Sunday, October 25, 2015

එඩුවාගේ සොමිය, නත්තල් පාටිය, බ්‍රොකන්ත් , අවුෂ්විට්ස් සහ පෘතුගාල සංචාරය.



අද ලියන්නට යන්නේ අමතක වෙන්නට ගිය කතාවකි.එනම් පහුගිය දවසක ලියා ඉතිරිය අතහැර දමා තිබු එඩුවගේ සොමිය සහ ආරියගෙ ඩ්‍රෙස්කෝඩ් එකයි.ඉස්සෙල්ලම එඩුවගේ සොමියෙන් පටන්ගනිමු.මම කලින් කියපු විදියටම එඩුවා උදේට එක විදියකි දවල්ට තව විදියකි.දවල් දොළහ යන්තං පහුවෙද්දී මල්කඩේ ළඟ තියෙන පබ් එකට දෙතුන් සැරයක් ගිහිං එන එඩුවා ඊට පසුව ඉන්නෙ බඹර පදමේය.කියන දේවල් මතක නැත.තාරා මස් රසට හදන අවන්හලේ  මේසයක් වෙන් කරගන්නට ප්‍රංශ භාෂාවට ආචාර්ය උපාධියක් ඇති එඩුවාගේ සහාය පැතුවේ එඩුවා ඔන්න ඔවැනි බඹර පදමේ ඉන්න වෙලාවකය.අවන්හලේ  දුරකතනයෙන් වාදනය වන්නේ ප්‍රංශ බසින් පටිගත කළ පණිවිඩයකි.පණිවිඩයට ඇහුම්කන් දුන් එඩුවා කිව්වේ මේසය වෙන්කර ඇති බවයි.දැන් අලුත් විදියට වැඩ වෙන්නෙ ඔහොම යි කියූ එඩුවා වැඩේ හරි කියා කැහ් කැහ් ගා සවුත්තු හිනාවක්ද දැම්මේ අපට ඕවත් වැඩද කියන්නාක් මෙනි.

එඩුවාගේ මේසය වෙන්කිරීමේ රඟ අපට තේරුනේ නියමිත දිනයේ අමුත්තාද රැගෙන අවන්හලට ගිය විටදීය.වසා තිබු අවන්හලේ දොරකඩ දැන්වීමක් ප්‍රදර්ශනය කර තිබුණි.දැන්වීමෙන් කියවුනේ අලුත්වැඩියාව සඳහා අවන්හල වසා ඇති බවත් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව ගැන කණගාටුවන බවත්ය.පටිගත කළ දුරකතන පණිවිඩයෙන් ද කියවුනේ එම කාරණයම බව එකෙනෙහිම තේරුම් ගත් මා  වාහනයෙන් එළියට බැස  එඩුවාට ප්‍රණීත කුණුහරුප දෙක තුනකින් සංග්‍රහ කළේ රෝස්ට් කළ ප්‍රණීත තාරා මස් කෑමේ සිහිනය දෙපා මුල සුනු විසුණු වෙමින් තිබියදීය.වහාම වෙනත් අවන්හලක් සොයාදෙන ලෙස එඩුවාට කීවෙමි.වාසනාවට මෙන් ඒ ලඟම තිබු වෙනත් අවන්හලක ඉඩකඩ ලබාගනීමට හැකිවුයෙන් අපේ රෙදි ගැලවෙන්නට තිබු අවස්ථාව නුලෙන් බේරාගැනීමට හැකිවිය.

ශීත සෘතුව පටන්ගන්නට ආසන්නයේ එක් දවසක හිතවත් යුවළකගෙන් අපට දිවා භෝජන සංග්‍රහයකට ආරාධනාවක් විය.එය සිදුවුණේ බොහෝවිට ඔක්තෝබර් මාසයේ අන්තිම ඉරිදාවක යැයි මට මතක තිබෙන්නේ ඊට පෙරදින මධ්‍යම රාත්‍රියේ ඔරලෝසුවේ කටුව පැයක් ඉස්සරහට කරකැවූ බැවිනි.අපට භෝජන සංග්‍රහයට ආරාධනා කර තිබුණේ දවල් දොළහටය.ශීත සෘතුව ආරම්භ වන්නට ආසන්නව තිබුනද එදා ඉර ලස්සනට හිනැහෙන උණුසුම් දවසක් විය.අපි දොළහට පෙර සංග්‍රහය පැවැත්වෙන  ස්ථානයට ගිය අතර සංග්‍රාහක යුවළ කෑම බීමද රැගෙන හරියටම දවල් දොළහට එතනට එන්නට නියමිතව තිබිණි.එඩුවා යුවළද පැමිණ සිටි අතර දොළහට ආසන්න වුවද සංග්‍රාහක යුවළ පැමිණෙන පාටක් පෙනෙන්නට තිබුණේ නැත.අපි කතා කරමින් විහිළු කරමින් කාලය ගතකලද එඩුවා බොහෝ නොසන්සුන් ගතියක් පෙන්වුයේ වෙලාව පසුවී ඇති නිසාය.ටිකකින් එඩුවා අතුරුදහන් විය.නැවතත් ටික වේලාවකින් පෙනීසිට ආයෙමත් අතුරුදහන් විය.සංග්‍රාහක යුවළ පැමිණෙන විට හරියටම දහවල් එකය.ප්‍රමාදය සිදුවී ඇත්තේ ඔවුන්ට  කලින්දා රාත්‍රියේ ඔරලෝසුව ඉස්සරහට කරකවා ගැනීමට අමතක වීමය.ඒ වනවිට පදමට වයින් බී සිටි එඩුවා නන් දොඩවමින්ද  කැහ් කැහ් ගා හිනාවෙමින්ද සංග්‍රාහකයින්ට බැණ වදිමින්ද සිටියේය.ප්‍රමාදයක් තිබුනද භෝජන සංග්‍රහය සතුටින් ආරම්භ විය.

සංග්‍රාහක යුවළ රැගෙනවිත් තිබු බීම අතර ලංකාවෙන් ගෙනා දෙවරක් පෙරූ පොල් අරක්කුද වුයෙන් අපි ඒවායින් පටන් ගත්තෙමු.එඩුවාද අපට එකතු විය.එක වීදුරුවක් බොන විටම එඩුවා කඩා වැටුණේ පදම වැරදුන නිසාය.බඩ පිරෙන්නටම වයින් බී සිටි ඔහුට වයින් උඩට අරක්කු දරාගන්නට බැරිව යන්නට ඇත.බෙල්ල කඩා වැටී පුටුවක බාවා තිබු එඩුවාගෙන් කිසිම පලක් ප්‍රයෝජනයක් නොවුයෙන්  ඔහුව වහාම ක්‍රියාත්මක වන පරිදි ගෙදරට පිටත්කරන ලදී.පසුදින කෙල්ලන් එඩුවාට විහිළු කරන්නට වුයේ ඊයේ සිදුවූ දේ ගැනයි.හැමදාම වයින් බොන එඩුවාට අරක්කු ටිකක් බොන්නට බැරිවීමත් ඉඳහිට බොන අපි හොඳට බීගෙන කෙළින් සිටීමත් ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන ලද අතර They are hard drinkers කියමින් එඩුවා ඇඟ බේරාගත්තේය.

නමට කතෝලිකයෙකු වූ එඩුවා පල්ලි නොගියද නත්තල නම් තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් සමරයි.එහි කුටප්‍රාප්තිය වන්නේ නත්තල්දා අපට දෙන දිවා භෝජන සංග්‍රහයයි.එඩුවාගේ බිරිඳ දවල් කෑම පිළියෙළ කරන්නට පටන් ගන්නට පෙර කුස්සියට වදින එඩුවා ගෙදරට එන අමුත්තන් සඳහා විවිධ කටගැස්ම පිළියෙළ කරයි.අමුවෙන් කන්නට පිළිගන්වන බෙල්ලන්ද හොඳට කුළුබඩු යොදා අවන් එකේ පළහා ගන්නා සාඩින් මසුන්ද සැරට බැදගන්නා ලොකු ඉස්සන්ද ඔහුගේ විශේෂ කටගැස්ම අතර මුල් තැනක් ගනී.අවුව තරමකට තිබුනද ඇඟට ඉඳිකටු අනින ශීත සුළං හමන නත්තල්දා දහවල් අපි පවුල් පිටින් අපේ ගෙට අයිනේ කන්ද උඩින් ඇති  නැවතුමෙන් ට්‍රෑම්එකට ගොඩවී නගරය හරහා ටිකක් දුර ගොස් එඩුවලාගේ ගෙවල් ඉස්සරහම ඇති හැන්සන් සුළී නැවතුමෙන් බැසගනිමු.අපේ ගෙවල් ළඟ තිබූ  ට්‍රෑම් නැවතුමේ නම මට දැන් අමතකය.කොතෙක් මතක් කරගන්නට තැත්කලද මතක් වුනේම නැත.බොහෝවිට එහි නම ගබ්‍රියෙල් විය හැක.

