අපේ ගමේ වෙසක් එකට දෙන දන්සැල් ගැන මම කලිනුත් කීප වතාවක් ලියා ඇත. දන්සැල් පුරාණය , දන්සැල් පුරාණය 2 සහ දන්සැල් පුරාණය 3 ඒ කතා කියනවිට මට මතක් උනේ මා නොකියූ දන්සැල් කතාවක්ද ඇති බවය. අපි කොල්ලන් කල අපේ ගමේ හෝ අහළ පහළ ගමක කිසිම දන්සැලක් තිබුණේ නැත. දන්සැල් වෙනුවට වෙසක් එකට තිබුණේ වික්කරේ දීපු බලු කපුටු දානය පමණය ඒ දානයට කලින් දවසේ වික්කරේ ගෝනියකුත් අරගෙන ගමේ ගෙවල් ගානේ සම්මාදමේ යන්නේ දානයට බඩු මුට්ටු එකතු කරන්නටය. ඔහු එකතු කරන්නේ හාල් සහ පොලුත් කරෝලත් විශේෂයෙන් මුදලුත්ය. හාල් පොල් හෝ කරෝල දෙන්නට නැති අය මුදල් දී සම්මාදම් වෙති. කොහොම වුනත් දන්සැලට ඇතිවෙන්නට හාල් පොල් සහ කරෝල ගමෙන්ම එකතු කරගන්නා වික්කරේ එකතුවෙන සල්ලි ටික සාක්කුවේ දාගන්නේ අරක්කු බොන්නටය. වෙසක් දවසේ උදෙන්ම ජයා කොල්ලත් අඬගහගෙන බත් ද කරෝලද උයා කලවම් කරගෙන විල්බැරෝ එකක දමාගන්නා වික්කරේ ගමපුරාම ඇවිදිමින් බල්ලන්ට දානය බෙදයි බලුකපුටු දානය වරුවෙන් ඉවරකරන වික්කරේ හොඳටම කසිප්පු බීගෙන දවසේ ඉතිරි හරිය ගතකරයි.
ඒ කාලයේ දන්සැල් කෑවේ කන්න නැති මිනිසුන්ය කියා මතයක් සමාජයේ තිබුණු නිසා ඉඳහිට තැනක තිබුණු දන්සැලකටවත් ගොඩවෙන්නට මිනිස්සු අදිමදි කළෝය. වෙසක් දවසට චුට්ටෙගේ හයරින් කාර් එක කතා කරගන්නා තාත්තා අපිව ගොඩකරවාගෙන වෙසක් බලන්නට රවුමක් එක්කගෙන යයි. ඔය යද්දී දන්සැල් කීපයක් හමුවුනත් ඒ තැන්වල නවත්වන්නට තාත්තා ඉඩදෙන්නේ නැත. නවත්තල කාල යමු කියා අපි කොච්චර කිව්වත් 'නවත්තන්නෙ නැතුව යමං චුට්ටේ' කියා කියන තාත්තා කොහෙහරි හෝටලයකින් අපට රෑට කෑම අරගෙන දෙයි. ඒ කාලයේ සමාජයේ දන්සැල් ගැන තිබුණු ආකල්පය ඔන්න ඔහොමය. දැන්නම් මේ ආකල්පය එහෙම පිටින්ම අනික් පැත්ත පෙරළී ඇතිබව අපි කවුරුත් පිළිගන්නා කාරණයකි. අපේ ගමේ දන්සැලක් තියෙන දාට ගමේ කිසිම ගෙදරක රෑට උයන්නේ නැත. ප්‍රාඩෝ මොන්ටෙරෝ වැනි පොෂ් වාහන පාර අයිනේ නවත්වා ඒවායින් එන උදවිය දන්සැල් පෝලිමේ සිටිති.
ඉතිං වික්කරේ හැම අවුරුද්දෙම බලුකපුටු දානය පවත්වාගෙන යමින් සිටින අතර ගහකින් වැටී මියගියේය. ඊට පස්සෙ අවුරුද්දේ වික්කරේගේ බලුකපුටු දානය දෙන්නට කෙනෙක් නැති නිසා අපි කීප දෙනෙක් එකතුවී බලු කපුටු දානය ලෑස්ති කර බල්ලන්ට කපුටන්ට දුන්නෙමු. එදා ඒ දානය ඉවර උනායින් පසු අපට කන්නටත් එතනම බත් ටිකක් උයාගෙන කන අතරේ දන්සැල් ගැන කතාවක් ඇතිවිය. ඒ කතාව දිගදුර ගොස් නතරවුණේ ඊට පස්සෙ අවුරුද්දේ පොසොන් පෝයට අනුරාධපුරේ ථුපාරාමය ඉදිරිපිට සිසිල් පැන් දන්සැලක් පැවැත්වීමෙනි. ඉන්පසු දිගටම පවත්වාගෙන ගිය ඒ දන්සැල අවුරුදු හතළිස් ගණනකට පසු අදටත් කරගෙන යන්නේ ඒ කාලයේ ඉපදිලා හිටියෙවත් නැති කොල්ලන්ය.
