Sunday, December 6, 2015

ගොඩ්ප්‍රි හමුවීම මුන්නේස්සරම් සහ සන්තන්තෝනි මංගල්ලය.


අපේ ගමට පැමිණ නවාතැන් ගත් ගොඩ්ප්‍රීත් සමග ඔහුගේ හලාවත යහළුවන් කණ්ඩායමක්ම ඇවිත් ගොඩ්ප්‍රි හිටපු ගෙදරම ලැගුම් ගත්තත් මාස කීපයක් ගතවනවිට එකා දෙන්නා වෙන වෙන වඩා හොඳ තැන් අල්ලා ගැනීම නිසාවෙන් ගොඩ්ප්‍රි කාමරයේ තනිවිය.  ඒත් ඔහු කාමරය මාරු කරන්නට බැලුවේ නැත ඒ වෙනුවට ගොඩ්ප්‍රි තම කාමරයට තවත් යහළුවෙක් අරං ආවේය.  ගොඩ්ප්‍රිගේ සද්ධිවිහාරිකයා හෙවත් කාමර සගයා දැදිගම පළාතේ එකෙකි.  හලාවත සැට් එකේ ඔක්කොම පාහේ හොඳ පාපන්දු ක්‍රීඩකයන් වුවත් ගොඩ්ප්‍රි ක්‍රීඩාවට කැමැත්තක් දැක්වුයේ නැත.  ඔහු වඩාත් කැමති වුනේ ලලනාවන්ටය.   ඔහුගේ මේ ලලනා ලැදිකම හේතුවෙන් මට සිදුවූ අකරතැබ්බයකුත් ඇත.

ඒ අවුරුද්දේ ගොඩ්ප්‍රිත් මාත් සමග හලාවත යන්නට ඔහුගේ කාමර සගයාත් එකතුවිය.   අපේ හලාවත ගමනේ මුලික අරමුණ වුයේ මුන්නේස්සරම දේවාලයේ මංගල්ලයට සහභාගී වීමයි.  ඊට අමතරව ගොඩ්ප්‍රිට තවත් වගකීමක් විය.   ඔහු අබේලගේ මුළු පවුලටම තමන්ගෙ අනුග්‍රහයෙන් මුන්නේස්සරම මංගල්ලයට සහභාගී වීමට ආරාධනා කර තිබුණි.  රජයේ මුද්‍රණාලයේ සේවය කළ අබේලගේ තාත්තා සිය පවුල සමග සෑම අවුරුද්දකටම සැරයක් ඔහුට නොමිලේ ලැබෙන ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන විනෝද හෝ වන්දනා ගමනක් යයි.  ඉතිං ගොඩ්ප්‍රිගේ ආරාධනාව හේතුවෙන් අබේලගේ තාත්තා  ඒ අවුරුද්දේ ගමන මුන්නේස්සරම් යන්නට යොදා ගත්තේය.   අබේලාගේ පවුල හලාවතට එන්නට දවසකට කළින් අපි තුන්දෙනා සුපුරුදු පරිදි බස් එකේ හලාවත ගියෙමු.  අබේලා පහුවදා හලාවත එන්නේ කෝච්චියේය බස් එකේ හලාවතට යන්නට පැය තුනක් පමණ ගතවුවද කෝච්චියේ රාගමට ගිහිං ආයෙම පුත්තලම් කෝච්චියෙ නැගී හලාවතට එන්නට දවසක්ම ගතවේ.  නිදහස් ගමන් බලපත්‍රයෙන් ගමන් කරන නිසා පරංගියා කෝට්ටේ යනවා වැනි මේ ගමන යන්නට අබේලාට සිදුවී තිබිණි.  එය තවත් විදියකින් කිව්වොත් හිස වටේ අත දමා නහය අල්ලනවා වැනි වැඩකි.

කොහොම උනත් තමන්ගේ ආරාධනාව පිළිගෙන එන අමුත්තන්ව පිළිගන්නට හා සංග්‍රහකරන්නට ගොඩ්ප්‍රි සැදී පැහැදී සිටියේය.  ඒ ආගන්තුක සත්කාරයත් සුළුපටු වැඩක් නොවේ.  අබේලගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකි මහ දෙන්නාත් සමග අට දෙනෙකි.   අට දෙනෙකුට දින දෙකක් කෑම බීම නවාතැන් පහසුකම් ගමන් පහසුකම් ලබාදී මුන්නේස්සරම වන්දවා ආපසු යවන කටයුත්ත විශාල ව්‍යාපෘතියකි.  අද නම් කෙනෙක් කරන්නට හිතන්නෙවත් නැති මේ දැවැන්ත රාජකාරිය ගොඩ්ප්‍රි බාරගත්තේ ඉතා ඕනෑකමින් සතුටින් සහ සැහැල්ලුවෙනි.   දවස පුරා ගමනේ යෙදී හලාවතට එන අබේලගේ නඩය පිළිගන්නට අපි පහුවදා රාත්‍රියේ හලාවත ඉස්ටේසමට ගියෙමු.   ගොඩ්ප්‍රි විසින් කණ්ඩායම ගෙනත් නවත්වන ලද්දේ ඔහුගේ අයියාගේ ගෙදරය.   ඒ අපි ඉන්න හේතුවෙන් ගොඩ්ප්‍රිලාගේ ගෙදර ඉඩ නැති නිසාය.   ඊට පසුව ගතවූ දින දෙකම කැපවුනේ ආගන්තුකයන්ගේ ගමන් පහසුව කෑම බීම හා සුව පහසුව ගැන සොයා බැලීමටත් ඔවුන්ව මුන්නේස්සරම වැන්දවීමටත්ය.   සියලුම දේවල් කරදරයක් නැතිව සිදුවී අමුත්තන් පිරිස ආපසු හලාවත දුම්රිය පොළෙන් නිවෙස් බලා පිටත් කොට අපි ආපසු පැමිණියෙමු.  ඊට පහුවදා දවස මංගල්ලයේ අවසාන දිනය හෙවත් දිය කපන දිනයයි.

