Monday, February 22, 2016

නව වසරට ආසිරි සුද්දාගේ බවලතුන් සහ පළතුරු සංග්‍රහය


පළවෙනි කොටස
දෙවෙනි කොටස 
තුන්වෙනි කොටස 
හතරවෙනි කොටස 

අනේ මම පරක්කු උනාද අයියෙ, හරිවැඩේනෙ උනේ  පොඩි අයගෙ මුණුවල ගාන්න පාට ටිකක් හොයාගන්න මේ අහළ පහලින් බැරි උනානේ ඉතිං ගෙදරම යන්න උනා මොනා කරන්නද මමම දුවල ගිහිං ගෙනාවා...

කුමාරි එකදිගටම කියවන්නට වුයේ හෝස් හෝස් ගා හැති දමන ගමන්මය කොස්ගහ මුල සිටගෙන මම ඇයට සවන්දී සිටියෙමි. කුමාරි තාම හැති අදින්නේ කම්මලේ මයිනහම මෙනි.  කුමාරි කියන්නේ ඇත්තද බොරුදැයි එකවරම හිතාගන්නට නොහැකිව මොහොතක් එකෙල මෙකෙල වෙමින් සිටියද මගෙ සිතට ආවේ දැනටමත් ප්‍රසංගය පවත්වන්නට අප ප්‍රමාද බවයි.  සියල්ලටම පෙර වැඩේ පටන්ගත යුතුය සිහි එළවාගත් මම කුමාරිට කතාකළෙමි.

හ්ම්ම් ඔය කියෙව්වා ඇති කුමාරි ඉක්මනට ඇතුළට ගිහිං උලන දෙයක් උලලා ළමයින්ගෙ නැටුම පටන්ගන්න ලෑස්ති කරන්න...

මම ප්‍රජා ශාලාව ඇතුළට යමින් කියනවිට කුමාරිද මා පිටුපසම ඇතුළට විත් ඇගේ කාර්යයේ නිරතවන්නට පටන්ගත්තාය.  තිරයෙන් එළියට හිස දමා බලනකළ ප්‍රසංගය නැරඹීමට ඇවිත් සිටින ගමේ රසික රසිකාවියන් අපේ ප්‍රමාදය ගැන බොහෝසේ නොසන්සුන්ව සිටිනු දැකගත හැකිවිය.  මයික්‍රපෝනයද අතැතිව මම ඉදිරිපසට ගියේ පොල්තෙල් පහන් දැල්වීම ආදී මුලික කටයුතු ආරම්භ කරනු පිණිසය.  එකළ අද මෙන් රැහැන් රහිත මයික්‍රපෝන අප සතුව නොතිබුණ බැවින් මට ඉදිරියට යා හැක්කේ වයරය දිග තිබෙන තාක් පමණකි.   සද්දක් ඇසී මා පසුපස බැලුවිට මා දැක්කේ තවත් මයික්‍රපෝනයක් අතැතිව මා පසුපස ඇදෙන සුද්දාය.   අපේ  ප්‍රමාදය වෙලාවේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සුද්දා තරමකට සප්පායම් වී ඇති බව මා  එකෙණෙහිම නිශ්චය කරගත්තෙමි.   දැන් කරන්නට දෙයක් නැත බීපු වෙලාවට කටට බ්‍රේක් නැති සුද්දා සමග වැඩ කරන්නට වෙන්නේ බොහෝ ප්‍රවේශමෙනි.  මේ වෙලාවේ වචනයක් වැරදුනොත් එහෙම සුද්දාට මල පනී ඒ උගේ හැටිය.

