Monday, January 30, 2017

පාන් කාඩ් පාන් පෝලිම් හාල් පොලු සමග සාගත සමය සහ ඉංග්‍රීසි දෙමළ පරිවර්තකයා.


අලුත් අවුරුද්දේ අලුත් කතාවක් ලියන්නට අවුරුද්ද පටන් ගත්ත දා ඉඳන් දත මැදගෙන හිටියත් ලියාගන්නට බැරිවිය.    ඒ වෙන මොකුත් නොව නොලැබීමය, නොලැබීම කොපමණද කිව්වොත් රටේ බොහොමයක් උදවිය අලුත් අවුරුද්ද ලබද්දී  බොහොම නිස්කලංකව සතුටින් නිවාඩු ගතකරන්නට රට තුළත් පිටරටත් ගිහිං අලුත් අවුරුදු උදාව විවේක ඇතුව විඳිනවිට සතුටින් කාලය ගතකරනවිට මෙහේ ඉන්න අපි අලුත් අවුරුදු උදාවට සතියක් තියා පටන්ගත් දුෂ්කර ක්‍රියා තවමත් ඉවරකරගැනීමට බැරිව ඉන්නෙමු.   පහුගිය කාලය තුළ හරියට එළිවෙනතුරු නිදාගත් දවසක් මතක නැත.   මහ රෑ දෙමන්දම යක්කු ගස් යන යාමයේ ගෙදර විත් නැවතත් බිමට එළිය වැටෙන්නට පෙර ගෙදරින් පිටත්වී ආයෙම එන්නේ මහ රාත්තිරියේය.    බොහෝවිට කෑම බීම ගැන ඇති ආසාව අත්හරිමිනි.    අපට ලැබුවාවූ සුබ අලුත් අවුරුද්ද අන්න ඒ ආකාරයය.  අලුත් අවුරුද්ද අපේ සමහරක් උදවිය ලියන්නේ අළුත් අවුරුද්ද කියාය, පහුගියදා අපෙන්  සමුගෙන ගිය හිතවත් ඩී.එෆ්.කාරියකරවනයන් හිටියානම් නිසැකවම අහන්නේ අවුරුද්දට අළු මොනවාටද කියාය.

කොහොමටත් මේ මාසයට එක සටහනක්වත් ලියන්නට උත්තේජනය ලැබුණේ රසික ලියු මේ පෝස්ටුවෙන් හා සුදීක ලියු මේ පෝස්ටුව යන පෝස්ට් දෙකෙනි.    පාන් කාඩ් අත දරාගෙන පාන් පෝලිමේ සිටි යුගය සුදීක මතක් කර තිබුණි.    එය කියවද්දී මටද මතක් වුනේ මේ කාලය අපිත් පසුකළා නොවේද කියාය.  ඒ සමගම පාන් කාඩ් පාන් පෝලිම් අතීත මතක අවදිවන්නට විය.    පාන් පෝලිම් පාන් කාඩ් දැක තිබුණත් මට අපේ ගමේදී පාන් පෝලිම්වල ඉන්නට සිදුවුණේ නැත.   ඒ කතාව මෙහෙමය.    අපේ ටවුමේ තිබිණු ගාමිණී හෝටලය සහ බේකරිය රසවත් පාන් ගැන අහල ගං පළාතේම නම් දරා තිබු තැනකි.   ගෑස් වලින් පාන් පිච්චීමක් ගැන අහලාවත් තිබුනෙ නැති ඒ කාලයේ උදේට හවසට ගාමිණි බේකරියේ දරපාන් පිච්චෙන  සුවඳට අපි වගේ කොල්ලන්ගේ මතු නොව ඒ සුවඳ විඳින කාගේත් රස නහර කිති කැවී යන්නේ නිරායාසයෙනි.   ඒ නිසාම ගාමිණියේ පාන් වලට අපේ පළාතේ අයගෙන් තිබුණු ඉල්ලුම හරිම ඉහළය.     මේ ආකාරයට පළාතටම රස පාන් දුන්න ගාමිණියට නරක කාලය ලැබුවේ හැත්තෑවේ පත්වුණු මැතිනිගේ ආණ්ඩුව ආනයන වලට තද සීමා පැනවීමත් සමගය.    ගෙදරට කෑමට තමන්ම වගාකරගන්නා සහ හාල් පොල් ඇතිවෙන්නට තිබුණු උදවියට මේ සාගතය කොහෙත්ම නොදැනුනත් තමන්ගේ කෑම බීම කඩෙන් මිළදී ගන්න අයට මේ සීමාවන් තදින්ම දැනුණු බව ඊට පසුකාලීනව ඇතිවූ සිද්ධීන් සමග හිතාගන්නට හැකිවිය.     පාන් පෝලිම් පාන් කාඩ් ආවේ මේ යුගයේදීය හාල්පොලු මිරිස් පොලු හඳුන්වා දුන්නේ මේ යුගයේදීය.

