Monday, December 26, 2016

සිහිල් සුළං රැල්ල, අප්සරා හෝටලය, රංජිගේ රේස් බුකිය සහ කොච්චියාගේ නත්තල් සාදය.


අවුරුද්දේ අවසන් මාසයේ අවසන් දින කීපයද වේගයෙන් ගෙවීයමින් පවතී.    වැලිකතරේ මේ දිනවල සීතල නොඅඩුව ඇතත් ලංකාවේ මෙන් සිත කිතිකවමින් ගත දැවටෙන සිහිල් සුළං රැළි පහස නොලැබීම දනවන්නේ අඩුවකි.     අපේ රටේ නම් දෙසැම්බරයේදී  ගත දැවටෙන සිහිල් සුළං මා අවුරුදු ගණනාවක් ඈත අතීතයට ගෙනගොස්  අත හරින්නේ හරි අපූරු තැනකය.   එනම් රාගම නිව් ජෙම් සිනමාහල ඉදිරිපිට පාරේ ඇති කන්ද උඩටය.     ඉස්පිරිතාලයේ වැඩ ඇරී එන අපි එතන පාර අයිනේ ඇති අප්සරා හෝටලයෙන් එළවළු රොටී කා තේ බීම නොවරදවාම කරන කටයුත්තකි.   කඩෙන් කා බී එළියට එන අපි කන්ද බැසගෙන රාගම දුම්රියපොළට පියමනින්නේ හවස පහයි හතළිහේ කෝච්චිය අල්ලා ගන්නටය.   නත්තලේ පවන් රැළි ගත දැවටෙන්නේ  ඒ වෙලාවටය.    අපි කියා කිව්වේ මමත්,ගුණේත්,චන්දරේත්,ඩේවිඩ්,සරත් හා විජේසිරිටත්ය.    අපිත් එක්ක කඩවල රස්තියාදු ගහන්නට කැමැත්තක් නොමැති කෙල්ලන් දෙතුන් දෙනා කළින් කෝච්චියේ ගෙදර යන්නට යති.    රාගම ටවුමේ එදත් අදත් තේ කඩවලට පසුව වැඩියම ඇත්තේ රේස් බුකි බව මගේ විශ්වාසයයි.   ඒ කාලයේ රේස් බුකි වූ තැන් අද රේස් බයි රේස් පොළවල්ය.   ඉස්පිරිතාලේ අපිත් එක්ක වැඩකරපු සොයිසාගේ අයියාත් රේස් බුකියක් කළේ රාගම දැන් තියෙන ගුවන් පාලම පටන් ගන්නා තැනට පොඩ්ඩක් එහායින් පාර අයිනේය.   ඒ කාලේ ගුවන් පාලමක් හදන්නට හිතලාවත් නැති නිසා නිතරම වැහෙන රේල් ගේට්ටුවට හසුවන වාහන පෝලිම මේ පැත්තෙන් පල්ලිය හරියටද ඒ පැත්තෙන් රාගම ඉස්පිරිතාලය හරියටද දික්වී තිබීම සාමාන්‍ය දෙයකි.    කෝච්චියට වෙලාව ලංවන තුරු අපි සොයිසාගේ අයියගේ රේස් බුකියට වී කාලය ගතකරමු.     අද ලංකාවේ රේස් ව්‍යාපාරය සුමතිපාල මුදලාලි ගේ ස්පෝටින් ස්ටාර් තනි සම්බුද්දියට අයිති කරගෙන තිබුණත් ඒ කාලයේ ස්පෝටින් ටයිම්ස් කියාද රේස් ව්‍යාපාරයක් ස්පෝටින් ස්ටාර් සමග තරඟයට කරගෙන ගියා මට මතකය.

