Sunday, December 13, 2015

ගොඩ්ප්‍රි හමුවීම සහ කඩවුන බලාපොරොත්තුව.


ඉවරයක් නැති බලා ඉඳීම අවසානයේ සාලයේ දොර රෙද්ද මෑත් කරගෙන කුස්සිය පැත්තෙන් කෙනෙක් මතුවිය.  මේ ගොඩ්ප්‍රිද? මම මොහොතක් කල්පනා කළෙමි.  මතුවුන පුද්ගලයා ඇඳ සිටියේ පොඩි කොටු කොටු කොට කලිසමකි උඩට ලොකු කොටු කමිසයක් ඇඳ සිටියේය.  දෙකම පරණ ඇඳුම් වීම නිසා ඔහු මොකක් හෝ වැඩක් කරමින් සිට පැමිණි බව පෙනිණි.  උස නම් ගොඩ්ප්‍රිගේ උසමය මුහුණද ශරීරයද වැහැරී තිබුණ අතර කකුල් දෙකේම සුවවූ දරුණු තුවාල කැළැල් දකින්නට විය.   ගෙදරට පැමිණි අමුත්තන් සමග කතාකරන්නට නොහැකි නම් අඩුතරමින් සිනාසෙන්නට වත් කරදර නොවූ ඔහු අප ඉදිරිපිට සිටගෙන හිස් බැල්මකින් අපදෙස බලා සිටියේය.   බොහෝ වෙලාවක් ඉතා තීක්ෂණ විදියට ඔහුව නිරීක්ෂණය කිරීමෙන් පසු මේ ගොඩ්ප්‍රීම යැයි මම තීරණය කළෙමි.  හිටගෙනම හිටිය ඔහුට වාඩිවෙන්නට කියා එතැනින්ම වාඩිකරවූයෙමු.  මම එදා කැමරාව ගෙනගොසින් තිබුණේ නැති වුනත් අතේ තිබ්බ පෝන් එකෙන් ගොඩ්ප්‍රිගේ පිංතුර දෙකක් ගත්තේ ආයෙම ගොඩ්ප්‍රිව මුණගැසීම සැක සහිත නිසාවෙනි.  මා මේ ලියන්නේද ඔහුගේ පිංතුරය විටින් විට බලමින් මතකය සහ හැඩහුරුකම් අලුත් කර ගනිමිනි.

ගොඩ්ප්‍රිගේ බිරිඳට අමතරව හැරී අයියාද අපේ වගතුග ඔහුට කීවිට ඔහු ගත්කටටම කිව්වේ අපි කවුරුවත් මතක නැතැයි කියාය.    අපේ ගමේ හිටියා මතකද කියා ඉන්පසුව ඇසු විට මතකයි කීවේය.   ඔහුගේ මතකය පාදාගන්නට තවත් බොහෝ දේවල් ඇහුවත් සියල්ලටම මතක නෑ කියා ඔහු උත්තර දුන්නේය.  ගොඩ්ප්‍රිට මක්වෙලාද කියා අපි ඔහුගේ බිරිඳගෙන් ඇසුවිට ඇය කීවේ ඔහු ඒ ගමට ආ පසුව යාළුවන් සමග එකතුවී දැඩි ලෙස බීමට ඇබ්බැහි වුන බවයි.   කකුල්වල ඇති විශාල තුවාල කැළැල් බීමත්ව මෝටර් සයිකලය පැදීමේදී සිදුවූ අනතුරු බව කී ඇය අන්තිමේදී ඔහුට දරුණු ආඝාත තත්වයක් ඇතිවී නොමැරී බේරාගත්තේ බොහෝ අසීරුවෙන් බව කීවාය.  ආඝාත තත්වයේ ප්‍රතිපලයක් ලෙස ඔහුගේ මතකය මැකී ගිහින්ය.   ඒ කාලයේ රහමෙර තබා සිගරැට් එකක්වත් ඉරුවේ නැතිව  පොඩි කොල්ලන් වූ අපට ආදර්ශයක් ලෙස සිටි හැඩිදැඩි තරුණයෙක් වූ ගොඩ්ප්‍රිට සිදුවී ඇති විපත ගැන මට දුකක් මෙන්ම කේන්තියක්ද ඇතිවිය.  දුක හිතුනේ අගේට හිටපු ගොඩ්ප්‍රිට වෙච්ච දේ ගැනය.  කේන්තිය ඇතිවුනේ අපි මෙච්චර පෙරුම් පුරා ආපු ගමන පලක් නැතිවුන එක ගැනය.  ගොඩ්ප්‍රිලගෙ හලාවත ගෙදර අය ගැන මම ඇසු ප්‍රශ්න ඔක්කොටොම උත්තර දුන්නේ ගොඩ්ප්‍රිගේ බිරිඳය.  එපමණක් නොව අපේ ගමෙන් පිටවූ පසු ගොඩ්ප්‍රි ගෙවූ ජීවිතය ගැනද ඇය විස්තර කළාය.  අපේ කතා සියල්ලම හිස් බැල්මක් හෙලාගෙන ගොඩ්ප්‍රි අසා සිටියේ අපි ඔහු ගැන නොව වෙන කෙනෙක් ගැන කතා කරන ගානටය.   මම ගොඩ්ප්‍රිගෙන් අහන අහන ප්‍රශ්නයට ඔහුගේ බිරිඳ පිළිතුරු දෙයි.   ගොඩ්ප්‍රිගෙන් මළාට වචනයක් කතාකරවා ගන්නට බැරිය හැමදේටම ඔහු කියන එකම වචනය මතක නෑ කියන එකය.

