Tuesday, March 29, 2016

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 8 - පීරියඩ් ප්‍රොඩක්ෂන් කුසිනාරා නම් නගරේ සහ අබිං කෑම.


අල ප්‍රොඩක්ෂන් එකේ රුගත කිරීම් නිමවූ විගසම තම ටෙලි නාට්‍යයේ ඉතිරි කොටස් රූගත කිරීමට බෙනට් තීරණය කරගෙන සිටියේය.    මට මතක හැටියට ඒ අනූව දශකයේ මුල් භාගය විය යුතුය.   අප පැමිණ සිටින්නේ ටෙලිනාට්‍යයේ ඉතා අසීරු රූගත කිරීම් වන ගීත වලටය ටෙලිනාට්‍යයට අඩංගු වූ ගීත හත අතුරින් මංගලම් ගීතය රූගත කළ ආකාරය මා මීට පෙර ලියා ඇත.     මීළඟට රූගත කරන්නට නියමිතව තිබුණ කුසිනාරා නම් නගරේ ගීතය ගායකයා හා ගායිකාවද වාදක මණ්ඩලය ද ශබ්දාගාරයේ සිට ගීතය පටිගත කරන ආකාරය රූපගත කරන්නට සිදුවී තිබු බැවින් ශබ්දාගාරයක ආකෘතියක් දළුගම සරසවි චිත්‍රාගාරය තුළ නිර්මාණය කර දෙන ලෙස බෙනට් කලා අධ්‍යක්ෂ වරයාගෙන් ඉල්ලා සිටියේය.     ඒ ශබ්දාගාර ආකෘතිය කලා අධ්‍යක්ෂ සහ ඔහුගේ සහායකයින් බෙනට් බලාපොරොත්තු වූ ආකාරයටම ඉතා අනර්ඝ ලෙස ඉදිකර තිබු ආකාරය මා පසුදිනෙක දුටුවෙමි ඇත්තෙන්ම එය සැබෑ ශබ්දාගාරයක ලක්ෂණ සහිතව ඉදිකර තිබු ආකාරය ඉතා අලංකාරය.

බෙනට්ගේ ටෙලි නාට්‍යය වැනි අතීත කතා පුවත් කියැවෙන ටෙලිනාට්‍ය නිෂ්පාදනය ඉතා අසීරුය.   ඒ මන්ද කිවහොත් අතීතය තිබු ආකාරයටම දර්ශන තල මගින් ඉදිකර අදාළ කාලයේ පුද්ගලයන් ඇඳ  පැළඳ සිටි ආකාරයට ඔබින ඇඳුම් නිර්මාණය කර එදා පරිහරණය කළ භාණ්ඩ ඒ ආකාරයටම දක්වා සිටිය යුතු නිසාය.   නිෂ්පාදන ක්ෂේත්‍රයේ උදවිය මෙවැනි නිෂ්පාදන හඳුන්වන්නේ පීරියඩ් ප්‍රොඩක්ෂන් ලෙසයි බෙනට්ගේ  ටෙලියද පීරියඩ් ප්‍රොඩක්ෂන් එකක්වූ නිසාවෙන් අපට දෙගුණයක් මහන්සි වී වැඩ කරන්නට සිදුවිය.    එසේ කට්ටක් කාගෙන වැඩ කළත් සැනසීමක් නොවුයේ කෙනෙකුගේ සුළු අතපසුවීමකදී වුවද බෙනට් කෝපවී දොස් පවරන නිසාය.    රූගත කරන්නට ගිය ගීතයද එසේ බැණුම් අහන්නට නියමිත එකක් වීම නිසා මා සිතුවේ එය මගහැර සිටින්නටය ඒත් බෙනට් මට කතාකර කිව්වේ හැකිනම් රස්සාවෙන් නිවාඩුවක් ගෙන රුගත කිරීමට උදව් කරන ලෙසටය.

දර්ශනය රූපගත කිරීම ආරම්භ වන්නට නියමිතව තිබුණේ රාත්‍රී කාලයේදී වුවත් අපි උදේ සිටම වෙහෙස නොබලා වැඩ කළෙමු.     හවස් කාලය ලඟා වෙද්දී ගායිකාවට රඟපෑ ප්‍රධාන නිළියද ඇය සමග ගීතය ගායනා කළ ගායකයා ලෙස රඟපාන්නට තෝරාගෙන සිටි ක්ෂේත්‍රයේ ඉතා ප්‍රවීණ වයෝවෘධ නළුවාද දර්ශන තලයට එක්කරගෙන ආවෙමු.    වාදක මණ්ඩලය හැටියට තෝරාගෙන තිබුණේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වාදක මණ්ඩලයයි.   අතීතයේ ගීත පටිගත කළේ ගායකයන් සහ වාදක මණ්ඩලය එකවිට වාදනය හා ගායනය කරමින් වූ  නිසාවෙන් එසේ කරන්නට සිදු වුවත් අද ඇති තාක්ෂණ දියුණුව හේතුවෙන් ගොළුවෙක් නොවන ඕනෑම කෙනෙකුට මුදල් හදල් ඇත්නම් ගායකයෙක් වීම සුළු දෙයකි.    ඒ කළින් සංගීතය පටිගත කර පසුව හඬ මුසුකිරීම සිදුකරන නිසාය.    එසේ කරන විට පදයෙන් පදය හෝ වචනයෙන් වචනය ගයා නැවත පරීක්ෂා කර සුදුසු ආකාරයට එනතුරු සංස්කරණය කරන්නට අද හැකිවුනත් අතීතයේදී සංගීත ශිල්පීන් සංගීතය සපයද්දීම ගායනා කර පටිගත කිරීම සිදුවිය.   සංගීත ශිල්පීන්ට හෝ ගායක ගායිකාවන්ට වැරදීමක් සිදු වුවහොත් නැවත මුල සිට ආරම්භ කිරීමට සිදුවේ.   මේ ආකාරයට කරන පටිගත කිරීම් එදා සමහරවිට මුළු රාත්‍රියක් එළිවෙන තුරාම සිදුවූ බව ඒ කාලයේ සිටි ගායක ගායිකාවන් පවසන්නේ අද ශිල්පීන් මොන තරම් පහසුවෙන් පටිගත කිරීම් සිදුකරනවාද යන්න පවසමිනි.     1975 දී තිරගතවූ සිකුරුලියා චිත්‍රපටයේ ගීත පටිගත කිරීමේදී එක ගීතයක් මුළු රාත්‍රියක් එළිවෙන තුරාම මහන්සිවී පටිගත කර අවසානයේ බලද්දී පටිය රෙකෝඩරයේ එතී ඇකිලී ඒ ගීතය විනාශවී තිබූ ආකාරය දුටු චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ක්ලැරන්ස් විජේවර්ධනයන් මහත්සේ කම්පාවට පත්වූ ආකාරය එදා එතැන සිටි ගායිකා ඉන්ද්‍රානි පෙරේරා යම්කිසි වැඩසටහනකදී විස්තර කළ ආකාරය මම දවසක් අසා සිටියෙමි.