පවුල කඩාකප්පල් කරගත් කාලයේ දැඩි සිත් තැවුලකින් සිටි සුද්දා උගේ දුක මල් පත්තරයක මොකක්ද තීරුවකට ලියා පළවූ විට ඌට ලියුම්ද කෝල්ද ලැබෙන්නට වුනේ තොග පිටිනි.  ඒ දවස්වල   ඌට ලැබෙන පෙම්පත් කියවමින්ද කෝල් වලට උත්තර දෙමින්ද සුද්දා පෙරපු පළතුරුවල රස බලමින්ද සුද්දලාගේ ගෙදර මා ගතකරන සති අන්තය එකම විනෝද සාගරයකි.  ලැබී ඇති ලිපි තොගය කියවා වෙහෙසට පත්වන සුද්දා ඊළඟට පළතුරු බෝතලය අතට ගනී, බොන්න පටන් ගත්තවිට මොන වැදගත් වැඩක් ආවත් නැගිටින්නේ සුද්දා නොවේ.  ඒ වෙලාවට ලැබෙන කෝල් වලට උත්තර දෙන්නේ ටෙලිපෝනය ළඟ පාත ඉන්නා එකෙකි.  දවසක් ඔයවගේ ආපු කෝල් එකක් ඉස්සුවේ ළඟ  හිටපු මමය.  කතා කලේ මාතලේ පැත්තේ ටීච කෙනෙකි සුද්දා මට කියා තියෙන්නේ ඌ උත්තර දෙන හැටියට උත්තර දෙන්න කියා උනත් මම ඒ වෙලාවේ ඊට වඩා ටිකක් අවංක වුනේ ඇය වැනි වැදගත් තැනැත්තියක් රවටන්නට මට සිත දුන්නේ නැති නිසාත් සුද්දා වැනි පට්ට අපතයෙකුට වැරදිලාවත් අහුවුණොත් ඇගේ ජීවිතයත් කාලකන්නි වෙන නිසාත්ය.  ඇය කතාකළේ කිකිණි සලන්නාක් මෙනි.

හලෝ මේ ....ගෙ ගෙදරද?

ඔව් ඔව් එහෙ තමා...

එතකොට මේ කතාකරන්නෙ එයාද?

නෑ නෑ එයා මේ වෙලාවෙ එළියෙ වැඩක්...

එහෙමද, එයාට පොඩ්ඩකට කතා කරන්ට බැරිවෙයිද?

අපෝ එයා දැන්නං කීයටවත් පෝන් එකට එන එකක් නෑ...

මොකද්ද අනේ කෝල් එකකටවත් උත්තර දෙන්ට  බැරි තරමට එයාට තියෙන වැදගත් වැඩේ?

මම මොහොතකට ගොළු උනෙමි.  මොනවා කියන්නදැයි හිතාගන්නට බැරිය.

මොකද සද්ද නැත්තෙ ඔයා බොරු නේද කියන්නෙ ඔය ....නේද?

අපෝ නෑ නෑ මම එයා නෙවෙයි...

එහෙනං එකපාරටම සද්ද නැතුව ගියේ ඇයි...

නෑ නෑ එහෙම දෙයක් නෑ ඇත්තම කිව්වොත් එයාට දැන් මෙතනට එන්න විදියක් නැත්තෙ යාලුවොත් එක්ක එළියෙ වැඩක් නිසා...

මොකක්ද ඔය කියන්ට බැරි වැඩේ කට්ටිය එකතුවෙලා පාටියක්වත්ද?

කැමති විදියකට හිතාගන්න...

හරි හරි මට තේරෙනවා, එයා හැමදාම ඔහොම බොනවද?

අපෝ නෑ අද ඔය යාලුවොත් එක්ක එකතුවෙලා ගමේ හදපුව පොඩ්ඩක් බිව්වට එයා බේබද්දෙක් නෙවෙයි...

මෙසේ ඇදීගිය අපගේ කතාබහ එක්වරම නතරවූයේ සුද්දා එළියේ සිට ගෝරනාඩු කළ නිසාය.

මොන මඟුලක් කියවනවද ඕක තියල මෙහෙට ඇවිත් දෙකක් දාගන්නෙ නැතුව...

සුද්දා වෙරිමතින් කියවයි.කතා කරමින් සිටි කාන්තාවගෙන් සමුගත් මම කතාබහ අවසන්කර සුද්දා සමග එකතු වුයෙමි.අපේ කතාවේ විස්තරය ඇසු සුද්දා මට බලු බැණුම් බැන්නේ හිනාවෙමිනි.

