Thursday, June 8, 2017

අහසින් එන්නන්ගේ මංගල්‍යය,කන්‍යාකුමරි සවාරිය,මනපාඩ් ,කොටි උද්ඝෝෂණ හා හාමතේ සිටි මඟුල් ගෙදර.

අද මම ලියන්නට යන්නේ මඟුලක් ගැන කතාවකි.  ඒ මීට සෑහෙන කලකට පෙර මා සහභාගිවූ මඟුලකි.   ඊට පෙර මීට දින කීපයකට පෙර ගිය මගුලක් ගැන මහක්වේ.   ඒ අපේ සොයුරු බ්ලොග් කරුවෙක් සහ බ්ලොග් කාරියෙක්ගේ මඟුලකි.   අප කවුරුත් දන්නා පරිදි ඒ අහසින් එන්න බ්ලොගය ලියන කසුන් සහ නිර්මාණි ගේ මගුල් ගෙදරයි.    එදා ඒ මඟුල් ගෙදරට එකතුවූ දුටු හා නොදුටු බ්ලොග් කරුවන් බ්ලොග් කාරියන් හමුවීම මහත් ආශ්වාදයක් විය.   නව යුවල සහ පවුලේ උදවිය අපව ආදරයෙන් පිළිගෙන සංග්‍රහ සත්කාර කළහ.   උත්සව ශාලාවල පැවැත්වෙන වෙන මඟුල් වලදී එන අමුත්තන්ට පිළිගැන්වෙන වෙල්කම් ඩ්‍රින්ක් එකට අමතරව අවශ්‍ය අයට කෑමට කැවුම්, කිරිබත්, ආස්මී ඈ දේශීය කෑම වර්ගද නොමඳව තිබුණද රස බලන්නට නොහැකි වුයේ අප එන අතරමඟදී බඩගිනි දැයි අසා සජ්ජා අරගෙන දුන් පැටිස් රෝල්ස් ආදියෙන් බඩ පුරවාගෙන සිටි නිසාත් අපේ අයට මද්‍යපාන සංග්‍රහයට සහභාගී වන්නට තිබු නොඉවසිල්ල නිසාත්ය.    ජෝඩුව ගැන නම් මට දුකත් සිතුණේ අපි ආපු වෙලාවේ සිට ආපසු යනතුරුම උන් දෙන්නා හිටිදාරණේ එකතැන හිටගෙන ආපු අය පිළිගැනීමත් සමුදීමත් කළා හැරෙන්නට වෙනත් තැනකට යන්ටවත් අවස්ථාවක් නොලැබුණු එකටය.  කෙසේ වුවද රසවත් දිවා භෝජන සංග්‍රහයෙන් පසු අපි නව යුවළට සුබපතා සමුගෙන  ආපසු එන්නට පිටත් වුණේ සෑහෙන දුරක් ආපසු එන්නට තිබු නිසාවෙනි.   එන්නට කඩිනම් වූ නිසාවෙන් අටමා නව යුවළට සුබ පතා කරන්නට යෙදුණු සාරගර්භ කතාවද අහගන්නට නොහැකිවිය.

ඊළඟට කියන්නට තිබෙන්නේ අනික් මඟුල ගැන කතාවය.   ඒ මීට සෑහෙන කාලයකට පෙර මා ඉන්දියාවේ චෙන්නායි හිදී සහභාගී වූ මඟුලකි.   ඒ මඟුලේ මනාලිය වුයේ අපේ හිතවත් අසෝකන් ගේ සොහොයුරිය වූ අතර මනාලයා ලංකාවේ සිට පැරිස් වල‍ට සංක්‍රමණය වූ තරුණයෙකි.   අසෝකන් ගැන මා මීට පෙරද ලියු කතාවල සඳහන් කර ඇත්තෙමි.   අසෝකන්ලා ලංකාවේ ඉපදී හැදී වැඩී සිරිමා ශාස්ත්‍රී ගිවිසුම හේතුවෙන් ඉන්දියාවට සංක්‍රමණය වූ පවුලකි.   අසෝකන්ගේ පියාවූ මනවෙයිතම්බි දැඩි වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු මෙන්ම දේශපාලනයේ යෙදෙන්නෙකු ද  වීම නිසා ආණ්ඩුවට ඇණයක් වී සිටීමද ඔහුගේ පවුල පිටින්ම ඉන්දියාවට පිටත් කරන්නට තෝරාගැනීමට වැදගත් හේතුවක් වී ඇත.   ගිවිසුමට අනුව ඉන්දීය රජය ඔවුන්ට ඉන්දියානු  පුරවැසි භාවය ලබාදී ඉන්දියාවේ පදිංචි වෙන්නට පහසුකම් ද සලසා ඇත.   ඉන්දියාවට පැමිණි අසෝකන්ලා පදිංචි කරවා ඇත්තේ තමිල්නාඩුවේ දකුණු මුහුදු තීරයේ සුන්දර ධීවර ගම්මානයක් වූ මනපාඩ් නම් ගමේය.    මනපාඩ් පිහිටියේ කන්‍යාකුමරි නගරයේ සිට කිලෝමීටර් 77 කට ආසන්න දුරකිනි. අසෝකන් ලාගේ පියාට ඔහුගේ දේශපාලන වැඩ හේතුවෙන් මනපාඩ් හි පදිංචිව සිටීම අපහසුවක් බැවින් පවුල පිටින්ම මදුරාසියට පදිංචියට පැමිණ ඇත.   අපි පසුකලෙක අසෝකන් සමග කන්‍යාකුමරි ගිය වෙලේ අසෝකන්ලා මුලින්ම පදිංචිවී සිටි ගම බලන්නටද ගියෙමු.

චෙන්නායි එග්මෝර් දුම්රිය පොළෙන්  හරියටම  සවස 5.30 ට පිටත්වන කන්‍යාකුමරි එක්ස්ප්‍රස් ශීඝ්‍රගාමී දුම්රිය පසුදා උදේ 6.30 වනවිට කන්‍යාකුමරි දුම්රියපොළට ළඟාවේ.   උදේ පාන්දර දුම්රියෙන් බට අප හෝටල් කාමර වෙන්කරගෙන එදා දවසම නගරයේද දුපතේද රවුම් ගසා පසුදා උදේ පාන්දරින්ම නැගිට සුප්‍රසිද්ධ කන්‍යාකුමරි ඉර උදාවද නරඹා කාර් එකක් කුලියට ගෙන මනපාඩ් වෙත ගියෙමු.   අසෝකන්ලා මුලින් පදිංචිවී සිටි ඉඩම්වල දැන් ඔහුගේ බාප්පා පවුල පිටින්ම පදිංචිවී සිටිමින් ධීවර කර්මාන්තයේ යෙදෙයි.   ට්‍රෝලර් බෝට්ටු කීපයක් මුහුදට දමා ඇති ඔහු මාළු මුදලාලි කෙනෙකි.   මනපාඩ් වෙරළ තීරය සැබවින්ම අලංකාර  එකකි වෙරළට ඉහලින් පිහිටි කතෝලික පල්ලියද ඊට උඩින් ඇති පහන් ටැඹ ද මවන්නේ අතිශය සුන්දර දසුනකි.   මූදට පනින්නට තිබු හදිස්සිය නිසාම ගෙනගිය බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලයෙන් වීදුරු දෙකක් ගිලදැමූ අප දෙදෙනා පොඩි උන්ද සමග දවල් කෑම ලෑස්ති වෙනතුරු මුහුදට ගිය අතර ආපසු එද්දී සෑහෙන දවල්වී තිබිණි.   ඒ අතර කලකින් විදේශීය මත්පැනක් දුටු අසෝකන්ලාගේ බාප්පා අප එද්දී බෝතලයෙන් සෑහෙන ප්‍රමාණයක් හිස්කර දමා වෙරිමරගාතේ ඇඳට වැටී නොනවත්වා දොඩවමින් සිටියේය.  ඔහුට එහෙමම නින්ද ගිය අතර නැගිට්ටේ පසුදා උදයේය.   පසුදා උදයේ අප අසොකන්ලාගේ බාප්පා සමග වෙරළට ගියේ මාළු ඔරු ගොඩ එනු බලන්නටය.   රාත්‍රියේ ඔරුවලින් අල්ලා ගොඩට ගෙන එන අලුත් මාළු ගොඩගසා එතනදීම වෙන්දේසි කෙරේ.  එවෙලේම ඔරුවකින් ගොඩ බෑ තෝරා කුරියන් කීප දෙනකු ඔහු මිළට ගත්තේ අපේ උදේ ආහාරයටය.   ගෙදර ගෙනා තෝර කුරී අසොකන්ලාගේ පුංචිඅම්මා විසින් කපා කිරට උයන ලදී.   ඉන්පසුව ඇය ඉඳීආප්ප තැම්බූවේ ඉඩ්ලි කුකරයට ඉඳිආප්ප වක්කරලාය.   ඒ උදේ ආහාරය කෑ හැලපි කීවේ එතරම් රසවත් කෑමක් කවදාවත් කන්නට ලැබී නැති බවය.   උදේ ආහාරයෙන් පසු මනපාඩ් සිට තිරුචෙන්දුර් වෙත පැමිණි අපි එදින සවස දුම්රියෙන් ආපසු චෙන්නායි බලා පැමිණියෙමු.

නැවතත් කතාවට ආවොත් මනපාඩ් හි සිට මදුරාසියට පැමිණි මනවෙයිතම්බි රැකියාව වශයෙන් සංචාරක ඒජන්සියක් ආරම්භ කළේය.   ඊට අමතරව ඔහුට උණක් තිබු දේශපාලනයටද නොමඳව සහභාගිවිය.   ඇම්.කරුණානිධි ඔහුගේ ලඟම හිතවතෙකු වූ අතර තමිල්නාඩුවේ සිටි විවිධාකාර අන්තවාදී දේශපාලකයන් ඔහුගේ මිතුරන් විය.   පියාගේ ඒජන්සියේ විවිධ වැඩ කටයුතු වලට අපේ කාර්යාලයට එන අසෝකන් ඉක්මනටම අප සමග හිතවත් විය.   අසෝකන් අපට හිතවතෙක්,මාර්ගෝපදේශකයෙක්, මෙන්ම අත් උදව්කරුවෙකුද විය.   මේ මම කියන කාලය චෙන්නායිවල ලංකාවට විරුද්ධව උද්ඝෝෂණ, රැළි හා පෙළපාලි අඩුවක් නැති සමයක් විය.   එනමුත් චෙන්නායි නගරයේ පදිංචිව සිටි අපට නම් කිසිම කරදරයක් සිදුවුණේ නැත.   ඒ සමය කොටි සංවිධානය සෑහෙන ජයග්‍රහණ රැසක් අත්කරගෙන තිබු කාලයක් වූ බැවින් කොටි සංවිධානයේ මුදලින් යැපුණු චෙන්නායිහි අන්තවාදීන්ට ලංකාවේ වෙනම රාජ්‍යයක් බිහිවීම අතේ දුරින් පෙනුණු කරුණක් නිසා ලාංකිකයන්ට හිරිහැර කිරීම අනවශ්‍ය යැයි ඔවුන් සිතා සිටියා වියහැක.   කෙසේ වුවද අපි චෙන්නායි හි ඇති නිදහස් වාතාවරණය නොමඳව අත්විඳිමින් සිටියෙමු.   තත්ත්වය එසේ වුවද මාස කීපයකට වරක් තමිල්නාඩුවේ ධීවරයින්ට ලංකා නාවික හමුදාවෙන් හිරිහැර කරනවා යැයි කියමින් පෙළපාලියෙන් විත් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වීම සාමාන්‍ය දෙයක් විය.(එදවස ධීවර බෝට්ටු  වලින්ද මාළු අල්ලන මුවාවෙන් කොටින්ට ආයුධ ගෙනැත් ගොඩබාන නිසා නාවික හමුදාව ධීවර බෝට්ටු කෙරෙහිද තද ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කොටි සංවිධානයට හිසරදයක් විය)  මේ පෙළපාලි සංවිධායකයින්ට ඒ සඳහා කොටි සංවිධානයෙන් මුදල් ලැබේ.   වැඩේ සද්දය තියෙන්නේ ලැබෙන මුදලේ තරමටය.     ඇතිවෙන්නට බඩකට පුරා මුදල් ලැබුණොත් වැඩේ මහ සද්දෙන් කෙරෙන අතර මුදල අඩුනම් සද්දයද අඩුය.  මේ මොන උද්ඝෝෂණ,පෙළපාලි, විරෝධතා  තිබුණත් ඒ සියල්ලම අපි  ලංකාවට වාර්තා කළ යුතු විය.  නිකම්ම නොව ඡායාරූප ද සමගින්ය.   කාර්යාලයේ සිටි පිංතුර කාරයා වීම හේතුවෙන් ඒ හැම දෙයකම පිංතුර ගැනීම යන ගුටි කන රාජකාරිය හැමදාම පැවරෙන්නේ මටය. අහුවෙයිද කියා බයෙන් වුවද මට ඒ සැම විරෝධතාවක්ම හොඳින් ඡායාරූප ගත කර ගන්නට හැකි විය.  

මහා බ්‍රිතාන්‍යය කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් යැයි නම්කර එය බ්‍රිතාන්‍යයේ තහනම් කිරීම ඒ දිනවල සිදුවීම කොටි සංවිධානයට වැදුණු මරු පහරක් විය.   ඔවුන් වහාම චෙන්නායිහි අන්තවාදීන්ට මුදල් දුන්නේ බ්‍රිතාන්‍යයට විරුද්ධව විරෝධතාවක් සංවිධාන කරන්නටය.   ඒ අනුව ඔවුන් බ්‍රිතාන්‍ය නිෂ්පාදන ප්‍රසිද්ධියේ ගිණි තැබීමක් සංවිධානය කළහ.   විරෝධතාව පැවැත්වුණු ස්ථානය වුයේ චෙන්නායිහි මහජන පුස්තකාලය ඉදිරිපිට මහපාරේය.    මේ විරෝධතාව පැවැත්වීමට කොටි සංවිධානය අත දිගහැර මුදල් වියදම්කර තිබු හෙයින් තමිල්නාඩුවේ හතර වටින්ම විරෝධතා කරුවන් එදිනට නගරයට ගෙන්වන්නට නියමිත විය.   සුපුරුදු පරිදි එදිනද පිංතුර ගැනීම මට භාරවිය.   තනියම යන්නට ටිකක් බය හිතුන නිසා නියමිත දිනයේ අසෝකන් ද කතාකරගෙන ත්‍රීවීල් එකකින් මහජන පුස්තකාලය අසලට ගොස් රියෙන් බැස්ස මම අසෝකන්ට කීවේ පැත්තකට වී බලා හිඳ මට කුමක් හෝ කරදරයක් වුවොත් විරෝධතා කරුවෙකු ලෙස පෙනී සිටිමින් පැමිණ මාව ඇදගෙන යන්නට කියාය.   විරෝධතාව පැවැත්වෙන්නේ වෙනදා මෙන් ලංකාවට විරුද්ධව නොව මහා බ්‍රිතාන්‍යයට විරුද්ධව බැවින් කලබලයට පත් තමිල්නාඩු රජය මහජන පුස්තකාලය ඉදිරිපිට මාර්ගය යකඩ වැටවල් දමා බාධක යොදා දහස් ගණනක පොලිස් බල ඇණියක ආරක්ෂාව යොදා තිබිණි.   දැන් මම පොලිසියටද සැක නොසිතෙන සේ සිටිය යුතු නිසා පාර අයිනේ මේ සිදුවීම නරඹන්නට ඇවිත් සිටින සෙනග අතරට මුසුවී කැමරාවද සාක්කුවේ දමාගෙන බලා සිටියෙමි.

උදෑසන එකොළහට පමණ කළු හැඳගත් විරෝධතා කරුවන් බස්වලින් පැමිණ මහජන පුස්තකාලය අසලට රැස් වන්නට  වුහ.     පොලීසිය වටවී බලාසිටී, එක්වරම තවත් විරෝධතා කරුවන් පිරිසක් සමග පැමිණි නැදුමාරන්(දැන් නැදුමාරන් කවුරුදැයි මගෙන් නොඅසන්න,මේ සමග ඇති පින්තුරය බලන්න)පැමිණියේය.   මම සෙනග පෙරලාගෙන ඉදිරියට දිවගොස් සිද්ධිය හොඳින් පෙනෙන යකඩ වැටක් උඩට නැග කැමරාවද අතට ගෙන බලා සිටියෙමි.   මා වටේටම පත්තර සහ ටී වී කැමරාකරුවන් රැසක් රොක්වී පිංතුර ගැනීමට සිටි නිසා කිසිවෙකුගේ විශේෂ අවධානයක් මා වෙත යොමු නොවීය.   බ්‍රිතාන්‍ය නිෂ්පාදන ගිනිතැබීම සංකේතවත් කරන්නට නැදුමාරන් එංගලන්තයේ නිෂ්පාදිත හිස් කාඩ්බෝඩ් බිස්කට් පෙට්ටියක් රැගෙන ගිණි තබා බිමට දමත්ම ඉදිරියට පැන්න පොලිස් භටයෙක් තඃ තඃ ගා පෙට්ටියට පයින් ඇන ගින්න නිවා දැමුවේය.   ඉන්පසුව විරෝධතා කරුවන් පිරිස බස් රථවල පටවාගත් පොලිසිය ඔවුන්ව පොලිස් ස්ථානයට රැගෙන ගියේය.   මේ සිදුවීම් සියල්ලම මම යකඩ වැට උඩ හිඳගෙන සිත්සේ ඡායාරුප ගත කළෙමි.   ඒ කලබලය නිමවූ පසු මම අසෝකන් සොයා ගියෙමි.   ඔහු මහත්සේ තැතිගෙන සිටියේ විරෝධතා කරුවන් අතර මා නොපෙනී යෑම නිසාය.   ෆිල්ම් රෝල අපේ ගෙවල් ළඟ කලර් ලැබ් එකේ පැයේ සේවාවට ලබාදී අසෝකන්ට යන්නට කියා මමද ගෙදර ගියෙමි.  දවල් කෑමෙන් පසුව පැමිණ මුද්‍රණය කරන ලද පිංතුර ටික ලබාගතිමි.   හොඳ තත්වයේ පිංතුර විසිපහකට වඩා ඇත්නම් කලර් ලැබ් එකෙන් ඇල්බම් එකක් ලැබේ.   ඇල්බමයට පිංතුර ටික දමාගත් මා කෙළින්ම කාර්යාලයට ගියෙමි.    ඒ මා නැදුමාරන් දුටු පළමු වතාවයි.
    

                         (Photo curtsy: Google Images)
ඉතින් ඔවැනි වාතාවරණයක සතුටින් හා සමාදානයෙන් චෙන්නායිහි දිවි ගෙවමින් සිටි අපට අසෝකන් සිය නැගණියගේ මංගල්‍යයට ආරාධනා කළේය.   අපේ හැම වැඩකදීම උදව් උපකාර කරන අසෝකන් ගේ වැඩේට නොගිහින් කොහොමදැයි කියා අපේ කාර්යාලයේ සියලුම දෙනා හොඳට හැඳ පැළඳගෙන නියමිත දිනයේ පවුල් පිටින්ම මඟුල් ගෙදර ගියෙමු.    මඟුල පැවැත්වුණේ එග්මෝර් හි මංගල උත්සව ශාලාවක හෙවත් කල්‍යාණ මණ්ඩපම් එකකය.   මඟුල් ගෙදර ගිය අප සියලුම දෙනා අසෝකන්ගේ පියාවන මනවෙයිතම්බි සහ පවුලේ උදවිය විසින් ආදරයෙන් පිළිගනු ලදුව මනාල යුවලට සුබපතා තෑගී බෝගද දීමෙන් අනතුරුව නව යුවළ සමග ඡායාරූප කීපයක්ද ගත්පසු වාඩිගෙන සිසිල් පානයක්ද බීවෙමු.   සාමාන්‍යයෙන් හින්දු විවාහයන් අමද්‍යප හා නිර්මාංශික වන අතර මත්පැන් පිළිගැන්වීමක් හෝ මස් මාංශ කෑමට දීමක් නොමැති අතර පිළිගන්වන්නේ සිසිල් බීමත් නිර්මාංශ ආහාරත්ය.  කලකට පෙර නම් පැමිණෙන අමුත්තන් සියලුම දෙනා කිසිම විශේෂයක් නොමැතිව කෑම ශාලාවට කැඳවා බිම වාඩිකරවා පත් කොළයට බත්ද, මුදවාපු කිරිද, එළවලු ද, පපඩම්, චට්නි, සාම්බාරු ආදියද  බෙදා අමතරව චපාති සහ උළුඳු වඩේ සමගින් ලබාදෙන කෑමවේල අතිශය රසවත්ය.   පසුකාලීනව අමුත්තන්ව බිම වාඩි කරවීම ප්‍රායෝගිකව අපහසු බැවින් පටු දිග ලී මේසවලට බංකු තබා අමුත්තන්ව වාඩිකරවා පත්කොළ එලා කෑම පිළිගන්වනු ලැබේ.  

