Monday, July 25, 2016

කොස් දොළදුක, ජෙයරාජ්, සුද්දාගේ වෙලාව සහ සාගර ජලය.

අපේ ගෙදරින් පැහිච්ච කොස් ගෙන්වාගන්නට ගොස් වූ අකරතැබ්බය ගැන මම මගේ අනික් බ්ලොගයේ  ටිකක් ලීවෙමි.    දිගු කලක් විප්‍රවාසයේ ගතකරන විට මෙවැනි දොළදුක් ඇතිවීම සාමාන්‍ය දෙයකි.    කොහොම නමුත් ඒ බලාපොරොත්තුව සුන්වූ තැන බිඳුණු සිතැතිව සිටි මට කොස් ගැන බොහෝ දේ කල්පනා විය.    ඒ නිසාම මෙය කොස් කතාවක් ලෙස හඳුන්වන්නට කැමැත්තෙමි.

කතාව කොස්වලටත් ටිකක් ඉස්සරහට ගෙනියන්න වෙන්නේ අපේ ගම්වල කාන්තාවන් වැඩ පටන්ගන්නේ ගහේ ගෙඩි ඉඳෙන්න ගත්ත දවසේ ඉඳලා නිසාමය.   ඒ කියන්නේ ඒ අය ඉස්සෙල්ලාම වැඩ පටන් ගන්නේ පොළොස් ගෙඩියෙනි.   පොළොස් කිව්වට හැම ගහේම පොළොස් එකවගේ රහ නැත.   පොළොස් ඇඹුල උයපුවම එන රහ ගැන නම්දරාපු ගස් තිබේ.   ඒ ගස්වල පොළොස් හොඳට තෙල් පෑදෙන්ට උයපුවම පොළොස් කෑල්ලේ ඇතුළත රත් පැහැ ගනී, ගෑවිච්චි තැන කන්නට පුළුවන් තරම් රසය.   ගමේ කාන්තාවන් පොළොස් ඇඹුල උයන්නට ගන්නේ අන්න ඒ වගේ ගස්වල කොස්ය.   එහෙම ගස්වල හැදෙන පොළොස් ගැට  වැඩි හරියපොළොස් ඇඹුල් උයන්නටම  කඩන නිසා කොස් වෙන්නේ කඩන්නට බැරි තරම් උඩ හැදුණු ගෙඩිත් කොළවලට වහං වෙලා හැදුණු හේතුවෙන් ගමේ ගෑනුන්ගේ ඇස්වලට නොපෙනුණු ගෙඩිත් පමණය.

පොළොස් ගැටය කඩා ගෙනැත් දෙකට පලා කටු ටිකද වහල්ලද රැස දමා තරමක කෑලිවලට කපාගෙන වතුරට දමා සෝදාගනී.    පොළොස් කෑල්ලේ වහල්ල හරියේ කීස් කීස් ගා මන්නයෙන් ඉරි හත අටක් අඳින්නේ ලුණු ඇඹුල් හොඳට ඇතුළට කාවදින්නටය.   ඊට පසු හොඳට තුනපහ දමා අතගා පොල්කිරිද දමා ලිප තබාගනී.   පොළොස් ඉවිල්ලේ විස්තරය දවසක් සුරංග කියා තිබුණු නිසා මම ඒ හරිය කියන්නේ නැත.   ඒත් අපේ පළාත්වල නම් පොළොස් ඇඹුල උයද්දී පොළොස් කෑලි තම්බාගෙන උයන්නේ නැත.   එකවරම ඔක්කොම පහේ දමා ලිප තබයි.   පොල්කිරි දමද්දී හොඳට වේලුනු පොල්වල කිරි දමන්නේ හොද්ද ඉදෙන විට තෙල් පෑදෙන්නටය.   ලිපේ තබාගත් පොළොස් ඇඹුල හොඳින් ඉදුනාට පසුව ගින්දර ඇද දවසක් පමණ මඳ ගින්නේ තියෙන්නට හරින්නේ හොඳට පදම් වෙන්නටය.   එහෙම තබා ලිපෙන් බාගත් පොළොස් ඇඹුලේ රස ගැන ආයෙ කියන්නට දෙයක් නැත.  දවස් ගණනක් තියාගත්තද නරක් වෙන්නේ නැත.   පොළොස් ඇඹුලේ බොරය තියෙන ඇතිළියට බත් දංකුඩ සුරා දමා කළවම් කරගෙන එතැනම ඉඳගෙන වළඳන විට තියෙන රස දන්නේ එහෙම කාපු උන් පමණය.

ඊළඟට පොළොස් ගැටය ක්‍රමයෙන් මැල්ලුම් පොළොසයක තත්ත්වයට මෝරා එයි.   ඒ කියන්නේ ගෙඩියේ මදුළුද ඇටද ඉඳීගෙන එන කාලයයි.     මැල්ලුම් පොළොස් ගෙඩිය සිහින් කැබලි වලට කපාගෙන සුදුළූණු ගම්මිරිස් අවුමිරිස් පොල් ආදිය එකට අඹරා මුට්ටියක දමා මලවා ගත්  විට ඉතා රසවත් ආහාරයකි.   මැල්ලුම් පොළොස් ද මාලු පොළොස් මෙන්මය.   ඒ කියන්නේ හැම ගහේම පොළොස් මැල්ලුමට රස නැත.   මැල්ලුම් හදපු විට හාල් මෙන් හොඳට ඉදෙන  කොස් ගස්වල ගෙඩි මේ සඳහා ගනී.   කුඹුරුවල ඇඹුලට බොහෝවිට බත්ද පොළොස් මැල්ලුම්ද කරෝල හොදිද ගෙනයන්නේ ගොවියන් එම ආහාරවලට වඩාත් ප්‍රියකරන නිසාය.     කටවහරේ එන එහෙම වෙලාවට කියපු කවියක්ද මට මතකය.