ගෙදර කන්නට හාල් පොල් තිබුණත් කඩ කෑමද  කන සිරිතක් තිබුණු අපේ ගෙදරට ඔය කියන පාන් කාඩ් තිබ්බ කාලයේ පවා සිතුසේ පාන් ගන්නට කරදරයක් නොතිබුණේ ගාමිණියේ මුදලාලි අපේ තාත්තලාගේ දීර්ඝ කාලීන යාලුවෙක් නිසාවෙනි.    මුදලාලි බෙන්තර සිට ඇවිත් අපේ ටවුමේ කඩේ පටන්ගත්ත කාලයේ පටන් ඇතිවී තිබුණු යාළුකම හේතුවෙන් මුදලාලි අපේ නැන්දාට විවාහ යෝජනාවක්ද කර තිබු බවත් මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ඒ මඟුල නොකෙරුණත් මුදලාලි සමග තිබු හිතවත්කම් ඒ විදියටම පැවතගෙන ඇවිත් තිබුණ නිසා පෝලිමේ සිට කාඩ් එකට පාන් ගත්ත කාලයේ පවා අපට ඒ සීමාවන් නොතේරුනි.    ඒ නිසා හවසට පාන් ගේන්නට ටවුමට යන මට අවශ්‍ය පාන් සීමාවකින් තොරව ගාමිනියෙන් ලබාගන්නට පුළුවන් විය.    මට පාන් පෝලිමේ ඉන්නට සිදුවුයේ අපේ ටවුමේ නොව නුවර ටවුමේය.    ඒ කතාව මෙහෙමය.  

හැත්තෑවේ ආණ්ඩු පෙරළියෙන් පසු යු.ඇන්.පී කාරයෝය කියා වරකාපොළ පොලීසියේ වැඩකරපු අපේ මාමාත් බෝතලේ ඉස්කෝලෙ උගන්නපු නැන්දාත් පැය විසිහතරෙන් මාරුකරනු ලැබිණි.    මාමාව මාරු කළේ නුවර පොලිසියටය.     නැන්දා තව කොහෙද ඈත පළාතකටය.    කෙසේ හෝ නුවර සිට යන්නට හැකි ආකාරයට නැන්දාගේ මාරුව පුජාපිටිය ඉස්කෝලයට මාරු කරගන්නට මාමාට හැකිවිය.   දඬුවමට මාරු කළත් එය ඔවුන්ගේ ජීවිතයට ආශීර්වාදයක්ම උනේ ගමේ ඉස්කෝලෙට ගිය ළමයින් නුවර ලොකු ඉස්කෝලවලට ඇතුල් කර උගන්නන්නට හැකි උන නිසාය.    පසුකාලීනව ඒ පැත්තේම මාරුවෙවී හිටපු නැන්දාත් මාමාත් ආපහු ගමට ආවේ රස්සාවෙන් පැන්ෂන් ගියාටත් පසුවය.   ඔය කාලයේ ගෙවල්වල අය නුවර නෑගම් යන්නේ ගමේ කොස් දෙල් අල බතල කුඹුරේ හාල් ආදිය පොදි බැඳගෙන නිසා ඒ අයට කෑමෙන් බීමෙන් කවදාවත් කරදරයක් නොතිබුණි.   ඕ ලෙවෙල් ඉවරකර ගෙදර හිටපු කාලයේ මමත් සෙල්ලමට වගේ මාමලාගේ ගෙදර ගියේ ඒ අයට හිටපු ක්වාටස් එකෙන් වෙනත් අලුත් එකකට මාරුවක් ලැබී තිබුණු නිසා ගෙවල් මාරුවට උදව් කරන්නටය.    හවසට පොලිසියට ඩියුටි යන මාමා මාවත් එක්කගෙන බේකරියට ගිහින් පාන් කාඩ් එක මගේ අතට දී පෝලිමේ තියන්නේ පහුවදා උදේට කන්නට පාන් ගෙනියන්නටය.    බේකරිකාරයා මාමා  පොලිසියේ නිසා මට පාන් ගෙඩි දෙකක්ම දුන් විට මම ඒවාත් අරගෙන ගෙදර යමි.    හවසට ක්වාටස් එකේ ලොකු කොල්ලන් එක්ක බෝල ගසා ඇඳිරි වැටුණු පසුව කට්ටියත් එක්ක නුවර ටවුමෙන් ප්ලේන්ටි බී සිකරැට් එකක්ද හොරෙන් ඇද හිමිහිට ගෙදරට රිංගමි.      ඒ වැඩේ වැඩිකල් කරගෙන යන්නට නොලැබුණේ නුවරට ආයුබෝවන් කියා ආපහු ඉස්කෝලෙ යන්නට ගෙදර එන්නට වූ බැවිනි.

