය නතර කරනවිට සියලුම දෙනාගේ කැට පිරී තිබුණු බව මට මතකය.

පසුවදා සුනිල් සහෝදරයා මහත් සතුටින් සිටියේ කැට ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වූවාටත් වඩා මුදලක් ලැබී ඇති බැවින් කිසිම අපහසුවකින් තොරව ආසන බල මණ්ඩලය පිහිටුවීමේ වැඩට වියදම් කළ හැකි නිසාය.  හඳුනන අය මුණ ගැසෙතිය කියා බයෙන් සිටියත් එසේ නොවූ නිසා අපිත් සිටියේ සතුටිනි.  ඊට පසු සතියේ ඉරිදාවක ජ.වි.පෙ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන බල මණ්ඩලය පැවැත්වුණේ වත්තල පුරහලේදීය.  එදා අපට එම රැස්වීම සාර්ථක කරගැනීමට බොහෝ වැඩ කටයුතු පැවරී තිබු හෙයින් කණ්ඩායමම බෙහෙවින් කාර්ය බහුලවී සිටියෙමු.  මුලික වැඩ කටයුතු අවසන් වූ පසුව අපිත් නගර ශාලාව ඇතුළට ගොස් රැස්වීම බලන්නට වූයෙමු.  යෝජනා කිරීම්, ස්ථිර කිරීම් ආදී කටයුතු කෙරුණේ කලින් සාදාගත් න්‍යාය පත්‍රයකට අනුව බව මට පෙනීගිය කරුණක් විය.  නමක් යෝජනා වූ පසු එය ස්ථිර කළා මිසක වෙනත් යෝජනාවන් කිසිවක් නොවීය.  මම සිතුවේම මෙය කලින් පුහුණු කළ නාට්‍යයක් වේදිකාවේ රඟ දක්වනවා මිස කිසිම ස්වභාවික ගතියක් නොවූ රැස්වීමක් බවමය.  සාමාන්‍යයෙන් කොමියුනිස්ට් වරුන්ගේ රැස්වීම් කලින් යොදාගත් පිටපතකට අනුව කිසිම විරෝධයක් නොමැතිව ගල් රෝලකින් තලන්නාසේ කරගෙන යන බව මම පසුව දැනගතිමි.

නිලධාරී මණ්ඩලය පත්වීමෙන් පසු ඉදිරිපෙළ නායකයන්ගේ කතා දෙකකින් අනතුරුව නායක විජේවීර සමුළුව ඇමතීම සඳහා නැගී සිටියේය.  නගර ශාලාව පිරී උතුරන්නට සිටි සාමාජිකයින් සියල්ල මීයට පිම්බාක් මෙන් නිහඬව ඔහුගේ කතාව අසමින් සිටිනතුර ශාලාවේ පසුපසට විජේවීරගේ කතාව පැහැදිලිව නොඇසෙන සුළු තත්ත්වයක් හටගත්තේ ශබ්ද විකාශන පද්ධතියේ අඩුපාඩුවක් නිසා විය හැකිය.  අපහසුවට පත් පක්ෂ සාමාජිකයින් අතර සිටි එක තරුණයෙක් නැගී සිටියේය.

"ඇහෙන්නෙ නෑ සහෝදරයා!" ඔහු ශබ්ද නගා කීවේය.

"වාඩිවෙන්න!" විජේවීර ගුගුළේය. "ඔහොම කෑගහනකොට ඇහෙන ටික ඇහෙන්නෙත් නෑ!"  භීතියට සහ අපහසුතාවට පත් ඒ තරුණයා සැණෙකින් නොපෙනී ගියාසේ විය.

සමුළුව අවසානයේ පැමිණ සිටි පක්ෂයේ නායකයින්ට තේ පැන් සංග්‍රහයක් විය.  එය සුදානම් කර තිබුණේ සුනිල් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් බැවින් අපි කණ්ඩායම එම සංග්‍රහය භාරව සිටියෙමු.  සමුළුව සාර්ථකව අවසන් වීම සහ පැමිණ සිටි විශාල පිරිස ගැන තෘප්තියෙන් සිටි විජේවීර තේ බොන්නට ආවේ සිනහසෙමින් සැහැල්ලු සිතකිනි.  ඔහු ළඟ සිටි අය සමග සුහද කතාබහක යෙදෙමින් සංග්‍රහය භුක්ති වින්දේය.  සංග්‍රහයේ මුලිකත්වය ගෙන කටයුතු කළ සුනිල් සහෝදරයා දෙස ඔහු පරීක්ෂාවෙන් බලා සිට විස්තර ඇසුවේ ශාන්ත බණ්ඩාරගෙනි.  ශාන්ත බණ්ඩාර සුනිල් සහෝදරයාවද ඔහුට සහාය වූ අපවද වුජෙවීර ලඟට කැඳවා හඳුන්වා දුන්නේය.  සුනිල් සහෝදරයා බොහෝ ගරුසරු ඇතිව විජේවීර ට කීවේ අප සියල්ලම රැකියා කරන අය බවත් මෑතකදී සිට පක්ෂයට සම්බන්ධව වැඩ කරන බවත්ය.  ඉන්පසුව විජේවීර අප එකිනෙකා ගෙන් කරන රැකියා ඇතුළු විස්තර අසා සිටියේය.

"ඔය අයට පක්ෂෙ වෘත්තීය සමිති මට්ටමෙන් සම්බන්ධ වෙලා ගොඩක් වැඩ කරන්න ඇහැකි නේද?"  කියමින් ඔහු සමුගෙන ගියේය.  ඒ මා විජේවීර සමග කතාකල පළමු සහ අවසාන අවස්ථාවයි.   ඊළඟ අවුරුද්දේ විජේවීරට යටිබිම්ගත වීමට සිදුවූ හෙයින් ඊට පසු විජේවීරව කාහටත් දැකගැනීමට හැකිවුයේ නැත.  එසේ යටිබිම්ගතවූ ඔහු 1989 දී ඝාතනය කෙරෙන තෙක් එළි පහළියට පැමිණියේ නැත.

අඩි විස්ස පාරේ ජේ.වී.පී කාරයින්ද ජනාධිපතිවරණ පොකට් මීටිමක් තිබ්බේ මඟුල් පොකුණ හන්දියේය.  එයට නම් කැපවී වැඩ කරන්නට අපටද සිදුවිය.  වාස් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් පැවති ඒ රැස්වීම සාර්ථක අන්දමින් පවත්වාගැනීමට හැකිවීම කාගේත් සතුටට හේතුවක් විය.  දයාසිරිගේ තාත්තා එදා රැස්වීමේදී වාස් තිලකරත්නට බුලත් හුරුල්ලක් දී පිළිගෙන ජේ. වී. පියට එකතුවීම ගමේ අයගේ විමතියට හේතුවක් වුණේ ඔහු කැපුවත් කොළ වර්ගයේ දරුණු යු. ඇන්. පී කාරයෙක් වීම නිසාය.  එදා රැස්වීම අවසානයේ රැස්වීම අමතන්නට පැමිණි නායකයන්ට රාත්‍රී ආහාරය ඒ ළඟ හිතවතෙකුගේ ගෙදරක සුදානම් කර තිබු අතර නායකයන් කෑම කෑමෙන් අනතුරුව පිටත්ව යන තෙක් අප බලාසිටියේ යමක් සප්පායම් වී කෑම ගැනීමට වුවත් ඔවුන් තනිවම කෑම කන්නට කැමතිවුනේ නැත.  "නෑ නෑ ඔය සහෝදරවරුත් එන්න, කට්ටියම එකට කෑම කමු!" යි කියා වාස් තිලකරත්න කියා සිටි හෙයින් යමක් බීමට සිටි අපේ බලාපොරොත්තුව එදා බිඳ වැටුණි.

පක්ෂයේ අවසන් මහා රැස්වීම හැඳල හන්දියේ පැවැත්වුණේ පක්ෂ නායක විජේවීරගේ ප්‍රධානත්වයෙනි.  සුපුරුදු ලෙස ඒ රැස්වීම බලන්නට අපිත් සහභාගී වූ අතර රැස්වීමට පෙර මුළු වත්තල ප්‍රදේශයම සෝදා ගෙන ධාරාණිපාත මහ වර්ෂාවක් කඩා හැලුණි.  විජේවීර එන විට වැස්ස පායා තිබුණි.  "මෙදා සැරේ රට හෝදලම අපට භාරදෙන්නයි හදන්නෙ!" කියා විජේවීර සිය කතාවේදී කීවේය.

ඊට දින දෙකකට පසු පැවැත්වූ ශ්‍රී ලංකාවේ පළමු ජනාධිපතිවරණය ජේ. ආර්. ජයවර්ධන මහතා ජයගත්තේ විජේවීර ඇතුළු හතර දෙනකුගේ ඇප ද රාජසන්තක කරමිනි.  විජේවීර ඡන්ද දෙලක්ෂ හැත්තෑ තුන්දහස් ගණනක් ලබාගත්තේ අපේක්ෂකයන් අතර තුන්වෙනි තැන ලබාගනිමිනි.

ජනාධිපතිවරණය පහසුවෙන් ජයගැනීමත් සමග සතුටින් උදම්වූ ජේ. ආර් මහ මැතිවරණයක් නොපවත්වා පාර්ලිමේන්තු බලය තවත් අවුරුදු හයකට ලබාගැනීමට ජනමත විචාරණයක් පැවැත්වුයේ 1982 දෙසැම්බර් මාසයේදීය.  එය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වුණු එකම ජනමත විචාරණය වූ අතර යු. ඇන් පියට අවශ්‍ය වුණේ කෙසේ හෝ ජනමත විචාරණය ජය ගැනීමටය.  ඒ අනුව ශ්‍රී ලංකාවේ මේ දක්වා පැවති මැතිවරණ වලින් අන්ත දූෂිත, වංචාව සහ සහ බලහත්කාරයෙන් පිරුණු ජනමත විචාරණයෙන් යු. ඇන් පිය ජයගත්තේය.  ජනමත විචාරණයේදී යු. ඇන් පියට විරුද්ධව වැඩ කලේ ජ.වි.පෙ පමණකි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු අනෙකුත් පක්ෂ දියාරු පිළිවෙතක් අනුගමනය කරමින් තැන තැන කතා කළා මිසක යු. ඇන් පියට විරුද්ධව කිසිම ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ගෙනගියේ නැත.  ජේ.ආර් ඒ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෑලි ගලවා දෙතුන් කඩකට බිඳ දමා තිබු හෙයින් ඔවුන්ට ඒ සඳහා ශක්තියක් ද නොවීය.   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකයා වූ මෛත්‍රීපාල සේනානායක මහතාද යු. ඇන් පී වේදිකාවේ පළමු වරට කතාකලේ මෙම ජනමත විචාරණයේදීය.

ජනමත විචාරණය කෙතරම් දූෂිත එකක් දැයි මැතිවරණ කොමසාරිස් චන්දානන්ද ද සිල්වා මහතා සිය නිල වාර්තාව මගින් හෙළිදරව් කර තිබුණි.  කෙසේ වුවද මෙම ජනමත විචාරණයේ සිදුවූ දුෂණ ගැන සිය පක්ෂ ක්‍රියාකාරීන්ගෙන් වාර්තා ලබාගත් විජේවීර මැතිවරණ කොමසාරිස් වරයාට විරුද්ධව අභියාචනාධිකරණයේ නඩු පැවරූ අතර කරුණු සලකා බැලු උසාවිය විසින් නඩුව විභාග කිරීමට තීරණය කර නඩුව කල් තබන ලදී.  තීන්දුව කුමක් වුවත් ක‍රපු කියපු වැඩ ටික උසාවියේ හෙළිවන නිසා නුදුරේදීම ජේ. ආර් රෙදි ගලවාගැනීමට නියමිත විය.  අසූ තුනේ කළු ජුලිය ආවේ නඩුව පොරොත්තු ලේඛනයේ තිබියදීය.  ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් ජේ.ආර් කළු ජූලියට ජ. වි. පෙ සම්බන්ධ බව බුද්ධි අංශ වාර්තා කළ බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේය.  එදා සිට විජේවීර ඇතුළු නායකයින් ආගිය අතක් නැතිවූ අතර නඩු කියන්නට පැමිණිලිකරුවන් නැතිවීම හේතුවෙන් නඩුවද කැලේ ගියේය.  ජේ.ආර් ගේ එම තීරණය මෙරට මෙරට තරුණ තරුණියන් හැට දහසකගේ පමණ ජීවිත බිලිගත් එකක් බව අමුතුවෙන් කිව යුතු නැත.

යටිබිම්ගතවූ ජනතා විමුක්ති පෙරමුණ නැවත මතුවුයේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනුවෙන් අලුත් නමකිනි.  ඉන්පසුව උදාවුයේ ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති අඳුරුතම යුගයයි.  මතක් කරන්නට පවා අප්‍රසන්න එම කාලයේ නොසිදුවිය යුතු බොහෝදේ සිදුවූ බව පමණක් ලියා තබමි.  කටින් කතාකරන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පමණක් ගරුකළ අපි බෝම්බයෙන් තුවක්කුවෙන් කතාකළ මිනීමරු දේශපාලනය පිළිකෙව් කළ බැවින් මුලදීම ජ.වි.ප යෙන් ඈත්වී අපේ වැඩක් බලාගෙන සිටියෙමු.  ඔවුන්ගේ වැඩවලට සම්බන්ධ වන ලෙස ක්‍රියාකාරිකයන්ගෙන් කොතෙකුත් ඉල්ලීම් ආවත් අප නෑසු කන්ව සිටියේ ඔවුන් කළ කී දෑ පිළිකුල් සහගත බැවිනි.

දේශපාලනයෙන් ඈත්වීම අපි එකිනෙකාට විවිධාකාරයට බලපෑවේය.  අලුත් වෙනස ස්වප්නා පිළිගත්තේ සාදරයෙනි.  මෙතෙක් කල් එක එක දේශපාලන වැඩට කාර්යබහුලවී සිටි මා එයින් මිදී ඇය ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නට කාලය ලැබීම ඇය ප්‍රහර්ෂයට පත්කළ කරුණක් විය.  දයාසිරි තම විවාහ මංගල්‍යය ඉහලින්ම පවත්වන්නට කටයුතු කළ අතර ඔහුගේ යහළුවන් වූ අපටද බොහෝ වැඩ රාජකාරි විය.  බිරිඳ විදේශගතවීම නිසා පාළුවෙන් සිටි උපසිංහ සමරනායක ස්කීම් එකේ කෙල්ලෙක් ගැන උනන්දු වෙන්නට වුයේ පාළුව මකා ගැනීම සඳහාය.  ඒ දවස්වල උපයාගේ ගෙදර නැවතී වත්තල පුද්ගලික ආයතනයක වැඩට යමින් සිටි උපයාගේ මල්ලී කොටුවක් පනින්නට පටන් ගත්තේ මේ අතරය.  ක්වාටස් එකේ උපයාගේ අල්ලපු ගෙදර සිටියේ ගුණරත්නය.  දවසේ වැඩ අවසන් කර ඌ ගෙදර එන්නේ බීගෙන හතර ගාතෙන්ය.  ආපු ගමන් පවුලටත් බැන බැන පෙරේතයා පොළොවේ ගැහුවා සේ නිදාගන්නා ගුණයා ඇහැරෙන්නේ පහුවදාටය.  ගුණයා මළ පෙරේතයෙකු වගේ හැසිරුණාට ගුණයාගේ පවුල හැඩ වැඩ ඇති සුදු ලස්සන රුවැත්තියකි.  උපයාගේ මල්ලි ඇයට බැල්ම දමන්නට ගත්තේ මේ අතරය.  ගුණයාගේ වැඩවලින් පීඩාවට පත්ව සිටි ඇයද උපයාගේ මල්ලිට ධනාත්මක ප්‍රතිචාර දක්වන්නට වුවාය.  

රෑට උපයලා නින්දට ගිය පසු පොලු නැති පිටුපස ජනේලය ඇරගන්නා උපයාගේ මල්ලී එතැනින් එහා ඇති ගුණේලාගේ පිටිපස්සෙ දොරට තට්ටු කරයි.  ගුණේගේ පවුල කුස්සියේ දොර ඇරගෙන එළියට එයි.  වැඩේ යන්නේ එහෙමය.  දවසක් රාත්‍රියේ හොඳටම බීමත්ව නින්දට ගිය උපයා මහ රෑ අවදි වුණේ වතුර තිබහක් ඇවිත්ය.  නැගිට්ට ගමන් ඌ දැක්කේ ගෙයි පිටුපස ජනේලය ඇර දමා ඇති අන්දමය.  ගෙයින් පිට කසු කුසුවකුත් ඇසේ.  උපයා කාරණය තේරුම් ගත්තේය.  ඊට පසු ඌ පත්වුණේ මහත් උහතෝකෝටිකයකය.  එක පැත්තකින් මල්ලිය, අනික් පැත්තෙන් තමාගේ යාලුවා වන ගුණයාය. කරන දෙයක් කරන්නට වෙන්නේ දෙපැත්තම අමනාප නොවන්නටය.  බිරිඳ නිවාඩුවට ළඟදී ගෙදර එන නිසා ළමයිනුත් ආවිට ගේ ඉඩ මදිවන බව කියූ උපයා මල්ලිට ළඟ තැනකින් බෝඩිමක් සොයා දුන්නේය.  ඊට පසු ඌ මොනවා කරගත්තත් තමන්ට වගකීමක් නැති බව උපයා අපට කීවේය.