සිරික්කන්ඩං
පොළොස් මැල්ලුං
බෙලෙක් හැන්දෙං
දෙකක් බෙදපං

මෙතැන සිරික්කන්ඩං කියා කියැවෙන්නේ හොදි උයාගත්කළ ඉතා රසවත් කරෝල වර්ගයකටය.   කුඹුරු වැඩවලදී යාදෙන්නේ එවැනි ආහාර වර්ගය.

ඊළඟට එන්නේ මැල්ලුම් පොළොසයේ මදුළුද ඇටද හොඳටඉඳී ඇතත් නොපැසුණු පොළොසයෙන් හදන මැල්ලුමය.   මේ මැල්ලුම කොස් මදුල ඉරිත් එක්ක දෙකට කපා සකසා ගනී.    මැල්ලුමක් වශයෙන් එපමණ ජනප්‍රිය නැතිවුණත් මේ විදියට හදන මැල්ලුමද බොහොමත්ම රසය.

කොස් ගෙඩිය ගම්වල කොච්චර පිරිමහින ආහාරයක්ද කියතොත් කොස් වාරයට පංසලේ හාමුදුරුවන්ගෙ සිවුරෙත් කොහොල්ලෑ ගෑවී තියෙනවා කියා කතාවට කියැවේ.    කොස් කාලයට ගමේ හැම ගෙදරකම කෑමට කොස් වරදින්නේ නැත.   තම්බපු කොස්,  උයපු කොස් හෙවත් කිරිකොස්,  කොස් මැල්ලුම් ආදී වශයෙන් විවිධ ආකාරයට කාන්තාවන් කොස් පිළියෙළ කරති.   ගමේ අයට කොස් කන්නට මුදල් වියදම් නොවුණත් කොස් ගස් නැති ටවුන්වල ජීවත්වෙන අයට කොස් කන්නට වෙන්නේ මුදලටය.   කොස් මදුළුද මැල්ලුමට ලියපු කොස්ද ආදී වශයෙන් ටවුමේ වෙළෙඳපොලේ කොස් මුදලට අලෙවිවේ.   ගමේ අය ටවුමේ වෙළෙන්දන්ට ගමේ ගස්වලින් කොස් කඩා ගෙනගොස් විකුණති.   මුළු ගහේම පැහුණු කොස් ටික කඩාගත්තත් ගහ අයිතිකාරයාට හම්බවෙන්නේ සුළු මුදලකි.   ගහේ කොස් ටික ඉදි ඉදී බිම වැටී කුණුවී යනවාට වඩා එහෙමවත් කෙනෙක් කන එක හොඳයයි සිතා ගස් අයිතිකාරයනුත් සද්ද නැතිව සිටිති.   ටවුමට ගෙනයන කොස් ගෙඩියේ කටු ටික ඇරෙන්නට අනික් සියල්ලම මැල්ලුම් කපා හෝ මදුළු ගලවා මුදලට අලෙවිවේ.

බැඳපු අලුත අපි කැන්දලියැද්දපාළුවේ ගෙයක් හදපු කාලේ ගස්වලින් කොස් කඩා එකතුකරන වයසක ජෝඩුවක් ඒ වත්තටත් ආවේ කොස් කඩා ගන්නටය.    ඒ දෙන්නා කොස් කඩද්දි එතන හිටපු ගමේ කොල්ලෙක් ඔවුන් කවුදැයි මට කීවේය.   ඒ ඊට අවුරුදු කීපයකට පෙර සාප් ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් දිනූ මැරතන් ධාවකයාගේ දෙමව්පියන්ය.   ඒ ක්‍රීඩකයා පදිංචිව සිටියේ වෙළෙන් එහා පැත්තේ කියා  ඔහු මට  වැඩිදුරටත් කීවේය.    කොස් කඩාගෙන ආපහු යද්දී ඒ තාත්තා බුලත් කහට බැඳුණු දසන් විදහා මගෙත් එක්ක අහිංසකව සිනාසුනු හැටි අදත් මට එදා වගේම මතකය.   ඒ දෙන්නා ජීවිකාව ගෙනයන්නට මුදල් සොයා ගන්නේ කොස් එකතුකර පෑලියගොඩට ගෙනගොස් විකිණීමෙන්ය.    ඊට කාලයකට පසු කොටි සංවිධානය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාව ඝාතනය කරද්දී මේ මැරතන් ශූරයාද ඒ  පිපිරීමට හසුවී මියගියේය.   ඒ ආරංචිය දැනගන්නට ලැබුනවිට එක්වරම මට මතක්වුයේ අර අහිංසක තාත්තාගේ මුහුණයි.    