හරක් අඟකින් කිරි දොවන්නට උත්සාහ කරනවා වැනි පලකට නැති මේ කාරිය ගැන අන්තයටම කලකිරුණු අපි කතාවුනේ ආපහු යන්නටය.  අපි යන්නට නැගිටින විට ගොඩ්ප්‍රි බිරිඳගෙන් ඇහුවේ මේ අය කවුරුද කියාය.  එවිට ඇය ගමේ සහ අපේ විස්තර ආයෙමත් ගොඩ්ප්‍රිට කීවාය.   ඒ වනචිට ගොඩ්ප්‍රිත් අපි කවුදැයි හිතන්නට උත්සාහ කරමින් ඉන්නට ඇත.  ඒ නිසාදෝ ඔහු මුලින්ම පෝස්ට් මිස්ට්‍රස් ඉන්නවාදැයි ඇහුවේය.  ගොඩ්ප්‍රිගේ මතකය යම් පමණකට පණගසාගෙන එන බව පෙනුණි.  පෝස්ට් මිස්ට්‍රස් කිව්වේ හැරී අයියාගේ අක්කාය ඇය උප තැපැල් ස්ථානාධිපතිනියකි.  ගොඩ්ප්‍රිගේ නංගී ඔවුන්ට නොගැලපෙන කොල්ලෙක් එක්ක හාදකම් පවත්වන්නටද රවුම් ගහන්නටද පටන් ගත්විට ඇය ඒකෙන් මුදවා ගන්නට ගොඩ්ප්‍රි නංගීව අපේ ගමට ගෙනත් පෝස්ට් මිස්ට්‍රස් වූ හැරී අයියාගේ අක්කා ළඟ නැවැත්වීය.   ඒ වුනත් කවුරුවත් කියන දේ නාහන හිතුවක්කාරියක් වූ කෙල්ල කොහොම හරි ඒ කොල්ලා එක්කම දීග ගිහිං පස්සෙ කාලෙක කසාදෙත් කඩාකප්පල් කරගෙන දැන් ආගිය අතක් නැතැයි ගොඩ්ප්‍රිගේ බිරිඳ කීවාය.  

අපට කටට රසට කන්නට උයාදුන් ගොඩ්ප්‍රිලගෙ අම්මා බොහෝ කළකට පෙර දෙව්මව් තුරුළට ගොසින්ය.  අයියාත් මල්ලීත් හලාවතම පදිංචි වී හිටියත් කළපුව අයිනේ තිබුණ මහගෙදරත් වත්තත් විකුණා දමලාය.   මට මතක්වුනේ මීට අවුරුදු විසි ගණනකට ඉස්සර මම හලාවත ගිය ගමනකි.   ඒ නවසිය අනූ ගණන්වල මුලදීය ඒ කාළයේ දෙසතියේ වැඩකළ මම හලාවතට රාජකාරි ගමනක් ගිය දවසක ගොඩ්ප්‍රිලගේ ගෙදර හොයාගන්නට ලොකු උත්සාහයක් ගත්තෙමි.   එදා මම ගොඩ්ප්‍රිලගෙ ගෙවල් තිබුනු හරිය හෝදිසි කළත් අයුරක් හොයාගන්නට බැරිවිය.   හලාවත ටවුම මැදින් යද්දී මට හිතුනේ නගරය කොයි තරම් වෙනස්වෙලාද කියලාය.  ඉස්සර ටවුමේ ලස්සනට තීන්ත ගාපු බක්කි කරත්ත පේළියක් තිබුණේ කුලී දුවන්නටය.  ගොඩ්ප්‍රිලගෙ අම්මා එහෙම මුන්නේස්සරම් ගියේ මෙන්න මේ කුලී බක්කිවලිනි.   එහෙම බක්කි කරත්ත මම ආයෙම දැක තියෙන්නේ මාතර ඉස්ටේසම ඉදිරිපිටය.  ඉස්ටේසමේ සිට ටවුමට යන මගීහු මෙම බක්කිවලින් ගමන් පහසුව ලබා ගත්තෝය.   මාතර බක්කි කරත්ත මම දැක්කේ නවසිය අසු ගණන්වල මැද හරියේ අක්කා කෙල්ලත් එක්ක වලස්මුල්ලේ යන්නට කෝච්චියේ මාතර ගිය දවසකය.   ඒ බක්කි කරත්ත අදටත් මාතර තියේදැයි මම නොදන්නේ ඊට පසුව මට කෝච්චියෙන් මාතරට යන්නට නොලැබුණු නිසාය.  අක්කා කෙල්ලගේ අක්කා වලස්මුල්ලට දීග ගිහිං සිටියාය අපි ගියේ ඇයව බලන්නටය.  වලස්මුල්ලේ හිටපු දවස් දෙකතුනේ කාපු මීකිරිවල රස තවම දැනේ ඒ අප නිසාම ගෙදරකට කියා හදවාගත් මුදවපු කිරි සහ මා ජීවිතයේදී දෙවෙනි වතාවට කාපු හොඳම මීකිරිය.   පළවෙනි වතාවට ඒ වගේ පාරට්ටු මීකිරි ටිකක් කෑවේ අපේ ලොකුඅම්මගේ පොඩි දුව හෙවත් චූටි අක්කා අසූ ගණන්වල මුල භාගයේ මාතර යටියනට දීග ගියපු වෙලේ කැන්දාගෙන යද්දි ගමනට යටියන ගිය දවසේය.  එදා මඟුල් මේසයේ දෙපැත්තේ විශාල මුදවපු කිරි කළ දෙකක් තබා තිබුණේ අවශ්‍ය කෙනෙකුට ඇති තරමකට කන්නටය.   ඒවානම් අතිශය ස්වභාවික ඉහළ ප්‍රමිතියකින් යුත් කිරි වුවද දැන්නම් පාර අයිනේ තියාගෙන විකුණන මීකිරි හට්ටිවලට නරක්වෙනවට පෝමලින්ද දමන බව මෑතකදී මට අහන්නට ලැබුණි.

