Sunday, February 26, 2017

මහ රෑ පැමිණි මිතුරා, ලව් බෝට්,චෙපාකිගේ රෑ කෑම වේල සහ කොච්චියාගේ උදෑසන දකුණු ඉන්දීය ප්‍රේමය.


අප කලින් කතාකරගත් අකාරයට  කොච්චියා අපේ ගෙදර දොරේ සීනුව නාද කලේ හරියටම හවස දෙකටය.   කළින් කතාකරගත් ආකාරයයි කීවේ දවාලක සෙට් වෙන්නට කොච්චියා කළ යෝජනාවයි.    ඔහුගේ යෝජනාවට එකඟත්වය පළකරමින් මම කීවේ ස්ථානයද අවශ්‍ය අඩුම කුඩුමද මවිසින් සපයන බවය.    ඒ අනුව දහවල ආහාරයෙන් පසුව අපගේ හමුව සිදුකරන්නට යෝජනා එකඟත්වය පළකෙරුණු අතර හමුවේ අවසාන හෝරාව සම්බන්ධයෙන්  තීරණයක් ඒ වනවිටත් නොවුනේ හමුවේ අවසානය ගැන කලින් තීරණයකට ඒම නිශ්ඵල බව අප දෙදෙනා හොඳින්ම දන්නා බැවිනි.    නිශ්ඵල කියනවිට මට තව කතාවක් මතක්වේ.   එනම් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සේවය කරන සමයේ ඡායාරූප ශිල්පියෙක් වීමට මුළු හදවතින්ම කල උත්සාහය පිලිබඳවය.    ඡායාරූප ශිල්පය සම්බන්ධව කෙතරම් උනන්දුවක් තිබුණද ඒ සම්බන්ධව පාඨමාලාවක් හදාරා තිබුණද ඡායාරූප ශිල්පියෙක් වීමට අවශ්‍ය මූලික අංගය වන එස් එල් ආර් කැමරාවක් මා ළඟ  නොතිබීම හා කැමරාවක් මිළදී ගන්නට අවශ්‍ය මුල්‍ය ශක්තිය මා සතුව නැතිවීම මගේ හද පිරි ආශාවට හරස්වන සාධකයන් විය.    ඡායාරූප ශිල්පියෙක් වන්නට අවශ්‍ය කැමරාවක් මිලදී ගන්නට නොහැකිව සිටි හා සිටින බ්ලොග් පාඨකයන් බොහෝ දෙනෙකුට මෙවන් අවස්ථාවක මට ඇතිවූ හැඟීම වටහා ගන්නට හැකිවනු ඇතැයි මා අවංකවම සිතමි.    කැමරාවක් සඳහා එදා කළයුතු වියදම අද දවසේ සිනහවකින් මතක් කල හැකි වුවද එවකට ඒ මුදල මට මහමෙරක් මෙන් විශාල විය.    වැඩකට ගන්නට හැකි කැනොන් වර්ගයේ එස් එල් ආර් කැමරාවක් එදා තිබුණේ රුවන් ළඟ පමණි.   මට කරන්නට ලැබෙන වැඩ මා රුවන්ගේ කැමරාව ඉල්ලාගෙන කරගත් අතර රුවන්ද සිය කැමරාව මගේ වැඩ සඳහා පාවිච්චි කරන්නට නිර්ලෝභීව ඉඩ දුන් බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුමය.     ඒ කාලයේ රාජ්‍ය පරිපාලනයේ සිටි මීයා මවිසින් ගන්නා ලද නිශ්චල ඡායාරූප වලට  නමක් පටබැන්දේ මට නිශ්ඵල ඡායාරූප ශිල්පියා කියමිනි.