මෑත දවසක මම අටමලාගේ ගෙදර ගිය වෙලාවක අඩි විස්ස පාර පැත්තට ගියේ දන්න කියන කවුරුත් හෝ ඉන්නවාදැයි බලන්නටය.  පරණ කිසි කෙනෙක් හමු නොවූ අතර අඩු තරමින් දයාසිරි ලාගේ ගේ වත් මට සොයාගන්නට බැරි තරමට ඒ පැත්ත වෙනස් වෙලාය.  බලාපොරොත්තු කඩවූ මම හිස් අතින් ආපසු ආවෙමි ෴ 

Monday, June 10, 2019

ගින්නෙන් උපන් සීතල, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය , 82 ජනාධිපතිවරණය , දයාසිරිට වැදුණු කොක්ක, උපසිංහ සහ සුනිල් සහෝදරයා.

අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ ගින්නෙන් උපන් සීතල මා නැරඹුයේ මීට මාස කීපයකට පෙරදීය.  එම සිනමා නිර්මාණයේ විජේවීර ලෙස රංගනයේ යෙදෙන කමල් අද්දරආරච්චි තම චරිතය රඟපෑමේදී විජේවීර ගේ ඉරියව් සියුම් ලෙස අධ්‍යයනය කර තිබුණත් විජේවීරගේ කතා විලාසය ගැන අධ්‍යයනයක් කර නොතිබූ බව නම් පැහැදිලිව පෙනෙන්නට තිබුණි.  මන්ද යත් විජේවීර ව්‍යවහාර කළ දකුණේ භාෂා ඌරුව කමල්ගේ වචන භාවිතයේ දකින්නට නොතිබුණ නිසාය.  කෙසේ වුවද එම සිනමා නිර්මාණයේ තිබු චරිත අතුරින්  වඩාත්ම මගේ සිත් ගත්තේ විජේවීරගේ බිරිඳ ලෙස සුවිශේෂී රඟපෑමක නිරතවූ සුලෝචනා වීරසිංහ ගේ රංග කෞශල්‍යයයි . වැඩිපුර දෙබස් නොතිබූ එම චරිතය මුහුණින් ද ඉරියව් වලින් ද හැඟීම් ප්‍රකාශ කරමින් ඇය කළ රංගනය අතිශය ස්වභාවික  විය.  මෙම පෝස්ටුව කිසිසේත්ම ඒ චිත්‍රපටය ගැන විචාරයක් නොවන අතර මේ සුළු කොටස ලියැවුණේ ද කතාවට ආරම්භයක් වශයෙනි.

ගින්නෙන් උපන් සීතල නැරඹු මට කල්පනා වුණේ ජනතා විමුක්ති පෙරමුණ හා එහි නිර්මාතෘ රෝහණ විජේවීර ගැන මාහටද යම්කිසි මතක සටහනක් ඇති බවය.  යම් කිසිවකුගේ තරුණ අවධිය අති ධාවනකාරී වූද විප්ලවවාදී වූද මෙන්ම හදවතේ හැඟීම්වලට මුල්තැන දෙන සමයක් බව අවිවාදිතය.  එකල තරුණ අවධිය ගෙවමින් සිටි අපද ජේ.වී.පීය  විසින් අරඹා තිබූ අති ධාවනකාරී මෙන්ම සිත් ඇදගන්නා සුළු දේශපාලනයට නැඹුරු වුයේ නිරායාසයෙන්මය.

කාලය අසු ගණන්වල මුල් භාගයයි.  කතාව පුරන්නට ටිකක් ඈතට යා යුතුය.  1971 සිට බන්ධනාගාරගතව සිටි විජේවීර නිදහස් වන්නේ 1977 වර්ෂයේදීය.  1977 දී ජේ. ආර්.බලයට පත්වීමෙන් පසු විශේෂ කොමිෂන් සභා සහ ඒවායේ තීන්දු අහෝසි කිරීම හේතුවෙන් විජේවීරටද නිදහස ලැබිණි.   නිදහසින් පසු නැවත පක්ෂය ප්‍රතිසංවිධානය කරගන්නා විජේවීර ආයුධ සන්නද්ධ දේශපාලනය අතහැර දමා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අනුගත වන අතර දේශපාලන රැළි පවත්වමින් මහජනයාගේ ආධාර ඉල්ලා සිටින්නේ පක්ෂය ශක්තිමත් කරන්නටය.  ඔහුගේ සුප්‍රසිද්ධ ටවුන් හෝල් රැළියේදී පක්ෂයට ආධාර කරන ලෙස කළ ඉල්ලීමට දැවැන්ත ජනතා ප්‍රතිචාරයක් ලැබුණු අතර ඇතැම් කාන්තාවන් සිය කණකර පවා ගලවා පක්ෂයට පරිත්‍යාග කළ බව මට මතකය.   ව්‍යක්ත කථිකයෙක් වූ විජේවීර ගේ සිත් ඇදගන්නා කතා විලාසයට ජනතා ආකර්ෂණය විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවම ලැබුණු බව දක්නට තිබුණි.   ඉතා උසට ඉදිකරන ජ. වි. පෙ විවෘත වේදිකාවේ අවසන් කථිකයා වන විජේවීර පැයක් හෝ පැය එකහමාරක් පුරා දිය ඇල්ලක් ගලා හැලෙන්නා සේ සිය චතුර කතාව පවත්වයි.  එකල ඔහු සිය කතාව අවසන් කරන්නේ කවියකිනි.  ඔහු කියන්නේ එම කවිය මිනීමරු ධනපති ආණ්ඩුවේ ගහලයන්ගේ වධ බන්ධනයට ලක්වී සිටි ජ.වි. පෙ. සොහොයුරෙක් සිය අවසන් මොහොතේ අඟුරු කැබැල්ලකින් බිත්තියක ලියූ එකක් බවයි.

කුසට සාගිනි සිතට සෝගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරවූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටුවී අතපය හකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා උඹලගේ කාලය ඇවිල්ලා

එම කවියෙන් සිය කතාව අවසන් කරන විජේවීර සමුද්‍රඝෝෂයක් සේ නැගෙන ජය ගෝෂා මධ්‍යයේ වේදිකාවෙන් බැස යයි.  එවකට පක්ෂය සතුව වාහන නොතිබූ අතර සියළුම නායකයන් රැස්වීම් වලට පැමිණෙන්නේ පොදු ප්‍රවාහන පහසුකම් උපයෝගී කරගෙනය.  පසුව විජේවීරගේ ගමන් පහසුව සඳහා රතු පැහැති කොරොල්ලා රථයක් මිළට ගෙන තිබු අතර එයට දේශපාලකයින් දැඩි සරදම් එල්ලකළේ නිර්ධන පංති විප්ලවය ගැන කතාකරන නායකයින් ගමන් යන්නේ සුඛෝපභෝගී වාහන වල බව කියමිනි.  එයටද විජේවීර වේදිකාවේදීම පිළිතුරු බැන්දේ තමන්ට මහජන රැළි සහ පක්ෂයේ වෙනත් කටයුතු සඳහා වෙලාවට යන්නට වාහනයක් අවශ්‍ය බවත් බරකරත්ත වල ගොස් දේශපාලනය කළ කාලය දැන් අවසන්වී ඇති බවත් හැකියාවක් ඇත්නම් ගමන් යන්නට හෙලිකොප්ටරයක් වුවද පාවිච්චි කිරීමට නොපැකිලෙන බවත් කියමිනි.

හැත්තෑ ගණන් වල අග භාගයේ සිට විජේවීර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කෙළින්ම ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානය යනුවෙන් නම්කර තිබු රැළි සහ දේශන ඔහු රට පුරා යමින් පවත්වන්නට වූ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයින් චෝදනා කළේ ශ්‍රී.ල.නි.ප යට පහර දීමට ජේ. ආර්. විසින් විජේවීරව නිදහස් කළ බවටය.  පසුකාලීනව මම එයට හේතුව සුනිල් සහෝදරයා ගෙන් ඇසුවිට(සුනිල් සහෝදරයා කතාවේ පසුවට එන චරිතයකි) ඔහු කීවේ රේස් එකක තුන්වෙනි තැනට දුවන විටදී දෙවැනියා පසු නොකර පළමුවැනියා පසුකරන්නට බැරි බවය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් ප්‍රකාශ කරන්නට යෙදුණේ 1982 වර්ෂයේදීය.  ජ.වි.පෙ සිය දේශපාලන සහ ප්‍රචාරක කටයුතු වේගවත් කළේ ජනාධිපතිවරණයට සිය පක්ෂයෙන්ද අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුවෙනි.  නාම යෝජනා භාරදීමේදී විජේවීර ද ජ.වි.පෙන් නාම යෝජනා භාර දුන්නේ සිය පක්ෂයට රටේ ජනතාවගේ කැමැත්ත කෙතරම්දැයි මැනගැනීමේ අප්‍රකාශිත අරමුණ සහිතවය.

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලිකයකු වූද වත්තල ආසනයේ වැඩ කළාවුද සුනිල් සහෝදරයා දයාසිරිට කොක්ක ගැහුවේ ඔය අවධියේදීය.   අඩි විස්ස පාරේ පදිංචිව සිටි දයාසිරි අප සමග හිතවත් වන්නේ අපිත් එක්ක රෝහලේ වැඩකළ උපසිංහ ගේ මාර්ගයෙනි.  එවකටද විවාහවී දරු දෙදෙනෙකුගේ පියෙක්ව සිටි උපයා විවාහවී සිටියේ දයාසිරිලාගේ ඥාති සොයුරියක සමගිනි.  ඔවුන් පදිංචිව සිටි රෝහල් නිල නිවස තිබුණේ දයාසිරිලාගේ ගෙවල් වලට ඉදිරිපිටින්ය.  උපසිංහ බීගත් දවසට ගෙදර ඇවිත් රෝහිණීට සැර දමා ගෝරියක් පටන්ගනී.  ගෝරියේ සද්දය ඇහුණු ගමන්ම දයාසිරිලාගේ මුළු පවුලම උපයාට ගහන්නට කැති පොලු අරගෙන දුවගෙන එන බව ඌ කියන්නේ සිනාසෙමිනි.  ඔහු මාතර කිතලගම සිට ඇවිත් වැලිසර පදිංචිවී සිටි අතර අසරණ සරණ කිතලගම ශ්‍රී සීලාලංකාර හිමි හෙවත් දිඹුලාගල නායක හාමුදුරුවෝ නෑකමට උපසිංහගේ බාප්පාය.  අවුරුද්දකට වතාවක් බාප්පා බලන්නට දිඹුලාගල යන උපයා හාමුදුරුවන්ගෙන් ලැබුණු තෑගි ගොඩක්ද අරගෙන ආපසු එයි.

දයාසිරිලාගේ පවුලේ දරුවන් පස්දෙනෙකි.  දයාසිරි වැඩිමලා වූ අතර ඊළඟට සිටි ලොකු නංගී අපි ප්‍රේමා යනුවෙන් හඳුන්වමු.   සිත් ඇදගන්නා සුළු රූ සපුවක් හා පැහැපත් සිරුරක් ඇති කෙල්ලෙක් වූ ප්‍රේමා දුටු කෙනෙක් දෙවරක් බලන්නට පෙළඹෙන තරම් සිත මන්මත් කරවන යුවතියකි.  අපි දයාසිරිලාගේ ගෙදරට යන්නට එන්නට පටන් ගත් පසු ඇය මගෙත් එක්ක පොඩි පහේ පටලැවිල්ලක් හදාගත් නිසා නම කියන එක හොඳ මදිය.  ඊළඟට සිටි ලොකු මල්ලි නන්දාය.  ඔහුගේ නම නන්දසිරි හෝ නන්දන හෝ වෙන්නට ඇති වුණත් පවුලේ ඔක්කොම ඌට නන්දා කියපු නිසා අපිත් එහෙමම කතාකළෙමු.  ඔහු ඒ දවස්වල උසස් පෙළ පංතියේ උගත් අතර අමතරව ඉංග්‍රීසි පංතියකටද සහභාගී විය.  පවුලේ බාල දුව වූ චූටි අවුරුදු දොළහක් දහතුනක් පමණ වයසැති පාසල් දැරියකි.  අන්තිමයා වූ  සුදු අවුරුදු හතක් අටක් පමණ වයසැති දඟකාර කොල්ලෙකි.  බාල දෙන්නාට අපත් චූටි සහ සුදු යනුවෙන් කතා කළ නිසා මම අදටත් උන් දෙන්නාගේ නම් නොදනිමි.  දයාසිරි කඳානේ පුද්ගලික කර්මාන්ත ආයතනයක සේවය කළ අතර එම වැඩපොළේම කෙල්ලෙක් සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගියේ ඇය විවාහ කරගැනීමේ බලාපොරොත්තුවෙනි.

දයාසිරිලාගේ තාත්තා වරායේ වැඩ මුලිකයෙකි.  ඔහු රෑ වැඩ දවස්වලට දවල්වරුවේ ගෙදර සිටි අතර දයාසිරිත් එක්ක ගෙදර යන අප සමග බොහෝ හිතවත් වුණේය.  ගෙදර ගෘහිණිය වූ දයාසිරිලාගේ අම්මා කුඩා සිරුරක් ඇති කාන්තාවක් වූ අතර නිතර සිනාමුසු මුහුණින් ඉන්නාඇය අපටද තමන්ගේම දරුවන් ලෙස ආදරයෙන් සැලකුවාය.  දයාසිරිලාගේ ගෙදර පවුල් ප්‍රශ්න හෝ ආර්ථික ප්‍රශ්න නොතිබූ අතර විහිළුවක් තහළුවක් කරගෙන සිනාවෙමින් හොඳ සමගියෙන් ඔවුහු දවස් ගෙවුහ.  දයාසිරිලගේ අම්මා උදේට හදන ආප්ප, ඉඳිආප්ප වැනි කෑම අපිත් මිළට ගන්නේ උදේ කෑමටය.  ඉඳිආප්ප කන්නට ඇය පොල් සම්බෝල හදා මාළු මිරිසට උයයි.  හොඳට තුනපහ ලුණු ඇඹුල් දමා ඇය හදන මාළු හොද්ද කොච්චර රසද කීවොත් කතාවට කියන හැටියට ගෑවුණු තැන කන්නට හැකිය.

උදේ වැඩට යන ගමන් ඉඳිආප්ප ගන්නට දයාසිරිලාගේ ගෙදර මා යන බොහෝ දවස්වලට ගෙදර ඉන්නේ ප්‍රේමාත් අම්මාත් විතරය.  අම්මා කුස්සියේ ඉඳිආප්ප තම්බමින් සිටින අතර ප්‍රේමා ගේ දොර අස්පස් කර අතුගාමින් සිටින්නේ හැඳ සිටින ගවුමට උඩින් රෙද්දක්ද පටලවාගෙනය.  අම්මා ඉඳිආප්ප තම්බන තුරු ප්‍රේමා මගෙත් එක්ක කතාවට වැටේ.  ඇය මගෙන්  රැකියාවේ විස්තරද රෝහලේ තොරතුරුද අසන්නීය.   ඉඳිආප්ප පාර්සලය මගේ අතට දී ආපසු කුස්සියට යන අම්මා අපි දෙන්නා කොපමණ වේලා කතා කළත් ඒ ගැන කිසිම අකමැත්තක් නොදැක්වූ බව මට හොඳට මතකය.

1982 වර්ෂයේ ලංකාවට ටෙස්ට් තත්ත්වය ලැබුණු පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ දිගින් දිගටම ලැබෙන්නට විය.   දැඩි ක්‍රිකට් ලෝලියෙකු වූ දයාසිරිලගේ තාත්තා වහාම ටීවී එකක් මිළට ගත්තේය.  අඟල් 14 කළු සුදු රූපවාහිනී යන්ත්‍රයක් වූ එය ගත්තායින් පසුව ඒ ගෙදරට අපේ ගමන් වැඩිවුණේ නිතරම මැච් බලන්නට යෑම නිසාය.  දයාසිරිලගේ තාත්තාද අපිත් එක්ක ඉඳගෙන සජීවී විස්තර ප්‍රචාරයක්ද කරමින් මැච් බලන්නේ කරන්නට ඇති වැඩ සියල්ලම අමතක කරමිනි.  ඔය කාලයේ ශ්‍රී ලංකා පිලට ක්‍රීඩා කළ උවයිස් කර්නයින් ඩී. එස්. සේනානායක විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ අතර හොඳ හිටර් කෙනෙකි.  ඔහුගේ දස්කම් වලට වශීවී සිටි දයාසිරිගේ තාත්තා කර්නයින් හැඳින්වුයේ කරලැයින් යනුවෙනි.  දවසක්දා අපි මැච් එකක් බලන්නට සුපුරුදු විදියට සාලයේ රුපවාහිනිය ඉදිරිපිට වාඩිවී සිටියෙමු.  කුමක් හෝ හේතුවක් නිසා එදා ශ්‍රී ලංකා පිලට කර්නයින් ක්‍රීඩා කළේ නැත.  සිය ප්‍රියතම ක්‍රීඩකයා කණ්ඩායමේ නොමැතිවීම තාත්තා බොහෝ නොසන්සුන් කළ සිද්ධියක් විය.   ඔහු කේන්තියෙන් සාලයේ ඇවිදිමින් අප දෙසට තර්ජනාත්මකව දබරැඟිල්ල දිගු කරමින් "කෝ  කරලැයින්?" යැයි විටින් විට ඇසුවේ අපි කර්නයින් හංගාගෙන ඉන්නවා වගේය.  මේ සිද්ධිය මුල සිටම බලා සිටි නන්දා "කරලැයින් මළා කියන්නැ"යි අපට කීවේ සිනාවෙමිනි. "කරලැයින් කියන්නෙ අපේ ආච්චි, තාත්තගෙ අම්මා!" නන්දා වැඩිදුරටත් කීවේය.   ආයෙම තාත්තා කරලැයින් ගැන ඇසු විගසම අපි නන්දා කී විදියට කීවෙමු.  ටිකක් වෙලා විමතියෙන් මෙන් බලා සිටි ඔහු වහාම අප කළ විහිළුව තේරුම් ගනිමින් අපත් සමග සිනාසෙන්නට විය.  ක්‍රිකට් මැච් බලන තාත්තාට සියල්ලම අමතක වෙනවා සේ රස්සාවට යන්නටද අමතක වෙයි.  එක්කෝ හිතාමතාම අමතක කරයි.  ක්‍රිකට් බලන තාත්තා රස්සාවට නොයෑම චූටි නොසන්සුන් කළ සිද්ධියක් විය.  "මෙහෙම නිවාඩු ගත්තොත් නෝ පේ යන්නයි වෙන්නෙ!" යි තාත්තාට කෑ ගසන  ඇය ටී වී එක වසා දමා තාත්තාව රස්සාවට පිටත් කරයි.