ගායිකාව ලෙස රඟන ප්‍රධාන නිළියට පරණ පැටන් එකට සාරියක්ද ප්‍රවීණ නළුවාට කෝට් එකක් සහ මඩකළපු සරමක්ද අන්දවා පීරියඩ් විදියට පිළියෙළ කළත් මේ පීරියඩ් කතා නොදන්නා ගුවන් විදුලි සංස්ථා සංගීත කණ්ඩායම ඇඳගෙන ආවේ මල් වැඩ දැමු කලා කමිසත් කළු කලිසමුත් නිසාවෙන් ඔවුන්ද එහෙම පිටින්ම පීරියඩ් තත්වයට පත්කළ යුතු විය එසේ නොමැති වී නම් අනික් අයට දැමු හැඩවැඩ ද අපතේ යයි.    සීමිත කාල සීමාවක් තුළ දහ දෙනෙකුට පමණ කෝට්ද පලේකාට් සරම්ද සැපයීම එහෙම පිටින්ම වෙනම ව්‍යාපෘතියක් විය.    ඊළඟ ප්‍රශ්නය වූයේ ශබ්දාගාරයේ ගීතය පටිගත කරන කාර්මික නිලධාරියාගේ චරිතයට කෙනෙක් සෙවීමය.   ඒ කාලයේ මෙවැනි වැඩ කලේ වැඩිපුරම බර්ගර් ජාතිකයන්ය ඒ නිසා බර්ගර් ජාතිකයෙක් නොවුනත් ඒ වගේ පෙනෙන කෙනෙක් සොයා ගත යුතුය.    අපිත් එක්ක බෙන් එකේ හිටපු ප්‍රභාත් ගේ ඥාති මල්ලි කෙනෙක් කෝට්ටේ පැත්තේ රස්සාවක් කළේය ඔහු සිරිතක් වශයෙන් ප්‍රභාත් හමුවන්නට බෙන් එකට පැමිණෙයි එදා ඔහු අපිත් එක්ක චිත්‍රාගාරයට ඇවිත් සිටියේ ෂූටිං බලන්නටය.     සුදු කඩවසම් කොල්ලෙකු වූ ඔහු එවෙලේ එතන ඉඳීම අපේ වාසනාවකට සිද්දවු දෙයක් කියාගත් අපි කාර්මික නිලධාරියාගේ චරිතය ඔහුට දුන්විට බයවූ කොල්ලා එක්වරම එය ප්‍රතික්ෂේප කලේ රඟපාන්නට බැරිය කියාය.  රඟපාන්නට දෙයක් නැති බවත් ඔහුට කරන්නට ඇත්තේ රඟපාන නළුවා සහ නිළිය සිටිය කුටියේ වීදුරුවෙන් එහා පැත්තේ සිට ඔළුව හොලවමින්ද හිනාවෙමින්ද සිටීම පමණක් බවත් කියා උගේ බය ඇර හිත හැදු අපි ඌට කෝට් එකක් අන්දවා බෝ එකක්ද ගැට ගසා ශබ්දාගාරයේ ඉන්දෙව්වෙමු.

  මෙවැනි හේතු නිසාවෙන් රූපගත කිරීම පටන් ගත්තේම ප්‍රමාද වෙලාය.    අපි සැනසුම් සුසුම් හෙලා පැත්තකට වී හිටියේ දැන් වැඩේ එකදිගට කෙරේවි කියන බලාපොරොත්තුවෙනි.      ගීතයට මුලින් එන තබ්ලා ඛණ්ඩය ගන්නටම ටේක් තුන හතරකටම යන්නට උනේ එය රූගතවූ ආකාරය ගැන කැමරා ශිල්පියා සෑහීමකට පත්නොවූ නිසාවෙනි.    මට කියන්නට අමතකවූ දෙයක් වුයේ ටෙලියේ කැමරා ශිල්පියා ගැනය ඔහු කේ ඒ ධර්මසේන හෙවත් ක්ෂේත්‍රයේ කිචි ධර්මේ යනුවෙන් හැඳින්වුන අතර අපි ඔහුට ධර්මේ කියා ඇමතුවෙමු.     ඒ කාලය වනවිට ඔහු ක්ෂේත්‍රයේ සිටි ඉතා ප්‍රවීණ කැමරා ශිල්පියෙක් වූ අතර ඔහුගේ සහායකයා වුයේ අපිත් සමග බෙන් ෆිල්ම්ස් හි නැවතී සිටි රුවන්ය.   අද වනවිට ධර්මේ මෙලොවින් සමුගෙන අවුරුදු හයක් ගතවී ඇති අතර රුවන් ක්ෂේත්‍රයේ සිටින ඉහළම ගණයේ කැමරා ශිල්පියෙකි.   සිනමාවේ වසර හතළිස් ගණනක් වැඩ කර සිටි ධර්මේ සතු පෘථුල අත්දැකීම් සම්භාරය අපට කරන්නට තිබු වැඩවලට මහත් පිටුවහලක් විය.  කොල්ලා කාලයේ සිටම ලෙස්ටර් මහත්තයාගේ සහායකයෙක් ලෙස එකතුවී සිටි ධර්මේ නැවතී සිටියේද ලෙස්ටර් මහත්තයාගේ නිවසේය බෙනට්ගේ ටෙළිය රූපගත කරන දවස්වල ඔහු බෙන් එකේ අපත්  සමග නවතින්නට ආවේය.    සිය දරු පවුල බලන්නට තමන්ගේ ගම වන බෝතලේ පහළගමට ධර්මෙ යන්නේ මාස කීපයකට වතාවක් නිවාඩුවක් ලැබෙන විදියටය.   ධර්මේ සමග අප බෙන් එකේ ගතකළ කාලය ගැන මම මීට කලින් ලියු තරු මතක  කතාවේ සඳහන් කර ඇත්තෙමි.

