Wednesday, December 30, 2015

නව වසර සහ බ්ලොග් අවකාශය



අවුරුද්ද අවසාන වී නව වසරක් ලබන්නට තව ඇත්තේ පැය ගණනකි.  මා විප්‍රවාසයේ ගෙවන සිව්වැනි වසර ක්‍රමයෙන් ගෙවී යමින් පවතී.  සිංහල සහ හින්දු අලුත් අවුරුදු හතරක්ද නත්තල් හතරක්ද ලංකාවේ ගෙවන්නට නොහැකි වුන බව මට මතක්වෙන්නේ දැන්ය.  මෙවැනි කාලසීමාවන්හි නොස්ටැල්ජියාව උපරිමයටම නගින්නේ ඒ දිනවලට සිතට දැනෙන පාළුවත් එක්කමය.   ඒ කාලයන්හි නොස්ටැල්ජික කතා ලියමින් පාළුව තනිකම මගහරවා ගන්නට යත්න දරමි.   කොහෙ හිටියත් ලංකාව වගේ නෑ කියා අපි කට්ටිය එකතු පහද වෙන තැන්වලදී කතාබස් කළත් ලංකාවට ගිහිං සතියක් ගතවෙන්නටත් පෙර ආපහු දුවගෙන එන්නට හිතෙන්නේ කුමක් නිසාදැයි මම නිතරම කල්පනා කරමි.   බොහෝවිට ඒ සාපේක්ෂව ලංකාවේ ජීවත්වීමට ඇති පහසුකම් මඳ බව වියයුතුය.   නමුත් අපි කතාකරන්නේ ලංකාවට පණ දෙන්න වගේය.   ඒ උනත් විදේශවල ජීවත්වෙමින් ඒ රටවල ඇති  පහසුකම් සියල්ලම අත්විඳිමින් ඒ රටවලටම පලු යන්නට බැන වදින ලාංකිකයන් මා දැක ඇත්තේ එක්කෙනෙක් දෙන්නෙක් නොවේ.  ලබන අවුරුද්දේ ස්ථිරවම ලංකාවේ පදිංචියට යන බව කියන බොහෝ දෙනෙක් ඊට අවුරුදු ගණනකට පසුවත් ඒ කතාවම කියමින්  ජොලියක් ගනිති  අපේ හැටි එහෙමය.

ඒ කාලයේ යුරෝපයේ ජීවත්වූ ද්‍රවිඩ ප්‍රජාව බොහොමයක් 2009 වනතුරු ජීවත්වුණේ මනසින් මවාගත් ඊළමකය.  ඔවුන් කිව්වේද ඊළම ලැබුන පසු ලංකාවට යන බවය.  එහෙම කියමින්ම ඊළමේ නියෝජිතයාට මාසිකව ගෙවිය යුතු මුදල ගෙව්වේ ටිකක් විතර කම්මැලිකමින් සහ හිතේ දුකකින්ය.  මොකද කිව්වොත් ඊළම කොච්චර උවමනා උනත් ගාන ගෙවන විට ටිකක් දුක හිතේ.  එහෙම උනත් ඇත්ත වශයෙන්ම ඊළම උවමනා උනේ විදේශවල සියලු පහසුකම් ඇතුව ජීවත්වෙමින් ජොලියට ඊලම ප්‍රමෝට් කරන උන්ට මිසක වන්නියේත් උතුරේත් එදා වේල ගැටගහගන්නේ  කොහොමද කියා දෙළෙහෙමින් හිටපු අහිංසක ද්‍රවිඩයන්ට නොවේ.  මට මේ ටික ලියවුනේ ඊළමට පණ දෙන්නට හෙවත් ඊලම වෙනුවෙන් මරාගෙන මැරෙන්නට හිටපු ගොන් ද්‍රවිඩ තරුණයන් රැළ දැන් කුමක් කරනවාද කියා මතක් වුන නිසාය.   යුරෝපීයන්ට දෙකට නැවීගෙන උන්ගේ අහත් පහත කරමින් ඉඳීම ලංකාවේ ජීවත්වනවාට වඩා නම්බුකාර යැයි උන් හිතනවා ඇත.   එක වතාවක් බ්‍රසල්ස්හි යුරෝපීය පාර්ලිමේන්තු ගොඩනැගිල්ල  අසළදී ඊළමට එරෙහිව මා සිදුකළ ක්‍රියාවකට උරණවී මාව මරාගෙන කන්නට හැදු ද්‍රවිඩ තරුණයන් කණ්ඩායම දැන් මොනවා කරනවා ඇත්දැයි මතක්වන විට සිනහ පහළවේ.  මම මෙහෙම කිව්වේ ජාතිවාදය කරපින්නා ගත් සිංහල  උනුත්  ද්‍රවිඩ උනුත් දෙගොල්ලන්ම එක මල්ලෙ පොල් වැනියයි හිතෙන්නේ උන්ගේ කතාවන් ක්‍රියාවන් දෑස්වලින්ම දැකගත් නිසාය.

වැඩිපුර ලියන්නට වෙලාව සොයාගැනීමේ අපහසුවකින් සිටියත් අවුරුද්දේ අවසාන පෝස්ටුව ලියා මගේ පාඨකයන්ට මෙන්ම බ්ලොග් අවකාශයේ සියලුම දෙනාටත් නව වසරට සුබ පතන්නේ නැතුව ඉන්නට කොහොමටවත් නොහැකිය.   මේ  වසර හිතාගන්නටත් බැරි තරම් වේගයෙන් අවසාන විය.   ඒත්  එක්කම අලුත් බ්ලොග් ලියන්නන් කීප දෙනෙක් පැමිණීම සිත සතුටු කරයි.  ඒ වගේම ලියමින් හිටි අය එක්වරටම සමුගැනීම සිතට ගෙන එන්නේ දුකකි.  මෑතකදීම පෝස්ටුවක් ලියමින් සමුගත් මධ්‍යස්ථ මතධාරියා ඉන් එකෙකි.   උගේ සමුගැනීම ගැන කීප තැනකම කතා බහ ඇතිවූ නිසා මම වැඩිදුර යමක් නොකිව්වත් මධ්‍යස්ථ මතධාරියා කියන නමට අනන්‍ය වීම සඳහා ඔහු  පහුගිය කාලය පුරාම සෑහෙන අරගලයක යෙදී සිටියේය.  මන්ද කිවහොත් ඔහු ලියු පෝස්ටු සහ කමෙන්ට් වලින් පෙනීගියේ මධ්‍යස්ථ බවක් නොව අන්තවාදී බවක්ය.   කෙසේ වුවත් සංවාදයකට එළඹීමට සහ දීර්ඝ කමෙන්ට් ලිවීමට ඔහු දැක්වූ සමත්කම අගය කළ යුතුය.   මට නම් ඇත්තටම එපමණ දිග කමෙන්ට් ලියන්නට කම්මැලිය.  කෙසේවුවද විවේකය ලැබුණු විට හෝ ඔහු නැවත ලිවීමට එන්නේ නම් අප සතුටුය.

