Wednesday, August 3, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 14 - ඉන්ද්‍රාගේ සංග්‍රහය, වැල්ලේ සංචාරක නිවාසය සහ වැලිගොව්වා.

"ඇයි මේ බයවෙලා වගෙ බලා ඉන්නෙ?"  ඉන්ද්‍රා ඇසුවේ අහක බලාගෙන සිනාසෙමිනි.

" නෑ මේ මම කල්පනා කළේ අද නොගියොත් රුවන්ල මාව හොයයි!  ඇයි මම කියල ආවෙ නෑනෙ."

"ඉතිං! බෙනට්ලගෙ ගෙදරට කෝල් එකක් දෙන්න! එයා රුවන්ලට කියාවි,ඉවරයිනෙ."  ඉන්ද්‍රා ඒ ප්‍රශ්නයටද ක්‍ෂණික විසඳුමක් දුන්නාය.

හතරවටින් අඳුර ගලා එන ඒ සන්ධ්‍යාවේ අප වෙරළට මුහුණලා වාඩිවී සිටියෙමු.    සවස් කාලයේ දිය නා සිටි ඉන්ද්‍රාගෙන් වහනය වුයේ ඇය ගෑ ආලේපනයක සියුම්  සුගන්ධයකි.   මුදාහැර දමා තිබූ ඇගේ වරළසෙහි තැන තැන තවමත් දිය බිඳු  දිස්විය.     අතට ගත් කෙස් රොදක් ඇඟිල්ලක පටලවමින් සිටි ඉන්ද්‍රාගේ  මුහුණෙහි සිනහවක සේයාවක් දක්නට තිබිණි.

"ගෙදර ආවට මොකද මට තමුසෙත් එක්ක හරියකට කතා කරගන්නවත් බැරිවුණානෙ! යන්න හදනකොට මට ලෝබ හිතුණා, වැඩියත්ම මම ඉන්න කිව්වෙ ඒකයි."

" හිටිය වගේ නෙවෙයි දැන් සඳුදට ඔෆිස් එකේ අය කියන කතා අහන්නත් ලෑස්ති වෙලා යන්න වෙයි!"

" සඳුද විතරද? දැනුත් කතා නං හදන්නෙ!මම ඔය කතාවලට  වඩා ගොඩාක් අමිහිරි දේවල් වලට මුහුණ දීපු කෙනෙක්....."   ඉන්ද්‍රා මගේ නම කියා කතාකළාය.

" ඔය කතාවලට වඩා තමුසෙත් එක්ක වාඩිවෙලා  ඉන්න මේ මොහොත මට ගොඩක් වටිනවා! ඒ හින්දා කතා ගැන පොඩ්ඩක්වත් බයවෙන්න එපා !"  කියූ ඈ  එක්වරම මගේ අතගෙන වැර දමා සැපුවාය.

"ඌයි" 

"ඇයි" 

" ඇයි තමයි බැල්ලියෙක් වගේ ඔහොමත් හපනවද?   තව පොඩ්ඩෙන් මට හුජ්ජ යනවා!"   ඉන්ද්‍රා දෙකට නැවීගෙන සිනාසෙන්නට වුවාය.

" අනේ රිදුනද? කෝ ඉන්න මම අතගාන්න! තව ටිකෙන් හරි වැඩේ තමයි වෙන්නෙ නේද?  දඟකාර සිනාවක් පාමින් ඇය මගේ අත ගෙන බැලුවාය.   ඇගේ දත් පහරවල් අතේ මනාව සටහන්වී තිබිණි.

" විහිළු නෙවෙයි නාගත්ත නං නරකද?  වත්ත පහළ ෂෝක් ළිඳක් තියෙනවා!"   ඉන්ද්‍රා ළිඳක් ගැන කියද්දී මට හිනා ගියේ අපේ ගමේ ළිඳක් ගැන මතක්වු නිසාය.

" මොකද හිනාවෙන්නෙ!"

" නෑ අපේ ගමේ මහලිඳ කියල ළිඳක් තියෙනවා,  පිටින් එන අය ඒකෙන් නෑවොත් ආයෙ ගම දාල යන්නෙ නෑ  කියල කතාවක් ගමේ උන් කියනවා!"

" අපෝ ඒකට නං බයවෙන්න දෙයක් නෑ,  මම හෙට උදේ එක්ක ගිහිං බෙන් එකටම දාන්නං!"

" බොරැල්ලට දැම්මම ඇති, ඉතුරු හරිය මම යන්නං!" 

