Wednesday, June 29, 2016

මායාරංජන්ගේ වනගත කතා, දිගාමඩුල්ලේ ආශ්චර්යය, කුරුස යුද්ධ සහ මහෞෂධය.

අපි හතේ පංතියේ ඉන්න කාලයේ සිංහල පොතේ තිබු එක් පාඩමක් වුයේ අලංකාර වන විත්ති කතාවක පරිච්ඡේදයකි.   කතාව අවසානයේ දිගාමඩුල්ලේ ආශ්චර්යය යනුවෙන් එම කතාව උපුටාගත් පොතේ නම සඳහන් වී තිබුණත් කතුවරයා ගැන සඳහනක් නොවීය.   කතාව රසවැටී සිටි මට මුළු පොතම කියවන්නට ඇතිවූයේ ඉමහත් ආශාවකි.    අපේ පුස්තකාලයේ විපරම් කළවිට පොත සොයාගත හැකිවිය.   කුඩා පොතක්වූ දිගාමඩුල්ලේ ආශ්චර්යය ලියා තිබුණේ එකල මට ආගන්තුක නමක්වූ මායාරංජන් නැමැත්තෙකි.    ලංකාවේ වනගත ගම්වල විත්ති සරල බස් වහරකින් ලියූ මායාරංජන් කැලෑබද  පළාත්වල සේවය කල ගුරු මහතෙක්යැයි අපට සිංහල ඉගැන්වූ ගුණරත්න සර්ගෙන් දවසක් කියවුනද කර්තෘ ගැන ඊට වැඩියමක් සොයාගන්නට නොවීය.
                                                                 මායාරංජන්
හියු නෙවිල්,හෙන්රි පාකර්,සෙලිග්මාන් සහ ආර් එල් ස්පිටල් යන ලේඛකයන්ද මෙවැනි වනගත කතා ලියා ඇතත් ඔවුන්ගේ මුලික අරමුණ වූයේ වැද්දන් ගැන ලිවීමය.   වනාන්තර බද ගම්වල කැලෑ සතුන් සමග ඔට්ටු වෙමින් හේන් කොටා ජීවත්වූ ගැමියන්ගේ ජීවන විත්ති,කෑම බීම,බස්වහර හා දරිද්‍රතාව ගැන පණ පිහිටුවා ලියු මායාරංජන් වනවිත්ති සාහිත්‍යය අපේ රටට හඳුන්වා දුන් පුරෝගාමියෙක් වූයේය.   මායාරංජන් යනු කවුදැයි මා දැනගත්තේ   ඊටත් බොහෝ කලකට පසු අපි රස්සාවල් කරන කාලයේය.    මගේ මතකය නිවැරදි නම් මුලින්ම මායාරංජන්ගේ වගතුග සොයා දිවයින පත්තරයට ලීවේ කිත්සිරි නිමල්ශාන්ත නවසිය අසූ ගණන්වලය.    මායාරංජන්ගේ නම මහානාම රාජපක්‍ෂය.    ඔහු අපේ පළාතේ හෙවත් සියනෑ කෝරළේ මගලෙගොඩ පදිංචිකරුවෙකි.    මගලෙගොඩ රාජපක්ෂලා කට්ටියක් සිටි බවට මගේද මතකයක් තිබුණේ අපේ පන්තියේත් මගලෙගොඩින් ආ රාජපක්‍ෂ කෙනෙක් හිටපු නිසාය.   ඌ මට හොඳින්ම මතක හිටියේ පුට්බෝල් ක්‍රීඩාව නිසාය පුට්බෝල් ගහද්දි අපි බෝලෙට පයින් පහරදෙනවිට ඌ ක්‍රීඩකයන්ගේ කකුල්වලට පා පහර දුන්නේය.   දෙතුන් දෙනෙක් එකළඟ බෝලෙට පොරකන විට ගැහුවේ කවුදැයි හරියටම සොයාගන්නට බැරිවූ නිසා උගේ උපක්‍රමය නිතරම වගේ සාර්ථකවී පහර කෑ එකාට කොර ගසමින් පිටියෙන් එළියට යන්නට සිදුවිය.   නමුත් අන්තිමේදී කට්ටිය කතාවී මුව අල්ලාගෙන ගුටිදී ක්‍රීඩාවෙන්ද ඉවත්කර දැම්මෝය.    මගේ කකුලට වැදුණු පහරක් හේතුවෙන් වලලුකරේ ගෙඩියක් හැදී සතිගාණක් එක්තැන් වී ඉඳින්නට සිදුවීම ඒ පුට්බෝල් වලින් මා ලද තෑග්ගක් විය.

මායාරංජන් දිගාමඩුල්ලේ ආශ්චර්යය පමණක් නොව තවත් පොත් ගණනාවක් ලියු අතර විශ්ව සාහිත්‍යයේ කෘති කීපයක් සිංහලට පරිවර්තනය කළේය.    හෝමර්ගේ ඉලියඩ් කාව්‍යය ඔහු විසින් තෝජපුර සංග්‍රාමය නමින් සිංහලට පරිවර්තනය කරන ලදී.    ඇලෙක්සැන්ඩර් සහ මහෞෂධය මායාරංජන් විසින් පරිවර්තනය කරන ලද තවත් කෘති දෙකකි.    ඔහු විසින් පරිවර්තනය කරන ලදුව 1952 දී ගුණසේන ප්‍රකාශනයක් ලෙස එළිදුටු මහෞෂධය සර් වෝල්ටර් ස්කොට්ගේ ටැලිස්මන් නම් කෘතියේ අනුවාදයකි.   වෙනුජලගේ පොත් රාක්කයේ තිබී මට කියවන්නට ලැබෙන විටත් වැරහැලි වන්නට පටන්ගෙන තිබු මහෞෂධය පොත පරිවර්තනය කර තිබු භාෂා ශෛලිය ද අභිබවා මගේ සිත බෙහෙවින් ඇද බැඳ ගන්නට සමත්වූ කෘතියක් ලෙස මගේ මතකයේ රැඳී තිබුණු බව මතකය .   එසේ වන්නට හේතුව එම කතාව බොහෝවිට මා එතෙක් කියවා නොතිබූ මානයක කතාවක් වීමත් කතාව ගලා යන පරිසරය එතෙක් මට කියවන්නට නොලැබුණු  අලුත් එකක් වීමත් විය හැකි බව මට සිතේ.    ටැලිස්මන් සර් වෝල්ටර් ස්කොට්ගේ ප්‍රබන්ධයකැයි  මා මුලින් සිතා සිටියද එය සත්‍ය සිද්ධීන් හා චරිත ඇසුරෙන් කරන ලද නිර්මාණයක් බව මා දැනගත්තේ බොහෝ පසු කාලයකදී අන්තර්ජාලය උපයෝගී කරගෙන කරන ලද සොයාබැලීම් නිසාය.   කතාවට පසුබිම් වන කාලය කුරුස යුද්ධ කෙරෙමින් පැවතුනු කාලයයි.   මෙහිදී කුරුස යුද්ධ යනු කුමක්දැයි අපේ හිතවතුන්ට ප්‍රශ්නයක් මතුවීමට හැක.    කුරුස යුද්ධ යනු කුමක්දැයි මුලික වශයෙන් මෙසේ හැඳින්විය හැකිය.

''කුරුස යුද්ධ යනු ජෙරුසලම තුළ හා එය අවට ශුද්ධවූ ස්ථාන වෙත ක්‍රිස්තියානිවරුන්ට සම්ප්‍රවේශය ප්‍රතිෂ්ඨාපනය කෙරුමෙහි ප්‍රකාශිත අරමුණ සහිතව, දෙවන අර්බන් පාප් වහන්සේ සහ කතෝලික සභාව විසින් පිරිනැමුණු ආශිංසනය ලත්,ආගමික කාර්ය යුද්ධ මාලාවකි.  යුදෙව් ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන්නාවූ ආගමික ලබ්ධීන් තුනම සඳහා ජෙරුසලම ශුද්ධවූ නගරයක් වූ අතර දැනුදු එසේ වෙයි.''
 
ජෙරුසලම අද ඊශ්‍රායලයේ පිහිටියත් කුරුස යුද්ධ ආරම්භ වන විට ඊශ්‍රායලය නම් රටක් නොවූ අතර ජෙරුසලම ඊජිප්තුවට අයත් ප්‍රදේශයක් විය.

''කුරුස යුද්ධ මූලිකව ඇරඹියේ යෙරුසලම සහ ශුද්ධ වූ දේශය මුස්ලිම් පාලනයෙන් මුදාගැනීමට වන අතර මුලින්ම එය පෙරදිග ඕතඩොක්ස් බයිසැන්තින් අධිරාජ්‍යයේ ඉල්ලීමකට අනුව මුස්ලිම් සෙල්ජුක් තුර්කිවරු ඇනටෝලියාවට ගමන් කිරීම වැලැක්වීමට සිදුකරන ලදී. එසේම මෙය සමකාලීනව හා ඉන්පසු 16 වන සියවස දක්වා ලැවෙන්ට් ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවල සිදුකෙරුනු යුද ව්‍යාපාරය සඳහාද යෙදේ. එම යුද්ධ බොහෝ විට සිදුකරනු ලැබුයේ පැරණි ආගම් අදහන්නන්ට, මිත්‍යා දෘෂ්ටිකයනට සහ ආගමික ආර්ථික හා දේශපාලනික හේතූන් මිශ‍්‍රණයක් මත නෙරපාහරිනු ලැබූ මිනිසුන් ට එරෙහිවය. ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් බල කඳවුරු අතර තරගය ඇතැම් ආගමික කල්ලි වලට තම සතුරාට එරෙහි බල කඳවුරු හා එක්වීමට මග පෑදීය. පස්වන කුරුස යුද්ධයේ දී ක‍්‍රිස්තියානු බල කඳවුර රම් හි සුල්තාන්වරයා සමග එක්වීම එයට උදාහරණයකි.''

මුලික වශයෙන් කුරුස යුද්ධ නවයක් හටගත්  අතර ඊට අමතරව තවත් කුරුස යුද්ධ ගණනාවක් පහත සඳහන් පරිදි විවිධ නම් වලින් සිදුකෙරිණි.

