ආදරයට ආදරය කරපු සරෝජිනී ගැන මම ලියපු කතාවට අපේ පාඨකයන්ගෙන් විවිධාකාර ප්‍රතිචාර ලැබිලා තිබුණා...අද මම ලියන්න යන්නෙ සරෝජිනීගෙ හොඳම යාලුවා වෙච්චි තනුජා ගැනයි, ඇයත් ආදරයට ආදරය කළ තරුණියක් වුණත් දෛවය ඇයට එතරම් කාරුණික වුණේ නෑ.
කාලය 90 දශකයේ මුල් භාගය,සරෝජිනිත් තනුජාත් රැකියාවලට යන්න පටන් ගත්ත මුල් අවදියෙ සරෝජිනී කිරිඳිවැල ඉඳලත් තනුජා එල්ලක්කල ඉඳලත් බස් එකේ ඇවිත් අපේ ස්ටේෂන් එකෙන් මහව කෝච්චියට නැග්ගා...ඒ දවස්වල මහවෙ තුන්වෙනි පෙට්ටියෙ ගමන්කරපු අපේ කණ්ඩායම පහළොවකට වැඩියි...දුර ඉඳන්ම ආවෙ පොතුහැරින් ගොඩවෙන වනසිංහ වැඩකළේ සංස්කෘතික දෙපාර්තමේන්තුවෙ, අත්තනගල්ලෙ අලවල ඉඳන් ආපු පතිරණ වැඩකළේ රජයේ මුද්‍රණාලයෙ හෙවත් ප්‍රෙස් එකේ, වනසිංහයි පතිරණයි අපේ සීට් එකෙ ගියපු උන්ගෙ සුපිරිම බයිට් දෙකක් වුණා...
වතුපිටිවල ඉඳන් එන රැවුලගෙ නමත් පතිරණ,රැවුලා වැඩකලේ මෙඩිකල් කොලේජ් එකේ,වනයයි පතිරණයි බයිට් කරන්න පටන් ගන්නෙ රැවුලා...
ඔය දවස්වල වනසිංහ වැඩට එනකොට ඔෆිස් බෑග් එකක් ගේන්න පටන් ගත්තා...අපි හවසට ගෙදර එන්නෙ කුරුණෑගල කෝච්චියෙ වනයයි රැවුලයි දෙන්නම නගින්නෙ මරදානෙන්...දවසක්දා කෝච්චිය මරදානෙ නවත්තපුවම අපි දැක්කෙ වනය කෝච්චියට නගින්න පොරකනකොට පිටිපස්සෙන් ආපු රැවුලා වනයගෙ බෑග් එකට වේලිච්චි බෝගන්විලා අතු කෑලි වගයක් ඔබනව...ආයෙ දවසක රැවුලා හොඳටම පැතලි කිලෝ දෙකතුනක් බර කලුගල් කෑල්ලක් කොහෙන්ද හොයල කොළේක ඔතාගෙන කෝච්චියට අරං ආවා...
දෙන්නෙක් වනයත් එක්ක කයිය ගගහ ඉද්දි අනික් උන් වනයගෙ බෑග් එක උඩ රැක් එකෙන් අරගෙන කලුගල් කෑල්ල දාල වහල තිබුණු විදියටම තිබ්බා...වනයට ගානක් නෑ කෝච්චියෙන් බැහැල කලුගලත් උස්සන් ගෙදර ගිහිං...මූට මාරය ආවේස වෙච්චි පාර පහුවදා එනකොට උල් පිහියකුත් බෑග් එකේ දාං ඇවිත් රැවුලට කෙලල දන්න කියල...අනික් අය මේක දැකල කලින්ම පිහිය අරගෙන තිබ්බ නිසා අනින්න නං වුණේ නෑ...වනයගෙ ටෝච් එකේ කෑලි මාරුකරන එකයි බල්බ් එක ගලෝන එකයි නං හැම තිස්සෙම කළා...
ඔය විදියට හැමදාම උදේ හවස පිස්සු නටාගෙන ගමන් කරන අතර සරෝජිනී තනුජත් එක්ක අපේ සීට් එකට ක්‍රමයෙන් සෙට්වුණා...මේ දෙන්නගෙ තව යාලුවො දෙන්නෙක් ගම්පහින් කෝච්චියට නැග්ගා...
තනුජා උසයි මහතයි රූමත්ම කියන්නත් බෑ නමුත් අජූවකුත් නෑ...කවුරු එක්කත් හොඳට කතාබහ කරනව කොටින්ම සෝෂල් කෙල්ලෙක් කියල කියන්න පුළුවනි...පොඩි වැරැද්දකට තිබුණෙ ලොරි ටෝක් දෙන එක තමයි...අලවල පතිරණයව එහෙන් මෙහෙන් බයිට් කරමින් හිටපු අපි තනුජා ආවත් එක්කම ඒ කෙල්ල මූට සම්බන්ධ කරමින් කතාවක් හැදුවා...මේ කතාව කියපු ගමන් පතිරණයට නහුතෙට තදවෙනව මුන් දෙන්න හරියට තල්මහයි හාල්මැස්සයි වාගෙනෙ...