නැවතත් අපේ කතාවට පැමිණියහොත් කොච්චියාගේ පැමිණීම සමගම අපේ කර්තව්‍යය ආරම්භ විය.   කර්තව්‍යය කියනවිට මට තව කතාවක් මතක්වේ.    ඒ අසුව දශකයේ මුල් භාගයයි.   මම උදේ රස්සාවට ගියේ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි කුඩා දරුවා සමගය.    ඔහු එවකට ආනන්දයේ හයවෙනි වසරේ සිසුවෙක් විය.   ගෙදර සිට දුම්රිය පොළට තිබුණු දුර පයින් ගිය අපි දුම්රියට නැංගේ අපේ ගමේ තිබුණු කුඩා දුම්රිය පොළෙනි.    පසුකාලීනව අපේ උදේ ගමනට දේවි බාලිකාවේ හයවෙනි පංතියට තේරුණු ඔහුගේ කුඩා නැගණියද එකතු වුවාය.    අප එකට ගියේ ගෙදර සිට දුම්රිය පොළට පමණක් වූ අතර දුම්රිය පැමිණි විට මා මගේ සගයන් සිටි මැදිරියට ගොඩවූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් තම  තමන්ගේ මිතුරු මිතුරියන් සිටි මැදිරිවලට ගොඩවුහ.     මෙසේ කාලය ගතවුයේ අවුරුදු  ගණනිනි.    දැන් මේ කුඩා දරුවා යොවුන් වියේ එළිපත්තට එබිකම් කරන ගැටවරයෙකි.    ස්වභාවිකවම විය යුතු පරිද්දෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇතිවන ආකර්ෂණය ඔහුටද නොඅඩුව ඇතිවුන අතර ඒ අනුව ඔහුගේ ළපටි පෙම්වතිය වුයේ අපේ දුම්රිය පොළෙන්ම දුම්රියට නැග ගම්පහ නගරයේ පාසැලකට ගමන් ගන්නා  පාසැල් දැරියකි.    මේ සියළු දේවල් මා අඩුවක් නැතිව දැනගත්තේද මගේ කුඩා මිතුරාගෙනි.     අප දෙදෙනාගේම හිතවත් ජොලා මේ කෙල්ලට පටබැඳි නම වුයේ කර්තව්‍යය යන්නය.    කෙසේ වුවද වැඩිකල් යන්නට පෙර  කර්තව්‍යය තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තැබුවාය.   මගේ මිතුරා මේ වියොව දරාගත්තේ සැහැල්ලු සිනාවකින් වූ අතර ඉතා ඉක්මනටම තවත් පාසැල් කෙල්ලක් ඔහුගේ පෙම්වතිය වුවාය.    

ඒ කතාව මා සමග කිවේ ඔහුගේ නැගණියයි.    එසේ කියූ ඇය වැඩිදුරටත් කීවේ ඒ කෙල්ල එවකට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ලව්බෝට් නම් ඉංග්‍රීසි ටෙලියේ  රඟන නිළියක් වගේ බවය.    දවසක් අපි දෙදෙනාම ඇය නගින කෝච්චි පෙට්ටියට නැග කෙල්ලව දැක බලාගෙන ලව්බෝට් යනුවෙන් ඇගේ නම බවුතීස්ම කළෙමු.     කර්තව්‍යය සමග පලහිලව්ව එතනින් අවසන් වුවත් මේ සම්බන්ධයෙන් මට විසඳා ගත යුතු ප්‍රශ්නයක් ඉතිරිවිය.    එනම් කර්තව්‍යය සිය කුළුඳුල් ප්‍රේමයට පොල්ල තැබුවේ ඇයිද යන්නයි.     මට තිබු සම්බන්ධතා භාවිත කරමින් සොයා බැලු මට දැනගන්නට ලැබුණේ ලබාල වයසේදීම හොඳින් වැඩුණු අඟපසඟ සහිතව උස් මහත්වූ දැරියක්ව සිටි කර්තව්‍යය තමන් තරමට උස මහත නොවූ සිය පෙම්වතා ගැන යෙහෙළියන් විසින් කරන ලද විහිළු තහළු හේතුවෙන් මේ තත්වය ඇතිවූ බවය.

