Sunday, May 15, 2016

ගන්බෝට් රිජ්වේ තිලකරත්න සහ වික්ටර් හන්ටර්ගේ මාරයා.

අද ලියැවෙන පෝස්ටුවට නිමිත්ත වුනේ හෙවත් උත්තේජනය සැපයුනේ අපේ කල්‍යාණමිත්‍ර ලියූ මෙන්න මේ  පෝස්ටුවෙනි.    එය කියවද්දී ගන්බෝට් වලට නම් තැබීම ගැන ලස්සන කතාවක් මා කියවා ඇති බව මට මතක්වී ඒ කතාවද කමියාගේ කතාවට එකතු වුණොත් තවත් අලංකාර නොවේදැයි සිතා කමියාට කතාකර කතාව දෙන්නට ලෑස්ති වුණත් ඌ එය ලිවීම එකහෙලා ප්‍රතික්ෂේප කර මට ලියන්නට කීවේය.   එමෙන්ම කතාව දැනගන්නට කැමැත්තෙන් සිටින නිසා ඉක්මනින් ලියන ලෙසට පොඩි තර්ජනයකුත් කළේය.    මේ කතාව ඇත්ත වශයෙන්ම මා ලියන කතාවක් නොවන අතර මා කියැවූ පොතකින් උපුටා දැක්වීමකි.     

කමියාගේ කතාවට ගැලපෙන  නිසා ඒ කතාවට ඌන පුර්ණයක් ලෙස මගෙ බ්ලොගයේ පලකරන අතර කමෙන්ට් එකක් ලෙස කමියාගේ බ්ලොගයේ කොටන්නට දිග වැඩි නිසාත් පෝස්ටුවකට කොට වැඩි නිසාත් කතාවේ රසයට හානි නොවන පරිදි ඒ පරිච්ඡේදයේම තවත් කොටසක් පෝස්ටුවට එකතු කළෙමි.    මගේම ස්වාධීන නිර්මාණයක් නොවන අනුන්ගේ පොතක ඇති කතාවක් උපුටා පළකිරීම ගැන පාඨකයන් ඉවසා වදාරතියි උදක්ම බලාපොරොත්තු වෙමි.   කතාව මෙහෙමය.

"හැත්තෑව දශකයේ පිහිටවූ සභාග රජයට නායකත්වය දෙන ලද්දේ බණ්ඩාරනායක මැතිනියයි.   ඇය එම රජයේ අගමැතිනිය වූ අතර ආරක්ෂක අමාත්‍යාංශය පැවරුණේ ද ඇයටමය.   ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයෙකු වූ ආතර් රාජ්කුමාර් රත්නවේල් එම අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ අතර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරේ වූයේ රිජ්වේ තිලකරත්නය.   සහකාර ලේකම් වූ මා රිජ්වේට සහාය වීමි. 

රිජ්වේ තිලකරත්න රත්නපුර දිසාපතිවරයා ව සිටි කාලයේ සිට මම පෞද්ගලිකව දැන සිටියෙමි.   කා සමගත් සුහදව සිටි ඔහු සමග රාජකාරියෙහි යෙදීම ප්‍රියජනක විය.   හමුදා පත්වීම් සහ උසස්වීම් කෙළින්ම ඔහුගේ ආධිපත්‍යයට යටත් විය.   රිජ්වේට කෙළින්ම අගමැතිනිය සමග තම රාජකාරි කිරීමට අවස්ථාව ලැබුණු නමුත් නවක කණිෂ්ඨයින් වූ අපට නියෝග ලබාගැනීම සඳහා ලියලියවිලි ඔහුගේ මාර්ගයෙන් අගමැතිනිය වෙත යොමු කිරීමට සිදුවිය.

නීතිය අනුව අගමැතිනිය සියලුම හමුදාවල ප්‍රධාන අණදෙන නිලධාරිනිය වූවාය.    එබැවින් පත්වීම් උසස්වීම් වැනි පරිපාලනයේ හැම කටයුත්තකදීම අගමැතිනියගේ අනුමැතිය අවශ්‍ය විය.   හමුදාවල සුළු සුළු පත්කිරීම් කෙරෙහිද මේ නීතියම බලපෑ නමුත් ඒ කාර්යය ඉටුකිරීමේ බලය හමුදා ප්‍රධානීන් හට ලේකම්වරයාට සහ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට පවරා තිබිණි.