කතාව ලියාගෙන යනවිට කාල වකවානු මතක්කර ගන්නට මම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ඝාතනයේ රූපපෙළ ආයෙත් නැරඹුවෙමි.   මට එක්වරම සිහියට නැගුනේ සුද්දාය.    සුද්දාද පදක්කම් දිනූ මැරතන් ධාවකයෙක් මෙන්ම ඔය මම කියන සාප් මැරතන් ශූරයාගේ සමකාලීනයෙක් සහ ලඟම මිත්‍රයෙකි.   එදා ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයා මරන්නට කොටි සංවිධානය සාප් මැරතන් ශූරයා ඉත්තෙක් කොටගෙන සංවිධානය කර තිබු මැරතන් තරඟයේ සංවිධානයට සහ විනිශ්චයට සුද්දාටද ආරාධනා කර තිබූ බව ඌ මගෙත් එක්ක පස්සෙ දවසක කීවේය.   සුද්දාගේ මොකක් හෝ වාසනාවකට එදා ඉස්කෝලේ හදිසි රාජකාරියක් පැවරී තිබුණ නිසා ඌට මැරතන් එකේ වැඩේට යන්නට නොහැකිවිය.     වැරදිලාවත් සුද්දා එදා වැලිවේරියට ගියානම් අපට සුද්දාගේ කෑලි ගෙදර ගෙනෙන්නට වෙන්නේ කූඩයකට දාගෙනය.  

එදා මරාගෙන මැරෙන බෝම්බයෙන් සිදුවූ විනාශය ඒ තරමටම බලවත්ය.   වඩාත්ම අවාසනාව මැරුණේ කවුද කියා සොයාගන්නටවත් නොහැකිවීමය.    බොහොමයක් වෙලාවට ඔයවගේ පිපිරීම් වලින් මියගිය අය හඳුනා ගන්නට වෙන්නේ ශරීර කොටස්වල ඇති විශේෂ ලක්ෂණ වලින් කැළැල් ලප හෝ පච්ච ආදී සාධක වලින්ය.   පච්ච කියද්දී මගෙත් එක්ක යාලුවෙක් කියපු රස කතාවක් මතක්වේ.    එක මනුස්සයෙක්ව රෝහලට ඇතුල් කර තිබුණේ මොකක්දෝ හමේ රෝගයක් නිසාය.   රෝගයට ප්‍රතිකාර වශයෙන් එක්තරා ඖෂධයක් දිනපතා හමේ ආලේප කළ යුතු විය.    මේ පුද්ගලයාගේ තිබු විශේෂත්වය වූයේ මුළු සිරුර පුරාම පච්ච කොටා තිබීමයි.    ඒ පච්ච වලත් තිබුණේ ලංකාවේ තිරගතවූ චිත්‍රපට වල නම්ය.    දවසක්දා උදේ සාත්තු සේවකයෙක් මේ පුද්ගලයාගේ සිරුර පුරා බෙහෙත් ගල්වද්දී ලෙඩ්ඩුන්ට බෙහෙත් බෙදමින් එතැනින් යන්නට ආ තරුණ හෙදියකට ශරීරය පුරා පච්ච කොටා තිබු මේ රෝගියා පිළිබඳව ඇතිවුණේ මහත් කුතුහලයකි.    තමන් කරමින් සිටි රාජකාරිය ඉක්මනින් අවසන් කළ ඇය මේ රෝගියා වෙත පැමිණ ඔහුගේ ශරීරයේ ඉදිරිපස පෙනෙන්නට තිබූ පච්ච එකිනෙක හඬනගා කියවන්නට වුවාය.

යුගයෙන් යුගයට, හිත හොඳ චණ්ඩියා,  ජනේලය,  සත්‍යග්‍රහණය,  තාත්ති මං ආදරෙයි,  පොඩි විජේ,  මංගල තෑග්ග,  කිවුලෙගෙදර මොහොට්ටාල,  යුක්තියද ශක්තියද,  නොම්බර එකයි,  කවුළුව,  රජ වැඩකාරයෝ,  රන් දම්වැල්,  විරාගය,  ඔබටයි ප්‍රියේ ආදරේ,  අහිංසා,  රස රහසක්,  චණ්ඩින්ගෙත් චණ්ඩියා,  ගෙදර බුදුන් අම්මා,  සඳකඩ පහන,  අම්මෙ ඔබ නිසා,  අංගුලිමාල,  නැව ගිලුණත් බෑන් චූන්,  දුර්ගා,  සටන,  නැවත අපි එක්වෙමු,  කෝ හතුරෝ,  සාදා...ම්ම් මේ මොකක්ද අනේ මේ සාදා? 

ඇය පච්චය තිබූ අවයවය එහෙට මෙහෙට පෙරළමින් හොඳින් බැලුවේ මේ චිත්‍රපටය කුමක්ද කියාය.   එහෙත් සාදා කියා චිත්‍රපටයක් ගැන ඇයට සිතාගන්නට නොහැකි විය.   තරමක් විනෝදකාමී යුවතියක් වූ ඇය රෝගියාගෙන් කෙළින්ම ඒ පිළිබඳව විමසා සිටියාය.

"මේ මොකක්ද සාදා කියන්නෙ අපි නං එහෙම චිත්‍රපටයක් අහලවත් නෑ!"