අපේ ටවුමේත් වෑන් එකක ගෙනැත් තියාගෙන අලුත්ම අලුත් මීකිරි කියා කිරි විකුණයි.  දවසක්දා මම ඒ වෑන් එකෙන් කිරි හට්ටියක් අරගෙන පොඩි මහින්දලගෙ අම්මගේ දානෙ ගෙදර ගියෙමි.   දානෙ වැළඳීමෙන් පසුව අතුරුපසට කිරි බෙදන්නට ගිහිං කිරි හැන්දක් ගත්ත ගමන් ඉතුරු කිරි ටික ඒ හිස්තැනට කඩා වැටුණේ බදුල්ල පැත්තේ පස්කඳු රේල්පාරට කඩා වැටෙන්නා සේය.  විළි ලැජ්ජාවෙ මගේ ඉහේ උකුණන් බිමට පැන්නේ නැති ටික විතරය.   පස්සෙ හෝදිසි කර බලද්දී ඒ මීකිරි හදන්නේ බාල පිටිකිරි වගයක් දියකර ගැනීමෙන් පසු ජෙලටින් දමා  සෙට් කර මුදවා ගැනීමෙනි.   ඊට පසුව නම් මම කිරි  වෑන් එක තියෙන පැත්ත පළාත නොබැලුවත් ඒ වෑන් එක අදටත් කිසිම අතුරු ආන්තරාවක් නැතිව අපේ ටවුමේ කිරි විකුණයි.    වස විස නැතැයි හිත හදාගෙන කන්නට හැකි මුදවපු කිරි විකුණන ගොවිපොළක් බිරිඳගේ ගෙදර යනකොට හමුවේ.  ඒ ගොවිපොළේ දවසකට හදන සීමිත කිරි හට්ටි ටික උදේම විකිණී අවසන්වෙයි  ගන්නවා නම් උදෙන්ම ගිහිං ගන්නට සිදුවේ.    මම බිරිඳගේ ගෙදර යන හැම දවසකම පාහේ මේ කියන ගොවිපොළේ නැවතී කිරි මිලදී අරගෙන යමි.  බිරිඳගේ මහගෙදර වත්තේ එළිමහනේ සරුසාර නෙරළු තුරු යට හීල් හෙවනේ  බ්ලොග්කරුවන්ගේ සාදයක් පවත්වන්නට අවස්ථාවක් ලැබේනම් කදිම යයි මම නිතරම කල්පනා කරමි.   ඒ වත්තේ මඤ්ඤොක්කාද කෙසෙල්ද අන්නාසිද ඕඩිහෙලේට වැවී තිබුණි.  පේරද ගස්ලබුද  දෙහිද  මට දකින්නට ලැබුණේ පහුගිය දවස්වල බිරිඳගේ අම්මාගේ දානයට ගිය වේලාවේය.   දැන් තත්ත්වය නම් කෙසේදැයි නොදනිමි . තත්ත්වය කෙසේ වුවත් එළිමහනේ අවශ්‍ය නම් පිනුම් ගහන්නටද ඇතිතරම් ඉඩකඩ තියෙන ලොකේෂන් එක පළමුව පෙන්විය යුත්තේ අටමාටය.  ඉන්පසුව ඌ මට ඉතුරු හරිය කරදෙනු ඇත.

රවුම ගිහිං ඉවරවී ආයෙමත් ගොඩ්ප්‍රිලගෙ ගෙදරට ආවොත් ගොඩ්ප්‍රිගේ බිරිඳත් අපත් බොහෝ උත්සාහ ගත්තේ ගොඩ්ප්‍රිගේ මතකය ටිකක් හෝ පාදා ගන්නටය.   නමුත් අපේ උත්සාහයෙන් කිසිම පලක් නොවීය.   එද්දි මම සිහින කීපයක් දකිමින් ආවෙමි ඒ හීන නම් ගොඩ්ප්‍රි හමුවුණොත් ඔහුව අපේ ගමට එක්කරගෙන එන්නටත් දවසක් දාගෙන ඔහු  සමග හලාවත ඉස්සර අප ගියපු තැන් බලන්නට යන්නටත්ය.   එහෙම කරන ඒක මා ඉතා ප්‍රියකරන විනෝදාංශයකි.  නමුත් දැන් ගොඩ්ප්‍රි ඉන්නා තත්ත්වය අනුව ඒ හැම දෙයක්ම සිහිනයක්ම බවට පත්වී තිබේ.   ගොඩ්ප්‍රි තාමත් හිස් බැල්මෙන් අපදෙස බලාගෙන ඉන්නේ මගේ වැඩ පාලු කරන්නට ආව මේ අපතයන් කවුරුදැයි කියා වෙන්නට ඇත.  අන්තිමට අප එන්නට පිටත්වී සමුගත්විට ගොඩ්ප්‍රි මගෙන් ඇහුවේ ගම කොහෙද කියාය මම ගම කියුවිට ඔහු මගේ නම කියා තාම ඉන්නවද කියා ඇහුවේ අවසානයේදී හෝ මගේ හිත සතුටට පත්කරමිනි.   හැරී අයියා මාව පෙන්නා කිව්වේ ඒ මා බවයි.  ඉන් එහාට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවීය.   හිත සැහැල්ලු කරගන්නට ගිය ගමනෙන් මට සිදුවුනේ තිබුණාටත් වඩා වැඩි බරක් හිත තුළ පොදිගහගෙන ගෙන ආපහු එන්නටය.