දයාසිරිගේ ප්‍රේම සම්බන්ධතාව තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණියේ කෙල්ලගේ දෙමාපියන් කෙල්ලට මනමාලයින් සොයන්නට වූ නිසාය.  කළයුත්තේ කුමක්දැයි දෙදෙනා අතර බොහෝ සාකච්ඡා ඇතිවූ අතර අන්තිමට තීරණය වුණේ දයාසිරි කෙල්ලගේ ගෙදර ගොස් දෙමව්පියන්ට දෙදෙනාගේ සම්බන්ධය ගැන දැනුම්දී විවාහ වෙන්නට අවසර ඉල්ලීමටය.  කෙල්ලගේ ගෙවල් තිබුණේ ගම්පහ පැත්තේ වූ අතර තමන් තනිවම මනමාලගම් යන්නට දයාසිරි තීරණය කර ගත්තේය.  තනිවම කෙල්ලගේ ගෙදර ගිය දයාසිරි කෙල්ලගේ තාත්තා හමුවී කතාකර වැඩේ ගොඩදාගෙන තිබුණි.   උපන්ගෙයි විහිළුකාරයෙක් වූ උපසිංහට දයාසිරි කෙල්ලගේ පියා හමුවී කළ කතාව හොඳ බයිට් එකක් විය.  දයාසිරි, උපසිංහ සහ මා එකතුවූ තැනකදී උපයා ඔය කතාව දයාසිරිගෙන් අසයි.  දයාසිරිත් රසකර විස්තරය කියන්නේ කෙල්ලගේ පියා තමාට තැඹිලි ගෙඩියක් කපා බොන්නට දී සංග්‍රහ කළ බවත් කියමිනි.  කෙල්ලව විවාහ කරගන්නට ඇසු විට තාත්තා තවත් තැඹිලි ගෙඩියක් කපා දයාසිරිට බොන්නට දුන් බව උපයා කියන්නේ සිනාසෙමිනි.

විස්තර අවසානයේ දැන් ආයෙම කතාවේ මුලට යා යුතුය.  ඔය කාලය වනවිට සුනිල් සහෝදරයා දයාසිරිලාගේ ගෙදර නිතරම දකින්නට හැකි චරිතයක් වූ අතර දයාසිරි සුනිල් සහෝදරයාව උපසිංහට මුණගැස්වීමේ හේතුවෙන් උපයා ද ජනතා විමුක්ති පෙරමුණේ අනුගාමිකයෙක් විය.  සුනිල් සහෝදරයා අපවද මුණගැසෙන්නට රෝහලට පැමිණ දීර්ඝ සාකච්ඡා පවත්වන්නේ පවතින යූ. ඇන්. පී ආණ්ඩුවේ දුර්දාන්ත පාලනය ගැන දිගින් දිගටම විවේචනය කරමිනි.  රැකියාවේ කටයුතු හේතුවෙන් පක්ෂයකට බැඳී දේශපාලනය කිරීම ප්‍රතික්ෂේප කළත් දයාසිරි සහ උපසිංහ අපේ මිත්‍රයන් වීම හේතුවෙන් ඔවුන් කරන කියන දේවල් වලට උදව් කිරීම නම් නොඅඩුව සිදුවිය.  මේ කාල වකවානුව වනවිට අඩි විස්ස පාරේ ජනතා විමුක්ති පෙරමුණේ ශාඛා සමිතියක් පිහිටුවා ගන්නා තරමට සාමාජිකයන් සංඛ්‍යාවක් එකතුවී සිටියේ සුනිල් සහෝදරයාගේ කාර්යක්‍ෂම ප්‍රචාරක කටයුතු හේතුවෙනි.

පක්ෂයේ කටයුතු වෙනුවෙන් දවස පුරා වෙහෙසෙන සුනිල් සහෝදරයා රැකියාවකුත් නොමැතිව පක්ෂයෙන් මුදලක්ද ලබා නොගෙන ජීවිතය ගෙන යන්නේ කෙසේදැයි ඊට පෙර පක්ෂ පූර්ණකාලිකයෙක් දැක නොතිබූ අපට ප්‍රශ්නයක් විය.   ඒ ප්‍රශ්නය දවසක් සුනිල් සහෝදරයාගෙන් ඇසු විට ඔහු කීවේ පූර්ණකාලිකයා යනු පන්සලේ හාමුදුරුවන් මෙන් වූ චරිතයක් බවයි.  හාමුදුරුවන්ට දායකයන් සිව්පසය සපයනවා සේම පූර්ණකාලිකයාද පක්ෂ සාමාජිකයන්ගේ ආධාරවලින් ජීවිතය ගෙනයන බව ඔහු කීවේය.  සුනිල් සහෝදරයා කෑම බීම ලබාගන්නේ කවුරුන් හෝ හිතවතෙකුගේ ගෙදරිනි.  ඔහු රෝහලට පැමිණි දිනෙක නම් ඔහුගේ කෑම වේල අප විසින් සපයනු ලබයි.   ගමන් බිමන් සඳහා වියදම්ද සපයා ගන්නේ ඒ විදියටමය.  රැකියාවෙන් ලැබෙන වැටුප ජීවත්වන්නට නොසෑහෙන බව නිතරම කියන අපට සුනිල් සහෝදරයා ගෙනයන අල්පේච්ඡ ජීවිතය මහත් ආස්වාදයක් සැපයුවා සේම ආදර්ශයක්ද විය.

මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ සිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වේගවත් කර තිබූ අතර රටේ සෑම තැනම පාහේ විශාල ජනතා රැළි මෙන්ම කුඩා රැස්වීම් හෙවත් පොකට් මීටිං ද පැවැත්වුණි.  ගම්පහ දිස්ත්‍රික්කයේ ලොකු රැස්වීමක් ළඟ පාතක තිබේ නම් රැස්වීම බලන්නට උපයා අපවද ඇදගෙන ගියේ තමන්ගේම වියදමෙනි.  රැස්වීම අවසානයේ මහ රෑ ආපසු එන අපි නිදාගන්නේ උපයලාගේ ගෙදරය.  ඒ වනවිට උගේ බිරිඳ රෝහිණී විදේශ රැකියාවකට ගොස් සිටි අතර දරු දෙදෙනා හිටියේ රෝහිණීලාගේ මහ ගෙදර නිසා උපයා ගෙදර ජීවත්වුණේ තනිවමය෴

Thursday, October 18, 2018

ඩැනිස්ගේ කාමරයට ආ අලුත් සාමාජිකයා, සේනගේ නළුකම, ක්ලින්ට් ඊස්ට්වුඩ් සහ රොටියාගේ ලව් එක.


අද ලියන්නට හදන කතාවේ ද ඩැනිස් හිටියත් මේ ඩැනිස් ගේ කතාවක් නොවේ වෙනත් කෙනෙක්ගේ කතාවයි.  සුපුරුදු පරිදි මේ කතාවටද පසුබිම් වන්නේ සෑහෙන ඈත කාලයක අපි ගතකළ ජීවිතයයි.  අනාදිමත් කාලයක් ගතවී තිබුණත් කිසිම මල කෑමක් නොමැතිව මේ කතා මගේ හිතේ සටහන් වී තිබෙන්නේ එකල අප ගතකළ ජීවිතයේ තිබු රසවත්කම නිසාමය.  ඩැනිස් පොඩි මහින්ද ලාගේ ගෙදර ඉස්සරහ කාමරේ නවාතැන් ගෙන සිටි සමය අපි තරුණ අවදියේ ගතකළ සුන්දරම කාලය ලෙස සිතේ නොමැකෙන ලෙස සටහන් වී ඇත.  කරන්නට වැඩකුත් නැතිව අතේ සතේ නැතිව අපතයන් ලෙස ඩැනිස්ගේ කාමරයට වී විනෝදයෙන් ගතකළ ඒ අවදියේ හත් අට දෙනෙකුගෙන් යුත් අපේ කොල්ලන් කණ්ඩායම ඩැනිස්ගේ කාමරය බදු අරගෙන වගේ දවසම කාමරයේ ගතකරද්දී කාමරයට තවත් නව සාමාජිකයෙක් එකතුවී සිටියේය.  ඒ ගුරාය.  නුවර දෙයියන්නේවෙල පදිංචිකරුවෙකු වූ ගුරා ටික දවසකින්ම ඩැනිස්ටත් වඩා අපට හිතවත් වුණේ ඒ වනවිට ගුරාද අපි වගේ අවිවාහකයෙක් වීම හේතුවෙනි.  සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසිත් කතාකළ හැකි එකෙකු වූ ගුරා ඉතා චතුර ලෙස දෙමළ භාෂාවද හැසිරවිය.  ඒ ඔහු පදිංචි වී සිටි ප්‍රදේශයේ විසූ මුස්ලිම් අයගේ ආශ්‍රය හේතුවෙනි.  උගේ යහළුවන් වූ සිද්දික් හා මොහොමඩ් නිතරම ගුරා හමුවන්නට පැමිණ දින දෙක තුන කාමරයේ නැවතී සිටින බැවින් ඒ අයද ඉතා ඉක්මනින් අප සමග හිතවත් වූහ.

ඔය කාලයේ අපේ ප්‍රධාන විනෝදාංශය වී තිබුණේ චිත්‍රපටි නැරඹීමය.  ටවුමේ චිත්‍රපටි හෝල් එකට එන හැම චිත්‍රපටියක්ම සිංහලද, ඉංග්‍රීසිද, දෙමළද, හින්දිද කියා වෙනසක් නොමැතිව බලන්නට යෑම කට්ටියගේ සිරිත විය.  අතේ සතේ නැතිව සිටියත් චිත්‍රපටියක් බලන්නට නම් කෙසේ හෝ මුදල් සොයාගන්නට කවුරුත් සමත්කම් දැක්වුහ.  ගෙදරින් චිත්‍රපටි බලන්නට සල්ලි නොලැබෙන විට හාල් ටිකක්, පොල් හෝ අන්නාසි ගෙඩි කීපයක් විකුට අවශ්‍ය මුදල් සොයාගතිමු.  සල්ලි අතේ නැති එකෙකුට හෝ ගානට අඩුවෙන් මුදල් තියෙන එකෙකුට වැඩිපුර සල්ලි තියෙන එකෙක් අනුග්‍රහය දක්වයි.  මේ අනවරත චිත්‍රපට නැරඹීම හේතුවෙන් අපට සිදුවූ එක යහපතක් වුණේ පසුකාලීනව හොඳ හා කබල් චිත්‍රපට වෙන් වශයෙන් හඳුනා ගැනීමට හැකිවීමයි.  චිත්‍රපටයක් නැරඹු පසු ඒ චිත්‍රපටය එහෙම පිටින්ම පහුවදා ඩැනිස්ගේ කාමරයේ රඟ දැක්වීම සිරිතක් විය.  ඒ වැඩට යන නිසා චිත්‍රපට බලන්නට නොලැබෙන ඩැනිස්ගේ හා ගුරාගේ වින්දනයටය.  සිංහල චිත්‍රපටයක් නම් සම්පූර්ණ චිත්‍රපටය රඟ දක්වනු ලබන්නේ පැටියා විසිනි.  චිත්‍රපටයේ දෙබස් කියමින් හා ගීත නිසි තැන්හි ගායනා කරමින් පැටියා චිත්‍රපටය අපූරුවට රඟපා පෙන්වයි.  සමහර වෙලාවට අපේ චිත්‍රපට රඟ දැක්වීම නිසා කාමරයේ ඇතිවන කන් කරච්චලය ඉවසා ගනු නොහැකි ඩැනිස්

" පලයව් පලයව්, එළියට ගිහිං කරන මඟුලක් කරගනියව් මට ටිකක් නිදාගන්න දීලා." කියමින් අපව කාමරයෙන් පිටුවහල් කරයි.

කලින්දා බැලුවේ ක්‍රියාදාම සපිරි ඉංග්‍රීසි චිත්‍රපටයක් හෝ කව්බෝයි චිත්‍රපටයක් නම් චිත්‍රපටය රඟ දක්වන්නට නළුවන් බොහෝ වෙති.  ගොපළු චරිත රඟ පෑ ක්ලින්ට් ඊස්ට්වුඩ්, රොජර් මුවර් වැනි නළුවන් අපේ ලෝකයේ වීරයන් වූ ඒ සමයේ කව්බෝයි චිත්‍රපටයක් නරඹා දින කීපයක් ගතවෙන තුරු අපි පාරේ යන්නේ පවා සිතින් මවාගත් ගිනි අවියක් ඉණේ රඳවාගෙනය.  සතුරෙකු දුටු සැණින් වෙඩි තැබීම එහි අරමුණයි.  සතුරන් නොමැතිවූ හෙයින් ඉදිරියට පැමිණෙන මිතුරෙකුට හෝ එක්වනම වෙඩි තැබීමට අපි පසුබට නොවීමු.  කාලය වේගයෙන් ගෙවී යද්දී එක්කෙනෙක් දෙන්නෙක් රස්සාවල් හොයාගෙන සිටි බැවින් රස්තියාදු ගහන්නට කාලය නොතිබුණත් තවත් හත් අට දෙනෙක් කණ්ඩායමේ ඉතිරිවී සිටියහ.

සේන අපේ කණ්ඩායමට එකතු වෙන්නේ ඔන්න ඔය කාලයේදීය.  අපේ ගමේ කොල්ලෙක් වුණත් සේන පොඩි කාලයේ සිටම සිටියේ ගමෙන් පිටය.  පාසැල් අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන ගමෙන් පිට ගොස් වත්තල පැත්තේ මන්ත්‍රී වරයෙකුගේ ළඟ සෑහෙන කාලයක් වැඩ කළ සේන ඡන්දයෙන් මන්ත්‍රීට ආසනය අහිමි වූවායින් පසුව තවත් රස්සාවල් දෙක තුනක් කරමින් සිට ඒ කාලය වන විට මොකුත් නැතිව ගමට ඇවිත් සිටියේය.  ටිකින් ටික අපේ ඇසුරට වැටුණු සේනයා පුරාජේරු කතාවෙහි ගජ සමතෙකි.  තමන් කිසිසේත් සම්බන්ධ නොවූ ලොකු ලොකු වැඩ ඌ කළා යයි අල්ලේ පැල කර කියමින් ද අඳුනන ලොකු ලොකු අය ලවා ඔනෑම වැඩක් කරදෙන්නට ඌට හැකිය කියමින්ද රස්තියාදු වෙමින් කාලය ගත කළ සේන අපිත් එක්ක කීවේ ඌ අහිංසක කලාකරුවෙක් බවය.  සේනයා දන්නා වෙන කලාවක් නැති වුණත් ගොක් කොළ කලාවෙහිදී ඌ විශිෂ්ටයෙකි.  ගමේ මඟුලක් හෝ පිරිතක් ඇති සෑම අවස්ථාවකදීම පෝරුව ගහන්නටත්, පිරිත් මණ්ඩප්පය සරසන්නටත් සේන නැතිවම බැරි චරිතයක් විය.  සේනයා ජිනාත් එක්ක කරාටි ගැසූ පේමයා ගේ බාල සහෝදරයෙක් නිසා අපේ කණ්ඩායමට එකතු වෙන්නට ඔහුට වෙනත් චරිත සහතික අවශ්‍ය නොවීය.

චිත්‍රපට නළුවෙක් වීම සේනගේ එකම සිහිනය සිහිනය වූ අතර ටෙලිනාට්‍ය තබා රුපවාහිනිය වත් ලංකාවට හඳුන්වා දී නොතිබූ ඒ කාලයේ සේනයාට නළුවෙක් වීම සිහිනයක්ම විය.  නළුවෙක් වෙන්නට ඇත්නම් සේනයා නොකරන දෙයක් නැති තරම්ය.  උගේ මේ සිහිනය හොඳින් අධ්‍යයනය කළ ගුරා තේරුම් ගත්තේ චිත්‍රපටි කලාව මුලට තබා ගත් විට සේනයා ඇන්දිය හැකි බවය.  දවසක් සේනට කතාකළ ගුරා කීවේ උගේ යාලුවෙක් වූ සිද්දික් චිත්‍රපටි නිෂ්පාදකයින් හා අධ්‍යක්‍ෂ වරුන් හොඳින් දන්නා කියන එකෙක් නිසා ඒ මාර්ගයෙන් සේනට චිත්‍රපටයක රඟපාන්නට අවස්ථාවක් ලබාදෙන්නට තමන්ට හැකි බවයි.  නමුත් ඊට පෙර සේනට ඇත්තටම රඟපාන්නට පුලුවන්ද යන්න සොයා බැලිය යුතු බව කී ගුරා තමන් ඉදිරියේ චිත්‍රපට කොටස් රඟපා දැක්වීමට සේනයාට යෝජනා කළේය.  ඊට පසු ගුරා කාමරයේ සිටි හැම දිනෙකම සේනගේ රඟපෑම් අපි සියල්ලන්ටම බලා ගත හැකි විය.

