අපි කුඩා අවදියේ අවුරුදු උත්සව හෝ බක්මහ උළෙලවල් අපේ ගමේ තිබුණේ නැත. අවුරුදු ක්‍රීඩා වශයෙන් සිදුකෙරුණේ සැන්ටින් මුදලාලිගේ කඩේ මිදුලේ කෙරෙන කැටගැසීමත් කඩේ පිටිපස්සේ වෙදමහත්තයගේ කෑල්ලේ කෙරුණු බූරු ගැසීමත් ඒ සෙල්ලම් වලින් පසු ගහ මරා ගැනීමත්ය. පසුකාලීනව කැටගැසීම අභාවයට ගොස් බූරු ගැසීම පමණක් ඉතිරිවිය. අවුරුද්දට අපේ ගමේ බූරු කෙළිය පටන් ගන්නේ උත්සවාකාරයෙනි සැන්ටින් මුදලාලිගේ කඩේ පිටුපස ඇති වෙදමහත්තයගේ ඉඩම් කෑල්ල අනාදිමත් කාලයක සිට බූරු පිටිය ලෙස සම්මත වී ඇති තැනය. උසට හැදී වැඩී ඇති නෙරළු තුරු හැරෙන්නට වෙන මහගස් නොමැති තරමක අකුල් සහ වන බුටෑවක් ඇති වැලි පසින් හෙබි ඒ ඉඩමට පාර දිගේ පොලිසියේ ජීප් එක එනවානම් ඈතසිටම දැකගත හැකිය. පොලිසිය ජීප් එකෙන් බැස ඇළෙන් එගොඩවී නියර දිගේ වත්තට ගොඩවෙන වෙලාව වෙද්දී බුරුකාරයන්ට බුරුපොළ අකුළාගෙන පලායන්නට හොඳටම වෙලාව තිබේ.
අලුත් අවුරුදු සුදුපොල වෙදමහත්තයගේ ඉඩමේ ආරම්භවී ටික දවසක් යද්දී ගමේ සුදුකාරයන් පමණක් නොව අහළ පහළ ගම්වල නම්දැරු සුදු කාරයන්ද සෙල්ලම් කරන්නට එන්න පටන්ගනී. ඒ කාලය සැන්ටින් මුදලාලිගේ කඩේට හොඳ වෙළඳාමක් ඇති කාලයකි. සුදුපොළෙන් හම්බවෙන තෝං සල්ලිවලට අමතරව වෙද මහත්තයගේ කසිප්පු ව්‍යාපාරයද නැගලා යයි. සුදු සෙල්ලං කරන්නට පිටගම්වලින් ඇවිත් පරදින සුදුකාරයෝ අතේ කරේ තියෙන මුදු මාලද එහෙම නැති අය පැදගෙන එන සයිකල්ද උගස් තියා ඒවාද පැරදී හිස් අතින් ගෙදරයන දර්ශනය නිතරම දකින්නට ලැබේ. අතේ තිබු සල්ලි ඉවරවූ පසු ණයට අරගෙන ඒවාත් පැරදී පස්ස පැත්තේ අත පිහදාගෙන හිස් අතින් ගෙදර යන්නට නැගිට්ට එකෙක්
ගූ කප්පරක් කාපු එකාට පඩ ගඳත් ගඳක්ද යකෝ...
කියා උජාරුවට කිව්වත් ඒ කියන්නේ තරමක හිතේ අමාරුවෙන් බව දකින කෙනෙකුට පෙනේ. තවත් එකෙක් දවසක්දා අතේ තිබ්බ සබ්බ සකල මනාවම ඉස්කෝප්ප ආසියාට ඔට්ටු අල්ලා පරාදවූ පසු ඇඳගෙන හිටපු සරම ඉහලටම උස්සා වටයක් කැරකී
මේං බලාගනියවු ඉස්කෝප්ප ආසියා...