පාන් පෝලිම්  සොමිය අපි ගත්තේ ඔන්න ඔය අකාරයටය.   පාන් පෝලිම් කෙසේ වෙතත් හාල් පොලු නිසාවෙන් ගෙවල්වල වී හාල් තිබුණු අයගෙ කරල පැහුණු බව මට මතකය.   ඒ සුළු පරිමාණ හාල් ජාවාරම හොරට කරගෙන යන අය ගෙදරටම ඇවිත් නොවටිනා මිල ගණන් කතාකර හාල් අරගෙන යන නිසාය.   එහෙම හාල් අරගෙන මොන උප්පරවැට්ටියක් හෝ දමා හාල් ටික පොල්ලෙන් පන්නාගෙන ගොස් සල්ලිකාරයන්ට ලොකු ගණන් වලට හාල් විකුණති.     ගෙවල්වල හාල් පොල් ඉවරවෙලානම් අහල පහල ගෙදරකින් හාල් සේරුවක් පොල් ගෙඩියක් ණයට ඉල්ලාගෙන එන එක ඒ කාලේ සුලබව දකින්නට තිබුණු සිරිතක් උනත් දැන් නම් ඒ සිරිත නැත්තටම නැතිවී ගොස් ඇති බව පෙනේ.   මේ ක්‍රමය ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද තිබෙන සිරිතක් බව මම අත්දැක ඇත්තෙමි.   එනම් අපි මදුරාසියේ පදිංචිවී සිටි කාලයේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර උයන්නට හිටිය කෙල්ල ගෙදර බොම්බයි ලූණු තක්කාලි ආදිය නැති නම් අපේ ගෙදරට ඇවිත් ලූණු ගෙඩි තුන හතරක් තක්කාලි ගෙඩියක් දෙකක් ඉල්ලාගෙන යන්නට පුරුදුවී හිටපු නිසාය.    අල ලූණු තක්කාලි ආදිය කිලෝව රුපියලට දෙකට පාර අයිනේද මාරකැට්ටුවේද විකිනුනු ඒ කාලයේ ඉල්ලාගෙන ගිය දේවල් ආපහු ලැබුණාද නොලැබුනාදවත් කියා බලන්නට අවශ්‍යතාවක් නොවුනේ කෑම ජාතිද එළවළු පලාද එදා විකිණුනේ ඉතාම ලාබෙට නිසාය. 

