Showing posts with label මොනාලිසා. Show all posts
Showing posts with label මොනාලිසා. Show all posts

Monday, July 22, 2013

76.මෝනාලිසා හමුවීම

 

 ආයෙම මොනාලිසා බලන්න යන්න පටන් ගත්තා...මේ සැරේ නං කෙලින්ම යන්න යි අදහස...මොකද කතාව ඉවර කරන්නත් ගොඩාක් ප්‍රමාද වුණානෙ.

කතාව ලියන්න පරක්කු වුණේ අහම්බෙන්ම නෙවෙයි...හිතලමයි,මොකද මම කිව්වා ප්‍රංශෙ ගියා...ලූව්ර ගිහිල්ලා මෝනාලිසා බැලුවා... ආදී වශයෙන්,නමුත් මම ගිය බව කියන්න මොකුත්ම සාධක මගෙ අතේ තිබුණෙ නෑනෙ...දාපු පිංතූර ටිකත් ඔක්කොම ජංජාලෙන් ගනිපුව.

ඔය මෝනාලිසා බලන්න ගිය දවස්වල මට ඩිජිටල් කැමරාවක් තිබුණෙ නෑනෙ...තිබ්බෙ රීල් දාන  S L R  එකක්...ඒකෙන් ගත්තු පින්තූර ප්‍රින්ට් කරල ඇල්බම් එකක දාල ගෙදර තිබුණා...ඔය ඇල්බම් ටික මට මෙහෙට ගේන්න අමතක වුණා.

ඉතිං මේ සැරේ ගෙදර ගිය වෙලේ මම ඉස්සෙල්ලම කළේ බිරිඳට කියල පරණ පින්තූර ඇල්බම් ටික හොයා ගත්තු එක...ඇල්බම් මහ ගොඩක් තිබුණනෙ...ඒ ඔක්කොම බිරිඳ බෑග් එකක දාල අල්මාරියෙන් පරිස්සමට තියල තිබුණා...එහෙම නැත්නං කොහෙ හොයන්නද.

ඉතිං මම දවස් ගාණක් ඔය ඇල්බම් ටික පෙරල පෙරලා ගේන්න ඕනැයි කියල හිතපු පින්තූර ගලවගත්තා...ඇල්බම් ටික පිටින්ම ගේන්න තිබ්බ නං හොඳයි, ඒත් එතකොට බර වැඩියි...අද මම පාවිච්චි කරන පින්තූරත් අපේ ප්‍රංශ ගමනෙ සිහිවටන හැටියට ඇල්බම් එකේ තිබුණු ඒවා...ඒකෙ ලියල තිබ්බ විදියට අපි ප්‍රංශ සංචාරයෙ යෙදිල තියෙන්නෙ 2004 අප්‍රේල් 9දා සිට 13 දා දක්වායි...ඒ තමයි අපේ පළවෙනි ප්‍රංශ ගමන...මොකද ඊට පස්සෙත් කීප සැරයක් යන්න ලැබුණා.
ඔය පින්තූර ඇල්බම් පෙට්ටිය වගේම තව සී ඩී පෙට්ටියකුත් මගෙ ළඟ තිබුණා...ඒක තිබුණෙ හැලපැට්ටගෙ බාරයේ...ඒකෙත් ගොඩක් තිබ්බෙ අපි ගිය ට්‍රිප්වල පින්තූර...ඊට අමතරව මම කාලයක් තිස්සෙ අරං එකතුකරල තියාගෙන හිටපු චිත්‍රපට රාශියකුත් තිබුණා.

ඔන්න ඔය පෙට්ටියත් ළඟට අරගෙන අපි දෙන්නා කොම්පියුටරය ළඟ වාඩිවුණේ ගෙනියන්න ඕනැකරන සී ඩී ටික තෝරාගන්න...හැබැයි සී ඩී පෙට්ටිය නං ඇල්බම් පෙට්ටිය වගේ සතුටුදායක තත්වයක තිබුණෙ නෑ...ඒ කියන්නෙ සී ඩී පෙට්ටිය ගැන හැලපැට්ටගෙ කිසිම ඇල්මක් ආදරයක් තිබිල නෑ.

මගෙ චිත්‍රපට සෑහෙන ගානක් ආගිය අතක් නෑ...තැටි දෙකක් තිබුණු සමහර චිත්‍රපටවල තියෙන්නෙ එක තැටියයි...තවත් මම ආසාවෙන් තියාගෙන හිටපු පරණ චිත්‍රපට සෑහෙන ගාණක් පෙට්ටියෙ තිබුණෙ නෑ...වෙච්චි දෙයක් කොල්ලත් දන්නෙ නෑ.

හිතට ආපු තරහත් යටපත් කරගෙන අපි දෙන්න මහ රෑ වෙනතුරුම සී ඩී බැලුවා...නැතිවෙලා කියල හිතන් හිටපු සී ඩී කීපයක් නැවතත් හමුවීම හිතේ දුක අඩුකළා...ඔන්න ඔය විදියට තමයි සී ඩී මිටියයි පින්තූර මිටියයි අරගෙන එන්න තෝරගත්තෙ.

මෝනාලිසා පටන්ගනිද්දි මගෙ හිතේ තිබුණෙ මගෙ අතින්ම ගත්තු මෝනාලිසා පින්තූරෙ ඔයගොල්ලන්ට පෙන්නලම කතාව ඉවර කරන්නම්ය කියන අදහස....ඒ බලාපොරොත්තුව අද ඉෂ්ට සිද්ධ වෙච්චි එක ගැන මට හරිම තං තෝසයි.

මෝනාලිසා ප්‍රමාද වීමේ සහ හමුනොවීමේ නිධාන කතාව ඔන්න ඔහොමයි...දැන් මාත් එක්ක මෝනාලිසා බලන්න යමු.
                               චානි අක්කත් එක්ක ගේ ඉදිරිපිට

තද සීතලකුත් එක්ක ඉර හිනැහෙන එක උදෑසනක අපි තුන්දෙනා ලූව්ර මියුසියම් එක බලන්න යන්න පිටත් වුණේ සුපුරුදු විදියට අපේ ගයිඩ් වැඩේ කරපු නිමල් එක්ක...පොළොව යටින් යන දුම්රිය දෙකකට විතර මාරුවෙලා ගිහින් ලූව්ර ස්ටේෂන් එකේ බැහැගෙන එතනම තියෙන දොරටුවෙන් ටිකට් අරන් ඇතුල්වුණා...ඒ නිසාම මහපාරෙ ඉඳල මියුසියම් එකට ඇතුල්වෙනකොට තියෙන ප්‍රිස්මයක හැඩගත් ඇතුල්වීමේ දොරටුව මගෙ පින්තූරවල නැහැ.

 මියුසියම් එක ගැන මම දැනගෙන හිටියෙ ඒක ඇතුලෙ මෝනාලිසා ඇතුළු අමරණීය කලාකෘති කීපයක් ප්‍රදර්ශනය කරන බව විතරයි...ඒත් එය අති විශිෂ්ට කලා නිර්මාණයන්ගෙන් හා පුරාවස්තු වලින් පිරුණු නියම කෞතුකාගාරයක් බව මම ඇතුල්වෙලා මොහොතක් යනවිට දැනගත්තා...අපි එක දවසකින් මියුසියම් එක බලන්න ආවත් එය බලන්න සතියක්වත් ගතවන බවයි මට ටික වෙලාවකින්ම හිතුණේ.

වරුවක්ම ගියත් බලාගන්න ලැබුණෙ බොහොම පොඩ්ඩයි...මම කොච්චර උනන්දුවෙන් බැලුවත් අපේ දෙන්නට නං ගාණක්වත් නෑ ඔහේ බලනවා...ඔන්න ඇඳුම් සාප්පුවක් හරි ආලේපන විලවුන් සාප්පුවක් හරිනං බිරිඳ බොහොම උනන්දුවෙන් බලයි... K F C හරි මැක්ඩොනල්ඩ්ස් කඩයක් හරිනං කොල්ලා උනන්දුවෙන් බලයි...මේ පින්තූරවලයි පිළිමවලයි කලුගැහිච්චි මමිවලයි මොනව බලන්නද.

ඊජිප්තුවෙ පාරාවෝ සොහොන්වලින් ගොඩගත් පුරාවස්තු ප්‍රදර්ශනයට තියල තියෙන පැත්තටත් ආවා...මට නං මේ ඔක්කොම බලාගන්න හරි කුතුහලයයි...මම පය ඉක්මන් කරල ගියා...

ඔයා ගිහිං බලල එන්න...අපි මෙතන ඉඳගෙන ඉන්නං...ඇවිදල ඇවිදල හරි මහන්සියි...

දෙන්නම පැත්තක තිබ්බ බිත්ති කණ්ඩියක් උඩ ඉඳගත්තා...මම තනියම ගිහිං ආවා...

මේ දෙන්නට මියුසියම් එක ගැන කොහෙත්ම උනන්දුවක් නැතිනිසා ඉක්මනටම ඉවරකරල ගියොත් හොඳයි කියල මටත් හිතුනා...මොකද මේවාගෙ තැනක් බලන්න එක්ක එන්න තිබ්බෙ මේ දෙන්නව නෙවෙයි...

එහෙනං චිත්‍ර තියෙන පැත්තට ගිහිං මෝනාලිසා බලල ගෙදර යමු...

ඒ පැත්තට යද්දි වීනස්,ඩයනා,ඩේවිඩ් වගේ අපූරු කලාකෘති කොරිඩෝවල  තියල තියෙනව අපි දැක්කා...

ටිකෙන් ටික මෝනාලිසාට ළංවෙද්දි සෙනගත් වැඩියි...වෙනතැන්වල වගේ නෙවෙයි...අපිත් හිමින් හිමින් ඉදිරියටම ගියා...

මෝනාලිසා ළංවෙද්දි ගොඩක්ම සෙනග තදබදේ...අපිත් හිරවෙවී දාඩියත් දාගෙන ඉස්සරහට තෙරපුණා...

දැන් ඈතින් මෝනාලිසා ඉන්න හරිය පේනව...හැබැයි චිත්‍රය පෙනෙන්නෙ නෑ...ළඟටම ගිහිං දකුණු පැත්තට හැරුණම තමා මෝනාලිසා ඉන්නෙ...

ඒ යාර පණහ යන්න පැය බාගෙකට වැඩියෙ ගියා...හොඳටම හෙම්බත් වුණා...
 
අන්තිමේදි ඔන්න යන්තං දෙන්නෙක් මුරකරන,මෝනාලිසාව දැකගත්තා...අමාරුවෙන් එකතැන ඉඳගෙන පින්තූරෙකුත් ගත්තා...
 

මෙන්න පුතේ මෝනාලිසා...හොඳට බලාගන්න...
 
