Sunday, November 29, 2015

ගොඩ්ප්‍රි හමුවීම මාර්තක්කගේ මාළු ලෑල්ල කුණුමාලු ගඟේ මාළු සහ බලු පැටියාගේ පැටිකිරිය.

අපි ගෙතුළ තබා තිබු පුටුවල වාඩිවී ටික වෙලාවක් බලා සිටියත් ගොඩ්ප්‍රි තවමත් නැත.  ඒ වෙනුවට ඔහුගේ බිරිඳ අපිත් සමග කතාකරයි.  ගෙයි සාලයේ තබා තිබු මාළු ටැංකියක් අස්කර වතුර පුරවන තරුණයෙකි.  ඔහු පුතා බව ගොඩ්ප්‍රිගේ බිරිඳ කියයි.  ගේ ඇතුලේ සිට තරුණියක් ඇවිත් අප දෙස බලා ආපසු ඇතුළට ගියාය.  ඒ පුතාගේ බිරිඳ බව අපි අහන්නටත් පෙර ගොඩ්ප්‍රිගේ බිරිඳ කීවාය.  ඒ තරුණිය ඊළඟට ආවේ බීම බෝතලයක් සහ වීදුරු කීපයක් ට්‍රේ එකක තබාගෙනය.  බීම වීදුරුව බී දැමු ප්‍රියන්ත එළියට ගොස් මිදුලේ කැරකෙමින් හිටියේ අපේ කතාවල ඔහුට වැදගත්කමක් නැති නිසාය.  ගොඩ්ප්‍රිගේ බිරිඳ  අප සමග කියමින් හිටියේ ඒ වනවිට දිනෙන් දින උණුසුම් තත්වයකට පත්වන මහ මැතිවරණය ගැනය.   කෘත්‍රිම බීම වර්ග බොන්නේ නැති නිසා බීම වීදුරුව අතේ තබාගෙනම මම ඇයට සවන්දෙමින් සිටියෙමි.   මා බීම වර්ග බොන්නේ නැද්ද කියා ඇය ඇසුවිට ඇල්වතුර වීදුරුවක් ඇතොත් හොඳයි කියා මම කීවෙමි.  නෑ නෑ තේ එකක් හදන්නම් කියූ ඇය නැවතත් මැතිවරණය ගැන කතාබහ පටන් ගත්තාය.  රංජන් රාමනායක දිවුලපිටියේ බොහෝ ජනප්‍රිය බව ඇය කීවේ මහත් අභිරුචියෙනි.   ඇය තද යූ ඇන් පී කාරියක් බව ඒ වනවිට මම ඇගේ කතාවෙන්ම දැන සිටියෙමි.   මට මතක්වුනේ ගොඩ්ප්‍රිලාද පරම්පරාවෙන්ම යූ ඇන් පී කාරයන් බවය.  එකල ඔවුන් හලාවත ආසනයේ මහජන මන්ත්‍රී සහ කතානායක ෂර්ලි කොරයා මහතාගේ දැඩි අනුගාමිකයන් වී සිටියහ.  ගොඩ්ප්‍රි තවම නැත,මට මතක් වුනේ ගොඩ්ප්‍රිත් එක්ක මුලින්ම හලාවත ඔවුන්ගේ ගෙදර ගිය දිනයයි.

හලාවත ගමනේ මුලික අරමුණ වුයේ අපේ ගෙදර තිබුණ දානයකට මාළු ගෙන ඒමයි.  දානයට මාළු සැපයීම ගොඩ්ප්‍රි බාරගත්තේ බලෙන්මය.  හුදෙක් මාළු සැපයීම පමණක් නොව හලාවත ඔහුට කරන්නට හැකියාව තිබුණ දේවල් පෙන්වීමටද ඔහුට අවශ්‍ය වී තිබිණි.  ගොඩ්ප්‍රිගේ ගමන් සගයා ලෙස ඔහුගේ උදව්වට මාව පත්කරන ලදී.  දානයට දවසකට කලින් දවසේ දවල්  අපි දෙදෙනා හලාවත බලා පිටත්වීමු.  ඒ මගේ ප්‍රථම හලාවත ගමනයි.  ටවුමෙන් මීගමු බස් එකට ගොඩවුන අපි මීගමුවෙන් බැසගත්තේ හලාවත බලා යන බසයට ගොඩවීම සඳහාය.  බස් එකට නගින්නට පෙර ගොඩ්ප්‍රි මාත් සමග ගියේ බස් නැවතුම්පොළ අසළ තිබු කොරනේෂන් හෝටලටයටය.   අපි දෙන්නා කොරනේෂන් හෝටලයෙන් උණු පාන් සමග මස් හොදි සප්පායම් වූයෙමු.   පසුව මට තේරුන පරිදි මෙය ගොඩ්ප්‍රි චාරිත්‍රයක් හැටියට කරන දෙයකි.   උදේ දහවල් රාත්‍රියේ හෝ දවසේ කුමන වේලාවක මීගමුවට පැමිණියද බඩගින්නක් තිබුනද නැතුවද කොරනේෂන් හෝටලයෙන් බඩපුරා කෑම ඔහු නොවරදවා සිදුකළේය.  හලාවත සිට ආපසු එනවිටද මේ චාරිත්‍රය මෙසේමය.  එමෙන්ම ඊට පසුවද මා සමග හලාවත ගිය හැමදාමත් මේ සිරිත ඒ ආකාරයෙන්ම සිදුවිය.  හලාවත කලපුව සහ පුත්තලම බලා දිවෙන රේල්පාර අසළ තිබු ගොඩ්ප්‍රිගේ නිවසට අපි ළඟාවූනේ ගොම්මන් යාමයේය.  එදා රාත්‍රියේ  අපි ගොඩ්ප්‍රිගේ මවගේ රසවත්  රාත්‍රී භෝජනයෙන් සන්තර්පණය වී නින්දට ගියෙමු.

පහුවදා උදයේ අපි දෙන්නා හලාවත මාළු වෙළඳපොළට ගියේ අතරමග තිබු ගොඩ්ප්‍රිගේ මිතුරු  ඇන්ටනිගේ ගෙදරට ගොස් ඔහුවද ගමනට එක්කාසු කර ගැනීමෙන් පසුවය.  ඒ ගොඩ්ප්‍රිට වඩා හොඳින් ඇන්ටනි වැල්ලේද මාකට් එකේද ඉන්න අය දන්නා බැවිනි.   එදා උදේ වැල්ලෙන් ගොඩ ගෙනා අලුත් මාළු වෙළඳපොලට කඩිමුඩියේ ගෙනෙන ඒ උදෑසන මාළු වෙළෙන්දන්  ඉතා කාර්යබහුල වුහ.  මාළු ගන්නට පැමිණ පොදිකන සෙනග අතරින් ඇන්ටනි ඉස්සරහට යයි අපි දෙන්නා ඔහුගේ පස්සෙන් ගියෙමු.   මාළු ලෑලි අතරින් රවුමක් යන ඇන්ටනි එක් මාළු වෙළෙන්දියක්  ළඟ නතරවිය.   ඇය ඉදිරියෙන්  බිම අතුරා තිබු  ලොකු  මාළු කීපදෙනාගෙන් එකෙක් ඇන්ටනිගේ සිත පැහැර ගත්තා විය හැකිය.  වෙළෙන්දිය  ඉදිරියේ බිම ඇන බාගත් ඇන්ටනි කතාකරන්නට විය.

මාර්තක්කේ මුං දෙන්නෙ කොහොමද?

මාර්තා මාළුවන්ගේ මිළ ගණන් පිළිවෙලින් කීවාය මිළ මට අද මතක නැත.  මතක්වනවිට අද සිනාගියත්  ඇන්ටනිගේ සිත්ගත් රාත්තල් පහළොවක් පමණ බර තෙල් ගෑවාක් සේ දිලිසෙන අලුත් පරා මාළුවාට ඇය කීවේ ඉලක්කම් දෙකේ ගණනක් බව නම් හොඳට මතකය.   ගණන ඇන්ටනිට හිතට ඇල්ලුවේ නැතිබව ඇඹුල්වී ගිය ඔහුගේ මුහුණින් පෙනුණි.

යකෝ මාර්තක්කේ අබිං විකුණන්නා වගේ මාළු විකුණන්න පුලුවනෑ, එහෙම නෙවෙයි වැඩේ කෙරෙන හැටියට ගාණක් කියාපංකො මොකෝ අපි පිට එවුවොයැ අපිත් හැමදාම මේකෙ කරක් ගහන උන්නෙ...

හරි උඹම ගාණක් කියපංකො එහෙනං...

ඇන්ටනි කියපු ගණන කිසිසේත්ම මාර්තාගේ සිත් නොගත් බව පෙනුණේ ඇය අහක බලාගත් නිසාය.  

මට දෙන්න පුළුවන් එච්චරයි බං ,එහෙනං අපි යන්නද?

එයටද මාර්තා මුවින් නොබැන සිටියේ ඒ අපූරු මාළුවා විකුනාගන්නට කිසිසේත්ම කරදර වෙන්නට උවමනා නැති බව අත්දැකීමෙන්ම දන්නා නිසා විය හැකිය.

ඕං මාර්තක්කේ එහෙනං අපි ගියා...

එහෙම කිව්වත් ඇන්ටනි තවමත් යන්නේ නැතුව එකෙල මෙකෙල වෙමින් ඉඳිමින් මාර්තා ලව්වා මාළුවාගේ ගණන් අඩුකරගන්නට බලයි.  මාර්තාද සද්දක් නැතුව මුවේ කොණක තිබු කළු සුරුට්ටුවෙන්  දුම් ගුලි පිටකරමින් සිටී.  ඇන්ටනිත් ගොඩ්ප්‍රිත් කතාවුනේ ආයෙම මාකට් එකේ රවුමක් ගසන්නටය.   ටිකක් එහාට ගිය ඇන්ටනි ගොඩ්ප්‍රිට කීවේ මාර්තාගේ මාළුවා ඇය කියන ගණනට හොඳටම වටින බවත් තවත් කීයක් හෝ අඩුකර ගන්නට පුළුවන්නම්  ගජලාබයක් බවත්ය.  ඒ අතරම ඒ අපූරු මාළුවා වෙනත් ගැණුම්කරුවෙකු ඩැහැගෙන යාවිදැයි යන සැකයද ඇන්ටනිගේ සිතේ විය.   මාළුවා පෙනෙන හරියෙන් ඉන්නට  ඔහු නිතරම වගබලා ගත්තේ ඒ නිසාය.  නිකමට මෙන් ආයෙමත් මාකට් එකේ රවුමක් කැරකුණු ඇන්ටනිත් ගොඩ්ප්‍රිත් නැවතත්  ආවේ මාර්තාගේ මාළු ලෑල්ලටය.  ඒ ගමන නම් මාළුවා පිට යන්නට නොදෙන්නට ඇන්ටනි හිත හදාගත් බව පෙනෙන්නට තිබිණි.  ආයෙමත් මාර්තා සමග කේවල් කළ ඔහු දෙන්නාටම එකඟවිය හැකි ගණනක් කතාකර ගනුදෙනුව කම්මුතු  කළේය.  මාකට් එකේ කොල්ලෙකුට කියා මාළුවා පලා අතුනුබහන් ඇද දමා ලුණු කුඩුකර ඇතුළේ ගා හොඳින් පාර්සල් කරවා දුන්නේද ඇන්ටනිය.  ගොඩ්ප්‍රිත් මමත් එදා හවස්වෙන විට මාළුද රැගෙන ගෙදරට සම්ප්‍රාප්ත වුයේ සුපුරුදු ලෙස මීගමුවේ කොරනේෂන් හෝටලයේ චාරිත්‍රයද නොඅඩුව ඉටුකරමිනි.  දවාලට ගොඩ්ප්‍රිගේ අම්මාගේ රසවත් කෑම වේල කුස පිරෙන්නටම ගිල දමා  පිටත්වූ අපි ඊට පැයකට හමාරකට පසුව මීගමුවෙන් බඩපුරා මස් හොදිත් සමග පාන් කෑවේ මොන ආකාරයකට කොහාටදැයි අද නම් හිතාගන්නටත් බැරිවුණත් එකල කොලු වයසේ සිටි අපගේ කෑම රුචිය බෙහෙවින් ඉහළ තත්වයක තිබු බවනම් මට  හොඳහැටි  මතකය.  ගෙදරට මාළු කුරියා බාරදුන් ගොඩ්ප්‍රි මාළු ගේන්නට අපේ තාත්තා දුන් මුදලෙන් කීයක්ද ඉතුරුත්  දුන්නේ මෙච්චර ලොකු මාළු කුරියෙක් ගෙනැවිත් සල්ලිත් ඉතුරු උනාදැයි ඇසු තාත්තාද විස්මයට පත්කරවමිනි.  ගොඩ්ප්‍රිට අවශ්‍ය වුනේද අපේ තාත්තා විස්මපත් කිරීම බව මා සිතුවෙමි.  ඉතුරු මුදලත් අතේ තබාගෙන ගොඩ්ප්‍රි දෙස පුදුමයෙන් බලාසිටි අපේ තාත්තා දෙස බැලු ගොඩ්ප්‍රි හක හක ගා සිනාසී අහිංසකව ඒ සතුට විඳගත් ආකාරය මට අද මෙන් මතකය.  නමුත් සත්‍යය නම් ගොඩ්ප්‍රි තාත්තා දුන් මුදල් වියදම් කළේ මාළුවා මිළදී ගන්නට පමණක් වීමයි.  ඉතිරි වියදම් සියල්ලම ඔහු සියතින් දැරුවේය.

