Sunday, January 24, 2016

නව වසරට ආසිරි කැලෑ ගිනිතැබීම සුද්දාගේ ශෝකය සහ කුමාරිගේ පැමිණීම.


අපේ ප්‍රජා ශාලාවේ පිටුපස දොරෙන් එළියට බහිනවිටම ඇත්තේ බොහෝ  වයසට ගොස් ඇති දුම්මල නිසා ගෙඩි කන්නට බැරි කණාටු කොස් ගසකි.    අනික් අය එක්ක මමත් ඔය කොස්ගහ යටට ඇවිත් පහළින් ඇති පාර දෙපැත්ත බැලුවේ කුමාරි පාරේ කොහෙහරිවත් ඇද්දැයි බලන්නටය.   කොස්ගහමුල කුණුරොඩු ගොඩගසා තියෙනු දුටු මට සිනාවක් පහළවුනේ  දවසක්දා වුන වැඩක් මතක් වීමෙනි.   අපි කොල්ලො කට්ටිය කීප දෙනෙක් නිවාඩු දවසක දවාලේ ඔතනට සෙට් වුනේ පොඩියට වගේ කර්තව්‍යයක් කරන්නටය.   බොහොම අමාරුවෙන් බෝතල් දෙකකට මුදල් එකතුකරගෙන බෝතල් ගේන්නට තව එකෙක් එක්ක සයිකලයක ටවුමට ගියේ සුද්දාය.   ඌ එනතෙක් අපි කතාබහ කරමින් සිටියෙමු  සුද්දා ගිය ඉක්මනින් බෝතලුත් අරගෙන ආපහු ආවේ බොන්න තියෙන තිබහ ඉවසන්නට බැරි නිසාවෙනි.  ඇතුළට ගිය අපි එකක් කඩා බොන්නට පටන් ගත්තෙමු.   මම ටිකකින් එළියට බැස්සේ මා ඉදිරිපිට නොබොන උන් කීප දෙනක් හිටපු නිසා උන්ට අවස්ථාවක් දෙන්නටය.  එළියට බැස්ස මම දැක්කේ කොස්ගහමුල ඇති කුණු රොඩු ගොඩය.    ඔයවගේ රොඩුගොඩවල් පෙන්නන්නට බැරි අමාරුවක් මට තිබේ.  එනම් රොඩු ගොඩක් දැක්ක පමණින් එය ගිනි තියන්නට ඇතිවෙන ආසාවයි මගේ මේ ඔලුවෙ අමාරුව ගැන අපේ ගමේ කොල්ලෝ නම් හොඳින් දැනුවත් වී සිටිති.    දවසකුත් ඔය ගිනිතියන වැඩේ  කර අමාරුවේ වැටෙන්න  ගිහිං  යන්තං බේරුනෙමි.

ඒ අපි වලක් කපන්නට කනත්තට ගිය දවසක්ය මුළු කනත්තම මානා පඳුරුවලින් වැසී ගිහින්ය.   ඒ දිනවල තිබු වියළි කාලගුණය නිසා මානා පඳුරු ගිනි පුළුන් මෙන් වියලී කරකුට්ටන් වී තිබේ.   කට්ටිය වල කපන තැනින් නැගිට පාරට බැස්ස මම කනත්ත වටේ ඇවිද්දෙමි මුදුන්වී ඇති ඉරේ රශ්මිය ඉවසන්නට බැරිය වියළි මානා පඳුරු දකින විට මට ඊට වඩා ඉවසන්නටම බැරිය ගිනි  තියන්නටම හිතෙයි.   ආපහු ගිහිං බුලත්මල්ලට අතදමා බලනවිට ගිනිපෙට්ටියක් තිබුණි  හීං සීරුවේ ගිනිපෙට්ටියත් අරගෙන ආපහු කනත්තේ එහා කොනට ගිය මම හුළං අතබලා ගිනි කුරක් පත්තුකර වියළි මානා පඳුරකට ගිනි  තිබ්බෙමි.   

හිමිහිට හිමිහිට පැතිරී යන්නට වූ ගින්න  ටිකකින් මහා ගිනිජාලාවක් බවට පත්විය.  හමන සුළංවලින් ජවය ලබාගන්නා ගින්න ඉදිරියට හසුවන සෑම සියළු දෙයම දවා හළුකරලමින් පැතිරයන්නට වුයේ අනුකම්පා විරහිත ලෙසටය.   ආසාවට ගිනි තිබ්බාට දැන් මට පණ බයය එනම් ගින්න කනත්ත පහුකරගෙන වැටෙන් එහා වත්තේ ඇති ගෙවල් වලටද පැතිරෙයිද කියන සැකය නිසාය.   දැන් වල කපමින් සිටි අපේ කට්ටියත් කලබල වෙලාය පට පට ගගා ඇවිළෙන ගින්නේ රස්නයට කනත්ත අහලකවත් ඉන්නට බැරිය.   ගින්නට බයේ වල් හාවුන් දෙන්නෙක් පැන දිව්වේ මගේ දෙපා අසලිනි.   ඔය වත්ත වල් හාවන්  විමානයකි ඕනෑම අගලකින් හාවෙක් දෙන්නෙක් තලා ගන්නට කිසි අමාරුවක් නැත.  අපේ ගමේ ඉන්න හාවුන් මරුවා එදා කනත්තට ඇවිත් නොතිබුණේ හාවුන්ගේ වාසනාවටය.  කලබල වී වටපිට බලන කොල්ලන් දැක්කේ පාරට වී ගින්න දෙස බලා සිටින මාවය.

අනේ අම්මප මේ යකානං,කෙරුවොත් කොරන්නෙ ඔහොම වැඩක් නොවැ...

මිනිහා කැලේ දිහා බල බලා කැරකෙනකොට මට නිකමට වගේ හිතුණා...

වේලිච්ච කොළයක් දැක්කත් ඇති නලියනවා...

ආදී වශයෙන් කොල්ලෝ මට පිං අනුමෝදන් කරති.

හා හා දැන් වෙච්ච දේට මොනා කරන්නද වරෙල්ල වරෙල්ලා මේක නිමල දාමු...

පොල්පිති වලින් තල තලා එතැනම ඇති ඇළෙන් වතුර ගෙනවුත් දමා සෑහෙන වෙලාවක් මහන්සිවූ කොල්ලෝ අවසානයේ  ගින්න ගෙවල්වලට පැතිර යා නොදී නිවා දැමුහ.  හැබැයි කරපු අලුගුත්තේරු වැඩේ ගැන එකෙක්වත් මට දොස් කියන්නට ඉදිරිපත් නොවුයේ අහවල් දෙයක් නිසාදැයි නොදනිතත් නොමිලේ බොන්නට ලැබෙන ටික නැතිකරගන්නට කවුරුන් කැමති  වේදැයි මට නිකමට වගේ සිතුවිල්ලක් පහළ විය.   ඔය වගේ ගොන් විදියට ගිනිතියන වැඩ හැමතැනදිම කළත් තාම මම මට්ටුවී නැත්තේද කවුරුවත් හරිහාමන් පාඩමක් උගන්වා නැති නිසා විය හැකිය.   ඒ නිසාම මම හෙටත් අහුවුන තැන ගිනිතියමි. 