දැන් මුල් සංගීත ඛණ්ඩය රූපගත කර අවසන්ය ප්‍රභාත්ගේ මල්ලි පටිගත කිරීමේ යන්ත්‍රයත් සමග සිටින ෂොට් දෙක තුනක්ද  ධර්මේ වීදුරුවෙන් මෙහා පැත්තේ සිට කැමරාවේ සටහන් කරගත්තේය.    ඊළඟට තියෙන්නේ නළුවා සහ නිළිය ගීතය ගයන ආකාරය රූගත කිරීමයි මුලින්ම පටන්ගන්නට ඇත්තේ නළුවාටය ඔහු කුසිනාරා නම් නගරේ ගීත පාදය කියූ පසු නිළිය උපවර්තන සල් වනයේ පදය කියයි.    දෙදෙනාම ඉතා පළපුරුදු නළු නිළි යුවළක් හේතුවෙන් අවශ්‍ය දර්ශනය ලේසියෙන් ගන්නට හැකිවේ යැයි අපි සිතා සිටියෙමු.    ටේක් තුන හතරකට ගියත්  කරුමයකට මෙන් නළුවා ගී පදය කියන ආකාරය කිසිසේත්ම ගැලපෙන්නේ නැත.   එනම් ගී පදයේ ආකාරයට තොල් සෙලවීම හෙවත් ලිප්ස් මුමන්ට් ඇත්තේම නැත.    ආධුනිකයෙක් නම් මෙසේ වීම සාධාරණ නමුත් මේ ප්‍රවීනයාට සුළු කොටසක් හරියට කරගන්නට බැරිවීම අපට හිතාගන්නට වත් නොහැකිය.    ඔහු දිගින් දිගටම අසාර්ථක වීම නිසා බෙනට්ට මල හොඳ එකෙන්ම පැන ඇති බව ඔහුගේ රතුවුන මුහුණෙන් පෙනේ.   වෙන කෙනෙකුට දොස් කියා වැඩක් නැති බැවින් කරකියාගන්නට දෙයක් නැති තැන බෙනට් යටි රැවුල කසමින් බලාසිටී.  කැමරාව පසුපස ඉඳගෙන සිටින ධර්මයා මේ සියල්ල කට කොණකින් හිනාවෙමින් බලා සිටින්නේ ඉතා සැහැල්ලුවෙනි.    ටිකකින් ධර්මයා මට ඔළුව වනා කතාකල විට මම එතැනට ගියෙමි.

මේ විදියට ගියොත් එළිවෙනතුරු කළත් මුගෙ  ෂොට් එක ඕකේ වෙන්නෙ නෑ...

ඒ මොකද?

එහෙම තමයි...

ඒ කියන්නෙ එළිවෙන තුරු කළත් මේ විදියට නානවා කියන එකද?

ඒකෙ ආයෙ දෙකක් නෑ හැබැයි වැඩක් තියෙනවා කළොත් නං හරියටම හරි...

මොකක්ද ධර්මෙ...

මිනිහට අබිං ටිකක් හොයල දුන්නනං වැඩේ හරි කාපු ගමන් ආයෙ ගල ගැහුව වගේ එක ටේක් එකෙන් ඕකා වැඩේ ගොඩ දාල දෙනවා...

දැන් තවත් ලෙඩකි අබිං කොහෙන් හොයන්නටද?   මිනිස්සු අබිං කනවා කියා අසා තිබුණාට කන්නේ කොහොමද විකුණන්න තියෙන්නේ කොහේද ආදිය ගැන කිසිම විස්තරයක් අපි දන්නේ නැත.   කොටින්ම කිව්වොත් ඒ කාලය වනවිටත් මම අබිං ඇහැට දැක තිබුණේ නැත.  ජපන්නු චීනය ආක්‍රමණය කරපු කාලය පසුබිම් කොටගෙන ලියැවුණු ඉතා අනුවේදනීය නවකතාවක චීන ධනපතියන් අබිං දුම් උරමින් දවස පුරා මතින් ගත කරන ආකාරය ලියැවී තිබුණා මට මතකය.    එහි කතුවරයා කාඕ යු පාඕ නමැත්තෙකි ඔහු තමන්ගේම ළමා කාලය ගැන ලියන ලද කතාව 'මගේ කුමර දිවිය' නමින් සිංහලට පරිවර්තනය වී තිබු අතර අටේ පංතියේදී විතර මම ඒ පොත කියෙව්වේ අපේ ඉස්කෝලේ ලයිබ්‍රරියෙනි.    පසු කලෙක පළවූ නැවත මුද්‍රණයකින් මම ඒ පොත මිලදී ගත්තෙමි.  

