අනුරාධපුරේ ගමන ගැන වැඩි විස්තර පොසොන් පෝයට ලියනවාය කියා මම කිව්වේ පහුගිය පෝයට ලියපු පෝස්ටුවේය. මම ඒ පොස්ටුවේ කාරණා තුනක් ගැන කතාකළෙමි. එකක් නම් විජයපුරේ කෙල්ලය. අනික ගුණේත් එක්ක පොසොන් පෝයට ගිය ගමන් බිමන් ගැන ය. ඊළඟ කතාව ආරිත් එක්ක අනුරාධපුරේ පණ්ඩුලගම ගම් උදාව බලන්නට ගිහිං පළමුවරට කොත්තු කාපු එකය. ප්‍රශ්නය තියෙන්නේ කතාව කොහෙන් පටන් ගන්නද කියාය. ඒ නිසාම ඉහත කියූ කතා තුනටම වෙනස් වුවත් අනුරාධපුරේ පොසොන් එකටම සම්බන්ධ කතාවකින් පටන් ගන්නට සිතුවෙමි. මේ කතා එකට ලියැවුනත් සිදුවූ කාල පරාසයන් අතර සෑහෙන පරතරයක් ඇති නිසා කියවන ඔබට පොඩි කොයිල් ගතියක් ද ඇතිවන්නට ඉඩ ඇති බව දනිතත් එසේ වීම ගැන කනගාටු වනවා හැරෙන්නට මට වෙන කරන්නට දෙයක් නැත.
හැලපිත් මමත් විවාහ වුනු අවුරුද්දේ 'පොසොන් පෝය ට අනුරාධපුරේ ගියොත් හොඳයි' කියා හැලපි කිවූ නිසා මම ගමන ලෑස්ති කළෙමි. ඔය කියන කාලයේ මම වැඩ කළේ වරායේය. පොසොන් වලට අනුරාධපුරේ කාමරයක් හොයා ගන්නවා බොරුය. අපේ ඔෆිස් එකේ වැඩකළ චන්ද්‍රානිගේ ගම අනුරාධපුරේ නිසා අපට කාමරයක් සොයා දෙන්නැයි මම චන්ද්‍රානි ට කීවෙමි. චන්ද්‍රානිත් ඇය දන්නා කෙනෙකුට කියා අපට කාමරයක් වෙන්කර දුන්නේ මිහින්තලා පාරේ තියෙන හෝටලයකිනි. එය හෝටලයක් ලෙස වෙනස්කරන ලද පරණ වලව්වකි. ඉතින් පෝයට පෙරදා අපි කෝච්චියේ අනුරාධපුරේ ගියෙමු. ඊට කලින්දා අපේ අම්මාත් කට්ටියක් එක්ක අනුරාධපුරේ ගියේ ශ්‍රී මහා බෝධිය ළඟ සිල් සමාදන් වෙන්නටය. හෝටලයට ගිහිං බෑග් එහෙම කාමරයට දමා පුජා නගරයට ගියේ වන්දනා කරන්නටත් අම්මලා හමුවෙන්නත් අන්තිමට රෑට කෑම කන්නටත් හිතාගෙනය.
අටමස්ථානය කොහොම වෙතත් සිද්ධස්ථාන තුන හතරක් වන්දනා කරගෙන අම්මා මුණගැසී කතාකර පහුවදා එන්නම් ය කියා පුජා නගරයේ හැමතැනම අටවා තිබු අටෝරාසියක් තාවකාලික කඩවලින් එක ආප්ප කඩයකට ගියේ රෑට ආප්ප කන්නටය. දැන් නම් එහෙම ආගිය අතේ කඩ අටවා ගන්නට ඉඩ නොදුන්නත් ඒ කාලේ ඉඩක් තියේ නම් ඕනෑම තැනක ටෙම්පරි කඩයක් දාගන්නට හැකිය. දැන් නීති කොච්චර තදද කිව්වොත් අපේ ගමේ සමිතියකින් ථුපාරාමය ඉස්සරහ අවුරුදු 44 ක් නොකඩවා පවත්වාගෙන ගිය සිසිල් පැන් දන්සැලත් එතැනින් අයින් කර තිබෙන්නේ ඒ හරිය පුරා විද්‍යා භූමියක් කියලාය. මෙදා සැරේ කොයි හරියෙන් ඉඩක් ලැබෙයිද කියා නොදන්න බව දන්සැලට සල්ලි එකතු කරන්නට අපේ ගෙදරට ආපු දන්සැලේ සංවිධායකයෙක් මගෙත් එක්ක කීවේය.