මම පුතාටත් කිව්වා...සෙනග අස්සෙ හිරවෙලයි දාඩිය දාලයි මිනිහට ඇතිවෙලා හිටියෙ...හොඳටම රතුවෙලා...
 
මෙච්චර හිරවෙලා බලන්න ආවෙ මේකද...අර ඩොක්ට පියසේනගෙ ඩිස්පැන්සරියෙත් මේකනං තියෙන්නෙ...
 
පුතා ගත් කටටම කිව්වෙ එහෙමයි.

Tuesday, June 4, 2013

70.මෝනාලිසා සහ හාල්පොල්ල


අපි ලා චැපල් යද්දි හවස හතරට පහට විතර වෙන්න ඇති...ගොඩක් ද්‍රවිඩ කඩ අතරෙ සිංහල කඩ කීපයකුත් තිබුණා...අපිත් එක කඩේකට ගොඩවෙලා බැලුව...අප්පා අපේ ටවුමක ගමක හොයාගන්න බැරි දුර්ලභ එළවලු පළතුරු වර්ග කිසි කරදරයක් නැතුව ලා චැපල් කඩවලින් ගන්න පුලුවන්නෙ බලපුවාම...තුඹ කරවිලද හිඟුරලද ඕනැ දෙයක් ඉදිච්ච කෙසෙල්කැන් දෙකතුනකුත් කඩේ එල්ලල තිබුණ  හරියට ලංකාවෙ වගේ.

අපිත් රෑට උයන්න කියල කෙළවල්ලො මාලු කෑල්ලකුයි කොළ මිටි දෙක තුනකුයි අරං කෙසෙල් ඇවරියකුත් කප්පෝගත්තා...බඩුටිකත් අරගෙන රෑ වෙන්න කලින් චානි අක්කලගෙ ගෙදරට ආවා.

එදා අවුරුදු කන්න තිබුණෙ රෑනෙ...බිරිඳයි චානි අක්කයි එකතුවෙලා කිරිබත් ලුණුමිරිස් මාලුහොදි ආදී ජාති කීපයක් ලෑස්ති කරල අවුරුදු මේසෙ හැදුවා...අපි යනකොට රසකැවිලිත් හදාගෙනනෙ ගියෙ.

ජයටම අවුරුදු මේසෙ තිබුණත් කන්න හිටියෙ අපි හතර දෙනා විතරයි...අඩියක් ගහන්නත් බෑ අවුරුදුනෙ...ෂේප් එකේ කාල බීල ටිකක් කතාකරකර ඉඳල නිදාගත්තා...

පැරිස්වල ඉන්නතුරුම ගෙදර කෑම ඉව්වෙ අපි තමා...මොකද චානි අක්ක උයන්න ටිකක් කම්මැලියි...අපි ආපුවමත් එයා කිව්වෙ ඔන්න ඕනැ දෙයක් තියනව ඕනැ විදියකට උයාගෙන කන එකයි කියලනෙ...අපි හැමදාම උදෙන්ම දවල්ටත් උයල ඇවිදල එහෙම ඇවිත් හවසට රෑ කෑම උයනව චානි අක්ක එන්ඩත් කලින්...

එයා එහෙම නෙවෙයි...සතියකට හරියන කෑම ඉරිදට උයල ප්‍රිජ් එකේ දානව...කන වෙලාවට රත්කරගෙන කනවා...දිනපතා උයන්න කම්මැලි උදවිය ඔය විදියටනෙ කෑම උයන ප්‍රශ්නය විසඳා ගන්නෙ...

ලොකු කුකුල් මස් වෑංජනයක්
පරිප්පු වෑංජනයක්
උයපු එළවලු දෙකක්

නිතරම ප්‍රිජ් එකේ තියෙනවා තුන්වේලම රත්කර කර කන්න...මටනං එහෙම කන්නත් බෑ කාලත් නෑ...පුතයි මමයි තනියම ඉද්දිත් මම හැමදාම පාන්දර පහට ඇහැරල කිරිත් උණුකරල උදේටයි දවල්ටයි දෙකටම කෑම හදල පුතාට ඉස්කෝලෙ ගෙනියන්න කෑම පාර්සලේ හදල දීල දවල්ට කන්නත් කෑම බෙදල තියල මමත් කෑම අරගෙන වැඩට යන්නෙ...
බාජන ටික හෝදන්න වෙලාවක් නැති නිසා බාජන සින්ක් එකට දාල වතුර දාල යනවා...පුතා දවල්ට ඉස්කෝලෙ ඇරිල ඇවිත් කන්නත් ඉස්සෙල්ල බාජන ටික හෝදනවා...එහෙමයි අපි වැඩකලේ...

දැන්නං ඒ වැඩ ටික බිරිඳ කරන නිසා උදේට ටිකක් වැඩිපුර නිදාගන්නව තමයි...ඒ වුණාට මෙහෙත් ගොඩක් අය මම දන්නව කරන්නෙ ඔය ප්‍රිජ් සෙල්ලම...අනේ මන්දා සතියක් තිස්සෙ එකම දේවල් මොන විදියකට කනවද කියලා.

එහෙම බැලුවොත් අපේ අම්ම තාත්තට හැමදාම පාන්දර කෑම ටික හදල ගෙනියන්ඩ දුන්න අවුරුදු තිස් ගාණක්...ඒ කාලෙ මස් මාලු ටිකක්වත් සීත කරල තියාගන්න ප්‍රිජ් කියල ජාතියක් ගැන අහලවත් තිබුණෙ නැතිව ඇති...ගෑස් කුකර් නෑ... දරලිපේ දුං ගහ ගහ ඉව්වෙ...හාල් ගරන්නත් එපායැ කට්ටිය එකතුවෙලා කනකොට ගල් කැටයක් හැපුණොත් එහෙම ලැජ්ජයිනෙ...ගල් වැලි නැති හාල් කියල ජාතියක් ඒ කාලෙ තිබුණයැ...ගෙදර හාල්ම තමා...

අම්ම මටත් කෑම එක හදල දුන්නනෙ අවුරුදු දහයක් විතරම...ඔය බිරිඳ අපේ ගෙදරට එනතුරු...

රස්සාව හම්බවෙන්න කලිනුත් මොන වැඩකට කොළඹ ගියත් අම්ම බත් එකක් බැඳල දෙනව දවල්ට කන්න...මේ වැඩේට මගෙ කිසිම කැමැත්තක් තිබුණෙ නෑ. අපි කැමතියිනෙ එදාටවත් හෝටලේකින් කන්න...කොහෙද එළියට බහිනකොට කෑම එක අතට දෙනවනෙ...

පස්සෙ කාලෙක හෝටල්වලින් කැන්ටිංවලින් වතුරයි බතුයි කනකොට තමා අම්මගෙ බතේ රස තේරුණේ...

ගෙදර හාලෙ බත්වලට අලයි හාල්මැස්සොයි තෙල් පෑදෙන්න හිඳෙන්න උයල පරිප්පුත් හින්දවල පොල් සම්බෝලයක් මලවල බත්වල ඇතුළට තියල කෙහෙල් කොළේ බැඳල දෙන බත්මුල වාගෙ රස බත් එකක් මම ඊට පස්සෙ කවදාවත් කාල නෑ...කන්න ලැබෙන එකකුත් නෑ...බිරිඳත් මට රසට කෑම උයල දෙනව තමයි...ඇයටත් අපරාදෙ කියන්න බෑ රසට උයන්න පුලුවනි...ඇයත් කියනව අපේ අම්මගෙ කෑම හරිම රසයි කියලා...

 ඒ කාලෙ කෑවෙම ඔය අපේ කුඹුරුවලින් ගන්න හාලනෙ...උයනකොට එහෙම හරි සුවඳයි...හාල් මෝල්වල වී පල්කරල කොටන හාල් වගේ නෙවෙයි...

ගෙදර වී තම්බල වේලල ගත්තහම වී කොටන්න මෝලට ගෙනියන්න අහුවෙන්නෙ මාවම තමයි...ලොකු පෝර උරේකින් එකක් තම්බාපු වී කර තියාගෙන හැතැප්ම එකහමාරකටත් වඩා දුර මාටිං මාමගෙ වී මෝලට පයින්ම යනවා.
ඒව ඔය දැන් තියෙන වී මෝල් වගේ පොෂ් ඒව නෙවෙයි...දැන්නං එක මැෂින් එකකිං වී ඇටේ පොත්ත ඇරල තව මැෂින් එකකට දාල පොලිෂ් කරනවනෙ...

අපි වී ගෙනිහිං ගෝනිය මෝලෙ අත ඇරල හූස් හූස් ගගා හැති අරිනකොට මාටිං මාමා වී ගෝනිය ලෙහෙල අහනව...

ඈ ළමයො...කැකුළුද තම්බපුවද...

 ඒ අනුව තමයි වී කොටන විදිය සකස් කරන්නෙ ඇණවලින්...ඊට පස්සෙ මෝලෙ අර අලි රෝදෙට පිස්ටන් එක දාලා දත්මිටිකාගෙන මුලුවීරියෙන්ම කරකවනවා...

බොහ් බොහ් බොහ් ගාලා බටෙන් දුංගුලි දෙකතුනක් පිටකරල මෝල ස්ටාට් වෙනවා...ඊට පස්සෙ තමයි වී කෙටෙන තැන  තියෙන ලොකු කටට වී ටික දාල කොටන්න ගන්නෙ...කෙටෙන කොටම හාලුත් එක්ක කලවං වෙලා එන දහයියා ටික හුළඟෙ යන්න පෑන් එකකුත් රෝදෙටම අල්ලල අටෝල තියෙන්නෙ...

මෝල පිටිපස්සෙ දහයිය කන්දයි...කුකුල්ලු රැළක් තුංසිය හැටපස් දවසෙම ඔය දහයිය කන්දෙ අහුලං කනවා.
තම්බාපු වී වේලිලා වැඩිනං හාල් ඇටේ කුඩුවෙනවා...වේලිලා මදිනං හරියට පොත්ත යන්නෙ නෑ වී ඇට ගොඩයි...වී කොටල ඉවරවෙලා කෙටිච්ච හාල් සේරු ගාණට තමයි මාටිං මාම සල්ලි ගන්නෙ...හාල් සේරුවක් කොටනවට සත තුනක් හරි හතරක් හරි ගත්තා මතකයි...

 ඒ දවස්වල හාල් සේරුවකුත් සත පණහද හැටද කොහෙදනෙ...ඔන්න ඔය කාලෙ තමයි මැතිණි හාල් පොලු දාල හාල් හිඟවෙලා ගණං ගියෙ...හාල් සේරුව එක පාරටම රුපියල් එකයි පණහ දෙක විතර වෙනකං ගණං ගියා...

