Wednesday, April 26, 2017

මගේ ලිවිල්ල, පොල්කිරි හොද්ද,පීරීස්ගේ අඹ ඇඹුල, කර්තකොලොම්බන් අඹ පළදාව සහ සුද්දාගේ අඹ කැඩීම.


අද ලියන්නට සැරසෙන්නේ සංචාරක සටහනකි.    මීට පෙර දවස් කීපයක්ම මේ සටහනතබන්නට සැරසුනත් මොන මොන හේතූන් නිසා හෝ ලියාගන්නටනොහැකි විය.    ඒ නිසාම අද මේ සටහන ලියා අවසන් කරන්නට සිතුවෙමි.     ඒ සමගම ඔබට දැන්විය යුතු තවත් කරුණක් මේ සමගම ලියා තැබීම සුදුසු යැයි මට සිතේ එනම් මගේ ලිවිල්ල පිලිබඳවය.     ඩොමැස්ටික් සෙන්සර්ෂිප් ඉතා තදින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මගේ සුපුරුදු ලිවීම දිගටම කරගෙන යෑම සම්බන්ධව දැඩි ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුවී ඇත.       වාරණයට යටත්ව ලිවීමට මගේ කිසිම කැමැත්තක් නැත.      එය හරියට දෙඅත් බැඳ ලිවීම හා සමානය මුලසිටම මගේ ප්‍රතිපත්තිය හා ලිවීමේ රටාව වුයේ ලියන දේ අත දිගහැර ලිවීමය.      නමුත් අත දිගහැර ලිවීමට නොහැකිනම් ඒ ලිවීමට වඩා නොලියා සිටීම නම්බුකාරය.     එබැවින් මා මෙතෙක් ලියාගෙන ආ "භීෂණ සමයේ ටෙලිනාට්‍ය සමග ජීවිතය" සහ "දෙසතිය මතක" ලිපි පෙළට තාවකාලිකව සමුදීමට සිදුවී ඇත.

එයින් කියැවෙන්නේ මා ලිවීම නවත්වන බව නොවේ.    ආන්දෝලනාත්මක හෝ විවේචනාත්මක මාතෘකා නොවන සාමාන්‍ය ලිපි මට ඉඩ හසර ඇති අයුරින් පළවනු ඇත.      පළ නොවන්නේ ලුණු ඇඹුල් ඇතිව ලියාගෙන ආ ලිපි පෙළය.       ලුණු ඇඹුල් කියනවිට එකවරම මගේ මතකයට නැගෙන්නේ කිරි හොද්දකි.      කිරි හොද්ද නොහොත්  පොල්කිරි හොද්ද යනු මා ඉතා ප්‍රියකරන ආහාරයකි.    බැලු බැල්මට එය පිළියෙළ කිරීම ඉතා සරල වුවත් මා සිතන හැටියට හරියට රසට ලුණු ඇඹුල් ඇතිව කිරි හොද්දක් පිළියෙළ කරගැනීම ඉතා සංකීර්ණ කාර්යයකි.     උයන කෙනෙකුගේ එම කාර්යයේ නිපුණත්වය ඔහු හෝ ඇය සාදන කිරි හොද්දකින් මැනගත හැකි බව මගේ විශ්වාසයයි.      කිරි හොද්දක් පිළියෙළ කරන ක්‍රමවේදය හා බ්ලොග් ලිපියක් ලියන ක්‍රමවේදයේ සමානකම් ඇති බව මා විශ්වාස කරමි.

කිරි හොද්ද රසවත් වන්නේ කුළු බඩු, දුරු මිරිස්, උම්බලකඩ,ලුණු ඇඹුල් , රම්පෙ කරපිංචා ආදිය පදමට දමා හැඳි ගාමින් පිළියෙළ කළ විටය.     මොන තරම් අඩුම කුඩුම දැම්මත් ළඟ ඉඳගෙන හැඳි නොගෑවොත් හොද්ද උතුරා කැටිගැසේ.     ඒ නිසාම යන්තම් හොද්ද රත්වෙන්නට ගත් මොහොතේ සිට හැඳිගාන්නට පටන් ගත යුතුය.   ඒ හැඳිගෑම හොද්ද ඉදී අහවර උනත් නවත්වන්නට නොහැක.    හොද්ද ඉදවා ලිප නිවා ඇඹුල් මිශ්‍රකල පසුවද හැඳිගෑම කරගෙන යායුතුය.     හොද්ද නියම ආකාරයට රසවත් වන්නේ එවිටය.      බ්ලොග් ලිපියක් ලිවීමේදීද මේ ආකාර දෙකම උපයෝගී කර ගත හැක.    එකක් නම් තමන්ම සීමාවන් පනවාගෙන ලියන්නට ඇතිදේ සියල්ලම නොව අවශ්‍ය දේ පමණක් ලියාගෙන ගොස් ලිවීම අවසානවූ වහාම පළකිරීමය.     එවිට තමන් ලියා ඇති ලිපියේ අඩුපාඩු, වැරදි, රස නීරස කිසිම දෙයක් නැවත පරීක්ෂා කර බලන්නට හැකි නොවේ.    එසේ වුවිට  එම ලිපිය හැඳි නොගා හදන කිරි හොද්ද මෙන් නීරසවේ.

