Sunday, May 28, 2017

අර්ජුන ගැන මතක සටහනක්.

ඒ මා චෙන්නායි නුවර රාජකාරි කළ සමයයි.    උදේ 8.30 ට කාර්යාලයට එන අපි සවස 5 ට පිටත්ව යන්නෙමු.    කාලය මගේ මතකයට අනුව 2000 වසරේ මැද භාගයයි.

"අද හවස මොකුත් වැඩක් හෙම දාගෙන තියෙනවද?" කාර්යාලය ඇරෙන්නට ආසන්නව තියෙද්දි මට කතා කළේ අර්ජුනය.    ඒ සමයෙහිද  ජංගම දුරකථන බහුලව පාවිච්චි නොවුයෙන් අර්ජුන කතා කළේ කාර්යාල දුරකථනයටය.   ජංගම දුරකථන ලංකාවෙහි භාවිතා වීම ඇරඹුණේ අනූව දශකයේ මුල් භාගයේ බව මගේ මතකයයි.    සෙල්ටෙල් යනුවෙන් හැඳින්වුණු එම ජංගම දුරකථනය ගඩොල් ගෙඩියක් තරම් උස සහ රාත්තල් කීපයක් බර උපකරණයකි.    මේ බව හොඳින්ම මගේ මතකයේ තිබෙන්නේ මමද අනූව දශකයේ මුල් භාගයේ  එවැනි දුරකතනයක් පරිහරණය කර ඇති නිසාය.   පරිහරණය කළාට දුරකථනය මගේ නොව එවකට මා සේවය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද නිල ජංගම දුරකතනයය.    එම දුරකථනය මිළදී ගන්නට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වියදම් කළ මුදල රුපියල් අනුදහසකට මදක් වැඩි බව මගේ මතකයයි.     ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කාර්යාලයේ සිටිනා විට ඔහුගේ මේසය උඩ තබා තිබෙන මෙම දුරකථනය ඔහු පිටතට යනවිටදී රැගෙන යෑම අත්‍යාවශය වන්නේ ජනාධිපති ප්‍රේමදාස මහතා කොයි වෙලේ කතා කරත් දැයි කියන්නට බැරි බැවිනි.    ප්‍රේමදාස මහතා ජංගම දුරකථනයට කතා කරනවිට අදාළ නිලධාරියාම එයට පිළිතුරු නොදුන්නොත් ඔහුට දෙයියන්ගේම පිහිටය.   රාත්තල් ගණනක් බර දුරකථනය අතේ තියාගෙන ඉන්නටත් බැරිය.    එයට පිළියමක් ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කරන්නේ ඔහු සමග යන නිලධාරියෙකුට දුරකථනය තබා ගැනීමේ වගකීම භාරදීමයි.   ගම්උදා රාජකාරි, ජනාධිපති ජංගම සේවය, පදවිප්‍රාප්ති උත්සවය වැනි උත්සව වලදී නම් දුරකථනය තබාගැනීමේ වගකීම අනිවාර්යයෙන්ම මට භාරවේ.    මට තිබෙන්නේ ගඩොල් ගෙඩියක් බඳු දුරකථනය පැත්තකින් තබාගෙන ඇමතුමක් ඒ දැයි පරීක්ෂාවෙන් සිට ඇමතුමක් එනවිට එය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයාට යොමු කිරීමය.   දැන්නම් මෙය සිනාවට කාරණාවක් වුවද එදවස නම් මෙය ඉතා භාරදුර රාජකාරියක් වුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා කේන්ති ගැස්සවීමට කිසිම නිලධාරියෙකු කැමති නොවූ  හෙයිනි.

ජංගම දුරකථනයේ විස්තරය අවසන් කොට නැවතත් කතාවට පැමිණියහොත් මා මෙහිදී අර්ජුන යනුවෙන් හඳුන්වා ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ටී. අර්ජුනයි.    ලංකාවේදී චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ සිනමා දිවියේ අග්‍රඵලය වුයේ 1979 දී තිරගතවූ 'වසන්තයේ දවසක්' චිත්‍රපටයයි.    එය ඒ වසරේ හොඳම චිත්‍රපටය වූ පළඟැටියෝ සමග තරඟ කරමින් ජනාධිපති සම්මාන අටක් දිනාගත්තේය.    මා මේ කියන වකවානුවේ අර්ජුන චෙන්නායි නුවර මයිලපූර් පැත්තේ නිවෙසක පදිංචිවී සිටියේ සිය දියණියද සමගය.    1999 අග භාගයේ සිට අපේ කාර්යාලයට නිතර යන එන්නෙකු වූ අර්ජුන 2000 වර්ෂය වනවිට මා සමග ඉතාම කිට්ටු  සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන සිටියේ මාද ඔහුගේ වෘත්තියට දැඩිසේ ප්‍රිය කරන්නාවූ කලාබරයෙකු වූ නිසාවෙනි.    චෙන්නායි නුවර ඇති ප්‍රසිද්ධ චිත්‍රාගාරයක් වූ ප්‍රසාද් ස්ටුඩියෝ හි අවසන් නිමහම් කටයුතු හමාරවූ චිත්‍රපට බලන්නට අර්ජුනට නිතරම ලැබෙන අවස්ථාවට ඔහු මාවද සම්බන්ධ කරගන්නට අමතක නොකළේය.   එසේ වන්නේ චිත්‍රපටය කලාත්මක එකක් වුවහොත් පමණකි.    එදාද අර්ජුන මට කතාකළේ එවැනි චිත්‍රපටයක් බලන්නට යන්නටය.

" විශේෂ වැඩක්නම් නෑ අර්ජුන ඇයි?"

" එහෙනම් හවස මගෙත් එක්ක ප්‍රසාද් එකට යමු, අද හොඳ ෆිල්ම් එකක් තියෙනවා!"   මට එක්වරම මතක්වුයේ ඒ දිනවල චෙන්නායි හි සංචාරයක නිරත වෙමින් සිටි සමන් වය.    ඔහුද අප දෙදෙනා මෙන්ම කලාබරයෙකි.

"අර්ජුන මේ දවස්වල සමනුත් චෙන්නායි ඇවිත් මහාබෝධියේ නැවතිලා ඉන්නෙ!"

" අයියෝ ඇයි මට කිව්වෙ නැත්තෙ? එයත් එක්කගෙන යමු.  මම හවස එනකොට සමනුත් එක්කරගෙනම ඔයාලගෙ ගෙදර එන්නම්!"

හවස මම යන්නට සුදානම් වෙද්දී මමත් එන්නම් කියා හැලපි කණු කුණු ගාන්නට වූ නිසා ඇයටත් සුදානම් වෙන්නට කියා කීවෙමි.    හැලපැට්ටා ගැන ප්‍රශ්නයක් නොවුයේ ඒ දිනවල අපේ අම්මා පැමිණ අපත් සමග නැවතී සිටි නිසාය.    අපි හතරදෙනාම ප්‍රසාද් ස්ටුඩියෝවට ගියේ අර්ජුනගේ වාහනයෙනි.   එදා අප නැරඹු චිත්‍රපටය වුයේ තරුණ ද්‍රවිඩ සිනමාකරුවෙකු විසින් අධ්‍යක්ෂණය කර තිබු "ටෙරරිස්ට්" නමැති චිත්‍රපටයයි.   එය එවකට ලංකාවේ පැවති වර්ගවාදී යුද්ධය පසුබිම් කරගෙන තැනු අතිශය කලාත්මක චිත්‍රපටයක් වූ බැවින් චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා අප හිඳ සිටි අසුන්වලම ගල්ගැසී චිත්‍රපටය නැරඹුවෙමු.   මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය නොවූ බව මගේ විශ්වාසයයි. (මෙම චිත්‍රපටයේ විස්තර සොයා ගැනීම සඳහා පැය කීපයක් අන්තර්ජාලය පිරික්සුවද පලක් නොවීය, චිත්‍රපටය නැරඹීමෙන් උද්දාමයට පත්ව සිටි සමන් ලංකාවට ගිය පසු ටෙරරිස්ට් චිත්‍රපටය ගැන ලිපියක් ලංකාදීප පත්‍රයට ලීවා මට මතකය ) චිත්‍රපටය අවසානවී අප ආපසු එද්දීද බොහෝ දුරක් එනතුරු තමන්ගේම කල්පනා ලෝකවල නිමග්නව සිටි අප අතර කතාබහක් නොවීය.   නිහඬතාව බිඳිමින් චිත්‍රපටයේ සිය සිත්ගත් තැන් සහ යම් යම් තාක්ෂණික කරුණු කීපයක් ගැන සමන් විසින් මතුකළ ප්‍රශ්න වලට අර්ජුන අවශ්‍ය පැහැදිලි කිරීම් සිදුකළේය.    වාහනය අපේ ගමනාන්තය කරා ක්‍රමයෙන් ලඟාවෙමින් තිබිණ.