රාත්‍රියේ අපි තුන්දෙනා මුන්නේස්සරමට ගොස් පෙරහැරත් බලා ඒත් සමග දියකපන තැනට හෙවත් හලාවත මෝය කට ලඟට ඇවිත් එතන බලා සිටියෙමු.   දිය කපනතුරු එතන නොඑක් කෙළි සෙල්ලම්ය ඒ මහ පාන්දර තුනට තුනහමාරට පමණ වන්නට ඇත .  ටිකකින් ගොඩ්ප්‍රි ඇවිත් මට කීවේ අපි දෙන්නා පොඩි ගමනක් ගිහිං එනතුරු එතැනම ඉඳගෙන සිටින ලෙසටය.   මමත් සද්ද නැතුව උක් ගහක් හපමින්ද නැටුම් බලමින්ද සිටියෙමි.  කාලය ගතවී නැටුම්ද උක් ගහද අවසාන විය ගොඩ්ප්‍රිලා තාම නැත ටිකකින් දිය කැපීමද අවසානවී සෙනග විසිර යන්නට පටන් ගත්හ.    මට දැන් හරිම නිදිමතය ඔලුව කඩා වැටේ ගොඩ්ප්‍රිලා එනතුරු කොතෙක්  වෙලා බලා ඉන්නට සිදුවේද නොදනිමි.  එතැනින් පාරට බැස්ස මම පාර පැන රේල් පාර අයිනෙන් කලපු හුළං වදිමින් ගොඩ්ප්‍රිලගේ ගෙදරට ඇවිත් කාමරයට වැදී නිදාගත්තෙමි.  එළිවෙන යාමයේ ගෙදර සද්ද බද්ද ඇහුණද හොඳට නිදාගත් මට ඇහැ ඇරුනේ උදේ අටත් පසුවූ විටය.   මට ඇහැරුණ විට උදේට ඉඳිආප්ප කන්නට දී අයියලාගේ ගෙදර එවන්නටයි අම්මාට කී ගොඩ්ප්‍රි අයියලාගේ ගෙදර ගොස් තිබුණි.   මම ගොඩ්ප්‍රිගේ අයියලගේ ගෙදර ගිය විට ඔහු මට හොඳටම බැන වැදී  ආයෙම කොහෙවත් එක්කං යන්නෙ නැතැයි කීවේය.   වැරැද්ද වුනේ කියපු  දේ අහන්නෙ නැතිව ගෙදර ගිය එකය.  අයියලගෙ ගෙදරට කතාකර බැන්නේ  ගෙදරදී ගොඩ්ප්‍රිලගෙ අම්මා මට බනින්නට ඉඩ නොදෙන නිසාය. 

පසුව දැනගත් පරිදි සිදුවූ දේ මෙහෙමය.  ගොඩ්ප්‍රිත් ඔහුගේ යහළුවාත් මාව මෝය කට ළඟ තබා ගිහිං තියෙන්නේ ඔවුන්ට ඉඟි බිඟි කළ කෙල්ලන් දෙතුන් දෙනෙක් පස්සෙන්ය.  ඉක්මනට ආපහු එන්නට හිතාගෙන ගියත් වැඩේ දිග දුර ගිය නිසා ආපහු මෝය කට ලඟට එනවිට උදේ එළිවෙලාය.  ඒ වෙනකොට එතන හිටපු මිනිස්සුවත් මමවත් නැත මුන් දෙන්නාට දෙලෝ රත්වුනේ එවිටය.   දැන් ළමයෙක් කොහෙන් හොයන්නටද පුක දාච්ච බල්ලන් මෙන් ටවුමේ හැම තැනම දුව ඇවිද මාව හෙවු මේ දෙන්නා බැරිම තැන ගෙදරට ආවේ මා ගැන බලාපොරොත්තු අත් හරිමිනි.  ගෙදරට ආවිට මම කාමරේ නිදිය දෙන්නාට හුස්මක් වැටුණේ එවිටය.  එදා හවස අපි තුන්දෙනා ආපහු ගමට ආවේ එන ගමන් මීගමුවේදී සුපුරුදු ලෙස කොරනේෂන් හෝටලයටද ගොඩ වෙමිනි.   ඒ ගමන ගියේ කොයි අවුරුද්දේ දැයි මට මතක තිබුණේ නැත මතක් කරගන්නට ක්‍රමයක්ද නැත දහ අතේ කල්පනා කළ මට එක් දෙයක් මතක්විය.   ඒ දවස්වල ගොඩ්ප්‍රිලගේ අයියලගෙ ගෙදර තිබුණ රේඩියෝවෙන් තොර තෝංචියක් නැතුව ප්‍රචාරයවූ චිත්‍රපට ජිංගලයකි.  එකල චිත්‍රපට වලට ප්‍රචාරය දෙන්නේ එහෙමය. ඊට පසුව ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ වර්ෂය සර්ච් කර අප පළමුවෙන්ම මුන්නේස්සරම් ගිය අවුරුද්ද කුමක්දැයි සොයා ගත්තෙමි.  තවත් කියන්නට ඇති දෙයක් නම් ගොඩ්ප්‍රි සිය කාලයද ධනයද වැය කරමින් මේ සියල්ලම කළේ ඔහුගේ චිත්ත තෘප්තිය සඳහා පමණක්ම මිසක ඔහුට මෙහෙමයි කියා ලැබෙන කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නොවීමයි.