සොයිසා ගේ අයියාගේ බුකියද ස්පෝටින් ස්ටාර් බුකියකි.    ඌ උදේට දිනුම් තියෙන ටික දෙනාට දිනපු මුදල් ලබාදී රේස් කොලය කියවමින් වැඩ පටන් ගනී.    ඕලෝන් දාන්නට රේස් සුදු කාරයින් එන්නේ හවසටය.   සොයිසාගේ අයියා ළඟ මාස ගාණක රේස් පත්තර එකතුවක් තිබේ.  ඌ ඒ සියල්ලම දිග ඇරගෙන එදාට දුවන අස්සයන්ගේ පැටිකිරිය හොයන්නට පටන් ගනී.    ඔහු රේස් දුවන අස්සයන්ගේ දෙමාපියන්, අස්සයා කලින් දිනු රේස් ගණන, එවෙලේ නැග්ග ජොකියා, එදා අස්සයා පිට පටවා තිබු බර, මෙදා නගින ජොකියා කවුරුන්ද යන්න ආදී වශයෙන් මෙකි නොකී දේවල් සියල්ලම සළකා බලා  හවසට ඕලෝන් චිට් එක දමන්නට අස්සයන් කීප දෙනෙක් තෝරා ගනී.    කොපමණ නිමිති බලා අස්සයන් තෝරාගෙන ඔට්ටුව දැම්මත් පහුවදාට උන් ඔක්කොම නෝ වෙයාර්ය.    දිනා ඇත්තේ හිතුවෙවත් නැති අහක හිටපු අප්සෙට් අස්සයන්ය මුන් දිනයි කියා මම නිකමට වගේ කියන අස්සයන්ට ඌ සවුත්තුවට හිනාවුනත් පහුවදා බැලුකොට දිනා ඇත්තේ ඒ අස්සයන්ය.    බුකියට ඕලෝන් චිට් දාන්නට සෙනග ඇදෙන හැන්දෑ වරුවේ සොයිසාගේ අයියාට වැඩ වැඩිවේ.    ඒ වෙලාවට ඔහු බුකියෙ ඉන්නා අපිවද වැඩට අල්ලාගනී.    එන අයට ඕලෝන් චිට් ලිවීම අපට පවරා ඌ මුදල් ගණුදෙනු පටන්ගනී.

" රංජි පුතේ මෙන්න මේ අස්සයෝ තුන්දෙනාට දහයක් ගහපං!"

කවුරුන් හෝ වයසක මනුස්සයෙක් කොළේ ලකුනුකල අස්සයන් පෙන්නමින් රංජිට කියයි.

" ඔය චිට් එක මෙන්න මෙයාට කියල ලියෝගෙන වරෙන්කො රෝගුස් මාමෙ!"

රංජි මාව පෙන්වයි, ඔන්න ඔය ආකාරයට චිට් ලිවීම පටන්ගත් මට කිසි කරදරයක් නැතිව විවිධාකාර  චිට් වර්ග ලිවීමේ පරිචය ටික දිනකින්ම ලැබුණේ රංජියාගේ මග පෙන්වීමෙනි.    වින් පමණක් ඇති චිට්ද, වින් ඇන්ඩ් ප්ලේස් දෙකටම මුදල් යොදනා චිට්ද, ඩී.ටී.ඩබ්ලිව්.ඕ හෙවත් ඩබල් ට්‍රිබල් වින් ඔන්ලි චිට්ද ආදී වශයෙන් බුකියෙ භාවිතාවන විවිධ චිට් වර්ග ලිවීම මට විනෝදයක් විය.   එහෙත් ඒ වනතුරුම රේස් කොළය කියවන්නට ඉගෙන ගෙන නොසිටියෙමි.        වැලිසර ළය රෝහලේ නේවාසිකව ඉන්නා රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ගේ පහසුව පිණිස සොයිසා ජංගම බුකියක් ආරම්භ කළේ ඔය කාලයේදීය.   උදේට අයියාගේ බුකියෙන් ගන්නා රේස් පත්තර ටික වාට්ටුවල ඉන්නා රේස් අන්තුවන්ට බෙදාදෙන සොයිසා හවසට චිට්ද මුදල්ද එකතුකරගෙන රාගමට ගොස් බුකියට බාරදෙයි.    මෙතැන් සිට පෙනී පෙනීම වෙනත් පැත්තකට හැරෙන්නට සිදුවන්නේ තවත් රසවත් කතාවක් කියන්නටය.    එය වනාහි අපේ හිතවත් කොච්චියාගේ නත්තල් සාදයේ විස්තරයයි.    මා පුරාගෙන ආ කතාවේ ඉතිරිය තවත් දවසක කියන්නට තබාගෙන දැන් නත්තල් සාදයේ කතාව පටන්ගනිමි.