" හෙට මම අපේ අම්මට කියල ඔයාල හතර දෙනාටම කන්න බත් එකක් ඔතල දෙන්නංකො!" 

" අන්න ඒක නං හරිම  වැදගත් වැඩක්, තුන් වේලම කඩෙන් කන අපට කෙහෙල් කොළේක ඔතපු බත් එකක් දකින්නවත්  හම්බෙන්නෙ ඉඳහිටලනෙ !" 

ඒ වනවිට දසතින් අඳුර ගලාවිත් මුහුදද ගොඩබිමද එකම අඳුරු පටලයකින් වෙලී ගොසින්ය.   අඳුරේ තරුණයෙක් සමග තනිවී සිටින්නට මැලිවූ ඉන්ද්‍රා මඳ නොසන්සුන් ගතියක් දක්වන්නට වුවාය.

" මොකද ඇඹරෙන්නෙ?" යි  මම ඉන්ද්‍රාගෙන් ඇසීමි.

" යන්න ඕනෑ අනේ,හිටිය මදැයි, ඔයා මොකද කරන්නෙ? නාන්නත් බෑනෙ!"

" කම්මැලියි,  හිතුණොත් රෑ වෙලා මූදට පනිනවා!"

" මේ මේ පණ්ඩිත වැඩ නං කරන්න යන්න එපා,  මුදෙ නානව නං මම ලෑස්ති කරල දෙන්නං හැබැයි හෙට උදේ! " ඉන්ද්‍රා තරවටු කළාය. 

" නෑ මට පුරුදුයි, සැරයක් අපි ටෙළියක් කරන්න අකුරළ ඇවිත් හිටපු කාලෙ හැමදාම රෑට වැඩ ඉවරවෙලා ඇවිත් මුදෙ පැනල නානවා, මොකුත් උනේ නෑ!"

" ඒ අකුරළ, මෙහෙ ඒ සෙල්ලම් බෑ,නොදන්න මුදුවල තනියම නාන්න  යන්න එපා,  ඒ මදිවට රෑ!" ඉන්ද්‍රා නළල රැලි කර ගනිමින් කීවාය.

" එහෙනම් යමු!" මම සිටි තැනින් නැගිටිමින් කීවෙමි.

ඇඟට දැනෙන්නේ මහ කුසීත ගතියකි.   මොනවා හෝ සැර දෙයක් පාවිච්චි කරන්නට ඇත්නම් මේ ගතිය මඟ ඇරී යනු ඇත.   තව කවුරුන් හෝ පිරිමියෙක් හිටියා නම් ටවුමටවත් යන්නට තිබුණත් තනියම යන්නට කම්මැලිය.    මම වටපිට බලමින් හිමිහිට ගමන් කළෙමි.

" මොකෝ වටපිට බලන්නෙ රෑ වෙනකොට ඉන්න බෑ නලියනව නේද?   අපේ රෙස්ටුරන්ට් එක පැත්තෙ ගියොත් නං මොනාහරි බොන්න පුළුවනි.  හැබැයි බියර් ඇත්තෙ අපට සැර ජාතිවලට ලැයිසන් නෑ!" ඉන්ද්‍රා වෙරළ අයිනේ ඇති ගොඩනැගිලි පෙළ දක්වමින් කීවාය.

වෙරළ දිගටම තනා ඇති සංචාරක නිවාස පේළියේ මෑතින්ම ඇති නිවාසය ඔවුන්ට අයත් බවත් එය කරගෙන යන්නේ ඇගේ සොහොයුරා බවත් මේ දිනවල සංචාරක අවාරය නිසා වසා දමා ඇති බවත් ඉන්ද්‍රා වැඩිදුරටත් කීවාය.

" මොකුත්ම නැතුවට වඩා බියර් එකක් හොඳයි!" මම කීවෙමි.

" එහෙනං ඔයා මල්ලිත් එක්ක යන්න මම මල්ලිට කියන්නං!"