කතෝලිකයෙක් වුවද කිසිම ඉරිදාවක ටවුමේ පල්ලියට නොගිය ගොඩ්ප්‍රි නත්තලටවත් පල්ලි ගියාදැයි නොදන්නේ නත්තලට ඔහු ගමේ යන බැවිනි.  ඒ වුනත් ඔහු එක්තරා අවුරුද්දක පෙබරවාරි මාසයේ කච්චතිව් දුපතේ  පවත්වන සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්ලයට හෙවත් සන්තන්තෝනි මංගල්ලෙට යන්නට සුදානම් වුනේ අප පුදුමයට පත් කරවමිනි.   පසුව අප තේරුම් ගත්තේ ඔහු කච්චතිව් ගියේ හුදෙක් අමුතු අලුත් අත්දැකීමක් ලබාගන්නට විනා අලුතෙන් ඇතිවුන ආගම් භක්තියකට නොවන බවයි.  මංගල්ලයට යන්නට පෙර ගොඩ්ප්‍රි මට කීවේ මංගල්ලෙට මාවත් කැඳවාගෙන යන්නට ඔහුට උවමනාව තිබුනත් මම කියනදේ අහන්නෙ නැති හිතුවක්කාරයෙක් නිසා පාඩමක් ඉගෙන ගන්නටත් එක්ක දමා යන බවයි.   මට මග හැරී ගිය ඒ අපූරු අවස්ථාව නැවත කවදාවත් නොලැබුණේ ඊට අවුරුදු කීපයකට පසු උතුරේ යුද්ධය ආරම්භ වුන නිසාවෙනි .   මෙවැනි අපුරු සිදුවීම් මැදින් අප මිත්‍රත්වය ගලා ගියේය.   ඊට ටික කලකට පසු මා කලින්ද කීවාක් මෙන් එක අවුරුද්දක මා අපේ මවගේ ගමේ මාස කීපයක් ගතකර ආපසු එනවිට ගොඩ්ප්‍රි ගම නොසිටියේය.

දැන් හිතවතුනි අපි මේ කතාවේ අවසානයට ක්‍රමයෙන් ලඟාවෙමින් සිටින්නෙමු.  ගොඩ්ප්‍රිගේ ගෙදරට ගොඩවී සිටියද මා ඔහුව කතාවට එකතුකර නොගෙන කොටස් කීපයක්ම ලීවේ හුදෙක් වට රවුමේ යනවාටත් වඩා ගොඩ්ප්‍රිගේත් මගෙත් තිබු අපූරු මිත්‍රත්වය ගැන ඔබට වඩාත් පැහැදිලි කරන්නටත් අප අවසන්වරට හමුවීමෙන් අවුරුදු තිස් ගණනකට පසු අසීරුවෙන්  කාලයද  ලබාගෙන ඔහු ඉන්න ස්ථානය දන්නා අයද එකතු කරගෙන බොහොම අමාරුවෙන් පාර හොයාගෙන යන මේ ගමන පිස්සුවකට අයාලේ යන ගමනක් නොවන බවත් මේ ගමන ඇත්ත වශයෙන්ම ඔහුට ගුණමකු වීම ගැන කාලයක් සිතේ කොණක හදවත පාරමින් තිබු වේදනාවක් අවසන් කර දමන්නට ගත් පියවරයක් බවත් ඔබට තෝරා පහදා දෙන්නටය.  මා සතුටින් සිටියේ මේ ගමන ගොඩ්ප්‍රි හමුවුවොත් මගේ සිතත් සමග බොහෝ කලක් තිස්සේ මා කරනා සටන අදින් නිමාවට පත්වන නිසාය.  මා වැඩිදුර ඒ ගැන නොකිව්වත් ඔබට මාගේ ගමනේ අරමුණද මගේ චිත්ත ස්වභාවයද වටහා ගැනීම දැන් අසීරු නොවෙතැයි සිතමි.  කතාවේ අවසානයට   ළඟාවූනද අද ගොඩ්ප්‍රිව කරළියට ගෙනෙන්නට නොහැකි වන්නේ කතාව දිග වැඩිවන බැවින් මිසක වෙන කිසිම හේතුවක් නිසා නොවන බව කිවයුතුය.  අපි නැවතත් කතාවට යමු.