 1.පළමුවන කුරුස යුද්ධය  1095-1099
 1101 දී වූ කුරුස යුද්ධය.
 නෝවීජියානු කුරුස යුද්ධය 1107-1110
2.දෙවන කුරුස යුද්ධය  1147-1149
3.තෙවන කුරුස යුද්ධය 1187-1192
4.සතරවන කුරුස යුද්ධය 1202-1204
අල්බින්ජියානු කුරුස යුද්ධය
දරුවන්ගේ කුරුස යුද්ධය
5.පස්වන කුරුස යුද්ධය 1217-1221
6.සයවන කුරුස යුද්ධය 1228-1229
7.සත්වන කුරුස යුද්ධය 1248-1254
8.අටවන කුරුස යුද්ධය  1270
9. නවවන කුරුස යුද්ධය 1271-1272

උතුරු කුරුස යුද්ධ
ටියුටොනික් සංවිධානයේ කුරුස යුද්ධ
ස්වීඩන කුරුස යුද්ධ
වෙන්ඩියානු කුරුස යුද්ධ
ස්ටෙඩින්ජර් කුරුස යුද්ධය
අරගොනීස් කුරුස යුද්ධය
ඇලෙක්සැන්ඩ්‍රියානු කුරුස යුද්ධය
නොර්විච් කුරුස යුද්ධය
මාහ්ඩියානු කුරුස යුද්ධය
බෝල්කන් ප්‍රදේශයන්හි කුරුස යුද්ධ
ටාටර්වරුන්ට එරෙහිව කුරුස යුද්ධය
හුසිට් කුරුස යුද්ධය

සර් වෝල්ටර් ස්කොට්ගේ ටැලිස්මන් හෙවත් මායාරංජන් ගේ මහෞෂධය කතාවට පසුබිම් වන්නේ මෙහි තුන්වන කුරුස යුද්ධය හටගත්තාවූ කාලසීමාව එනම් 1187 සිට 1192 දක්වාවූ සයවසරක කාලය තුල යම්කිසි වර්ෂයකි.  බොහෝවිට එම කාලය යුද්ධයේ අවසන් වසර දෙක තුන යැයි අනුමාන කල හැක.  පළමුව තුන්වන කුරුස යුද්ධයේ  ආරම්භය සහ අවසාන වූ ආකාරය මෙසේ විස්තරවේ.
''ක්‍රි.ව 1187 දී හැටින් වල පැවති යුද්ධයෙන් අනතුරුව ඊජිප්තු රජු සලාදින් ජෙරුසලම අත්පත් කරගන්නා ලදි. ජේරුසලම ක්‍රිස්තියානුවන්ගේන් අත්පත් කරගත් පසුව සාමාන්‍ය පුරවැසියන්ට හා පුරවැසියන්ට හානියක් නොවන අයුරින් ඉස්ලාම් ලබ්ධිකයන් කටයුතු කරන ලදි. සලාදින් තමන් විසින් දෙන ලද වචනයට අනුවම ක්‍රියා කරන පුද්ගලයෙකු ලෙස ප්‍රචලිතය. සලාදින්ගේ ජයග්‍රහණය පිළිබද යුරෝපය කැළඹිමට ලක්විය. එවකට සිටි ග්‍රෙගරි VIII විසින් කුරුස යුද්ධයක් කැදවන ලදි. ඒ අනුව යුරෝපයේ සිටි බලවත්ම නායකයන් තිදෙනෙකු වන ප්‍රංශයේ පිලිප් II රජු එංගලන්තයේ රිවඩ් I රජු සහ රෝමානු අධිරාජ්‍යයා ෆෙඩ්රික් I රජු කුරුස යුද්ධයේ සටන් වැදිමට තිරණය කරන ලදි. ප්‍රංශය සහ එංගලන්තය අතර අශ්ඨායී සබදතාවයක් ඉතිරි කරමින් ක්‍රි.ව 1190 දී ෆෙඩ්රික් රජු සිසිලියෙදි මියගියේය. ක්‍රි.ව 1191 දි රිචඩ් රජු සයිප්‍රසය යටත් කරගන්නා ලදි. ඉන්පසු කුරුස යුධ භටයන්  නගරය මුස්ලිම් ජාතින්ගෙන් මුදවා ගත්හ. පිලිප් II රජු කුරුස යුද්ධය අතහැර දමා නැවත ප්‍රංශයට ගියේය ප්‍රංශයේ සහයෝගය නොමැතිව කුරැස යුද්ධය ජයගත නොහැකි බව දුටු රිචඩ් රජු සලාදින් රජු සමග ගිවිසුමකට පැමිණියේය. ඒ අනුව නිරායුධ ක්‍රිස්තියානි වන්දනාකරුවන් හට හානියකින් තොරව ජේරුසලමයට යාමට ඉඩදිමට සලාදින් රජු එකග විය. රිචඩ් රජු නැවත එංගලන්තයට යාමේ දි ඔහුගේ නැව අනතුරට පත්ව ඔහු ඔස්ට්‍රේලියාවට ගෙනියන ලදි. එහිදි ඔහුගේ සතු‍රෙකු වු ලියෝ පෝල් ආදීපාද වරයා රිචඩ් රජතුමාව සිරභාරයට ගෙන ‍හෙන්රි VI අධිරාජයාට ඔහුව බාරදෙන ලදී. ක්‍රි.ව 1197 දි හෙන්රි රජු කුරුස යුද්ධයකට සුදානම් විය. නමුත් එම වසරේදිම මැලේරියාවෙන් ඔහු මරණයටපත් විය. යුරෝපයේදි පැවති සටන් වලින් රිචඩ් රජුද මරණයට පත්විය. එම නිසා 3 වන කුරුස යුද්ධය රජවරුන්ගේ කුරුස යුද්ධය ලෙසද හදුන්වනු ලබයි.''

                                      King Richard I and Queen Berengaria

මහෞෂධය කතාව ආරම්භ වන්නේ කතා නායකයා වන ශායන දීප ලාංඡන ධර කැනත් යෝධයා(Sir Kennath of the couchant leopard,Prince Royal of Scotland) දුත මෙහෙවරක් සඳහා එංගාදියේ තවුසා වෙත යන ගමනක විස්තරයකිනි.   එංගාදිය (Ein Gedi) වර්තමාන ඊශ්‍රායලයේ ඇති රමණීය භූමි භාගයකි.කැනත්ගේ ගමන පොතේ විස්තර කර ඇති ආකාරය මෙලෙසය.
                                                              Ein Gedi

''සිරියානු ආකාසයේ ජ්වලිත සුර්ය මණ්ඩලය නභෝ මධ්‍යයට ආසන්න වෙමින් තිබියදී ඈත උතුරු ප්‍රදේශයකින් ගොස් පලස්තීනයේ කුරුසි යුද්ධ සේවයට බැඳී සිටි රතු කුරුසි යෝධයෙක් මළ මුහුද අසල වාලුකා කාන්තාරයෙහි සෙමින් ගමනක යෙදෙනු දක්නා ලැබේ.
රණශූර ඒ මාර්ගිකයා උදයේ පුර්ව භාගයෙහි පර්වත කඳට සහ ප්‍රපාතයන් අතර වෙහෙස වින්දේය.  පසුව ඒ භයංකර ගිරි දුර්ගයන්ගෙන් මෑත්ව විශාල තැනිලාවකට පැමිණියේ,වර්ණයෙන්ද ප්‍රකෘතියෙන්ද අන්‍ය සමුදායනට විසදෘශ වූ මළ මුහුදෙහි පෙරැළෙන අන්ධකාර ජලස්කන්ධය දිටී.  ඇතුළත ජීවත්වන මසකු හෝ නැති එහි මතුපිට යන එන ඔරුවක් පවා නොවී,මුහුද පමණක් නොව අසල ගොඩබිමද මළ නියායෙන්,එහි වැඩෙන පැලෑටියෙකුදු නොපෙනිණ.   අධික සුර්ය තාපය විසින් මුහුදින් නගන ගන්ධක ගන්ධයෙන් නිෂ්ප්‍රයෝජන වූ හෙයින්දෝ ආකාශය පවා පියාසරයන්ගෙන් තොර විය.  
සුර්යයා මේ හුදෙකලා දර්ශනය මතුයෙහි නිර්දය ප්‍රතාපයෙන් බැබැළිණි.   සෙසු සියලු ප්‍රාණීන් ඒ රශ්මියෙන් සැඟැවී  ගියාක් මෙන් එහි පෙනුණේ යථෝක්ත අශ්වාරෝහක යෝධයාගේ රූපකාය පමණෙකි.''

                                                  Dead Sea
මේ ආකාරයට ආරම්භ වන මහෞෂධය කතාවේදී අපට හමුවන අය අතර එංගලන්තයේ සිංහවීර රිචඩ් රජු(King Richard the Lion heart) බිරැන්ජරී රැජිණ(Queen Berengeria)  ප්‍රංශයේ පිලිප් රජු(King Philip Augustus of France) ඔස්ට්‍රියාවේ පස්වන ලියෝපෝල්ඩ් ආදිපාදවරයා(Leopold V,Duke of Austria) ඊජිප්තු රජ සුල්තාන් සල්දීන් හෙවත් අදොන්බැක් එල් හකීම් (A Physician afterwards revealed to actually be Sultan Saldin) කැනත් ගේ සිත්ගත් එඩිත් කුමරිය(Lady Edith Plantagenet) ආදීහු වෙති.

කුරුස යුද කඳවුරේ සිටින එංගලන්තයේ  1 වන රිචඩ් රජු රෝගාතුරව අසාධ්‍ය තත්වයේ පසුවන බව දැනගත් සතුරු රජු සොල්දාන් රිචඩ් රජු සුවපත් කරන්නට අදොන්බැක් එල් හකීම් නම් වෙදැදුරෙක් ඉංග්‍රීසි කඳවුරට එවීම,   කඳවුරේ රටවල් අතර හටගත් අභ්‍යන්තර අරගලය සංසිඳුවීමට රිචඩ් රජු සොල්දාන්ගේ උපකාරය ඉල්ලා සිටීම.   යුද්ධය අතරතුර ගලායන කැනත් සහ එඩිත්ගේ ආදර කතාව ආදී විස්මයාකෘත හා රසවත් සිදුවීම් පෙළක් අන්තර්ගත මෙම අපූරු ග්‍රන්ථය කීපවතාවක්ම චිත්‍රපටයට නැගී ඇත.
 
The Lady Edith Plantegenet dropping the rosebud at the feet of the Knight of the Leopard

























   Kennath and Edith,  A Scene  from the film Richard the Lion Hearts (1923)
ප.ලි:    කුරුස යුද්ධ ගැනද රජවරුන් රැජිණියන් ගැනද කුමාරවරුන් සහ කුමාරියන් ගැනද  යුද්ධ පැවති ස්ථාන ගැනද දිගින් දිගටම සෙවීම සහ ලිවීම ආස්වාදජනක වුවත් ඒ හේතුවෙන් මායාරංජන් ගැන වැඩි විස්තර ලියන්නට නොහැකි විය.   ඉතිරි හරිය නැවත දිනෙක ලියන්නට අදහස් කරමි.  මායාරංජන් ගැන මගේ මතකය ඇවිස්සුනේ රවී ලියු මෙන්න මේ  පෝස්ටුව නිසාය.   එම පෝස්ටුවට කමෙන්ට් කළ ප්‍රාජේ, බුරා, අජිත්සහ රවී මායාරංජන් ගේ නිර්මාණ ගැන අදහස් පළකලත් ඒ මැදට පනින්නට නොසිතුනේ මායාරංජන් ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට සිතුන නිසාය.  ඔහු විසින් ලියු පොත් සියල්ලම මගේ ළඟ ඇතත් දිගාමඩුල්ලේ ආශ්චර්යය මට ගෙනෙන්නට නොහැකිවූ නිසා ඒ පොත ගැන විස්තර ලබාගත්තේ අන්තර්ජාලයෙනි.  මායාරංජන් පරිවර්තනය කළ තෝජපුර සංග්‍රාමය සහ ඇලෙක්සැන්ඩර් මා කියවා නැත.  එහෙත් මහෞෂධය මගේ ළඟ ඇත.   කුරුස යුද්ධ, ටැලිස්මන් පොත සහ චිත්‍රපට ගැන සියලු විස්තරද ලබාගත්තේ අන්තර්ජාලයෙනි෴

Sunday, June 19, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 11- බෙන් එකේ හතරවෙනි සාමාජිකයා, අපායට යන කලාකරුවෝ, දේශාගේ නත්තල් පාටිය සහ ප්‍රභාත්ගේ කතාව.