ගමේ අය අනුරාධපුරේ දන්සැල් දුන්නත් ඊටත් සෑහෙන කාලයක් යනතුරු අපේ ගමේ දන්සැලක් ඇතිවුනේ නැත. දන්සැල් ඇතිවුන ආකාරය මම ඔය උඩින් දක්වා තියෙන පෝස්ට් වල ලියා ඇති බැවින් ආයෙම ලිව්වොත් රසික ඒ පෝස්ට් සියල්ලම ගෙනත් මෙතන අතඅරිනවා නොඅනුමානය. අද මට මතක් වුනේ මගේද යම් සම්බන්ධතාවක් ඇති තව දන්සැලක් ගැනයි එය නම් මීට කලින් ලියා නැති දන්සැලකි.
විස්තරේ මෙහෙමය. යුද හමුදා භටයෙකු වූ ආරිලෑ පොඩි මල්ලි යුද්දෙන් මියගියේය එය යුද්ධය තදටම ඇවිලුණු පෙදෙසක් වූ බැවින් මැරිච්ච මල්ලිගේ මිනිය ගන්නට ලැබුනෙත් දවස් දෙකකට විතර පස්සේය ගෙදරට ආවේ සීල් තියපු පෙට්ටියකි. අපි නයිට් ගසා මරණෙට බැහැගෙන වැඩ කළෙමු යුද හමුදා ගෞරවාචාර සහිතව දේහය භූමදානය කෙරුණි. ඊට මාසෙකට විතර පසු ආරිලගෙ ගෙදරට යුද හමුදාවෙන් ලිපියක් ලැබුණි එහි සඳහන් වුනේ මියගිය යුද භටයාට හමුදාවෙන් ලැබෙන දීමනා සහ වැටුප ලබාගන්නට ආරිලගෙ අම්මාට ඉදිරිපත් වෙන්නට කියලාය. පුරවා ඉදිරිපත්කළ යුතු පෝර්ම සමග තවත් සහතික ඉදිරිපත් කළ යුතුවිය පරණ මිනිස්සු වූ ආරිලෑ අම්මලා ළඟ ඒ ඉල්ලන සහතික නොතිබුණු අතර ගන්නා ක්‍රමයක්ද ඔවුන් දැන සිටියේ නැත.
ආරිලගෙ අම්මා ඒ ගේ ඉස්සරහින් උදේ හවස කොළඹට වැඩට යන මහත්තුරුන්ට කියා ඒ අයගේ උපකාර ඉල්ලුවත් වැඩේ කෙරුනේ නැත. ආරි ඒ දවස්වල වැඩකළේ මහකොළඹ ආර්ථික කොමිසමේය වැඩේ හරිනොයන විට ආරි කොළඹ ගියේ වැඩේ කරගෙන එන්නටය. උදේම කෝච්චියට නැග කොළඹ රෙජිස්ට්‍රාර් ජනරාල් කන්තෝරුවට ගිය ආරි වැඩේ කරගන්නට කොහෙට යන්නද කියා වටපිට බල බලා ඉඳිනු කන්තෝරුවේ ගැවසෙන තැරැව්කාරයෙක් හෙවත් කාක්කෙක්ගේ ඇස ගැටුණි. ඔය කාක්කන්ට කන්තෝරුවලට නුපුරුදු අයව මේ හැරෙනකොට හොයාගන්නට පුළුවන්ය කාක්කා වහා පැමිණ ආරිගෙන් විස්තර අහන්නට ගත්තේය.
ඇයි මල්ලි කාවද බැලුවේ මොනා කරගන්නද?
කාක්කන් ගැන නොදන්නා ආරිට කාක්කාගේ පැමිණීම දේවදුතයෙක්ගේ පැමිණීම හා සමාන විය. ආරි විස්තරය මුල ඉඳන්ම කියන්නට පටන්ගත්තේය.
මෙහෙම බෑ මල්ලි අපි නිවී සැනසිල්ලෙ කතාව අහමු...