ඔය අතරෙ අපි කෝච්චියෙ කට්ටිය විනෝද ගමනක් ගියා මයියංගනේ...ගිහිං ආපහු එද්දි හොඳටම රෑවුණු නිසා තනුජව ගෙදරට ඇරලවන්න ගියෙ පතිරණ...පහුවදා ඉඳං මේ ගැන නොයෙකුත් කතා හදනව දෙන්න එක්ක ගෙදර ගිය හැටි, රෑ වෙච්චි නිසා තනුජලගෙ ගෙදර නැවතිලා යන්න කියපු හැටි...ආදී නොයෙකුත් පද හදනකොට පතිරණය මාරාවේස වෙනව,තනුජට නං ගාණක්වත් නෑ හිනාවෙවී අහගෙන ඉන්නව...
ඔන්න ඔය අතරෙ පතිරණ ගෙදරින් ගෙනාපු යෝජනාවක් අනුව කසාද බැන්දා, මගුල් ගෙදරට කෝච්චියෙ යන අපි ඔක්කොම අලවල ගියා...
ඔය අතරින් කෝච්චියෙ ගමනත් සුපුරුදු විදියට ගලායනවා...තනුජගෙ ලොකු ටෝක් දීමත් සුපුරුදු ආකාරයටම කෙරෙනවා...ගොඩක් වෙලාවට කියන්නෙ තනුජත් එක්ක යාලුවෙන්න ආපු කොල්ලො ගෑන,ඒ එක කොල්ලෙක්වත් සුලු පටු උන් නෙවෙයි ලොකු රස්සාවල් කරන හොඳට සල්ලිය බාගෙ තියෙන වාහනවලින් ගමන් බිමන් යන කඩවසම් තරුණයො,ආයෙ අපි වගේ ලපයි සිපයි නෙවෙයි...දවසක්දා තනුජා මටත් බුදු ටෝක් එකක් දුන්නා...
අයියත් එක්ක කතා කර කර ගියා කියල නලින් මට වරුවක් බැන්නා...
නලින් කිව්වෙ ගම්පහින් ගොඩවෙන කොල්ලෙක්,නලින් හම්බවෙච්චි වෙලාවක මම මේ ගැන උගෙන් ඇහුවා...
උඹ මොකටද බං අර කෙල්ලට බැන්නෙ...
උඹට පිස්සුද ඒකිට බනින්න මම ඒකිගෙ තාත්තද,මළ වාතයක් බං හැම තිස්සෙම කතාකරන්න එනව මම දැන් උඹලගෙ කෝච්චියට එන්නෙත් නෑ...
ඔන්න ඔය ආකාරයට ජීවිතය ගලායන අතරෙ දවසක්දා තනුජා අපිත් එක්ක කෝච්චියෙ යන රාජාට කතාකරල එයාගෙ යාලුවෙකුගෙ මුත්‍රා ටෙස්ට් එකක් කරගන්න තියෙනව කියල කිව්වා...රාජා වැඩ කළේ එම් ආර් අයි එකේ...
පොඩි කුප්පියකට චූ කරල ගෙනාවම ඇති,උඹ අරක්කු බෝතලේකින් එකක් අරං එන්න එපා මෙතන...
තෙන්නකෝන් තනුජට වදේ ගැහුවා,තෙන්නකෝනුත් වැඩකලේ එම් ආර් අයි එකේ...
තනුජයි සරෝජිනියි දෙන්න තෙන්නකෝන්ගෙ දුවලලු,අපි පුතාලලු...හවසට කෝච්චියෙ එනකොට දෙකක් දාගෙන ඇවිත් මූ මරු කතා කියන්නෙ...
සැරයක් බටුවත්තෙ ස්ටේෂන් එකට ටිකක් එහා කන්ද උඩ තිබ්බ පරණ ගේකට තීන්ත එහෙම ගාල විකුණන්න දාල තියෙනව අපි කෝච්චියෙ යනකොට දැක්කා...තෙන්නකෝන් ඔය ගේ මට පෙන්නල...
ඒයි අපි අර ගේ ගම්මුද අරං බඩු පොට් එකක් දාමු...
ඉතිං බඩු කෝ...
ඇයි මුං දෙන්න ඉන්නෙ ඔවුන් දැනුත් ඕකමනෙ කරන්නෙ...
හැබැයි පිළිවෙලට වැඩේ කරගෙන යන්න ඕනැ,ගෙවන ගානෙ හැටියට තමයි වෙලාව දෙන්නෙ වෙලාව පැන්න ගමන් විසිල් එකක් ගහනව...ගියෙ නැති උන් එළියට ඇදල දාන්න ඕනැ හරිද....
තෙන්නය කියන කතාවලට හිනාවෙලා පණයනවා...
