Tuesday, October 9, 2018

සුද්දාගේ අන්නාසි සොමිය, අලුත් අවුරුදු උත්සවය, මාදුවාගේ දිවා භෝජන සංග්‍රහය, ඔපරේෂන් ත්‍රීවීල් සහ අවලංගු කළ ප්‍රහාරය.


අපට නිතරම සොමිය දෙන සුද්දා ගේ කතාවක් ආයෙම ලියන්නට සිතුණු නිසා ත්‍රිකෝණයේ ඊළඟ කොටස මඳක් පමාකොට සුද්දාගේ කතාව ලියමි.  සුද්දා පහුගිය දවස්වල හිටියේ තරමක් අවුලෙනි.  හේතුව වුණේ සුද්දාගේ පොඩි පුතා අසනීප වීමයි.  පොඩියට හිටියට සුද්දා දරු පස් දෙනෙක්ගේ පියෙකි.  පළවෙනි කසාදයේ දුවයි පුතයි සහ දැන් කසාදයේ පුත්තු දෙන්නයි දුවයි වශයෙනි.  පොඩි දුවයි පුතයි දෙන්නා නිවුන්නුය.  ඒ කියන්නේ විනාඩි ගණනකින් අක්කා සහ මල්ලිය.  දැන් උන් දෙන්නාට වයස අවුරුදු දෙක හමාරක් පමණය.  අපිව නිතරම සුද්දලාගේ ගෙදරට අදින කාන්දම වෙන්නේ මුන් දෙන්නාගේ හුරතල්ය.

පහුගිය දවසක පොඩි කොල්ලා තරමක හෙම්බිරිස්සා ගතියකින් සිටි නිසා සුද්දාගේ පවුල කොල්ලාට පැනඩෝල් පෙත්තකින් බාගයක් කපා බොන්නට දී පැනඩෝල් කාඩ් එක මේසය උඩ තබා කුස්සියේ වැඩකට ගියාය.  කොල්ලා ඒ ටිකට පුටුවකට නැගගෙන මේසයට ගොඩවී පැනඩෝල් කාඩ් එක ගත්තේය.  ඌ සාමාන්‍යයෙන් බේත් බොන්නට බොහොම කැමතිය.  පැනඩෝල් පෙති පහ අම්මා දෙනවාක් මෙන් දෙකට කපා ටැප් එක ලඟට අරගෙන ගිහිං ඔක්කොම ගිල දැම්මේය.  ඌ පෙති බොන අතරේ එතනට ආ අක්කාටද කොල්ලා පෙති බොන්නට කතාකළත් බේත් බොන්නට හොර කෙල්ල ගිහිං අම්මාට කියා ඇත.  අම්මාට දෙලෝ රත්වී අහල පහළ අයට කතාකර කොල්ලාත් අරගෙන ගිහිං රෝහලේ නැවතුනාය.  කොල්ලාව ඉස්පිරිතාලෙන් ආපහු එව්වේ දවස් තුනකට පසුය.  අතට කැනියුලාවක් සවිකර සේලයින් දීමත් උදේ හවස අත්දෙක විද පරීක්ෂණ සඳහා ලේ ගැනීමත් නිසා ඉස්පිරිතාලය එපාවී සිටි කොල්ලා ආයෙම රෝහල මතක තියෙන තුරු  හොරෙන් පෙති බොයි කියා හිතන්නට අමාරුය.

කොල්ලා ඉස්පිරිතාලෙ හිටපු කාලය පුරාවටම සුද්දාගේ තනිකම ද දුක ද තුනී කරන්නට අපි සුද්දා එක්කම ගතකළෙමු.  කොල්ලා ගෙදර එක්කරගෙන ආවයින් පසුව මට සුද්දාගේ ගෙදර යන්නට වුණේ එක දවසක් පමණකි.  සුද්දා දැන් ප්‍රකෘති තත්ත්වයෙන් කල් ගතකරන නිසා මම එය ප්‍රශ්නයක් කර නොගත්තත් නොඑන එක ගැන සුද්දා මට කතාකර දොස් කීවේය.  අවස්ථාවක් ලද විගසම එන බව කියා සිටියත් එක එක වැඩ නිසා සුද්දා බලන්නට යන එක කල් ගියේය.  ඊට පසු ආයෙම දවසක මට කතාකළ සුද්දා හවස එන්නට කියා කීවේ හොඳ බඩුවක් හම්බ වෙන්නට තියෙනවා කියමිනි.  මම හවස සුද්දලාගේ ගෙදර යද්දී සුද්දා සිටියේ අන්නාසි කොටුවේ වල් ගලවමිනි.  සුද්දාට මේ දවස්වල පළතුරු යහමින් ලැබෙන්නේ මීගමු පැත්තෙනි.  ඔහු මට කතාකලේද පළතුරු බෝතලයකට වග කියන්නටය.  අපි දෙන්නා පළතුරු බොමින් කතා බහේ යෙදී ඉන්නා තැනට මාදුවාද ටිකකින් ආවේය.