කොච්චර අමද්‍යප තැනකට ගියත් බොන්න හොයන අපේ හැටි හොඳින් දන්නා අසෝකන් මඟුල් ගෙදර සියලුම දෙනාට හොරෙන් අපට මද්‍යපානය ලබාදීමට නුදුරු ගොඩනැගිල්ලක ඉහළ මහලේ කාමරයක් සුදානම් කර තිබු බැවින් අසෝකන්ගේ ආරාධනයෙන් අපි එකිනෙකා එතැනට ගියේ කාන්තාවන්ටද ළමයින්ටද බඩගිනි නිසා අප එනතුරු නොසිට කෑමට කතා කලවිට කන්නටැයි කියමිනි.   මද්‍යපාන සංග්‍රහය සතුටින් ඇරඹුන අතර ටික වේලාවකදී අප සියලු දෙනාට හොඳ පදමට වැදී හමාරය.    වාඩිගෙන සිටි තැනින් නැගිට්ට මම එළියට බැස පහළට ආවේ හුළං ටිකක් වදින්නටත් දුමක් අදින්නටත් සහ ළමයි ටික කෑවාද බලන්නටත්ය.   ශාලාව ඇතුළට ගොස් කට්ටියට කතා කළ මා එළියට එනවිට දුටු දර්ශනයෙන් කරකවා අත හැරියාක් සේ වීමි.    පාරේ නතරකල වාහනයකින් බැස මුව පුරා පැතිරුණු සිනහවකින් යුතුව ශාලාවට ඇතුල් වන්නට පැමිණෙන්නේ නැදුමාරන් ය.  පස්වනක් ප්‍රීතියෙන් ඉපිලුණු මනවෙයිතම්බි දෑත් විහිදාගෙන ඉදිරියට පෙර ගමන් ගියේ නැදුමාරන් පිලිගන්නටය.   මම වහාම පඩිපෙළ නැග අනෙක් අය බොමින් සිටි කාමරයට ගියෙමි.   කාමරය කතාවෙන්ද සිනාවෙන්ද දුමෙන්ද පිරි එකම ගෝෂාවකි.   අමාරුවෙන් දෙන්නෙක්ට එළියට කතාකර පහළ සිදුවන දර්ශනය පෙන්වූයෙමි.   නැදුමාරන් හඳුනා ගත් වහාම කාමරය දෙබරයට ගල් ගැසුවාක් සේ වූ අතර සියල්ලෝම කාමරයෙන් එළියට පැන පහළට දිවැවිත් වාහනවලට පැන ගත්තේ හැකි ඉක්මණින් එතැනින් පලා යන්නටය.    

විනාඩි කීපයක් ඇතුළත අප සියලු දෙනාම මඟුල් ගෙදරින් පලාගියේ කොටින් දුටු මුවන් ලෙසටය.  හේතු සඳහන් කිරීම අනවශ්‍ය යැයි සිතමි.   මෙරටද පිටරටවලද මා සහභාගිවී ඇති මඟුල් ගණනින් සඳහන් කිරීම උගහටය.    එක දවසේ මඟුල් දෙකකට යන්නට තිබීම වැනි කාරණා හේතුවෙන් කෑම නොකා ගිය මඟුල් ඇතත් කෑම කන්නට නොලැබුණු මෙවැනි මඟුලකට ගිය එකම වතාව එය බව මගේ මතකයේ සටහන්ව ඇත.   අසෝකන් එදා මෙන්ම අද දක්වාද මගේ හොඳම මිත්‍රයෙකි.    ඔහුගේ පියාවූ මනවෙයිතම්බි මීට වසර කීපයකට පෙර මියගිය අතර මව මීට මාස දෙක තුනකට උඩදී මෙලොව හැර ගියාය.    අසෝකන් නිතර ලංකාවට පැමිණෙන අතර පහුගිය අලුත් අවුරුදු දින කීපය ඔහු ගතකලේ අපේ නිවසේය.    දැන් ඔහු නැවත ලංකාවට පැමිණ ඇති බව මට කතාකර කීවේය.   නැදුමාරන් මඟුල් ගෙදර ආපු කතාව ලියන්නදැයි මා අසෝකන් ගෙන් ඇසුවිට ඔහු මහ හයියෙන් සිනාසුණේය෴

Sunday, May 28, 2017

අර්ජුන ගැන මතක සටහනක්.

ඒ මා චෙන්නායි නුවර රාජකාරි කළ සමයයි.    උදේ 8.30 ට කාර්යාලයට එන අපි සවස 5 ට පිටත්ව යන්නෙමු.    කාලය මගේ මතකයට අනුව 2000 වසරේ මැද භාගයයි.

"අද හවස මොකුත් වැඩක් හෙම දාගෙන තියෙනවද?" කාර්යාලය ඇරෙන්නට ආසන්නව තියෙද්දි මට කතා කළේ අර්ජුනය.    ඒ සමයෙහිද  ජංගම දුරකථන බහුලව පාවිච්චි නොවුයෙන් අර්ජුන කතා කළේ කාර්යාල දුරකථනයටය.   ජංගම දුරකථන ලංකාවෙහි භාවිතා වීම ඇරඹුණේ අනූව දශකයේ මුල් භාගයේ බව මගේ මතකයයි.    සෙල්ටෙල් යනුවෙන් හැඳින්වුණු එම ජංගම දුරකථනය ගඩොල් ගෙඩියක් තරම් උස සහ රාත්තල් කීපයක් බර උපකරණයකි.    මේ බව හොඳින්ම මගේ මතකයේ තිබෙන්නේ මමද අනූව දශකයේ මුල් භාගයේ  එවැනි දුරකතනයක් පරිහරණය කර ඇති නිසාය.   පරිහරණය කළාට දුරකථනය මගේ නොව එවකට මා සේවය කළ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයාට දෙපාර්තමේන්තුව විසින් ලබාදෙන ලද නිල ජංගම දුරකතනයය.    එම දුරකථනය මිළදී ගන්නට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වියදම් කළ මුදල රුපියල් අනුදහසකට මදක් වැඩි බව මගේ මතකයයි.     ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කාර්යාලයේ සිටිනා විට ඔහුගේ මේසය උඩ තබා තිබෙන මෙම දුරකථනය ඔහු පිටතට යනවිටදී රැගෙන යෑම අත්‍යාවශය වන්නේ ජනාධිපති ප්‍රේමදාස මහතා කොයි වෙලේ කතා කරත් දැයි කියන්නට බැරි බැවිනි.    ප්‍රේමදාස මහතා ජංගම දුරකථනයට කතා කරනවිට අදාළ නිලධාරියාම එයට පිළිතුරු නොදුන්නොත් ඔහුට දෙයියන්ගේම පිහිටය.   රාත්තල් ගණනක් බර දුරකථනය අතේ තියාගෙන ඉන්නටත් බැරිය.    එයට පිළියමක් ලෙස ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා කරන්නේ ඔහු සමග යන නිලධාරියෙකුට දුරකථනය තබා ගැනීමේ වගකීම භාරදීමයි.   ගම්උදා රාජකාරි, ජනාධිපති ජංගම සේවය, පදවිප්‍රාප්ති උත්සවය වැනි උත්සව වලදී නම් දුරකථනය තබාගැනීමේ වගකීම අනිවාර්යයෙන්ම මට භාරවේ.    මට තිබෙන්නේ ගඩොල් ගෙඩියක් බඳු දුරකථනය පැත්තකින් තබාගෙන ඇමතුමක් ඒ දැයි පරීක්ෂාවෙන් සිට ඇමතුමක් එනවිට එය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වරයාට යොමු කිරීමය.   දැන්නම් මෙය සිනාවට කාරණාවක් වුවද එදවස නම් මෙය ඉතා භාරදුර රාජකාරියක් වුයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා කේන්ති ගැස්සවීමට කිසිම නිලධාරියෙකු කැමති නොවූ  හෙයිනි.

ජංගම දුරකථනයේ විස්තරය අවසන් කොට නැවතත් කතාවට පැමිණියහොත් මා මෙහිදී අර්ජුන යනුවෙන් හඳුන්වා ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ ටී. අර්ජුනයි.    ලංකාවේදී චිත්‍රපට කීපයක් අධ්‍යක්ෂණය කළ ඔහුගේ සිනමා දිවියේ අග්‍රඵලය වුයේ 1979 දී තිරගතවූ 'වසන්තයේ දවසක්' චිත්‍රපටයයි.    එය ඒ වසරේ හොඳම චිත්‍රපටය වූ පළඟැටියෝ සමග තරඟ කරමින් ජනාධිපති සම්මාන අටක් දිනාගත්තේය.    මා මේ කියන වකවානුවේ අර්ජුන චෙන්නායි නුවර මයිලපූර් පැත්තේ නිවෙසක පදිංචිවී සිටියේ සිය දියණියද සමගය.    1999 අග භාගයේ සිට අපේ කාර්යාලයට නිතර යන එන්නෙකු වූ අර්ජුන 2000 වර්ෂය වනවිට මා සමග ඉතාම කිට්ටු  සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන සිටියේ මාද ඔහුගේ වෘත්තියට දැඩිසේ ප්‍රිය කරන්නාවූ කලාබරයෙකු වූ නිසාවෙනි.    චෙන්නායි නුවර ඇති ප්‍රසිද්ධ චිත්‍රාගාරයක් වූ ප්‍රසාද් ස්ටුඩියෝ හි අවසන් නිමහම් කටයුතු හමාරවූ චිත්‍රපට බලන්නට අර්ජුනට නිතරම ලැබෙන අවස්ථාවට ඔහු මාවද සම්බන්ධ කරගන්නට අමතක නොකළේය.   එසේ වන්නේ චිත්‍රපටය කලාත්මක එකක් වුවහොත් පමණකි.    එදාද අර්ජුන මට කතාකළේ එවැනි චිත්‍රපටයක් බලන්නට යන්නටය.

" විශේෂ වැඩක්නම් නෑ අර්ජුන ඇයි?"

" එහෙනම් හවස මගෙත් එක්ක ප්‍රසාද් එකට යමු, අද හොඳ ෆිල්ම් එකක් තියෙනවා!"   මට එක්වරම මතක්වුයේ ඒ දිනවල චෙන්නායි හි සංචාරයක නිරත වෙමින් සිටි සමන් වය.    ඔහුද අප දෙදෙනා මෙන්ම කලාබරයෙකි.

"අර්ජුන මේ දවස්වල සමනුත් චෙන්නායි ඇවිත් මහාබෝධියේ නැවතිලා ඉන්නෙ!"

" අයියෝ ඇයි මට කිව්වෙ නැත්තෙ? එයත් එක්කගෙන යමු.  මම හවස එනකොට සමනුත් එක්කරගෙනම ඔයාලගෙ ගෙදර එන්නම්!"

හවස මම යන්නට සුදානම් වෙද්දී මමත් එන්නම් කියා හැලපි කණු කුණු ගාන්නට වූ නිසා ඇයටත් සුදානම් වෙන්නට කියා කීවෙමි.    හැලපැට්ටා ගැන ප්‍රශ්නයක් නොවුයේ ඒ දිනවල අපේ අම්මා පැමිණ අපත් සමග නැවතී සිටි නිසාය.    අපි හතරදෙනාම ප්‍රසාද් ස්ටුඩියෝවට ගියේ අර්ජුනගේ වාහනයෙනි.   එදා අප නැරඹු චිත්‍රපටය වුයේ තරුණ ද්‍රවිඩ සිනමාකරුවෙකු විසින් අධ්‍යක්ෂණය කර තිබු "ටෙරරිස්ට්" නමැති චිත්‍රපටයයි.   එය එවකට ලංකාවේ පැවති වර්ගවාදී යුද්ධය පසුබිම් කරගෙන තැනු අතිශය කලාත්මක චිත්‍රපටයක් වූ බැවින් චිත්‍රපටය ආරම්භයේ සිට අවසානය දක්වා අප හිඳ සිටි අසුන්වලම ගල්ගැසී චිත්‍රපටය නැරඹුවෙමු.   මේ චිත්‍රපටය ලංකාවේ ප්‍රදර්ශනය නොවූ බව මගේ විශ්වාසයයි. (මෙම චිත්‍රපටයේ විස්තර සොයා ගැනීම සඳහා පැය කීපයක් අන්තර්ජාලය පිරික්සුවද පලක් නොවීය, චිත්‍රපටය නැරඹීමෙන් උද්දාමයට පත්ව සිටි සමන් ලංකාවට ගිය පසු ටෙරරිස්ට් චිත්‍රපටය ගැන ලිපියක් ලංකාදීප පත්‍රයට ලීවා මට මතකය ) චිත්‍රපටය අවසානවී අප ආපසු එද්දීද බොහෝ දුරක් එනතුරු තමන්ගේම කල්පනා ලෝකවල නිමග්නව සිටි අප අතර කතාබහක් නොවීය.   නිහඬතාව බිඳිමින් චිත්‍රපටයේ සිය සිත්ගත් තැන් සහ යම් යම් තාක්ෂණික කරුණු කීපයක් ගැන සමන් විසින් මතුකළ ප්‍රශ්න වලට අර්ජුන අවශ්‍ය පැහැදිලි කිරීම් සිදුකළේය.    වාහනය අපේ ගමනාන්තය කරා ක්‍රමයෙන් ලඟාවෙමින් තිබිණ.

" සුන්දර සැන්දෑවක් ලබාදීම ගැන අර්ජුනට බොහොම ස්තුතියි!" සමන් කියා සිටියේය.

" ඒ සැන්දෑව තව දුරටත් දික්වෙනවාට සමන්ගේ අකමැත්තක් නෑ නේද?" අර්ජුන විමසන්නේ සිනාසෙමිනි.

" අපෝ කොහොමටවත් අකමැත්තක් නෑ, අපි ඔක්කොම මගෙ කාමරයට යමු." සමන් පවසන්නේ අර්ජුන දෙස බලමිනි.

" නෑ සමන් මේගොල්ලන්ගෙ ගෙදර අපට පුරුදු තැන නොවැ, අපි එහෙ යමු . වාඩිවෙන තැනම ටෙලිපෝන් එක තියෙනව අවශ්‍ය හැම දේම කෝල් කරලා අපට ගෙන්නගන්න පුළුවනි."  අර්ජුනගේ යෝජනාවට කාගේවත් අකමැත්තක් නොවුයෙන් තව ටික වේලාවකදී අප සියලුම දෙනා අපේ නිවසේ වාඩිගෙන සිටියෙමු.

මා සතුව තිබු ස්කොච් බෝතලයකින් අපේ එකමුතුව ආරම්භ කළ අතර ටිකකින් කලින් කීවාසේම දුරකථනය අතට ගත් අර්ජුන ඔහුගේ සුපුරුදු අවන්හලට කතාකර අපට අවශ්‍ය කටගැස්ම ඇණවුම් කළ අතර සියලු දෙනාටම රාත්‍රී ආහාරයද ඒ සමගම ඇණවුම් කළේ රාත්‍රී ආහාර ගෙදර උයන්නට අවශ්‍ය නැතැයි හැලපිට කියමිනි.   විදේශීය මත්පැන් වර්ග දුලබ ඉන්දියාවේ අපට එවන් හිඟයක් නොමැතිවුවද වෙනත් අයට විදේශීය මත්පැනක රස බලන්නට ලැබුණේ ලංකාවට හෝ වෙනත් රටකට ගොස් ආපසු එද්දී ගෙන එන්නට ලැබෙන මත්පැනක් ලැබුණොත් පමණකි.     මෙයට හොඳම විකල්පය ලෙස අර්ජුන තෝරාගෙන තිබුණේ ඕල්ඩ් මන්ක් නම් ඉන්දියානු රම් වර්ගයයි.   බොන්නට ප්‍රිය දනවන සේ මෙම රම් වර්ගය මිශ්‍ර කිරීමට අර්ජුන අති දක්ෂයෙක් විය.   සෝඩා ද පෙප්සිද නියමිත ප්‍රමාණවලින් රම් වීදුරුවට දමා දෙතුන් වරක් හොඳින් කලවම් කරදෙන බීම වඩිය අතිශය ප්‍රණීත බැවින් ටික දවසකදී අප බොහෝ දෙනෙක් අර්ජුනගේ රම් මිශ්‍රණය ලැදියෝ වීමු.      නමුත් කොතෙකුත් බලා සිටියත් අර්ජුන මිශ්‍ර කරන රම් වඩිය ඒ ආකාරයට සකස් කර ගැනීමට අපට කිසිදිනෙක  නොහැකි විය.

සරවනමුත්තු තංගරාජා සහ රංජනා තංගරාජා යුවළගේ වැඩිමහල් පුතණුවන් ලෙස කොළඹදී උපත ලබන තංගරාජා අර්ජුන අධ්‍යාපනය ලබන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.   ශාන්ත තෝමස් විදුහලේ ගුරුවරයෙක් වන සරවනමුත්තු තංගරාජා විවාහ කරගන්නේ එවකට ප්‍රසිද්ධ නර්තන ශිල්පිනියක වූ රංජනාය. රූමත් රංජනා, තංගරාජා ට වඩා වසර විසිපහකින් හෝ තිහකින් බාල යැයි මා අසා තිබේ.    අර්ජුන උරුමකරගන්නේ මවගේ දේහ ලක්ෂණ සහ ඡවි කල්‍යාණයයි.  අප හමුවන විටද රිදීවන් කෙස් කළඹක් තිබු අර්ජුන ග්‍රීක පිළිමයක් මෙන් පැහැපත් සුන්දර පුරුෂයෙකු වුයේය.    පාසැල් අධ්‍යාපනයෙන් පසු ලන්ඩන් ෆිල්ම් ස්කූල් වෙතින් චිත්‍රපට කලාව පිලිබඳ උපාධිය ලබාගන්නා අර්ජුන එක්සත් රාජධානියේදී ඔහුගේ මිතුරෙකු වූ බෘනායි සුල්තාන් වරයාගේ පුතණුවන්ගේ ආරාධනයෙන් බෘනායි රාජ්‍යය බලා පිටත්වන්නේ එහි චිත්‍රපට කලාව නංවාලීමේ වැඩසටහනකට සම්බන්ධවීමටය.     කෙසේ වුවද ඔහු වැඩිකල් බෘනායි රාජ්‍යයේ රඳන්නේ නැතිව ලංකාවට පැමිණ සිය වෘත්තීය ආරම්භ කරයි.    හිතුවක්කාරයෙකු වූ අර්ජුන විසින් ලියා ඉදිරිපත් කරන තිර නාටක වලට චිත්‍රපට සංස්ථාවේ අනුමැතිය නොලැබෙන තැනදී ඔහු කරන්නේ තිරනාටකය වෙනස් කිරීම නොව අර්ජුන කළායයි කියන්නටවත් නොහැකි බාල වර්ගයේ විහිළු චිත්‍රපට කීපයක් නිපදවීමයි.    අර්ජුනගේ හොඳම මිතුරා වන්නේ තවත් එවැනිම හිතුවක්කාරයෙකු වූ කේමදාස මාස්ටර්ය.    කෙසේ වුවද අර්ජුන සිය සිහින චිත්‍රපටය නිපදවන්නේ 1979 දීය.    

අසු ගණන්වල අග භාගයේ චෙන්නායි නුවර පදිංචියට එන අර්ජුන වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට හෝ වෙනත්  විවිධාකාර කටයුතුවලට ඉන්දියාවට එන කලාකරුවන්ගේ සෑම සියලු අවශ්‍යතාවක්ම ඉටුකර දීමට සැදී පැහැදී සිටියේ ඉතා කැමැත්තෙනි.    චෙන්නායි නුවරට එන බොහෝ කලාකරුවන්ගේ නවාතැන වුයේ අර්ජුනගේ නිවහනයි.    ඒ අය වෙනුවෙන් අර්ජුනගේ නිවසේ පැවැත්වෙන සාදයන් සඳහා අපද නිතරම ඇරයුම් ලැබුවෙමු.    මෙහිදී මට එක සිද්ධියක් මතක්වේ.    ලුෂන් බුලත්සිංහල චෙන්නායි විත් අර්ජුනගේ නිවසේ නැවතී සිටි දිනෙක අර්ජුන අපටත් දවල් කෑමට ආරාධනා කර ඔහුගේ ඇම්බැසඩර් වාහනයද  එව්වේය.    සාදයෙන් පසු අපි අර්ජුනගෙන් සහ ලුෂන්ගෙන් සමුගෙන ආපසු එන්නට පිටත්වුනෙමු.   හොඳ පදමට වැදී සිටි අප සිව්දෙනා වාහනයේ ආපසු ආවේ මහ හඬින් ගීත ගයමිනි.   දෙදෙනෙක් වාහනයේ පිටුපස ජනේල දෙකෙන් අත් එළියට දමාගෙන දොරට තඩිබාමින් තාලයද ඇල්ලුවෝය.     වාහනයට කරන මේ හිරිහැරය රියදුරාට ඇල්ලුවේ නැත.   පාරේ පැත්තකට කර වාහනය නැවැත්වූ රියදුරා වාහනයෙන් බැස අපට කීවේ ඇති තරම් සිංදු කීමෙන් පසු යමුයි කියාය.    රියැදුරාව ෂේප් කරගෙන ආපසු පිටත් වෙන්නට අපට සෑහෙන පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.   වරක් ඔහුගේ හිතවත් කලාකරුවෙකුගේ ඥාතියෙක් හෘද සැත්කමකට ඇපලෝ රෝහලට එද්දී අර්ජුන ලංකාවට ගොස් සිටියේය.   මෙය දැනගත් වහාම ලංකාවේ සිට මට කතාකළ අර්ජුන සියලුම විස්තර මට ලබාදී  කීවේ වහාම රෝහලට ගොස් ඔවුන් හමුවී අවශ්‍ය උපකාර කරදෙන ලෙසටය.   කලාකරුවන් සමග ඇසුර ප්‍රිය කළ තරමටම ඔහු දේශපාලකයන් අප්‍රිය කළේය.   ලංකාවේ දේශපාලකයන් සහභාගිවන කිසිම උත්සවයකට අර්ජුන සහභාගී වුයේ නැත.   