මීට බොහෝ ඈත කාලයක සිදුවූ මේ සිද්ධිය අදටත් මතකයේ  කිසිම මළකෑමක් හෝ නොමැතිව ඉතා පැහැදිළිව මගේ හිතේ සටහන්වී තිබෙන්නේ ඒ මා එවැනි දෙයක් අත්දුටු පළමුවන වතාව නිසා විය හැකිය.  ඊට පසුකාලීනව මෙන්ම අද වනතුරු මා කොතෙකුත් මාළු මිලදීගෙන ඇතත් මේ ලෙසට මතකයේ ඇත්තේ තවත් එකම එක සිද්ධියක් පමණකි.   එනම් කිරින්දේ ධීවර වරායේදී එක්තරා කපටි පුද්ගලයෙක් මා රවටා අධි ශීතකරණයේ තිබී අරගත් හද්දා පරණ කුණුවූ ගල් මාලුවෙක් අද උදේ අල්ලාගෙන ආ එකෙක් කියා නොවටිනා මිලකට මට විකිණු අවස්ථාවයි.   ඒ සිද්ධිය මෙන්ම කළු කෙට්ටු නරියෙකුගේ මෙන් කපටි මුහුණක් තිබු ඒ පුද්ගලයාගේ කපටි සිනාවද අදටත් මගේ මතකයේ හොඳින් තැන්පත්වී ඇත.  ඊට පසුව නම් මා කිසිදිනෙක කුණු මාළු මිලදීගෙන නැත.  ඒ මාළු වෙළෙන්දන්ගේ හොඳකම නිසා නොව මා මාළු ගන්නේ විශ්වාස මෙන්ම තෝරාගත් වෙළෙන්දන් එක්කෙනෙකුගෙන් හෝ දෙන්නෙකුගෙන් නිසාය.   නැත්නම් අපේ ටවුමේ මාළු කඩේ විකුණන්නේම කුණු මාලුය.  අපේ ගමේ කොල්ලන් කියන්නේ ඒ මාළු කූරයියන් මුහුදේ ගතකළ කාලය මෙන් දෙගුණයක කාලයක්  ඩීෆ්‍රීසර්  එකේ ගතකර ඇතැයි කියාය.   ටවුමේ මාළු විකුණන සියලු දෙනාම  අපේ අල්ලපු ගමේ කොල්ලන් වුවද ගමේ කමටවත් උන්ගෙන් හොඳ මාළු කෑල්ලක් ලබාගන්නට බැරිය.   චාටුකතා කියමින් විකුණන්නේම කුණු හෝ කුණුවෙන්නට ඔන්න මෙන්න කියා ඇති මාලුය.  ඒ නිසා මම දැන් වැරදිලාවත් ටවුමේ මාළු ලෑලි දෙස බලන්නේ නැත.  උදේ පාන්දර සයිකලේ පෙට්ටියත් බැඳගෙන මීගමු ගොස් අලුත් මාළු ගෙනත් විකුණන කොල්ලෙක්ගෙන් දැන් මාළු ගන්නෙමි.  ඌ විකුණන මාළු ගිණි ගණන්ය,කොහොමද කිව්වොත්  මීගමුවෙන් හයසීයට ගන්නා ඉස්සන් ඌ මට විකුණන්නේ එක්දාස් දෙසීයටය.  එහෙම වුනත් ප්‍රශ්නයක් නැත්තේ ගාන වැඩිවුණත් මා රැවටී නැති නිසාය.

උදේ පාන්දර  අපේ ටවුමට මාළු අල්ලන තංගල්ල වැනි ඈත පළාත්වලින් ඩීෆ්‍රීසර් වෑන් වල පටවාගෙන මාළු ගෙනත් විකුණයි.   ටවුමේ මාළු කාරයන් කරන්නේ ඒ තොගේටම උන්ගේ කුණුමාලුත් ඩීෆ්‍රීසර් වෑන්වල ගෙනත් විකුණා ගන්න එකය.   ඒ වගේම ඉතා නිර්මාණශීලී ආකාරයට තමන්ගේ කුණුමාලු තොග විකුණා ගන්නා මාළුකාරයන් පිරිසක්ද වේ.   ඒ පානදුර වැල්ලේ මාළුකාරයන්ය.   ඉතුරුවී ඇති කුණු මාළු ටික  බෝට්ටුවල පටවා මුහුදට ගෙනයන ඔවුහු උදේ පාන්දර රස්සාවට ගිය ධීවරයන් ආපහු එන්නා සේ ගෙනගිය මාළුවලට මුදු වතුරද ඉහගෙන පාලම ළඟින් ගොඩ දමා  අලුත් මාළු කියා ගජරාමෙට විකුණති.   මේ සිද්ධිය මා අත්දැක්කේ ඒ කාලයේ  පානදුර උස්වත්තේ පදිංචිවී හිටපු තිලක් අයියලාගේ ගෙදර ගියපු දවස්වලදීය.  තිලක් අයියා පානදුර ටවුමේ මාළු මිළදී ගන්නේ නැත.  එහි ගියවිට අපි කන්නේ ගඟේ මාළුය.  දවල්ට ගඟට නාන්නට යන අපි ආපහු එන්නේ ගඟෙන් අල්ලපු  ඉස්සන් පොදියක්ද අරගෙනය.  ඒ ගඟ මොකක්ද කියා අද මට මතක නැත හමුවෙන්නේ පානදුර සිට හොරණ පාරේ යනවිට වියයුතුය.  අපි නාගෙන ආපහු එනතුරු තිලක් අයියාගේ අක්කා උයන්නේ නැතුව බලා ඉන්නේ  ගඟේ මාළු අරං එන බව ඇය දන්නා නිසාය.   නාගෙන ඇවිත් ගෙයි තියෙන බෝතලය අරගෙන වීදුරුවෙන් කටකපා එකක් ගිලදමන තිලක් අයියා සීඩී එකක් යන්ත්‍රයට දමයි ඔහු බොහෝවිට දාන්නේ නෘත්‍ය ගීතය.  දෙකක් තුනක් වදින කළ වාදනය වෙන ගීත තාලයට තිලක් අයියා බඩ හොල්ලමින් සාලයේ නටයි,බොන අපිට බයිටට අක්කා ගෙනත් තියන්නේ ඩෙවල් කල ගඟේ ඉස්සන්ය.   හොඳටම නටා වෙහෙසට පත්වෙන අපට ඉන්පසුව ලැබෙන්නේ අක්කාගේ  සරුසාර දවල් අහාරයයි.   කෑමෙන් පසුව ගේ පිටුපස ඇති අලංකාර  පැළපොල් වගාවේ ගස්යට වාඩිවී සිටියදී වෙල් හුළං වදිනවිට එතනම හොඳට නින්ද යයි.   දවසක් බිරිඳත් සමග තිලක් අයියලාගේ ගෙදර ගිය විට අපි දෙන්නාද පොල් පැළ දෙකක් සිටවුවා මට මතකය අද ඒ පැළ දෙක ගෙඩි හැදෙන මහගස් වී ඇතුවාට සැක නැත.

ගෙදර ඇතිකළ බලු පැටියාට තිලක් අයියා බොහෝ ආදරය කළේය.  කුඩුවක දමා හදපු ඌට ගෙදර අයට කන්නට නැති කෑමද දෙමින් සැපසේ ඇතිකරන්නට ඔහු පසුබට වුයේ නැත.  දවසක් තිලක් අයියලාගේ ගෙදර ගිය වෙලාවක බලු පැටියා බලන්නට මම ගියද තිලක් අයියා ඌ ගැන එච්චරම සතුටකින් කතාකළේ නැත.  හේතුව ඇසුවිට ඔහු කීවේ මම මෙච්චර හොඳ කෑම කන්න දෙද්දීත් මේ බල්ලා එළියට දැම්ම විට වේලිච්ච ගොම කන බවය.   ඉතිං තද වෙන්නෙ නැද්ද කියූ තිලක් අයියා ඒ මුගේ පැටිකිරියේ වැරැද්ද යයි කීවේය.   මොන තරම් හොඳ බල්ලෙක් උනත් පැටිකිරිය සවුත්තු නම් උගෙන් ඇති වැඩක් නැතැයි කී තිලක් අයියා බලු පැටියාට තිබුණ ආදරය දැන් නැතිවී ගොස් ඇති බවද කීවේ මා සිනා ගන්වමිනි.   2004 වසරේ ඇතිවූ සුනාමිය දකින්නට තිලක් අයියාට නොහැකි විය.  එවකට මා හිටියේ යුරෝපා රටකය එය ශීත සෘතුවේ නොවැම්බර් මාසයේ ඉර එළියක් දකින්නට නැති උදයකි.   ඇටකටු පවා විනිවිද යන ශීතලක් තිබු ඒ අඳුරු උදයේ අහන්නට අකමැති මුසල පණිවිඩය දුන්නේ අපේ මස්සිනාය.  මම පසු දවසක තිලක් අයියාගේ අක්කාට කතා කර මගේ ශෝකය පළකර සිටියෙමි.  හදිසි හෘදයාබාධයක් හේතුවෙන්  තිලක් අයියා සමුගත් ආකාරය ඇය හඬමින් මා සමග විස්තර කළාය.  හක හක ගා  සිනාසෙන තිලක් අයියාගේ සොඳුරු රුව මගේ හිතේ දැන් නැත්තේ ජයට හැඳ පැළඳගත් තිලක් අයියා උඩුකුරුව සයනය කරන පිංතුරයක් අක්කා මා වෙත තැපෑලෙන් එවා තිබු නිසාය.  ඇය මට ඒ පිංතුරය නොඑව්වා නම් මා වඩා කැමතිය෴

Sunday, November 22, 2015

ගොඩ්ප්‍රි හමුවීම සහ ගුරාගේ කතාව.