ඉතිං අවසාන වශයෙන් බ්ලොග් අවකාශයේ සැරිසරන ලියන්නන් ලියන්නියන් කියවන්නන් කියවන්නියන් කමෙන්ට් කරන්නන් කරන්නියන් සෑම සියලු දෙනාටම ලබන්නාවූ 2016 වසර ප්‍රීතිය සතුට සමගිය සමාදානය පිරි සිතුම් පැතුම් ඉටුවන බත බුලතින් සරු වැඩි වැඩියෙන් පෝස්ට් කමෙන්ට් ලියැවෙන ජාතිවාදය පිටුදකින සුබම සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරන්නේ හැලපයා වන මාත් හැලපිත්  හැලපැට්ටාත්ය ෴

Monday, December 21, 2015

කෙසෙල් බිං කිරීම හෙවත් පරණ කතාවක්.

අද ලියන්නට යන කතාව කිසිසේත්ම ලියන්නට හිතාගෙන හිටියකතාවක් නෙවෙයි අහම්බෙන් හිතේ ගොඩනැගුනු කතාවක්.  කතාව හිතේ ගොඩනැගෙන්න මුල්වුනේ සුරංගගෙ මෙන්න මේ පෝස්ටුවත් ඒකට අපේ චෙපාකි ලියපු කමෙන්ටුවත් කියන එක මුලින්ම කියන්නට උවමනායි.  සුරංග කියල තිබ්බෙ කොටහලු මගුලකට කෙසෙල්කැන් බිං කිරීම ගැනයි ඒ ගැන  වැටුණු කමෙන්ට්  දිගින් දිගට විකාශනය වෙද්දි මගේ අතීත මතක අද ඊයෙ සිද්ද වෙච්ච දේවල් වගේ පණ ගහල එන්නට ගත්තා.  ඒ මදිවට චෙපාකි කියපු දේවලින් මගෙ නොස්ටැල්ජියාව උපරිමයටම ගමන් ගත්තා.  ඒ කතාවලින් උත්තේජනය ලබපු මම එකවරම ලියන්නට පටන්ගත්තා.  ඉතිං ඔන්න මම කතාවට මුල්වුන වස්තු බීජය මොකක්ද කියල මුලින්ම කියල දැම්මා.

ඉදවන කෙසෙල්කැන් ප්‍රමාණය තීරණය වෙන්නෙ උත්සවයේ වැදගත්කම අනුවනෙ.  මඟුල් ගෙයක් නම් කෙසෙල් කැන් හත අටක්ම ඉදවන්නට ඕනෑ.   ඔන්න කොටහලු මඟුලක් දානයක් වගේ දෙයකට  කැන් දෙක තුනක් ඉදෝගත්ත නං හොඳටම ඇති.  අද වගේ කෘත්‍රිම ක්‍රමවලින් කෙසෙල් ඉදවන එක අහලවත් තිබුනෙ නැති ඒ කාලෙ කෙසෙල් කැන් ශීඝ්‍රගාමීව ඉදවන එකම ක්‍රමය වුනේ කෙසෙල් බිං කිරීම හෙවත් දුම්ගසා ඉදවීමයි.    අද නං කෙසෙල්වලට කාබයිට් ගහනව කියයි හෝමෝන එන්නත් කරනව කියයි කොහොම හරි කඩේ එල්ලල තියෙන කැනේ මුල ඇවරියෙ ඉඳන් අග මල් ඇවරියට යනකං එකලෙසටම කහඅත්තට ඉදිලා තියෙනව දකින්නට ලැබෙනවා.  නමුත් ස්වභාවික විදියට ඉදෙනවා නම් මුල් ඇවරියේ ඉඳන් ක්‍රම ක්‍රමයෙන් ඉදෙමින් ඉහළට යන්න එපැයි.   ඔය දෙවිදියේ වෙනසෙන් කෙසෙල්කැන ස්වභාවිකව ඉදුණ එකක්ද නැද්ද කියල ලේසියෙන්ම සොයාගන්නට පුළුවනි.  ටවුමෙ කඩවල නම් තියෙන්නෙම කාබයිට් හෝ හෝමෝන ගහල ඉදවපුවා.   හොඳට හොයන්නට පුළුවනි කෙසෙල් ගෙඩිය ලෙලි ගහපුවම තද පාටට පොඩි පණුවො වගේ ඉරි ඉරි ගෙඩියෙ තියෙනවා.   බිරිඳගේ මල්ලිගෙ කෙසෙල් කොටුවට වෙළෙන්දෝ පෝලිමේ එන්න ගන්නෙ දෙසැම්බර්වල මේ වගේ අවුරුද්දක් අවසානයේ නත්තල් සහ අලුත් අවුරුද්ද ලබද්දී සහ අප්‍රේල් මාසෙ සිංහල අලුත් අවුරුද්ද ලබන්න ලංවෙද්දියි.   ඒ මිනිස්සු කියන්නෙම කෙසෙල් කැන පැහුනේ නැතිවට කමක් නැතිය කැනේ ගෙඩි සම්පුර්ණ වෙලා තියෙනවනං හොඳටම ඇතිය කියලයි.    තියෙන තරමක් කෙසෙල්කැන් අත්පිට මුදල් දීල අරගෙන යනවා.  ඉදවන ක්‍රමය අපට හිතාගන්නට පුළුවන් නොවැ.  නත්තලට ජනේරුවට සහ සිංහල අලුත් අවුරුද්දට අපි කඩවලින් ගෙදර ගෙනියන්නෙ ඔන්න ඔය ආකාරයට ඉදවපු කෙසෙල් ඇවරි කියන එක අපිම දන්නෙ නෑ.