දැන් ඉතිං කොස්ගහමුල ලොකු කුණුගොඩක් තිබේ කුණුරොඩු ඔහොම නොසලකා හරින්නට හොඳ නැත්තේ ඕවායේ වතුර එකතුවී මැසි මදුරුවන් බෝවෙන නිසාය.  එහෙම උනොත් එය අහල පහළ අයගේ ශරීර සෞඛ්‍යයටද අහිතකරය ඒ නිසා නීතිගරුක පුරවැසියෙකුගේ වගකීම වන මේ කුණුගොඩට ගිනි තබා ඉවරයක් කිරීම මගේ යුතුකමය.  ගිනිපෙට්ටි හොයන්නට කොල්ලන් බොන තැනට ගියොත් එහෙම මට ලැබෙන්නේ ගිනිපෙට්ටි නොව කන්දෙක පුරා බැණුම් වරුසාවකි ඒ නිසා මම එතනට නොගොස් ළඟපාත  ගෙදරක එළියේ  සිටි කාන්තාවකගෙන් ගිනිපෙට්ටියක් ඉල්ලා ගෙනවුත් ඉතාම සීරුවට කුණුගොඩට ගිනි  තිබ්බෙමි.   ගින්න හොඳින් ඇවිලෙද්දී වට පිට තිබුණ කුණු රොඩුද ඇදගෙනවිත් ගින්නට දැමුවිට ගිනිගොඩ ඉතා අලංකාරව ඇවිලෙන්නට විය.   මම හද පිරි චිත්ත ප්‍රීතියෙන් යුතුව ඇවිළෙන ගිනිගොඩ දෙස බලමින් සතුටු වෙමින් සිටිනා විට ගිනි  ඇවිළෙන සද්දෙටද කොහෙද ඇතුලේ බිබී හිටපු සුද්දා එළියට දුවගෙන ආවේය.   මොහොතක් ගිනි ගොඩ දෙසත් සතුටින් ගිනිගොඩ දෙස බලා සිටින මා දෙසත් බැලූ සුද්දා අත් දෙක ඔලුවේ තබාගෙන එතැනම ඉඳගත්තේ කකුල් පණ නැතුව ගියා සේය.

කවුද ගිනි තිබ්බෙ ඔයාද?   සුද්දා මගෙන් අසයි.

එහෙනං,පේනව නේද ඇවිළෙන ලස්සන...මම ආඩම්බරයෙන් පිළිතුරු දෙමි.

ලස්සන මං කියන්නෙ නෑ ලස්සන... සුද්දාගේ කටහඬ කෝපාවිෂ්ටය ඇස්වල කඳුළුය.

ඇයි සුද්දෝ මොකක්ද වැරැද්ද...

නෑ නෑ ඔයාගෙ මොකුත්ම වැරද්දක් නෑ මම ගෙනාපු අනික් බෝතලේ ඔය රොඩුගොඩ අස්සෙ ගහල තිබුණ එකයි වැරැද්ද දැන් ඉතිං බීපියව් අහවල් එක...පිස්සෙකු සේ කියමින් සුද්දා කුණුහරුප වැසි වස්සන්නට විය.   

ගිනිගොඩ එතරම් අලංකාරව ඇවිලුන රහස හෙළිවුණේ ඒ මොහොතේදීය.  පාලි සංස්කෘත මතු නොවැ ප්‍රාකෘත භාෂාවලද  සමර්ථයකු වූ සුද්දාට භාෂා නෛපුණ්‍යත්වය අතින් අපේ අටමාද පරද්දන්නට හැකි නොවේදැයි මට බොහෝවිට සිතේ.  ඇවිළී අවසන්ව ටික ටික නිවී යන  ගිනිගොඩ දෙස සුද්දා බලාසිටියේ ගිනිගත් තම නිවස දෙස හද පැලෙන තරම් ශෝකයෙන් බලා සිටි පනංගල අයියා වගේ යැයි මට ඒ මොහොතේ සිතුනි.   ටවුමෙන් බෝතල් දෙකක් ගෙන ආ සුද්දා එක බෝතලයක් රොඩුගොඩ අස්සේ ගසා එක බෝතලයක් ගෙනාවාසේ රඟපෑවේ පිනට බොන්නට එන අපතයන්ගෙන් බෝතල් බේරාගන්නටය.   ඌ හොඳ හිතින් කළ සත් කාර්යය දැන් නොපිට හැරී ඇති නිසා අනික් උන්ගෙන් සුද්දාට දෝෂාරෝපණ එන්නට නොදී ඌව බේරාගත යුතුය.   අතේ සල්ලිද නැත අපේ ගේ තියෙන්නේ පිට්ටනියට පොඩ්ඩක් උඩහින්ය.   සුද්දාට එහෙමම ඉන්නට කියූ මම ඉක්මන් කර ගෙදර ගියෙමි මම යනවිට බිරිඳ කුස්සියටවී  දවල්ට උයමින් සිටියාය.  ඇය කැකුළු බතකුත් කිරිකොස් මාළුවකුත් හදා පැත්තකින් තබා පදමට කොච්චිද මුසුකර කරෝල තෙල්දමයි. කරෝල බැදුමේ රුචිකර සුවඳ කොස් මාලුවේ සුවඳට මුසුවී හාත්පස පැතිර යන්නේ මගේ බඩගින්න අවුළුවමිනි.

ආ මොකද කළින්ම...බිරිඳ අසයි.

නෑ මං මේ හදිස්සියකට ආවා...කියමින් දොට්ට පිලට යන්නට ආ එකෙක්සේ රඟපෑ මම කාමරයට ගොස් බිරිඳගේ පසුම්බියෙන් සල්ලි අරගෙන එළියට ආවෙමි.

මං යනෝ...

යන දිහාක කාල යන්න... 

කන්න ඉක්මනට එන්නං...

කියමින් අඩිය ඉක්මන් කර ප්‍රජා ශාලාවට ගිය මම තව බෝතල දෙකක් ගේන්නැයි කියා සුද්දාට සල්ලි දුන්නෙමි.   සුද්දාගේ මුහුණ මහදවල් පුරහඳ පෑව්වාසේ ප්‍රීතියෙන් බබලන්නට වුයේ නැතිවී ගිය වාසනාව නොසිතු විලස නැවත අතටම ලැබුන නිසාය.  මුදල්වලට වඩා සුද්දාගේ සතුට එවෙලේ මට රටක් වටී.

දැන් ඉතිං නව වසරට ආසිරි ප්‍රසංගය ඉදිරිපත් කිරීම පැත්තක තබා කුමාරිව හොයන්නට වී ඇත.  කිසි කෙනෙකුට නොකියා ඇය කොහේ ගිහින්ද?   එච්චර පාට නැති උනත් උස්වූ පිරිපුන් සිරුරක්ද සුනම්‍ය සිත්බඳනා කැපීපෙනෙන අඟපසඟද මිතුරු කතාබහද  ඇති  ප්‍රියමනාප හැඩකාර කාගේත් සිත් බැඳ ගත් කාන්තාවක් වූ කුමාරිගේ ඇසුර පැතු මෝල් අමාරුකාර අපතයන් කීප දෙනෙක්ද අපේ ගමේ හිටපු බව මට රහසක් නොවේ.   උන් දෙතුන් දෙනාද අද අපේ නව වසරට ආසිරි ප්‍රසංගය බලන්නට නොවැරදීම ඇවිත් ඇතුවාට සැක නැත.   ඔයවගේ වෙලාවල බොරදියේ මාළු බාන්නට උන් බෙහෙවින් සමර්ථය.  උන්ගෙන් එකෙක්වත් කුමාරිව උස්සලාදැයි දහ අතේ කල්පනා කරමින් ඉන්නාවිට පාරේ ඈත කෙළවරින් කාන්තා රුවක් මතුවෙනු ලයිට් කණුවේ එළියෙන් දැක්කෙමි.    දෙයියන් දුන්නාසේ ඒ එන්නේ කුමාරිය ඇය දුවන නොදුවන ගානට වේගයෙන් අප සිටින දෙසට එයි෴

Sunday, January 17, 2016

නව වසරට ආසිරි මනමේ නැටුම කාලගෝල හා කුමාරිගේ අතුරුදහන්වීම.