2001 වර්ෂයේ මැද භාගයේදී  සුප්‍රකට ඉන්දීය ගත් කතුවරයෙකු වූ ආර්.කේ.නාරායන්  චෙන්නායි හි සිටින බව මට ආරංචි වූ විට ඔහු මුණගැසීමේ ආසාවක් මට ඇතිවිය.    හැකි හැම ආකාරයකින්ම ඔහු සිටින තැනක් සොයාගන්නට උත්සාහ කළ මට අවසානයේ  දැනගන්ට ලැබුණේ නාරායන් අසනීපව ඇපලෝ රෝහලේ සිටින බවය.   විස්තරය අර්ජුනට කීවිට ඔහු මා කැටුව ඇපලෝ රෝහලට ගියේය.   අපට දැකගන්නට ලැබුණේ මරණාසන්නව දැඩි සත්කාර ඒකකයේ සිටි නාරායන්වය.    ඊට පසුදින නාරායන් මියගියේය(මේ කතාව දිග විස්තරයක් බැවින් නාරායන් හමුවීම නමින් වෙනම කතාවක් ලෙස ලියන්නට බලාපොරොත්තු වෙමි) 

2001 ජුනි මාසයේදී චෙන්නායිහි රාජකාරී අවසන්කර මා ලංකාවට පැමිණියෙමි.   ඒ දිනවල අර්ජුන තවත් චිත්‍රපට කීපයක් නිපදවීමට කටයුතු කරමින් සිටියේය.   දිනක් අර්ජුන මට කතාකර කීවේ ඔහුගේ චිත්‍රපටයක මුහුරත් උළෙල කොළඹ හෝටලයක(හෝටලයේ නම දැන් මට මතක නැත) පැවැත්වීමට නියමිත බවත් එයට සහභාගී වීමට ඔහුට හැකියාවක් නැති බවත් නියමිත දින හෝටලයට ගොස් පිංතුර ටිකක් රැගෙන ඔහුට එවන ලෙසත්ය.   අර්ජුන කී ආකාරයටම මා නියමිත දින එම මුහුරත් උළෙලට ගොස් පිංතුර ගෙන අර්ජුනට යැව්වෙමි.   සමන්ද එදින පැමිණ සිටියේ අර්ජුනගේ හිතවත්කමටය.    එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නට අර්ජුන බාරදී තිබුණේ අයි. එන්. හේවාවසම්ටය.  රුගත කිරීම් සියල්ල නිමාකලද  චිත්‍රපටය ඉන් ඉදිරියට ගියේ නැත.

මා මුලින් සඳහන් කළ පරිදි   ක්ෂේත්‍රයේ තවත් හිතුවක්කාරයෙකු වූ කේමදාස මාස්ටර් අර්ජුනගේ ලඟම හිතවතා වූ අතර කේමදාස මාස්ටර් වෛද්‍ය ප්‍රතිකාර ගන්නට නිතරම චෙන්නායි නුවරට පැමිණෙයි.    ඔහුගේ නවාතැන වන්නේ අර්ජුනගේ නිවෙසයි.   වරක් අපි චෙන්නායි නුවර ශ්‍රී ලංකා චිත්‍රපට උළෙලක් සංවිධානය කළෙමු.   දින තුනක් පැවති චිත්‍රපට උළෙලේ සිංහල චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කරන්නට නියමිත විය.   ඒ දිනවල කේමදාස මාස්ටර් ද චෙන්නායි හි නැවතී සිටියේය.    උළෙලේ ආරම්භක උත්සවය පැවති දින අර්ජුන කේමදාස මාස්ටර්ද කැටුව උත්සවයට පැමිණියේ අහම්බෙන්ය.    ප්‍රදර්ශනය වන චිත්‍රපට හයේ නම් කියැවූ අර්ජුන මට කීවේ ඒ  චිත්‍රපට හයටම සංගීතය සපයා ඇත්තේ මාස්ටර් බවය.   අපි වහාම මාස්ටර් රැගෙන ගොස් ප්‍රධාන වේදිකාවේ වාඩිකරවුයෙමු.    අර්ජුනගේත් මාස්ටර්ගේත් හිතවත්කම කොයි තරම්ද යත් මාස්ටර්ගේ දියණියගේ විවාහය අවස්ථාවේ සාමාන්‍යයෙන් මාමා කෙනෙක් විසින් සිදුකරන මනාලිය පෝරුවට නැංවීමේ කටයුත්ත බාරවුනේත් අර්ජුනටය.  අදද ඇයගේ මුහුණු පොතේ ඒ පින්තුරය ඇත.

අර්ජුන ගැන මතක තව රාශියක් ඇතත් කතාව දිග්ගැහෙන බැවින් ඒවා ලියන්නට අවස්ථාවක් නොමැත.   මා ලංකාවට පැමිණීමෙන් ටික කලකට පසු අර්ජුනද ලංකාවේ පදිංචියට පැමිණි බව මට ආරංචි විය.   අපි දින දෙකතුනක් කොළඹදී මුණගැසුනෙමු.    ඉන්පසුව දිගින් දිගටම සිදුවූ මගේ විප්‍රවාසය හේතුවෙන් අපේ සම්බන්ධකම ඈත්වී ගිය අතර මේ මෑතකදී මට ඔහු නැවත මුණගැසුනේ මුහුණුපොතෙනි.   මුහුණු පොතේ අපි දෙදෙනා හොඳ මිත්‍රයෝ වීමු.   අප්‍රේල් මාසයේ අප දෙදෙනා අතරවූ කතාබහකදී අර්ජුන කීවේ අලුත් අවුරුද්දට ඔහු කොළඹින් පිට යන බැවින් අවුරුදු පසුවූ වහාම මුණගැහෙමු කියාය.   මා කාලයකට පසු අර්ජුන මුණගැසීමේ බලාපොරොත්තුවෙන් සිටියදී අර්ජුන අලුත් අවුරුද්ද සමරන්නට බුද්ධි කීර්තිසේනලා සමග කොස්වාඩියේ ඔවුන්ගේ නිවසට ගියේය.   අප්‍රේල් 16 අර්ජුනගේ උපන් දිනය වූ අතර මම  ඔහුට මුහුණු පොතේ සුබ පැතුමක් එක්කළෙමි.   සුබ පැතුම දකින්නට වත් අර්ජුනට අවස්ථාවක් නොමැති වුයේ 15 දා රාත්‍රියේ නින්දට ගිය අර්ජුන 16 දා නැගිට්ටේ නැති බැවිනි.

අවසන් ගමන් යන්නට ජයරත්න මල් ශාලාවේ සැතපී සිටි අර්ජුනට සමුදෙන්නට ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් පැමිණ සිටි අතර විශේෂයෙන් කැපී පෙනුණේ ඉන්දියාවේදී අර්ජුන නවාතැන් අහාර පාන සපයාදී කැපවී උදව් කර සුවපත් කළ ලංකාවේ  ජනප්‍රිය නිළියන් දෙදෙනෙකු අර්ජුන බලන්නට නොපැමිණීමය.   අර්ජුනව එළියට ගන්නා තුරු මමත් සමනුත් එවකට මහාබෝධියේ සිටි ජයතුංගත් කතාබහ කරමින් සිටින අතර මම සමන් ගෙන්  විමසුවේ අර්ජුන අයි. එන්.හේවාවසම් ට හදන්නට දුන් චිත්‍රපටයට කුමක් වීද කියාය.   චිත්‍රපටයේ කුමක් හෝ දෙයකට චිත්‍රපට සංස්ථාවත් සමග ගෝරි දමාගත් අර්ජුන විශාල මුදලක් වැයකර රූගත කළ චිත්‍රපටය පෙන්වන්නේ නැත කියා පැත්තකට දැමු බව සමන් මට කීවේය.   අපි සියලු දෙනා අර්ජුන සමග ඔහුට සමුදෙන්නට කනත්තේ හින්දු කොටසට ගියෙමු.   අවමංගල්‍ය උත්සවයේ එකම ගුණකථනය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න අර්ජුනගේ ජීවිතය ගැන කෙටියෙන් පැහැදිලි කළේය.   ඔහු කීවේ අතේ සතේ නොතිබූ වේලාවලදීත් අර්ජුන ජීවත්වුණේ රජෙක් මෙන් බවයි.   භීෂණ සමයේ තමන් පණ බේරාගන්නට ඉන්දියාවට පැනගොස් සිටි සමයේ ඇතිවූ තදබල අක්‍ෂි ආබාධයකට අර්ජුන ඔහුව රැගෙන ශංකර නේත්‍රාලයට ගොස් ප්‍රතිකාර කර සුවපත් නොකරන්නට ඇස් පෙනීම නැතිව යන්නට තිබුණු බව මහාචාර්ය සුනිල් ආරියරත්න කියා සිටියේය.

මා විප්‍රවාසයේ සිටිද්දී අර්ජුන සමුගත්තේ නම් වඩා හොඳයි කියා මට හිතෙන්නේ ඔහුගේ නිසල කය නොදකින මගේ හිතේ අර්ජුන සැමදාම ජීවමානව සිටින නිසාය.

කලකට පසු මට බෙනට් මුණගැසුනේද එදාය.   මා සමග සිනාසුනද බෙනට්ට මාව හඳුනා ගන්නට නොහැකිවූ බව මම දැන ගත්තෙමි.   අවමංගල්‍ය කටයුතු අවසන් වෙද්දී මා බෙනට් හමුවී කතාකළ විට ඔහු මාව හඳුනා ගත්තේ " ආ මල්ලි උඹ දැන් ලංකාවෙද?" කියමිනි෴

Wednesday, May 17, 2017

දන්සැල් පුරාණය 4 - අපේ දන්සැල් සහ ඕමානයේ දන්සැල්, වෙසක් ඇරියස්, ලොකුපුතාගේ ගමේ අසිරිය සහ සුද්දාගේ බත් දන්සැල.

අවුරුදු පහකට පසු ලංකාවේදී  සම්බුදු තෙමඟුල හෙවත් වෙසක් මංගල්‍යය උදාවීම  මා සිත තුළ ඇතිකළේ ඉමහත් සොම්නසකි.   ගෙවීගිය අවුරුදු පහ තුළදීම ලංකාවේ නිවාඩුවක් ගතකල කාලය හෝ මැයි මාසයට නොයෙදුනි.    ඒ අවුරුදු පහේදීම අපිට දකින්නට ලැබුණේ ඕමානයේ වෙසක්ය.    එක අතකට ගත්තොත් ඕමානයේ වෙසක් ලංකාවට වඩා හරි ජයය.   පොඩි පරහකට තියෙන්නේ ලංකාවේ මෙන් නොව ඕමානයේ   වෙසක් ඇත්තේ එක් තැනක පමණක් වීමය.   ශීල ව්‍යාපාරද,භාවනා වැඩ සටහන්ද මෙහෙයවන්නේ ලංකාවෙන් වැඩම කරවන ලද හාමුදුරුවරුන් විසිනි.   වෙසක් කූඩු ද පොඩි තොරණද වෛවර්ණ විදුළි බුබුළු වලින් එළියවී ප්‍රදේශය අලංකාර කරයි.   හතර වටේටම ෂඩ් වර්ණ ලයිට් වැල් එල්ලලාය.  දහරාලෝක හෙවත් අධිසැර ෆ්ලෑෂ් ලයිට් හතර වටේටම විහිදේ.   මේ තරම් පුච්චන විදුළියට ලංකාවේදී නම් ඇඟ හිරිවැටෙන ලයිට් බිලක් ලැබීම නියත වුනත් විදුළිය බොහොම ලාබ ඕමානයේ මාසෙ අන්තිමට එන්නේ සොච්චම් බිලකි.   වෙසක් පෝයට ඕමානයේ නිවාඩු නැති නිසා ප්‍රධාන වෙසක් උත්සවය එන්නේ සිකුරාදටය.    එතැන් සිට සතියක්ම උත්සව පවත්වන අතර සතිය පුරාවටම දන්සැල්ද පැවැත්වේ.    දන්සැල් පැවැත්වීමට විවිධ ශ්‍රී ලාංකික සංවිධාන අතර ඇත්තේ තරඟයකි.   වෙසක් කාලයේ දන්සැලක් ලබාගැනීම ලේසි පාසු කටයුත්තක් නොවේ.   සංවිධායකයින් සමග විවිධ අය දන්සැල් ඉල්ලා බැරිතැන සිත් අමනාප කම් ඇතිකරගන්නා අවස්ථාද අඩු නැත.    කෙසේ වෙතත් ඕමානයේ ශ්‍රී ලාංකිකයින්ගේ සංගමය, ඕමාන  ආරක්ෂක අමාත්‍යංශයේ ලාංකිකයින්, ශ්‍රී ලංකා පාසැල, අල් තුර්කි ආයතනයේ ලාංකිකයින්, ට්‍රයිකෝ ආයතනය, ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ එකතුව  සහ විවිධ පාසැල්වල ආදී ශිෂ්‍ය සංවිධාන දන්සැල් පැවැත්වීමේදී මුල්තැන ගෙන කටයුතු කරති.

දන්සැල් සියල්ලම නිර්මාංශ ආහාර පිළියෙල කරන්නේ පන්සල් කමිටුව මස් මාළු කරවල ආදිය දන්දීම අනුමත නොකරන නිසාවෙනි.   පෝයට පිළිගන්වන පන්සලේ දානය ද නිර්මාංශය.   උපාසිකාවන් අතින් පිළියෙල වන උපාසක දානය නම් මෙලෝ රහක් නැත.  මස් මාළු හෝ කරවල ටිකක් නැතිවීම පමණක් නොව දානය හදද්දී ඔවුන් කෑම වල ලුණු ඇඹුල් බලන්නේද නැත්තේ අධික ශ්‍රද්ධාව නිසාය.   එහෙම හදන කිසිම කෑමක මෙලෝ ලුණු ඇඹුල් රහක් නැති නිසා ඒවා වළඳන හාමුදුරුවන් ඇතුළු සිල් ඇත්තන්ට බුදු සරණ ඇරෙන්නට වෙන සරණක් නැති බව මගේ විශ්වාසයයි.   බුදු බණේ මෙලොව ඇති අපායවල් හතක් ගැන සඳහන්වේ.   නීරස ආහාර කන්නට ලැබීම එහෙම කියැවෙන එක අපායකි.   ඕමාන පන්සලේ සිල් ගන්නා අය හැම මාසයකම නොවැරදීම ඒ අපායේ යන බව මට නොබියව කියත හැක.   උපාසක දානය එහෙම උනාට දන්සැලේ නම්  රස කෑම ඇත.   යම් සංවිධානයක් දන්සැලක් කරන්නට දින වෙන්කරගෙන  බාරගත් පසුව පළමුවෙන්ම කළ යුත්තේ ඒ දිනයට පන්සලට එන අයගේ ප්‍රමාණය ගැන හෙවත් එදාට කී දෙනෙක් බණ අහන්නට ඒවිද කියා මුලික තක්සේරුවක් කරගැනීමයි.   නිවාඩු දිනවලට පන්සල් එන අයගේ ගණන සතියේ දිනවලට එන අයගේ ගණනට වඩා වැඩිය.   ඒ අනුව නිවැරදිව තක්සේරුව කර නොගත්තොත් කෑම මදිවෙන්නට ඉඩ තිබෙන නිසා සංවිධායකයින් ඒ ගැන විශේෂ අවධානයක් යොමුකරති.   ඊළඟට දෙන කෑම වර්ගය මොනවාද කියා තීරණය කිරීම කළයුතුය.   දන්සැල් දෙන අය බොහෝවිට දෙන්නේ සුදුබත් සහ ව්‍යංජන කීපයක් හෝ කහබත් සහ ඊට හරියන ව්‍යංජනයක්ය.   එහෙමත් නැතිනම් පාන් පරිප්පු සහ සම්බෝලය.   සමහරවිට ඉඳිආප්ප දෙන දන්සැල් තිබුනත් එය අමාරු කාර්යයක් නිසා එහෙම දන්සැල් ලැබෙන්නේ විරලවය.

සංවිධායකයින්ගේ ඊළඟ කාර්යය වන්නේ කෑම ටික සුදානම් කර ගැනීමය.    සමහරු දවල් දවසේ එකතුවී කෑම ටික පිසගන්නා අතර තමන්ට ඇති පිරිවර ශක්තිය අනුව බත් ටික පාර්සල් කර හෝ පිඟන් වලට බෙදා දෙති.    පිඟන් කියන්නේද මැද පෙරදිග බහුලව පාවිච්චිවන කෑම ටික කා ඉවත විසිකරන කඩදාසි පිඟන් හෙවත් ඩිස්පෝසබල් ප්ලේට්ය.    සමහර අය කෙළින්ම ඇණවුම හෝටලයකට දී කෑම සාදා පාර්සල් කරවා ගනී.   එසේ නොමැතිනම් කෑම ටික පිඟන්වලට බෙදා දෙයි.   කොහොම කළත් කෑම වලට අමතරව කුඩා වතුර බෝතල්ද කඩදාසි අත පිස්නාද අතුරුපසට යෝගට් හෝ කෙසෙල්ගෙඩි හෝ ඒ දෙවර්ගයමද කුඩා බීම බෝතල්ද ලබාදීම කළයුතුමය.    පාන් දන්සැල් දෙන උදවිය ලංකාවේ පාන් හදන ඉන්දියන් බේකරියකට පාන් ඇණවුම ලබාදී පරිප්පුද සම්බෝලද සාදා හෝ සාදවා ගනී.   පාන්වලට අමතරව වඩේ ද සමහරවිට දන්සැලේ බෙදන්නේ දන්සැල් දෙන අයගේ ආර්ථික ශක්තිය මතය.   පාන් දන්සැල් අවසානයේ පාන් කවර මහ ගොඩක් ඉතිරිවෙන්නේ මදිවෙයි කියා දන්සැල් සංවිධායකයින් ඕනෑවටත් වඩා පාන් ගෙනත් පුරවා ගන්නා නිසාය.   එදාට අන්තිමට වගේ කන්නට එන අයට පාන් පෙති කීපයක් නොව සංවිධායකයින් විසින් පාන් ගෙඩියක්ම අතට දෙනු ලබන්නේ ඉතිරිවෙන පාන් වලට කරගන්නට දෙයක් නැතිවන නිසාය.   එදාට අපටද එවෙලේ කනවාට අමතරව දවස් දෙක තුනක් කන්නට පාන් දන්සැලෙන් ලැබේ.   ඕමානයේ දන්සැල් වරුණාව කෙටියෙන් කිව්වොත් ඔන්න ඔය ආකාරයය.

ඊළඟට කියන්නට තියෙන්නේ මෙදා සැරේ ලංකාවේ වෙසක් ගැනය.    වෙසක් කිව්වාට වෙනදා වගේ කූඩුද කැරකෙන කූඩුද තොරණ ද වෙනත් වෙනත් අරුමෝසම් වෙසක් සැරසිලිද අපේ පළාතේ තිබුණේ බොහොම අඩුවෙනි.   කලාතුරකින් තැනක තොරණක් මිසක වෙනදා වගේ එහා ගමේවත් ටවුමේවත් තොරණ තිබුණේ නැත.    මුළු පළාතටම තිබුණේ එකම එක තොරණකි.    ඒකටත් එක්ක දන්සැල් නං වැහි වැස්සා වගේ හැම තැනම බිහිවී තිබෙනු දකින්නට තිබුණි.    වැහි වැස්සා කිව්වම මතක් වුණේ වෙසක් උදාවුනේද දැඩි නියඟය මධ්‍යයේ නොවේද කියායි.    එක දිගට මාස හයක් පැවති නියඟය හේතුවෙන් අපේ පළාතේ ළිං ඇතුලු සියලුම ජල මුලාශ්‍ර සිඳී ගොසින්ය.   පොළොව කරකුට්ටන්වී පැලී ගොසින්ය.   නාගන්නට තබා බොන්නට වතුර ටිකවත් සොයා සපයා ගන්නේ අසීරුවෙන්ය.   වෙසක් පෝයට වහීවි කියා බලාපොරොත්තු උනත් නිකං ගොඩ ගොරවා ගියා මිසක වැස්සේ නැත.    නියඟය නිසා දන්සැල් වලටත් වැදුනේ ලොකු පහරකි.    දන්සැල් වලට උවමනා වතුර බැරල් පුරවා ලොරිවල දමා අදින්නට සිදුවිය.    මෙදා වෙසක්වලට අපේ ගමේ තිබුණු දන්සැල් ප්‍රමාණය මෙන්න මෙහෙමය.    වෙසක් දවසේ රාත්‍රියේ අපේ ගෙවල් ළඟ බත් දන්සැල, පසුදා උදේ සුද්දාගේ කිරිබත් දන්සැල, එදාම රාත්‍රියේ අපේ වත්තේ බත් දන්සැල.   මේ සියල්ලටම සහභාගී වෙන්නට උවමනා උනත් පොඩි ප්‍රශ්නයකට තිබුණේ වෙසක් දවසට පසුවදා අපි ගමනක් යන්නට නියමිතවූ නිසාවෙනි.   ගමන සංවිධානය කර තිබුණේ අපේ හිතවත් බ්ලොග් කරුවෙක් වූ ලොකු පුතාය.     ලොකු පුතාලගේ ගමේ ගොස් කා බී නා කියාගෙන එන්නට අපි ලෑස්ති වී සිටියෙමු.  

පෝදාට පසුදා ගමන යන්නට නියමිතව තිබීම හේතුවෙන් දන්සැල් වඳින්නට සිදුවුනේ මෙසේය.    පළවෙනි දවසේ එනම් වෙසක් පෝය දිනයේ තිබුණු දන්සැල කිසි කරදරයක් නැතුව ගෙදර අය එක්කම ගිහිං කෑවෙමි.   පහුවදා උදේ පාන්දරම ගමන පිටත් වෙන්නට තිබුණු නිසා මම හිතා හිටියේ සුද්දාගේ කිරිබත් දන්සැලත් කාලාම ගමන පිටත් වෙන්නටය.   ඒ නිසා උදේ පාන්දරින්ම නැගිට හැලපි හදාදුන් තේ එකද බී සුද්දාගේ ගෙදරට ගියෙමි.   ඒ යනවිට එහේ එකම කම්බැල්ලෑවකි .    කට්ටියක් ගේ පිටුපස ලිප් බැඳගෙන කිරිබත් හැඳිගාති,කට්ටියක් ගේ ඇතුලේ පොල් ගාති මිරිකති, තවත් කට්ටියක් කෑම මේසය පුරා ඇතිරූ කිරිබතක් ගානට තුනීකොට කෑලිවලට කපති, තවත් කීපදෙනෙක් ලුණුමිරිසට ළූණු සුද්ධ කරති, කීපදෙනෙක් ලුණුමිරිස් වඩියක් වංගෙඩියක ලා කොටති.    අහත් පහත් වැඩවලට තවත් කොල්ලන් කීපදෙනෙකි.    කැන්ද අතු පිටින් කඩාගෙන ඇවිත් කොළ කඩා තියන්නේ කිරිබත් දාගෙන කන්නටය.    තවත් දෙතුන් දෙනෙක් ලුණුමිරිසට දාන්නට දෙහි උර පුරවා ගෙන එති.   කලින් දවසේ අපි දෙතුන් දෙනෙක් සුද්දාගේ බදුවත්තේ පොල් කඩා ලෙලි ගැහුවේ දන්සැලට ගන්නටය.     පොල් ගෙඩි දහයක් විතර ලෙලි ගහන විට මගේ අත්ල දෙකම හමගිහින්  තුවාලවූ නිසා එතනින් පොල්ලෙලි ගැහීම නවත්තන්නට සිදුවිය.    මමත් ගිය එකේ කිරිබත් දන්සැලේ වැඩට සහභාගී වෙමින් උදව් කළෙමි.    නමුත් තවම දන්සැල පටන්ගන්නා පාටක් නැත.   මට යන්නට වෙලාවත් ලං ලංව එයි.   යන්ට තියෙනවාය කිව්වානම් සුද්දා මට කිරිබත් කන්නට දෙන නමුත් මට ඒ ටික කියන්නට හිතුනේ නැත.   ඒ නිසා මම සුද්දාට නොකියාම එතනින් පිටත් වුණේ ලොකුපුතාලගේ ගෙදර යන්නටය.