" හරි හරි මිසී ඔහොමම තව ටිකක් ඉන්නකෝ, වෙලාවට නම ඒවි!" රෝගියා කීවේය. 

රෝගියා කී කතාව සහතික ඇත්තය.  මොහොතකින් චිත්‍රපටයේ නම ඇගේ දෑස් ඉදිරියේ දිගහැරෙන්නට විය.

" සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා"෴

84 comments:

  1. ජෙයරාජ් කිව්වම මතක් උනේ. අපේ බ්ලොග් ලියන මයුර රාජ් අප්පුහාමි මහත්තයා පේන්න නැත්තේ මොකද මේ ටිකේ.

    ReplyDelete
    Replies
    1. මයුර රාජ් මේ දවස්වල පූර්ණකාලීන බුකිවාසී වෙලා කියල ආරංචියි.

      Delete
  2. ඔය පච්චය තව එකෙක්ගෙ තිබුණේ "මසින්" (මල්දෙනියේ සිමියොන්) කියලලු.
    ඉතින් හැලපේ ඉන්ද්‍රාලගේ ගෙදර නැවතුනැයි එදා ?

    ReplyDelete
    Replies
    1. මසින් කියල කතාවකුත් තියෙනව තමයි. ඊළඟ කොටසෙන් ඒ හරිය බලමු.

      Delete
  3. හලෝ හැලපෙ. ඉතිං කොහොමද. කාලෙකින් කොමෙන්ට් එකක් දාන්නේ. පහුගිය දවස් වල මාත් කියෙව්වා අපේ මාතලන්ගේ, හැලපගේ බ්ලොග්. අපේ රාජ් නං වැඩිය මොකුත් ලියලා තිබුනේ නෑ.

    ඉතිං හලපෙ අපේ ලොක්කා ඊයේ රට ගියානේ. එන්නේ සතියකින් ආයේ. මං ඉතිං ලොක්කා වගේ ගොලිප් එකකුත් ගගහා හිටියා.

    ආ අපේ ජයේ අයියගේ පොට් එක බදු දිලානේ වෙන කෙනෙක්ට. එතනත් හොදයි. ඒත් මං දැන් එච්චර ආසා නෑ එතෙන්ට.

    ඒ හින්ද දවල් කෑමට කලින් අද මං මේ ගල් භාගයක් අරං ගෙනත් බොනවා. ඔපිස්‌ එකේ වත්තේ පෙර ගහෙන් පෙර ගෙඩියක් කඩලා අරං කැන්ටිමට ගිහිං ලුණු කුඩු ටිකක්, ගම්මිරිස් කුඩු ටිකක් ඉහං ආවා හිමිං සැරේ. ඒක තම බයිට් එක.

    ඔන්න මං හිමිං සැරේ පොටෝ එකකුත් ගත්තා මගේ කැබරාවෙන් අපේ හැලපට, මාතලන්ට, රාජ්ට එහෙම බලාගන්න.
    මේ තියෙන්නේ පොටෝ එක


    ReplyDelete
    Replies
    1. යකෝ මෙන්න ගොලිප් ඇනෝ ඇවිල්ල. මෙච්චර කල් කොහෙද අන්තරස්ධාන වෙලා හිටියෙ.

      Delete
    2. ගස්ලබ්බා බ්ලොග පටංගන්නත් කලියෙන් අතුරුදහන් වෙලා උන්නෙ..
      පෝස්ට් එකක ආතල් එක කොමෙන්ට් එකෙන් දෙනවා මෙයා නම්.
      ජයවේවා..!!

      Delete
    3. හප්පේ දෙමව්පියො දැක්කා වගේ බං... උඹව මේ ළඟදිත් අපි මතක් කලා... ගෝලිප් බොන එක නැවැත්තුවයි...? මම නම් ගහන්නේ ඩන්හිල් සුවිච් එක...

      Delete
    4. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    5. ඇනෝ බොහොම කාලෙකිං.කොහෙද ගිහිං හිටියෙ.පොටෝ එකකුත් දුන්නට බොහොම ස්තුතියි.

      Delete
  4. කොස් ඉවර උනේ කොස් කැරිල්ලකින් නේ! :D

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද බං කොස් කැරිල්ල?

      Delete
  5. හැලපෙ ඉන්ද්‍රගෙ ගෙදර නැවතුන දවස කවර් කරන්නද මේ පෝස්ට් එක දැම්මෙ. හැක්..

    ඔය බෝම්බ කේස් එකට අහුඋනේ කරුණාරත්න ද කොහෙද කියල පොරක් නේද?

    ReplyDelete
    Replies
    1. මැරතන් කරූ බං...

      Delete
    2. නෑ නෑ මේ මගේ කොස් මතක මේක ඉවර උනාම ඒ කතාව දානව.

      Delete
  6. පොළොස් ඇඹුලේ බොරය තියෙන ඇතිළියට බත් දංකුඩ සුරා දමා කළවම් කරගෙන එතැනම ඉඳගෙන වළඳන විට තියෙන රස දන්නේ එහෙම කාපු උන් පමණය///
    අයෙත් අහල හැක් හැක්...
    මිසිත් බලල තියෙන තැං... අර ලෙඩාට මාර ෆන් එකක් තියෙන්න ඇති නේ...හික්ස්

    ReplyDelete
    Replies
    1. ලෙඩාට ඔක්කොම ලෙඩ සුවයිලු මිසීගේ හෙදකමට.