හමුදාවල උසස් නිලයන් සඳහා පුද්ගලයින් බඳවා ගැනීම සහ උසස් කිරීම සඳහා තෝරාගැනීම්වල අවසාන සම්මුඛ පරීක්ෂනය පවත්වන ලද්දේ අමාත්‍යාංශයේ ය.   මෙම හැම මණ්ඩලයකම පාහේ ප්‍රධානත්වය රිජ්වේට ලැබුණු අතර ඒ ඒ හමුදාවල ප්‍රධානීන්ද දෙවැන්නෝ මෙම මණ්ඩලවල සාමාජිකයෝ වුහ.   ආරක්ෂක අමාත්‍යංශ සහකාර ලේකම්ද එම මණ්ඩලයට ඇතුළු වීම නිසා සෑම මසකම දින හත අටක් මෙම තේරීම් මණ්ඩලයේ සේවය සඳහා යෙදීමට මට සිදුවිය.   රිජ්වේ සමග මෙම මණ්ඩලවල සේවය කිරීම ඉතා විනෝදජනක වූ අතර මණ්ඩලය ඉදිරියට එන අපේක්ෂකයන්ගෙන් ප්‍රශ්න ඇසීමේදී රිජ්වේ ඔහුටම ආවේනික වූ පිළිවෙලක් අනුගමනය කළේය.   

වරක් රිජ්වේ සහභාගිවූ මණ්ඩලයක් ගැන මට අද ඊයේ මෙන් සිහිවේ.   එම තේරීම් මණ්ඩලය රැස්වුයේ නාවික හමුදාවට උසස් නිලධාරීන් බඳවා ගැනීම සඳහාය.   නාවික හමුදාපති කපිතාන් වික්ටර් හන්ටර් ද මණ්ඩලයේ සාමාජිකයෙක් විය.   තුන් දෙනෙකු ගෙන් සැදුම්ලත් මෙම මණ්ඩලයේ තුන්වෙනි සාමාජිකයා මම වීමි.   තරුණ කඩවසම් වයස විස්සක පමණ පෙනුමැති තරුණයෙක් මණ්ඩලය ඉදිරියට පැමිණියේය.

'කරුණාකර වාඩිවෙන්න' යැයි මම කීමි.

'බොහොම ස්තුතියි' කී තරුණයා අපහසුවෙන් මෙන් පුටුවේ ඉදිරි කෙළවරට බරවන්නට වාඩිවුයේය.

'දියතලාවට දියතලාව කියන්නේ ඇයි'? රිජ්වේ පළමුවෙනි ප්‍රශ්ණය ඇසීය.

'තෙතමනය ඇති තලාවක් නිසා.ඒ කියන්නේ සීත සමතලා බිමක් නිසා එම ප්‍රදේශයට දියතලාව කියලා කියනවා'.

බලාපොරොත්තු නොවූ අන්දමේ ප්‍රශ්නයකින් කලබල වූ අපේක්ෂකයා තැතිගත් ස්වභාවයෙන් පිළිතුරු දුන්නේය.   පිළිතුර හරිද වැරදිද යන්න රිජ්වේ කීවේ නැත.   මෙය තේරුම් ගැනීමට අපහසු වික්ටර් හන්ටර් හා මා එකිනෙකාගේ මුහුණු බලා ගතිමු.   තවත් ප්‍රශ්න දෙක තුනක් ඇසීමෙන් පසු ඔහුගේ පරීක්ෂන කටයුතු අවසන් විය.   මින්පසු තරුණ අපේක්ෂකයන් කිහිප දෙනෙක් තේරීම් මණ්ඩලය ඉදිරියේ පෙනී සිටියහ.  ඒ හැම කෙනෙකුගෙන්ම රිජ්වේ 'දියතලාව' ප්‍රශ්ණය ඇසුවේය.  ඒ හැම කෙනෙක්ම මුල් උත්තරයට සමාන උත්තරයක් දුන්හ.   ඊළඟට පැමිණියේ බර්ගර් ජාතික තරුණයෙකි.   ඔහු කිසිම කුහුලක් නැතිව මණ්ඩලය ඉදිරියට පැමිණියේය.   කිසි බයක් සැකක් කුලෑටි ගතියක් නොදක්වා වාඩිවන්නට තිබු පුටුවේ හරි බරි ගැසී හොඳහැටි වාඩිවිය.