ඔය කාලෙ මගෙත් එක්ක සිරිල් මාමලගෙ ගෙදර හිටපු මහතුනුත් එකතුවෙලා හිටියෙ...වී කොටන්න යන්නෙ අපි දෙන්නා එකතුවෙලා...

දවසක්දා අපි වී කොටාගෙන ගෝනි දෙකත් කරගහගෙන ආපහු ගෙදර එනව...

හාල් සේරුව සේරුව විකුණල යමුද...

මහතුං කියනව...

මම ඔය කතාවක් දන්නෙ නෑනෙ... මම උගෙ මූණ දිහා බැලුවා..

යංකො...

මාත් එක්කම ජූලිස් මුදලාලිගෙ කඩේට ගිය මහතුං දෙන්නගෙ ගෝනිවලින් හාල් සේරු දෙකක් මුදලාලිට කියල මන්නෝගෙන එකයි පණහ ගානෙ වික්කා...
හන්දියෙ කඩේකින් කඩචෝරු කාල තේ බීල අපි සද්ද නැතුව ගෙදර ආවා...

 ඊට පස්සෙ වී කොටන්න ගියොත් හැමදාම හාල් සේරුවක් විකුණල තමා එන්නෙ...කාටවත් කිසිම පාඩුවක් නෑ ගෙදර ඕනැතරං වී තියෙනවනෙ...මගෙ සාක්කුවට මුදලක් එකතුවෙන එක තමයි වැදගත්ම දේ...ඒ කාලෙ අපි සිගරැට් පාවිච්චියකුත් නෑ කඩචෝරු කාපු එකම තමයි කළේ...

දවසක් මම වී කොටාගෙන ගෙදර ආවා...හාල් ටික මැනපු අම්ම...

මෙච්චරද ළමයො හාල් තිබුණෙ...

ඔව්...

වෙන්න බෑනෙ...වෙනදට ඔයතරං ගෝනියකින් මීට වැඩියෙ හාල් කෙටෙනවනෙ...

මම දන්නෙ නෑ...ඔය මෝලෙන් කොටල දීපු තරම තමයි...හාල් මදිනං මීට පස්සෙ අම්ම ගිහිං කොටාගෙන එන එකනෙ ඇත්තෙ...

එහෙම කටිං ගහල මම බේරුණා...අම්මත් ඊට වඩා ඒක  පස්සෙ එලවන්නෙ නෑ මොකද මම ස්ට්‍රයික් කලොත් හාල් නැතුව යනවනෙ...

ඔය කාලෙ වෙළෙන්දො හරියට අපේ ගෙවල් පැත්තෙ රවුං ගහනවා...හාල් අරං ගිහිං වැඩි ගාණට විකුණන අය...ඒ මිනිස්සුත් කරන්නෙ සූදුවක් වගේ වැඩක් හාල් අරගෙන යද්දි පොල්ලකදි එහෙම අහුවුණොත් කෙලින්ම හාල් ටික රාජසන්තකයි... උන්ට හාලුත් නෑ සල්ලිත් නෑ...

අපට නං හාල් අහේනිය දැනුනෙ නෑ ගෙදර වී තිබුණු නිසා...ඒ වුණාට කොච්චර නං මිනිස්සු මඤ්ඤොක්කා නටු කකා දුක් වින්දද...

සතියකට දවස් දෙකක් බත් උයන කන එකත් තහනං කලානෙ...අපි නං ඔය නීති ගණංගත්තෙ නෑ හිතුනු වෙලාවට උයාගෙන කෑවා...මොකෝ කුස්සියට ඇවිත් මුර කරන්ඩයැ...
 ඒ වුණාට අනික් බඩු හිඟය අපටත් තදින් බලපෑවා...මිරිස්,කොත්තමල්ලි,උම්බලකඩ,කුළුබඩු ඔය ඔක්කොම දුන්නෙ සමූපකාරෙන් කාඩ් එකකටයි...කිරිපිටි සීනි එහෙම ඇහැට දකින්නවත් නෑ...පාන් දුන්නෙත් කාඩ් එකකට...රෙදි තිබුණෙ බූමිතෙල් ගඳ ගහන ලංකාවෙ නිෂ්පාදන...ඒවත් ඉතාම සීමිතයි...පාංසුකූලෙකට සුදු රෙදි කෑල්ලක් හොයාගන්න මරණ සහතිකේ අරං යන්න ඕනැ.

කිසිම සැලැස්මක් නැතිව මෝඩ විදියට සංවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වල දීල මැතිණි නාගත්ත නාගැනිල්ල හින්දා තමයි හැත්තැ හතේ ජේ ආර් පප්ප හයෙන් පහක බලයක් අරන් ඇවිල්ලා අමුතුම ආකාරයෙ පුදුමාකාර දේශපාලන සංස්කෘතියක් ලංකාවට හඳුන්වලා දුන්නෙ.

ඔය කෑම අහේනි කාලෙමයි අපි කොල්ලො කට්ටිය එකතු වෙලා මඤ්ඤොක්කා කොටුවක් වැව්වෙ...ඊට අමතරව ඒ දවස්වල වත්තක පොල් ගස් දෙකක් මැදගන්නත් අවසර දීලා තිබුණා...ඒ හින්දා පොල් රාත් සුලභව ගලා ගියා...මිනිස්සු රා ටිකක් කසිප්පු ටිකක් බිව්වට ඔය දැන්වාගෙ බාර් එකෙන් ඉවරයක් නැතුව අරක්කු ගෙනත් බොන සිරිතක් තිබුණෙ නෑ.

 ටවුමෙ මස්කඩෙන් හරක්මස් ටිකක් ගෙනල්ල උයාගෙන කෑව මිසක් දැන් වගේ අඩියෙන් අඩියට බ්‍රොයිලර් කුකුල් මස් නෑනෙ...අනික දැන්වගේ ගවමස්කඩ වසව් කියල උද්ඝෝෂණය කරන්න වීරයො වීරවරියොත් ඒ දවස්වල හිටියෙ නෑ...

ඒ දවස්වල කුකුළ කියන්නෙ ඉස්සරහ කෑමක්... ගං කුකුළෙක් මැරුවොත් ඉතිං මඟුලකට තමයි...

කුකුල්ලු ගැන කියාගෙන එනකොට මට මතක් වුණේ සැරයක් අපි ගං කුකුළෙක් කාපු හැටි...ඒත් එක අලුත් අවුරුදු කාලෙක මීට අවුරුදු විස්සකට විතර එහා පැත්තෙ මගෙ මතකයෙ හැටියට...

අවුරුද්දත් ඉවරයි...ඒ වුණාට අපට තාමත් අවුරුදු කොල්ලො එකෙක්වත් රස්සාවලට යන්නෙත් නෑ...හැමදාම උදේට කට්ටිය එකතුවෙලා මොකක් හරි ජෝගියක් නටල දවස ගෙවාගන්නව...

 අද කුකුළෙක් කමු කියල එදා උදේම කට්ටිය කතාවුණා...බ්‍රොයිලර් එකෙක් නෙවෙයි ගං කුකුළෙක්...

හොයාගෙන යනකොට ලියනගේ ළඟ හෙන ඇම්බැට්ට කුකුළෙක් ඉන්නවය ලියනගේටත් මූත් එක්ක කරකියාගන්න දෙයක් නැතුවයි ඉන්නෙ කියල අපට ආරංචි වුණා...

ඒ ගමන අපි ලියන්නව හොයාගෙන ගියා...

ඔය ඉන්නෙ...මට නං ඕකව අල්ලන්න බෑ...රුපියල් සීයක් මට දීල අල්ලගන්ඩ...

ලියනගේ කිව්ව...

අපිත් ලියන්නට සීය දීල බොහොම පරිස්සමෙන් ගිහිල්ල ආදරෙන් කතාකරල අල්ලගන්න බැලුව...මොන පිස්සුද...ඌ මහ ඇම්බැට්ටයෙක්...දුවන්න ගත්තෙ නැතෑ වැටෙනුත් පැනල...අපිත් පස්සෙන් එළවගෙන ගියා...
අපි ගණුදෙනුව කලේ උදේ දහයට විතර...දවල් එක විතර වෙනතුරු මේකා ගම වටේම දිව්වනෙ...අතඇරල දාල නිකං ඉන්ඩත් බෑ සල්ලි දීල ගත්තු කුකුළනෙ...නැතිවෙයි කියල අපිත් උගෙ පස්සෙන්ම එලවගෙන ගියා...

මේකා පස්සෙන් එලවල අපට දැන් පට්ට හැති...මේ වේස කුකුළා කිසි ගානක් නැතුව තාම දුවනව හරියට කකුල්වලට රෝද හයිකරල වගේ...

යාංතං දවල් එකහමාර විතර වෙද්දි මූ ආපහු හැරිල ලියනගේලගෙ ගෙවල් පැත්තට දුවගෙන එන්න ගත්තා...

බැරිමතැන කුකුළව තියාගන්න කියල රුපියල් සීය ආපහු ඉල්ලගෙන ටවුමෙන් කුකුළෙක් ගේමු කියල කතාවෙවී අපි කුකුළා පස්සෙන් කන්ද උඩට දුවගෙන එනවා...

ගෙවල් ළඟට ආවා විතරයි හැති අමාරුවටද කොහෙද මූ ඩේවිට් අයියලගෙ දර මඩුව අස්සට රිංගල ඔලුව දර ගොඩේ හංගගත්තා...

පස්සෙන්ම දුවගෙන ගිය විජා කුකුළව බදල අල්ලගත්තා...

 එවෙලෙම බෙල්ල මිරිකන්න තරං කේන්තියි...හමගහල සුද්දකරගෙන වරෙං කියල උපාලිට කුකුළා දීලා අපි මැද පාරෙන් වෙල අයිනෙ නියරට එන්න පිටත්වුණා...

අපි පාරදිගේ එනකොට ගෙවල්වල ගෑණු මිනිස්සු අමුතු සත්තු ජාතියක් දිහාවෙ බලනව වගේ ඉස්සරහට ඇවිත් අපි දිහෑ බලාගෙන ඉන්නව...බලපුවාම අපි උදේ ඉඳන් කුකුළෙක් පස්සෙ එලෝනව කියල මුලු ගමේම ආරංචි වෙලා...විළි ලැජ්ජාවෙ බෑ.

අපි මදුරාසියෙ ඉඳපු කාලෙ කුකුල්ලු කාපු විදිහ දන්නවද...එහෙ මස්කඩවල මරපු කුකුල්ලු නෑ...පණපිටින් සත්තු කූඩුවල දාල කඩේ ඉන්නෙ...පෙන්නපුවාම මරල කපල දෙනවා...