අපි ලොකුපුතාලගේ ගමට යනවිට වෙලාව උදේ එකොළහ උනා පමණය.   ලොකු පුතා වැඩේ අපුරුවට සංවිධානය කර තිබුණි.   මුලින්ම ලැබුණේ කිතුල් ගහේ බඩු සමග වල් සුකර මාංශයත් කහ කෑල්ලට පැසී තිබුණු තම්බාපු කොසුත්ය.    ඉන්පසු ප්‍රණීත දිවා ආහාරයයි.    අපට නවතින්නට සුදානම් කරතිබූ ගෙස්ට් හවුසිය පිහිටියේ තේ වත්තක  අලංකාර කන්දක් උඩය.   එය පැරණි වතු බංගලාවක් නවීකරණය කොට තනා තිබුණි.   කන්ද උඩ සිට බැලුවිට ඈත ක්ෂිතිජය දක්වා වටේ දිවෙන කඳුපෙළ මනරම් ලෙස දර්ශනය වේ.    ගෙස්ට් හවුසියෙන් නික්ම පාරට පැමිණ යළිත් පාරෙන් පහළට ඉතාම අසීරු පාරක ගොස් රබර් වත්තක නැවතුණු අප  හතරවටේ  බට පඳුරින් වැසීගොස් උමගක් මෙන් තිබූ තැනකින් දොළ පාරට පිවිසුණෙමු.    දොළ පාරේ රමණීයත්වයෙන් වශීවුණු අපි කතාවුණේ මේ ගමන එන්නට තිබුණේ මෙහෙට ආ මොහොතේම නොවේද කියාය.   ඒ වනවිට දවසේ වැඩිහරිය ගෙවී ගොසින් කලුවරද පාත් වෙන්නට ආසන්නය.    පැයක් පමණ දොළපාරේ ගතකළ අපි කළුවරත් එක්ක නවාතැනට ගියේ නොගිහින් බැරිකමටය.   අපි ලත්පඳුරට එත්දී මට ලැබුණු දුරකථන පණිවුඩයකි.    එයින් කියැවුණේ අපේ කිරිබත් දන්සැල දීපු අය පහුවදා රෑට බත් දන්සැලක් දෙන්නට සුදානම් වෙන බවය.   ඔවුන් බලාපොරොත්තු වුණේ මගේද සම්මාදමය.   රෑ කෑමට පෙර මඳ පමණින් සප්පායම් වූ අවස්ථාව ඉතා විනෝදජනක වුවත් විස්තර කියන්නට බලාපොරොත්තු නොවෙමි.

පාතරාසයෙන් පසු ඒ අලංකාර නවාතැනින් පිටත්වී දවල් වනවිට කොළඹට පැමිණි  මා ගෙදරට පැමිණියේ දවල් එකට පමණය.    ඒ වනවිටත් සුද්දාගේ ගෙවල් අහල පහළ ප්‍රදේශයම දන්සැල් සිරියෙන් ඇළලී යමින් තිබුණි.    කොස් පොලු ගසා කපන, අඹ පලා උයන්නට සුදානම් කරන කාන්තාවන්ගෙන් ඒ පැත්තම කලඑළි වෙලාය.   දන්සැලේ කෑම වට්ටෝරුව වුණේ සුදුබත්, තම්බාපු කොස්, අඹ ඇඹුල, කරෝල හොදි , පරිප්පු, සහ පපඩම්ය.   
රෑ මැදක් වෙනතුරු දන්සැල ක්‍රියාත්මක වූ අතර දන්සැල අවසන්වී මම ගෙදර යද්දී අහසේ වෙසක් සඳද බැසයමින් තිබුණි෴

Sunday, May 7, 2017

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 17- වීශේෂ කෑම වේල, ධර්මයාගේ සඳ, ටෂ්ගේ අවුල සහ ප්‍රියානිගේ දානය

 අප කණ්ඩායමේ සියලුම දෙනාගේ අපරිමිත කැපවීම හේතුවෙන්   පිටපළාත්වල කෙරුණු රුපගතකිරීම් අවසන්ව තිබුණු අතර ඉතිරිවී තිබුණේ ගීත රුගත කිරීමය.    සාමාන්‍යයෙන් ගීත රූගත කිරීම් තරමක අසීරු කාර්යයක් හැටියට සැලකුනු අතර ගීතයක රූගත කිරීම් හවස ආරම්භවූ විට එය පසුවදා එළිවෙන තුරු දිගට ඇදී යෑම සාමාන්‍ය දෙයක් විය.    එදා රූගත කරන්නට නියමිතව තිබූ ගීතයද කලේ දළුගම සරසවි චිත්‍රාගාරයේය.   බෙනට්ගේ අදහස වුනේ බඩුත් පටවාගෙන නළු නිළියනුත් සමග සියලුදෙනාම බෙන් එකේ සිට හවස පිටත්වී දළුගමට යෑමටය.    වැඩේට අපි උදේ සිට ලෑස්ති වුනෙමු.  ප්‍රධාන නිළිය බෙන් එකට ආවේ දවල් වේලාවේය. ඒ වනවිට මා ඉතා කාර්යබහුලවී සිටියෙමි.    ඇය ආ වග දුටු මම ඇයට ශීත නොකළ බීම බෝතලයක් දෙන්නට යැයි සහායකයෙකුට කියා කරමින් සිටි වැඩවල නිරත වුයෙමි.   ඇය පසුව මගේ මුණටම කීවේ ඇය දුටුවත්  බල්ලෙක් ආ තරමටවත් මා ඇයව ගණන් නොගත් බවය.

ඔය සියළුම නෝක්කාඩු මධ්‍යයේ සරසවි චිත්‍රාගාරයට ගොස් වෙලාවට ගීතය රූපගත කිරීම  පටන්ගන්නට අපට හැකිවිය.   ක්‍රමයෙන් රාත්‍රිය ලඟාවිය අපි වැඩ කරන සියළුම දෙනාට රාත්‍රී ආහාරය සපයන්නට යුහුසුළු වූයෙමු.   නිෂ්පාදන අංශයේ කොල්ලෙක් ඇවිත් මට කීවේ ප්‍රධාන නිළියට රාත්‍රී ආහාරය සඳහා චිකන් කෝසස් අවශ්‍යයැයි ඇය කියූ බවයි.   ඒ ඇසු මම තරමක පුදුමයට පත්වුණේ ඇය එතෙක් කල් කිසිදිනෙක ඇය සඳහා විශේෂ කෑමක් ඉල්ලා නොසිටි නිසාය.   ඇයද අනෙක් අය මෙන් නිෂ්පාදන අංශයෙන් ලබාදෙන කෑම සතුටින් අනුභව කළ කිසිදිනෙක නිෂ්පාදනයට කරදර කල නිළියක් නොවුවාය.     පෙර දිනෙක කළ රූගත කිරීමකදී අපේ නිෂ්පාදන අංශය සිතා සිටියේ රාත්‍රී ආහාරයට පෙර රූගත කිරීම් අවසන් වනු ඇතැයි කියාය.    එබැවින් රාත්‍රී ආහාරය ලබාදීමට අපේ සුදානමක් නොවීය.  

 නමුත් රූගත කිරීම් ඇදී ගොස් නොදැනීම රාත්‍රී ආහාර වේලාවද ළඟාවූ විට බෙනට් අසා සිටියේ " මල්ලි රෑ කෑම ටික ලෑස්තියි නේද?" යි කියාය.     හිස ගිණි ගත් අප එවෙලේ ළඟ පාත ඇති රෙස්ටුරන්ට් හෝටල් යනාදියෙන් කෑම පාර්සල් සුදානම් කරදෙන ලෙස ඉල්ලා සිටියත් කාලවේලාව නොමැතිය කියා ඉල්ලීම් ප්‍රතික්ෂේප විය.      අවසානයේ දළුගම හන්දියේ හෝටලයකින් කෑම පාර්සල් ටික ලබාගැනීමට හැකිවිය.    එහෙත් ඔවුන්ටද හැකිවුයේ ඉතාම සාමාන්‍ය ආහාරයක් පිළියෙල කරදීමටය.     මස් හෝ මාළු වෙනුවට ඒ කෑම පාර්සල්වල තිබුණේ කරවලය.    එදාද ප්‍රධාන නිළිය කිසිම වෙනසක් නොපෙන්වා එම කෑම අනුභව කළාය.  ඉල්ලා සිටින දෙයක් ඇයට කෑමට ලබාදෙන ලෙස කියූ මම ඇයගේ මේ අමුතු ඉල්ලීමට හේතුව කුමක්ද කියා තරමක විමසිල්ලෙන් සිටියෙමි.    කාලය ගෙවී ගොස් රාත්‍රී කෑම වෙලාවද ළඟාවූ අතර කෑම සඳහා රූපගත කිරීම් නවත්වන ලදී.    එදා සරසවි චිත්‍රාගාරයට තවත් චිත්‍රපට කණ්ඩායමක් පැමිණ තිබුණේ චිත්‍රපටයක හඬ කැවීම් සිදුකිරීමටය.   එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ජනප්‍රිය නළුවා ද පැමිණ සිටි අතර ඔහුත් අපේ ප්‍රධාන නිළියත් කෑම ගත්තේ එකම ස්ථානයකය.    ඔවුන්ගේ නිෂ්පාදනයෙන් රාත්‍රී ආහාර සඳහා ලැබී තිබුණේ ගෝදම්බ රොටීත් මස් හොදිත්ය.   ඒ දෙදෙනා එකතැන කෑම ගන්නා ආකාරය දුටු මට අපගේ ප්‍රධාන නිළිය රාත්‍රී ආහාරයට කෝසස් ඉල්ලූ හේතුව පැහැදිළි විය.    ඒ ජනප්‍රිය නළුවා අද යහපාලන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වීම ගැන නම් දරා සිටින්නෙකි.

එදා රූපගත කළ ගීතය "සඳ කාන්ති දිදී නිලම්බරේ නැගී එන ශ්‍රියා" යනුවෙන් පටන්ගන්නා ගීතය වූ අතර දර්ශනයේ ආරම්භය සඳහා කැමරා ශිල්පී ධර්මේ හඳක් ඉල්ලා සිටියේය.    අහසේ සඳ පායා තිබුණද එය එතරම් පැහැදිලි සඳක් නොවීය.    අපි ධර්මයාව මග හැර සිටියේ සඳ අමතක වේයැයි සිතා වුවද ධර්මයා සිය මතයේ තදින් එල්බ සිටිමින් දිගින් දිගටම සඳක් ඉල්ලයි.    අන්තිමේ අධිසැර විදුලි බල්බයක් රවුමකින් ආවරණය කර පොල්ගහක එල්ලා දුන්නේ ඉතිරි හරිය කැමරාවෙන් හදා ගන්නටැයි කියමිනි.   එවිට ධර්මෙගේ මුහුණද සඳ මෙන් ආලෝකවත් විය.    ඉන්පසුව වැඩි කරදරයක් නොමැතිව ගීතය රූපගත කරගන්නට හැකිවුණේ ඒ ගීතයට ප්‍රධාන නිළිය සමග රංගනයේ යෙදුණු ශිල්පියාද ප්‍රවීන වේදිකා සහ ටෙලි නළුවෙකු වූ නිසාය.   කෙසේ වුවද රූපගත කිරීම් අවසන් වනවිට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.

මේ කාලය වනවිට අල්ලපු ගෙදර ටෂ් සමග වූ මගේ ඇයි හොඳයිය මුහුකුරා ගොස් තිබු අතර ටෂ්ට අවශ්‍ය වුයේ ටෙලි නාට්‍ය කරන්නට මා කොහේවත් නොගොස් හවසට රැකියාව අහවර වූ විගස ගෙදර හෙවත් බෙන් එකට පැමිණෙනු දකින්නටය.    ටෙලිනාට්‍ය කිරීම හෙවත් මා නළුනිළියන් විශේෂයෙන් නිළියන් සමග ළඟින් ඇසුරු කිරීම ටෂ් කෙසේවත් රිස්සුවේ නැත.    ඇය ඒ ගැන මා සමග කීප විටක්ම පවසා තිබුණු අතර ටෂ්ට උවමනා කර තිබුණේ මාව ගෘහස්ථ ජීවියෙක් කොට හැකි හැම වේලාවේම ගෙදර රඳවා ගැනීමටය.   ටෂ් මට බලකරන ජීවිතයට මගේ කිසිම කැමැත්තක් නොතිබුණු අතර මගේ කැමැත්ත තිබුණේ හැකි හැමවිටම ගෙදරින් පිට ගතකිරීමටය.   මේ කාරණය ගැන අප දෙදෙනා අතර සාකච්ඡා ද සාකච්ඡා වලින් පසු ගැටුම්ද බොහෝ විට හටගන්නට විය.    

ටෂ්ලා වතුර ගත්තේ බෙන් එක සතු ලිඳෙන් වූ අතර සමහරවිට ටෂ්ලාගේ ගෙදර කෙල්ලන් හවසට ලිඳෙන් වතුර ඇදගෙන නා කියා ගන්නා අවස්ථාද විය. ස්ටුඩියෝ එකේ වැඩ අවසන් කර හවස ගෙදර එන ටෂ් කෙටි රෙදිකඩක් හැඳ අඩ අඳුරේම ලිඳට විත් නෑම හෝ ඇඟ සෝදා ගැනීම ඉතාම සාමාන්‍ය දර්ශනයක් විය.    අපේ ඇයි හොඳයිය ඇරඹුනාට පසුව නෑමෙන් පසු ඇය ගෙයි කුස්සිය පැත්තේ සිටින මාත් සමග දොඩමළු වීම සිරිතක් විය.  මේ කතාබහ දිගදුර ගොස් කතාබහක් නොමැතිව තුරුලුවී සිටින තත්වයකට පත්වුණේ බෙන් එකේ වෙන කවුරුවත් නොසිටි දිනවලදීය.    එවැනි දිනවලදී මා හැර තබන කුස්සියේ දොරෙන් ඇතුල්වී කාමරයට එන්නට තරම් ප්‍රගතියක් ටෂ් පසුව ලබාගත්තාය.    මා බෙනට්ගේ ටෙලි කණ්ඩායමත් සමග වැඩවලට යෑම ගැන ටෂ් නොරිස්සුමෙන් කතා කළ  අතර මේ සමබන්ධයෙන් අප දෙදෙනා අතර නිතරම  ඇතිවුණු බහින්බස් වීම් වලින් පසු දවසක  ටෂ් මට කෙලින්ම කියාසිටියේ අපේ ඇයි හොඳයිය පවත්වාගෙන යනවාද නැත්නම් ටෙලි නාට්‍ය වලට යනවාද යන දෙකින් එකක් තෝරාගෙන ඇයට කියන  ලෙසටයි.

ටෂ්ගේ කතාව මට සෑහෙන උහතෝකෝටිකයක් වූ අතර නොමිලේ ලෝඩ් බාගන්නට ලැබෙන අවස්ථාවද නැතිවී ගියේය.    ටෂ්ද නිතරම මා ඉන්නා තැන්වලට ඇවිත් මට උපරිම පීඩනයක් ලබා දුන්නාය.   දවසක් මම කාර්යාලයේ වැඩ කරමින් ඉන්නවිට ටෂ් එතැනට කඩා පාත් වුයේ ළඟ ගෙදරක ඉන්න ඇගේ යාළුවා වූ ඩෙලා ද සමගය.   මම කෙලින්ම ටෂ්ට කීවේ මෙවැනි වැඩවලට මගේ කිසිම කැමැත්තක් නැති බවයි.   එසේ කියා කැන්ටිමට රැගෙන ගොස් දෙන්නාට සිසිල් බීම දෙකක්ද රැගෙන බොන්නටදී ගෙදර පිටත් කළෙමි.    ටෂ් තේ බොන්නේ නැත ඇය උදේටද බොන්නේ වතුර හෝ පළතුරු බීමය.    මට එසේ නොව උදේට තේ එකක් බොන්නටම අවශ්‍යය.     බොරැල්ලේදී අප මුණගැහෙන දවස් වලටත් ටෂ්ව තේ බොන්නට හෝටලේකට  එක්කං යන්නට බැරි නිසා සිසිල් බීම බොන්නට මැද මිදුලට යා යුතුවිය.    මැද මිදුලේ කෑම බීම පට්ට ගණංය.    දුප්පත් රජයේ සේවකයෙකු වූ මට මේ විදියට ටෂ්ව නඩත්තු කරන්නට බැරිය.    යම්කිසි අමතර  ආදායමක් ලැබෙන වැඩකට යනවාට ටෂ් උදැල්ල දමයි.   බෙන් එකේ අනික් උන් පුල් ජොලියෙන් දවස ගතකරද්දී මගේ ඔලුව යකාගේ කම්මල වගේය.  

අපිත් එක්ක ක්‍ෂය රෝග මර්දනේ වැඩ කරපු ප්‍රියානිගේ මහත්තයගේ අවුරුද්දේ දානය ඊළඟ සතියට යෙදී ඇති බව මට කාර්යාලයට කතාකල දීපිකා කීවාය.    දානය සෙනසුරාදාට යෙදී ඇති නිසා දීපිකා සිකුරාදා සවස රද්දොළුගම ප්‍රියානිලාගේ  ගෙදර යන බවත් ඒ එක්කම මමත් යන්නට එනවානම් හොඳ බවත් ඇය වැඩිදුරටත් කීවාය. මමත් කැමැත්තෙන්ම දීපිකාට හා යි කීවේ කලදී අප දෙදෙනා අතරද යම් තරමක ඇයි හොඳයියක් තිබුණු නිසාය.  මේ දිනවල වේලි වේලි ඉන්න මට ඒත් මදිද කියා අඬගහපු ගමන්ම කැමති උනෙමි.     මම සති අන්තයේ ප්‍රියානිලාගේ ගෙදර දානයට යන බව ටෂ්ටද කීවෙමි.    කාන්තාවකගේ වැඩක් නිසා ටෂ් කැමති නැතිවුණත් ඒ වෙලාවේ මොකුත් නොකියා බුම්මාගෙන හුන්නාය.    සිකුරාදා සවස මම බොරැල්ලට ඇවිත් කොටුවට යන්නට ඉන්නාවිට ටෂ් රාජගිරියේ සිට පැමිණ එතැනට කඩා වැදුණාය.   

 ටෂ් ඇවිත් තිබුණේ මා කාත් එක්ක යනවාද කියා බලන්නට බව මට තේරුම් ගියත් සද්ද නැතිව සිටියෙමි.    ඇය මට ගෙදර යන්නට කතාකළාය.    මම ආවේ රද්දොළුගම දානයට යන්නට බවත් පසුදා හවස ආපහු එන බවත් කියා ටෂ්ට රස්තියාදු නොවී ගෙදර යන්නටැ යි කීවෙමි.    "මම කතා කළාම එන්නට බැරිවුණත් එක එක ගෑණුන්ගේ ගෙවල්වල නම් යන්නට පුළුවන්" යි  කියූ ටෂ් මාත් එක්කරගෙන මිසක අද ගෙදර යන්නේ නැතැයි වැඩිදුරටත් කීවාය.    මේ වාදයට එතැනම පැය බාගයක් පමණ ගෙවී ගියේය.   ටෂ්ගේ තර්කානුකූල නොවූ කතාවලට නප්පියටම තදවී සිටි මම ටෂ්ට  ඕනෑ මඟුලක් කරගන්නැයි කියා බස් එකකට ගොඩවී පිටකොටුවට ගියෙමි.   ඒ වනවිටත් මා එනතුරු බස්පොළේ බලාසිටි දීපිකා මා නැති නිසා තනියම ප්‍රියානිගේ ගෙදර ගිහිල්ලාය.   මමත් රද්දොළුගම බසයක නැගී ප්‍රියානිගේ  ගෙදර ගියෙමි.

 ප්‍රියානිලාගේ ගෙදරදී පරණ යාළුවන් සියලු දෙනාම පාහේ කලකට පසු මුණගැසී එතැන ඇතිවුණේ රස සාගරයකි. කෑමද,බීමද,විහිළු කතාද,පැරණි රසාංගද ආදියෙන් කුල්මත්වී සිටි අපට කාලවේලාව ගතවනු පවා නොදැනිණ.    දානය අවසන්වී සෙනසුරාදා සවස ආපහු එන්නට හිතාගෙන ගියත් මම ආපහු ආවේ ඉරිදා සවස් වරුවේය.    කාර්යාලයට යන්නට සෑහෙන ඇඳුම් ගෙනගොස් තිබුනානම් ඉරිදාද නතරවී සිට සඳුදා කෙළින්ම කාර්යාලයට යන්නට තිබුණා නේදැයි අපි කීපදෙනෙක් කතාවුණේ මහ හඬින් සිනාසෙමිනි.    