'ඔබට කියන්න පුළුවන්ද දියතලාවට දියතලාව කියන්නේ ඇයි කියලා' රිජ්වේ සුපුරුදු ප්‍රශ්ණය මතු කළේය.

'දියතලාවට දියතලාව කියන්නේ ඒකට බණ්ඩාරවෙල හෝ නුවරඑළිය කියන්නට බැරි නිසා'

කිසිම චකිතයක් නැතිව තරුණයා පිළිතුරු දුන්නේය.උත්තරය තේරුම් ගන්නට නොහැකිවූ නාවික හමුදාපතිටත් මටත් මෙය මහා ගැටළුවක් විය.

'එයා විතරයි හරි උත්තරය දුන්නේ' දඟකාර මඳහිනාවක් මුහුණට නගාගත් රිජ්වේ පිළිතුරේ වැරදි නිවැරදි බව පෙන්වා දුන්නේය.

'මොනවද උදේට කෑවෙ' එය රිජ්වේගේ දෙවැනි ප්‍රශ්ණය විය.

'තවම මොකුත් කෑවෙ නෑ සර්' ඔහු පිළිතුරු දුන්නේය.

'ඇයි'?

'මෙහාට එන්න වෙලා ගත වුනා.  පරක්කු වෙන නිසා කෑමගැන නොසලකා මෙතෙනට වෙලාවට ආවා'

'ඇයි'?

'කෑමට වඩා මේ වැඩේ මට ලොකු නිසා'

කෑම නැතිව ඒමට හේතු තරුණයා ඉතා කෙටියෙන් කිසිම පැකිළීමක් නැතිව පහදා දුන්නේය.   තරුණයා ගැන රිජ්වේ හොඳටම පැහැදී ඇති බව ලකුණු එකතු කිරීමේදී අපට පැහැදිලි විය.   බර්ගර් ජාතික තරුණයා එම සම්මුඛ පරීක්ෂණයෙන් තේරුණා පමණක් නොව ඔහු ඒ කණ්ඩායමේ පළමුවැනි තැනද ලබා සිටියේය.

වැඩි වැඩක් නැතිව විවේකීව සිටින විට අහිංසක එහෙත් දඟකාර විහිළුවක් කර විනෝදවීමට රිජ්වේ පුරුදුව සිටියේය.   මේ අවදියේ රජය චීනයෙන් කුඩා ප්‍රහාරක යාත්‍රා හත අටක් ගෙන්වාගත්තේය.    මුලින්ම ලැබුණු යාත්‍රා හතර නම් කිරීමේදී ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී යන අකුරු මුල් කරගෙන නම් තබන ලදී.   පළමු වැන්නට 'සුරයා' යැයි නම් තබන ලද අතර ඉතිරි තුනට පිළිවෙලින් 'වීරයා' 'රණකාමී' 'දක්ෂයා' යනුවෙන් නම් තැබුහ.

එක් දිනෙක සවස් වරුවේ රිජ්වේ මා සමග ඔහුගේ කාමරයේ රාජකාරි කටයුත්තක යෙදී සිටින අතර කිසිවෙක් කාමරයේ දොරට තට්ටු කළේය.   දොර විවෘත කරගෙන කාමරයට ඇතුළුවුයේ නාවික හමුදාපති වික්ටර් හන්ටර්ය.   රිජ්වේගේ මුහුණේ දඟකාරී සිනා රැල්ලක් විය.   ඔහු මොකක් හෝ විහිළුවක් කරන්නට යන බව මට දැනිණි.

'ඕ හොඳයි හොඳයි වික්ටර් හම්බුන එක,මට ඕනෑ කරලා තිබුණා වික්ටර් නිස්කලංකව හම්බ වෙන්නට'

රිජ්වේ කතාවට මුල පිරුවේය.

'ඇයි ඒ මොකද'? හමුවීමට උනන්දු වුයේ ඇයිදැයි දැනගැනීමට වික්ටර්ට අවශ්‍ය විය.

'නෑ මට ආරංචියක් ලැබුණා වික්ටර්ට නම්බු නාමයක් ලැබෙන්න යනවා කියලා'

'මට? ඒ මොනවද සර් මට ලැබෙන නම්බුනාමෙ?'