කලොත් කරන්නෙ ඔය වගේ පජාති වැඩක් තමා...

එහෙම කිව්වට සුද්දා ඒ ගැන ගණනකටවත් නොගත්තේ ඒ දිනවල ඌට විවිධාකාරයේ කාන්තාවන්ගෙන් කිසිම හිඟයක් නොතිබූ බැවිනි.   ආයෙම දවසක දවල් හදිස්සියේ සුද්දාගේ ගෙදරට කඩාපාත්වුණේ ඌත් එක්ක ලියුම් ගණුදෙනු කරමින් සිටි කෙල්ලෙකි.   ඇය සුද්දාගෙන්ම ගෙදර එන්න පාර අසාගෙන තිබු අතර එන බවක් සුද්දාට කියාතිබුනේ නැත.  ඉතිං මේ කෙල්ල ඇගේ මිතුරියෙකුත් එක්ක සුද්දලාගේ මිදුලට එනතුරු අපි දන්නේ නැත.  දැන් කුමක් කරන්නද පවුල වෙන්වී ගියායින් පසු කවදාවත් ලිප් ගිනි  නොදැල්වුණ සුද්දගේ ගෙදර යකුන් නැටු පිට්ටනියක් මෙනි.  කඩෙන් ගෙනා කෑම පාර්සල්වල කොළ ,බයිට් පැකට් හිස් කවර,හිස් බාග බෝතල්,බුලත්විට කොට,ඉඳුල් පිඟන්,  පත්තර කඩදාසි ආදී රටේ තියන දේවල් ඔක්කොම සුද්දගේ සාලයේය.  අපි දෙතුන් දෙනා ඉක් ඉක්මනට සාලය අස්කලේ එන අමුත්තන් දෙන්නාට අඩු තරමින් කැත නැතුව වාඩිවෙන්නට වත් ඉඩක් ලබාදෙන්නටය.   සුද්දා කෙල්ලන් දෙන්නා එක්ක කයිය ගහමින් එක්කරගෙන ඇවිත් සාලයේ වාඩි කෙරෙව්වේය.  විස්තර කතාකරනවිට දැනගත්තේ සුද්දා එක්ක ලියුම් ගණුදෙනු කරපු කෙල්ල අවුරුදු ගාණක් රට රස්සාවක් කර ආපහු ඇවිත් ඉන්න කෙනෙක් බවය.   

කතාබහ යන අතරේ මම කල්පනා කලේ ගෙදරට ආපු දෙන්නාට ආගන්තුක සත්කාර කිරීම අපේ යුතුකමක් කියලාය.   නමුත් අරක්කු බාගයක් ඇරෙන්නට බොන්නට දෙන්න මෙහෙමයි කියා දෙයක් සුද්දලගේ ගේ හරියේ තිබුණේ නැත.   මම උසාත් එක්ක ගේ පිටිපස්සට ගිහිං පැළ ගහෙන් තැඹිලි ගෙඩි දෙකකුත් කඩාගෙන කපා වීදුරු දෙකකට දමා දෙන්නාට පිලිගැන්වුයේ අපි සුද්දාගේ ගෙදර වැඩකරන කොල්ලන් බව පෙන්වමිනි.   මම ගෙදර ඇවිත් මේ විස්තරය හැලපිට කීවිට ඇය මගේ ඇඟට ගොඩවුනාය.

හුහ් යනව මෙතන කොහෙදවත් නැති එකියන්ට බීම අල්ලන්න,තමන්නෙ තැන තියාගෙන ඉන්න දන්නෙ නෑ ආපහු ගියදෙන්කො බලන්ඩ මාත් එනවා,ඔය දඟලන්නෙ මගෙ හැටි දන්නෙ නැතුවයි...