දවසක්දා සේන අපි සියලු දෙනාම ඉදිරියේ 'පැන පැන එන සඳේ' ගීතය ගයමින් නැටුම ඉදිරිපත් කළේ ගුරාට පෙනෙන්නටය.  මට මතක තියෙන ආකාරයට චිත්‍රපටයේ එම නැටුම ඉදිරිපත් කළේ සුමනා අමරසිංහය.  සේන ඇය නැටු ආකාරයටම දෑත් එකට තබා ඉණේ ඒ පැත්තටත් මේ පැත්තටත් තබමින් කාමරයේ සිට නටාගෙන එළියට එනවිට කුස්සියේ සිට සාලය පසුකර එළියට යන්නට ආ පොඩි මහින්දලාගේ අම්මාගේ ඇඟේ හැපුනි.  පොඩි මහින්දලාගේ අම්මා කෝපි ඇට වනක් කොටාගෙන කුල්ලක දා ඉණේ තබාගෙන එළියට යන්නට ගියේ කෝපි ටික අව්වේ වේලෙන්නට දමන්නටය.  සේනයා නටාගෙන ඇවිත් ඇඟට පැනීම හේතුවෙන් කුල්ල බිම වැටී කෝපි ටික බිම විසිරී ගියේය.

" මගෙ ඇඟට පැන්නෙ මූට මදන යකා ගහල ද" කියමින් පොඩි මහින්දලගෙ අම්මා සේනයාට දෙස් දෙවොල් තබන්ට වූ අතර ඌට සිදුවුණේ නැටුම පැත්තක තබා කෝපි ඇට අහුලා දීමටය.  අපි කාමරයට වී ඇතිවෙන්නට සිනාසුනෙමු.

තවත් දවසක කව්බෝයි චිත්‍රපටියක කෑල්ලක් රූපගත කරන්නට ගුරා යෝජනා කළේය.  සේන ප්‍රධාන චරිතය වූ ක්ලින්ට් ඊස්ට්වුඩ් ය.  දැන් සේනයාව කව්බෝයි කෙනෙකුට ඇන්දිය යුතුවිය.  දෙන්නාම එකම උස මහත නිසා ගුරාගේ කලිසමකුත් කමිසයකුත් සේනට හරියටම හරිගියේය.  ඩෙනිම් ජැකට් එකක් අන්දවා පළල් පටියක් ඉණට දමා පොඩි මහින්දගේ සෙල්ලම් පිස්තෝලයකුත් පටියේ එල්ලූ අතර කව්බෝයිට තොප්පියකුත් අවශ්‍යමය.  ඩැනිස්ට සුද්දෙක් දීපු ලස්සන දුඹුරු පාට තොප්පියක් ඔහුගේ පෙට්ටියේ විය.  එයත් අරගෙන සේනගේ හිසට දමා සුපිරිම කව්බෝයි කෙනෙක් හැටියට සේනව හැඩ ගන්වන ලදී.  චිත්‍රපටයේ අධ්‍යක්ෂ වරයා වූ ගුරා සේනට දර්ශනය විස්තර කර කිව යුතු ඉංග්‍රීසි දෙබස් ද කියා දුන්නේය.

දර්ශනයේ හැටියට අස්සයා පිටේ ඇවිත් බහින කව්බෝයි අස්සයා පොඩි මහින්දලගෙ මිදුලේ ඇති අඹ ගහේ ගැට ගසයි.  ඊට පසු ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එතනට එන්නේ කව්බෝයිව හමුවී එක්කරගෙන යන්නටය.  මිතුරන් දෙදෙනා සමග වචන කීපයක් හුවමාරු කරගන්නා කව්බෝයි ඔවුන් දෙදෙනා සමග පිටත්ව යයි.  දරශනය එහෙමය.  අධ්‍යක්ෂ ගුරා 'ඇක්ෂන්' කීමත් සමගම දර්ශනය රූගත කිරීම ආරම්භ විය.  සේන පාරේ සිට අස්ප ගමන ආරම්භ කර පොඩි මහින්දලාගේ මිදුලට ඇවිත් අස්පයාගෙන් බැස අස්පයා අඹ ගහේ ගැට ගැහුවේය.  වටපිට බලනවිට එතැනට ආවේ ඔහුගේ සහචරයන් දෙදෙනෙකි.  සහචරයන් දෙදෙනා කිට්ටුවන විටම ඉණේ තිබූ පිස්තෝලය ඇදගත් සේනයා ඩිෂුම් ඩිෂුම් කියා උන් දෙන්නාටම වෙඩි තබා පිස්තෝලයේ බටයෙන් පිටවන දුමට කටින් පිඹ ආපහු පිස්තෝලය ඉණේ ගසාගත්තේය.

" කට් කට්, කෑවා කෑවා, යාළුවො දෙන්නට වෙඩි තිබ්බෙ මොන මඟුලකටද? " අධ්‍යක්ෂ ගුරා කේන්තියෙන් මෙන් කෑ ගැසුවේ පුපුරන්නට තතනන සිනහව ආයාසයෙන් නතර කර ගනිමිනි.  අපි කට්ටියම හූ කියමින් සිනාසෙන්නට වීම නිසා රූපගත කිරීම එතැනින් නවත්වන්නට සිදුවිය.  දර්ශනයේ දී කියන්නට ගුරා උගන්වා තිබු ඉංග්‍රීසි වාක්‍යය ඌට අමතකව ගොස් තිබිණි.  වෙනත් මොකුත් කියන්නටත් නොහැක්කේ සේනයා ඉංග්‍රීසි මළපොතේ අකුරක්වත් නොදන්නා නිසාය.  සහචරයන් කතාකළොත් තමන් නෝන්ඩි වෙන නිසා කළින්ම උන් දෙන්නාට වෙඩි තබා දැමු බව සේන මට පසුව කියා සිටියේය.

ගෙදර වැඩත් කඩේ වැඩත් ආදී සියල්ලම තනියෙන් කරගන්නට පොඩි මහින්දලාගේ අම්මාට තිබු අපහසුතාව නිසා උදව්වට පොඩි මහින්දලාගේ අම්මාගේ මල්ලීගේ දුවෙක් ඇය ගෙදරට ගෙන්වාගත්තේ මේ අතරතුරේදීය.  ලාලනී නම්වූ ඇය උස රතු ලස්සන කෙල්ලෙකි.  ඉතා කඩිසරව ගෙදර වැඩත් වත්ත පිටියේ වැඩත් කරන ලාලනී ගේ පැමිණීම නිසා පොඩි මහින්දලාගේ අම්මාගේ වැඩ කන්ද බාගෙකින්ම අඩුවිය.  ඇවිත් ටික දවසකින්ම ලාලනී උදේට උදේට හදා කඩේ තැබූ පොල් රොටී කඩේට තේ බොන්නට එන අය අතර බෙහෙවින් ජනප්‍රිය විය.  මේ නිසාම අපි කට්ටිය රොටියා කියා ඇයට නම් තැබුවෙමු.  ඒ නමට රොටියාගේද අකැමැත්තක් නොවූ අතර අලුත් නම ඇය පිළිගත්තේ සුපුරුදු පරිදි මඳ සිනහවකිනි.

අනික් අය මෙන් නොව ආ දා පටන්ම සේන රොටියා ගැන බොහෝ උනන්දු විය.  හැමදාම උදේට වෙන කාටත් පෙර පොඩි මහින්දලාගේ ගෙදරට වාර්තා කරන සේන නිතරම සිටියේ රොටියා පේන මානයේය.  පොඩි මහින්දලාගේ ගෙයි ඉස්තෝප්පුවේ තිබුණු කොට තාප්පය උඩ අපි කට්ටිය පාරට මුහුණ ලා වාඩි වෙද්දී සේනයා ගෙට මුහුණ ලා වාඩි වෙන්නට වග බලා ගත්තේය.  ටික දවසක් මේ විදියට කොකම් පාමින් සේන උත්සාහ කළේ  කෙසේ හෝ රොටියා එක්ක හුටපටයක් පටන් ගන්නට ය.  කකුල් අමාරුව නිසා පොඩි මහින්දලාගේ අම්මා ඇඳට ගිහිං නිදියද්දී තනියම කුස්සියේ වැඩ කරන රොටියාට උදව් කළේ සේනයාය.  රොටියාද ළූණු ටිකක් සුද්ද කරගන්නට, පොල් ගෙඩියක් ලෙලි ගසා ගන්නට සේනගෙන් ලැබුණු උදව්ව ප්‍රතික්ෂේප කළේ නැත.  මෙහෙම වැඩ කර දෙන ගමන් සේනයා දෙන නැව් ටෝක් වලට මුගේ කපටිකම් දන්නේ නැති කෙල්ලද ටික ටික රැවටුනාය.  ටික දවසකින්ම රොටියා සේනගේ පෙම්වතිය බවට පත්වුණේ කාටත් හොර රහසේය.  ඒ කාලයේ සේනයා දවසෙන් වැඩි කොටසක් පොඩි මහින්දලාගේ ගදර ගත කළ අතර කෙනෙකුට ඌව හොයාගන්නට නම් උන්ගේ ගෙදර නොව පොඩි මහින්දලාගේ ගෙදර යායුතු විය.  දවල් දවසේ රොටියාට ආදර බස් කියමින් ඇගේ වටේ කැරකෙමින් ඉන්නා සේනයා හවස් කල අඳුරට මුවාවී පොඩි මහින්දලාගේ ගේ පිටුපස ඇති දෙහි ගහ යටටවී රොටියාත් එක්ක හාදු හුවමාරු කරගන්නට පුරුදු විය.

මේ විදියට මාස කීපයක් ගෙවී යද්දී සේන නිතරම කතාකරන්නට වුණේ රස්සාවක් හොයාගෙන කීයක් හරි හම්බ කර ගැනීම ගැනය.  රස්සාවක් හොයාගන්නට එතෙක් කල් තිබුණේ නැති උනන්දුවක් සේනට හදිසියේ ඇතිවීම පිටුපස රොටියාගේ බලකිරීමක් තිබෙන්නට ඇතැයි මට නිකමට වගේ සිතුණි.  සේනයාත් එක්ක ආදර බස් මුමුණමින් ඉන්නා අතරේ ඇය සමහර විට " හැමදාම මේ විදියට රස්තියාදු වෙවී ඉඳල හරියයිද? අනාගතේ ගැන බලන්නත් එපායැ, ඔයා ඒ ගැන ටිකක් කල්පනා කරන්නැ"යි කියන්නට ඇත.  කොහොමින් කොහොමින් හරි රොටියාගේ ඉල්ලීම පලදරා සේන සල්ලි හම්බ කරන්නට වැඩක් හොයාගන්නට සමත් විය.  සේන හොයාගත් වැඩේ වුණේ ගඩොල් කැපිල්ලය.  අපේ ගමේ ගඩොල් බාස් ලා කීප දෙනෙක් සමග සේන කුඹුක්ගැටේ ගඩොල් වාඩියකට යන්නට නියමිත විය.  යන්නේ ගඩොල් කපන්නට වුණත් සේන රොටියාට කීවේ ඌ ඇලහැර මැණික් ගරන්නට යනවා කියාය.  ගඩොල් කැපිල්ලට වඩා මැණික් ගැරිල්ල ටිකක් පොෂ් බව සේනයා සිතන්නට ඇත.  ඉතින් සේනයා සිය ආදරවන්තිය වූ රොටියාටද ආදර බස් කියා සිප සනසා කුඹුක්ගැටේ ගඩොල් වාඩියට පිටත්ව ගිය අතර රොටියාද ඇඬු කඳුළින් සේනයාට සමුදුන්නේ ඌ යන්නේ දෙන්නාගේ අනාගතය ගැන සිතා නොවේදැයි සිත සනසාගෙනය෴

( සේනගේ කතාව තව ටිකක් ලියන්නට ඇතත් පෝස්ටුව දිග වැඩිවන නිසා තවත් කොටසකින් හමුවෙමු)

Monday, September 10, 2018

දෙසතිය මතක - රාජ්‍ය සාහිත්‍ය උත්සවය, හංවැල්ලේ ගමන, ප්‍රේමාගේ රාත්‍රී භෝජන සංග්‍රහය සහ හරක් මස් වර්ජනය, ඌරු මස් කෑම.



 රාජ්‍ය සාහිත්‍ය උත්සවය, මාස්ටර් සහ සංඝානන්ද.

අද ලියන්නට යන කතාව මීට කලින් මා ලියන්නට පටන් ගත් කතාවක ඉතිරි කොටසයි.  විශේෂය වන්නේ මම මේ මුලින් ලින්කුව දී ඇති කතාව ලියා තිබෙන්නේ මීට අවුරුදු හතරකටත් පෙර එනම් 2014 මාර්තු මාසයේ වීමයි.  ඉතින් කතාවේ ඉතිරි කොටස ලියන්නට මේ සාහිත්‍ය මාසය තරම් සුදුසු වෙන කාලයක් නැති බව සිතුනු නිසා අවුරුදු හතරකට පසුව වුවද ඉතිරි හරිය ලියන්නට කල්පනා කළෙමි.

හංවැල්ලේ රාජසිංහ මහා විද්‍යාලයේ එම වසරේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවැත්වීමට නියමිතව තිබුණි.  දැන් අප යමින් සිටින්නේ දෙසතිය ප්‍රදර්ශන කුටියට වෙන්කරදී ඇති ඉඩ ප්‍රමාණය භාරගැනීමටය.  රාජලාගේ ගෙදරින් උදේට කෑම ගැනීමෙන් පසුව රාජසිංහ මහා විද්‍යාලයට ගිය අපට නියමිත රාජකාරිය ඉවර කරගැනීමට විනාඩි පහළොවක් වත් ගත නොවීය.  විද්‍යාලයට පැමිණ සිටි සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විද්‍යාලයේ ගොඩනැගිල්ලක උඩුමහලේ කාමරයක් පෙන්වා එහි යතුර මට භාරදුන්නේ අපේ දෙසතිය ප්‍රදර්ශන කුටිය එම පන්ති කාමරයේ පිහිටුවා ගන්නට කියාය.  සාහිත්‍ය උත්සවය ගැන කියනවිට එදා තිබු රාජ්‍ය සාහිත්‍ය උත්සව සහ අද පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සව ගැන පොඩියට වුණත් යමක් කිව යුතුමය.

රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ සංවිධානය සංස්කෘතික දෙපාර්තමේන්තුවේ වගකීමකි.  ඒ කාලයේ දෙපාර්තමේන්තු බලධාරීන් රාජ්‍ය සාහිත්‍ය උත්සවය  දෙපාර්තමේන්තුව මගින් පවත්වන  වසරේ ලොකුම උත්සවය ලෙස සලකා ඒ උත්සවය මහ ඉහළින් පවත්වන්නට හැකි සෑම උත්සාහයක්ම දැරූ බව සඳහන් කළ යුතුය.  කොළඹින් පිට සමහර විට බොහෝ ඈත පලාතක විද්‍යාලයක් ලබාගෙන දිවයිනේ සිටින සියළුම පොත් ප්‍රකාශකයින්ට ආරාධනා කර පමණක් නොව රජයේ දෙපාර්තමේන්තු සංස්ථා ආදියේ සහභාගිත්වයත් ලබාගෙන ඉතා උත්කර්ෂවත් අන්දමින් සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සාහිත්‍ය උත්සවය සංවිධානය කරන ලදී.  බී.එම්.අයි. සී. එච් එකේ පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය අරඹා නොතිබූ ඒ කාලයේ පොත් ප්‍රදර්ශනය කෙරුණේද සාහිත්‍ය උත්සවය පැවැත්වෙන තැනදීමය.  සාහිත්‍ය උත්සවය සතියක කාලයක් අදාළ විදුහලේදී පවත්වනු ලැබූ අතර සංස්කෘතික ඇමතිවරයා විසින් පළවෙනි දිනයේ විවෘත කිරීමෙන් පසු සෑම දිනෙකම ප්‍රධාන  ආරාධිතයා ලෙස ඇමතිවරයෙක් පැමිණි අතර අවසාන දිනයේ ඒ වසරේ තෝරාගනු ලැබූ හොඳම පොත්වලට අදාළ සම්මාන පිරිනමනු ලැබුයේ ජනාධිපතිවරයා විසිනි.