 පැණි බීම නොබොන මට කහට තේ එකක් ලැබුණේ ගොඩ්ප්‍රිගේ ලේලියගේ අතිනි.  තේ එකද තොල ගාමින් මම කල්පනා කළේ ගොඩ්ප්‍රි තාම නැත්තේ මන්ද යැයි කියාය.  ගොඩ්ප්‍රිගේ බිරිඳ නම් හැරී අයියාත් සමග ගජරාමෙට කතාවය.  ඒ කතාව තැනින් තැනින් ඇහෙන මට තනියම සිනා පහළවුනේ උග්‍ර මහින්දවාදියෙකු වූ හැරී අයියා සමග තවත් එවැනිම උග්‍ර යූ ඇන් පී කාරියකු වූ ගොඩ්ප්‍රිගේ බිරිඳ ළඟඑන මැතිවරණය ගැන කරන ගොනා සහ මීමා වැනි කතාව කොහොම එකට පෑහෙන්නේ දැයි සිතුන විටදීය෴

90 comments:

  1. අදත් ගොප්පිය නෑ නේද?

    මොනව උනත් පොර නියම යාලුකං දන්න එකෙක් වගෙයි. නැත්තං අතිං කයිට් කරගෙන අට දෙනෙකුට දවස් දෙකක් සලකන වෙන එකෙක් ගැන හිතන්නවත් බෑ.

    ReplyDelete
    Replies
    1. 'සහෝදරියො' ඉන්න පවුල් වලට සලක එක පිරිමින්ගෙ චාරිත්‍රයක්නෙ බං

      Delete
    2. ඒ කියන්නෙ ගොඩ්ප්‍රිය ඊට පස්සෙ අබේලැයි ගෙවල් පැත්තෙත් ගියා කියලද? :D

      Delete
    3. මෙච්චර සලකල නොයන්න හේතුවක් නැහැ කියල හිතෙන්නෙ. අඩුම ගානෙ හැලපය වත් යන්න ඇති.

      Delete
    4. අදත් නෑ නේන්නං.උගෙ ඒ ගතිය නිසානෙ මම මෙච්චර අමාරුවෙන් ඌ හොයාගෙන යන්නෙ ප්‍රසාට තේරුණාද?

      Delete
    5. ඉයන්,
      අබේ කොහොමත් මගෙ හොඳ මිත්‍රයනේ.ඉතිං නිතරම පාහේ අපි අබේලගේ ගෙවල්වල යනවා අබේ අපේ ගෙවල්වල එනවා විශේෂයක් නෑ.

      Delete
  2. කෝ මුන්නේස්වරම් ගිය අවුරුද්ද හොයා ගත්තා කිව්වට කවදද කියලා අපිට කියලා නැනේ ..... කෝ ගොඩ්ප්‍රි කියා කියා අපිත් දිගටම ඇහුවට මේ ඇදගෙන යෑම තුලින් කොච්චර ලෙන්ගතු මිත්‍රකමක් මැවෙනවද ....... ඔයා කැමති දවසක ගොඩ්ප්‍රි ව ගෙන්න හලපයියේ

    ReplyDelete
    Replies
    1. //දැන් ළමයෙක් කොහෙන් හොයන්නට//
      මං හිතන්නෙ එක්දාස් අටසිය ගණං වල වෙන්න ඇති.

      Delete
    2. ස්තුතියි මැලයෝ.මම හිතාමතාම ඒ අවුරුද්ද කිව්වෙ නෑ.

      Delete
    3. ඉයන්,ප්‍රසන්න.
      ඒ කාලෙටත් කළින් කියමුකො.මගෙ මොකෝ.

      Delete
  3. දැන් නම් ගොඩ්ප්‍රි මුන ගැහෙන්න ඔයාටත් වඩා උවමනාවක් අපිට තියනවා..

    ReplyDelete
    Replies
    1. මට තේරෙනවා මෙන්ඩො.හොඳට තේරෙනවා.බොහොම ස්තුතියි.

      Delete
  4. හැලපෙ ආයෙ බෝතලේ පැත්තෙ ගියෙ නැතෙයි

    ReplyDelete
    Replies
    1. //එක අවුරුද්දක මා අපේ මවගේ ගමේ මාස කීපයක් ගතකර ආපසු එනවිට ගොඩ්ප්‍රි ගම නොසිටියේය.//
      බලපන් හැලපෙ බෝතලේ ගිහින් එද්දි ගොඩ්ප්‍රි යන්න ගිහිං.

      Delete
    2. අපොයි ලංකාවෙ ඉන්නවනං මම නිතරම බෝතලේ යනවා.

