Wednesday, May 30, 2018

අධි පොසොන් පෝය, මහින්දාගමනය, පොසොන් දන්සැල්, විජයපුරයේ ක්‍රෂ් එක සහ ප්‍රඥා ප්‍රදීප දල්වා.

අධි පොසොන් පෝය යෙදී තිබුණේ ද වෙසක් මාසයේය.  ඔරිජිනල් පොසොන් පෝය වගේ උත්සවාකාරයෙන් අධි පොසොන් පෝය සැමරුවේ නැතත් තැන් තැන්වල දන්සැල් තිබුණු බව දැනගන්නට ලැබුණි. එහා ගමේ තමන් ඇතුළු කට්ටිය එකතුවී මඤ්ඤොක්කා දන්සැලක් දුන් බව මට කිව්වේ අපේ පැත්තට එන චූං පාන් කොල්ලාය.  නුවර පාරේ තිබුණු කහබත් දන්සැලකට මටත් ආරාධනාවක් තිබුණත් නොගියේ දුර නිසා මෙන්ම කම්මැලිකම නිසාත්ය.  ඒ වුණාට දන්සැලේ සංවිධාකයින් මටත් කහබත් පාර්සලයක් ගෙදරට එවන්නට කටයුතු කර තිබුණි.   මෙලෝ රහක් නැති ඒ කහබත් පාර්සලය කාපු මට කහබත් කියන නමද එපාවුණා මෙන්ම දන්සැලට නොගිය එක මොනතරම් හොඳදැ'යි සිතුනි.

කොහොමත් අපේ පළාතේ වෙසක් උත්සවය මෙන් පොසොන් උත්සවය සරු නැත.  ඒ වුණාට ටිකක් උඩහට වෙන්නට වැඩිපුරම සරු වෙසක් නොවැ පොසොන්ය.  ඒ පළාතේ පොසොන් සැරසිලි මෙන්ම දන්සැල්ද පොසොන් පෝයට නොඅඩුව දක්නට ලැබේ.  ලංකාවාසී අපට වඩා වැදගත් විය යුත්තේ වෙසක් පෝයද පොසොන් පෝයද යන කාරණය ගැන මම නිකමට වගේ කල්පනා කළෙමි.  වෙසක් කියන්නේ සම්බුදු තෙමඟුලය.  පොසොන් යනු ලංකාවට බුදුදහම ගෙන ඒම හෙවත් මහින්දාගමනයයි.  එදා මිහිඳු හිමියන් ලක්දිවට බුදු දහම නොගෙනාවා නම් කෙතරම් උසස් වුවත් සම්බුදු තෙමඟුල ගැන ලංකාවාසීන්ට දැනගන්නට ලැබෙන්නේ නැත.  ඒ නිසා අපි තර්කානුකූලව සිතුවහොත් ලංකාවාසී බෞද්ධයන් වූ අපට වඩා වැදගත් විය යුත්තේ මහින්දාගමනය යෙදුණු පොසොන් පෝය යැයි සිතිය හැක. 

මහින්දාගමනයේ පළවෙනි කොටස ලංකාවේ ප්‍රදර්ශනය වුණේ වාර්තා තබමිනි.  දවස් සීයක් නොවැ අවුරුදු දහයක්ම මහින්දාගමනය දිව්වේ කොහොම දිවිල්ලක්ද කියා අපි කතාකරන බාසාවෙන් කිව්වොත් බැඳගෙන දිව්වේය.  මහින්දාගමනයේ පළවෙනි කොටස ප්‍රදර්ශනය වීමෙන් පසුව එය බැලු සංඛ්‍යාව ගැන රටේ ලොකු කතාබහක් ඇතිවිය.  කට්ටියක් කිව්වේ බලපු අය වැඩියි කියා වුණත් තව කට්ටියක් නොබලපු අය වැඩියි කියා තර්ක කළෝය.  මේ හාහෝව අවුරුදු තුනකටත් වඩා ඇදී යද්දී අන්තිමට බලපු අය වැඩියි යයි තර්ක කළ අය නිවැරදි බව පහුගිය පෙබරවාරි මාසේ හරියටම සොයා ගත්තේ නොබලපු අය වැඩියි කියපු උන්ට කට උත්තරත් නැති කරමිනි.  දැන් අපි බලා ඉන්නේ මහින්දාගමනයේ දෙවැනි කොටස එනතුරුය.  පළවෙනි කොටසේ තිබුණු ත්‍රිල් එකේ හැටියට දෙවැනි කොටසත් ෆුල් සීරියල් එකක් වෙන බව මට කටපුරාම කිව හැකිය.