කියා මුළු බුරුපොලටම මැජික් පෙන්නා කුණුහරුපයෙන් බනිමින් යන්නට ගියේය. අවුරුදු බුරුපොල කියා සූදු කෙළිය පටන් ගත්තට අවුරුදු ඉවරවුනත් නොනවතින බුරුපොල බක් මාසය අවසන්වී වෙසක් මාසයටද පාතබයි. මේ වනවිට අවුරුද්ද නිසා පොලීසියෙන් ලැබෙන සහන කාලයද අවසන්වී ඇති බැවින් පොලිසියද ක්‍රියාත්මක වන්නේ කොහොම හරි බුරුපොල වටලන්නටය. පාරෙන් ආවොත් බුරුකාරයන්ට පෙනෙන නිසා පොලිසිය කරන්නේ ගමේ අනික් පැත්තෙන් ඇවිත් ජීප් එක තුංමං හංදියේ නවත්වා අඩිපාරෙන් හොර රහසේ ඇවිත් බුරුපොලට කඩා වැදීමයි. අල්ලගන්න ලැබෙන බුරුකාරයන් රොත්තම කුදලා ගන්නා පොලිසිය බුරුපොලේ තියෙන පැදුරු අකුලා බුරුකාරයන්ගේ ඔලු උඩ තියාගෙන පොලිසියට ගෙනයන අතර දුවලා බේරුන කීපදෙනා හැති අරිමින් දෙයියන්ට පිං දිදී ගෙවල්වලට යති.
පොලිසි ගෙනිච්ච උන් ඇප ලැබී ආපහු ඇවිත් එහෙම නැවත බුරු ගැහිල්ල පටන් ගන්නේ කලින් වගේ උත්සවාකාරයෙන් එළිමහනේ නොව කාගෙ හරි ගෙදරකට වී බොහොම හොර රහසේය. ඒ ගෙටත් පොලිසියෙන් පනිනතුරු සෙල්ලම ජයටම කෙරීගෙන යයි. අපේ ගම් පළාතේ බූරුපොළවල්වල ඔට්ටු අල්ලන්නේ අග මුල කියලාය කුට්ටම අතැතිව කොළ දෙගොඩ ගසන්නා මුලය කුට්ටම කපා කොලය ඉල්ලපු එකා අගය. අපේ ගම්වල එහෙම උනත් වෙන පළාත්වල විශේෂයෙන් දකුණු පළාතේ සූදු සෙල්ලම කරන්නේ ඉල්ලුවා ගැහුවා කියාය. එතනදී කුට්ටම බෙදන එකා ගැහුවා වන අතර කුට්ටම කපපු එකා ඉල්ලුවාය. ඔය වෙනස්කම නිසාම රෙදිමෝලේ වැඩට ඇවිත් හිටපු දකුණු පළාතේ ගොඩක් බූරු ක්‍රීඩකයන්ට මුලදී තරමක අපහසුතාවක් ඇතිවුණත් අප්‍රතිහත ධෛර්යයෙන් ඒ බාධකය ජයගන්නට ඔවුන් සමත්වුන බව කවුරුත් දැනගත්තේ අපේ ගම්වල අයත් එක්ක දකුණේ අය හරි හරියට සෙල්ලං කරන විටදීය.