      Delete
    3. කම්මල,
      මෙයාට අපි බෝතලේ ඇනෝ කියමු.

      Delete
  5. අදත් ගොඩ්ප්‍රි නෑ කියපන්කෝ ඉතිං ......

    "උග්‍ර මහින්දවාදියෙකු වූ හැරී අයියා සමග තවත් එවැනිම උග්‍ර යූ ඇන් පී කාරියකු වූ ගොඩ්ප්‍රිගේ බිරිඳ ළඟඑන මැතිවරණය ගැන කරන ගොනා සහ මීමා වැනි කතාව කොහොම එකට පෑහෙන්නේ දැයි සිතුන විටදීය" - ඔය වගේ උන් හොඳට කතා කර කර ඉන්නේ...... කම්මලාගෙන් අහලා බලපන්කො අයියේ එහෙම කරන්නේ කියලා.....

    ReplyDelete
    Replies
    1. මතක් කරන්න එපා මලපෙරේත හැතිකරේ. කොයි වෙලෙත් උන් පිටිපස්සෙ කොටියෙක් ඉන්නව.ඌට බයෙන් තමයි ඉන්නෙ. "මහින්ද ගෙදර යවපු එවුන්ට හෙන ගහපන්" ඕකනෙ කටේම තියෙන්නෙ.

      Delete
    2. ඇයි " රට අනතුරේරේරේරේ "

      Delete
    3. ඉස්සෙල්ල දිනෙන්වෙත් කොටියනම්, දෙවෙනි පාර දින්නෙත් කොටිය මරපු එක විකුනලනම්, මුන් කොටිය මන්තරේ නැතුව නරිය මන්තරේ මතුරන්නද?

      Delete
    4. ප්‍රාජේ ,ඉයන්- ඔය සූටික්කයි මමයි මල්පැණි පොඩ්ඩක් බොන්න යන තැනකට එන එකෙක් ගැන තමයි මූ මතක් කරන්නෙ.
      සූටික්ක කිවුවට මූ අපේ කටුස්සගෙ වයිට් වර්ශන් එක.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. ඔය හැතිකරේ ඉන්නේ කොටියාගේ පිටින් ගොඩ යන්ඩ .....

      අඩෝ කම්මලා...
      "සූටික්ක කිවුවට මූ අපේ කටුස්සගෙ වයිට් වර්ශන් එක" - මොකක්ද යකෝ ඒකෙ තේරුම ? මම හොඳ හුරුබුහුටි එකෙක්නෙ.... තෝ අහුවෙන්ඩ එපා හරිය.....

      Delete
    7. අදත් ගොඩ්ප්‍රි නෑ නේන්නං.බලාගෙන ඉමුකො.මට මේ කතාවෙන් තේරෙන්නෙ කම්මලයි සුටික්කයි එකට සෙට් වෙන උන් දෙන්නෙක් කියලයි.

      Delete
    8. ප්‍රා,
      ඇයි ජාතික ආරක්ෂාව?මතකද

      Delete
    9. කම්මල,සුටික්කා කටුස්ස වගේද? අපොයි මුන් දාගන්න හුරතල් නම්.

      Delete
    10. ඇයි මගේ හුරතල් නම අවුල් වගේ ද ?

      කම්මලයි මමයි බොහොම අහිංසක විදිහට පොඩ්ඩක් සෙට් වෙනවා තමයි...... නැත්තං අපි පව් නේ....

      Delete
  6. මං දන්නවා අපේ නිවසට ලඟම "ගොඩ්ෆ්‍රීස්" එක තියෙන තැන නම්!
    At Nepean Squaire Shopping Centre
    http://www.godfreys.com.au/

    ReplyDelete
    Replies
    1. මොනා කියන්නද කියලයි මම කල්පනා කළේ.රසිකට මතක් වුනේ සුපර් මාකට් එකක්.

      Delete
  7. අවුරුදු තිහක් නොදැකපු එකාගේ ගෙදර ගියාම සාලේ තේ බිබී ඉන්නෙ හැලපය විතරක් වෙන්න ඇති. වෙන එකෙක් නම් ගෙදර පිටිපස්සටම ගිහිල්ල හායි, හූයි කියල යාලුවා හම්බවෙලා ගහක තියෙන මුට්ටියකුත් බාගෙන. අනික ගොඩ්ෆ්‍රි හැලපය සාලේ ඉන්න බව දැනගෙන කරන වැඩේ දාල ඇවිල්ල යාළුව පිලිගන්නේ නැත්තේ දෙන්න එක වගේ යාළුවො නිසා වෙන්න ඇති. අපිටමයි වෙන්නෙ මේවගේ කථා කියවන්න හැක්

    ReplyDelete
    Replies
    1. චැහ්... කොච්චර හොඳ යාලුවෙක් උනත් පොල් ලෙලි ගහන තැනකට එහෙම එකපාර යන්න හොඳ නෑ නේද?