කර්තව්‍ය සම්බන්ධ කතාවද එතැනින් අවසන් වන අතර අපි නැවතත් මුල් කතාවට පැමිණෙමු.     නිවසට ආ විගසම මම කොච්චියාගෙන් විමසුවේ දහවල් ආහාරය ගත්තාද කියාය.      ඔහු දහවල් ආහාරය ලබාගෙන ඇති බව කී අතර මමද ඒ වනවිට ඉතා සුළු ප්‍රමාණයකින් දහවල ආහාරය ලබාගෙන තිබුණේ වෙනදා තරමටම කෑවොත් අප විසින් කරන්නට බලාපොරොත්තු වන කර්තව්‍යයට බාධා වන බැවිනි.    ඒ අනුව ප්‍රමාදයකින් තොරව අප දෙදෙනාගේ  සාදය ආරම්භ වූ අතර සෝඩා සහ අයිස් කැට පමණක්  මදුවිතට මුසු කරන්නට තබා  තිබුණේ  කෘත්‍රිම බීම වර්ග අප දෙදෙනාම පාවිච්චි නොකරන බැවිනි.     ඊට අමතරව එවෙලේම මිරිකාගත් දොඩම් ගෙඩි දෙකක යුෂ ස්වල්ප වශයෙන් බීමට මුසු කළේ පානයේ ඇති අමිරස අඩු කරන්නට උපකාරයක් වේය කියාය.    ඇත්ත වශයෙන්ම එය අප බලාපොරොත්තු වූවාටත් වඩා ප්‍රතිපලදායක වුයේ අප සිත් සතුටට පත් කරවමිනි.     හැලපි එවේලේම  සාදාගත් කටගැස්ම අපට ලබාදුන්නේ උණු උණුවෙනි.     මෙසේ ආරම්භ වූ අපේ කුඩා සාදය හොඳටම උණුසුම් වුණේ  ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 විස්ස තරඟය පටන්ගත් පසුවය.     බයිට් ගොඩක් තිබුණත් අන්තිමට හොඳම බයිට් එක උනේත් මැච් එකය.      මට වඩා මැච් ගැන පකීර් කෙනෙක්වූ කොච්චියා මැච් එක ලංකාව දින්නෑං පසුව කීවේ ලංකාව දිනන බව ඔහු හොඳින් දැන සිටි බවය.      මැච් එකත් අවසන්ව සාදය අහවර වෙන තුරුම කොච්චියා කියෙව්වේ කොච්චි හාමිනේගේ කොන්දෙ අමාරුව හේතුවෙන් චෙපාකිට හිතූ හැටියට සලකා ගන්නට බැරි උන බවය.

අවුරුදු විසි ගාණක් වැඩ කළ රටට සංචාරයකට ඇවිත් යන්නට බැරිද කියා මම චෙපාකිගෙන් අසමින් සිටියේ කලකට පෙර සිට වුවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොවීය.    චෙපාකිගේ ඥාති සොහොයුරෙක් විවාහ වුනේ මේ අතරවාරයේය.    මට කියා ඔහුව බන්දන්නටද චෙපාකි සෑහෙන උත්සාහයක් ගත් අතර විවාහයෙන් පසුව ජෝඩුව පදිංචි උනේද ළඟ පාතම තියෙන නිවසකය.    ඒ වගේ බැඳපු තවත් ජෝඩුවක් ගැන මගේ මතකය අලුත් වෙයි.    ඒ මීට අවුරුදු කීපයකට පෙරය.    ලංකාවේ දොස්තරවරියක් වූ කෙල්ල විවාහ වුනේ බෙල්ජියම් ජාතිකයෙක් සමගය.    බැන්දුවායින් පසුව මේ ජෝඩුව මා සමග ඉතා කුළුපග වුහ.     මේ ළඟදී මම ඔවුන්ට කතා කරන විට ඒ දෙපොල මෙරට අතහැර දා ලංකාවේ හික්කඩුවේ තනාගත් නිවසක පදිංචියට ගොස් සිටි අතර පැමිණි විගස තමන් බලන්නට පැමිණෙන්නය කියා මට දිගින් දිගටම කියා සිටියෝය.     අලුත බැඳපු චෙපාකිගේ ඥාති සොහොයුරා සිය බිරිඳද සමග ලංකාවේ සංචාරයකට ගියේ මෑතකදීය.    

ඔවුන් විසින්ද චෙපාකිට මේ රටට පැමිණෙන්නටය කියා ආරාධනා කරන ලද අතර කෙටි  සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නට  චෙපාකි කල්පනා කළේ ඊට පසුවය.    ඒ ගැන ඔහු මට දැන්වූ පසුව ඉතිරි හරිය සුදානම් කිරීම සුළු දෙයක් විය.    ඔන්න ඔය ආකාරයට චෙපාකි ගේ ගමන සිදුවූ අතර ඔහු මෙරටට ළඟාවූයේ යක්කු ගස් නගින මැදියම් යාමයේදීය.    චෙපාකි යුවළ පැමිණෙන තුරු කොච්චියාත් මමත් චෙපාකිගේ ඥාති සොයුරාත් ගුවන් තොටේ බලා සිටියෙමු.      චෙපාකි යුවළ නවාතැන් ගත්තේ ඔවුන්ගේ ඥාති සොහොයුරා සමග වූ අතර පැමිණි දාට පසුදා එම  නිවසේ චෙපාකිගේ සමාගමේ පැරණි සගයන් සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ  අතර කොච්චියාත් මමත් බ්ලොග්කරුවන් වශයෙන් එම සාදයට  ආරාධනා ලැබූවෙමු.