අපේ ප්‍රසංගය ආරම්භ වන්නේ ජනවාරි පළවෙනිදා රාත්‍රී 8.30 ට කියා බැනර්වල සඳහන් කර තිබුණත් ඒ වෙලාව වනවිට  නටන ළමයින්ට අන්දවා ඉවර කර ගන්නටවත් හැකිවුණේ නැත.   සාමාන්‍යයෙන් ගමක තියෙන මේ වගේ කටයුතු වලදී පමාව ඇතිවන එක සොබාවිකය.   ඔය පමාව අද ඊයේ පටන් පැවතගෙන එන එකක් නොව මම කුඩා ළමයෙකුව සිටි කාලයේ පටන් අද වෙනතුරු අවිච්ඡින්නව පැරන්නන්ගෙන් අපේ ගමට ලැබී ඇති දායාදයකි.   මන්ද යත් ඒ කාලයේ තිබුණේ කොන්සට් නොව ටීටර්ය ටීටර් එක අටට පටන් ගන්නවා කියා කිව්වත් ඔක්කොම වැඩ කටයුතු ඉවරකරගෙන අන්තිමට පටන්ගන්නාවිට රෑ එකොළහ හෝ දොළහ වෙයි.   ඉස්සර අපේ ගමේ ටීටර් එකක් පෙන්නන විට තාත්තාට නොවැරදීම ආරාධනාවක් ලැබෙයි.    තාත්තා ටීටර් බලන්න යන්නේ සිය පවුලමද සමගය.   අපිත් එක්ක ටීටර් පොළට යන තාත්තාව පිළිගන්නේ එතන ඉන්න ටීටර් සංවිධායකයන්ය.   රැස්කමින් ඉන්න සෙනග මැදින් කැඳවාගෙන යන අපට  ඉදිරිපස පුටු පේළියක අසුන් ගන්නට ලැබේ.   වෙනදාට යන්තං රෑ අට නමය වෙද්දි නිදාගන්නා අපි එදාට ටීටර් බලන්නට තියන උනන්දුව නිසා නිදිමත ඇස් දෙකෙන් පෙරෙමින් වුවත් නොනිදා ඉන්නට උත්සාහ ගන්නෙමු.

ටීටර් එක ආරම්භයේදී සංවිධායකයින් සමග ගනුදෙනු අහවර කරගෙන ඔවුන්  පිළිගන්වන  සිසිල්බීම සංග්‍රහයත් බුක්ති විඳීමෙන් පසු  පැයක් හමාරක් ටීටර් එක බලන තාත්තා එක්වරම හිඳගෙන සිටි පුටුවෙන්නැගිටගනියි.

හා යමල්ලා ගෙදර ...

අනේ තාත්තෙ ඉතුරු හරියත් බලලම යමුකො...

අපේ කන්කෙඳිරි ගණනකට නොගන්නා තාත්තා බලෙන් වගේ අපිවද ඇදගෙන ගෙදර යයි.  මොනම ටීටර් එකක් ගමේ පෙන්නුවද තාත්තා එක්ක ගිය කිසිම දවසක ටීටර් එක අහවර වනතුරු බලන්නට ලැබුණේ නැත.  ඒ කුමක් නිසාදැයි අද කල්පනා කරන කළ මට නිකමට වගේ හිතෙන්නේ ඒ ටීටර් වල ඇති පෙම් ජවනිකා සහ දෙපිට කැපෙන දෙබස් නිසා තාත්තා එලෙස අපට ගෙදර ඇදගෙන යන්නට ඇති බවය.   කොහොම උනත් අපේ ගමේ අය ටීටර්  හෝ ප්‍රසංග  පටන්ගන්නට කොපමණ ප්‍රමාද වුවත් ඒ සියලුම අපහසුකම් දරාගෙන ඉඳීම පුරාණයේ සිට පැවතගෙන එන සද් චාරිත්‍රයක් නිසාවෙන් පටන් ගන්නට ප්‍රමාද වීම නිසා අපේ ප්‍රසංගයට කාගෙන්වත් වචනයකින් හෝ විරෝධයක් එල්ලවුණේ නැත.  විරෝධයක් එල්ලවුන එකම වතාවත් මගේ මතකයට එයි.   ඒ 1983 හෝ 84  වර්ෂය විය යුතුයැයි මගේ සිත කියයි ඒ වතාවේ අපේ  තරුණ සමිතියෙන් ඉදිරිපත් කළේ කාලගෝල නාටකයයි.  කාලගෝල නාටකය නිෂ්පාදනය කර ඉදිරිපත් කිරීම පැවරුණේ  මගේ පිටටය.    හදිසියට පිටපතක් ලියා පුහුණු කරන්නට පටන් ගත්තත් ගමෙන් නිළියන් සොයාගැනීම  අපහසුවූ හේතුවෙන් නිළි චරිතද රඟපාන්නට වුයේ කොල්ලන්ටමය. නාට්‍යයේ තිබූ එකම කාන්තා චරිතය රඟන්නට ගැලපෙනම කෙනා වුයේ චූටියා වුවත් ඊට කලින් කරපු නර්තනයකදී ඌට වෙච්ච ඇබැද්දියක් නිසා මම චූටියාට රාජ සභාවේ තෝල්කයාගේ චරිතය දී නිළියට වෙන කොල්ලෙක් පුරුදු කෙරුවෙමි.   චුටියාට සිදුවූ ඇබැද්දියත් මේ එක්කම කියා දමමි.

ඒ මට මතක හැටියට 79 හෝ 80 වර්ෂය විය යුතුය.  වෙසක් සමය ලංවෙත්ම අපි පොඩි මහින්දගේ කඩේ ඉස්සරහ වත්තේ පොඩියට ස්ටේජ් එකක් හැදුවේ වෙසක් දවස්වලට අපට ගීත ගයමින් නටමින් විනෝද වන්නටත් ගමේ උදවියට බලා සතුටු වෙන්නටත්ය.   එක දවසක රෑ අපි කපිලව කුමාරයාටත් චූටියා කුමරියටත් අන්දවා ඒ කාලයේ ජනප්‍රියව තිබුණ නිහාල් නෙල්සන්ගේ මනමේ ගීතයට මුන් දෙන්නාව නැටෙව්වෙමු.  උන් දෙන්නා කොපමණ හොඳට නැටුවාද කිව්වොත් නැටුම නියමෙටම  නැගලා ගියේය.   නැටුම් බලන්නට ඇවිත් සිටි ගමේ නරඹන්නන්ගේ  ප්‍රතිචාරය අති මහත් විය.   මේ දෙන්නා කොපමණ හොඳට නැටුවත් නැටුම  ලඟින්ම  ඉඳ බලාසිටි මට කුමරියගේ නැටුමේ පොඩි ඇදයක් පෙනුණි.   ඒ මොකක්ද කිව්වොත් මුළු නැටුම පුරාම කුමරිය  සිටියේ කුමාරයාගේ ඇඟට හේත්තුවී ඇලී ගැලීගෙනය.  මේ අඩුපාඩුව මම දැක්කත් එහෙම ඇදයක් නොදුටු ප්‍රේක්ෂක සමුහය නැවත වරක් ඒ නැටුම නටන්නයි ඉල්ලා කෑ කෝ ගසති.    අපි දෙතුන් දෙනා කතාකර ආයෙමත් මුන් දෙන්නා නටවන්නට තීරණය කළත් ඒ දෙන්නාට මහන්සි නිසා තවත් විනාඩි පහකින් නැටුම ලබාදෙන බව පවසා ප්‍රේක්ෂකයන් සංසුන් කළෙමි.   නැටුම ආයෙමත් නටන්නට වේදිකාව සුදානම් වෙද්දී  නටන ජෝඩුව හොයාගෙන එන්නට ගිය අය  එක්කරගෙන ආවේ කපිල විතරය කුමරියව  හොයාගන්නට ලැබී  නැත.   ඒ ගමන අපි කුමරියව හැම තැනම හොයන්නට වූයෙමු.   ස්ටේජ් එක යට නිදිකුම්බා පඳුරක් උඩ වැටී මලාක් මෙන් වැටී සිටි කුමරියව අවසානයේ සොයාගන්නා ලදී.   නැටුම පටන්ගන්නා විටත් හොඳ පදමටම වෙරිවී සිටි කුමරිය කුමාරයාගේ ඇඟේ එල්ලිගෙනම නැටුවේ කෙළින් ඉන්නට ඇති අපහසුතාව නිසාය.   නැටුම අවසානයේ පහළට ඇවිත් තව ෂොට් එකක් දැමු කළ සියල්ල අවසාන විය.