      Delete
  7. මෙන්න ඊයේ ලැබුනු කොස් පුවතක්.
    ඉස්පිරිතාලෙන් තුවාලෙකට බෙහෙත් දාගන්න එන ගෑණු කෙනෙකුගෙ තුවාලෙ කොච්චර බෙහෙත් දැම්මත් සුව නොවෙන නිසා එයාගේ ජීවන තොරතුරු විමසලා තියනවා.එතකොට කියල තියෙන්නෙ ඒ ගෑණු කෙනා කරන්නෙ පොලේ කොස් විකුණන එකයි.කලින් දවසෙ මදුළු වෙන් කරගන්න කොස් වලට කුරේටර් ටිකක් අතගාල තියන්න පුරුදුවෙලා ඉන්නවයි කියන එකයි.එතකොට කොස් ඉදෙන එකත් පමා වෙනවලු හොඳ අළුත් පෙනුමකුත් ලැබෙනවාලු. ඔන්න තත්තෙ මහත්තයෝ..
    ඒකෙන් මේකෙන් ගස්ලබ්බගෙ කොස් පෙරේතකමට වැට කඩුළු බැඳුනු එකයි උනේ.
    (කිරි කොසුයි,කරවල කෑල්ලක් පුච්චලායි උණු බතුයි කන්න ඕනෙ ඇලක නාල ආවට පස්සෙ.කොහොමෙයි රහ..?)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. කුරේටර් දැන් බෙහෙතකටවත් හොයාග්න්න නැතේ පුතේ.තියෙනවාන්ම තැනක් කියපන්?

      Delete
    2. කුරේටර් යනු උග්‍ර විශ සහිත වල් නාශකයකි. මෙම වල් නාශකයේ ආසනික් අඩංගු බවට තහවුරු වීම නිසා ශ්‍රිලංකාවට ගෙන්වීම තහනම් කර ඇත.

      Delete
    3. ඕනෑම වර්ගයක කකුලට දාන රබර් සෙරෙප්පු = බාටා
      වගේ හැම වල්නාශකයකටම කුරේටර් කිව්වද නම් දන්නෙ නෑ.ඒ ගෑණු කෙනා කියල තියෙන්නෙ නම් කුරේටර් කියල තමයි.ඔය රසායනද්‍රව‍යම නම් වෙනස් කරලා තාමත් ලංකාවට එනව කියලා ජනාධිපතිතුමා ම ඔය කිව්වෙ හිටං

      Delete
    4. අපි නං ගෙදර කොස් නැතත් අහළ පහළ ගහකින් හරි ගෙඩියක් කඩාගෙන කන නිසා ඒක හිත හොඳින් කනවා.කෘමි නාසක යොදපු කොස් ගැන ඔය ඇහුවමයි.

      Delete
  8. කිරි කොස්,මුරුංගා හොද්දක්,බැදපු වැව් කරවල,පපඩම් එක්ක ගොටුකොළ සම්බෝලෙක රස හදුනන මා ඇතුළු මැදපෙරදිග වෙසෙන්නන් වෙනුවෙන් විනාඩි දෙකක නිහැඩියාවක් පලකර සිටිමි :D
    ඉඳෙන/ඉදෙන දෙකේ තේරුම් දෙකක් ද?

    ReplyDelete
    Replies
    1. ඒ නිහැඬියාවට මමත් එකතු වෙමි. ඉඳෙනව කියන්නෙ පලගන්නවා.

      Delete
  9. කොස් කිව්වම මාත් ආස කෑමක් තමයි පොලොස් උයලා හා කොස් මැල්ලුම. තව කොස් උයලාත් කන්න කැමතියි රසට පොල් කිරි හෙම දාලා තෙල් දාලා ද කොහෙද කහපාටට තියෙන එකක්.
    කොස් මැල්ලුමට අමතරව පොලොස් මැල්ලුම කියලා එකකුත් හදනවා අපි පොඩි කාලේ අපේ ගෙදර. තෙල් දාලා වේළුන මිරිස් හෙම දාලා. මම හිතන්නේ දැන් නම් කාපු කාලයක් මතක නෑ ඒක. දැණ් වෙනකොට හදන්නෙ නැතිව ඇති.
    පොලොස් සම්බෝලත් කාලා තියේ. දැණ් නම් පොලොස් කට්ලට්ස් කියලාත් තියෙනවා දැක්කා පේරාදෙණියේ ගමේ කඩේක.
    අපේ වත්තේ කොස් ගස් ඔක්කොම වඳුරො අයිති කරන් කියලා අක්ක මේ ළඟදි කතා කරද්දිත් කීවා.

    ReplyDelete
    Replies
    1. දැන් රංගි කොස් ඉදි ඉදි ගස් යට වැටිල යනවා.කන්නෙ වවුලො විතරයි. අටුකොස් වැලි කොස්ඇට මොකුත් හැදෙන්නෙ නෑ.