ඔහොම කාලයක් ගිහිං පොඩි අපි උස මහත්වී ඉලන්දාරින් වෙච්ච කාලයේ අලුත් අවුරුද්දට අපේ ගමේ මොකුත්ම නොතිබීම ගැන කම්පාවී අපි හදාගත්ත සමගි ක්‍රීඩා සමාජය එක්ක තරඟ කරන්නට ගල්බොරැල්ලේ ප්‍රගති ක්‍රීඩා සමාජයට ආරාධනා කර අලුත් අවුරුද්දේ එල්ලේ තරඟ පවත්වපු ආකාරය මම මීට පෙරද ලියා ඇත්තෙමි. ඒ ක්‍රීඩා සමාජයත් එක්ක එල්ලේ ගැහිල්ල අවුරුදු තුන හතරකින් අභාවයට ගියත් එල්ලේ ගැහිල්ල නැතිවෙන්නට නොදී අවුරුද්දට කරන විවාහක අවිවාහක එල්ලේ තරඟයක් ලෙස පවත්වා ගන්නට හැකිවිය. හාපුරා කියා අපේ ගමේ අලුත් අවුරුදු උත්සවයක් හෙවත් බක්මහ උළෙලක් ආරම්භ කරන්නට අවශ්‍ය ගැම්ම ලැබුණේ මෙන්න මේ විවාහක අවිවාහක එල්ලේ තරඟයෙන් පසුවය. බක්මහ උළෙලක් ආරම්භ කළත් එල්ලේ තරඟය නැතිවන්නට නොදී බක්මහ උළෙලට පෙර එයද පවත්වා ගන්නට කටයුතු කළෙමු. හැබැයි මේ හපන්කම් ඔක්කොම කළේ බක්මහ උළෙලක් පවත්වා ගන්නට හෝ එල්ලේ තරඟයක් පවත්වා ගන්නට හරිහමන් ස්ථානයක් නොමැතිව වීම විශේෂයකි. මුලින්ම අපි එල්ලේ තරඟය සහ බක්මහ උළෙල තිබ්බේ පෝටවත්තේය. ඒ වත්ත කෑලි කඩා බෙදාගත් පසු තැනක් නැතිවුන අපි වෙළට ගිහිං වෙලේ ක්‍රීඩා කළෙමු. වෙලේ වතුර පිරී තියෙන කාලෙට බක්මහ උළෙල පාරේද පවත්වා තිබේ.
අපේ ගමට පිට්ටනියක් ලැබුණේ ඊටත් පස්සෙ කාලෙක හෙවත් අනුපහේ දී වගේය. ඊට පස්සෙ නම් හැමදේම හරිම පහසුය පිට්ටනියක්ද වේදිකාවක් සහිත ක්‍රීඩාගාරයක්ද තියෙන නිසා කරන්නට තියෙන්නේ තරඟ සංවිධානය කර පවත්වන එක විතරය. ඒත් අබුද්දස්ස කාලෙක හැටිද මංදා දැන් ඉන්න තරුණ පරපුර ඒ වැඩ ටික කරන්නටත් තරමක කම්මැලිය. වැඩක් පටන්ගන්නට සල්ලි ගොඩක් අවශ්‍යය ඒත් අපිනං ඔය වැඩ පටන්ගත්තේ අතේ සතේ නැතිව හිතේ හයියටය. ඒත් අපි ආරම්භකළ බක්මහ උළෙල අපි කවුරු නැතත් ඉස්සරහට යනවා දකිනවිට සහ ගහට පොත්ත මෙන් බක්මහ උළෙල ගමට බද්ධවී ඇතිබව පෙනෙන විට සියුම් ආඩම්බරයක් හිතට දැනේ. බක්මහ උළෙල ආරම්භ කරපු හැටි සහ අවුරුදු විසිගානක් සංවිධානය කරපු බක්මහ උළෙලේ රසකතා කියන්නට නම් වෙනම පෝස්ටුවක් අවශ්‍යය ඒත් එක කතාවක් කිව්වොත් හොඳයි කියා හිතෙන්නේ ඒ කතාවට බූරු ක්‍රීඩාවද සම්බන්ධවී ඇති නිසාය.