ගෙට ගොඩවුන වෙලේ පටන්ම එඩුවා ජෝඩුව ආගන්තුක සත්කාර පටන්ගනී.වයින් ලෝලියෙකු වන එඩුවා අපට සංග්‍රහ කරන්නට පටන් ගන්නේ සුදු වයින් වලිනි.ඒ සමග කන්නට දෙන්නේ අමු බෙල්ලන්ය.මුහුදේ ගැඹුරේ දැඩි සීතල නිසා ඉතා ගනකම් පිටකටුව විකෘති ස්වභාවයක් ගන්නා මේ බෙල්ලන් බෙහෙවින්  මිළ අධික ආහාරයකි.උඩ කටුව එහෙමම තිබියදී යට ඇති පතුරක් වැනි කටුව තියුණු මුවහත් උලකින් ගලවා ගෙන මසට ලෙමන් යුෂ ස්වල්පයක් වත්කරන්නේ බෙල්ලා උත්තේජනය වන්නටය.එවිට බෙල්ලා ඉතා රසවත් වන බව එඩුවා කියයි.ඉන්පසුව ගෑරුප්පුවකින් මස් ගුලියම ගලවා කෑමට ගනී.කටුවේ ඉතුරුවෙන යුෂ ටිකද ස්රූස් ගා ගිල දමමු.ඔබ Mr.Bean's Holiday චිත්‍රපටය නරඹා ඇත්නම් එහි ප්‍රංශයට පැමිණෙන බීන්ට ආපනශාලාවකදී අමුවෙන් කෑමට දෙන බෙල්ලන් වර්ගය මේ බෙල්ලන්ය.ගෑනු ටික අප්පිරියාවෙන් අපි බෙල්ලන් කන පැත්තවත් නොබලා සිටියත් එඩුවා ගෙනත් තිබෙන බෙල්ලන් සියල්ලම වයින් බොමින් අපි ගිල දමන්නෙමු. මුළු දවසම වයින්වල ඇලී ගැලී සිටින්නට එඩුවා කැමතිවුනත්  අපි වඩාත් සැර බෝතලයක් එඩුවාගෙන් ඉල්ලා ගන්නෙමු.එතනින් පටන් ගන්නා  විවිධාකාර  බීම වර්ග අවසානයේ එඩුවාගේ බිරිඳගේ විසිතුරු භෝජන සංග්‍රහය අවසන්ව අප ගෙදර එන්නේ සැන්දෑ අඳුර හතරවටින් ගලා එන විටය.

එඩුවලාගේ ගෙවල් ළඟ වීදියක අවුරුද්දකට සැරයක් පවත්වන බ්‍රොකන්ත් හෙවත් එළිමහන් වෙළඳපොල අප රසවිඳි තවත් අත්දැකීමකි.වසන්ත කාලයට හැමතැනම පැවැත්වෙන බ්‍රොකන්ත් අතර මෙය විශේෂ වන්නේ මෙහි නිපදවන විකුණන සියලුම ආහාර වර්ග පසුගිය සියවසේ ආහාර පිසූ පැරණි ක්‍රමයට එතැනදීම පිසගන්නා ලද ඒවා වීම නිසාය.එඩුවාත් මමත් අපේ මිත්‍රයෙකු වූ ඉතියෝපියානු ජාතික ගෙත් සමග වෙළඳපොළට යන්නේ හවස් වරුවේය.ඒ වනවිට ගෙදර හැදු වයින් සහ සයිඩර්ද එතැනදීම රළු විදියට පොලුවලින් තලා පොඩිකර මිරිකා ගන්නා ඇපල්යුෂ සහ මිදී යුෂද වෙළඳපොළේ දෝරෙ ගලමින් පවතී.පාර මැද තනා ඇති ලොකු අඟුරු උදුනකට උඩින් පොල්ලක ගසා කරකවමින් පළහන දැවැන්ත ඌරාද තෙල් බේරෙමින් රුචීකර සුවඳක් වහනය වෙමින් පිළිස්සේ.ඌ කපන වෙලාව එනවිට අපට ඇති පමණ ගෙදර හැදු වයින් බීගන්නට පුළුවන.පැලහු හරක් මස්ද කුකුලන්ද ඕනෑ තරම් ඇතත් අප වඩාත් කැමතිවන්නේ තෙල් කෑල්ලක් කන්නටය.

විද්වතෙකු වන එඩුවා ප්‍රංශයේ සෝබෝන් සරසවියේ හැට ගණන්වල අධ්‍යාපනය ලැබූ අයෙකි.ඔහුගේ සමකාලීනයෙකු වූ සෝමරත්න බාලසුරිය තරුණයාද එකල එහි උගෙනුම ලබා ඇත.එඩුවාගේ ගෙදර ඇති පින්තුරවල කොණ්ඩය බෙල්ලට වවාගෙන එළු රවුලක්ද සහිතව ඉන්න එඩුවා සමග කොට ගවුමක් ඇඳගෙන ඉන්නා කෙට්ටු යුවතිය හරියට චන්ද්‍රිකා වගේ යැයි මා කීවිට සිනාසුනු එඩුවා කීවේ ඒ ඉන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක තරුණිය බවයි.ඇල්බෙයා කැමූගේ The Outsider නවකතාව පිටස්තරයා යනුවෙන් කරඇති සිංහල පරිවර්තනයේ ඔහුද සම පරිවර්තකයෙක් වූ බව එඩුවා මා සමග කීවේය.පසුව ඔහු ප්‍රංශ රජයේ මුල්‍ය සහාය ලබාගෙන ප්‍රංශ-සිංහල ශබ්ද කෝෂයක් සකස්කළේය.ඒ දිනවල ඔහු එහි දෙවැනි කොටස සංස්කරණය කිරීමෙහි නිරතව සිටියේය.යම් යම් සිංහල වචන විවිධ පළාත්වල  විවිධාකාරයෙන් යෙදෙන ආකාරය අපි දෙදෙනා සාකච්ඡා කළෙමු.

ඊට අමතරව ඔහු මාත් සමග අහසත් පොළොවත් අතර ඇති හැම දේ  ගැනම කතා කරයි.දවසක් අපේ කතාවට මාතෘකාව වුනේ දෙවෙනි ලෝක යුද්ධ සමයේ හිට්ලර් පවත්වාගෙන ගිය වද කඳවුරුය.ඒ වද කඳවුරු අතරිනුත් විශාලම එකක් වූයේ  පෝලන්තයේ අවුෂ්විට්ස් කඳවුර බව එඩුවා කීවේය. එය දැන් විශාල වශයෙන් සංචාරකයන් ආකර්ෂණය කරන තැනක් බවද කී ඔහු එළඹෙන නිවාඩු සමයේ පෝලන්තයට ගොස් එය දැක බලාගෙන  ආවොත් නරකදැයි මගෙන් අසා සිටියේය. එතැන් සිට මා උනන්දු වුනේ පෝලන්ත ගමනටය.එකල පිරිමැසුම්දායක ගුවන් සේවා හෙවත් බජට් ෆ්ලයිට් පෝලන්තයට නොගිය බැවින් අපට බසයේ යන්නට සිදුවේ.වෝර්සෝ නගරයේ  සිටි මගේ මිතුරියක් අපි තුන්දෙනාට නවාතැන් සහ කෑම බීම සැපයීමට එකඟවූ නිසා ඒ ප්‍රශ්නයද විසඳුනි.ඇය කීවේ අවුෂ්විට්ස් ඇත්තේ වෝර්සෝවල සිට කිලෝමීටර් තුන්සීයකට ආසන්න දුරකින් ඇති ක්‍රැකෝ වල බවත් දුම්රියේ එම දුර පැය දෙකකට ටිකක් වැඩි කාලයකින් යාගත හැකි බවත්ය.ගමන එළැඹෙන පාස්කු නිවාඩුවේදී යන්නට අප තීරණය කරගතිමු. එඩුවාටද අප සමග යන්නට කතාකළත් එඩුවා කීවේ පාස්කු නිවාඩුවේදී ඔහු පෘතුගාලයට සංචාරයක් සඳහා යන්නට තීරණය කර ඇති බවය. ලංකාවේ පෘතුගීසි සමයේදී උසස් අධ්‍යාපනයට පෘතුගාලයට ගිය යමසිංහ කුමරා එහි ගතකළ ජීවිතය ගැන පර්යේෂණයක් කරන්නට එඩුවාට අවශ්‍යව තිබුණි. අප දෙදෙනාගේම බලාපොරොත්තු  සුළඟේ ගිය ආකාරය ඊළඟට බලාපොරොත්තු වන්න෴

Tuesday, October 13, 2015

දෙසීය, මහාචාර්ය සිඩ්නි ස්මිත් සහ සතාසිවම්.

අද පළවන්නේ මගේ අතින් ලියැවෙන දෙසිය වන පෝස්ටුවයි.පෝස්ටු දෙසීයක් ලිවීම එපමණ උදම් අනන්නට දෙයක් දැයි සමහරවිට මටම සිතේ.එහෙත් දළ පෝස්ටුවක් ලිවීමට හා ඒ පෝස්ටුව සුද්දකර ඔපදමා හැඩකර එළිදක්වන්නට ගන්නා වෙහෙස ගැන සිතනවිට ඒ ගැන තරමක පුරාජේරුවක් කීමද  වරදක් නැතැයි අවංකවම සිතමි.දෙසීයක් සම්පූර්ණ කරගැනීම සඳහා මට අවුරුදු තුනකට බෙහෙවින් ආසන්න කාලයක් ගතවී ඇත.එනම් ලබන මාසයට හෙවත් නොවැම්බරයට මේ බ්ලොගය අවුරුදු තුනක් සපුරන නිසාය.(උඩින් පල්ලෙන් කියවා වසර තුනටද සුබ පැතීමෙන් වලකින්න) එදිනට මා තරමක විස්තරාත්මක ලිපියක් ලිවීමට අදහස් කරගෙන සිටිමි. මුලින්ම වසර තුනේ සංවත්සරය හා ලිපි දෙසීය එක දිනකට යොදාගන්නට අදහස්  කරගෙන සිටියත් එසේ කරන්නට ගියහොත් 199 හා 200 ලිපි දෙක අතර සෑහෙන තරමක පරතරයක් ඇතිවන නිසා ඒ ගැන නොසිතා සාමාන්‍ය පරිදි  ලිපි පළකරන්නට සිතුවෙමි. 