මාදුවා ගැන කියන විට ඌ පහුගිය දවසක කළ වැඩක් ගැන නොකියාම බැරිය.  දවස හරියටම කිව්වොත් පහුගිය අප්‍රේල් පහළොස්වෙනිදාය.  පිට පළාත්වල පදිංචිවී සිටින අපේ ගමේ අය සාමාන්‍යයෙන් අලුත් අවුරුද්දට ගමේ එන්නේ පහළොස් වෙනිදාටය.  ඊට හේතුව වී ඇත්තේ හිසතෙල් ගාන අවුරුද්ද බොහොමයක් අවුරුදුවල පහළොස් වෙනිදාට යෙදීමත් අපේ ගමේ අලුත් අවුරුදු උත්සවය හෙවත් බක්මහ උළෙලද එදාට යෙදී තිබීමත්ය.  එදාත් සුපුරුදු පරිදි සුද්දාත් මමත් බක්මහ උළෙලේ කාර්ය බහුලව සිටිද්දී වෙනුජ එතැනට ආවේය.  වෙනුජ සිය දරු පවුලත් සමග ගමේ ඇවිත් තිබුණේ මහ ගෙදර අවුරුදු කන්නට හා දෙමව්පිය වැඩිහිටියන්ට බුලත් දෙන්නටය.  ටිකක් වෙලා කතා කරමින් සිටි වෙනුජ දවල් කෑම වෙලාවේදී මුණ ගැහෙමුයි කියා පිටත්ව ගියේය.

අපේ බක්මහ උළෙලේ දවල් කෑම විවේකය සෑහෙන දිග එකකි.  දවල් කෑමට විසිර යන උන් ඥාති මිත්‍රාදීන් සමග එකතුවී සතුටු සාමීචියේ යෙදෙමින් බෝතල්ද හිස් කරමින් කතා කර කර ඉන්නවා මිසක කෑම ගෙන ආපහු පිට්ටනියට යන්නට හිතන්නේ වත් නැත.  බොහෝ අය එහෙමම නිදාගනිති.  ඉතින් සුද්දාත් මමත් කෑමට පිටත් වෙද්දී ක්‍රීඩා සමාජයේ කොල්ලන් කීවේ හවස නෑවිත් නොසිට අනිවාර්යයෙන්ම එන්නට කියාය.  අපි දෙන්නා අපේ ගෙදරට ඇවිත් ටික වේලාවකින් වෙනුජද අපේ ගෙදරට ආවේ වොඩ්කා බෝතලයක් ද අරගෙනය.  මගේ ලඟද වොඩ්කා බෝතලයක් තිබුණු අතර මට ඒ බෝතලය එවා තිබුණේ සඳා ය.  ඉස්සර අපිත් එක්ක වැඩකළ සඳා දැන් වැඩ කරන්නේ රුසියාවේය.  ඇය රුසියාවට ගිය යාළුවෙක් අත මට හොඳ සැර රුසියන් වොඩ්කා බෝතලයක් එවා තිබුණාය.