ඒ කාලයේ අපට නව වසරට ආසිරි ප්‍රසංගය කරන්නට මෙන් පිට්ටනියක් ප්‍රජා ශාලාවක් හෝ වේදිකාවක් නොතිබූ නිසා කාලගෝල වේදිකාගත වුනේ අපි එකල හැම වැඩේටම පාවිච්චි කළ පෝටවත්තේය.    ගමේ හැම තැනින්ම ලී සහ පරාල එකතුකර වේදිකාව හැදුවෙමු.   එහෙම අමාරුවෙන් හැදුව වේදිකාවේ කරළියට ආ කාලගෝල නාටකය ගමේ ප්‍රේක්ෂක ජනතාවගේ මහත් ප්‍රසාදය ලබමින් වේදිකාගත වී අවසානයේ නාටකයේ රඟපෑ කීපදෙනා එක රැයින් මුළු ගමේම ජනප්‍රිය තරු බවට පත්වුහ.   කෙල්ලන්ගේ නොමඳ බැලුම්ද ලැබෙන්නට වන් කළ උන්ව ඒ තත්වයට ගෙනා මට ඒ කීපදෙනා බෙහෙවින් ස්තුති කළහ.  ඉක්මනින්ම තවත් නාටකයක් කරමුයි හැම තැනින්ම ආරාධනා ලැබෙන්නට විය.     ඒ බලාපොරොත්තු සියල්ල සුන් කරමින් ඊට අවුරුද්දකට පමණ පසු කපිල මින්නේරි වැවේ ගිලී අවසන් ගමන් ගියේය.   කපිල ගැන මා මෙතෙක් එක වචනයක් වත් ලියා නැත්තේ මා ඇසුරුකළ හා හැම වැඩකදීම එකට සිටි  අපූරු තරුණයෙකු වූ ඔහු ගැන වෙනමම කතාවක් ලිවිය යුතු නිසාය.   චූටියා ගැන නම් මම කොටස් දෙකකින් යුක්ත කතාවක්  මීට පෙර ලියා ඇත්තෙමි.   අධික බීමත්කම නිසාම හදිසියේ හෘදයාබාධයක් සෑදී තරුණ වයසේදීම ජීවිතයෙන් සමුගත් චුටියාගේ මළගෙදර අපි ගිය වෙලේ එදා ඌ නිදිකුම්බා පඳුරක් හපාගෙන වැටී සිටිය හැටි මතක් වී මට බකස් ගා හිනා ගියේය.  කපිලගේ මරණය මගේ හිතට කෙතරම් කම්පනයක් ඇතිකළාද කිවහොත් කොපමණ ආරාධනා පැමිණියත් ඊට පසු නාට්‍යයක් හෝ කිසිම කලා කටයුත්තක් කරන්නට මට හිත් දුන්නේ නැත.   ගමේ කොල්ලන් ඊට පසුකාලීනව නාට්‍යයක් රඟදැක්වුයේ ඊට අවුරුදු හතර පහකට පසුව බව මගේ මතකයයි.   එයද නිෂ්පාදනය කළේ වෙන ගමකින් පැමිණි සිරිකුමාර අයියාය.

අපේ නව වසරට ආසිරි ප්‍රසංගයට ආපහු ආවොත් දැන් ප්‍රසංගයට උවමනාවටත් වඩා නැටුම් ලැබී තිබේ.   පළමුවෙන්ම කුමාරි පුහුණුකළ කුඩා දරු දැරියන්ගේ නැටුම් දෙකය ඊළඟට ගමේ ගැටිස්සියන් ඉදිරිපත් කරන නැටුමය එහා ගමෙන් ආ කණ්ඩායම ද්‍රවිඩ ගීතයකට ඉදිරිපත් කරන නර්තනය ඊට පසුවය.  ඉන් අනතුරුව අපි දන්නා කියන කලායතනයකින් කණ්ඩායමක් ඇවිත්  සම්ප්‍රදායික නැටුම් හා ජන නැටුම්ද නොංචි කෝලමද ඉදිරිපත් කරන්නට නියමිතය.  ඔය කියන නර්තන දෙකක් අතරේ ඇතිවන හිස්තැන් පුරවන්නට ගීත කීපයක් ගායනා කරන්නේ ගමේම නැගී එන ගායකයන්ය.    බලාපොරොත්තු උනාටත් වඩා විවිධාංග ලැබුන නිසා අපි සිටියේ ඉතාම සතුටිනි.   දැන් රාත්‍රී නවයටද ආසන්නය ප්‍රසංගයට සහභාගිවන සෑම සියලු දෙනාම නියමිත වෙලාවට ඇවිත් ඇඳුම් ඇඳගෙන නොඉවසිල්ලෙන් බලා සිටින්නේ තම දස්කම් පෙන්වන්නටය.    දැන් මීළඟට ඇත්තේ ප්‍රසංගය ආරම්භ කිරීමටය ප්‍රසංගයේ නිවේදකයා ලෙස එය මට පැවරී ඇති කටයුත්තක් නිසා සෑම සියලු දෙයම නිසි පරිදි සුදානම්ව ඇතිදැයි නැවත වරක් සොයා බලමින් මම බොහෝ කාර්යබහුල වුයෙමි.    නමෝ විත්තියෙන්ම ඉදිරිපත් කරන්නට නියමිතව ඇත්තේ පොඩි උන්ගේ නැටුමය මන්ද යත් මහ රෑ වෙනතුරු වැඩේ ඇදුනොත් නැටුම පැත්තක දමා උන් සියල්ලම නිදා ගන්නා බැවිනි.   ඉදිරිපස පොල්තෙල් පහන් දැල්වීම වැනි කටයුතුවලට අත දමන්නට පෙර පොඩි උන්ගේ නැටුමට සියල්ල සුදානම්දැයි බැලුවේ ඒ නිසාය.   පොඩි උන් සියලු දෙනාම හැඳ පැළඳගෙන නටන්නට සුදානමින් සිටිති එතකොට නැටුම පුරුදුකල ආචාරිණිය කුමාරි? ඇය කොහේද? ඇය වේදිකාව පිටුපස සිටියේ නැත.   මම කුමාරිට කතාකළෙමි.   