අපි බෙන් එකේ ඉන්න කාලයේම බෙන් එකට එකතුවූ හතරවෙනි සාමාජිකයා ගැන මට මෙතෙක් කියන්නට බැරිවිය.    ඔහුට අපි කුමාර කියමු කුමාර වයඹ පළාතේ තරමක් දුෂ්කර ගමකින් කොළඹ ආ තරුණයෙකි.   ඔහුත් කොළඹ ආවේ කලාව ගැන තිබුණු ඇම්මටය කොළඹ ආ කුමාර ජීවත් වෙන්නටත් යමක් හම්බ කරගන්නට උවමනා නිසා චිත්‍රපට වලට ටෙලි නාට්‍යවලට උපකරණ සහ කාර්මිකයන් කුලියට දෙන ආයතනයක සේවයට බැඳුනේය.   එවකට බෙන් ෆිල්ම්ස් ආරම්භ කර නොතිබුණි  අපට කුමාර මුණගැහුනේ බෙනට්ගේ ටෙලියකට කාර්මිකයෙක් හැටියට ඔහු සම්බන්ධ වූ විටය.   බෙන් ෆිල්ම්ස් ආරම්භ කර අවුරුද්දකට පමණ පසු කුමාර ඇවිත් බෙන් එකට සම්බන්ධ වුණේ  ඔහු වැඩකළ ආයතනයේ හිමිකරුවා හරියට පඩි නොගෙවා වංචා කරන නිසාය.    ඒ පුද්ගලයා ගැනද යමක් කිව්වොත් ඔහුත් ක්‍ෂේත්‍රයේ සිටින නොම්බර එකේ පොලුකාරයෙකි.   කෙනෙක්ගෙන් යමක් ගත්තොත් මිසක දීමක් නම් ඔහු අහලාවත් නැත.   දවසක් රුවන්ලා ඔහුගේ ආයතනයට ගියේ එම ආයතනයෙන් බෙන් එකට ලැබෙන්නට ඇති මුදලක් ලබාගන්නටය.    නමුත් ආයතනයේ පිළිගැනීමේ කවුන්ටරයේ සිටි මිනිහා කියා ඇත්තේ දැන් තම ආයතනය අලුත්ම කළමනාකාරිත්වයක් යටතේ පාලනය වන බැවින් කලින් තිබු ගණුදෙනු තමන්ට වලංගු නැති බවය.    මුගේ බ්‍රහ්ම ටෝක් එකෙන් කරකැවී ගිය රුවන්ලා ඇවිත් කතාව බෙනට්ට කියපු විට නප්පියටම තදවුනු බෙනට් අයිතිකාරයාට කතාකර බලු බැණුම් බැන්න විට බොහොම අමාරුවෙන් මුදල් ටික ගන්නට හැකිවිය.

ක්‍ෂේත්‍රයේ ඉන්නතාක් කල් අනුන්ට පොලු තියමින් සේවකයන්ගේ ශ්‍රමය සුරාකමින් සිටි මේ පුද්ගලයා පසුකාලීනව හිටපු ජනාධිපතිවරයා බලයේ සිටින කාලයේ ඔහුගේ මාධ්‍ය අංශයට සම්බන්ධ විය.    එක ජාතියේ කුරුල්ලන් එක අත්තේ වහන බව නැවතත් පෙන්වා දුන් මේ සිදුවීම හේතුවෙන් අසීමිත බලයක් ලද මේ පුද්ගලයා ලැබුණු අවස්ථාවේදී හොඳහැටි හතරවරං ගහමින්  හරිහම්බ කරගන්නට වූයේය.    කොටින්ම මේ දෙගොල්ලන්ගේ එකතුව කොහොඹ ගහට කරවිල වැල ගියාසේ මනාව ගැලපෙන සංසිද්ධියක් විය.   හිටපු ජනාධිපතිවරයා බලයෙන් පහවුණු පසු මේ පුද්ගලයා ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් කටයුතු කරයි.    පසුගිය කාලයේ ඔහුව දිගටම FCID යට කැඳවනු ලැබුවේ CSN නාලිකාව ගැන ප්‍රශ්න කරන්නටය.    මොහු සමග හිටපු ජනාධිපති වරයාගේ පුත්‍රයා සහ තව දෙතුන් දෙනෙක් FCID එකට යනහැටි දවසක් ටී වී එකේ ප්‍රවෘත්ති වලට පෙන්නද්දී මම හැලපිට කිව්වේ අනික් අය මොන ආකාරයේ පුද්ගලයින් දැයි කියන්නට  නොදනිතත් මේ පුද්ගලයා නම් නොම්බර එකේ හොරෙක් බව මම හොඳින්ම දන්නා බවය.   මෑතකදී මොහු සිංගප්පුරුවට ගිය වෙලේ රට ඇතුළට වත් වැද්ද නොගෙන ගුවන් තොටුපොලෙන්ම ආපසු හරවා එවන්නට යෙදුනු බව දුටුවෙමි.

ඔන්න ඔය විදියට කුමාරද බෙන් එකට එකතුවූ පසු බෙන් ෆිල්ම්ස් හි කණ්ඩායම හතර දෙනෙක් විය.   එනම් දේශා,රුවන්,ප්‍රභාත් සහ කුමාර යනුවෙනි.   දේශා බෙන් එකට ආවේ බත්තරමුල්ලේ වෙන්ඩ බිරිඳගේ නිවසේ සිට බැවින් ඔහු බෙන් එකේ නේවාසිකව නොසිටි අතර නිවාඩු ඇති වෙලාවට පමණක් ක්‍ෂේත්‍රයේ වැඩකළ මම බෙන් එකේ ස්ථිර සාමාජිකයෙක් නොවීමි.    නමුත් වැඩ තද වුන වෙලාවට රස්සාවෙන් නිවාඩු අරගෙන හෝ මම  උදව් කළෙමි.   ඒ අතරතුර බෙනට්ගේ ටෙළියේ රුපගත කිරීම් ද නොනවත්වා සිදුකරන්නට යෙදුණි.    අලුතෙන් කණ්ඩායමට එකතුවූ කුමාරද රූපගත කිරීම් වලට ඉතා උනන්දුවෙන් සහාය දුන්නේය රූගත කිරීම් වලදී අපි සතුටු සාමීචියෙන් ගතකරන මොහොතක කුමාර ඔහුගේ සිතේ තිබු සිහිනයක් ගැන මට හෙළිදරව් කළේය.   ඒනම් කවදා හෝ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමයි.   අදහස හොඳ උනත් ඊට පෙර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මනා අධ්‍යයනයක් කර වැඩිදුර අත්දැකීම් ලබා ගතහොත් හොඳයැයි මම ඔහුට පිළිතුරු වශයෙන් කීවෙමි.  අවවාද කෙසේ වුවත් කුමාරට සිය ඉලක්කය කරා අධිවේගයෙන් යන්නට අවශ්‍ය විය ඔහු නිතරම බැලුවේ කෙසේ හෝ නිෂ්පාදකයෙක් සොයාගෙන ටෙලියක් කරන්නටය.   මගේ පුද්ගලික මතය අනුව ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කිරීමට නිර්මාණ කුසලතාව මෙන්ම ඒ විෂයය පිලිබඳ හොඳ හැදෑරීමක්ද කාර්මික අංශය ගැන මනා දැනීමක් නැතහොත් සාමාන්‍ය දැනීමක් හෝ නොමැතිව  පිවිසුනහොත් අසාර්ථක වන්නට සිදුවීම වැළක්විය නොහැකිය.   අවාසනාවකට මෙන් කුමාරට ටෙලි නාට්‍ය රූපගත කිරීම ගැන ඇසින් දුටු අත්දැකීම් හැරෙන්නට වෙනත් කිසිම සුදුසුකමක් නොවීය.   පත්තර හෝ පොත් නොකියවූ කුමාර චිත්‍රකතා පත්තර මහත් අභිරුචියෙන් කියෙව්වේය.  

අධ්‍යක්ෂක වරයෙකු වීමේ සිහිනය ඔළුවට ගැසූ පසු තමන්ට අවශ්‍ය කතාවක් සොයා ගැනීම සඳහා අකමැත්තෙන් හෝ පොත් කියවන්නට ඔහුට සිදුවිය.   කුමාරට අවශ්‍ය කර තිබුණේ වලව් කතාවක් තේමා කරගත් ටෙලි නාට්‍යයක් තනන්නට වීම නිසා ඔහු නිතරම අරගෙන ආවේද එවැනි කතා ඇතුළත් පොත්ය.  කුමාර කෙසේ වෙතත් මම නම් ඌ ගෙනා  පොත් සියල්ලම කියවා දැම්මෙමි.     කුමාර මත්පැන් හෝ දුම් පානය නොකළ අතර කාන්තා ඇසුරටද ප්‍රියතාවක් නොදැක්වීය අපි ඌට විහිළු කලේ මේ ගුණ ධර්ම වගා කරගන්නා තුරු ඌට අධ්‍යක්ෂක වරයෙක් වන්නට නොහැකි වන බව කියමිනි.   මේ හා සමානම කතාවක් දවසක් අප සමග මීවිතකට එකතුවූ  ප්‍රසිද්ධ කලාකරුවෙක්  කීවේය කතාව මෙහෙමය. 

කෙනෙක්  මියගොස් අපායට ගිය විට යමරජු ඔහුව කැඳවා ප්‍රශ්න කරයි.   මුලින්ම අසන්නේ මනුලොවදී කරපු වෘත්තිය කුමක්ද කියාය.   මම කලාකරුවෙක්මි යි කීවිට යමරජු ඔහුගේ ඇඳුම ගලවා අංගජාතය පිරික්සන ලෙසට යමපල්ලෙකුට අණ කරයි අංගජාතය බොහෝසේ ගෙවීගොස් ළූණු සිවියක්සේ සැහැල්ලුවී වැනෙමින් ඇත්නම් ඔහු කලාකරුවෙකු ලෙස පිළිගන්නා අතර අංගජාතය සාමාන්‍ය පරිදි හොඳින් පුෂ්ටිමත්ව තිබේනම් බොරු කීම ගැන ඔහුට දැඩි දඬුවම් පමුණුවයි.