බ්ලොගය ආරම්භ කළ සමයේ මා උත්සාහ කළේ වැඩි ලිපි ප්‍රමාණයක් පළකරගැනීමටය.ඒ හේතුවෙන් ලිපිවල ගුණාත්මක භාවය ගැන එතරම්ම සැලකිල්ලක් නොදක්වුයෙමි. අද මට සිත් තැවුලක් ඇතිවන්නේ  ඒ ලිපි අද පළකලේ නම් මීට වඩා හොඳින් ලියාගන්නට තිබුනා නොවේදැයි සිතෙන විටදීය.නමුත් පසුකාලීනව ප්‍රමාණයට වඩා අන්තර්ගතයේ ගුණාත්මක භාවය පිළිබඳව බෙහෙවින් සැළකිලිමත් වුනෙමි.එහෙයින්ම ලියන වේගය අඩුවන්නට විය.ලියන්නට පටන්ගත් දිනයේ සිට මේ අවුරුදු තුනකට ආසන්න කාලය තුළ මගේ අතින් ලියවෙන දේවල් කෙමෙන් අඩුවෙමින් යන්නේ ඒ නිසාය.දැන් මා ලිපියක් සකස් කර ගැනීමට දින කීපයක්ම ගතකරමි.බොහෝ වාරයක් කපා කොටා අඩු වැඩි කරමින් පළකිරීමට සුදුසු යැයි සිතන මට්ටමට එන තුරුම වෙහෙසවෙමින් කල් මරමි.ඊට හේතු කීපයක් ඇත.මා වෙහෙසවී ලියන තරමට කියවන අයට වෙහෙසකින් තොරව කියවන්නට ලැබීම එකකි.අනෙක් කාරණය වෙනත් බ්ලොග් රචකයන් කරන වැරදි නිවැරදි කිරීමට මම නිතරම උනන්දු  වන නිසා මා ලියන දෙය නිවැරදිව තිබිය යුතු වීමයි.

මෙහිදී මට තරමක් පැරණි කතාවක් මතක්වේ.බ්ලොග්කරණයට මා පිවිසි මුල් අවදියේ එවකට සිටි  පළපුරුදු බ්ලොග් කරුවෙකුගේ ලිපි දෙක තුනක අඩුපාඩු පෙන්වා දුනිමි.ලැබුණු පිළිතුර බෙහෙවින් කර්කශ හා නොරුස්සන සුළු එකක් විය.හේතුව වුයේ ඔහු වැනි ප්‍රවීනයෙකුගේ ලිපිවල අඩුපාඩු පෙන්වීම  ආධුනිකයෙකු වූ මට තරම් නොවන බවට ඔහුගේ සිත්හි වූ හැඟීමයි. ඒ බ්ලොග්කරුවාටත් වඩා ජ්‍යෙෂ්ට වූද හොරෙක්,මංකොල්ලකරුවෙක් හා දේශප්‍රේමියෙකු වූ තවත් බ්ලොග් රචකයෙකුගේද වැරදිද  එදා මෙන්ම අදත් මම පෙන්වා දෙමි.ඒ පෙන්වා දෙන්නේද  ඔහු දිගින් දිගටම වැරදි කරනවා යැයි බැන වදිමිනි.ඔහු ඒ වැරදි හිස් මුදුනින් පිළිගෙන නිවැරදි කරන්නට තරම් නිහතමානී වනවා පමණක් නොව මට කිසිසේත්ම අවශ්‍ය නොවුවද සිය කණගාටුවද පළකරයි.ඒ ඔහුගේ හැටිය මේ මොහුගේ හැටිය.

ඉතින් ඔවැනි නොයෙකුත් කාරණා හේතුවෙන් දැන් මා අතින් ලියැවෙන්නේ බෙහෙවින් අඩු ලිපි ප්‍රමාණයකි.එසේ වුවද මගේ බ්ලොගයේ පාඨකයන්ට හොඳම දේ අඩුවක් නොමැතිව ලබා දෙන්නට නිතරම වෙහෙස ගනිමි."අප පිළිබඳව විශ්වාස කරන විට අපට ඇති වගකීම්ද ඉහළ යයි". මා මේ පාඨය උපුටා දැක්වුයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ශ්‍රීමත් සිඩ්නි ස්මිත් ලියු "Mostly Murder" නම් පොතෙනි.ඒ පොත "ලොව හෙල්ලූ අබිරහස් මිනීමැරුම්" නමින් කොටස් දෙකකින් 1998 දී සිංහලට පරිවර්තනය විය.මේ පොත ගැන වරක් මගේ බ්ලොගයේදී කෙටි කතාබහක් ඇතිවුවද එය දිග දුර ගියේ  නැත.පොත ගැන කතාකළේ ශ්‍රීනාත්ය.ඔහුට පිළිතුරු වශයෙන් තවත් කෙනෙක් කියා තිබුණේ මහාචාර්ය සිඩ්නි ස්මිත් ඔහුගේ පොතේ ලංකාවේ සිදුවූ සතාසිවම් මිනීමැරුම ගැන ලියා තිබුනද එහි තීන්දුව අපැහැදිලි බවයි.ඒ නඩු විභාගය පැවැත්වුනේ බොහෝවිට 1953 වර්ෂයේදී වියහැකිය.  ඒ මිනීමැරුමට කිසිවෙක් උසාවියේදී වරදකරුවකු නොවීම නිසා ඔහු එසේ කියන්නට ඇත.නමුත් කතාව ප්‍රවේශමෙන් කියවන විට මිනීමරුවා කවුද යන්න අපට මහ දවල් මෙන් පැහැදිලිවේ.එතැනදීද ලංකාවේ පොලීසිය මිනීමරුවා පිළිබඳව පූර්ව නිගමනයකට පැමිණ කටයුතු කිරීම හේතුවෙන් මිනීමරුවා කිසිම දඬුවමක් නොලබා රජයේ සාක්කි කරුවෙකු වී නිදහස් ව ගෙදර ගියේය.මිනීමැරුමට සැක කළ ලංකා ක්‍රිකට් නායක මහාදේවන් සතාසිවම් ද නිදහස් විය.වංගෙඩිය මිනීමැරුවා යැයි සුප්‍රසිද්ධ කියමන ඇතිවුයේ මේ නඩු තීන්දුවෙන් පසුවය.මහාචාර්ය සිඩ්නි ස්මිත් ලියා ඇති මේ කතාව නොදන්නා අයගේ දැනගැනීම සඳහා උපුටා දක්වන්නට ඇත්නම් හොඳයැයි මට සිතේ.

මතකය අලුත්කර ගැනීම සඳහා මම නැවතත් ඒ පොත්දෙක කියවුයෙමි.එහිදී මට පෙනීගිය කරුණක් වුයේ මහාචාර්ය සිඩ්නි ස්මිත් අධිකරණ වෛද්‍ය විශේෂඥයා හාස්‍ය රසයට බෙහෙවින් ප්‍රිය කළ අයෙක් බවයි.පොතේ කතාවල තැන තැන ඔහු ලියා ඇති අතුරු කතාවලින් ඒ බව හොඳින් පැහැදිලිවේ.මහාචාර්ය ස්මිත් කලක්  ඊජිප්තු රජයේ ආරාධනයෙන් එරට ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලෙස සේවය කළේය.එකල ඔහු සාමාන්‍ය ඊජිප්තු  ජන ජීවිතය ගැන ද හොඳින් අධ්‍යයනය කර ඇත.එක කතාවකදී ඔහු ලියන මේ කොටස උපුටා දැක්වීමට කැමැත්තෙමි. 

"එකළ ඊජිප්තු කාන්තාව බාහිර ලෝකයා විසින් මුළුමනින්ම අමතක කළාවූ අයෙකු වූ අතර ඇගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන් පැහැර හැර තිබුණි.ජීවිතයේ උගත යුතු මුලික දේ පවා ඇයට අහිමිවී තිබිණි.පොදු සමාජීය කටයුතුවල දී ඇය දකින්නට ලැබුණේ ඉතාම කලාතුරකින් වූ අතර එසේ පැමිණි අවස්ථා වලදී පවා ඇය සිටියේ මුහුණ ආවරණය කරගෙනය.ගම්බද කාන්තාවන් පැළඳ සිටි මුඛවාඩම ඝණ කළු රෙද්දෙන් නිමවා තිබු අතර නැහැය පෙදෙසට තඹ ආවරණයක් සවිකර තිබුණේ පෙනුම තවත් අවලක්ෂණ කිරීම පිණිසය.පිරිමියෙකු විසින් තම මුහුණ දැකීම ඔවුන් පිළිගෙන තිබුණේ අන්ත ලජ්ජාශීලී කරුණක් ලෙසිනි.මේ නිසාය මුහුණ විවෘත කරගෙන දියනාමින් සිටි එක් ගම්බද කාන්තාවක් අනපේක්ෂිතව තමන් දෙසට එන පිරිමියෙකු දුටු වහාම හිටි උසටම තම හැඳිවත ඔසවා මුහුණ වසාගත්තේ. ඇයට උවමනා වුයේ පිරිමි නෙත්වලට තම මුහුණ හසුවීමේ විශාල ලැජ්ජාවෙන් ගැලවීමටය.අනෙක් අවයව ප්‍රදර්ශනය වීම පිලිබඳ ඇය තැකීමක් නොකළාය."

