Sunday, October 4, 2015

පොතක් ගැන කතාවක්



අද පලවන කතාවත් පහුගිය සාහිත්‍ය මාසය වෙනුවන් ලියන්නට සිටි සටහනකි.ඒ මා මෑතකදී කියවා රසවිඳි පොතක් පිළිබඳවයි.පොතේ නම "කොටි දියණියකගේ පාපෝච්චාරණය" කතුවරිය නිරෝමි ද සොයිසා.එය අපට හුරුපුරුදු නමක් නොවේ.පරිවර්තනය කොට ඇත්තේ සුනිලා විජේසිංහයි.යුද්ධය කොටි සංවිධානය හා කොටි ගැන අප ඇති පදමට කියවා ඇතත් ආරම්භයේ පටන් කොටි සංවිධානය තුළ සිට ක්‍රියාකාරීව යුද වැදුන කොටි සෙබළ සෙබළියන් හෝ  නිලධාරීන් ලියු කතා අපට කියවන්නට ලැබී නැති බව මගේ විශ්වාසයයි.එයට හේතු බොහෝ ඇතත් ඒවා වෙනම සාකච්ඡා කළ යුතු කරුණුය.මේ කතාව විශේෂිත වන්නේ එබැවිනි.නිරෝමි කොටි කාන්තා බලකායට පළමුවෙන්ම බඳවා ගත් කණ්ඩායමට අයත් තරුණියකි.සිය දීප්තිමත් පාසල් අධ්‍යාපනය හැර දමා ඇය ස්වේච්ඡාවෙන්ම කොටි සංවිධානයට එක්වන්නේ පවුලේ අයගේ මෙන්ම ජ්‍යෙෂ්ට කොටි නායකයන්ගේද විරුද්ධත්වය මැද බලහත්කාරයෙන් මෙනි.අපි පරිවර්තිකාවගේ සටහනේ කොටස් කිහිපයක් කියවමු.

"යුද්ධය කඨෝරය,කර්කශය,අමිහිරිය,අප්‍රසන්නය.නිරෝමි ඒ බව තමාම අත්දුටුවාය.වසර එකහමාරකට පසුව ඇය යුද බිමෙන් සමුගෙන ජීවිතයෙහි යතාර්ථය සොයා ඇදුනේ එබැවිනි.ඇගේ බොහෝ සගයන් යුදබිම තුළ අකාලේ හා අයාලේ මිය පරලොව යද්දී ඇය ආරක්ෂා වුයේ ඇය'තින් මෙදියත වෙත මහඟු මෙහෙවර රැසක් ඉටුවීමට නියමිත නිසා විය යුතුය.'Tamil Tigress' නම්වූ අසාමාන්‍ය අත්දැකීම් මාලාවක් හෙළිදරව් කෙරෙන අපූර්වතම නවකතාව ලොවට දායාද කිරීම ඒ අතරින් එක් සුවිශේෂී මෙහෙවරක් විය යුතුය.

නිරෝමි ද සොයිසා යනු පොතේ කතුවරියගේ සැබෑ නම නොවේ.ඇය ඒ නම භාවිතා කොට ඇත්තේ අප අතරින් අවාසනාවන්ත ලෙස වියෝවූ රිචඩ් ද සොයිසා මාධ්‍යවේදියාණන් හට උපහාර වනු පිණිසය.මේ පොත කියවන ඕනෑම කෙනෙකුගේ සිතෙහි කොතැනක හෝ සිහින් කටුවක් ඇමිණී ඇති කලෙකසේ සියුම්ව රිදුම් දෙන පැනයක් ඉතිරිවනු ඇත.ඒ නිරෝමිට පෙම් බැඳී රොෂාන්ගේ ඉරණම පිලිබඳවය.එකුන් පනස් වියට එළැඹෙද්දී ඉන්දියාවේ අනාථ කඳවුරක දී හෘදයාබාධයක් වැළඳීමෙන් රොෂාන් මියගිය පුවත මෑතකදී මම අන්තර්ජාලයෙන් කියැවුයෙමි."

ඒ පරිවර්තිකාවගේ සටහනෙන් කොටසකි.පොත ආරම්භ වන ආකාරය බලන්න.

"විසල් වතුර ටැංකියක් පිටුපස එහි සෙවනැල්ල යට මම නිසොල්මනේ වාඩිවී සිටියෙමි.මගේ මුළු සිරුරෙහිම බර භාරදී තිබුණේ දකුණු පයටය.නැහැ පුඩු හරහා ගලා ගියේ අප්‍රසන්න ගන්ධයකි.ඒ ඉදුණු කෙසෙල් හා තල්ගෙඩිවල සුවඳ එකට මුහුම්ව හමා ආ හෙයිනි.

හිරු දීප්තිමත්ව නැග එමින් තිබුණි.අප පසුකොට ආ කුඹුරු යායෙහි ගොයම් පත් අග රැඳී තිබු සියලු පිණි බිංදු වාෂ්පවී යන්නට ඇත.එහෙත් ඒ වනවිටත් රෑසියන්ගේ කරච්චලය නැවතී නොතිබුණි.කුඩා ගම්මානය ජනහීන විය.නමුත් සරුසාරව වැඩී තිබු මඤ්ඤොක්කා,කෙසෙල් හා පොල් ගස් නිසා ගම්මානයෙන් දිස්වූයේ කිසියම් සුන්දරත්වයකි.එහෙත් ඒ සුන්දරත්වයෙන් අපහට ඇති ඵලය කුමක්ද?අප යුදයට වන් සෙබළ සෙබළියන්ය.

ඒ එක්දහස් නවසිය අසුහත වර්ෂයයි.මගේ වයස අවුරුදු දාහතක් විය.නත්තලට තවත් තිබුණේ දින දෙකක් පමණකි.මට ඇසුණු එකම හඬට මම සවන් දෙමින් සිටියෙමි.ඒ මගේම හද ගැහෙන රාවයටයි.පෙනෙන්නට තිබු එකම දසුන දෙස මම බලා සිටියෙමි.ඒ මගේ සගයන්ගේ මුහුණු මත සටහන්ව තිබු භීතිය දෙසයි.අප හැම කෙනෙකුගේම ඇඟිලි තුඩු රැඳීතිබුණේ තුවක්කුවේ කොකා මතය.

දවසේ පළමු හිරු කිරණ අතරින් අපේ මුර භටයන් දැක තිබුණේ හමුදා සොල්දාදුවන් රෑනකි.

"උන් සිය ගණනක් මේ දැන් කෙසෙල් පඳුරු අස්සෙන් එළියට ආවා."

අප නවාතැන් ගෙන සිටි අත්හැර දමන ලද නිවසෙහි දොරකඩට වාධනා දුව ආවේ හති හලමිනි.ඇගේ දුඹුරුපැහැ විසල් දෙනෙත භීතියෙන් පුළුල්ව තිබුණි.පාන්දර දෙකේ කනිසමේ දී මුර සේවාවෙහි යෙදී සිටියේ මාය.ඒ හෝරාවේදී නම් අනතුරක සේයාවක් හෝ මට පෙනුණේ නැත.මා අඹ ගසක් මුල වාඩිවී සිටියේ AK 47 ගිණි අවිය අත දරාගෙනය.තාරකාවක් කඩා වැටුණි.මට රොෂාන් සිහිපත් විය.සමහර විට ඔහු කොහේ කොතැනක හෝ මා මෙන්ම මුර සේවයේ යෙදී සිටිනවා විය හැක.ඒ සිතුවිල්ල මගේ දෙතොලට ගෙන ආවේ මඳහසකි.කෙසේ නමුත් මේ නපුරු යුද්ධයෙන් දිවි ගලවා ගතහොත් නිසැකවම අපි නැවත මුණ ගැසෙනු ඇත.

වාධනාගේ අනතුරු හැඟවීම අප සැවොම වහා ක්‍රියාත්මක කළේය.ඒ මොහොතේ මා සතුව තිබුණේ එකම එක ඇඳුම් කට්ටලයකි.ඒ ඇඳ සිටි කමිසය සහ කලිසම පමණි.එයද දහඩියෙන් හා දැලි කුණුවලින් හඩු ගැසුනකි.කලින් සිදුවූ සුළු සටනකදී අප හට පාවහන් අහිමි විය.හැම කෙනෙකුටම අහිමි නොවී තිබු එකම දෑ 'කුප්පි' නොහොත් සයනයිඩ් කරලයි.එය කාගේත් ගෙලවටා සුරක්ෂිතව කළු නුලක දැවටී සැඟව සිටියේය.එක අතකට අප සුදානම් වෙමින් සිටියේ ජීවිතය වෙනුවෙන් නොව මරණය වෙනුවෙන් නොවේද?මහා මාර්ගයට දිවෙන කෙටි මාවතක් දිගේ අපි හොර රහසේ ඉදිරියට ඇදුනෙමු.ජල ටැංකියක් අසලදී මුරලි මට විශේෂ රාජකාරියක් භාර කළේය.

"නිරෝමි,දකුණු පැත්ත සම්බන්ධයෙන් වගකීම ගන්ඩ.ඔයාට ඉස්සරහින් ඉන්න එක එක්කෙනා පාර හරහා යවන්ඩ."