කෝ මේ කුමාරි කොහෙ ගිහින්ද?

දෙතුන් දෙනෙක් කුමාරිට කතා කරමින් ප්‍රජා ශාලාවේ පිටුපස දොරින් එළියට බැස්සාහ.   මේ අවශ්‍යම අවස්ථාවේ කුමාරිට කුමක්වීද?

Sunday, January 10, 2016

නව වසරට ආසිරි සහ සුද්දාගේ වාසනාව.


අරක්කු බෝතලේ එක්දාස් පන්සීයට නෙවෙයි දෙදහට ගියත් අපේ ගමේ උන් බීම නවත්තන්නේ නැත.   මිළ වැඩිකලාට බනිමින් වැඩි වැඩියෙන් බොති.   වෙන වැඩකට උවමනාවකට අතේ සතපහ නැතත් බොන්නට සැට්වුන විටදී නම් නැති සල්ලි කොහෙන් හෝ එළියට එයි එදා ජේ වී පී එකේ සාකච්ඡාව අවසානයේදී සිදු වුනෙත් එයමය.   බෝතලයක් ගහන්නට හොඳටම උවමනාව තිබුණත් කා අතේවත් බර නැත.   කරුමෙට මගේ සාක්කුවෙත් එපමණ මුදලක් නොතිබුණේ පහුවදා රාත්‍රියේ ආපසු ගුවන්ගත වීමට තිබුන නිසාත් දවල් දවසේ වියදම් කරන්නට තරම් දෙයක් යෙදී නොතිබුණ නිසාත් ලංකා මුදල් අතේ තබා ගැනීම ගැන මම වැඩි උනන්දුවක් නොදක්වු නිසාවෙන්ය.   පොකැට් එක ඇර බලනකල රුපියල් තුං හාරසීයකට වඩා තිබුණේ නැත. ඒ සල්ලි ඔක්කොමත් සම්මාදම් කරන කට්ටියට දුන්නත් බෝතල් දෙකක් ගන්නට ප්‍රමාණවත් මුදලක් එකතු වුණේ නැත.    අන්තිමේ කට්ටිය සාකච්ඡා කර එකඟතාවකට ආවේ මුදල් ප්‍රියන්තට දී ප්‍රියන්තගේ කාඩ් එකෙන් බෝතල් ගන්නටය.   ඒ එකඟතාවට අනුව  හිස් බෝතලුත් සමග ප්‍රියන්තත් තවත් එකෙකුත් ටවුමට පිටත්වී ගියේ රෑ හතහමාරට විතරය.

ඒ දෙන්නා බෝතලුත් අරගෙන එනතුරු අපි කතා කරමින් හිටපු තැනට ඔයවෙලාවේ සුද්දා ආවේ හොඳට ඇඳ පැළඳගෙන සපත්තු දෙකකුත් දාගෙනය.     සුද්දාට මේ දවස්වල සනීප නැත අසනීපය ඔලුවේ ඇති ලේ කැටියකි  ඒ නිසාම උගේ ඇස් පෙනීමද දුර්වලය සීනි අමාරුවද තිබේ.   මම ලංකාවට ගිහිං සතියක් විතර ගියතැන සුද්දා ප්‍රියන්තත් එක්ක මාව හම්බවෙන්නට ගෙදරට ආවේ විස්කි බොන බලාපොරොත්තුවෙනි.   සාමාන්‍යයෙන් වෙන්නේ එහෙමය මම ආ බව ආරංචි වී යාළුවන් ගෙදරට ආ විට ඔවුන්ට රටබීම සංග්‍රහයක් ලැබේ.   එදා සුද්දාද ආවේ ඒ සත් චාරිත්‍රය ඉෂ්ට සිද්ධ කරන්නට උනත් අසනීපයේ බරපතලකම නිසා වෛද්‍යවරුන් විසින් බීම තහනම් කර ඇති සුද්දාට බොන්න දෙන්නට මගේ හිත එකඟ කරගන්නට බැරිවුන බැවින් එදා උන් දෙන්නාට බිරිඳගේ ප්ලේන්ටී වලින් සැහීමකට පත්වන්නට සිදුවිය.   සුද්දා නිසාවෙන් එදා ප්‍රියන්තටත් සළකා ගන්නට බැරිවීම ගැන මම පහුවදා ඔහුට කණගාටුව පළකළවිට ප්‍රියන්ත කීවේ මා කළේ නිවැරදි දෙය කියාය.   මම බොන්න නොදුන්නාට සුද්දා ලැබෙන තැනකදී කණ පැලෙන්නට බොයි බීගෙන ගෙදර ගිහිං පවුලගෙන් කණ පිරන්නටම බැණුම් අහගනී.   බැණුම් අහන සුද්දාත් අතඅරින්නේ නැත ඌත් පවුලට රැස්පොට් දමයි. 

අපේ අම්මගේ අවුරුද්දේ දානය වෙලේ මම ගමේ කිසිම කෙනෙකුට බොන්න දුන්නේ නැත.  නමුත් උන් සියළු දෙනාම එකතුවී ඉස්සරහ ගෙදර ලොකු මල්ලිත් කතා කරගෙන එහෙට වී කොච්චර බීවාද කිව්වොත් කෑමට ආවේ බලු පදමට බීගෙනය.    ඒ රැළේ එකතුවුන සුද්දාද නන්නත්තාර වෙන්නට බීගෙන ගෙදර ගිය කළ නරක නාමය ආවේ මටය ඒ මම බොන්නට දුන්නා කියාය.   දානයට පැමිණි අටමා ගුරුවරුන්ගේ පානය ලීටරයක් කොහෙන්ද  හොයාගෙන උඩටවී සප්පායම් උන එක වෙනම කතාවකි ඌට කොච්චර බොන්න දුන්නත් ඌවත් ගෙදර අයවත් මට දොස් කියන්නේ නැත.   ගෙදර ආ වෙලේ මම සුද්දාගෙන් අසනීපය ගැන ඇහුව විට  සුද්දා කිව්වේ කන්දකැටිය පැත්තේ වෙද මහත්තයෙකුගෙන් සිංහල බේත් බොන බවය.   අපි බෝතල් බලාපොරොත්තුවෙන් හිටපු තැනට හොඳට ඇඳ පැළඳගත් සුද්දා ආවේ එදා රෑ නමයයි කාලට තියෙන කෝච්චියේ බදුලු යන්නටය.   සුද්දා රෑ කෝච්චියේ ගිහිං කන්දකැටියට යනවිට හොඳටම දවල් වෙයි  වෙද මහත්තයාගෙන් බේතුත් අහගෙන ආපහු රෑ කෝච්චිය අල්ලන්නට බදුල්ලට එන්නේ කොහොමද කියා මම අහපු විට සුද්දා කීවේ ඌ දුර ඉඳන් එන බව වෙද මහත්තයා දන්නා නිසා අනික් අයට කලින් ඌව බලා බේත් දී පිටත් කරන බවය.  