 තවත් සුළු මොහොතකින් මා සිටියේ ඉන්ද්‍රලාගේ මල්ලිත් සමග ඔවුන්ගේ සංචාරක නිවාසයේය.    නිවාසයේ විදුලි එලි දැල්වූ මල්ලී මට බොන්නට බියර් බෝතලයක් ශීතකරණයෙන් ගෙන සුදානම් කළේය.   දවල් ඉතුරුවුණු බැදුම් පිළිස්සුම් පොදියක් රත්කර ඉන්ද්‍රා එවා තිබුණේ හපන්නටය.   බියර් බෝතලයෙන් වීදුරුවක් පුරවාගත් මා එය තොලගාන්නට පටන් ගනිත්ම දොරට ගසන හඬක් ඇසුනි.    ඉන්ද්‍රලාගේ මල්ලි දොර හැර බලනවිට ඇවිත් සිටියේ තරුණයන් හතර පස් දෙනෙකි.   පසුව දැනගත් පරිදි ඔවුන් සංචාරකයන් එන කාලයට වැල්ලේ නොයෙකුත් රැකියා කරමින් ජීවිකාව සරි කර ගන්නා තරුණයන්ය.

" ආ, මල්ලි ලයිට් පත්තු වෙලා තියෙනව දැකල කවුද බලන්න ආවෙ!" එක් තරුණයෙක් කීවේය.

" මේ අපේ අක්කලයි ඔෆිස් එකේ අයිය කෙනෙක්,  මොනාහරි බොන්න දෙන්න කියල මෙහෙට එක්කරගෙන ආවා!" 

" එහෙමද? අපිත් මේ සෙට් වෙන්න කියල යන ගමන්,  අක්කගෙ යාළුවො කට්ටියක් කොළඹ ඉඳල ආවය කියල ආරංචි උනාට අපි දැක්කෙ නෑනෙ! " රළු ගති ඇතියවුන් ලෙස මුහුණුවලින් පෙනුණද  උණුසුම් හදවත් ඇති තරුණයන් පිරිසක් වූ ඔවුහු  මා සමග කතා කළේ බොහෝ ලෙන්ගතු කමිනි.

" අයියගෙ අකමැත්තක් නැත්නං අපිත් එක්ක සෙට් වෙමු.   වෙන කොහෙවත් යන්න ඕනෑ නෑ මෙතනම වැඩේ කරමු, විනාඩි පහක් ඔහොම ඉන්නැ'යි" කී ඔවුහු සයිකල් දෙකක් සැර දමාගෙන ඉගිල ගොස් ටික වේලාවකින් ආපසු ආවේ බෝතල්ද කටගැස්මද ඇති පදමට අරගෙනය.

රාත්‍රිය මෝරන්නට වුයේද අපේ මුහුණු රතුවී කතාබහ වැඩිවන්නට වුයේද බෝතල් එකින් එක හිස්වන්නට වුයේද එක දිගටමය.   ටික ටික සරුවන්නට වූ සාදය සංචාරක නිවාසයෙන් මුහුදු වෙරළට ගෙනගියේ කාගේත් එකඟත්වයෙනි.   

සුහද කතාබහ අතරේම එකෙක් කොංගුරමක් ගෙනැවිත් වාදනය කරන්නට වුවිට එතෙක් අඩුවක්ව පවතී සංගීතයද එකතුවිය.    සඳ නැග එන රාත්‍රියේ මීවිතද ගීරසද නොඅඩුව ගලායන්නට  වුයේ අපේ සිත් සතුටින් පුරවාලමිනි.   රෑ කෑමට එන්නැ'යි  ඉන්ද්‍රා පණිවුඩ කීපයක්ම එවා තිබුණත් එවෙලේ කෑමට අවශ්‍යතාවක් නොවීය.   අපේ සංගීත සාජ්ජය අවසන් වුණේ රාත්‍රියේ කුමන හෝරාවේදැයි මට මතකයක් නැත.   අවසානයට යාන්තමින් වගේ මතක තිබුණේ නටමින්ම ගොස් මුහුදට පැන්න හැටි හා දෙතුන් දෙනෙක් මා ගොඩට ඇදගෙන ආ හැටිය.    වැලිගොව්වෙකු මෙන් වැලි තවරාගෙන සංචාරක නිවාසයේ එළියේ බිම නිදාසිටි මාව පහුවදා උදේ ඇහැරවන ලද්දේ ඉන්ද්‍රා විසිනි෴

112 comments:

  1. හප්පේ ඇති යන්නං ඉන්ද්‍රගෙ ඉතුරු කොටස දාලා. මේක නියමයි අප්පා, හොඳම හරිය අර අන්තිම කෑල්ල :)

    වැලිගොව්වා හෙහ්, හෙහ්...

    ReplyDelete
    Replies
    1. කතාව තව ඉවර නෑ. උඹ කවුද කියල මං මේ කල්පනා කරන්නෙ.