" සුන්දර සැන්දෑවක් ලබාදීම ගැන අර්ජුනට බොහොම ස්තුතියි!" සමන් කියා සිටියේය.

" ඒ සැන්දෑව තව දුරටත් දික්වෙනවාට සමන්ගේ අකමැත්තක් නෑ නේද?" අර්ජුන විමසන්නේ සිනාසෙමිනි.

" අපෝ කොහොමටවත් අකමැත්තක් නෑ, අපි ඔක්කොම මගෙ කාමරයට යමු." සමන් පවසන්නේ අර්ජුන දෙස බලමිනි.

" නෑ සමන් මේගොල්ලන්ගෙ ගෙදර අපට පුරුදු තැන නොවැ, අපි එහෙ යමු . වාඩිවෙන තැනම ටෙලිපෝන් එක තියෙනව අවශ්‍ය හැම දේම කෝල් කරලා අපට ගෙන්නගන්න පුළුවනි."  අර්ජුනගේ යෝජනාවට කාගේවත් අකමැත්තක් නොවුයෙන් තව ටික වේලාවකදී අප සියලුම දෙනා අපේ නිවසේ වාඩිගෙන සිටියෙමු.

මා සතුව තිබු ස්කොච් බෝතලයකින් අපේ එකමුතුව ආරම්භ කළ අතර ටිකකින් කලින් කීවාසේම දුරකථනය අතට ගත් අර්ජුන ඔහුගේ සුපුරුදු අවන්හලට කතාකර අපට අවශ්‍ය කටගැස්ම ඇණවුම් කළ අතර සියලු දෙනාටම රාත්‍රී ආහාරයද ඒ සමගම ඇණවුම් කළේ රාත්‍රී ආහාර ගෙදර උයන්නට අවශ්‍ය නැතැයි හැලපිට කියමිනි.   විදේශීය මත්පැන් වර්ග දුලබ ඉන්දියාවේ අපට එවන් හිඟයක් නොමැතිවුවද වෙනත් අයට විදේශීය මත්පැනක රස බලන්නට ලැබුණේ ලංකාවට හෝ වෙනත් රටකට ගොස් ආපසු එද්දී ගෙන එන්නට ලැබෙන මත්පැනක් ලැබුණොත් පමණකි.     මෙයට හොඳම විකල්පය ලෙස අර්ජුන තෝරාගෙන තිබුණේ ඕල්ඩ් මන්ක් නම් ඉන්දියානු රම් වර්ගයයි.   බොන්නට ප්‍රිය දනවන සේ මෙම රම් වර්ගය මිශ්‍ර කිරීමට අර්ජුන අති දක්ෂයෙක් විය.   සෝඩා ද පෙප්සිද නියමිත ප්‍රමාණවලින් රම් වීදුරුවට දමා දෙතුන් වරක් හොඳින් කලවම් කරදෙන බීම වඩිය අතිශය ප්‍රණීත බැවින් ටික දවසකදී අප බොහෝ දෙනෙක් අර්ජුනගේ රම් මිශ්‍රණය ලැදියෝ වීමු.      නමුත් කොතෙකුත් බලා සිටියත් අර්ජුන මිශ්‍ර කරන රම් වඩිය ඒ ආකාරයට සකස් කර ගැනීමට අපට කිසිදිනෙක  නොහැකි විය.

සරවනමුත්තු තංගරාජා සහ රංජනා තංගරාජා යුවළගේ වැඩිමහල් පුතණුවන් ලෙස කොළඹදී උපත ලබන තංගරාජා අර්ජුන අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.   ශාන්ත තෝමස් විදුහලේ ගුරුවරයෙක් වන සරවනමුත්තු තංගරාජා විවාහ කරගන්නේ එවකට ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක වූ රංජනාය. රූමත් රංජනා, තංගරාජා ට වඩා වසර විසිපහකින් හෝ තිහකින් බාල යැයි මා අසා තිබේ.    අර්ජුන උරුමකරගන්නේ මවගේ දේහ ලක්ෂණ සහ ඡවි කල්‍යාණයයි.  අප හමුවන විටද රිදීවන් කෙස් කළඹක් තිබු අර්ජුන ග්‍රීක පිළිමයක් මෙන් පැහැපත් සුන්දර පුරුෂයෙකු වුයේය.    පාසැල් අධ්‍යාපනයෙන් පසු ලන්ඩන් ෆිල්ම් ස්කූල් වෙතින් චිත්‍රපට කලාව පිලිබඳ උපාධිය ලබාගන්නා අර්ජුන එක්සත් රාජධානියේදී ඔහුගේ මිතුරෙකු වූ බෘනායි සුල්තාන් වරයාගේ පුතණුවන්ගේ ආරාධනයෙන් බෘනායි රාජ්‍යය බලා පිටත්වන්නේ එහි චිත්‍රපට කලාව නංවාලීමේ වැඩසටහනකට සම්බන්ධවීමටය.     කෙසේ වුවද ඔහු වැඩිකල් බෘනායි රාජ්‍යයේ රඳන්නේ නැතිව ලංකාවට පැමිණ සිය වෘත්තීය ආරම්භ කරයි.    හිතුවක්කාරයෙකු වූ අර්ජුන විසින් ලියා ඉදිරිපත් කරන තිර නාටක වලට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය නොලැබෙන තැනදී ඔහු කරන්නේ තිරනාටකය වෙනස් කිරීම නොව අර්ජුන කළායයි කියන්නටවත් නොහැකි බාල වර්ගයේ විහිළු චිත්‍රපට කීපයක් නිපදවීමයි.    අර්ජුනගේ හොඳම මිතුරා වන්නේ තවත් එවැනිම හිතුවක්කාරයෙකු වූ කේමදාස මාස්ටර්ය.    කෙසේ වුවද අර්ජුන සිය සිහින චිත්‍රපටය නිපදවන්නේ 1979 දීය.    

අසු ගණන්වල අග භාගයේ චෙන්නායි නුවර පදිංචියට එන අර්ජුන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ වෙනත්  විවිධාකාර කටයුතුවලට ඉන්දියාවට එන කලාකරුවන්ගේ සෑම සියලු අවශ්‍යතාවක්ම ඉටුකර දීමට සැදී පැහැදී සිටියේ ඉතා කැමැත්තෙනි.    චෙන්නායි නුවරට එන බොහෝ කලාකරුවන්ගේ නවාතැන වුයේ අර්ජුනගේ නිවහනයි.    ඒ අය වෙනුවෙන් අර්ජුනගේ නිවසේ පැවැත්වෙන සාදයන් සඳහා අපද නිතරම ඇරයුම් ලැබුවෙමු.    මෙහිදී මට එක සිද්ධියක් මතක්වේ.    ලුෂන් බුලත්සිංහල චෙන්නායි විත් අර්ජුනගේ නිවසේ නැවතී සිටි දිනෙක අර්ජුන අපටත් දවල් කෑමට ආරාධනා කර ඔහුගේ ඇම්බැසඩර් වාහනයද  එව්වේය.    සාදයෙන් පසු අපි අර්ජුනගෙන් සහ ලුෂන්ගෙන් සමුගෙන ආපසු එන්නට පිටත්වුනෙමු.   හොඳ පදමට වැදී සිටි අප සිව්දෙනා වාහනයේ ආපසු ආවේ මහ හඬින් ගීත ගයමිනි.   දෙදෙනෙක් වාහනයේ පිටුපස ජනේල දෙකෙන් අත් එළියට දමාගෙන දොරට තඩිබාමින් තාලයද ඇල්ලුවෝය.     වාහනයට කරන මේ හිරිහැරය රියදුරාට ඇල්ලුවේ නැත.   පාරේ පැත්තකට කර වාහනය නැවැත්වූ රියදුරා වාහනයෙන් බැස අපට කීවේ ඇති තරම් සිංදු කීමෙන් පසු යමුයි කියාය.    රියැදුරාව ෂේප් කරගෙන ආපසු පිටත් වෙන්නට අපට සෑහෙන පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.   වරක් ඔහුගේ හිතවත් කලාකරුවෙකුගේ ඥාතියෙක් හෘද සැත්කමකට ඇපලෝ රෝහලට එද්දී අර්ජුන ලංකාවට ගොස් සිටියේය.   මෙය දැනගත් වහාම ලංකාවේ සිට මට කතාකළ අර්ජුන සියලුම විස්තර මට ලබාදී  කීවේ වහාම රෝහලට ගොස් ඔවුන් හමුවී අවශ්‍ය උපකාර කරදෙන ලෙසටය.   කලාකරුවන් සමග ඇසුර ප්‍රිය කළ තරමටම ඔහු දේශපාලකයන් අප්‍රිය කළේය.   ලංකාවේ දේශපාලකයන් සහභාගිවන කිසිම උත්සවයකට අර්ජුන සහභාගී වුයේ නැත.   