අපි කුමාරට විහිළු කරද්දී උදාහරණයක් ලෙස මේ කතාවද කියන්නට අමතක නොකළෙමු.   හැමදාම අපෙන් බයිට්වූ කුමාර දවසක්දා මාවද අමාරුවේ දැම්මේය ඒ එක අවුරුද්දක නත්තල් දවසකි නත්තලේ රෑ කෑමට ටෂ්ලාගේ ගෙදර එන්නට කියා බෙන් එකේ අපට ටෂ් කලින්ම ආරාධනා කර තිබුණාය.  ටෂ්ලා කතෝලික ආගමේ අය කියා කලින් කියන්නට මට අමතක විය.   එදා දවාලේද  නත්තල් කෑමක් හදිසියේ සංවිධානය කෙරුනේ අරංගල දේශලාගේ ගෙදරය දවල් කෑමට අපි තුන්දෙනා දේශලාගේ ගෙදර ගියෙමු.  අපි තුන් දෙනාත් දේශාත් බිරිඳත් හැරෙන්නට විනෝද් සහ බිරිඳ නත්තල් කන්නට ඇවිත් සිටියේ කුඩා දියණියද සමගය දේශලාට ඒ කාලයේ දරුවන් සිටියේ නැත.  අපි ගොස් ටිකවෙලාවකින් සාදය ආරම්භවිය බොන්නට හිටියේ දේශාත් විනෝද් සහ මාත් උනත් ඕල්ඩ් බෝතල් දෙකක්ම මේසය උඩ තබා තිබුණි.    බෝතල් කඩා අපි තුන්දෙනා සාදය පටන්ගත් අතර නොබොන්නන් වූ රුවන් ප්‍රභාත් සහ කුමාර බයිට් වලට වග කියමින් අපි බොන දිහා බලා හිඳින්නට වුහ.   දේශාගේ බිරිඳ විනෝද්ගේ බිරිඳ තිළිණි සමග කුස්සියට වැදී සුවඳ හමමින් නොයෙක් ජාතිවල රස කෑම සකස්කරන්නට වුණේ අපගේ දහවල් ආහාරය සඳහාය.

ආසාවට බිව්වට ඒ කාලයේ මම බීමට ආධුනිකයෙක් වීමි දෙකක් ගන්නකොට කණ පැලෙන්නට වැදුනේ ඒ නිසාය.   බොන අතර දුමක් අදින්නට එළියට යනවිට හෝ නාන කාමරයට යනවිට හිස්ව තිබු මගේ වීදුරුව ආපසු එනවිට බී ඉතිරිකර ගියාසේ පුරවා තැබීමට කුමාර කටයුතු කර තිබුණේ මා නොදනුවත්වය.   ආපසු එන මා ඒ වීදුරුද ගිල දැමීම නිසා ටික වේලාවකින්ම බඩු වැඩිවී මාව උස්සාගෙන ගොස් ඇඳට දැමීම හේතුවෙන් කාන්තාවන් අපට කන්නට සුදානම් කළ ප්‍රයිඩ් රයිස් කුකුල් මස් සහ කට්ලට්ද  සහිත රසවත් දිවා භෝජනය කාගන්නටද නොහැකිවිය.   එපමණක් නොව ආපහු එනවිට මාව වාහනයේ දාගෙන ඇවිත් බෙන් එක ඇතුළට අරගෙන තියෙන්නේ තුන් දෙනෙක් හරහට උස්සාගෙනය.   දවල්ට කෑම නැතිව සිටි මට එදා රෑටද කෑමක් නොමැතිව මුළු රෑම මළාක් සේ නිදාගෙන සිට ඇහැරුණේ පහුවදාය.   පහුවදා දවල්වී ඇහැරෙන විට සිද්දවෙන්නට තිබු සියල්ල සිදුවෙලාය.   අපි රෑට කෑමට ටෂ්ලාගේ ගෙදර ගියේ නැති එක ගැනත් මාව හරහට වඩාගෙන ගෙට ගෙනිච්ච එක ගැනත්  ගෙදර කෙල්ලන්ගේ උසුළු විසුළු විඳගන්නට බැරිවූ ටෂ් ගෙදර දහඅට පාලිය නටා පහුවදා උදෙන්ම වැඩ කරන තැනට ගොස් රස්සාවෙන් අස්වී ගෙදර ඇවිත් කාත් එක්කවත් කතා නොකර බුම්මාගෙන පැත්තකට වෙලා හිටපු බව දැනගන්නට ලැබුණේ පහුවෙලාය.    එම සිද්ධිය ටෂ්ගේත් මගේත් සුළුවෙන් හෝ තිබු ඇයි හොඳයිය බිඳෙන්නට තීරණාත්මක සාධකයක් විය.

මටත් අවශ්‍යව තිබුණේ හැකි ඉක්මනින් ටෂ්ගෙන් ඈත්වීමට නිසා මේ සිදුවුණු දේ මගේ හොඳට සිදුවූවක් සේ සලකා කටයුතු කළෙමි.    කෙසේ වුවද බෙන් එකේ තවදුරටත් ඉන්නට හැකියාවක් නොවීය ඒ නිසා කරන්නට තිබුණු නුවණැතිම කාර්යය වූයේ හැකි ඉක්මනින් බෙන් එකේ පදිංචියෙන් ඉවත්වීමයි.   එපමණක් නොව වැඩ කරන තැනින්ද ස්ථාන මාරුවක් ගැනීම අවශ්‍ය වුයේය.  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වැඩකරපු නිසා එය එතරම් අමාරු කාර්යයක් වන්නේ නැත.  රාජ්‍ය පරිපාලනේද  හිතවත් අක්කා කෙනෙක් හිටිය බව කලින් කියන්නට නොහැකි විය කෙසේ වුවත් ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ සිටි අඬාගත්ත ගමන් අක්කා කෙල්ල මෙන් ඇණයක් නොවූ ඇය සැහැල්ලු ගති පැවතුම් ඇති සිහින් සුන්දර යුවතියක් වුවාය.    ගාල්ලට කිට්ටුව  පදිංචිකාරියක් වූ ඇය කැලණියේ ගෙදරක නේවාසිකව සිට රැකියාවට පැමිණියාය.   කතාව කියන්නට ඇයට නමක් තිබිය යුතු නිසා ඇගේ නම නොවුණත් අපි ඇයට ඉන්ද්‍රා යැයි  කියමු .   පත්වීම ලදදා සිට ගාල්ල කච්චේරියේත් අධ්‍යාපන කාර්යාලයේත් ආදී වශයෙන් ගාල්ලේම වැඩ කරමින් සිටි ඇය වාර්ෂික ස්ථාන මාරු ලබා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැමිණියේ මා එහි වැඩට ගොස් දින කීපයකට පසුවය.   

මා මෙන්ම කියවීමේ රෝගය තදින් වැලඳි තිබු  ඉන්ද්‍රාත් දවල් කෑම වෙලාවට අමාත්‍යංශයේ පුස්තකාලයේ දකින්නට ලැබීම සුලභ දර්ශනයක් විය.    මාස කීපයක් ගතවන විට අප දෙදෙනා අමාත්‍යාංශ පුස්තකාලයේ තිබු නවකතා පොත් ටික සියල්ලම කියවා අහවර කළෙමු.    අප පොත් ගැන කතාකර ආරම්භවූ හිතවත්කම නිසා ඉන්ද්‍රා  ඇගේ ජීවිත කතාව කොටස් වශයෙන් මට විටින් විට කීවාය ජීවිතයේ ඇය මුහුණ දී තිබූ සමහර සිදුවීම් මගේ සිත තදින්ම සලිත කරන සුළු ඒවා විය.    ලාබාල වයසේදීම ජීවිතය ඇයට කෙතරම් අකාරුණික වී ඇත්දැයි සිතන විට ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් මසිත ඇතිවන්නට විය.   එසේ වුවද ජීවිතයට හෝ ඇයට මුහුණ පාන්නට සිදුවූ දේවලට මුල්වූ අයට වෛර නොකළ ඉන්ද්‍රා  ලද ජීවිතය සතුටින් ගත කරන ආකාරය මා සිත තුළ ඇතිකළේ විස්මයකි.   ඉන්ද්‍රාගේ කතාවත් මෙතැනම ලියා තබන්නට තිබුණානම් කියා හිතුණත් විශ්වාස කල නොහැකි අන්දමේ සිදුවීම් දාමයකින් ගහණ ඇගේ කතාව වෙනම කතාවක් ලෙස ලීවොත් වඩාත් හොඳයයි මට සිතේ෴

ප.ලි :  මා විසින් ලියන ලද ප්‍රභාත්ගේ කතාවේ ඉතිරි කොටස  ගැන බොහෝ දෙනා විමසන්නට  වුයේ ප්‍රභාත්ට සහ උගේ ගමේ කෙල්ලට අයත් වූ ඉරණම ගැන දැනගන්නට නොඉවසිලිමත් වූ නිසාය.   ප්‍රභාත්ව සම්බන්ධ කර ගැනීමට ක්‍රමයක් නොවීය එහෙත් රුවන් මුහුණු පොතේ ඉන්නා නිසා මා ඔහුට කතාකළෙමි.    රුවන් කීවේ ඒ දිනවල ඔහු විදේශගතව සිටින බවය ආපසු ආව දිනයේම රූපගත කිරීමක් සඳහා ඔහුට අනුරාධපුරයට යන්නට සිදුවී ඇති බැවින් කාර්ය බහුල නිසා කතා කරන්නට නොහැකි විය.   අපට කතා කරන්නට ලැබුණේ ඊටත් දින කීපයකට පසුවය.

ප්‍රභාත්ගේ ගමේ කෙල්ල ගැන රුවන් කිසි දෙයක් නොදන්නා බවත් ඇය දැන් විවාහ ජීවිතයක් ගෙනයමින් ඉන්නට හැකි බවත් රුවන් කියා සිටියේය.   ප්‍රභාත් විවාහයෙන් පසු ටික කලක් විදේශගතවී සිට ආපසු පැමිණ දැන් රටේ ප්‍රමුඛ රූපවාහිනී නාලිකාවක කැමරා ශිල්පියෙක් වශයෙන් සේවය කරන බවත් ඔහු තලවතුගොඩින් ගත් ඉඩමක නිවෙසක් හදාගෙන පදිංචිවී සිටින බවත් ඒ දෙන්නාගේ  දියණිය දැන් උසස් පෙළ ඉගෙනුම ලබන බවත් රුවන් වැඩිදුරටත්  මට කීවේය.    රුවන්ගෙන් අංකය ඉල්ලාගෙන ප්‍රභාත්ට කතාකර තවදුරටත් විස්තර අහගන්නට හැකියාව තිබුණත් එසේ කරන්නට මට නොසිතෙන්නේ දවසක් ඌ මට කරපු බොරුවක් නිසාය.   