නැවතත් සතාසිවම් පිලිබඳ කතාවට එමු.මහාදේවන් සතාසිවම් ගැන අප බොහෝ දෙනෙක් අසා නොමැති බවට සැකයක් නොමැත. 1915 වර්ෂයේදී ඉහළ පංතියේ ද්‍රවිඩ පවුලක උපතලද සතාසිවම්ගේ සුරතල් නාමය සතා විය. ඔහු 1940 දශකයේ සිට 1960 දශකය දක්වා ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළ අතර 1948 දී ලංකා ක්‍රිකට් පිලේ නායකයාද විය.1941 දී සතාසිවම් විවාහ වුයේ ශ්‍රීමත් පොන්නම්බලම් රාමනාදන් මහතාගේ මිණිබිරියක වූ පරිපූර්නම් ආනන්දම් රාජේන්ද්‍රා මෙනවිය සමගය. ඒ විවාහයෙන් ඔවුන් දියණියන් සිව්දෙනෙක්ගේ දෙමාපියන්  බවට පත්වුහ. වසර දහයක පමණ කාලයක් පවුල් ජීවිතය ගතකළ පසු පවුලේ සමගිය බිඳ වැටුණු අතර සැමියා ද්වේෂ සහගත ලෙස තමා හැරගිය බව පවසා සතාසිවම් මහත්මිය දික්කසාද නඩුවක් පැවරුවාය. නඩු කටයුත්ත පවතිද්දී 1951 දිනෙක සතාසිවම් මහත්මිය මියගිය අතර බිරිය මරාදැමීමේ චෝදනාව මත සතාසිවම් අත්අඩංගුවට ගන්නා ලදී. කතාව ඇරඹෙන්නේ සහ මහාචාර්ය සිඩ්නි ස්මිත් කතාවට සම්බන්ධ වන්නේ එතැන් පටන්ය.සතාසිවම් මහත්මියගේ අබිරහස් මරණය රටම කැළඹු  පුවතක් විය. මිනීමැරුමට සැකපිට ඇයගේ ස්වාමිපුරුෂයා වූ සතාසිවම් අත් අඩංගුවට ගත් දිනයේ සිටම පොලිසිය මෙන්ම මුළු මහත් ලාංකික ජනතාවම සතාසිවම් වරදකරු කොට තීන්දුව දී අවසානය.ඉතිරිව තිබුණේ ඔහු එල්ලා මැරීමට අධිකරණ තීන්දුව ලබාගැනීම පමණකි. තත්ත්වය එසේ තිබියදී ලෝ ප්‍රකට අධිකරණ වෛද්‍ය විශේෂඥයෙකු වූ මහාචාර්ය සිඩ්නි ස්මිත් විත්තිය වෙනුවෙන් විශේෂඥ සාක්‍ෂි ලබාදීමට ඉදිරිපත්වීම ලංකාවාසීන්ගේ පැන්ටසියට එල්ලවූ  මරු පහරක් විය.ඒ ගැන මහාචාර්ය ස්මිත්ට සාප කරමින් ලාංකික ජනතාව හැසිරුණ ආකාරය ඔහු තම කෘතියේ උපහාස මුඛයෙන් සඳහන් කරයි.

සතාසිවම් රටවල් තුනක ක්‍රිකට් කණ්ඩායම්වල නායකත්වය දැරූ එකම පුද්ගලයාද වියහැක.ඔහු පිළිවෙලින් ලංකාව,සිංගප්පුරුව සහ මලයාසියාව යන රටවල් තුනේම ක්‍රිකට් කණ්ඩායම් වලට නායකත්වය ලබාදී ඇත.මා උඩින් පළකර ඇති ගුගල්වලින් ගත් ඡායාරූපයේ දැක්වෙන්නේ ලංකා ක්‍රිකට් නායක සතාසිවම් ඕස්ට්‍රේලියානු නායක ඩොන් බ්‍රැඩ්මන් සමග කාසියේ වාසිය සඳහා වනාතමුල්ලේ ඕවල් පිටිය මැදට පියමනින ආකාරයයි.බොහෝවිට ඒ 1948 වර්ෂය විය යුතුය.පසුබිමේ දැක්වෙන ක්‍රීඩාගාර නිසා පිටිය හඳුනා ගැනීමට පහසු වන්නේ ඕවල් පිටිය අදද ඔය ආකාරයෙන්ම පවතින නිසාය. සතාසිවම් ස්ටෑන්ඩ් නමින් ඕවල් පිටියේ ක්‍රීඩාගාරයක් නම් කර ඇති ආකාරය මා පසුගිය දිනෙක රූපවාහිනියෙන් දුටුවෙමි෴

Sunday, October 11, 2015

ත්‍රිකෝණය




ඈ හාමිනේ අපේ රංජිත් ඉස්කෝලෙ මහත්තය ගැන මොකද හිතන්නෙ...

පත්තරෙන් දෑස් ඉවතට ගත් ජයතිස්ස ලොකු ඉස්කෝලෙ මහත්තයා එහෙම ඇහුවේ  පියවතී හාමිනේගෙනි.අතේ තිබූ කොස්ස බිත්තියට හේත්තු කළ ඇය ගවුමට උඩින් ඇඳ සිටි චීත්ත රෙද්ද තද කර ඇඳ ගත්තාය.

මොකෝ මහත්තය හදිස්සියෙන්ම එහෙම ඇහුවෙ?...පියවතී හාමිනේ ඇසුවේ ඉස්කෝලෙ මහත්තයාගෙනි.ඇසේ තිබු කන්නාඩි කුට්ටම නළලට කරගත් ඉස්කෝලෙ මහත්තයා කතාකරන්නට විය.

නෑ හාමිනේ වෙන මහත්තුරු මේ කැලේට ආපුදා ඉඳල කරදරයි අමාරුයි පහසුකම් නෑ කියල නාහෙන් අඬනව.කොහොමහරි මාරුවක් හදාගෙන යන්නනෙ බලන්නෙ.ඒ උනාට බලන්ඩකො රංජිත් මහත්තය කවදාවත් බැරි අමාරුකම් කියල යන්න හදල තියෙනවද...

ඒක නං සහතික ඇත්ත මහත්තයො කරදර ගැන වචනයක්වත් නොකිව්වට හොඳට පහසුකම් ඇතුව හැදිච්ච යමක් කමක් ඇති තැනක ළමයෙක්ලු මම දවසක් කතා කළානෙ...

ඔන්න මිනිහ ඒ ගමන අක්කර දෙකක මිරිස් දාළලු.කුඹුරු කෑලි තුන හතරකුත් බද්දට කරනවනෙ, තමන් ඉන්න තැනේ හැටියට හැඩ ගැහෙන්න දන්න කෙනෙක්.මම රංජිත් මහත්තයට බොහොම මනාපයි. කොල්ලො ඉන්න ඕනෑ ඔහොම තමයි කෙල්ලො වගේ නාහෙන් අඬල හරියනවැයි ...

රංජිත් මහත්තය අපේ පවුලට නරකද මහත්තයො...

ඕං ඕකම තමයි හාමිනේ මමත් ඇහුවෙ,හාමිනෙත් ඒකම අහන එක අපූරුයි...

එහෙනං තොරතුරු හොයල බලන එකයි.හැබැයි ලොකු දූට වඩා ටිකක් මිටියි වගේ නේද, ළමය කැමති වේවිද දන්නෙ නෑ ...

ඕන්නං අඟලක් දෙකක් උස අඩු ඇති කවුද එහෙම ගණන්ගන්නෙ අපේ ලොකු දුවත් දණ්ඩ වගේ උසයි නොවැ,ඉස්කෝලෙ වොලිබෝල් කණ්ඩායමටත් ගැහුවෙ ඒ නිසානෙ...

ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයාට දුවරුම දෙදෙනෙකි.ලොකුදුව දිලිනි වන අතර පොඩි දුව නයනිය.දෙන්නාම රුවැත්තියන්ය.දුරින් මස්සිනා වෙන තරුණයෙක් නයනිට නම නියමකරගෙන තිබුනේ පාසැල් සමයේ සිටම වන අතර දැන් ඒ කසාදය ස්ථිරය.දීග දෙන කෙල්ලෙකුට ඉන්නේ දිලිනි පමණය.රංජිත් දුෂ්කර සේවය සඳහා ජයතිස්ස ඉස්කෝලෙ මහත්තයා මුල්ගුරුකම දරන ගල්ගමුවේ පාසැලට ආවේ අවුරුද්දකට පමණ පෙරය.කොළඹට නුදුරු සැපදායක පළාතක උපන්නෙකුවූ රංජිත්ගේ පියාද විදුහල්පතිවරයෙකි.පාසල් සමයේ සිටම ක්‍රීඩාවට වැඩි නැඹුරුවක් දැක්වූ රංජිත් දුර දිවීමේ ශූරයෙකු විය.ඔහු පාසල් ක්‍රීඩා සඳහා කීප වතාවක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ සංචාරවලට සහභාගීවී ඇත.විදේශයන්හිදී ජයග්‍රහණ වාර්තා කළ අයට ඒ හේතුවෙන්ම ක්‍රීඩා ගුරු පත්වීම් ලබාදීමට රජය තීරණය කර තිබු හෙයින් රංජිත්ටද පාසැලෙන් ඉවත්වී අවුරුද්දක් යන්නට පෙර ක්‍රීඩා උපදේශක කමක් ලැබිණි.දුෂ්කර සේවය සඳහා පැමිණි ගල්ගමුව  ඔහුගේ දෙවෙනි පාසැල විය.

පැමිණ අවුරුද්දක් ගතවන්නට මත්තෙන් එතෙක් කිසිම ක්‍රීඩාවක් නොතිබූ පාසැලෙන් කලාප තරඟ හා දිස්ත්‍රික් තරඟවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් යැවීමට රංජිත්ට හැකිවීම ජයතිස්ස මුල් ගුරුතුමා දුටුවේ ඔහුගේ ජයග්‍රහණයක් ලෙසය.ක්‍රීඩාවට යෙදවුනේ පාසල් කාලයෙන් ඉතා ටිකක් බැවින් රංජිත්ට ගුරුවරුන් නොමැති සමහර පන්තිවල පාඩම් ගන්නට විටින් විට සිදුවිය.එහෙත්  රංජිත් උගන්වන විට  ඔහුගේ ගන්ටාර කටහඬ ශාලාවේ ඈත කෙළවරේ උගන්වන ගුරුවරුන්ටද කරදරයක් බව ටික දවසකින්ම මුල් ගුරුතුමාට පැමිණිලි ලැබෙන්නට වීම මුල් ගුරුතුමා දැඩි අපහසුතාවකට පත් කරවන්නක් විය.එහෙත් මොළේ කල්පනා කර වැඩකළ මුල් ගුරුතුමා ඊට පසුව රංජිත්ට පංතියක් බලාගන්නට දෙනවිට කිව්වේ,

රංජිත් මහත්තයො ගුරුවරයෙක් නැතුව  තුනේ පංතියේ එව්වො කෑගගහ ඉන්නව මහත්තය උන් ටිකත් අරගෙන ආං අර කෝං ගහ යටට යන්නකො...කියාය.