ඒ කතාව පැත්තක තබා ආපහු ප්‍රස්තුතයට ආවොත්, මිහින්තලේ ගියවිට මිහිඳු හිමියන් වැඩ සිටි ගල දකින හැමදාම මට ඇතිවෙන ප්‍රශ්නයක් නම් මිහිඳු හිමියන් මේ ගල උඩට ආවේ කොහොමද කියන එකය.  මිහිඳු හාමුරුවන් සහ අනෙකුත් හාමුදුරුවරුන් හතර දෙනා එර්දි බලයෙන් ගල උඩට වැඩියත් ඒ සමග ආ සුමන සාමණේර හාමුදුරුවෝත් අනික් උපාසකයාත් කොහොම ආවාද යන්න විවාදයට තුඩුදෙන කරුණකි.  ප්‍රබන්ධ කතා පැත්තකට දමා තර්කානුකූලව සිතතොත් මගේ අදහස නම් මිහිඳු හිමියන් පළමුව නැව් මගින් ලංකාවට පැමිණ ඊට පසු මිහින්තලයට වැඩියා කියලාය.  නැතිනම් මිහිඳු හිමියන් කිසිම සද්දක් නැතුව ගල උඩට වැඩීමත් එදාම දේවානම් පියතිස්ස රජතුමා මිහින්තලේ දඩයමේ යාමත් සිදුවන්නට ඇති සම්භාවිතාව ඉතා අඩුය.  ඒ නිසා දුර්වල ප්‍රබන්ධයකට වඩා දේවානම් පියතිස්ස රජතුමාගේ මිතුරෙකු වූ ධර්මාශෝක රජතුමා දේවානම් පියතිස්ස රජතුමාගේ අනුදැනුමද ඇතුව සිය පුත්‍රයා ලංකාවට පිටත් කර එව්වාය කීම වඩාත් සත්‍යයට සමීප බව මගේ විශ්වාසයයි.

ඒ කොහොම වුණත් පොසොන් පෝයට අනුරාධපුරයත්, මිහින්තලයත් මහත් බැතියෙන්ද, උත්සවශ්‍රීයෙන්ද ඇලලී යන බව නම් අමුතුවෙන් කිව යුතු නැත.  අසූව දසකයේ මුල් භාගයේ වගේ කොල්ලන්වූ අපි පොසොන් පෝයට අනුරාධපුරේ වන්දනාවේ යාම සිරිතක් වශයෙන් නොකඩවා කළ දෙයකි.  එදවස වැලිසර ළය රෝහලේ රස්සාව කළ අපට අනුරාධපුරේ යෑම එච්චර වියදම් යන කටයුත්තක් නොවේ.  ගමන් වියදම් අවශ්‍ය නොවන්නේ වොරන්ට් එකක් ලියාගත් විට නොමිලේම ගමනාගමන පහසුකම් සැපයෙන නිසාය.  කෑම බීමෙන් ප්‍රශ්නයක් නොවන්නේ අනුරාධපුරේ බැලු බැලු අත ඇති නා නා ප්‍රකාර දන්සැල් නිසාය.  නවාතැන් ගැන ගැටළුවක් ඇති නොවන්නේ අපිත් එක්ක වැලිසර වැඩකරපු ගුණේ ස්ථාන මාරු ලබා ඇවිත් අනුරාධපුරේ චෙස්ට් ක්ලිනික් එකේ වැඩකළ නිසාය.  පෝයට අනුරාධපුරේ යන්නට විශේෂයෙන් මට තවත් උත්තේජනයක් වුයේ ඒ කාලයේ විජයපුර පැත්තේ හිටපු මගේ ක්‍රෂ් එකක් බලන්න යන්නටත්  හැකි වෙන එකය.  