වැඩ සියල්ලම පැත්තකට දමා බෙනට්ටද කියා අබිං ටිකක් සෙවීමේ මෙහෙයුම ආරම්භ කළෙමු.    අපේ පහසුව සඳහා ධර්මේද ක්‍රියාන්විතයට එක්කර ගතිමු.    දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ඉතා අපහසුවෙන් අබිං ටිකක් සොයාගත්තේ ධර්මේ අප සමග හිටපු නිසාමය.   අබිං ටික සොයාගෙන ආපසු පැමිණි අපි ප්‍රවීණ නළුවාට පැත්තකට කතාකර ඔහුගේ අතට අබිං ටික ලබා දුනිමු.    නැවතත් රූපගත කිරීම් ආරම්භ වූ විට ඒ ප්‍රවීණ නළුවා කිසිම අවුලක් නැතුව දර්ශනයට මුහුණ දුන්නේ ධර්මේ කියූ අනාවැකිය සනාථ කරමිනි.    සිනමාවේ ආරම්භක සමයේ සිට ක්ෂේත්‍රයේ සිටි ඒ නළුවා ඊට ටික කලකට පසු මියගොස් තිබුණේ බොහෝ අසරණ තත්වයකට පත්වෙමිනි.    බෙනට් කාලෙකට පසු අලුත්ම චිත්‍රපටයක් කරන්නට පටන්ගෙන ඇති බව දැනගන්නට ලැබුණි.    ඒ චිත්‍රපටයේ ප්‍රධාන කැමරා ශිල්පියා රුවන්ය.   බෙනට්ද රුවන්ද පෙනී සිටින මේ පිංතුරය හොරෙන් අරං ආවේ බෙනට්ගේ මුණු පොතෙනි෴

Thursday, March 17, 2016

අනුහයේ සෙමි ෆයිනල් එක හැලපැට්ටාගේ පිරිත සහ ක්ලයිව් ලොයිඩ්.


















අදින් වසර විස්සකට හා විසිඑකකට පෙර සිදුවූ මට එක හා සමාන වැදගත් සිද්ධීන් දෙකක් කෙරෙහි සිත් දිවයයි.   එනම් අනුපහේ මාර්තු දාහත් වනදා අළුයම සිදුවූ බිලිඳෙකුගේ උපතත් ඒ බිලිඳාට වයස අවුරුද්දක් පිරෙන අනුහයේ මාර්තු දාහත් වනදා රාත්‍රියේ ශ්‍රී ලංකාවට ලෝක ක්‍රිකට් කුසලානය හිමිවීමත්ය.    ඉපැදුණු බිලිඳා හැලපැට්ටාය ඌට අවුරුද්ද සම්පුර්ණ වෙමින් එද්දී ලෝක ක්‍රිකට් කුසලානට තරඟ වදිමින් සිටි ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට පැමිණ අවසාන තරඟය සඳහා තම ස්ථානය වෙන්කර ගත්තේය.    අවසාන තරඟය උත්සවශ්‍රීයෙන් නරඹන්නට අවශ්‍ය නොයෙකුත් අඩුම කුඩුම අපි සුදානම් කරමින් සිටියෙමු.    එදා අපේ මල්ලීද උගේ යාළුවන් පිරිසක්ද ඇවිත් හිටියා මට මතකය.    අඩුපාඩු සොයමින් ඒවා සපුරා ගනිමින් අපි ලහි ලහියේ සුදානම් වද්දී  එක්වරම බෝම්බයක් අතඇරියේ අපේ අම්මාය, චූටිපුතාට අවුරුද්දක් පිරෙන රාත්‍රිය පුරා පිරිතක් කියවා සෙත් පතන්නට කටයුතු යොදා ඇති  බවත් ඇය මෙහෙණින්නාන්සේලා කණ්ඩායමකට ආරාධනා කර තිබෙන බැවින් ඔවුන් එදා හවස ගෙදරට එන බවත් කියූ අම්මා පිරිත් කියන්නට මණ්ඩප්පයක් හෙවත් පිරිත් කොටුවක් තනා දෙන ලෙස අපට කීවාය.    අම්මා කියපු කතාවට අපි නන්නත්තාර වී ගියෙමු පිරිතක් ගැන කතාවක් මීට පෙර අහන්නටවත් තිබුනෙ නැති අතර මෙය අම්මාගේ තනි කැමැත්තට අපි කාගෙන්වත් නොඅසා යොදාගත් වැඩක් බවත් අපට අවබෝධ විය.   මෙහෙණින්නාන්සේලායි කියාගන්නා සිවුරු පොරොවාගත් කාන්තාවන් කියන පිරිත ගැන මගෙ කිසිම පැහැදීමක් තිබුණේ නැතත් දැන් ඉතිං වෙච්ච දේට මක් කරන්නදැයි සිතා ගමේ හිටපු පිරිත් මණ්ඩප ගහන දෙන්නෙකුට වැඩේ පංගරාත්තු කළේ රෑට මැච් එක බලන විදියක් ගැන හිතමින්ය.   

ඒ වෙනවිටත් මල්ලිලා මැච් එක බලන්නට වෙන තැනක් සෙට් කරගෙනය.   හොඳ වෙලාවට ඒ දවස්වල මම අපේ කාමරේටද ටී වී එකක් හයිකරගෙන තිබුණ නිසා ගෑනු ටික පිරිත් කියන අතරේ දොර වහගෙන මැච් එක බලන්නට හැකි නොවේදැයි සිතා සැනසුනෙමි.   කාමරේ තිබුණ ටී වී එක ගැන කියනවිට මට තව කතාවක් මතක්වේ.   ඒ අවසාන තරඟයට දින කීපයකට පෙර එනම් මාර්තු දහතුන්වන දින ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කල්කටාවේ ඊඩ්න් ගාඩ්න්හි පැවති ලෝක ප්‍රසිද්ධ වූ අවසන් පුර්ව තරඟය තිබු දිනයේය.    ලංකාව මුලින්ම පහරදී ලකුණු දෙසිය පනස් ගණනක් රැස්කරන අයුරු  මා කාමරයේ ඇඳේ හාන්සිවී බලා සිටියෙමි.   