සීමාවන් රහිතව හිතේ හැටියට ලිවීම අනෙක් ආකාරයයි.       සිතේ ඇති සිතුවිලිවලට නිදහසේ ගලා එන්නට ඉඩ දෙමින් ලියන දෙය රස විඳිමින් බ්ලොග් ලිපියක් ලියා දින ගණනක් එය නැවත නැවත කියවමින් අඩුපාඩු සකස් කරමින් මටසිලුටු කරමින් හැඩ ගන්වමින් අනතුරුව පලකළ විට එම බ්ලොග් ලිපිය ඉතා හොඳින් හැඳි ගා පිළියෙළ කළ කිරි හොද්දක් මෙන් රසවත් වේ.     පලකළ පසුද නැවත කියවන විට වඩාත් හොඳින් සකස් කළ හැකි තැනක් දුටු විට එයද සකස් කිරීම හොද්ද ලිපෙන් බාගත් පසුවද හැඳි ගෑම වැනිය.   මා බොහෝ විට අනුගමනය කරන්නේ මේ දෙවැනි ක්‍රමයයි.

ලිපියක් ලියද්දි  ලිවීම පිළිබඳව වර්තමානයේ මා ඉතා සැළකිලිමත් වෙමි.   සමහර විට ලිපියේ තැනකට ගැලපෙන වචනයක් සිතට නොආ විට එතැනට ගැලපෙන වචනය ලැබෙනතුරු සමහර විට දින ගණන් ගතකරමි.      අපේ භාෂාවෙන් කිවහොත් හිට් වෙන විදියට බ්ලොග් ලිපිය පලකළ හැකිවන්නේ එවිටය.     ආප්ප බාන ලෙස බ්ලොගයේ ලිපි පළකිරීම මා අනුමත නොකරන බැවින් බ්ලොගය යාවත්කාලීන වීම මඳක් ප්‍රමාද වේ.    එහෙත්  අන්තර්ගතයේ ප්‍රමිතිය ඉහළ තත්වයකින් පවත්වාගෙන යෑමට නිතරම උත්සාහ ගන්නා කෙනෙක් ලෙස  සීමාවන් තුළ ලිවීමේදී මා අසාර්ථක වෙතැයි මට නිතරම සිතේ.    අසාර්ථක ලිපි ලියනවාට වඩා නොලියා ඉඳීම සැපතකි.    එසේ නමුත් අසාර්ථක ලිපිද කෙසේ හෝ ලියැවිය යුතුය.   මන්දයත් සාර්ථක ලිපි කිමෙක්දැයි මැන බලා ගැනීමට අසාර්ථක ලිපි මහඟු මෙහෙවරක් ඉටු කරන නිසාවෙනි.