පෝයට කලින් දවසේ උදේ කෝච්චියේ නැගී අනුරාධපුරයට එන අපි කෙළින්ම ගුණේට වාර්තාකර නවාතැන් සපයා ගන්නෙමු.  ඊට පසුව අනික් උන් ටවුමේ ඇවිදින්නට යද්දී මම උන් ටික මග හැර බස් එකට නැගී විජයපුරට ගොස් කෙල්ලද බලා එහෙන් දවල්ට කෑමද කා හවස් වෙද්දී ටවුමට එමි.  මේ යුවතිය ගැන වෙනම කතාවක ලියන්නට තරම් විස්තර ඇති නිසා ඒ ගැන වැඩි විස්තර මෙතැන ලියන්නට අදහසක් නැත.  ක්‍රෂ් එක බලන්නට මම තනියම යන එක ගැන අනික් සගයන්ගේ කිසිම මනාපයක් නැති වුණත්, මම ඒ ගමන තනියම යන්නට නිතරම වග බලාගන්නේ අනික් උන් ටික එක්කරගෙන ගියොත් ලෝක ලෙඩක් වෙන නිසාය.  එකම දවසක් විජයපුර යද්දී ගුණේව අඬගහගෙන ගියා මට මතකය.  ගියාට එදා කෙල්ල කොහෙද ගමනක් ගිහින් ගෙදර හිටියේ නැත.  ගියා වෙනුවට තේ එකක් බී අපි දෙන්නා ඊළඟ බස් එකේ ආපහු ආවෙමු.

පූජා නගරයේ සෙනගින් පිරුණු පාරවල් පුරා රස්තියාදු ගහන එකත් හරිම විනෝදජනකය.  බැතිසිතින් වන්දනාවේ යන උවසු උවැසියන්ගෙන් මෙන්ම ජොලියට අනුරාධපුරේ ආපු කොල්ලන් කෙල්ලන්ගෙන්ද පාරවල් පිරී පවතී.  අපගේ වැඩි උනන්දුව ඇත්තේ කිචි බිචි ගගා එහෙ මෙහෙ යන විසේකාර කෙල්ලන් ගැනය.  මේ මම කියන කාලයට අවුරුදු අටකට පමණ පෙර සිට අපේ ගමේ කට්ටියක් සිසිල් පැන් දන්සැලක් දෙන්නට පටන් ගත්තේ ථුපාරාමය ඉදිරිපිටය.  ටිකක් දවල් වෙද්දී ඒ දන්සැල ලඟට යන අපි දන්සැලේ කටයුතුවලට උදව් පදව් කරන්නට ඉදිරිපත් වෙමු.  ඒ දන්සැල ඉස්සරහපිට තියෙන්නේ ගම්පහ බැන්ඩියමුල්ලේ සංවිධානයකින් දෙන ඩඩ්ලි සේනානායක අනුස්මරණ අලියා බීම දන්සැලය.  අපි ඉන්න දන්සැලට වම් පැත්තේ  ඇත්තේ පෑලියගොඩ කට්ටියක් දෙන බත් දන්සැලය.  ඒ දන්සැල් වලින් කන්නට බොන්නට අපිට පෝලිමේ ඉන්නට සිදු නොවන්නේ දන්සැල් වල වැඩකරන අයට පෝලිමේ නොතබා කෑම බීම දෙන බවට දන්සැල් වල ඇති අලිඛිත එකඟතාව නිසාය.  අලියා බීම දන්සැලෙන් ඇති පමණට බීම බොන අපි බඩගිනි වෙද්දී බත් දන්සැලට කිට්ටු කළ විට දන්සැලේ වැඩකරන අය "මේ දන්සැලේ මල්ලිලානේ" කියා පිටුපස දොරෙන් ඇතුළට ගෙන හොඳට කෑම ටික පිළිගන්වති.