අපි තුන්දෙනා වොඩ්කා අඹ ජුස්ද සමගින් පානයට පටන් ගෙන ටික වේලාවක් යන විට මාදුවා ස්කූටියක නැගී අපේ ගෙදරට ඇවිත් බොන්නට විය.  ඌ ඒ වනවිටත් සිටියේ තරමක බීමතිනි.  දෙකක් දාගත් මාදුවා අපේ වහලයට පාත්වී තිබු රට අඹ ගහේ අතුවල තිබුණු ඉදුණු අඹ කඩා පිහියක් ගෙනැත් කපමින් අපට කන්නට දුන්නේය.  බැලුකොට තිබුණු වෙන බයිට් වලට වඩා අඹ බයිට් එක සුපිරිය.  අද ගෙදර යන්නේ නැද්දැයි  වෙනුජගෙන් මම ඇහුවේ සාමාන්‍යයෙන් වාහනය පදවන්නට තිබෙන විට වෙනුජ බොන්නේ නැති නිසාය.  අද හවස යන්නට ඕනෑය කියූ වෙනුජ ලොකු දුව වාහනය පදවන නිසා ප්‍රශ්නයක් නැතැයි කීවේය.  මේ වෙනවිට මාදුවාටත් වෙනුජටත් හොඳටම වැදිලාය.  බෝතල් දෙකත් ඉවර වෙලා තිබෙන වෙලේ අපි ලෑස්ති වුණේ දවල් කෑමට යන්නටය.  එදා අපට දවල් කෑම ලෑස්ති කර තිබුණේ අපේ නංගිලාගේ ගෙදරය.  මම හිතාගෙන හිටියේ වෙනුජත් සුද්දත් එක්ක එහෙන් කෑම කා ආයෙම අවුරුදු උත්සවයට යන්නටය.  මාදුවා එක පාරටම වෙනුජට කෑම දෙන්න ඕනෑය කියා උගේ ගෙදර යන්නට කතාකළේය.  වෙරි වැඩිකමට කෑමට කතාකළත් ගෙදර අමුත්තෙකුට දෙන්නට කෑම ලෑස්ති කරනවා තබා දවල්ට උයලාවත් තියෙනවා දැයි ඌ නොදනී.

තියෙන දෙයක් කා කට්ටියම විසිර යමු කියා මම කිව්වත් වෙරිමතින් වෙසමුනියා සේ සිටි මාදුවා දිගින් දිගටම කියන්නේ වෙනුජ උගේ ක්ලාස් මේට් නිසා කෑමට එක්කරගෙන යන්ට ඕනෑමය කියාය.  ඒ ගමන කට්ටියම පාරට බැසගත් විට වෙනුජ මාදුවාගේ ස්කූටිය ස්ටාට් කරගත්තේ ඒකෙ යමු කියලාය.  මාදුවාද පස්සෙන් ගොඩවිය.  දැන් ස්කූටිය ගැරඬියා යනවාසේ පාර පුරා යයි.  මෙහෙම ගියොත් දෙන්නාම නවතින්නේ පාර පල්ලමේ ඇති වෙලේ නිසා බොහොම අමාරුවෙන් දෙන්නා බස්සවාගෙන අපේ නංගිගේ පුතාට කතාකර උගේ කාර් එකට මේ දෙන්නා ඇද දැම්මේ ගිහිං බස්සවා එන්න කියලාය.  වෙනුජ ඇතුල් කර මාදුවා කාරෙක  ඇතුළට දානවිට අනික් පැත්තෙන් වෙනුජ දොර ඇරගෙන බැහැගනියි.  අමාරුවෙන් වෙනුජව ඇතුල් කරනවිට මාදුවා බැහැගනී.  හරියට පොල්කට්ටට ගෙම්බන් එකතු කරනවා වගේය.  ඒ අස්සේ මාදුවා මගේ අතින් අදින්නේ මටත් කෑමට යන්න එන්න කියලාය.  ටිකක් වෙලා මෙහෙම දඟලමින් ඉන්නවිට සුද්දා පරක්කු වෙනවාය කියා පිට්ටනියට ගියේ කෑම කන්නේවත් නැතුවය.  අන්තිමේ බොහොම අමාරුවෙන් දෙන්නාව කාරෙකට දමා පිටත් කර ඇරියෙමි.