අපි අන්තිමට කොච්චියාගේ නිවසට ගියේ කොච්චි හාමිනේගේ උපන්දින උත්සවයටය ඒ ඔක්තෝබර් මාසයේය.    ඊට පසුව ගෙදර ඇවිත්ද සෙට් වෙමුය කියා දහ  වතාවකට වඩා කොච්චියා මට ආරාධනා කළත් මාහට තිබු වැඩ කටයුතු හේතුවෙන් ආරාධනා පිළිගන්නට නොහැකි විය.   ඒ සම්බන්ධයෙන් කොච්චියා නෝක්කාඩු කියමින් සිටි අතර නත්තල් පාටියට නම් අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය කියා කළින්ම කියා සිටියේය.    වැඩිදුරටත් ඔහු කොච්චි හාමිනේටද කියා තර්ජනාත්මක ආරාධනාවක්ද ඉදිරිපත් කළේය.    වාසනාවකට මෙන් දවල් දවසේ කොච්චර වැඩ තිබුණත් නත්තල් රාත්‍රියේ වැඩ කිසිවක් නොතිබුණෙන් කරදරයක්  නැතුවම කොච්චියාගේ නිවසට යන්නට ලැබීම මට මෙන්ම හැලපිටද සතුටක් විය.   නත්තලට අවශ්‍ය කලහලමනා කොච්චියා එකතු කරන්නට ගත්තේ ඊට දින ගණනාවකට පෙර සිටය.     අප දෙදෙනාට අමතරව කොච්චි යුවළගේ ආරාධනය ලබා තවත් හත්අට දෙනෙක්ම නිවසට පැමිණ සිටියහ.   සාදයට ආ පොඩි උන් දෙන්නා අපට හුරතල් රසය නොඅඩුවම සැපයුහ.   පැමිණි අයගේ බඩකට පමණක් නොව ඇසද පිනවන්නට කොච්චි හාමිනේ සහ ඇයගේ සහායිකාවන් දෙතුන් දෙනා සාර්ථක උත්සාහයක් දරා තිබුණි.   මා කියනවාට වඩා ඒවා ඔබටම දැක බලාගන්නට මෙතැන් සිට සාදයේ පිංතුර ටික ඉදිරිපත් කරමි.    සාදය පටන් ගත්තේ ඩෙට් කේක් හා අයිසිං තැවරූ ෆෘට් කේක් සමග ෆෘට් කොක්ටේලයකිනි.
ඉන්පසුව කන්නට දුන්නෙ හැම් සමග බැටළුමස් මිශ්‍රකර ඇතුළට දමා සාදා තිබු මෆින්ය.   පෘට් කොක්ටේලයට එහායින් ඇත්තේ ක්රේන්බෙරි යුෂ,ඉඟුරු යුෂ සමග ලෙමන් යුෂ සහ ස්ට්‍රෝබෙරි යුෂට බොම්බේ සෆාරි ඩ්‍රයිජින් මුසුකර සෑදු විශේෂ කොක්ටේලයයි.   එයනම් මිහිරිම පානයකි කික් එකද අඩුවක් නොමැතිව හොඳින් තිබුණි.     ටිකක් වෙලා කොක්ටේල් පානය කළ පසු හයි කොමිෂනර් බෝතලයක්ද ලැබුණේ තවත් වැඩිපුර කික් එකක් අවශ්‍ය අයටය.   කොච්චියා කොක්ටේල් වීදුරු තුන හතරක් ළඟ ළඟ නවාගත්තේ එහි ඇති මිහිරි රසය නිසාමය.   අප අතර ඇතිවූ කතාවට මුලික වුයේ බ්ලොග් ලිවීමේදී ඇතිවන ඩොමැස්ටික් සෙන්සර් ය.  කොච්චි හාමිනේත් හැලපිත් දෙදනාම ළඟ සිටි නිසා මේ කතාබහ බෙහෙවින් රසවත් වූ බවත් ගෑනුන් අපි දෙන්නාගේම රෙදි ගලවන්නට සමත්වූ බවත් කීවාට වරදක් නැත.   රාත්‍රී කෑම මේසයේ පළහන ලද ටර්කියෙක් සහ බැටළු ගාතයක් තිබුණේ ප්‍රෝන් රයිස් සමග කන්නටය.තව තවත් ජාති බොහොමයක් තිබුණත් විස්තර කරන්නට නොයන්නේ පිංතුර වලින් බලාගත හැකි බැවිනි.
මේ පින්තුරය පසුබිමේ සිටින්නේ කොච්චියා ය.
තවත් පිංතුර බොහොමයක් ඇතත් ඒවායේ අප පෙනී සිටින බැවින් පළ නොකරන්නේ කොච්චියාගේ ඉල්ලීම පරිදිය.   රාත්‍රී ආහාරය ගෙන ගෙදර ආ බව මට මතක තිබුණත් කොච්චියා උදේ කතාකර මගෙන් ඇහුවේ හොඳින් ගෙදරට ළඟාවූනාද කියලාය.   මධ්‍යම රාත්‍රිය ලඟාවන විට කොච්චියාගේ ගෙදර පහළ පාමසියේ ඉන්නා ඩොක්ටෝර් හෙවත් ජානි බායි සාදයට පැමිණියේය.   ඔහුටද කොක්ටේල් පානය බොහෝ රසවත් වූ බව පෙනුණි.    ඉතිං කොච්චියාගේ නත්තල් සාදයේ තොරතුරු දැනට ඔපමණය.    තව විස්තර අවශ්‍යනම් ලබන අවුරුද්දේ පමණ සලකා බලන්නට පුළුවන.    එතෙක් උදාවුණු නත්තල සහ උදාවෙන 2017 නව වසර ඔබ සියලු දෙනාටම දුකෙන් තොර සැපෙන් බර සියලු පැතුම් ඉටුවන වැඩි වැඩියෙන් බ්ලොග් ලියැවෙන බ්ලොග් වලි අඩුවන සුබම සුබ නව වසරක් වේවායි පතන්නේ ඔබට ඉතා හිතවත් හැලපයා වන මමද හැලපිය සහ හැල පැට්ටාත්ය෴