අපි ඔහොම කතා කරමින් ඉන්න වෙලාවේ ප්‍රියන්තලා බෝතලුත් බයිටුත් අරගෙන එතනට ආවේ ටවුමේ බයිසිකල් අල්ලන බව කියාගෙනය.   බොන කට්ටියට ගලුත් අරක්කු නොබොන මට කාල්ස්බර්ග් බෝතලයකුත් ප්‍රියන්ත ගෙනැවිත් තිබුණි.   බෝතල් මේසය උඩින් තිබ්බ පමාවෙන්ම වීදුරු පුරවමින් සුද්දා ළඟ නවන්නට වුනේ බාර් එකේ තියෙන අන්තිම බෝතලය දැකපු  ගානටය  මේ රෑ කෝච්චියේ බදුලු ගිහිං බේත් ගන්නට ඉන්න එකාය.   උගෙ පවුලට ලැබෙන්නට ඉන්න දරුවන් තුන්දෙනා ගැන කතාව එළියට ආවේ එතැනදීය.  මම සුද්දා මුණගැහෙන්නට උගෙ ගෙදර ගියවෙලේ පවුලගේ බඩ ලොකු බව දැක්කත් මම  එපමණ ගනිච්චියකට නොගත්තේ එය සාමාන්‍ය දෙයක් නිසාය.   නමුත් දැන් සුද්දා කියන්නේ පවුලට ළමයි තුන්දෙනෙක් ලැබෙන්නට ඉන්න බව වෛද්‍යවරුන් කියා ඇති බවය.   සුද්දාගේ ජයග්‍රහණය ගැන සුබ පැතුම් එක්කල අපි මේ ප්‍රතිපලය ලබාගන්නට කළ විශේෂ දෙයක් ඇද්දැයි උගෙන් ඇසුවෙමු.    සුද්දා කියන්නේ ඌට වෙද මහත්තයා දෙන බේත් අතර ඔලිඳ කොළ මැල්ලුමද ඔලිඳ කොළ කැඳද ඇති බවත් පවුලත් ඒවා කන බොන නිසා මේ ප්‍රතිපලය ලැබී ඇති බවත්ය.    දෙවැනි විනෝද සමය වැනි සුද්දාගේ කතා අහන අපට බයිට් කිසිසේත්ම අවශ්‍ය නොවන්නේ සුද්දා සිය කැමැත්තෙන්ම බයිට් වන නිසාය.   

බෝතල් දෙකක් අවසානයේ ආයෙම බෝතල් දෙකක් ප්‍රියන්ත විසින් ගෙන එන ලදී.   රෑ කෝච්චියේ දුර ගමනක් යන්නට ඉන්න සුද්දාට ගමන යන්නට ගාණක්වත් නැතුව හොඳ සීරුවට බොයි.   අන්තිමේ රෑ නමයටත් වූ විට බලෙන් වගේ සුද්දාව නැගිට්ටවා පිටත් කරවුයෙමු.   ගමනේ විස්තර කිසි දෙයක් උගෙන් අහගන්නට නොලැබුණේ මම පහුවදා ආයෙම විදේශගත වූ නිසාය.   ඒ විස්තර මට අහගන්නට ලැබෙන්නේ ආයෙම ලංකාවට ගිය දවසකය එතෙක් සුද්දාගේ අසනීපය සුවවන්නට කියා මම මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන්නේ උගෙන් තව රසකතා බර ගණනක් අහගන්නට තියෙන නිසාවෙන්මය. 

ආපහු අපේ කතාවට ආවොත් නව වසරට ආසිරි ප්‍රසංගය දැන් දැන් පිමි පනිමින් ඉදිරියට යයි "න" අක්ෂරයෙන් පටන් ගන්නා දේවල් එපමණ සුබ නොවන බව මට යාන්තමට වගේ අහල පුරුදු උනත් ඒ ගැන එපමණ කරදරයක් නොවී තියෙන වැඩ කටයුතු ටික කරගෙන ගියෙමි.   කෙමෙන් කෙමෙන් දවස් ගතවී ගොස් ජනවාරි පළමුවෙනිදාවද උදාවිය.   අපේ වැඩේ තියෙන්නේ අද රාත්‍රියටය කට්ටිය දවල් දවසේ හිටන්ම එක සීරුවට වැඩ කරන්නේ රෑ තියෙන කොන්සට් එක සාර්ථක කරගන්නටය෴

Monday, January 4, 2016

නව වසරට ආසිරි,කුමාරිගෙ නයිට් කඩේ මහින්දට සිදුවූ අකරතැබ්බය සහ සුද්දගෙ වාසනාව.


අලුත් අවුරුද්දෙ වැඩියම ලියැවුණු වචනය නව වසර වෙන්න ඇති.  සුබ පැතුම්වලට පිළිතුරු ලියල අත රිදෙනවා සුබපැතුම් අහගෙන ඉඳල කණ රිදෙනවා දවස් දෙකතුනක් යනකල් ඔහොම තමයි.   නව වසර කියල ලියන හැම වෙලාවෙම මට කතාවක් මතක් වෙනවා වැඩි දුර අතීතයෙ කතාවක් නෙවෙයි මෑත අතීතයෙ එකක් කතාව මෙහෙමයි.

 වැඩක් නොකෙරුනාට ගම්වල සමිති සමාගම් එහෙම මදියි නොකියන්න තියෙනවනෙ,අපේ ගමෙත් ඒ වගේ තමා එක එක වැඩේට එක එක සමිතිය ගානෙ.  සමිති පිහිටෝල නිලතල බෙදාගෙන නිකං ඉන්නවා, මෑතකදීම බිහිවුණ අලුත්ම සමිතිය කාන්තා සමිතිය කියල එකක්.   ගමේ කාන්තාවො ටික බොහොම උනන්දුවෙන් එහාට මෙහාට දුවනකොට මම මේ මොකද කියල ටිකක් උනන්දුවෙන් හොයල බලපුවම ඒ අය කාන්තා සමිතියක් පිහිටුවාගන්න යනවලු.  ගමට මෙච්චර සමිති තියෙද්දී ආයෙම කාන්තා සමිතියක් අහවල් එකකටද කියල මම කට තියාගෙන ඉන්න බැරිකමට ඇහුවම ගමේ මරණයක් එහෙම උනාම කෑම බීම දෙන්න කාන්තා සමිතියක් අත්‍යාවශ්‍යයි කියල හැරෙන තැපෑලෙන් උත්තරේ ලැබුණා.   ඔන්න ඔහොම ඒ සමිතියත් පිහිටුවාගෙන කාලයක් ගතවුනා හැබැයි කරපු වැඩක් නං ඊට පස්සෙන් පහු දැක්කෙම නෑ.