ඉතින් කිරිහොදි මතක්වුණ මේ වෙලාවේ ඒත් එක්කම මතක් වෙන්නේ අඹ මාළුවය.   සිරි ලංකාවේ අඹ පලදාව නහුතයටම නැග ඇති මේ අඹ වාරයේ කෑමකට කොහේ ගියත් මේසයේ  නිතරම පාහේ අඹ ව්‍යංජනයක් වරදින්නේ නැත.   මගේ ජීවිතේටම මෙතෙක් කල් කා ඇති රසම අඹ මාළුව අරගෙන ආවේ අපිත් එක්ක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩකරපු පීරිස්ය,   ඌත් පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙකුගේ වයස ගියත් එතෙක් කල් පිළිවෙලක් නොවී තනිකඩව හිටපු එකා නිසා හැමදාම උදේට ඌට බත්මුල හදා දෙන්නේ අම්මාය.   අම්මා කෙහෙල් කොළේ ඔතාදෙන බත් එකද අරගෙන බෙම්මුල්ලෙන් කෝච්චියට නැග කොළඹ එන පීරීස් දවල් කෑම කන්නේ මගෙත් එක්කය.    කන්තෝරුවල වැඩකරන අය වැංජන හුවමාරු කරගෙන කන සිරිත අනුව දවසක්දා පීරීස් දවල් කෑම එකේ තිබුණු අඹ වැංජනයෙන් කොටසක් මටත් බෙදුවේය.   එහි රස බැලූ මගේ රස නහර පිනාගියේ පීරීස්ගේ අම්මා  තුනපහ ආදිය හොඳට කළුකර දමා සීනි ටිකක්ද මිශ්‍ර කර අඹ මාළුව එතරම්ම ලකේට උයා තිබුණු බැවිණි.    ඊට පස්සෙ නම් එවැනි රස අඹ මාළුවක් මෙතෙක් මට කන්නට ලැබී නැත.    මම ඉන්දියාවේ රාජකාරි කරන කාලේ පීරිස් ටීච කෙනෙක්ව  පෙළවහට ගත්තාය කියා මට ලියා දන්වා එවා තිබුණි.    අඹ මාළුවක් හදෝගෙන වත් කන්නට  උගේ අම්මා නම් දැන් ජීවතුන් අතර ඉඳී කියා හිතන්නටද අමාරුය.

අඹ ගැන දිගටම කතාකරගෙන එනවිට මට තවත් අඹ කතාවක් මතක්වේ.    ඒ නම් මේ ඊයෙ පෙරේදා වෙච්චි දෙයකි.    අපේ යාලුවෙක් කලකට ඉස්සර ගත්ත පොඩි ඉඩම් කෑල්ලක් තිබේ.   එය තියෙන්නේද වැඩිදුරක නොව අපේ ගමට එහා ගමේය.   මේ ඉඩම් කෑල්ලේ තියෙන ගස්වල පළදාව නෙලන්නට අපේ හිතවතුන් යන්නේ අති විශාල වතුයායක පළදාව නෙලන්නට යනවාක් මෙනි.   මාස තුන හතරකට සැරයක් ගිහින් ඉඩමේ තියෙන ගස් කීපයේ පොල් කඩාගෙන ඒම ආදිය ඔවුන් කරන්නේ ඉතා උනන්දුවෙනි.  මේ ඉඩමට යන අය කරන කියන දේ ගැන මහ ඉහළින් කතා කළත් මට මෙතෙක් කල් ඔවුන් එක්ක ඉඩමට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.   දැනට දවස් දෙක තුනකට ඉස්සර එක රෑක බණ ගෙදරක ගිහිං බණ ගෙදර ආපු අයට රෑට දානය ලෑස්ති වෙනතුරු එතනම ළඟ ගෙදරක අපි දෙතුන් දෙනා චුට්ටක් සප්පායම් වෙමින් ඉද්දී හෙට උදේ අහවලාගේ ඉඩම් කෑල්ලේ අඹ කඩන්නට යන්නටත්  තියෙනවායි කියූ සුද්දා ඒකට කෙනෙක් හොයාගන්නටත් අවශ්‍යයි කියා අඹ කඩන්නට යන්නට මටද කතා කළේය.   එහෙනම් හෙට උදේ යමු කියා මමත් වැඩිදුර නොසිතාම කැමැත්ත දුන්නෙමි.   රෑ කරපු කර්තව්‍යය ටිකක් දිගදුර ගොස් රාත්‍රී ආහාර ගෙන අවසන්වී මම ගෙදර එද්දී පාන්දර ජාමය විය.