Monday, December 19, 2016

මල්බර රෝහල, පෙට්ටි කඩ සහ සංවර්ධන ව්‍යාපෘතිය.

අද ලියන්නට යන්නේත් මීට කලින් ලියු කතාවටම යම් ආකාරයකින් හෝ සම්බන්ධයක් ඇති   එනම් වැලිසර ළය රෝහල ගැනම කතාවකි.    එදා ලීවේ චිත්‍රාගේ කොටු පැනිල්ල ගැනය, ඒ කතාව ලිවීමෙන් පසු බොහෝ කාර්ය බහුල වීම හේතුවෙන් කමෙන්ට් වලට උත්තර බඳින්නට පවා කාලයක් නැතිවිය.    අද මෙය ලියන්නට ඉඩවරයක් ලැබුණේ මහන්සිය නිසා හෝ මේ දිනවල පවතින ශීත කාලගුණය නිසා හෝ අසනීපව ගෙදරට වී සිටින්නට ලැබීම නිසාය.    ළය රෝහලට මා මෙතරම්ම ඇලුම් කරන්නේ මන්දැයි විටෙක මා මගෙන්ම අසා ගන්නා ප්‍රශ්නයකි.    මන්දයත් ඊට වඩා සුවපහසු ස්ථාන බොහොමයක මා සේවය කර ඇතත් ටී බී හෙවත් ක්‍ෂය රෝගය නම් බෝවන රෝගයට රටේ තිබු ලොකුම රෝහලේ සේවය කළ කාලයට මා ඉතා ආදරය කරන්නේ මගේ තරුණ දිවිය ඒ රෝහලේ ගෙවීගිය නිසාදෝ යැයි විටෙක මට සිතේ.    මගේ තරුණ වියේ අමතක කළ නොහැකි මතකයන් රැසක් ළය රෝහල හා බැඳී  පවතින අතරම එකල වැලිසර ළය රෝහලේ පරිසරයද ඉතාම අලංකාර  එකක් විය.    අක්කර පනස් ගණනක් වූ රෝහල් වත්ත පුරාම විවිධාකාර ගස්වැල් වවා තිබුණි. 

විටෙක මැයිගස්,රොබරෝසියා,කනේරු ඈ තව තවත් නම් නොදත් විවිධාකාර ගස්වල  මලින් සැරසෙන රෝහල් භූමිය සිහින ලොවක් බඳු විය.    මේ කාලයේ දී රෝහල් භූමියේ පිහිටා ඇති එන් ටී එස් හෙවත් හෙද පුහුණු පාඨශාලාවේ නේවාසිකව ඉගෙන ගන්නා තරුණියන් රෝහල් භූමියේ අලංකාරයෙන් මුසපත්වී  කවිද නිසඳැස්ද ලියන්නට පෙළඹෙන්නේ නිරායාසයෙනි.