      Delete
    2. ඒකත් ඇත්ත ගොඩ්ෆ්‍රිය හිතන්න ඇති ගෑණි සාලේ හැලපයත් එක්ක කයිය දෙනවෙලේ අල්ලපු ගෙදර නෝනගෙ පොල් ලෙලි ගහන්න. උඹ හරි. උඹ හරි. ඒවගේ වෙලාවල් වලට යන්න හොඳත් නැහැ වැඩේ දාල එන්නත් බැහැ.

      Delete
    3. අඩෝ ඉයන් කතෘ බාගේ ගෙවපන්..මමයි ඉස්සරවෙලාම කිව්වේ ගොඩ්ෆ්‍රියා අල්ලපු ගෙදර නෝනගෙ පොල් ලෙලි ගහනවා ඇති කියලා

      Delete
    4. බාගයක් ඇද්ද බං.

      Delete
    5. අල්ලපු ගෙදර පොල් ලෙලි ගහන එක මෙන්ඩගෙ පුරුද්දනෙ.

      Delete
    6. අත්දැකිම් වල වටිනාකම

      Delete
    7. මෙන්ඩ දැං කතෘ බාග ද ගහන්නෙ, ගල් අත්ඇරල ?

      Delete
    8. ඉයන් කියන දේවලට මම දැන් උත්තර දෙන්න කලබල වෙන්නෙ නෑ.ඊළඟ කොටසෙන් ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර ලැබේවි කියල මම හිතනවා.

      Delete
  8. හැලපේ හොඳ වෙලාවට අවුරුදු 30කට පස්සේ ගොඩ්ෆ්‍රිව හොයාගෙන ගියේ. ගොඩ්ෆ්‍රිගේ දුවගේ කොටහලු මගුලට එහෙම ගියානම් කෙල්ල එලියට එනකොට.. හපොයි ඒ ගැන නම් හිතන්නවත් බෑ....

    ReplyDelete
    Replies
    1. හොඳ වෙලාවට ඒ කොයි කාලෙද කියල අපි දැනගෙන හිටියෙ නෑ.

      Delete
  9. කෝ බං ගොඩ්පියා...

    ReplyDelete
    Replies
    1. ඔය ප්‍රශ්නෙ ඔය ආකාරයටම අටමා මීට ඉස්සරවෙලා ඇහුවා මතකද?

      Delete
  10. //තේ එකද තොල ගාමින් මම කල්පනා කළේ ගොඩ්ප්‍රි තාම නැත්තේ මන්ද යැයි කියාය// උදේම පොස්ට් එක දැක්කට කියවන්න උනේ තේ එක බොන ගමන්.. කොමෙන්ටෙක දාන්න තවත් පැය දෙකක් විතර ගියා.. අවුලක් නෑ ගොප්පියා තාම පිටිපස්සෙනේ..

    ReplyDelete
    Replies
    1. ඔව් තවම පිටිපස්සෙ ඉක්මනටම ඉස්සරහට ඒවි.

      Delete
  11. ඒකාලෙත් මුන්නේසරම් එක ලඟ තියෙන අල්ලපු කෝවිලේ සත්තු මැරුවැයි?

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් මොකද නැතුව ජයටම සත්තු මැරුවය කියලයි අහන්න ලැබුනෙ.

      Delete
  12. අහන්න දෙයක් නැහැ ගොඩ්ෆ්‍රියා හැලපෙගෙන් ණයට සල්ලි අරන් ඇති. ඌ මෙලහකට වැටෙන් පැනල දුවල හැංගිලා ඇති.

    ReplyDelete
    Replies
    1. ඕකෙ අනික් පැත්තත් වෙන්න බැරිද. හැලපයිය ‍ගොඩ්ප්‍රියගෙන් ගමේ ඉන්න කාලෙ ණයට ඉල්ලගෙන තියෙන විදියට මිනිහව හොයාගෙන ගියාම මට මෙච්චර දුර ඇවිල්ලවත් මේ යකාගෙන් බේරිලා ඉන්න විදියක් නෑනෙ කියල හිතල මිනිහ මගෑරිය වෙන්නත් පුලුවං.

      Delete
    2. මමත් හිතන්නේ ඒක වෙන්න තියෙන අවස්ථාව වැඩියි. හොඳ වෙලාවට හැලපෙ ලංකාවෙ නැත්තේ. නැත්නං මෙලහකටත් අපි ගුටි කාලා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
    4. ඉයන් උඔ අපිව හලලා කම්මලයා එක්ක අඩ්ඩක් ගැහැව්වා නේද? දෙක දෙක දාන්නෙ..

      Delete
    5. ඔය ප්‍රශ්න සියල්ලටම ඉක්මනටම පිළිතුරු ලැබේවි ඉයන්.

      Delete
    6. මෙන්ඩා,
      කම්මලයා ඉයන්ගේ යාලුවෙක්ය කියල මම හරියටම දැනගත්තෙ මෙයත් දෙක දෙක දාන්න ගත්තට පස්සෙයි.