දවල් කෑමෙන් පසුව මහන්සියක් ද නිදිමතක් ද දැනේ.  ඒ වෙලාවට පාර අයිනේ ගහක් යට හෝ ගලක් උඩ සෙවන ඇති තැනෙක ගිමන් හරිද්දී සමහරවිට නින්ද යයි.  නන්දා මාලිනී ගායනා කරන අතිශය ජනප්‍රිය ගීතයක් වූ "ප්‍රඥා ප්‍රදීප දල්වා" ගීතය මම මුලින්ම ඇහුවේ එක රාත්‍රියක ඔය විදියට ගල් බංකුවක් උඩ ඉඳගෙන ඉද්දිය.  එදා රාත්‍රියේ ලංකා බැංකුව විසින් සංවිධානය කරන ලද භක්ති ගීත ප්‍රසංගයක් පැවැත්වුණේ මහමෙවුනා උයනේදීය.  භක්ති ගීත කියන තැන සෙනග වැඩිය.  සෙනග ගොඩේ තෙරපෙමින් ගීත රස විඳින්නට බැරි නිසා අපි හිටියේ ඈතින් ඉඳගෙනය.  ළඟ නොහිටියාට ඉස්පීකර් හැමතැනම ඇති නිසා ගීත හොඳින් ඇසේ.  නන්දා මාලිනී ගායනා කළේ භක්ති ගීත පුහුණුවූ ලංකා බැංකු සේවක සේවිකාවන් සමගය.  මුලින්ම ඇය ගැයූ "බුදු සාදු බුදු සාදු" සහ "බුදු කරුණා" ගීත ගැයිණි.  "බුදු සාදු" ගීතය නන්දා මාලිනි මුලින්ම ගැයූ ගීතයයි.  මේ ගීතයේ පළවෙනි වර්ෂන් එකේ නොවැ දෙවැනි හෝ තුන්වැනි වර්ෂන් එකේදී "බුදු සාදු" පදය ගැයුනාට පසුව ඉතාම මිහිරි වයලීන් වාදනයක් වේ.  ඒ වයලීන් වාදනය කෙතරම් මිහිරිද යත් අසා සිටිද්දී වයලීන් රාවය ඉවර වෙනවා තේරෙන්නේ නැත, වදින්නේ පපුවටය.  මම කියන එක ඇත්තදැයි නිකමට අසා බලන්න.  බුදු සාදු.

මේ වගේම ලගන්නා තවත් ගැයුමක් මගේ මතකයට එයි.  ආරාධනා චිත්‍රපටයට අමරදේවයන් ගැයූ "ජීවිතයේ තනිමංසල" නම් ගීතයේ ගායකයා විසින් "ආරාධනා" යනුවෙන් ඇද පැද ගයන කොටසය.  එතැනදීද ඔහු මොනතරම් රසට ගයනවාද කිව්වොත් ඒ කොටස කොතනින් කොහේ ගියාදැයි අහන රසිකයාට නොතේරේ.  ආරාධනා

ඉතින් නන්දා මාලිනි කියූ ගීත කීපයකට පසුව ගැයුණේ ඇය විසින් ගයන ලද නවතම ගීතයකි.  "ප්‍රඥා ප්‍රදීප දල්වා" ගීතය මුළු මහමෙවුනා උයනම නළවමින් ගැයෙද්දී මා ගීතය අසා සිටියේ වශී වූවාක් මෙනි.  උසස් පද රචනයද සංගීතයද ගැයුමද ස්ථානයට මොන තරම් ඖචිත්‍යයකින් යුක්ත වුවාද කිවහොත් පොසොන් සඳපානේ සිහිල් සුළං රැළි වදිමින් ගීතය අසා සිටි මා එවේලේ මොහොතකට හිටියේ අමුතුම ලොවක බව මට අද මෙන් මතකය.  එදා මා පළමුවරට ඒ ගීතය අසද්දී දැනුණ රසය ඒ ආකාරයටම විඳගන්නට ඊට පසු දහස් වර ඇසුවත් නොහැකිවිය.  ප්‍රඥා ප්‍රදීප දල්වා