2001 වර්ෂයේ මැද භාගයේදී  සුප්‍රකට ඉන්දීය ගත් කතුවරයෙකු වූ ආර්.කේ.නාරායන්  චෙන්නායි හි සිටින බව මට ආරංචි වූ විට ඔහු මුණගැසීමේ ආසාවක් මට ඇතිවිය.    හැකි හැම ආකාරයකින්ම ඔහු සිටින තැනක් සොයාගන්නට උත්සාහ කළ මට අවසානයේ  දැනගන්ට ලැබුණේ නාරායන් අසනීපව ඇපලෝ රෝහලේ සිටින බවය.   විස්තරය අර්ජුනට කීවිට ඔහු මා කැටුව ඇපලෝ රෝහලට ගියේය.   අපට දැකගන්නට ලැබුණේ මරණාසන්නව දැඩි සත්කාර ඒකකයේ සිටි නාරායන්වය.    ඊට පසුදින නාරායන් මියගියේය(මේ කතාව දිග විස්තරයක් බැවින් නාරායන් හමුවීම නමින් වෙනම කතාවක් ලෙස ලියන්නට බලාපොරොත්තු වෙමි) 

2001 ජුනි මාසයේදී චෙන්නායිහි රාජකාරී අවසන්කර මා ලංකාවට පැමිණියෙමි.   ඒ දිනවල අර්ජුන තවත් චිත්‍රපට කීපයක් නිපදවීමට කටයුතු කරමින් සිටියේය.   දිනක් අර්ජුන මට කතාකර කීවේ ඔහුගේ චිත්‍රපටයක මුහුරත් උළෙල කොළඹ හෝටලයක(හෝටලයේ නම දැන් මට මතක නැත) පැවැත්වීමට නියමිත බවත් එයට සහභාගී වීමට ඔහුට හැකියාවක් නැති බවත් නියමිත දින හෝටලයට ගොස් පිංතුර ටිකක් රැගෙන ඔහුට එවන ලෙසත්ය.   අර්ජුන කී ආකාරයටම මා නියමිත දින එම මුහුරත් උළෙලට ගොස් පිංතුර ගෙන අර්ජුනට යැව්වෙමි.   සමන්ද එදින පැමිණ සිටියේ අර්ජුනගේ හිතවත්කමටය.    එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට අර්ජුන බාරදී තිබුණේ අයි. එන්. හේවාවසම්ටය.  රුගත කිරීම් සියල්ල නිමාකලද  චිත්‍රපටය ඉන් ඉදිරියට ගියේ නැත.

මා මුලින් සඳහන් කළ පරිදි   ක්ෂේත්‍රයේ තවත් හිතුවක්කාරයෙකු වූ කේමදාස මාස්ටර් අර්ජුනගේ ලඟම හිතවතා වූ අතර කේමදාස මාස්ටර් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට නිතරම චෙන්නායි නුවරට පැමිණෙයි.    ඔහුගේ නවාතැන වන්නේ අර්ජුනගේ නිවෙසයි.   වරක් අපි චෙන්නායි නුවර ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය කළෙමු.   දින තුනක් පැවති චිත්‍රපට උළෙලේ සිංහල චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කරන්නට නියමිත විය.   ඒ දිනවල කේමදාස මාස්ටර් ද චෙන්නායි හි නැවතී සිටියේය.    උළෙලේ ආරම්භක උත්සවය පැවති දින අර්ජුන කේමදාස මාස්ටර්ද කැටුව උත්සවයට පැමිණියේ අහම්බෙන්ය.    ප්‍රදර්ශනය වන චිත්‍රපට හයේ නම් කියැවූ අර්ජුන මට කීවේ ඒ  චිත්‍රපට හයටම සංගීතය සපයා ඇත්තේ මාස්ටර් බවය.   අපි වහාම මාස්ටර් රැගෙන ගොස් ප්‍රධාන වේදිකාවේ වාඩිකරවුයෙමු.    අර්ජුනගේත් මාස්ටර්ගේත් හිතවත්කම කොයි තරම්ද යත් මාස්ටර්ගේ දියණියගේ විවාහය අවස්ථාවේ සාමාන්‍යයෙන් මාමා කෙනෙක් විසින් සිදුකරන මනාලිය පෝරුවට නැංවීමේ කටයුත්ත බාරවුනේත් අර්ජුනටය.  අදද ඇයගේ මුහුණු පොතේ ඒ පින්තුරය ඇත.

අර්ජුන ගැන මතක තව රාශියක් ඇතත් කතාව දිග්ගැහෙන බැවින් ඒවා ලියන්නට අවස්ථාවක් නොමැත.   මා ලංකාවට පැමිණීමෙන් ටික කලකට පසු අර්ජුනද ලංකාවේ පදිංචියට පැමිණි බව මට ආරංචි විය.   අපි දින දෙකතුනක් කොළඹදී මුණගැසුනෙමු.    ඉන්පසුව දිගින් දිගටම සිදුවූ මගේ විප්‍රවාසය හේතුවෙන් අපේ සම්බන්ධකම ඈත්වී ගිය අතර මේ මෑතකදී මට ඔහු නැවත මුණගැසුනේ මුහුණුපොතෙනි.   මුහුණු පොතේ අපි දෙදෙනා හොඳ මිත්‍රයෝ වීමු.   අප්‍රේල් මාසයේ අප දෙදෙනා අතරවූ කතාබහකදී අර්ජුන කීවේ අලුත් අවුරුද්දට ඔහු කොළඹින් පිට යන බැවින් අවුරුදු පසුවූ වහාම මුණගැහෙමු කියාය.   මා කාලයකට පසු අර්ජුන මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටියදී අර්ජුන අලුත් අවුරුද්ද සමරන්නට බුද්ධි කීර්තිසේනලා සමග කොස්වාඩියේ ඔවුන්ගේ නිවසට ගියේය.   අප්‍රේල් 16 අර්ජුනගේ උපන් දිනය වූ අතර මම  ඔහුට මුහුණු පොතේ සුබ පැතුමක් එක්කළෙමි.   සුබ පැතුම දකින්නට වත් අර්ජුනට අවස්ථාවක් නොමැති වුයේ 15 දා රාත්‍රියේ නින්දට ගිය අර්ජුන 16 දා නැගිට්ටේ නැති බැවිනි.