      Delete
  2. අක්ක කෙනෙකුට සෙට් වෙන එකත් හෙන ෆන් වැඩක් නේද. මටත් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් තිබුණා. අපිව හොඳට බලා ගන්නවා. වැරදි වැඩ කරන්න දෙන්නේ නෑ. හැබැයි ටික කාලයක් ගියාම නම් පොඩ්ඩක් වාත වෙනවා. කොහොම උනත් කොල්ලො කාලේ මේ වගේ දේවල් විඳින්න ඕන. නැත්නම් කොලු කාලේ කිසි ආතල් එකක් නෑ.

    ReplyDelete
    Replies
    1. අක්ක කෙනෙක්ගෙ සෙනහස විඳින්න පින තියෙන්න ඕනෑ බං. ඇණයක් වෙනවා නං තමයි. ඒ උනාට ඒ ආදරේ හරිම හෘදයාංගමයි.

      Delete
  3. මදැයි ඉන්ද්‍රත් ඉඳල ඉඳල දාගත්ත ලෙඩක මහත.
    හොඳට මතකද උදේ වෙනකොට රෙදි ඇඳගෙනද හිටියෙ කියල. හැක්..

    ReplyDelete
    Replies
    1. ලෙඩේ උඹටනේ ඉන්ද්‍රට ඒවායේ ගාණක් නෑ. රෙදි ඇඳන් හිටියත් නැතත් ඒවා ගානට සිද්ද වෙලා ඇති.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. All the roads lead to Rome.
    All stories of Hapape's end up in alcohol.
    හැම පාරක්ම අවසාන වන්නේ රෝමයෙනි.
    හැලපයාගේ කතා සියල්ල අවසාන වන්නේ මධුවිතෙන් හා කටගැස්මෙනි

    ReplyDelete
    Replies
    1. ඒ මදිවට චීත්ත කෑල්ලකුත් කොහේ හරි ගෑවෙනවමයි.

      Delete
    2. ඕං කෙටුවා මේං කෙටුවා තැනට ගෙනාවට හොට ලංකරගන්නෙවත් නැතිවෙනවමයි

      Delete
    3. මොනව ගෑවුණත් දැන් ලියනකොට ඇඟ බේරගෙන ඇති

      Delete
    4. ඩුඩ්,
      Rome wasn't built in a day.
      ඉඳපං,කතාව තාම ඉවර නෑනෙ.

      Delete
    5. මනෝජ්,
      කෑම ලැබෙනකොට කියන්නෙ නැතුව බෑනෙ.

      Delete
    6. ප්‍රසා,
      චීත්ත කෑල්ලක් නැහ්නං බොලාට කතාවෙ ගතියකුත් නෑනෙ.

      Delete
    7. ඇනෝ,
      ඒ ඉතිං මගේ වෙලාව තමයි.

      Delete
    8. ප්‍රා,
      නැහ්නං හැලපයගෙ බ්ලොග් කෙළියත් ඉවරයි කියයි.

      Delete
    9. akkalage adaraye shrungarayath e wagema thama

      Delete
    10. රන්සකු,
      ඇත්තටම එය ආදරයට අමුතු ගතියක් එක් කරනවා.

      Delete
  6. බොන වුන් නම් මොන ලෝකේ ගියත් එකට සෙට් වෙනව :D

    ReplyDelete
    Replies
    1. ඒවා එහෙම තමයි, අනික බොන උන් කොයි ලෝකෙ ගියත් බොන්න තියෙන තැන් හොයාගන්නවා.

      Delete
  7. ඔය ඉතින්......ඔහේ යුතුකම් ඉෂ්ට කොරල තියෙන්නේ බෝතලේටනේ....!
    අඩුගානේ දත්පාරක් තියාගත්ත එකත් මදැයි නැද්ද...!
    දැන් ඊලඟ කොටසින්ද සඳුදා ඔෆීසියේ සෙට් එකට දත් පාර අහුවෙච්ච ස්ටෝරි කථාව ලියවෙන්නේ හැබෑට ඈ...!

    ReplyDelete
    Replies
    1. රෙද්දක් ඇඳගෙන ඒ කතාව ලියන්න පුලුවනිද හැබෑටම. හැක්..

      Delete
    2. දන්නැද්ද ඉතිං අපට බෝතලේ දැක්කම වෙන යුතුකම් ඔක්කොම අමතක වෙනවානේ. ඊළඟ ඉස්ටෝරි කතාවට දත් පාර ලියමු.

      Delete
    3. ප්‍රසා,
      රෙද්ද ගලෝල හරි කතාව ලියන්න එපායැ බං.