මදුරාසියේ පාර අයිනේ එළවළු විකිණෙන හැටි කියපු විට මට තවත් කතාවක් මතක්විය.   ඒ අපි එග්මෝර්හි ගෙදරක පදිංචිවී සිටි කාලයයි.    දවසක්දා හවස මම පාගන බයිසිකලයේ නැගී මගේ  සුපුරුදු වීථි සංචාරය කරමින් සිටියෙමි.   මගේ හවස වීථි සංචාරයේ අරමුණු දෙකක් විය එකක් ව්‍යායාමයයි අනික ගෙදරට බඩු මිලදී ගෙන ඒමයි.     කොහේ රවුම ගැහුවද සංචාරය අවසන් වෙන්නේ එග්මෝර් හයි රෝඩ් එකේ මාරකැට්ටුවෙනි.   මාකට් එකේ ඉස්සරහ පඩිය උඩ තියාගෙන එළවළු පළා විකුණන වෙළෙන්දියන් එදවස මගේ හොඳම හිතවත් උදවිය වුහ.     ඒ අයට දෙමළ ඇරෙන්නට වෙන භාෂාවක් බැරි නිසා කතාකලේද බඩුවල ගණන් කීවේද දෙමළෙනි.     ඉතිං මටත් බඩු ගන්නවා නම් එයට අනුගත වනු හැරෙන්නට වෙනත් ක්‍රමයක් නොවුයෙන් මම අහුලාගත් කැඩිච්ච දෙමළෙන් උන් සමග කතාබහ කර ගනුදෙනු කළෙමි.      මම ලංකාවේ යැයි නොදන්නා ඒ අය මාව හැඳින්වුයේ මලයාලම් කාරයා වශයෙනි මා ඒ බව දැනගත්තේද අපූරු විදියකටය.     දවසක්දා එක් කාන්තාවක් ළඟ වරකා ගෙඩියක් කපා තිබුණේ විකුණන්නටය.    ඒ දුටු මම කොස් ඇට ටික මට දෙන්නටැයි කියා ගෙනියන්නට හවස එන බව කීවෙමි.    හවස කොස් ඇට ගන්නට ගිය විට වෙළෙන්දිය නොසිටි අතර එතැන වෙළඳාම කරමින් සිටියේ ඇයගේ පුතාය.     මම ගිහිං සිලි කවරයක බහා පැත්තක තබා තිබු කොස් ඇට ටික උගෙන් ඉල්ලුවෙමි.     ඌ ගත්කටටම කීවේ කොස් ඇට ටික මලයාලම් කාරයෙකුට විකුණන්නට අම්මා පොරොන්දු වී ඇති බැවින් මට කොස් ඇට දෙන්නට බැහැයි කියාය.    ඒ මලයාලම් කාරයා වෙන කවුරුවත් නොව මම්ම නොවේදැයි කී මම කොස් ඇට ටිකට මුදල් දී රැගෙන ආවෙමි.     මම කියන්නට ආපු කතාව මෙහෙමය.    සුපුරුදු පරිදි දවසක්දා හවස්වරුවේ සයිකල් සංචාරයෙන් පසු  මාකට් එකේ වෙළෙන්දියන් සමග මම ඕපාදූප කතාකරමින් සිටින විට එතැනට පැමිණියේ තවත් ඉන්දියානුවෙකි.     ඔහු උතුරු ඉන්දියානුවෙක් බව මට බැලු බැල්මට පෙනීගියේය.    ඔහුට අර්තාපල් කිලෝවක් ගන්නට උවමනාවී තිබුණු නමුත් ඔහු කතාකළ ඉංග්‍රීසිය වෙළෙන්දියන්ට තේරුණේ නැත.    උතුරු ඉන්දියානුවා හින්දිත් ඉංග්‍රීසිත් ඇරුනුවිට දෙමළ නොදනී.     වෙළෙන්දියන් මා දෙස බැලු විට ලංකාවේ මම ඉදිරිපත්වී ඉන්දියාවේ දෙන්නෙකුට පරිවර්තන කාර්යය කරදුන්නෙමි.

අපි පදිංචිවී සිටි බිල්ඩිමේ බිම් මහලේ එක ගෙදරක කමලා කන්නන් මහත්මිය සිය සැමියා සහ දුව සමග පදිංචිවී සිටියාය.     ඇය එවකට තමිල්නාඩු රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරිය වුවාය.     ප්‍රංශයේ පදිංචිව සිටින ඇගේ පුත්‍රයා ඉන්දියාවට ආවේ විවාහ වන්නටය.    ඒ මංගල්‍යයේ සිදුවූ දේවල් ගැන මා මීට කලින් පෝස්ටුවක ලියා ඇත්තෙමි.   ඇයගේ දුවත් රැකියාවක් කළාය.     ඒ බොහෝවිට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරියක් ලෙස විය හැකිය.    ඇය ගැනත් කියන්නට කතාවක් ඇති නමුත් ලියන්නට වෙලාව මඳකම නිසා ඒ කතාව ලිවීම පසුවට තබමි෴