ඒ ගීත අතීතයයි.  ගීතය පළමුවරට ඇසුවාක් මෙන්ම මම පළවෙනි වතාවට කොත්තු කෑවේද අනුරාධපුරයේ කඩ පනහේ කඩයකිනි.  ඒ එක්තරා අවුරුද්දක අනුරාධපුරයේ පණ්ඩුලගම තිබුණු ගම් උදාව බලන්නට ආරිත් එක්ක ගිය දවසකය.  ඒ කතාව ටිකක් දිග නිසා මෙතැනම ලියන්නට බැරිය.  එන පොසොන් පෝයට ඒ කතාවත් විජයපුරයේ කතාවත් කියන්නට බලාපොරොත්තු වෙමි෴ 

44 comments:

  1. halape oya dunthel bath hadana vidiha dannavada ?
    dun thel hoyaganna thiyenne koheda ?
    ada mama 1 neda ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ එක.
      දුන්තෙල් කඩවලින් ගන්න පුළුවන් අහල බලන්න.

      Delete
  2. වෙලාවට පොසොන් පෝය දෙකක් තියෙනවා මේ අවුරුද්දේ.නැතිනම් ඉතිරි කතාව අහගන්න අවුරුද්දක්ම ඉන්න වෙනවානේ.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මෙහෙම ලිව්වෙ. නැත්නං කතාව ඔක්කොම ලියන්න වෙනව.

      Delete
  3. ඔක්කොම හොඳයි බොස් - ලවුඩ් ස්පීකර් නැත්නම්

    ReplyDelete
    Replies
    1. ලවුස් පීකර් නැත්නං සද්දෙ ඇහෙන්නෙ නෑනෙ.

      Delete
  4. හා. එහෙනම් ලබන පොසොන් පෝයට එන්නම්.

    ReplyDelete
    Replies
    1. අපෝ ඊට ඉස්සර තව කතා තියෙයි.

      Delete
  5. හලෝ හැලපෙ,

    සැප දුක් කෙසේද? හැලප දන්සල් ගියාද? අපේ අදුරන කාන්ඩක් බත් දන්සැලක් දුන්නා වෙසක් එකට. මාත් ඒ දවස් දෙක එතනම තමයි හිටියේ. එළියේ හට් ගහලා ලිප් බැදලා කෑම ඉව්වේ. අපි දුන්නේ සුදු බත්, රතු බත් එක්ක දෙල්, කරවල හොද්දක්, පොල් සම්බල්, පපඩම් මිරිස් බැදලා. මාත් ඉතිං ගල් බෝතලයක් අරන් ඩිංග ඩිංග බිබී ගොලිප් එකකුත් පත්තු කරන් ලොක්කා වගේ හිටියා.


    ඉතිං හැලපෙ අද නං ඔපිස්‌ ගිහින් මං දහය වෙනකොට පැන්නා ඔපිස්‌ එකෙන්. උදේ තිබ්බා ඔපිස්‌ එකේ ලොක්කගේ වැඩකට එලියට යන්න. මම එහෙම්ම ගිහිං ජයේ අයියගේ පොට් එකෙන් ගල් බෝතලයකුත් ඇන්න ආව ගෙදර.

    දැන් මේ බෝතලේ ගහන්න හදන්නේ. ඊට පස්සේ බත් ඩිංගක් කළා, ගොලිප් එකකුත් බිලා ටිකක් හාන්සි වෙන්න ඕනි.

    අපේ රාජ් එහෙම නං දැන් ලියන්නෙම නෑ නේද හැලපෙ? මාතලන් නං ඉදලා හිටලා ලියනවා දැක්කා.

    එහෙනං මං ආයේ එන්නංකෝ.

    ඔන්න මං පොටෝ එකකුත් ගත්තා අපේ හැලපට බලා ගන්න.

    පොටෝ එක මෙතනින්

    ReplyDelete
    Replies
    1. නියමයි ඇනෝ. සුපිරි ආතල් එකක් ගන්නව නේද?
      රාජ් නම් දැන් බ්ලොග් එකේ ලියන්නෙම නෑ. පූර්ණකාලීනව බුකියෙ. මාතලන් ලියනවා.