      Delete
  8. එකාතකින් මෙහෙම හොඳා..අමතක කරන්න කියල බීපුවාම කබරගොයි,වැලිගොයි වගේ තත්තෙන් බේරුණොත් මදෑ..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. මෙහෙම හොඳයි නේද? ඒකනෙ මම කිව්වෙ.

      Delete
  9. හැලපයියා මේ පොස්ට් එකට දාලා තියෙන පින්තුරය දැක්කම මට මතක් වෙන්නේ කපිල කුමාර කාලිංග ලියලා ප්‍රදීපා ධර්මදාස, ලක්ෂ්මන් විජේසේකර ගායනා කරන "සුපෙම් හැඟුම් ඔබෙන් එපා" කියන සින්දුව.

    ReplyDelete
    Replies
    1. ඔන්න මම ඒ සිංදුව හොයාගෙන ඇහුවා.

      Delete
  10. අපරාදේ පවට පින දෙන්ඩ පුලුවනැ

    ReplyDelete
    Replies
    1. ඒකනෙ නියපොතු පාට කරලත් නැතුව හැක්

      Delete
    2. අරං තියාගත්තත් දාගන්න බැරි උන් කියන්නෙ උන්ට තමයි

      Delete
    3. පව් ද පිංද කියල දන්නෙ නෑ. ලිවීමේදී සෙන්සර් සෙන්ස් එක තියන වග විතරක් පේනව.

      Delete
    4. බා‍ෙලා හිතන්නේ ම‍ෙතන සියල්ල තියෙනවා කියල ද

      Delete
    5. අටං,
      කරුමෙට කකුල් පහයිලු බං.

      Delete
    6. ඉවාන්,
      ඒ මොකක්ද බං ඒ කතාව?

      Delete
    7. ඇනෝ,
      සහතික ඇත්ත බං.

      Delete
    8. ප්‍රා,
      සෙන්සර් සෙන්ස් තිබියදී මේ තරමට ලිවීම මදිද?

      Delete
    9. දමිත්,
      නැත,සියල්ලම මෙතන නැත.

      Delete
  11. /////   අවසානයට යාන්තමින් වගේ මතක තිබුණේ නටමින්ම ගොස් මුහුදට පැන්න හැටි හා දෙතුන් දෙනෙක් මා ගොඩට ඇදගෙන ආ හැටිය.    වැලිගොව්වෙකු මෙන් වැලි තවරාගෙන සංචාරක නිවාසයේ එළියේ බිම නිදාසිටි මාව පහුවදා උදේ ඇහැරවන ලද්දේ ඉන්ද්‍රා විසිනි෴////

    මේ පෝස්ටුවේ රසවත්ම කොටස මේක.... මදෑ ඔයින්ගියා...

    ReplyDelete
    Replies
    1. ඒක නොලිව්වානම් අපි තව සතියක් දෙකක් බලාගෙන ඉන්නවා හැලපෙ ආතල් එක ගන්නකම්

      Delete
    2. මෙහෙමයි නිර්මාණි,දැන් ඔයාට මේ කෑල්ල රසවත්ම කොටස උනාට තව අයට මේක තමයි නීරසම කොටස. හැම දේම බලන කෝණය අනුව සාපේක්ෂයි.

      Delete
    3. ඇනෝ,
      බොලාගේ ආතල් කැඩුනත් මම කතාව වැඩිකල් ඇද්දෙ නෑනෙ.

      Delete
  12. බීමට ගියහම හොඳ දේවල් මග ඇරෙනව කියන්නෙ ඇත්තනෙ...:D

    ReplyDelete
    Replies
    1. මොකට කියනවද? කතාව හරියටම හරි.

      Delete
  13. Mata hithena widiyata ude hitiye Balumakko

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ්, එහෙමත් වෙන්න ඇති.

      Delete
  14. අම්මප මේ හැලපයිය වගේ හිතක් පපුවක් නැති මනුස්සයෙක්. ඔහොම කතාවක් අහන්නද අපි මේ කොටස් ගානක් යනකං කට ඇරගෙන කියවගෙන ගියේ. ශෙක් අම්මප

    ReplyDelete
    Replies
    1. මතකනෙ ඉස්සෙල්ලා කතාවෙත් ගංජා සුරුට්ටුවෙන් වැඩේ ඉවරයි

      Delete
    2. කියල වැඩක් නෑ..

      Delete
    3. අහස උසට තිබුණු බලාපොරොත්තු සුන්වී ගොසින්ය. එහෙත් ඉදිරියට තව ඇත.