ඒ දවස්වල හවසට අපේ ස්ටේෂන් එකෙන් බහින කට්ටිය ටවුමෙ කඩේකින් ආප්ප කන්න පුරුදුවෙලා හිටියා,චිත්‍රපටි හෝල් එක ළඟ හෝටලේක හවසට හොඳ රස ආප්ප තියෙනව කියල තෙන්නකෝන් හොයාගත්තෙ...මම, රැවුලා,තෙන්නකෝන්,සරෝජිනී,තනුජා කට්ටියම ආප්ප කන්න යනවා පතිරණය මග ඇරල ගෙදර යනවා ඌට අපි වදේ ගහන හින්දා...
හෝටලෙන් ආප්පයි බිත්තර ආප්පයි කාල උන් ටික බස්වල යනවා මම පයින්ම ගෙදර යනවා...
ඔය කතාව අපි කෝච්චියෙ කියපුවම රාජටයි සෝමෙටයි අපිත් එක්ක ආප්ප කන්න යන්න ඕනැවුණා...දවසක උන් දෙන්නවත් ආප්ප කන්න එක්කරගෙන ගියා,කාල බීල එළියට බැහැල බලපුවම උන් දෙන්නට යන්න තියෙන්නෙ මහව කෝච්චිය ඒක එනකොට හත විතර වෙනවා,එතකොට අපි ගෙවල්වල ගිහිල්ලත් ඉවරයි...
ඔය කාලෙ වෙද්දි පතිරණටත් දරුවෙක් හිටියා...රාජා යූරින් ටෙස්ට් රිපෝට් එකත් ගෙනල්ල තනුජට දුන්නා...තවත් මාසයක් විතර ගෙවිල යද්දි තනුජා කෝච්චියට එන එක එකපාරටම නතරවුණා...
දවසක් හවස කෝච්චියෙදි හිටපු ගමන් තනුජව හම්බවුණා,කොටු කොටු දිළිසෙන සාරියකුත් ඇඳන් ඇඟිල්ලක මඟුල් මුද්දකුත් තිබුණා...මූණත් ටිකක් පිපිහළු ගතියක් තිබුණ වගේ මතකයි,විස්තර අහපුවම හදිස්සියෙ කසාද බැන්දය මහත්තය රට ගියාය කියල කිව්වා...හබැයි ටිකක් තිගැස්මකින් තමයි ඇය කතාකරපු මුලු කාලෙම හිටියෙ...
ඊට පස්සෙනං තනුජව ඇහැට දකින්නවත් ලැබුණෙ නෑ...සරෝජිනීගෙන් ඇහුවත් දන්නෙ නෑ කිව්වා...තනුජල එක්කම වැඩකරපු මගෙ තව යාලුවෙක් හිටියා,ඇයගෙන් මම විස්තරේ අහගත්තා ඇයට අපි ලසිතා කියමු, ලසිතා කියපු කතාව මෙහෙමයි...
වැඩක් කරගන්න තනුජලගෙ කන්තෝරුවට ආපු කෙනෙක් එක්ක තනුජා සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණා...ඔහු තනුජට වඩා තරමක් වයස වුණත් හොඳ කඩවසම් අතේ මිටේ සල්ලි බාගෙ ගැවසුනු වාහනයකුත් පාවිච්චි කරපු කෙනෙක්...තනුජා සිහින මැව්වෙත් මෙවැනිම කෙනෙකුට නිසා ඔහුට ආදරය පිළිගන්වන්න තනුජට දෙසැරයක් හිතන්න උවමනා වුණේ නෑ...
මේ දෙන්නගෙ ආදර කතාව කිසි කෙනෙකුගෙන් කරදරයක් බාධකයක් නැතිව මාස කීපයක් ගලාගියා...අලුත් පෙම්වතා තනුජගේ සියළුම ඕනැ එපාකම් පිරිමහන්න කිසිම ලෝබකමක් නැතිව වියදම් කළා,ඇයත් පෙම්වතාට තමන් සතු සියළුම දේ පිළිගන්වන්න මොහොතකටවත් පැකිලුනේ නෑ...
දෙන්න පෙම් සුව විඳිමින් හිටපු දවසක තනුජා පෙම්වතාගෙ කණට රහසක් කෙඳිරුවා...
දැන් ටික දවසක ඉඳල මගෙ ඇඟට අමුත්තක් දැනෙනව අනේ...බබෙක්වත්ද දන්නෙ නෑ නේද...
පෙම්වතා පොඩ්ඩක්වත් කලබල වුණේ නෑ, ඔහු තනුජාට කතාකලේ මුව පිරුණු සිනාවක් එක්කයි...
හරියටම ස්ථිර කරල බලාගන්න ළමයෝ...එහෙම නං අපි පහුවදාම කසාද බඳිමු...
තනුජා රාජාට කියල මුත්‍රා බලාගත්තෙ ඊට පස්සෙයි,ප්‍රතිපලය පොසිටිව්...තනුජාට හරි සතුටුයි ඇය පහුවදාම මේ සතුටුදායක ආරංචිය පෙම්වතාට කිව්වා...
පෙම්වතා කොහෙ ගියාද කියල අන්දෝ සංසාරයක් ඊට පහුවදා ඉඳන් තනුජාට හොයාගන්න බැරිවුණා.
මතු සම්බන්ධයි....
මතු සම්බන්ධයි....