'වික්ටර් ඒක දැනගන්න එපායැ'

'විශ්වාස කරන්න සර් මං නං මේ ගැන මොකවත් දන්නෙ නෑ'

'වික්ටර් ළඟදීම විශ්‍රාම යනවා නේද? ඉතිං අපට ලැබිල තියෙන අලුත්ම ගන්බෝට් එකට වික්ටර්ගේ නම තියන්නට යෝජනාවක් ඉදිරිපත්වෙලා තියනවා.

'මගේ නම තියන්න? ඇයි දෙයියනේ කවුද යෝජනා කළේ?'

සතුටින් ඉපිලීගිය නාවික හමුදාපතිට තව තොරතුරු දැනගන්නට අවශ්‍ය විය.

'කවුද ඉතිං රටේ නායිකාව මිසක්. වෙන කාටද ඔය වැඩේ කරන්න පුළුවන්'

'අනේ සර් මොකක්ද මැඩම් කීවේ?'

'එයා කීවා විශ්‍රාම යන නාවික හමුදාපතිට ගරු කිරීමක් වශයෙන් ලැබිල තියෙන ගන්බෝට් එක වික්ටර් වෙනුවෙන් නම් කරන්න ඕනෑ කියල'

'ඉතිං'

'ඉතිං? ඉතිරි හරිය මැතිනියට කතා කරලා දැනගන්න'

එදා ඒ කතාව එතැනින් හමාර වුවත් වික්ටර් හන්ටර්ට ඒ කතාව තවදුරටත් ගෙන යාමට අවශ්‍ය විය.  ඔහු ඊට පසු අවස්ථාවක් සොයා මැතිනිය හමුවිය.   මෙම හමුවීමෙන් පසු වික්ටර් හන්ටර් නැවත රිජ්වේ හමුවීමට අමාත්‍යංශ කාර්යාලයට ගොඩ වැදුණේය.

'මොකක්ද මැතිනිය කිව්වේ?' හන්ටර් දුටු ගමන්ම රිජ්වේ විමසුවේය.

'මැඩම් හිනාවෙලා කීවා රිජ්වේට කියන්න ඉතිරි හරිය එයා කරයි කියලා'

'හරි හරි අලුත් ගන්බෝට් එකට දාන නමත් සුරයා වීරයා වගේ තාලෙට කියවෙන්න ඕනෑ'

'සර් හොඳ සිංහල කාරයෙක් නොවැ,යෝජනා කරන්න මම මැඩම්ට කියන්නම්'

'වික්ටර්ගේ නමේ අර්ථය ඒ නමේ තියෙන්න ඕනෑ'

'හරි හරි සර් කියන්නකෝ,' වික්ටර්ට ඉවසිල්ලක් නැත.

'හන්ටර් කියන්නේ දඩයක්කාරයා.  ඒ කියන්නෙ සත්තුන්ගෙ මාරයා.  අපි 'මාරයා' කියල යෝජනා කරමු.  මට ඔයිට වඩා හොඳ නමක් ගැන හිතන්න බෑ.'

'හරි හරි' යැයි කී සතුටින්  ඉපිල ගිය හන්ටර් කඩදාසි කැබැල්ලක් සාක්කුවෙන් එළියට ගෙන යෝජනා කරන ලද නම ලියා ගත්තේය.

සති ගණනක් ගතවිය.  ඒ අතර වික්ටර් හන්ටර් අගමැතිනිය හමුවීමට ගොස් රිජ්වේ යෝජනා කළ නම ඉදිරිපත් කර ඇත.

'හරි අපි මේක සලකා බලමුකො' රිජ්වේගේ ලණුව කා ඇති බව තේරුම් ගත් මැතිනිය හන්ටර්ට කීවා යැයි හන්ටර් විසින් කීප දෙනෙකුටම පවසා ඇත.