මම මුරලි දෙස බැලුවෙමි.ඔහුගේ කොට්ටම්බා මද පැහැති දෙනෙතෙහි වුයේ කලාතුරකින් දැකිය හැකි අන්දමෙක කලබලකාරී බවකි.මා සිටියේ අජන්තිට පසුපසිනි.අජන්තිගේ උරහිසට ඉහළින් එබී මම මාර්ගය විමසුවෙමි.නීරා ඉදිරියට පියමනිනු මම හොඳ හැටි දුටුවෙමි.

"බෑංග්...!"

ඒ බියකරු වෙඩි හඬකි.

"අම්මා..."

නීරා අවසාන වතාවට හඬගෑවේ අම්මාටය.ඔහුගේ සුරත පපුවට සමීප වුයේත් ඒ හා ම ඔහු බිම වැටුනේත් මා බලා සිටියදීමය.ඊළඟ මොහොතේදී අප දෙසට එල්ල වුයේ වෙඩි සහ අත් බෝම්බ වර්ෂාවකි.අපි වහා බිමට පාත්වුයෙමු.මගේ කන්පෙති අසලින්ම වෙඩි උණ්ඩ පියාඹා ගියේ නළා හඬක් නංවමිනි.අත් බෝම්බ හා මෝටාර් පිපිරීමෙන් වූ ධුමයෙන් අවට වායුගෝලය වැසී ගියේය.වාතය දරාගත නොහැකි තරම් බරැති විය.මගේ ඇස් මෙන්ම පෙනහළුද දැවෙන්නට විය.දෙවැලමිට හා දෙදන බිම ඔබමින් මම අජන්ති පිටුපසින් ඉදිරියට වණුගෑවෙමි.අප සතර අතින්ම කොටුවුණා විය යුතුය.දැන් ඉතින් ගැලවීමක් නැත.මගේ පපු කුහරයෙන් පිටතට පැමිණි මගේම හදවත මා ඉදිරියේම පුපුරා යන සෙයක් මට දැනුණි.

ඉදිරියෙන් සිටි මගේ සගයන් කෙරෙහි අවධානය යොමු කරමින්ම මම AK 47 මහා මාර්ගය දෙසට යොමු කෙරුවෙමි.සාධා එක පිම්මට පාර හරහා යමින් සිටියාය.ජෙනීද ඇය අනුගමනය කළාය.සාධා ඇද වැටුණේ මා බලා සිටියදීමය.අත්බෝම්බ හා තුවක්කුවලින් නැගුනේ කන් බිහිරි කරවන සුළු හඬකි.ඒ හඬ අබිබවමින් නැගී ආ කෑ ගැසීම අතිශය වේදනාකාරී විය.තව තවත් ජීප් රථ හා යුද ටැංකි මහා මාර්ගයට එක්වුයේ විරුද්ධවාදීන්ගේ යුද බලය තවදුරටත් ශක්තිමත් කරවමිනි.අපට ඉහළින් ඉතා පහතින් යුද හෙලිකොප්ටරයක් හඬ නගමින් මදකට නැවතී සිටියා පමණක් නොව බෝම්බද හෙලුවේය.මම මගේ දෙවැලමිටට වාරුවෙමින් ඉදිරියට බඩගා ගියෙමි.අප කණ්ඩායමේ තවත් ගැහැණු ළමයෙකුවූ සාරධා වේදනාවෙන් කෑ ගසනු ඇසුණි.

"මගේ කකුල...අනේ,මට උදව් කරන්ඩ කවුරු හරි."

එසැණින්ම මා දුටුවේ වම් පසින් මා දෙසට පියාඹා එන අත් බෝම්බයකි.දෑත් හා දණහිස් බිම ඔබා ගනිමින් මා තැත් කළේ එතැනින් පළායාමටය.ඒ අත් බෝම්බයට ඊළඟට මුහුණ දී සිටියේ ගාන්ධිය.ඔහු වෙඩි තබමින් සිටියේ තල් ගසක් පිටුපස සැඟවී සිටිමිනි.

"ගාන්ධි අයියා පාත්වෙන්ඩ...!"

මම කෑගසා කීවෙමි.එහෙත් බෝම්බය පුපුරා ගියේය.සුණු විසුණු වී ගිය ගාන්ධිගේ හිසෙහි ලේ කැදලි හා මස් වැදලිවලින් මගේ මුළු සිරුරම නැහැවී ගියේය.ඔහුගේ හිස සුන් කවන්ධය පොළොව මතට ඇද වැටුණේ කපා දමනු ලැබූ ගසක කඳක් සේමය.මහා හඬින් කෑ ගසන්නට මට හොඳටම උවමනාව තිබුනත් මගේ මුවින් කිසිදු හඬක් පිටවුයේ නැත.දණ බිම ඔබාගෙන සිටි අජන්තිද AK 47 මානාගෙන පොළොවෙන් ඉහළට මතුවුවාය.ඈ සෙමෙන් මා දෙස හැරී බැලුවේ හරියට පාසලේ එකම පංතියේ මා ඇයට පිටුපස තෙවන පේළියේ වාඩිවී සිටියදී ඈ මා දෙස හැරී බැලුවා සේමය.

"මං පාරෙන් එහා පැත්තෙදි ඔයාව මුණගැහෙන්නම්."ඈ කඩිමුඩියේ මුමුණා කීවාය.

මම හිස සැලුවෙමි.එහෙත් ඒ මොහොතේ මගේ සිත තුළ එක් රොක් වෙමින් තිබුණේ සම්පූර්ණ අවිශ්වාසයයි."

ඉහළ මධ්‍යම පංතික පවුලක වැඩුමල් දියණිය වන නිරෝමිට සිටියේ ශිරානි නම්වූ නැගණියක් පමණකි.දෙමාපිය දෙදෙනාගේම මුල් පදිංචිය යාපනයේ වුවත් පියාගේ  වෘත්තිය හේතුවෙන් ඔවුන් පදිංචිව සිටියේ මධ්‍යම කඳුකරයේය.පියා වෘත්තියෙන් මැවිසුරුවෙක් වූ අතර මව ගෘහිණියක වූවාය.මේ ඔවුන්ගේ ගෘහමය  වටපිටාව සිත්තම් වන කොටසකි.

"ප්‍රදේශයේ වසන ද්‍රවිඩ පවුල් අතළොස්සකට අපගේ පවුලද අයිතිවන බව මා පළමුවරට දැනගත්තේ ඒ සිද්ධිය නිසාවෙනි.බොහෝ ද්‍රවිඩයන් පදිංචිව සිටියේ වතු ජනාවාස තුළය.එහෙත් අප අයත්වුයේ වතු පවුල්වලට නොවේ.මට ඒ පිළිබඳව දැනුණේ කිසියම් ශෝකයකි.අපේ පවුලේ අසල්වැසියන් හා මිතුරු මිතුරියන් හැම කෙනෙක්ම පාහේ සිංහල නැතහොත් බර්ගර් ජාතිකයෝ වුහ.මුණ ගැසුණු විටෙක අප බොහෝ විට කතා කළේ සිංහල භාෂාවෙනි නැතහොත් ඉංග්‍රීසියෙනි.ජාතිය හෝ භාෂාව පිළිබඳව ඉන් පෙර මා තුළ කිසිදු සුවිශේෂී හැඟීමක් තිබුණේ නැත.බාහිර වශයෙන් සියල්ලන් එක හා සමාන වුවද අප එකිනෙකා අතර වෙනස්කම් ඇතැයි මා සිතන්නට පටන් ගත්තේ එතැන් සිටය."

"තාත්තේ,ඇයි සිංහල අය දෙමළ මිනිස්සුන්ට කැමති නැත්තේ?"

දිනක් මම තාත්තාගෙන් ඇසුවෙමි.

"සිංහල- දෙමළ මිනිස්සු අතරෙ නෙමෙයි දුවේ මේ ප්‍රශ්නෙ තියෙන්නෙ.මේවා දේශපාලන ප්‍රශ්න.එක එක දේශපාලන පක්ෂවලට වාසිගන්නට ඒ ඒ අය මේ විදියෙ අවුල් ඇති කරනවා."

"ඒත් ඇයි තාත්තෙ එහෙම වෙන්නෙ?"

"ඉතින් මං කිව්වනෙ ඒක තමයි හේතුව."

මා තව දුරටත් ප්‍රශ්න විචාරනවාට තාත්තා එතරම් කැමැත්තක් දැක්වුයේ නැත.

"අම්මා තාත්තා සමග ටෙනිස් ක්‍රීඩා කරන හැටි හෝ තාත්තා ඉංග්‍රීසි ගීතවල තාලය අල්ලමින් රඟන හැටි බලන්නට ඉතින් මට ඉඩක් නැත.අම්මා උද්‍යාන පාලකයාටත් කෝකියාටත් උපදෙස් දෙමින් නිවසේ කටයුතු මෙහෙයවන දසුන දැන් මට අහිමිය.කට්ලට්ස්,අල පැටිස් හා හරක් මස් බුදිමින්,ඉංග්‍රීසි,ද්‍රවිඩ හා සිංහල යන භාෂාවන් ත්‍රිත්වයම යොදා කතා කරමින් මත්පැන් වීදුරු එකට ගටමින් ඔවුන් නිවසෙහි ප්‍රිය සාද පවත්වන අයුරු මට මතකයක් පමණක් වනු ඇත.බොහෝවිට එවැනි ප්‍රිය සාද හමාර වෙන්නේ පෘතුගීසි ආරයේ බයිලා ගායනා කරමිනි.ඒ සියලු දෑ දුරස් වුවද මට දරාගත නොහැකි අන්දමේ ශෝකයක් දැනුනේ මගේ කුඩානැගණිය ශිරානිගේ ඇසුර අහිමි වීමය.ශිරානි මට වඩා වසර තුනකින් බාලවුවාය.විශාලවතුයායක් මැද ඉංග්‍රීසි පන්නයට තනා තිබු දැවැන්ත බංගලාවක ජීවත්වූ අප හැදී වැඩුනේ අසල්වාසී දරුවන්ගෙන් දුරස්වය.නිවසෙහි සැප පහසු කාමර බොහෝ ගණනක් තිබු අතර ගෙවත්තද මනරම් විය."