ඉතිං මම කියාගෙන ආපු කතාවට ආපහු ආවොත් ඔන්න 2007 අවුරුද්දෙ මැද බාගෙ විතර මම ලංකාවෙ ගතකරපු කාලෙක අපේ යාළුවො කීප දෙනෙක් එක සුන්දර හැන්දෑවක ඇවිත් මාව මුණගැහුනා.  සාමාන්‍යයෙන් ඒ වෙලාවට කෙනෙක් මාව හම්බවෙන්න එන්නෙ තමන්ගෙ පාළුව කාංසිය නැතිකරගන්න එහෙම නැත්නම් සතුට හෝ දුක බෙදාගන්න මධුවිතක් ඇසුරු කරන්නට උනත් මේ අය නං ඇවිත් තිබ්බෙ ඊට වඩා වෙනස් කාරණයකටයි.   ආගිය තොරතුරු කතා කරමින් ටිකක් වෙලා ගතකළ මේ අය තමන් ආපු කාරණාවත් මගෙත් එක්ක කිව්වා.  ඒ මොකක්ද කිව්වොත් ගමට තවත් සමිතියක් පිහිටුවා ගන්නට කතාකරගන්නයි.   මම සුපුරුදු විදියට තවත් සමිති ගමට මොනවටද කියල මේ අයගෙනුත් ඇහුවම අලුත් සමිතියේ පරමාර්ථ මේ ගොල්ල විස්තර කළා.  ඔවුන්ට උවමනා උනේ දක්ෂතා ඇතත් නැතිබැරිකම් නිසා ඉගෙනගන්නට අපහසුකම් තියෙන ගමේ දරුවන්ට උදව් කරන්න,එතකොට ලෙඩකට දුකකට බේතක් කරගන්න මුදල් නැතිව ඉන්න අසරණ අයට පිහිට වෙන්න, ඇස් කණ්නාඩි ගන්නට බැරිව ඉන්න අයගෙ ඇස් පාදන්න ආදී වශයෙන් පරමාර්ථ ගණනාවක් කියාගෙන ගියාම මටත් විරුද්ධ වෙන්නට අවශ්‍යතාවක් ඇතිවුණේ නෑ.  ඔන්න ඔය විදියට තවත් සමිතියක් ගමට එකතුවුණා.  සමිතියට කට්ටිය නමකුත් එක්ක අහවල් සහන සේවා සමිතිය කියල නම දාගත්තා.  අලුත් සමිතියෙ ආරම්භයම සෝඩා බෝතලේ කැඩුව වගේ නැගල ගියත් මට සමිතියත් එක්ක වැඩිකලක් ගතකරන්නට නොලැබුණේ ඊළඟ අවුරුද්දෙ මට ආයෙම විප්‍රවාසගත වෙන්නට සිදුවුන නිසයි.

ඊළඟ අවුරුදු දෙක ඇතුළත සමිතිය විශාල දියුණුවක් ලැබුවා,අරමුදල වැඩි දියුණු වුනා බලාපොරොත්තු වුන පරමාර්ථ කරා හෙමින් නමුත් ස්ථිර ගමනක් යන්නට පටන් ගත්තා.  එක අවුරුද්දක මම නිවාඩුවට ලංකාවට ආවෙ දෙසැම්බර් මාසෙ දවසකයි.    ඔය කාලෙ සහන සේවා සමිතිය ගමේ ජනප්‍රියත්වයේ උපරිම තලයේ හිටියා කිව්වොත් හරියට හරි.   අලුත් අවුරුද්ද හෙවත් ජනවාරි පළමුවෙනිදා ළඟ ළඟම එද්දි පළවෙනිදාට සමිතියේ අනුග්‍රහයෙන් ගමේ අයට විනෝද වෙන්නට අවස්ථාවක් ලබා දුන්නොත් නරකද කියල මට නිකමට වගේ හිතුණා.   යාළුවො ටිකට අදහස දාල බලපුවම ඒ අයගෙත් අකමැත්තක් තිබුනෙ නැති නිසා ඔන්න අපි වැඩේ ආරම්භ කළා.   ඉස්සෙල්ලම  නව වසරට ආසිරි කියල වැඩේට නමක් දාගත්ත .   අපට ඕනෑ උනේ සංගීතයක්ම නෙවෙයි සිංදුත් ඇතුළුව නැටුම්ද සහිත කොන්සට් එකක් වගේ එකක් කරන්නටයි.   දැන් ඉතිං මේ වැඩේට අයිටම් ටිකක්  හොයන්නත් එපැයි, ගමේ කෙල්ලො ටිකකට කෙල්ලො කිව්වට උන් ගැටිස්සියෝ, කසන වයසෙ උන්,උන්ට සින්දුවලට නැටුම් කීපයක් කරන්න බාරදුන්නා  එතකොට නැගී එන ගායකයො කීපදෙනෙක් සිංදු කියන්නට ඉදිරිපත් උනා ඔහොම ඔහොම කොන්සට් එකේ අවශ්‍යතාවන් ටික ටික සම්පූර්ණ වෙමින් පවතිද්දී දවසක් තරුණයෙක් මාව හොයාගෙන ආවා.   බලපුවම එහා ගමේ  වැඩි වයසක් නෑ කෙට්ටු කළු කොල්ලෙක් කොණ්ඩෙ එහෙම දිගට වවාගෙන හිටියා.

අයියල පළවෙනිදට කොන්සට් එකක් කරනව නේද? මේ කොල්ල සිහින් හඬින් මගෙන් ඇහුවා.

ඔව් මල්ලි ඇයි?

නෑ අයියෙ අපටත් ඩාන්ස් අයිටම් එකක් කරන්න දෙන්න පුළුවන්ද අහන්ඩයි ආවෙ...

අප්පට සිරි,කන්න පින තියේනං ඉබ්බ ගෙට එනවලු.   මම මේ අයිටම් හොයමින් ඉන්නවා මෙයා මගෙන් අයිටම් ඉල්ලනවා, සිත ප්‍රීතියෙන් පිරී ගියත් මම කොල්ලගෙන් තව ටිකක් විස්තර ඇහුවා ඇයි නැටුම මොකක්ද දන්නෙත් නෑනෙ.

බැරිකමක් නං නෑ මල්ලි ඒත් ඔය ඩාන්ස් එක මොකක්ද?

ඒක විනාඩි හතරක පහක ඩාන්ස් එකක් අයියෙ දෙමළ සිංදුවකට...

මට ඔය ඩාන්ස් එක කලින් බලන්න පුළුවන් වෙයිද මල්ලි?

ප්‍රශ්නයක් නෑ අයියෙ එදාට කොන්සට් එක පටන්ගන්න කළින් අපි සිංදුව දාල නටල පෙන්නන්නං...

හරි මල්ලි එහෙනං අපි වැඩේ කරමු...

ඔන්න නොසිතු නොපැතූ මොහොතක ලැබුණ තෑග්ගක්,ඔය වගේ අහසින් කඩාවැටුන නැටුම් එක්කම හංදියෙ තියෙන  සුද්දගෙ කුලී ගෙයි පදිංචි වෙලා හිටිය කුමාරි(කුමාරි කිව්වට නියම නම නෙවෙයි ඒ වගේ නමක්)ගමේ පොඩි අයගෙන් ළමා නැටුම් දෙක තුනක් දෙන්නංය කිව්වා.   කුමාරි අපේ ගමේ පදිංචියට ඇවිත් වැඩි කාලයක් නැතිවුනත් අපේ සමිතියත් එක්ක හරි එකතුයි.   ඒ වගේම බොහොම ධෛර්යමත් කාන්තාවක් මනුස්සයත් හරිහාමන් රස්සාවක් නොකරන එකේ දරු පවුලත් එක්ක ජීවත්වෙන්න කුමාරි සෑහෙන්න මහන්සි වුණා.   දේශපාලනෙත් කළා ඔය මම කියන අවුරුද්දෙ පළාත් පාලන ඡන්දයකුත් ළඟ  එමින් තිබුණා මතකයි,කුමාරිත් එක ප්‍රාදේශීය දේශපාලකයෙක් පස්සෙන් ගියා මම දැක්කා.   ඔය ඔක්කොම කරන ගමන් නයිට් කඩේකුත් පටන් ගත්තා.   නයිට් කඩේ කිව්වට ඔය සුද්දලගේ ගෙයි පැත්තකින් වාහනයක් එහෙම නවත්තන්න පොඩි මඩුවක් ගහල තිබ්බා කුමාරි මේ මඩුව පිළිවෙලක් කරල හදාගෙන එහෙම නයිට් කඩේ පටන් ගත්තෙ කොත්තු මහින්දත් එක්කයි.   කොත්තු මහින්ද ටවුමෙ රෑ කඩේක කොත්තු ගගහ ඉඳල එතනින් අයින්වෙලා රේල් ගේට්ටුව ළඟ කොත්තු කරත්තයක් කරමින් හිටියා.    මුළු ටවුමෙන්ම හොඳම කොත්තුව තිබුනෙ මහින්ද ළඟ මිනිහා හවසට ගෙදරින් ගෝදම්බ රොටී කපාගෙන ඉඳිආප්ප තම්බගෙන මස් හොදි මාළු හොදි  අමුමිරිස් ඉඟුරු සුදුළූණු තක්කාලි ආදී වශයෙන් අවශ්‍ය අඩුම කුඩුම ටිකත් අරගෙන හවස හත විතර වෙනකොට රේල් ගේට්ටුව ලඟට ඇවිත් වැඩ පටන් ගන්නවා.  අපට කොත්තුවක් කන්න ඕනෑවුනොත් යන්නෙම මහින්ද ළඟටයි.   මම විශේෂයෙන්ම යන්නෙ මහින්ද කොත්තුව ගහන හැටි බලාගෙන ඉන්නයි ඌ එච්චර හුරුබුහුටියට කොත්තුව ගහනවා.   නමුත් මොකක්හරි ප්‍රශ්නයක් නිසා මහින්දට වැඩිකල් කොත්තු කරත්තෙ කරගෙන යන්න ලැබුනෙ නෑ.   ආපහු පාරට වැටුනා නමුත් කොහොමහරි කුමාරිගෙ නයිට් කඩේ නිසා මහින්දගෙ කොත්තුව අපේ ගමටම ආවා.