කොල්ලා කාරකෙන් පනින්න හදන උන් දෙන්නාව බොහොම අමාරුවෙන් ගිහිං බස්සවා ආපසු ආවේය.  පහුවදා මාදුවා මට කිව්වේ වෙනුජව එක්කරගෙන ගියාට ඔහු ගෙට ගොඩවුණේ වත් නැතුව යාළුවෝ කට්ටියක් පාරේ ඉන්නව දැක ඒ අය එක්ක කතාකරමින් යන්න ගිය බවය.  උඹේ වැඩකට නැති දැඟලිල්ල නිසා වෙනුජට දවල්ට කන්නත් නැතිවුණා කියා මම මාදුවාට කීවෙමි.

ආයෙම කතාවට ආවොත් සුද්දාත් මමත් මාදුවාත් පළතුරු බෝතලය බොන ගමන් කතාකළේ උන් දෙන්නා දවස් දෙකකට ඉස්සර කරපු වැඩක් ගැනය.  සුද්දා ගෙදර තිබුණු කැඩිච්ච ත්‍රීවීල් එක හදන්නට ගැරේජ් කාරයෙකුට බාරදුන්නේ ඒ ගැරේජ් එක මාදුවාගේ මස්සිනා හොඳට දන්නා කරන තැනක් නිසාය.  ත්‍රීවීල් එක හදනවාට ගාස්තුව හැටියට සුද්දා ගෙදර පැත්තකට දමා තිබු අත් ට්‍රැක්ටරයක් ගැරේජ් කාරයාට දුන්නේ හදාගන්නට කියාය.  සති දෙකක් ඇතුළත ත්‍රීවීල් එක හදා දෙන්නම් යැයි කියූ ගැරේජ් කාරයා වාහන දෙක අරගෙන යන්නට ගියේය.  දැන් වාහනය බාරදී මාස හයකටත් වඩා ගතවී ඇති නිසා සුද්දාත් මාදුවාත් ගැරේජ් එකට ගියේ වෙලා තියෙන්නේ මොකක්දැයි බලන්නටය.  උන් දෙන්නා ගිහිං බලනවිට ගැරේජ් කාරයා අත් ට්‍රැක්ටරය හොඳට හදා වැඩට අරං තිබුණු අතර ත්‍රීවීල් එකේ රෙපෙයාර් එකක් හැටියට කර තිබුණේ හොඳ තත්ත්වයේ තිබුණු ටයර් තුන ගලවා වෙන ත්‍රීවීල් එකකට සවිකර තිබීම පමණකි.

ගැරේජ් කාරයා කර තිබු වැඩේට යකා නැග්ග සුද්දාත් මාදුවාත් ඌට හොඳටම බැනවැදී ගහන්නට යනවිට ගැරේජ් එකේ උන් එහෙට මෙහෙට මාරුවී ගිය බව මාදුවා කීවේය.  ඊට පසුව කතාවුණ ටික මේ විදියය.

මාදුවා: "මේ වැඩේ හරියන්නෙ නෑ, අපි ත්‍රීවීල් එක අරගෙන එමු."

සුද්දා: "කැඩිච්ච එක අරගෙන එන්නෙ කොහොමද?"

මාදුවා: "කැඩිච්ච එක නෙවෙයි හොඳ එකක් අරං එමු. අපේ එක දෙනකල් ඒක දෙන්නෙ නැතුව ඉම්මු."

මම: "ඉතින් ඕවා කරනකල් ගැරේජ් එකේ උන් නිකං බලා ඉඳීද?"

සුද්දා: නෑ නෑ උන්ගෙ ප්‍රශ්නයක් නෑ, අපි කට්ටිය ගේමට බැස්සහම උන් නිකංම සරෙන්ඩර්."

මාදුවා: " අපි අත් ට්‍රැක්ටරෙත් අරගෙන එමු."

සුද්දා: "ඔව් ඒකත් ගේමු, ඔන්න ඔයත් එන්න ඕනෑ මම හෙට අපේ මස්සිනාගෙ වාහනේ අරං එන්නම්"

පහුවදා ගැරේජ් එකේ උන්ගෙන් යකඩ පොලු පාරවල් කන්නට ලැබෙන එක ෂුවර් වුණත් සුද්දාගේත් මාදුවාගේත් දෑත් ශක්තිමත් කිරීම යුතුකමක් නිසා හෙට උදේ නවයට මම ලෑස්ති වී ඉන්නම් ය කියා උන් දෙන්නාට පොරොන්දු වුණෙමි.  සුද්දා තවත් එකක් කට කපා දාගත්තේය.  දැන් හෙට උදේ ඔපරේෂන් ත්‍රීවීල් ක්‍රියාත්මක කරන්නට සියල්ල සුදානම්ය.  ටිකකින් සුද්දා කෝල් එකක් ගන්නවා දැක්කෙමි. 