ඒ මම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ හෙවත් ආර් ඇම් වී එකේ සේවය කල සමයයි.   දවසක් ප්‍රභාත් මාව හොයාගෙන කාර්යාලයට ආවේ උගේ ඩ්‍රයිවින් ලැයිසන් එක ගැන සොයා බලන්නටය.   කෙනෙක් ඇවිත් එක එක අංශවලට යමින් මා කොහේදැයි විපරම් කරන බව ප්‍රභාත්  මා හමුවට එන්නට කලින්ම මට ආරංචි වී තිබුණි.    ප්‍රභාත් මා සොයාගෙන ආවිට මා ඌව කැන්ටිමට රැගෙන ගොස් තේ එකක්ද බොන්නට අරගෙන දී විස්තර ඇසුවෙමි.     ලැයිසන් එක ගැන බලන්නට ආ බවත් අහම්බෙන් මා දුටු නිසා කතාකළ බවත් ප්‍රභාත් ගත්කටටම කීවිට ඔහු  කියන  බොරුව ගැන මට මහා අප්‍රියාවක් ඇතිවිය.   මූට වැඩේ මට කියා කරගන්නට අවශ්‍ය  වගේම මගෙන් ගන්නා වැඩේ හෑල්ලු කරන්නටත් අවශ්‍ය වී ඇති බව දැනගත් මම එහෙනම් අදාළ අංශයට ගොස් සොයා බලන්නට කියා කීවෙමි.    මාත් ඒ අංශයේම ඉන්න නිසා වැඩේ කරදෙන්නට බැරිද කියා ප්‍රභාත් ඊළඟ ප්‍රශ්නය ඇසුවේය.    එවිට මම උගෙන් ඇහුවේ අහම්බෙන් දැක්කා නම් මා ඉන්නා අංශය නිවැරදිව දැනගත්තේ කෙසේද කියාය.    අවුරුදු ගණනක් එක හැළියේ බත් කාපු එකාට උඹ සළකන්නේ අහම්බෙන් දැක්ක එකෙක් හැටියට නම් උඹේ වැඩේට අතගහන්නට මට කිසිම උවමනාවක් නැතැයි කියූ මා ඌව මග හැර වෙන පැත්තකට ගිය අතර ප්‍රභාත් මොනවා කරගත්තාදැයි ඊට පසුවද සොයා නොබැලුවෙමි.   බොහෝවිට ඌ ඇතුළේ ඉන්නා කාක්කෙකුට අහුවී මුදල් නාස්ති කරගන්නට ඇත.    එදා සිට මේ වනතෙක් තවමත් මට ප්‍රභාත්ව මුණ ගැසී නැත.   ප්‍රභාත්ගේ කතාව එපමණකි කුමාර ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළ ආකාරය ඊළඟට කියන්නට ඉතිරිවී ඇත.

Sunday, June 5, 2016

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 10 - කුලසේන පොන්සේකා බැද්දේගම රන්සිරිගේ සංග්‍රාමය සහ කමෙන්ට්කරුවන්ගේ සංගමය.

බෙන් ෆිල්ම්ස් හි ගතකළ කාලය ජීවිතයට විවිධත්වයක් එක්කල සහ විවිධ තරාතිරමේ අය හඳුනා ගන්නට ලැබුණු සුන්දර කාලයකි.    බොහෝ විට බෙන් එකට පැමිණ අප සමග සුහදව කතා කරන්නේ හඳුනා ගන්නට තියා දකින්නට වත් ලැබේයැයි නොසිතුන අපේ සිහින ලෝකවල ජීවත්වූ උදවියයි.    මම ඔය කියන කාලයේ හැම සති අන්තයකම පන්නිපිටියේ පදිංචිව සිටි කුලසේන පොන්සේකා ඔහුගේ සී නයින්ටියේ නැගී බෙන් එකට එන්නේ බෙනට් සමග සාකච්ඡාවටය.   ඔවුන් කතා කලේ කුලසේන පොන්සේකාගේ සිරියහන නවකතාවෙන් තිර නාටකයක් ලිවීම ගැනය.   ඔවුන්ගේ සාකච්ඡා  අසාසිටීම මට බොහෝ රසවත් විය සමහර දවසක කලින් පැමිණි කුලසේන පොන්සේකා බෙනට් එනතුරු අප සමග කතා කරමින් සිටී ඔහුගේ නවකතා ගැනද ඒවායේ චරිත ගොඩනැගීම  ගැනද නවකතා ලියන ආකාරය ගැනද කුලසේනගෙන් මම විස්තර අසමි.   කියවීමට තිබු ලැදියාවද ඔහුගේ පොත් සියල්ලම ඇතුළුව බොහෝ පොත් කියවා තිබීමද මට මෙහිදී ඉතා ප්‍රයෝජනවත් විය.   කුලසේනගේ පොත්වලට විචාරකයන් ලියා ඇති විවේචන ගැන මා ඔහුගෙන් අසමි සමහරවිට ඔහුද  දැක නොමැති එම විවේචන ගැනඅප දෙදෙනා අතර සාකච්ඡා ඇතිවෙයි.    

දවසක් කුලසේන මට කීවේ ඔහුගේ නවකතාවකින් චිත්‍රපටයට නැගුනු පාළම යට චිත්‍රපටයේ පුර්ව දර්ශනයක් මාධ්‍යවේදීන් සඳහා තිරගත වන බවත් ඉරිදා උදේ දහයට එල්පින්ස්ටන් සිනමා ශාලාවට පැමිණියහොත් නරඹන්නට හැකි බවත්ය.  ඒ ඉරිදා උදයේ බෙන් එකේ හිටියේ මා විතරය අනික් උන් වැඩකට ගිහිල්ලාය මම ඇඳ පැළඳගෙන උදේ දහය වෙද්දී එල්පින්ස්ටන් එකට ගියෙමි.   ගියාට මොකද චිත්‍රපටයක් පෙන්නන ආකාරයක් පේන්නට නැත එළියේ මුරට හිටපු සිකුරිටි කාරයාගෙන් ඇසුවිට කීවේ එහෙම දෙයක් ඔහු නොදන්නා බවය.   තවත් ටිකක් වෙලා එතන හිටගෙන හිටියේ කවුරුන් හෝ ඒවිදැයි බලන්නට උනත් කවුරුවත් ආවෙත් නැත.   මෙහෙම හිටියොත් වැඩේ හරි නොයන බව සිතූ මම එතැනින්ම බස් එකට නැගී කොටුවේ රීගල් එකට ගියවිට එළියේ බලාගෙන සිටි කුලසේන මා ඇතුළට එක්කරගෙන ගියේය.    ඇතුළට යනකොටත් චිත්‍රපටය පටන් අරගෙනය කුලසේනට තැන වැරදී මට එල්පින්ස්ටන් එකේ නම කියා ඇත.   ඊළඟ සතියේ කුලසේන බෙන් එකට ආවිට පාළමයට ගැන මගේ අදහස මා ඔහුට කීවෙමි මම කිව්වේ පාළම යට පොත කියවද්දී හිතේ ඇඳෙන චරිතය චිත්‍රපටයේ නොදුටු බවය.     අයි ආර් සී කාරයෙක් සහ චන්ඩියෙක් වූ විලී ගේ චරිතයට සනත් වැනි සුන්දර සුකුමාල මුහුණක් ඇති නළුවෙක් නොගැලපෙන බව මගේ අදහස  විය අනික සනත් කතාකරන හඬට වඩා ගොරහැඩි හඬක් වීලීට තිබිය යුතුයැයි මා විශ්වාස කළෙමි.    මේ හා සමානම තවත් වැරදි තෝරා ගැනීමක් ගැන මගේ මතකය අවදි විය.    ඒ ඊට කාලයකට කලින් තිරගත වූ බැද්දෙගම චිත්‍රපටයේ බබුන්ගේ චරිතයට විජය කුමාරතුංග තෝරා ගැනීමයි.    ඈත රුහුණේ කර්කශ පරිසරයක ඇති හද්දා මුකලානක හේන් කොටමින් කඨෝර  ජීවිතයක් ගෙවන බබුන් වැනි අමු ගැමියෙකුගේ චරිතයට විජය වැනි ඇඟේ කැළලක් වත් නොමැති රන්වන් පාට පුර්ණ දේහධාරී නළුවෙකු යොදාගැනීම මොන තරම් දුරට ගැලපේවි දැයි මම සිතින් තර්ක කළෙමි.  මා කල්පනා කළ දේම පසුව පුවත්පත් විවේචනවල මුඛ්‍ය අදහසක් විය.     විජය ඒ චරිතයට නොගැලපුනත් සිළිඳු ගේ චරිතයට ජෝත් ආරච්චිගේ චරිතයට හෙන්රි ජයසේනත් ලෙස්ටර් මහතා විසින් කල  ඉතා නිවැරදි තේරීම් විය.

සනත් ගැන මගේ විවේචනයට පිළිතුරු වශයෙන් කුලසේන කීවේ අධ්‍යක්‍ෂ එච් ඩී ප්‍රේමරත්න විසින් සනත් තෝරා ගන්නට යෙදුනේ ඔහුගේ වෙළඳපොල වටිනාකම ගැන සලකා බලා වෙන්නට හැකි බවය.   එසේ නම් බැද්දෙගමට විජය තෝරා ගන්නට ඇත්තේත් එම සංසිද්ධිය නිසාම විය හැකි බව මම කීවෙමි.   විජයට අමුඩයක් අන්දවා කැත්තක් අතට දුන් විට ගැමියෙක් වෙන බව ගමේ ජීවිතය ගැන අත්දැකීමක් නැති ලෙස්ටර් මහතා සමහරවිට සිතන්නට ඇත.    කුලසේනට තිබුනේත් ලෙස්ටර් මහත්තයට තිබුණු අඩුපාඩුවම එනම් ගැමි ජීවිතය ගැන අත්දැකීම් නොමැතිකමය.    කුලසේනගේ කෘති විවේචනය කරන විවේචකයන් කීවේම නාගරික හා අර්ධ නාගරික ජීවිතය ඔහුගේ පොත්වල මනාව විග්‍රහ වුණත් ගැමි ජීවිතය  කුලසේනට නාගරික ජීවිතය මෙන් මනාව විග්‍රහකරන්නට නොහැකි බවය.    මේ කතාව දවසක් මම කුලසේනට කීවිට ඔහු සිනාසී මට කීවේ එලෙස අඩුපාඩුවක් ඔහුට නැති බවය.   කෙසේවුවත් ඊට මාස කීපයකට පසු කුලසේන රන්සිරිගේ සංග්‍රාමය නමැති යොවුන් නවකතාව ලිව්වේ ඒ විවේචකයන්ට පිළිතුරු වශයෙන් දෝ යැයි මට සිතුණි.    කෙසේ වුවද ඒ කතාවේත් ගැමි ජීවිතය චිත්‍රණය කරන්නට කුලසේන සමත් නොවේ.   රන්සිරිගේ සංග්‍රාමයේ කතා නායකයා වන රන්සිරි ඇඹිලිපිටිය පැත්තේ හද්දා පිටිසර ගමක හේන් ගොවියෙකුගේ පුතෙකි.    කතාව ගමෙන් ආරම්භ කළත් කුලසේන රන්සිරිව වැඩිකල් ගමේ තියන්නේ නැත ඔහුව කොළඹට ගෙනවුත් එතැන් සිට ඔහුට සුපුරුදු නාගරික පරිසරයේ කතාව ඉදිරියට ගෙනයයි.      මුළු කතාවම කොළඹ පසුබිම් කරගෙන ඉදිරියට ගෙනයන කුලසේන කතාවේ අන්තිමට රන්සිරිව ආපහු ගමට ගෙනගොස් දමා කතාව අවසන් කරයි.