අවසන් ගමන් යන්නට ජයරත්න මල් ශාලාවේ සැතපී සිටි අර්ජුනට සමුදෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර විශේෂයෙන් කැපී පෙනුණේ ඉන්දියාවේදී අර්ජුන නවාතැන් අහාර පාන සපයාදී කැපවී උදව් කර සුවපත් කළ ලංකාවේ  ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු අර්ජුන බලන්නට නොපැමිණීමය.   අර්ජුනව එළියට ගන්නා තුරු මමත් සමනුත් එවකට මහාබෝධියේ සිටි ජයතුංගත් කතාබහ කරමින් සිටින අතර මම සමන් ගෙන්  විමසුවේ අර්ජුන අයි. එන්.හේවාවසම් ට හදන්නට දුන් චිත්‍රපටයට කුමක් වීද කියාය.   චිත්‍රපටයේ කුමක් හෝ දෙයකට චිත්‍රපට සංස්ථාවත් සමග ගෝරි දමාගත් අර්ජුන විශාල මුදලක් වැයකර රූගත කළ චිත්‍රපටය පෙන්වන්නේ නැත කියා පැත්තකට දැමු බව සමන් මට කීවේය.   අපි සියලු දෙනා අර්ජුන සමග ඔහුට සමුදෙන්නට කනත්තේ හින්දු කොටසට ගියෙමු.   අවමංගල්‍ය උත්සවයේ එකම ගුණකථනය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න අර්ජුනගේ ජීවිතය ගැන කෙටියෙන් පැහැදිලි කළේය.   ඔහු කීවේ අතේ සතේ නොතිබූ වේලාවලදීත් අර්ජුන ජීවත්වුණේ රජෙක් මෙන් බවයි.   භීෂණ සමයේ තමන් පණ බේරාගන්නට ඉන්දියාවට පැනගොස් සිටි සමයේ ඇතිවූ තදබල අක්‍ෂි ආබාධයකට අර්ජුන ඔහුව රැගෙන ශංකර නේත්‍රාලයට ගොස් ප්‍රතිකාර කර සුවපත් නොකරන්නට ඇස් පෙනීම නැතිව යන්නට තිබුණු බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේය.

මා විප්‍රවාසයේ සිටිද්දී අර්ජුන සමුගත්තේ නම් වඩා හොඳයි කියා මට හිතෙන්නේ ඔහුගේ නිසල කය නොදකින මගේ හිතේ අර්ජුන සැමදාම ජීවමානව සිටින නිසාය.

කලකට පසු මට බෙනට් මුණගැසුනේද එදාය.   මා සමග සිනාසුනද බෙනට්ට මාව හඳුනා ගන්නට නොහැකිවූ බව මම දැන ගත්තෙමි.   අවමංගල්‍ය කටයුතු අවසන් වෙද්දී මා බෙනට් හමුවී කතාකළ විට ඔහු මාව හඳුනා ගත්තේ " ආ මල්ලි උඹ දැන් ලංකාවෙද?" කියමිනි෴

Wednesday, May 17, 2017

දන්සැල් පුරාණය 4 - අපේ දන්සැල් සහ ඕමානයේ දන්සැල්, වෙසක් ඇරියස්, ලොකුපුතාගේ ගමේ අසිරිය සහ සුද්දාගේ බත් දන්සැල.

අවුරුදු පහකට පසු ලංකාවේදී  සම්බුදු තෙමඟුල හෙවත් වෙසක් මංගල්‍යය උදාවීම  මා සිත තුළ ඇතිකළේ ඉමහත් සොම්නසකි.   ගෙවීගිය අවුරුදු පහ තුළදීම ලංකාවේ නිවාඩුවක් ගතකල කාලය හෝ මැයි මාසයට නොයෙදුනි.    ඒ අවුරුදු පහේදීම අපිට දකින්නට ලැබුණේ ඕමානයේ වෙසක්ය.    එක අතකට ගත්තොත් ඕමානයේ වෙසක් ලංකාවට වඩා හරි ජයය.   පොඩි පරහකට තියෙන්නේ ලංකාවේ මෙන් නොව ඕමානයේ   වෙසක් ඇත්තේ එක් තැනක පමණක් වීමය.   ශීල ව්‍යාපාරද,භාවනා වැඩ සටහන්ද මෙහෙයවන්නේ ලංකාවෙන් වැඩම කරවන ලද හාමුදුරුවරුන් විසිනි.   වෙසක් කූඩු ද පොඩි තොරණද වෛවර්ණ විදුළි බුබුළු වලින් එළියවී ප්‍රදේශය අලංකාර කරයි.   හතර වටේටම ෂඩ් වර්ණ ලයිට් වැල් එල්ලලාය.  දහරාලෝක හෙවත් අධිසැර ෆ්ලෑෂ් ලයිට් හතර වටේටම විහිදේ.   මේ තරම් පුච්චන විදුළියට ලංකාවේදී නම් ඇඟ හිරිවැටෙන ලයිට් බිලක් ලැබීම නියත වුනත් විදුළිය බොහොම ලාබ ඕමානයේ මාසෙ අන්තිමට එන්නේ සොච්චම් බිලකි.   වෙසක් පෝයට ඕමානයේ නිවාඩු නැති නිසා ප්‍රධාන වෙසක් උත්සවය එන්නේ සිකුරාදටය.    එතැන් සිට සතියක්ම උත්සව පවත්වන අතර සතිය පුරාවටම දන්සැල්ද පැවැත්වේ.    දන්සැල් පැවැත්වීමට විවිධ ශ්‍රී ලාංකික සංවිධාන අතර ඇත්තේ තරඟයකි.   වෙසක් කාලයේ දන්සැලක් ලබාගැනීම ලේසි පාසු කටයුත්තක් නොවේ.   සංවිධායකයින් සමග විවිධ අය දන්සැල් ඉල්ලා බැරිතැන සිත් අමනාප කම් ඇතිකරගන්නා අවස්ථාද අඩු නැත.    කෙසේ වෙතත් ඕමානයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය, ඕමාන  ආරක්ෂක අමාත්‍යංශයේ ලාංකිකයින්, ශ්‍රී ලංකා පාසැල, අල් තුර්කි ආයතනයේ ලාංකිකයින්, ට්‍රයිකෝ ආයතනය, ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ එකතුව  සහ විවිධ පාසැල්වල ආදී ශිෂ්‍ය සංවිධාන දන්සැල් පැවැත්වීමේදී මුල්තැන ගෙන කටයුතු කරති.

දන්සැල් සියල්ලම නිර්මාංශ ආහාර පිළියෙල කරන්නේ පන්සල් කමිටුව මස් මාළු කරවල ආදිය දන්දීම අනුමත නොකරන නිසාවෙනි.   පෝයට පිළිගන්වන පන්සලේ දානය ද නිර්මාංශය.   උපාසිකාවන් අතින් පිළියෙල වන උපාසක දානය නම් මෙලෝ රහක් නැත.  මස් මාළු හෝ කරවල ටිකක් නැතිවීම පමණක් නොව දානය හදද්දී ඔවුන් කෑම වල ලුණු ඇඹුල් බලන්නේද නැත්තේ අධික ශ්‍රද්ධාව නිසාය.   එහෙම හදන කිසිම කෑමක මෙලෝ ලුණු ඇඹුල් රහක් නැති නිසා ඒවා වළඳන හාමුදුරුවන් ඇතුළු සිල් ඇත්තන්ට බුදු සරණ ඇරෙන්නට වෙන සරණක් නැති බව මගේ විශ්වාසයයි.   බුදු බණේ මෙලොව ඇති අපායවල් හතක් ගැන සඳහන්වේ.   නීරස ආහාර කන්නට ලැබීම එහෙම කියැවෙන එක අපායකි.   ඕමාන පන්සලේ සිල් ගන්නා අය හැම මාසයකම නොවැරදීම ඒ අපායේ යන බව මට නොබියව කියත හැක.   උපාසක දානය එහෙම උනාට දන්සැලේ නම්  රස කෑම ඇත.   යම් සංවිධානයක් දන්සැලක් කරන්නට දින වෙන්කරගෙන  බාරගත් පසුව පළමුවෙන්ම කළ යුත්තේ ඒ දිනයට පන්සලට එන අයගේ ප්‍රමාණය ගැන හෙවත් එදාට කී දෙනෙක් බණ අහන්නට ඒවිද කියා මුලික තක්සේරුවක් කරගැනීමයි.   නිවාඩු දිනවලට පන්සල් එන අයගේ ගණන සතියේ දිනවලට එන අයගේ ගණනට වඩා වැඩිය.   ඒ අනුව නිවැරදිව තක්සේරුව කර නොගත්තොත් කෑම මදිවෙන්නට ඉඩ තිබෙන නිසා සංවිධායකයින් ඒ ගැන විශේෂ අවධානයක් යොමුකරති.   ඊළඟට දෙන කෑම වර්ගය මොනවාද කියා තීරණය කිරීම කළයුතුය.   දන්සැල් දෙන අය බොහෝවිට දෙන්නේ සුදුබත් සහ ව්‍යංජන කීපයක් හෝ කහබත් සහ ඊට හරියන ව්‍යංජනයක්ය.   එහෙමත් නැතිනම් පාන් පරිප්පු සහ සම්බෝලය.   සමහරවිට ඉඳිආප්ප දෙන දන්සැල් තිබුනත් එය අමාරු කාර්යයක් නිසා එහෙම දන්සැල් ලැබෙන්නේ විරලවය.