රාත්‍රී හතහමාරට පමණ සාදය ආරම්භවූ අතර කොච්චියාත් මමත් යද්දී ආරාධිතයන් බොහෝ දෙනෙක් පැමිණ මිදුලේ ලන්තෑරුම් එළියෙන් චෙපාකිගේ පැමිණීම සමරමින් සිටියහ.    මධුවිතට අවශ්‍ය කටගැස්ම සියල්ලම චෙපාකිගේ අතින් පිළියෙළ වී තිබුණේ ඔහුගේ ආශාව වූ මිතුරන්ට තම අතින්ම කෑම සාදා දීම සපුරා ගනිමිනි.   මදුවිත නිදහසේ ගලා යද්දී අනුපානයට ගීත ගැයීම ආරම්භ විය.   කොච්චියාට සහ මට චෙපාකි සමග අපේ කතා නිදහසේ කරගන්නට අනෙක් අයගෙන් ඉඩක් නොවූ අතර ඔවුන් කීවේ තමන්ට නොතේරෙන අපේ බ්ලොග් කතා නවතා දමා ඒ අය සමග ගී ගැයීමට එකතුවෙන ලෙසය.   මෙසේ නිදහසේ ඇදීගිය සාදය මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු ගලාගියේ චෙපාකිගේ ආශාව සපුරාලමිනි.    නිවෙස් බලා යන්නට සුදානම් වීම සඳහා රාත්‍රී ආහාරයට මට වාඩිවෙන්නට වුයේ තනිවමය.    ඒ මන්ද යත් චෙපාකි රාත්‍රියට ආහාර නොගන්නා බව කී අතර කොච්චියා රෑ කෑම අනවශ්‍ය බව කීවේ ගෙදර ගිහින්ද තව ටිකක් බීලාම රෑට කන්නට බව මම දැන සිටියෙමි.    චෙපාකි රෑට නොකන හේතුව මම ඔහුගේ ආදරණීය බිරිඳ චෙපීගෙන් ඇසු විට ඇය කීවේ බඩ මහත් වෙන නිසා චෙපාකි රෑට කෑම නොකන බවත් බයිට් ටිකක් වැඩියෙන් කාදමා නිදාගන්නා බවත්ය.   මටනම් රෑට කෑම නොකා ඉන්නට බැරිය.   ඒ නිසා චෙපාකි අපට රාත්‍රී ආහාරයට සුදානම් කර තිබු ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් සීනි සම්බෝල සහ මාළු හොදි සමග ගිල දැමු මම ඊට පසු චිකන් සහ සලාද සමග ප්‍රයිඩ්  රයිස් පිඟානකට සාධාරණය ඉටු කළේ මහන්සියෙන් හදපු කෑම  ඉතිරි කළහොත් චෙපාකිට ප්‍රශ්නයක් වන නිසාය.   වටලප්පන් කෝප්පයක් පළතුරු සමග කා රාත්‍රී ආහාරය අවසන් කළ මම කොච්චියාත් සමග චෙපාකි යුවළගෙන් සමුගෙන ගෙදර ගියෙමි.     ගෙදර ගියද මට ප්‍රශ්නයක් ඉතිරි වුණේ චෙපාකි රෑ කෑම නොකන එකය.   මන්ද යත් චෙපාකි යුවළ පසුවදා රාත්‍රි ආහාරය සඳහා අපේ ගෙදරට එන්නට නියමිත වූ හේතුවෙනි.    පසුවදා රාත්‍රී ආහාරය සඳහා එන චෙපාකි යුවලට රසට කෑම දෙන්නට හැලපි විචිත්‍ර කෑම වට්ටෝරුවක් සාදන්නට අර ඇඳ ගෙන සිටි අතර චෙපාකි ගේ රාත්‍රී උපවාසය හේතුවෙන් නොයෙකුත් වර්ගයේ කෑම සැදීම නිෂ්ඵල  කාර්යයක් වන්නේය.    මා චෙපාකිගේ රෑ කෑම වර්ජනය ගැන හැලපිත් සමග කීවේ පසුදා උදයේදීය.