පාසල් වෙලාවෙන් පසු රංජිත්ට විවේකය බොහෝ වුයෙන් ගමේ අනෙක්  ගැමියන් කරන්නාක් මෙන් ඔහුද හේනක් කොටන්නට පටන් ගත්තේය.රංජිත් හේන් වැඩ කරන්නට නොදන්නා බැවින් ඔහු හේන කෙටෙව්වේ කුලියටය.කලට වැසි වැටී හේන හොඳින් පැහුණු බැවින් ගොවිතැන් ගැන රංජිත්ට ඇතිවුනේ ආසාවකි.ඊළඟ කන්නයේදී පාළුවී තිබු කුඹුරු කෑලි දෙක තුනක් බදු අරගෙන කරන්නටද ඔහු පෙළඹුනේ ඒ නිසාය.පාලුවට ඇරෙන්නට ගිය හේනේ මිරිස් පැළ ඉන්දුවේද කුලී කරපු ගැමියන්ගේ කීම නිසාය.

රංජිත් මහත්තය දැන් හොඳ ගොවියෙක් වෙලානෙ...

වගාව බලන්නට දවසක් ආ ලොකු  මහත්තයා කීවේ රංජිත්ගේ ගොවිතැන ගැන සතුටිනි.රංජිත්ගේ නවාතැනට ආපහු යන ගමනේ ලොකු මහත්තයා ඔහුගේ වං හුං අහන්නට උනේ වෙනදා මෙන් ආවට ගියාට නොවේ.

එතකොට මහත්තයට අක්කයි නංගියි විතරයි...

ඔව්   ඒ ගොල්ල බැඳල ගමෙන් පිට ගියා.මල්ලිලා දෙන්නා පහුගිය කලබල කාලේ පොලීසියෙන් ගෙනිහින් අතුරුදහන් කළා...

මොනවා මහත්තයො...ලොකු මහත්තයා පාරමැද නතරවුණේ ගල් ගැසුනාක් මෙනි.

Sunday, October 4, 2015

පොතක් ගැන කතාවක්



අද පලවන කතාවත් පහුගිය සාහිත්‍ය මාසය වෙනුවන් ලියන්නට සිටි සටහනකි.ඒ මා මෑතකදී කියවා රසවිඳි පොතක් පිළිබඳවයි.පොතේ නම "කොටි දියණියකගේ පාපෝච්චාරණය" කතුවරිය නිරෝමි ද සොයිසා.එය අපට හුරුපුරුදු නමක් නොවේ.පරිවර්තනය කොට ඇත්තේ සුනිලා විජේසිංහයි.යුද්ධය කොටි සංවිධානය හා කොටි ගැන අප ඇති පදමට කියවා ඇතත් ආරම්භයේ පටන් කොටි සංවිධානය තුළ සිට ක්‍රියාකාරීව යුද වැදුන කොටි සෙබළ සෙබළියන් හෝ  නිලධාරීන් ලියු කතා අපට කියවන්නට ලැබී නැති බව මගේ විශ්වාසයයි.එයට හේතු බොහෝ ඇතත් ඒවා වෙනම සාකච්ඡා කළ යුතු කරුණුය.මේ කතාව විශේෂිත වන්නේ එබැවිනි.නිරෝමි කොටි කාන්තා බලකායට පළමුවෙන්ම බඳවා ගත් කණ්ඩායමට අයත් තරුණියකි.සිය දීප්තිමත් පාසල් අධ්‍යාපනය හැර දමා ඇය ස්වේච්ඡාවෙන්ම කොටි සංවිධානයට එක්වන්නේ පවුලේ අයගේ මෙන්ම ජ්‍යෙෂ්ට කොටි නායකයන්ගේද විරුද්ධත්වය මැද බලහත්කාරයෙන් මෙනි.අපි පරිවර්තිකාවගේ සටහනේ කොටස් කිහිපයක් කියවමු.

"යුද්ධය කඨෝරය,කර්කශය,අමිහිරිය,අප්‍රසන්නය.නිරෝමි ඒ බව තමාම අත්දුටුවාය.වසර එකහමාරකට පසුව ඇය යුද බිමෙන් සමුගෙන ජීවිතයෙහි යතාර්ථය සොයා ඇදුනේ එබැවිනි.ඇගේ බොහෝ සගයන් යුදබිම තුළ අකාලේ හා අයාලේ මිය පරලොව යද්දී ඇය ආරක්ෂා වුයේ ඇය'තින් මෙදියත වෙත මහඟු මෙහෙවර රැසක් ඉටුවීමට නියමිත නිසා විය යුතුය.'Tamil Tigress' නම්වූ අසාමාන්‍ය අත්දැකීම් මාලාවක් හෙළිදරව් කෙරෙන අපූර්වතම නවකතාව ලොවට දායාද කිරීම ඒ අතරින් එක් සුවිශේෂී මෙහෙවරක් විය යුතුය.

නිරෝමි ද සොයිසා යනු පොතේ කතුවරියගේ සැබෑ නම නොවේ.ඇය ඒ නම භාවිතා කොට ඇත්තේ අප අතරින් අවාසනාවන්ත ලෙස වියෝවූ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාණන් හට උපහාර වනු පිණිසය.මේ පොත කියවන ඕනෑම කෙනෙකුගේ සිතෙහි කොතැනක හෝ සිහින් කටුවක් ඇමිණී ඇති කලෙකසේ සියුම්ව රිදුම් දෙන පැනයක් ඉතිරිවනු ඇත.ඒ නිරෝමිට පෙම් බැඳී රොෂාන්ගේ ඉරණම පිලිබඳවය.එකුන් පනස් වියට එළැඹෙද්දී ඉන්දියාවේ අනාථ කඳවුරක දී හෘදයාබාධයක් වැළඳීමෙන් රොෂාන් මියගිය පුවත මෑතකදී මම අන්තර්ජාලයෙන් කියැවුයෙමි."

ඒ පරිවර්තිකාවගේ සටහනෙන් කොටසකි.පොත ආරම්භ වන ආකාරය බලන්න.

"විසල් වතුර ටැංකියක් පිටුපස එහි සෙවනැල්ල යට මම නිසොල්මනේ වාඩිවී සිටියෙමි.මගේ මුළු සිරුරෙහිම බර භාරදී තිබුණේ දකුණු පයටය.නැහැ පුඩු හරහා ගලා ගියේ අප්‍රසන්න ගන්ධයකි.ඒ ඉදුණු කෙසෙල් හා තල්ගෙඩිවල සුවඳ එකට මුහුම්ව හමා ආ හෙයිනි.

හිරු දීප්තිමත්ව නැග එමින් තිබුණි.අප පසුකොට ආ කුඹුරු යායෙහි ගොයම් පත් අග රැඳී තිබු සියලු පිණි බිංදු වාෂ්පවී යන්නට ඇත.එහෙත් ඒ වනවිටත් රෑසියන්ගේ කරච්චලය නැවතී නොතිබුණි.කුඩා ගම්මානය ජනහීන විය.නමුත් සරුසාරව වැඩී තිබු මඤ්ඤොක්කා,කෙසෙල් හා පොල් ගස් නිසා ගම්මානයෙන් දිස්වූයේ කිසියම් සුන්දරත්වයකි.එහෙත් ඒ සුන්දරත්වයෙන් අපහට ඇති ඵලය කුමක්ද?අප යුදයට වන් සෙබළ සෙබළියන්ය.

ඒ එක්දහස් නවසිය අසුහත වර්ෂයයි.මගේ වයස අවුරුදු දාහතක් විය.නත්තලට තවත් තිබුණේ දින දෙකක් පමණකි.මට ඇසුණු එකම හඬට මම සවන් දෙමින් සිටියෙමි.ඒ මගේම හද ගැහෙන රාවයටයි.පෙනෙන්නට තිබු එකම දසුන දෙස මම බලා සිටියෙමි.ඒ මගේ සගයන්ගේ මුහුණු මත සටහන්ව තිබු භීතිය දෙසයි.අප හැම කෙනෙකුගේම ඇඟිලි තුඩු රැඳීතිබුණේ තුවක්කුවේ කොකා මතය.

දවසේ පළමු හිරු කිරණ අතරින් අපේ මුර භටයන් දැක තිබුණේ හමුදා සොල්දාදුවන් රෑනකි.

"උන් සිය ගණනක් මේ දැන් කෙසෙල් පඳුරු අස්සෙන් එළියට ආවා."

අප නවාතැන් ගෙන සිටි අත්හැර දමන ලද නිවසෙහි දොරකඩට වාධනා දුව ආවේ හති හලමිනි.ඇගේ දුඹුරුපැහැ විසල් දෙනෙත භීතියෙන් පුළුල්ව තිබුණි.පාන්දර දෙකේ කනිසමේ දී මුර සේවාවෙහි යෙදී සිටියේ මාය.ඒ හෝරාවේදී නම් අනතුරක සේයාවක් හෝ මට පෙනුණේ නැත.මා අඹ ගසක් මුල වාඩිවී සිටියේ AK 47 ගිණි අවිය අත දරාගෙනය.තාරකාවක් කඩා වැටුණි.මට රොෂාන් සිහිපත් විය.සමහර විට ඔහු කොහේ කොතැනක හෝ මා මෙන්ම මුර සේවයේ යෙදී සිටිනවා විය හැක.ඒ සිතුවිල්ල මගේ දෙතොලට ගෙන ආවේ මඳහසකි.කෙසේ නමුත් මේ නපුරු යුද්ධයෙන් දිවි ගලවා ගතහොත් නිසැකවම අපි නැවත මුණ ගැසෙනු ඇත.