      Delete
    4. ඇනෝ සහ පැතුම්,
      ඉතිං මම මොනා කරන්නද ඌ කට් වුනු කොට.

      Delete
  15. බොන එව්වා කවදා බොන්න බැරිද? අපරාදෙ කොටාගන්න තිබ්බ චෑන්ස් එක.

    ReplyDelete
    Replies
    1. ඒක තමා බං,නුවණ පහල වෙනකොට වැඩේ සිද්දවෙලා ඉවරයි.

      Delete
  16. අපි දන්නව හැලපෙ කියන්නෙ හොදට හැදිච්ච කොල්ලෙක් කියල. මේ බලු කොල්ලො කියන ඒව වගේද අරක්කු ජුංඩක් බීගන්න තියන චෑන්ස් එක. අනික් ඒවනම් ලොකු උනාමත් කරන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. අන්න කම්මලේට තේරුණා. ඒ දවස්වල දැන් තරං ලොකුත් නෑ තමයි.

      Delete
  17. සුරා‍වේ අගයත් එහි ඇති මනා ගුණයත් බොන ‍සුදනෝ මිසක් නොබොන අනුවන දනෝ නොදනිත්

    ReplyDelete
    Replies
    1. ඕක ඉතිං මුංට කොච්චර කිව්වත් තේරෙන එකක්යැ ඉයන්.

      Delete
  18. කථාවේ අවසානය අස්වාභාවික ගතියක් දැනෙන්නේ මට විතරද??? හෙක් හෙක්.....
    ජයවේවා හැලපයියේ ....

    ReplyDelete
    Replies
    1. සර්පයා දුටුවද

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. මං හිතන්නෙ උඹට විතරක් වෙන්න ඇති. මොකද වෙන කවුරුවත් ඔය කතාව කියල නෑ.

      Delete
    4. දමිත්,
      දවසටම නොදුටුවෙහිය.

      Delete
  19. අනේ මන්දා බං අයියේ මට මොනවා කියන්නද කියලා... මේ වගේම කතාවක් තියනවා... කොටන්න බෑ මෙතන..... අපිත් පිළිවෙලක් වෙලා උනුත් පිළිවෙලක් වෙච්චි දවසට කොටමු කියලා හිත හදා ගත්තා...

    ReplyDelete
    Replies
    1. උඹට කියාගන්න බැරි දේ මට තේරෙනවා මල්ලි. මම මේ කතාව ලිව්වේ අවුරුදු තිහකට විතර පස්සෙ.

      Delete
    2. එහෙනං තව අවුරුදු 30කට පස්සේ...

      Delete
  20. සරල මිනිසුන්

    ReplyDelete
    Replies
    1. ඇත්ත කියන්න හැපුවේ ඇඟිල්ල විතරද ?

      Delete
  21. Replies
    1. ඕව කිව්වට වැඩක් නෑ රසික.

      Delete
  22. අනේ මන්ද බං හැලපයියේ, නිකං හිස් ගතියක් වගේ දැනුනා...

    ReplyDelete
    Replies
    1. බලාපොරොත්තු සුං වුනා වගේ ගතියක්?

      Delete
  23. පාව‍ෙන අයිස් කුට්ටියක් වගේ

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ වැඩි හරියක් පේන්නෙ නෑ ගොඩක් වතුර යට එහෙම නේද? අනේ නෑ බං ඔක්කොම එළිපිට.

      Delete
  24. කොංගුරමක් කියන්නේ මොකක් ද?

    ReplyDelete
    Replies
    1. කොංගු බෙරයක් නේද?

      Delete
    2. ඔය අර එක ඇහැකට ගහන බෙරේ බං. මැච්වලට ගෙනල්ල කරේ එල්ලං ගහන්නෙ. අපි ඒකට කියන්නෙ කොංගුරම කියල.

      Delete
    3. බොංගෝ එක දන්නවා.. මේ කොන්ගුරම අහල තිබුනේ නෑ.. :)

      Delete
  25. 12 13 14 එකපාරටම ඇදලඇරිය.
    ප්‍රේමනීයයි, අනුවේදනීයයි, වංචනීයයි, කුතුහලයයි.... මක්කද නැත්තෙ කියල මම කල්පනා කලේ.
    අර වාමාංසික පුත්‍රයගෙ සීරීස් එකට පස්සෙ මම කැමතිම කතන්දර තුන මේක!

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං බොලාගෙ රැස වින්දනය තකා මහන්සි බලන්නැතුව එක දිගටම ලිව්වා. ඒක නෙවෙයි කොහෙද බං මේකෙ වංචනීයත්වක් තියෙන්නෙ.