ඒ නිරෝමිගේ පියා ඇයට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නට ඇය හත් හැවිරිදි වියේදී යාපනයට රැගෙන යන්නට පෙර ඇගේ සිතේ ඇතිවන හැඟීම්ය.නිරෝමි යාපනයේ පියාගේ මහගෙදර පියාගේ අම්මාවූ අප්පම්මා ත් නැන්දලාත් සමග ජීවත්වෙමින් කන්‍යාරාමයක අධ්‍යාපනය ලබන්නීය.

"මා යාපනයට පැමිණ තෙමසක් ඉක්ම ගොස් තිබුණි.එක් සවස් යාමයක මා පාසැලෙන් පැමිණෙන විට අප්පම්මා ඉදිරි කාමරයේ කූඩයක් වියමින් සිටියාය.ඒ ඇගේ ප්‍රියතම විනෝදාංශයකි.

"මේක ඔයාට ඊයෙයි ආවෙ."

ඈ මා අතට කොළ කැබැල්ලක් පත්කළාය.මගේ සියලුම ලියුම් කියවා බැලීම ඇගේ සිරිතක් විය.ඉංජිනේරුවකු වූ මගේ පියා රැකියාවකට ඩුබායි රටට ගොසිනි.එය ඔහුට ප්‍රතික්ෂේප කළ නොහැකි වූ ප්‍රදානයක් යැයි ද ඔහු ලියා තිබුණි.වර්ෂාවසානයේ දී අම්මාත් ශිරානිත් යාපනයේ පදිංචියට පැමිණියහ." 

ඊට අවුරුදු කීපයකට පසු නිරෝමිත් ඇගේ පාසල් යෙහෙළිය වූ අජන්තිත් දෙදෙනා කොටි කාන්තා සංවිධානයේ මුල්ම කණ්ඩායමට එකතුවෙති.

"රජය ද්‍රවිඩ දේශපාලකයන් හා ද්‍රවිඩ විමුක්තිකාමීන් එක්ව පැවැත්වූ සාම සාකච්ඡාවලින් කිසිම ප්‍රතිපලයක් අපට අත්වුයේ නැත.ද්‍රවිඩ ජනතාවට ඉතිරිව තිබුණේ කොටි සංවිධානය හා එක්ව සටන් කිරීම පමණි.බෝම්බ භීතිය මරණ බිය අලාභය අප කරා වඩ වඩාත් ලං වෙද්දී අප බංකර් තුළ ගෙවිය යුතු කාලයද ක්‍රමයෙන් වැඩි විය.යුද බිමට ගොස් අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ උවමනාවද ඒ හා මසිතට වැඩි වැඩියෙන් දැනෙන්නට විය.මරණය අපට වඩාත් ලං වන කළ එය අර්ථවත් මරණයක් වේ නම් වඩාත් හොඳ නොවන්නේද?එහෙත් කොටි සංවිධානය ඒ වන විටත් කාන්තා හමුදා බලකායක්  කැඳවා තිබුණේ නැත.සිතුවිලි ක්‍රියාවට නගන්නට මට ඉඩක් නොලැබුනද ඉතා ඉක්මනින් කොටි සෙබළියක් වීමේ බලාපොරොත්තුව අත් නොහළෙමි."

"එය මාර්තුවේ සති අන්ත දිනයක දිවා කාලය විය.මා නිවසින් පිටත්වන විටම මුලි ශංකර් අපේ දොරකඩ පෙනී සිටියේය.අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මම මගේ නම කොටි සංවිධානයට ඇතුළත් කරන්නැයි ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

"ඔයා තාම ළමයෙක්නෙ."ඔහු හඬ නගා කීවේ ම දෙස පුදුමයෙන් බලමිනි.

"ඊට කලින් ඔයා ඉස්කෝලෙ වැඩ ටික ඉවර කරන්නකො.ඊට පස්සෙ අපි මේ ගැන කතා කරමු."

ඒ එක්දාස් නවසිය අසුහතේ අප්‍රේල් විසිඑක් වනදාය.කොළඹ මධ්‍යම බස් නැවතුම් පළේ බෝම්බයක් පිපිරීමෙන් මියගිය සාමාන්‍ය පුරවැසියන් සංඛ්‍යාව 113 ක් විය.පිළිතුරු වශයෙන් රජය ද්‍රවිඩ සංහාරයක් ආරම්භ කළා සේ විය.හැම පැත්තෙන්ම ඇසුනේ කන් බිහිරි කරවන බෝම්බ හා කාලතුවක්කු හඬය.ඒ රාත්‍රියේද අපි බංකරයට වී කන් බිහිරි කරවන පිපිරුම් හඬටත් හෙලිකොප්ටර් පියාසර කරන හඬටත් සවන්දී සිටියෙමු." පීඩාවන්ට පාත්‍ර වීමත්,අසරණ වීමත් තරම් අප්‍රසන්න හැඟීමක් තවත් තිබිය නොහැකිය.මේ සා භීතියකින් ජීවත්වීම තවදුරටත් පවත්වා ගෙන යා හැකිද?" මසිතට පහළ වුයේ එවැනි සිතුවිලිය.

පසුවදා උදෑසනින්ම ශිෂ්‍ය සංවිධාන කාර්යාලයට ගොස් මුරලි මුණගැසී යුද පුහුණුව සඳහා මගේ නම් ඇතුළත් කළ යුතු යැයි මම තීරණය කළෙමි."මගේ තීරණය වෙනුවෙන් දොස් පැවරිය යුත්තේ රජයටයි.මන්ද,යාපනයට එරෙහි මේ භීෂණය තුළින් ඔවුන් තව තවත් කොටි යුද භටයන් බිහි කරන බැවිනි."මගේ කල්පනාවන් එලෙස විය.

අකීකරු නොහික්මුණු දැරියක ලෙස මා හංවඩු ගැසෙනු ඇත.මගේ පවුලට
හා පාසලට අපකීර්තිය ගෙනදෙමින් මගේ කීර්තිය සදාකාලයටම වැනසී යනු ඇත."


මෙසේ ගලා යන කතාවේදී අපට කොටි නායක ප්‍රභාකරන්,මහත්තයා,කිට්ටු,රහීම්,යෝගී,හා දිලීපන් ඇතුළු කොටි ප්‍රධානීන් බහුලව හමුවේ.

"මා කාමරය තුළට පිවිසියේ දෙවියන් දකින්නට යන්නා සේය.ප්‍රභාකරන් යනු අපේ ගැලවුම්කරුය.අපේ වීරයාය.ඒ කුඩා අඩ අඳුරු කාමරය තුළ කිසිදු ප්‍රසන්න බවක් තිබුණේ නැත.සුදු පැහැති අත්කොට කමිසයක් සහ කළු කලිසමක් හැඳ සිටි ප්‍රභාකරන් ඩෙස්කුවක් පිටුපස වාඩිවී සිටියේය.ඔහුගේ විශාල දෑස මේසය මතවු චිමිනි ලාම්පුවේ මඳ ආලෝකයෙන් බැබලෙමින් තිබුණි.කුරුලෑ වලවල් සහිත ඔහුගේ පිරුණු රවුම් මුහුණෙන් පෙන්නුම් කළේ බිය උපදවන බල පරාක්‍රමයකි."

"වාඩිවෙන්න."ඉදිරිපසවූ පුටුව පෙන්වමින් ඔහු කීවේය.

ඒ නිරෝමිට ප්‍රභාකරන් හමුවූ පළමු දවසයි.

"ප්‍රභාකරන් පුරුදු පරිදි තම පිරිවරද සමගින් නිතිපතා අප බලන්නට පැමිණියේය.සමහර දිනෙක ඔහු තම බිරිඳ මදිවදනී සහ කුඩා දරුවන් දෙදෙනා ද කැටුව ආවේය.එකල කුඩා චාල්ස් ඇන්තනි තෙහැවිරිදි වියේවූ අතර දියණිය ද්වාරකා එක් හැවිරිදි බිලිඳියක විය."

ප්‍රභාකරන් විදෙස්ගතවන ද්‍රවිඩ ජාතිකයන් නිර්දය ලෙස විවේචනයට ලක් කළේය.ඔවුන් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වුයේය.

"අපි දුක්විඳලා අපේ ද්‍රවිඩ මාතෘ භූමිය ලබාගත්තාම ඒ අය ආපහු ඒවි.එතකොට මං එයාලව මායිම් ගම්මානවල පදිංචි කරවනවා සිංහල අයගෙන් පීඩා විඳින්ඩත් එක්ක."