කියූ කාක්කා ආරිද කැටුව ළඟ තිබුණු හෝටලයකට ගොඩවී තේ දෙකක්ද ගෙන්වාගෙන ආරිගේ කතාව අහන්නට සුදානම් විය. දැන් ආරි මුල ඉඳන්ම කතාව කියයි මල්ලී වෙඩි වැදී මියගිය තැනට එනවිට කාක්කා කඳුළු පෙරමින් ඉකි ගසමින් හඬන්නට වුවේය. ආරිට දැන් පුදුමය ආරි කටත් ඇරගෙන බලා ඉඳීද්දී මල්ලිව කවදාවත් දැක නැති මේ මිනිහා හොටු පෙරාගෙන අඬයි මොන තරම් කරුණාවන්ත මනුස්සයෙක්ද? ආරිගේ කතාව අවසානයේ කාක්කා කඳුළු පිසිමින් කතාකරන්නට විය.
මගෙ පපුව ඇවිලුනා මල්ලි හරියට මගෙ මල්ලිව නැතිවුනා වගේ ඉහි ඉහි...
කාක්කා නැවතත් හඬන්නට විය. බොහෝ වෙලාවක් හඬා අවසන්වූ කාක්කා ඉන්පසුව කාරණාවට බැස්සේය.
මල්ලි මේ ඔෆිස්වල රස්තියාදු වෙන්න ඕනෑ නෑ දැන් මල්ලි ගෙදර යන්න මම වැඩේ කරල දෙන්නං මට සතපහක්වත් එපා ඇත්තමයි මට එච්චරට දුකයි හරියට මගෙ මල්ලිව නැතිවුනා වගේ...
වැඩේ කරන මහත්තුරුන්ට දෙන්නට සෑහෙන මුදලක් ආරිගෙන් අයකරගත් කාක්කා ආයෙ එන්නට අවශ්‍ය නැති බවත් සතියකින් අදාළ සහතික ටික ගෙදරට තැපෑලෙන් ලැබෙන්නට සලස්වන බවත් ආරිට කීවේය. වැඩේ ටක්කෙටම හරිගිය නිසා ආරි ගෙදර ආවේ සතුටිනි. සතිය සති දෙක තුන විය ආපු සහතිකයක් නැත. මේ කතාවෙන් ටිකක් මට දවසක් ආරි කිව්වත් සම්පූර්ණ විස්තරය මට කිව්වේ ආරිලගෙ ගෙදරට එහා ගෙදර හිටපු ධර්මේය. බලාගෙන හිටියට වැඩේ හරිනොයන බව තේරුම්ගත් ආරිලගෙ අම්මා දවසක් උදේ මම ඒ ගේ ඉස්සරහින් වැඩට යද්දී මගෙත් එක්ක විස්තරය කියා උදව් ඉල්ලුවාය. ඒ කන්තෝරුවේ මගෙ යාළුවන් කීප දෙනෙක්ම හිටපු නිසා එච්චර කරදරයක් නැතුවම මට වැඩේ කරදෙන්නට හැකිවිය. ඊට පස්සෙ මාසයේ ආරිලගෙ අම්මගේ වන්දියත් ඊට පසු හැම මාසෙම වැටුපත් ලැබෙන්නට පටන් ගත්තේය. ආරිලගෙ අම්මත් ඒ ගෙදර කට්ටියත් ගම හැම තැනම කිය කියා ඇවිද ඇත්තේ කිසි කෙනකුට කරන්න බැරිවුන වැඩේ කරදුන් මා විශ්වකර්මයෙක් බවත් මට කරන්නට බැරි වැඩක් නැති බවත් මට යමක් කරන්නට බැරිවුණොත් ඒක සක්කරයාටවත් කරන්නට බැරි බවත්ය.
ආරිලගෙ අම්මා පාන් සහ සීනි සම්බෝල දන්සැල පටන්ගත්තේ ඒ ලැබුණු මුදලෙන් මියගිය දරුවාට පිං පිණිසය. ඊට පසුව හැම අවුරුද්දකම මාර්තු සහ අප්‍රේල් මාසවල ලැබෙන වැටුප එකතුකරන ආරිලගෙ අම්මා ඒ මුදලින් වෙසක් දන්සැල නොකඩවා හැම අවුරුද්දකම පවත්වාගෙන ගියාය. ආරිලගෙ අම්මගේ ගෙවල් තියෙන්නේ අපේ ඉස්කෝලෙ ගේට්ටුව ළඟ තුන්මං හංදියේ නිසා දන්සැලට සෙනග අඩුවක් නොවීය.