සංවිධායකයින්ගේ ඊළඟ කාර්යය වන්නේ කෑම ටික සුදානම් කර ගැනීමය.    සමහරු දවල් දවසේ එකතුවී කෑම ටික පිසගන්නා අතර තමන්ට ඇති පිරිවර ශක්තිය අනුව බත් ටික පාර්සල් කර හෝ පිඟන් වලට බෙදා දෙති.    පිඟන් කියන්නේද මැද පෙරදිග බහුලව පාවිච්චිවන කෑම ටික කා ඉවත විසිකරන කඩදාසි පිඟන් හෙවත් ඩිස්පෝසබල් ප්ලේට්ය.    සමහර අය කෙළින්ම ඇණවුම හෝටලයකට දී කෑම සාදා පාර්සල් කරවා ගනී.   එසේ නොමැතිනම් කෑම ටික පිඟන්වලට බෙදා දෙයි.   කොහොම කළත් කෑම වලට අමතරව කුඩා වතුර බෝතල්ද කඩදාසි අත පිස්නාද අතුරුපසට යෝගට් හෝ කෙසෙල්ගෙඩි හෝ ඒ දෙවර්ගයමද කුඩා බීම බෝතල්ද ලබාදීම කළයුතුමය.    පාන් දන්සැල් දෙන උදවිය ලංකාවේ පාන් හදන ඉන්දියන් බේකරියකට පාන් ඇණවුම ලබාදී පරිප්පුද සම්බෝලද සාදා හෝ සාදවා ගනී.   පාන්වලට අමතරව වඩේ ද සමහරවිට දන්සැලේ බෙදන්නේ දන්සැල් දෙන අයගේ ආර්ථික ශක්තිය මතය.   පාන් දන්සැල් අවසානයේ පාන් කවර මහ ගොඩක් ඉතිරිවෙන්නේ මදිවෙයි කියා දන්සැල් සංවිධායකයින් ඕනෑවටත් වඩා පාන් ගෙනත් පුරවා ගන්නා නිසාය.   එදාට අන්තිමට වගේ කන්නට එන අයට පාන් පෙති කීපයක් නොව සංවිධායකයින් විසින් පාන් ගෙඩියක්ම අතට දෙනු ලබන්නේ ඉතිරිවෙන පාන් වලට කරගන්නට දෙයක් නැතිවන නිසාය.   එදාට අපටද එවෙලේ කනවාට අමතරව දවස් දෙක තුනක් කන්නට පාන් දන්සැලෙන් ලැබේ.   ඕමානයේ දන්සැල් වරුණාව කෙටියෙන් කිව්වොත් ඔන්න ඔය ආකාරයය.

ඊළඟට කියන්නට තියෙන්නේ මෙදා සැරේ ලංකාවේ වෙසක් ගැනය.    වෙසක් කිව්වාට වෙනදා වගේ කූඩුද කැරකෙන කූඩුද තොරණ ද වෙනත් වෙනත් අරුමෝසම් වෙසක් සැරසිලිද අපේ පළාතේ තිබුණේ බොහොම අඩුවෙනි.   කලාතුරකින් තැනක තොරණක් මිසක වෙනදා වගේ එහා ගමේවත් ටවුමේවත් තොරණ තිබුණේ නැත.    මුළු පළාතටම තිබුණේ එකම එක තොරණකි.    ඒකටත් එක්ක දන්සැල් නං වැහි වැස්සා වගේ හැම තැනම බිහිවී තිබෙනු දකින්නට තිබුණි.    වැහි වැස්සා කිව්වම මතක් වුණේ වෙසක් උදාවුනේද දැඩි නියඟය මධ්‍යයේ නොවේද කියායි.    එක දිගට මාස හයක් පැවති නියඟය හේතුවෙන් අපේ පළාතේ ළිං ඇතුලු සියලුම ජල මුලාශ්‍ර සිඳී ගොසින්ය.   පොළොව කරකුට්ටන්වී පැලී ගොසින්ය.   නාගන්නට තබා බොන්නට වතුර ටිකවත් සොයා සපයා ගන්නේ අසීරුවෙන්ය.   වෙසක් පෝයට වහීවි කියා බලාපොරොත්තු උනත් නිකං ගොඩ ගොරවා ගියා මිසක වැස්සේ නැත.    නියඟය නිසා දන්සැල් වලටත් වැදුනේ ලොකු පහරකි.    දන්සැල් වලට උවමනා වතුර බැරල් පුරවා ලොරිවල දමා අදින්නට සිදුවිය.    මෙදා වෙසක්වලට අපේ ගමේ තිබුණු දන්සැල් ප්‍රමාණය මෙන්න මෙහෙමය.    වෙසක් දවසේ රාත්‍රියේ අපේ ගෙවල් ළඟ බත් දන්සැල, පසුදා උදේ සුද්දාගේ කිරිබත් දන්සැල, එදාම රාත්‍රියේ අපේ වත්තේ බත් දන්සැල.   මේ සියල්ලටම සහභාගී වෙන්නට උවමනා උනත් පොඩි ප්‍රශ්නයකට තිබුණේ වෙසක් දවසට පසුවදා අපි ගමනක් යන්නට නියමිතවූ නිසාවෙනි.   ගමන සංවිධානය කර තිබුණේ අපේ හිතවත් බ්ලොග් කරුවෙක් වූ ලොකු පුතාය.     ලොකු පුතාලගේ ගමේ ගොස් කා බී නා කියාගෙන එන්නට අපි ලෑස්ති වී සිටියෙමු.  

පෝදාට පසුදා ගමන යන්නට නියමිතව තිබීම හේතුවෙන් දන්සැල් වඳින්නට සිදුවුනේ මෙසේය.    පළවෙනි දවසේ එනම් වෙසක් පෝය දිනයේ තිබුණු දන්සැල කිසි කරදරයක් නැතුව ගෙදර අය එක්කම ගිහිං කෑවෙමි.   පහුවදා උදේ පාන්දරම ගමන පිටත් වෙන්නට තිබුණු නිසා මම හිතා හිටියේ සුද්දාගේ කිරිබත් දන්සැලත් කාලාම ගමන පිටත් වෙන්නටය.   ඒ නිසා උදේ පාන්දරින්ම නැගිට හැලපි හදාදුන් තේ එකද බී සුද්දාගේ ගෙදරට ගියෙමි.   ඒ යනවිට එහේ එකම කම්බැල්ලෑවකි .    කට්ටියක් ගේ පිටුපස ලිප් බැඳගෙන කිරිබත් හැඳිගාති,කට්ටියක් ගේ ඇතුලේ පොල් ගාති මිරිකති, තවත් කට්ටියක් කෑම මේසය පුරා ඇතිරූ කිරිබතක් ගානට තුනීකොට කෑලිවලට කපති, තවත් කීපදෙනෙක් ලුණුමිරිසට ළූණු සුද්ධ කරති, කීපදෙනෙක් ලුණුමිරිස් වඩියක් වංගෙඩියක ලා කොටති.    අහත් පහත් වැඩවලට තවත් කොල්ලන් කීපදෙනෙකි.    කැන්ද අතු පිටින් කඩාගෙන ඇවිත් කොළ කඩා තියන්නේ කිරිබත් දාගෙන කන්නටය.    තවත් දෙතුන් දෙනෙක් ලුණුමිරිසට දාන්නට දෙහි උර පුරවා ගෙන එති.   කලින් දවසේ අපි දෙතුන් දෙනෙක් සුද්දාගේ බදුවත්තේ පොල් කඩා ලෙලි ගැහුවේ දන්සැලට ගන්නටය.     පොල් ගෙඩි දහයක් විතර ලෙලි ගහන විට මගේ අත්ල දෙකම හමගිහින්  තුවාලවූ නිසා එතනින් පොල්ලෙලි ගැහීම නවත්තන්නට සිදුවිය.    මමත් ගිය එකේ කිරිබත් දන්සැලේ වැඩට සහභාගී වෙමින් උදව් කළෙමි.    නමුත් තවම දන්සැල පටන්ගන්නා පාටක් නැත.   මට යන්නට වෙලාවත් ලං ලංව එයි.   යන්ට තියෙනවාය කිව්වානම් සුද්දා මට කිරිබත් කන්නට දෙන නමුත් මට ඒ ටික කියන්නට හිතුනේ නැත.   ඒ නිසා මම සුද්දාට නොකියාම එතනින් පිටත් වුණේ ලොකුපුතාලගේ ගෙදර යන්නටය.