සෙනසුරාදා සවස එනවා යැයි කියූ මිනිහා ඉරිදාද සවස් වරුවේ බෙන් එකට පැමිණීම ගැන ටෂ් හිටියේ කේන්තියෙනි.    බුම්මාගෙන සිටි ඇය සඳුදා උදේ මගේ මුහුණවත් නොබලා වැඩට ගියාය.    ඒ වනවිටද මා ටෂ් සම්බන්ධයෙන් තීරණයක් ගෙන සිටියෙමි.    ඒ ඇයත් සමග දිගින් දිගටම ඉදිරියට යාමට කිසිසේත්ම නොහැකි තත්ත්වයක් පැනනැගී ඇතිබව මා තේරුම් ගෙන සිටි නිසාය.     ඊට දින කීපයකට පසු ටෂ්ගේ කේන්තිය පහව ගොස් අප  මුණගැසී සන්සුන්ව කතාකරමින් සිටි මොහොතක අප දෙදෙනාගේ තත්ත්වය මම ඇයට පැහැදිළි කර දුන්නෙමි.   මේ ආකාරයට අපට කෙතෙක් දුර යා හැකිද? එසේ නම් අනාගතයේ උද්ගත වන ප්‍රශ්න මොනවාද? ආදී වශයෙන් බොහෝ කරුණු ටෂ්ට පැහැදිලි කරද්දී ඇය නිසලව අසා සිටියාය.    එසේ නම් මින් ඉදිරියට අප වෙන් වෙන්ව අපේ ගමන් මාර්ග සොයා ගතයුතු බව මා කියුවිට ඇය මහ හඬින් හඬා වැටුණාය.    මගෙන් මෙවැනි දැඩි තීරණයක් ඈ බලාපොරොත්තු නොවූ සෙයකි෴
(අධික වැඩ රාජකාරි නිසා කපන මණ්ඩලය මේ දිනවල අක්‍රීය වී ඇති බැවින් භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය කතා මාලාවේ තවත් කොටසක් ඔබේ පහන් සංවේගය උදෙසා පළකරන බව කරුණාවෙන් සලකන්න)

Wednesday, April 26, 2017

මගේ ලිවිල්ල, පොල්කිරි හොද්ද,පීරීස්ගේ අඹ ඇඹුල, කර්තකොලොම්බන් අඹ පළදාව සහ සුද්දාගේ අඹ කැඩීම.


අද ලියන්නට සැරසෙන්නේ සංචාරක සටහනකි.    මීට පෙර දවස් කීපයක්ම මේ සටහනතබන්නට සැරසුනත් මොන මොන හේතූන් නිසා හෝ ලියාගන්නටනොහැකි විය.    ඒ නිසාම අද මේ සටහන ලියා අවසන් කරන්නට සිතුවෙමි.     ඒ සමගම ඔබට දැන්විය යුතු තවත් කරුණක් මේ සමගම ලියා තැබීම සුදුසු යැයි මට සිතේ එනම් මගේ ලිවිල්ල පිලිබඳවය.     ඩොමැස්ටික් සෙන්සර්ෂිප් ඉතා තදින් ක්‍රියාත්මකවීම හේතුවෙන් මගේ සුපුරුදු ලිවීම දිගටම කරගෙන යෑම සම්බන්ධව දැඩි ප්‍රශ්නකාරී වාතාවරණයක් මතුවී ඇත.       වාරණයට යටත්ව ලිවීමට මගේ කිසිම කැමැත්තක් නැත.      එය හරියට දෙඅත් බැඳ ලිවීම හා සමානය මුලසිටම මගේ ප්‍රතිපත්තිය හා ලිවීමේ රටාව වුයේ ලියන දේ අත දිගහැර ලිවීමය.      නමුත් අත දිගහැර ලිවීමට නොහැකිනම් ඒ ලිවීමට වඩා නොලියා සිටීම නම්බුකාරය.     එබැවින් මා මෙතෙක් ලියාගෙන ආ "භීෂණ සමයේ ටෙලිනාට්‍ය සමග ජීවිතය" සහ "දෙසතිය මතක" ලිපි පෙළට තාවකාලිකව සමුදීමට සිදුවී ඇත.

එයින් කියැවෙන්නේ මා ලිවීම නවත්වන බව නොවේ.    ආන්දෝලනාත්මක හෝ විවේචනාත්මක මාතෘකා නොවන සාමාන්‍ය ලිපි මට ඉඩ හසර ඇති අයුරින් පළවනු ඇත.      පළ නොවන්නේ ලුණු ඇඹුල් ඇතිව ලියාගෙන ආ ලිපි පෙළය.       ලුණු ඇඹුල් කියනවිට එකවරම මගේ මතකයට නැගෙන්නේ කිරි හොද්දකි.      කිරි හොද්ද නොහොත්  පොල්කිරි හොද්ද යනු මා ඉතා ප්‍රියකරන ආහාරයකි.    බැලු බැල්මට එය පිළියෙළ කිරීම ඉතා සරල වුවත් මා සිතන හැටියට හරියට රසට ලුණු ඇඹුල් ඇතිව කිරි හොද්දක් පිළියෙළ කරගැනීම ඉතා සංකීර්ණ කාර්යයකි.     උයන කෙනෙකුගේ එම කාර්යයේ නිපුණත්වය ඔහු හෝ ඇය සාදන කිරි හොද්දකින් මැනගත හැකි බව මගේ විශ්වාසයයි.      කිරි හොද්දක් පිළියෙළ කරන ක්‍රමවේදය හා බ්ලොග් ලිපියක් ලියන ක්‍රමවේදයේ සමානකම් ඇති බව මා විශ්වාස කරමි.

කිරි හොද්ද රසවත් වන්නේ කුළු බඩු, දුරු මිරිස්, උම්බලකඩ,ලුණු ඇඹුල් , රම්පෙ කරපිංචා ආදිය පදමට දමා හැඳි ගාමින් පිළියෙළ කළ විටය.     මොන තරම් අඩුම කුඩුම දැම්මත් ළඟ ඉඳගෙන හැඳි නොගෑවොත් හොද්ද උතුරා කැටිගැසේ.     ඒ නිසාම යන්තම් හොද්ද රත්වෙන්නට ගත් මොහොතේ සිට හැඳිගාන්නට පටන් ගත යුතුය.   ඒ හැඳිගෑම හොද්ද ඉදී අහවර උනත් නවත්වන්නට නොහැක.    හොද්ද ඉදවා ලිප නිවා ඇඹුල් මිශ්‍රකල පසුවද හැඳිගෑම කරගෙන යායුතුය.     හොද්ද නියම ආකාරයට රසවත් වන්නේ එවිටය.      බ්ලොග් ලිපියක් ලිවීමේදීද මේ ආකාර දෙකම උපයෝගී කර ගත හැක.    එකක් නම් තමන්ම සීමාවන් පනවාගෙන ලියන්නට ඇතිදේ සියල්ලම නොව අවශ්‍ය දේ පමණක් ලියාගෙන ගොස් ලිවීම අවසානවූ වහාම පළකිරීමය.     එවිට තමන් ලියා ඇති ලිපියේ අඩුපාඩු, වැරදි, රස නීරස කිසිම දෙයක් නැවත පරීක්ෂා කර බලන්නට හැකි නොවේ.    එසේ වුවිට  එම ලිපිය හැඳි නොගා හදන කිරි හොද්ද මෙන් නීරසවේ.

සීමාවන් රහිතව හිතේ හැටියට ලිවීම අනෙක් ආකාරයයි.       සිතේ ඇති සිතුවිලිවලට නිදහසේ ගලා එන්නට ඉඩ දෙමින් ලියන දෙය රස විඳිමින් බ්ලොග් ලිපියක් ලියා දින ගණනක් එය නැවත නැවත කියවමින් අඩුපාඩු සකස් කරමින් මටසිලුටු කරමින් හැඩ ගන්වමින් අනතුරුව පලකළ විට එම බ්ලොග් ලිපිය ඉතා හොඳින් හැඳි ගා පිළියෙළ කළ කිරි හොද්දක් මෙන් රසවත් වේ.     පලකළ පසුද නැවත කියවන විට වඩාත් හොඳින් සකස් කළ හැකි තැනක් දුටු විට එයද සකස් කිරීම හොද්ද ලිපෙන් බාගත් පසුවද හැඳි ගෑම වැනිය.   මා බොහෝ විට අනුගමනය කරන්නේ මේ දෙවැනි ක්‍රමයයි.

ලිපියක් ලියද්දි  ලිවීම පිළිබඳව වර්තමානයේ මා ඉතා සැළකිලිමත් වෙමි.   සමහර විට ලිපියේ තැනකට ගැලපෙන වචනයක් සිතට නොආ විට එතැනට ගැලපෙන වචනය ලැබෙනතුරු සමහර විට දින ගණන් ගතකරමි.      අපේ භාෂාවෙන් කිවහොත් හිට් වෙන විදියට බ්ලොග් ලිපිය පලකළ හැකිවන්නේ එවිටය.     ආප්ප බාන ලෙස බ්ලොගයේ ලිපි පළකිරීම මා අනුමත නොකරන බැවින් බ්ලොගය යාවත්කාලීන වීම මඳක් ප්‍රමාද වේ.    එහෙත්  අන්තර්ගතයේ ප්‍රමිතිය ඉහළ තත්වයකින් පවත්වාගෙන යෑමට නිතරම උත්සාහ ගන්නා කෙනෙක් ලෙස  සීමාවන් තුළ ලිවීමේදී මා අසාර්ථක වෙතැයි මට නිතරම සිතේ.    අසාර්ථක ලිපි ලියනවාට වඩා නොලියා ඉඳීම සැපතකි.    එසේ නමුත් අසාර්ථක ලිපිද කෙසේ හෝ ලියැවිය යුතුය.   මන්දයත් සාර්ථක ලිපි කිමෙක්දැයි මැන බලා ගැනීමට අසාර්ථක ලිපි මහඟු මෙහෙවරක් ඉටු කරන නිසාවෙනි.

ඉතින් කිරිහොදි මතක්වුණ මේ වෙලාවේ ඒත් එක්කම මතක් වෙන්නේ අඹ මාළුවය.   සිරි ලංකාවේ අඹ පලදාව නහුතයටම නැග ඇති මේ අඹ වාරයේ කෑමකට කොහේ ගියත් මේසයේ  නිතරම පාහේ අඹ ව්‍යංජනයක් වරදින්නේ නැත.   මගේ ජීවිතේටම මෙතෙක් කල් කා ඇති රසම අඹ මාළුව අරගෙන ආවේ අපිත් එක්ක රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වැඩකරපු පීරිස්ය,   ඌත් පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙකුගේ වයස ගියත් එතෙක් කල් පිළිවෙලක් නොවී තනිකඩව හිටපු එකා නිසා හැමදාම උදේට ඌට බත්මුල හදා දෙන්නේ අම්මාය.   අම්මා කෙහෙල් කොළේ ඔතාදෙන බත් එකද අරගෙන බෙම්මුල්ලෙන් කෝච්චියට නැග කොළඹ එන පීරීස් දවල් කෑම කන්නේ මගෙත් එක්කය.    කන්තෝරුවල වැඩකරන අය වැංජන හුවමාරු කරගෙන කන සිරිත අනුව දවසක්දා පීරීස් දවල් කෑම එකේ තිබුණු අඹ වැංජනයෙන් කොටසක් මටත් බෙදුවේය.   එහි රස බැලූ මගේ රස නහර පිනාගියේ පීරීස්ගේ අම්මා  තුනපහ ආදිය හොඳට කළුකර දමා සීනි ටිකක්ද මිශ්‍ර කර අඹ මාළුව එතරම්ම ලකේට උයා තිබුණු බැවිණි.    ඊට පස්සෙ නම් එවැනි රස අඹ මාළුවක් මෙතෙක් මට කන්නට ලැබී නැත.    මම ඉන්දියාවේ රාජකාරි කරන කාලේ පීරිස් ටීච කෙනෙක්ව  පෙළවහට ගත්තාය කියා මට ලියා දන්වා එවා තිබුණි.    අඹ මාළුවක් හදෝගෙන වත් කන්නට  උගේ අම්මා නම් දැන් ජීවතුන් අතර ඉඳී කියා හිතන්නටද අමාරුය.

අඹ ගැන දිගටම කතාකරගෙන එනවිට මට තවත් අඹ කතාවක් මතක්වේ.    ඒ නම් මේ ඊයෙ පෙරේදා වෙච්චි දෙයකි.    අපේ යාලුවෙක් කලකට ඉස්සර ගත්ත පොඩි ඉඩම් කෑල්ලක් තිබේ.   එය තියෙන්නේද වැඩිදුරක නොව අපේ ගමට එහා ගමේය.   මේ ඉඩම් කෑල්ලේ තියෙන ගස්වල පළදාව නෙලන්නට අපේ හිතවතුන් යන්නේ අති විශාල වතුයායක පළදාව නෙලන්නට යනවාක් මෙනි.   මාස තුන හතරකට සැරයක් ගිහින් ඉඩමේ තියෙන ගස් කීපයේ පොල් කඩාගෙන ඒම ආදිය ඔවුන් කරන්නේ ඉතා උනන්දුවෙනි.  මේ ඉඩමට යන අය කරන කියන දේ ගැන මහ ඉහළින් කතා කළත් මට මෙතෙක් කල් ඔවුන් එක්ක ඉඩමට යන්නට අවස්ථාවක් ලැබුණේ නැත.   දැනට දවස් දෙක තුනකට ඉස්සර එක රෑක බණ ගෙදරක ගිහිං බණ ගෙදර ආපු අයට රෑට දානය ලෑස්ති වෙනතුරු එතනම ළඟ ගෙදරක අපි දෙතුන් දෙනා චුට්ටක් සප්පායම් වෙමින් ඉද්දී හෙට උදේ අහවලාගේ ඉඩම් කෑල්ලේ අඹ කඩන්නට යන්නටත්  තියෙනවායි කියූ සුද්දා ඒකට කෙනෙක් හොයාගන්නටත් අවශ්‍යයි කියා අඹ කඩන්නට යන්නට මටද කතා කළේය.   එහෙනම් හෙට උදේ යමු කියා මමත් වැඩිදුර නොසිතාම කැමැත්ත දුන්නෙමි.   රෑ කරපු කර්තව්‍යය ටිකක් දිගදුර ගොස් රාත්‍රී ආහාර ගෙන අවසන්වී මම ගෙදර එද්දී පාන්දර ජාමය විය.

ඇඳට වැටුණු සැණින් මළාක් සේ නින්ද ගිය මට පසුදා උදේ ඇහැරුණේ ගේ ඉදිරිපිට සුද්දා කෑගසන හඬ ඇසෙනවිටය.    බැලුකොට වෙලාව උදේ නමයටත් කිට්ටුය.   ඉඩමට යන්නට දැනටමත් පරක්කුය කියූ සුද්දා මට තව එකෙක් එක්ක ඉඩමට එන්න පට්ටල් කරදී යන්නට ගියේය.   ඉක්මනටම මුහුණ සෝදා හැඳ පැළඳගෙන එළියට බහිද්දී උදේම කොහි යනවාදැයි හැලපි ඇසුවාය.   ගහක අඹ කඩාගෙන එන්නම්ය කියුවිට කොහෙ ගියත් හවස තුන වෙද්දී ගමන යන්නට ගෙදර එන්නටය කියා හැලපි කීවේ ඇයගේ යාලුවෙක්ගේ ගෙදර යන්න එනවායි මම කලින් දවසේ පොරොන්දුවී සිටි නිසාය.    වැඩි කල් වේලා නොගොස් අපි දෙන්නා ඉඩමට යද්දී සුද්දා සහ අඹ කඩන එකා බර වැඩය.   ඌ ගහ උඩ සිට ගොට්ටක් ගැට ගසා තිබු කෙක්කකින් අඹ කඩා පෝර උරයකට දමා පහළට එවද්දී සුද්දා අඹ ටික ගොඩගසයි.   ඉඳහිට බිමට වැටෙන ගෙඩියක් ඇරෙන්නට ඉතිරි අඹ සියල්ලම නොතලා පරිස්සමින් කඩාගන්නට ගහේ හිටපු එකා සුරයෙකි.   ඌම ගහේ නැග්ගා මිසක මම නම් මසුරන් දෙනවා කිව්වත් ඒ ගහට නොනගින්නේ සිලි සිලි ගා එතරම්ම දිමියන් තොගයක් ගහේ පුරාම පිරී සිටි නිසාමය.    ගහ උඩ අඹ කඩන එකා සැරෙන් සැරේට ලාම්පුතෙල් කුප්පියක් ගහේ කඳේ හලන්නේ දිමියන් ඇඟට එන එක වළක්වාලන්නටය.    දිමි හිටියාය කියා අතහැර දමන්නටත් බැරි ඒ ගහ කර්තකොලොම්බන් ගහක් වීමත් මෙදා සැරේ ගෙඩිත් හොඳට අලංකාරව සම්පූර්ණවී හැදී කහ කෑල්ල වගේ පැසී තියන නිසාවෙනුත්ය.

ටිකකින් ඉඩම අයිතිකාරයාත් පැමිණියේය.   අහල පහළ ගෙවල් දෙකක ඉන්න අයගේ පැමිණිල්ල වුයේ ඒ අයගේ වතුවලට නැවී ඇති අඹ අතු කපා දමන්නට කියාය.   ඒ ගමන සුද්දා ආපහු ගෙදර ගිහින් අඹ අතු කපා බාන්නට කඹද, මන්නා පිහි, පොරෝ ආදියද රැගෙන ආවේය.   දැන් අඹ කැඩිල්ල තියෙද්දි අතු කපා බාන වැඩේ පටන් ගෙනය.    විශාල අතු දෙකක් කපා කඹයේ ගැටගසා බිමට බානවිට එහි තිබුණු හොඳට පැසුණු අඹ සෑහෙන ප්‍රමාණයක් බිම වැටී තැලී පිපිරී වැඩකට නැති තත්ත්වයට පත්විය.   අපි ඉක්මන් වුයේ ඉතිරි අඹ ටිකවත් පරිස්සමින් ඉවත් කරගන්නට වුවත් අත්ත පුරා පිරී සිටි දිමි රංචුව නිසා එය ලේසි පාසු කාර්යයක් නොවීය.   අත්තේ තිබුණු අඹ ටික කඩාගන්නට ගිය මගේ අත් දිගේ උඩට නැග ආ දිමි රංචුව අත්, බඩ,පපුව, පිට ,කණ, මුහුණ ආදියේ එල්ලී සපාකන්නට වුවෝය.   කලිසම අස්සෙන් කකුල් දිගේ නැග ආ දිමි පිටිපතුල, බත්කෙන්ඩ, කලව, පුක(පුක යනු කුණුහරුපයක් නොවේ.පේටන්ට් අයිතිය කකා සතුය.) ඈ මතුනොව සංසාර කුට්ටමේද එල්ලී ගෙන මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කරන්නට වුවෝය.    අඹ කැඩිල්ල අතහැර දැමු මම කමිසයද ගලවා ගසමින් දිවගියේ ඒ මරුමුස් දිමි ප්‍රහාරයෙන් බේරෙන්නටය.  කලිසම ගලවන්නට පිළිවෙලක් නොවුයේ අහල පහළ ගෑණු මෙන්ම  ළමිස්සියන්ද බලාගෙන සිටි නිසාය.   වෙනත් සතුන් මෙන් නොවැ දිමින්ගේ හොඳක් තියෙන්නේ හපාකන විට ඇති වේදනාව හැරුණු විට හපාකෑමෙන් පසු ඉදිමීම් වේදනා ආදී වෙනත් පශ්චාත් ආබාධ කිසිවක් නොමැති වීමය.

මේ වනවිට වෙලාව හවස දෙකටත් කිට්ටුය.   දවාලට කෑමක් ගැන කාටවත් මතකක් නැතිවුණත් දානෙ ගෙදරින් දිගින් දිගටම ඇමතුම් ලැබෙන්නට වුයේ කෑමට එනවාද කියා අසමිනි.     අපි කට්ටියටම කෑම තියන්නටය කියා කෑම ඕඩරයද ලබා දුන්නෙමු.     අඹ ගහෙන් බාගෙක අඹ කඩලාද කපන්නට තිබුණු අතු ටික කපලාද අහවරය.   ඉඩම අයිතිකාරයා ඇතුළු අපි කාටත් දැන් දැන් මහන්සී වගේම  බොන්නට තිබහක්ද ඇතිවෙලාය.   ඒ ගමන සියලු වැඩ අත්හැරලු අප හැමදෙනාම ඉඩමේ පැත්තකට ගොස් පස්වෙනි සිල්පදය කඩන්නට පටන් ගත්තෙමු.   දෙකහමාර පමණ වනවිට යන්නට එන්නේ  නැද්දැයි හැලපි කතාකර ඇසුවාය.   ගමනක් යන්නටත් තිබෙනවා නොවේදැයි මතක් වුනෙත් එවෙලාවේය.   ඉක්මන් කර ගෙදර එන්නට ලෑස්ති වෙනවිට එකෙක් අඹ ටිකකුත් මල්ලකට දමා මට දුන්නේය.    එයත් රැගෙන ගෙදර පැමිණි මම හැලපිගේ අත් අඩංගුවට පත්වුනෙමි.    අඹ නිසා ගෙදරින් එපමණ ප්‍රශ්න මතු නොවුණු අතර මම දැන් බලා සිටින්නේ අඹ ටික ඉදෙන තුරුය෴ 

Thursday, April 13, 2017

ඇරියස් සමග අවුරුදු, ජිනාගේ වලිය, පේමයාගේ කරාටි, ෆොක්ස් සහ කළගුණ සැළකීම.