එග්මෝර්වලදි අපි ගොඩක් වෙලාවට යන්නෙ පුරුසවල්කම් මාකට් එකට...යනකොටම කුකුල් මස්කඩපේලිය තියෙනවා...කඩේට ගිහිං මස්කඩකාරයට කුකුළව පෙන්නපුවාම කූඩුවෙන් එළියට අරං තටුදෙක පටලෝල තරාදියට දාල කිරල ගාණ කියනවා...

හරි කියපුවාම කුකුළව මරන්න දෙනව...ඔය වැඩේ කරන්නෙ අවුරුදු හයක හතක විතර පොඩි කොල්ලෙක්...ඌ ඔය වැඩේට එක්ස්පර්ට්... අතට ගත්ත ගමන් කුකුළගෙ හොට ඈත්කරල වතුර බිංදු දෙක තුනක් කටට දානවා...ඒ දාන්නෙ ආගම කියපු වතුර මොකද එහෙ ඉන්න ඔක්කොම මස්කඩ කාරයො මුස්ලිම්වරු...ඔවුන් ආගමානුකූලව මරපු නැති සත්තු නොකන නිසා පොදුවෙ හැම සතාම මරන්නෙ ආගමානුකූලවයි...

 වතුර දාපු ගමන් බෙල්ල පිට පැත්තට නමල අල්ලගෙන ලෙව්ව වගේ කැපෙන පිහිතලේකින් ට්‍රිෂ් ගාල කුකුළගෙ බෙල්ල කපල ලේ හලන්න මුල්ලකට දානවා...

ටිකකට පස්සෙ අරං උණුවතුර එකේ ඔබල තටු ගලෝල බඩ ඇතුල සුද්ද කරල කපන්න දෙනවා...වැඩේට විනාඩි පහක්වත් යන්නෙ නැති තරම්...

පුදුමාකාර පාපකර්මයක් අපිත් කරගන්නෙ මේ සත්තුන්ව මරන්න පෙන්නල...

බිරිඳ දවසක් මට කිව්වා...
 
ඉතිං මොනව කරන්නද...මස් ගන්නත් එපායැ...

පස්සෙදි අපි ක්‍රමයක් හොයාගත්තා...මස්කඩේට ගිහිං කඩකාරයට කුකුළව පෙන්නල කිරුවට පස්සෙ සල්ලි දීලා කුකුළව මරන්න ඉස්සෙල්ලා අපි එතනින් මාරුවෙනවා...එළවලු එහෙම අනික් බඩුජාති අරං ආපහු මස්කඩේට එනකොට මස්කඩකාරය කෑලි කපපු කුකුල් මස් පාර්සලේ කවරෙකට දාලා අතට දෙනව අපිත් අරං එනවා...

ඔන්න ඔහොම තමයි පව් සිද්ද කරගන්නෙ නැතුව අපි කුකුල් මස් කෑවෙ...කොහොමද බිරිඳගෙ මොළේ.

Saturday, June 1, 2013

69.මෝනාලිසා සහ සිංගප්පූරු කතා




අවුරුද්දටම ඇතිවෙන්න දන්සැල් කතා ලිව්වනෙ දැන් ඇති...තවත් දන්සැල් කතා මහ රාසියක් තිබුණත් ඔක්කොම කියන එක හරි නෑ අනික් අවුරුද්දටත් කියන්න ඉතුරු කරගන්න එපායැ.

දැන් ඉතිං මෝනාලිසා බලන්න යන ගමන ආපහු පටන්ගන්න කාලෙ ඇවිත්...ඔයාලට මෝනාලිසාව පෙන්නන්න එක්කරන් යන ගමනෙදි මට වැදුණු මඩ පාරවල් නං නිමක් නෑ...මොනව කරන්නද.

අපි නැවැත්තුවෙ යාලුවොත් එක්ක අවුරුදු පාටියට ගිය තැනින් නේද...දැන් තියෙන්නෙ අවුරුදු කන්න...ඊට ඉස්සෙල්ල අපි ගියානෙ ල චැපල්...ල චැපල් කියන්නෙ පැරිසියෙ තියෙන ඉතාම ප්‍රසිද්ධ වීදියක්...ඒ වීදියට ගියාම මට නං හිතෙන්නෙ ඉන්දියාවෙ හරි යාපනේ හරි වීදියකට ගියා වාගෙ.

ල චැපල් වලට ලිට්ල් ඉන්දියා කියලත් කියනව...ලිට්ල් ඉන්දියා කියපුවම මතක් වෙන්නෙ සිංගප්පූරුවෙත් තියෙනවනෙ ලිට්ල් ඉන්දියා කියල හරියක්...මොකුත් නෑ තනිකර ඉන්දියාවම තමා...සිංගප්පූරුවට යන්න මටත් චාන්ස් එකක් ලැබුණනෙ...

කාලය 2010 අවුරුද්ද...දවසක්දා බිරිඳ වැඩ ඇරිල ඇවිත් මට කතාකරල කියනව...

හැමදාම ඔයානෙ මාව රට එක්ක යන්නෙ...මේ සැරේ එන්න මාත් එක්ක යන්න...

බලපුවාම ඇය වැඩකරන කන්තෝරුවෙන් දින කීපයක වැඩසටහනකට සිංගප්පූරුවට යවන්න ඇයවත් තෝරගෙන...

ඔක්තෝබර් මාසෙ දවසක අපි ගමන පිටත් වුණා...එයාපෝට් එකේ ඔක්කොම වැඩ ඉවර කරගෙන ඩියුටි ෆ්‍රී පැත්තෙ රස්තියාදු ගහනකොට තිබුණු කැමරා දැකල බිරිඳ මගෙන් අහනවා...

කැමරාව ගෙනාව නේද...

අප්පට හුඩු කැමරාව ගේන්න අමතක වෙලා...

කමක් නෑ...අනික් අයගෙ ඒවයින්වත් පිරිමහ ගම්මු...

බලන්නකො...ඔයාට තිබුණෙ ඇඳුම් ඇඳගෙන කැමරාව ගන්න එක විතරනෙ...ඉතුරු වැඩ ඔක්කොම මම කරලනෙ තිබුණෙ...

කමක් නෑ අනික් අයගෙ කැමරා වලින්වත් පිරිමහ ගම්මුකො...

තමුං ගාව ඔච්චර කැමරා තියාගෙන අනුන්ගෙන් ඉල්ලහල්ලකො...

අලුත් එකක් ගන්නත් ලෝබයි කැමරා තියෙද්දි...

කොහොම හරි අපි සිංගප්පූරුවට ගිහින් ලිට්ල් ඉන්දියාවල හෝටලේක නැවතුණා...ඉන්දියාවම තමයි...ඔය මුස්තාපා කියන අති විශාල සාප්පු සංකීර්ණය තියෙන්නෙත් අපි හිටපු හෝටලේ ඉඳල පයින් යන දුර...

මුල්ම දවසෙ කෑම කන්න තැනක් හොයාගෙන යනකොට සිංහල අකුරු තියෙන හෝටලයක් දැකල ඒකට ගියා...ලංකාවෙ කෑම තියනව කියලයි ලියල තිබ්බෙ...

හැබැයි ලංකාවට කිසිම සම්බන්ධයක් නෑ ඉන්දියන් මුස්ලිම් ජාතිකයො කීපදෙනෙක් තමා කඩේ කරන්නෙ...කොහොම වුණත් කෑම රසයි ඒ වගේම ලාබයි...

අපි ආපහු ගෙදර එනතුරුම කෑවෙ ඒ කඩෙන් තමා...පාර්සල් ඉල්ලපුවම සිමෙන්ති කොළයක් වගේ තෙල් කඩදාසියක් අරගෙන ඔතල දෙනව අර අපි හරියට පොලිතින් කොළ ගන්නව වගේ...හොදි ලීක් වෙන්නෙත් නෑ...ඒ කොළ තියන තැන කඩේ මනුස්සයගෙන් අහගෙන මමත් එනකොට කොළ සීයක් අරං ආවා..

කැමරාවක අඩුව ලොකුවටම දැනුනු නිසා මම මුස්තාපා එකෙන් ඩොලර් හැත්තැපහකට කැමරාවක් ගත්තා...අප්පා ඒක හොඳයි මළමිනීවල පින්තූර ගන්න...බට්න් එක ඔබල පැය කාලකට විතර පස්සෙයි පින්තූරෙ වදින්නෙ...කිසි වැඩක් නෑ ලංකාවට ඇවිත් මම ඒක බිරිඳගෙ නංගිගෙ පොඩි එකාට දුන්න සෙල්ලං කරන්න.

ඒ වැඩ සටහනට බිරිඳත් එක්ක ගියපු යාලුවො ඔක්කොම වාගෙ ඒ අයගෙ දරුවො එක්කගෙන ගිහිං තිබුණෙ...මම විතරයි වැඩිහිටියෙකුට හිටියෙ ගෑණු  අය උදේම වැඩ සටහනට පිටත් වුණාට පස්සෙ මම කොල්ලො තුන් දෙනත් එක්ක කඩේට ගිහිං උදේට කාල එහෙම ඇවිදින්න යනවා...අපේ පුතාගෙ වයසෙ පොඩි එකෙකුයි තව ඒ ලෙවෙල් කරන වයසෙ කොල්ලො දෙන්නෙකුයි හිටියෙ...ලොකු කොල්ලො දෙන්නගෙ වැඩේ පොඩි එකාව බයිට් කරන එක නිසා පොඩි එකා හැම තිස්සෙම මාත් එක්ක කතා කර කර ගියෙ...

යනකං එනකං තුන්දෙනාගෙ ඉල්ලීම් ඉවරයක් නෑ...

අන්කල් මට අරක ගන්න ඕනැ...මේක ගන්න ඕනැ...අරං දෙනවද...

හරියට අසන්නන්ගේ ඉල්ලීම් වගේ...

දන්නවද අසන්නන්ගේ ඉල්ලීම්...අපි පොඩි කාලෙ රේඩියෝ එකේ වෙළඳසේවයෙ දවසකට දෙසැරයක්ද කොහෙද අසන්නන්ගේ ඉල්ලීම් ප්‍ර චාරය වුනා...

අපිත් ඔය වැඩ සටහනෙන් සිංදු ඉල්ලල පෝස්ට්කාඩ් දාල අහගෙන ඉන්නව හැමදාම...ඉඳල හිටල අපෙත් නං කියවල ඉල්ලපු සිංදුව දාපු දාට අපට හරි ජොලි...

ඉස්සර අපේ ගෙදර තිබුනේ ලොකු බැටරියකින් වැඩකරන ඉරෙස් කියල රේඩියෝ එකක්...බැට්රිය විසාලයි ඒක දාන්න පෙට්ටියකුත් තිබුණා...රේඩියෝ එකේ ඒරියල් එක හයිකරල තිබුණෙ ගේ පිටිපස්සෙ වැට අයිනෙ තිබුණු රට අඹ ගහේ මුදුන් අත්තක බැඳපු ලීයක ගැටගහලයි...
හරියට දැන් අපි ටී වී ඇන්ටෙනා හයිකරනව වගේ...