ඇඳට වැටුණු සැණින් මළාක් සේ නින්ද ගිය මට පසුදා උදේ ඇහැරුණේ ගේ ඉදිරිපිට සුද්දා කෑගසන හඬ ඇසෙනවිටය.    බැලුකොට වෙලාව උදේ නමයටත් කිට්ටුය.   ඉඩමට යන්නට දැනටමත් පරක්කුය කියූ සුද්දා මට තව එකෙක් එක්ක ඉඩමට එන්න පට්ටල් කරදී යන්නට ගියේය.   ඉක්මනටම මුහුණ සෝදා හැඳ පැළඳගෙන එළියට බහිද්දී උදේම කොහි යනවාදැයි හැලපි ඇසුවාය.   ගහක අඹ කඩාගෙන එන්නම්ය කියුවිට කොහෙ ගියත් හවස තුන වෙද්දී ගමන යන්නට ගෙදර එන්නටය කියා හැලපි කීවේ ඇයගේ යාලුවෙක්ගේ ගෙදර යන්න එනවායි මම කලින් දවසේ පොරොන්දුවී සිටි නිසාය.    වැඩි කල් වේලා නොගොස් අපි දෙන්නා ඉඩමට යද්දී සුද්දා සහ අඹ කඩන එකා බර වැඩය.   ඌ ගහ උඩ සිට ගොට්ටක් ගැට ගසා තිබු කෙක්කකින් අඹ කඩා පෝර උරයකට දමා පහළට එවද්දී සුද්දා අඹ ටික ගොඩගසයි.   ඉඳහිට බිමට වැටෙන ගෙඩියක් ඇරෙන්නට ඉතිරි අඹ සියල්ලම නොතලා පරිස්සමින් කඩාගන්නට ගහේ හිටපු එකා සුරයෙකි.   ඌම ගහේ නැග්ගා මිසක මම නම් මසුරන් දෙනවා කිව්වත් ඒ ගහට නොනගින්නේ සිලි සිලි ගා එතරම්ම දිමියන් තොගයක් ගහේ පුරාම පිරී සිටි නිසාමය.    ගහ උඩ අඹ කඩන එකා සැරෙන් සැරේට ලාම්පුතෙල් කුප්පියක් ගහේ කඳේ හලන්නේ දිමියන් ඇඟට එන එක වළක්වාලන්නටය.    දිමි හිටියාය කියා අතහැර දමන්නටත් බැරි ඒ ගහ කර්තකොලොම්බන් ගහක් වීමත් මෙදා සැරේ ගෙඩිත් හොඳට අලංකාරව සම්පූර්ණවී හැදී කහ කෑල්ල වගේ පැසී තියන නිසාවෙනුත්ය.

ටිකකින් ඉඩම අයිතිකාරයාත් පැමිණියේය.   අහල පහළ ගෙවල් දෙකක ඉන්න අයගේ පැමිණිල්ල වුයේ ඒ අයගේ වතුවලට නැවී ඇති අඹ අතු කපා දමන්නට කියාය.   ඒ ගමන සුද්දා ආපහු ගෙදර ගිහින් අඹ අතු කපා බාන්නට කඹද, මන්නා පිහි, පොරෝ ආදියද රැගෙන ආවේය.   දැන් අඹ කැඩිල්ල තියෙද්දි අතු කපා බාන වැඩේ පටන් ගෙනය.    විශාල අතු දෙකක් කපා කඹයේ ගැටගසා බිමට බානවිට එහි තිබුණු හොඳට පැසුණු අඹ සෑහෙන ප්‍රමාණයක් බිම වැටී තැලී පිපිරී වැඩකට නැති තත්ත්වයට පත්විය.   අපි ඉක්මන් වුයේ ඉතිරි අඹ ටිකවත් පරිස්සමින් ඉවත් කරගන්නට වුවත් අත්ත පුරා පිරී සිටි දිමි රංචුව නිසා එය ලේසි පාසු කාර්යයක් නොවීය.   අත්තේ තිබුණු අඹ ටික කඩාගන්නට ගිය මගේ අත් දිගේ උඩට නැග ආ දිමි රංචුව අත්, බඩ,පපුව, පිට ,කණ, මුහුණ ආදියේ එල්ලී සපාකන්නට වුවෝය.   කලිසම අස්සෙන් කකුල් දිගේ නැග ආ දිමි පිටිපතුල, බත්කෙන්ඩ, කලව, පුක(පුක යනු කුණුහරුපයක් නොවේ.පේටන්ට් අයිතිය කකා සතුය.) ඈ මතුනොව සංසාර කුට්ටමේද එල්ලී ගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට වුවෝය.    අඹ කැඩිල්ල අතහැර දැමු මම කමිසයද ගලවා ගසමින් දිවගියේ ඒ මරුමුස් දිමි ප්‍රහාරයෙන් බේරෙන්නටය.  කලිසම ගලවන්නට පිළිවෙලක් නොවුයේ අහල පහළ ගෑණු මෙන්ම  ළමිස්සියන්ද බලාගෙන සිටි නිසාය.   වෙනත් සතුන් මෙන් නොවැ දිමින්ගේ හොඳක් තියෙන්නේ හපාකන විට ඇති වේදනාව හැරුණු විට හපාකෑමෙන් පසු ඉදිමීම් වේදනා ආදී වෙනත් පශ්චාත් ආබාධ කිසිවක් නොමැති වීමය.