      Delete
  10. මේ දැනුත් පොලොස් ඇඹුලක් කරෝල කෑල්ලක් එක්ක බත් කන ගමන්, ගමේ ගිහින් පොලොස් වලට නම් දරාපු ගහකින් පොලොස් කඩන් ඇවිත් මේ කන හතරවෙනි වේල, කියන්ඩ දුකයි හැලපෙ අයියෙ අපේ තියන කොස් වැටියම මධ්‍යම අධිවේගී මාර්ගයට යනව .
    අපේ ගෙදර වෙනම කොස් කපන මන්නයක් තිබ්බ තලේ කොලපතක් වගේ ඒකෙන් "දේයි" ගාල ඕනෙම ලොකු කොසයක් පළු කරන්න පුළුවන්.
    අටු කොස් හදන හැටි දක්වා කොස් කතාව ලියන්ඩ.

    ReplyDelete
    Replies
    1. අපේ ගෙදරත් මට මතකයි කොස් පලු ගහන්නම පත මන්නයක් තිබ්බා. අටුකොස් හදන හැටි වැලි කොස්ඇට හදන හැටි එහෙම ලියල තියන්න ඕනෑ.

      Delete
  11. කොහොමද කොළ පාගන දවසට රෑට කුරුණි පෙට්ටියේ කමතට එන එන ඇඹුලේ තියන, පොලොස් ඇඹුල, කරවල බැදුම, පරිප්පු, එක්ක දෙසාබාන හැටි.

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තමයි ගොයම් කපල අවුවෙ කරවෙලා ඇල අයිනෙ කෙටල ගාලෙ සීතලට ඉන්න කොට ගෙනත් දෙන රා කලේ , අම්මෙ මතක් වෙද්දිත් සනීපයි.

      Delete
    2. තණකොල පාගන කොට් වෙන්නැති

      Delete
    3. විචා,
      හප්පා ඒ ඇඹුලෙ රැස තාම මතකයි. දවල්ට පොළොස් ඇඹුල වෙනුවට කොස් තැම්බුම හරි මැල්ලුම හරි.

      Delete
    4. කම්මල,
      ඇළ අයිනේ කෙටල ගාල මතක් උනා බං.

      Delete
  12. මු මෙහෙ කොස් කපනවා අරෙහෙ ඉන්ද්‍රා ටනිකරල දාල

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ඒ කතාව ඊළඟට ලියනවා.

      Delete
  13. කොස් කනවා වගේම අපූරූ දෙයක් තමයි කොස් කිරන එක.. මාතලන් හිතන්නේ හැලපෙත් ගම පුරාම යන්න ඇති කොස් කිරන්න..

    මාතලන් නම් පොඩි කාළේ ඉඳන් ගැට පොලොස් සිට වැල දක්වා සියල්ලටම අදත් මනාපයි...

    ReplyDelete
    Replies
    1. අපිටත් ඉතිං ඒ කාලෙ කිරන මනින වැඩ ලැබුණා. වැල පොඩි කාලෙ ආසාවෙන් කෑවා. පස්සෙ පස්සෙ වඩාත්ම මනාප උනේ ගැට පොළොස් වලට.

      Delete
  14. මේක කියවලා කටට කෙල ඉනුවා.... කොස්, පොලොස් මතක් වෙලා......

    ඉන්ද්‍රෙග කතාවේ ඉතුරු ටික කියවන්න බලන් හිටියේ... මේකත් රසවත්...

    ReplyDelete
    Replies
    1. එහෙමද? අපි වගේ ඔයත් ඉන්නෙ කොස් පොළොස් නැති පලාතකද? ඉන්ද්‍රගේ කතාවෙ ඉතුරු හරිය ඊළඟට ලියනවා.

      Delete
  15. මමත් හරි ආසයි බත් වලඳෙ පිහලා කන්න. පොලොස් විතරක් නෙමෙයි අඹ, හුරැල්ලො, ගෝවා තෙල්දාපු වලඳ මේ කෝකත් හොඳයි පිහලා කන්න. මේවා දැම්මට කමක් නෑ ඉක්මනට ඉන්ද්‍රෙග් කථාව ලියන්න. ෆිල්ම් වල නම් ටික දකිද්දි මතක් උනේ මම පෝස්ටුවක් ලියනවා ෆිල්ම් දේශපාලනේට සම්බන්ධ කරලාා. දැනට ටිකක් ලියලා තියෙන්නේ. ඉක්මනට දාන්නම්.

    ReplyDelete
    Replies
    1. බත් වළඳ පිහගෙන කාපු කාලයක් මතක නෑ බං. ඉන්ද්‍රා ගැන ඊළඟට ලියන්නං.

      Delete
  16. අබ දාලා හදපු කිරිකොස් මාලුවට දෙහි රතුලූනු දාපු අගුණකොල සම්බෝලෙයි, බැදපු බල කරවලයි, ලුනුවතුරේ පොගවා බැදපු වියළි මිරිස් කරලුයි ගැලපෙනවා. හැබැයි සුදු කැකුළු හාලේ බත් තියෙන්නත් ඕනේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙනු එක සුපිරියටම මැච් වෙනවා.

      Delete
  17. පොලොස් හැලියට බත් දාගෙන කනකොට අලුත ගෑ පොල් ටිකකුත් දාගන්න.

    ReplyDelete
    Replies
    1. ඊළඟට කනකොට ට්‍රයි කරල බලමු.