අර්ත් එක පොළොව යටින් ගෙනැත් අපේ නාන ළිඳේ ගැට්ටෙ කිරිමැට්ටට බස්සපු යකඩ කූරක ගැටගහල තිබුණා...

ලංකාවට ටී වී ආපු අලුත ඉස් ඉස්සෙල්ලම අඟල් 14 ටීවී එකක් ගත්තෙ මහින්ද...ඒ දවස්වල තිබුණු දිමුතු මුතු කියන ටෙලි නාට්‍යය පෙන්නන දවස්වලට අපි මහින්දලගෙ ගේ බදු අරං වාගෙ ඉන්නෙ...සිකුරාදා දවස්වලට චිත්‍රපටි පෙන්නනවා...එදාට නං චිත්‍රපටි බලන්න ගමේ ගෑණු පවුල් පිටිං එන්නෙ වාඩිවෙන්න පැදුරුත් කිහිල්ලෙ ගහගෙන...

නමය හමාරට පටන් ගන්න චිත්‍රපටිය ඉවරවෙන්නෙ මහ පාන්දර එකට දෙකට...ඇයි සැරින් සැරේ නවත්ත නවත්ත පැය කාලක් විතර ඇඩ් දානවනෙ...

අපිත් නොවැරදීම චිත්‍රපටි බලන්න යනවා...ගිහිං එළියෙ පුටු තියාගෙන වාඩිවෙලා ජනේලෙන් බලාගෙන ඉන්නෙ...මුලු ගේම ගෑණුන්ගෙන් පිරිල අඩියක් තියන්න ඉඩක් නෑනෙ...

අපට නං ඔය චිත්‍රපටි ගාණක් නෑ ඕව ඔක්කොම හෝල් එකේ බලලනෙ තියෙන්නෙ...අපි වැඩියම බලාගෙන ඉන්නෙ චිත්‍රපටි බලන්න ආපු කෙල්ලක් එහෙම රෑ පානෙ එළියට එයිද කියල...වෙන මොකකටවත් නෙවෙයි ඔය අහුමුල්ලකට එක්කං ගිහිල්ල සුහද පිළිසඳරක යෙදීමේ පරම පවිත්‍ර චේතනාවෙන්...නැතුව වෙන මොහොකටවත් එහෙම නෙවෙයි ඕං...

හැබැ ඉතිං කෙල්ලක්ව එහෙම ලේසියෙන් එළියට පන්න ගන්න බෑ...චිත්‍රපටි බල බලා හිටියට උන්නෙ අම්මල කෙල්ලො දිහෑ ඇහැ ගහගෙනමයි ඉන්නෙ දන්නවනෙ බඩුවල හැටි...

අපි ඉතිං මහ පාන්දර වෙනකං නිදිමරල හරියකට නිදාගන්නෙත් නැතුව උදේම රස්සාවටත් යනව නිදිමතේම මොක්කුද වගේ...
 ඊට පස්සෙ කාලෙක වෙනුජල කලර් ටී වී එකක් ගත්තා...වෙනුජල අපේ අල්ලපු ගෙදර...

ඔය දවස්වල වෙනුජලගෙ පියාට ඈතින් නෑයොවෙන පොඩිඋන් දෙන්නෙකුත් වෙනුජලගෙ ගෙදර නැවතිලා හිටිය වෙනුජලගෙ අම්මගෙන් පහේ ශිෂ්‍යත්වෙට ඉගෙන ගන්න...

දෙන්නම පහේ පංතියෙ...
දෙන්නගෙම නම චමින්ද...

අඳුන ගන්න ලේසියට අපි දෙන්නට හුරතල් නං දෙකක් දාල තිබුණා...

එකෙක් මුචලින්ද...
අනිකා ජාලයා...

මුචලින්ද කිව්වෙ ඌ ඉවරයක් නැතුව නයි අරින නිසා...අනිකගෙ තාත්ත දවස තිස්සෙම බිබී කුකුල්ලු කොටෝනව තාත්තගෙ කුකුලෙක් ඉන්නවලු ජාලය කියල...

පොඩිඋන් දෙන්න ඉක්මනටම අපේ බයිට් එක බවට පත්වුණා...

ක්‍රිකට් මැච් බලනකොට එකෙක් අහනව...

කොහොමද මාමෙ ඔය කට්ටිය ටී වී එක ඇතුළට එන්නෙ...

එළියට බැහැල බලනවකො ඔවුන් ඇන්ටෙනාව දිගේ බඩගාගෙන එන හැටි...ඊයෙ රෑ මම දැක්ක ඉයන් බෝතම් බහිනව...උගෙ බරට උණගහ නැමුන නැමිල්ලක් මම හිතුවෙ කඩාගෙන වැටෙයි කියල...

වෙනුජගෙ මල්ලි කළණ කියනව...

 ආයෙ බෝලර් බෝල් කරන්න ඉස්සෙල්ල බෝලෙ ඔපදාල කෙළ එහෙම ගානකොට එකෙක් අහනව...

ඒ මොකද කරන්නෙ මාමෙ...

ආ...ඒ මතුරල කෙළ ගානව බෝලෙට ගහන එකාව අවුට් වෙන්න...

හූනියම හරි ගියොත් පොලුම තමයි...

කළණ කියනවා...

සති අන්තෙට මුචලින්දයව බලන්න අම්ම හරි තාත්ත හරි දෙන්නම හරි වෙනුජලගෙ ගෙදර එනව අඩුපාඩු බලල යන්න...එදාට තමයි අපට වැඩ වැඩි...

දෙමව්පියො යන්න පිටත් උනාම මුචලින්දය අඬ අඬා පස්සෙන් වැටෙනව ගෙදර යන්න ඕනැයි කියල...

අපි බොහොම අමාරුවෙන් කොල්ලව හේ කරගෙන අල්ලගෙන වගේ ඉන්නව දෙමව්පියො යනතුරු...

 ඒ උනාට පොඩ්ඩ බැරිවෙනකොට මූ අපෙන් ගැලවිල දුවන්න ගන්නවා හරියට හාවෙක් වගේ...අපෙත් වැඩේ මුගෙ පස්සෙ එළවන එක...බට්ට වගේ පොඩියට දුවනව දිවිල්ලක් වැටෙන් පැනල අපේ වත්ත පුරහම...අපිත් හැතිදාගෙන එළෝනවා...දවසක්දා මූ දුවගෙන ගියා ගියාමයි ආගිය අතක් නෑ...හැම තැනම හෙව්වා...ළිඳකටවත් වැටිලද දන්නෙ නෑනෙ...කෑ ගගහ කතාකළා හාහෝවක් නෑ...

හොයාගෙන යනකොට අපේ ගල්ළිඳ ළඟ මහ උණ පඳුරෙ අකුළක් අස්සෙ මේකා මීමින්නෙක් වගේ හැංගිලා ඉන්නවා...
අකුලෙන් එළියට ඇදල අරං ගෙදර එක්ක ආවා...

අනේ මට මගෙ අම්මත් එක්ක යන්න දෙන්න මාමේ...

කොල්ලා හූල්ල හූල්ල අඬනව...

 ඔය මුචලින්දයලගෙ අම්ම එක විදියක විසේකාර අංගනාවක් කියල බබලත්තු කුටු කුටු ගානව මට කීප සැරයක් ඇහිල තියෙනව...

 ගෙවල් ළඟ වෙනුජලගෙ නෑදෑ අයිය කෙනෙක් ඉන්නව කොටු පප්ප...මූ කොටු පනිනවට වඩා වනකර ගන්නව...කතාව කියන්න මූට නමකුත් දෙන්න එපායැ අපි කියමුකො සරත් කියල...

දවසක්දා මුචලින්දයලගෙ අම්ම ඇවිත් වෙනුජලගෙ අම්මට විශාල පැමිණිල්ලක් කරනව සරත් ගැන...

මාත් එහෙන් මෙහෙන් හොයල බැලුවා...

අම්මා මුචලින්දයව බලන්න ආපු දවසක රෑ වෙලා ආපහු යනව...මූ අපේ වත්තෙ රැකල ඉඳලා පල්ලෙහා දෙල් ගහ යටට ගෑනිව උස්සන් ගිහින්... වැඩි කරදරයක් නැතුවම කොටුව පැනගෙන...

වැඩේ එළිවුණේ මෙහෙමයි...

ඔවුන් දෙන්න අපේ දෙල්ගහ යට කං සැප විඳිද්දි කරුමෙට මාත් එතනින් ඇවිත් වැඩ ඇරිල ගෙදර එනවද කොහෙද...

මේ ගෑණි හිතල තියෙන්නෙ මම සීන් එක දැක්ක කියල...

ඒ වුණාට මම මොකුත්ම දැක්කෙ නෑ කරුවලේ...

ඕක මගෙන් එළිවෙයි කියන බයට තමයි ගෑණි කලින්ම පැමිණිල්ල කරල තියෙන්නෙ සාක්කිකාරයට මාව දාල...මම ඔය සීන් එකට ආවෙ නැත්නං ගෑණි සද්ද නැතුව පිහදාගෙන යන්න යනවා...
ඔය කතා මගෙන් අහල හගිස්සවන්න ගියොත් එහෙම උඩ බලාගෙන කෙළගහ ගන්නව වගේ වැඩක් නිසා වැඩේ ගොඩින්ම බේරල දැම්මා...
 
ජාලය ගෙන් නං ඒ වගේ කරදරයක් තිබුණෙ නෑ...ජාලයව බලන්න එන්නෙ උන්ගෙ අම්ම විතරයි...තාත්තට ඒවට වෙලාවක් තිබුණෙ නෑ...පස්සෙ කාලෙක මනුස්සය බීලම මැරිල ගියා...
 
පහේ ශිෂ්‍යත්වෙ ලියල ඉවරවෙලා කොල්ලො දෙන්නම ගෙවල්වලට යන්න ගියා...ඊට පස්සෙ උං ගැන කිසිම ආරංචියක් මට ලැබුණෙ නෑ...
 
අම්මෝ ඒ කොච්චර කාලෙකට ඉස්සෙල්ලද...දැන් නං දෙන්නම යස තරුණයො වෙන්නඇති...බැඳලත්ඇති...මුචලින්ද රස්සාවක් හොයාගන්න හම්බවෙන්න ආවා කියල වෙනුජ පස්සෙ කාලෙකදි මාත් එක්ක කිව්වෙ උන් දෙන්න ගැන කතාකරකර ඉද්දි.