සාහිත්‍ය උත්සවයේ ආරම්භක දිනයේ සිට අවසන් වනදා දක්වා හැම දිනකම උදේ කාලයේ සිට සවස් වනතුරු  සාහිත්‍ය සාකච්ඡා, සම්මන්ත්‍රණ, දේශන, කවිමඩු ආදී සාහිත රස වෑහෙන වැඩසටහන් ද රාත්‍රියේ දේශීය සංගීතාංග ද, නැටුම් ගැයුම් ද, බලි තොවිල් ආදී ශාන්තිකර්ම ද වශයෙන් බලන්නට අහන්නට බොහෝ විශේෂාංග  විය.  කොටින්ම රාජ්‍ය සාහිත්‍ය උත්සවය පැවති කාලය අදාළ පෙදෙසේ ජනතාව සාහිත්‍ය රසයෙන් මුසපත් කරන කාලයක් වූ අතර මුළු සතිය පුරාම ප්‍රදේශවාසී ජනතාව සාහිත්‍ය උත්සව භූමියට පොදි කමින් පැමිණියහ.  උදේ කාලයේ විශේෂයෙන්ම පාසැල් සිසු සිසුවියන් වැඩිපුර පැමිණි අතර රාත්‍රියේ ගැහැණු පිරිමි බාල මහලු ළමා ළපටි ආදී සියලුම දෙනා එකසේ පැමිණියේ සාහිත්‍ය උත්සව බිමේ අසිරිය විඳිමින් ගීයක් අසා නැටුමක් බලා සිත සැහැල්ලු කර ගන්නටය.  ජනාධිපති ප්‍රේමදාස මහතාද සද්ද බද්ද ඇතිව අලංකාරයට මහ ඉහලින් පැවැත්වෙන උත්සව වලට සහභාගීවීමට බොහෝ ප්‍රිය කළ නිසා උත්සවය සුළු හෝ අඩුපාඩුවක් නොමැතිව පවත්වන්නට සංස්කෘතික දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැපවී වැඩකළ බව කිව යුතුය.

එහෙත් අද නම් ඒ කාලයේ මෙන් රටවටා සාහිත්‍ය උත්සව ගෙනගොස් පවත්වන්නට කටයුතු නොකරන අතර පොත් ප්‍රදර්ශනය අවසානයේ බී.එම්.අයි.සී.එච් එකටම රාජ්‍ය නායකයා ගෙන්වා නැටුමක් ගැයුමක් පෙන්වා සම්මාන ප්‍රදානය සිදුකරයි.   අවුරුදු විසි ගණනකට පසු අපේ රාජ්‍ය සාහිත්‍ය උත්සවය වැටුණු තැන එහෙමය.

නැවතත් අපේ කතාවට ආවොත් රාජසිංහ මහා විද්‍යාලයේ කරන්නට යෙදුණු රාජකාරිය කළින්ම ඉවරවීම නිසා අපි එතැනින් එළියට බැස්සේ උදේ එකොළහ වෙන්නටත් පෙරදීය.  ඊළඟට යොදාගෙන තිබුණු කටයුත්ත වුණේ රම්‍යාගේ ගෙදර ගිහින් දවල්ට කෑම ගැනීමයි.  නමුත් එහේ යන්නට කල් වැඩි බව අපි සියලු දෙනාගේම මතය විය.  තවම රම්‍යලාගේ අම්මා දවල්ට උයන්නට හාල් ගරනවා ඇති යැ'යි අපි කතාකළේ සිනහසෙමිනි. කාලය ගත කරන්නට තිබුණේ එකම දෙයකි.  වයින් ස්ටෝර්ස් එකකින් බෝතලයක් ගෙන මගදී දුටු අලංකාර රබර් වත්තක් අයිනේ ගලක් උඩ හිඳගෙන බෝතලය ටික ටික හිස් කළේ කාලය ගතවෙන තුරුය.  එක එක්කෙනා තම තමන්ට රිසි පමණින් පානය කළ බෝතලය හිස්වෙන්නට වැඩි වේලාවක් ගියේ නැත.  ඊට පසු තවත් බෝතලයකි.  දැන් සංවාද, සාකච්ඡා මණ්ඩප ජයටම පැවැත්වෙයි.  වැඩේ ඉවර වනවිට එකත් පහුවුණු නිසා ඉක්මන් කර රම්‍යා ගේ ගෙදරට යන්නට පිටත් වුණෙමු.

රම්‍යලාගේ ගේ තිබුණේත් රබර් වත්තකය.  පාරෙන් වම් පැත්තේ කන්දක් නැගගෙන ගෙදරට ගිය අපි එනතුරු  රම්‍යා ගෙදර අයත් එක්ක මග බලා සිටියේ සරුසාරයට දවල් කෑමත් පිළියෙළ කරගෙනය.  කෑමෙන් පසු ආපහු එන්නට පාරට බැස්සත් මග දිගට බාර් ගානේ නවත්වමින් රස්තියාදු වෙවී කොළඹට එනවිට රෑ නවයත් පහුවෙලාය.  හේරත් ව කළුතර බස් එකකට ගොඩකරවා මමත් කුමාරත් පීරිසුත් කොටුව ස්ටේෂමට ගියේ නවයහමාරේ කෝච්චිය අල්ලා ගන්නටය.  කෝච්චියට ගොඩවුණු සැණින් කුමාරත් පීරිසුත් ගොරවමින් නිදන්නට වුහ.  දැන් මටත් නින්ද ගියොත් එහෙම තුන්දෙනාම නවතින්නේ පොල්ගහවෙල කියන එක හොඳටම ෂුවර් ය.  බොහෝම අමාරුවෙන් ඇස් ඇරගෙන සිට කුමාරව ගනේමුල්ලෙනුත් පීරිස් බෙම්මුල්ලෙනුත් බස්සවා මම ගෙදර එනවිට රෑ දොළහටත් කිට්ටුවෙලාය.

සාහිත්‍ය උත්සවය පටන් ගන්නට පෙර අපට කරන්නට තිබු වැඩක් වුණේ දෙසතිය කුටිය ලස්සනට හදා ගන්නා කාරියයි.  චිත්‍රපට අංශයේ බාස් ලා දෙන්නෙක් ලී වැඩවලට සහ අලංකාර කටයුතුවලට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සහකාර කතිකාචාර්ය කෙනෙක්ගේ උදව්වෙන් සාහිත්‍ය උත්සවය පටන්ගන්නට දින කීපයකට පෙර කුටිය ලස්සනට සාදා නිමකර ගත හැකිවිය.  සාහිත්‍ය උත්සවයට සහභාගී වෙන්නට අපි හංවැල්ල බලා පිටත්වුණේ උත්සවය පටන් ගන්නට පෙරදින හැන්දෑවේ ය.  අපේ කණ්ඩායම වුණේ මමත්, මගේ සහායක රාජාත්, ගෝලයාවූ සෝමපාලත්ය. උත්සවය ආවරණය කරන්නට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් යවන නිල ඡායාරූප ශිල්පියා වූ සරත් ද අප සමගම එක්විය.  රියැදුරු වුයේ මොළේ සුනිල් හෙවත් මොළයාය.  රියැදුරන් සම්බන්ධ සෑම කාර්යයකදීම හැම දෙනාම උපදෙස් ලබාගන්නේ ඔහුගෙන් නිසා සුනිල් හඳුන්වනු ලැබූයේ මොළයා කියාය.

කණ්ඩායමේ සියළුම දෙනා අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකරන විනෝදයෙන් ඉන්නට කැමති අය වීම නිසා මම සිටියේ සතුටිනි.  එමෙන්ම ඉතාම සුන්දර සතියක් ගතකරන්නට ලැබෙන බවද මම දැන සිටියෙමි.  හංවැල්ල රාජසිංහ මහා විද්‍යාලයයට ගිය අපි අපේ දෙසතිය කුටියේ ස්ථානගතවී පසුවදා උත්සවයට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ගත්තෙමු.  අපේ නවාතැන වුයේද එම කුටියමය.  ඡායාරූප ශිල්පියාවූ සරත් අපේ දෙපාර්තමේන්තුවෙන් ගියද ඔහු අයත් වුයේ මාධ්‍යවේදීන් ගණයට නිසා සරත්ට වෙනම නවාතැන් සහ කෑම බීම සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිවිය.  ඒත් ඔහු වඩා කැමතිවුනේ අපිත් එක්කම එකට නවතින්නටය.  අපිත් එක්ක එකට ඉන්නවිට තියෙන සොමිය පිට අය එක්ක වෙනම ඉද්දි ලබාගන්නට බැරිවීම ඔහු නවතින්නට හේතුවූ ප්‍රධාන කාරණය බව මම දැන සිටියෙමි.  කෙසේ වුවද සරත් ඉතා සුන්දර සහ වටිනා ගමන් සගයෙක් වීම නිසා ඔහු අපත් සමග නැවතීම සියළුම දෙනාගේ සතුටට කරුණක් විය.  පසුදා සිට සාහිත්‍ය උත්සවය ඉතා අලංකාරයෙන් සහ උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.  අපිද දෙසතිය කුටියේ වැඩ කටයුතු ඉතා සතුටින් කරගෙන ගියෙමු.

සාහිත්‍ය උත්සවයේ පළමු දිනයේ උදේ වරුව වෙන්වන්නේ දේශන වැඩමුළු සාකච්ඡා සහ සම්මන්ත්‍රණ සඳහාය.  මෙවැනි තැන්වලදී එකතුවෙන ආචාර්ය මහාචාර්ය වරු සහ පණ්ඩිතයන් බොහෝ කරුණු කාරණා ගැන මත පළකරමින් සහ වාද විවාද කරගනිමින් සාකච්ඡා කරති.  එවැනි එක් තැනක මුළු උදේ වරුවම ගතවුණේ හංවැල්ල යන නමේ නිරුක්තිය සෙවීම සඳහාය.  එවැනි තැන්වලදී කියැවෙන බොහෝ වටිනා කරුණු කාරණා මට නම් මී මෙන් රසවත් විය.  පණ්ඩිතයන් ගම්වල නම් පමණක් නොවැ කතාකරන පඬිවරයාගේ නමේ නිරුක්තිය පවා විචාරති.  හංවැල්ල නම හැදුණු හැටි හොයන්නටම මේ පණ්ඩිතයන්ට වරුවකටත් වඩා ගතවූ බව මට හොඳට මතකය.  දෙසතිය කුටියේ වැඩ කටයුතු රාජාටත් සෝමපාලටත් පවරා මම මුළු උදේ වරුවම මේ සාකච්ඡා සම්මන්ත්‍රණ වල ගතකරන්නට පටන් ගත්තේ ඒවා ඒ තරම්ම රසවත් වීම නිසාය.  රසවත් වීම පමණක් නොව මා ඒවායින් අපමණ දැනුම් සම්භාරයක් ලබාගත් බවත් කිවයුතුමය.  හවස් වරුව එක එක ප්‍රකාශකයන්ගේ වෙළෙඳ කුටි වෙත ගොස් ලාබෙට විකුණන්නට ඇති පොත් සොයමින් ගතකලෙමි.   රාත්‍රියේ මාව කුටියේ තබා අනික් දෙතුන් දෙනා කඩචෝරු කමින් සංගීතාංග සහ නැටුම් ගැයුම් බලන්නට ද ඒවා බලන්නට එන ගමේ කෙල්ලන් පස්සෙන් යන්නටද පටන් ගනී.  එය මට කිසිම කරදරයක් නොවුණේ රෑට වෙළෙඳ කුටිවලට එන අය අඩු නිසාත් පහළ කෙරෙන සියලුම දේවල් උඩ තට්ටුවේ ඉන්නා මට හොඳින් පේන නිසාත්ය.

මේ අතර මොළේ සුනිල් වාහනයේ හංවැල්ල ටවුමට ගොස් රෑට කන්නට සහ විශේෂයෙන්ම බොන්නට අවශ්‍ය දේවල් රැගෙන එයි.  ඇවිදින්නට ගිය උන් මහන්සිවී ආපහු දෙසතිය කුටියට එන්නේ බොන්නත් කන්නත් බලාගෙනය.  දෙකක් තුනක් දාගත් පසු  ගිය ගමන්වල විස්තර ගැන කෙරෙන කතාබහද මඩ ගහ ගැනිලි ද අඩුවක් නැත.  ඔක්කොම වැඩ ඉවරවී අපි නිදාගන්නේ මහ පාන්දරය.  උදේ අවදිවී කට්ටියම වාහනයට නැගගෙන නාන්නට යන්නේ හංවැල්ල ටවුමට කිට්ටුවෙන් කැළණි ගඟේ තියෙන තොටුපොලකටය.  රාත්‍රියේ බීපුවායේ අමාරුව යන්නත් එක්ක හොඳට ගඟෙන් නාගෙන පාරෙන් තැඹිලිත් බී කුටිය විවෘත කරන්නට  කල්වේලා ඇතිව ආපහු එන්නේ උදේට කන්නට බලාගෙනය.  උදේ කෑමට වියදම් කරන්නට අවශ්‍ය නොවුණේ සරත් ඔහුට දෙන කෑම අපටත් එක්ක ඇතිවෙන්නට අරගෙන එන නිසාය.  මේ විදියට කටයුතු  වෙද්දී කාලය ගතවෙනවා නොදැනේ.  ඇත්තටම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේ ගතකරපු මුළු කාලයම අපට නම් එකම විනෝදයක් විය.

දවසක් දා රාත්‍රියේ (එය මට මතක හැටියට සිකුරාදාවක් විය) අපේ කාර්යාලයේ වැඩකරපු ප්‍රේමා හෙවත් ප්‍රේමක්කා ඇගේ මහත්තයා සහ දරු දෙදෙනා එක්කරගෙන සාහිත්‍ය උත්සවය බලන්නට ආවාය.  එතැනදී අප හමුවූ විට ඇගේ සතුට නිම් හිම් නැතිවිය.  ඒ ගැනත් කතාවක් ඇත.  ප්‍රේමක්කා අපේ කාර්යාලයේ වැඩට ආවේ හංවැල්ලේ ඉඳලාත් කිලෝමීටර් තුන හතරක දුර ගමක සිටය.  දරුවන්ගේ වැඩත් එක්ක ගමනාගමනය අපහසු නිසා වෙලාවට කාර්යාලයට යන්න එන්න තිබුණු කරදර නිසාවෙන් ඇය ගමට ළඟ තැනකට ස්ථාන මාරුවක් ඉල්ලා අවුරුදු කීපයක් ගතවී තිබුණත් ස්ථාන මාරුව නොලැබුණු නිසා ඇය සිටියේ ඒ ගැන සිත් කරදරයෙනි.  මම ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට මාරුවී ආවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සිට නිසා ඇය ඒ ගැන මට කීවේ පුළුවන් කමක් ඇත්නම් වැඩේ කරදෙන්න කියාය.  රාජ්‍ය පරිපාලනේ හිතවත් අයගේ මාර්ගයෙන් ප්‍රේමාගේ ස්ථාන මාරුව ලබාදෙන්නට මට ගතවුණේ සති දෙකක් වැනි සුළු කාලයකි.  ස්ථාන මාරුව ලබාගත් ප්‍රේමක්කා මට මුව නොසෑහෙන සේ ස්තුති කර සතුටින් ගම් පළාතට ගියාය.  ප්‍රේමා හංවැල්ලේ ඉන්නවාය කියා ඒ වන විට අපටද අමතක වී ගොසින්ය.  අපි කට්ටිය දුටු පමණින්ම ප්‍රේමක්කා සතුටු වුණේ ඒ හින්දාය.  කතාබහ කර සාහිත්‍ය උත්සවයද බලා ආපසු යන්නට ලෑස්ති වෙන ප්‍රේමක්කා අපට ආරාධනාවක් කළාය.

" මල්ලියෙ, ඔන්න ඔක්කොම කට්ටිය එක්ක හෙට රෑ අපේ ගෙදර කෑමට එන්න!"

අපි ආරාධනාව සතුටින් පිළිගත්තෙමු.  පහුවදා උදෙන්ම රාජකාරියට ගිය සරත් දවල් වෙද්දී අපේ කුටියට ආවේ සිනාසෙමිනි.

" උඹල දන්නවද වැඩක්, මම අද ටවුමට ගිය වෙලාවෙ ප්‍රේමගෙ මහත්තය හම්බුණා නෙ."

" ඉතිං."

" ඉතිං තමයි, පොරගෙ සයිකලේ පිටිපස්සෙ ලේ පෙරෙන ඌරු ගාතයක් ගැට ගහල තිබ්බනෙ." 

සරත් සිනාසෙමින් කියයි.  එදා රාත්‍රියේ ප්‍රේමා ගේ ගෙදර රෑ කෑමට ඌරු මස් පිළියෙළ කොට තිබුණාදැයි මට මතකයක් නැතත් සරත් එහෙම කිව්වේ අපටද සිනාසෙන්නටය.  ඒ කාලයේ අද මෙන් නොව ඌරු මස් ටිකක් ලේසියෙන් හොයාගන්නට තිබුණේ නැත.  අද නම් හන්දියක් හන්දියක් ගානේද පාර අයිනේද ඌරු මස් තට්ටු ඕනෑ තරම් ඇත.  හෝටල බොහොමයකද බෝඩ් එල්ලා තිබෙන්නේ ඌරු මස් සමග බත් කන්නට තියෙනවා කියලාය.  හැබැයි හරක් මස් ටිකක් කඩේකින් හෝ හෝටලයකින් වැරදිලාවත් හොයාගන්නට නැතිවීම පුදුමයකි.  අද කියැවීම අනුව ඌරන් මැරීම පව් සිදුවන දෙයක් නොවෙන නමුත් හරකුන් මැරීම ආනන්තරිය පාප කර්මයකි.  ඒ නිසාදෝ ඉඳහිට හරි කොහේ හෝ තැනක හරක් මස් විකුණනවා නම් ඒ කරන්නේත් හොරන් හොරෙන් කේ ජී විකුණනවා වගේ පුද්ගලයා හොඳට හඳුනා ගැනීමෙන් පසුවය.  නමුත් මට මතක ඈත කාලයේ නම් හරක් මස් නිදහසේ විකුණුන අතර අරන් යන අයගේද අඩුවක් නොවීය.  කොටින්ම අද සුලභව කෑමට ඇති කුකුල් මස් වල තැන එදා තිබුණේ හරක් මස් වලටය.  මම මේ කියන කතාවේ යටිපෙළ තේරුම් ගැනීම ඔබ සතු කාර්යයකි.  