ඔහු ඔවුන් පිළිබඳව පැවසුවේ එවැන්නකි.

"ඒක තමයි සටන අත්ඇරලා ගියාට එයාලට දෙන දඬුවම."

ඒ මොහොතේ අප එක්ව සිනාසුනේ මේ විදෙස්ගත ජාතිද්‍රෝහීන් අපේ සටනට එහි සිට උරදෙන බව නොදැනය."

1983 කළු ජුලිය සමයේ  දැරියක්ව සිටි නිරෝමි ඉන්දියානු මැදිහත්වීමෙන් 1987 දී ශ්‍රී ලංකාව සාම ගිවිසුමකට එළැඹෙද්දී කොටි සටන්කාරියකි.

"දිනක් ප්‍රභාකරන් සුපුරුදු අඹ ගස යට හදිසි රැස්වීමක්  පවත්වන්නට කටයුතු කොට තිබුණි.ඔහුගේ උපනායක මහත්තයා එක් පසෙකින්ද කිට්ටු අනෙක් පසින්ද වාඩිවී සිටියහ.ඔවුන් දෙදෙනා සැහැල්ලු සිනාවකින් මුහුණු සරසාගෙන අපදෙසබලා සිටියදී ප්‍රභාකරන් කතාව ආරම්භ කළේය.

ළමයිනේ දේශපාලන පැත්තෙන් අපිට අලුත් වර්ධනයක් දකින්නට පුළුවන් වෙලා තියෙනවා.

ඔහු ප්‍රකාශ කරන්නට උත්සාහ කළේ ශ්‍රී ලංකා රජය සහ ද්‍රවිඩ හමුදාව අතර සාම ගිවිසුමක් ඇති කරන්නට ඉන්දීය රජය උත්සාහ ගනිමින් සිටින බවයි.

වියට්නාමයේ ඇමෙරිකානුවන් වගේ,ඇෆ්ගනිස්තානයේ රුසියානුවන් වගේ තමිල් ඊළමෙන් ඉන්දියානු කාරයින් ඉවත්වෙන්නෙ නෑ. ප්‍රභාකරන් කීය.

හරියට කටයුතු කළේ නැත්නම් ඒ ගොල්ලො හොඳ පාඩමක් ඉගෙන ගනීවි."

දිලීපන්ගේ මාරාන්තික උපවාසයත් කුමාරප්පන් ඇතුළු සටන්කාමීන් හත්දෙනෙකුගේ දිවි නසාගැනීමත් හේතුවෙන් සටන් විරාමය කැඩීගොස් ඔවුන් ඉන්දීය හමුදාවට විරුද්ධව සටනට එළඹෙනු නිරෝමි අත්දුටුවාය.අවුරුදු එකහමාරකට පසු සංවිධානය කෙරෙහි කළකිරී ඉන් ඉවත්වෙන තුරුම ඇය ඇතුළු කණ්ඩායම සටන් කළේ ඉන්දීය සාම සාධක හමුදාවට එරෙහිවය.කොටි සංවිධානයෙන් ඉවත්වී යන්නට නිරෝමිට වාසනාව තිබුනද ඇගේ පාසල් මිතුරිය ද කොටි හමුදාවට එකට බැඳුනු යෙහෙළියද වූ අජන්ති එතරම්  වාසනාවන්ත  වන්නේ නැත.

"අනිත් පැත්තෙදි හම්බවෙමු."

ඇය පිටත්වන්නට පෙරාතුව මුමුණා කියනු මට යන්තමට ඇසුණි.පාරේ අනෙක් පසදී මුණගැසෙන්නට මම හිස වනා ඇය හා එකඟවූයෙමි.එහෙත් හිස වැනුවා විනා මසිතෙහි කිසිදු ස්ථිර බවක් තිබුණේ නැත.ඇය පාර හරහා එක එල්ලේ පැන යන්නට සැරසුණු අයුරු මම දුටිමි.

ඒ හා ම අජන්ති පසුපසට ඇද වැටුණාය.ඇගේ අත් පා අප්‍රාණික විය.ඇගේ නළලේ හරි මැදින් රුධිරය ධාරාවක් ගලා ආවේය.අනතුරුව ඇහි බැමි, ඇහි පියන් තෙමා දමමින් ගලා හැලුණු ඒ ලේ දහරාව ඇගේ තඹවන් කෙස් කළඹද තෙමා දැමුවේ ක්ෂණයකිනි.ඇගේ මුව විවරව ඇදවූ අතර AK රයිපලය පසෙකට විසිවී ගියේය.

මගේ පෙනහළු තුළ රැඳී තිබු හැම වාත බුබුලක්ම පිටතට ඇදී ගොස් තිබුණි.මට ආශ්වාස කළ නොහැකි විය.හිස හිරි වැටී ගියේය.මම අජන්තිට ළං වන්නට උත්සාහ කළෙමි.එහෙත් දුම් වලාවෙන් එපිට,ඈ මගෙන් බොහෝ දුර ඈතක සිටියා වැන්න.

අජන්ති,නැගිටින්න නැගිටින්න.

මම කෑ ගසා කීවෙමි.නමුත් ඇයට මගේ හඬ නො ඇසුණා විය යුතුය.ඒ සමගම තවත් අත් බෝම්බයක් මගේ පසු පසින් පිපිරී යනු දැනුණි."

ඒ සටනේදී නිරෝමි දිවි ගලවා ගන්නේ ප්‍රාතිහාර්යයකින් මෙනි.පණ බේරාගෙන පළාගොස් කැලෑ වැදී බොහෝ දුක් වළඳන නිරෝමි අවසානයේ කොටි හමුදාව හැරගියාය.

"එක්දහස් නවසිය අසුඅට වසරේ ජුනි මාසයේ අම්මා ළඟ පාත තැනකට යන බව අඟවමින් ගෙයින් පිටවී ඇත.ඇගේ අත් බෑගය තුළ තිබී ඇත්තේ ඇයටත් මටත් ඇඳුම් කට්ටල දෙකක් හා අප දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍ර දෙකය.මට දැනුණේ කියාගත නොහැකි සහනයකි.මා දකින්නට පැමිණීම ගැන මම ඇයට කොතරම් නම් කෘතඥ වන්නේදැයි විස්තර කරන්නට මට උවමනා විය.ඇය දැකීමෙන් මා අප්‍රමාණ ලෙස සන්තෘෂ්ටියට පත්වූ බව කියන්නට මට අවැසිව තිබුණි.ශිරානි කොහේදැයි අසන්නට ද මට අවශ්‍යම විය.එහෙත් මා වැලඳගත් අම්මා නොනවත්වා වැළපෙමින් සිටියාය.මම නොසෙල්වී,හිරි වැටුණු කලෙක මෙන් පිළිමයක් සේ සිටියෙමි.මගේ සිත පිරී තිබුණේ සතුටින්ද නැතහොත් ශෝකයෙන්දැයි මට තේරුම් ගත නොහැකි විය.

මං හිතුවා අම්මට මාව එපා වෙලා ඇති කියලා.මං එක වතාවක් නෙමෙයි දෙවතාවක්ම අම්මට ද්‍රෝහී වුනා.

ඔයා මගේ දුව." අම්මා කඳුළු පිස දමමින් පිළිතුරු දුන්නාය.

මමවත් තාත්තවත් කවදාවත් ඔයාව අත අරින්නෙ නෑ."

තවත් මාස දෙකක් ගිය තැන අම්මා මා ඉන්දියාවේ පෞද්ගලික පාසලකට ඇතුළත් කළාය.ඒ වන විට මගේ පාසල් ගමන නැවතී වසර එක හමාරක් ගෙවී තිබුණි.පසුව මම ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයට ඇතුළත් වුයෙමි.එහිදී මම ජීව තාකෂණය පිලිබඳ උපාධියක් උපයා ගතිමි.ඉන්පසු නීතිය හදාරා නීති උපාධියක් ලබා ගන්නටද මම සමත් වුයෙමි.මගේ පවුලේ අයද පසු කලෙක ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වුහ.අජන්තිගේ පවුලේ උදවිය මා අත්හැර දැමුවේ නැත.ඇගේ නැගණිය නිලන්ති හා මවුපිය යුවළද දැන් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිති.ඔවුන් සියලු දෙනාම මට දක්වන්නේ මහත් සෙනෙහසකි.

මේ කඨෝර වූ ගැටුම තුළ ගෙවී ගිය ඒ වසර තිස්තුන පුරා ලක් දෙරණට වටිනා මිනිස් ජීවිත ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අහිමි විය.මේ අතරින් 1987 දෙසැම්බර් 23 වනදා එනම් නත්තලට දින දෙකක් තිබියදී සටනින් මියගිය අජන්ති, මුරලි ඇතුළු මගේ සහෘදයන්ගේ දේහ කොටස් මහාවීර සුසාන භූමියෙහි වළ දමනු ලැබුණි.ඔවුන් මියගිය ස්ථානයට ආසන්නව පිහිටා තිබු එම සුසාන භූමිය අද එහි දක්නට නැත.2011 මාර්තු වන විට එම ස්ථානයෙහි දකින්නට ලැබුණේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් දැවැන්ත මුලස්ථාන ගොඩනැගිල්ලකි." 