වාධනාගේ අනතුරු හැඟවීම අප සැවොම වහා ක්‍රියාත්මක කළේය.ඒ මොහොතේ මා සතුව තිබුණේ එකම එක ඇඳුම් කට්ටලයකි.ඒ ඇඳ සිටි කමිසය සහ කලිසම පමණි.එයද දහඩියෙන් හා දැලි කුණුවලින් හඩු ගැසුනකි.කලින් සිදුවූ සුළු සටනකදී අප හට පාවහන් අහිමි විය.හැම කෙනෙකුටම අහිමි නොවී තිබු එකම දෑ 'කුප්පි' නොහොත් සයනයිඩ් කරලයි.එය කාගේත් ගෙලවටා සුරක්ෂිතව කළු නුලක දැවටී සැඟව සිටියේය.එක අතකට අප සුදානම් වෙමින් සිටියේ ජීවිතය වෙනුවෙන් නොව මරණය වෙනුවෙන් නොවේද?මහා මාර්ගයට දිවෙන කෙටි මාවතක් දිගේ අපි හොර රහසේ ඉදිරියට ඇදුනෙමු.ජල ටැංකියක් අසලදී මුරලි මට විශේෂ රාජකාරියක් භාර කළේය.

"නිරෝමි,දකුණු පැත්ත සම්බන්ධයෙන් වගකීම ගන්ඩ.ඔයාට ඉස්සරහින් ඉන්න එක එක්කෙනා පාර හරහා යවන්ඩ."

මම මුරලි දෙස බැලුවෙමි.ඔහුගේ කොට්ටම්බා මද පැහැති දෙනෙතෙහි වුයේ කලාතුරකින් දැකිය හැකි අන්දමෙක කලබලකාරී බවකි.මා සිටියේ අජන්තිට පසුපසිනි.අජන්තිගේ උරහිසට ඉහළින් එබී මම මාර්ගය විමසුවෙමි.නීරා ඉදිරියට පියමනිනු මම හොඳ හැටි දුටුවෙමි.

"බෑංග්...!"

ඒ බියකරු වෙඩි හඬකි.

"අම්මා..."

නීරා අවසාන වතාවට හඬගෑවේ අම්මාටය.ඔහුගේ සුරත පපුවට සමීප වුයේත් ඒ හා ම ඔහු බිම වැටුනේත් මා බලා සිටියදීමය.ඊළඟ මොහොතේදී අප දෙසට එල්ල වුයේ වෙඩි සහ අත් බෝම්බ වර්ෂාවකි.අපි වහා බිමට පාත්වුයෙමු.මගේ කන්පෙති අසලින්ම වෙඩි උණ්ඩ පියාඹා ගියේ නළා හඬක් නංවමිනි.අත් බෝම්බ හා මෝටාර් පිපිරීමෙන් වූ ධුමයෙන් අවට වායුගෝලය වැසී ගියේය.වාතය දරාගත නොහැකි තරම් බරැති විය.මගේ ඇස් මෙන්ම පෙනහළුද දැවෙන්නට විය.දෙවැලමිට හා දෙදන බිම ඔබමින් මම අජන්ති පිටුපසින් ඉදිරියට වණුගෑවෙමි.අප සතර අතින්ම කොටුවුණා විය යුතුය.දැන් ඉතින් ගැලවීමක් නැත.මගේ පපු කුහරයෙන් පිටතට පැමිණි මගේම හදවත මා ඉදිරියේම පුපුරා යන සෙයක් මට දැනුණි.

ඉදිරියෙන් සිටි මගේ සගයන් කෙරෙහි අවධානය යොමු කරමින්ම මම AK 47 මහා මාර්ගය දෙසට යොමු කෙරුවෙමි.සාධා එක පිම්මට පාර හරහා යමින් සිටියාය.ජෙනීද ඇය අනුගමනය කළාය.සාධා ඇද වැටුණේ මා බලා සිටියදීමය.අත්බෝම්බ හා තුවක්කුවලින් නැගුනේ කන් බිහිරි කරවන සුළු හඬකි.ඒ හඬ අබිබවමින් නැගී ආ කෑ ගැසීම අතිශය වේදනාකාරී විය.තව තවත් ජීප් රථ හා යුද ටැංකි මහා මාර්ගයට එක්වුයේ විරුද්ධවාදීන්ගේ යුද බලය තවදුරටත් ශක්තිමත් කරවමිනි.අපට ඉහළින් ඉතා පහතින් යුද හෙලිකොප්ටරයක් හඬ නගමින් මදකට නැවතී සිටියා පමණක් නොව බෝම්බද හෙලුවේය.මම මගේ දෙවැලමිටට වාරුවෙමින් ඉදිරියට බඩගා ගියෙමි.අප කණ්ඩායමේ තවත් ගැහැණු ළමයෙකුවූ සාරධා වේදනාවෙන් කෑ ගසනු ඇසුණි.

"මගේ කකුල...අනේ,මට උදව් කරන්ඩ කවුරු හරි."

එසැණින්ම මා දුටුවේ වම් පසින් මා දෙසට පියාඹා එන අත් බෝම්බයකි.දෑත් හා දණහිස් බිම ඔබා ගනිමින් මා තැත් කළේ එතැනින් පළායාමටය.ඒ අත් බෝම්බයට ඊළඟට මුහුණ දී සිටියේ ගාන්ධිය.ඔහු වෙඩි තබමින් සිටියේ තල් ගසක් පිටුපස සැඟවී සිටිමිනි.

"ගාන්ධි අයියා පාත්වෙන්ඩ...!"

මම කෑගසා කීවෙමි.එහෙත් බෝම්බය පුපුරා ගියේය.සුණු විසුණු වී ගිය ගාන්ධිගේ හිසෙහි ලේ කැදලි හා මස් වැදලිවලින් මගේ මුළු සිරුරම නැහැවී ගියේය.ඔහුගේ හිස සුන් කවන්ධය පොළොව මතට ඇද වැටුණේ කපා දමනු ලැබූ ගසක කඳක් සේමය.මහා හඬින් කෑ ගසන්නට මට හොඳටම උවමනාව තිබුනත් මගේ මුවින් කිසිදු හඬක් පිටවුයේ නැත.දණ බිම ඔබාගෙන සිටි අජන්තිද AK 47 මානාගෙන පොළොවෙන් ඉහළට මතුවුවාය.ඈ සෙමෙන් මා දෙස හැරී බැලුවේ හරියට පාසලේ එකම පංතියේ මා ඇයට පිටුපස තෙවන පේළියේ වාඩිවී සිටියදී ඈ මා දෙස හැරී බැලුවා සේමය.

"මං පාරෙන් එහා පැත්තෙදි ඔයාව මුණගැහෙන්නම්."ඈ කඩිමුඩියේ මුමුණා කීවාය.

මම හිස සැලුවෙමි.එහෙත් ඒ මොහොතේ මගේ සිත තුළ එක් රොක් වෙමින් තිබුණේ සම්පූර්ණ අවිශ්වාසයයි."

ඉහළ මධ්‍යම පංතික පවුලක වැඩුමල් දියණිය වන නිරෝමිට සිටියේ ශිරානි නම්වූ නැගණියක් පමණකි.දෙමාපිය දෙදෙනාගේම මුල් පදිංචිය යාපනයේ වුවත් පියාගේ  වෘත්තිය හේතුවෙන් ඔවුන් පදිංචිව සිටියේ මධ්‍යම කඳුකරයේය.පියා වෘත්තියෙන් මැවිසුරුවෙක් වූ අතර මව ගෘහිණියක වූවාය.මේ ඔවුන්ගේ ගෘහමය  වටපිටාව සිත්තම් වන කොටසකි.

"ප්‍රදේශයේ වසන ද්‍රවිඩ පවුල් අතළොස්සකට අපගේ පවුලද අයිතිවන බව මා පළමුවරට දැනගත්තේ ඒ සිද්ධිය නිසාවෙනි.බොහෝ ද්‍රවිඩයන් පදිංචිව සිටියේ වතු ජනාවාස තුළය.එහෙත් අප අයත්වුයේ වතු පවුල්වලට නොවේ.මට ඒ පිළිබඳව දැනුණේ කිසියම් ශෝකයකි.අපේ පවුලේ අසල්වැසියන් හා මිතුරු මිතුරියන් හැම කෙනෙක්ම පාහේ සිංහල නැතහොත් බර්ගර් ජාතිකයෝ වුහ.මුණ ගැසුණු විටෙක අප බොහෝ විට කතා කළේ සිංහල භාෂාවෙනි නැතහොත් ඉංග්‍රීසියෙනි.ජාතිය හෝ භාෂාව පිළිබඳව ඉන් පෙර මා තුළ කිසිදු සුවිශේෂී හැඟීමක් තිබුණේ නැත.බාහිර වශයෙන් සියල්ලන් එක හා සමාන වුවද අප එකිනෙකා අතර වෙනස්කම් ඇතැයි මා සිතන්නට පටන් ගත්තේ එතැන් සිටය."

"තාත්තේ,ඇයි සිංහල අය දෙමළ මිනිස්සුන්ට කැමති නැත්තේ?"

දිනක් මම තාත්තාගෙන් ඇසුවෙමි.

"සිංහල- දෙමළ මිනිස්සු අතරෙ නෙමෙයි දුවේ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ.මේවා දේශපාලන ප්‍රශ්න.එක එක දේශපාලන පක්ෂවලට වාසිගන්නට ඒ ඒ අය මේ විදියෙ අවුල් ඇති කරනවා."