" මේ ඔය ගැරේජ් එකේ මල්ලි නේද?"

" ......"

" මේ මම අර ත්‍රීවීල් එක හදන්න දුන්නෙ, අපි ඊයෙ ඇවිත් ගියෙ."

"..................................................................................."

" තව පොඩ්ඩයි කිව්වට මොකුත් හදල තිබ්බෙ නෑනෙ."

"................................................................................"

"ඕවා කියල හරියන්නෙ නෑ මට ත්‍රීවීල් එක ඕනෑ.  ඔයා ටයර් තුනත් ගලෝල වෙන එකකට දාල."

"......................................................................................................................................................"

"ඔයාගෙ බයිලා මට වැඩක් නෑ, ඔන්න අපි හත් අට දෙනෙක් හෙට උදේ එනවා.  ඔයා අපට ත්‍රීවීල් එක දුන්නෙ නැත්නම් අපි ඉතුරු ටික බලාගන්නම්."

"........................................................................................................................."

"නෑ නෑ ඕව මම මෙච්චර කල් අහගෙන හිටිය, මට තවත් කල් දෙන්න බෑ.  අපි ආවොත් එහෙම ටිකක් වැඩේ දුරදිග යයි හරිද?  ඔයාගෙ වාහන ටිකත් උස්සගෙන යන්නත් එක්කයි අපි එන්නෙ.  මට කරන්න දෙයක් නෑ බලාගෙන ඉඳල ඉඳල තමයි මෙහෙම කරන්නෙ."

"......................................................................................................................"

" ඔව් ඔව් තරහ වෙන්න එපා, ඔයා වෙලාවට වැඩේ කළා නං ඔහොම වෙන්නෙ නෑ."

කතාව අවසන් කළ සුද්දා ජයග්‍රාහී ලීලාවෙන් වටපිට බැලීය.  මාදුවා බඩ බදාගෙන සිනාසෙයි.  

"එහෙනම් ඔක්කොම හරි, හෙට උදේ යමු" යි සුද්දා කීවේය.

"හා හා උදේ ගිහිං? " මාදුවා ඇසුවේය.

" ගිහිං වාහනේ අරං එමු"

" අරං එයි වාහනේ, හෙට උදේ අරූගෙ නැට්ටවත් අල්ලන්න හම්බෙන්නෙ නෑ."

"මොකද එහෙම කියන්නෙ?" කෝපාවිෂ්ට වූ සුද්දා ඇසුවේය.

" එහෙම කියන්නෙ? ඇයි යකෝ ඔක්කොම විස්තර ටික ඌට කිව්වම ඌ ගැරේජ් එක පැත්ත පලාතක ඉඳීවියැ"

"ඉතිං උඹ මට කියන්න එපායැ"

"කියන්නෙ මොනවද, එකපාරටම ඔක්කොම කියල දැම්මහම?"

ප්‍රහාරයට එන භට සංඛ්‍යාව, ආයුධ ප්‍රමාණය හා ප්‍රහාරය සිදුකරන්නට නියමිත වෙලාව කළින්ම සතුරාට දැනුම් දී ප්‍රහාරයට යෑම සුද්දාගේ අලුත්ම යුද උපක්‍රමයකැයි මම සිතුවද මොකක් හෝ වැරදී ඇතැයි සිතුණේ මාදුවා දිගින් දිගටම සුද්දාට බැන වදිද්දීය.  පහුවදාට නියමිත ප්‍රහාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කළ අතර මාදුවා සුද්දාට බලු බැණුම් බනිමින් ගෙදර ගියේය.  සුද්දාට අත්වන්නට තිබු තවත් සුවිශේෂී ජයග්‍රහණයක් නූලෙන් මගහැරී ගියේ ඒ විදියටය෴

42 comments:

  1. සතුරා මානසිකව වට්ටලා. සාමර විට ඌ එලිවෙන කොට වීල් එක හදන්න ඇති. හැක්.