      Delete
  18. කාටහරි බැරි ද දන්නේ නැ හදන්න, කෑම හිතපු ගමන් අන්තර්ජාලය හරහා හුවමාරු කරගන්න විදිහක්.. මේ වගේ පෝස්ට් කියවන අපි වගේ රටකින් එහා ඉන්න අයට... හරිම රසවත්...:)

    උයන ඇතිළියට දාගෙනම කැවම දුප්පත් වෙනවා කියලා අපිට අත්ත්ම්මා කන්න දුන්නේ නැ, ඒත් අම්මා මුකුත් කියන්නේ කියන්නේ නැති නිසා අපිත් කැවා..

    ReplyDelete
    Replies
    1. හිතපු ගමන් කෑම හුවමාරු කරගන්න ඇහැකි නං මට ගෙන්නගන්න කෑම ලිස්ට් එකක්ම තියෙනවා.

      Delete
  19. මැරතන් කරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරයාගේ ඝාතනයට සම්බන්දයිද , පරික්ශන වලින් එහෙම එකක් එලිඋනාද , එහෙම නැත්නම් ඇමතිවරයා වාගේම නොදැන ඝාතනයට ලක් උනාද

    ඔය කරු ඉස්සර එනවා ( ඒ කාලෙ දැං අපේ වයසේ විතර ඇති මයේ හිතේ ) හිරගෙදර පිට්ටනියට , එන ගමන් වැස්සියෝ දෙන්නෙක් දක්කාගන එන්නේ , දුහල එක්සයිස් කරල එහෙම කරුවල වැටෙනකොට සතුතු දෙන්නව ලෙහාගන යනවා සරල අහිංසක මනුස්සයෙක්

    ReplyDelete
    Replies
    1. ඕයි මොකද කුරුදු පෝස්ට් එක ගැලෙවුවෙ

      Delete
    2. අම්මප තමයි. ඇයි උඹ ඒක අයින් කළේ.

      Delete
    3. මැරතන් කරු නොදැන කොටි ඔහුව ජෙයරාජ් මරන්න ආයුධයක් කර ගත්තා.කරු පිපිරීමට අහු වුණේ කිසිම දෙයක් නොදැන.

      Delete
  20. කොස් පොලොස් සෑහෙන කාලයකින් කාලා නෑ කියවන කොටත් ආසයි

    ReplyDelete
  21. //හරි හරි මිසී ඔහොමම තව ටිකක් ඉන්නකෝ, වෙලාවට නම ඒවි!"//
    නම ආපු විදිය ......එක්කෝ ඕන්නෑ .....

    ReplyDelete
    Replies
    1. නම එක දිගට ලියවීගෙන ගියාලු.

      Delete
  22. හම්මෝ ඉතිං පොලොස් ගැනනම් කියල වැඩක් නෑ තමා.... මගෙත් කැමතිම කෑමක්.... ඉතිං ඊට පස්සෙ මිසී චිත්‍රපටිය සම්පූර්ණෙන් ම බලලා රසවින්දා එහෙමලුද? එතකොට එදා අරහෙ නැවතුනාද? නැද්ද?

    ReplyDelete
    Replies
    1. මිසී චිත්‍රපටවල නම් කියවල රසවින්දලු. ඒ කෑල්ල ඊළඟට.

      Delete
  23. අපේ ගෙදරත් තියනවා ඔය වගේ රසම රස පොළොස් කන්න පුළුවන් කොස් ගහක්...ඉස්සර අපේ ආච්චි සියලුම කොස් ගස් පහු කරගෙන එතැනට තමයි යන්නේ...මේක කියෙව්වම ඒ කාලෙට ආයෙමත් යන්න හිතුනා...මෙහෙ ගන්න තියනවා ෆ්‍රීස් කරපු පොළොස්...ඒක ඔය වගේ පැය හතරක් පහක් ගෑස් එකේ ගින්දර අඩු කරලා ඉව්වම රහට උයා ගන්න පුළුවන්...

    ReplyDelete
    Replies
    1. පොළොස් රස ගහක් අපේ ගෙදරත් තිබ්බ මට මතකයි.

      Delete
  24. කරු අයිය හරිම අහිංසක දුප්පත් දුකසේ ජීවත් වෙච්ච පොරක් .... කරුමෙට අපේ රටේ ඉපදුන..
    පොර මේ අහක යන කරුමෙකට කර ගැහුවා ...
    අපේ මලයත් ඔය සුද්ද වගේම බේරිච්ච එකෙක් ...
    ඔය මැරතන් එක දුවන්න හිටියෙ .. විභාගෙ හිංද තාත්තා යන්න දුන්නෙ නෑ ...
    බුවා තාම තියාගෙන ඉන්නවද කොහෙද ඒ තරඟෙට පුරවපු ඇප්ලිකේශන් එක...

    ReplyDelete
    Replies
    1. අහක යන කරුමෙකට කියන්නෙ බං ඌව සල්ලිවලට ගත්ත. නැත්නං කිසිම හේතුවක් නැතිව මැරතන් එකක් ඒ කාලෙ තියන්නෙ මොකටද.

      Delete
  25. අම්ම හදන පොලොස් මාළුව තරම් රහට මට වෙන කොහෙදිවත් පොළොස් කන්න හම්බ වෙලා නැහැ...

    ReplyDelete
    Replies
    1. අත්ගුණේ එහෙම තමයි.