      Delete
  6. ඒ කියන්නෙ ඔහේ මේකෙ ඉතුරු කෑල්ල ලබන පෝය වෙනකල් ලියන්නෑ කියන එක.

    මිහිඳු හාමුදුරුවො පයින් ගිහිල්ල ඕකට නගින්නත් ඊට කලින් කවුරු හරි පඩි ටික කපල තියන්න එපැයි.

    -Praසන්ன-

    ReplyDelete
    Replies
    1. ඔව් ලියන්නෑ තමයි, ඇයි ගහන්නද? මම ලඟදි ඔය පැත්තෙ එනවා එතකොට බලාගමුකො.

      Delete
  7. මිහින්තලේ ට වෙලා අවුරුදු 5ක් හිටිය කාලේදී තමා හොඳම පොසොන් රඟ බැලුවේ...

    ReplyDelete
  8. අනුරාධපුරයේ සිට වෙසක් , පොසොන් සැමරීම අතිශය රසවත් අත්දැකීමක් .
    මේ ලියලා තියෙන විස්තරත් එක්ක ඒ අතීතය ආයේ මතක් වෙනවා .

    ReplyDelete
    Replies
    1. රසවත් කියන්නෙ එහෙමත් කාලයක්.

      Delete
  9. නිවන බුදුවීමක්ද උපතද වෙසක් දින බව දන්නෙමී
    කියන ලෙස ඔබ පොසොන් අපහට වටින බව පිළිගන්නෙමී
    දිනන දිවියට ධර්මයෙන් ඇති අගය වටහා ගන්නෙමී
    ලබන පෝයට විජයපුර ගැන ලියනතුරු මග බලනෙමී

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුමී. ලබන පෝයට අනික් ටික.

      Delete
  10. //ඒ වුණාට දන්සැලේ සංවිධාකයින් මටත් කහබත් පාර්සලයක් ගෙදරට එවන්නට කටයුතු කර තිබුණි. මෙලෝ රහක් නැති ඒ කහබත් පාර්සලය කාපු මට කහබත් කියන නමද එපාවුණා මෙන්ම දන්සැලට නොගිය එක මොනතරම් හොඳදැ'යි සිතුනි.//
    උබ ආයෙ දන්සල් වලින් කන්න එපා බං. උබට ඒවා හරියනෙ නෑ. මං දන්නෙ නෑ උබ දන්සල් වලට ඔය කියන විදිහට උදව් කරලා තියෙනවද කියලා. ඒත් ලඟටම ගෙනත් දුන්න ඒ කෑමට ගරහන්න එපා. උබ කන්නෙ නැත්නං බල්ලෙක්ට දීපං. ඌට ඒක රස ඇතිවෙයි. උබටත් නැට්ට වනයි.

    ReplyDelete
    Replies
    1. නෑ බං උන්ට වෙන වැඩක් නැතුව මට කෑම ගෙනැත් දුන්නෙ. ඒක නෙවෙයි මේ ටික ප්‍රොපයිල් එකෙන් ඇවිත් කියන්න බැරි ඇයි.

      Delete
  11. ලියන ඒවා දැක්කම ටිකක් ඉරිසියාවයි. ජිවිතේ ට දන්සැලකින් කාල නැහැ. පොඩි කාලේ පියාණෝ යන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ලංකාවට යැවෙන්නේ දන් සැල් තියෙනේ කාලවල නෙමෙයිනේ. මටහිතෙන්නේ මෙහෙ තියන අමරාවතී කියන පන්සලේ හාමුදුරුවෝ දානේ වළඳලා ඉවර වුණාම ගිහියන්ට කන්න දෙන බුෆේ එක වගේ වෙන්න ඕනේ කියල.

    ReplyDelete
    Replies
    1. ඒකට තියෙන්නෙ අජිත් වෙසක් හෝ පොසොන් කාලයක් අල්ලල ලංකාවට එන එකයි. මෙහෙ දන්සැලුයි හාමුදුරුවන්ගෙ බුෆේ එකයි සැහෙන්න වෙනස්. මොකද මම ඔය දෙවිදියටම වලඳල තියෙනවනෙ.