අපි ආප්ප කන්නට ගොඩවුණු කඩය කරගෙන ගියේ අල්ලිස් කියා තලාව පැත්තේ වයසක මනුස්සයෙකි. ඔහුගේ බිරිඳ පුච්චන ආප්ප අල්ලිස් විකුණයි. ඉතින් මනුස්සයා අපට බොහොම උනන්දුවෙන් සැලකුවේය. මම කඩේ පිංතුර ද ගද්දී 'මහත්තයෝ, පිංතුරයක් මටත් එවන්නැ'යි අල්ලිස් මට ඇඩ්රස් එක දුන්නේය. මා ඔහුගේ නම දැනගත්තේ ඒ විදියටය. කෑමෙන් පසු ආයෙමත් අපි නවතින හෝටලයට ගියෙමු.
පහුවදා උදේ කෑමද හෝටලයෙන් ලබාගෙන අම්මාට දෙන්න ගිලන්පස එකකුත් උණුවතුර බෝතලයකට දමාගෙන පුජා නගරයට එන්නට පිටත් වීමු. ශ්‍රී මහා බෝධියට ඉදිරිපිටින් ඇති පාර දෙපැත්තේ එක දිගටම වවා ඇති ඇහැළ ගස් පේළි දෙකේ කහ පාටට මල් පිපී ඇහැළ මල් රෑන් නමා වැටී උදයේ හමනා මඳ සුළඟට ඒ මේ අත සෙළවෙන විට මැවෙන්නේ මනස්කාන්ත දර්ශනයකි. පාර දිගටම සවි කර ඇති ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇසෙන්නේ ලයාන්විත ගීතයකි.
" සුදු මල් පොකුරක් අතින් දරා මා ඔබේ සොහොන ළඟ තනිවී"
පොසොන් පෝදා උදේ මඳ සුළඟට කහපාට ඇහැළ මල් තාලයකට නැළවෙද්දී ඇසුණු ඒ ගීතය කොතරම් හදවතට දැනුණා ද කිව්වොත් අදටත් මට ඒ අවස්ථාව සිතින් වැළඳගත හැකිය. ගීතයේ ගායකයා වූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත ගැන මා ඇසු කතාවක් මට මතක්වේ.
ප්‍රින්ස් උදය ප්‍රියන්තට එපමණ ජනප්‍රියත්වයක් නොතිබූ සමයේ ඔහු සංගීත සංදර්ශනයක ගීත ගයා වේදිකාවෙන් බසිද්දී ඉස්සරහට මුණ ගැසී තිබෙන්නේ ප්‍රෙඩී සිල්වා වය. ප්‍රෙඩී ප්‍රින්ස් ගේ හිසේ සිට දෙපතුල දක්වා පහළට බලා,
" මල්ලි, උඹේ නම මොකක්ද?"
ඇසුවිට ප්‍රින්ස් නම කීවේ තවත් සංගීතයක ගීත කියන්නට අවස්ථාවක් දෝයි සිතමිනි. ප්‍රෙඩී බොහොම බැරෑරුම් ව කතාව පටන් ගත්තේය.
" උඹ හෙට උදේම මහරගමට පලයන්. මහරගම ඉන්නව වාසගම් දෙකක් තියෙන එකෙක්. අබේවර්ධන බාලසුරිය කියල. ඌට උඹේ එක නමක් දීල උගෙ වාසගමක් උඹ ඉල්ල ගනිං! "
ප්‍රින්ස් ගල් ගැසී බලා ඉද්දී ප්‍රෙඩී යන්නට ගියේය.
ශ්‍රී මහා බෝධියට යන්නට පෙර ගෑනු පිරිමි දෙපැත්තෙන් මෙටල් ඩිටෙක්ටර් එකක් ඇතුළෙන් ගමන් කළ යුතුය. එය භාවිතයට ආවේ කොටි අනුරාධපුරයට පහර දුන්නාට පසුව බැතිමතුන්ගේ ආරක්ෂාවටය. බැතිමතුන් ඒවා තුළින් යන ආකාරය පොලීසිය බලා සිටී. යුද්ධය තිබුණු කාලයේ එහෙම ආරක්‍ෂාවක් තිබුණත් දැන් සිද්ධස්ථාන ඉදිරිපිට තියෙන්නේ සංස්කෘතික පොලීසියකි. සංස්කෘතිකය කිව්වාට නියම වචනය නම් ගෝත්‍රික පොලිසියය. පහුගිය අවුරුද්දේ පොසොන් පෝයට අපි අනුරාධපුරේ වන්දනාවේ ගියදා ශ්‍රී මහා බෝධිය වඳින්නට පෝලිමේ ගමන් කළෙමු. ඇතුල්වෙන දොරකඩ කාන්තා සහ පිරිමි පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. ඔවුන්ගේ ප්‍රමුඛ රාජකාරිය වුණේ බැතිමතුන් ඇඳගෙන යන ඇඳුම් ගැන සුපරීක්ෂාකාරී වීමය. අපට ඉස්සරහින් ඇතුල් වෙන්නට ගිය කොල්ලෙක්ව පොලිසිය ආපහු හරවා යැව්වේ කොට කලිසම් ඇඳගෙන ඇතුළට යන්නට බැරිය කියාය. මේ වැඩේ බලාගෙන සිටි මගෙත් කට ඉස්සර විය.