ආරම්භයේ සිටම කුතුහලය දනවමින් කතාව දිගහැරේ.කොටි සංවිධානයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ගැන ලොවට රහසක් වී තිබු කරුණු බොහොමයක් මේ පොතෙන් හෙළිවේ. සිත් ඇද බැඳගන්නා පොතක් ලෙස මෙම "කොටි දියණියකගේ පාපෝච්චාරණය"නම් කළ හැක෴

103 comments:

  1. මේ පොඩි ලංකාව බෙදාගන්න හදල රටට අහිමි වෙච්ච මිනිස්සු. බලං ගියාම මහින්ද එන්න ඉස්සරත් හමුදාව යුද්ධ කරල තියෙනවනෙ :)

    ReplyDelete
  2. මහින්ද කියන්‍ෙනෙේ කවුද මට මතක නැ‍ෙනෙේ

    ReplyDelete
    Replies
    1. හහා හහා අටම්

      Delete
    2. අටම් අයියේ, ඔය කියන්නේ මචං පහුගිය කාලේ TV එකේ හුස්ම හිරකරගෙන කෑගහපු මහින්ද ගැන, දේශප්‍රියද කොහෙද වාසගම, රාජගිරියේ සරණ මාවතේ පොරගේ ඔෆීසිය තියෙන්නේ...

      Delete
    3. c-a, ඩුප්ලිකේට් කෙනෙකුත් හිටිය, එයත් රාජගිරියෙ පැත්තෙද කොහෙද

      Delete
    4. Pra Jay....තාම ඌ නම් රාජගිරියේ ඉන්නො...ඔරිජිනල් පොර කෝ බං...?

      Delete
    5. ගිත රචකයෙකුත් හිටියා මහින්ද බංඩාර කියලා මේ එයා ගැනද දන්නෙ නෑ කියන්නෙ..?
      වෙන මහින්ද කෙනෙක් ගැන ඔලුවට එන්නෙ නෑ..නේ අෆ්පා

      Delete
    6. අටම අහන්නෙ සන්ෆ්ලවර් එකේ ඩ්‍රම්ස් ගහපු මහින්ද සිල්ව වෙන්ඩ ඇති, මම ඩ්‍රම් ගහනව දැකල මතක් වෙන්ඩ ඇති.

      Delete
    7. මෙන්ඩෝ.. ඇයි අපේ ඉස්කෝලෙ සිංහල සෑර් මහින්ද චන්ද්‍රසේකර බං.. සරෝජා මගෙ දෝණියේ සිංදුව ලීවෙ.

      Delete
    8. පත්තර මල්ලි/ සින්දු ඇනෝ
      ඔය දෙන්නම පුරේ..
      දෙන්නම අපේ

      Delete
    9. යකු මහින්ද අබේසුන්දරවවත් මතක් වෙලාද මේ

      Delete
    10. /පත්තර මල්ලි/ සින්දු ඇනෝ
      ඔය දෙන්නම පුරේ..
      දෙන්නම අපේ/

      දෙන්නම එකයි

      Delete
    11. නෑ නෑ මහින්ද බණ්ඩාර වෙන්න ඇති.

      Delete
  3. හොයාගෙන කියවලා බලන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔබෙන් වඩා දිගු විස්තරයක් බලාපොරොත්තු වුනෙමි.කෙසේ වුවද කියවා විවරණයක් දේවි යැයි සිතමි.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. Mama th awuruddak withara oya wage kiyana "sohona" kittuwa hitye. Dan thiyenne loku camp ekak.
    Danna widihata nam e wage ewa yaalpaanamata ma thiyenne ekayi.
    (E kiwwe LTTE sohonak uda hadapu camp ekayi thiyenne mama danna widihata.)
    Dan innethbeeta chuuttak withra durin...

    ReplyDelete
    Replies
    1. Anthima kotasa
      "Dan inneth eeta chuutak withara durin"
      Wenna oni

      Delete
    2. හොඳයි, ඔබ ඒ අඩවිය හඳුනන කෙනෙක් එහෙනම්.

      Delete
  6. මේ පොත මං කියෙව්වෙ ගිය අවුරුද්දෙ...
    ඇත්තටම මේක කියවං යද්දි කෙනෙක්ට හිතෙන්න පුලුවං මේකත් දෙයක්ද කියල ඒත් අපි අපේ පාර්ශ්වයෙන් විතරක් කතාව අහද්දි ඒ පාර්ශ්වයෙන් ඇහෙන කතා එක්කො නාහ ඉන්නව නැත්තං කං දෙක වහගන්නව. ඒක ඇත්තටම හරි අසෝබන ගතියක්..
    මේ පොත සිංහලට නැගෙන්න එකම හේතුව මට පෙනුන විදියට ඇගෙ කතාව සිංහල පාඨකය අතරට ගේනවට වඩා කතාවේ ඇතැම් තැන් වලිං කොටි සංවිධානයට එල්ල කරන චෝදනා නිසා බව හැගෙනව.. නමුත් මේ වගේ පොතක් මේ ආකාරයෙන් හරි පරිවර්තනය කලා කියන හැගීම ට මං ඈට ස්තූතිවන්ත වෙනව

    ReplyDelete
    Replies
    1. කතාව සමබර නෑ කියා චෝදනාවක් නැගෙන්නට පුළුවනි.නමුත් කතුවරියට ඇති හා ලැබෙන අත්දැකීම් අනුව ඇයගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වන්නට බැහැ.ඇයට තිබුන වපසරිය තුළ හොඳ කතාවක් ලියා තිබෙනවා.

      Delete
  7. මට ජේ වී පී කරපු ඔය වගේම යාළුවෙක් මතක් උනා.. ඌත් ඉන්නේ ඔස්ට්‍රේලියාවෙම තමයි..

    හොයාගෙන කියවන්න ඕනා.... ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. හොයාගෙන කියවන්න.

      Delete
  8. ඔය පොත නම් කීප සෙරයක්ම පොත් කඩ වල තිබිලා අතට ඇරගෙන ආපහු තියලා ආවා. කලින් පත්තරේ ගියපු ආටිකල් එකක් කියෙවුවට පස්සෙ පොත් ගන්න ආසාවක් ආවෙ නෑ. නිකන් ඇල් මැරිච්ච ගතියකින් පොත් ගැන විග්‍රහ කරලා තිබුනෙ. දැන් නම් හිතෙනවා පොත අරගන්න.

    ReplyDelete
    Replies
    1. ඇයි මේ විස්තරේ හොට්ද...?

      Delete
    2. කැමරා කටා …

      අරගන්න - කියවන්න - දැනගන්න - ජයගන්න :D

      Delete
    3. චෙෆ්,
      පොඩි හොට් ගතියක් තියෙනවා වගේ...

      මහේශ්,
      ලු මොකෑ බං.. ඔව්...

      පාද්රේ,
      අම්මපා... කියවලා ජයගන්න ඕනෙ... ඉඳහල්ලකෝ...

      ප්‍රා,
      තව ටිකෙන් එකත් වෙනවා එදා අටමගෙන් මං පරකුයි කියලා...

      Delete
    4. එහෙනම් මගෙ විස්තරේ හොඳයි වගේ.නේද ශ්‍රීනාත්.

      Delete
  9. අහස බලා ගිනි අව් කූටකේ දරාපන් 
    පොළොව පලා වැගිරූ ලේ සයුර බලාපන්
    ජීවිතයෙන් වන්දි ගෙවූ සොයුර තිලීපන්
    උඹයි මමයි එක අම්මගෙ දරුවො තිලීපන්...

    අපි සිහලය අපි දෙමළය අපේ මෝඩකම් නොතකන
    මතු පරපුර රට එක් කර මිනිස්කමට ප්‍රේම කරන
    මොහොතක උඹ ගුණ සිහිකර ඒ කෝවිල ළඟ ඉඳගෙන
    මම ඇවිදින් දණ නමනව උඹගේ පිළිරුව ඉඹගෙන … 

    ගායනය - ජයතිලක බණ්ඩාර

    ReplyDelete
    Replies
    1. සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
      සියොතුනේ දකුණින් එහි යන පියඹා
      උතුරේ දිනු ගම් පීරා
      දකුණේ උන් හා
      අහසේ අහසේ
      අහසේ හමුවන තැන කොතැනේ

      සියොතුනේ දකුණින් මෙහි එන පියඹා
      සියොතුනේ උතුරින් එහි යන පියඹා
      දකුණේ දිනු ගම් පීරා උතුරේ උන් හා
      අහසේ අහසේ
      අහසේ හමුවන තැන කොතැනේ

      සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

      මිනිසුනේ දෑ කුළගොත් යදමින් අප රිදවනා
      ඔබගේ මුගුරින් තව බැඳුනේ අප සිත් සෑමදා ...//
      පෙම් හැඟුම් දෝතින් ගෙන ආ
      මනු දහම් සේ හිසලා ආදරයේ තතු කියමී ඒ ඔබ හා

      සියොතුනේ උතුරින් මෙහි එන පියඹා
      සියොතුනේ දකුණින් එහි යන පියඹා

      දකුණේ දිනු ගම් පීරා උතුරේ උන් හා
      අහසේ අහසේ
      අහසේ හමුවන තැන කොතැනේ
      සියොතුනේ උතුරින් මෙහි එන පියඹා

      කිසි දිනේ ඔබ නොහෙලූ කඳුළින් මා නළලතේ
      ඔබගේ දෑතින් ආදරයේ තිලකය අන්දවා ...//

      පටු හැඟුම් මේ කුළු සිඳ දා
      තටු සලා දුර පියඹා ආදරයේ තතු කියමී ඒ ඔබ හා

      සියොතුනේ දකුණින් මෙහි එන පියඹා
      සියොතුනේ උතුරින් එහි යන පියඹා
      උතුරේ දිනු ගම් පීරා දකුණේ උන් හා
      අහසේ අහසේ
      අහසේ හමුවන තැන කොතැනේ

      සියොතුනේ දකුණින් මෙහි එන පියඹා

      ගායනය - නිරෝෂා විරාජිනී
      ගී පද - බන්දුල නානායක්කාරවසම්
      තනුව - මෝහන් රාජ්

      Delete
    2. ඔන්න බැස්සා දෙන්නා ගේමට..