"ඒත් ඇයි තාත්තෙ එහෙම වෙන්නෙ?"

"ඉතින් මං කිව්වනෙ ඒක තමයි හේතුව."

මා තව දුරටත් ප්‍රශ්න විචාරනවාට තාත්තා එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.

"අම්මා තාත්තා සමග ටෙනිස් ක්‍රීඩා කරන හැටි හෝ තාත්තා ඉංග්‍රීසි ගීතවල තාලය අල්ලමින් රඟන හැටි බලන්නට ඉතින් මට ඉඩක් නැත.අම්මා උද්‍යාන පාලකයාටත් කෝකියාටත් උපදෙස් දෙමින් නිවසේ කටයුතු මෙහෙයවන දසුන දැන් මට අහිමිය.කට්ලට්ස්,අල පැටිස් හා හරක් මස් බුදිමින්,ඉංග්‍රීසි,ද්‍රවිඩ හා සිංහල යන භාෂාවන් ත්‍රිත්වයම යොදා කතා කරමින් මත්පැන් වීදුරු එකට ගටමින් ඔවුන් නිවසෙහි ප්‍රිය සාද පවත්වන අයුරු මට මතකයක් පමණක් වනු ඇත.බොහෝවිට එවැනි ප්‍රිය සාද හමාර වෙන්නේ පෘතුගීසි ආරයේ බයිලා ගායනා කරමිනි.ඒ සියලු දෑ දුරස් වුවද මට දරාගත නොහැකි අන්දමේ ශෝකයක් දැනුනේ මගේ කුඩානැගණිය ශිරානිගේ ඇසුර අහිමි වීමය.ශිරානි මට වඩා වසර තුනකින් බාලවුවාය.විශාලවතුයායක් මැද ඉංග්‍රීසි පන්නයට තනා තිබු දැවැන්ත බංගලාවක ජීවත්වූ අප හැදී වැඩුනේ අසල්වාසී දරුවන්ගෙන් දුරස්වය.නිවසෙහි සැප පහසු කාමර බොහෝ ගණනක් තිබු අතර ගෙවත්තද මනරම් විය."

ඒ නිරෝමිගේ පියා ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඇය හත් හැවිරිදි වියේදී යාපනයට රැගෙන යන්නට පෙර ඇගේ සිතේ ඇතිවන හැඟීම්ය.නිරෝමි යාපනයේ පියාගේ මහගෙදර පියාගේ අම්මාවූ අප්පම්මා ත් නැන්දලාත් සමග ජීවත්වෙමින් කන්‍යාරාමයක අධ්‍යාපනය ලබන්නීය.

"මා යාපනයට පැමිණ තෙමසක් ඉක්ම ගොස් තිබුණි.එක් සවස් යාමයක මා පාසැලෙන් පැමිණෙන විට අප්පම්මා ඉදිරි කාමරයේ කූඩයක් වියමින් සිටියාය.ඒ ඇගේ ප්‍රියතම විනෝදාංශයකි.

"මේක ඔයාට ඊයෙයි ආවෙ."

ඈ මා අතට කොළ කැබැල්ලක් පත්කළාය.මගේ සියලුම ලියුම් කියවා බැලීම ඇගේ සිරිතක් විය.ඉංජිනේරුවකු වූ මගේ පියා රැකියාවකට ඩුබායි රටට ගොසිනි.එය ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි වූ ප්‍රදානයක් යැයි ද ඔහු ලියා තිබුණි.වර්ෂාවසානයේ දී අම්මාත් ශිරානිත් යාපනයේ පදිංචියට පැමිණියහ." 

ඊට අවුරුදු කීපයකට පසු නිරෝමිත් ඇගේ පාසල් යෙහෙළිය වූ අජන්තිත් දෙදෙනා කොටි කාන්තා සංවිධානයේ මුල්ම කණ්ඩායමට එකතුවෙති.

"රජය ද්‍රවිඩ දේශපාලකයන් හා ද්‍රවිඩ විමුක්තිකාමීන් එක්ව පැවැත්වූ සාම සාකච්ඡාවලින් කිසිම ප්‍රතිපලයක් අපට අත්වුයේ නැත.ද්‍රවිඩ ජනතාවට ඉතිරිව තිබුණේ කොටි සංවිධානය හා එක්ව සටන් කිරීම පමණි.බෝම්බ භීතිය මරණ බිය අලාභය අප කරා වඩ වඩාත් ලං වෙද්දී අප බංකර් තුළ ගෙවිය යුතු කාලයද ක්‍රමයෙන් වැඩි විය.යුද බිමට ගොස් අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ උවමනාවද ඒ හා මසිතට වැඩි වැඩියෙන් දැනෙන්නට විය.මරණය අපට වඩාත් ලං වන කළ එය අර්ථවත් මරණයක් වේ නම් වඩාත් හොඳ නොවන්නේද?එහෙත් කොටි සංවිධානය ඒ වන විටත් කාන්තා හමුදා බලකායක්  කැඳවා තිබුණේ නැත.සිතුවිලි ක්‍රියාවට නගන්නට මට ඉඩක් නොලැබුනද ඉතා ඉක්මනින් කොටි සෙබළියක් වීමේ බලාපොරොත්තුව අත් නොහළෙමි."

"එය මාර්තුවේ සති අන්ත දිනයක දිවා කාලය විය.මා නිවසින් පිටත්වන විටම මුලි ශංකර් අපේ දොරකඩ පෙනී සිටියේය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම මගේ නම කොටි සංවිධානයට ඇතුළත් කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

"ඔයා තාම ළමයෙක්නෙ."ඔහු හඬ නගා කීවේ ම දෙස පුදුමයෙන් බලමිනි.

"ඊට කලින් ඔයා ඉස්කෝලෙ වැඩ ටික ඉවර කරන්නකො.ඊට පස්සෙ අපි මේ ගැන කතා කරමු."

ඒ එක්දාස් නවසිය අසුහතේ අප්‍රේල් විසිඑක් වනදාය.කොළඹ මධ්‍යම බස් නැවතුම් පළේ බෝම්බයක් පිපිරීමෙන් මියගිය සාමාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව 113 ක් විය.පිළිතුරු වශයෙන් රජය ද්‍රවිඩ සංහාරයක් ආරම්භ කළා සේ විය.හැම පැත්තෙන්ම ඇසුනේ කන් බිහිරි කරවන බෝම්බ හා කාලතුවක්කු හඬය.ඒ රාත්‍රියේද අපි බංකරයට වී කන් බිහිරි කරවන පිපිරුම් හඬටත් හෙලිකොප්ටර් පියාසර කරන හඬටත් සවන්දී සිටියෙමු." පීඩාවන්ට පාත්‍ර වීමත්,අසරණ වීමත් තරම් අප්‍රසන්න හැඟීමක් තවත් තිබිය නොහැකිය.මේ සා භීතියකින් ජීවත්වීම තවදුරටත් පවත්වා ගෙන යා හැකිද?" මසිතට පහළ වුයේ එවැනි සිතුවිලිය.

පසුවදා උදෑසනින්ම ශිෂ්‍ය සංවිධාන කාර්යාලයට ගොස් මුරලි මුණගැසී යුද පුහුණුව සඳහා මගේ නම් ඇතුළත් කළ යුතු යැයි මම තීරණය කළෙමි."මගේ තීරණය වෙනුවෙන් දොස් පැවරිය යුත්තේ රජයටයි.මන්ද,යාපනයට එරෙහි මේ භීෂණය තුළින් ඔවුන් තව තවත් කොටි යුද භටයන් බිහි කරන බැවිනි."මගේ කල්පනාවන් එලෙස විය.

අකීකරු නොහික්මුණු දැරියක ලෙස මා හංවඩු ගැසෙනු ඇත.මගේ පවුලට
හා පාසලට අපකීර්තිය ගෙනදෙමින් මගේ කීර්තිය සදාකාලයටම වැනසී යනු ඇත."


මෙසේ ගලා යන කතාවේදී අපට කොටි නායක ප්‍රභාකරන්,මහත්තයා,කිට්ටු,රහීම්,යෝගී,හා දිලීපන් ඇතුළු කොටි ප්‍රධානීන් බහුලව හමුවේ.

"මා කාමරය තුළට පිවිසියේ දෙවියන් දකින්නට යන්නා සේය.ප්‍රභාකරන් යනු අපේ ගැලවුම්කරුය.අපේ වීරයාය.ඒ කුඩා අඩ අඳුරු කාමරය තුළ කිසිදු ප්‍රසන්න බවක් තිබුණේ නැත.සුදු පැහැති අත්කොට කමිසයක් සහ කළු කලිසමක් හැඳ සිටි ප්‍රභාකරන් ඩෙස්කුවක් පිටුපස වාඩිවී සිටියේය.ඔහුගේ විශාල දෑස මේසය මතවු චිමිනි ලාම්පුවේ මඳ ආලෝකයෙන් බැබලෙමින් තිබුණි.කුරුලෑ වලවල් සහිත ඔහුගේ පිරුණු රවුම් මුහුණෙන් පෙන්නුම් කළේ බිය උපදවන බල පරාක්‍රමයකි."

"වාඩිවෙන්න."ඉදිරිපසවූ පුටුව පෙන්වමින් ඔහු කීවේය.

ඒ නිරෝමිට ප්‍රභාකරන් හමුවූ පළමු දවසයි.

"ප්‍රභාකරන් පුරුදු පරිදි තම පිරිවරද සමගින් නිතිපතා අප බලන්නට පැමිණියේය.සමහර දිනෙක ඔහු තම බිරිඳ මදිවදනී සහ කුඩා දරුවන් දෙදෙනා ද කැටුව ආවේය.එකල කුඩා චාල්ස් ඇන්තනි තෙහැවිරිදි වියේවූ අතර දියණිය ද්වාරකා එක් හැවිරිදි බිලිඳියක විය."