ආදී වශයෙන් වාග් ප්‍රහාරයක් එල්ල කළත් ඇය ඊට පස්සෙදිවත් මගෙත් එක්ක ආවෙනං නැත.   අර කෙල්ල නං ඊට පසුව දිගටම එන්නට ගත්තේ ගෙදර කෙනෙක් වගේය ඇය පැමිණ සුද්දාට කෑම බීම පමණක් නොව ඇතිවෙන්නට ලෑමද පිරිනැමූ බව පසුව දැනගන්නට ලැබුණි.   කොච්චර අහත් පහත් කළත් සුද්දා එක්ක විවාහ වීමේ සිහිනය සැබෑ කරගන්නට ඇයට හැකිවුණේ නැත.   ඇය සුද්දාට තෑගි වශයෙන් ගෙනා ෆෝ ඉන් වන් යන්ත්‍රය නම් බොහෝ කාලයක් යනතුරු සුද්දාගේ සාලයේ තිබෙනු මම දැක්කෙමි.

මයික් එකත් අතැතිව මගෙ පසුපස එමින් සිටි සුද්දාට  මම එළියේ වැඩ ටික අහවර කරන තුරු නැටුම් ටික පෙළ ගස්සන්නටයි කිව්වේ ඌ මොනවා කියාවිදැයි මගෙ හිතේ තිබුණු බයටය.  කොහොම උනත් සුද්දා මම කියපු දේ අසා පොඩි උන්ට කෑ ගසමින් සුදානම් කරනවා එළියටත් ඇසුනි.  කොහොමත් සුද්දාගේ කටහඬ ගන්ටාරයක් වගේය  මයික් එක ගත්තට ඌ කතාකරන විට ඉස්පීකර් අවශ්‍ය නැත.

එළියේ චාරිත්‍රානුකුල වැඩ කටයුතු ටිකට පසුව පූජා නැටුමද ඊළඟට පොඩි උන්ගේ නැටුම් දෙකතුනද අවසන්වීමෙන් පසුව යම්කිසි සැහැල්ලුවක් හිතට දැනෙන්නට විය.   නැටුම් අවසානයේ ඒ නැටුම්වල පුහුණුකාරිනිය වූ කුමාරිව සෙව්වත් මගේ සිත මහත් කුතුහලයට පත්කරමින් ඒ වනවිට ඇය පෙනෙන්නට සිටියේ නැත෴

Sunday, February 7, 2016

සංචාරක සටහන් කරීෆ් සමයේ සුන්දරත්වය සහ හැලපිගේ ඇටදෙක.



අද කරන්නේ මීට පෙර ලියු කතාවක ඉතිරි කොටස සම්පුර්ණ කිරීම හෙවත් වරහන් වැසීමයි.  මේ කතාවේ මුල්කොටස  මගේ අතින් ලියවුනේ මීට සැහෙන දිනකට පෙර එනම් 2014 සැප්තැම්බර් මාසයේය.   ඉතින් හෙට අනිද්දා සිදුවන හැලපිගේ සම්ප්‍රාප්තියට කලියෙන් මෙය ලියා අවසන් කරන්නට සිතුනේ දන්නවා නම් මේ කතාව ලියන්නට ඇය මට කිසිසේත්ම ඉඩ නොදෙන බව හොඳින්ම දන්නා නිසාය.   ඒ හේතුවෙන් දැනට කුමාරිව කොස් ගහට හේත්තුකර මෙම කතාව අවසන් කරන්නට කඩිනම් වුනෙමි.   