Tuesday, May 14, 2013

62.මෝනාලිසා ඉතාලියට


 අපි ඒ දවස්වලම මෝනාලිසා බලාගත්ත එක හොඳට ගියානෙ...මීට පස්සෙ මෝනාලිසා බලන්න ඉතාලියට යන්න වෙනව ඕං...මොකද ඉතාලියෙ ප්ලොරන්ස් නගරයෙන් තදබල ඉල්ලීමක් ඉදිරිපත් වෙනව මෝනාලිසා ඇය ජීවත්වුණු නගරයටම ආපසු ලබාදෙන්න කියල මේ 2013 වර්ෂය ඇතුළතදීම...ඔන්න තියෙනව අදාළ විස්තරය...පරිවර්තනයක් අවශ්‍ය නම් අපේ හෙන්රි බ්ලොක්වෝකර් සහෘදයා සපයා දේවි.

Mona LisaFLORENCE, ITALY – Pressure is building for the return of Leonardo Da Vinci’s famous portrait, the Mona Lisa, to the city of Florence from the Louvre Museum in Paris. A campaign launched by the National Committee for Historical, Cultural and Environmental Heritage together with the Province of Florence has garnered 150,000 signatories petitioning for the return of the painting in 2013.
The return would be of “high historical value, both symbolic and moral,” Committee President Silvano Vincenti said. “The committee has officially submitted a request for a meeting with the new French minister of culture, Aurélie Filippetti. I am convinced that, thanks to the minister’s Italian origins, she will not only respond positively to our request, she will understand its motives,” said Vincenti.
The painting depicts the figure of a woman with an enigmatic facial expression, seated before a visionary landscape, and is seen by millions of visitors every year. The Mona Lisa was stolen from the Louvre in 1911 by robbers dressed as Louvre janitors. It was recovered two years later inside Italian waiter Vincenzo Peruggia’s hotel room in Florence.
The painting was exhibited briefly in the Uffizi and in Rome before it was returned to the Louvre. The committee spearheading the return campaign is also behind the search team that believes they may have found a skeleton belonging to the model, Lisa Gherardini del Giocondo (1469-1542), known as the Mona Lisa. The painting in Italian is called ‘La Gioconda’ after the subject of the portrait. (Ansa)
ඉතිං අපි සේන් ගඟ අයිනෙන් ඇවිදගෙන යනකොට දැක්කා ගඟ අයිනෙ නවත්තල තියෙන යාත්‍රා විශාල ප්‍රමාණයක්...එක එක සයිස්...ගඟේ දුවන පාටක් නං පෙනුනෙ නෑ...හොයල බලපුවාම ඒ යාත්‍රා ක්‍රියාත්මක වෙන්නෙ රාත්‍රී ආපන ශාලා හෙවත් නයිට් රෙස්ටුරන්ට් හැටියට...රාත්‍රියට මේ ආපන ශාලාවල ලයිට් එහෙම ජයටම දමපුවාම බලන්න ලස්සනයි...ඔහොම යනකොට අපි දැක්කා සංචාරකයන්ව ගඟේ රවුමක් එක්ක යන යාත්‍රා සේවයක්...යාත්‍රාව පිරුණාම ගමන ආරම්භ කරනව...හරියට අපේ ප්‍රයිවෙට් බස් වගේ.

අපිත් ටිකට් අරගෙන යාත්‍රාවකට ගොඩවුණා...වැඩි වෙලා ගියෙ නෑ හැබැයි යාත්‍රාව ගමන ආරම්භ කළා...අපේ ප්‍රයිවෙට් බස් වාගෙ කිව්වට හොල්ල හොල්ල පැයක් තියාගෙන හිටියෙ නෑ ඔන්න...විවිධ වර්ගයේ විවිධ හැඩයේ පාලම් එකින් එක පහුකරමින් යාත්‍රාව ගඟ ඉහළට යනවා...ප්‍රංශ ජාතිකයො මොන තරම් කලාකාමී ජාතියක්ද කියල මට හිතුනෙ අපි දකින පාලම්වලට යොදා තිබුණු ලස්සන කැටයම් දැක්කමයි...ගඟ දිගේ උඩට ගිය ගමනෙ පහුකරල ගිය පාලම් ගණන සීයකට වැඩි මිසක් අඩු නෑ....ඒ පාලම්වලින් වැඩිහරියක්ම ප්‍රංශුවන්ගේ කලාකාමිත්වය විදහා දැක්වෙන අලංකාර කැටයම් සහිත ඒවායි.

සේන් නදියෙ නැව්  බත්තල් පවා යාත්‍රා කරනවා...නදිය කොතරම් කාර්ය බහුල වුවත් වතුර හරිම පිරිසිදුයි...අර රෝමෙ තියෙන ටයිබර් ගඟ වාගෙ නෙවෙයි...පස්සෙ දවසක මට රෝමයෙ ටයිබර් නදියෙ යාත්‍රා කරන්නත් ලැබුණා...හප්පා ඒ ගඟ කුණු ගොඩක්...වතුර කොලම කොල පාටයි...දියසෙවෙල්...ඒ අතින් බලපුවාම සේන් ගඟ සුපිරිසිදුයි කියන්න පුළුවනි.

ගඟ දිගේ යන ගමනෙ නැවතුම් පොළවලුත් තියෙනව...අවශ්‍ය කෙනෙකුට ඒ නැවතුම් පොළකින් බැහැල යන්න පුළුවනි...එහෙම නැතිනම් යාත්‍රාව ගමන පටන්ගත්තු තැනටම ආපහු එනව.

සෑහෙන දුරක් ගඟ දිගේ උඩහට ගිය යාත්‍රාව දූපතක් නිසා ගඟ බෙදුනු තැනක් පහු කරගෙන ගිහින් ආපහු එන්න හැරෙව්වා...යන ගමනෙදිත් එන ගමනෙදිත් අපි දැකපු දර්ශනයක් තමයි ගඟ අයිනෙ ආදරයෙන් වෙලිල තුරුළු වෙලා හිටපු පෙම්වතුන් පෙම්වතියන්.

ඔන්න තුරුල් වෙලා ඉන්නව කියපුවම මට තව කතාවක් මතක් වුණා...මේක උනේ බෙල්ජියමෙදි...

දවසක් හවස ගෙදර යන්න ගියපු මිස්ට පෙරේරා ආපහු දුවගෙන ආවා...

අයියෝ...මිස්ට### අර බලන්නකෝ...

මාත් ගිහින් බැලුවා...

ජෝඩුවක් අපේ ඔෆිස් එකේ ඉස්සරහ ජනේලෙට හේත්තුවෙලා බදාගෙන සිප වැළඳ ගන්නවා මෙලෝ සිහියක් නැතුව...

යන්න කියන්නකො අප්ප වෙන කොහාටහරි මෙතෙන්ටම රිංගන්න එන්නෙ...අර අර බලන්නකො දැන් කරන වැඩේ...හැට්ටෙත් ගලවන්න නේද හදන්නෙ...

ඇත්තම නේන්නං...කොල්ල කෙල්ලගෙ බ්ලවුස් එකත් බාගෙට උස්සගෙන...කෙල්ල ඇස් දෙක පියාගෙන...වට පිටේ මොනව වෙනවද කියල උං දෙන්නට ගාණක් නෑ...

මිස්ට පෙරේරා...හොඳම වැඩේ උන්ට උන්ගෙ වැඩේ කරගන්න ඇරල අපි යන්න යන එකයි...මොකද අපි බලාගෙන හිටියයි කියල උං ඔය වැඩේ නවත්තන එකක්යැ...

අපි එළියට බැහැල යන්න ගියා...අපරාදෙ ලයිව් ෂෝ එකක් නොමිලෙ බලාගන්න තිබ්බ අවස්ථාව මිස්ට පෙරේරා නිසා  මගඇරිල ගියා...තව පොඩ්ඩක් හිටිය නං කොල්ල ක්ෂීර පානය කරන ඒ සුන්දර දර්ශනයත් දැක බලාගන්න තිබුන නොවැ.

දවසක් කතාකරද්දි මම ඔය කතාව මනෝජ්ට කිව්ව...මනෝජ් ඒ දවස්වල හිටියෙ රෝමෙ...

ඔහොම තමයි බං මේ යුරෝපෙනෙ...ඒක නෙවෙයි උඹල කවද්ද මේ පැත්තෙ එන්නෙ...

එන්නංකො...ඇයි මොනවද උඹට ඕනැ...

නෑ බං අක්කගෙ පරිප්පු හොද්ද කන්න...

ඌට ඒ දවස්වල පුලුවන් සොසේජ් බදින්න විතරයි...

වරෙල්ලකො නිවාඩුවක් අල්ලල...

අපටත් ඉතාලියට යන්න උවමනාව තිබුණා...බෙල්ජියමෙ ඉඳල ඉතාලියට දෙවිදියකට යන්න පුලුවන්...එකක් ගොඩපාරෙන් අනික උඩ පාරෙන්...

ගොඩපාරෙන් බස් එකේ යන්න ගියොත් දවස් දෙකක් විතර යන්න වෙන නිසා ප්ලයිට් එකේ යමු කියල තීරණය වුණා...රයන් එයාර් බජට් එයාලයින් එකේ...ඉතාලි වගේ ළඟ රටවලට යනකොට යන්න තියෙන්නෙ බ්‍රසල්ස් එයාපෝට් එකෙන් නෙවෙයි චාලරුවා එයාපෝට් එකෙන්...
ටිකට් ඔන්ලයින් ගන්න පුලුවන් වුණත් අපි චාලරුවා ගිහින් නැති නිසා එයාපෝට් එකට යන විදිය බලාගන්නත් එක්ක රයන් එයාර් කවුන්ටරයෙන් ටිකට් ගම්මු කියල දවසක්දා හවස පුතයි මමයි බැස්කියුල් වලින් බස් එකේ නැගල චාලරුවා ගියා...ගමන පැයයි...රයන් එයාර් කවුන්ටරෙන් ටිකටුත් අරගෙන ආපහු එන්න බස් එකට නැග්ගා...


  බස් එක ස්ටාට් කරන්නෙ නෑ...ඩ්‍රයිවර් ළඟ හයි කරල තියෙන ටිකට් දාන මැෂින් එක කැඩිල මාරු සල්ලි එළියට එන්නෙ නෑ...ඩ්‍රයිවර් දන්න විදියට හදන්න බැලුවා...බැරිවුණු තැන ප්‍රංශ බාසාවෙන් බැන බැන මැෂින් එකට ගහන්න ගත්තා...

ඩ්‍රයිවර් මොනවද කියන්නෙ කියල මම පුතාගෙන් ඇහුවා...

ඉස්සෙල්ල ගැහුවා මේක ඉබ්බ වගේ ඉන්නව හෙල්ලෙන්නෙවත් නෑ කියල...පස්සෙ නං කිව්වෙ කුණුහරුප ගොඩක්...