      Delete
  13. //කතාවේ අවසානයට ළඟාවූනද අද ගොඩ්ප්‍රිව කරළියට ගෙනෙන්නට නොහැකි වන්නේ කතාව දිග වැඩිවන බැවින් මිසක වෙන කිසිම හේතුවක් නිසා නොවන බව....//

    හුටා ඒ වංගියෙ ගොඩ්ප්‍රියාව කරළියට ගේනවද? මං හිතුවෙ මැද සාලෙට කියලා. නත්තලට කලින්වත් ගේන්න බලන්න

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් කරළියට ගේන්නයි අදහස.නත්තල වෙන එකක් නෑ.

      Delete
  14. කළපු හුලං කාගෙන ගොඩ්ප්‍රියට බයේ ඔච්චර කාලයක් හිටියේ කෝමද ලමයෝ.. උඹේ ඔය ගෙඩ්ප්‍රායා නං හැමදාම බඩේ ඉන්න ලමෙක් වගේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. ඔව් බං අපි ඒ කාලෙ පොඩි උන් නොවැ.බඩේ ඉන්න ළමයිනුත් කවදාහරි එළියට එනව නේද?

      Delete
  15. ගොඩ්ප්‍රි නං හම්බවෙන්නෙ නෑ සම්මජ්ජාතියකට... එක්දහස් එක් පොස්ට් එකක් වෙනකල් අදින්නයි කල්පනාව.. කොහොම හරි කමක් නෑ.. වටේ පඳුරු ටික වත් තැලෙන එක මදැයි... එව්වත් හරි රහ එකේ අපට ගොඩ්ප්‍රිය ඕනෙම නෑ... නංගි පෙන්නල අක්ක දෙනව වගේ ගොඩ්ප්‍රි පෙන්නල හරි කමක් නෑ මේ විදියෙ රහ ලියවිලි ලියනව නං.. ජයවේවා...

    ReplyDelete
    Replies
    1. නෑ නෑ සජ්ජෝ.එහෙමම කියන්න එපා.ගොඩ්ප්‍රි එනවාමයි.ටිකක් පඳුරු තැලුනා තමයි ගණන් ගන්න එපා.

      Delete
  16. මොකද්ද බන් හැලපයියේ ඔය ගොඩ්ප්‍රි ගැනම ලිය ලිය ඉන්නේ නැතුව අරප්‍රේමලතාගේ කතාවත් ලියහන්කෝ

    ReplyDelete
    Replies
    1. කල්‍යාන මිත්‍ර සම්පන්තිය ලබන්න පින් කරන්න ඕන හැලපේ අයියේ. මිත්‍රයෙකුට කරන්න තියෙන යුතුකමක් මග හැරුනා කියන හැගීමෙන් මිදෙන්න හරි අමාරුයි. ගොඩප්‍රිය එලියට එන්න කලින් ගොඩප්‍රියගේ වයිපරේ හැරියාට කොස්සෙන් තලලා බොලා දෙන්නම එලියට දාවිද කියලත් මට හිතෙනවා ඔය දේසපාලනේ එකිනෙකට විරුද්ද පක්ෂ දෙකක් නිසා.

      Delete
    2. ඇනෝ,
      ප්‍රේමලතාගේ කතාවක් මගේ බ්ලොගේ ලිව්වය කියල මට මතක නෑනෙ බං.

      Delete
    3. අම්බලන්,
      අපි ඔක්කොටොම වගේ ඒ මිත්‍ර සම්පත්තිය දැනටත් ලැබිල තියෙනවා නේද ඇයි කල්‍යාණ මිත්‍ර.

      Delete
  17. මේකා පොදු අපේක්ෂකයා වගේ එකෙක්ද?

    ReplyDelete
    Replies
    1. පොදු අපේක්ෂකයත් කවද හරි එළියට ආව නොවැ.මෙයත් ඒ වගේ තමා.

      Delete
  18. ගොඩ්ප්‍රි කොයි වගේද කියලා කලිං පෝස්ට් එකේ මාළු ගේන්න ගිය ගමනිම්ම මට තේරුණා. ඒ වගේ බුවෙක් හොයාගෙන චාවකච්චේරියට උනත් යන්න අවුලක් නෑ හැලප අයියෙ. අපි බලමුකො ඊ ළග පාරවත් පොර මීට් වෙන්න...

    ReplyDelete
    Replies
    1. ඔව් බං.මගේ හිතේ තියෙන වේදනාව උඹ හරියටම තේරුම් ගත්තා බොහොම ස්තුතියි.ඊළඟට පොර හමුවෙන්න ලැබේවි.

      Delete
  19. ගොඩ්ප්‍රි හැලපයියාට වඩා සැහෙන්න වැඩිමහල් අයෙක් කියලායි.ඇයි ඉතින් පොඩි එකෙක් දිහා වගේනේ පොර හැලපයියා ගැන බලලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්.ඔහු මට වඩා සෑහෙන්න වැඩුමල් කෙනෙක් ඉතිං පොඩි එකෙක් වූ මා ගැන ඔහු බැලුවා.

      Delete
  20. අම්මපා ගොඩ්ෆ්‍රී ගුණතිලක ගැනවත් ද කියන්න හදන්නේ?

    ReplyDelete
    Replies
    1. ඊළඟ කොටසින් බලාගන්න ලැබේවි විචා.