      Delete
    2. ප්‍රා,
      සික් කෝවිල්වල කෑම ගැන අත්දැකීම් නැත.

      Delete
  12. දන්සැල් විස්තරේ හරි අගෙයි. අපේ පැත්තේ නම් වැඩිපුර දන්සල් තිබෙන්නේ වෙසක් එකට. අපි කුඩා කාලයේ ඒවායින් සප්පායම් වූ හැටි ඔබේ විස්තරයෙන් මැවි පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. අපෙත් වැඩිපුරම දන්සැල් වෙසක් එකටයි.

      Delete
  13. අත්දැකීම් බෙදාගත්තට ස්තූතියි !

    මේ තුන්වැනි ජේදයේ තියන කරුණු සම්භන්ධව.
    1. මිහිඳු හාමුදුරුවො එක්ක වැඩිය සාමනේර රහත් හිමි හා අනාගාමී උපාසක දෙදෙනාම ඍද්ධි බලය තිබ්බ අය කියල තමයි කියවෙන්නෙ. ඍද්ධි බලය ගන්න රහත් වෙන්නවත් උපසම්පදා වෙන්නවත් ඕනෙ නැහැ. ඒ වගේම ඍද්ධි බලය තියන කෙනෙකුට ඕනෙමනම් තව කෙනෙක් අහසින් ගෙනියන එක අමාරු නැහැලු.

    2. මිහිඳු හාමුදුරුවො නැවකින් ආව නම් රජතුමාට ඒක ආරංචි වෙනවා. රහතන්වහන්සේ කෙනෙක් නැවකින් හොර තොටුපලකට ඇවිත් ආපහු පයින් දුරක තියන තැනකට ගිහින් රජතුමා surprise කරන්න එක විහිලුවක්.

    3. රහතන්වහන්සේ කෙනෙක් වුන තම වැඩිමහල් පුතා දාලා අශෝක රජතුමා දේශපාලනය කරා කියල අපිට හිතෙන්නෙ අපේ මට්ටමින් හිතන නිසා. අනික බලවත් රහතන්වහන්සේ කෙනෙක් ඉත්තෙක් වුනා කියල හිතන්න පුලුවන්ද.

    ReplyDelete
    Replies
    1. මම කිව්වෙ ධරමාශෝක රජතුමා හොඳහිත පැතිරවීම හෙවත් curtsy call යන අරමුණෙන් මිහිඳු හිමියන් ලංකාවට එව්වා කියන අදහසින් එහෙම එනකොට නිකම් එන්නෙ නෑනෙ ඒ නිසා බුදුදහම රැගෙන ආවා.

      Delete
  14. ගල් බංකු උඩ ඉදං සිංදු අහන එකත් ගති නෙවග අම්මියො අපි ඉස්කෝලේ යන කාලේ පුජා නගර වල පෝය වෙසක් වලට කරපු සෙල්ලං මතක් වෙලා මවිල් කෙලින් වෙනවා හැලපයෝ

    ReplyDelete
    Replies
    1. කෝක් බිබී හරි ෂෝක් නේද බං.

      Delete
  15. Replies
    1. වැටකි, ස්තුතියි.

      Delete
  16. වෙනද ගතිය නැත.

    ReplyDelete
  17. මම අර සිංදු දෙකම ඇහුවා.. ඔය කියනකම් ඒ පාර්ට් ගැන ඒ හැටි අවධානයක් දාල තිබුනේ නෑ... බුදු සාදු එකේ වයලින් එක මාර ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. ඔය වයලින් පාර මම පස්සෙ කාලෙක නෝට් කළේ. බලපුවම බඩටම වදිනවා.

      Delete
  18. මේ අවුරුද්දේ නම් ගිය අවුරුද්දට වැඩියෙන් ලියයි වගෙ..හැලපයියා දැන් සෑහෙන කාලයක් තිස්සේ ලංකාවේ නේද.? ආපහු විදේශගත වෙන්නෙ නැතෙයි ?...ඕන් දැන් නම් හැලපයියාගේ බ්ලොගේ ලිපි ඔක්කොම කියෝලා ඉවරයි...තව ටිකක් වැඩියෙන් ලිව්වනම් බොහොම අගෙයි....