    ඔය බිව්වම වෙන කේස් මටත් සැරට බලපාල තියෙනවා දැං. ඉස්සර හොදට බීපු කොල්ලෙක් උනත් දැං රට බඩුවකින් බාගයක් බොන කොට මෙලෝ දෙයක් මතක නැති වෙනවා නේ. ළමයින්ට අහු වෙන්න පෙති තියන්න එපා කියල අර යෝදිට කියහං. බ්ලොග් මස්තබාලුදු වෙච්චි වෙලාවේ උඹගේ මේ කතාව මැණිකක් දැක්ක වගේ තමා. මං ලබන මාසේ එන්නං මක්කයි තියෙන්නේ ඔහේ ගාව

    ReplyDelete
    Replies
    1. එනව නං මොනව දෙන්න බැරිද? වැඩිමනත් දෙයක් ඕන්නං අර සුද්දගෙ පළතුරු එකකුත් ගෙනැත් තියන්නංකො.

      Delete
  2. උඹට කියන්න අයියේ.. උඹේ රෝල අප්ඩේට් වෙනවද බලන්න මම දවසකට සැරයක් වත් චෙක් එකක් දාල බලනවා බන්.

    ReplyDelete
    Replies
    1. මාත් ඉතින් සෑහෙන ගේමක් දීල රෝල අප්ඩේට් කරනවා.

      Delete
  3. බොලා සෙට් එක ගැරේජ් එකට බහිනවයි කියල ආරංචි වෙච්ච ගමං සුද්දගෙ කබල් ත්‍රීවීල් කට්ට වෙනුවට බ්‍රෑන්ඩ් නිව් ත්‍රීවීල් එකක් බාසා පාන්දර් ගැරේජ් එකට ගෙනාවයි කියලයි ආරංචිය. හැක්..

    ReplyDelete
    Replies
    1. කොහොමද ගිහිං ඒක උස්සං ආවනං හෙම.

      Delete
  4. අම්මෝ හැලපයියේ ඔය වගේ ගේම් වලට සෙට් වෙන්නේ බලාගෙන.දැන් හැමතැනම cctv තියෙනවා.කොහොමද උඹලත් පොලු උස්සන් ගිහින් ගැරේජ් එකට ගිහින් ගහලා එනකොට ඔව්වා ටීවී එකේ සමාජ මාධ්‍යවල එහෙම යනකොට.

    ReplyDelete
    Replies
    1. කාටද ආඩම්බර. අපිටත් කියන්න පුලුවන්නෙ ඔය වීඩියෝ එකේ ඉන්නෙ අපි අඳුනන අයිය කෙනෙක් කියල. හැක්..

      Delete
    2. එහෙමවත් ටී වී එකේ මූණ දාගන්න තියේනං මරුනෙ බං.

      Delete
    3. ප්‍රසා,
      අන්න ඔහේට තේරුණා. අර ඉස්සරහින්ම රෙද්ද කරට අරං දුවන එකා අපි අඳුනනවා කිව්වනං කාටද ආඩම්බර.

      Delete
  5. Replies
    1. ඒක තමයි, ලලිත්ව බොහොම කාලෙකින් දැක්කේ.

      Delete
  6. හලෝ හැලපෙ,

    අද ඔලෝන් එකක් වැඩ කරානි. බෝතලයක් ගෙනත් ගහන ගමන් දැන්. ඕන් පොටෝ එකකුත් ගත්තා. බෝතලේ ගහලා එන්නං.

    පොටෝ එක මෙතනින්

    ReplyDelete
    Replies
    1. පට්ට ඉරිසියයි ඇනෝ. මොන තරං සොමියෙන්ද උඹ ඉන්නෙ.

      Delete
  7. හැලප අයියෙ
    එදා ඔයාගෙ ගෙදර වොඩ්ක බීපු වෙලාවේ සිට සීදුවෙ අයියලගෙ ගෙදරදි ඇහැරෙනකන් වෙච්ච දේවලින් ටිකක් අද දැනගත්තා.
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. අඩෝ උඹද මේ කාර් සංගීත පුටු තරගෙට හිටියේ.. හැක්.

      Delete
    2. වෙච්ච දේවල් ඔක්කොම කියයි හැලප අයිය මේං කියල. හැක්..