මේ ළඟදී දවසක මම ලේ පරීක්ෂණයක් සඳහා උදේ නිරාහාරව ගොස් පරීක්ෂණයට ලේ දුන්නෙමි.  ලේ දීමෙන් පසු කෑම කා පැයකට පසු නැවතත් ලේ ගැනීමට නියමිත විය.  ඊට පසු මම ටවුමේ හෝටලයකට ගියේ උදේට කෑම කන්නටය.  මට කෑම ගෙනැත් තියපු මනුස්සයා කීවේ පාන් කන්නට වෙනත් වෙනත් හොදි වර්ග සමග ඌරු මස් හොදිත් තියෙනවා කියලාය.  මම ඔහුගෙන් හරක් මස් පීරිසියක් ඉල්ලුවේ නැති බව දැන දැනම උනත් උදේම පොඩි සොමියක් ගන්නට හිතලාය.

" හරක් මස් නෑ!" ඌ කීවේ මුහුණද හපුටු කරගෙනය.

" මම හිතුවෙ ඌරු මස් තියෙන එකේ හරක් මසුත් ඇති කියලා!" මම අහිංසක ලෙස කියා සිටියෙමි.

" නෑ නෑ අපි හරක් මස් ගේන්නෙ නෑ!" ඔහු තදින්ම කියා සිටියේය.

හරක් මස් ආහාරයට ගන්නවාට විරුද්ධව මෙතරම් විරෝධයක් තියෙද්දී හරක් මස්ම කන්නට ඉල්ලන මේකා මහ මිථ්‍යා දෘෂ්ටිකයෙක් ම විය යුතුයැයි ඔහු නිසැකවම සිතන්නට ඇත.

අපිත් එක්ක එකට ඉන්දියාවේ සිටි ටෙරන්ස් කතෝලිකයෙකි.  සතියකට දෙතුන් වේලක් හරක් මස් ආහාරයට ගැනීම ටෙරන්ස්ලා සිරිතක් වශයෙන් කරන දෙයකි.  ඒ දවස්වල අපි හවස වැඩ ඇරී ගෙදර යද්දී එග්මෝර් ටවුමේ හරක් මස් පොට් එකකට ගිහින් මස් මිළදී ගත් අතර එතැන මස් ඉවර නම් අන්නා නගර් වල තැනකින් මස් ගන්නට පුරුදුවී සිටියෙමු.  දැන් ටෙරන්ස්ගේ පදිංචිය ලංකාවේය.  ළඟදී දවසක අපි ටෙරන්ස් ලාගේ ගෙදර කෑමකට ගිය වෙලාවක දවල් බතට සුපුරුදු පරිදි හරක් මස් ඉස්ටුවක් ද විය.  

" මේ පැත්තෙ නම් මස් ගන්න එච්චර අමාරුවක් නෑ වගේ." 

මම කීවිට ටෙරන්ස්ට මල හොඳ එකෙන්ම පැන්නේය.  

" පිස්සුද බං, මස් ටිකක් හොයාගන්න තියෙන අමාරුව අපියි දන්නෙ. දැන් හැම කඩේකම වාගේ හරක් මස් විකුණන එක නවත්තලානේ.  මස් ටිකක් හොයාගන්න හෙන ඈත යන්න වෙනව.  ඇයි යකෝ ඉන්දියාවෙදි වත් මෙහෙම අමාරුවක් තිබ්බෙ නෑනෙ මස් ටිකක් හොයාගන්න."

ඒ කතාව එහෙමය.  සාහිත්‍ය උත්සවය ගැන කියන්නට තියෙන දේ කියා අහවර බව සිතමි.  හංවැල්ල සාහිත්‍ය උත්සවයේ දී සිදුවූ මතක හිටින තව දෙයක් වුයේ කරුණාරත්න දිවුල්ගනේ හමුවීමයි.  සාහිත්‍ය උත්සවයේ තිබු සංගීතයක ගීත ගයන්නට ඇවිත් සිටි ඔහු වෙලාව එනතුරු උත්සව භුමියේ ඇවිදිමින් සිටින අතර දෙසතිය කුටියටත් ගොඩවුණේ එක දෙසතියක ඔහු ගැන ලිපියක් පළවී තිබීම හේතුවෙන් එය මිළදී ගන්නටය.  කාලය සම්බන්ධව අපි දෙදෙනාටම ප්‍රශ්නයක් නොතිබූ බැවින් අපි දෙදෙනා ටිකක් වෙලා කතා කරමින් සිටියෙමු.  එවකට ඔහු ගැයූ ජනප්‍රිය ගීත කිහිපයක්ම අපේ කතාවට බඳුන් වූ අතර කතාව අවසන් කරන්නට වුණේ ඔහුට ගී ගයන්නට යායුතු වෙලාව පැමිණීම නිසාය෴

Thursday, August 2, 2018

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 18 - එස්.එච්.සරත්ගේ කලා අධ්‍යක්ෂණය, බෙනට්ගේ පළමු ටෙලිය, එලාගේ රැඟුම්, දයාගේ සුරුට්ටු පෙට්ටිය, ලින්ටන්ගේ සංක්‍රමණය සහ සංගීත ප්‍රසංගය..







අගමැතිතුමා එස්.එච්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් විවෘත කරනවා දැනට මාසයකට පමණ පෙර රූපවාහිනියෙන් දුටුවෙමි.  එස්.එච්.සරත් අගමැතිතුමා එක්ක චිත්‍ර ප්‍රදර්ශනය බලනවා දුටුවිට මට මතක්වුණේ එස්.එච්. සරත් ව පළමුවෙන්ම හමුවූ දවසය.  ඒ අසූ ගණන්වල අග භාගයේය.  එකල එස්.එච්.සරත් චිත්‍ර ශිල්පියෙක් වශයෙන්  ඉතා ප්‍රසිද්ධ වී සිටි අතර ඔහුගේ 'රබර් ගස' නම් චිත්‍රය රුපියල් ලක්ෂයකට විකිනුණු කතාව අපි අසා සිටියේ විමතියෙනි.  ඒ මන්ද යත් හැත්තෑ ගණන්වල චිත්‍රයක් එපමණ මුදලකට අලෙවිවීම ප්‍රවෘත්තියක් ම වූ බැවිනි.  පසුව අපි ඔය ගැන කතාවෙද්දී එකෙක් කීවේ එය සරත්ගේම සිරිකිස් වැඩක් කියා වුවත් එහි ඇත්ත නැත්ත මම නොදනිමි.  කොහොම වුණත් සරත් අපට හමුවන්නට හේතු පාදක වූ කාරණය වුණේ බෙනට් ගේ පළමු ටෙලි නාට්‍යයයි.  ඒ ටෙලියේ කලා අධ්‍යක්ෂක හැටියට බෙනට් එස්.එච්.සරත් ව තෝරාගෙන තිබුණි.

ටෙලිය රූගත කරන්නට තෝරාගෙන තිබුණේ අම්බලන්ගොඩ සහ හික්කඩුව අතර පිහිටා ඇති අකුරළ නම් සුන්දර ගම්මානයේය.  කතාව සහ තිර රචනය නිමල් ගමගේ ගෙන් වූ අතර ඔහුද ඒ පළාතේ කෙනෙක් බැවින් කතාව ලියා තිබුණේ අකුරළ ගම හිතේ මවා ගනිමිනි.  කතාව ටෙලියකට නගන්නට බෙනට් තීරණය කළ පසු අපි කට්ටියක් බෙනට් එක්ක අකුරළට ගොස් ලොකේෂන් බලා ආපසු ආවේ රූගත කරන්නට අවශ්‍ය පහසුකම් ද සපයා ගෙනය.  කාලයක් සංචාරක කර්මාන්තය සරුවටම කෙරුණු අකුරළ, යුද්ධය නිසා සංචාරක කර්මාන්තයට කණකොකා හඬා තිබුණු එකල පාළුවට ගිය ගමක් විය.  සංචාරක කර්මාන්තය ලෙල්ලටම බැස තිබීම හේතුවෙන් එහි තිබුණු හෝටල් ද ගෙස්ට් හවුස් ද පාළුවට ගොස් තිබුණි.  සංචාරක අහේනිය තරු හෝටලයේ සිට පාරේ තැඹිලි කපන මනුස්සයා දක්වා ම අසරණ කර තිබු අතර ගයිඩ් වැඩවලින් එදාවේල සොයාගත් තරුණයින් නන්නත්තාර කරදමා තිබුණි. 

සංචාරක පැමිණීම් ඉතා ඉහළ අගයක් ගෙන තිබු කාලයේ තැන තැන ලෑලි වලින් ඉදිව තිබු තාවකාලික නවාතැන් පොළවල් ද කඩද දිරායමින් පැවතුණි.  සංචාරකයින් නොමැතිවීම අපට අහම්බ වාසියක් වුණේ පාළුවට ගිය සංචාරක ස්ථාන සියල්ලම පාහේ ටෙලියේ දර්ශන තල බවට පත්කරගන්නට ලැබීමය.  ඊට අමතරව අත්‍යාවශයම දෙයවූ නවතින්නට තැනක් ද ඉතා අඩු මිළකට වෙන්කර ගන්නට ද හැකිවිය.  එය ඒ කාලයේ වැඩ නැතිව තිබුණු කුඩා හෝටලයකි.  කාමර පහකින් යුත් එම නවාතැනේ නළු නිළියන්ට ද නිෂ්පාදන කණ්ඩායමට ද කාර්මික ශිල්පීන්ට ද නැවතී සිටින්නට ඉඩ තිබුණි.  නවාතැන පිහිටා තිබුණේ මුහුද අයිනේ වූ අතර ඉදිරිපිටින් හිරිගල් වැටියකින් වටවී තිබු නොගැඹුරු මුහුද නාන්නටද පීනන්නටද කදිම ස්ථානයක් විය.

මේ වැඩ කටයුතුවලට එවකට ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වූ නන්දිමිත්ත ද සොයිසා මහතාගේ සහයෝගය ද ලැබුණේ ඔහු නිමල් ගමගේ ගේ හිතවතෙක් වූ නිසාය.  නන්දිමිත්ත ද සොයිසා ගේ නිවස පිහිටියේ අප නවාතැන් ගත් ගෙස්ට් හවුසියට පාරෙන් එහා පැත්තේ වූ අතර අප ලොකේෂන් බලන්නට හා වෙනත් වැඩවලට විටින් විට අකුරළ ගිය විට අපට කෑම ලැබුණේ ද ඔහුගේ ගෙදරිනි.  නන්දිමිත්ත ද සොයිසා මහතා නිතරම පාහේ ගෙදර නොසිටි අතර ඔහුගේ බාල සොහොයුරෙකු වූ කුමාර ද සොයිසා අපට අවශ්‍ය පහසුකම් සලසා දෙන්නට උනන්දු වුණේ සිය සොහොයුරාගේ දේශපාලන බලයද ඔහුගේ පිරිස් බලය ද යොදා ගනිමිනි.  මෙලෙස පහසුකම් සපයා ගැනීමෙන් පසු රූපගත කිරීම් සඳහා යන දිනය ලං ලංව පැමිණියේය.  සියලු රූගත කිරීම් සති දෙකක් තුළ අවසන් කරන්නට නියමිත වූ අතර ඒ සති දෙක තුළ සියලුම කලා ශිල්පීන්,  කාර්මික ශිල්පීන් හා නිෂ්පාදන කණ්ඩායම  අකුරළ නැවතී සිටිය යුතු විය.

මට තිබුණු ප්‍රශ්නය වුණේ සති දෙකක් කාර්යාලයෙන් නිවාඩු ගැනීමයි.  අපේ නිවාඩු විෂයය භාරව සිටියේ හික්කඩුවේ වවුලගල කෙල්ලක් වූ අතර ඇය මා සමග හිතවත්ය.  ඇය මට කීවේ සති දෙකක් නිවාඩු අනුමත කරගෙන යන්නට නොහැකි නිසා අසනීප බව දන්වා ටෙලිග්‍රෑම් එකක් එවන ලෙසත් ආපසු කාර්යාලයට එන දවසට වෛද්‍ය සහතිකයක් අරගෙන එන ලෙසත්ය.  මම ඇගේ උපදෙස් අකුරටම පිළිපැද්ද අතර අන්තිමේදී  නිවාඩු ටිකත් ඉතිරි කරදෙන්නට ඇය කටයුතු කළාය.

අකුරළ යන්නට නියමිතව තිබු දිනයේ අපි උදෑසනින් ගමන පටන් ගත්තත් ලාහට ගෙම්බන් එකතු කරන්නාක් සේ තැනින් තැන නවතා කට්ටිය එකතු කරගෙන ෆයින් විෂන් එකෙන් කැමරා උපකරණ හා කාර්මික ශිල්පීන් ද පටවාගෙන වාහන තුනකින් අකුරළ නවාතැන ට යනවිට සවස්වී තිබිණ.  ෆයින් විෂන් එකෙන් බඩු ගන්නට වුණේ එවකට බෙන් ෆිල්ම්ස් ආරම්භ කර නොතිබූ නිසාය.  නිළියන් හතර දෙනෙක් හා නළුවන් තුන් දෙනෙක් ආටිස් ලා වූ අතර වේෂ නිරුපණය කළේ ජේ. සුරනිමල ය.  කලා අධ්‍යක්ෂණය මා කලින් සඳහන් කළාසේ එස්.එච්. සරත් ට භාරව තිබු අතර ඔහු පැමිණ සිටියේ සිය සහයකයා වූ අතුල පීරිස් සමගය.  අතුල පීරිස් ගුරුවරයෙකි.  ගාල්ල කොටුවේ ලේන් බාන් වීදියේ පදිංචිකරුවකු වූ අතුල එවකට රාජ්‍ය නාට්‍ය සම්මාන ලද වේදිකා නාට්‍යයක් වූ 'සුභ සරණගත' නාට්‍යයේ නිෂ්පාදකයා විය.  කැමරාව මෙහෙයවීම කරන ලද්දේ පරාක්‍රම සිල්වා විසිනි.  ඔහු 'බිත්ති හතර' චිත්‍රපටය කැමරාව මෙහෙයවමින් අධ්‍යක්ෂණය කළේය.  සුගතපාල ද සිල්වා ලියු ඉතාම අපූරු පොතක් වන බිත්ති හතර පොත මා කියවා ඇතත් චිත්‍රපටය මේ දක්වා බලන්නට නොලැබිණි. 

දයා සුගතදාස ටෙලියේ නිෂ්පාදන කළමනාකරණය භාරව කටයුතු කළ අතර සහාය කැමරා ශිල්පියා වූ  චන්න දේශප්‍රිය කාර්මික ශිල්පීන් ගේ කණ්ඩායමද  භාරව සිටියේය.  දේශා සහ රුවන් බෙනට්ගේ අධ්‍යක්ෂණ සහායට සිටියහ.  ටෙලියේ සහායක චරිත හෙවත් පොඩි පොඩි චරිත රඟපාන්නට ද කීප දෙනෙක් පැමිණ සිටි අතර ගියදාට පසුවදා උදේම රූපගත කිරීම් ආරම්භ වුයේ ප්‍රධාන නිළිය මුහුදේ ගහගෙන යනවිට බේරා ගන්නා දර්ශනයක් රූපගත කිරීමෙනි.  නිළියන් කීප දෙනෙකුගේ නෝක්කාඩුව ඇරඹුණේ එදා රාත්‍රියේ සිටය.  පසුවදාද ඔවුන්ගේ දර්ශන රූගත නෙකෙරෙන බව දැනගන්නට ලැබුණු විට ඔවුන් නොසන්සුන් වුණේ කොළඹ සියලුම වැඩ දමා මෙහි ඇවිත් නිකං කාමරයට වී ඉන්නට බැරිය කියාය.

දේශා, රුවන්, නිහාල් සහ මම එක කාමරයක නවාතැන් ගෙන සිටි අතර දවසේ වැඩ අවසන්වූ පසු අම්බලන්ගොඩින් හෝ හික්කඩුවෙන් බෝතලයක් දෙකක් කාට හරි කියා කාමරයට ගෙන්වා ගැනීම සිරිතක් වී තිබිණි.  බයිට් වලට අලුත් මාළු වුවමනා තරම් වැල්ලෙන් ලාබෙට ගතහැකිය.  මාළුවෙක් දෙන්නෙක් අරගෙන කුස්සියට දුන් විට රසවත් බයිට් එකක් කාමරයටම ලැබේ. බෝතලය හිස් කරන්න උදව් වෙන්නට සුරනිමල ද අපේ කාමරයට එයි.  සුරනිමල පස්සෙන්ම කාමරයට එන්නේ එලන් සිල්වෙස්ටර් ය.  ඇයට අපි එලන් ඇන්ටි කියා ඇමතූ අතර දෙකක් වැදුණු පසු එලා යනුවෙන් නම කෙටිවෙයි.  දෙකක් දාගත් එලා බෙනට්ව පතුරු ගහන්නට ගනී.

" ඔක්කොම වැඩ අතහැරල මෙහෙ ආවෙ දවසකින් දෙකකින් යන්න පුළුවන් කියල බෙනට් කියපු හින්දනෙ.  බලන්නකො තවම එක ෂොට් එකක්වත් ගත්තෙ නෑ, ඔහේ කාමරේට වෙලා ඉන්නවා.  බෙනට් ට බම්බු ගහගන්න කියල මම හෙටම යන්න යනවා." එලා බරසාර හඬින් කියයි.