අඩ හෝරාවක් පමණ කොට්ටං ගහ මුල කම්මැලිකමෙන් ඉඳගෙන ඉන්නා විට  ප්‍රියන්ත  ආපහු එනවා දැක්කෙමි.  ප්‍රියන්ත ඇවිත් කීවේ දෙන්නා ගිහිං හංදියේ කතා කරමින් හිටපු දෙන්නෙක්ගෙන් ගොඩ්ප්‍රි ගැන ඇහු විට ගොඩ්ප්‍රි ගැන තමන් දන්නේ නැති උනත් ඒ කාලේ රෙදිමෝලේ වැඩකළ කෙනෙක් ලඟපාත ඉන්න බවත් සමහරවිට ඔහු ගොඩ්ප්‍රි ඉන්න තැන දැනගෙන ඉන්න පුළුවන් බවත් කියා ඇත.  ඒ ගමන හැරී අයියා ඒ ගෙදරට ගිහිං තිබුණේ අදාළ පුද්ගලයාව මුණ ගැහෙන්නටය.  ප්‍රියන්ත කීවේ දැන් හැරී අයියා  ගිහිනුත් සෑහෙන වෙලාවක් ගතවී ඇති නිසා වැඩේ හරිගිහින් ඇතැයි  ඔහු හිතන බවය.   ඒ සතුටට අපි දෙන්නා කඩෙන් ප්ලේන්ටි දෙකක්ද බී හැරී අයියා එනතුරු බලාපොරොත්තු දල්වාගෙන බලා සිටියෙමු.

තවත් පැය කාලක් පමණ ගියපසු හැරී අයියා ආපසු ආවේ සතුටින් සිනාසෙමිනි.  ඔහු මගදීම කියා සිටියේ ගේ තියෙන තැන සොයාගත් බවයි.  පොඩි පරහකට තිබුණේ ඒ වන විට වාහනයේ ඉන්ධන ප්‍රශ්නයක් මතුවී තිබීමය.  ෂෙඩ් එකක් ඇත්තේ ඉස්සරහින් මීගමුවේය පස්සෙන් අලුතැපොලය.   හැබැයි ඒ ළඟම කඩේක වැඩිගානට පැට්‍රෝල් විකුණන බව එතන හිටපු මනුස්සයෙක් කියපු නිසා ඉස්සෙල්ලාම තෙල් ටික සොයා ගන්නට කඩේට ගොඩ උනෙමු.   එතන හරියටම ෂෙඩ් එකක් වගේමය.  කඩේ වෙන වෙන බඩුත් තිබුනත් වැඩිපුර විකිණෙන්නේ පැට්‍රෝල්ය.   කඩේ හිටියෙත් හුරුබුහුටි ලඳුන් දෙපොළකි,අක්කා සහ නංගීය.  නංගී බඩු විකුණන අතර අක්කා මුදල් එකතු කරයි.  ප්‍රියන්ත පැට්‍රෝල් පුරවා ගන්නතුරු මම ඒ ලඳුන් දෙදෙනාට අනිමිසලෝචන පූජාව කරමින් සිටියෙමි.   ඒ ඉන්නා විටදී මට හිතුනේම මේ කඩේ ගෝලයා හැටියට වැඩ කරගෙන ඉන්න තියේනං මොන පිනක්ද කියලාය.  ඔහොම කල්පනාවේ ගැලී ඉන්න විටදී ප්‍රියන්ත ඇවිත් කෙල්ලො දිහාවේ කන්න වගේ බලා ඉන්නෙ නැතුව අපි යන්න ආ ගමන යමු කියා හෙමිහිට කීවේ තවත් ටික වෙලාවක් මෙහෙම හිටියොත් කඩේ අවටපිට කැරකෙන කොල්ලන්ගෙන් නොමිලේ දවල්ට කෑමත් ලැබෙයි කියලාය.  ඒ ගමන මම අකමැත්තෙන්ම ප්‍රියන්තත් එක්ක පිටත් උනෙමි.

නැවතත් ගමන පටන්ගත් පසු හැරී අයියා කිව්වේ අපි ගොඩ්ප්‍රිගේ ගෙදර හොයන්නට පටන්ගත් ආකාරයම වැරදි බවයි.  ඒ මොකද කිව්වොත් ගමේ අය ගොඩ්ප්‍රි කෙනෙක් දන්නේ නැති අතර ගමේ ඔහුව හඳුන්වන්නේ ෂර්ලි මහත්තයා කියන නමින්ය.  එහෙම කිව්වානම් මුලදීම ගේ හොයාගන්නට ලැබෙන බව හැරී අයියා වැඩිදුරටත් කීවේය.  එහෙම කියන විට මට මතක් උනේ කාලෙකට ඉස්සර නමක් නිසා උන පටලැවිල්ලකි.  අපිත් එක්ක කෝච්චියේ ගිය චාන්දනීට දරුවා ලැබී නිවාඩු පිට ඉන්නා කාලයේ මම බිරිඳත් එක්ක දරුවා බලන්නට ගියෙමි.  ඒ කාලයේ හැලපැට්ටා මෙළොව එළිය දැක තිබුණේ නැත.  අපි කිරිඳිවැලට ගිහිං තවත් බස් එකක ගොස් චාන්දනී කියපු  මග සලකුණු අනුව බස් එකෙන් බැස ගතිමු.  එතැනම තිබ්බ කඩෙන් චාන්දනීගේ ගෙදර අහපු විට කඩේ මුදලාලි කිව්වේ එහෙම කෙනෙක් ඔහු නොදන්නා බවයි.   මුදලාලි වැඩිදුරටත් කඩේ හිටපු අයගෙන්ද පාරේ ගිය අයගෙන්ද චාන්දනීලගේ ගෙදර විපරම් කළද ඒ හැම දෙනාම කිව්වේ තමන් චාන්දනී කියා කෙනෙක් නොදන්නා බවය.   අප පත්වුයේ මහත් අපහසුතාවකටය ඒ මොකද කිව්වොත් චාන්දනී උදේ හවස මෙතැනින් වැඩට යන එන කෙනෙක් නිසා ගමේ අය දැන සිටිය යුතුමය.  මට හිතුනේ අපි අහන ක්‍රමයේ මොකක් හෝ වැරද්දක් ඇත කියාය.  බැරිම තැන මම පොඩ්ඩක් පාරට බැස විපරම් කළෙමි.  සයිකලයකින් කොහෙද යන්නට ආ තරුණයෙක් නැවතී මගේ කතාව අසා සිට චාන්දනී වැඩකරන තැනත් අසා ටිකක් කල්පනා කරමින් සිට කඩේ හිටපු අයට කිව්වේ මේ හොයන්නේ කුමාරිලගේ ගෙදර බවය.  කුමාරි කිව් පමණින් කඩේ හිටපු අයත් මුදලාලිත් කුමාරිලාගේ ගෙදර පෙන්වන්නට ඉදිරිපත් වුවෝය.  සිද්දවී තිබුණේ ගමේ කිසිම කෙනෙක් චාන්දනී ඇගේ නියම නමින් නොදන්නා එකය.  මුළු ගමම ඇයව දැන සිටියේ කුමාරි නමිනි. 

ගොඩ්ප්‍රි පදිංචි ගේ තියෙන හරිය හැරී අයියා පෙන්නු විට මට හිනාගියේ අපි ඒ හරියේ නැවතී ගොඩක් වෙලා ගේ හෙව්ව නිසාය.  ඒ එක්කම මම කල්පනා කලේ දැන් ගොඩ්ප්‍රි කොහොමට ඇද්ද කියාය.  ඔහුව මට අන්තිමට හමුවී තිබුනේ මීට අවුරුදු තිස් ගණනකට පෙරදීය.  ඒ කාලේ මම කොල්ලෙකි ඔහු ගජ ඉලන්දාරියෙක් වූ අතර ආදර හුටපට කීපයකත් පැටලී සිටියේය.   එකක් ගොඩ්ප්‍රි නැවතී සිටි ගෙට පහළින් වත්තේ තිබුණ ගෙදර කුලියට හිටි පවුලක කෙල්ලක් එක්කය.   ගෙදර අයගේ ඥාති දුවෙක් වූ රූපත් දඟකාර කෙල්ල  ගෙදර ළමයිත් එක්ක සෙල්ලම් කරද්දී ගොඩ්ප්‍රිගේ ඇස ගැටී තිබේ.  ගිණි කිරිල්ලියක් වැනි හුරුබුහුටි කෙල්ල ගැන ගොඩ්ප්‍රිට එකෙණෙහිම තණ්හාවක් ඇතිවිය.  ඊට පසුව ගොඩ්ප්‍රි හවස් කාලය ගතකළේ වැට අයිනේ සිට කෙල්ලට ඉඟි බිඟි කරමිනි.  කොහොමහරි දවස් ගණනක් ඇතුළත දෙන්නා හුටපටයක් ඇතිකර ගත්තෝය. මේ අතර ගෙදර ගෑණු කෙනා ලෙඩවී රෝහල් ගතවීම මේ යුවළට ආශීර්වාදයක් විය.  දවල්ට කෙල්ල ලෙඩා බලන්නට කෑම අරගෙන යන්නේ ගෙදර ඉන්නපොඩි දැරිවියෙකුත් එක්කය.  ඒ දෙන්නාගේ තනියට ගොඩ්ප්‍රි මගදී එකතුවන බවත් කෙල්ලන්  දෙන්නා ඉස්පිරිතාලෙට ගිහිං එනතුරු ගොඩ්ප්‍රි වතුපිටිවල හංදියේ කල්මරන බවත් කටකතාවක් හැටියට ගෙවල්වල කතාවෙන්නට විය.

ගොඩ්ප්‍රි නැවතී සිටි ගෙදර ආච්චිටත් මේ කතාව ආරංචි වුවිට ආච්චි කෙල්ලට කතාකළේ අවවාද කරන්නටය.  කෙල්ල කිව්වේ තමන්ගේ එහෙම සම්බන්ධයක් නැති බවත් දවසක් ඉස්පිරිතාලෙ යද්දි ගොඩ්ප්‍රි අයියා ටවුමේදී හමුවී කතාකළ බවත් ඔය කටකතා ඔක්කොම හැදී තියෙන්නේ ඒ නිසා බවත්ය.  මේ කතාවේ ඇත්ත නැත්ත දැනගන්නට මම දවසක් ඒ ගෙදර පොඩි කෙල්ලගෙන් ඇහුවෙමි.  ගිරවෙක් වගේ කියවන පොඩි කෙල්ල මගෙත් එක්ක කිව්වේ ඉස්පිරිතාලෙ ගිය හැමදාකම ඔවුනුත් එක්ක ගොඩ්ප්‍රි අයියාත් ආව බවත් අක්කා බත් කූඩෙත් කුඩෙත් තමන්ගෙ අතටදී ගොඩ්ප්‍රි අයියා එක්ක කතා කරමින් හිටිය බවත්ය.  කෙල්ලට කොච්චර අවවාද කළත් පළක් නොවූ අතර තවත් ටික දවසකින් කතා වැඩිවන්නට වූ විට කෙල්ලට නැවතී සිටිය ගෙදරින් ආපහු තමන්ගේ ගමට යන්නට සිද්දවිය.  ගොඩ්ප්‍රිට නම් මොකුත් සිද්දවුනේ නැත.   පොඩි කෙල්ලටත් ගෙදරින් ලොකු තරවටුවක් ලැබුණේ හැම දෙයක්ම දැනගෙන කිසි දෙයක් ගෙදරට නොකියා කටවහගෙන හිටපු එක ගැනය.   අන්තිමට හැම  දේකම නරක නාමය එන්නේ සපෝටර්ටය.