අප ආපසු ආවේ දැඩි නිහඬතාවක් මැදය.  කල්පනාවේ නිමග්න වී  සිටි මට හැරී අයියා කිව්වේ ගොඩ්ප්‍රි දැන් ඉන්න තත්ත්වය අනුව අපේ ගමට එක්ක ආවත් වැඩක් නැති බවය.   හැරී අයියා නොකිව්වත් ඊට පෙරම මට එය කල්පනාවිය.    ගොඩ්ප්‍රිට පලදී ඇති කරුමය මගේ සිත දැඩි  කම්ප නයකට  පත්කර තිබුණි.  සිදුවූ අනපේක්‍ෂිත සිද්ධියෙන් හිත දෙදරා ගොස් අයිනකට වී බුම්මාගෙන සිටි  මගේ හිත හදන්නට හැරී අයියා බොහෝ දේවල් කීවේය.  මැරිලා නම් මළා කියා හිත හදාගන්නට පුළුවන්ය.   නමුත් දැන් ඉන්නේ පණපිටින් ඉන්න  ලී කොට කෑල්ලක් වුන කොට මොන විදියකට හිත හදාගන්නද.  මම හැරී  අයියාට කිව්වේ ගොඩ්ප්‍රි දැන් ඉන්න තත්ත්වය නිසාම අපි ඔහු ගැන බැලිය යුතු බවයි.  මම නැති කාලයේ පුළුවන්නම් එක සැරයක් හෝ ඇවිත් ගොඩ්ප්‍රිව බලන්න යැයි මම ඔහුට කිව්වත් ගෙදර කරදරත් එක්ක ඔහුට එය ලේසි කටයුත්තක් නොවෙන බවද මම දැන සිටියෙමි.  කොහොම උනත් මට ගොඩ්ප්‍රිව ආයෙම හමුවෙන්නට තව කොයි කාලයක් ගතවේදැයි කාට කියන්නට පුළුවන්ද෴

80 comments:

  1. අප්පා..... අපරාදේ ගොඩ්ප්‍රි අද එලියට ආවාම මෙච්චර කල් කතාවේ තිබුන සතුට ....දුකක් උනානේ හැලපයියේ.... බුදු බන නිබොරුය කියලා හිතෙන්නේ මෙවෙලාවට තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මම ගොඩ්ප්‍රිව පැත්තක තියල වැටේ ගියෙ.උඹලනේ ඉන්න බැරුව කෑ ගැහුවෙ.

      Delete
  2. ඉතා දැඩි කණගාටුවක් ඇතිවිය!

    ReplyDelete
    Replies
    1. ඔබට එසේ නම් මට කෙසේ වීදැයි සිතන්න.

      Delete
  3. කතාව ගොඩනැගීම සහ ඉදිරිපත් කිරීම අතිශයින් සාර්ථකයි. හාස්‍යය මුසුකරමින් ජීවිතයේ අනිත්‍යයද පැහැදිළි කිරීමක් ලෙසයි මා දකින්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචා සත්‍ය සිදුවීමක් නිසා වෙන්න ඇති.

      Delete
  4. අද කොටස පටන්ගත්තෙම අපිව උස්සල පොළොවෙ ගහලනෙ. කලිං කොටස් වලින් හඳුන්වල දීල තිබුණ නිසා ගොඩ්ප්‍රිෙග ඉරණම ගැන මාාාර දුකක් ඇති උනේ. කලිං පෝස්ට් එකේ මගෙ කමෙන්ට් එකට හැලපයියගෙ උත්තරේ මට හරියටම තේරුණේ දැනුයි.

    ReplyDelete
    Replies
    1. පහුගිය පෝස්ටුවේ ඔබට දුන්න උත්තරය නොතේරුන බව මමත් හිතුවා.

      Delete
  5. අර බිරිඳගෙ ඉඩමෙ දාන පාටියට නං බෙල්ල කඩං හරි සහභාගි වෙනව. මාවත් ඇතුලත් කරල ගණං හදාගන්ඩ ඕං...

    ReplyDelete
    Replies
    1. නම ඇතුළත් කරගන්න කියල අටමට කියන්නං.

      Delete
  6. මදැයි කොලා. මගේ කණගාටුව. ඔහුට මතක නොතිබ්බත් ඔහු නැතිවීමට පෙර ඔහුව දුටුව එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. දැකගන්න හැකිවීම ගැන සන්තෝෂයි.ඔහුට අප අමතක වීම ගැන කණගාටුයි.ඒ කියන්නෙ ගියත් එකයි නොගිහිං හිටියත් එකයි.

      Delete
  7. හිතාගන්න පුළුවන් ගොඩ්ප්‍රි ගැන දැනුන දුක. හිතේ තදින්ම තැන්පත් වෙච්ච චරිත විතරක් මතක තියනව ඇති.
    අපේ නැන්දෙක් ඉන්නව මෙමරි චිප් එක අවුරුදු 71 දි පිච්චුන, දැන් 85ක් විතර තාමත් කියන්නෙ " මම මෙහෙම හිටියට වයස අවුරුදු 71 ක්.

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට ඔහුගේ මතකය ඇවිත් යන ගතියක් පෙනෙන්නට තිබුණේ.ඒ වෙලාවට ඔහුට තදින් මතක තිබ්බ අයව සිහිවෙනවා ඇති.

      Delete
  8. ෂැක් ...උස්සලා පොලවේ ගැහුවා වාගේ ...ගොඩ්ප්‍රි හමු වුනේ නැත්නම් හොදයි කියලා හිතුනා ....