      Delete
  26. හැලපයියාස් පයියෙන් ඇහුව නං හොඳම ටික කියයි.
    (පයිය යනු කුනුහබ්බයක් නෙවේ
    -හැලපයියා)

    ReplyDelete
    Replies
    1. මේක නැතත් වෙන හොඳ හොඳ කතා කියාවි.

      Delete
  27. ඇඟ කිලිපොලා යන මේ ජාතියේ කතාවක් මගේ ළඟ තියෙනවා.. හම්බ උන වෙලාවක අර මාතර බීච් එකේ කතාව කියලා අහපන්කෝ...

    ReplyDelete
    Replies
    1. හරි, මතක ඇතුව කියපං ඈ.

      Delete
  28. ''හතරවටින් අඳුර ගලා එන ඒ සන්ධ්‍යාවේ අප වෙරළට මුහුණලා වාඩිවී සිටියෙමු. සවස් කාලයේ දිය නා සිටි ඉන්ද්‍රාගෙන් වහනය වුයේ ඇය ගෑ ආලේපනයක සියුම් සුගන්ධයකි. මුදාහැර දමා තිබූ ඇගේ වරළසෙහි තැන තැන තවමත් දිය බිඳු දිස්විය'' මයිල් ඉස්මයිල් වෙනවෝයි, මීට වඩා දෙයක් මතුවිතයෙන් ලැබෙයිද, හැබෑට!

    ReplyDelete
    Replies
    1. මයිල් ඉස්මයිල් වෙනවද? උඹට කියවල ඔහොම උනානං එතන හිටපු මට කොහොම තියෙන්න ඇද්ද කියල හිතල බලපංකො.

      Delete
  29. මේ කථාව ඇතුලේ හැංගිලා තියන, හිතේ පතුලේ තියන දුක වහගන්න වලිගොව්වෙක් උන වගක් තමයි මට නම් දැනුනේ...සිහියෙන් ඉඳගෙන මේ වගේ අවස්ථාවකට මුණ දෙන්න බැරි වෙන්න ඇති හැලැපේ තුමාට...ඒක එහෙම නොවුනත්, මේක කියවන කෙනාට එහෙම දැනෙන විදියට කතාව ගලපලා තියනවා...

    ReplyDelete
    Replies
    1. පොකුරු,
      කොහම උනත් ඒ විදියට සිද්දවීම හොඳයි කියල මට නං හිතෙන්නෙ.

      Delete
    2. ඔව් විය යුතුව තිබුන හොඳම විදිය ඒක තමයි...මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන්න ඕනේ බොහොම පරිස්සමට...

      Delete
  30. ඇත්ත කියන්න හැපුවේ ඇඟිල්ල විතරද ?

    ReplyDelete
    Replies
    1. හැපුවේ නැතිලු..

      Delete
    2. ඇයි වෙන කොහෙද රුවන්?