සපෝටර් කියනකොට මට තව කතාවක් මතක්වේ.ඒ මම නොදැනුවත්වම හෙවත් මගේ කැමැත්තක් නැතුවම සපෝටර් කෙනෙක් බවට පත්වූ කතාවකි.  රෙදිමෝලේ වැඩකරපු නුවර ගුරුගේ හෙවත් ගුරා රස්සාව කරන කාලේ වෙළෙන් එහාගොඩේ හිටපු ලස්සනම කෙල්ලක් වූ පුෂ්පිකා  පස්සෙන් හැමදාම ගිහිං ගිහිං කෙල්ලව යාලු කරගත්තේය.  ඒ කාලෙම මම ගුරාට කිව්වේ වැඩේනම් තරමක අන්තරාදායක එකක් බවය.  මොකද කිව්වොත් පුෂ්පිකාගේ තාත්තා ටවුමේ ලොකු මුදලාලි  කෙනෙකි.  අයියලා ටවුමේ වැඩකාරයන්ය.  පුෂ්පිකා ගෙදර එකම කෙල්ලය.  මේක කොයි මොහොතේ හෝ ගුරාට ගුටිකන්නට වෙන පටලැවිල්ලක් උනත් ගුරා ඉස්සරහට තැබූ අඩිය පස්සට ගන්නට කැමතිවුනේ නැත.   කොහොම උනත් පුෂ්පිකාගේ ගෙදර අයගේ රැවුම් ගෙරවුම් මැද දෙදෙනාගේ ආදරය ගලා ගියේය.   ගුරාගේ ලව් එක මට කිසිසේත්ම අදාළ නැති කටයුත්තක් බැවින් මම මගේ වැඩක් බලාගෙන හිටියත් මා හමුවූ මොහොතේ පටන් ගුරා කියවන්නේ උගේ ආදර කතාව  ගැන විස්තරය.   ඔන්න ඔහොම කාලය ගෙවීයද්දී හදිසියෙන්ම ගුරා රෙදිමෝලේ රස්සාවෙන් අයින්වී ආපහු නුවර ගියේය.   ඒ උනත් දෙන්නාගේ ආදර කතාව නැවතුනේ නැත.  අකමැත්තෙන් වුවද මටද මැදිහත් වෙන්නට වුයේ එතැන් සිටය.  ගෙදර ගියපසු සතියකට දෙකකට වතාවක් පමණ ගුරා පුෂ්පිකා බලන්නට ගමට එයි.  දැන් ගුරාට අපේ ගමේ නවතින්නට තැනක් නැති නිසා ඌ කෙළින්ම එන්නේ අපේ ගෙදරටය.

ගුරා උගේ යාලුවන්වූ සිද්දික් හෝ මොහොමඩ් සමග උදේ පාන්දර නුවරින් බස් එකට හෝ කෝච්චියට නැගී එළිවෙන වෙලාවට අපේ ගෙදරට එයි.  ඒ මම රස්සාවට යන්නට ලෑස්ති වෙන වෙලාවටය.  මම උන් දෙන්නාව අම්මාට බාරදී රස්සාවට යන්නේ ඒ කාලයේ කෝච්චියේ මටත් ක්‍රෂ් එකක් තිබුණ  නිසාය.   ඒ නිසාම දවසක් හෝ නොවැරදී මම රස්සාවට යමි.  රස්සාවට යන්නට කම්මැලි හිතෙන අයට මේ ක්‍රමය ඉතා හොඳ ප්‍රතිපල ගෙනදෙන බව කියන්නට කැමැත්තෙමි.  ඉතිං අපේ අම්මා මුන් දෙන්නාට උදේට දවල්ට කෑම ලෑස්ති කර කන්නට දී ආගන්තුක සත්කාර කරයි.  ගුරාද අපේ ගෙදර ඉඳගෙන පුෂ්පිකාට පණිවිඩයක් යවා කොහෙට හෝ ගෙන්නාගෙන කතාබහ කරමින් ඉඳ හවසට ආපහු යයි.   වැඩිකල් නොගිහින්ම මේ වැඩේ පුෂ්පිකාලගේ ගෙදරට ආරංචි විය.   ඇගේ අම්මා අපේ ගෙදර ඇවිත් අපේ අම්මාට කියා තිබුණේ ගුරාව අපේ ගෙදරට ගෙන්නන්න එපායි  මට කියන්නට කියාය.   අපේ අම්මා පුෂ්පිකාගේ අම්මාත් එක්ක මොනවා කිව්වාදැයි මට කිව්වේ නැතත් ඔය කතාව මට කිව්වාය.  මම අම්මාට කිව්වේ ගුරා අපේ ගෙදර එන්නේ මගේ ආරාධනයකින් නොවන බවත් මගේ හොඳ යාලුවෙක් වන ගුරා මම නුවර ගිය නොයෙක් විටදී මාව බලෙන් වගේ උන්ගේ ගෙදර එක්කරගෙන ගිහිං ආගන්තුක සත්කාර කරපු බවත් ඌට ගෙදර එන්නට එපා කියන්නට මට නොහැකි බවත්ය.  ජෝඩුවගේ ප්‍රේම කතාව ඔය විදියට කරදර බාධක මැදින් ඉදිරියට ඇදෙන්නට විය.  

ඔහොම මාස කීපයක් ගතවෙද්දී අපට අහන්නට ලැබුණේ ගුරා පුෂ්පිකාව ගෙදරින් පන්නාගෙන අරං ගිය බවය. පසුව ගුරාගෙන් දැනගන්නට ලැබුණ හැටියට ගුරා කෙල්ලව කෙළින්ම අරං ගිහිං තියෙන්නේ කළුවාමෝදර මොරගල්ලේ ඒ වෙනවිට සංචාරක ව්‍යාපාරයක් සරුවට කරමින් හිටපු ඩෙනිස්ලගෙ ගෙදරටය.  එදා රාත්‍රියේ ජෝඩුවට තමන්ගේ ගෙදර  කාමර දෙකක නවාතැන් දුන්න ඩෙනිස් සහ බිරිඳ පහුවදා උදෙන්ම  පුෂ්පිකාව සැලුන් එකකට එක්ක ගිහිං අන්දවා මනමාලියක් කර ගුරාටද සුට් එකක් අන්දවා මනමාලයෙක් කර අලුත්ගම රෙජිස්ට්‍රාර් ලඟට ගෙනිහින් ජෝඩුව කසාද බන්දවා  පිංතුර අරගෙන ගෙදර පාටියක්ද දමා නව යුවළට හනිමුන් යන්නට හෝටල් කාමරයක්ද වෙන්කරදී සහෝදරයෙක්වත් නොකරන විදියට උදව් කළේය.  මොරගල්ලේ මධුසමය ගතකළ නව යුවළ ටික දිනකට පසු නුවර බලා පිටත්වුනේ අලුත් ජීවිතයට මුහුණ දෙන්නටය.  පසු කලෙක ගුරාට සහ පුෂ්පිකාට දුවෙක්ද පුතෙක්ද ලැබුණ අතර පුෂ්පිකාගේ ගෙදරින් තිබු විරෝධයද ටික කලකින්ම පහව ගිය පසු මේ දෙපොළ දරුවන්ද රැගෙන ගෙදර එනු යනු අපිට දකින්නට ලැබුණි.  ගෙදර ආවිට ගුරා දවල්ට නාන්නට අපේ ලිඳට එන්නේ පරණ පුරුද්දටය.   දවසක් දා අපේ ලිඳෙන්  නා කියාගත්ත ගුරා අපේ ගෙදරටත් ගොඩවුණේ මාව හම්බවෙන්නය.   ඒ කාලයේ හැලපැට්ටා මාස හත අටක අතදරුවෙකි,ගුරා ඇවිත් ලෙලිගහපු  කෙහෙල් ගෙඩියක් වගේ හෙලුකොට්ටෙන් මගෙ අතේ හිටිය කොල්ලාවත් වඩාගෙන හුරතල් කරමින් බොහෝ වෙලා මගෙත් එක්ක කතා කරමින් ඉඳ යන්නට ගියේය.  ඒ මා ගුරා දැකපු අවසාන වතාවයි.  ඌ දැනට අවුරුදු දෙකකට පමණ පෙර අවසන් ගමන් ගියේය.  සුපුරුදු පරිදිම මට ගුරාට සමුදෙන්නට බැරිවුනේ රටේ හිටපු නැති නිසාය.   ඒකත් ඒක අතකට හොඳයි කියා හිතෙන්නේ ගුරා තවම එදා මෙන්ම මගේ හිතේ ජීවත්වෙන නිසාය.   ගුරාත් අපිත් එක්කහුවී ගිය ගමන් බිමන් , අපි හදපු වෙසක් සැරසිළි පෙන්නන දවස්වල එකතුවී කරපු දේවල් දැන් මතක් වෙන්නේ හරියට චිත්‍රපටයක රූප රාමු පෙළක් මෙනි.

ඔය කතා මතක් කරමින් ඉදිරියටම ගිය අපගේ නිහඬතාව බිඳ දමමින් හැරී අයියා නිවේදනය කළේ අපි දැන් සිටින්නේ ගොඩ්ප්‍රිගෙ ගේ ඉදිරිපිට බවයි.   මේ වෙනකොට ගොඩ්ප්‍රි අපේ ගමෙන් ගිහිං කොච්චර විතර කාලයක් ගතවී  ඇද්දැයි මට හදිසියෙන්ම කල්පනා විය.   මතක් කළද එහෙම දවසක් මතකයට නගා ගන්නට බැරිය.    සාමාන්‍ය පෙළ අවසන් වූ පසු එළැඹෙන සංක්‍රාන්ති සමය මා ගතකළේ අපේ අම්මලාගෙ ගමවූ බෝතලේය(ඇනෝ ඔන්න පොටක් පෑදුනා) බෝතලේට වී කුඹුරු වැඩ කරමින්ද හේන් කොටමින්ද රාත්‍රියේ  රජයට පවරාගත් පොල්වතු මුරකරමින්ද මීරිගමට ගොස් චිත්‍රපට නරඹමින්ද ගතකළ ඒ කාලය රසවත් අත්දැකීම් ගොන්නක් ජීවිතයට එක්කල සදානුස්මරණීය මතක සටහනකි.   මා ආපසු ගමට එනවිට ගොඩ්ප්‍රි අපේ ගමේ හිටියෙ නැත.   ඒ කාලයේ සිද්දවුන දේවල්ද අපට මගහැරුණු තැන්ද ආදී සියල්ලම අද කතාකර ගත හැකි නොවේද,  ගොඩ්ප්‍රි අපිව කෙසේ පිළිගනීද?  රසවත් කිතියකින් හදවත හිරිවැටී යද්දි ප්‍රියන්ත කළු ගේට්ටුවකින් ඇතුළට දමා වාහනය නතර කළේය.  මෑතකදී නිමකළ බව පෙනෙන ගෙයි මිදුලේ  ලස්සන මල් වගාවකි.  අඹ හෝ ලොවි හෝ දැන් මට මතක නැති ලොකු ගහක් මිදුලේ විය.   එළියේ තැබූ පුටුවක වාඩිවී නවලිය පත්තරයක් කියවමින් සිටියේ උස කාන්තාවකි. ගොඩ්ප්‍රි කටුවැල්ලේගම පෝසත් මුදලාලි කෙනෙකුගේ දුවෙක්ව කසාද බැඳපු බව හැරී අයියා කිව්වා මට මතකය.   අපි ගෙට ගොඩවෙද්දී ඒ කාන්තාව විමසිළිමත් දෑසින් අප දෙස බැලුවාය.  ඇයි මොකක්ද උවමනාව,කවුරු හම්බවෙන්නද යන ප්‍රශ්නය ඇගේ දෑසෙහි ලියැවී තිබිණි.   මම කතාකරන්නට පෙර හැරී අයියා ඉදිරිපත් විය.

ෂර්ලි මහත්තය ඉන්නවද දන්නෙ නෑ නේද?

ආ ඉන්නව ඉන්නව එයා පිටිපස්සෙ වැඩක්,පුතේ ගිහිං තාත්තට කතාකරන්න. එන්න ඇතුළට ඇවිත්  වාඩිවෙන්න.  කාන්තාව නොනවත්වා කියාගෙන ගියාය.

අපි ගෙතුළට ගොස්  පුටුවල වාඩිවී බලාසිටීම ඇරඹුවෙමු෴

Sunday, November 15, 2015

අටමාගේ ප්‍රිය සාදය මගේ කුරුම්බා දොළදුක සහ ගොඩ්ප්‍රි හමුවීම.