"එතකොට මම මහන්සිවෙලා හදන කෑම කන්නෙ කවුදැ'?යි ඇසු හැලපි මගේ ඇඟට ගොඩවුනාය.

"ඔය ගැන දැන් මෙතන අපි දෙන්න කෙළගෙන වැඩක් වෙන්නෙ නෑ,කන විදියකට දෙයක් හදල දෙන්න බලමු' යි මා කීවේ හැලපිගේ ඔරොප්පුව සමනය කරන්නටය.    

ඒ අනුව සුදානම් වී සිටි මෙනුව සම්පුර්ණ සංශෝධනයකට ලක්කළ හැලපි වෙනස්ම මෙනුවකට පසුදින රාත්‍රී ආහාරවේල පිළියෙළ කරන්නට සුදානම් වුවාය.  පසුදා රාත්‍රියේ කල්වේලා නොඉක්මවා චෙපාකි යුවළ අප නිවෙසට පැමිණි අතර මගේ තවත් මිතුරෙක්ද පැමිණියේ විශේෂයෙන්ම පිංතුර ගන්නටය.   අපේ කතාබහ සමගින් සාදය නැගලා ගිය අතර චෙපාකිට කෑමට මවිසින් පිළියෙළ කරන ලද කටගැස්ම කමින් බෝතලයකට වටවී සිටියෙමු.    මෙහෙම කියනවිට මට තව කතාවක් මතක්වේ.    එනම් අපි බොනකොට අරක්කු තොපි බොනවනම් මදුවිත කතාවයි.  කලාකාරයන්,ප්‍රසිද්ධ අය විසින් කරන ලද මත්පැන් පානයක් ගැන මාධ්‍යයක ලියැවෙද්දී ලියන්නේ මදුබඳුන මදුවිත ආදී වශයෙනි.   ඔවුන් වීදුරුවේ දාගෙන කසිප්පු බීවද එය මදුවිතය.    එසේ  නොවන දුහුනන් වූ අපි වීදුරුවට ඩබල් බ්ලැක් දාගෙන බිව්වත් එය අරක්කුය.    මේ වෙනස ගැන මම මගේ හිතවතෙකු වූ කවියෙක්,නිවේදකයෙක්, ලේඛකයෙක්,ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ වරයෙක් ආදී ක්ෂේත්‍ර ගණනාවකම හපන්කම් දැක්වූ කලාකරුවෙක් සමග දවසක බීමක් පාවිච්චි කරද්දී ඔහුගෙන් මේ ගැන ඇසුවෙමි.

"මොන නම කිව්වත් වැඩක් තියෙනවද බං හොඳට වදින බීමක් නැත්නං? 

කියමින් මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දුන්නේය.   නැවත වතාවක් අපේ කතාවට ආවොත් සාදයේ සිටි කාන්තාවන් ඇතුලු අනෙකුත් අය කෑම මේසයට ඇවිත් බෙදාගෙන කෑවත් චෙපාකි මේසය පැත්ත පලාතේවත් නොආවේය.   මේ වැඩේ හොඳින් දැන  සිටි හැලපි කළේ ඇය විසින්පිළියෙළ කරන ලද ආප්ප,බිත්තර ආප්ප ආදිය පිඟන් පුරවා චෙපාකි මදුවිත සප්පායම් වෙමින් සිටි තැනට යැවීමය.   චෙපාකි ඇතුලු එතන සිටි අපි සියළු දෙනාම කිසි අදිමදියකින් තොරව බඩකට පුරා ආප්ප කෑවෙමු.    මහත් වෙනවාට බයෙන් රෑට නොකන චෙපාකිට අප කන්නට දුන්නේ ඔන්න ඔය ආකාරයටය.  අපේ සංග්‍රහ කෙසේ වුවද කලකට පසු සිදුවූ චෙපාකි යුවලගේ මෙරට සංචාරය ඔවුන්ට හුරුපුරුදුව සිටි කෑම පිළිබඳව තිබු බොහෝ ඇරියස් කවර් කරගන්නට ඔවුන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඇති බව නම් විශ්වාසය.    දැන් ඉතිං කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇති බව පෙනීයයි.    ඊට පෙර කියන්නට තවත් කතාවක් ඇත.   දකුණු ඉන්දීය සම්ප්‍රදායික කෑම් බීම් වලට ප්‍රිය කරන්නෙකු වූ කොච්චියා මේ නගරයේ ඇති දකුණු ඉන්දීය අවන්හල් සැමෙකකින්ම පාහේ කමින් බොමින් ඔහුට පුරුදු රස සොයයි.    ඔහුගේ මේ විනෝදාංශය ගැන දවසක් පෝස්ටුවක් ද ලියා තිබුණා මට මතකය.    