      Delete
  31. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. පළමුවෙන්ම ඔබේ දීර්ඝ සහ සාධනීය විවේචනය ගැන මගේ ස්තුතිය පළකරන්නට කැමතියි. ඔබට පිළිතුරු ලියන ආකාරය ගැන මා බොහෝ දුර කල්පනා කළා. අන්තිමේ කමෙන්ටුවේ සඳහන් කරුණෙන් කරුණට පිළිතුරු දෙන්න හිතාගත්තා.
      හැලපයා යනු මේ කතාවේ සඳහන් වෙනවාක් මෙන් රජයේ රැකියාවක් කරන දැනට විදේශීය රටක ජීවත්වන සාමාන්‍ය පුද්ගලයෙක්. ඔබේ අදහස් පුද්ගලිකව කරන අපහාසයක් හැටියට කිසිසේත්ම ගණන් ගන්නේ නැහැ සහ ඒ අදහස් දැක්වීම ඉතාම සතුටින් පිළිගන්නවා.
      රචනා ශෛලිය අගය කිරීම ගැනත් ස්තුතියි. ඒ ශෛලිය මට උරුම වන්නට ඇත්තේ මගේ අනවරත කියවීම නිසා විය හැකියි. තවත් එකක් මමත් ඔබ වගේම ඉතා වේගවත් කියවන්නෙක්, හැබැයි කටින් නොවේ පොත් පත්.
      මගේ හිතේ ඉන්ද්‍රා ගැන විශේෂයක් නොතිබුනා කිව්වොත් ඒක බොරුවක්. නමුත් මම ඇයට කරදර වන විදියට ඇය පස්සෙන් ගියෙ නෑ ඇය මා ගැන උනන්දු වුණේ ඒ නිසා වෙන්න ඇති. කොහොමත් ඉන්ද්‍රාව මා සතුකර ගැනීමේ අදහසක් කොහෙත්ම නොතිබුණු නිසා මා ඇයට මිතුරියක් ලෙස සැළකුවා කීවොත් නිවැරදියි. ඒ හේතුව නිසාම ඇය සමග ඇඳට යන්නට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. ඉන්ද්‍රාගේ ගෙදරදී උනත් ඇය මා වෙත පෑ සෙනෙහස නොදැනෙන්නට මම අන්ධයෙක් නොවෙයිනෙ. නමුත් ඇය සමග යහනට යන්නට මට තිබුණේ කැමැත්තක් නොව බියක්. ඒ බිය ඇතිවන්නේ මා ඇයට බැඳීමක් ඇතිවේ සහ ඇය මා ගැන තදබල බලාපොරොත්තුවක් ඇති කර ගනී කියලයි.
      මම නම් කිසිසේත්ම ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන කියල වැරැද්ද පටවල අත හෝදාගන්න චරිතයක් නොවෙයි. ගැහැණුන්ට වඩා ඒ කතාව පිරිමින්ට සුදුසුයි කියල හිතන් කෙනෙක් මම.
      ගොඩක් ලිව්වා සහ මම ලියපු දේවල් අතරේ මමම අතරමං උනාදෝ කියලත් හිතෙනවා. පස්සෙ කාලෙක වෙන කෙල්ලක් මට නෝක්කාඩුවක් හැටියට කියපු කතාවකින් මේ සියලු දේම පිඬු කොට දක්වන්න පුළුවනි කියල මට හිතෙනවා. " හදවතින් හැමදේම කළාට ඔයාගෙ ජීවිතේ වැදගත් තීරණ ඔක්කොම ඔයා ගත්තෙ මොළයෙන්" ඔන්න ඇය කියපු කතාව.

      Delete
    2. ඔබතුමාට මගේ උත්තමාචාරය...ඔබතුමාගේ මේ සිතුම් පැතුම් වලට මට දක්වන්න පුළුවන් උපරිම ගෞරවය එය තමයි...

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  32. මම ලියන්න ආපු කොමෙන්ට් එක ඒ දවස්වලම ඉන්ද්‍රා අක්ක කියල කියල දැන ගත්තේ උඩ ඔයා දාපු කොමෙන්ට් රිපල්යි එකෙන්..
    //හදවතින් හැමදේම කළාට ඔයාගෙ ජීවිතේ වැදගත් තීරණ ඔක්කොම ඔයා ගත්තෙ මොළයෙන්// රෙස්පෙක්ට් බ්‍රෝ.. අපි එහෙමනම් යන යන තැන අනාත වෙනවා..

    ReplyDelete
    Replies
    1. අහ.. ඒක කියල තියෙන්නේ ඉන්ද්‍ර අක්ක නෙවෙයි වෙන කෙල්ලක් නේ.. අම්බෝ..

      Delete
    2. මට කියල අමුතු යමක් හිතන්න තිබ්බේ නෑ බං. ඒත් මොන හේතුවකටද මංදා මගෙ ජීවිතේ වැදගත් දේවල් ගැන තීරණ ගන්න මම බයවුණා. ඇත්ත ඒකයි.

      Delete
    3. වෙන කෙල්ලෙක් තමා.ඉන්ද්‍රගේ යුගයට පස්සෙ.

      Delete
  33. Very butifull story. Write next part soon reed. I also very like to drink more. I good eat and drink man too.

    ReplyDelete
  34. I have story too to write to blog. I write this too.

    ReplyDelete
  35. වැලිගොව්ගේවා ගේ හෘදයාංගම කතාව අද කොහොමහරි කියව ගත්තා . අර රුසියාවේ කන හපනවා වගේම තමයි මේකත්. බෝතලේ අරගෙන බොන්න ගියානේ මූ ඉතින්.

    ReplyDelete
  36. මේ කථා මාලාව මම හරිම ආශාවෙන් කියවන්නෙ. ඒ නිසයි කථාව පලවෙලා බොහෝ දිනයක් ගත උනත් පහු උන කොටස් හොයාගෙන හරි මේ විදියට එන්නෙ.

    ReplyDelete

ඔබේ අදහස්