විවේකයේදී රෑ කෑමද ගෙන නැවතත් ඇඳට ආවේ ඉන්දියාව ලකුණු රැස්කරන ආකාරය බලන්නටය.    ඒ වන විට බිරිඳ හැලපැට්ටාව කකුල් උඩ තබාගෙන සොලවමින් නිදිකරවමින් සිටියාය.   ආරම්භක පිතිකරු සිධු ලකුණු කීපයකට අවුට් කරගත්තත් ඊළඟට ආ සචින් තෙන්ඩුල්කාර් මන්ජේකාර් සමග එකතුවී පිටියේ හතර අතටම වනන්නට වුයේ ලංකා කණ්ඩායම නරඹන්නන් බවට පත් කරවමිනි.    දැන් බලාගෙන ඉන්න මට කට උත්තරද නැත මේ වනවිට එක විකට්ටුවකට ලකුණු අනු ගණනක් ගහලාය.    ඔන්න ඔය වෙලාවේ සනත්ගේ බෝලයකට කළුවිතාරණ සචින්ව ක්ෂණයකින් ස්ටම්ප් කළේය.    මට ඇතිවූ ප්‍රීතිය කොතරම්දැයි කිව්වොත් මම  ඇඳෙන් පැන්නේ කෑ ගහගෙන අප්පුඩි ගසමිනි.   අඩ නින්දේ සිටි හැලපැට්ටා ඇහැරී මරහඬ තලමින් හඬන්නට උනේ මම කෑ ගැසූ පාරටය.   බිරිඳ ද මට බනින්නේ දරුවා ඇහැරුවා කියාය ඇයට ඒ කාලයේ ක්‍රිකට් පිලිබඳ එතරම් දැනීමක් නැත ඔහේ බලා ඉන්නවාපමණකි.   අද වනවිට ඇය මැච් බලමින් විශේෂඥ විස්තර කරන්නට තරම් ක්‍රිකට් දැනුමක් ලබාගත්තේ මාත් එක්ක ක්‍රිකට් තරඟ බලලාය.    කෙසේ වුවද ඉන්පසුව ඉන්දියාවේ විකට් එකපිට එක වැටෙන්නට උනේ බලංඉන්න ඉන්දියානුවන් නන්නත්තාර කරවමිනි.   මැච් එක පටන් ගද්දි ඔවුන්ගේ අතේ තිබුණ ලෝක කුසලානය ගිලිහී යනු දරාගත නොහැකිවූ ප්‍රේක්ෂකයන් ලකුණු 120 කට විකට් 8 ක් වැටී තිබුණු මොහොතේ අතේ තිබුණු පළතුරු හා වතුර බෝතල් පිටියට එවන්නට වුහ.   තරඟය නතරවී තීරක ක්ලයිව් ලොයිඩ් බෝතල් අඩි කන්නාඩි දෙකක් පැළඳ පිටියට ආවේ දැවැන්තයෙකු මෙනි.   ඉන්පසුව සිදුවූ දේ ජාත්‍යන්තර මාධ්‍ය වල මෙසේ පළවී තිබුණි.
    • At the fall of the 8th Indian wicket, sections of the crowd vented their disgust with the state of the match by setting fire to some areas of the stands and throwing fruit and water bottles onto the field. The match was briefly stopped and when play was about to resume, the crowd again threw bottles at the deep fielders. The match referee stopped the game and the game was awarded to Sri Lanka by default.
හැන්දෑවේ පැමිණි මෙහෙණින් ටික රාත්‍රියේ පිරිත් කියන්නට ගත්විට හිටපු කොල්ලන් ටිකත් මැච් එක බලන්නට ගිහින්ය.   පිරිත ගැන කිසිම ගනිච්චියක් නැති හැලපැට්ටා සුපුරුදු ලෙස රෑ අට වෙද්දී නිදා ගත්තේය.    මම හිමිහිට කාමරයට වැදී තරඟය බලමින් හිටියෙමි.   මහ පිරිතෙන් පසු මෙහෙණින් ද එකා දෙන්නා කාමරයට වදින්නට ගත්තේ දැන් ලකුණු කීයදැයි අසාගෙනය.   ටිකකින් කාමරය පිරුණි මේ වැඩේ හරියන්නේ නැති බව දැනගත් මම හිමිහිට පසුබැස කාමරයෙන් පිටවී මල්ලිලා තරඟය බලමින් සිටි උඩහ ගෙදරට ගොස් උනුත් එක්ක තරඟය බැලුවෙමි.   තරඟය රාත්‍රියේද පිරිත උදේ පාන්දරද ජයග්‍රාහීව අවසන් වෙද්දී මම උදේම රස්සාවට ගියෙමි.


පුංචි කාලයේදී හැලපැට්ටාව ඇතිවෙන්නට හුරතල් කරන්නට  ලැබුනාදැයි මම බොහෝවිට සිතමි.  එහෙම උනත් දැන් ඌව හුරතල් කරන්නට බැරි ඉලන්දාරියෙක් බැවිනි.   තේරෙන කාලයේදී හැලපැට්ටාගේ පළමුවන උපන් දිනයේදී සිදුවූ දේවල්ද මම කෑගැසූ විට ඌ ඇහැරී අඬපු හැටිද  අම්මා මට බැනපු හැටිද මම කොල්ලාට කියා දුන් විට  ඌ හිනාවුනේ හූ කියමිනි.   මේ දවස්වල හැලපැට්ටා  බෙලාරුස්හි  කට්ටක් කමින් සතුටින් සිටී.   අද උගේ උපන් දිනයයි.   පුතාට සුබ උපන් දිනයක් පතන්නට අම්මාද තාත්තා සමග එකතු වන්නීය෴

පුතේ ඔබට සුබ උපන් දිනයක් වේවා!!

    Tuesday, March 8, 2016

    නව වසරට ආසිරි සුනාමි පිංකම ගුණපාලගේ කොටය සහ කුමාරිගේ පැමිණීම.

    අවස්ථාවේ හැටියට කුමාරිව හොයනවාට වඩා කළයුතු නොයෙකුත් වැඩ රාජකාරි තිබේ.   ප්‍රධාන වන්නේ ප්‍රසංගය ලග්ගැහෙන්නේ නැතුව පවත්වාගෙන යාමයි.    ඒ වනවිට වේදිකාවේ ගැටිස්සියන් පිරිසක් ගීතයකට නටති.    එකම වර්ගයේ කොටු කොටු රෙද්දෙන් මැසූ විවිධ පැහැයෙන් යුත්  කොට ගවුම් හැඳ නටන  කෙල්ලන් රෑන දෙස ප්‍රසංගය නරඹන කොල්ලන් බලා සිටින්නේ කෑදර දෙනෙතිනි.   වේදිකාව ඉදිරිපසට ගොස් ප්‍රසංගය මොහොතක් නරඹන්නට ආශාවක් ඇතිවුණත් කරන රාජකාරිය කාට බාරදෙන්නද?   සුද්දාව හොයා බැලුවත් ඌ ආගිය අතක් නැත තරමකට සප්පායම් වී සිටි සුද්දා තවත් ටිකක් හොයාගන්නට ගියාදැයි නොදනිමි.    