මේ වනවිට වෙලාව හවස දෙකටත් කිට්ටුය.   දවාලට කෑමක් ගැන කාටවත් මතකක් නැතිවුණත් දානෙ ගෙදරින් දිගින් දිගටම ඇමතුම් ලැබෙන්නට වුයේ කෑමට එනවාද කියා අසමිනි.     අපි කට්ටියටම කෑම තියන්නටය කියා කෑම ඕඩරයද ලබා දුන්නෙමු.     අඹ ගහෙන් බාගෙක අඹ කඩලාද කපන්නට තිබුණු අතු ටික කපලාද අහවරය.   ඉඩම අයිතිකාරයා ඇතුළු අපි කාටත් දැන් දැන් මහන්සී වගේම  බොන්නට තිබහක්ද ඇතිවෙලාය.   ඒ ගමන සියලු වැඩ අත්හැරලු අප හැමදෙනාම ඉඩමේ පැත්තකට ගොස් පස්වෙනි සිල්පදය කඩන්නට පටන් ගත්තෙමු.   දෙකහමාර පමණ වනවිට යන්නට එන්නේ  නැද්දැයි හැලපි කතාකර ඇසුවාය.   ගමනක් යන්නටත් තිබෙනවා නොවේදැයි මතක් වුනෙත් එවෙලාවේය.   ඉක්මන් කර ගෙදර එන්නට ලෑස්ති වෙනවිට එකෙක් අඹ ටිකකුත් මල්ලකට දමා මට දුන්නේය.    එයත් රැගෙන ගෙදර පැමිණි මම හැලපිගේ අත් අඩංගුවට පත්වුනෙමි.    අඹ නිසා ගෙදරින් එපමණ ප්‍රශ්න මතු නොවුණු අතර මම දැන් බලා සිටින්නේ අඹ ටික ඉදෙන තුරුය෴ 

Thursday, April 13, 2017

ඇරියස් සමග අවුරුදු, ජිනාගේ වලිය, පේමයාගේ කරාටි, ෆොක්ස් සහ කළගුණ සැළකීම.


අලුත් අවුරුදු හයක් එකදිගට මිස්වූ මට මේ අවුරුද්දේ ගෙදර ඉන්නට ලැබුණේ අවුරුදු හයකට පසුවය.    මට මිස්වූ අවුරුදු හයේ ඇරියස්ද සමග  ජයටම අවුරුදු කවන්නට හැලපි ලක ලෑස්ති වෙන්නේ දවස් ගණනක සිටය.  ඒ හදන කෑම තොගය කෑවොත් සීනි වැඩිවී නතර වන්නට වෙන්නේ රෝහලකය. හැලපැට්ටාද රටේ නැති නිසාවෙන් මට නම් අලුත් අවුරුද්ද එච්චරම ගනිච්චියක් නැත.  ටී.වී. එකේ ජයටම අවුරුදු කීවාට අවුරුදු සිරිය පෙන්නුවාට එහෙමකට අවුරුදු අසිරියක් අපේ ගමේ නං දකින්නට නැත.   ඉඳහිට කොහා කෑගසයි.   කොල්ලො කුරුට්ටෝ සයිකල් වල නැගී අපේ ගේ ඉදිරිපිට පාරේ එහෙ මෙහෙ යති.   කෙල්ලෝ මොබයිල් පෝන් කණේ ගහගෙන කඩිසරකමින් ගමන් කරති.   රෑට රතිඥ්ඥා ද අහස් කූරුද පත්තු වෙන සද්දය කණ ළඟ මෙන් ඇසේ.   ටවුමේ කඩවල සෙනග ඊස් මීස් නැතුව පිරී ඉතිරී බඩු ගනිති. වෙන අවුරුදුවල  උදේ රෑ   නැතුව පාරේ පිරී ඉන්නා බේබද්දන් කවුරුවත් මෙදා දකින්නට නැත.  ඒ අරක්කු මිළ දරාගත නොහැකි අන්දමට ඉහළ යාම නිසා විය යුතුය.  බර ගාණක් දී බෝතලයක් මිළදී ගත්තත් එය හිස්කරන්නට හවුල් වෙන්නට වෙනදා මෙන් කාටවත් කතා නොකරන්නේ අතමිට  හිඟකම නිසාම මිස මිතුරු සාද පවත්වන්නට අකමැති කම නිසා නොවේ.    ඒ නිසා ගෙනාපු බෝතලෙන් ෂොට් දෙකතුනක් තනියම දමාගෙන නොබීවා සේ ෂේප් එකේ සිටිති.    ඉස්සර සැන්ටින් මුද.ලාලිගේ තේ කඩේ මිදුලේ දවල් දවසේම තිබු කැටපොළත් කඩේ පිටිපස්සේ පැය විසිහතරේම ක්‍රියාත්මක වුන බූරුපොළත් අභාවයට ගොස් බොහෝ කළකි.   බූරු ගසා ඇඳන් ඉන්න රෙද්ද ඇරෙන්නට සබ්බ සකළ මනාවම පැරදී කඩේ ඉදිරිපිට නොයෙක් විප්‍රකාර කරන උන්ද බූරු සෙල්ලමෙන් දිනා බෝතල් පාටි දමන උන්ද වඳවී ගොස් බොහෝ කළකි.  