අදත් කළින් ලියා ඉතුරුකරපු කතා කීපයක ඉතුරුහරිය ලියන්නට සිත්විය.ඒ කතා කීපය  නම් මේ කතාවත් මේ කතාව  සහ මේ කතාවත්ය  ඒ කතාවල මා පුන පුනා කිව්වේ ගොඩ්ප්‍රි මගෙ පරණ යාලුවෙක් නමුත් බොහෝ කලකින් මට ඔහු මුණගැසී නැති බවත්, හමුවෙන්නට ලැබේ යයි බලාපොරොත්තුවෙන් හිටියත් හමුවේවිදැයි සැක සහිත බවත්ය.  අපේ හමුවීම දිගින් දිගටම ප්‍රමාද වනවිට මගේ හිතේ තිබු විශාලම සැකය වුනේ අප හමුවන්නට පෙර ඔහුගේ සමුගැනීම සිදුවේවිද කියාය.  ගොඩ්ප්‍රි ඉන්න තැන ඔත්තුව මට කිව්වේ හැරී අයියාය.  ඔහුත් එක්ක ඉස්සර රෙදිමෝලේ වැඩකළ යාලුවෙකුගේ දරුවෙක්ගේ මඟුල් ගෙදරට කටුවැල්ලේගම ගිය වෙලාවක හැරී අයියාට ගොඩ්ප්‍රි මුණගැසී ඇත.  එවෙලේ ගොඩ්ප්‍රි මා ගැනත් ඇසු බව හැරී අයියා කීවිට ගොඩ්ප්‍රි මුණගැහෙන්නට මට තිබුන ආශාව තවත් තීව්ර විය.  කොහොම උනත් ඒ දවස්වල මම හිටියේ විප්‍රවාසගත වන්නට ඉතා ආසන්නව බැවින් යන්නට ඉස්පාසුවක් නොවීය.

ඉන්පසුව විප්‍රවාසයේ ගතවූ පහුගිය අවුරුදු තුනට මා තුන්වරක් ලංකාවට ආවත් ගොඩ්ප්‍රි හමුවීමේ බලාපොරොත්තුව මුදුන්පත් කරගන්නට ලැබුණේ නැත.  ඒත් පහුගිය ජුලි මාසයේ අත්‍යාවශය කාරණාවකට මට හදිසියෙන්ම ලංකාවට එන්නට අවශ්‍යතාවක් විය.  ඒ උවමනාව නම් ජුලි මාසයේ මැද යෙදී තිබු හැලපැට්ටාගේ විදේශගතවීමයි.  කොල්ලාට සමුදෙන්නට කෙසේ හෝ එන්නට කියා බිරිඳ ඇවිටිලි කළාය. මමත් බොහොම අමාරුවෙන් නිවාඩු ලබාගෙන ජුලි පාළොස්වෙනිදා ලංකාවට එන්නට ටිකට් එකක්ද ගත්තෙමි.  මගේ ඒ ගමනේදීම යෙදී තිබු තවත් කාර්යයක් වුයේ අටමා විසින් සුදානම් කර කට්ටියගේ පැමිණීමද සහතික කරගෙන තිබු බ්ලොග් කරුවන්ගේ සාදයයි.  සාදයට අටමා යොදාගෙන තිබු දිනය වුයේ ජුලි දහඅට වෙනිදාය.  දවස් ගතවෙමින් මා ලංකාවට යන දිනය ලං ලංව එද්දී අටමාද දිනපතාම මා සමග සම්බන්ධ වෙමින් සාදයට සුදානම් වීමේ අලුත්ම තත්ත්වයන් ගැන මා දැනුවත් කළේය.  මේ විදියට දවස් ගෙවී  යද්දී දවසක්දා රෑ බිරිඳ මට ටෙලිපෝන් කළාය.

ඒ මොකද කිව්වොත් ජුලි 20 ට යෙදී තිබු හැලපැට්ටාගේ ගමන අගෝස්තු 10 දක්වා කල්ගිය බව කියන්නටය. එහෙම කියූ ඇය වැඩිදුරටත් කිව්වේ මම අගෝස්තු 4 වෙනිදා ආපහු යන බැවින් ජුලි 15 දිනට පැමිණීම වැඩක් නැති බවය.  ඒ නිසා ගමන පමා කරන්නැයි ඇය දිගින් දිගටම ඉල්ලා සිටියාය.  මා පත්වුණේ මහත් උහතෝකෝටිකයකටය.  මුදලින් යම් පාඩුවක් සිද්ද උනත් ටිකට් එක අවලංගු කර තව එකක් ගන්නට හැකිය.  නිවාඩුවද කලින් දැනුම් දී එහෙමෙහෙ කරගන්නට අපහසුවක් නැත.  නමුත් එහෙම කළොත් අටමා බොහොම අමාරුවෙන් ලාහට ගෙම්බන් එකතු කරන්නාසේ එක්කහු කරගෙන සංවිධානය කර තිබු බ්ලොග් මිතුරු හමුව නියමිත දිනයේදී පවත්වන්නට නොලැබේ.  නිදහසට කරුණු හැටියට ළමයාගේ කතාව කියා නොපැමිණීම සාධාරණීකරණය කරන්නට හැකියාවක් තිබුණත් එහෙම කරන්නට මට හිත දෙන්නේ නැත.  අනික් අතට මම පොල්ල තිබ්බා කියා එක්කෙනෙක් හරි හිතුවොත් එයත් මගේ හිතට හරි නැත.  මම මෙහෙම දෙගිඩියාවක ඉන්න අතරේ අටමා දවස ගානේ මට කතාකරමින් සාදයේ ප්‍රගතිය දැනුම් දෙයි.

අන්තිමට මම තීරණයක් අරගෙන හැලපැට්ටාට කතා කෙරුවෙමි.  කතාකර සම්පුර්ණ විස්තරය කියාදී මා විශාල අපහසුතාවකට පත්වී ඉන්නා බවත් හරියටම පිටත්වෙන දවසට සුබ පතන්නට මා නොහිටියොත් ඔහුට යම් හිත් අමාරුවක් ඇතිවේදැයි හැලපැට්ටාගෙන් ඇහුවෙමි.  මගේ සිත  ප්‍රීතියට පත්කරවමින් ඒ නුවණැති දරුවා එකහෙළාම මට කියාසිටියේ තාත්තාගේ පැමිණීම කවදා සිදුවුනත් මට ප්‍රශ්නයක් නැති බවත් මා නිසා යාලුවන්ට පොල්ල තියා තාත්තා බොරුකාරයෙක් වෙන්නට අවශ්‍ය නැති බවත්ය.  මේ සම්බන්ධයෙන් අම්මාටද කරුණු පහදා දෙන බව කොල්ලා වැඩිදුරටත් මට කියා සිටියේය.  ඒ අනුව යොදාගත් පරිදිම නියමිත දිනයේ ලංකාවට එන්නටත් අටමාගේ ප්‍රිය සාදය හොඳින් පවත්වාගන්නටත් මට හැකියාව ලැබුණි.  අටමාගේ සාදය දවසේ කට්ටිය එක්ක කොල්ලා සතුටු වෙනවා දුටු මට කලින් ආ එක කොපමණ හොඳදැයි සිතුනි.  

සාදය ගැන කතාකළ එකේ සාදය පිටුපස ඇති නොකියවුණ කතාවක්ද මට මතක්වුන නිසා ඒ කතාවත් මෙහෙම්මම කියා දමමි.  ඒ මොකක්ද කිව්වොත් අපේ හිතවත් චෙපාකිගේ සුවච කීකරු මාතලී හෙවත් රියදුරු තුමා ගැනය.  ඔහු ඉතා හොඳට පිරිසිදුව හැඳ පැළඳ කොන්ඩයද කොට වෙන්නට කපා සිටි යාන්තමට තරුණ විය ඉක්මවමින් සිටින කෙනෙකුසේ පෙනුන නිසා මම නිගමනය කළේ ඔහු ආරක්ෂක හමුදාවක සේවය කරමින් සිට විශ්‍රාම ගත් කෙනෙකු කියාය.  කොහොම උනත් අනික් අය සියල්ලෝම කමින් බොමින් සතුටුවෙමින් සිටියදී ඔහුට  පුදුම කට්ටක් කන්නට සිදුවිය.  ඒ උදේ නවයහමාරේ පමණ සිට හවස හයහමාර පමණ වෙනතුරුය.  මමත් ඔහුට වරක් දෙවරක් කතාකළෙමි ඒ ගෙට ඇවිත් වාඩිවෙන්නට කියන්නටත් දවල්ට කන්නට කියන්නටත්ය.  උදේ අපේ ඉස්තෝප්පුවේ ඉඳගෙන ඉරිදා පත්තර ටික කියවූ ඔහු ඉන්පසුව වාහනයටවී වාඩිගෙන සිටිනවා දැක්කෙමි.

ඉන්පසුව  පාරේ ඉහළ පහළ ඇවිදිමින්ද පෝන් එකෙන් කතාකරමින්ද ඉන්නවා දැක්කේ මම විටින් විට එළියට ආපු වෙලාවල් වලය.   හාම්පුතා කීයට හරි එළියට එනතුරු බලාගෙන සිටීම ඔහුගේ රාජකාරිය නිසා අනුකම්පා කරනු ඇරෙන්නට වෙනත් කළ හැකි දෙයක් නොවීය.  කොහොම උනත් චෙපාකිගේ රියදුරු තැනද චෙපාකිටම ගැලපෙන ඉවසන සුළු අහිංසක චරිතයක් බව මම දැක්කෙමි.  ඉවාන් මගෝඩියා සාදයට ආවේ හොඳටම පමාවෙලාය.  මගක් එද්දී ඉවානයා චෙපාකිගේ මාතලීට කෝල් එකක් දුන්නේ පාර අසාගන්නටය.  ඔහු ඇමතුම  ගන්නවා මම බලා සිටියෙමි.  ඒ කෝල් එකට පසු ඔහු සිටියේ ඉතා සතුටින්ය.  ගේට්ටුව ළඟ හිටපු මට ඔහු ඇවිදින් කිව්වේ ප්‍රගීත් මහත්තයා දැන් එනවා කියූ බවයි.  ඒ කියද්දීත් ඔහුගේ දෑස් සතුටින් දිළිසෙනු මම දැක්කෙමි.  ප්‍රගීත් මහත්තයාට වාහනය පාක් කරන්නට තැන පෙන්වන්නැයි  මම ඔහුට කීවෙමි.

ඊළඟ සොමිය දුන්නේ සජ්ජාය.  ඌ සයිකලේ ඇවිත් අපේ ගේ ඉස්සරහ නවත්වා ගේට්ටුව ළඟ හිටිය මට හිනාවක්ද දමා ඇහුවේ පිට්ටනිය තියෙන තැනය.  මම  පිට්ටනිය පෙන්නු විට සජ්ජා මටත් ස්තුතිකර යන්නට ගියේය.  ඒත් මගේ ඔලුවේ වැඩකලේම ඌ අපේ ගෙදරට එන්නට ආපු එකෙක් වෙන්නට හැකි බවයි.  අපරාදෙ තව ටිකක් කතාකරන්නට තිබුනා නොවේදැයි මටම කියාගතිමි.  ඒ සිතුවිල්ල අවසන් වෙන්නටත් පෙර ආපසු ඇවිත් තිබුනු සජ්ජා නැවතත් මා ඉදිරියේ පෙනී සිටියේ හිනාවෙමිනි.   වැඩේ සිද්දවී තිබුණේ සංවිධායක අටමා අපේ ගෙදරට එන සියළුම දෙනාට මග සලකුණ වශයෙන් ක්‍රීඩා පිටිය දන්වා තිබීමයි.  අනික් කාරණය  නම් දවල් වෙනවිට ඌ ඔක්කොටොම  එන මග කිව්වේ සංස්කෘත භාෂාවෙන් වීමයි.  අටමාගේ භාෂා නිපුණත්වය ඉදිරියේ හොල්මං වන අපේ උන් හිස ගිනිගත්තවුන් සේ අපේ ගේ පහු කරමින් පිට්ටනියට ගියහ.

ළමයාගේ ගමනත් කල්ගිය නිසා ඉන්පසුව කරන්නට කියා නිශ්චිත වැඩක් නොවූ අතර උදේට හැලපැට්ටාද එකතු කරගෙන පයින්ම ටවුමට ගිහිං සුමනගිරි හෝටලේ කටදන මිරිස් මාළු හොදිත් එක්ක රෝස්පාන් කෑමත් දවල් කෑමට පෙර  සීතල ළිං වතුරෙන් හොඳට නා කියාගෙන ඇවිත් මම ගෙනවිත් තිබු කුරුම්බා වල්ලෙන් ගෙඩියක් දෙකක් කපාගෙන බීමත් හවසට දහඅටේ කන්ද උඩ කඩේ ආප්ප පුච්චන ආච්චිගෙන් ආප්ප අරගෙන ඒම හෝ නාරංවත්තේ ඉඳිආප්ප අම්මාගෙන් ඉඳිආප්ප ගෙන ඒමත් මගේ  දෛනික රාජකාරි විය.