අලුත් අවුරුදු හයක් එකදිගට මිස්වූ මට මේ අවුරුද්දේ ගෙදර ඉන්නට ලැබුණේ අවුරුදු හයකට පසුවය.    මට මිස්වූ අවුරුදු හයේ ඇරියස්ද සමග  ජයටම අවුරුදු කවන්නට හැලපි ලක ලෑස්ති වෙන්නේ දවස් ගණනක සිටය.  ඒ හදන කෑම තොගය කෑවොත් සීනි වැඩිවී නතර වන්නට වෙන්නේ රෝහලකය. හැලපැට්ටාද රටේ නැති නිසාවෙන් මට නම් අලුත් අවුරුද්ද එච්චරම ගනිච්චියක් නැත.  ටී.වී. එකේ ජයටම අවුරුදු කීවාට අවුරුදු සිරිය පෙන්නුවාට එහෙමකට අවුරුදු අසිරියක් අපේ ගමේ නං දකින්නට නැත.   ඉඳහිට කොහා කෑගසයි.   කොල්ලො කුරුට්ටෝ සයිකල් වල නැගී අපේ ගේ ඉදිරිපිට පාරේ එහෙ මෙහෙ යති.   කෙල්ලෝ මොබයිල් පෝන් කණේ ගහගෙන කඩිසරකමින් ගමන් කරති.   රෑට රතිඥ්ඥා ද අහස් කූරුද පත්තු වෙන සද්දය කණ ළඟ මෙන් ඇසේ.   ටවුමේ කඩවල සෙනග ඊස් මීස් නැතුව පිරී ඉතිරී බඩු ගනිති. වෙන අවුරුදුවල  උදේ රෑ   නැතුව පාරේ පිරී ඉන්නා බේබද්දන් කවුරුවත් මෙදා දකින්නට නැත.  ඒ අරක්කු මිළ දරාගත නොහැකි අන්දමට ඉහළ යාම නිසා විය යුතුය.  බර ගාණක් දී බෝතලයක් මිළදී ගත්තත් එය හිස්කරන්නට හවුල් වෙන්නට වෙනදා මෙන් කාටවත් කතා නොකරන්නේ අතමිට  හිඟකම නිසාම මිස මිතුරු සාද පවත්වන්නට අකමැති කම නිසා නොවේ.    ඒ නිසා ගෙනාපු බෝතලෙන් ෂොට් දෙකතුනක් තනියම දමාගෙන නොබීවා සේ ෂේප් එකේ සිටිති.    ඉස්සර සැන්ටින් මුද.ලාලිගේ තේ කඩේ මිදුලේ දවල් දවසේම තිබු කැටපොළත් කඩේ පිටිපස්සේ පැය විසිහතරේම ක්‍රියාත්මක වුන බූරුපොළත් අභාවයට ගොස් බොහෝ කළකි.   බූරු ගසා ඇඳන් ඉන්න රෙද්ද ඇරෙන්නට සබ්බ සකළ මනාවම පැරදී කඩේ ඉදිරිපිට නොයෙක් විප්‍රකාර කරන උන්ද බූරු සෙල්ලමෙන් දිනා බෝතල් පාටි දමන උන්ද වඳවී ගොස් බොහෝ කළකි.  

දවසක්දා බුරුපොළ ළඟදී හොඳටම බීමත්ව සිටි ජිනා රජවත්තේ ආරිත් (රජවත්තේ ආරි අපට සොමිය දෙන මයියංගනේ  ආරිත් සමග පටලවා නොගන්න) සමග මොකක්දෝ කතාවකට ඇරගත්තේය.     දෙන්නාගේ බහින්බස් වීම දුරදිග ගොස් කෙලගන්න තත්ත්වයටම ලඟාවිය.    එක්වරමැ  ජිනා අත මිට මොළොවා ආරිට පොල් අඩියක් දෙසා බෑවේය.   හැඩි දැඩි ජවසම්පන්න පුරුෂයෙකු වූ ආරි ඉදිරියේ පඟර නැට්ටෙකු වූ ජිනාගේ පොල් අඩිය අත පහත් වෙන්නටත් පෙර උඩදීම වලක්වාලු ආරි ජිනාගේ අත කරකවා පිටින් ගෙන කර උඩින් ඔසවා ජිනාව පොළොවේ ගසාලුය.    හතර ගාතෙන් බිම ඇද වැටුණු ජිනා නැගිටින විට ළඟ තිබුණු හබරළ අකුලට විසිවන්නට පුකට පයින් පහරක්ද ගසාලීය.    හතර විළි ලැජ්ජාවට පත් ජිනා වී කුරුල්ලෙකුසේ වේගයෙන් නියර දිගේ ගෙදර දිව්වේ "මං ආපහු එනවා! තෝව කන්ඩ මං ආපහු එනවා! " යි නොනවත්වා කියමිනි.    අප සියලුදෙනාම බලාපොරොත්තුවෙන් සිටියේ ජිනා කඩුවත් රැගෙන හැරෙන තැපෑලෙන් ආපහු ඇවිත් ආරිව කපා කොටා දමතිය කියා වුණත් හැන්දෑ වන තුරුම ජිනා ආපහු ආවෙ නැත.   අප සියලු දෙනාම ආරිට අවවාද කළේ මින් ඉදිරියට කිසිම දිනෙක වැරදිලාවත් අඳුර වැටුණු පසුව ජිනාගේ ගේ ඉස්සරහ පාරෙන් ගෙදර යන්නට එපා කියලාය.   ඒ අපි ජිනාගේ හැටි හොඳින්ම දන්නා නිසාය.    වැරදිලාවත් ආරි ඒ පාරෙන් ගියානං එහෙම කඩුවත් තියාගෙන අඳුරේ මඟරැක බලාසිටින ජිනා ආරිව කපන එක සක්සුදක්සේ සහතික නිසාය.  අපේ අවවාද ඉහළින්ම පිළිගත් ආරි ඉන් මතුවට කිසිදිනෙක ඒ පාරෙන් තනියම ගමන් ගියේ නැත.  

ජිනාගේ තව වැඩක් මට මතක්වේ.   ඒ මයියංගනේ ආරියා ඇතුළු රෙදි මෝලේ වැඩකළ උන්ට කරාටි උණ තදින්ම වැලඳී තිබූ සමයයි.    මුන් කණ්ඩායමම ගිහින් ටවුමේ කරාටි මාස්ටර් කෙනෙකුගේ පන්තියට බැඳුනාහ.   සති දෙක තුනක් මාසයක් පමණ ගතවෙද්දී මුන් ටික දුටු දුටුවන්ට කරාටි ගහන තත්ත්වයට පත්වුනෝය.   මේ කණ්ඩායමේ සිටි පේමයාට කරාටි පිස්සුව තිබුණේ හොඳම එකෙන්ය.    ඌ කෑවේ බීවේත් ඇවිද්දේත් කරාටි වලට අනුකූලවය.   දවසක්දා කට්ටිය ඉන්න තැන පේමයා තමන් කරාටි ක්‍රීඩාවේ ලබා ඇති ප්‍රවීණත්වය ගැන විස්තරයක් කළේ අසා සිටි අපේ ඇඟ ලොමු ඩැහැ ගන්වමිනි.

" දැන් උඹල ඕනෑ විදියකට මට ගහපල්ල, මම ගුටි කන්නෙ නෑ බේරෙනවා!"

කියු පේමයා උජාරුවෙන් වට පිට බැලීය.   සියලු දෙනාම සාවධානව අසා සිටිති, පේමයාට හෙන ජොලිය.

" ඈ බං, උඹ කියන්නෙ ඕනෑ විදියකට උඹට ගැහුවොත් බේරෙන්ඩ පුළුවන් කියලද?"

පේමයාගේ කයිය හොඳින් අසා සිටි ජිනා ඇසුවේය.      

" ඔව් ඔව් ජිනයියෙ, උඹ ඔනෑම විදියකට මට ගහපං බලන්ඩ, මං බේරෙන්නෙ නැද්ද කියල!"

"ඉඳින්කො එහෙනං!" කියු ජිනා ඒ අසල තිබුණු වැටෙන් හොඳට වැඩුණු නාඹර වැටමාර පොල්ලක් කඩාගෙන විත් පේමයාගේ පිටටද අත පය හතරටද  නෙලන්නට වුයේ පේමයාට අතක් ඔසවන්නට පවා ඉඩ නොතබමිනි.   වැටමාර පොලු පහරවල් එක පිට එක චට පට ගා පිට හරහට වැදෙද්දී ප්‍රහාරය ඉවසාගත නොහී " බුදු අම්මෝ" යි මරහඬ දී  කෑගැසූ පේමයා වැටට උඩින් පාරට පැන දුවන්නට වන.     අත තිබූ වැටමාර පොල්ල ජයග්‍රාහීව පහත දැමු ජිනා " කෝ කරාටි කාරය ගියාදැ' යි ඇසුවේ "සේනක බිබිලෙ ගියාදැ' යි සන්නා ඇසු ආකාරයටමය.    ගෙදර ගොස් පිට පුපුරපු තැන්වලට තෙල් ගා සාත්තු කරගෙන ආපහු ආ පේමයා කීවේ ඌට වැදුණු පහරවල් වළක්වා ගැනීමට කරන්නට තිබූ එකම දෙය වැලි සෙල්ලම බවයි.  ඌට ගුටිකන්නට උනේ එතැන පාරේ ගල් බොරළු පමණක්ම මිස වැලි නොතිබූ නිසා මිසක සාස්තරේ වරදක් නිසා නොවන බව පේමයා කීවේ දහ අතේ දිවුරමිනි.

තව එක කතාවක් කියා මේ පෝස්ටුව අවසන් කරන්නට සිතමි.   ඒ මීට අවුරුදු හත අටකට පෙර එක අලුත් අවුරුද්දක මා අත්දුටු සිද්ධියකි.    ඒ අලුත් අවුරුදු සැන්දෑවේද මා බොහෝ කම්මැලි කමින් ඉස්තෝප්පුවේ පුටුවක් තබාගෙන හිස් බැල්මකින් පාර දෙස බලා සිටියෙමි.     අපේ ගේ පිහිටා ඇත්තේ තරමක කන්දකය.  දෙපැත්තටම ඇත්තේ පල්ලමය.   සැඳෑ අඳුර හතරවටින්ම ගලා එන ඒ ගොම්මන් යාමයේ  එක්වනම කන්ද නැගගෙන එන දෙන්නෙක් දුටුවෙමි.    බැලුකොට මගේ යාළුවන් දෙන්නෙකි.    හැබැයි උන් දෙන්නා ආවේ මා හමුවන්නට නොවේ.    එකෙක් අතේ තරමක පාර්සලයක්ද විය. 

" අපි මෙහෙට ගිහිං එන්නංකො අයියෙ' යි මහත් සතුටකින් මට කී ඔවුන් දෙදෙනා පය ඉක්මන් කොට පල්ලම බැස ගියහ.   මම තව දුරටත් අඳුර දෙස බලා සිටින්නට වීමි.    විනාඩි පහක් ගතවන්නට ඇත.   පහළට බැස ගිය උන් දෙන්නා ආපසු එනු දුටුවෙමි.    හැබැයි ගිය තරම් ජවයකින් නොවේ.   හරියටම කිව්වොත් කන් කඩාවැටුණු බලු කුක්කන් දෙදෙනෙකු සේ නොහොත් ශුක්‍රාණු කෑ රිළවුන් දෙදෙනෙකු සේ මුන් දෙදෙනා ආපසු එති.   ගෙනගිය පාර්සලයද එහෙමමය.    

" අපි යන්නං අයියෙ" මුන් දෙදෙනා කීවේ මලානික හඬකිනි.   යමක් වැරදී ඇති බව මට එක්වනම අවබෝධ විය.    කම්මැලිකමින් ඉන්න වෙලාවේ කතා කරන්නට මේ දෙන්නාද වටී.     
"පිට පාරෙම යන්නෙ මොකද? පොඩ්ඩක් ගෙට ගොඩ වෙලා යමු! "  මා කතා කළ විට දෙන්නාම හැරී ගෙදරට ආහ.    කතා කරමින් ඉන්න ගමන දෙන්නා  කොහි ගියේදැයි මම වටින් ගොඩින් ඇසුවෙමි.     මඳ පැකිලීමකින් එකිනෙකාගේ මුහුණු බලාගෙන මොහොතක් සිටි දෙදෙනා ඉන්පසුව ටිකින් ටික විස්තරය කියන්නට වූහ.    පිට පළාතකින් අපේ ගමට බින්න බැස්ස එකෙක් සිටී.  ඌ වැඩකළේ කොළඹ මහ රෝහලේය.   ඌ කසාද බැඳගෙන ඉන්න අපේ ගමේ කෙල්ලට අපි නම තබා තිබුණේ ෆොක්ස් කියලාය.   ඒ ඇගේ පිරිපුන්ව සහ විශාලව වැඩී තිබු ලැම එවකට ජනප්‍රිය හොලිවුඩ් නිළියක්වූ සමන්තා ෆොක්ස්ට සමානවූ හෙයිනි.    

මුලින් සමන්තා ෆොක්ස් කියා ඇයව හැඳින්වුවද පසුව නම ෆොක්ස් යනුවෙන් කෙටිවිය.     මේ දෙදෙනාට එක් දරුවෙක් සිටී.    ෆොක්ස් වස නපුරු ගැහැණියක් බවද මිනිහාට බලු බැණුම් බනින බවද ඌ රණ්ඩු වෙන්න යන්නේ නැතිව කරබාගෙන ඇය කියන දෙයක් කරන බවද එකල පැතිර ගිය කතාවකි.    ඇය කුස්සියේ වැඩ කරමින් සිටි වෙලාවක දරුවා හැඬුවොත් " මොකද බොල තෝ කරන්නෙ, ඔය ළමය අඬනව ඇහෙන්නෙ නැද්ද? ගිහිං බලපියකො" ආදී වශයෙන් ආදරයෙන් සැමියා අමතන බව මට එකෙක් කියා ඇත.    ඉතිං අපේ යහළුවන් දෙන්නාද මොහුගෙන් යම් උපකාරයක් බලාපොරොත්තු වූ අතර ඔහු ඒ උපකාරය ඉතා හොඳින් ඉටුකරදී ඇත.    දැන් මේ දෙන්නා බෝතලයක් සහ බයිට්ද රැගෙන ගොස් ඇත්තේ කරදුන් උපකාරයට කළගුණ සළකන්නටය.

බෝතලයද ඔතාගෙන ගෙදර මිදුලට ගිය දෙන්නා නම කියා ඔහු අමතා ඇත.   ඇවිත් ඉන්නේ කවුදැයි බලන්නට එළියට විත් තියෙන්නේ ෆොක්ස්ය.

" .....අයිය ඉන්නවද දන්නෑ!" මේ දෙදෙනා ඇසුවිට ඇය කතාබහකින් තොරව ගෙටගොස් ඇත.   ඉන්පසුව ගේ ඇතුලේ සිදුවූ කතාව මෙසේය.

"කවුද ඕයි?"

" අන්න තොගෙ කූටාලියො දෙන්නෙක් බෝතල් අරං පැලෙන්න ඇවිත් ඉන්නව, ගිහිං පැලිය!" 

කළගුණ සැළකීම පසෙක තැබූ මුන් දෙන්නා ඒ පයින්ම ආපසු හැරී ආවේ දෙවියන්ට පිං දෙමිනි෴

"අප්‍රේල් මාසයට ලියන පළමු පෝස්ටුව ලියන්නට අලුත් අවුරුදුදා වන තුරුම ඉන්නට විය.  මෙවර මා වැඩ අල්ලන්නේ මෙය පබ්ලිෂ් කිරීමෙනි.   බ්ලොග් ලියන කියවන කමෙන්ට් කරන සියලුම හිතවතුන්ට හිතවතියන්ට වලියෙන් තොර සොමියෙන් බර බත බුලතින් සපිරි  කිරියෙන් පැණියෙන් උතුරන සුබ අලුත් අවුරුද්දක් වේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා, හැලපි සහ හැලපැට්ටාය."

Thursday, March 16, 2017

සමුදෙන්නට කාලය පැමිණ ඇත.


අවුරුදු පහකටත් මදක් වැඩි කලක් ජීවත්වූ දේශයට සමුදී ගමරට එන්නට දවස උදාවී  ඇත්තේ නොදැනුවත්වමය.    අවුරුදු පහක් යනු ජීවිත කාලයට සාපේක්ෂව බලන කල සුළු කාලයක් වුවද විප්‍රවාසයේ ගතවන සුළු කාලයද දිගු එකක් වන බැව් නොරහසකි.   මීට වසර පහකට පෙර එක ජනවාරියක  හැලපැට්ටා ද කැටුව මෙරටට පැමිණි රාත්‍රිය මට අද මෙන් මතකය.   මෙරට ජීවිතයට අනුගත වීම සඳහා එතැන් සිට තරමක අපහසුතාවන් සහිත කාලයක් ගෙවන්නට අප දෙදෙනාට සිදුවිය.    එතැන් සිට කාලය ගලාගියේ අති ධාවනකාරී ලෙසය.   අද හැලපැට්ටා ද මෙරට අධ්‍යාපනය නිමකර වෙනත් රටකට ගිහින්ය.   ගම රටට එන්නට ලැබීම ගැන හැලපි බොහොම සතුටින් හිටියත් ඒ ගැන මටනම් ඇත්තේ මිශ්‍ර හැඟීමකි.   විශේෂයෙන් දමා එන්නට බැරි දෙයක් නැතත් අසීමිත සහ අති ප්‍රබල අන්තර්ජාල පහසුකම් නැතිවීම ගැන නම් සෑහෙන ලෝබකමක් නැත්තේද නොවේ.    ආයෙම ඉන්නේ කොච්චියා සහ නෙල්ලිය.   උන් දෙන්නාද මට මගහැරෙන තවත් සොඳුරු ජීවීන් දෙදෙනෙකි.    පහුගිය සතියේ මම කොච්චිගේ නිවෙසට ගියේ ඔහු විසින් පවත්වන ලද සමුගැනීමේ සාදයට සහභාගී වන්නටය.    අප කීපදෙනා පමණක් සහභාගිවූ සාදයට නෙල්ලි පැමිණියේ මදක් පමාවීලාය.   ඒ ඇවිල්ලාද අපි හොඳින් අනුමත වන තුරු ඔහුට  අමද්‍යපව ගතකරන්නට සිදුවුණේ සාදයෙන් පසුව අප දෙදෙනාව නිවෙසට ගෙනත් බැස්සවීමේ රාජකාරිය කොච්චියා විසින් ඔහුට පවරන ලද හේතුවෙනි.    කෙසේ වුවද අමද්‍යපවම රාත්‍රී අහාරය ගත් නෙල්ලි ඔහුට පවරන ලද රාජකාරිය ඉතා හොඳින් නිමකර අපෙන් සමුගෙන යන්නට ගියේය.   නෙල්ලි වැනි ලබැඳි  තරුණයෙකු නැවත හමුනොවීම සෑහෙන දුකක් වන්නේ ඔහුව හොඳින් ඇසුරු කරන්නටද කාලයක් නොමැතිවූ නිසාමය.

රිය පැදවීම හා අමද්‍යපව සිටීම ගැනත් යමක් ලියන්නට ඇත්නම් හොඳ යැයි සිතේ.    බ්‍රහස්පතින්දා සහ සිකුරාදා රාත්‍රීන් හිදී පොලීසියේ අය බොහොම ඉවසිල්ලෙන් මග දෙපසටවී බලා සිටින්නේ රාත්‍රියේ මත්පැන් සාද පවත්වා පාන්දර යාමයේ වෙරිමතින් වාහන පදවාගෙන යන අය කොටුකර ගන්නටය.   වැඩිපුරම එහෙම යන්නේද ලංකාවේ උන්මය.   වැරදිලාවත් අහුවුණොත් පැය හතළිස් අටක් හෙවත් දවස් දෙකක් පොලීසියේ ආගන්තුක සත්කාර විඳිමින් ඇතුළේ සිටින්නට සිදුවේ.    පොලීසියෙන් කන්නට  බොන්නට දෙන බිරියානිද නැවුම් එළකිරිද අලුත් පළතුරුද වළඳමින් දවස් දෙක ඇතුළේ  ඉඳීම මහ වැඩක් නොවේ ය කියා මම සිතා සිටියත් මේ ළඟදී මට හමුවුණු එකෙක් කීවේ ඇතුළේ සිටීම පට්ට කරුමයකැයි කියාය.  අපත් සමග ගණුදෙනු කරන මේ රටේ එකෙක් මේ ලඟදී රතු ලයිට් පන්නා යාම හේතුවෙන් දවස් දෙකක් ඇතුළේ සිටියේය.   දඬුවම අහවරවී ආපහු මා හමුවන්නට ඔහු ආ දවසේ මම " ආ කොහොමදැ යි" කියා ඇසුවෙමි.   "මම හොඳින්" කියා ඔහු පිළිතුරු දුන්නේ ලැජ්ජාවෙන් මුහුණ රතුකරගෙනය.     ඔය වගේ පළහිලව් නිසාවෙන් කොච්චියා නම් අනුමතවී වාහන පදවනවා තබා වාහනයට ගොඩවෙන්නේ වත් නැත්තේ පොලීසියේ ආගන්තුක සත්කාර විඳින්නට ඇති අකමැත්ත හේතුවෙනි.   මීට වෙනස් කතාවක්ද මට කියන්නට ඇත.   එනම් මීට දවස් දෙකකට පමණ පෙර පොලීසියේ වැඩකරන ලංකාවේ මිත්‍රයෙක් මාවත් හැලපිවත් රෑ කෑමක් දෙන්නට රැගෙන ගියේ පොලිස් මෙස් එකටය.   රාත්‍රී ආහාරයඇනවුම් කළ අපි එය සූදානම් වනතුරු බාර් එකට ගොස් මදු පානයකට එකතු වුනෙමු.   හොඳින් අනුමතවූඅප ආපසු භෝජනාගාරයට ගොස් ප්‍රණීතවූ රාත්‍රී ආහාරයද අවසන්කල පසු ඔහු තම රියෙන්මඅප දෙදෙනා නිවසේ බස්සවා යන්නට ගියේය.    ගෙදර එන ගමනේ මම ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයක් වුයේ මග සිටින පොලීසියේ අය ඔහුව අල්ලගන්නේ නැතිද කියාය.   එයට පිළිතුරු වශයෙන් ඔහු මට කතාවක් කීවේය.   දවසක්දා සාදයකට ගොස් බීමත්ව රිය පදවාගෙන එන ගමනේ ඔහුව පොලීසියෙන් නවත්වා පරීක්ෂාකර ඇත.   බීමත්ව සිටීද යනුවෙන් ඇසුවිට ඔහු එසේය යනුවෙන් පිළිතුරු දී තම හැඳුනුම් පතදපොලීසියේ අය අතට පත්කර ඇත.   ඒ සමගමඔහුට වාහනයට නගින්නැයි කියූ පොලිසිය ගෙදරට යනතුරුම ජීප් රථයෙන් ඔහු පසුපස ඇවිත් ආපසු යන්නට ගිය බව ඔහු මට කීවේ සිනාසෙමිනි.