දවසක්දා බුරුපොළ ළඟදී හොඳටම බීමත්ව සිටි ජිනා රජවත්තේ ආරිත් (රජවත්තේ ආරි අපට සොමිය දෙන මයියංගනේ  ආරිත් සමග පටලවා නොගන්න) සමග මොකක්දෝ කතාවකට ඇරගත්තේය.     දෙන්නාගේ බහින්බස් වීම දුරදිග ගොස් කෙලගන්න තත්ත්වයටම ලඟාවිය.    එක්වරමැ  ජිනා අත මිට මොළොවා ආරිට පොල් අඩියක් දෙසා බෑවේය.   හැඩි දැඩි ජවසම්පන්න පුරුෂයෙකු වූ ආරි ඉදිරියේ පඟර නැට්ටෙකු වූ ජිනාගේ පොල් අඩිය අත පහත් වෙන්නටත් පෙර උඩදීම වලක්වාලු ආරි ජිනාගේ අත කරකවා පිටින් ගෙන කර උඩින් ඔසවා ජිනාව පොළොවේ ගසාලුය.    හතර ගාතෙන් බිම ඇද වැටුණු ජිනා නැගිටින විට ළඟ තිබුණු හබරළ අකුලට විසිවන්නට පුකට පයින් පහරක්ද ගසාලීය.    හතර විළි ලැජ්ජාවට පත් ජිනා වී කුරුල්ලෙකුසේ වේගයෙන් නියර දිගේ ගෙදර දිව්වේ "මං ආපහු එනවා! තෝව කන්ඩ මං ආපහු එනවා! " යි නොනවත්වා කියමිනි.    අප සියලුදෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ ජිනා කඩුවත් රැගෙන හැරෙන තැපෑලෙන් ආපහු ඇවිත් ආරිව කපා කොටා දමතිය කියා වුණත් හැන්දෑ වන තුරුම ජිනා ආපහු ආවෙ නැත.   අප සියලු දෙනාම ආරිට අවවාද කළේ මින් ඉදිරියට කිසිම දිනෙක වැරදිලාවත් අඳුර වැටුණු පසුව ජිනාගේ ගේ ඉස්සරහ පාරෙන් ගෙදර යන්නට එපා කියලාය.   ඒ අපි ජිනාගේ හැටි හොඳින්ම දන්නා නිසාය.    වැරදිලාවත් ආරි ඒ පාරෙන් ගියානං එහෙම කඩුවත් තියාගෙන අඳුරේ මඟරැක බලාසිටින ජිනා ආරිව කපන එක සක්සුදක්සේ සහතික නිසාය.  අපේ අවවාද ඉහළින්ම පිළිගත් ආරි ඉන් මතුවට කිසිදිනෙක ඒ පාරෙන් තනියම ගමන් ගියේ නැත.  

ජිනාගේ තව වැඩක් මට මතක්වේ.   ඒ මයියංගනේ ආරියා ඇතුළු රෙදි මෝලේ වැඩකළ උන්ට කරාටි උණ තදින්ම වැලඳී තිබූ සමයයි.    මුන් කණ්ඩායමම ගිහින් ටවුමේ කරාටි මාස්ටර් කෙනෙකුගේ පන්තියට බැඳුනාහ.   සති දෙක තුනක් මාසයක් පමණ ගතවෙද්දී මුන් ටික දුටු දුටුවන්ට කරාටි ගහන තත්ත්වයට පත්වුනෝය.   මේ කණ්ඩායමේ සිටි පේමයාට කරාටි පිස්සුව තිබුණේ හොඳම එකෙන්ය.    ඌ කෑවේ බීවේත් ඇවිද්දේත් කරාටි වලට අනුකූලවය.   දවසක්දා කට්ටිය ඉන්න තැන පේමයා තමන් කරාටි ක්‍රීඩාවේ ලබා ඇති ප්‍රවීණත්වය ගැන විස්තරයක් කළේ අසා සිටි අපේ ඇඟ ලොමු ඩැහැ ගන්වමිනි.