      Delete
  26. හොඳට පැහිච්ච කොස් ටිකක් තම්බලා, කිරි හොදියි, පොල් සම්බොලයි එක්ක බැදපු කරෝලයි මිරිසුයි එක්ක තමයි කන්ඩ ඕනේ..... අම්මෝ රහ.....

    කම්මලාගෙන් අහල බලපං අපේ අම්මා උයන පොලොස් එක ගැන.....

    ReplyDelete
    Replies
    1. උඹලගෙ අම්ම හදපු පොලොස් ඇඹුල තමයි මම කාපු රසම එක, හැමදාම පොලොස් ඉවුවොත් අපි ඒක මතක් කරනව. ආයෙ පාරක් හදන් වරෙන්කො

      Delete
    2. උඹලගෙ අම්ම හදපු පොලොස් ඇඹුල තමයි මම කාපු රසම එක, හැමදාම පොලොස් ඉවුවොත් අපි ඒක මතක් කරනව. ආයෙ පාරක් හදන් වරෙන්කො

      Delete
    3. මොකෝ ආපහු ඩබොල් වෙලා ?

      Delete
    4. ඔය කියන්නෙ දෙපාරක් හදං වරෙන් කියල. හැක්..

      Delete
    5. ආපු දවසක මටත් හදල දීපං.

      Delete
    6. කම්මලේ,
      දෙවෙනි සැරේට හදන ඒක මට ඈ.

      Delete
  27. මේ ඊයේ පෙරෙයිදා දොහක අපේ තාත්තා හදලා තිබ්බා හැලපයියේ පොළොස් මාලුවක් හම්මේ එකේ රස.
    ඔය විදියට මැටි ඇතිළියේ බත් දාගෙන කාපු කාලයක් දැන් නම් මතක නැතත් ඒ රස නම් කටට,දිවට දැනුත් දැනෙනවා වගේයි.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ අපි හැම තිස්සෙම මැටි ඇතිළියේ බත් පිහගෙන කෑවා.

      Delete
    2. Adatath mati athiliye pihagena kana eke aathal eka mona hotel eke kemakin wath ganna baha...

      Delete
    3. Adatath mati athiliye pihagena kana eke aathal eka mona hotel eke kemakin wath ganna baha...

      Delete
    4. ලොකු පුතා,
      ඒක නම් ඇත්ත බං.

      Delete
  28. එච්චර දිගට පච්චේ ගහන්ඩ අහවල් එක කොච්චර දිගද බං අයියේ ?

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතල බලපන් එච්චර දිග නමක් ගහන්න අරක කොච්චර දිග වෙන්න ඕනද කියල.

      Delete
  29. කොස් විතරමක් නෙවෙයි, ගමේ කෑම මොනව ඉව්වත් රසයි, ගමේ ජීවිතයම රසවත්, අපේ පුංචි කාලේ මතක් වෙනකොට තවමත් ආසයි, ගමේ තරම් රසබර කුඩා අවදියක් ටවුමේ ළමයින්ට නෑ.... මැටි වලහේ කාල මැටි කලයෙන් වතුර බොන එක විතරක් නෙවෙයි, දර ලිපෙන් උයන කෑමවලත් ආවේනික රසයක් තියෙන්නේ....අපි විඳපු ඒ සතුට විඳින්න අපේ ළමයින්ට වාසනා නෑ

    ReplyDelete
    Replies
    1. අපේ නොස්ටැල්ජීය මතකයන් දැන් ඉන්න පොඩි අයට විහිළුවක් වෙයි.මොනා කරන්නද.

      Delete
  30. කොස් ගහක් තියෙනවා. ඒත් ගොඩක් ගෙඩි වැටෙන්නෙ එහා වත්තට!

    ReplyDelete
    Replies
    1. ගාණක් නෑ හවුලෙ කන්න බැරුවයැ.

      Delete
  31. මේ නිව්ස් එක හැලපයියාට අදාලද

    මර්වින් බෙන්ස් සමුගනී
    ප්‍රවීණ ශබ්ද පරිපාලකවරයකු වූ මර්වින් බෙන්ස් මහතා අද (2) ජීවිතක්ෂයට පත්විය.

    මිය යන විට 76 වැනි වියේ පසුවූ ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

    දියණියන් තිදෙනකුගේ පියකු වූ මර්වින් බෙන්ස් මහතා ටෙලි නාට්‍ය හා සිනමා පට රැසක ශබ්ද පටිගත කිරීම් සිදුකිරීමට මූලිකවී ඇත.

    ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව ඥාතීහු කියති.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි. මා ඔහුව දැන සිටියා. බොහොම නිහතමානී අහිංසක පුද්ගලයෙක්. තමන් දන සිටි දේ නොමසුරුව අනෙක් අයත් සමග බෙදාගත්තා.

      Delete
  32. පොළොස් ටිකක් කන්න හිතුන බන්. කොහෙද මුන් දැන් ගේන්න දෙන්නේ නැහැනේ. බෝතල් වල පිහිට තමයි.
    කතාවේ ආසම හරිය:
    රෝගියා කී කතාව සහතික ඇත්තය. මොහොතකින් චිත්‍රපටයේ නම ඇගේ දෑස් ඉදිරියේ දිගහැරෙන්නට විය.

    " සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා"෴

    ReplyDelete

ඔබේ අදහස්