    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ
    කොපමණ තිබුණත් කල හොද නරකයි
    යන කල ගෙනියන්නේ
    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ

    සටනට වැදුනේ ලෙන් සෙලවූයේ
    අපමණ දිවි නැසුණේ
    මිතුරන් නැති විය සතුරන් ඇති විය
    මොනවද ඔබ ලැබුවේ
    මොනවද ඔබ ලැබුවේ
    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ

    පුතු සැනසෙව්වද බිරිදට සැනසුම
    දුන්නද සැමියෙකු සේ
    ජීවිතයම ඔබෙ ඔබට බරක් විය
    තනිවුනි මෙලොව කුසේ
    තනිවුනි මෙලොව කුසේ
    තනියම එන අපි තනියම යන්නෙමු
    නැත මෙහි නවතින්නේ...

    එකම හදක් ඔබ සතුටු කලෙයි නම්
    ඉන් ඇත හිතට සුවේ
    ඔහෙම දෙයක් නැත ඔබට මැරෙන්නත්
    නිදහස නොමැත ලොවේ...........

    ගායනය - මොහිදීන් බෙග්
    ගී පද - කරුණාරත්න අබේසේකර

    ReplyDelete
    Replies
    1. ඒකනේ බං මම මෙච්චර කල් ගත්තෙ.සිංදුවට බොහොම ස්තුතියි.අහල නැති ගීතයක්.

      Delete
  9. සමහර වෙලාවට පරණ මතකයන් ගේන්නේ කණගාටුවක් සාංකාවක් වගේ හැඟීමක්. ඒත් එහෙම මතකයක් වත් නැතිවූ විට මිනිහෙක් පත්වන තත්වය ගැන දැන් හිතුවහම අර මතකයන් කොච්චර සැපක්ද කියලා හිතුණා.

    ReplyDelete
    Replies
    1. මතකයන් පමණක් හිතේ තියාගෙන නොගිහිං ගෙදර හිටිය නං හොඳයි කියල පස්සෙ හිතුණා.

      Delete
  10. මෙච්චර දවසක් ඇදගෙන ඇවිල්ල මදෑ කොලා. මොනව උනත් අන්තිමට හරි හැලපයියගෙ නම මතක තිබ්බ එක ගැන හරි සතුටු වෙන්න පුලුවන්නෙ.

    //පිනුම් ගහන්නටද ඇතිතරම් ඉඩකඩ තියෙන ලොකේෂන් එක පළමුව පෙන්විය යුත්තේ අටමාටය. ඉන්පසුව ඌ මට ඉතුරු හරිය කරදෙනු ඇත.// හපොයි....

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසා ඔහුට මාව මතක තිබ්බ එක ගැන මට හරිම සතුටක් ඇතිවුනා.

      Delete
  11. මේ වගේම කණගාටුදායක තත්වයක් ඇතිවුනා අපේ අම්මා හඳුනන කෙනෙක්ව නැවත හොයාගෙන ගිය ගමනකදී. හමුවුනේ අවුරුදු 15කට විතර පස්සෙ. ඒ කාන්තාවගේ සැමියාත් මේ වගේම රෝගයකට ගොදුරුවෙලා. මීට අවුරුදු ගණනාවකට කලින් ඉතා හොඳින් සිටි බස් රියදුරෙක්වූ ඔහු අද හොඳටම ඔත්පල වෙලා. ඉස්තෝප්පුවෙ සිටි ඔහුව අපිට අඳුනාගන්න බැරි උනා. අපි හිතුවේ ඒ කාන්තාවගේ පියා කියායි. අපි ඒ ගෙදරින් එළියට ආවෙ ඉතාම අසරණ හැඟීමකින්.

    ReplyDelete
    Replies
    1. මට වෙච්ච දේ අනික.යන අය ඒ වෙලාවට හරි අසරණ තත්වයකට පත්වෙනවා.

      Delete
  12. සන්වේදී කතාවක්. ඔය වගේ රෝගයක් කාටවත් ඇති වෙන්න එපා....

    ReplyDelete
    Replies
    1. මගේ පැතුමද එයමැයි.

      Delete
  13. මටත් නිතරම කල්පනා වෙන දෙයක් තමයි ඕල් ඔෆ් අ සඩ්න් මෙමරි කැපෑකුටි එක ටෝටලි ඩිලීට් වුනොත් වට් විල් හැපන් ටු මී? කියන බොහොම බරපතල ප්‍රශ්නෙ…..එහෙම කේස් එකක් ගැන කතාවක් ලියන්නත් පොඩි අදහසක් තියනව කිව්වම මොකද...හෙහ්...හෙහ්

    ඔහොම හදිසි අනතුරකින් මතකය නැතිවෙන තරුණයෙක් ගැන අපූරු ටෙලි චිත්‍රපටයක් අවුරුදු අටකට වගෙ ඉස්සර විකාශය වුනා මට මතක විදිහට ස්වර්ණවාහිනියෙද කොහෙද..නම " ජීවිතයට ඉඩදෙන්න " ප්‍රධාන චරිතය රඟපෑවෙ මම බොහොම ප්‍රියකරන නළුවෙක්..බිමල් ජයකොඩි...චාන්දනී සෙනෙවිරත්න, මීනා කුමාරි, අයිරාංගනී සේරසිංහ සහ තව හිටිය අතුල පතිරණ... අධ්‍යක්ෂණය කලේ ආනන්ද අබේනායක. මේ ඊයෙ පෙරේදා බැන්ද යසාරාගෙ තාත්තා.