කඩිනම් කියන විට මට මතක් වෙන්නේ පොතක මා කියවූ කතාවකි පොත කෝ. ආනන්ද හිමියන් විසින් රචිත "හේ සිද්ධාර්ථ නම් වෙයි " නම්වූ රසවත් ග්‍රන්ථයයි.   එහි ලොකු හාමුදුරුවන් විසින් පිරිවෙනේ ඉගෙන ගන්නා සිය ගෝලනමට ලිපියක් යවන ආකාරය කියැවේ.   ලොකු හාමුදුරුවන් ලිපිය පටන් ගන්නේ පොඩි නම වෙත කඩිනමටයි කියා වුනත් ලියැවී තිබුනේ පොඩිනම වෙත ලියා දන්වන වගනම් කඩිනටයි යනුවෙන්ලු.    මීට බොහෝ කලකට පෙර සිට පැරිස් නුවර වැඩවසන කෝ.ආනන්ද හිමියන් දැන් ග්‍රන්ථකරණයේ යෙදෙනවාද යන්න නොදනිතත් උන්වහන්සේ ලියු ඒ කෘතියට 1978 රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය.  රාජ්‍ය සාහිත්‍ය සම්මානය  පිදුන දිනය ගැනත් කතාවක් උන්වහන්සේ අතින් කොහේදෝ ලියැවී තිබී කියවූවා මට මතකය.   එනම් උන්වහන්සේට රාජ්‍ය සාහිත්‍යසම්මානය ලැබෙන්නට නියමිත දිනයේම හේ සිද්ධාර්ථ නම් වෙයි නවකතාවේ චරිතයක් වූ එල්ලක්කල උපාසකම්මාගේ මරණයේ අවසාන කටයුතු යෙදී තිබීමයි.   සාහිත්‍ය සම්මානය ලබාගන්නට කොළඹ ගියහොත් උපාසකම්මාගේ පාංශුකුලයට සහභාගී වන්නට නොහැකිවේ.  රාජ්‍ය සාහිත්‍ය සම්මානය අමතක කල උන්වහන්සේ උපාසකම්මාගේ පාංශුකුලයට සහභාගී වුහ. 

නැවතත් ප්‍රස්තුතයට පැමිණියහොත් කරිප් සමය යනු සලාලා සහ අවට වැසියන්ගේ සිත් ප්‍රීතියෙන්ද ගත සීතලෙන්ද කිතිකැවෙන සුන්දර කාලයකි.   වැස්සත් සමග මෙතෙක් කල් වියලී ගොස් තිබු ගස්වැල් දළුදමා නව පණක් ලද්දාසේ ලා කොළ පැහැති සළුපිළියෙන් සැරසෙයි.   කඳු සාවියේ කේඳෑරි වී ඇද හැලෙන දියවැල් නොකඩවා ඇද වැටෙන වැස්සෙන් පෝෂණය වී සිලි සිලි හඬ නගමින් ගලායන්නේ අවට පරිසරයම සුන්දරත්වයෙන් මන්මත් කරවමිනි.   හැන්දෑවට පැත්ත පළාතම වසාගෙන පැතිරෙන ඝන මීදුම කඳු වලල්ල වසාගෙන ඇති කැලයද නොපෙනෙන තරමට දැඩිය.   මෙසේ ලස්සනවී හැඩවන සලාලා පෙදෙසට දෙස් විදෙස් සංචාරකයන් පෝලිමේ ඇදී එන්නට පටන් ගන්නේ පළාතේ සිසිලස සුන්දරත්වය නොඅඩුව විඳගනිමින් තම නිවාඩුව සතුටින් විනෝදයෙන් ගතකරන්නටය.  සංචාරකයන්ගේ පැමිණීමට සාපේක්ෂව පළාතේම ඇති හෝටල්,ලැගුම්හල්,ගෙවල් ආදී නවාතැන් පොළවල් වල අයකරන මිළ ගණන් හතරපස් ගුණයකින් ඉහළ යයි.    සමහර සංචාරකයින් කුඩාරම් හෝ ජංගම ගෙවල් ඔවුන් එනවිටම රැගෙන එන්නේ කැමති තැනක නැවතී කඳුකර සුන්දරත්වය රිසිසේ විඳ ගැනීමටය.    අප සලාලා ගියේ කරිෆ් සමය ආරම්භයේදීමය.   හෝටල් කාමරවල මිළ ගණන් දෙගුණ තෙගුණ වී දරාගන්නට නොහැකි තත්ත්වයකට එන්නට පෙර සලාලාවලට ළඟාවූ අප හිතවත් අසෝකගේ ආගන්තුක සත්කාර විඳගනිමින් දෝෆාර් හෝටලයේ ලැගුම් ගතිමු.  ඒ වනවිටත් ගස්වැල් කොළ දළු මල් දමා සම්පුර්ණ වී නොතිබුණ අතර දළු දමමින් තිබු කනාටු ගස් වැල්ද තැන තැන දක්නට ලැබුණි.  කරිෆ් සමයේ කඳුකර සුන්දරත්වය හැලපැට්ටා සිය කැමරාවට හසුකරගත්තේ මෙසේය.