දවසක් බෙන් එකේ කතා කරමින් ඉන්න ගමන් කැලණිය පැත්තේ මුද්‍රණාලයක ගබඩාවේ ඇති රන්සිරිගේ සංග්‍රාමය පොත් තොගය පන්නිපිටියේ ඔහුගේ ගෙදරට ගෙනැත් දෙන ලෙස කුලසේන බෙනට්ගෙන් ඉල්ලීමක් කළේය.    බෙනට් වැඩේ පැවරුවේ රුවන්ටත් මටත්ය අපි දෙන්නා එදා හවස් වරුවේ බෙන් එකේ ටවුන් ඒස් වාහනයද රැගෙන කැලණිය බලා පිටත් වුනෙමු.    වාහනය පදවාගෙන ගියේ රුවන්ය රුවන්ට කලකට පෙර ලබාගත් ලයිසන් එකක් තිබුණත් පාරේ වාහන පදවා වැඩි පළපුරුද්දක් නොවීය.   බෙනට්ගේ කීමට පිටුපාන්නට බැරිකමට වාහනය අතට ගත්තත් ඔහු වාහනය පදවා ගෙන ගියේ හැප්පෙයි කියා බයේ කකුල් ගැහෙමිනි.   අපි කෙසේ හෝ කැලණියට ගොස් මුද්‍රණාලයේ ගබඩාව හොයාගතිමු.   ඉතා පටු දෙවැට පාරකට මුහුණලා තිබූ ගබඩාව ලඟට වාහනය ගෙනගොස් ආපසු හරවාගන්නට ක්‍රමයක් නොමැතිවූ බැවින් වාහනය රිවස් කර ගබඩාවේ දොර ලඟට ගන්නට සිදුවිය.    වාහනය පසුපසට ගෙනයද්දී රුවන් අතින් වාහනයේ දෙපැත්තටම හානිවිය.    කෙසේ වුවද පොත් ටික පටවාගෙන වැඩි කරදරයක් නැතිව පන්නිපිටියේ කුලසේනලාගේ ගෙදරට ලඟාවන්නට අපට හැකිවිය.    පොත්ටික කුලසේනට බාරදුන් පසු පොත් දෙකක් අස්සන් කල කුලසේන ඒ පොත් දෙක රුවන්ටත් මටත් තෑගීකළේය.    

කුලසේනගේ ඒ පොතට වර්ෂයේ හොඳම යොවුන් නවකතාවට පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය පිරිනැමුණු බව ලාවට මතකයක් මගේ හිතේ පවතී.    පොත බෙන් එකට රැගෙන ආ මම රෑ වනවිට පොත කියවා අහවර කළෙමි රුවන්ට ලැබුණු පොත ඔහු ලාච්චුවට දමා නාන්නට ගියේය රුවන් පොත කියෙව්වාදැයි මා නොදනිමි.     පොත හොඳ නිසා ටෙලි නාට්‍යයට නැගීමේ අයිතිය කුලසේනට මුදල් ගෙවා පවරා ගනිමුයි මා රුවන්ට කිවේ මගේ ළඟ එතරම් මුදලක් නොතිබුණු නිසාය.   අපි ටෙලි නාට්‍යය නොකළත් යම් දවසක කරන කෙනෙකුට විකුණන්නට හෝ පුළුවනැයි මා රුවන්ට කීවත් රුවන් කීවේ ටෙලි නාට්‍යයකට නගන්නට තරම් ඒ පොතේ නාට්‍යමය ගතියක් නොමැති බවය.   එතැනින් පොත පවරා ගැනීමේ කතාව යටගියේය.    ඊට වසරකට හෝ දෙකකට පසු පොතේ අයිතිය මිළට ගත් ජයලත් මනෝරත්න රන්සිරිගේ සංග්‍රාමය යනුවෙන් ටෙලි නාට්‍යයක් නිපදවා ප්‍රදර්ශනය කරනවා පෙන්වන්නට රුවන් මා සමග නොසිටියේය.

කෙසේ වුවද ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට අත නොගැසුවත් රුවන් තමන් තෝරාගත් මාර්ගයේ බොහෝ දුර ගොස් අද වනවිට ක්‍ෂේත්‍රයේ අති දක්ෂ කැමරා ශිල්පියෙක් ලෙස හපන්කම් පෙන්වනු බොහෝ විට මා දකිමි෴

ප.ලි. අද ප්‍රභාත්ගේ කතාවේ ඉතිරි කොටස ගෙන එන්නට සිතා සිටියත් කතාව ආරම්භයේදීම මාතෘකාව පමණක් වැරදීමකින් ප්‍රකාශයට පත්විය.    එලෙස තිබුණේ විනාඩි කීපයකි මම වහාම එය මකා දැමුවෙමි.  ඒ ක්ෂණයේදී වුවද එයට කමෙන්ට් දෙකක් වැටී තිබුණි.   මුල්ම කමෙන්ටුව දමා තිබුණේ බ්ලොග් කමෙන්ට් කරුවන්ගේ සංගමයේ සභාපති තැන්පත් ගොඩකවෙල ප්‍රසන්න මහතා විසිනි.   දෙවැන්න හරීගෙන්ය.   එවෙලේ මට නිකමට වගේ හිතුනේ කමෙන්ට් කරුවන්ගේ සභාපති පදවියට ප්‍රසන්න මොන තරම් සුදුස්සෙක්ද කියාය.

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය කතා මාලාව වැඩිම වුණොත් තව කතාදෙකකින් අවසන් කරන්නට හැකි වේයැයි සිතමි.     ඊට පසු ලියන්නට සුදුසු තව කතා මාලාවක් ගැනද මා මේ දිනවල සිතමින් සිටිමි.   එපමණ ලියාගන්නට නොහැකිවුනත් අද හදිසියෙන්ම මේ කතාව පළකරන්නට මා ඉක්මන් වුයේ පෝස්ටුවක් නොමැතිව බ්ලොගය තිබෙන ආකාරය ගැන මගේ පැහැදීමක් නොමැති බැවිනි.   කතාව කෙටිවීම ගැන  බැන අඬගහන්නේ නැතුව සමාව බාජනයකට දමා දෙන ලෙස සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.

Wednesday, June 1, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 9 - කෙහෙල් ගහට කොටපු ප්‍රභාත්, කාර්යාල ජීවිතය ඡායාරූප ශිල්පියා සහ නාට්‍ය නිෂ්පාදකයා.

අක්කා කෙල්ල මගෙත් එක්ක ඇයි හොඳයියක් ඇතිකර ගත්තේ මම ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ වැඩ කරන කාලයේ බව මීට කලින් පෝස්ටුවකද ලියා ඇත්තෙමි.   ඔය ඇයි හොඳයිය මට ඇණයක් වුනේ අක්කා කෙල්ල වැඩේ දිගදුර ගෙනියන්න ලෑස්ති වෙද්දීය.   තරුණ වයස සැහැල්ලුවෙන්  ගෙවා දමමින් ජීවිතය සතුටින් ගතකළ මා පවුලක් වෙන්නට හෝ වගකීමක් කරට ගන්නට කිසිම සූදානමකින් නොසිටියෙමි.    එහෙම වෙන්නට මූලිකම කාරණය වුනේ එකල මා ලද සොච්චම් පඩිය මට තනියම ජීවත්වන්නටවත් ප්‍රමාණවත් නොවුන නිසාය.    මා කල්පනා කළේ මමත් අමාරුවෙන් ජීවිතය ගෙවා දමද්දී මගේ කරදරවලට තවත් කෙනෙක්ද  හවුල් කරගැනීම ඇයට කරන අසාධාරණයක් කියාය.   නමුත් අක්කා කෙල්ලට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් අවශ්‍යතාවක් වූ අතර ඇගේ වයස අනුව සලකන කල හැකි ඉක්මනින් කා සමග හෝ විවාහ වීම කලයුතු විය.    අක්කා කෙල්ලගේ සහ මගේ අරමුණු එකිනෙක නොපෑහුන හේතුවෙන්  අප අතර සාමයක් නොවූ අතර නිතරම සිත් අමනාපකම් ඇතිවීම සාමාන්‍ය දෙයක් විය.   මෙසේ කතාවක් ඇතිවුණු එක දවසකදී මම අක්කා කෙල්ලට කෙළින්ම කීවේ පවුලේ වගකීම් බොහොමයක් ඇති නිසා දැන්මම පිළිවෙලක් වෙන්නට අපහසු බවය.   එවිට ඇය ගත් කටටම කීවේ එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නාවිට ඒ වගකීම් වඩාත් හොඳින් ඉටුකරන්නට හැකි බවය.

එහෙම කියනවිට මට මතක්වෙන්නේ තවත් කතාවකි.    ඒ දවස්වල අපිත් එක්ක බෙන් ෆිල්ම්ස් එකේ වැඩකළ ප්‍රභාත් කඩවසම්  කොල්ලෙකි.   මාවනැල්ලේ හිඟුල පැත්තේ පදිංචිකරුවෙකු වූ ප්‍රභාත් බෙන් එකට එක්කං ආවේ රුවන්ය.    රුවන්ගේ පෙම්වතියගේ ඥාති සහෝදරයෙක් වූ   ප්‍රභාත්ට පාසැල් සමයේ සිට පැවතගෙන එන ප්‍රේම සම්බන්ධයක් වූ අතර ඉතා අහිංසක යුවතියක් වූ ඇය ප්‍රභාත්ට මුළු හදවතින්ම පෙම්කලාය.    ප්‍රභාත් ඇය හැරදමා කොළඹ ආවේ බොහෝ අකමැත්තෙන් වූ අතර නිතරම සිය පෙම්වතිය ගැන සිතුවිල්ලේ පසුවිය.   අද මෙන් ජංගම දුරකතන බහුල නොවූ ඒ දිනවල මේ දෙදෙනා අදහස් හුවමාරු කරගත්තේ ලිපිවලිනි.   සිය සිත්ගත් යුවතියගේ ලිපි ප්‍රමාද වූ විට ප්‍රභාත් සිටියේ බොහෝ සිත් තැවුලෙනි.   මෙසේ මේ දෙදෙනාගේ ආදරය ගලායද්දී එක් දෛවෝපගත දිනෙක ප්‍රභාත් රුවන් සමග හෝකන්දර දේවාලයට ගියේ ගම්මඩුවක් වීඩියෝ කරන්නට ලැබුණු ඇණවුමකට අනුවය.    මේ දෙදෙනා ගම්මඩුව රූපගත කරමින් සිටියදී ගම්මඩුව බලන්නට පැමිණ සිටි එක් සුන්දර යුවතියකගේ බැල්ම නිතරම තමන් වෙත යොමුවනු ප්‍රභාත්ට තේරුණත් ඔහු ඒ නොදුටුවා සේ තම කටයුත්තේ නිරතවිය.    නුදුටුවා සේ සිටියද ආගන්තුක යුවතියගේ නෙත් කැල්ම ප්‍රභාත්ගේ සිතේ තදින් සටහන් විය.    ඊට සති දෙක තුනකට පසු යම්කිසි උවමනාවකට බොරැල්ලට පැමිණි ප්‍රභාත් ආපසු යන්නට බස් නැවතුම්පොළට ආවේ තලවතුගොඩ බසය අල්ලා ගන්නටය.     බස් නැවතුමේ පිටත්වන්නට සුදානමින් තිබු බසයට ගොඩනැගුණු ප්‍රභාත් දුටුවේ ටික දිනකට පෙර තම සිත කැළඹු සිනාවේ හිමිකාරිය බසයේ ඉඳගෙන ඉන්නා ආකාරයයි.   ප්‍රභාත් දුටු ඇය ඔහුට  කතාකළේ ඇස්වලිනි ඇය විළියෙන් පෑ සිනාවෙන් ඔහුගේ සිත නැවතත් කැළඹිණි.   එදා ප්‍රභාත් නාගහමුල්ලෙන් බසයෙන් බැස්සේ ඇයව නැවත හමුවීමට ගිවිසගනිමිනි.