කෙසෙල් බිංකිරීම ගැන කීප දෙනෙක්ම අදහස් දක්වල තිබ්බත් ඒ හැම දෙනාම කී දේවල වෙනස තිබුණේ කෙසෙල් ඉදවන්නට පාවිච්චි කරන කොළ වර්ගවල පමණයි.  අපි හැමදාම කෙසෙල් බිං කෙරුවෙ දර මඩුවෙ කොටසකයි.   ඒ මොකද කියනවනං එතන බිං කරපුවම වැස්සක් වැස්සත් වල තෙමෙන්නෙ නැති නිසා වෙන්න ඇති.  අලුත් අවුරුදු කාලෙට එහෙම නැත්නං දානෙකදී වගේ තාත්තා දර මඩුවෙ වලක් කපල බිං කිරීම ආරම්භ කරන්නට සුදානම් වෙද්දි උදව් කරන්න ඇවිත් වගේ අපිත් වටවෙලා බලාගෙන ඉන්නවා.හැබැයි අපෙන් සිද්දවෙන්නෙ උදව්වකට වැඩිය කරදරයක් උනත් තාත්තා ඒක එච්චරට මායිං නොකර තමන් කරන වැඩේ කරගෙන යනවා.  ඉදවන්න තියෙන කෙසෙල්කැන් ප්‍රමාණයට හරියන්න වලක් කපල ඉවරකරන තාත්තා පිදුරු මඩුවෙන් පිදුරු මිටියක් ගෙනත් වලට දාල ගිණි තියන අතරම කඩා ගෙනැත් තියෙන බිලිං කොළයි ගම්මිරිස් කොළයි ගින්න නිවීගෙන එද්දි දානවා.  දැන් වලේ පදම හරි ඊට පස්සෙ තියෙන්නෙ කෙසෙල් කැන් ටික වලේ තැන්පත් කරල වල වහල දාන එකයි.  කෙසෙල් කැන් තැන්පත් කරන්නත් හැම කෙනාටම දෙන්නෙ නෑ ඊට සුදුසු කෙසෙල් ඉදෙන අයකුගෙ අතින් කෙසෙල්කැන් වලේ තියන්න ඕනෑ.  මඟුල් තුලා වලට කැවුම් බදිද්දීත් ඔහොමනෙ තාච්චියට තෙල් දාන්නෙ වැඩිපුර තෙල් පිච්ච්න්නේ නැති කෙනෙකුගෙ අතිනුයි.   

කබල් ලෑලි කෑලි දෙකතුනක් වල උඩින් තියල ඊට උඩින් පරණ ඉටි කොලයක් එලල පස් දාන්නෙ වල පැත්තකින් හිල් පොල්කට්ටකුත් තියමිනුයි.  ඒ දුම් පිඹින්න තියන හිඩැස අනික් කිසිම තැනකින් දුම් පිටවෙන්න බෑ.   කුස්සියෙන් ගිණි අඟුරු ටිකක් අරං ඇවිත් පිදුරු උඩට තියල පොල්කට්ටට දාල කොළපතකින් දුම් ගහන්නෙ වල ඇතුළට යන්නටයි.   ඊට පස්සෙ වලේ තැනින් තැනින් පස් පසාරු කරගෙන දුම් උඩට එනකොට බලං ඉන්න අපට හරි සතුටුයි.   ඒ වුනාට වහාම ඒ තැන් පස් දාල දුම් පිටවෙන්නෙ නැති විදියට මකනවා.   නැත්නං ඇතුළට යන දුම් ටික ඔක්කොම තැනින් තැනින් කාන්දුවෙලා ගියාම කෙසෙල් ඉදෙන්නෙ නෑනෙ.   හොඳටම දුම් පාර ඇතුළට වැදුනයි කියල සෑහීමකට පත්වුනාම දුම් ගැහිල්ල නවත්තල දුම් ගහපු පොල්කට්ටත් හොඳට වහල දානවා.   ඔන්න ඔය ආකාරයට වරු තුනක් හෝ හතරක් දුම් ගැහුවයින් පස්සෙ දැන් කෙසෙල්කැන් ගොඩගන්න හොඳ වෙලාව කියල කල්පනා කරන තාත්තා කෙසෙල් වල ගොඩ දානවා.   ඔය වෙලාවට නං මම එතනටම වෙලා ඉන්නෙ තැම්බිච්ච බිලිං කොළවලිනුයි ගම්මිරිස් කොළවලිනුයි හමන සුමිහිරි සුගන්ධය නහයට උරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙනුයි.  

බොහොම ප්‍රවේශමෙන් ගොඩගන්න ලාවට කහ පෑ වෙච්ච කෙසෙල්කැන් ටික එතැනම තියෙන ළිඳ ලඟට අරං ගිහිං හොඳට නාවල ගෙට ගෙනියනවා.   කෙසෙල් කැන් හෝදනවට නාවනවා කියන්නෙ මොකද කියල මම තාම දන්නෙ නෑ නමුත් කතාවට කියන්නෙ එහෙමයි.  ගෙනිහින් ඇවරි කපල හරි නිකම්ම හරි දුමේ තැන්පත් කරල තිබ්බම පහුවදාට කහඅත්තට බබලන කෙසෙල් ඇවරි දැකගන්නට පුළුවනි.   පහුගිය සැරේ අපේ අම්මගෙ දානෙ වෙලාවෙ මමත් ඔයවගේ හොඳට ඉදුණු කෙසෙල් කැන් දෙකක් කට්ටිය රෑට කන තැන එල්ලල තිබ්බෙ කෑම කාල ඉවරවුන අයට අතුරුපසක් වශයෙන් කඩාගෙන කන්නටයි.   නමුත් ඉවරවුනේ එක කෙසෙල් කැනකිනුත් බාගයයි.   කවුරුත් වගේ කෙසෙල් දිහාව නොබලම උනන්දු උනේ අයිස්ක්‍රීම් කන්නටයි.   කාලය මැව් වෙනස එහෙම තමයි෴

Sunday, December 13, 2015

ගොඩ්ප්‍රි හමුවීම සහ කඩවුන බලාපොරොත්තුව.


ඉවරයක් නැති බලා ඉඳීම අවසානයේ සාලයේ දොර රෙද්ද මෑත් කරගෙන කුස්සිය පැත්තෙන් කෙනෙක් මතුවිය.  මේ ගොඩ්ප්‍රිද? මම මොහොතක් කල්පනා කළෙමි.  මතුවුන පුද්ගලයා ඇඳ සිටියේ පොඩි කොටු කොටු කොට කලිසමකි උඩට ලොකු කොටු කමිසයක් ඇඳ සිටියේය.  දෙකම පරණ ඇඳුම් වීම නිසා ඔහු මොකක් හෝ වැඩක් කරමින් සිට පැමිණි බව පෙනිණි.  උස නම් ගොඩ්ප්‍රිගේ උසමය මුහුණද ශරීරයද වැහැරී තිබුණ අතර කකුල් දෙකේම සුවවූ දරුණු තුවාල කැළැල් දකින්නට විය.   ගෙදරට පැමිණි අමුත්තන් සමග කතාකරන්නට නොහැකි නම් අඩුතරමින් සිනාසෙන්නට වත් කරදර නොවූ ඔහු අප ඉදිරිපිට සිටගෙන හිස් බැල්මකින් අපදෙස බලා සිටියේය.   බොහෝ වෙලාවක් ඉතා තීක්ෂණ විදියට ඔහුව නිරීක්ෂණය කිරීමෙන් පසු මේ ගොඩ්ප්‍රීම යැයි මම තීරණය කළෙමි.  හිටගෙනම හිටිය ඔහුට වාඩිවෙන්නට කියා එතැනින්ම වාඩිකරවූයෙමු.  මම එදා කැමරාව ගෙනගොසින් තිබුණේ නැති වුනත් අතේ තිබ්බ පෝන් එකෙන් ගොඩ්ප්‍රිගේ පිංතුර දෙකක් ගත්තේ ආයෙම ගොඩ්ප්‍රිව මුණගැසීම සැක සහිත නිසාවෙනි.  මා මේ ලියන්නේද ඔහුගේ පිංතුරය විටින් විට බලමින් මතකය සහ හැඩහුරුකම් අලුත් කර ගනිමිනි.