සුරනිමල ඇගේ කතාවට හුමිටි තබන අතර තවත් එකක් දාගන්නා එලා හඬන්නට පටන් ගනියි.

" මගෙ පුතා, මගෙ එකම පුතා, තනියෙන් දාල ආවේ.  මොන හිතකින් මම මෙහෙ ඉන්නද! එනව පුතේ මම හෙටම එනවා."

එලා සියල්ලම රඟපා පෙන්වයි.  කාමරය එකම විනෝද සාගරයකි.  අපි බඩවල් අල්ලාගෙන සිනාසෙමු.

" උඹල අහිංසක මට හිනාවෙනවා නේද කොල්ලනේ? උඹලට දරු දුක තේරෙන්නෙ නෑ! මගෙ එකම පුතා, අයියෝ.....මම කොහොම මේ දුක ඉවසන්නද?

රෑට කෑම සුදානම් වෙන තුරුම අපි එලාගේ රැඟුම් රස විඳින්නෙමු.  අපි හිනාවුණාට ඇතිවී ඇති තත්ත්වය බරපතලය.  බෙනට්ට විරුද්ධව කැරැල්ලක් ඇතිවෙන්නට තරම් විරෝධය ඉහළ ගොස් ඇත. බෙනට් සියල්ලන්ම එකවර කැඳවා ගෙනැවිත් තිබුණේ ඔහුගේ පහසුවට නමුත් කරන්නට තිබුණේ රූගත කිරීම් සිදුවන ආකාරයට කලාකරුවන් රැගෙන ඒමය.  කෙසේ වුවද දැන් කරන්නට දෙයක් නැත.  පටන් ගත්තු වැඩේ ඉවරයක් කළ යුතුය. 

බෙනට් ට විරුද්ධව කියන දේවල් පහුවදා එළි වන විට ඔහුගේ කණට යයි.  තත්ත්වය කළමනාකරණය කර ගන්නට බැරි තරමට ඉහළ ගොස් ඇති බව වටහාගන්නා ඔහු උදේම යක්ෂාවේෂ වේ.  කවුරුත් කතාබහක් නොකර තම තමන්ගේ වැඩක් කරති.  කෙසේ වුවද කිසි කෙනෙක් යන්නට ගියේ නැති නිසා රූපගත කිරීම් වලට කරදරයක් වුණේ නැත.  වැඩේ පොඩ්ඩක් වැරදුනේ ටෙලිනාට්‍ය කරණයට බෙනට් ආධුනිකයෙක් වීම නිසාය.  ඔහුගේ සහායකයින් වූ දේශා ද රුවන් ද පමණක් නොවැ නිෂ්පාදන කළමනාකරු වූ දයා සුගතදාස ද වැඩේට ආධුනිකයන්ය.  තමන්ට වැරදුණු බව වටහාගත් බෙනට් පසුකාලීනව කළ ටෙලිනාට්‍ය වලදී එම වරද සිදු නොකරන්නට පරිස්සම් විය.  

අපි නවාතැන් ගෙන හිටිය හෝටලය තිබුණේ මුහුද අයිනේ ය කියා මම කලින් කීවෙමි.  ඊට එහායින් ගාලු පාරය.  ගාලු පාරට එහායින් ගම පටන්ගත් අතර දුම්රිය පාර ඇදී ගියේ ගම මැදිනි.  අපි රූගත කිරීමට ප්‍රයෝජනයට ගත් දර්ශන තල පිහිටා තිබුණේ දුම්රිය මාර්ගයටද එහායිනි.  දුම්රිය මාර්ගය පැන්න විට හමුවන පහත් භුමිය දිය සීරාවෙන් යුක්ත එකක් වූ අතර අත්හැර දමා තිබු පාළු හිරිගල් වලවල් වල වතුර පිරී තිබිණි.  වලවල් වටේ බොරුපන් පඳුරු වැවී තිබු අතර කුඩා කහ පැහැති මල් සහිත ජලජ ශාක දියේ පාවෙමින් අලංකාර දර්ශනයක් මැවීය.  ලෑලි වලින් සාදා දිරාපත් වෙමින් තිබු කාමර සහ කඩ තිබුණේ මෙම අලංකාර පරිසරයේය.  මේ බිම් කොටසට අපි බොහෝ සේ ප්‍රිය කළ නිසා විවේකයෙන් සිටි හැම වෙලාවේම එම පරිසරයේ සුන්දරත්වය විඳිමින් ගතකරන්නට පුරුදුව සිටියෙමු. 

විහිළු කතා කියමින් එක එකාට කාඩ් ගසමින් හැම තිස්සේම විනෝදයෙන් සිටි කාර්මික ශිල්පීන් කණ්ඩායම හෙවත් කෲ එක සෙට් එකට ගිහින්ද විහිළු කළහ.  මේ විහිළුවලට නිහාල් ද සම්බන්ධ විය.  නිළියෙක්ගෙන් ගවුමක් ඉල්ලා ගන්නා නිහාල් ඒකත් ඇඳගෙන පොල් ගහක් යට වාඩිවී සිටින්නේ කෲ එකත් එක්කය.  කෝච්චියක් එන සද්දෙ ඇහෙන විට නැගිට ගන්නා නිහාල් දුවන්නට ගනී.  කෲ එකේ කොල්ලන් දෙන්නෙක් නිහාල් පිටිපස්සෙන් එලවාගෙන යති.  නිහාල් දිග ගවුම පැත්තකින් උස්සාගෙන ' බුදු අම්මෝ! මාව බේරාගනියෝ' කියා විලාප තබමින් හිරිගල් වලවල් වටේ දුවද්දී කෝච්චියේ යන උන් ජනෙල් වලින් ඔලුව පමණක් නොව ඇඟද එළියට දමාගෙන සිය දෑස් ඉදිරිපිට සිදුවන මේ මහා අපරාධය දුක්මුසු දෑසින් නැරඹුවත් උන්ට කරන්නට දෙයක් නැති අතර කෝච්චිය යන්නට යයි.  නිහාල් ද කෲ එකේ කොල්ලන් ද බඩ බදාගෙන හිනාවෙවී ආපහු ඇවිත් පොල් ගහ යට වාඩිවෙන්නේ තවත් කෝච්චියක් එනතුරුය.

ආවා වෙනුවට දවසක් නැවතී සිටි කලා අධ්‍යක්ෂ එස්.එච්.සරත් පසුවදා යන්නට ගියේ කලා අධ්‍යක්ෂණය සිය සහායක අතුල පීරිස් ට පවරා දෙමිනි.  තවත් දවසක් සිටි අතුල ද නිවාඩු නෑ කියා ආපහු ගාලු ගියේ කලා අධ්‍යක්ෂණය නිහාල් ට පවරා දෙමිනි.  කෲ එකට මේ ගැන කියන්නට කතා බොහෝ විය.

" සරත් පරාවෙක් අරං ගෙදර ගියා, අතුල ගල් මාළුවෙක් අරං ගෙදර ගියා, නිහාල් උඹ දැල්ලො ටිකක් වත් අරගෙන ගෙදර පලයං."  ඔවුහු නිහාල්ට විහිළු කළහ.

ගෙදර යන්නට හදිස්සියක් නොතිබූ නිහාල් තමන්ට පැවරුණු කලා අධ්‍යක්ෂණයේ සහයට මට කතා කළ අතර අපි දෙන්නා දන්නා විදියට කලා කටයුතු ටික කර දුන්නෙමු.  ඒ දවස්වල ගමේ කොල්ලන් වැඩි දෙනෙක් අපේ කණ්ඩායමේ කාට කාට හෝ හිතවත්ව ලඟින් සිටියේ තියෙන වැඩක් කර දෙන්නට වගේම ටෙලියේ කෑල්ලකට මුහුණ ඔබා ගන්නට තිබු වුවමනාව නිසාය.  නිහාලුත් මමත් එකට වැඩ කරන්නට වුණු එක ගැනද කෲ එක කතා හදන්නට වූයේ හැම එකාටම ඇසිස්ටන් කෙනෙක් ඉන්න නිසා නිහාල් මාව ඇසිස්ටන් කමට ගත්තා කියාය.  ඔය විදියට වැඩේ යද්දී මටද ඇසිස්ටන් කෙනෙක් හමු විය.  ඌ ගමේ අහිංසක  කොල්ලෙකි.

" අන්න යකෝ, අරූටත් ඇසිස්ටන් කෙනෙක් සෙට් වෙලා." කෲ එකට තවත් බයිට් එකකි.  මම යන හැම තැනම පස්සෙන් එන කොල්ලාට උන් කිව්වේ ඇසී හෝ ඇසියා කියාය.  එක දවසක ගාල්ල කොටුවේ දර්ශනයක් රූපගත කරන්නට කණ්ඩායම උදේම ගාල්ලට යන්නට නියමිත විය.  මම ඇසියා ටද පහුවදා උදේම හෝටලයට එන්නට කීවෙමි.  ඇසියා ටිකක් වෙලා මා දෙස බලා හිඳිමින්,

" මට ගාල්ලෙ ඇඳගෙන යන්න තරම් හොඳ කමිසයක් නෑ." යි කීවේය.  මට අඳින්නට ගෙන ගොස් තිබු නිල් පාට අත් කොට කමිසයක් මම ඇසියාට දුන්නෙමි.  කමිසය අතට ගත් ඇසියා ගේ දෑස් සතුටින් දිළිසෙන්නට වූ අතර ඌ පහුවදා එළිවෙන පාන්දරම කමිසයත් ඇඳගෙන හෝටලය ඉදිරිපිට පෙනී සිටියේය.

ඒ දවස්වල අපිත් එක්කම එකට හිටි තවත් තුන් දෙනෙක් ගැන කියන්නට තිබේ.  ඒ ලාංකිකයන් නොව සංචාරකයින්ය.  මේ අය කලින් ද ලංකාවට ඇවිත් පළපුරුදුකම් ඇති අය නිසා යුද්ධය තිබුණත් රටේ බෝම්බ පිපිරුණත් ලංකාවට නෑවිදින් ඉන්නට බැරි තරමට ලංකාවට ඇලුම් කරන අයයි.  එකෙක් අඩි හතක් විතර උස මහත දැවැන්ත ඇඟපතක් තිබු ජර්මන් ජාතිකයෙක් වූ අතර ඔහු කුමාරගේ ගෙස්ට් කෙනෙකි.  කුඩා සිරුරක් තිබු කුමාර ජර්මන් ජාතිකයා ඉදිරියේ අඟුටු මිට්ටේකු මෙන් විය.  රෑ පුරා සිංදු කියමින් විනෝදයෙන් ගතකර පාන්දර නිදාගන්නා ඔහු දවල්වී නැගිට ඇවිත් මුහුදට පනී.  මුහුදේ පැය ගණනක් නාගෙන ගොඩට විත් හෝටලයෙන් ලොකු  මාළුවෙක් රෝස් කරවාගෙන බියර් බොමින් දවල්ට කයි.  වෙරළේ රූගත කිරීම් කරද්දී ඔහු අපත් සමග හිතවත් වූ අතර ටෙලියේ දර්ශනයකට ද පෙනී සිටියේය.  දර්ශනයේ ෂොට් වරදින වරදින පාර නැවත නැවතත් ගනිද්දී නොසන්සුන් වූ ඔහු 'දැන් ඇති' කියා යන්නට අවශ්‍යයි කීවේය.  ඒ ගමන බෙනට් ගිහින් ඔහුට යාප්පුවෙන් කතා කළේ තව ටික වෙලාවයි කියා ඔහුව රඳවා ගන්නටය.  ක්ෂණයකින් ඔහු බෙනට් ව බෝනික්කෙක් මෙන් උඩට ඔසවා මුහුදට විසිකළේ සිනාසෙමිනි.  ඉන්පසුව හැම රෑකම අප හමුවන්නට හෝටලයට එන ඔහු රෑ මැදියමක් වෙනතුරු අපත් සමග ගීත ගයමින් විනෝද වෙන්නට පුරුදු විය.

ඊළඟට හිටියේ වයස අවුරුදු විසි ගණනක් වූ ස්විට්සර්ලන්ත ජාතික විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.  ඇගේ නම දැන් මට මතක නැති වුණත් උස මහත නිතර සිනාසෙන සුහදශීලී  සුන්දර තරුණියක් වූ ඇය අපි අකුරළට ආපු දා පටන් යන යන හැම තැනකම අපිත් එක්ක පස්සෙන් වැටී එන්නට පුරුදුව සිටියාය.  ගෝල්ඩ් ලීෆ් පැකට් දෙක තුනක් මල්ලක දාගෙන හෝටලයට එන ඇය ගංජා ඔස්තාර් කෙනෙකි.  ගංජා මිටිය සුදු මුදු ඇඟිලි තුඩින් පොඩිකර සිගරැට් දුම්කොළ ද මිශ්‍ර කරන ඇය මිටිය හුරුබුහුටියට ඔතන ආකාරය බලා ඉන්නට ලස්සනය.  බියර් බොමින් සිටි ඇයට වැඩි දවසක් යන්නට පෙර අපේ උන් ගල් බොන්නට පුරුදු කළේ අඩු මුදලට වැඩි සොමියක් ගන්නට හැකිය කියමිනි.  මිටිය ගහන්නට වැඩි කැමැත්තක් නොතිබූ අප හමුවන්නට ඉන්පසු ඇය ආවේ ගල් බෝතලයක් ද අරගෙනය.  ටික දිනකින්ම නිහාල් ඇය සමග ළෙන්ගතු කමක් ඇතිකරගත් අතර පාළු හිරිගල් වලවල් අයිනේද, වෙරළේ ගොඩට ඇද තිබු ඔරු කඳන් අස්සේද උන් දෙන්නාගේ ආදර ජවනිකා රඟ දැක්වෙන්නට විය.  රේල් පාර අයිනේ තිබු නිවෙසක උඩ තට්ටුවේ කාමරයක ඇය නැවතී සිටි අතර සංචාරකයින්ට කුලියට දෙන්නටම හදා තිබු ඒ කාමරයට පිටින් නගින්නට පඩිපෙළක් විය.

දවසක් දා නිහාල්ටත් මටත් දර්ශන තලයක රාත්‍රිය ගත කරන්නට සිදු වුණේ ඒ දර්ශන තලයට ගෙනගොස් දමා තිබු ජෙනරේටර්, ලයිට්, වයර් රෝල් ආදියේ ආරක්ෂාවටය.  රෑට කෑමත් ඔතාගෙන අපි දෙන්නා යන්නට ලෑස්ති වෙද්දී සුරනිමලත් අපි පස්සෙන් වැටුණේ තනියම ඉන්නට කම්මැලියි කියමිනි.  ටිකක් දුර යන විට දේශා ද අපේ පස්සෙන් දුවගෙන එනු දුටුවෙමු.  දර්ශන තලයේ හාන්සිවී ගෙනිච්ච බෝතල් කඩාගෙන සප්පායම් වූ අපි එය අවසන් වූ පසු ගෙනගිය කෑම කෑවෙමු.  කෑම කා අවසන්ව බලන විට දැක්කේ බොන්නට වතුර ගෙනැවිත් නැති බවය.  " උඹලා දෙන්නා ඔහොමම ඉඳිල්ලා 'යි දේශාට සහ සුරනිමල ට කී නිහාලුත් මමත් රේල් පාර දිගේ පහළට ආවේ කාගේ හෝ ගෙදරකින් බොන්නට වතුර ටිකක් ඉල්ලා ගන්නටය.

රේල් පාරේ ටිකක් දුර එන අපට එක්වරම ඇසුණේ සංගීත වාදනයකි.  කොහේද කියා විපරම් කොට බැලු කල සංගීතය ඇහෙන්නේ අර කෙල්ලගේ කාමරයෙනි.  ඩෝලයක් ද සර්පිනාවක් ද වාදනය වෙමින් තිබු අතර ගී හඬක් ද ඒ අතරින් පාවී ආවේය.  සිත් මන්මත් කරන සංගීත නාදයට උන් හිටි තැන් අමතක වූ අපි දෙන්නා රේල් පාර පැන පඩිපෙළ නැග කෙල්ලගේ කාමරයට ගියෙමු.  සර්පිනා කාරයාද ඩොල්කි කාරයාද බිම වාඩිවී ගීත කියමින් සංගීත රසයෙන් මත්ව ආවේස වුවන් සේ වාදනය කරන අතර කෙල්ල ඇඳේ සිට මිටියක් ද උරමින් දෑස් පියාගෙන ගී රස විඳිමින් සිටියාය.  ගිය වැඩේ අමතකවූ අපි දෙන්නාද  මොහොතකින් සංගීතයට හවුල් වුණෙමු.  පැයක් පමණ සංගීත රසයේ වෙළී ඉන්නාවිට දොරට තට්ටු කරන සද්දයකි.   වතුර ගේන්නට ගිය උන් දෙන්නාට මොකක් වී දැයි බලන්නට සුරනිමල ද දේශා ද කාමරයට ඇවිත්ය.  අපි දෙන්නා කොහෙ ගියාදැයි සොයාගන්නට බැරිව උන් රේල් පාරේ ඇවිදිද්දී කාමරයෙන් එන සංගීත නාදය ඇසී "මුන් දෙන්නා ෂුවර් එකටම මෙතැන ඇති යැ' යි කියා කාමරේට ආ බව කියද්දී වතුර ගෙනෙන්නට ආ බව අපටත් මතක් විය.  එදා අපි දැමු සාජ්ජය පාන්දර වෙනතුරු ඇදීගිය අතර කොයි වෙලේ නිදාගන්නට ගියාදැයි අපට මතක තිබුණේ නැත.  පහුවදා උදේ මළකඳන් සේ වැටුණු වැටුණු තැන්වල නිදාසිටි අපට ඇහැරවන ලද්දේ රූගත කරන්නට ලෑස්තියෙන් ආ අනෙක් අය විසිනි.  ' මුන් ටික ඊයෙ රෑ ටොප් එකට මුර කරල තියෙනවා' අප දුටු බෙනට් කීවේය.   සාජ්ජයේ මමත් නිහාලුත් සිංදු කියද්දී දේශා ගත්ත පිංතුරයක් නිහාල්ගේ මුහුණු පොතේ තියෙනවා මම මේ ළඟදී දුටුවෙමි.