    ප්‍රසංගය අවසානයේ පිටින් ආ නැටුම් ශිල්පීන්ට බොන්න දෙන්නට ගෙනත් තැබූ බෝතල් තියපු තැන විපරම් කර බැලු මට ඒවාද නිරුපද්‍රිතව තිබෙනු දැකගත හැකිවිය.   වේදිකාව පසුපස බොහෝ කාර්ය බහුලය.   මීළඟට නටන්නට නියමිතව සිටින අපේ ගමට එහා ගමේ කොල්ලා ප්‍රමුඛ දෙමළ ගීතයට නටන කොල්ලන් හයදෙනා කොළ රතු ආදී තද පැහැයෙන් යුත් ඇඳුම් ඇඳගෙන මුහුණුවල පාට තවරා ගනිමින් සිටිති.    කරදරයක් නැතිව ප්‍රසංගයේ වැඩ කටයුතු ඉදිරියට යන ආකාරය සිතට සතුට දනවයි.    අහසින් කඩා පාත් උනාක් මෙන් හිටිවනම  වේදිකාව පසුපසට  සුද්දා එක්වරම  ප්‍රාදුර්භූත වුයේ මා විමතියට පත්කරවමිනි.

    කොහෙද මනුස්සයො අන්තරස්දාන වෙලා හිටියෙ මම හැම තැනම හොයනවා...

    හරි හරි දැන් ආවනෙ ඔයා පොඩ්ඩක් ඉස්සරහට ගිහිං බලාගෙන ඉන්න මම කරගෙන යන්නං...

    එහෙම කිව්වට සුද්දා ගියපු දිහාවක් මට කීවේ නැත.   ඌත් එක්ක වැඩි කතාබහකට නොගිය මම ප්‍රජා ශාලාවේ පිටුපස දොරෙන් එළියට බැස්සෙමි.    ගස්වැල් පීරා හමා එන සීත සුළඟ ගතට සනීපය එළිමහනේ ලිපක් බැඳගත් කාන්තාවන් ඇතුළු කීපදෙනෙක් ලොකු වතුර මුට්ටියක් උණු කරන්නේ නැටුම් ගැයුම් කර මහන්සි වන අයට තේ ටිකක් දෙන්නට විය හැකිය.   තේ එකක් බී විටක්ද හැපුවොත් සීතල රාත්‍රියේ ගතට සුවයකි මම කට්ටිය තේ උණුකරන තැනට ගියෙමි.   කොච්චර උනත් අපේ ගමේ උදවිය ගමේ පොදු වැඩකදී එකා මෙන් එකමුතුවී කරන වැඩේට සහයෝගය දෙති.

    අදටත් අපේ ගමේ කරගෙන යන සුනාමියෙන් මියගිය අයට පිං පැමිණවීමට කරන දානමය පුණ්‍යකර්මය 2005 දී ගමේ අය පටන්ගත්තේ මෙපමණ කල් කරගෙන එන්නට හැකිවේයැයි අපේක්ෂාවෙන් නොවුනද දැන් ඒ දානමය කටයුත්ත වසර දහයක්ද පසුකරගෙන ගොස්ය.   දානයට පෙරදින රාත්‍රියේ ගමේම උදවිය  ප්‍රජා ශාලාවට එකතුවන්නේ තමන්ටද හැකි පමණින් මේ සත්කාර්යයට උදව් කරන්නටය.  දානයට සම්මාදම් වීමේදී ගමේ කවුරුත් තමන්ට හැකි විදියට උදව් කරති එමෙන්ම දානයට මුල්වී කටයුතු කරන සමිතියේ අයද මාළු කිලෝ හත අටකින් ආධාර කරන අයට මෙන්ම දානයට තම්බන්නට කොස් දෙල් ගෙනෙන අයට මතු නොව රම්පෙ කරපිංචා ආදිය ගෙනන අයවද එකසේ  වැදගත් කොට සැලකු නිසා කවුරුත් උනන්දුවෙන් මේ කටයුත්තට සහභාගී වුහ.

    දානයට පෙරදින රැයේ ගමේ ප්‍රජා ශාලාව පිටුපස ඇති හිස් කොටසේ මරණාධාර සමිතියේ තහඩු මඩු දෙක අටවා ගන්නා අපි දානය සුදානම් කිරීමේ කටයුතු ආරම්භ කරන්නෙමු.   කලින්දා රාත්‍රියේ පිස ගන්නට ඇත්තේ මාළු, අච්චාරු වැනි සීමිත ව්‍යංජන කීපයක් වුවද පසුවදා උදේ පාන්දරම අවදිවී  වැඩ කටයුතු රාශියක් කරන්නට තිබෙන නිසාවෙන් බොහෝ දෙනෙක් වැඩ කරමින්ද කතාබහ කරමින්ද මඩුවේ රාත්‍රිය ගතකරති.  රටේ නොසිටිය නිසා හැම අවුරුද්දේම සහභාගිවන්නට නොහැකි වුවත් තැනින් තැන අවුරුදු කීපයක් දානයට සහභාගී වීමට මටත් අවකාශ ලැබුණි. 