    ReplyDelete
    Replies
    1. තරුණ කෙනෙකුට ජීවත් වෙන්ඩ අමාරුයි කියල හිතෙනව තමයි. වයසට ගියාම ෆුල් ජොලි ඇති, අපේ නැන්ද තාම 71 කියල හිතං ජොලියෙන් ඉන්නෙ.
      ඔහොම මෙමරිය ගිය ආච්චියෙක් හිටිය මගෙ යාළුවෙකුට, මම දවසක් ඌව හම්බවෙන්න ගිහින් " ආ.. පුතේ දැන්ද ආවෙ " කියල තුන් පාරක් ඇවිත් අඹ ගෙඩි තුනක් කපල දීල ගියා. ආයෙ දවසක් නෝටි ෆිල්ම් එකක් බලද්දි ඒක දැකල" ඊයා..මොනාද උඹල බලන් ජරාව ,හිටපං තොටයි මුන් ටිකටයි තාත්තට කියල ඉල්ලල දෙන්ඩ " කියල ගිය ආච්චි විනාඩි පහෙන් ඇහුව "උඹල දැන්ද ආවෙ කොල්ලනේ " , තේ හදන්ඩද කියල.

      Delete
    2. පිස්සුද, රවී අයියගෙ මෙමරි ලොස් උනොත් අර කුකුළට උනේ මොකක්ද කියල අපි දැනගන්නෙ කොහොමද?

      Delete
    3. රවිගේ මෙමරි එක අඩුවුනාට ගාණක් නෑ, අර බ්ලොග් පෝස්ට් ලියනව වගේ අතින් දාල කියනව

      Delete
    4. https://en.wikipedia.org/wiki/50_First_Dates
      මෙන්න මේ පිලුම් එක බලල හිටියනං

      Delete
    5. ශ්‍රීදේවියි කමලාහසනුයි ඉන්න පරණ ෆිල්ම් එකක තිබ්බා මතකය නැති වෙන එක ගැන කතාවක්. කෙල්ලට මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මතකය නැති වෙලා, කොල්ලා තමයි බේරගෙන සාත්තු කරන්නේ. කෙල්ලව හිනස්සන්න ඌ වඳුරෙක් වගේ ඇක්ට් කරලා පෙන්නනවා සමහර වෙලාවට. කොහොම හරි කොල්ල නැති වෙලාවක කෙල්ලගෙ මතක ආයෙත් ලැබෙනවා, ඒත් කොහේ හරි ඔලුව වැදිලා වගේ එකකින්... කෙල්ල තමන්ගේ පරණ විස්තර දීලා ගෙදර අය කෙල්ලව හොයාගෙන ඇවිත් එක්කගෙන යනවා. ඔහොම යන්න කෝච්චියේ නැගලා ඉන්නකොට, කොල්ලා හොයාගෙන එනවා, කොච්චිය අද්දනවා. කෙල්ලට දැන් කොල්ලව මතක නෑ, කොල්ලා මතක් කරවන්න අර වඳුරු නැටුම ඇතුලු පහුගිය කාලේ සිදුවීම් මතක් කරන්න එක එක ඒවා ඇක්ට් කරලා පෙන්නනවා. කෙල්ල හිතනව මූ පිස්සෙක් කියලා, ගෙදර අය ගෙනාපු මොකක් හරි කෑම පාර්සලයක් කොල්ලට විසි කරලා යනවා... ඒක බැලුවේ ඕලෙවල් කාලේ මතක හැටියට... අම්මෝ පපුව හෝස් ගාලා ගියා...

      Delete
    6. G.L.,

      ඩෲ බැරිමෝ.......මගේ ආදරණීය ලලනාවක්...:)

      Delete
    7. @තිසර.
      පිස්සු කොර වෙන ෆිල්ම් එකක් ඒක.ඒ වගේම 'අප්පු රාජා'(?) ෆිල්ම් එක.කොටියා උනාට කමල් හසන් වැඩ්ඩ.
      @රවී.
      අන්න අයියෙ ලලනාවො

      Delete
    8. තිසර,
      Moondram Pirai neda

      Delete
    9. Moondram Pirai තමා ෆිල්ම් එක. ඕකෙ ලස්සන සිංදුවක් තියෙනවා, කමල් ශ්‍රී දේවිව නිදි කරවන්ට කියන්නෙ.. කන්නේ කලෙයි මාලේ.. ගායකයා යේසුදාස්..

      මේ 80 ගණන්වල සින්දු මාර නොස්ටැල්ජික් අප්පා..

      Kannae Kalai Maalae - Moondram Pirai

      Delete
    10. මට ඒ ටෙලිය මිස් වුනා රවී.ඒ වුනාට ලියන්න තියෙන කතා ටික ඔක්කොම ලියල ඉවරවෙනතුරු මෙමරිය නං ලොස් කරගන්න එපා පිං සිද්දවෙයි.

      Delete
    11. තිසර,
      බැලුවෙමි අතිශය සංවේදී තත්වයට පත්වුනෙමි.මුල් ජවනිකාවල දර්ශන තලය හොඳට හුරු පුරුදු බවක් පෙන්වයි.මා හිතාගෙන ඉන්න තැනද නොදනිමි.

      Delete
    12. ඇනෝ,පාර පෙන්නුවට බොහොම ස්තුතියි.

      Delete
    13. බුරා,
      සිංදුව නං කියල වැඩක් නෑ බුරා පිස්සු ඩබල් වෙනවා.

      Delete
  14. සක්.. ගොඩ්ප්‍රි එලියට එන්නෙම නැතුව හිටියනම් ඉවරයි..

    //මැරිලා නම් මළා කියා හිත හදාගන්නට පුළුවන්ය. නමුත් දැන් ඉන්නේ පණපිටින් ඉන්න ලී කොට කෑල්ලක් වුන කොට මොන විදියකට හිත හදාගන්නද// හ්ම්ම්..

    ReplyDelete
    Replies
    1. කොහෙද ඉතිං බොලාගෙන් බේරෙන්න ඇහැක් උනැයි.