අපි ලොකුපුතාලගේ ගමට යනවිට වෙලාව උදේ එකොළහ උනා පමණය.   ලොකු පුතා වැඩේ අපුරුවට සංවිධානය කර තිබුණි.   මුලින්ම ලැබුණේ කිතුල් ගහේ බඩු සමග වල් සුකර මාංශයත් කහ කෑල්ලට පැසී තිබුණු තම්බාපු කොසුත්ය.    ඉන්පසු ප්‍රණීත දිවා ආහාරයයි.    අපට නවතින්නට සුදානම් කරතිබූ ගෙස්ට් හවුසිය පිහිටියේ තේ වත්තක  අලංකාර කන්දක් උඩය.   එය පැරණි වතු බංගලාවක් නවීකරණය කොට තනා තිබුණි.   කන්ද උඩ සිට බැලුවිට ඈත ක්ෂිතිජය දක්වා වටේ දිවෙන කඳුපෙළ මනරම් ලෙස දර්ශනය වේ.    ගෙස්ට් හවුසියෙන් නික්ම පාරට පැමිණ යළිත් පාරෙන් පහළට ඉතාම අසීරු පාරක ගොස් රබර් වත්තක නැවතුණු අප  හතරවටේ  බට පඳුරින් වැසීගොස් උමගක් මෙන් තිබූ තැනකින් දොළ පාරට පිවිසුණෙමු.    දොළ පාරේ රමණීයත්වයෙන් වශීවුණු අපි කතාවුණේ මේ ගමන එන්නට තිබුණේ මෙහෙට ආ මොහොතේම නොවේද කියාය.   ඒ වනවිට දවසේ වැඩිහරිය ගෙවී ගොසින් කලුවරද පාත් වෙන්නට ආසන්නය.    පැයක් පමණ දොළපාරේ ගතකළ අපි කළුවරත් එක්ක නවාතැනට ගියේ නොගිහින් බැරිකමටය.   අපි ලත්පඳුරට එත්දී මට ලැබුණු දුරකථන පණිවුඩයකි.    එයින් කියැවුණේ අපේ කිරිබත් දන්සැල දීපු අය පහුවදා රෑට බත් දන්සැලක් දෙන්නට සුදානම් වෙන බවය.   ඔවුන් බලාපොරොත්තු වුණේ මගේද සම්මාදමය.   රෑ කෑමට පෙර මඳ පමණින් සප්පායම් වූ අවස්ථාව ඉතා විනෝදජනක වුවත් විස්තර කියන්නට බලාපොරොත්තු නොවෙමි.

පාතරාසයෙන් පසු ඒ අලංකාර නවාතැනින් පිටත්වී දවල් වනවිට කොළඹට පැමිණි  මා ගෙදරට පැමිණියේ දවල් එකට පමණය.    ඒ වනවිටත් සුද්දාගේ ගෙවල් අහල පහළ ප්‍රදේශයම දන්සැල් සිරියෙන් ඇළලී යමින් තිබුණි.    කොස් පොලු ගසා කපන, අඹ පලා උයන්නට සුදානම් කරන කාන්තාවන්ගෙන් ඒ පැත්තම කලඑළි වෙලාය.   දන්සැලේ කෑම වට්ටෝරුව වුණේ සුදුබත්, තම්බාපු කොස්, අඹ ඇඹුල, කරෝල හොදි , පරිප්පු, සහ පපඩම්ය.   
රෑ මැදක් වෙනතුරු දන්සැල ක්‍රියාත්මක වූ අතර දන්සැල අවසන්වී මම ගෙදර යද්දී අහසේ වෙසක් සඳද බැසයමින් තිබුණි෴

Sunday, May 7, 2017

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 17- වීශේෂ කෑම වේල, ධර්මයාගේ සඳ, ටෂ්ගේ අවුල සහ ප්‍රියානිගේ දානය

 අප කණ්ඩායමේ සියලුම දෙනාගේ අපරිමිත කැපවීම හේතුවෙන්   පිටපළාත්වල කෙරුණු රුපගතකිරීම් අවසන්ව තිබුණු අතර ඉතිරිවී තිබුණේ ගීත රුගත කිරීමය.    සාමාන්‍යයෙන් ගීත රූගත කිරීම් තරමක අසීරු කාර්යයක් හැටියට සැලකුනු අතර ගීතයක රූගත කිරීම් හවස ආරම්භවූ විට එය පසුවදා එළිවෙන තුරු දිගට ඇදී යෑම සාමාන්‍ය දෙයක් විය.    එදා රූගත කරන්නට නියමිතව තිබූ ගීතයද කලේ දළුගම සරසවි චිත්‍රාගාරයේය.   බෙනට්ගේ අදහස වුනේ බඩුත් පටවාගෙන නළු නිළියනුත් සමග සියලුදෙනාම බෙන් එකේ සිට හවස පිටත්වී දළුගමට යෑමටය.    වැඩේට අපි උදේ සිට ලෑස්ති වුනෙමු.  ප්‍රධාන නිළිය බෙන් එකට ආවේ දවල් වේලාවේය. ඒ වනවිට මා ඉතා කාර්යබහුලවී සිටියෙමි.    ඇය ආ වග දුටු මම ඇයට ශීත නොකළ බීම බෝතලයක් දෙන්නට යැයි සහායකයෙකුට කියා කරමින් සිටි වැඩවල නිරත වුයෙමි.   ඇය පසුව මගේ මුණටම කීවේ ඇය දුටුවත්  බල්ලෙක් ආ තරමටවත් මා ඇයව ගණන් නොගත් බවය.

ඔය සියළුම නෝක්කාඩු මධ්‍යයේ සරසවි චිත්‍රාගාරයට ගොස් වෙලාවට ගීතය රූපගත කිරීම  පටන්ගන්නට අපට හැකිවිය.   ක්‍රමයෙන් රාත්‍රිය ලඟාවිය අපි වැඩ කරන සියළුම දෙනාට රාත්‍රී ආහාරය සපයන්නට යුහුසුළු වූයෙමු.   නිෂ්පාදන අංශයේ කොල්ලෙක් ඇවිත් මට කීවේ ප්‍රධාන නිළියට රාත්‍රී ආහාරය සඳහා චිකන් කෝසස් අවශ්‍යයැයි ඇය කියූ බවයි.   ඒ ඇසු මම තරමක පුදුමයට පත්වුණේ ඇය එතෙක් කල් කිසිදිනෙක ඇය සඳහා විශේෂ කෑමක් ඉල්ලා නොසිටි නිසාය.   ඇයද අනෙක් අය මෙන් නිෂ්පාදන අංශයෙන් ලබාදෙන කෑම සතුටින් අනුභව කළ කිසිදිනෙක නිෂ්පාදනයට කරදර කල නිළියක් නොවුවාය.     පෙර දිනෙක කළ රූගත කිරීමකදී අපේ නිෂ්පාදන අංශය සිතා සිටියේ රාත්‍රී ආහාරයට පෙර රූගත කිරීම් අවසන් වනු ඇතැයි කියාය.    එබැවින් රාත්‍රී ආහාරය ලබාදීමට අපේ සුදානමක් නොවීය.  