 සවස් කාලය වෙද්දී මීදුම මුළු කඳුකරයම වෙලාගන්නේ අඩි කීපයක දුරක්වත් නොපෙනෙන පරිද්දෙනි.
 
ඊළඟට අප යන්නේ තවත් වැදගත් තැනක් බලන්නටය.   එය හඳුන්වන්නේ ඇන්ටි ග්‍රැවිටි හෙවත් ගුරුත්වාකර්ෂණයට එරෙහිව යනුවෙනි.   ස්ථානය පාරේ ඇති කුඩා කන්දකි කන්ද පාමුල සිට තරමක් ඉහළට වාහනය ධාවනය කර නවත්වා ගියරය නියුට්‍රල් කලවිට වාහනය කන්ද ඉහළට සෙමින් සෙමින් ඇදෙන්නට පටන්ගනී.   මේ කතාව මා සලාලා එන හැම දවසකදීම පාහේ අසා තිබුණත් දැකගන්නට ලැබුනේ නැති නිසා ඒ ගැන විශ්වාසයක් මගෙ සිතේ තිබුනේ  නැත.   නමුත් මෙම අවස්ථාවේ මා එම දර්ශනය සියැසින්ම දුටුනිසා එම සැකය නැතිවී ගියේය.    කෙසේ වුවද මෙතනට එන සංචාරකයන් වාහන පාර මැද නවත්වා මෙම ගුරුත්වාකර්ෂණයට එරෙහි ක්‍රියාව නැරඹීම පාරේ ගමන් කරන සාමාන්‍ය වාහනවලට මල කරදරයක් බව එවෙලේ මම හොඳින් දුටුවෙමි.
 
මෙහි කුඩා වීඩියෝ කැබැල්ලක්ද මගේ ළඟ ඇතත් ඔබගේ බයිට් ගැන සැළකිලිමත් වෙමින් එය පළ නොකරමි.   නිම්නයේ පහල කුඩාරම් ගසාගෙන සිටින්නේ ඔටුවන් ඇතිකරන උදවියයි. 