      Delete
  15. //බිරිඳගේ මහගෙදර වත්තේ එළිමහනේ සරුසාර නෙරළු තුරු යට හීල් හෙවනේ බ්ලොග්කරුවන්ගේ සාදයක් පවත්වන්නට අවස්ථාවක් ලැබේනම් කදිම යයි මම නිතරම කල්පනා කරමි.// මරු අදහස, මීරිගමට ලගයි නේද? ලබන අවුරුද්දේ දෙසැම්බර් නම් මමත් එනවෝ.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මීරිගමට ලඟයි කිව්වට මීරිගමම තමා.දිනය කතා කරල දාගන්න ඕනෑ.

      Delete
  16. හ්ම්,ගොඩ්ප්‍රිට වෙච්චි දේ ගැන කණගාටුයි හැලපයියේ.උඹ පෙරුම් පුරලා හම්බු වෙන්න ගිය මිනිහා.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මට වෙච්චි දේ ගැන ඊට වඩා කණගාටු හිතෙන්නෙ නැද්ද.

      Delete
  17. හැලපයියෙ, කන්දක් විලි ලා මහමෙරක් වදනවා දැක්කමයි.... මෙච්චර ඉවසීමෙන් කොටසින් කොටස කතාව කියපු හැටි අපූරුයි.ඒ කම්පනය කොහොමද කියලා ලාවට හරි හිතාගන්න ඇහැකි.
    ඉස්කෝලෙ යන කාලෙ අපේ එකෙක්ගෙ ඔලුවෙ ලෙදර් බෝලයක් වැදිලා මෙමරි අවුලක් ගියා.ඔක්කොම අඳුනනවා.. කතාකරනවා.ඒත් වෙලාව ගැන කිසිම හැඟීමක් වත් වෙච්ච දේ වත් මතක නෑ.හොස්පිටිතාලෙ ඌ ලඟ හිටපු වෙලාවෙ උගෙ වැඩේ විනාඩි පහෙන් පහට 'අද දවස මොකක්ද? වෙලාව කීයද?' කියල අහන එක.මුලින් අපි බය වෙලා නර්ස් ලගෙන් ඇහුවා කොහොමද උත්තර දෙන්න ඕනෙ කියලා.. 'මල්ලිලාට ඇති වෙනකන් ඕන උත්තරයක් දෙන්න' කියලා කිංකිනි සිනා පෑවා... හා.....නේ.... සුන්දරත්වේ...!!
    'නෙරළු තුරු වදුලේ සාදය' කලින් එක වගේම රසවත් පෝස්ට් ගණනාවක් මවන අත්දැකීමක් වෙයි..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගස් ලබ්බ.මගේ ව්‍යායාමය සාර්ථක නම් සතුටුයි.

      Delete
  18. වෙලා තියෙන දෙයක් අප්පා......
    මදැයි ඔහොම හරි හම්බ උනා.....

    ReplyDelete
    Replies
    1. මදැයි මදැයි, උන්න හැටියට මළා මදැයි කිව්වලු.

      Delete
  19. ගොඩ්ප්‍රි මුන ගැහුන එක සතුටුයි ඒ වුනාට පව්..
    මේ පොස්ට් එකේ සතුටු හිතෙනම කොටස
    බිරිඳගේ මහගෙදර වත්තේ එළිමහනේ සරුසාර නෙරළු තුරු යට හීල් හෙවනේ බ්ලොග්කරුවන්ගේ සාදයක් පවත්වන්නට අවස්ථාවක් ලැබේනම් කදිම යයි මම නිතරම කල්පනා කරමි.//

    ReplyDelete
    Replies
    1. උඹ දැන් බ්ලොග් නොකියවන කතාවක් දැනගන්න ලැබුනා.ඉක්මනට ආවනං හොඳා.හැබැයි නමත් වෙනස් කරගන්න වේවි නේද.

      Delete
  20. නෙරළු තුරු යට හම්බ වෙමු....

    මම හිතුවේ සුපුරුදු හැලප ආරට...කස්ටිය ගේට්ටුව ගාවට ඇරලපු ගොඩ්ප්‍රිය ඇහැක් එහෙම වහලා.."කොහොමද මගේ රඟපෑම..පොල් ගෙඩියක් ලෙලි ගහගෙන ඔන්න ඔහේ ඉන්නවා මලේ" කියලවත් ඉවර කොරයි කියලා කථාව..මටනම් මේ අවසානය නෝ ෂුවර්..ඇත්ත කියහං හැලපේ..බොරු නේ....?

    ReplyDelete
    Replies
    1. එහෙම සුබදායක අවසානයක් කරා කතාව ගෙනියන්න තිබ්බ නං වැඩිපුරම සතුටු වෙන එකා මමයි චෙපාකි.නමුත් කරුමෙට ඒක එහෙම වුනේ නෑ.

      //නෙරළු තුරු යට හම්බ වෙමු....//
      මගේ පැතුමද එයමැයි.

      Delete
  21. පුදුම මුස්පේන්තු ගතියකින් හිත පිරුණ... අනේ ශේෆාකි සහෝදරය කිව්වා වගේ ඉවර කරමු...

    ReplyDelete
    Replies
    1. දැන් මොනා කරන්නද සජ්ජෝ.මගේ හිතත් ඒ විදියටම මුස්පේන්තු වුනා.

      Delete
  22. Replies
    1. ඇයි කොල්ලෝ,දුකද?

      Delete
  23. ගොඩ්පියට අමතක වෙන අහන්න දෙයක්ය.. අර ගුණමකු යාළුවන්ටත් උඹව අමතක වෙන එකේ...

    වැඩක් නෑ හැලපයෝ උඹ අපිව අවසානයේදි අඬවලම දැම්මා...