    උයන පිහන ද්‍රව්‍ය සපයන්නට බාරගත් අය ඒවා කළින් දින හවස ගෙනත් බාරදෙති.    කොල්ලන් රම්පෙ කරපිංචා ඇදගෙන එන්නේ ගාල් පිටිනි.   එතැන් සිට ඇරඹෙන්නේ තරමක යුද්ධයකි කැපෙන පිහිද මාළු එළවලු කපන්නට කපන ලෑලිද පොල් ගාන්නට හිරමණ ද කිරිගොටුද නෑඹිලි කොරොස්ද ආදී වශයෙන් දාහක් දේ සොයා දුන්නාට පසුව  වළං අල්ලන්නට කඩමාලුද හොයාදෙන්නට සිදුවේ.   උයන්නට කාන්තාවන් කොච්චර හිටියත් උයන පාටියේ මුලිකයා වන්නේ ගුණපාලය.    ඒ එහා ගමේ වැසියෙක් වන ගුණපාල සමිතියේ සාමාජිකයෙක් මෙන්ම වෘත්තීය කෝකියෙක්ද වන නිසාය.  කරුවල වැටී ටික වෙලාවකින් ඔහු පැමිණෙන්නේ මුළු රැය පුරාම කන්නට විශාල බුලත්විට මල්ලක්ද අරගෙනය.   අනෙක් අයට දෙන්නට අදිමදි කළද ගුණපාලගේ විට මල්ලෙන් විට කන්නට මට තහනමක් නැත ඒ මම ඔහුට බෝතලය නොවැරදී සපයන නිසාය.     පැමිණ ටික වෙලාවකින් වැඩ පටන්ගන්නා ඔහුට වැඩකරන ගමන් ටික ටික සප්පායම් වෙන්නට බෝතලයක්ද දිය යුතුය.   එක අවුරුද්දක දානයකදී අපි කරපු වැඩක් මට මතක්වේ. 

    එදාද මම ටික වෙලාවක් වැඩ කරගෙන යද්දී ගුණපාලට බෝතලයක් ලබාදුන්නෙමි.  ඒ එක්කම වැඩ කරන කොල්ලන්ටද බොන්නට බෝතල් කීපයක් ගෙන්නුයෙමි.   දැන් කවුරු කවුරුත් සතුටින් වැඩටික කරගෙන යති ගුණපාල මාළු උයන්නට ගත්විට අපි මාළු ඔලුව ඇතුළු සුන්බුන් වලින් ඔහුට කියා වෙනම හොද්දක් හදවා ගත්තේ පාන්දරට බේකරියෙන් රෝස්පාන් ගෙනැවිත් කන්නටය.  ගුණපාල බෝතලය ටික ටික සප්පායම් වෙමින් වැඩ කරද්දී කොල්ලෝ උන්ගේ බෝතල් දෙකතුන ඉක්මනටම අවසන් කළහ.   මැදියම් රැය වෙද්දී වැඩ ටික අවසන් කළ ගුණපාල ඉතිරි වැඩටික පාන්දර අවදිවී කරන්නට ඇති බැවින් පරණ ටෙන්ට් රෙද්දක් එලා එතැනම නිදාගත්තේ බෝතලයේ ඉතිරි කොටය ටෙන්ට් එකට යටකර ඔලුවට තබාගනිමිනි.  ටික වෙලාවකින් ගුණපාල ගොරවන්නට පටන් ගත්තේය.   බෝතල්ද අවසන්ව ඇතිනිසා අපි කතාබහ කරමින් සිටියෙමු.    පාන්දර යාමය වෙද්දී බේකරියෙන් උණු රෝස් පාන් ගෙනාවේ මාළුඔලු හොද්දත් එක්ක කන්නටය.

    ගුණපාල විසින් තුනපහේ  හොඳට දමා සැරට හදන ලද  මාළු හොද්දත් උණු රෝස් පානුත් කනවිට දිවියලෝක රසය.   ආයෙම පාන්වලින් මම එවැනි රසයක් ලබා ඇත්තේ ප්‍රංශයේදී කරවෙන්නට පිලිස්සු ඇතුළත පුළුන් වැනි උණු බගට් පොල් සම්බෝල සමග කනවිටදීය.   පාන් කන ගමන් තව චුට්ටක් විතර බොන්නට තිබුණානම් මරු කියා කීවේ කුවින්ටස්ය.   ඒත් මේ මහ පාන්දර බෝතල් කොහෙන් හොයන්නටද? මම සද්ද නැතුව හිටියෙමි.

    එක තැනක් නං තියෙනවා ...කුවින්ටස් කියයි.

    කොහෙද කොහෙද...කවුරුත් බැලුවේ කුවින්ටස් දෙසය.

    කුවින්ටස් ඇහෙන් පෙන්නන්නේ බෝතලේ කොටයද ඔලුවට තියාගෙන නිදා ඉන්නා ගුණපාලවය.   කොච්චර පරිස්සමට හංගා ගත්තත් කුවින්ටස්ගේ විමසුම් ඇස මග ඇරවීමට ගුණපාල සමත්වී නැත.

    උස්සමු...කුවින්ටස් කතා කරන්නේ මහත් උද්‍යෝගයකිනි.

    ඒත් ඇහැරෙයිද...තවෙකෙක් ප්‍රශ්න කරයි.

    හරි  බලමු...

    කුවින්ටස් දරගොඩ අවුස්සා රවුම් දර කොට කෑල්ලක් හොයා ගත්තේය මූ මොනවා කරන්න යනවාදැයි අපි බලාසිටියේ බීගත්විට  කුවින්ටස් කරන්නේ මොකක් නමුත් ඉළ කැඩෙන්නට හිනා යන වැඩක් බව දන්නා නිසාය.   කුවින්ටස්ගේ උදව්වට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූයේ සුද්දාය දෙන්නා දර පොලු කෑල්ලත් අරගෙන ගුණපාල නිදාසිටින තැනට හිමිහිට කිට්ටු කළෝය. මුන් ඊළඟට පටන් ගත්තේ ඇත්තටම හිනායන වැඩකි කුවින්ටස් ටෙන්ට් රෙද්දට යටින් දර කෑල්ල රිංගවද්දී සුද්දා හිමිහිට අනික් පැත්තෙන් බෝතල් කොටය අදින්නට විය.   ගුණපාල ගොරොද්දෙ අදිමින් නිදා සිටියදී හෙමිහිට හෙමිහිට බෝතල් කොටය පන්නා ගන්නට මුන් දෙන්නාට විනාඩි පහක් හයක් ගතවන්නට ඇත.    කොහෙන්වත් බෝතල් හොයාගන්නට නැති ඒ මහ පාන්දර ලැබුණු බෝතල් කොටය කොපමණ වටිනවාදැයි කිවහොත් අන්තිම බිංදුව තෙක්ම වටී කියා කැත නැතුව කට ඇර කියන්නට හැකිය.    ඒ බෝතල් කොටයද ඉවර කළ කුවින්ටස් ඇතුළු පිරිස රෝස් පාන්ද  කා වැටුණු වැටුණු තැන්වල නිදාගත්හ.