ප්‍රභාකරන් විදෙස්ගතවන ද්‍රවිඩ ජාතිකයන් නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.ඔවුන් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වුයේය.

"අපි දුක්විඳලා අපේ ද්‍රවිඩ මාතෘ භූමිය ලබාගත්තාම ඒ අය ආපහු ඒවි.එතකොට මං එයාලව මායිම් ගම්මානවල පදිංචි කරවනවා සිංහල අයගෙන් පීඩා විඳින්ඩත් එක්ක."

ඔහු ඔවුන් පිළිබඳව පැවසුවේ එවැන්නකි.

"ඒක තමයි සටන අත්ඇරලා ගියාට එයාලට දෙන දඬුවම."

ඒ මොහොතේ අප එක්ව සිනාසුනේ මේ විදෙස්ගත ජාතිද්‍රෝහීන් අපේ සටනට එහි සිට උරදෙන බව නොදැනය."

1983 කළු ජුලිය සමයේ  දැරියක්ව සිටි නිරෝමි ඉන්දියානු මැදිහත්වීමෙන් 1987 දී ශ්‍රී ලංකාව සාම ගිවිසුමකට එළැඹෙද්දී කොටි සටන්කාරියකි.

"දිනක් ප්‍රභාකරන් සුපුරුදු අඹ ගස යට හදිසි රැස්වීමක්  පවත්වන්නට කටයුතු කොට තිබුණි.ඔහුගේ උපනායක මහත්තයා එක් පසෙකින්ද කිට්ටු අනෙක් පසින්ද වාඩිවී සිටියහ.ඔවුන් දෙදෙනා සැහැල්ලු සිනාවකින් මුහුණු සරසාගෙන අපදෙසබලා සිටියදී ප්‍රභාකරන් කතාව ආරම්භ කළේය.

ළමයිනේ දේශපාලන පැත්තෙන් අපිට අලුත් වර්ධනයක් දකින්නට පුළුවන් වෙලා තියෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ හමුදාව අතර සාම ගිවිසුමක් ඇති කරන්නට ඉන්දීය රජය උත්සාහ ගනිමින් සිටින බවයි.

වියට්නාමයේ ඇමෙරිකානුවන් වගේ,ඇෆ්ගනිස්තානයේ රුසියානුවන් වගේ තමිල් ඊළමෙන් ඉන්දියානු කාරයින් ඉවත්වෙන්නෙ නෑ. ප්‍රභාකරන් කීය.

හරියට කටයුතු කළේ නැත්නම් ඒ ගොල්ලො හොඳ පාඩමක් ඉගෙන ගනීවි."

දිලීපන්ගේ මාරාන්තික උපවාසයත් කුමාරප්පන් ඇතුළු සටන්කාමීන් හත්දෙනෙකුගේ දිවි නසාගැනීමත් හේතුවෙන් සටන් විරාමය කැඩීගොස් ඔවුන් ඉන්දීය හමුදාවට විරුද්ධව සටනට එළඹෙනු නිරෝමි අත්දුටුවාය.අවුරුදු එකහමාරකට පසු සංවිධානය කෙරෙහි කළකිරී ඉන් ඉවත්වෙන තුරුම ඇය ඇතුළු කණ්ඩායම සටන් කළේ ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහිවය.කොටි සංවිධානයෙන් ඉවත්වී යන්නට නිරෝමිට වාසනාව තිබුනද ඇගේ පාසල් මිතුරිය ද කොටි හමුදාවට එකට බැඳුනු යෙහෙළියද වූ අජන්ති එතරම්  වාසනාවන්ත  වන්නේ නැත.

"අනිත් පැත්තෙදි හම්බවෙමු."

ඇය පිටත්වන්නට පෙරාතුව මුමුණා කියනු මට යන්තමට ඇසුණි.පාරේ අනෙක් පසදී මුණගැසෙන්නට මම හිස වනා ඇය හා එකඟවූයෙමි.එහෙත් හිස වැනුවා විනා මසිතෙහි කිසිදු ස්ථිර බවක් තිබුණේ නැත.ඇය පාර හරහා එක එල්ලේ පැන යන්නට සැරසුණු අයුරු මම දුටිමි.

ඒ හා ම අජන්ති පසුපසට ඇද වැටුණාය.ඇගේ අත් පා අප්‍රාණික විය.ඇගේ නළලේ හරි මැදින් රුධිරය ධාරාවක් ගලා ආවේය.අනතුරුව ඇහි බැමි, ඇහි පියන් තෙමා දමමින් ගලා හැලුණු ඒ ලේ දහරාව ඇගේ තඹවන් කෙස් කළඹද තෙමා දැමුවේ ක්ෂණයකිනි.ඇගේ මුව විවරව ඇදවූ අතර AK රයිපලය පසෙකට විසිවී ගියේය.

මගේ පෙනහළු තුළ රැඳී තිබු හැම වාත බුබුලක්ම පිටතට ඇදී ගොස් තිබුණි.මට ආශ්වාස කළ නොහැකි විය.හිස හිරි වැටී ගියේය.මම අජන්තිට ළං වන්නට උත්සාහ කළෙමි.එහෙත් දුම් වලාවෙන් එපිට,ඈ මගෙන් බොහෝ දුර ඈතක සිටියා වැන්න.

අජන්ති,නැගිටින්න නැගිටින්න.

මම කෑ ගසා කීවෙමි.නමුත් ඇයට මගේ හඬ නො ඇසුණා විය යුතුය.ඒ සමගම තවත් අත් බෝම්බයක් මගේ පසු පසින් පිපිරී යනු දැනුණි."

ඒ සටනේදී නිරෝමි දිවි ගලවා ගන්නේ ප්‍රාතිහාර්යයකින් මෙනි.පණ බේරාගෙන පළාගොස් කැලෑ වැදී බොහෝ දුක් වළඳන නිරෝමි අවසානයේ කොටි හමුදාව හැරගියාය.

"එක්දහස් නවසිය අසුඅට වසරේ ජුනි මාසයේ අම්මා ළඟ පාත තැනකට යන බව අඟවමින් ගෙයින් පිටවී ඇත.ඇගේ අත් බෑගය තුළ තිබී ඇත්තේ ඇයටත් මටත් ඇඳුම් කට්ටල දෙකක් හා අප දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර දෙකය.මට දැනුණේ කියාගත නොහැකි සහනයකි.මා දකින්නට පැමිණීම ගැන මම ඇයට කොතරම් නම් කෘතඥ වන්නේදැයි විස්තර කරන්නට මට උවමනා විය.ඇය දැකීමෙන් මා අප්‍රමාණ ලෙස සන්තෘෂ්ටියට පත්වූ බව කියන්නට මට අවැසිව තිබුණි.ශිරානි කොහේදැයි අසන්නට ද මට අවශ්‍යම විය.එහෙත් මා වැලඳගත් අම්මා නොනවත්වා වැළපෙමින් සිටියාය.මම නොසෙල්වී,හිරි වැටුණු කලෙක මෙන් පිළිමයක් සේ සිටියෙමි.මගේ සිත පිරී තිබුණේ සතුටින්ද නැතහොත් ශෝකයෙන්දැයි මට තේරුම් ගත නොහැකි විය.

මං හිතුවා අම්මට මාව එපා වෙලා ඇති කියලා.මං එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම අම්මට ද්‍රෝහී වුනා.

ඔයා මගේ දුව." අම්මා කඳුළු පිස දමමින් පිළිතුරු දුන්නාය.

මමවත් තාත්තවත් කවදාවත් ඔයාව අත අරින්නෙ නෑ."

තවත් මාස දෙකක් ගිය තැන අම්මා මා ඉන්දියාවේ පෞද්ගලික පාසලකට ඇතුළත් කළාය.ඒ වන විට මගේ පාසල් ගමන නැවතී වසර එක හමාරක් ගෙවී තිබුණි.පසුව මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුයෙමි.එහිදී මම ජීව තාකෂණය පිලිබඳ උපාධියක් උපයා ගතිමි.ඉන්පසු නීතිය හදාරා නීති උපාධියක් ලබා ගන්නටද මම සමත් වුයෙමි.මගේ පවුලේ අයද පසු කලෙක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුහ.අජන්තිගේ පවුලේ උදවිය මා අත්හැර දැමුවේ නැත.ඇගේ නැගණිය නිලන්ති හා මවුපිය යුවළද දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති.ඔවුන් සියලු දෙනාම මට දක්වන්නේ මහත් සෙනෙහසකි.

මේ කඨෝර වූ ගැටුම තුළ ගෙවී ගිය ඒ වසර තිස්තුන පුරා ලක් දෙරණට වටිනා මිනිස් ජීවිත ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අහිමි විය.මේ අතරින් 1987 දෙසැම්බර් 23 වනදා එනම් නත්තලට දින දෙකක් තිබියදී සටනින් මියගිය අජන්ති, මුරලි ඇතුළු මගේ සහෘදයන්ගේ දේහ කොටස් මහාවීර සුසාන භූමියෙහි වළ දමනු ලැබුණි.ඔවුන් මියගිය ස්ථානයට ආසන්නව පිහිටා තිබු එම සුසාන භූමිය අද එහි දක්නට නැත.2011 මාර්තු වන විට එම ස්ථානයෙහි දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් දැවැන්ත මුලස්ථාන ගොඩනැගිල්ලකි." 

ආරම්භයේ සිටම කුතුහලය දනවමින් කතාව දිගහැරේ.කොටි සංවිධානයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන ලොවට රහසක් වී තිබු කරුණු බොහොමයක් මේ පොතෙන් හෙළිවේ. සිත් ඇද බැඳගන්නා පොතක් ලෙස මෙම "කොටි දියණියකගේ පාපෝච්චාරණය"නම් කළ හැක෴