සමහරුන් නම් නොදත් මල්ගස්වල නම් අපෙන් ඇසුවිට ඒ හැම එකටම අප දෙන පොදු පිළිතුරක් වුයේ ඒ කිටරම්බා ගසක් කියාය.   ටිකක් වෙලා ගෙන වචනයේ තේරුම වටහාගන්නා ඔවුන් බොහෝවිට අප සමගම සිනහසෙමින් එය රසවිඳිති.    දකුණු ආසියාකරයේ රටවල් බොහොමයක ව්‍යාප්ත වී තිබු ක්‍ෂය රෝගය බී සී ජී එන්නත සොයාගන්නට පෙර නියත වශයෙන්ම මාරාන්තික රෝගයක් විය.    ඒ හේතුවෙන්ම එකල ළය රෝහලේ වැඩකරන්නට සේවකයන් සොයාගැනීම රෝහල් පාලනයට විශාල ප්‍රශ්නයක් වී තිබු බව අසා ඇත්තෙමි.    එකළ රෝහල් පාලකයන් පාරේ යන අයට අප්පුඩි ගසා කතාකර රෝහලේ සේවයට බඳවාගෙන තිබුණි යැයි කතාවක්ද පැතිර තිබුණි.    වයෝවෘද්ධ උපස්ථායකයින් රෝහල් කොරිඩෝවේ ගමන් කරද්දී සමහරු අප්පුඩි ගසා සැඟවී බලා සිටියේ ඔවුන්ගේ කුණුහරුප අසාගන්නටය.    රෝගයට අවශ්‍ය ප්‍රතිකාර නොමඳව තිබු සහ රෝගය ඉතා හොඳින් පාලනය කර තිබු අප සේවය කළ වකවානුවේ පවා සතියකට මරණ තුන හතරක් වාර්තාවීම සාමාන්‍ය තත්වයක් වීම තුළ ප්‍රතිකාර නොමැති කාලයක මරණ කෙතරම් වී දැයි සිතාගත හැකිය.  

රෝගයට බිය වුවොත් රෝගය වැළඳීමේ ප්‍රවනතාව වැඩි බව අප අසා තිබුණා මෙන්ම අපව දැනුවත් කර තිබුනේද රෝගයට හෝ රෝගීන්ට බිය නොවී හොඳට බඩ පිරෙන්නට කෑම කා තම රාජකාරිය කරන ලෙසටය.    කෙසේ වුවද අපට රෝගයට බියවන්නට හේතුවක් හෝ වේලාවක් නොතිබූ අතර අසරණ රෝගීන් වෙනුවෙන් අපට කරන්නට තිබු රාජකාරි නොවලහා ඉටුකළෙමු.    රෝගීන් වෙනුවෙන් කළ කී දෑ වෙන් වශයෙන් කියා පෑම අනවශ්‍ය වුවත් රෝගීන්ට පිහිටවීම හේතුවෙන් සිතේ හටගත් ආශ්වාදය අදටද ජීවිතයට මහත් ආශීර්වාදයක් වී ඇතිබව මෙහිදී සටහන් කළ යුතුමය.    කෙසේ වුවද අද දවසේ මේ රෝගය කෙතරම් පාලනය කර ඇද්දැයි කිවහොත් දැන් ක්‍ෂය රෝගය යන නම පවා භාවිතයෙන් ඉවත්ව ඇත.   එකළ වෙන් වශයෙන් තිබු ළය රෝහල් දැන් සාමාන්‍ය රෝහල් බවට පත්වී  හැම රෝගයකටම ප්‍රතිකාර කරන රෝහල් බවට පරිවර්තනය වී ඇත.    ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරය ස්වසන රෝග මර්දන ව්‍යාපාරය බවට පත්වී ක්‍ෂය රෝගය ස්වසන රෝගයක් ලෙස ලඝුවී ඇත.

එකළ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය ඩීන්ස් පාරේ පිහිටා තිබුණු අතර ප්‍රධාන වශයෙන් ළය රෝහල් තුනක් විය.    ඒවා වැලිසර,කඳාන හෙවත් ආනියාකන්ද සහ කන්කසන්තුරේ පිහිටා තිබුණි.    ඊට අමතරව හැම දිස්ත්‍රික්කයකටම එක බැගින් ළය චිකිත්සාගාර  පිහිටුවා තිබු අතර ඒ ඒ දිස්ත්‍රික්කවල රෝහල්වලට සම්බන්ධව පිහිටුවා තිබු මේවායේ පරිපාලනය සිදුවුයේ ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාර ප්‍රධාන කාර්යාලයෙනි.    මා මුලින්ම කොළඹ ළය චිකිත්සාගාරයේත් ඊළඟට වැලිසර ළය රෝහලේත් ඉන්පසුව ක්‍ෂය රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේත් සේවය කර සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉවත්ව ගියෙමි.   