කුමාරිගෙ අලුත් නයිට් කඩේ ගමේ බොහොම ජනප්‍රිය වෙන්නට ගතවුනේ බොහොම ටික දවසයි.  මහින්දගෙ රසවත් කොත්තුව, බිත්තරරොටී, ගෝදම්බ රොටී,එළවළු රොටී,ආප්ප,ඉඳිආප්ප ආදී කෑම වර්ගවලින් සහ පාරිභෝගිකයන්ට ආදරයෙන් ඇමතූ  කුමාරිගේ සුහද කතා  හේතුවෙන් නයිට් කඩේ බලාගෙන ඉද්දි නැගල යන්න ගත්තා.   මහින්දගෙ ජනප්‍රිය කොත්තුව කන්න අහළ පහළ ගම් හතර පහක සෙනග කුමාරිගෙ නයිට් කඩේට එන්නට වැඩි කලක් ගතවුනේ නෑ.   ගමේ අය උනත් රෑට උයන්නට එච්චර උවමනාවක් ගත්තෙ නැත්තෙ ඕනෑ වෙලාවක කුමාරිගෙ නයිට් කඩෙන් යමක් ගෙනත් රෑට කන්න පුළුවන්කම තිබුන නිසයි.  ඒ දවස්වල අපේ හැලපැට්ටට එහෙම රෑට ගෙදර කෑම කන්නම බෑ සල්ලි ඉල්ලගෙන ගිහිං මහින්දගෙ කොත්තු ගේනවා.   ඌ විතරක් නෙවෙයි අපි කට්ටියත් රෑවෙලා කර්තව්‍යයක් කරන්න කොහෙට හරි සෙට් වුනත් බයිට් එකක් හොයාගන්නට යන්නෙ කුමාරිගෙ නයිට් කඩේටයි.   අපි එනකොටම කාරණාව තේරුම් ගන්න මහින්ද ළූණු මිරිස් එහෙම අතවැඩියෙන් දාපු  විශේෂ බිත්තර රොටියක් හදල දෙන්න පසුබට වෙන්නෙ නෑ.   මාසයක් දෙකක් ඔහොම ගතවෙන්න ඇති එක පාරටම කුමාරිගෙ නයිට් කඩේ වැහුනා කියන ආරංචිය ලැබුණා.    

මොකක්ද උනේ කියල හොයල බලනකොට දැනගන්නට ලැබුණේ හදිසියෙන්ම නයිට් කඩේට පොලීසියෙන් පැනල  මහින්දව අල්ලගෙන ගියා කියලයි.   පස්සෙ දැනගන්න ලැබුණ හැටියට කොත්තුවලට අමතරව මහින්ද බොහොම සූක්ෂ්මව මල් ව්‍යාපාරයකුත් කරගෙන ගිහිං තියෙනවා,කොච්චර රහසිගතව කළත් ඔය වගේ දේවල් හංගන්න බෑනෙ කොහොමහරි පොලීසියට ඔත්තුව යනවා.    වෙන කාගෙන්වත් නෙවෙයි ගනුදෙනු කරුවන්ගෙන්මයි අනික මහින්දගෙ මල් ව්‍යාපාරය පොලිසියෙ රෙජිස්ටර් කරල තිබුන එකෙකුත් නෙවෙයි එහෙම කරල තිබ්බ නං පොලීසියට මාසික බලපත්‍ර ගාස්තුවකුත් ගෙවන්න වෙන නිසා ඒ මුදලත් අතේ ඉතුරුකරගන්න මහින්ද කල්පනා කළා වෙන්න ඇති.    කොහොම උනත් මහින්ද කරගෙන ගිය ව්‍යාපාරය කුමාරි දැනගෙන හිටියද නැද්ද කියල හොයාගන්න ලැබුනෙ නෑ.   කඩේ වැහිල වැඩිකලක් ගතවෙන්න කලින් ගෙවල් කුලිය ගැන සුද්දත් එක්ක අරෝවක් ඇතිකරගත්ත කුමාරි ගෙවල් අත් ඇරල යන්න ගියා.  

පහුගිය සැරේ ලංකාවට ගිය වෙලේ මම සුද්දගෙන් ඔය විස්තරේ හාරා අවුස්සමින් ඇහුවා.   ඒ කාලෙ මහ ඡන්දෙත් ළඟ ළඟම තිබුණ නිසා ඡන්ද උණුසුම හැමතැනම අපේ යාලුවෙකුත් ජේ වී පී එකට සහයෝගෙට ඔන්න ගෙදර පොඩි සාකච්ඡාවක්  ලැස්ති කරල මටත් එන්න කිව්වා.   මම යනකොටත් රැස්වීම පටන් අරගෙන ගම්පහ දිස්ත්‍රික්කෙට ඉල්ලන අපේක්ෂකයෙක් සාකච්ඡාව කරමින් හිටියා.   ටිකකින් සුද්දත් ඇවිත් වාඩිවුනා සාකච්ඡාවෙ නං මෙලෝ රහක් තිබ්බෙ නෑ අවසානෙදි ප්‍රශ්න තියේනං අහන්න කිව්වා.    ඒ ගමන ඒ අයගෙ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන මම ප්‍රශ්න කළාම කිසිම ප්‍රායෝගික බවක් නැති මනෝමුලික උත්තරයක් ලැබුණා.   සුද්ද ඇහුවෙ අතුරුදහන් වෙච්ච තරුණයො ගැනයි ඒකටත් උත්තරේ පෙර පරිදිමයි.   සාකච්ඡාවට ආව අය ගියාට පස්සෙ අපි ඒ ගෙදරම පොඩියට කර්තව්‍යයක් පටන් ගත්තා.   සුද්දගෙ පවුලට දරුවො තුං දෙනෙක් ලැබෙන්න ඉන්නව කියල මට දැනගන්න හම්බවුනේ එතැනදියි.   සුද්දට පින්සිද්දවෙන්න ඊට පස්සෙ අපට බයිට් අවශ්‍ය වුණේ නෑ෴