එසේ ආරම්භ වූ මෙම යුවළගේ ආදර කතාව තලවතුගොඩද බොරැල්ලේද පාරවල් දිගේ ගලා ගියේය.   හෝකන්දර පදිංචිවී සිටියත් ඇය මාතරින් පැමිණ සිටි කෙල්ලෙක් බවත් හෝකන්දර සහෝදරයාගේ ගෙදර නැවතී සිට බොරැල්ලේ පරිගණක පාඨමාලාවක් හදාරන බවත් ප්‍රභාත් අපට කීවේය.   මෙදා සැරේ උඹ  කෙහෙල් ගහකට කොටා ඇති බව කියා අපි විහිළු කළත් ප්‍රභාත් කීවේ මේ සම්බන්ධය දිගදුර ගෙනගොස් සිය පෙම්වතියට ද්‍රෝහී වන්නේ නැති බවය.    'ඒ හරිය කොහොම වේවිද කියා ඉස්සරහට බලාගමු' කියා මමත් රුවනුත් ප්‍රභාත්ට කීවෙමු.     අපි කිව්වා සේම තැන තැන පාරවල් ගානේ රස්තියාදු නොවී ගෙදරට ඇවිත් කතාකරන දෙයක් කතාකරගන්නැයි කියා කෙල්ලගේ ගෙදරින් දෙන්නාට නිවේදනයක් නිකුත් වුනේ මේ අතරේදීය.   කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ප්‍රභාත්ට හෝකන්දර කෙල්ලගේ ගෙදරට යන්නට සිදුවිය ඉන්පසුව හැම දෙයක්ම සිදුවුනේ ඒ අයගේ කැමැත්තට වීම හේතුවෙන් ප්‍රභාත්ට ආපහු හැරෙන්නට බැරිවිය.  එක්කෝ ප්‍රභාත්ට ආපහු හැරෙන්නට උවමනා උනත් එහෙම කරන්නට ක්‍රමයක් නැතිවී ඔහු අසරණ විය.    ඊට මාස දෙකකට තුනකට පසු කෙල්ලගේ ගෙදරින් කිව්වේ මේ දේවල් තවත් කල්දමා සිටීමේ තේරුමක් නැති නිසා දෙන්නාගේ කසාදය ඉක්මනින්  රෙජිස්ටර් කරන්නට කියාය.    බිත්තියටම හේත්තුවී අසරණව සිටි ප්‍රභාත්ට එයට එකඟවනු හැරෙන්නට කරන්නට වෙනත් දෙයක් නොවීය.  මේ අතර ප්‍රභාත්ගේ දීර්ඝකාලීන පෙම්වතිය මහත්සේ කැළඹීමට පත්ව සිටියේ හිටි හැටියේ ප්‍රභාත්ගේ ලිපි එවීම නතරවීම නිසාය ඇය දිගින් දිගටම ප්‍රභාත්ට ලිපි එවමින් ඔහුගේ වෙනස්වීමට හේතුව විමසා සිටියත් ලිපි නවතින්නට හේතුව සාධාරණීකරණය කරන්නට ප්‍රභාත්ට නොහැකිවීම හේතුවෙන් හෝ ඔහුගේ වරදකාරී චිත්තය හේතුවෙන් ඇයට පිළිතුරු ලියන්නට ප්‍රභාත් පසුබට විය.

දවසක් ගමේ කෙල්ල  විසින් ප්‍රභාත්ට එවන ලද හසුනක් උගේ ඇඳ උඩ දමා ගොස් තිබියදී මම කියැවුයෙමි.   අනුන්ගේ පුද්ගලික ලිපි කියැවීම නොහොබිනා වැඩක් වුවත් මේ දෙදෙනාගේ ආදර කතාව ඒ වෙද්දී කුමන අතකට ගලා යනවාදැයි දැන ගැනීමට තිබු කුතුහලය නිසාත් වෙනදාට ප්‍රභාත් සිය පෙම්වතිය එවන ලිපි අපටද කියවන නිසාත් අප ඒ ලිපි කියවන බව ඇය දැනසිටි නිසාත් ඒ ලිපිය කියවීමට මට උනන්දුවක් ඇතිවිය.   ඇයගේ හද පෙලන වේදනාව මනාව පිළිබිඹු වූ  ඒ අනුවේදනීය ලිපියටවත් සංවේදී නොවී නොසැළකිලීමත් ලෙස ඇඳ උඩ ලිපිය දමාගිය ප්‍රභාතයා ගැන මට ඇතිවුනේ කෝපයකි.    ටික දිනක් ගතවිය මමත් රුවනුත් ප්‍රභාත්ට කී ලෙසම තමන් කොටා තිබුණේ කෙසෙල් ගසකට බව ඌට තේරුණේ  දෙන්නාගේ කසාදය ලියාපදිංචි කරන්නට හෝකන්දර කෙල්ලගේ ගෙදරින් සුබ දවසක් නියමකරගෙන ප්‍රභාත්ටත් දැනුම් දුන්න විටදීය.   ඇටිකෙහෙල් කාපු උගුඩුවෙකුගේ තත්වයට ඇදවැටුණු ප්‍රභාත් කිසිවක් කරගන්නට නොහැකිව දුවගෙන ඇවිත් ආරංචිය අපට කීවේය.

දැන් කුමක් කරන්නද? ප්‍රභාත්ගේ ගෙදරට දන්වන්නට කිසිසේත්ම ඌ කැමති නොවුනේ බාල සොහොයුරු සොහොයුරියන්ගේ වගකීම් සම්භාරයක් තිබීම හේතුවෙන් කියපු ගමන් තාත්තා ඇවිත් ඌව ගෙදර ඇදගෙන යාවි කියා තිබුණු බයටය.   මඟුලට ලෑස්ති වෙන්නට පෙර මේ කතාව ප්‍රභාත්ලගේ ගෙදරට හෝ උගේ ගමේ කෙල්ලට දන්වන්නට මා පසුබටවීම පසුකාලීනව දහස් වාරයක් මා පසුතැවිල්ලට ලක්කල කරුණක් විය.   එයට තව එක හේතුවක් වුනේ ප්‍රභාත් කොළඹට එක්කගෙන ආ රුවන් හෙවත් ප්‍රභාත්ගේ බාරකාරයා මේ ගැන කිසිවක් නොකර බලාගෙන සිටීම වන්නට හැකිවුනත් ඒ දෙන්නාටම වඩා වැඩුමල් අත්දැකීම් සහිත එකෙක්වූ මට මේ ගැන රුවන්ට පැහැදිළි කරදෙන්නට නොහිතුනේ ඇයි කියා මට තාමත් සිතාගන්නට නොහැකිය.    කෙසේ වුවද ඊට වසර විසි ගණනකට පසු අදනම් කෙළින්ම මට හිතෙන්නේ එසේ නොකිරීමෙන් මා වරදක් කර ඇති බවයි.    ඒ වරදකාරී චිත්තය සහිතව එදා සිට මේ දක්වා සේම  ජීවිතයේ ඉදිරි කාලයත්  ගෙවා දමන්නට සිදුවන්නේ ලී කුඩු ආපසු ලී බවට පත්කළ නොහැකි නිසාවෙනි.     ගෙදරට නොකිව්වත් ප්‍රභාත්ලගේ ආයතනයේ ප්‍රධානියා වන බෙනට්ට නම් මේ මඟුල වසං කරන්නට නොහැකිය.    බෙනට්ට දැනුම්දීම දවසෙන් දවස කල්දමමින් සිටි ප්‍රභාත් දවසක්දා  හැන්දෑවක බෙනට් හම්බවෙන්නට යන්නට මට කතාකළේ රුවන් යන්නට බෑ කීම නිසාය.    ඌ ගැන දුක හිතුන නිසා මමත් ලෑස්ති වී ප්‍රභාත් සමග බෙනට්ලගේ ගෙදර ගියෙමි.   ප්‍රභාත් කියූ විස්තරය සාවධානව අසාසිටි බෙනට් යටි රැවුල කසමින් බොහෝ වේලා කල්පනාවේ නිමග්න වී සිට කතා කරන්නට විය.

ඇයි මල්ලි කිසිම පිළිවෙලක් නැතුව මේ වගේ දේවල් කරගන්නෙ, බලපන් උඹල පවුල් වෙලා ජීවත්වෙන්නෙ කොහොමද ඉන්නෙ කොහෙද මේව මොකුත් හිතන්නෙ නැතුවද බඳින්න යන්නෙ...දැන් කරන රස්සාවෙන් යන්තං කාල බීල හිටියට පවුල් උනාම ඒ ආදායම ඇද්ද ඔය කියන ගෑණු ළමයට රස්සාවක් මොකුත් තියෙනවද?

නෑ...

ඉතිං බලපං අනේ මංදා මල්ලි මේවයින් අපිත් නරක මිනිස්සු වෙනවනෙ උඹලගෙ ගෙවල්වල අය හිතන්නෙ අපි මේ දේවල් දැන  දැන සද්ද නැතුව හිටිය කියලනෙ...

ආදී වශයෙන්බොහෝ දැනමුතුකම් කී බෙනට් කිව්වේම හරියකට පොළොවේ පය ගහගන්නට හැකියාවක් නොමැතිව කසාද බඳින්නට යෑම අනුවණකමක් බවය.

කෝ ඔය කියන ගෙදර වැඩිහිටියො කවුද ඉන්නෙ කාටහරි කෙනෙකුට මාව හම්බවෙන්න කියපංකො...

කියා බෙනට් කතාව කෙළවර කර දැම්මේය.    පසුදිනෙක හෝකන්දර කෙල්ලගේ සහෝදරයා බෙනට් මුණගැසී කතාකර ඇත.   ප්‍රභාත්ට කියපු ටිකම ඔහුටද කියූ බෙනට් ප්‍රභාත්ගේ බාල සහෝදරයන්ට ඔහු යුතුකම් ඉටුකරන්නේ කොහොමද කියා අසා ඇත.   එක්කෙනෙක් වෙනුවට දෙන්නෙක් ඉන්නා විට යුතුකම් වඩා හොඳින් ඉටුකළ හැකියැයි ඔහු කී බව බෙනට් මගෙත් එක්ක කිව්වේ හිනාවෙමිනි.    කෙසේ වුවද ප්‍රභාත්ට ඒ මඟුල කරගන්නටම සිදුවිය.   බෙන් එකේ හිටපු  කාලයේ මම වැඩකළේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේය.   අපි එහේ ගතකල මුල් කාලයේ වැඩක් නැති දවස්වල රුවනුත් ප්‍රභාතුත් අපේ කාර්යාලයට පැමිණීම සිරිතක් විය.