    ReplyDelete
    Replies
    1. ඔව් බං මගේ හිත තවම අඬනවා.
      උඹ කාටද මේ ගුණමකු යාළුවො කියල කියන්නෙ උඹල ටිකටද.අනේ මමනං එහෙම හිතන්නෙ නෑ බං.

      Delete
  24. මිත්‍රය ගැන හරිම කනගාටුයි හැලපයියෙ... අපෙත් කර්මය කොහොම ලියවිලා තියෙනවද දන්නේ නෑ බන්.

    අර කිව්වා වාන් පාටිය දානකොට පිටත් කියහන් හොඳේ. ලංකාවේ හිටියොත් අනිවා එනව.

    ReplyDelete
    Replies
    1. කිව්වත් වගේ අපිට මොනා වේවිද කවුද දන්නෙ.
      ඉස්සෙල්ල ලංකාවට වරෙන්කො පාටිය ඊට පස්සෙ දාමු.

      Delete
  25. ඔබේ මේ ලිපි පෙල දිගටම කියෙව්වත් කොමන්ට් කරන්න නම් බැරි වුනා.කොමන්ට් නොකලත් අනිවාර්යෙන්ම මම එන බ්ලොග් අතරින් එකක් මේක.ඔබේ මේ ලිපි පෙලේ ජීවිතයක සෑම පැතිකඩක්ම වගේ කියවෙනවා.ඒ වගේම ජීවිතයක සැහැල්ලුව,සතුට,දුක,වියෝගය, මේ සෑම දෙයක්මත්.

    ReplyDelete
    Replies
    1. අගැයීමට බොහොම ස්තුතියි මනෝ.
      මේ මගේ අතින් ලියැවෙන්නෙ ජීවිතයක සත්‍ය අත්දැකීම්.එහෙම වෙන්නෙ ඒ නිසයි.

      Delete
  26. කලින් කොටස් වල හිටපු ගොඩ්ප්‍රිව මම දැක්කේ නැහැ, නමුත් මේ කොටසේ ඉන්න ගොඩ්ප්‍රිව මට මැවිලා පෙනුනා...
    මනුස්සයෙක්ගේ මතකය නැතිවෙන එක අතක් පයක් නැති වෙන එකටත් වඩා ඛේදවාචකයක්...

    නෙරළු ගස් ගැන අහල තිබුනට ගහ මොකක්ද කියල හරියට දන්නේ නැහැ... ;(

    ReplyDelete
    Replies
    1. එහෙනං මේ කොටස ඔබට තදින් හිතට වදින්න ඇති.
      නෙරළු තුරු කියන්නෙ ලොක්කෝ පොල් ගස් වලටයි.අර සිංදුවකත් තියෙනව නේද "රන් නෙරළු තුරින් පිරි පවුරු වළල්ලක් දුපත සරසනවා"කියල පදයක්.

      Delete
    2. ඈ... ඒකත් එහෙමද. මම හිතාගෙන හිටියේ මොනා හරි වෙරළු වගේ වෙනමම ගස් වර්ගයක් කියලා...
      ඔන්න අපේ හිංගල දැනුම...

      Delete
  27. මටත් ඔය වගේ යාළුවෙක් ඉන්නව ඒ ගැන හිතෙනකොට වරද කාරා හැගීමක් ඇති වෙනවා

    ReplyDelete
    Replies
    1. බලා ඉන්නෙ මොනවද ගිහිං බලල වරෙන්.

      Delete
  28. බක්කි ගැන ඇරෙන්නේ අනිත් ටික කියවල හිස් බවක් දැනුනේ හැලපේ.. උඹගේ තියෙන උපහැරණ වලට මං හෙන මනාපයි.. ගොඩ්ප්‍රි සුව වේවා..

    ReplyDelete
    Replies
    1. බක්කි ගැන යමක් උඹ කියාවි කියල හිතුවා.ගොඩ්ප්‍රි නං සුව වෙන්නෙ ලබන ආත්මෙ තමා බං.

      Delete
  29. අහෝ ඛේදයකි ඉරකි තිතකි.

    ReplyDelete
    Replies
    1. එහෙමද,මොනා කරන්නද ඉතිං.

      Delete
  30. Replies
    1. ඇයි බං මොකද උනේ?

      Delete
  31. ගොඩ්ප්‍රිට ඩිමෙන්ෂියා වෙන්න බැරිද? සෑහෙන්න දුකයි. මම හිතුවේ හොඳ අඩියක් ගහල ආයි සෙට් වෙන කටහ්වක් කියල. මමත් බයේ ඉන්නේ ඔය වගේ වෙයි කියල. පුළුවන් තරම් මොලය වෙහෙසවනවා ඒ නිසාම.

    ReplyDelete
    Replies
    1. වෙන්න පුළුවනි අජිත්.කොහොමත් ඔය වගේ දේවල් කෙනෙකුට කලාතුරකින් වෙන්නෙ.

      Delete
  32. සංජීව මෙන්ඩිස් එල ද බ්‍රා මෙන්ඩා ආගියඅතක් නැත

    බොල්ණයක් ලෙස කපාහැරියානම් අංක 1ද
    නැවතමුදල් පියවාගත්තේනම් අංක 2ද
    ණයට නොදුන්නානම් අංක3ද
    තවමත් මුදල් නොලැබුනානම් අංක 4ද

    e l b හිස්තැනක් අදාල අංකය යොදා 1919 send කර වටිනා ජංගියක් දිනාගන්න

    ReplyDelete
  33. මිනිහෙක් මැරෙනවට වැඩිය නරකයි මේ තත්වයට පත්වීම.

    ReplyDelete
    Replies
    1. ඔව් එතකොට මැරුණා ඉවරයි.දැන් මේක පණපිටින් ඉන්න මැරිච්ච මිනිහෙක් වගේ.

      Delete

ඔබේ අදහස්