බක්මහ උළෙල පවත්වන්නට අපට ගමෙන් ලැබෙන ආධාර ටික ප්‍රමාණවත් නැති නිසා අපේ ක්‍රීඩා සමාජයේ අතමිට තියෙන සාමාජිකයන්ගෙන් වෙනම ලොකු ලොකු ගණන් එකතු කරන්නට කටයුතු කළෙමු. ඒ වුනත් ලැබුණු මුදල සෑහුනේ වියදමට පමණකි ක්‍රීඩා සමාජයට කිසිම ඉතිරියක් නොවීය. මේ ගැන කල්පනා කල අපි බක්මහ උළෙල වෙලාවේ යම් යම් තරඟ කීපයක් හඳුන්වා දුන්නේ වැඩිපුර කීයක් හරි හොයාගන්නටය. බෝතලයට වළල්ල දැමීමේ තරඟයත් ඒ තරඟවලින් එකකි. ඒ තරඟය හේතුවෙන් වියදමට වඩා වැඩිපුර මුදලක් හැම අවුරුද්දේම එකතු කරගන්නට හැකිවුණේ බෝතල් හිඟ අලුත් අවුරුදු සමයේ කවුරුත් පාහේ බෝතලයක් ලබා ගන්නට තරඟ වැදුනු නිසාය. ඒ මට වර්ෂය මතක නැති එක්තරා බක්මහ උළෙලක් පැවැත්වෙමින් තිබු දවසකි. සුපුරුදු පරිදි ක්‍රීඩා පිටිය අයිනේ මහ කොස්ගහයට බෝතලයට වළල්ල දැමීමේ තරඟය ආරම්භ විය. මුලදී ලොකු ජන සහභාගිත්වයක් ඇතිව තරඟය පටන් ගත්තත් ටික වෙලාවකින් තරඟයට මැස්සන් ඇහිරෙන්නට වුයේ තරඟකරුවන් නොමැතිවීම නිසාය. මොන තරඟයට අඩුවුනත් මේ තරඟයට තරඟකරුවන් අඩු නොවන නිසා මෙහි යම්කිසි අසාමාන්‍ය බවක් අපට පෙනෙන්නට විය. පොඩි හෝදිසියක් කර බැලු විට වෙලා තියෙන දේ පැහැදිලිව දැනගන්නට හැකිවිය. ආරියා ගෙදර බූරු පිටියක් පටන් අරගෙනය බෝතලයට වළල්ල දමන තරඟකරුවන් රොත්තම ආරියාගේ බූරු පිටියට ගිහින්ය.
ආරියා මේ වැඩේ කරන්නට ඇත්තේ වැඩිදුර නොසිතා උනත් උගේ බූරුපොළ නිසා අපේ බක්මහ උළෙලට ලැබෙන ලොකු ආදායමක් අහිමිවී යන එක දරාගන්නට බැරිය. බූරුපොලේ ඉන්න අය ආපහු පිට්ටනියට ගෙන්නා ගන්නට අම්මෙ මුත්තෙ කිව්වත් බැරිය. අපි කීපදෙනෙක් පොඩි සාකච්ඡාවක් කර තීරණය කළේ ආරියාගේ බූරුපොළ කඩාකප්පල් කරන්නටය. කරන්නට යන දේ ගැන කාටවත් නොකියා අපි හතර පස් දෙනෙක් ආරියාගේ ගෙදරට ගිහිං බූරු කුට්ටමත් විසිකර බූරු කාරයනුත් එලවා දමා ආරියාගේ බුරුපොළ එහෙම පිටින්ම කඩාකප්පල් කෙරුවෙමු. අපි ගෙට කඩාවදින විට හොඳටම බීමත්ව තෝං එකතු කරමින් සිටි ආරියා මුලදී පුදුමයෙන් බලා සිටියත් වෙන්නට යන දේ ටික ටික තේරෙන විට මාරාවේශවී කෑ ගසමින් උඩ පනිමින් අපට කරාටි ගහන්නට වුනත් බීමත්කම වැඩි නිසාම ඌට නිසි එල්ලයට කරාටි ගහගන්නට බැරිවිය. අපි ආපහු බක්මහ උළෙලට ආවේ හිනාවෙමිනි.
කොහොම උනත් ඊට පහුවදා හොඳ සිහියෙන් මා මුණගැහුණු ආරි මට කීවේ බීමත්ව වැඩිදුර නොසිතා බූරු ගැහිල්ල පටන්ගත්තත් ගමේ වැදගත් උත්සවයක් පැවැත්වෙන වෙලාවේ ඒ කරපු වැඩේ හොඳ නෑ කියා පසුව තේරුණු බවය. ගෙදරට ආ වෙලාවේ ගහන්න බනින්න ගිය එක ගණන් ගන්න එපා කියාද ආරියා කීවේය. ගෙදරකට පිට උන් ඇවිත් චන්ඩිකම් පෙන්වනවිට කාටත් තරහ එන බවත් එහෙම වෙලාවට ගහන්න බනින්න පෙළඹීමක් ඇතිවීම සාධාරණ බවත් කියා මම ආරිව අස්වැසුවෙමි. ආරියා එවන් සුන්දර මනුස්සයෙකි හිටපු ගමන් ගහ බැන ගත්තත් මැරෙන තුරුම ආරි මගේ හොඳම මිත්‍රයෙක් වී සිටියේය.