උන් දෙන්නා කාර්යාලයට ආවිට දවල්ටත් කෑම කා හවස වැඩ ඇරී තුන්දෙනාම බොරැල්ලට ගිහිං චිත්‍රපටයකුත් බලා කඩෙන් රෑට කෑමත් අරගෙන බෙන් එකට ගිය අතීතය හරිම සුන්දරය.   තැන තැන අවතැන්ව ඉඳ කාර්යාලයට යන අය වූ අපි උදේටත් දවල්ටත් කෑම ගන්නේ රාජ්‍ය පරිපාලනේ සුභසාධක කැන්ටිමෙනි.   සුභසාධක කැන්ටිමේ කෑම කිසිම රසක් ගුණක් නැතිවුණත් එතනින් කෑම පිට කඩවලින් වැඩිගණන් දී කනවාට වඩා ලාබය.      අපි උදේට බොහෝවිට කන්නේ පාන්ය පාන් කන්නට පරිප්පු හෝ අල හෝ මාළු හොදි ලැබේ.   පානුත් හොදිත් කාගන්නට පුළුවන් උනත් දවල් කෑම නං මක්කොරලාවත් කන්නට බැරිය.   නාඩු හාලේ බතුත් කව්පි හොද්දකුත් පොඩි හුරුල්ලෙකුත් වම්බටු හෝ වැටකොළු හෝ වට්ටක්කා හොද්දකිනුත් කොළ මැල්ලුමකිනුත් සමන්විත දවල් කෑම දියම දිය රසය.   හරියට තැම්බී නැති කව්පි ගල් කැට වගේය කැන්ටිමේ කව්පිම උයන්නේ පරිප්පු ගණන් වැඩි නිසාය පරිප්පු ඉව්වොත් කෑම එක ඔය ගානට දෙන්න බැරි බව කැන්ටිමේ මුදලාලි කියයි.   ගෙවල්වල ඉඳන් වැඩට එන උන්  රසැති ගුණැති කෑම කෙසෙල් කොළවල  සුවඳට ඔතාගෙන ඇවිත් මේසවල වටවී ඉඳගෙන කෑම හුවමාරු කරගෙන කද්දී අපි කැන්ටිමේ මුදලාලිගේ දිය හොදිත් එක්ක බත් කෑවේ ඒ කාලයේ ලැබුණු පඩියෙන් ඊට වඩා දෙයක් කරන්නට බැරි නිසාය.

අපේ කාර්යාලයේ වැඩකළ පියල්  උගේ පුතාගේ මොන්ටිසෝරියේ උත්සවයක පිංතුර අරං දෙන්න කියා දවසක් මට කීවේය.    මොන්ටිසෝරිය තිබුණේ අතුරුගිරිය පැත්තේය මම රුවන්ගේ කැනන් එස් එල් ආර් කැමරාවට රෝලකුත් දාගෙන ගිහිං වැඩේ කර දුන්නෙමි.    ඊට සතියකට විතර පසු රෝල සුද්දකර පිංතුර ගෙනත් පියල්ට දුන් පසු ඌ ඇහුවේ වැඩේට කීයක් අවශ්‍යද කියාය.   වැඩේට ගිය වියදම දෙන්නට මිනිහා ළඟ කොහොමටවත් මුදල් නැති බව මම හොඳින්ම දැනගෙන හිටපු නිසා සල්ලි එපා කීවෙමි.    ඊට පස්සෙ දවසේ ඉඳන් ඌ මටත් එක්ක දවල් කෑම එකක්  අරගෙන එන්නට පටන්ගත්තේ වැඩේට හිලව්වටය .  මේ වැඩේ පියල්ට කරදරයක් බව දැනගෙන හිටියත් කැන්ටිමේ කෑම එපාවී හිටපු නිසාත් උගේ බිරිඳ උයා එවන කෑම එක රසවත් නිසාත් වැඩිපුර මොකුත් නොකියා අරං එන කෑම කෑවෙමි.     පිංතුර ගත්තා කියනවිට මට තව කතාවක් මතක්වෙන නිසා ඒකත් මෙහෙමම කියා දමමි.   ඔය මම උඩින් කියා ඇති පියලුත් අපේ කාර්යාලයේ වැඩකළ තවත් එකෙක්වූ පියතිලකත් යන දෙන්නාම කලා ක්ෂේත්‍රයට සම්බන්ධ අය නිසා මගෙත් එක්ක ළඟ හිතවත්කමක් ඇතිකරගත්තේ මමත් යම් තරමකට ක්ෂේත්‍රයට සම්බන්ධ නිසාය.   හවසට කාර්යාලය අවසන් වීමෙන් පසු මේ දෙන්නා බොහෝවිට බොරැල්ලේ වයි ඇම් බී ඒ ශාලාවේ වේදිකා නාට්‍යයකට හෝ සුදර්ශියේ පුහුණුවීම්  වලට යති.    ඒත් එක්කම ලැබෙන ටෙලි නාට්‍ය සුළුකොටස්ද රඟපෑහ.    දෙන්නාම ටෙලි නාට්‍ය ක්‍ෂේත්‍රයේ බොහෝ දුර ගිය අන්දම මම පසුකාලීනව දුටුවෙමි.

දවසක් පියතිලක මට කතාකර කීවේ ඔහුද රඟපාන අලුත් වේදිකා නාට්‍යයක පුහුණුවීම් ආරම්භ කල බවය.    නාට්‍යයේ රඟපාන නළු නිළියන්ව වේෂ නිරුපණය කළායින් පසුව පිංතුර ටිකක් අරගෙන දෙන්නැයි තව දවසක කීවේය.  ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ආදාහනය දවසේ පියතිලක ඒ ආදාහන භූමියට පැමිණ සිටි නාට්‍යයේ නිෂ්පාදකයාවත් මට පෙන්නුවේය අපි නිෂ්පාදකයා සමග නාට්‍යය ගැන කතා කළෙමු.    තමන් මුදල් ගණන් ගන්නේ නැති බව කී නිෂ්පාදකයා බිල් අතට ලැබුන විගසම මුළු මුදල ගෙවීම තමන්ට සුළු දෙයක් කියා කීවේය.    ඊට පස්සෙ දවසක මම කැමරාවට ෆිල්ම් රෝලකුත් දමාගෙන රාජගිරිය පැත්තේ ඉස්කෝලෙක තිබුන නාට්‍යයේ පුහුණුවීම් කරන තැනට ගිහිං පිංතුර ගත්තෙමි.    ඇඩ්වාන්ස් එකක්වත් ඉල්ලා නොගෙන  පියතිලක ගැන තිබුන විශ්වාසයට පිංතුර සුද්දකර ඔහුට  දුන්නේ නිෂ්පාදකයාට දී මුදල් රැගෙන එන්නටයි කියාය.   සති අන්තයේ පුහුණුවීම් වලදී නිෂ්පාදකයාගෙන් මුදල් ඉල්ලාගෙන එන්නෙමැයි කියා පියතිලක පිංතුර ටික අරගෙන ගියේය.

ඊට පසු සතියේ පියතිලක ඇවිත් මට කීවේ නිෂ්පාදකයා සොයාගන්නට නොලැබුණු බවය.   ඊළඟ සතියේද වෙනසක් නොවූ අතර වෙච්ච දේට තමන් වගකිව යුතු යැයි වරදකාරී සිතක් ඇතිකරගත් පියතිලක මට යෝජනා කලේ පිංතුර ටික ඒවායේ පෙනී සිටින අයට විකුණා වියදම පියවා ගනිමු කියාය.   ඕනෑ දෙයක් කරගන්නට කියා මම පියතිලකට පිංතුර ටික දුන්නේ තවදුරටත් මුදල් ගැන බලාපොරොත්තු තැබීම නිෂ්ඵල ක්‍රියාවක් බව දැන සිටි නිසාය.    මේ කතාව මුල සිටම දැනසිටි පියල් මට හැමදාම විහිළුකරමින් සිට නමක්ද පට බැඳ කාර්යාලය පුරා කියන්නට විය ඒ නම මෙතැන කියන්නට අවශ්‍ය නැතැයි  සිතමි.    කෙසේ වුවද ඒ මට ක්ෂේත්‍රයේ ඉන්නා පොලුකාරයෙක් හමුවූ පළමු වතාවය පසුකාලීනව නම් මාහට ක්ෂේත්‍රයේ ඉන්නා නිකං පොලුකාරයන් මතුනොව පොලු රජවරුන් සමගද ගනුදෙනු කිරීමේ මාහැඟි අවස්ථාව හිමිවිය.    

එතෙක් කල් කාර්යාලයෙන් මාසිකව ලැබෙන වැටුපෙන්  පමණක් සෑහීමකට පත්වීමට වූ මට බෙන් එකේ ඉන්නාවිට කරන අමතර වැඩවලින් යම්කිසි ආදායමක් ලැබීම ලොකු සහනයක් විය.   හැම මාසයකම බෙන් එකට ලැබෙන මඟුල් ගෙවල් උපන්දින සාද ආදිය වීඩියෝ කරන්නට කාර්යාලයෙන් නිවාඩු ලබාගෙන හෝ යෑම පාඩුවක් නොවුනේ සමහර මාසවල මට ලැබුණු අමතර ආදායම මාසික වැටුපද ඉක්මවා ගිය නිසාය.   මා නිකරුණේ නිවාඩු ලබා නො ගන්නා බැවින් උවමනා තරම් නිවාඩු ඉතිරිව තිබුන අතර ලබාගන්නට අපහසුවක්ද නොවීය.    මට ලැබුන ඒ අමතර ආදායම හේතුවෙන් කාර්යාලයේ අනෙකුත් අයට සාපේක්ෂව මගේ ආර්ථිකය ඉතා යහපත්වූ අතර මට අවශ්‍ය පොත් පත් ආදිය  ගන්නටත් චිත්‍රපට හා නාට්‍ය  බලන්නටත් ගමන් බිමන් යන්නටත් පෙරදී මෙන් කරදර වන්නට අවශ්‍ය නොවීය. මේ කාලය වනවිට අක්කා කෙල්ල මගේ ජීවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්ව ගොස්  තිබුණ අතර බෙන් එකට අල්ලපු ගෙදර හිටිය කෙල්ලක් වන ටෂ් මගේ ජීවිතයට ඇතුල් වන්නට එබිකම් කරමින් සිටියාය෴

ප.ලි .  අද පිංතුරය ලෙස යොදන්නට මම ඉල්ලුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ කැන්ටිම උනත් ගුගල් දුන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ පිංතුරයයි.    අප සේවය කරන සමයේ අමාත්‍යංශ ගොඩනැගිල්ල ඉදිරිපිට පළ දරන පැළ ගස් ලෙස තිබු තැඹිලි ගස් මේ වන විට බොහෝ උස ගිහිං ඇති ආකාරය  පිංතුරයෙන් දැකගන්නට හැක.  ඒ ගස්වල හැදුනු තැඹිලි අමාත්‍යංශයේ ආරච්චි විසින් කඩවන ලදුව අවශ්‍ය අයට ගෙඩිය රුපියල ගණනේ විකුණන ලදී.   මුදල් ගෙවා තැඹිලි බොන්නට මට අවශ්‍යතාවක් නොවූයේ පියල්ලාත් සමග එකතුවී ආරච්චිට හොරෙන් තැඹිලි කඩා බොන්නට මම පුරුදුවී සිටි බැවිනි.   අවශ්‍යතාවක් නැතිනම් දැන් වැරදිලාවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට නොයැවෙන්නේ ඒ කාලයේ අපිත්  එක්ක හිටපු කිසි කෙනෙක් අද එහි නැති නිසාය.   ඒත් ඉඳහිට දවසක ඒ ඉදිරිපිටින් යනෙන මාහට අමාත්‍යංශ ගොඩනැගිල්ල දකින විට බොහෝ රසවත් අතීත මතක සටහන් සිහිපත්වී සිත සතුටින්ද දුකින්ද පිරී යෑම වලක්වා ගන්නට බැරිය.