" බුදු හාමුදුරුවන්ට පොලිස් ගාඩ් එකක් නොතිබුණේ හොඳ වෙලාවට නේද? නැත්නං පටාචාරා ට පිස්සුවෙන්ම මැරෙන්නයි වෙන්නෙ!"
මම ළඟ හිටපු හැලපිට කිව්වත් ඒක පොලිස්කාරයාටත් ඇසී මගෙ දිහා රවා බැලුවේ මාව දවා හළු කරන්නට මෙනි. හොඳ වෙලාවට මම කලිසමක් කමිසයක් පිළිවෙලකට ඇඳගෙන ගිහින් තිබුණු නිසා මාව හරවා යවන්නට ඔහුට බැරිවිය. මේ නියාමන හෙවත් තහනම් ඇඳුම් ගැන එකඟතාව ආණ්ඩුවෙන් දුන්න එකක්ද, පන්සලෙන් දුන්න එකක්ද නැත්නම් පොලීසියේ අයම හදාගත්තු එකක්දැයි මම නොදනිතත් ඇඳුම් ගැන පොලීසියේ අය අතරත් එකඟතාවක් නොවූ බව මා තේරුම් ගත්තේ අර ආපහු හරවා යැවූ කොල්ලා වෙන දොරටුවකින් ශ්‍රී මහා බෝධියට ඇතුල්වී සිටිනු මා උඩ මළුවේ දී දුටු නිසාය.
ඉතින් අපි දෙන්නා ශ්‍රී මහා බෝධිය ළඟ සිල් අරන් හිටපු අම්මා හමුවී තේ බෝතලයද දී ආපහු පිටත්වුනේ මිහින්තලේ යන්නටය. මිහින්තලේ ගමනේ අරමුණු දෙකක් විය. එකක් නම් හැලපි කවදාවත් නැගලා නැතැයි කී ආරාධනා ගලට නැගීමය. අනික නම් දවල් කෑමට චන්ද්‍රානිලාගේ ගෙදර යෑමය. චන්ද්‍රානිලාගේ ගෙවල් තිබුණේ යාපනේ පාරේය. මිහින්තලේ වන්දනා කරගෙන එද්දී ගෙදර එන්නට කියා චන්ද්‍රානි මට කලින් කියා තිබුණි. ගෙදර එද්දී ගේන්නට ඕනෑ මොනවාදැයි මම චන්ද්‍රානිගෙන් අහපු වෙලේ වට්ටක්කා ගෙඩියක් අරගෙන එන්නටැ යි ඇය කීවේ විහිළුවට වුණත් මම මිහින්තලෙන් රාත්තල් හත අටක ලොකු වට්ටක්කා ගෙඩියක් මිලදී ගත්තේ ආයෙම වචන වරද්දා නොගන්නටය.
" වට්ටක්ක ගෙඩියක් උස්සගෙන ගෙදරකට ගියෑකිද? ඔයාට නං පිස්සු!" හැලපි කීවාය.
" ඉතින් වට්ටක්ක ගේන්න කිව්වා, මම ගත්තා!"