එක අවුරුද්දක මම හැලපිත් එක්ක වෙසක් බලා ආරිලගෙ ගෙවල් පැත්තෙන් ආපහු එමින් සිටියෙමි ඒ හැලපැට්ටා වඩාගෙන යන කාලයේය. ආරිලගෙ අම්මලෑ ගෙවල් ළඟ ඊස් මීස් නැතුව සෙනග පොදිකති පාරෙ යන්නත් බැරිය බැලුවම සීනි සම්බෝල පාන් දන්සැල නැගලාම යන වෙලාවය. පාන් කන්නට ඉන්න අයගේ පෝලිම කන්ද උඩටම දිගය උණු පානුත් සීනි සම්බෝලවලත් සුවඳට එතැනින් යන්න හිතෙන්නේ නැත. දරුවා වඩාගෙන පෝලිමේ ඉන්නත් බැරිය සීනි සම්බෝල පාන් අමතක කර ගෙදර යමු කියා මම කිව්වත් හැලපිට පාන් කන්නම ඕනෑ විය. 'ඔයා දරුවත් වඩාගෙන පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්න' කියූ මම ගිහිං පෝලිමේ අගින් හිටගත්තෙමි. දැන් පෝලිම ගාටමින් ඉස්සරහට ඇදෙයි පාන් බෙදන මඩුව හෙවත් මහා සීනි සම්බෝල පාන් දන්සැල ලඟට යනවිට කොහොමත් තව පැය බාගයක් තුන්කාලක්වත් යයි කියා මට හිතෙයි එහෙම ගියත් ලැබෙන්නේ එක සීනි සම්බෝල පාන් කෑල්ලකි අඳුනන කෙනෙක්වත් හිටියොත් තව කෑල්ලක් ඉල්ලාගන්න පුළුවන් වෙයිදැයි සිතමින් කරුවලේ පෝලිමේ හිටගෙන හිටියෙමි. ටිකකින් කාන්තාවක් ඇවිත් ඉනටත් අත්දෙක තියාගෙන මගෙ දිහා බලා ඉන්නට විය බැලුවම ඒ ආරිලගෙ අම්මාය.
යමු...ආරිලගෙ අම්මා මට කතාකලාය මම කතා නොකර ඇගේ පස්සෙන් ගියෙමි. ඇය යනගමන් මට දොස් කිව්වේ පෝලිමේ හිටපු එකටය. අපි හැදුවේ ඉක්මනට පාන් කෑල්ලක් අරගෙන ගෙදර යන්නටය කියා ඇගේ හිත හදන්නට කිව්වෙමි. 'පෝලිමේ හිටිය මදිවට අර දරුවත් වඩාගෙන නෝනව පාරෙ තිබ්බෙ ගෙට ආවනං මොකද' කියා ඇය ඇසුවාය. ආරිලගෙ අම්මා එක එක වැඩවලට ගෙටත් එළියටත් දුවද්දී ළමයා වඩාගෙන පාරෙ හිටගෙන ඉන්න හැලපිව දැක ඇත. ඒ දෙන්නාව ගෙට එක්කගෙන ගිහිං වාඩිකරවා මම කොහෙදැයි අහද්දී මම පෝලිමේ ඉන්න බව දැනගෙන මාව හොයන්නට ඇවිත් ඇත. ඊට පසු ඇය අපට ඇතිවෙන්නට පාන් කන්නට දී ගෙදර ගෙනියන්නටත් සීනි සම්බෝල පාන් කවරෙකට දමා දුන්නාය. ඒ වෙනකොටත් කපන්නට තව පාන් කන්දක් ගේ ඇතුලෙ තියෙනවා මම දැක්කෙමි. රෑකට කොච්චර විතර පාන් දෙනවාදැයි මම නිලමේගෙන් ඇහුව විට ඌ කිව්වේ සාමාන්‍යයෙන් පාන් රාත්තල් හත් අටසීයක් රෑකට කපන බවය. මට කලින් කියන්නට අමතක වෙච්ච කාරණයක් වුනේ නිළමේ ආරිගේ අයියා බවත් මැරුනේ නිලමේගේත් මල්ලි බවත්ය. ඊට පස්සෙන් පහු අවුරුදු වල නම් අපි හෝටලයකට යන්නා වගේ කෙළින්ම ගේ ඇතුළට ගිහිං පාන් සප්පායම් වුනෙමු. දැන් ටික කාලෙක සිට ඒ දන්සැල නැවතී ඇති බවක් පෙනෙන්නට ඇත. සමහර විට පාන් ගණන් යාම හේතුව වැන්නට ඇත. රෑකට පාන්ගෙඩි හත් අටසීයක් කපන්නට අදනම් මොන තරම් මුදල් කන්දරාවක් වියදම් වෙයිද? හොඳට කරගෙන ගිය සීනි සම්බෝල පාන් දන්සැල ඇණහිට ඇත්තේ අරමුදල් හිඟකම නිසාබව නිකං වගේ හිතන්නට හැකිය෴