" දැන් උඹල ඕනෑ විදියකට මට ගහපල්ල, මම ගුටි කන්නෙ නෑ බේරෙනවා!"

කියු පේමයා උජාරුවෙන් වට පිට බැලීය.   සියලු දෙනාම සාවධානව අසා සිටිති, පේමයාට හෙන ජොලිය.

" ඈ බං, උඹ කියන්නෙ ඕනෑ විදියකට උඹට ගැහුවොත් බේරෙන්ඩ පුළුවන් කියලද?"

පේමයාගේ කයිය හොඳින් අසා සිටි ජිනා ඇසුවේය.      

" ඔව් ඔව් ජිනයියෙ, උඹ ඔනෑම විදියකට මට ගහපං බලන්ඩ, මං බේරෙන්නෙ නැද්ද කියල!"

"ඉඳින්කො එහෙනං!" කියු ජිනා ඒ අසල තිබුණු වැටෙන් හොඳට වැඩුණු නාඹර වැටමාර පොල්ලක් කඩාගෙන විත් පේමයාගේ පිටටද අත පය හතරටද  නෙලන්නට වුයේ පේමයාට අතක් ඔසවන්නට පවා ඉඩ නොතබමිනි.   වැටමාර පොලු පහරවල් එක පිට එක චට පට ගා පිට හරහට වැදෙද්දී ප්‍රහාරය ඉවසාගත නොහී " බුදු අම්මෝ" යි මරහඬ දී  කෑගැසූ පේමයා වැටට උඩින් පාරට පැන දුවන්නට වන.     අත තිබූ වැටමාර පොල්ල ජයග්‍රාහීව පහත දැමු ජිනා " කෝ කරාටි කාරය ගියාදැ' යි ඇසුවේ "සේනක බිබිලෙ ගියාදැ' යි සන්නා ඇසු ආකාරයටමය.    ගෙදර ගොස් පිට පුපුරපු තැන්වලට තෙල් ගා සාත්තු කරගෙන ආපහු ආ පේමයා කීවේ ඌට වැදුණු පහරවල් වළක්වා ගැනීමට කරන්නට තිබූ එකම දෙය වැලි සෙල්ලම බවයි.  ඌට ගුටිකන්නට උනේ එතැන පාරේ ගල් බොරළු පමණක්ම මිස වැලි නොතිබූ නිසා මිසක සාස්තරේ වරදක් නිසා නොවන බව පේමයා කීවේ දහ අතේ දිවුරමිනි.

තව එක කතාවක් කියා මේ පෝස්ටුව අවසන් කරන්නට සිතමි.   ඒ මීට අවුරුදු හත අටකට පෙර එක අලුත් අවුරුද්දක මා අත්දුටු සිද්ධියකි.    ඒ අලුත් අවුරුදු සැන්දෑවේද මා බොහෝ කම්මැලි කමින් ඉස්තෝප්පුවේ පුටුවක් තබාගෙන හිස් බැල්මකින් පාර දෙස බලා සිටියෙමි.     අපේ ගේ පිහිටා ඇත්තේ තරමක කන්දකය.  දෙපැත්තටම ඇත්තේ පල්ලමය.   සැඳෑ අඳුර හතරවටින්ම ගලා එන ඒ ගොම්මන් යාමයේ  එක්වනම කන්ද නැගගෙන එන දෙන්නෙක් දුටුවෙමි.    බැලුකොට මගේ යාළුවන් දෙන්නෙකි.    හැබැයි උන් දෙන්නා ආවේ මා හමුවන්නට නොවේ.    එකෙක් අතේ තරමක පාර්සලයක්ද විය. 

" අපි මෙහෙට ගිහිං එන්නංකො අයියෙ' යි මහත් සතුටකින් මට කී ඔවුන් දෙදෙනා පය ඉක්මන් කොට පල්ලම බැස ගියහ.   මම තව දුරටත් අඳුර දෙස බලා සිටින්නට වීමි.    විනාඩි පහක් ගතවන්නට ඇත.   පහළට බැස ගිය උන් දෙන්නා ආපසු එනු දුටුවෙමි.    හැබැයි ගිය තරම් ජවයකින් නොවේ.   හරියටම කිව්වොත් කන් කඩාවැටුණු බලු කුක්කන් දෙදෙනෙකු සේ නොහොත් ශුක්‍රාණු කෑ රිළවුන් දෙදෙනෙකු සේ මුන් දෙදෙනා ආපසු එති.   ගෙනගිය පාර්සලයද එහෙමමය.    