      Delete
    3. කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
      ඇයි ගොළු ගැහුණේ
      සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
      සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ…

      මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
      ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
      උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ…

      අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
      මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
      උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ …

      කපුගේ/රත්න ශ්රී

      Delete
    4. මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
      ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න
      පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
      කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
      තනියම හිනැහෙන්න
      මුරුගසන් වැස්ස නැවතී දුක් ගින්දර නිවිලා
      පේසාලෙයි හන්දිය ළඟ පිච්ච මලක් පිපිලා
      පිච්ච මලක් පිපිලා
      ඉහිරුණු කිරි දෙන්නට බැරි මට වරදක් නොකියා
      ඔබට හැකිද හිනාවෙන්න මගේ දිහා නොබලා
      මගේ දිහා නොබලා
      කච්චේරිය වැලි මිදුලේ සෙල් ලිපියත් බිඳිලා
      බොඳවී ගිය ඉතිහාසේ පෙම් කවි පද මැකිලා
      පෙම් කවි පද මැකිලා
      නැතිවුණු දේ සොයාදෙන්න මට බැරි බව හිතලා
      ශාන්තිනී හිනැහෙනවද මගේ කදුළු පිසදා
      මගෙත් කඳුළු පිසදා
      මන්නාරම් මුතු වෙරළේ කඳුළු නොපෑගෙන්න
      ශාන්තිනී අපට හැකිද හඳ මඬලට යන්න
      පාන්තරුව නෙළා මගේ නළලත සරසන්න
      කාන්සියට මට පුළුවනි තනියම හිනැහෙන්න
      තනියම හිනැහෙන්න

      ගායනය - අමරසිරි පීරිස්
      පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
      තනුව - දර්ශන රුවන් දිසානායක


      පත්තරේ පොලිසියෙන් එයිද ?

      Delete
    5. මා තොටින් එන උතුරු හුළඟේ
      ගිණි සිඹින මඩු පල්ලියේ
      දෑස් අග මුතු කඳුලු හංගන
      සරෝජා මගෙ දෝණියේ
      වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
      මක් කරන්නනද පැංචියේ
      ගුරුතුමී මා සිසුවියයි නුඹ
      ඒත් අපි එක පංතියේ...

      කරවටේ අත දමා හිනැහුනු
      කෝ නුඹේ පොඩි යාළුවන්
      දයාවක් නැති ලෝකයක් දැක
      උන් ගිහින් පැන මායිමෙන්
      තාත්තා හීනෙන් ඇවිත් අත වනන
      තුරු කඳවුරු දොරින්
      කාටවත් නැති දුවේ කවුරුන්
      නුඹ රකීවිද සෙනෙහසින්...

      මන්දිරේ දොර නුඹව කැඳවයි
      බේබිලා හඬනා හඬින්
      මායිමේ වැට හඬගසයි හෙට
      අවි දරා රකිනා ලෙසින්
      දමා ගොදුරට කෙලෙස යන්නද
      ඒත් යන්නට වෙයි ඉතිං
      වරක් දැක සිත නිවාගන්නට
      දුවේ ඩින්ගක් හිනැහියන්...

      ගීපද - මහින්ද චන්ද්‍රසේකර
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

      Delete
    6. ඉවානයත් අපි හිතුවට වැඩිය දැනුම් තේරැම් තියන පොරක්...
      එදා සිංදු ටිකක් තොරලා දුන්නා එල ද බ්‍රා වගේ

      Delete
    7. මන්නාරම් කන්‍යාරාමය ඇරිලා
      වැලි පාරේ මං ආවා
      පේසාලේ හන්දිය ළඟ
      කනේරු ගහ පා මුල
      ඔබ පර වී වැටිලා
      පපුවෙන් ලේ ගැලුවා....

      ඔබ නැතිව ගියේ මටමයි
      මේ රටට නොවෙයි
      මහ පොළොවට මිස මිනිස්කමට
      පෙම් නොකරන රටට නොවේ
      නැගිටින්න එපා
      නැගිට කොහේ යන්නද අපි
      ඉතිං කෝවනන්
      ඉතිං කෝවනන්...

      ගිනි ගන්න රටක් නෑ
      රට ගිනි ගෙන ඉවරයි
      මේ සොහොන් බිමේ දිනෙන් දිනම
      පස් කඳු වැඩි වෙයි
      නැගිටින්න එපා
      නැගිට කොහේ යන්නද අපි
      ඉතිං කෝවනන්
      ඉතිං කෝවනන්...

      පද - රත්න ශ්‍රී විජේසිංහ
      සංගීතය - ප්‍රේමසිරි කේමදාස
      ගායනය - රශ්මි සංගීතා

      Delete
    8. පිස්සු නැත්තං සෝක්!!!

      Delete
    9. පත්තර මල්ලි,සිංදු ඇනෝ,ඉවාන්,මෙන්ඩා,විදානේ,
      බොහොම ස්තුතියි.ඔය ගීත සියල්ලම අතුරින් මා වඩාත්ම කැමති මන්නාරම් කන්යාරාමය ගීතයටයි.මුලින්ම ඇසුවදා සිටම ඒ ගීතය මගේ සිත තදින් පැහැරගත්තා.ඒ පදමාලාවේ සංගීතයේ සහ ගායනයේ ඇති ප්‍රබලත්වය නිසයි.

      Delete
  10. ඊයෙ මේ විස්තරේ දැක්කනම් මේ පොතත් ගන්ඩ තිබුන. ලබන මාසෙ ගන්න පොත් දෙකෙන් එකක් මේක.

    ReplyDelete
    Replies
    1. කම්මල මේ පොත කියවල ඇතියි කියල මම බලාපොරොත්තු උනා.

      Delete
  11. ඊයෙ මේ විස්තරේ දැක්කනම් මේ පොතත් ගන්ඩ තිබුන. ලබන මාසෙ ගන්න පොත් දෙකෙන් එකක් මේක.

    ReplyDelete
    Replies
    1. //ලබන මාසෙ ගන්න පොත් දෙකෙන් එකක් මේක.//

      අනිත් එක මේකෙ තව කොපියක් නේද?

      Delete
    2. ප්‍රා උඹලට බැරි උනානේ එදා කම්මලයාගේ ඩබල් ගතිය නැති කරන්න ....

      Delete
    3. ඌ එදා මල් දෙක දෙක කැඩුවා මිසක් අපි සමග කිසිම දෙයක් නොකර නිසාත් ලොකු පුතා විසින් කතා කිරීම තහනම් කල නිසාත් කම්මල දිගටම ඔරිජිනල් ඇන්ඩ් ඩුප්ලිකේට් කමෙන්ට්ස් දමනු ඇත....!

      Delete
    4. @ S A, //කම්මලයාගේ ඩබල් ගතිය නැති කරන්න ....//
      එය අවශ්‍යයි.
      මිනිහෙකුට තනියෙන් ඔහොම බොන්න බෑ. ඒකයි

      (මේ අධ්‍යනයේදී රෝමයේ කාණු නොසලකා හැර ඇති බව කරුණාවෙන් සලකන්න)

      Delete
    5. හැ..ලොකු පුතා විසින් කතා කිරීම තහනම් කරා..
      මලා මම එහම එකක් දන්නෙ නෑනේ...දන්නවා නම් අටමාගේ අෆ්ටර් ඇපරැවල් එකේ දෙවනි ගේම ඉල්ලන්න තිබුනා

      Delete
    6. ආ... ඩබොල් ඩබොල් කම්මලේ.......
      ඩබොල් ඩබොල් දාලා ගෙදර ගිය හැටි මතක නැද්ද මේ පාරත්...?

      Delete
    7. චැහ් ප්රා… මේ ටිකේ කාණු පල්ලවල් වල ලගින එක නවත්තලා පුල් රෙෂ්පට් එකට ඉන්නේ. :D බඹරේ වැල්ලේ..හැක හැක

      Delete
    8. //(මේ අධ්‍යනයේදී රෝමයේ කාණු නොසලකා හැර ඇති බව කරුණාවෙන් සලකන්න//
      සැක් පත්තරයව නොසලකා හැරීම බොහෝම වැරදියි.
      @ සිංදු , මොන උදවු ද ? කරන තරමක් මට අරියාදු තමයි කලේ, බල්ලට කියල මාව හපා කවන්න ට්‍රයි කලා , මගෙ ෆෝන් එක විසි කරන්න හැදුව.