අප වැලිසර ළය රෝහලේ සේවය කළ කාලයේ රෝහල අද තරම් නවීන හෙවත් පොෂ් එකක් නොවීය.    මුළු අක්කර පනස් ගණනක් පුරා තිබු රෝහල්වත්ත වටේ ගසා තිබු කටුකම්බි වැට හැමතැනින්ම කැඩී බිඳී තිබුණු අතර වැට අයිනේ පෝලිමට තේ කඩද පෙට්ටි කඩද  පැටව් ගසා තිබුණ අතර ඒවායේ ඉලක්ක පාරිභෝගිකයින් වුයේ රෝහලේ සිටින රෝගීන්ය.     සාමාන්‍ය රෝහලක දින කීපයකට නේවාසිකව සිටින රෝගීන් රෝහලෙන් දෙන කෑම වේල කෑමට නොගත්තත් වැලිසර ළය රෝහලේ නේවාසිකව සිටින රෝගීන් තුන් වේලම කෑමට ගත්තේ රෝහල් මුළුතැන් ගෙයින් ලබාදෙන ආහාරයය.    මුළුතැන් ගෙයි සේවය කරන අරක්කැමියන් රෝගීන්ට ලබාදෙන ආහාර වේල කෑමට ප්‍රිය ආකාරයට රසවත්ව පිසුවේ මාස හය හත හෝ අවුරුද්ද ප්‍රතිකාර ගනිමින් නේවාසිකව සිටින ලෙඩුන්ට සැමදිනම ගෙදරින් ආහාරපාන නොලැබෙන නිසාය.   

රෝගීන්ට උදේ ආහාරය වශයෙන් පාන් සමග පොල් සම්බෝල,පරිප්පු,කෙසෙල් ගෙඩි හෝ ජෑම් සහ බොන්නට කිරි තේ ලැබුණි.    දවල් දහයට පමණ නැවතත් කිරි වීදුරුවකි.    දවල් ආහාරය වශයෙන් එළවළු දෙකක්, මැල්ලුමක් මස්,මාළු, කරවල හෝ බිත්තර සමග බත් ලැබේ.    රාත්‍රි කෑම වේල  හවස පහට පමණ බෙදා දෙනු ලබන අතර රෝගීන් කැමති වෙලාවක එය ආහාරයට ගත හැක.    ඊට අමතරව ශරීරය දුර්වල තත්වයක පවතින රෝගීන්ට වෛද්‍ය නිර්දේශ අනුව විශේෂ කෑම බීම වර්ගද නොඅඩුව ලබාදෙනු ලැබේ.

රෝහලෙන් තුන් වේලටම රසවත් සහ පෝෂ්‍යදායක ආහාර රෝගීන්ට ලැබුණද අමතර රසකැවිල්ලක් තේ කෝප්පයක් හෝ දුම්වැටියක් මිළට ගැනීමට රෝගීන් ගියේ මේ පෙට්ටි කඩවලටය.     කඩවලට අමතරව පාන්,රෝස් පාන්, බනිස්, කිඹුල්ලු ආදී බේකරි නිෂ්පාදනද රෝල්ස් කට්ලට් ද ලෑතර සව්බර විස්කිරිඤඤ ආදී රසකැවිලිද බයිසිකලයේ බැඳගත් විශාල පෙට්ටියක පුරවාගෙන විකුණන්නට වාට්ටු ගානේ ආ සයිකල් කාරයෙක්ද විය.    ඊට අමතරව රේස් සුදුවට ඇබ්බැහිවූ රෝගීන්ට උදේ රේස් කොළය අතටම දී සවසට රේස් තුන්ඩු සහ මුදල් එකතු කර ගන්නා සොයිසාගේ ජංගම බුකිය රෝහලේ ක්‍රියාත්මක වූ තවත් සමාජ සත්කාරයකි.

වැලිසර නවලෝක ක්‍රීඩාංගනය යනුවෙන් නම්කර ඇති පිට්ටනියද එකල රෝහල් භූමියේම කොටසකි.    කඳාන,වැලිසර,ගල්උඩුපිට,නාගොඩ ආදී ගම්වල කොල්ලන්ට එල්ලේ ගහන්නට ද පිටින් කණ්ඩායම් ගෙන්වා එල්ලේ තරඟ පවත්වන්නටද තැනක් නැතිවූ කළ ඔවුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කළේ එකල වත්තල මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගටය.   ප්‍රශ්නය ඉදිරිපත් කළ විගසම විසඳුම ජෝන් අමරතුංගගේ මුව අගමැ තිබුණි.   "ආ ගිහිං ඉස්පිරිතාල වත්තෙ බෝල ගහන්න! කිසි ප්‍රශ්නයක් නෑ!" කියා ඔහු කොල්ලන්ගෙන් ගැලවෙයි.     කොල්ලන් බෝල පිති අරගෙන ඉස්පිරිතාල වත්තට පැන්න විගස මුරකාරයන් කොල්ලන්ව එළවා දමයි.   සමහර විට කොල්ලන් මුරකාරයාට පාට් දාන්නේ ජෝන් අමරතුංගගේ හයිය අරගෙනය.   එවිට මුරකාරයා ඉස්පිරිතාලේ වැඩකරන නාහෙට නාහන කොල්ලන් හත් අට දෙනෙක් එක්ක ඇවිත් වත්ත ආක්‍රමණය කළවුන් ගහලා එලවයි මේ ප්‍රශ්නය දිගින් දිගටම ඇදී යමින් තිබුණේ කිසිම විසඳුමක් නොමැතිවය.    රෝහලට අලුත් වෛද්‍ය අධිකාරී වරයෙක් පැමිණියේ මේ අතරවාරයේය.    මට මතක හැටියට ඔහුගේ නම පෙරිම්පනායගම් වූ අතර ඇවිත් තිබුණේ වැලිකඩ හිරගෙදර රෝහලේ සිටය.    ඉතා ක්‍රියාශීලී වෛද්‍ය අධිකාරී වරයෙක් වූ ඔහු පැමිණි දිනයේ සිටම රෝහලේ භෞතික සම්පත් වැඩි දියුණු කරන්නට මාර්ග සොයන්නට විය.    