ආගිය කතා අවසානයේ නවතින්නට වෙලාව පැමිණ ඇත.   මගේ ලොකු පරිගණකය හෙවත් ඩෙස්ක්ටොපය ගලවා නැව්ගත කර ඇති බැවින් මෙය  කොටන්නේ මගේ ලැප් ටොපයෙනි.   ආපහු කවදා ඔබ හමුවන්නට ලැබේදැයි කිව නොහැක්කේ එය රඳා පවතින්නේ මට ලැබෙන අන්තර්ජාල පහසුකම් මත බැවිනි.   සමහරවිට දින කීපයකින් නැවත හමුවන්නට හැකිවේයි සිතේ.  

Sunday, February 26, 2017

මහ රෑ පැමිණි මිතුරා, ලව් බෝට්,චෙපාකිගේ රෑ කෑම වේල සහ කොච්චියාගේ උදෑසන දකුණු ඉන්දීය ප්‍රේමය.


අප කලින් කතාකරගත් අකාරයට  කොච්චියා අපේ ගෙදර දොරේ සීනුව නාද කලේ හරියටම හවස දෙකටය.   කළින් කතාකරගත් ආකාරයයි කීවේ දවාලක සෙට් වෙන්නට කොච්චියා කළ යෝජනාවයි.    ඔහුගේ යෝජනාවට එකඟත්වය පළකරමින් මම කීවේ ස්ථානයද අවශ්‍ය අඩුම කුඩුමද මවිසින් සපයන බවය.    ඒ අනුව දහවල ආහාරයෙන් පසුව අපගේ හමුව සිදුකරන්නට යෝජනා එකඟත්වය පළකෙරුණු අතර හමුවේ අවසාන හෝරාව සම්බන්ධයෙන්  තීරණයක් ඒ වනවිටත් නොවුනේ හමුවේ අවසානය ගැන කලින් තීරණයකට ඒම නිශ්ඵල බව අප දෙදෙනා හොඳින්ම දන්නා බැවිනි.    නිශ්ඵල කියනවිට මට තව කතාවක් මතක්වේ.   එනම් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ සේවය කරන සමයේ ඡායාරූප ශිල්පියෙක් වීමට මුළු හදවතින්ම කල උත්සාහය පිලිබඳවය.    ඡායාරූප ශිල්පය සම්බන්ධව කෙතරම් උනන්දුවක් තිබුණද ඒ සම්බන්ධව පාඨමාලාවක් හදාරා තිබුණද ඡායාරූප ශිල්පියෙක් වීමට අවශ්‍ය මූලික අංගය වන එස් එල් ආර් කැමරාවක් මා ළඟ  නොතිබීම හා කැමරාවක් මිළදී ගන්නට අවශ්‍ය මුල්‍ය ශක්තිය මා සතුව නැතිවීම මගේ හද පිරි ආශාවට හරස්වන සාධකයන් විය.    ඡායාරූප ශිල්පියෙක් වන්නට අවශ්‍ය කැමරාවක් මිලදී ගන්නට නොහැකිව සිටි හා සිටින බ්ලොග් පාඨකයන් බොහෝ දෙනෙකුට මෙවන් අවස්ථාවක මට ඇතිවූ හැඟීම වටහා ගන්නට හැකිවනු ඇතැයි මා අවංකවම සිතමි.    කැමරාවක් සඳහා එදා කළයුතු වියදම අද දවසේ සිනහවකින් මතක් කල හැකි වුවද එවකට ඒ මුදල මට මහමෙරක් මෙන් විශාල විය.    වැඩකට ගන්නට හැකි කැනොන් වර්ගයේ එස් එල් ආර් කැමරාවක් එදා තිබුණේ රුවන් ළඟ පමණි.   මට කරන්නට ලැබෙන වැඩ මා රුවන්ගේ කැමරාව ඉල්ලාගෙන කරගත් අතර රුවන්ද සිය කැමරාව මගේ වැඩ සඳහා පාවිච්චි කරන්නට නිර්ලෝභීව ඉඩ දුන් බව කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුමය.     ඒ කාලයේ රාජ්‍ය පරිපාලනයේ සිටි මීයා මවිසින් ගන්නා ලද නිශ්චල ඡායාරූප වලට  නමක් පටබැන්දේ මට නිශ්ඵල ඡායාරූප ශිල්පියා කියමිනි.

නැවතත් අපේ කතාවට පැමිණියහොත් කොච්චියාගේ පැමිණීම සමගම අපේ කර්තව්‍යය ආරම්භ විය.   කර්තව්‍යය කියනවිට මට තව කතාවක් මතක්වේ.    ඒ අසුව දශකයේ මුල් භාගයයි.   මම උදේ රස්සාවට ගියේ අපේ ගෙදරට අල්ලපු ගෙදර සිටි කුඩා දරුවා සමගය.    ඔහු එවකට ආනන්දයේ හයවෙනි වසරේ සිසුවෙක් විය.   ගෙදර සිට දුම්රිය පොළට තිබුණු දුර පයින් ගිය අපි දුම්රියට නැංගේ අපේ ගමේ තිබුණු කුඩා දුම්රිය පොළෙනි.    පසුකාලීනව අපේ උදේ ගමනට දේවි බාලිකාවේ හයවෙනි පංතියට තේරුණු ඔහුගේ කුඩා නැගණියද එකතු වුවාය.    අප එකට ගියේ ගෙදර සිට දුම්රිය පොළට පමණක් වූ අතර දුම්රිය පැමිණි විට මා මගේ සගයන් සිටි මැදිරියට ගොඩවූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් තම  තමන්ගේ මිතුරු මිතුරියන් සිටි මැදිරිවලට ගොඩවුහ.     මෙසේ කාලය ගතවුයේ අවුරුදු  ගණනිනි.    දැන් මේ කුඩා දරුවා යොවුන් වියේ එළිපත්තට එබිකම් කරන ගැටවරයෙකි.    ස්වභාවිකවම විය යුතු පරිද්දෙන් විරුද්ධ ලිංගිකයන් කෙරේ ඇතිවන ආකර්ෂණය ඔහුටද නොඅඩුව ඇතිවුන අතර ඒ අනුව ඔහුගේ ළපටි පෙම්වතිය වුයේ අපේ දුම්රිය පොළෙන්ම දුම්රියට නැග ගම්පහ නගරයේ පාසැලකට ගමන් ගන්නා  පාසැල් දැරියකි.    මේ සියළු දේවල් මා අඩුවක් නැතිව දැනගත්තේද මගේ කුඩා මිතුරාගෙනි.     අප දෙදෙනාගේම හිතවත් ජොලා මේ කෙල්ලට පටබැඳි නම වුයේ කර්තව්‍යය යන්නය.    කෙසේ වුවද වැඩිකල් යන්නට පෙර  කර්තව්‍යය තම ප්‍රේමයට නැවතීමේ ලකුණ තැබුවාය.   මගේ මිතුරා මේ වියොව දරාගත්තේ සැහැල්ලු සිනාවකින් වූ අතර ඉතා ඉක්මනටම තවත් පාසැල් කෙල්ලක් ඔහුගේ පෙම්වතිය වුවාය.    

ඒ කතාව මා සමග කිවේ ඔහුගේ නැගණියයි.    එසේ කියූ ඇය වැඩිදුරටත් කීවේ ඒ කෙල්ල එවකට ස්වාධීන රූපවාහිනියෙන් ප්‍රචාරය වූ ලව්බෝට් නම් ඉංග්‍රීසි ටෙලියේ  රඟන නිළියක් වගේ බවය.    දවසක් අපි දෙදෙනාම ඇය නගින කෝච්චි පෙට්ටියට නැග කෙල්ලව දැක බලාගෙන ලව්බෝට් යනුවෙන් ඇගේ නම බවුතීස්ම කළෙමු.     කර්තව්‍යය සමග පලහිලව්ව එතනින් අවසන් වුවත් මේ සම්බන්ධයෙන් මට විසඳා ගත යුතු ප්‍රශ්නයක් ඉතිරිවිය.    එනම් කර්තව්‍යය සිය කුළුඳුල් ප්‍රේමයට පොල්ල තැබුවේ ඇයිද යන්නයි.     මට තිබු සම්බන්ධතා භාවිත කරමින් සොයා බැලු මට දැනගන්නට ලැබුණේ ලබාල වයසේදීම හොඳින් වැඩුණු අඟපසඟ සහිතව උස් මහත්වූ දැරියක්ව සිටි කර්තව්‍යය තමන් තරමට උස මහත නොවූ සිය පෙම්වතා ගැන යෙහෙළියන් විසින් කරන ලද විහිළු තහළු හේතුවෙන් මේ තත්වය ඇතිවූ බවය.

කර්තව්‍ය සම්බන්ධ කතාවද එතැනින් අවසන් වන අතර අපි නැවතත් මුල් කතාවට පැමිණෙමු.     නිවසට ආ විගසම මම කොච්චියාගෙන් විමසුවේ දහවල් ආහාරය ගත්තාද කියාය.      ඔහු දහවල් ආහාරය ලබාගෙන ඇති බව කී අතර මමද ඒ වනවිට ඉතා සුළු ප්‍රමාණයකින් දහවල ආහාරය ලබාගෙන තිබුණේ වෙනදා තරමටම කෑවොත් අප විසින් කරන්නට බලාපොරොත්තු වන කර්තව්‍යයට බාධා වන බැවිනි.    ඒ අනුව ප්‍රමාදයකින් තොරව අප දෙදෙනාගේ  සාදය ආරම්භ වූ අතර සෝඩා සහ අයිස් කැට පමණක්  මදුවිතට මුසු කරන්නට තබා  තිබුණේ  කෘත්‍රිම බීම වර්ග අප දෙදෙනාම පාවිච්චි නොකරන බැවිනි.     ඊට අමතරව එවෙලේම මිරිකාගත් දොඩම් ගෙඩි දෙකක යුෂ ස්වල්ප වශයෙන් බීමට මුසු කළේ පානයේ ඇති අමිරස අඩු කරන්නට උපකාරයක් වේය කියාය.    ඇත්ත වශයෙන්ම එය අප බලාපොරොත්තු වූවාටත් වඩා ප්‍රතිපලදායක වුයේ අප සිත් සතුටට පත් කරවමිනි.     හැලපි එවේලේම  සාදාගත් කටගැස්ම අපට ලබාදුන්නේ උණු උණුවෙනි.     මෙසේ ආරම්භ වූ අපේ කුඩා සාදය හොඳටම උණුසුම් වුණේ  ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා 20 විස්ස තරඟය පටන්ගත් පසුවය.     බයිට් ගොඩක් තිබුණත් අන්තිමට හොඳම බයිට් එක උනේත් මැච් එකය.      මට වඩා මැච් ගැන පකීර් කෙනෙක්වූ කොච්චියා මැච් එක ලංකාව දින්නෑං පසුව කීවේ ලංකාව දිනන බව ඔහු හොඳින් දැන සිටි බවය.      මැච් එකත් අවසන්ව සාදය අහවර වෙන තුරුම කොච්චියා කියෙව්වේ කොච්චි හාමිනේගේ කොන්දෙ අමාරුව හේතුවෙන් චෙපාකිට හිතූ හැටියට සලකා ගන්නට බැරි උන බවය.

අවුරුදු විසි ගාණක් වැඩ කළ රටට සංචාරයකට ඇවිත් යන්නට බැරිද කියා මම චෙපාකිගෙන් අසමින් සිටියේ කලකට පෙර සිට වුවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් සාධනීය ප්‍රතිචාරයක් නොවීය.    චෙපාකිගේ ඥාති සොහොයුරෙක් විවාහ වුනේ මේ අතරවාරයේය.    මට කියා ඔහුව බන්දන්නටද චෙපාකි සෑහෙන උත්සාහයක් ගත් අතර විවාහයෙන් පසුව ජෝඩුව පදිංචි උනේද ළඟ පාතම තියෙන නිවසකය.    ඒ වගේ බැඳපු තවත් ජෝඩුවක් ගැන මගේ මතකය අලුත් වෙයි.    ඒ මීට අවුරුදු කීපයකට පෙරය.    ලංකාවේ දොස්තරවරියක් වූ කෙල්ල විවාහ වුනේ බෙල්ජියම් ජාතිකයෙක් සමගය.    බැන්දුවායින් පසුව මේ ජෝඩුව මා සමග ඉතා කුළුපග වුහ.     මේ ළඟදී මම ඔවුන්ට කතා කරන විට ඒ දෙපොල මෙරට අතහැර දා ලංකාවේ හික්කඩුවේ තනාගත් නිවසක පදිංචියට ගොස් සිටි අතර පැමිණි විගස තමන් බලන්නට පැමිණෙන්නය කියා මට දිගින් දිගටම කියා සිටියෝය.     අලුත බැඳපු චෙපාකිගේ ඥාති සොහොයුරා සිය බිරිඳද සමග ලංකාවේ සංචාරයකට ගියේ මෑතකදීය.    

ඔවුන් විසින්ද චෙපාකිට මේ රටට පැමිණෙන්නටය කියා ආරාධනා කරන ලද අතර කෙටි  සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන්නට  චෙපාකි කල්පනා කළේ ඊට පසුවය.    ඒ ගැන ඔහු මට දැන්වූ පසුව ඉතිරි හරිය සුදානම් කිරීම සුළු දෙයක් විය.    ඔන්න ඔය ආකාරයට චෙපාකි ගේ ගමන සිදුවූ අතර ඔහු මෙරටට ළඟාවූයේ යක්කු ගස් නගින මැදියම් යාමයේදීය.    චෙපාකි යුවළ පැමිණෙන තුරු කොච්චියාත් මමත් චෙපාකිගේ ඥාති සොයුරාත් ගුවන් තොටේ බලා සිටියෙමු.      චෙපාකි යුවළ නවාතැන් ගත්තේ ඔවුන්ගේ ඥාති සොහොයුරා සමග වූ අතර පැමිණි දාට පසුදා එම  නිවසේ චෙපාකිගේ සමාගමේ පැරණි සගයන් සියල්ලන්ටම රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වූ  අතර කොච්චියාත් මමත් බ්ලොග්කරුවන් වශයෙන් එම සාදයට  ආරාධනා ලැබූවෙමු.

රාත්‍රී හතහමාරට පමණ සාදය ආරම්භවූ අතර කොච්චියාත් මමත් යද්දී ආරාධිතයන් බොහෝ දෙනෙක් පැමිණ මිදුලේ ලන්තෑරුම් එළියෙන් චෙපාකිගේ පැමිණීම සමරමින් සිටියහ.    මධුවිතට අවශ්‍ය කටගැස්ම සියල්ලම චෙපාකිගේ අතින් පිළියෙළ වී තිබුණේ ඔහුගේ ආශාව වූ මිතුරන්ට තම අතින්ම කෑම සාදා දීම සපුරා ගනිමිනි.   මදුවිත නිදහසේ ගලා යද්දී අනුපානයට ගීත ගැයීම ආරම්භ විය.   කොච්චියාට සහ මට චෙපාකි සමග අපේ කතා නිදහසේ කරගන්නට අනෙක් අයගෙන් ඉඩක් නොවූ අතර ඔවුන් කීවේ තමන්ට නොතේරෙන අපේ බ්ලොග් කතා නවතා දමා ඒ අය සමග ගී ගැයීමට එකතුවෙන ලෙසය.   මෙසේ නිදහසේ ඇදීගිය සාදය මධ්‍යම රාත්‍රියත් පසුවන තුරු ගලාගියේ චෙපාකිගේ ආශාව සපුරාලමිනි.    නිවෙස් බලා යන්නට සුදානම් වීම සඳහා රාත්‍රී ආහාරයට මට වාඩිවෙන්නට වුයේ තනිවමය.    ඒ මන්ද යත් චෙපාකි රාත්‍රියට ආහාර නොගන්නා බව කී අතර කොච්චියා රෑ කෑම අනවශ්‍ය බව කීවේ ගෙදර ගිහින්ද තව ටිකක් බීලාම රෑට කන්නට බව මම දැන සිටියෙමි.    චෙපාකි රෑට නොකන හේතුව මම ඔහුගේ ආදරණීය බිරිඳ චෙපීගෙන් ඇසු විට ඇය කීවේ බඩ මහත් වෙන නිසා චෙපාකි රෑට කෑම නොකන බවත් බයිට් ටිකක් වැඩියෙන් කාදමා නිදාගන්නා බවත්ය.   මටනම් රෑට කෑම නොකා ඉන්නට බැරිය.   ඒ නිසා චෙපාකි අපට රාත්‍රී ආහාරයට සුදානම් කර තිබු ඉඳිආප්ප සෑහෙන ප්‍රමාණයක් සීනි සම්බෝල සහ මාළු හොදි සමග ගිල දැමු මම ඊට පසු චිකන් සහ සලාද සමග ප්‍රයිඩ්  රයිස් පිඟානකට සාධාරණය ඉටු කළේ මහන්සියෙන් හදපු කෑම  ඉතිරි කළහොත් චෙපාකිට ප්‍රශ්නයක් වන නිසාය.   වටලප්පන් කෝප්පයක් පළතුරු සමග කා රාත්‍රී ආහාරය අවසන් කළ මම කොච්චියාත් සමග චෙපාකි යුවළගෙන් සමුගෙන ගෙදර ගියෙමි.     ගෙදර ගියද මට ප්‍රශ්නයක් ඉතිරි වුණේ චෙපාකි රෑ කෑම නොකන එකය.   මන්ද යත් චෙපාකි යුවළ පසුවදා රාත්‍රි ආහාරය සඳහා අපේ ගෙදරට එන්නට නියමිත වූ හේතුවෙනි.    පසුවදා රාත්‍රී ආහාරය සඳහා එන චෙපාකි යුවලට රසට කෑම දෙන්නට හැලපි විචිත්‍ර කෑම වට්ටෝරුවක් සාදන්නට අර ඇඳ ගෙන සිටි අතර චෙපාකි ගේ රාත්‍රී උපවාසය හේතුවෙන් නොයෙකුත් වර්ගයේ කෑම සැදීම නිෂ්ඵල  කාර්යයක් වන්නේය.    මා චෙපාකිගේ රෑ කෑම වර්ජනය ගැන හැලපිත් සමග කීවේ පසුදා උදයේදීය.

"එතකොට මම මහන්සිවෙලා හදන කෑම කන්නෙ කවුදැ'?යි ඇසු හැලපි මගේ ඇඟට ගොඩවුනාය.

"ඔය ගැන දැන් මෙතන අපි දෙන්න කෙළගෙන වැඩක් වෙන්නෙ නෑ,කන විදියකට දෙයක් හදල දෙන්න බලමු' යි මා කීවේ හැලපිගේ ඔරොප්පුව සමනය කරන්නටය.    

ඒ අනුව සුදානම් වී සිටි මෙනුව සම්පුර්ණ සංශෝධනයකට ලක්කළ හැලපි වෙනස්ම මෙනුවකට පසුදින රාත්‍රී ආහාරවේල පිළියෙළ කරන්නට සුදානම් වුවාය.  පසුදා රාත්‍රියේ කල්වේලා නොඉක්මවා චෙපාකි යුවළ අප නිවෙසට පැමිණි අතර මගේ තවත් මිතුරෙක්ද පැමිණියේ විශේෂයෙන්ම පිංතුර ගන්නටය.   අපේ කතාබහ සමගින් සාදය නැගලා ගිය අතර චෙපාකිට කෑමට මවිසින් පිළියෙළ කරන ලද කටගැස්ම කමින් බෝතලයකට වටවී සිටියෙමු.    මෙහෙම කියනවිට මට තව කතාවක් මතක්වේ.    එනම් අපි බොනකොට අරක්කු තොපි බොනවනම් මදුවිත කතාවයි.  කලාකාරයන්,ප්‍රසිද්ධ අය විසින් කරන ලද මත්පැන් පානයක් ගැන මාධ්‍යයක ලියැවෙද්දී ලියන්නේ මදුබඳුන මදුවිත ආදී වශයෙනි.   ඔවුන් වීදුරුවේ දාගෙන කසිප්පු බීවද එය මදුවිතය.    එසේ  නොවන දුහුනන් වූ අපි වීදුරුවට ඩබල් බ්ලැක් දාගෙන බිව්වත් එය අරක්කුය.    මේ වෙනස ගැන මම මගේ හිතවතෙකු වූ කවියෙක්,නිවේදකයෙක්, ලේඛකයෙක්,ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂ වරයෙක් ආදී ක්ෂේත්‍ර ගණනාවකම හපන්කම් දැක්වූ කලාකරුවෙක් සමග දවසක බීමක් පාවිච්චි කරද්දී ඔහුගෙන් මේ ගැන ඇසුවෙමි.

"මොන නම කිව්වත් වැඩක් තියෙනවද බං හොඳට වදින බීමක් නැත්නං? 