" ඒකිටත් පිස්සු ඔයාටත් පිස්සු!" කියමින් කඩයකට ගිය හැලපි තව මොන මොනවාදෝ ගත්තේ කටු කුටු ගා කටයටින් මට බැන වදිමිනි. චන්ද්‍රානි ට සවුත්තුවට වට්ටක්කේ ගත්තත් ඒක මටම ඇණයක් වුණේ ඒ බරත් එල්ලාගෙන යන්නට අමාරු නිසාය. වට්ටක්කා ගෙඩියත් උස්සාගෙන බස් එකකට නගින්නට වත් බැරි නිසා අපි ත්‍රීවීල් එකක් කතා කරගෙන චන්ද්‍රානි ලගේ ගෙදර යන්නට පිටත් වුණෙමු. පාර අයිනේම තිබු ගේ හොයාගන්නට කිසි අමාරුවක් නොවුණේ චන්ද්‍රානිලගේ අයියා පළාතම දන්නා හඳුනන ටියුෂන් මාස්ටර් කෙනෙක් නිසාය. ගෙනගිය තෑගි චන්ද්‍රානිට දුන්න අතර වට්ටක්කා ගෙඩිය දුටු ඇය නළල රැලිකර තොල් සපාගත්තේ සිනාව මැඩගන්නට ය. ඔෆිස් එකේදී වගේ චරෝ බරෝ කියා ගෙදරදී කියවන්නට බැරි හෙයින් ඇය කටවහගෙන සිටියාය. දවල්ට කෑමත් කා සවස් වරුවම චන්ද්‍රානිලගේ ගෙදර ගතකළ අප දෙදෙනා ආපහු අනුරාධපුරේට ආවේ රෑ වෙද්දීය.
ඒ කතාව එහෙම අවසන් වෙද්දී ඊළඟ කතාව පුරන්නට ඊටත් දසකයක් විතර ඈතට යන්නට වෙයි. ඒ අපි ගුණේත් එක්ක අනුරාධපුරේ රවුම් ගහපු කාලයටය. ගුණේ බැන්දෙත් අනුරාධපුරෙන්මය. උගේ බිරිඳගේ පියා ගුණේත් එක්ක වැඩකරපු කෙනෙකි. පුදුමෙකට වගේ ඔහුත් ගුණේ කෙනෙකි. විවාහ වී වසර කීපයක් ගතවී ජෝඩුවට දරුවෙකුත් ලැබුණු පසු දෙන්නා අතර විරසකයක් ඇතිවිය. ඊට හේතු කාරණා මම අදටත් ගුණේගෙන් අසා නැත. කොහොම වුණත් මම දන්නේ දෙදෙනා වෙන්වී ගුණේ කඳානට මාරුවක් හදාගෙන දරුවාත් අරගෙන ගෙදර ආ බවයි. ඊට අවුරුදු විසි ගණනකට පසු ලලනිගේත් එරික්ගේත් බාල දුව යාලු කරගෙන කසාද බැඳගත්තේ ඒ තරුණයාය. ගුණේ එදා සිට වෙනත් විවාහයක් ගැන නොසිතා දරුවාත් හදාගෙන තනිවම ජීවත් වුණේය.
මේ මෑතදී ගුණේ දරුණු ලෙස රෝගාතුරවී සිටිතැයි අපට ආරංචි විය. පහුගිය සතියේ එක දවසක අපි කට්ටියම ගුණේ බලන්නට ඔහුගේ ගෙදර ගියෙමු. ගිහින් ලෙඩාත් එක්ක කතා කරමින් ඉන්න අතරේ ගෙට පහළ තියෙන ජම්බෝල ගහක පැහුණු ගෙඩි පිරී තිබෙනවා දැක්ක මට හිතුණේ ජම්බෝලයකුත් කඩාගෙනම ගියොත් නරකද කියාය. ගුණේගෙන් ඇහුවාම ඌ කීවේ ඒ ජම්බෝල ගහ තියෙන්නේ පුංචි අම්මලාගේ වත්තේ බවත් ඕනෑ තරම් ගෙඩි කඩා ගත්තාට අවුලක් නැති බවත්ය. ඒ ගමන ස්වප්නාටත් ජම්බෝල කන්නට වුවමනා වූ නිසා එරිකුත් මාත් පල්ලම් බැස්සේ ජම්බෝල කඩන්නටය. ඒ ගෙදර හිටපු ජෝඩුව කෙක්කක් ද සොයාදී ජම්බෝල කඩන්නට උදව් කළහ. වත්තේ තියෙන ගස් ගොඩ අස්සේ උස කෙක්කක් අමෝරා ගෙන ජම්බෝල කඩන්නට හරි අමාරුය. ගෙඩි කීපයක් කඩද්දි අපි දෙන්නාටම හැතිය. එරිකා එක්වරම පපුව රිදෙනවා කිවේය. මට වැඩියත්ම බය හිතුනේ ඌ හෘද රෝගියෙක් නිසාය. ඒ ගමන අපි කඩපු ජම්බෝල ටිකත් අරගෙන ඉක්මනට ආපහු ආවේ එරික්ගේ අසනීපය වැඩි වෙයි කියන බයටය෴