රෝහල වෙනස් කරන්නට අවශ්‍ය වුවද එය සිතු තරමට පහසු කටයුත්තක් නොවීය.     ඒ තරමටම රෝහල පිරිහිලාය වාට්ටු අබලන්ය,ඇඳන් කැඩිලාය, මළපවාහන පද්ධතිය ලෙඩදෙයි, වැසිකිළි ජරාවාස වීලාය, කැඩුණු වැටෙන් හරක්ද එළුවන්ද වත්තට පැනලාය, හැමතැනම බලු කරදරේය.     මේවා සියල්ල යථා තත්වයට පත්කරන්නට අවශ්‍ය රුපියල් මිලියන ගණනක මුදල වියදම් කරන්නට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට මුදල් ප්‍රතිපාදන නැත.    අලුත්වැඩියාව තබා රෝහලේ නඩත්තුව කරගෙන යන්නේද බොහොම අමාරුවෙනි.    දවස පුරා රෝගීන්ගේ කැත කුණු අතගාන සේවකයන්ට අත හෝදාගන්නට අවශ්‍ය සබන් ටිකවත් ඇතිවෙන්නට දෙන්නට දෙපාර්තමේන්තුවට හයියක් නැත.     කෙසේ වුවද අලුත් වෛද්‍ය අධිකාරී වරයාද තමන් හිතුදේ ලේසියෙන් අත් අරින ජාතියේ පුද්ගලයෙක් නොවීය.    ඔහු රෝහල් සංවර්ධන කමිටුවක් පිහිටුවා ප්‍රදේශයේ ඉන්නා දානපතියන් අල්ලා ගත්තේය.    ඒ මගින් පළාතේ මන්ත්‍රී වරයාවූ ජෝන් අමරතුංගද ලංකර ගත්තේ වැඩක් නොකළත් කරන වැඩකට අකුල් හෙලන්නට මන්ත්‍රීවරයාට හැකි බැවිනි.   නවලෝක මුදලාලිගේ සභාපතිත්වයෙන් යුත් සංවර්ධන කමිටුව වාට්ටු පහළොව පිළිසකර කරන්නට කොම්පැණි පහළොවකට බාර දුන්නේය.    නවලෝක මුදලාලි මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන්වත් මේ වැඩේට එක්කරගෙන ආවේ වැඩේ තවත් ලස්සන  කරන්නටය.    එකළ සෞඛ්‍ය ඇමතිවරයා වු දොස්තර රංජිත් අතපත්තු ඔහුට හැකි පමණින් වැඩේට උදව් කළේ නිතරම රෝහලට යමින් එමින්ය.