කියමින් මගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දුන්නේය.   නැවත වතාවක් අපේ කතාවට ආවොත් සාදයේ සිටි කාන්තාවන් ඇතුලු අනෙකුත් අය කෑම මේසයට ඇවිත් බෙදාගෙන කෑවත් චෙපාකි මේසය පැත්ත පලාතේවත් නොආවේය.   මේ වැඩේ හොඳින් දැන  සිටි හැලපි කළේ ඇය විසින්පිළියෙළ කරන ලද ආප්ප,බිත්තර ආප්ප ආදිය පිඟන් පුරවා චෙපාකි මදුවිත සප්පායම් වෙමින් සිටි තැනට යැවීමය.   චෙපාකි ඇතුලු එතන සිටි අපි සියළු දෙනාම කිසි අදිමදියකින් තොරව බඩකට පුරා ආප්ප කෑවෙමු.    මහත් වෙනවාට බයෙන් රෑට නොකන චෙපාකිට අප කන්නට දුන්නේ ඔන්න ඔය ආකාරයටය.  අපේ සංග්‍රහ කෙසේ වුවද කලකට පසු සිදුවූ චෙපාකි යුවලගේ මෙරට සංචාරය ඔවුන්ට හුරුපුරුදුව සිටි කෑම පිළිබඳව තිබු බොහෝ ඇරියස් කවර් කරගන්නට ඔවුන්ට ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගන්නට ඇති බව නම් විශ්වාසය.    දැන් ඉතිං කතාව නවත්වන්නට වෙලාව පැමිණ ඇති බව පෙනීයයි.    ඊට පෙර කියන්නට තවත් කතාවක් ඇත.   දකුණු ඉන්දීය සම්ප්‍රදායික කෑම් බීම් වලට ප්‍රිය කරන්නෙකු වූ කොච්චියා මේ නගරයේ ඇති දකුණු ඉන්දීය අවන්හල් සැමෙකකින්ම පාහේ කමින් බොමින් ඔහුට පුරුදු රස සොයයි.    ඔහුගේ මේ විනෝදාංශය ගැන දවසක් පෝස්ටුවක් ද ලියා තිබුණා මට මතකය.    

දිනක් ඔහු මටද ඔහු සමග උදෑසන කෑම වේලකට එකතුවෙන ලෙස ආරාධනා කළ විට මමද ඔහු සමග ගොස් උදේට කෑවෙමි.    දකුණු ඉන්දීය පාතරාසය  අතිශය ප්‍රසන්න අත්දැකීමක් වුවද පොඩි ප්‍රශ්නයකට තිබුණේ වැඩේ පටන්ගන්න වේලාවය.     මන්ද යත් සතිඅන්තයේ පළමු දිනය වන සිකුරාදා සාමාන්‍යයෙන් අපි තරමක් දහවල් වෙනතුරු නිදා ගන්නෙමු.    නමුත් කොච්චියා උදේට කෑමට යන්නේ උදේ හතට පමණ වීම තරමක අවුලක් විය.    දකුණු ඉන්දීය කෑම තිබෙන හැම අවන්හලකටම ඔහු නොයන අතර යන්නේ ඔහු සිත්ගත් අවන්හල් කීපයකටය.   මේ ගැන මා කොච්චියාගෙන් ඇසුවිට ඔහු කීවේ දකුණු ඉන්දීය කෑම තිබුණු පමණින් අවන්හලක් දකුණු ඉන්දීය නොවන බවත් කෑමට අමතරව දකුණු ඉන්දීය ගතිය (South Indian Spirit) ද එම අවන්හලේ තිබිය යුතු බවය.  
මේ ලඟදි දවසක දවාලේ මා සමග බෝතලයකට සෙට්වුණු කොච්චියා පිටත්වී යනවිට මා සමග කතාකරගත්තේ පහුවදා උදේට කන්නට දෙන්නාම එකතුව යන්නටය.   දහවල කරන ලද කර්තව්‍යය සෑහෙන දිග දුර ගිය නිසා මම කළින්ම නින්දට ගියෙමි.    මළාක් මෙන් නිදාගත් මට පසුදා උදේ ඇහැරුණේ කන ළඟ නාදවූ දුරකතනයේ සද්දයටය.   වෙලාව බැලු විට උදේ හතයි හතළිස්පහවූ අතර කොච්චියා කතා කළේ මාවත් එක්ක යන්නට ලඟම එන බව කියන්නටය.     කරකවා අතහැරියාක් මෙන්වූ මා ඉක්මනටම කීවේ මා තාම නිදියහනේ නිසා ඔහුට යන්නට කියාය.   නිදාගන්නැයි කියූ කොච්චියා මට බැන වදිමින් තනියම කන්නට ගියේය.   ආයෙම ඔහු මට උදේ කන්නට කතා කළේ ඊයේය.    ඊයේ නම් බැණුම් අහන්නට බැරි නිසා කළින්ම  ඇහැරුණු මම කොච්චියාගේ සුඛෝපභෝගී වාහනයට නගිද්දී වෙලාව හතයි හතළිහය.    ළඟ පාත තිබූ මලබාරි අවන්හලකින් වඩ සමග උප්පුමා කෑ අපි දකුණු ඉන්දීය කිරි තේ එක බොන්නට ගියේ වෙනත් අවන්හලකටය.   අපි දෙන්නා කාපු රස කෑම වේල ඔබ සමග බෙදා ගන්නට මම කැමරාව අරගෙන ගිහිං පින්තුරයකුත් ගත්තෙමි.    පිංතුරයේ මගේ කෑම පිඟානට ඉදිරියෙන් තම පිඟානට උප්පුමා බෙදා ගන්නේ කොච්චියාය෴

ප.ලි :චෙපාකි ගේ සංචාරයේ පිංතුර මේ වනතුරුත් මට ලැබී නොමැති බව කරුණාවෙන් සළකන්න.

Monday, January 30, 2017

පාන් කාඩ් පාන් පෝලිම් හාල් පොලු සමග සාගත සමය සහ ඉංග්‍රීසි දෙමළ පරිවර්තකයා.


අලුත් අවුරුද්දේ අලුත් කතාවක් ලියන්නට අවුරුද්ද පටන් ගත්ත දා ඉඳන් දත මැදගෙන හිටියත් ලියාගන්නට බැරිවිය.    ඒ වෙන මොකුත් නොව නොලැබීමය, නොලැබීම කොපමණද කිව්වොත් රටේ බොහොමයක් උදවිය අලුත් අවුරුද්ද ලබද්දී  බොහොම නිස්කලංකව සතුටින් නිවාඩු ගතකරන්නට රට තුළත් පිටරටත් ගිහිං අලුත් අවුරුදු උදාව විවේක ඇතුව විඳිනවිට සතුටින් කාලය ගතකරනවිට මෙහේ ඉන්න අපි අලුත් අවුරුදු උදාවට සතියක් තියා පටන්ගත් දුෂ්කර ක්‍රියා තවමත් ඉවරකරගැනීමට බැරිව ඉන්නෙමු.   පහුගිය කාලය තුළ හරියට එළිවෙනතුරු නිදාගත් දවසක් මතක නැත.   මහ රෑ දෙමන්දම යක්කු ගස් යන යාමයේ ගෙදර විත් නැවතත් බිමට එළිය වැටෙන්නට පෙර ගෙදරින් පිටත්වී ආයෙම එන්නේ මහ රාත්තිරියේය.    බොහෝවිට කෑම බීම ගැන ඇති ආසාව අත්හරිමිනි.    අපට ලැබුවාවූ සුබ අලුත් අවුරුද්ද අන්න ඒ ආකාරයය.  අලුත් අවුරුද්ද අපේ සමහරක් උදවිය ලියන්නේ අළුත් අවුරුද්ද කියාය, පහුගියදා අපෙන්  සමුගෙන ගිය හිතවත් ඩී.එෆ්.කාරියකරවනයන් හිටියානම් නිසැකවම අහන්නේ අවුරුද්දට අළු මොනවාටද කියාය.

කොහොමටත් මේ මාසයට එක සටහනක්වත් ලියන්නට උත්තේජනය ලැබුණේ රසික ලියු මේ පෝස්ටුවෙන් හා සුදීක ලියු මේ පෝස්ටුව යන පෝස්ට් දෙකෙනි.    පාන් කාඩ් අත දරාගෙන පාන් පෝලිමේ සිටි යුගය සුදීක මතක් කර තිබුණි.    එය කියවද්දී මටද මතක් වුනේ මේ කාලය අපිත් පසුකළා නොවේද කියාය.  ඒ සමගම පාන් කාඩ් පාන් පෝලිම් අතීත මතක අවදිවන්නට විය.    පාන් පෝලිම් පාන් කාඩ් දැක තිබුණත් මට අපේ ගමේදී පාන් පෝලිම්වල ඉන්නට සිදුවුණේ නැත.   ඒ කතාව මෙහෙමය.    අපේ ටවුමේ තිබිණු ගාමිණී හෝටලය සහ බේකරිය රසවත් පාන් ගැන අහල ගං පළාතේම නම් දරා තිබු තැනකි.   ගෑස් වලින් පාන් පිච්චීමක් ගැන අහලාවත් තිබුනෙ නැති ඒ කාලයේ උදේට හවසට ගාමිණි බේකරියේ දරපාන් පිච්චෙන  සුවඳට අපි වගේ කොල්ලන්ගේ මතු නොව ඒ සුවඳ විඳින කාගේත් රස නහර කිති කැවී යන්නේ නිරායාසයෙනි.   ඒ නිසාම ගාමිණියේ පාන් වලට අපේ පළාතේ අයගෙන් තිබුණු ඉල්ලුම හරිම ඉහළය.     මේ ආකාරයට පළාතටම රස පාන් දුන්න ගාමිණියට නරක කාලය ලැබුවේ හැත්තෑවේ පත්වුණු මැතිනිගේ ආණ්ඩුව ආනයන වලට තද සීමා පැනවීමත් සමගය.    ගෙදරට කෑමට තමන්ම වගාකරගන්නා සහ හාල් පොල් ඇතිවෙන්නට තිබුණු උදවියට මේ සාගතය කොහෙත්ම නොදැනුනත් තමන්ගේ කෑම බීම කඩෙන් මිළදී ගන්න අයට මේ සීමාවන් තදින්ම දැනුණු බව ඊට පසුකාලීනව ඇතිවූ සිද්ධීන් සමග හිතාගන්නට හැකිවිය.     පාන් පෝලිම් පාන් කාඩ් ආවේ මේ යුගයේදීය හාල්පොලු මිරිස් පොලු හඳුන්වා දුන්නේ මේ යුගයේදීය.

ගෙදර කන්නට හාල් පොල් තිබුණත් කඩ කෑමද  කන සිරිතක් තිබුණු අපේ ගෙදරට ඔය කියන පාන් කාඩ් තිබ්බ කාලයේ පවා සිතුසේ පාන් ගන්නට කරදරයක් නොතිබුණේ ගාමිණියේ මුදලාලි අපේ තාත්තලාගේ දීර්ඝ කාලීන යාලුවෙක් නිසාවෙනි.    මුදලාලි බෙන්තර සිට ඇවිත් අපේ ටවුමේ කඩේ පටන්ගත්ත කාලයේ පටන් ඇතිවී තිබුණු යාළුකම හේතුවෙන් මුදලාලි අපේ නැන්දාට විවාහ යෝජනාවක්ද කර තිබු බවත් මොනයම් හෝ හේතුවක් නිසාවෙන් ඒ මඟුල නොකෙරුණත් මුදලාලි සමග තිබු හිතවත්කම් ඒ විදියටම පැවතගෙන ඇවිත් තිබුණ නිසා පෝලිමේ සිට කාඩ් එකට පාන් ගත්ත කාලයේ පවා අපට ඒ සීමාවන් නොතේරුනි.    ඒ නිසා හවසට පාන් ගේන්නට ටවුමට යන මට අවශ්‍ය පාන් සීමාවකින් තොරව ගාමිනියෙන් ලබාගන්නට පුළුවන් විය.    මට පාන් පෝලිමේ ඉන්නට සිදුවුයේ අපේ ටවුමේ නොව නුවර ටවුමේය.    ඒ කතාව මෙහෙමය.  

හැත්තෑවේ ආණ්ඩු පෙරළියෙන් පසු යු.ඇන්.පී කාරයෝය කියා වරකාපොළ පොලීසියේ වැඩකරපු අපේ මාමාත් බෝතලේ ඉස්කෝලෙ උගන්නපු නැන්දාත් පැය විසිහතරෙන් මාරුකරනු ලැබිණි.    මාමාව මාරු කළේ නුවර පොලිසියටය.     නැන්දා තව කොහෙද ඈත පළාතකටය.    කෙසේ හෝ නුවර සිට යන්නට හැකි ආකාරයට නැන්දාගේ මාරුව පුජාපිටිය ඉස්කෝලයට මාරු කරගන්නට මාමාට හැකිවිය.   දඬුවමට මාරු කළත් එය ඔවුන්ගේ ජීවිතයට ආශීර්වාදයක්ම උනේ ගමේ ඉස්කෝලෙට ගිය ළමයින් නුවර ලොකු ඉස්කෝලවලට ඇතුල් කර උගන්නන්නට හැකි උන නිසාය.    පසුකාලීනව ඒ පැත්තේම මාරුවෙවී හිටපු නැන්දාත් මාමාත් ආපහු ගමට ආවේ රස්සාවෙන් පැන්ෂන් ගියාටත් පසුවය.   ඔය කාලයේ ගෙවල්වල අය නුවර නෑගම් යන්නේ ගමේ කොස් දෙල් අල බතල කුඹුරේ හාල් ආදිය පොදි බැඳගෙන නිසා ඒ අයට කෑමෙන් බීමෙන් කවදාවත් කරදරයක් නොතිබුණි.   ඕ ලෙවෙල් ඉවරකර ගෙදර හිටපු කාලයේ මමත් සෙල්ලමට වගේ මාමලාගේ ගෙදර ගියේ ඒ අයට හිටපු ක්වාටස් එකෙන් වෙනත් අලුත් එකකට මාරුවක් ලැබී තිබුණු නිසා ගෙවල් මාරුවට උදව් කරන්නටය.    හවසට පොලිසියට ඩියුටි යන මාමා මාවත් එක්කගෙන බේකරියට ගිහින් පාන් කාඩ් එක මගේ අතට දී පෝලිමේ තියන්නේ පහුවදා උදේට කන්නට පාන් ගෙනියන්නටය.    බේකරිකාරයා මාමා  පොලිසියේ නිසා මට පාන් ගෙඩි දෙකක්ම දුන් විට මම ඒවාත් අරගෙන ගෙදර යමි.    හවසට ක්වාටස් එකේ ලොකු කොල්ලන් එක්ක බෝල ගසා ඇඳිරි වැටුණු පසුව කට්ටියත් එක්ක නුවර ටවුමෙන් ප්ලේන්ටි බී සිකරැට් එකක්ද හොරෙන් ඇද හිමිහිට ගෙදරට රිංගමි.      ඒ වැඩේ වැඩිකල් කරගෙන යන්නට නොලැබුණේ නුවරට ආයුබෝවන් කියා ආපහු ඉස්කෝලෙ යන්නට ගෙදර එන්නට වූ බැවිනි.

පාන් පෝලිම්  සොමිය අපි ගත්තේ ඔන්න ඔය අකාරයටය.   පාන් පෝලිම් කෙසේ වෙතත් හාල් පොලු නිසාවෙන් ගෙවල්වල වී හාල් තිබුණු අයගෙ කරල පැහුණු බව මට මතකය.   ඒ සුළු පරිමාණ හාල් ජාවාරම හොරට කරගෙන යන අය ගෙදරටම ඇවිත් නොවටිනා මිල ගණන් කතාකර හාල් අරගෙන යන නිසාය.   එහෙම හාල් අරගෙන මොන උප්පරවැට්ටියක් හෝ දමා හාල් ටික පොල්ලෙන් පන්නාගෙන ගොස් සල්ලිකාරයන්ට ලොකු ගණන් වලට හාල් විකුණති.     ගෙවල්වල හාල් පොල් ඉවරවෙලානම් අහල පහල ගෙදරකින් හාල් සේරුවක් පොල් ගෙඩියක් ණයට ඉල්ලාගෙන එන එක ඒ කාලේ සුලබව දකින්නට තිබුණු සිරිතක් උනත් දැන් නම් ඒ සිරිත නැත්තටම නැතිවී ගොස් ඇති බව පෙනේ.   මේ ක්‍රමය ලංකාවේ පමණක් නොව ඉන්දියාවේද තිබෙන සිරිතක් බව මම අත්දැක ඇත්තෙමි.   එනම් අපි මදුරාසියේ පදිංචිවී සිටි කාලයේ අපේ ගෙදරට ඉස්සරහ ගෙදර උයන්නට හිටිය කෙල්ල ගෙදර බොම්බයි ලූණු තක්කාලි ආදිය නැති නම් අපේ ගෙදරට ඇවිත් ලූණු ගෙඩි තුන හතරක් තක්කාලි ගෙඩියක් දෙකක් ඉල්ලාගෙන යන්නට පුරුදුවී හිටපු නිසාය.    අල ලූණු තක්කාලි ආදිය කිලෝව රුපියලට දෙකට පාර අයිනේද මාරකැට්ටුවේද විකිනුනු ඒ කාලයේ ඉල්ලාගෙන ගිය දේවල් ආපහු ලැබුණාද නොලැබුනාදවත් කියා බලන්නට අවශ්‍යතාවක් නොවුනේ කෑම ජාතිද එළවළු පලාද එදා විකිණුනේ ඉතාම ලාබෙට නිසාය. 

මදුරාසියේ පාර අයිනේ එළවළු විකිණෙන හැටි කියපු විට මට තවත් කතාවක් මතක්විය.   ඒ අපි එග්මෝර්හි ගෙදරක පදිංචිවී සිටි කාලයයි.    දවසක්දා හවස මම පාගන බයිසිකලයේ නැගී මගේ  සුපුරුදු වීථි සංචාරය කරමින් සිටියෙමි.   මගේ හවස වීථි සංචාරයේ අරමුණු දෙකක් විය එකක් ව්‍යායාමයයි අනික ගෙදරට බඩු මිලදී ගෙන ඒමයි.     කොහේ රවුම ගැහුවද සංචාරය අවසන් වෙන්නේ එග්මෝර් හයි රෝඩ් එකේ මාරකැට්ටුවෙනි.   මාකට් එකේ ඉස්සරහ පඩිය උඩ තියාගෙන එළවළු පළා විකුණන වෙළෙන්දියන් එදවස මගේ හොඳම හිතවත් උදවිය වුහ.     ඒ අයට දෙමළ ඇරෙන්නට වෙන භාෂාවක් බැරි නිසා කතාකලේද බඩුවල ගණන් කීවේද දෙමළෙනි.     ඉතිං මටත් බඩු ගන්නවා නම් එයට අනුගත වනු හැරෙන්නට වෙනත් ක්‍රමයක් නොවුයෙන් මම අහුලාගත් කැඩිච්ච දෙමළෙන් උන් සමග කතාබහ කර ගනුදෙනු කළෙමි.      මම ලංකාවේ යැයි නොදන්නා ඒ අය මාව හැඳින්වුයේ මලයාලම් කාරයා වශයෙනි මා ඒ බව දැනගත්තේද අපූරු විදියකටය.     දවසක්දා එක් කාන්තාවක් ළඟ වරකා ගෙඩියක් කපා තිබුණේ විකුණන්නටය.    ඒ දුටු මම කොස් ඇට ටික මට දෙන්නටැයි කියා ගෙනියන්නට හවස එන බව කීවෙමි.    හවස කොස් ඇට ගන්නට ගිය විට වෙළෙන්දිය නොසිටි අතර එතැන වෙළඳාම කරමින් සිටියේ ඇයගේ පුතාය.     මම ගිහිං සිලි කවරයක බහා පැත්තක තබා තිබු කොස් ඇට ටික උගෙන් ඉල්ලුවෙමි.     ඌ ගත්කටටම කීවේ කොස් ඇට ටික මලයාලම් කාරයෙකුට විකුණන්නට අම්මා පොරොන්දු වී ඇති බැවින් මට කොස් ඇට දෙන්නට බැහැයි කියාය.    ඒ මලයාලම් කාරයා වෙන කවුරුවත් නොව මම්ම නොවේදැයි කී මම කොස් ඇට ටිකට මුදල් දී රැගෙන ආවෙමි.     මම කියන්නට ආපු කතාව මෙහෙමය.    සුපුරුදු පරිදි දවසක්දා හවස්වරුවේ සයිකල් සංචාරයෙන් පසු  මාකට් එකේ වෙළෙන්දියන් සමග මම ඕපාදූප කතාකරමින් සිටින විට එතැනට පැමිණියේ තවත් ඉන්දියානුවෙකි.     ඔහු උතුරු ඉන්දියානුවෙක් බව මට බැලු බැල්මට පෙනීගියේය.    ඔහුට අර්තාපල් කිලෝවක් ගන්නට උවමනාවී තිබුණු නමුත් ඔහු කතාකළ ඉංග්‍රීසිය වෙළෙන්දියන්ට තේරුණේ නැත.    උතුරු ඉන්දියානුවා හින්දිත් ඉංග්‍රීසිත් ඇරුනුවිට දෙමළ නොදනී.     වෙළෙන්දියන් මා දෙස බැලු විට ලංකාවේ මම ඉදිරිපත්වී ඉන්දියාවේ දෙන්නෙකුට පරිවර්තන කාර්යය කරදුන්නෙමි.

අපි පදිංචිවී සිටි බිල්ඩිමේ බිම් මහලේ එක ගෙදරක කමලා කන්නන් මහත්මිය සිය සැමියා සහ දුව සමග පදිංචිවී සිටියාය.     ඇය එවකට තමිල්නාඩු රජයේ ප්‍රධාන රස පරීක්ෂක වරිය වුවාය.     ප්‍රංශයේ පදිංචිව සිටින ඇගේ පුත්‍රයා ඉන්දියාවට ආවේ විවාහ වන්නටය.    ඒ මංගල්‍යයේ සිදුවූ දේවල් ගැන මා මීට කලින් පෝස්ටුවක ලියා ඇත්තෙමි.   ඇයගේ දුවත් රැකියාවක් කළාය.     ඒ බොහෝවිට වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරියක් ලෙස විය හැකිය.    ඇය ගැනත් කියන්නට කතාවක් ඇති නමුත් ලියන්නට වෙලාව මඳකම නිසා ඒ කතාව ලිවීම පසුවට තබමි෴