 නමුත් රූගත කිරීම් ඇදී ගොස් නොදැනීම රාත්‍රී ආහාර වේලාවද ළඟාවූ විට බෙනට් අසා සිටියේ " මල්ලි රෑ කෑම ටික ලෑස්තියි නේද?" යි කියාය.     හිස ගිණි ගත් අප එවෙලේ ළඟ පාත ඇති රෙස්ටුරන්ට් හෝටල් යනාදියෙන් කෑම පාර්සල් සුදානම් කරදෙන ලෙස ඉල්ලා සිටියත් කාලවේලාව නොමැතිය කියා ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.      අවසානයේ දළුගම හන්දියේ හෝටලයකින් කෑම පාර්සල් ටික ලබාගැනීමට හැකිවිය.    එහෙත් ඔවුන්ටද හැකිවුයේ ඉතාම සාමාන්‍ය ආහාරයක් පිළියෙල කරදීමටය.     මස් හෝ මාළු වෙනුවට ඒ කෑම පාර්සල්වල තිබුණේ කරවලය.    එදාද ප්‍රධාන නිළිය කිසිම වෙනසක් නොපෙන්වා එම කෑම අනුභව කළාය.  ඉල්ලා සිටින දෙයක් ඇයට කෑමට ලබාදෙන ලෙස කියූ මම ඇයගේ මේ අමුතු ඉල්ලීමට හේතුව කුමක්ද කියා තරමක විමසිල්ලෙන් සිටියෙමි.    කාලය ගෙවී ගොස් රාත්‍රී කෑම වෙලාවද ළඟාවූ අතර කෑම සඳහා රූපගත කිරීම් නවත්වන ලදී.    එදා සරසවි චිත්‍රාගාරයට තවත් චිත්‍රපට කණ්ඩායමක් පැමිණ තිබුණේ චිත්‍රපටයක හඬ කැවීම් සිදුකිරීමටය.   එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ජනප්‍රිය නළුවා ද පැමිණ සිටි අතර ඔහුත් අපේ ප්‍රධාන නිළියත් කෑම ගත්තේ එකම ස්ථානයකය.    ඔවුන්ගේ නිෂ්පාදනයෙන් රාත්‍රී ආහාර සඳහා ලැබී තිබුණේ ගෝදම්බ රොටීත් මස් හොදිත්ය.   ඒ දෙදෙනා එකතැන කෑම ගන්නා ආකාරය දුටු මට අපගේ ප්‍රධාන නිළිය රාත්‍රී ආහාරයට කෝසස් ඉල්ලූ හේතුව පැහැදිළි විය.    ඒ ජනප්‍රිය නළුවා අද යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ගැන නම් දරා සිටින්නෙකි.

එදා රූපගත කළ ගීතය "සඳ කාන්ති දිදී නිලම්බරේ නැගී එන ශ්‍රියා" යනුවෙන් පටන්ගන්නා ගීතය වූ අතර දර්ශනයේ ආරම්භය සඳහා කැමරා ශිල්පී ධර්මේ හඳක් ඉල්ලා සිටියේය.    අහසේ සඳ පායා තිබුණද එය එතරම් පැහැදිලි සඳක් නොවීය.    අපි ධර්මයාව මග හැර සිටියේ සඳ අමතක වේයැයි සිතා වුවද ධර්මයා සිය මතයේ තදින් එල්බ සිටිමින් දිගින් දිගටම සඳක් ඉල්ලයි.    අන්තිමේ අධිසැර විදුලි බල්බයක් රවුමකින් ආවරණය කර පොල්ගහක එල්ලා දුන්නේ ඉතිරි හරිය කැමරාවෙන් හදා ගන්නටැයි කියමිනි.   එවිට ධර්මෙගේ මුහුණද සඳ මෙන් ආලෝකවත් විය.    ඉන්පසුව වැඩි කරදරයක් නොමැතිව ගීතය රූපගත කරගන්නට හැකිවුණේ ඒ ගීතයට ප්‍රධාන නිළිය සමග රංගනයේ යෙදුණු ශිල්පියාද ප්‍රවීන වේදිකා සහ ටෙලි නළුවෙකු වූ නිසාය.   කෙසේ වුවද රූපගත කිරීම් අවසන් වනවිට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.

මේ කාලය වනවිට අල්ලපු ගෙදර ටෂ් සමග වූ මගේ ඇයි හොඳයිය මුහුකුරා ගොස් තිබු අතර ටෂ්ට අවශ්‍ය වුයේ ටෙලි නාට්‍ය කරන්නට මා කොහේවත් නොගොස් හවසට රැකියාව අහවර වූ විගස ගෙදර හෙවත් බෙන් එකට පැමිණෙනු දකින්නටය.    ටෙලිනාට්‍ය කිරීම හෙවත් මා නළුනිළියන් විශේෂයෙන් නිළියන් සමග ළඟින් ඇසුරු කිරීම ටෂ් කෙසේවත් රිස්සුවේ නැත.    ඇය ඒ ගැන මා සමග කීප විටක්ම පවසා තිබුණු අතර ටෂ්ට උවමනා කර තිබුණේ මාව ගෘහස්ථ ජීවියෙක් කොට හැකි හැම වේලාවේම ගෙදර රඳවා ගැනීමටය.   ටෂ් මට බලකරන ජීවිතයට මගේ කිසිම කැමැත්තක් නොතිබුණු අතර මගේ කැමැත්ත තිබුණේ හැකි හැමවිටම ගෙදරින් පිට ගතකිරීමටය.   මේ කාරණය ගැන අප දෙදෙනා අතර සාකච්ඡා ද සාකච්ඡා වලින් පසු ගැටුම්ද බොහෝ විට හටගන්නට විය.    

ටෂ්ලා වතුර ගත්තේ බෙන් එක සතු ලිඳෙන් වූ අතර සමහරවිට ටෂ්ලාගේ ගෙදර කෙල්ලන් හවසට ලිඳෙන් වතුර ඇදගෙන නා කියා ගන්නා අවස්ථාද විය. ස්ටුඩියෝ එකේ වැඩ අවසන් කර හවස ගෙදර එන ටෂ් කෙටි රෙදිකඩක් හැඳ අඩ අඳුරේම ලිඳට විත් නෑම හෝ ඇඟ සෝදා ගැනීම ඉතාම සාමාන්‍ය දර්ශනයක් විය.    අපේ ඇයි හොඳයිය ඇරඹුනාට පසුව නෑමෙන් පසු ඇය ගෙයි කුස්සිය පැත්තේ සිටින මාත් සමග දොඩමළු වීම සිරිතක් විය.  මේ කතාබහ දිගදුර ගොස් කතාබහක් නොමැතිව තුරුලුවී සිටින තත්වයකට පත්වුණේ බෙන් එකේ වෙන කවුරුවත් නොසිටි දිනවලදීය.    එවැනි දිනවලදී මා හැර තබන කුස්සියේ දොරෙන් ඇතුල්වී කාමරයට එන්නට තරම් ප්‍රගතියක් ටෂ් පසුව ලබාගත්තාය.    මා බෙනට්ගේ ටෙලි කණ්ඩායමත් සමග වැඩවලට යෑම ගැන ටෂ් නොරිස්සුමෙන් කතා කළ  අතර මේ සමබන්ධයෙන් අප දෙදෙනා අතර නිතරම  ඇතිවුණු බහින්බස් වීම් වලින් පසු දවසක  ටෂ් මට කෙලින්ම කියාසිටියේ අපේ ඇයි හොඳයිය පවත්වාගෙන යනවාද නැත්නම් ටෙලි නාට්‍ය වලට යනවාද යන දෙකින් එකක් තෝරාගෙන ඇයට කියන  ලෙසටයි.