වැඩේ දැන් හොඳට කෙරීගෙන යයි මේ අතරේම ජෝන් අමරතුංග මන්ත්‍රී වරයා බොරදියේ මාලුවෙක්ද බා ගත්තේය.   ඒ කුමක්ද කිව්වොත් ඔහුට කොල්ලන්ගෙන් හිසරදයක්  වී තිබු ක්‍රීඩා පිටියට ඉඩම් කොටසක් ඉස්පිරිතාල වත්තෙන් ඉල්ලා ගන්නට ඔහු සමත් විය.    ඒ ඉඩම් කෑල්ලේ නවලෝක ක්‍රීඩාංගනය හදාගත්තේ නවලෝක මුදලාලිගේ උදව්වෙනි.    රෝහල සංවර්ධන ව්‍යාපෘතියේ නිවේදක කටයුත්ත මට පැවරී තිබුණේ නිතරඟයෙනි.   හොඳ දේ කරනවිට හොඳක් වෙන බව ස්ථිර කරමින් මට මාදුළුවාවේ සෝබිත හිමියන් දැන හැඳින ගැනීමේ අවස්ථාව එයින් ලැබිණි.    උන්වහන්සේගේත් මගේත් හිතවත්කම සෝබිත හිමියන් අපවත්වෙන තෙක්ම අවුරුදු තිස් ගණනක් දිග දුරට ඇදුණි.    අවසන්වරට උන්වහන්සේගේ මුහුණ බලා දනක් පිළිගන්වන්නටද මට වාසනාව ලැබුණේ අපවත් වෙන්නට ටික දිනකට පෙර උන්වහන්සේ මෙරටටද වැඩිය බැවිනි.       

සෝබිත හාමුදුරුවන් ගැන කියනවිට මට මතක්වුණේ තව හාමුදුරු නමක් ගැන කතාවකි.     ඔය වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ වැඩ කෙරෙන කාලයේම ඉස්පිරිතාල ඉඩමේ තියෙන එන් ටී එස් එක ඉස්සරහපිට පාර අයිනේ තියෙන පොඩි රිසිවේසන් කෑල්ලට ආපු තරුණ හාමුදුරු නමක් ටකරං මඩුවක් පොඩියට හදාගෙන පොඩි බුදු පිළිමයකුත් තියාගෙන එතැන පදිංචි විය.    නගර සභාව ඇතුළු වගකිවයුතු කොටස් ඒ හාමුදුරුවන්ව එතැනින් අයින් කරන්නට හැදුවත් අයින් උනේ හාමුදුරුවෝ නොවේ.   කාලය ගතවී ගියේය හාමුදුරුවෝ කොච්චර දස්සයෙක්ද කිව්වොත් ඒ පොඩි ටකරං මඩුව අද මුලගන්ධකුටි විහාරය වී පළාතේම පිළිගත් පන්සලක් ලෙස දියුණුවෙන් දියුණුවට පත්වී ඇත.   පන්සල වටේ අලංකාර තාප්පයක්ද චෛත්‍යයක්ද බෝධියක්ද විශාල බුදුගෙයක් සහ අලංකාර ආවාස ගෙයක්ද සහිත මුලගන්ධකුටි විහාරය දැන් නිකම්ම විහාරයක් නොව පිරිවෙනකි.    හැබැයි පිරිවෙන ඇතුළු පන්සල පිහිටා ඇත්තේ වැලිසර ඉස්පිරිතාල වත්තේ බවත් කර ඇති ඉදිකිරීම් සියල්ලම අනවසර ඉදිකිරීම් බවත් කවුරුවත් කියන්නට ඉදිරිපත් නොවෙන්නේ හාමුදුරුවන් දැන් එපමණටම බලවත් නිසාය.   ඒ  හැමදා අල්පේච්ඡ ජීවිතයක් ගතකළ සෝබිත හාමුදුරුවන්ට වඩා බෙහෙවින් වෙනස් චරිතයකි.

දැන් නම් වැලිසර ළය රෝහලේ මුළු ඉඩම වටේම ලොකු තාප්පයක්ද හොඳ ගේට්ටුවක්ද ආරක්ෂක සේවාවක්ද ඇත.   2007 දවසක මම කඳානේ ගෙදරකට ගියේ රට ඉඳන් එනකොට යාලුවෙක් දුන්න පාර්සලයක් ඒ ගෙදරට ගිහිං දෙන්නටය.   ඒ වැඩේ ඉවරකර මම ඉස්පිරිතාලෙටත් ගොඩ උනෙමි.    නමුත් මම දන්න අය හිටියේ දෙන්නෙකි එක්කෙනෙක් රෝහලේ සෙකට්‍රිය.    ඔහු මාව ආදරයෙන් පිළිගෙන විස්තර කතාකළේය.   කාලයකට ඉස්සර  මම කරපු වැඩ නිසා මාව දිරවන්නේ නැතුව සිටි ඔහු මා හැඳල ලාදුරු රෝහලට මාරුකළේය.   පරණ තරහ හිතේ තියාගෙන නොසිටි නිසා මමත් හොඳට කතාකළෙමි.   අපි දෙන්නාගේ පිළිසඳර අවසාන වුණේ මහබාගේ හන්දියේ බාර් ඇන්ඩ් රෙස්ටුරන්ට් එකකිනි෴