      චෙෆාකි , ලොකු පුතා මට ජෝඩු කරල, නේවි කාරයට කියල ගුටි ගස්සන්නද හදන්නෙ ?

      Delete
    9. හ්ම්ම් ahem හ්ම්ම්ම්. කැරකැවිල අත ඇරෙයි ද?

      Delete
    10. This comment has been removed by the author.

      Delete
    11. අපිට නම් ආරංචි පත්තරේ මේ දවස්වල කූගර් ටවුන් එකේ මේයර්ය කියලයි, කානු කෙසේ වෙතත් ගිටාර්නම් දෙකක්ම කැඩුවලු....

      Delete
    12. මෙන්ඩෝ..... ලොකූට තහනම් කරන්න උනා...ඇයි කතා කරන්න ගියාම කමෙන්ට් කරනවා වගේ නෙමෙයි කණ ලඟයිනේ...පැලුවාම පැලෙනවා..ඒක නිසා ඌ විනාඩි පහකට පස්සේ ඉවානයට කිව්වා ඔන්න ඔය සිංදුවක් දාපියය කියලා..තොට කොහෙද සිහියක් තිබුනෑ...!

      Delete
    13. PM & c-a,
      මං දන්න මල්ලි කෙනෙක්ගෙ පූරුවෙ වාසනාවට මං බීල කමෙන්ට් දාන්නෙ නැත්තෙ.
      කොයි එකටත් මේ ලයින් එක දැන් ඇති.
      ( කට පරිස්සන් කරගෙන බඹරෙ තව තැන්වල කැරකෙතැයි බලාපොරොතුවෙමින් .)

      Delete
  12. මමත් කියෙව්වා..හැබැයි මටත් ලොකු හිට් එකක් දැනුනෙ නෑ..
    නියම පාපෙච්චරනයක් පොතේ නෑ කියලා මට හිතුනා..

    ReplyDelete
    Replies
    1. නෑ පාපෝච්චාරණයක්ම නොවෙයි.එදා තිබු තත්වය ඇය සමබරව විස්තර කර තිබෙනවා.

      Delete
  13. කියවන්න ආසා හිතුණා...... හොයාගන්න ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔව් හොයාගෙන කියවන්න.

      Delete
  14. නිරෝමි ද සොයිසා යන ආරූධ නමින් ලියවුණු මුල් පොත මා දැන් වසර කිහිපයකට පෙර කිවේව්වා. ඒ ගැන මා දැන ගත්තේ මෙහේ ගිය රේඩියෝ ඉන්ටර්වීව් වලිනුයි. ලේඛිකාව ඉන්නේ සිඩ්නි කායායි කියවෙන්නේ.

    ලේඛිකාව මෙය ලියා ඇත්තේ චරිතවලටත් යම් යම් වෙනස්කම් කරමින් නිසා ඒ ගැන විවාදාත්මක තත්වයක් පසුව උදාවුණා!
    https://en.wikipedia.org/wiki/Tamil_Tigress

    ReplyDelete
    Replies
    1. ඊට පසු ඇගෙන් යමක් නොලියවුනේ ඒ නිසා වෙන්න ඇති.

      Delete
  15. ඔය පොත මගේ යාලුවෙක් ලග තියනවා.ඉල්ලුවට දෙන්නේම නැ තවම බලනවා.එන සෙනසුරාදා මරදානට ගියාම මේ පොත ගන්න ඕන.

    ReplyDelete
    Replies
    1. අරං කියවන එක වඩා හොඳයි.

      Delete
  16. Many child solders get killed in the war. Those who survive suffer deep physical and psychological traumas. These traumas affect their social and cognitive development. When the war ends, they are released or they escape, the children often try to reunite with their families when possible. Some go through a process of demobilization and rehabilitation. Despite re-education, rehabilitation and social integration processes, a large number of child solders continue to suffer from the adverse effects of war.


    Psychosocial Problems of Child Soldiers

    http://transyl2014.blogspot.ca/2015/03/psychosocial-problems-of-child-soldiers.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රුවන්.

      Delete
  17. කොටි , හමුදාව සහ යුද්ධය කියන්නේ පහුගිය කාලේ අපේ රටේ කළා කරුවනුත් හොඳට හම්බ කරගන්න පදහ්ගත්ත ත්වට් පොටක් හැටියට මට පෙනුණු කාලයක් තිබ්බා ,ඒ නිසාම ඒ සම්බන්ධ වුනු නිර්මාණ කොයි තරම්හොන්ද වුනත් පේන්න බැරි ගතියක් තිබ්බා

    ReplyDelete
    Replies
    1. යුද්ධය තරම් විකිනුන වෙනත් දෙයක් අපේ රටේ නැති තරම්.ඒ නිසාම ඔවැනි තත්වයන් ඇතිවීම පුදුමයක් නොවේ.

      Delete
  18. මම ගමන් කරමින් හිටියේ ස්කාබරෝවල මාර්කම් පාරේ , මම වාහනය මිල්නර් මාවතට හැරවුවා. පාරේ වාහන තදබදය නිසා මා රිය පැදවූයේ සෙමින්. ඒ සමගම මගේ වාහනයට සමාන්තරව කහ පැහැති හමර් රථයක් ඉදිරියෙන් ආවා. එය පදවාගෙන ආපු තැනැත්තිය ස්ථිර වශයෙන්ම ලංකාවේ දමිළ තරුණියක් බව කියන්න පුලුවන්. ඇයත් මා දෙස බැලුවා. ඇයගේ වත මට හොඳ හැටි දැකලා පුරුදුයි. මෙවැනි තරුණියක් මා දුටුවේ කොහේදිද ? මගේ මතකය දශක ගනනාවක් පසුපසට ගියා. මා කුඩා කාලයේ අපගේ නිවසේ මෙවැනි හැඩරුව තිබූ දමිළ මෙහෙකාරියක් හිටියා. මේ ඇයගේ දියණියක්ද ? එසේත් නැතහොත් මේ වගේ හැඩරුව තිබුණු තරුණියක් මා දුටුවේ හැටන් හි ග්‍රේට් වැලි තේ වත්තේ ලැයිමකද ?

    එදා දරිද්‍රතාවයෙන් පෙලෙමින් සත්‍රාසය , චකිතය ,යටහත්කම සමග ජීවත් වූ ඇය අද පුරුශයන් සමග තුල්‍ය ලෙස හමර් රථයක් ස්කාබරෝහි මංමාවත් වල පදවනවා. මෙය තමයි ප්‍රභාකරන් ඔවුන්ට ලබා දුන් නිදහස-ඩයස්පෝරා නිදහස. ඇය නිදහස්. තව දුරටත් ජාතිය, ලිංගය නිසා ඇයව කිසිවෙකු පාගා දමන්නේ නැහ. යටත් පිරිසෙන් කුලවාදී පුරුෂ මූල දමිළ වෙල්ලාල සමාජයටත් ඇයව පාගා දමන්න බැහැ.

    කහ පැහැති හමර් රථය මා පසුකරමින් ගියා. මම හිස හරවා පසුපස බැළුවා. හමර් රථයේ අංක තහඩුව දුටුවා. ජෙයා 360X. අව්‍යාජ නිදහසේ කිරිල්ලියක්. මීට කලින් නිදහසේ කිරිල්ලියන් කිව්වේ එල්.ටී.ටී.ඊ එකේ නියෝග ප්‍රශ්න කිරීමකින් තොරව පිලිපදින, කොල ඉරි සහිත නිල ඇඳුම් ඇඳි, සුමාන ගනනකින් දිය නොනාපු ,මුහුෙණ් දහඩිය දූවිලි පෙරුණු , උතුරුකර හිරු රශ්මියට පිලිස්සී ගිය , තුන් වේලම පිට්ටු , බත්, මුරුංගා හොදි කාපු, ගිණි අවියක් අතදරා ජීවිතය විඳීමට ඉඩක් නොමැති මරණය පමණක් වන්දනා කල තරුණියන්ට. ඔවුන් දුටුවේ මරණය පමණයි. ජීවිතය ඔවුනට මග හැරී ගියා. ඔවුන් කුසපත් අදිනවා ස්ඵෝටනය තුලින් කැබලි වී ගොස් විමුක්තිය ලබා ගැනීමට. නමුත් ජෙයා ජීවිතය තුල නිදහසේ ජීවිතය විඳිනවා.

    ජෙයා නුඹ වචනයේ පරිසමාප්තියෙන් නිදහසේ කිරිල්ලියක්. කොල ඉරි සහිත නිල ඇඳුම වෙනුවට නුඹගේ ගත සරසන්නේ බනානා රිපබ්ලික්හි නිශ්පාදනය කල සේල. වික්ටෝරියා සීක්‍රට් යට ඇඳුම් අඳින නුඹ මුහුනේ තවරන්නේ Lancome ක්‍රීම්. ටිම් හෝර්ට්න් කෝපි සහ සබ්වේ සැන්ඩ්විච් අනුභව කරන නුඹ පිට්ටු , මුරුංගා හොදි කාපු කාපු කාලයක්වත් මතක නැතිව ඇති. ගිණි අවිය වෙනුවට නුඹ අත දරාගෙන ඉන්නේ බ්ලැක් බෙරි ජංගම දුරකථනය. නුඹගේ අනාගතය පාලනය කරන්නේ උඩු රැවුල තියන සරංකාරයෝ නෙවෙයි. නුඹ නුඹගේ අනාගතය පිලිබඳ පාලකයා.