කුරුම්බා මතක්වුන වෙලේ ඒ ගැනත් වචනයක් දෙකක් කිව යුතුය.  ඉස්සර අපි කොල්ලන් කාලේ දවසේ පැය විසිහතරේ ඕනෑම වෙලාවක කුරුම්බා බී ගෙඩිය පළා ලොඳද හුරාගෙන කන්නට සැදී පැහැදී සිටියෙමු.  දැන් ඉන්න ළමයි කුරුම්බා කෑමේ කලාව නොදන්නා හේතුවෙන් කුරුම්බා වලු පිටින් පොල් බවට පත්වෙයි. කොටින්ම කිව්වොත් අවුරුදු හතර පහකින්වත් මට කුරුම්බාවක් බොන්නට ලැබුණේ නැත.  ගමේ ගස්වල කුරුම්බා හොයන්නට වූ මට කීප දෙනෙක්ම කිව්වේ ගමේ දැන් කුරුම්බා  නැති බවයි. මගේ කුරුම්බා බීමේ දොළදුක සංසිඳවන්නට බිරිඳ ඉදිරිපත් වුවාය.  ඇය කිව්වේ ගමේ යනදාට මට බොන්නට කුරුම්බා වල්ලක් කපා තියන්නට කියා ලොකු අයියාට පණිවිඩයක් යවන බවයි.  කිව්වත් වගේම අයියා මට බොන්නට පත කුරුම්බා වල්ලක් කපා ගෙයි තියාගෙන හිටියේය.  ගෙඩි දෙකක් බොනවිට මගේ බඩ බැලුමක් සේ පිම්බී ආවේය.  බිරිඳ මට සවුත්තුව දැම්මේ අයියා අමාරුවෙන් හොයා තියපු කුරුම්බා වල්ල එකක්වත් ඉතුරු නොකර බීම මගේ  යුතුකම කියාය.  මම ඒ කතා ගණනකට නොගෙන ගෙදර එනවිට කුරුම්බා වල්ල අරගෙන ආවෙමි.   ඊට පසුව  නම් කුරුම්බා වල්ලට යුතුකම ඉටුකරන්නට කට්ටිය ඕනෑ තරම් සිටියෝය.

නිවාඩුව නිකම්ම වගේ ගෙවී යන නිසා හැකිනම් ගොඩ්ප්‍රි හම්බවෙන්නට යන්නට සිතාගෙන හැරී අයියාට කතාකර බැලුවෙමි.  ඔහු කිව්වේ මේ දවස්වල ඔහුට කියන්නට තරං හදිස්සි වැඩක් නැති නිසා යන්නට දවසක් ලෑස්ති  කරගෙන දැනුම් දුන්නොත් මගෙත් එක්ක එන්නට පුළුවන් බවය.  ඒ අනුව මම ඉරිදා දවසක වැඩේ ලෑස්ති කරගෙන ප්‍රියන්තටද කතා කරගෙන උදේම පිටත් වුනෙමි.  ප්‍රියන්ත කටුවැල්ලේගමට යන්නට කෙටි පාරවල් හොඳින් දන්නා නිසා අහරෙන් මෙහෙන් ඇති පාරවල් වලට දමමින් ගමන ගියේය.  ඒ ගිය පැත්ත නම් මා යන්නට ඉතා ප්‍රියකරන පළාතකි.  බැලු බැලු තැන ඇත්තේ ලඳු කැලෑ සහ විශාල වතුය, තැනෙක කුඹුරු යායකි.  ගෙවල් ඇත්තේ අතරින් පතර නිසා ඇහැට වෙහෙසක් නැත.  කටුවැල්ලේගමට ලං වන විට ගෙවල් වැඩිවන්නට විය. දැන් හැරී අයියා ප්‍රියන්තට පාර කියයි.  හංදිය පහුකර ඉස්සරහට ගියවිට පංසලක් හම්බවෙන බවත් එතනින් වමට හැරුණ ගමන් ගොඩ්ප්‍රිලගේ ගෙවල් හම්බවෙන බවත් කියමින් ඉදිරියටම ගියෙමු.  පන්සල තිබුණත් ඊට පස්සේ හැරී අයියා කියූ විදියට කඩයක් හෝ පාරක් තිබුණේ නැත.  පන්සල ඉස්සරහම අති විශාල කෝට්ලෝඩ්ස් ඇඟළුම් කර්මාන්ත ශාලාවකි.  තවත් ඉස්සරහට ගිහිං විපරම්කර බැලුවද කිසිම මං සලකුණක් සොයා ගන්නට හැරී අයියාට හැකිවුණේ නැත.  

මට දැන් පුල් ජොලිය,ඒ ඉස්සර එඩුවාත් මමත් කරන වැඩක් මතක් වෙලාය.  අපි එඩුවා සමග ඈත පළාතකට ගියවිට උවමනාවෙන්ම පාර වරද්දා ගන්නෙමු.  ඊට පසුව දවසෙන් බාගයක්ම ගෙවෙනතුරු ආපහු එන පාර හොයමු.  ඒ අතරතුර රෙඩ් වයින් බෝතල්ද කෝන් බීෆ් ටින් කීපයක් සහ බගට් දෙකතුනක්ද අවසන් වෙයි.  මේ දෙන්නගේ වැඩෙන් මට ඒ කතාවත් මතක් විය.  හැරී අයියාටත් ප්‍රියන්තටත් පාර හොයාගන්නට ඉඩහැර මම අවටපිට සිරි නරඹමින් සිටියෙමි.  තවත් ටිකක් ඉස්සරහට ගිහිං කඩේකින් පාර ඇසුවිට කඩෙන් කිව්වේ මේ කටුවැල්ලේගම නොව යටියන බවයි.  දෙන්නාටම කිසිම හෝඩුවාවක් හොයාගන්නට බැරිතැන ආපහු හංදිය පැත්තට ගිහිං සොයා බලන්නට දෙන්නා තීරණය කළෝය.   

දැන් අපට පාර පෙන්නන්නට ආ හැරී අයියාද දුර්මුඛ වෙලාය.  ඔහු හිතන්නට ඇත්තේ කල් යල් බලා ආ ගමන අසාර්ථක උනොත් ඒ ඔහුගේ වැරැද්ද නිසා කියා වෙන්නට ඇත.  මම දෙන්නටම කිව්වේ අපි ගොඩ්ප්‍රිගේ දුක සැප බලා යන්නට ආවා මිසක ඔහුගෙන් විශේෂ වැඩක් කරගන්නට නැති නිසා ගේ හොයාගන්නට බැරිවුනොත් ආපහු යමු කියලාය,වෙන මොනවා කරන්නද?  ඔය අව් අස්සේ මම හැරී අයියාගෙන් ඇහුවේ යාළුවාගේ මඟුල් ගෙදර ආවේ කවදද කියලාය.   ඔහු ගත් කටටම කිව්වේ ඒ ආවේ මීට අවුරුදු දොළහකට ඉස්සරින් කියාය.   ඒ ඇසු මට දැන් තවත් ජොලිය, දෙන්නාට පාර හොයාගෙන එන්නට කියූ මම පාර අයිනේ තිබුන කඩේකින් බුලත්විටක්ද අරගෙන එතැනම තිබුන කොට්ටං ගහ මුල වාඩිවී බුලත්විට හපමින්ද පාරේ යන ළඳුන්ට මෛත්‍රී  කරමින්ද  සිටියෙමි ෴

ප.ලි :මෙදා සැරේ ලංකාවට යද්දී කැමරාව ගෙනියන්නට අමතක වීම හරිම පාඩුවක් විය.  කතාවට දමන්නට පිංතුරයක් සොයමින් ගූගල් පීරන විට කටුවැල්ලේගම පංසලේ මේ පිංතුරය ලැබුණු නිසා එය දැම්මෙමි.

Tuesday, November 10, 2015

තුන් වසර, දෙසැම්බර් 31 පාටිය සහ ආරියගෙ ඩ්‍රෙස්කෝඩ් එක.

අද හැලපකඩේ බ්ලොගයට නිල වශයෙන් තුන් වසරක් සපිරෙයි.ඒ කියන්නේ බ්ලොගය ආරම්භකළේ 2012 නොවැම්බර් එකොළොස් වැනිදාය.එහෙම ආරම්භ කළාට ලියන්නට පටන්ගත්තේ නම් දෙසැම්බර් මාසයේය.ඒ පටන්ගත් දා සිටම මගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබේ ප්‍රසාදය සඳහා ලීවෙමි.ඒත් පහුගිය කාලයේ බ්ලොග් රචකයන් සෑහෙන සංඛ්‍යාවක් බ්ලොග් ලිවීමෙන් හැලී යන අයුරු අපට දකින්නට ලැබුණි.ඒ කොච්චරද කිව්වොත් මගේ බ්ලොග් රෝලේ ඇති 140 ක පමණ  බ්ලොග් අඩවි වලින් යාවත්කාලීන වන්නේ බ්ලොග් අඩවි තිහක් හෝ හතළිහක් පමණි.පුරා අවුරුද්දකට වැඩි කාලයක් යාවත්කාලීන නොවූ බ්ලොග් අඩවි හතළිහකට ආසන්න ප්‍රමාණයක් මා පසුගිය දවසක බ්ලොග් රෝලෙන් ඉවත්කළෙමි.ඊළඟ වටයේ ඒ තැන ගන්නට තවත් ඒ හා සමානම බ්ලොග් අඩවි සංඛ්‍යාවක් පෝලිමේ සිටී.

මේ බ්ලොගය පටන් ගනිද්දී කොපමණ කාලයක් ලියනවාද කොපමණ ලිපි ප්‍රමාණයක් ලියනවාද යන්න සම්බන්ධයෙන් කිසිම පුර්ව නිගමනයක් මා වෙත නොවීය.මගේ ආත්ම තෘප්තිය උදෙසා මා ලිවූ අතර කියවන ඔබ මගේ ලිවීම අගය කිරීම මට දිගටම ලිවීමේ නියැලීමට උත්තේජනයක් විය.අවුරුදු තුනක් පුරාවට ලියාගෙන ආවේ ඒ ආකාරයටය.ලියන්නට කම්මැලි කමක් මේ තාක් ඇති නොවුනත් විටින් විට ඇතිවන කාර්ය බහුලත්වය ලිවීමට බාධා ඇතිකරයි.තුන් වර්ෂ පුර්ණය නිමිත්තෙන් බ්ලොග් ලිවීමේ මගේ අත්දැකීම් ගැන වෙනම ලිපියක් ලියන්නට කලින් සිතා සිටියද එයද නොහැකි වුනේ දැඩි කාර්ය බහුලබව නිසාමය.ඒ නිසා කලින් ලියා තිබු මේ ලිපිය අද පළකරමි.මගේ බ්ලොග් ලිවීමට සවියක්ව උදව් දුන් ඔබ සියලු දෙනාටම මගේ සහෝදරත්වයේ ආචාරය පිරිනමමි.