අනික් සංචාරකයා වුයේ උස කෙට්ටු කොල්ලෙක් වූ ඔස්ට්‍රියන් ජාතිකයෙකි.  ලෝගුවක් වැනි රෙදි බැනියමක් හැඳ දිගට වැවුණු කොණ්ඩය උඩට කර බැඳගෙන භාවනානුයෝගීව මෙන් සිටි ඔහු අපේ වැඩ කටයුතු ගැන කොහෙත්ම උනන්දුවක් නොදැක්වූ අතර වැඩිපුර කාමරයෙන් පිටතට ගියේ නැත.  දක්ෂ චිත්‍ර ශිල්පියෙක් වූ ඔහු හැම වෙලේම කුමක් හෝ චිත්‍රයක් අඳිමින් සිටි අතර ඔහුගේ චිත්‍ර ගැන කුතුහලයක් ඇතිවූ අපි නිතරම ඔහුව හමුවන්නට කාමරයට ගොස් එක එක ප්‍රශ්න අසමින් ඔහුට කරදර කළෙමු.   නිතරම වැනිලා සුරුට්ටුවක් කටේ ගහගෙන චිත්‍ර අඳින මේ තරුණයා පුද්ගල චිත්‍ර හෙවත් පෝට්රේට් ඇඳීමේ අති දක්ෂයකු බව අපි දැනගත්තේ දයා සුගතදාස ගේ පෝට්රේට් එකක් දයා ජීවමානව ඉන්නවා මෙන් ඇඳ දුන් පසුවය.  චිත්‍රය දුටු දයා සුගතදාස ගේ සතුට නිම් හිම් නැතිවිය. ආපසු හෝටලයට පැමිණි දයා මොකක්ද වැඩකට අම්බලන්ගොඩ යන්නට සුදානම් ව සිටි ලින්ටන් සේමගේ ට වැනිලා සුරුට්ටු පෙට්ටියක් අරගෙන එන්නට කියා සල්ලි දුන්නේ සුරුට්ටු පෙට්ටිය චිත්‍ර ශිල්පියාට තෑගී දෙන්නට හිතාගෙනය.  

සුරුට්ටු පෙට්ටියත් අරගෙන ලින්ටන් ආපහු එනවිට දයා සුගතදාස කොහේදෝ ගමනක් ගොසිනි.  චිත්‍ර ශිල්පියාගේ පළහිලව්ව නොදත් ලින්ටා කණ්ඩායමේ සිටි සුරුට්ටු බොන්නෙකු වූ එල්සන් දිවිතුරගම නොහොත් එල්සන් අයියා නොහොත් එල්සා ට සුරුට්ටු පෙට්ටිය දුන්නේ සුරුට්ටු ගේන්නට කිව්වේ එල්සාට දෙන්නට යැයි සිතාගෙනය.  සුරුට්ටු පෙට්ටිය ලැබීමෙන් සතුටට පත් එල්සා එවේලේම සුරුට්ටුවක් දල්වාගෙන අදින්නට විය.  දයා සුගතදාස ආපසු එනවිට එල්සා සුරුට්ටු දෙක තුනක් ඉවර කරලාය.  දයා හමුවූ ලින්ටා සුරුට්ටු පෙට්ටියේ ඉතුරු සල්ලි දුන්නේය.

" සුරුට්ටු පෙට්ටිය කෝ?" දයා ඇසීය.

" ආ! ඒක මම එල්සන් අයියට දුන්නා." ලින්ටා කීවේය. දයාට යකා නැග්ගේය.

" ඇයි යකෝ, මම ඒක ගේන්න කිව්වෙ අර මනුස්සයට දෙන්නනෙ, මොන මඟුලකටද එල්සන් ට දුන්නෙ මගෙන් අහන්නෙ නැතුව?" දයා ගෝරනාඩු කරන්නට විය.

" ඔය කතාවක් මම දන්නවැයි? මම හිතුවෙ එල්සන් අයියට දෙන්න ගෙන්නගත්තා කියල." කලබල වූ ලින්ටා බස බස ගා කීවේය.  

" ඇයි යකෝ මොන මඟුලකටද මම එල්සන්ට සුරුට්ටු පොවන්නෙ?  තමුසෙලට වැඩක් කියනවට වඩා හොඳයි කට ගලක උලාගන්න එකැ'යි කී දයා එවේලේම කාර් එකට නැගී අම්බලන්ගොඩ ගියේ තවත් සුරුට්ටු පෙට්ටියක් ගෙනෙන්නටය.

සාමාන්‍යයෙන් කේන්ති නොගන්නා නිහඬ චරිතයක් වූ දයා සුගතදාසට කේන්ති ගියා අපි ඔය දැක්කාමය.  දයා ලින්ටාට බනිද්දී අපි හිනා නොවී කට තද කරගෙන හිටියත් දයා පිටත් වූ පසු බැණුම් අසා අප දෙසට එන ලින්ටා දුටු අපේ සිනහව බකස් ගා එළියට පැන්නේය.  මේ කතාව කෲ එකේ උන් දැනගත් පසු උන්ගෙන් නම් ලින්ටාට මෙන්ම දයාට ද බේරිල්ලක් නැතිවිය.

ලින්ටන් ව ඉන්පසු දවසක් මට හමුවුණේ අරංගල දේශලා ගේ ගෙදරදීය.  ඔහු නිෂ්පාදනය කරන ටෙලියක් දේශාට කියා කරවා ගන්නට අවශ්‍ය වූ ලින්ටන් එදා ඇවිත් සිටියේ ඒ ගැන සාකච්ඡා කරන්නටය.  උන් දෙන්නා කතා කරමින් සිටින අතර මම ලින්ටන් අත තිබූ තිර රචනය ඉල්ලාගෙන කියෙව්වෙමි.  කතාව කියවූ මට දැනුණේ කතාවේ මොකක්දෝ කියාගන්නට බැරි අසම්පූර්ණ බවකි.  මම ඒ ගැන පසුව දේශාට ද කීවෙමි.

" ස්ක්‍රිප්ට් ඔහොම තමයි බං, ෂූට් කරද්දී ගොඩක් දේවල් වෙනස් වෙනවා, එතකොට හරියයි." 

දේශා එවෙලාවේ කිව්වේ එහෙමය.  සිතුවාක් මෙන්ම මෙලෝ රහක් නොතිබූ ඒ ටෙලිය පසුදිනෙක රූපවාහිනියෙන් විකාශය වනු මම බලා සිටියෙමි.  ලින්ටන් නැවතත් මට මුණගැසෙන්නේ ඊටත් අවුරුදු විස්සකට පමණ පසුව කැලිපෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදීය.  එවිට ලින්ටා ලංකාවේ පදිංචිය අතහැර ඇමෙරිකාවට සංක්‍රමණය වී සිටියේය.  බොහෝවිට ඔහු එන්නට ඇත්තේ සම්මාන දිනු චිත්‍රපටයක් වූ ලින්ටන් රඟපෑ 'මීහරකා' ඇමෙරිකාවේ ප්‍රදර්ශනය කරන්නට විය යුතුය.   මා හමුවන විට ඔහු ඇමෙරිකාවේ ගල්වී ටික කලක් වූ අතර අඹු දරුවන් ද ඔහු සමග විය.

ඒ වනවිට මා ඇමෙරිකාවට ගියා විතරය.  ඉන්නට ගෙයක් නොවූ අතර ගෙයක් ලැබෙනතුරු මා නැවතී සිටියේ හෝටලයකය.  ලොස් ඇන්ජලීස් වල ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානයක් විසින් ශාලාවක පවත්වන්නට යෙදුණු සංගීත ප්‍රසංගයකට අපේ ලොක්කාට ද ආරාධනයක් විය. හරියටම කිව්වොත් ප්‍රසංගය තිබුණේ මම ආපු දවසට දවසකට පසුවය.  ලොක්කා වැඩේ මට පවරා අඹු දරුවන් බලන්නට සති අන්තයේ කැනඩාවට ගියේය.  එය ඒ පළාතේ පදිංචි ලාංකිකයන් ගී ගයන ප්‍රසංගයක් වූ අතර ලින්ටා ව මට හමුවුණේ එහිදීය.  ප්‍රසංගය ඇරඹෙන තුරු අපි දෙන්නා එළියට වී පරණ කතා මතක් කරමින් සිනාවෙමින් සිටියෙමු.  ප්‍රසංගය ආරම්භයේ පොල්තෙල් පහණ පත්තු කරන්නට ඇති නිසා මට ඉදිරිපස අසුනක වාඩිවෙන්නට වූ අතර ලින්ටා මගෙන් සමුගෙන ඔහුගේ යහළුවන් හමුවන්නට ගියේය.  

මා වාඩිවී සිටි අසුනට වම්පසින් වූ  ආසනයේ වාඩිවී සිටියේ සුන්දර කාන්තාවකි.  තරුණවිය පසුකර ටික කලක් ගතවී ඇති බව පෙනුණු ඇය තරුණවිය ඉක්මෙන විට ඇතිවන තරබාරු කමෙන් මිදී ශරීරයේ හැඩය හොඳින් පවත්වාගෙන යන්නට උනන්දු වී ඇති බව පෙනිණි.  එතැන වාඩිවෙද්දී මා සමග සිනාසුණු ඇය ටිකකින් මා සමග කතාවට වැටුණාය.  ඇමෙරිකාවේ දී මීට පෙර නොදුටු කෙනෙක් වූ මා කවුද, කුමකට ආවේද, පදිංචිය කොහේද, පවුලේ විස්තර කෙසේද ආදී කාන්තාවන්ගේ සහජ කුතුහලය හා බැඳුණු ප්‍රශ්න රාශියක් ඇයට විසඳාගන්නට තිබු අතර ඇය ඇසු ප්‍රශ්න සියල්ලටම මම සුහදව පිළිතුරු දුන්නෙමි.   

ප්‍රසංග සංවිධායකයින් ඉක්මන් වුණේ රෑ බෝ වෙන්නට පෙර ප්‍රසංගය ආරම්භ කරන්නට නිසා කතා පැවැත්වීම,පොල්තෙල් පහණ දැල්වීමේ ආදී ආරම්භක කටයුතු ලහි ලහියේ සිදුවිය.  ප්‍රසංගය ආරම්භ වී ගායක ගායිකාවන් එකා පසුපස එකා බැගින් වේදිකාවේ ගී ගයනු අපි අසා සිටියේ ගැයුණු ගීතවල හොඳ නරක ගැන අප දෙදෙනා අතර කෙරුණු කතා බහක් ද සමගය.  තව මොහොතකින් ඇගේ නම කියැවුණු අතර නැගී සිටි ඈ වේදිකාවට ගොස් ගීතයක් ගායනා කළාය.  ඇය එදා ගායනා කළේ මරියසෙල් ගයන 'මල්ලිකා කියා රැවටිලා මට කතා කළා දෝ' නම් ජනප්‍රිය ගීතය බව මට අදද හොඳට මතකය.  එම ගීතය ඈ  සැහැල්ලුවෙන් සිටගෙන, ආයාසයකින් තොරව රසවත්ව ගායනා කළ බවද මතකය.  වේදිකාවේ කියැවුණු ඇගේ නම ආපසු මතක් කරගන්නට මම උත්සාහ දැරුවෙමි.

'ශිරානි කෞශල්‍යා' ඒ ඇගේ නමයි.  නම ඇසු මොහොතේ මීට කලින් ද ඒ නම අසා ඇති සැටියක් ලාවට වගේ මතකයට ආවත් කොහෙදීද, ඈ කවුද යන වග ඒ මොහොතේ මගේ සිතට ආවේ නැත.  ගීතය අවසන් කළ ඇය ආපසු අවුත් මගේ ලඟින් වාඩිවූවාය.  

" සිංදුව කොහොමද? බැණ බැණ අහගෙන හිටියද?" ඇය මගෙන් ඇසුවාය.

" නෑ, බනින්න දෙයක් තිබුනෙ නෑ. අහගෙන ඉන්න පුළුවනි" මමද විහිළුවකින්ම පිළිතුරු දුන්නෙමි.

" අපෝ, අහගෙන හිටිය විතරද? ඇයි අනේ රස වින්දෙ නැද්ද? මම ලස්සනට සිංදුව කිව්වෙ නෑ කියලද කිව්වෙ? " ඇය ඇසුවේ ආරූඪ කරගත් දුක්මුසු බවකින් යුතුවය.

" නෑ නෑ හරිම මිහිරියි, මම ආසාවෙන් රස වින්දා. ඇයි දන්නවද, ඔබ කිව්වෙ මම කැමතිම සිංදුවක්" මා කියූ විට ඇගේ මුහුණ ආලෝකමත් විය.  

" මට ශිරානි කියන්න." ඇය කියා සිටියාය.  

ප්‍රසංගය අවසන් වන තුරු අප දෙදෙනා විවිධ මාතෘකා ගැන කතා කළ අතර ඇය කීවේ මීට වසර විසි ගණනකට පෙර විවාහ වන්නට ඇමෙරිකාවට පැමිණ මේ දක්වා ඇමෙරිකාවේ ජීවත්වන බවත් දරුවන් ඉගෙන ගෙන රැකියාවන්හි නියුක්ත අතර ඔවුන් විවාහවී සිටින බවත් ඇයද මෑතකදී සිට සැමියාගෙන් වෙන්වී හුදකලා ජීවිතයක් ගතකරන බවත්ය.

" බැඳපු ජෝඩුවකට වෙන්වෙන්න තරම් ප්‍රශ්න නොතිබුණත් වෙන්වෙන එක මේ රටේ විලාසිතාවක් වෙලා තියෙන්නෙ.  ඒ විලාසිතාව දැන් ලංකාවෙ අයටත් බෝවෙලා වගේ නේද? මම අසා සිටියෙමි.

" ඒ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට නම් තේරෙන්නෙ නෑ." ඇය ප්‍රශ්නයෙන් ලිස්සා ගියාය.

අපේ කතාව අතරේම ප්‍රසංගයද අවසන් විය.  ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි ආරාධිතයන්ට සංග්‍රහයක් ද වූ අතර සංග්‍රහය භුක්ති විඳ අපි සමුගත්තෙමු.  සමුගන්නට පෙර ශිරානි ඇගේ ලිපිනයත් දුරකථන අංක දෙකකුත් මගේ අතේ වූ කුඩා ඩයරියේ සටහන් කළාය.  පැමිණි ගමන්ම නිසා ඇයට දෙන්නට කාඩ්පතක්, ලිපිනයක් හෝ දුරකථන අංකයක් මා සතුව නොමැතිවීම ගැන මගේ කණගාටුව මම ඇයට ප්‍රකාශ කළෙමි.

" ආ! ඒකට කමක් නෑ නම්බර් එකක් ලැබුණම කතා කරන්නකො." ඇය කීවාය.

ප්‍රසංගය අවසන්ව ආපසු එද්දී මෙන්ම නින්දට යද්දීද මට සිතුණේම ඇගේ රුව මා හොඳට දැක පුරුදු බවත් නමත් හොඳට අසා ඇති නමක් බවත්ය.  ඒ ගැන සිතමින්ම මම නින්දට ගියෙමි.  මගේ සිත තුළ වූ ගැටළුවට පිළිතුරු ලැබුණේ පසුදා උදයේය.  ශිරානි කෞශල්‍යා අසුව දසකයේ මුල් භාගයේ නිපදවුණ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් වූ 'මලට නොඑන බමරු' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි නිළියකි.  එයින් පසු තවත් චිත්‍රපට හතරක පමණ රඟපෑ ඇය සිනමාවට එක්වරම සමුදුන්නේ විවාහ වීම සඳහා විදේශගත වන්නට සිදුවීම හේතුවෙනි.

ඇය සමග කතා කරද්දී මේ විස්තර කිසිවක් මතකයට නොඒම ගැන මම මටම සාප කරගත්තෙමි.  මෙතරම් ජනප්‍රිය නිලියක් ගැන නොදැන සිටි මා අමු මෝඩයෙකැයිද කලා විහීන මුග්ධයෙකැයි ද ඇය සිතුවා නම් එය ඉතා සාධාරණය.  ඇයද මා සමග කතා කරද්දී තමා නිළියක් බව හැඟෙන එක වචනයක් වත් නොකී අතර කීවා නම් සමහර විට මගේ මතකය අවදි වන්නට තිබිණි.  කෙසේ වුවද ඒ අපේ පළමු මෙන්ම අවසාන හමුවද වූ අතර එදා ඇය ගැන මතකයට නොඒම ගැන ඇතිවූ ලැජ්ජා සහගත චිත්තය නිසාම දුරකථනයක් ලැබුණු පසුවද ඇයට කතා කරන්නට හිත හදා ගන්නට මට නොහැකි වූ අතර, ඉන් වසර කීපයකට පසු මා ඇමෙරිකාවෙන් පිටත්ව ආපසු එනතුරුම  ඇයව මට කොතැනකදීවත් හමු නොවීය෴