      Delete
    3. තව ටිකක් තිබ්බා, ඒ ටික හම්බවෙච්ච වෙලාවක කියන්නා.

      Delete
    4. දේසක,
      ඔව් ඔව් ඒ මෙයා තමයි. මගෙ අතීසාර මිත්‍රයා.

      Delete
    5. ප්‍රසා,
      ඔක්කොම කියල වන කරන්න බෑනෙ බං.

      Delete
  8. කලින්ම කියවලා ගියා......

    මේක අප්ඩේට් වෙනවද කියලා බලන්ඩ සැරෙන් සැරේ ඇවිත් බැලුවා. යන්තං ඇති...

    මේ විදිහට සතියකට 2ක් ලියන්ඩ බැරිද ? බැරිද ? බැරිද ?

    ReplyDelete
    Replies
    1. සතියකට දෙකක් ලියන්න අමාරුයි බං. සෑහෙන අමාරුවෙන් මාසෙකට දෙකක් විතර ලියාගන්නවා. අනික බං දැන් මේවා ලියල වැඩකුත් නෑ කියල හිතෙනවා බලන්න කට්ටිය නෑ, කමෙන්ට් නෑ දැන් බලපං උඹේ පස්සෙන් පන්නන කම්මලය වත් මේකට මොකුත් ලියල නෑනෙ. ඔක්කොම බුකියෙ පට්ට බිසි. අපේ තියෙන පුකේ අමාරුවට ලිව්වට දැන් බ්ලොග් ලියන්නෙත් කීයෙන් කී දෙනාද.

      Delete
  9. Ape sandala kawuruwath apita Vodka bothal ewanne nane appa....

    ReplyDelete
    Replies
    1. නිකංම එවන්නෙ නැත්නම් කියල බැලුව නං හරියයි.

      Delete
  10. සුද්දා දුන්නොත් දෙන්නේ මේ වගේ ආතල් එකක් ය . ඔය අතර ආටියා ට ඩෑනිස් වද මතක් වෙනවා ය .

    ReplyDelete
    Replies
    1. ඩැනිස් ගේ කතා කීපයක්ද ඉස්සරහට ලියවෙන්න තියෙනවා.

      Delete
  11. වැඩ අධිකවම පහුගිය දින තිබු හින්දා
    හැලපෙගෙ බ්ලොගේ ලිපි මග හැරුනද මන්දා
    ඉඩක් ලද සැනින් මෙය මා බැලු හින්දා
    සතුටක් ලැබුවෙමි කියවා ගැන සුද්දා...

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මම නං දුමී ගෙ බ්ලොග් එකට මග ඇරෙන්නෙ නැතුවම ආවා. රසවත් කවියට ස්තුතියි.

      Delete
  12. මොකෙක්ද ඒකා. පුරුදු වෙන්න බත් කන වාහෙ කෙනෙක් වගේ...

    ReplyDelete
    Replies
    1. වෙරි පිට දෙන ආතල් නෙ බං.

      Delete
  13. අලුත් රාජකාරී ස්ථානයත් සමග වැඩ අධිකය. බ්ලොග් එක පැත්තේ ආවත් ලියනන්ට වෙලාව ටිකක් මදි වගේය. ඒත් ඉදහිට මොනවා හරි ලියමි. හැලපේ අය්යා මේ දවස් ටිකේ ඉන්නේ ලංකාවේද. නැත්නම් එතෙරද

    ReplyDelete
    Replies
    1. මල් මල්ලි ඉඳහිට වත් ලියන්නෙ නැති එක ගැන කණගාටුයි. මේ දවස්වල නං මම ලංකාවෙ ඉන්නෙ.

      Delete
  14. ඔය 'යුද්ධෝපක්රමය' තියෙන්නේ මකියාවෙල්ලිගේ පොතේ වෙන්ඩැති!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, සුද්දා නිතරම මැකියාවෙලි ගේ ද ප්‍රින්ස් පොත කියවන නිසා ඒකෙන් ඉගෙනගත්ත උපක්‍රමයක් වෙන්නත් පුළුවනි.

      Delete
  15. සුද්ද .. හෙන ජාති පොරක්නෙ බලං යනකොට

    ReplyDelete

ඔබේ අදහස්