අපේ කතාවට අනුව ඊළඟට කියන්නට තියෙන්නේ දෙසැම්බර් තිස් එක් වෙනිදා ගම්බද උත්සව ශාලාවේ පැවැත්වුන පාටියත් ආරියාගේ ඩ්‍රෙස්කෝඩ් එකත් ගැනය.ගම්බදේ අයිතිකාරයා පාටියට ටිකට් ගහගෙන ආවේ මාස දෙක තුනකට පෙරදීය.හොඳ ගනුදෙනුකරුවන් වන අපට ගෙදරටම ගෙනත් ටිකට් වික්කේය.ටිකට් එකක් දෙදාහය,ඒ මුළු පවුලටමය.වෙල්කම් ඩ්‍රින්ක් එක,බෝතලයක් සමග හපන්නට අවශ්‍ය කටගැස්ම සහ ප්‍රණීත රාත්‍රී අහාරය බුපේ ක්‍රමයට ලබාදීම පැකේජ් එකය.අමතර බෝතල් අවශ්‍ය නම් මුදලට ලබා ගතහැකිය.ඊට අමතරව තාරාවාගේ බෙල්ලට වළල්ල දැමීම,ටිකට්වලට දිනුම් ඇද තෑගි දීම ආදී නොයෙක් විවිධාංගද දරුවන්ට විනෝද ක්‍රීඩාද ආදී වශයෙන් තිබුණු ලැයිස්තුවේ සංගීත කණ්ඩායමක් එදිනට සංගීතය සපයන බවද සඳහන් විය.පැකේජ් එක සාධාරණ නිසා අපිත් පවුලටම එකක් ගත්තෙමු.ඉක්මනටම තිස්එක් වෙනිදා ලඟාවිය.

රාත්‍රී අට අටහමාර වෙද්දී අපි සුදත්ලගේ පවුලත් සමග ගම්බදේට යනවිටත් තවත් කණ්ඩායම් කීපයක් මේසවලට වාඩිවී සිටියහ.ගම්බදේ අයිතිකාරයා අපව පිළිගත්තේය.තමන්ගේ හෝටලයේ  ප්‍රීති උත්සවයක් පැවැත්වෙන වෙලාවක අයිතිකාරයා මනමාලයෙක් මෙන් හැඳ පැළඳ උතුරා යන සතුටින් සිටිය යුතු වූවත් මුගේ මුණ නිකං මළගෙදරක් වගේය.හොඳ පරීක්ෂාවෙන් බැලුවත්  කියවන්නට බැරි ඒ මූණ විනාඩියෙන් විනාඩියට විවිධ වෙස් ගැනීම මට  මහත් ප්‍රහේළිකාවක් විය.කට්ටිය ඉස්සරහ අහන්නටත් බැරිය.කොහොම උනත් මම උගේ මුණ මතක තියාගෙනම කට්ටියත් එක්ක ගිහිං මේසෙකට වාඩි වුනෙමි.වෙල්කම් ඩ්‍රින්ක් එකත් ඊට පසුව බෝතලයකුත් ආදී වශයෙන් පැකේජයේ තිබුනු පිළිවෙලටම මේසයට ආවේය.කටගැස්මට සම්ප්‍රදායික ලෙස ඩෙවල් චිකන් පාට්ස් සහ තම්බපු කඩලය.වීදුරුවට ටිකක් වක්කරගෙන අපි දෙන්නා බොන ටිකට ගෑනු සහ ළමයි ටික කටගැස්මට වැඩේ දීලාය.කොච්චර ගෙනාවත් ඔයටික තමයි කියා අපි දන්න නිසා සද්ද නොකර බීවෙමු.බිරිඳ මේසයට වාඩිවී ඉඳගෙනම නිවේදනය කළේ  හෙට නිවාඩු දවසක් නම් බීම ගැන වචනයක්වත් නොකියන බවත් නමුත් හෙට ජනවාරි පළවෙනිදා දෙන්නාටම වැඩට යන්නට තියෙන නිසා බොන හරියක් ඉක්මනට බී  මහ රෑ පාන්දර වෙනතුරු නොඉඳ රෑට කෑම ගෙන ගෙදර යමු කියාය. 

සුහද කතාබහ සතුටු සිනා අතරින් සාදය ඉදිරියට ගියත් මට මතක් වෙන්නෙම ගම්බදේ අයිතිකාරයාගේ මුණය.ෂොට් දෙකතුනක් වැදී ඇඟපත සැහැල්ලුවී හොඳට කතා කරන්නට පුළුවන් ගානට එනවිට මම ගම්බදේ අයිතිකාරයා සොයා ගියෙමි.මනුස්සයා එළි පහලියක නැත.තවත් ඇතුළට යනවිට කුස්සියේ වාඩිවී කම්මුලටත් අත තියාගෙන මොනවද කෑ රිළවා මෙන් ඉන්න අයිතිකාරයා මට හමුවිය.මම ඔහුට කතාකළ විට අහන්නත් ඉස්සර සිදුවී ඇති අකරතැබ්බය මට කීවේය.පාටියට ජයට උයන්නට කෝකියෙක් කතාකරගෙන හිටියත් කෝකියා ඇවිත් නැත.කුස්සියේ වැඩ කරන කොල්ලත් හවුල් කරගෙන කෑම ටිකක් උයාගත්තත් ඒ ටික පැමිණෙන ඔක්කොටොම කන්න දෙන්නට මදිය.කුස්සියේ වැඩකරන කොල්ලා ආයෙමත් උයන්නට කැමති නැත.ඒ මොකද කිව්වොත් ඌ අලුත් ඇඳුමකුත් මසාගෙන ඇඳගෙන ඇවිත් ඒ රාත්‍රියේ උගේ සොමිය ගන්නට බලාපොරොත්තුවෙන් ඉන්න බැවිනි.සංගීත කණ්ඩායමද ඇවිත් නැත.කකුල් ගැටගසපු තාරාවෝ ටික දාපු දාපු තැන්වල රොබ්බාගෙන ඉඳිති.වැඩ කටයුතු බලන්නට හොයාබලා කරන්නට කවුරුවත් නැත.මේ ඔක්කොම ප්‍රශ්න ටික එකට පැටලී අයිතිකාරයාගේ ඔලුව යකාගෙ කම්මල වගේ වෙලාය.උදව්වට කෙනෙක් හෝ දුක කියන්නටද කෙනෙක් නැති තැන කුස්සියට වී කල්පනා කරමින් සිටින බව ඔහු කීවේය.

කෝකියත් සංගීත කණ්ඩායමත් ඇවිත් නැත්තේ මුගෙ මොකක් හරි මරිසි වැඩක් නිසා වෙන්නට හැක. මේ සියළු ප්‍රශ්න ඇතිවී තියෙන්නේ කාටවත් මේ වගේ වැඩක් ගැන අත්දැකීමක් නැතිකම නිසා බව හොඳට පෙනේ.කොහොම උනත් ගම්බදේ කාර්ය මණ්ඩලයෙන් අයිතිකාරයාට ප්‍රමාණවත් සහයෝගයක් ලැබී නැති බව නම් පැහැදිළිය.අයිතිකාරයාට මම කීවේ වෙච්ච දේවල් ගැන කල්පනා කර කර  පසුතැවිලි වීමෙන් කිසිම පලක් නැති බවය.මුණ හෝදාගෙන එලියට ගිහිං තමන්ට පුළු පුළුවන් වැඩ ටිකවත් කරදාන්නට කියා කීවෙමි.මිනිහා වැඩියත්ම බයවී හිටියේ කන්නට මදිවී කොල්ලන් ගෝරි දමාවියයි කියාය.එහෙම නොවෙන්නට කොල්ලන් ෂේප් කර දෙන්නම් කියා මම පොරොන්දු උනෙමි.කෑම වෙනුවට උන්ට වැඩිපුර  බීම ටිකක් නොමිලේ දෙන්නට ඔහු කැමති විය.ඒ අනුව බපල් දෙකක් ගෙනත් එළියට දමා සංගීතය සපයන්නට පළමුවෙන්ම කටයුතු කළෙමු.නිදිමතේ තිබු පාටිය පණගසා ආවේ එවිටය.අයිතිකාරයාට පැත්තකට කතාකර කට කපා වීදුරුවකින් එකක් බොන්නට දුන්නේ හිතේ තිබු බය ඇරෙන්නටය.එවිට හිතේ බය බාගයක්ම ඇරී මිනිහා සැහැල්ලුවෙන් සාද භූමියේ සැරිසරන්නට විය.මමත් ආපහු ඇවිත් මේසයට වාඩිවී කතා කරමින් හිටියෙමි.

ගේට්ටුව ළඟ ලොකු සද්දයක් ඇහෙන්නට උනේ මේ අතරය. කවුදෝ හයියෙන් හයියෙන් කතාකරයි.ගේට්ටුවට තඩිබායි.සද්දෙ මොකක්දැයි ඔලුව දමා බැලුකල හොල්මනක් මෙන් කරුවලේ ගේට්ටුව ළඟ කෑගහන්නේ ආරියාය.කැලැන්ඩරේ දවස ගැනවත් හෝදිසියක් නැති එකාට හදිසියේ තිස්එක්වෙනිදා රෑ පාටි දාන්නට මතක් උනේ මොකද කියා මට ප්‍රශ්නයක් ඇතිවුනි.මම පස්සෙ උගෙන් අහලා දැනගත්ත විදියට කතාව මෙහෙමය.ගම්බදේ පාටිය ගැන ආරියාට මොනම හෝදිසියක් වත් තිබුණේ නැත.ඌ වෙනදා පුරුද්දට රෑ වෙද්දි තවත් යාලුවෙක් එක්ක හොර පොළට ගියේ කාලක් බාගයක් බී ගෙදර එන්නටය.ඇතිවෙන්න බීගෙන ආපහු එද්දී යනකොට ඇහුනේ නැති සංගීත සද්දක් මහ හයියෙන් ඇසී ඇත.සද්දෙ මොකද්ද කියා බලනකල ගම්බදේ මඟුල් ගෙයක් වගේ ලයිට් දමා සරසලාය.ඇතුළේ නටන කට්ටියත් උගෙ යාලුවන්ය.දැන් ආරියාට හොඳටම චූන්ය.නමුත් ඌට ඇතුල්වෙන්නට බැරි විදියට ගේට්ටුව වහලාය. ආරියා ගේට්ටුවට තඩිබාන්නට පටන් ගත්තේ ඊට පස්සෙය.

වැඩ කරන දෙතුන් දෙනෙකුත් ගම්බදේ අයිතිකාරයත් ගේට්ටුව ලඟට ගියේ ආරියාව සංසුන් කරවන්නටය.මම ඇතුළේ ඉඳගෙන ආරියාට අත වැනුවිට ඌ තවත් චූන්වී ගැම්ම අරගෙන බනින්නට විය.අයිතිකාරයා ආරිට කිව්වේ පාටිය තියෙන්නේ කලින්ම ආසන වෙන්කරගෙන සිටි අමුත්තන්ට පමණක් බවත් දැන් ඒ අය සියලුම දෙනා ඇවිත් සිටින බවත් වෙන අය ඇතුළට ගන්නට විදියක් නැති  බවත්ය.අනික් අතට ඇවිදින් ඉන්න කට්ටියටවත් කන්නට දීගන්න බැරුව ඉන්න අයිතිකාරයා තව උන් ඇතුළට අරගෙන ඉල්ලං කන්නේ මොනවාටදැයි හිතන්නට ඇත.නමුත් හොඳටම බීමත්ව ඉන්න ආරියා ඔය පැහැදිළි කිරීම්වලින් සංසුන් කරන්නට හැකි තත්වයක හිටියේ නැත.ඌ වෙඩි කාපු ඌරෙක් සේ දඟලයි.සල්ලි කීයක් හෝ අරගෙන ඇතුළට ගන්න කියා බනියි.ගම්බදේ අයිතිකාරයා අන්තිම තුරුම්පුවද ගැහුවේය.එනම් ආරියාව ඇතුළට ගන්නට කැමති නමුත් ඌ කලිසමක් ඇඳ පිළිවෙලට ඇවිත් නැති නිසා ගන්නට විදියක් නැත කියා කීවේය.ආරියා එයින් මෙල්ලවී ආපහු යයි කියා මිනිහා හිතන්නට ඇත.ආරියා ආපහු ගියද විනාඩි දහයක්වත් යන්නට ඉස්සර කලිසමකුත් ඇඳගෙන ආපහු ආවේය.මට පුදුම හිතුනේ මු මෙච්චර කඩිනමට කලිසමක් හොයා ගත්තේ කොහෙන්ද කියාය.යාළුවෙක්ගෙන් ඉල්ලා ගත්තාද එහෙම නැත්නං වැලක වේලෙන්නට දමා තිබු කලිසමක් ඇඳගෙන ආවාද කියා දන්නේ නැත.නමුත් කලිසම ඌට හොඳටම හිරය ඒ මදිවට කොටය. ආරියා හරියට ඉස්සර අපේ ගමේ ටීටර්වල හිටිය බම්බුවා වගේමය.