ගොඩ්ප්‍රිගේ බිරිඳට අමතරව හැරී අයියාද අපේ වගතුග ඔහුට කීවිට ඔහු ගත්කටටම කිව්වේ අපි කවුරුවත් මතක නැතැයි කියාය.    අපේ ගමේ හිටියා මතකද කියා ඉන්පසුව ඇසු විට මතකයි කීවේය.   ඔහුගේ මතකය පාදාගන්නට තවත් බොහෝ දේවල් ඇහුවත් සියල්ලටම මතක නෑ කියා ඔහු උත්තර දුන්නේය.  ගොඩ්ප්‍රිට මක්වෙලාද කියා අපි ඔහුගේ බිරිඳගෙන් ඇසුවිට ඇය කීවේ ඔහු ඒ ගමට ආ පසුව යාළුවන් සමග එකතුවී දැඩි ලෙස බීමට ඇබ්බැහි වුන බවයි.   කකුල්වල ඇති විශාල තුවාල කැළැල් බීමත්ව මෝටර් සයිකලය පැදීමේදී සිදුවූ අනතුරු බව කී ඇය අන්තිමේදී ඔහුට දරුණු ආඝාත තත්වයක් ඇතිවී නොමැරී බේරාගත්තේ බොහෝ අසීරුවෙන් බව කීවාය.  ආඝාත තත්වයේ ප්‍රතිපලයක් ලෙස ඔහුගේ මතකය මැකී ගිහින්ය.   ඒ කාලයේ රහමෙර තබා සිගරැට් එකක්වත් ඉරුවේ නැතිව  පොඩි කොල්ලන් වූ අපට ආදර්ශයක් ලෙස සිටි හැඩිදැඩි තරුණයෙක් වූ ගොඩ්ප්‍රිට සිදුවී ඇති විපත ගැන මට දුකක් මෙන්ම කේන්තියක්ද ඇතිවිය.  දුක හිතුනේ අගේට හිටපු ගොඩ්ප්‍රිට වෙච්ච දේ ගැනය.  කේන්තිය ඇතිවුනේ අපි මෙච්චර පෙරුම් පුරා ආපු ගමන පලක් නැතිවුන එක ගැනය.  ගොඩ්ප්‍රිලගෙ හලාවත ගෙදර අය ගැන මම ඇසු ප්‍රශ්න ඔක්කොටොම උත්තර දුන්නේ ගොඩ්ප්‍රිගේ බිරිඳය.  එපමණක් නොව අපේ ගමෙන් පිටවූ පසු ගොඩ්ප්‍රි ගෙවූ ජීවිතය ගැනද ඇය විස්තර කළාය.  අපේ කතා සියල්ලම හිස් බැල්මක් හෙලාගෙන ගොඩ්ප්‍රි අසා සිටියේ අපි ඔහු ගැන නොව වෙන කෙනෙක් ගැන කතා කරන ගානටය.   මම ගොඩ්ප්‍රිගෙන් අහන අහන ප්‍රශ්නයට ඔහුගේ බිරිඳ පිළිතුරු දෙයි.   ගොඩ්ප්‍රිගෙන් මළාට වචනයක් කතාකරවා ගන්නට බැරිය හැමදේටම ඔහු කියන එකම වචනය මතක නෑ කියන එකය.

හරක් අඟකින් කිරි දොවන්නට උත්සාහ කරනවා වැනි පලකට නැති මේ කාරිය ගැන අන්තයටම කලකිරුණු අපි කතාවුනේ ආපහු යන්නටය.  අපි යන්නට නැගිටින විට ගොඩ්ප්‍රි බිරිඳගෙන් ඇහුවේ මේ අය කවුරුද කියාය.  එවිට ඇය ගමේ සහ අපේ විස්තර ආයෙමත් ගොඩ්ප්‍රිට කීවාය.   ඒ වනචිට ගොඩ්ප්‍රිත් අපි කවුදැයි හිතන්නට උත්සාහ කරමින් ඉන්නට ඇත.  ඒ නිසාදෝ ඔහු මුලින්ම පෝස්ට් මිස්ට්‍රස් ඉන්නවාදැයි ඇහුවේය.  ගොඩ්ප්‍රිගේ මතකය යම් පමණකට පණගසාගෙන එන බව පෙනුණි.  පෝස්ට් මිස්ට්‍රස් කිව්වේ හැරී අයියාගේ අක්කාය ඇය උප තැපැල් ස්ථානාධිපතිනියකි.  ගොඩ්ප්‍රිගේ නංගී ඔවුන්ට නොගැලපෙන කොල්ලෙක් එක්ක හාදකම් පවත්වන්නටද රවුම් ගහන්නටද පටන් ගත්විට ඇය ඒකෙන් මුදවා ගන්නට ගොඩ්ප්‍රි නංගීව අපේ ගමට ගෙනත් පෝස්ට් මිස්ට්‍රස් වූ හැරී අයියාගේ අක්කා ළඟ නැවැත්වීය.   ඒ වුනත් කවුරුවත් කියන දේ නාහන හිතුවක්කාරියක් වූ කෙල්ල කොහොම හරි ඒ කොල්ලා එක්කම දීග ගිහිං පස්සෙ කාලෙක කසාදෙත් කඩාකප්පල් කරගෙන දැන් ආගිය අතක් නැතැයි ගොඩ්ප්‍රිගේ බිරිඳ කීවාය.  