වික්ටර් හන්ටර් බලාපොරොත්තු වූ පරිදි අලුතින් ලැබුණු චීන ප්‍රහාරක යාත්‍රාවට 'මාරයා' යන නම නොයෙදෙන විට එය රිජ්වේගේ තවත් විහිළුවක් බව හන්ටර්ට අවබෝධ වන්නට ඇත.  ඊට මාස කීපයකට පසු නාවික හමුදාපති තනතුරෙන් විශ්‍රාම ලැබූ හන්ටර් ඕස්ට්‍රේලියාවේ වාසය සඳහා ගිය බවත් එහිදී මියගිය බවත් දැන ගන්නට ලැබිණි".

උක්ත පරිච්ඡේදය මා උපුටා දැක්වුයේ ප්‍රේමතිලක මාපිටිගම විසින් ලියන ලද ඔහුගේ ස්වයං ලිඛිත චරිතාපදානය වූ 'ඒක දිග ගමනක්' නම්  කෘතියෙනි.    ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක් ලෙස කාලයක් රාජ්‍ය සේවයේ යෙදී සිටි ඔහු විශ්‍රාම ගැනීමෙන් පසු විශ්‍රාමික ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ ලේකම් ලෙස ජයවර්ධන මහතා මියයන තුරු සේවය කළේය.   ඔහු විසින් සිය චරිතාපදානය පල කරන ලද්දේ ජේ ආර් ජයවර්ධන මහතාගේ අභාවයෙන් පසුවය.   මගේ මතකය අනුව ප්‍රේමතිලක මාපිටිගම මහතාද පසුගිය වසරේ මෙලොව හැර ගියේය෴

58 comments:

  1. අඹයාලුවෝ ටෙලිනාට්‍යයේ සුනිල් ඉගෙනුම ලබන නුවර පාසලේ විදුහල්පතිවරයා ලෙස රඟපාන්නේද ප්‍රේමතිලක මාපිටිගම මහතායි

    ReplyDelete
    Replies
    1. ඒ කතාව මම දැනගත්තේ ඔබෙනුයි.බොහොම ස්තුතියි.

      Delete
  2. ඔය වගේ ලණු දෙන උන් තාමත් ඉන්නවා....

    ReplyDelete
  3. අපේ කලණසිරිත් නාවික හමුදාවෙ වැඩකරුවෙක් නිසා එයාගෙ නමින් නැවක් නම් කලාලු ( මේකත් ඕං මම කියන කතාවක් නෙමේ ) කොළඹ වරායෙ ඉදන් ගාල්ලට මාස දෙකක් තිස්සෙ හිමීට යන පරණ නැවකට "කල්‍යානෙ" කියල දැම්මලු.

    ReplyDelete
    Replies
    1. කලණේ ගිලුනේ?

      Delete
    2. 'කලන්තේ' නෙමෙයිද?

      Delete
    3. තාම ගාල්ලට යනවලුද?

      Delete
  4. තැන්කු කතාව ලියුවට.. :) රිජ්වේ තිලකරත්න අද හිටියනම් ලස්සන බ්ලොග් එකක් ලියව ගන්න තිබුනා.

    //ඉතිරි තුනට වීරයා, රණකාමී, දක්ෂයා// මේක R අකුරෙන් රක්ෂක වෙන්න ඕනි.. රණසුරු, රණරිසි හා රණකාමි බෝට්ටු තුන පසුව ගෙනාවේ.. ප්‍රේ.මා. මහතාගේ පොත හොයාගෙන කියවන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. මේක හැත්තෑ ගණන් වල මැතිනිගේ ආණ්ඩු කාලෙ වෙච්ච දෙයක් ඔය බෝට්ටු හතරට නම් දානවා පත්තරේ තිබුණ මට මතකයි බං.

      Delete
  5. වෙනත් පොතක උනාට මේ කොටස එකතු කරපු එක අපූරුයි.. රසවත්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මාණි.

      Delete
  6. http://www.philadelphiaphilpot.com/restoring-a-1970s-admirals-naval-hat/

    මේ තියෙන්නෙ වික්ටර් හන්ටර් ගෙ කැප් එකට අන්තිමට වෙච්ච දේ....

    ReplyDelete
    Replies
    1. ගෙනත් දැම්මට ස්තුතියි ඇනෝ.

      Delete
  7. නියම ඩයල් එකක් ! :D

    ReplyDelete
  8. තිලකරත්න නම තියෙන උන් ලණු කාපර්ලා වගේ! :D

    ReplyDelete
  9. අපි සලකනව මදිද මන්දා

    ReplyDelete
    Replies
    1. අපෝ ඇති ඇති හොඳටම ඇති.