 තවත් ස්ථාන කීපයක් නැරඹු අප ඊළඟට ගියේ බලන්නට තරම් වැදගැම්මකට ඇති දෙයක් නැති කන්දෙන් පෙරී එන ජල උල්පතක් නරඹන්නටය.   මේවන විට සැන්දෑ කළුවරද  වැටෙමින් පවතී.  ස්ථානයේ බලන්නට දෙයක් නැතිවුනත් එතන බැසගත් අප ජල උල්පතට එබිකම් කර බැලුවෙමු.  නරඹන්නන්ට රැඳී සිටින්නට සිමෙන්තියෙන් බැඳ ඇති වේදිකාව බඳු කොටස දියසෙවලෙන් පිරුණු ඉතා භයානක ලෙස ලිස්සන තැනකි.   වරින් වර වැටෙන වැස්සෙන් තෙමී අඩිය තියන තියන තැන ලිස්සන සිමෙන්තියේ අප දැඩි ආයාසයකින් ගමන්කළෙමු.  මොහොතක් ජල උල්පත දෙස බැලු අප එතැනින් පිටත්වන්නට හැරුනා පමණකි.   දඩස් හඬින් ශබ්දයක් ඇසිනි බැලුවිට හැලපි ලිස්සා බිම වැටී සිටියාය.   ඇයවත් නැගිට්ටවා ගෙන අපි ආපසු පැමිණියෙමු.  ආපසු එන ගමන් හැලපි මට කීවේ ඇයට වාහනයෙන් බැස ගන්නටත් බැරි තරමට බඳ පෙදෙස වේදනා දෙන බවයි.   එවෙලේ පාමසියකින් ලබාගත් තැල්මට ආලේප කරන බාම් වර්ගයකින් වේදනාව සමනය කරගෙන අපි පහුවදා ආපසු ගෙදර ආවෙමු.
                                                    ලිස්සන්නට මොහොතකට පෙර.
ගෙදර ඇවිත් දවසක් දෙකක් ගතවුවද ඇයගේ වේදනාවේ අඩුවක් ඇතිවුනේ නැත.   නිදාගන්නට හැක්කේ උඩුබැලි අතට පමණකි හැරුණොත් ඉවරය.  මෙය තැල්මකට එහා ගිය අසාමාන්‍ය වේදනාවක් බව සිතු මම පහුවදා උදෙන්ම ඇයව රෝහලට රැගෙන ගොස් වෛද්‍යවරයෙකුට පෙන්වූයෙමි.   ඔහු ඇයව පරීක්ෂා කර කැඩුම් බිඳුම් වෛද්‍යවරයෙකුට යොමුකළේය.  එක්ස්රේ පිංතුර දෙකක් බැලු ඒ වෛද්‍යවරයා නිගමනය කලේ හැලපිගේ දකුණුපස ඉලඇට දෙකක් පුපුරා ඇති බවයි.  ඇය ලිස්සා වැටෙන විට එතැන ඇති බැම්මේ ඇගේ බඳ පෙදෙස තදින් ගැටී ඇත.  බෙහෙත් නියම කළ වෛද්‍යවරයා කීවේ ඇඳටම වී විවේක ගන්නා ලෙසත් සුවවන්නට අඩුම වශයෙන් සති  දෙකක කාලයක්වත් ගතවන බවත්ය.   ඊට අමතරව බඳ පෙදෙස නොසෙල්වී තබාගන්නට රිබ් බෙල්ට් එකක් පැළඳගන්නා ලෙසත් ඔහු කීවේය.    රෝහල් පාමසියේ රිබ් බෙල්ට් නොතිබුණු අතර අහළ පහල ඇති හැම පාමසියකින්ම සොයා බැලුවත් ඒ එකකවත් තිබුණේත් නැත.    හැලපි කියන්නේ ඇයට බෙල්ට් එකක් අරගෙන දෙන්නට මගේ කිසිම උනන්දුවක් නැති බවත් බෙල්ට් එක පැළඳගත්තා නම් ගල ගැහුවාසේ ලෙඩේ හොඳවෙන බවත්ය.  දැන් මගේ දවස ගතවන්නේ නගරය පුරා ඇති පාමසිවල රිබ් බෙල්ට් සොයමිනි.   හැම පාමසියේම ඇත්තේ බඩ තදවෙන්නට දමන බෙල්ට් මිස රිබ් බෙල්ට් නොවේ.   අන්තිමේ බොහොම අමාරුවෙන් නගරය පීරා එක පාමසියක තිබී සොයාගත් රිබ් බෙල්ට් එකක් ගෙනත් දුන්නෙමි.  
බෙල්ට් එක ගත් ඇය එය පැළඳගත්තේ සතුටිනි.   ටිකකින් බලනවිට බෙල්ට් එක ගලවා පසෙක දමා තිබෙනු දුටුවෙමි.   ඇය කිව්වේ කසන නිසා බෙල්ට් එක දමාගෙන ඉන්නට බැරිය කියාය.  ටික දවසක් ගතවිය බෙල්ට් නැතිවම හැලපිගේ ඇට දෙක සනීපවිය.  බෙල්ට් එක පෙට්ටියේ දමා පරිස්සමින් අල්මාරියේ තබා ඇති අතර එය තෑගි දෙන්නට ඇට පුපුරපු එකෙක් මට තාම මුණ ගැසුනේ නැත෴