අපට කටට රසට කන්නට උයාදුන් ගොඩ්ප්‍රිලගෙ අම්මා බොහෝ කළකට පෙර දෙව්මව් තුරුළට ගොසින්ය.  අයියාත් මල්ලීත් හලාවතම පදිංචි වී හිටියත් කළපුව අයිනේ තිබුණ මහගෙදරත් වත්තත් විකුණා දමලාය.   මට මතක්වුනේ මීට අවුරුදු විසි ගණනකට ඉස්සර මම හලාවත ගිය ගමනකි.   ඒ නවසිය අනූ ගණන්වල මුලදීය ඒ කාළයේ දෙසතියේ වැඩකළ මම හලාවතට රාජකාරි ගමනක් ගිය දවසක ගොඩ්ප්‍රිලගේ ගෙදර හොයාගන්නට ලොකු උත්සාහයක් ගත්තෙමි.   එදා මම ගොඩ්ප්‍රිලගෙ ගෙවල් තිබුනු හරිය හෝදිසි කළත් අයුරක් හොයාගන්නට බැරිවිය.   හලාවත ටවුම මැදින් යද්දී මට හිතුනේ නගරය කොයි තරම් වෙනස්වෙලාද කියලාය.  ඉස්සර ටවුමේ ලස්සනට තීන්ත ගාපු බක්කි කරත්ත පේළියක් තිබුණේ කුලී දුවන්නටය.  ගොඩ්ප්‍රිලගෙ අම්මා එහෙම මුන්නේස්සරම් ගියේ මෙන්න මේ කුලී බක්කිවලිනි.   එහෙම බක්කි කරත්ත මම ආයෙම දැක තියෙන්නේ මාතර ඉස්ටේසම ඉදිරිපිටය.  ඉස්ටේසමේ සිට ටවුමට යන මගීහු මෙම බක්කිවලින් ගමන් පහසුව ලබා ගත්තෝය.   මාතර බක්කි කරත්ත මම දැක්කේ නවසිය අසු ගණන්වල මැද හරියේ අක්කා කෙල්ලත් එක්ක වලස්මුල්ලේ යන්නට කෝච්චියේ මාතර ගිය දවසකය.   ඒ බක්කි කරත්ත අදටත් මාතර තියේදැයි මම නොදන්නේ ඊට පසුව මට කෝච්චියෙන් මාතරට යන්නට නොලැබුණු නිසාය.  අක්කා කෙල්ලගේ අක්කා වලස්මුල්ලට දීග ගිහිං සිටියාය අපි ගියේ ඇයව බලන්නටය.  වලස්මුල්ලේ හිටපු දවස් දෙකතුනේ කාපු මීකිරිවල රස තවම දැනේ ඒ අප නිසාම ගෙදරකට කියා හදවාගත් මුදවපු කිරි සහ මා ජීවිතයේදී දෙවෙනි වතාවට කාපු හොඳම මීකිරිය.   පළවෙනි වතාවට ඒ වගේ පාරට්ටු මීකිරි ටිකක් කෑවේ අපේ ලොකුඅම්මගේ පොඩි දුව හෙවත් චූටි අක්කා අසූ ගණන්වල මුල භාගයේ මාතර යටියනට දීග ගියපු වෙලේ කැන්දාගෙන යද්දි ගමනට යටියන ගිය දවසේය.  එදා මඟුල් මේසයේ දෙපැත්තේ විශාල මුදවපු කිරි කළ දෙකක් තබා තිබුණේ අවශ්‍ය කෙනෙකුට ඇති තරමකට කන්නටය.   ඒවානම් අතිශය ස්වභාවික ඉහළ ප්‍රමිතියකින් යුත් කිරි වුවද දැන්නම් පාර අයිනේ තියාගෙන විකුණන මීකිරි හට්ටිවලට නරක්වෙනවට පෝමලින්ද දමන බව මෑතකදී මට අහන්නට ලැබුණි.

අපේ ටවුමේත් වෑන් එකක ගෙනැත් තියාගෙන අලුත්ම අලුත් මීකිරි කියා කිරි විකුණයි.  දවසක්දා මම ඒ වෑන් එකෙන් කිරි හට්ටියක් අරගෙන පොඩි මහින්දලගෙ අම්මගේ දානෙ ගෙදර ගියෙමි.   දානෙ වැළඳීමෙන් පසුව අතුරුපසට කිරි බෙදන්නට ගිහිං කිරි හැන්දක් ගත්ත ගමන් ඉතුරු කිරි ටික ඒ හිස්තැනට කඩා වැටුණේ බදුල්ල පැත්තේ පස්කඳු රේල්පාරට කඩා වැටෙන්නා සේය.  විළි ලැජ්ජාවෙ මගේ ඉහේ උකුණන් බිමට පැන්නේ නැති ටික විතරය.   පස්සෙ හෝදිසි කර බලද්දී ඒ මීකිරි හදන්නේ බාල පිටිකිරි වගයක් දියකර ගැනීමෙන් පසු ජෙලටින් දමා  සෙට් කර මුදවා ගැනීමෙනි.   ඊට පසුව නම් මම කිරි  වෑන් එක තියෙන පැත්ත පළාත නොබැලුවත් ඒ වෑන් එක අදටත් කිසිම අතුරු ආන්තරාවක් නැතිව අපේ ටවුමේ කිරි විකුණයි.    වස විස නැතැයි හිත හදාගෙන කන්නට හැකි මුදවපු කිරි විකුණන ගොවිපොළක් බිරිඳගේ ගෙදර යනකොට හමුවේ.  ඒ ගොවිපොළේ දවසකට හදන සීමිත කිරි හට්ටි ටික උදේම විකිණී අවසන්වෙයි  ගන්නවා නම් උදෙන්ම ගිහිං ගන්නට සිදුවේ.    මම බිරිඳගේ ගෙදර යන හැම දවසකම පාහේ මේ කියන ගොවිපොළේ නැවතී කිරි මිලදී අරගෙන යමි.  බිරිඳගේ මහගෙදර වත්තේ එළිමහනේ සරුසාර නෙරළු තුරු යට හීල් හෙවනේ  බ්ලොග්කරුවන්ගේ සාදයක් පවත්වන්නට අවස්ථාවක් ලැබේනම් කදිම යයි මම නිතරම කල්පනා කරමි.   ඒ වත්තේ මඤ්ඤොක්කාද කෙසෙල්ද අන්නාසිද ඕඩිහෙලේට වැවී තිබුණි.  පේරද ගස්ලබුද  දෙහිද  මට දකින්නට ලැබුණේ පහුගිය දවස්වල බිරිඳගේ අම්මාගේ දානයට ගිය වේලාවේය.   දැන් තත්ත්වය නම් කෙසේදැයි නොදනිමි . තත්ත්වය කෙසේ වුවත් එළිමහනේ අවශ්‍ය නම් පිනුම් ගහන්නටද ඇතිතරම් ඉඩකඩ තියෙන ලොකේෂන් එක පළමුව පෙන්විය යුත්තේ අටමාටය.  ඉන්පසුව ඌ මට ඉතුරු හරිය කරදෙනු ඇත.