      Delete
  10. අම්මපා හැලප(අ)යියේ........

    මේ විදිහට මාතෘකා එන්නේ කොහෙන්දෑ බොල........

    ReplyDelete
    Replies
    1. ලිව්වා බං බලං ගියාම ගැලපුනා.

      Delete
  11. රිජ්වේ මහත්තය හොඳ ගීත රචකයෙක් නේද? ඔබ හා මෙමා අතිනත් අරන් ගීතය ඔහුගේ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ඔව් රවී,ඒ ගීතය ඔහු ලිව්වේ ගැහැණු නමකින් ඒ නම මට දැන් මතක නෑ.

      Delete
    2. විමලා කාන්ති පීරිස් කියලා තමයි සින්දු ලිව්වේ. ගුවන් විදුලියේ ලොක්කා වෙලා ඉන්න ගමන් එයා ලියපු සින්දු ගුවන්විදුලියේම දාන එක සදාචාරාත්මක නැහැ කියලා හිතුවාලු.

      Delete
  12. හැලපෙ......ප්‍රේමතිලක මාපිටිගම මහත්මයා නේද කාලයක් ජයවර්ධන කේන්ද්‍රයේ ලොක්කා වෙලා හිටියේත්. සුනන්ද මහේන්ද්‍රයන් එක්ක හොඳ මිත්‍රත්වයක් තිබුනා කියලා අහලා තියෙනවා. පොතක් පතක්වත් ලියාගන්න පුලුවන් පරිපාලන නිලධාරින් බිහිවෙයිද කියලා හිතෙනවා. රිජ්වේ ලොක්කා ගැන නම් ඔය වගේ කතා අහලා තියෙනවා එයා ලඟ හිටිය අයගෙන්.

    ඔය නේවි කමාන්ඩර්ට මොකක් හරි නෑකමක් තියෙන බර්ගර් කොල්ලෙක් මාත් එක්ක වැඩ කරා හන්ටර් කියලා. ඌට ඉස්සර කොයිවෙලාවෙත් සල්ලි නැහැ. අපි කිව්වේ ෆුල් හන්ටර් කියලා. මට කියනවා Yes machan I am full hunter, but my mummy's uncle's uncle was a Rear Admiral in navy කියලා.දැන් තමයි දන්නේ පොර කිව්වේ ඇත්ත කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව් අරුණ ඔහු පසුව ජයවර්ධන කේන්ද්‍රයේ ප්‍රධානියා වුනා.මේ පොත ලිව්වෙත් ඒ කාලෙ මම හිතන්නෙ.

      Delete
  13. හැලපයිය්යේ කොමද ඉතින්

    ReplyDelete
    Replies
    1. අප්පට හුඩු කොහෙද බං ගිහිං හිටියෙ.කාම පැයවත් ගතකෙරුවද.

      Delete
  14. ලණුව කාපු දුකට මලාද දන්නෙ නෑ හන්ටර් !

    ජය !

    ReplyDelete
  15. හප්පේ.. ඔයකාරෙට අන්දනවද මම අහන්නෙ... හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
  16. http://www.divaina.com/2009/09/05/feature01.html

    මුල් කාලයේ දී නාවික හමුදාව සතුව පැවැති ප්‍රහාරක බෝට්‌ටු නම් කිරීමේදී හිටපු අගමැතිවරයකු වන එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතාගේ නමෙහි මුල් අකුරුවලට අනුව නම් තබා ඇත.

    ඒ අනුව S.W.R.D.B. යන අකුරු යොදාගෙන "සූරයා, වීරයා, රණකාමි, දක්‌ෂයා, බලවතා යනුවෙන් ප්‍රහාරක යාත්‍රාවලට නම් තබා තිබේ.

    පසු කලෙක තවත් කීපයක "ජය සාගර", "සාගරවර්ධන", "ජගතා" යනුවෙන් නම් කර ඇත. ඒ ඡේ. ආර්. ජයවර්ධන මහතා ජනාධිපතිව සිටියදීය. ජයවර්ධන යන දෙකට බෙදා "ජය සාගර" සහ "සාගරවර්ධන" යනුවෙන් නම් තබා ඇත.