ටෂ්ගේ කතාව මට සෑහෙන උහතෝකෝටිකයක් වූ අතර නොමිලේ ලෝඩ් බාගන්නට ලැබෙන අවස්ථාවද නැතිවී ගියේය.    ටෂ්ද නිතරම මා ඉන්නා තැන්වලට ඇවිත් මට උපරිම පීඩනයක් ලබා දුන්නාය.   දවසක් මම කාර්යාලයේ වැඩ කරමින් ඉන්නවිට ටෂ් එතැනට කඩා පාත් වුයේ ළඟ ගෙදරක ඉන්න ඇගේ යාළුවා වූ ඩෙලා ද සමගය.   මම කෙලින්ම ටෂ්ට කීවේ මෙවැනි වැඩවලට මගේ කිසිම කැමැත්තක් නැති බවයි.   එසේ කියා කැන්ටිමට රැගෙන ගොස් දෙන්නාට සිසිල් බීම දෙකක්ද රැගෙන බොන්නටදී ගෙදර පිටත් කළෙමි.    ටෂ් තේ බොන්නේ නැත ඇය උදේටද බොන්නේ වතුර හෝ පළතුරු බීමය.    මට එසේ නොව උදේට තේ එකක් බොන්නටම අවශ්‍යය.     බොරැල්ලේදී අප මුණගැහෙන දවස් වලටත් ටෂ්ව තේ බොන්නට හෝටලේකට  එක්කං යන්නට බැරි නිසා සිසිල් බීම බොන්නට මැද මිදුලට යා යුතුවිය.    මැද මිදුලේ කෑම බීම පට්ට ගණංය.    දුප්පත් රජයේ සේවකයෙකු වූ මට මේ විදියට ටෂ්ව නඩත්තු කරන්නට බැරිය.    යම්කිසි අමතර  ආදායමක් ලැබෙන වැඩකට යනවාට ටෂ් උදැල්ල දමයි.   බෙන් එකේ අනික් උන් පුල් ජොලියෙන් දවස ගතකරද්දී මගේ ඔලුව යකාගේ කම්මල වගේය.  

අපිත් එක්ක ක්‍ෂය රෝග මර්දනේ වැඩ කරපු ප්‍රියානිගේ මහත්තයගේ අවුරුද්දේ දානය ඊළඟ සතියට යෙදී ඇති බව මට කාර්යාලයට කතාකල දීපිකා කීවාය.    දානය සෙනසුරාදාට යෙදී ඇති නිසා දීපිකා සිකුරාදා සවස රද්දොළුගම ප්‍රියානිලාගේ  ගෙදර යන බවත් ඒ එක්කම මමත් යන්නට එනවානම් හොඳ බවත් ඇය වැඩිදුරටත් කීවාය. මමත් කැමැත්තෙන්ම දීපිකාට හා යි කීවේ කලදී අප දෙදෙනා අතරද යම් තරමක ඇයි හොඳයියක් තිබුණු නිසාය.  මේ දිනවල වේලි වේලි ඉන්න මට ඒත් මදිද කියා අඬගහපු ගමන්ම කැමති උනෙමි.     මම සති අන්තයේ ප්‍රියානිලාගේ ගෙදර දානයට යන බව ටෂ්ටද කීවෙමි.    කාන්තාවකගේ වැඩක් නිසා ටෂ් කැමති නැතිවුණත් ඒ වෙලාවේ මොකුත් නොකියා බුම්මාගෙන හුන්නාය.    සිකුරාදා සවස මම බොරැල්ලට ඇවිත් කොටුවට යන්නට ඉන්නාවිට ටෂ් රාජගිරියේ සිට පැමිණ එතැනට කඩා වැදුණාය.   

 ටෂ් ඇවිත් තිබුණේ මා කාත් එක්ක යනවාද කියා බලන්නට බව මට තේරුම් ගියත් සද්ද නැතිව සිටියෙමි.    ඇය මට ගෙදර යන්නට කතාකළාය.    මම ආවේ රද්දොළුගම දානයට යන්නට බවත් පසුදා හවස ආපහු එන බවත් කියා ටෂ්ට රස්තියාදු නොවී ගෙදර යන්නටැ යි කීවෙමි.    "මම කතා කළාම එන්නට බැරිවුණත් එක එක ගෑණුන්ගේ ගෙවල්වල නම් යන්නට පුළුවන්" යි  කියූ ටෂ් මාත් එක්කරගෙන මිසක අද ගෙදර යන්නේ නැතැයි වැඩිදුරටත් කීවාය.    මේ වාදයට එතැනම පැය බාගයක් පමණ ගෙවී ගියේය.   ටෂ්ගේ තර්කානුකූල නොවූ කතාවලට නප්පියටම තදවී සිටි මම ටෂ්ට  ඕනෑ මඟුලක් කරගන්නැයි කියා බස් එකකට ගොඩවී පිටකොටුවට ගියෙමි.   ඒ වනවිටත් මා එනතුරු බස්පොළේ බලාසිටි දීපිකා මා නැති නිසා තනියම ප්‍රියානිගේ ගෙදර ගිහිල්ලාය.   මමත් රද්දොළුගම බසයක නැගී ප්‍රියානිගේ  ගෙදර ගියෙමි.

 ප්‍රියානිලාගේ ගෙදරදී පරණ යාළුවන් සියලු දෙනාම පාහේ කලකට පසු මුණගැසී එතැන ඇතිවුණේ රස සාගරයකි. කෑමද,බීමද,විහිළු කතාද,පැරණි රසාංගද ආදියෙන් කුල්මත්වී සිටි අපට කාලවේලාව ගතවනු පවා නොදැනිණ.    දානය අවසන්වී සෙනසුරාදා සවස ආපහු එන්නට හිතාගෙන ගියත් මම ආපහු ආවේ ඉරිදා සවස් වරුවේය.    කාර්යාලයට යන්නට සෑහෙන ඇඳුම් ගෙනගොස් තිබුනානම් ඉරිදාද නතරවී සිට සඳුදා කෙළින්ම කාර්යාලයට යන්නට තිබුණා නේදැයි අපි කීපදෙනෙක් කතාවුණේ මහ හඬින් සිනාසෙමිනි.    

සෙනසුරාදා සවස එනවා යැයි කියූ මිනිහා ඉරිදාද සවස් වරුවේ බෙන් එකට පැමිණීම ගැන ටෂ් හිටියේ කේන්තියෙනි.    බුම්මාගෙන සිටි ඇය සඳුදා උදේ මගේ මුහුණවත් නොබලා වැඩට ගියාය.    ඒ වනවිටද මා ටෂ් සම්බන්ධයෙන් තීරණයක් ගෙන සිටියෙමි.    ඒ ඇයත් සමග දිගින් දිගටම ඉදිරියට යාමට කිසිසේත්ම නොහැකි තත්ත්වයක් පැනනැගී ඇතිබව මා තේරුම් ගෙන සිටි නිසාය.     ඊට දින කීපයකට පසු ටෂ්ගේ කේන්තිය පහව ගොස් අප  මුණගැසී සන්සුන්ව කතාකරමින් සිටි මොහොතක අප දෙදෙනාගේ තත්ත්වය මම ඇයට පැහැදිළි කර දුන්නෙමි.   මේ ආකාරයට අපට කෙතෙක් දුර යා හැකිද? එසේ නම් අනාගතයේ උද්ගත වන ප්‍රශ්න මොනවාද? ආදී වශයෙන් බොහෝ කරුණු ටෂ්ට පැහැදිලි කරද්දී ඇය නිසලව අසා සිටියාය.    එසේ නම් මින් ඉදිරියට අප වෙන් වෙන්ව අපේ ගමන් මාර්ග සොයා ගතයුතු බව මා කියුවිට ඇය මහ හඬින් හඬා වැටුණාය.    මගෙන් මෙවැනි දැඩි තීරණයක් ඈ බලාපොරොත්තු නොවූ සෙයකි෴
(අධික වැඩ රාජකාරි නිසා කපන මණ්ඩලය මේ දිනවල අක්‍රීය වී ඇති බැවින් භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය කතා මාලාවේ තවත් කොටසක් ඔබේ පහන් සංවේගය උදෙසා පළකරන බව කරුණාවෙන් සලකන්න)