ආරි කරාටි ගහපු බව කීව නිසා ඒ ගැනත් යමක් කියන්නට හිතේ. රෙදිමෝලේ වැඩට ඇවිත් වැඩි කලක් නොගිහින්ම ආරි තමන්ගෙ යාළුවො කීපදෙනෙකුත් කතාකරගෙන ටවුමේ කරාටි පංතියකට යන්නට පටන් ගත්තේය. මාසයක් හමාරක් පංතියට යද්දී මුට කරාටි උණ ඉහට ගැහුවේය කෙනෙක් එක්ක කතාකරද්දී වචනයක් වැරදුනත් මු කෑ ගහගෙන කරාටි ගහන්නට එයි. ඔය තිලක් අයියා අපේ ගෙදර හිටපු කාලයයි එකල වෙනුජලා චූ කොල්ලන්ය. වැඩ නැති දවස්වල හවසට ආරි අපේ ගෙදර එන්නේ තිලක් අයියා හමුවෙන්නටය ඒ කයියක් ගහන්නටත් අතමිට සෑහුනොත් අඩියක් ගහන්නටත්ය. දවසක්දා ඔය විදියට ආරි අපේ ගෙදර එනවිට තිලක් අයියා බඩත් එළියේ දාගෙන පඩිය උඩ ඉඳගෙන හිටියේය. ආරි ඇවිත් තිලක් අයියාත් එක්ක කතාව පටන් ගත්තේය.
දැන් කොහොමද ඔහේගෙ කරාටි පංතිය එහෙම...
තිලක් අයියා ඇසුවිට ආරිගේ මුහුණ පුරා පුළුල් සිනාවක් පැතිරුනේය. ඒ කාලෙ ආරි කතාකරන්න ඊට වැඩිය කැමති මාතෘකාවක් නැත. ඌ අලුත් පංතිය ගැනත් කරාටි මාස්ටර් ගැනත් විස්තර කියාගෙන ගියේය.
කොටින්ම බ්ලැක් බෙල්ට් එක ගන්න තුරුම උගන්නනවා කිව්වා...
ඊළඟට තිලක් අයියා ආරිට කතාකළේ මුහුණ බැරෑරුම් කරගෙනය.
ඔන්න ඔතනදි නං බොහොම පරිස්සං වෙන්න වෙයි පුතෝ...
තිලක් අයියා ආරිට කිව්වේ දබරැඟිල්ල දික් කරමිනි ආරි බලාගෙන සිටී.
ඒ මොකක්ද පරිස්සං වෙන්න තියෙන කාරණේ...
පරිස්සං වෙන්නෙයි කිව්වෙ ඔය බෙල්ට් ගනිද්දී, බොලා වගේ නොදන්නා උන් ගියාම කඩකාරයො බොලාව රවට්ටල හොඳ ලෙදර් බෙල්ට් කියල බාල රෙක්සින් බෙල්ට් ඇඟේ ගහනව තේරුනාද...
ආරියා තිලක් අයියා දෙස කටත් ඇරගෙන බලා සිටී. හිනාව තද කරගෙන හිටපු මට තවත් ඉන්නට බැරිය මම ගේ ඇතුළට ගියෙමි.
ඒ හින්ද බ්ලැක් බෙල්ට් ගද්දි බොහොම පරිස්සමෙන්, ඔහේට ඕන්නං මම දන්න තැන් දෙක තුනක් කියන්නං ඒ අහ ගිහිං මගෙ නම කිව්වනං සලකයි...
ආරිගේත් තිලක් අයියාගේත් කතාව දිගින් දිගට ඇදීයද්දී මගේ ඉල බැරන්ද රිදෙන්නට ගත්තේ හිනාව නවත්වා ගන්නට බැරුවය෴