රවුම ගිහිං ඉවරවී ආයෙමත් ගොඩ්ප්‍රිලගෙ ගෙදරට ආවොත් ගොඩ්ප්‍රිගේ බිරිඳත් අපත් බොහෝ උත්සාහ ගත්තේ ගොඩ්ප්‍රිගේ මතකය ටිකක් හෝ පාදා ගන්නටය.   නමුත් අපේ උත්සාහයෙන් කිසිම පලක් නොවීය.   එද්දි මම සිහින කීපයක් දකිමින් ආවෙමි ඒ හීන නම් ගොඩ්ප්‍රි හමුවුණොත් ඔහුව අපේ ගමට එක්කරගෙන එන්නටත් දවසක් දාගෙන ඔහු  සමග හලාවත ඉස්සර අප ගියපු තැන් බලන්නට යන්නටත්ය.   එහෙම කරන ඒක මා ඉතා ප්‍රියකරන විනෝදාංශයකි.  නමුත් දැන් ගොඩ්ප්‍රි ඉන්නා තත්ත්වය අනුව ඒ හැම දෙයක්ම සිහිනයක්ම බවට පත්වී තිබේ.   ගොඩ්ප්‍රි තාමත් හිස් බැල්මෙන් අපදෙස බලාගෙන ඉන්නේ මගේ වැඩ පාලු කරන්නට ආව මේ අපතයන් කවුරුදැයි කියා වෙන්නට ඇත.  අන්තිමට අප එන්නට පිටත්වී සමුගත්විට ගොඩ්ප්‍රි මගෙන් ඇහුවේ ගම කොහෙද කියාය මම ගම කියුවිට ඔහු මගේ නම කියා තාම ඉන්නවද කියා ඇහුවේ අවසානයේදී හෝ මගේ හිත සතුටට පත්කරමිනි.   හැරී අයියා මාව පෙන්නා කිව්වේ ඒ මා බවයි.  ඉන් එහාට ඔහුගෙන් ප්‍රතිචාරයක් නොවීය.   හිත සැහැල්ලු කරගන්නට ගිය ගමනෙන් මට සිදුවුනේ තිබුණාටත් වඩා වැඩි බරක් හිත තුළ පොදිගහගෙන ගෙන ආපහු එන්නටය.

අප ආපසු ආවේ දැඩි නිහඬතාවක් මැදය.  කල්පනාවේ නිමග්න වී  සිටි මට හැරී අයියා කිව්වේ ගොඩ්ප්‍රි දැන් ඉන්න තත්ත්වය අනුව අපේ ගමට එක්ක ආවත් වැඩක් නැති බවය.   හැරී අයියා නොකිව්වත් ඊට පෙරම මට එය කල්පනාවිය.    ගොඩ්ප්‍රිට පලදී ඇති කරුමය මගේ සිත දැඩි  කම්ප නයකට  පත්කර තිබුණි.  සිදුවූ අනපේක්‍ෂිත සිද්ධියෙන් හිත දෙදරා ගොස් අයිනකට වී බුම්මාගෙන සිටි  මගේ හිත හදන්නට හැරී අයියා බොහෝ දේවල් කීවේය.  මැරිලා නම් මළා කියා හිත හදාගන්නට පුළුවන්ය.   නමුත් දැන් ඉන්නේ පණපිටින් ඉන්න  ලී කොට කෑල්ලක් වුන කොට මොන විදියකට හිත හදාගන්නද.  මම හැරී  අයියාට කිව්වේ ගොඩ්ප්‍රි දැන් ඉන්න තත්ත්වය නිසාම අපි ඔහු ගැන බැලිය යුතු බවයි.  මම නැති කාලයේ පුළුවන්නම් එක සැරයක් හෝ ඇවිත් ගොඩ්ප්‍රිව බලන්න යැයි මම ඔහුට කිව්වත් ගෙදර කරදරත් එක්ක ඔහුට එය ලේසි කටයුත්තක් නොවෙන බවද මම දැන සිටියෙමි.  කොහොම උනත් මට ගොඩ්ප්‍රිව ආයෙම හමුවෙන්නට තව කොයි කාලයක් ගතවේදැයි කාට කියන්නට පුළුවන්ද෴

Sunday, December 6, 2015

ගොඩ්ප්‍රි හමුවීම මුන්නේස්සරම් සහ සන්තන්තෝනි මංගල්ලය.


අපේ ගමට පැමිණ නවාතැන් ගත් ගොඩ්ප්‍රීත් සමග ඔහුගේ හලාවත යහළුවන් කණ්ඩායමක්ම ඇවිත් ගොඩ්ප්‍රි හිටපු ගෙදරම ලැගුම් ගත්තත් මාස කීපයක් ගතවනවිට එකා දෙන්නා වෙන වෙන වඩා හොඳ තැන් අල්ලා ගැනීම නිසාවෙන් ගොඩ්ප්‍රි කාමරයේ තනිවිය.  ඒත් ඔහු කාමරය මාරු කරන්නට බැලුවේ නැත ඒ වෙනුවට ගොඩ්ප්‍රි තම කාමරයට තවත් යහළුවෙක් අරං ආවේය.  ගොඩ්ප්‍රිගේ සද්ධිවිහාරිකයා හෙවත් කාමර සගයා දැදිගම පළාතේ එකෙකි.  හලාවත සැට් එකේ ඔක්කොම පාහේ හොඳ පාපන්දු ක්‍රීඩකයන් වුවත් ගොඩ්ප්‍රි ක්‍රීඩාවට කැමැත්තක් දැක්වුයේ නැත.  ඔහු වඩාත් කැමති වුනේ ලලනාවන්ටය.   ඔහුගේ මේ ලලනා ලැදිකම හේතුවෙන් මට සිදුවූ අකරතැබ්බයකුත් ඇත.

ඒ අවුරුද්දේ ගොඩ්ප්‍රිත් මාත් සමග හලාවත යන්නට ඔහුගේ කාමර සගයාත් එකතුවිය.   අපේ හලාවත ගමනේ මුලික අරමුණ වුයේ මුන්නේස්සරම දේවාලයේ මංගල්ලයට සහභාගී වීමයි.  ඊට අමතරව ගොඩ්ප්‍රිට තවත් වගකීමක් විය.   ඔහු අබේලගේ මුළු පවුලටම තමන්ගෙ අනුග්‍රහයෙන් මුන්නේස්සරම මංගල්ලයට සහභාගී වීමට ආරාධනා කර තිබුණි.  රජයේ මුද්‍රණාලයේ සේවය කළ අබේලගේ තාත්තා සිය පවුල සමග සෑම අවුරුද්දකටම සැරයක් ඔහුට නොමිලේ ලැබෙන ගමන් බලපත්‍ර උපයෝගී කරගෙන විනෝද හෝ වන්දනා ගමනක් යයි.  ඉතිං ගොඩ්ප්‍රිගේ ආරාධනාව හේතුවෙන් අබේලගේ තාත්තා  ඒ අවුරුද්දේ ගමන මුන්නේස්සරම් යන්නට යොදා ගත්තේය.   අබේලාගේ පවුල හලාවතට එන්නට දවසකට කළින් අපි තුන්දෙනා සුපුරුදු පරිදි බස් එකේ හලාවත ගියෙමු.  අබේලා පහුවදා හලාවත එන්නේ කෝච්චියේය බස් එකේ හලාවතට යන්නට පැය තුනක් පමණ ගතවුවද කෝච්චියේ රාගමට ගිහිං ආයෙම පුත්තලම් කෝච්චියෙ නැගී හලාවතට එන්නට දවසක්ම ගතවේ.  නිදහස් ගමන් බලපත්‍රයෙන් ගමන් කරන නිසා පරංගියා කෝට්ටේ යනවා වැනි මේ ගමන යන්නට අබේලාට සිදුවී තිබිණි.  එය තවත් විදියකින් කිව්වොත් හිස වටේ අත දමා නහය අල්ලනවා වැනි වැඩකි.