    පහුවදා උදේ පාන්දරින්ම ගුණපාල අවදිවුනේ තමන්ගේ උයමනේ ඉතිරි හරිය සම්පූර්ණ කරන්නටය.   වැඩ පටන්ගෙන ටිකකින් ඔහු ටෙන්ට් එක යටට අත දැම්මේ රාත්‍රියේ ඉතිරි කරපු කොටයෙන් අඩියක් ගහන්නට උනත් අවාසනාවට එතැන තිබුනේ දරකොට කැබැල්ලකි.   බලාපොරොත්තු කඩවුණු ගුණපාල තමන්ට වෙච්ච අවනඩුව කියන්නට මා ලඟට එන බව මම දැන සිටියෙමි.    උදේ වයින් ස්ටෝරු ඇරපු ගමන්ම බෝතලයක් ගුණපාලට ලබාදෙන බව කියා ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තෙමි.    මෙවැනි රසවත් සිදුවීම් නොඅඩුව ඇති අපේ සුනාමි දාන පිංකම දැන් වසර දහයකුත් සපුරලාය.   සුනාමියෙන් හානියට පත්වූ ප්‍රදේශ තිබුණේ අපේ ගමට ගව් ගණනක් දුරිනි වැරදිලාවත් ගමේ කෙනෙක් හෝ ගමේ කෙනෙකුගේ ඥාතියෙක් හෝ සුනාමියෙන් විපතට පත් වුනෙත් නැත.   කරුණු කාරණා එහෙම තිබියදී අපේ ගමේ උදවිය සුනාමියෙන් මියගිය අයට පිං පමුණුවන්නට දාන මාන කරන්නේ අහවල් දේකටදැයි කෙනෙකුට හිතෙන්නට පුළුවන් උනත් මට කියන්නට තියෙන්නේ ඒ අපේ ගමේ උදවියගේ හැටිය කියාය.  කෙනෙකුගේ විපතකදී බොහෝසේ කම්පාවෙන අපේ ගමේ අය එය තමන්ට සිදුවූ විපතක් ලෙස සළකා කරන්නට පුළුවන් හැම උදව්වක්ම කරති මියගිය අය වෙනුවෙන් කරන්නට ඇත්තේ පිං පැමිණවීම පමණක්ම නිසා මෙසේ බණක් කියා දනක් දී පිං පමුණුවති.    ගමේ උදවියගේ මේ පරාර්ථකාමී ගුණයට මා ඉතා කැමතිය,   මගේ පුද්ගලික වැඩද අමතක කර  මෙවැනි වැඩවලට මා හැකි හැම උදව්වක්ම කරන්නේ අපේ ගමේ අයගේ  මේ මාහැඟි ගුණයට මගේ ගෞරවය දක්වනු පිණිසය.

    සුනාමිය ගැන කියාගෙන ආපු නිසා ඒ ගැන තවත් කතාවක් මතක්විය.    සුනාමිය ආපු අවුරුද්දේ අපි පදිංචිවී සිටියේ යුරෝපා රටකය. ලංකාවත් එක්ක වෙලාවේ වෙනස පැය හයහමාරකි තවත් විදිහකට කිව්වොත් ලංකාවට දවල් එක වෙද්දී ඒ රටේ උදේ හයහමාරය.   ලංකාවට සුනාමි විපත පැමිණියදා එනම් 2004 දෙසැම්බර් 26 වනදා උදේ පාන්දර ටී වී එක දැම්ම වෙලේ ඉඳන් ජාත්‍යන්තර ප්‍රවෘත්ති නාලිකා හැම එකකම පෙන්නන්නේ ලංකාවටත් ඉන්දුනීසියාවටත් බලපෑ සුනාමිය ගැනයි.  මියගියාය කියන අයගේ ගණන් හිලව් විනාඩි පහෙන් පහට ඉහළ යයි.   අම්ම මුත්ත කාලෙවත් මෙහෙම දෙයක් අසා නොතිබුණු මම අන්දුන් කුන්දුන් වී ගියෙමි ඇත්තම කිව්වොත් ඒ කාලේ සුනාමි කියන්නේ මොකක්ද කියාවත් අපි දන්නේ නැත.    මම වහාම ලංකාවේ යාලුවෙකුට කතාකර සිද්දවෙන්නේ මොකක්ද කියා ඇසුවෙමි.

    ඌ මගෙන් ආපහු ඇහුවේ ඇයි මොකක් වෙලාද කියලාය.   බැලින්නම් ඌ සුනාමිය ගැන හාංකවිසියක් නොදනී.   ඒ ගමන ඌ මගෙන් සුනාමිය ගැන විස්තර අහන්නට උනේ හත් දවසක් අතරමංවී හිටපු එකා හත් මාසයක් අතරමංවී හිටපු එකාගෙන් පාර අහනවා මෙනි.   ඌ එක්ක කතාකිරීම නවත්වා දැමු මම අපේ අම්මාට කතාකර විස්තර ඇහුවාම අම්මා තමන් දන්නා විදියට සිද්දිය විස්තර කළාය.  

    මම තේ උණුකරන තැනට ගියවිට එතැන හිටි අය ඇහුවේ මේ පැත්තෙ කැරකෙන්නේ තේ එකක් බොන්න ඕනෑවෙලාද කියලාය.    තේ එකක් තිබුණොත් නං හොඳයි කියූ මම වටපිට බැලුවේ ඉඳගන්නට තැනක් සොයාගන්නටය.  එතකොට මම දැක්කේ ලිප ළඟ බ්ලොක් ගලක් උඩ ඉඳගෙන ඉන්න කුමාරි අත් දෙකත් පොරවාගෙන ගිණි තපිමින් සිටින ආකාරයයි෴