" අපි යන්නං අයියෙ" මුන් දෙදෙනා කීවේ මලානික හඬකිනි.   යමක් වැරදී ඇති බව මට එක්වනම අවබෝධ විය.    කම්මැලිකමින් ඉන්න වෙලාවේ කතා කරන්නට මේ දෙන්නාද වටී.     
"පිට පාරෙම යන්නෙ මොකද? පොඩ්ඩක් ගෙට ගොඩ වෙලා යමු! "  මා කතා කළ විට දෙන්නාම හැරී ගෙදරට ආහ.    කතා කරමින් ඉන්න ගමන දෙන්නා  කොහි ගියේදැයි මම වටින් ගොඩින් ඇසුවෙමි.     මඳ පැකිලීමකින් එකිනෙකාගේ මුහුණු බලාගෙන මොහොතක් සිටි දෙදෙනා ඉන්පසුව ටිකින් ටික විස්තරය කියන්නට වූහ.    පිට පළාතකින් අපේ ගමට බින්න බැස්ස එකෙක් සිටී.  ඌ වැඩකළේ කොළඹ මහ රෝහලේය.   ඌ කසාද බැඳගෙන ඉන්න අපේ ගමේ කෙල්ලට අපි නම තබා තිබුණේ ෆොක්ස් කියලාය.   ඒ ඇගේ පිරිපුන්ව සහ විශාලව වැඩී තිබු ලැම එවකට ජනප්‍රිය හොලිවුඩ් නිළියක්වූ සමන්තා ෆොක්ස්ට සමානවූ හෙයිනි.    

මුලින් සමන්තා ෆොක්ස් කියා ඇයව හැඳින්වුවද පසුව නම ෆොක්ස් යනුවෙන් කෙටිවිය.     මේ දෙදෙනාට එක් දරුවෙක් සිටී.    ෆොක්ස් වස නපුරු ගැහැණියක් බවද මිනිහාට බලු බැණුම් බනින බවද ඌ රණ්ඩු වෙන්න යන්නේ නැතිව කරබාගෙන ඇය කියන දෙයක් කරන බවද එකල පැතිර ගිය කතාවකි.    ඇය කුස්සියේ වැඩ කරමින් සිටි වෙලාවක දරුවා හැඬුවොත් " මොකද බොල තෝ කරන්නෙ, ඔය ළමය අඬනව ඇහෙන්නෙ නැද්ද? ගිහිං බලපියකො" ආදී වශයෙන් ආදරයෙන් සැමියා අමතන බව මට එකෙක් කියා ඇත.    ඉතිං අපේ යහළුවන් දෙන්නාද මොහුගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වූ අතර ඔහු ඒ උපකාරය ඉතා හොඳින් ඉටුකරදී ඇත.    දැන් මේ දෙන්නා බෝතලයක් සහ බයිට්ද රැගෙන ගොස් ඇත්තේ කරදුන් උපකාරයට කළගුණ සළකන්නටය.

බෝතලයද ඔතාගෙන ගෙදර මිදුලට ගිය දෙන්නා නම කියා ඔහු අමතා ඇත.   ඇවිත් ඉන්නේ කවුදැයි බලන්නට එළියට විත් තියෙන්නේ ෆොක්ස්ය.

" .....අයිය ඉන්නවද දන්නෑ!" මේ දෙදෙනා ඇසුවිට ඇය කතාබහකින් තොරව ගෙටගොස් ඇත.   ඉන්පසුව ගේ ඇතුලේ සිදුවූ කතාව මෙසේය.

"කවුද ඕයි?"

" අන්න තොගෙ කූටාලියො දෙන්නෙක් බෝතල් අරං පැලෙන්න ඇවිත් ඉන්නව, ගිහිං පැලිය!" 

කළගුණ සැළකීම පසෙක තැබූ මුන් දෙන්නා ඒ පයින්ම ආපසු හැරී ආවේ දෙවියන්ට පිං දෙමිනි෴

"අප්‍රේල් මාසයට ලියන පළමු පෝස්ටුව ලියන්නට අලුත් අවුරුදුදා වන තුරුම ඉන්නට විය.  මෙවර මා වැඩ අල්ලන්නේ මෙය පබ්ලිෂ් කිරීමෙනි.   බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන සියලුම හිතවතුන්ට හිතවතියන්ට වලියෙන් තොර සොමියෙන් බර බත බුලතින් සපිරි  කිරියෙන් පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපි සහ හැලපැට්ටාය."