කොහොම උනත් තමන්ගේ ආරාධනාව පිළිගෙන එන අමුත්තන්ව පිළිගන්නට හා සංග්‍රහකරන්නට ගොඩ්ප්‍රි සැදී පැහැදී සිටියේය.  ඒ ආගන්තුක සත්කාරයත් සුළුපටු වැඩක් නොවේ.  අබේලගේ පවුලේ සහෝදර සහෝදරියන් හය දෙනෙකි මහ දෙන්නාත් සමග අට දෙනෙකි.   අට දෙනෙකුට දින දෙකක් කෑම බීම නවාතැන් පහසුකම් ගමන් පහසුකම් ලබාදී මුන්නේස්සරම වන්දවා ආපසු යවන කටයුත්ත විශාල ව්‍යාපෘතියකි.  අද නම් කෙනෙක් කරන්නට හිතන්නෙවත් නැති මේ දැවැන්ත රාජකාරිය ගොඩ්ප්‍රි බාරගත්තේ ඉතා ඕනෑකමින් සතුටින් සහ සැහැල්ලුවෙනි.   දවස පුරා ගමනේ යෙදී හලාවතට එන අබේලගේ නඩය පිළිගන්නට අපි පහුවදා රාත්‍රියේ හලාවත ඉස්ටේසමට ගියෙමු.   ගොඩ්ප්‍රි විසින් කණ්ඩායම ගෙනත් නවත්වන ලද්දේ ඔහුගේ අයියාගේ ගෙදරය.   ඒ අපි ඉන්න හේතුවෙන් ගොඩ්ප්‍රිලාගේ ගෙදර ඉඩ නැති නිසාය.   ඊට පසුව ගතවූ දින දෙකම කැපවුනේ ආගන්තුකයන්ගේ ගමන් පහසුව කෑම බීම හා සුව පහසුව ගැන සොයා බැලීමටත් ඔවුන්ව මුන්නේස්සරම වැන්දවීමටත්ය.   සියලුම දේවල් කරදරයක් නැතිව සිදුවී අමුත්තන් පිරිස ආපසු හලාවත දුම්රිය පොළෙන් නිවෙස් බලා පිටත් කොට අපි ආපසු පැමිණියෙමු.  ඊට පහුවදා දවස මංගල්ලයේ අවසාන දිනය හෙවත් දිය කපන දිනයයි.

රාත්‍රියේ අපි තුන්දෙනා මුන්නේස්සරමට ගොස් පෙරහැරත් බලා ඒත් සමග දියකපන තැනට හෙවත් හලාවත මෝය කට ලඟට ඇවිත් එතන බලා සිටියෙමු.   දිය කපනතුරු එතන නොඑක් කෙළි සෙල්ලම්ය ඒ මහ පාන්දර තුනට තුනහමාරට පමණ වන්නට ඇත .  ටිකකින් ගොඩ්ප්‍රි ඇවිත් මට කීවේ අපි දෙන්නා පොඩි ගමනක් ගිහිං එනතුරු එතැනම ඉඳගෙන සිටින ලෙසටය.   මමත් සද්ද නැතුව උක් ගහක් හපමින්ද නැටුම් බලමින්ද සිටියෙමි.  කාලය ගතවී නැටුම්ද උක් ගහද අවසාන විය ගොඩ්ප්‍රිලා තාම නැත ටිකකින් දිය කැපීමද අවසානවී සෙනග විසිර යන්නට පටන් ගත්හ.    මට දැන් හරිම නිදිමතය ඔලුව කඩා වැටේ ගොඩ්ප්‍රිලා එනතුරු කොතෙක්  වෙලා බලා ඉන්නට සිදුවේද නොදනිමි.  එතැනින් පාරට බැස්ස මම පාර පැන රේල් පාර අයිනෙන් කලපු හුළං වදිමින් ගොඩ්ප්‍රිලගේ ගෙදරට ඇවිත් කාමරයට වැදී නිදාගත්තෙමි.  එළිවෙන යාමයේ ගෙදර සද්ද බද්ද ඇහුණද හොඳට නිදාගත් මට ඇහැ ඇරුනේ උදේ අටත් පසුවූ විටය.   මට ඇහැරුණ විට උදේට ඉඳිආප්ප කන්නට දී අයියලාගේ ගෙදර එවන්නටයි අම්මාට කී ගොඩ්ප්‍රි අයියලාගේ ගෙදර ගොස් තිබුණි.   මම ගොඩ්ප්‍රිගේ අයියලගේ ගෙදර ගිය විට ඔහු මට හොඳටම බැන වැදී  ආයෙම කොහෙවත් එක්කං යන්නෙ නැතැයි කීවේය.   වැරැද්ද වුනේ කියපු  දේ අහන්නෙ නැතිව ගෙදර ගිය එකය.  අයියලගෙ ගෙදරට කතාකර බැන්නේ  ගෙදරදී ගොඩ්ප්‍රිලගෙ අම්මා මට බනින්නට ඉඩ නොදෙන නිසාය. 