පුතා කිව්වා...

ඉබ්බා කියද්දි මට මතක් වුණේ ඉස්සර අපි කුඹුරු වැඩ කරද්දි ගොයම් කපන කොට එහෙම ඉබ්බෙක් දෙන්නෙක් නොවැරදීම හම්බ වෙනවා...සැරයක් අපේ කුඹුරෙ ගොයම් කපද්දි ගල් ඉබ්බො දෙන්නෙක් හම්බවෙලා උන්ව මුනින් අතට පෙරළල නියර උඩ තියල තිබුණා...

එදා කොළේ පාගල එහෙම බැත රාහි කරද්දි මහ රෑ වුණා...කමතෙ මුරට හිටියෙ අපි දෙතුන් දෙනයි...අනික් උන් ගෙවල්වලට ගියා ආරියි සිරිල් මාමලගෙ ගෙදර හිටපු මහතුනුයි මොකද කළේ ඉබ්බො සුද්දකරල ඉව්ව...ටවුමට ගිහින් පාන් ගෙනත් කාල එහෙම පොඩ්ඩක් නිදාගම්මු කියල පිදුරු ගොඩට පැත්තට ගියා...මම කමතෙ අපි හදල තිබ්බ පැලට ගියා පිනි බාන හින්දා...එහා පැත්තෙ මිනී කනත්ත.
 
 මට දැන් කසු කුසුවක් ඇහෙනව...

වරෙංකො...

මට බෑ...

මම පොඩ්ඩක් ඔලුව උස්සල බලුව හොල්මන් වද්ද කියල...ආරි මහතුවව ඇදං යන්න හදනව...මහතුව කෑ ගහනව බෑ කියල...ආරි කොහොම හරි වදෙන් පොරෙන් මහතුන්ව ඇදගෙන පෙරළගෙන වගේ පිදුරු කන්ද එහා පැත්තට අරං ගියා...

ටික වෙලාවකිං මහතුන් අඬාගෙන දුවගෙන ආවා...

අනේ බලන්නකො අරූ මට කරපු වැඩේ...ඊයා...

උඹ අඬන්නෙ නැතුව ඔය පිදුරු ටිකකිං පිහිදා ගනිංකො ඉවරනෙ...

පිදුරුවලින්...යකෝ කැපුනම මටනෙ ඒකෙත් කරදරේ...ඔය අලුත් පිදුරු බ්ලේඩ් තල වගේ කැපෙනව...

ඉතිං අරූට කියල ඒකත් කරගෙනම ආවනං ඉවරනෙ බොල...මෙතන ඇවිත් මාව කන්න හදන්නෙ...

ආරියට බැන අඬ ගගහ මහතුව ඇළ පැත්තට පල්ලං බැස්සා...

පිහිදා ගන්නව කියපුවාම මට තව කතාවක් මතක් වුණානෙ...

ඔන්න කාලෙකට ඉස්සෙල්ල අපේ ගමේ කොල්ලො කට්ටියක් සිරීපාදෙ ගියා...කටුනායක වැඩට ගියපු ගමේ කෙල්ලෙක් ඒ කෙල්ල වැඩකරන තැන  යාලුවො කට්ටියකුත් එක්ක ගමනට සහභාගී වුණා...

 ගමනට මට සහභාගි වෙන්න වුණේ නෑ මොකද ඒ දවස්වල මට ආලවන්ත කං පාමින් හිටපු කෙල්ලෙක් පොඩි තර්ජනයක් කරපු නිසා...

ඔය චිංචි මානවිකාවො ටිකත් එක්ක එහෙම සිරීපාදෙ ගිහින් තිබුණොත් මම නෑ කියල හිතාගන්ට...

 ඉතිං මම ෂේප් එකේ මග ඇරල නිකං හිටියා...ගමනෙ විස්තර මට කිව්වෙ ඇන්සා...

නඩේ ගමෙන් පිටත්වෙලා නල්ලතන්නියට යද්දි එක කොල්ලට එකා ගානෙ කෙල්ලොත් ලෑස්ති කරගෙන...ඇයි ඇතිවෙන්න කෙල්ලො හිටියනෙ...ජෝඩු ජෝඩු සතුටින් සිරීපාදෙ නැගලා ආපහු බහිද්දි කට්ටියටම මහන්සියයි තෙහෙට්ටුවයි නිසා පොඩ්ඩක් ඇලවෙලා ගිමන් ඇරල යමු කියල සාම චෛත්‍යය හරියෙ ඉඩකඩ තියෙන තලාවක කට්ටිය නැවතිලා...

ඇලවෙනකොට ඇන්සා තමං ළඟ හිටපු මානවිකාවගෙත් ඉහේ ඉඳන් බෙඩ්ෂීට් එකක් පොරවගෙන තමා ඇලවෙලා තියෙන්නෙ...කාටවත් හොයන්න බෑ කෙහෙල් කොට පෙරලුවා හා සමානයිනෙ...

ළඟපාත ගිමන් අරිමින් හිටපු වයසක උපාසක මහත්තයෙකුට මේ බෙඩ්ෂීට් එකේ චලනය දැකල පුෂ්පය හිස් මුදුනෙම විකසිත වෙලා...

තූහ් විතරක් වනචරයො...මුං ඇවිත් තියෙන්නෙ වන්දනාවෙ නෙවෙයි මඟුලෙනෙ...වරෙන් කෙල්ලෙ යන්න...

තමන්ගෙ ගෙදර අයත් නැගිට්ටවගත්තු උපාසක මහත්තය එතනිං යන්න ගිහිං...දැන් කාගෙන් කරදරයක්ද...අඳුරට මුවාවුණු ඇන්සා ලෝඩ් එකකුත් බාගෙන ඒ අව් අස්සෙ...

මානවිකාවගෙම උකුලෙ හිස සතපවගත්තු ඇන්සා මහන්සි ඇරලා...මානවිකාවත් ඇන්සගෙ හිස ආදරයෙන් අතගාමින් හිටියලු...
 
බස් එකට එද්දි ඔලුවෙ අමුතු ගතියක් දැනුණු ඇන්සා ඔලුව අතගාල බලද්දියි දන්නෙ කෙස් එකට ඇලිල තියෙන බව...
 
මානවිකාව ආදරයෙන් හිස අතගාපු එකේ රහස ඇන්සාට තේරිලා තියෙන්නෙ එතකොටයි.
 
මෝනාලිසා ටිකෙන් ටික ඈතට යනව වාගෙ නේද...මොකද ඔයාල හිතන්නෙ.

Sunday, May 12, 2013

61.මෝනාලිසා සහ කොළ කැඳ



අපි ඉතිං ගොඩක් තැන්වල රවුං ගැහුවනෙ...දැන් තියෙන්නෙ මෝනාලිසා බලන්න යන්න විතරයි...ඒත් මට ඉතිං තියෙන ලොකුම හිසරදේ මේ තැලිල්ල...රවීගෙ භාෂාවෙන් කියනව නං ගොමු තැලිල්ල...ගොමු තලමු කියල කට්ටියක් කියනව...දිගටම පාරෙම යං කියල කට්ටියක් කියනව...අනේ මන්දා මම දැන් එච්චර ඔය ගැන හිතන්නෙ නෑ ඔලුව හැරිච්චි අතේ ලියනව මිසක්.

අපි චානි අක්කලගෙ ගෙදර නැවතුනු පළවෙනි දවසෙම අපට රෑ කෑමක් තිබුණා...ඒ කතාව මෙහෙමයි...කෑමට ආරාධනාව තිබුණෙ චානි අක්කට ආරාධනාව ලැබුණු වෙලාවෙම චානි අක්ක කියල තියෙනව...

අනේ මිස්ට කරුණාරත්න මට නං එදා රෑට එන්න බැරිවෙයි මගෙ ඥාති මල්ලි කෙනෙක් ගෙදර අයත් එක්ක අපේ ගෙදර එනවනෙ...

එතකොට මිස්ට කරුණාරත්න කියල...

ආ ඒක කොච්චර හොඳද... ඔන්න ආරාධනාව මල්ලිගෙ කට්ටියටත් එක්කමයි...ඒ ගොල්ලොත් එක්කන් එන්න...

එද දවල් මටත් ටෙලිපෝන් කරල කිව්වා.

ඒකත් අවුරුදු කෑමක්...රාත්‍රී කෑම වේල සම්පූර්ණයෙන්ම සිංහල කෑම වලින් පිරිල තිබුණා...ඔය විප්‍රවාසයෙ ඉන්න අපේ සිරිතක්නෙ ලංකාවෙන් එන අයට පුළුවන් තරම් දුරට ලංකාවෙ විදියට කෑම බීම හරිගස්සල දෙන එක...බොහොම අමාරුවෙන් ලංකාවෙ කෑම ජාති හොයාගෙන රසට උයල අර ලංකාවෙන් එන අයට දෙනව...අනේ ඒ මනුස්සය ලංකාවෙ ඉඳල ඊයෙ ආවා වෙන්නත් පුළුවන්...සමහරවිට එයා කැමති  ඇති ඒ රටේ කෑම කන්න හැමදාම කන ලංකාවෙ කෑම වෙනුවට...ඒ වුණාට අපේ තියෙන උසස් ආගන්තුක සත්කාරය නිසා අපි මොනවද අර මනුස්සයට කන්න හරිගස්සල දෙන්නෙ...

පොළොස් ඇඹුල්
කරෝල බැදුම
අඟුණකොළ මැල්ලුම
දෙල් වෑංජනය
කුරක්කන් පිට්ටු

ඔය ආදී වශයෙන් ලංකාවෙදිවත් ඒ මනුස්සයට නොලැබෙන දුර්ලභ කෑම වේලක් හදල දෙනව හොඳ නෑනෙ කියල.

කුරක්කන් පිට්ටු කියනකොට මට මතක් වුණේ ඔය අපේ මැණිකෙ පුංචි අම්ම හදනව කුරක්කන් පිට්ටුවක් හීනියට ඇට තියෙන්න කිරිගොට්ටට දාල තම්බගත්ත පිට්ටුවෙ සුවඳ මට දැනුත් මතක් වෙනව...පොල් නොදා හදන ඔය කුරක්කන් පිට්ටු කිරිහොදිත් එක්ක කන්න මම හරිම මනාපයි...පුංචි අම්මලගෙ ගෙදර සාංගීක දානෙ වෙලාවට මම කන්නෙ කුරක්කන් පිට්ටුයි කිරිහොදියි...බත් මාලු හැමදාම කන එකනෙ.