දිනක් ඔහු මටද ඔහු සමග උදෑසන කෑම වේලකට එකතුවෙන ලෙස ආරාධනා කළ විට මමද ඔහු සමග ගොස් උදේට කෑවෙමි.    දකුණු ඉන්දීය පාතරාසය  අතිශය ප්‍රසන්න අත්දැකීමක් වුවද පොඩි ප්‍රශ්නයකට තිබුණේ වැඩේ පටන්ගන්න වේලාවය.     මන්ද යත් සතිඅන්තයේ පළමු දිනය වන සිකුරාදා සාමාන්‍යයෙන් අපි තරමක් දහවල් වෙනතුරු නිදා ගන්නෙමු.    නමුත් කොච්චියා උදේට කෑමට යන්නේ උදේ හතට පමණ වීම තරමක අවුලක් විය.    දකුණු ඉන්දීය කෑම තිබෙන හැම අවන්හලකටම ඔහු නොයන අතර යන්නේ ඔහු සිත්ගත් අවන්හල් කීපයකටය.   මේ ගැන මා කොච්චියාගෙන් ඇසුවිට ඔහු කීවේ දකුණු ඉන්දීය කෑම තිබුණු පමණින් අවන්හලක් දකුණු ඉන්දීය නොවන බවත් කෑමට අමතරව දකුණු ඉන්දීය ගතිය (South Indian Spirit) ද එම අවන්හලේ තිබිය යුතු බවය.  
මේ ලඟදි දවසක දවාලේ මා සමග බෝතලයකට සෙට්වුණු කොච්චියා පිටත්වී යනවිට මා සමග කතාකරගත්තේ පහුවදා උදේට කන්නට දෙන්නාම එකතුව යන්නටය.   දහවල කරන ලද කර්තව්‍යය සෑහෙන දිග දුර ගිය නිසා මම කළින්ම නින්දට ගියෙමි.    මළාක් මෙන් නිදාගත් මට පසුදා උදේ ඇහැරුණේ කන ළඟ නාදවූ දුරකතනයේ සද්දයටය.   වෙලාව බැලු විට උදේ හතයි හතළිස්පහවූ අතර කොච්චියා කතා කළේ මාවත් එක්ක යන්නට ලඟම එන බව කියන්නටය.     කරකවා අතහැරියාක් මෙන්වූ මා ඉක්මනටම කීවේ මා තාම නිදියහනේ නිසා ඔහුට යන්නට කියාය.   නිදාගන්නැයි කියූ කොච්චියා මට බැන වදිමින් තනියම කන්නට ගියේය.   ආයෙම ඔහු මට උදේ කන්නට කතා කළේ ඊයේය.    ඊයේ නම් බැණුම් අහන්නට බැරි නිසා කළින්ම  ඇහැරුණු මම කොච්චියාගේ සුඛෝපභෝගී වාහනයට නගිද්දී වෙලාව හතයි හතළිහය.    ළඟ පාත තිබූ මලබාරි අවන්හලකින් වඩ සමග උප්පුමා කෑ අපි දකුණු ඉන්දීය කිරි තේ එක බොන්නට ගියේ වෙනත් අවන්හලකටය.   අපි දෙන්නා කාපු රස කෑම වේල ඔබ සමග බෙදා ගන්නට මම කැමරාව අරගෙන ගිහිං පින්තුරයකුත් ගත්තෙමි.    පිංතුරයේ මගේ කෑම පිඟානට ඉදිරියෙන් තම පිඟානට උප්පුමා බෙදා ගන්නේ කොච්චියාය෴

ප.ලි :චෙපාකි ගේ සංචාරයේ පිංතුර මේ වනතුරුත් මට ලැබී නොමැති බව කරුණාවෙන් සළකන්න.