පසුව දැනගත් පරිදි සිදුවූ දේ මෙහෙමය.  ගොඩ්ප්‍රිත් ඔහුගේ යහළුවාත් මාව මෝය කට ළඟ තබා ගිහිං තියෙන්නේ ඔවුන්ට ඉඟි බිඟි කළ කෙල්ලන් දෙතුන් දෙනෙක් පස්සෙන්ය.  ඉක්මනට ආපහු එන්නට හිතාගෙන ගියත් වැඩේ දිග දුර ගිය නිසා ආපහු මෝය කට ලඟට එනවිට උදේ එළිවෙලාය.  ඒ වෙනකොට එතන හිටපු මිනිස්සුවත් මමවත් නැත මුන් දෙන්නාට දෙලෝ රත්වුනේ එවිටය.   දැන් ළමයෙක් කොහෙන් හොයන්නටද පුක දාච්ච බල්ලන් මෙන් ටවුමේ හැම තැනම දුව ඇවිද මාව හෙවු මේ දෙන්නා බැරිම තැන ගෙදරට ආවේ මා ගැන බලාපොරොත්තු අත් හරිමිනි.  ගෙදරට ආවිට මම කාමරේ නිදිය දෙන්නාට හුස්මක් වැටුණේ එවිටය.  එදා හවස අපි තුන්දෙනා ආපහු ගමට ආවේ එන ගමන් මීගමුවේදී සුපුරුදු ලෙස කොරනේෂන් හෝටලයටද ගොඩ වෙමිනි.   ඒ ගමන ගියේ කොයි අවුරුද්දේ දැයි මට මතක තිබුණේ නැත මතක් කරගන්නට ක්‍රමයක්ද නැත දහ අතේ කල්පනා කළ මට එක් දෙයක් මතක්විය.   ඒ දවස්වල ගොඩ්ප්‍රිලගේ අයියලගෙ ගෙදර තිබුණ රේඩියෝවෙන් තොර තෝංචියක් නැතුව ප්‍රචාරයවූ චිත්‍රපට ජිංගලයකි.  එකල චිත්‍රපට වලට ප්‍රචාරය දෙන්නේ එහෙමය. ඊට පසුව ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වූ වර්ෂය සර්ච් කර අප පළමුවෙන්ම මුන්නේස්සරම් ගිය අවුරුද්ද කුමක්දැයි සොයා ගත්තෙමි.  තවත් කියන්නට ඇති දෙයක් නම් ගොඩ්ප්‍රි සිය කාලයද ධනයද වැය කරමින් මේ සියල්ලම කළේ ඔහුගේ චිත්ත තෘප්තිය සඳහා පමණක්ම මිසක ඔහුට මෙහෙමයි කියා ලැබෙන කිසිම ප්‍රතිලාභයක් බලාගෙන නොවීමයි.

කතෝලිකයෙක් වුවද කිසිම ඉරිදාවක ටවුමේ පල්ලියට නොගිය ගොඩ්ප්‍රි නත්තලටවත් පල්ලි ගියාදැයි නොදන්නේ නත්තලට ඔහු ගමේ යන බැවිනි.  ඒ වුනත් ඔහු එක්තරා අවුරුද්දක පෙබරවාරි මාසයේ කච්චතිව් දුපතේ  පවත්වන සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ මංගල්ලයට හෙවත් සන්තන්තෝනි මංගල්ලෙට යන්නට සුදානම් වුනේ අප පුදුමයට පත් කරවමිනි.   පසුව අප තේරුම් ගත්තේ ඔහු කච්චතිව් ගියේ හුදෙක් අමුතු අලුත් අත්දැකීමක් ලබාගන්නට විනා අලුතෙන් ඇතිවුන ආගම් භක්තියකට නොවන බවයි.  මංගල්ලයට යන්නට පෙර ගොඩ්ප්‍රි මට කීවේ මංගල්ලෙට මාවත් කැඳවාගෙන යන්නට ඔහුට උවමනාව තිබුනත් මම කියනදේ අහන්නෙ නැති හිතුවක්කාරයෙක් නිසා පාඩමක් ඉගෙන ගන්නටත් එක්ක දමා යන බවයි.   මට මග හැරී ගිය ඒ අපූරු අවස්ථාව නැවත කවදාවත් නොලැබුණේ ඊට අවුරුදු කීපයකට පසු උතුරේ යුද්ධය ආරම්භ වුන නිසාවෙනි .   මෙවැනි අපුරු සිදුවීම් මැදින් අප මිත්‍රත්වය ගලා ගියේය.   ඊට ටික කලකට පසු මා කලින්ද කීවාක් මෙන් එක අවුරුද්දක මා අපේ මවගේ ගමේ මාස කීපයක් ගතකර ආපසු එනවිට ගොඩ්ප්‍රි ගම නොසිටියේය.

දැන් හිතවතුනි අපි මේ කතාවේ අවසානයට ක්‍රමයෙන් ලඟාවෙමින් සිටින්නෙමු.  ගොඩ්ප්‍රිගේ ගෙදරට ගොඩවී සිටියද මා ඔහුව කතාවට එකතුකර නොගෙන කොටස් කීපයක්ම ලීවේ හුදෙක් වට රවුමේ යනවාටත් වඩා ගොඩ්ප්‍රිගේත් මගෙත් තිබු අපූරු මිත්‍රත්වය ගැන ඔබට වඩාත් පැහැදිලි කරන්නටත් අප අවසන්වරට හමුවීමෙන් අවුරුදු තිස් ගණනකට පසු අසීරුවෙන්  කාලයද  ලබාගෙන ඔහු ඉන්න ස්ථානය දන්නා අයද එකතු කරගෙන බොහොම අමාරුවෙන් පාර හොයාගෙන යන මේ ගමන පිස්සුවකට අයාලේ යන ගමනක් නොවන බවත් මේ ගමන ඇත්ත වශයෙන්ම ඔහුට ගුණමකු වීම ගැන කාලයක් සිතේ කොණක හදවත පාරමින් තිබු වේදනාවක් අවසන් කර දමන්නට ගත් පියවරයක් බවත් ඔබට තෝරා පහදා දෙන්නටය.  මා සතුටින් සිටියේ මේ ගමන ගොඩ්ප්‍රි හමුවුවොත් මගේ සිතත් සමග බොහෝ කලක් තිස්සේ මා කරනා සටන අදින් නිමාවට පත්වන නිසාය.  මා වැඩිදුර ඒ ගැන නොකිව්වත් ඔබට මාගේ ගමනේ අරමුණද මගේ චිත්ත ස්වභාවයද වටහා ගැනීම දැන් අසීරු නොවෙතැයි සිතමි.  කතාවේ අවසානයට   ළඟාවූනද අද ගොඩ්ප්‍රිව කරළියට ගෙනෙන්නට නොහැකි වන්නේ කතාව දිග වැඩිවන බැවින් මිසක වෙන කිසිම හේතුවක් නිසා නොවන බව කිවයුතුය.  අපි නැවතත් කතාවට යමු.

 පැණි බීම නොබොන මට කහට තේ එකක් ලැබුණේ ගොඩ්ප්‍රිගේ ලේලියගේ අතිනි.  තේ එකද තොල ගාමින් මම කල්පනා කළේ ගොඩ්ප්‍රි තාම නැත්තේ මන්ද යැයි කියාය.  ගොඩ්ප්‍රිගේ බිරිඳ නම් හැරී අයියාත් සමග ගජරාමෙට කතාවය.  ඒ කතාව තැනින් තැනින් ඇහෙන මට තනියම සිනා පහළවුනේ උග්‍ර මහින්දවාදියෙකු වූ හැරී අයියා සමග තවත් එවැනිම උග්‍ර යූ ඇන් පී කාරියකු වූ ගොඩ්ප්‍රිගේ බිරිඳ ළඟඑන මැතිවරණය ගැන කරන ගොනා සහ මීමා වැනි කතාව කොහොම එකට පෑහෙන්නේ දැයි සිතුන විටදීය෴