    සයනයිඩ් කරළට පෙම් බැඳ මරණය සමග ජීවත් වෙන මනුෂ්‍යාභ පිරිසක් විසින් වන්දනා කරන ජීවිතය ජීවත් නොකරවන ජීවිතය විඳීමට ඉඩ නොදෙන දෘෂ්ටිවාදය වෙනුවෙන් ජීවිතය කැප කිරීමට බල කෙරෙන පිළිසරණක් නැති දුගති භූමියක ගුරුත්වයෙන් මිදී ඉහල අහසේ පියාසර කරන විහඟ කුමාරිය. නුඹ නිදහස් , සැබවින්ම නිදහස්. මේ තරුණිය- නිදහසේ කිරිල්ලිය තමයි මම සිහිනයෙන් දුටුවේ දාලියා “

    ReplyDelete
    Replies
    1. අපූරු විවරණයක්.බොහොම ස්තුතියි රුවන්.

      Delete
  19. පහුගිය කාලේ යුද්ධය සම්බන්ධ විරුද්ධ මතවාද මතු කරපු ඒවාට ලබා දීපු ප්‍රසිද්ධිය එක්ක ගත්තම ඒවාගේ ගන්න දෙයක් තිබ්බේ නෑ. සම්මතයට පිටින් ගියපු දෙයක් හින්දා ලොකු කතා බහක් විතරයි ඇති වුනේ. මේකත් ඒ වගේද දන්නේ නෑ. ඒ හින්දා අරගෙන කියවලා ම තීරණයකට එන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. මතුපිටින් තීරණයකට නෑවිත් පොත පරිශීලනය කර තීරණයකට එන්න.

      Delete
  20. හැලපස්ටයිල් කාලෙකින් ......පොත හොයන් කියවන්න ආසා හිතුනා

    ReplyDelete
    Replies
    1. ඔව් හොයාගෙන කියවන්න.

      Delete
  21. බස්සි ගේ පොත් හැට එක උඩට හැලප්ස් ගෙන් තව පොතක්....

    ReplyDelete
    Replies
    1. හැට දෙවෙනි පොත.

      Delete
  22. කියවම්දෝ නොකියවම්දෝ කියල හිත හිතා හිටියෙ. ඔන්නොහෙ ඕනි එකක් කියල කියවල බලනව.

    ඒත් මං තවමත් හිතන්නෙ අපිට ඕනි යුද්ධෙ ගැන එක දෘෂ්ඨි කෝණෙකින් ලියවිච්ච කතාවකට වැඩිය යුද්ධෙට මූණ දීපු හැම පාර්ෂවයටම කියන්න කියන කතා එකතු කරපු එක පොතක් කියලයි. යුද්ධෙකින් හැමෝම දුක් විඳිනව මිසක් අන්තිමේදි කවුරුවත් දිනන්නෙ නෑ කියල තේරුං ගන්නවත්...

    ReplyDelete
    Replies
    1. කියවලම තේරුම් ගන්නවා නම් වඩා හොඳයි.

      Delete
  23. මේ කියවපු ටික මදැයි.. හැබැයි උඹ වගේ හැලපයෙක් ගෙන් අවංකවම මං මීට වඩා සාහිත රසයක් බලාපොරොත්තු උනා.. පකයා.. හැක් පකයා

    ReplyDelete
    Replies
    1. කුණුහබ්බ කියන්න එපා වාසුවො!!!

      Delete
    2. මේක මම ලියපු එකක් නෙවෙයිනෙ වට්ටක්කේ.

      Delete
  24. හරිම ලස්සන කතාවක්. හොයාගෙන බලන්ට වටිනවා. එතකොට නිරෝමිගේ අම්මා දෙමළද? පියා සිංහලද? කතාව කියවාගෙන යනකොට මතක් වුනේ මෙහේ හිටපු දෙමළ පවුල්වල, උගත් ලමයි යුද්ධ කාලේ යාපෙනේ ගිහින් උදව් කල හැටි. ඒවා ගැන එංගලන්තේ පත්තරවල ලියවුනා වගේ මතකයි. ගොඩක් වෛද්‍ය සිසුන් තමා මේ විදියට ගියේ. එයාලාගේ අත්දැකීම් හරිම පුදුමයි. ඒ වගේම ප්‍රභාකරන් දැක්කාම ගත කරපු අමාරු කාලය අමතක වෙලා යන හැටිත් එයාලා කියලා තිබුණා.

    ReplyDelete
    Replies
    1. නැහැ පොඩ්ඩි..දෙන්නම දෙමළ. මේ නම ඇත්ත නම නොමෙයි..!

      Delete
    2. හොයාගෙන කියවන්න පොඩ්ඩි.ගොඩක් දැනගන්න දේවල් තිබෙනවා.

      Delete
  25. මේ පොත දැකලා තිබ්බත් අරන් කියවන්න ඕනේ කියන සිතුවිල්ලක් නාවේ පොතේ නමයි,කවරෙයි නිසායි.අර සමහර තැන් කියවනකොට මතක් උනා අර 'තරා මගේ දෙව්දුව' පොතේ තරාවත්.

    ReplyDelete
    Replies
    1. මොකද නමයි කවරෙයි දිරෙව්වෙ නැද්ද මනෝජ්.තාරා මගේ දෙව්දුව මම කියවල නැහැ.කියවන්න ගොඩක් අමාරුයි කියල මගේ මිත්‍රයෙක් කියපු නිසා ගත්තෙ නෑ.

      Delete
    2. ඔව් මට එක එච්චර දිරෙව්වේ නැහැ තමයි.හැබැයි දැන්නම් ආසයි කියවන්ට.
      "තාරා මගේ දෙව්දුව"අරන් කියවහන් හැලපයියේ.එක හරිම ලස්සන කතාවක් තියෙන පොතක්.

      Delete
  26. පොත කියවන්ටම වෙනවා.. අනිත් පැත්ත දැනගන්න..

    ReplyDelete
    Replies
    1. එහෙමද අනික් පැත්ත ගැන කමිය ගොඩක් දන්නව කියල මම හිතුවෙ.

      Delete
  27. එක දිගටම දෙපාරක් කියවපු පොත් කිහිපයෙන් එකක්. සමහර තැන්වල, සමහර අත්දැකීම් අතියෝක්ශියෙන් ලියපුවද කියලත් හිතෙනව. ඒත් අමුතුම අත්දැකීමක්. විශේෂයෙන් හමුදාවෙන් ලියපු, ඒක පාර්ශ්වික පොත් කියවපු අපිට දෙපැත්තෙම තිබ්බ වැරදි ගැන හිතන්න අවස්තාවක්.

    ReplyDelete
    Replies
    1. අම්මට හුඩු ඇල්බයියා.. කාලෙකින් , නැත්තං මේ යෝදයා දකින්න වෙන්නේ රිලැක්ස් එකේ ගේට්ටුව ගාවදි විතරයි :P

      Delete
    2. කිව්වත් වගේ ඇල්බන් බොහොම කාලෙකිං.මෙතෙක් කල් පෙනෙන්න හිටියෙ නැත්තෙ ඇයි.

      Delete
  28. Replies
    1. ස්තුතියි රාවණා.

      Delete
  29. අවුරුදු තුනකට වගෙ ඉස්සර මම මේ පොත නුවර විජිත යාපා එකේදි අතටත් අරගෙන ආයම නොගෙන ආව. මම කියන්නෙ පරිවර්තනය නෙවෙයි මුල් ඉන්ගිරිසි පොත ගැන. එහෙම නොගෙන ආවෙ මේ ලියපු කාන්තාව ඇත්තම කොටි සෙබළියක් නෙවෙයි එහෙන් මෙහෙන් අහුලගත්ත කෑලි අමුණලයි කතාව ලියල තියෙන්නෙ කියල මම ඊට ඉස්සර විචාරයක් කියවල තිබුන හින්ද. ඒ වුනාට ප්‍රබන්ධයක් වුනත් ගත්තනම් හොඳයි කියල දැන් හිතෙනව...:)

    ReplyDelete
    Replies
    1. විචාර වලින් මුලා නොවී තම නැණ පමණින්ම කියවා තේරුම ගත්ත නම් කොච්චර හොඳද රවී.

      Delete
  30. රස විඳීමට නොව සිතන්නට යමක්.

    ReplyDelete
  31. මම අද මේ පොස්ට් එක කියෙඋවේ, මේකේ පරිවර්තනය කරපුකෙනා මම දන්නා කෙනෙක්(අපේ ඉංගිරිසි ටීච) මෙයා මැරි කරලා ඉන්නේ චන්ද්‍රසිරි දොඩංගොඩ මහතා(දිවයින පුවත්පතේ හිටපු කතෘ කෙනෙක්) ඔහුත් දක්ෂ රචකයෙක්, නීති ගරුක පොලිස් නිලදරියෙක්ගේ කථාවක් ලිඋවා.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete

ඔබේ අදහස්