මට ඌව දැක්ක ගමන් හිනා ගිය ගමන බිබී හිටපු එකත් ඉස්මොලේ ගියේය.ඒ ගමන ගම්බදේ අයිතිකාරයාට කියන්නට දෙයක් නැති නිසා ආරියාව ඇතුළට ගත්තේය.ආරියා තදයා ලෙස දුරින් දුරින් අඩි තබමින් ඇතුළට ආවේ ජයග්‍රාහී ලීලාවෙනි.උගේ ලොකුකමට මගෙත් එක්ක කතා කළේවත් නැත.ගිහිං නටන්නට ගත්තේය.ගම්බදේ දෙසැම්බර් තර්ටි ෆස්ට් නයිට් එකේ වග විස්තර ඔහොමය.ඊට පසුව අපි වැඩිවෙලාවක් රැඳුනේ නැත.යන්නට ඕනෑ කියන ගෑනුන්ගේ කරච්චලය නිසා බාගෙට බී කෑම කා ගෙවල්වලට පිටත්වුනෙමු.අපිත් එක්ක යන්නට සුද්දා ඇතුළු කණ්ඩායමටද කතා කළත් තව ටිකක් සොමිය අරගෙන එනවා කියා නැවතුන උන් ටිකට රෑට කන්නවත් නැතුව ගිය බව ඊට පහුවදා සුද්දා මගෙත් එක්ක කීවේය.ගෝරි දාන්න එපා කියා කොල්ලන්ට කියන්නට මට මතක නැති උනත් හොඳ වෙලාවට කිසිම ගෝරියක් ඇතිවී නැත෴

Sunday, November 1, 2015

වෝර්සෝ,එඩුවගේ පෘතුගාල ගමන බ්‍රින්දොන්ක් සහ නික්ම යෑම .


අප තීරණය කරගෙන තිබු පරිද්දෙන්ම අප්‍රේල් මාසයේ එක්තරා සැන්දෑවක ගාර් ඩි මිඩිවලින් වෝර්සෝ බලා යන බස් රථයට ගොඩවුනේ සිංහල අලුත් අවුරුද්ද වෝර්සෝවල ගෙවා දමමින් අවුෂ්විට්ස් වද කඳවුරද නරඹන්නට යන්නටය.නියමිත වෙලාවට බසය පිටත්විය.එඩුවාද එදිනම රාත්‍රියේ පෘතුගාලය බලා ගුවන්ගත විය. මුළු රාත්‍රිය පුරාම බසය ජර්මනිය හරහා ගමන්ගත්තේය.අප පෝලන්ත දේශ සීමාවට පැමිණෙන විට වටින් ගොඩින් එළිය වැටෙමින් තිබිණි.පෝලන්ත ගමන ගැන විස්තරයක් වෙනම ලිවිය යුතු බැවින් මෙහිදී ගමනේ විස්තර සඳහන් කරන්නට නොයමි.එතැනින් පෝලන්තයට ඇතුළුවූ අපි වෝර්සෝවලට පැමිණෙන විට සවස්වී තිබුණි.පෝලන්තය විශාල රටක් බව මා දැනගෙන සිටියත් මෙතරම් විශාල යැයි රටට එනතුරු නොසිතුවෙමි.සංග්‍රාහිකාව අප එනතුරු බලා සිටියාය.අධික මහන්සියත් නිදිමතත් හේතුවෙන් රෑට කෑවයින් නොකෑවයින් ඇඳට වැටී මළකඳන් මෙන් නිදාගත් අප ඇහැරුණේ පසුවදා උදයේය.එදින වෝර්සෝවල රවුමක් ගැසූ අප පසුදින ක්‍රැකෝ යන්නට සිතාගෙන අවුෂ්විට්ස් කඳවුරට ටෙලිපෝන් කළෙමු.පිළිතුරු නැත.ක්‍රැකෝවල දන්නා අඳුනන ටැක්සි රියැදුරෙකුට කතාකළ විට ඔහු කීවේ පාස්කු නිවාඩුවට අවුෂ්විට්ස් කඳවුර සතියක් වසා ඇති බවයි.ඊට අමතරව නත්තලට දවසක් වසනු ලැබේ.අවුරුද්දටම නිවාඩු එපමණය.

යන්නට ආ ගමන අසාර්ථක වූ බැවින් අපි බෙහෙවින් සිත් තැවුලට පත්වූයෙමු. හරියට සිකුරාදාවක ටජ්මහල් බලන්නට ගියාසේය.මේ අපේ නොලැබීමම මිස වෙන කුමක්ද.අලුත් අවුරුදු කෑමවල් නම් කිහිප තැනකම විය. වෝර්සෝ ගියා වෙනුවට රවුමක් ගසා ආපසු පැමිණියෙමු.මේ අතර පෘතුගාලයට ගිය එඩුවාට කුමක් වීද? එඩුවා ලිස්බන් නගරයේ  සුපිරිසිදු පෝට්වයින් රස බලමින් සිය පර්යේෂණය ආරම්භ කළා පමණකි.ගෙදරින් ලැබුන දුරකථන ඇමතුමකින් කියවුනේ පාර්ලිමේන්තු ඡන්දය තව දින දෙකකින් පවත්වන බැවින් වහාම ආපසු පැමිණෙන ලෙසටය.ඡන්දය හෝ දේශපාලනය ගැන කිසිම උනන්දුවක් නැති එඩුවා පර්යේෂණය අතරමග නතරකර දමා හැරෙන තැපෑලෙන් ආපසු යන්නේ ඡන්දය නොදුන්නොත් වදින දඩය පෘතුගාලයට දෙතුන් සැරයක් යන්නට එන්නට තරම් ප්‍රමාණවත් නිසාය.ඡන්දය ගැන කිසිම හෝදිසියක් නැතිව යොදාගත් ගමන සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.ඒ අනුව අප දෙදෙනාගේම බලාපොරොත්තු සුන්වී ගියේ වැල්ලේ තැනූ මාලිගා සේය.

අවුෂ්විට්ස් කඳවුර බලන්නට නොලැබීම ගැන මටත් වඩා සිත් තැවුලට පත්වී සිටියේ එඩුවාය.ඔහු කීවේ අවුෂ්විට්ස් තරම් ලොකු නැතත් හිට්ලර්ගේ වද කඳවුරක් මේ රටේත් තිබෙන බවය.වෙලාවක ඒ කඳවුර බලන්නට යමුයි කියූ ඔහු පසුදිනෙක අප  බ්‍රින්දොන්ක් හි පිහිටි ඒ කඳවුර බලන්නට අරගෙන ගියේය.ඒ කතාව වෙනම කිවයුතු එකක් බැවින් එයද පසුවට කියන්නට තබාගනිමි. ඉතිං එඩුවා සම්බන්ධයෙන් දැනට එපමණය. පහුගිය අවුරුද්දේ දවසක මම එඩුවාට කතාකළේ දුක සැප අහන්නටත් වඩා පැරණි මතකයන් අලුත් කරගැනීමටය.එකළ ඔහු හැන්සන් සුළීහි ගෙය අතහැර ඊට ටිකක් ඈතින් ඇති වෙනත් ගෙයක විශ්‍රාම සුවයෙන් කල් ගෙවමින් සිටියේය. ඒ දවස්වල සරසවි අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙක් වූ අපේ මිත්‍ර ඉතියෝපියන් ජාතික ගෙත් දැන් කැනඩාවේ කැල්ගරි හි ජීවත්වන බවත් ඔහු දැන් මහාචාර්ය ගෙත් බවත් එඩුවා කීවේ කැහ් කැහ්  ගා  හිනාවෙමිනි.අතරමගදී අතහැර දමා ආ පෘතුගාල සංචාරය නැවත යන්නට එඩුවාට ලැබුනේ නැත.ඕනෑනම් දැන් ගිහිං ඒ කටයුත්ත ඉවර කර දමන්නට හැකි නොවේදැයි මා ඇසුවිට එඩුවා කීවේ දැන් ඒ ගැන එපමණ උනන්දුවක් ඇතිවන්නේ නැති බවයි.ලංකාවට ආ වෙලාවක දෙන්නා එකතුවී කොහේ  හෝ යමුයි කී එඩුවා ආවිට මට කතාකරන්නම් යැයි කියා සමුගත්තේය. 

එඩුවාගේ හදිසි අභාවය ගැන පණිවිඩය ලැබුණේ රසිකගෙනි.ඒ සම්බන්ධයෙන් මා රසිකට ස්තූතිවන්ත වෙමි.මා සිතා සිටියේ මේ ලිපියත් පළවූ පසු එඩුවාට කතාකර කියවා බලන්න කියන්නටය.නමුත් මගේ ලිපි නොකියවාම ඔහු දෙව් මව් තුරුළට ගොසින්ය.එඩුවාගේ නික්ම යාම ගැන දැනගත් මොහොතේ සිටම මගේ සිතට දුකක් වේදනාවකට වඩා මහා පාළු ගතියක් දැනෙන්නට විය.එය අමුතුම මුසල පාලුවකි.ඔහු ගැන මතකයන් චිත්‍රපටයක රූප රාමු මෙන් සිත තුළ මැවී පෙනේ.ගෙවී ගියාවූ ඒ සුන්දර සන්ධ්‍යාවන්හි වයින් බෝතලයක් ඉදිරියේ වාඩිවී සිට අප කළාවූ කතාබහ දැන් සුන්දර සිහිනයකි. නෙදර්ලන්තයේ නිරුවත් වෙරළ තීරයේ සිට ඩෙල්ෆ්ට් දුපතේ කැලෑ අශ්වයන් දක්වා ඒ කතාබහ ඇදීයයි.

ඒත් දැන් එඩුවා මට නොකියාම යන්න ගිහින්ය.එඩුවාගේ අභාවය දැනගත් වෙලේ මම එඩුවාගේ ආදරණීය බිරිඳට කතාකළේ ඔහුගේ අවසානය ගැන දැනගන්නටය.ඇය කීවේ කිසිම දුකක් නොවිඳ හදිසියෙන්ම  එඩුවා සමුගත් ආකාරය ඇයට මහත් සැනසීමක් බවය.ජීවත්වූ කාලයේ කිසිම කෙනෙකුට කරදරයක් නොවී ජීවත්වූ ඔහුගේ මරණයද කිසිම කෙනෙකුට කරදරයක් නොවී සිදුවුන බව ඇය වැඩිදුරටත් කීවාය.එඩුවා බොහෝසේ ප්‍රියකළ වයින් පානය පසුකාලීනව සම්පූර්ණයෙන්ම අත්හැර දමා බියර් බොන්නට පටන්ගත් බවත් ඒ හේතුවෙන් ලොකු බියර් බඩක් ඔහුට ලැබුණු බවත් ඇය කීවේ සිනාවෙමිනි.

මෑතකදී ගත් එඩුවාගේ පිංතුර තියේනම් මට එවන්නට යැයි මා ඇයට කීවිට ඇය එවා තිබුණේ මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ශීත සෘතුවේ දවසක මා විසින්ම ගනු ලැබූ ඔහුගේ පිංතුරයකි.ඒ කාලයේ පිංතුරයක් අවශ්‍යවූ හැම තැනකටම එඩුවා දුන්නේ ඒ පින්තුරයයි.එය එඩුවාගේ ප්‍රියතම පිංතුරයක් වූ බව ඇය ලියා තිබුණි. ඒ මවිසින් ගන්නා ලද්දක් බව ඇය තවම නොදනී.එඩුවාගේත් මගේත් අපූර්ව මිත්‍රත්වය සිහිකරන ඒ පිංතුරය අද මේ ලිපිය සමග පළකරන්නේ  මගේ  අපූරු  මිත්‍රයෙක් වූ එඩුවාට උපහාර පිණිසය෴