    ඉන් අනතුරුව රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමයේදී "රණ" යන නම මුල් කරගෙන "රණවිරු", "රණධීර", "රණවික්‍රම", "රණරිසි", "රණජය", "රණවිජය", "රණගජ" යනුවෙන් නාවික හමුදා යාත්‍රා නම්කර ඇත.

    ඩී. බී. විෙ-තුංග, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සහ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිවරුන්ගේ නම්වලට අනුව නාවික හමුදා යාත්‍රාවලට නම් තැබීමක්‌ සිදුකර නැති බවද නාවික හමුදාව පවසයි.

    ඔවුන්ගේ පාලන සමයන්හිදී අධිකාරියට පත්කළ නාවික යාත්‍රාවලට "සුරනිමල", "නන්දිමිත්‍ර", "සයුර", "සමුදුර", "සාගර", "සයුරළ" වැනි උචිත පොදු නාමයන් යෙදුවා විනා තම නමෙහි අකුරු හෝ කොටස්‌ යෙදෙන පරිදි ඒවාට නම් තබන ලෙස ඉල්ලීම් බලපෑම් හෝ නියෝග ලැබී නැති බව පෙනීයයි.

    ReplyDelete
    Replies
    1. There are two landing crafts (LCM) built in Colombo dockyard during Premadasa time, proposed to be named 'Rana'gaja and Gaja'sigha'.. But Mr. Premadasa was killed before two crafts were commissioned and two were named Ranagaja and Rana'wijaya' during Wijayatunge period. But there was no involvement from then President at all. :)

      Delete
    2. අඩේ ගම්මංපිල පිස්සු හුටං එහෙම ජනාදිපති උනොත් මල කෙලියයි බෝට්ටු නම් කරන්ට වෙන්නෙ ගම්මං ගජ සහ ගජ පිල කියල.

      Delete
    3. //අඩේ ගම්මංපිල පිස්සු හුටං එහෙම ජනාදිපති උනොත් මල කෙලියයි බෝට්ටු නම් කරන්ට වෙන්නෙ ගම්මං ගජ සහ ගජ පිල කියල.//
      හිනස්සල මරන්නද යකෝ හදන්නෙ?

      Delete
    4. නොවෙන නිසා හොඳයි.දැන් බැලුවාම මෛත්‍රීගේ නමත් දාන්න බැහැනේ ගන් බොට් වලට.ඇයි යකඩෝ "මෛත්‍රී" කියලා නම දාලා හතුරන්ට වෙඩි තියන්න පුළුවනැ...

      Delete
    5. ස්තුතියි රසික.

      Delete
    6. දැනුත් නම් දැමීමේදී එහෙම වෙනවද දන්නෙ නෑ කල්‍යාණ.

      Delete
  17. මරු පොරක්නේ ...

    ReplyDelete
  18. ෆෝන් එකෙන් බැලුවා, කමෙන්ට් කරන්ඩ බැරි උනා,ඒ දවස්වල පරිපාලනයේත් පට්ට පොරවල් ඉදලා ...

    ReplyDelete
  19. මාරයා ..මාර නම නැවකට...

    ReplyDelete
  20. Halapa when you intewe burger man all you ask qestions english I think. Write here how you ask qestions english that burger man. That time no hard I think becase no war. However halapa what you have post in army?

    ReplyDelete
  21. ඒකලෙත් එහෙනං ලණු කාරයො ඉඳල තියෙනව ඉහලම තැං වල. හැක්..

    ReplyDelete
    Replies
    1. නිකං නෙවෙයි නොම්බර එකේ ලණු කාරයො.

      Delete
  22. ලණු දීම,ලණු කෑම අපේ ජාතික අනන්‍යතාවක් වගේ නේ හැලපයියේ.

    ReplyDelete
  23. මාර කතාව. මල් හතයි.. බහුශ්‍රුත මිනිස්සු උනාම ඔහොම තමා... "කතා සාගර වර්ධන" කියලත් නැවක් තියනවලු හැලප අයියගෙ නමින්..

    ReplyDelete
  24. ඔය ප්‍රේමතිලක මාපිටිගම ගල්කිස්ස රත්මලාන පැත්තේද හිටියේ? අමාත්යංශයක ලේකම් වෙලා හිටියද? නියම කතාව.

    ReplyDelete

ඔබේ අදහස්