කිරිහොදි කියපුවාම මට මතක් වුණේ අපේ පන්සලේ අපවත්වෙච්ච ලොකු හාමුදුරුවො...පුජ්‍ය විතානමුල්ලේ අරියකිත්ති හිමි...ලොකු හාමුදුරුවො මීකිරි කන්නෙ කිරි හොදිත් එක්කනෙ...දානෙ වලඳල අවුල්පත් බෙදාගෙන යන වෙලාවට මීකිරි පිළිගන්නවනවනෙ...ලොකු හාමුදුරුවො සීනිවත් පැණිවත් ගන්නෙ නෑ...අතින් ළඟට කතාකරල කියනව...



මට ඔය කිරිහොදි ටිකක් බෙදන්න...

අපි ඉතිං පොඩි කාලෙ ඉඳන්ම හැදුනෙ ලොකු හාමුදුරුවන්ගෙ සෙවනෙ...බුදු සන්තෝ බනින්නෙ බලු බැණුම්...මම බඳින්න ඉස්සෙල්ල ගෙදරට හාමුදුරුවරු වඩම්මල සාංගීක දානෙ දීපු වෙලාවෙ අනුශාසනාවෙදි ලොකු හාමුදුරුවො මා ගැන කිව්වෙ...

මේව නිකං මේ කැලේට කොළේට හැදිච්චි ඇඹුල් නෙවෙයි...හොඳ කෝලිකුට්ටු...

ඒ ඉතිං ලොකු හාමුදුරුවන්ට දෙන්න පුළුවන් උසස්ම සහතිකය...

(ලොකු හාමුදුරුවන් ගැන කතාව හිතලම නැවැත්තුව වෙනම පෝස්ට් එකක් ලියන්න ඉන්න නිසා)

කෝලිකුට්ටු කිවාහම මම අහල තියෙන කතාවක් මතක් වුණා ඒකත් කියලම ඉම්මු...

ඔන්න ගම්බද පළාතක ජීවත්වෙච්ච එච්චර තැලිල පොඩිවෙලා නැති අහිංසක තරුණයෙක් නිසි වයස් එළඹිලා විවාහයට සුදුසු කුල කුමරියක් ඒ ළඟ අහල පහලින්ම හොයාගෙන ...

සුභ මොහොතින් අතිනත ගන්න ඒ පළාතෙ විවාහ ලේකම් තුමිය ළඟට ගිහින්...

විවාහ ලේකම් තුමියත් දැන් ජෝඩුව ඉස්සරහින් වාඩිකරවගෙන විවාහ සහතික පත්‍රය ලියනව...

නම වයස තත්වය ලියපුවාම ඊළඟට ලියන්න තියෙන්නෙ තරාතිරම හෙවත් රක්ෂාවනෙ...

විවාහ ලේකම් තුමිය මේ තරුණයගෙන් අහනව...

තරාතිරම කොහොමද...

කොල්ල වටපිට බලනව...

කියන්න ළමය ඔය ළමයගෙ තරාතිරම මට මේ සහතිකේ ලියන්න...

කොල්ලගෙ කං පෙති රතුවෙලා හීන්දාඩියත් දාල...හොරැහින් බලනව තමන්ට වම් පැත්තෙන් වාඩිවෙලා ඉන්න මනමාලි දිහාවෙ...

කොල්ලගෙ තරාතිරම කොහොමද කියනකල් විවාහ ලේකම් තුමියත් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නව...කොල්ල කතාකරන පාටක් නෑ...විවාහ ලේකම් තුමියගෙත් පුෂ්පය දැන් ටික ටික විකසිත වේගන එන්නෙ...

ඔය ළමය කතා කලේ නැත්නම් මට මේ වැඩේ කරන්න වෙන්නෙ නෑ...ඉක්මනට කියන්න තමන්ගෙ තරාතිරම කොහොමද කියල...

විවාහ ලේකම් තුමිය ටිකක් තදින් කිව්වා...

සිහි නැතිවෙන තරමට ලැජ්ජාවෙන් මුසපත්වුණු කොල්ල මේසෙ දාරෙ නියපොත්තෙන් සූරන ගමන් බිම බලාගෙන කෙඳිරුවා...

තරමක කෝලිකුට්ටු ගෙඩියක් විතර ඇති නෝන...
  
මගෙ ඉඩං කෑල්ලෙ කෙහෙල් පැළ හිටවද්දි කෝලිකුට්ටු පැළ දෙකතුනකුත් හිටෙව්වා...කෙහෙල් පැළවලට පෝර දාපුවාම බිම වැල්පෙනෙළ පඳුරු වැවිල කොළපාටට සනීපෙට බලන්න ලස්සනයි...

මම මොකද කළේ පෙනෙල වැල් ගොල්ලක් ඇදගෙන ගිහින් බිරිඳට දුන්නා...

මුකුණුවැන්න මිටියකුත් දාල කොටල හෙට උදේට කැඳ හදන්න...

 ඔන්න ඔය විදියට තමයි හැම ඉරිදම උදේ අපේ ගෙදර කොළ කැඳ හැලියක් හදන්න පටන් ගත්තෙ...

උදේට බිරිඳ මට සුදුලූණු බික් දෙක තුනකුත්  දාල හදපු කොළ කැඳ ජෝගුවක් හකුරු කෑල්ලකුත් එක්ක දෙනව...

ඒක ගහල ඇරියාම  ආයෙ දවල් වෙනකල් බඩගිනි වෙන්නෙ නෑ...

ඒ වෙලාවට ගෙදරට යන එන අයටත් කොළ කැඳ සංග්‍රහයක් ලැබෙනව...කොළ කැඳ බොන්න පුරුදුවුණු අපේ මස්සිනාත් ඉරිද උදේට ගෙදර එන්න ගත්ත.

මොන කෑම ජාති හැදුවත් මට ඔය කොළ කැඳ රසට හදන්න බෑනෙ...කොළ කොටල මිරිකල දෙන්න පුලුවන් ඒ වුනාට පදමට කිරි දාල බිරිඳ හදන රස මට ගන්න බෑ.

ඒ වුනාට අපි කොල්ලො කාලෙත් කොළ කැඳ හැදුවා...ඒ කාලෙ අපි ගජ ඉළන්දාරි...

අපි එකතුවුණාම ඔය දැන් ඉළන්දාරි වාගෙ සීය සීය දාල බෝතල් ගෙනල්ල ඉවරයක් නැතුව බිව්වෙ නෑ...

දෙල් කඩල තැම්බුවා...
කොළ කැඳ හැදුවා...




කොල්ලො කට්ටිය ගිහින් අලවත්තෙන් කොළ ජාති කඩාගෙන එනවා...වැඩිපුරම තිබුණෙ වැල්පනෙළ ඉරිමුසු  පොල් පලාත් තැන තැන තිබුණා...පොල් ගෙඩියකුත් අලවත්තෙන් කඩාගෙන එනවා...

වීරෙ එතකොට කඩයක් කෙරුවා අපේ මහ ගේ ඉස්සරහ වෙළෙන් එගොඩහ වීරයගෙ කඩේ කුස්සියෙ තමයි කොළ කැඳ හදන්නෙ...මම ගෙදරින් කැකුළු හාල් හුණ්ඩුවක් අරන් එනවා...

ඒ කාලෙ ඉතින් කොළ කොටන්න ග්‍රයින්ඩර් තිබුණු එකක්යැ...පොල් ගාල කොළත් එක්ක වංගෙඩියෙ දාල කොටල මිරිකල ගන්නව...

මම තමයි කැඳ බාස්...අනික් එවුන් එකෙක්වත් දන්නෙ නෑ කැඳ හදන ක්‍රමේ...දවසක් මරු වැඩක් වුණා.

 එදා උදේ මම ඉස්කෝලෙටද කොහෙද ගිහින් එනකොට දවල් වුණා...කට්ටිය එකතුවෙලා කැඳ හදන්න පටන් අරන්...

කොහොම හරි කොළත් හොයාගෙන පොලුත් කඩාගෙන ඇවිත් ඉස්සෙල්ලම රතු කැකුළු හාල් හුණ්ඩු දෙකතුනක් ලිපේ තියල ගින්දර දාල...

එකෙක් පොල් ගානව තව එකෙක් කොළ හෝදනව එතකොට තමයි මම ආවෙ...

කුස්සියට ගිහින් බලපුවාම තියෙනව බත් හැලියක්... අර රතු හාල් ටික හොඳට ඉදිල හැලියෙන් එකයි බත්...

පොල් ටික ගෑවද බං...

මම ඇහුවා...

ඔව් ඔව් ගාලයි තියෙන්නෙ...

එහෙනං සම්බෝලයක් ගලේ තලපල්ලකො...

ඒ මොනවටද සම්බෝල...

මේ බත් හැලිය දවල්ට කන්න යකුනේ...

එතකොට කොළ කැඳ...



කොළ කැඳ නෙවෙයි තොපිට හදන්න පුලුවන්...මහ එකාගෙ ලබ්බ...මම එනතුරු ඉන්නෙ නැතුව තදියං වෙලා  හදන්න ගියානං කාපියව් බත්...

කට්ටියම මොනවද කාපු රිළව් වාගෙ විරිත්තගෙන බලා හිටිය...

ඔය අයිපෙල් ටවර් එක ළඟ ඉඳන් ගඟ පැත්තට පඩිපෙළ බහිනකොට හරි ගඟ පැත්තෙ ඉඳන් පඩිපෙළ නගිනකොට හරි තියෙන ඉඩ කඩේ චිත්‍ර ශිල්පීන් කණ්ඩායමක් ඉන්නව...යන එන අයව බලාගෙන ඒ අයගෙ පින්තූරෙ ඇඳල දෙනව...විනාඩි කීපයකින් වැඩේ කරනවා...ඒ දවස්වලත් යුරෝ හතරක්ද පහක්ද ගත්තා මට හරියටම ගාණ මතක නෑ දන්න කෙනෙක් ඉන්නව නං නිවැරදි කරන්න...ඔය චිත්‍ර ශිල්පීන් අතරෙ අවංකවම චිත්‍ර අඳින අයත් ඉන්නව චිත්‍ර අඳින බව අඟවන අයත් ඉන්නව...අර චිත්‍රෙ ඇඳගන්න ආපු මිනිහ වරුවක් එතනට වෙලා ඉන්න කැමති නෑනෙ...චිත්‍ර ශිල්පිය මක මකා මහන්සියෙන් අඳින බව පෙන්නනකොට අර මිනිහ චිත්‍ර ශිල්පියට යුරෝ එකක් දීල යන්න යනව චිත්‍ර එපා මහන්සියට මේක තියාගන්න කියලා... ඒක එයාලගෙ ජාවාරමක්ලු.



ඔහොම කට්ටියක් නොත්‍රඩාම් පල්ලිය ළඟත් ඉන්නව කියල මම අහල තියෙනව හැබැයි දැකල නං නෑ.