    ReplyDelete
    Replies
    1. මම පහුගිය අවුරුද්දටම ලිව්වෙ පෝස්ට් 17 යි. මේ අවුරුද්දෙ දැනටමත් 14 ක් ලියල තියෙනවා සහ තුනක් ලියමින් පවතිනවා. ඒ නිසා ඔබ කියනවා වගේම වැඩියෙන් ලියවෙයි.

      Delete
  19. මමත් ඉස්සෙල්ලාම කොත්තු කෑවේ කඩ පනහේ තිබුණු තැනකින්!

    ReplyDelete
    Replies
    1. එහෙමද? මම හිතන්නෙ කොත්තු මුලින්ම අඳුන්වා දෙන්න ඇත්තෙ අනුරාධපුරෙන් වෙන්න ඇති.

      Delete
  20. මං දවසක් රුවන්වැලි සෑය ලඟ හවස 6 ඉඳලා 8 වෙනකං තට්ට තනියම ඉඳගෙන හිටියා... හරිම අපූරු අත්දැකීමක් ඒක

    ReplyDelete
    Replies
    1. අපූරුයි, ඒක හරිම මනස්කාන්ත අත්දැකීමක්.

      Delete
  21. සමකාලීනයන් වන අපට තියෙන්නෙ සමාන අත්දැකීම්. ඔබේ අනුරාධපුර ගමන් විස්තරේ කියවන විටයි එහෙම හිතුනෙ. මටත් ඔය කියන කාලෙ රාජකාරි ගමන්, පුද්ගලික ගමන් ආදි විවිධ වුවමනාවන් සඳහා නිතර ම අනුරාධපුරේ යැවුණා.

    සමහර ඓතිහාසික සිදුවීම් සමබන්ධ ව ඇති, පසුකාලීන ව එකතු වූ තොරතුරු බව පෙනෙන ඒවා වෙන් කර ගන්න පුළුවන්, ඒ ඒ යුගයන් හා ඒවායේ සිදුවීම් පිළිබඳ ව අවධානයෙන් අධ්‍යයනය කිරීමෙන්. කොහොමත් මහාවංශය විත්තිකතා නොහොත් වංශකතා පොතක් ලෙස ගැනීමයි වඩා නිවැරදි වෙන්නෙ.(පුද්ගල බද්ධ හා ආකල්ප බද්ධ හේතු මත යම් යම් දෑ ලියවීමේදී සිදුවන දෝෂ හා අතිශයෝති නිසා ) ඉතිහාසය සේ සැලකෙන්නෙ ඒවා අතරින් පුරාවිද්‍යාත්මක විධි ක්‍රම මගින් තහවුරු කරගත් දේ පමණයි නේ. ඒ පර්යේෂණ සිදු කිරීම සඳහා අන්ධකාර අතීතය වෙතට එල්ල කෙරෙන ආලෝක ධාරාවක් සේ මග පෙන්වීම නම් ඒ මගින් සිදු කෙරෙනවා.

    රජු හා මිහිඳු හිමි හමු වීමේ සිදුවීමත් අප අසා ඇති කතාවට වඩා මඳක් වෙනස් ව සිදු වෙන්න ඇති කියලයි මමත් හිතන්නෙ. සමහර විට එහි සිදු වූයේ මහින්දාගමනය චිත්‍රපටයේ කියවෙන ආකාරයේ සිදු වීමක්( උපායහීලී ව වෙනත් නිලධරයකු විසින් රජුට මිහිඳු හිමි පුණ ගැස්වීම) වෙන්නත් පුළුවන්.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි කිරීම ගැනත් පැමිණීම ගැනත් ස්තුතියි. මේ ගැන වැඩි අධ්‍යනයක් කරන්නට තිබේ නම් වඩා නිවැරදි කුමක්ද කියා සොයා ගන්න හැකි වේවි.

      Delete

ඔබේ අදහස්