      Delete
  21. ගොඩ්ෆ්‍රී මුණ ගැහෙන්නේ කවදද හැලප මාමේ :(

    ReplyDelete
    Replies
    1. බොහෝ දුරට ඊළඟ කොටසින් කියවන්නට ලැබේවි ශානු.

      Delete
  22. පිලිකන්නට ගියා ගියාමයි, හැලපයියත් තාම නෑ...

    ReplyDelete
    Replies
    1. හැලපයා ඉස්සරත් ගමේ පිළිකනු ගානේ ගිය එකෙක්.

      Delete
    2. මම පිළිකන්නට ගියා කියල කොතනද තිබ්බෙ සජ්ජෝ.

      Delete
    3. ඇනෝ,
      ඔව් බං අපි බොලා වගේ සර්ව පාරිශුද්ධ කහමලෙන් නාපු උන් නොවෙයිනෙ.ඔහෙ ආගිය අතේ ගියා.

      Delete
  23. දැන් නම් ගොඩ්ෆ්‍රියා හිටියත් එකයි නැතත් එකයි. පඳුරු තැලිල්ලට මං මනාපයි. ඒවාගේ තියෙන කතා ඔක්කොටොම වඩා රසවත්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක.ගොඩ්ප්‍රි එක්ක පඳුරු තැලිල්ලත් නිතැතින්ම එනවනෙ.

      Delete
  24. //ඒ ගමන ගියේ කොයි අවුරුද්දේ දැයි මට මතක තිබුණේ නැත මතක් කරගන්නට ක්‍රමයක්ද නැත දහ අතේ කල්පනා කළ මට එක් දෙයක් මතක්විය. ඒ දවස්වල ගොඩ්ප්‍රිලගේ අයියලගෙ ගෙදර තිබුණ රේඩියෝවෙන් තොර තෝංචියක් නැතුව ප්‍රචාරයවූ චිත්‍රපට ජිංගලයකි. එකල චිත්‍රපට වලට ප්‍රචාරය දෙන්නේ එහෙමය. ඊට පසුව ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ වර්ෂය සර්ච් කර අප පළමුවෙන්ම මුන්නේස්සරම් ගිය අවුරුද්ද කුමක්දැයි සොයා ගත්තෙමි.//නියම විදියට අතීතය මතක්කරන් ,
    අදත් අපිව වටේ යැවුවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං වෙන ක්‍රමයක් තිබ්බෙම නෑ.අදත් නෑ තමා නමුත් එනවා ඒ ගැන සැකක් ඇති කර ගන්න එපා.

      Delete
  25. මේ ගොඩ්ප්‍රිය එන එකෙක් නොවේ. මටත් යාළුවෙක් හිටිය හමුවෙන්න හිතන්. පොඩි ප්‍රශ්නයකුත් නිරාකරණය කර ගන්න කියල හිටියේ. නමුත් මාස කීපයකට කලින් ඔහු මැරුණා. ඊට පස්සේ හිතුවේ එහෙම වෙන්න කලින් හැම යාලුවෙකුටම කතා කරනව කියල.

    ReplyDelete
    Replies
    1. මාත් මුණ ගැහෙන්න හිටපු අය ගොඩක් දෙනා මට නොකියාම යන්න ගිහිං තිබුණේ මගේ හිතේ ශෝකයක් පමණක් ඉතුරු කරමිනුයි.නමුත් මේ පුද්ගලයා නම් එහෙම වුනේ නෑ මම කොහොම හරි අල්ලගත්තා.

      Delete
  26. පඳුරු තලිල්ලෙන් ඒ ඒ වකවානු වල තිබ්බ වැදගත් කරුණු කාරණා එළියට එන නිසා පඳුරු තලිල්ලට මම මනාපයි...
    මේක තව ටිකක් ඇදගෙන ගියත් මගේ අමනාපයක් නැහැ...
    උඩ අජිත් අයියට දීපු කමෙන්ට් එකෙන් තේරුණා කොහොමහරි ගොඩ්පි ව අල්ල ගත්තා කියන එක, ඒ නිසා තව ඇදුනට කමක් නැහැ...

    ReplyDelete
    Replies
    1. අර රවියා කියන්නැහේ ලබ්බ පොලේ ගැහුවා වගේ ඒක පාරටම කතාව අත අරින්නෙ නැතුව රවුමෙ යමින් කියන්නෙ ඔන්න ඔය කියන ඉතා වැදගත් කරුණු කාරනා අද ඊයෙ කොල්ලන් වන බොලාට කියා දෙන්නටත් එක්ක බව වටහාගන්නව නං හරිම සතුටුයි.දැන් ඉතිං ආයෙම අදින්න දෙයක් නැති තරම් ලබන සැරේ ඉවර කරමු.

      Delete
  27. කන්දක් විලි ලන්නෙ පොදු අපේක්ශකයා කරලියට ආපු හැටි නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මතක්වෙනවා.. හෙහ් හෙහ්..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. වදන්නේ මී පැටියෙක්ද කියල බලමු නේද? පොදු අපේක්ෂකයත් අන්තිමට ආවනෙ.

      Delete

ඔබේ අදහස්