Tuesday, September 29, 2015

පියදාස සිරිසේන සහ සිංහල නවකතාව

අද සැප්තැම්බර් මාසයේ අවසාන දවසයි.සාහිත්‍ය මාසය වෙනුවෙන්  කතා කීපයක් ලියන්නට සිතා සිටියත් මාසය අවසන් වනතුරු එයට අවස්ථාව නොවීය.කෙසේ හෝ එක කතාවක් වත් සාහිත්‍ය මාසය තුළට ඔබා ගැනීමට වූ බලවත් ආශාව නිසා මෙම කතාව අදදින පළකරමි.

පියදාස සිරිසේන (1875-1946) සිංහල නවකතාවේ මුල්යුගයේ අවසාන භාගයේ පහළ වූවෙකි.ඔහු අවුරුදු හතළිහක පමණ දීර්ඝකාලයක් මුළුල්ලේ නොකඩවාම නවකථාකරණයෙහි යෙදී සිටියේය.එකී කාලය ඇතුළත ඔහු අතින් ලියැවුණු කතා ප්‍රමාණය විස්සක් පමණ වේ.ඔහුගේ නවකථාවලින් සමහරක් පහත පරිදිය.

වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් (1906)
අපට වෙච්ච දේ (1909)
මහා වියවුල (1909)
තරුණියකගේ ප්‍රේමය (1910)
අෂ්ටලෝක ධර්ම චක්‍රය (1916)
ඩිංගිරි මැණිකා හෙවත් වික්‍රමපාලගේ පළමුවෙනි වික්‍රමය (1918)
විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හෙවත් වික්‍රමපාලගේදෙවෙනි වික්‍රමය (1919)
වලව්වක පලහිලව්ව හෙවත් වික්‍රමපාලගේ තුන්වෙනි වික්‍රමය (1921)
ශ්‍රී ලංකා මාතා (1922)
ඉෂ්ට දෙවියා හෙවත් වික්‍රමපාලගේ හතරවෙනි වික්‍රමය (1925)
සුචරිතාදර්ශය (1926)
අද්භූත ආගන්තුකයා (1928)
චින්තාමාණික්‍ය රත්නය (1930)
අන්තිම කැමැත්ත (1930)
යන්තම් ගැලවුණා (1934)
පරිවර්තනය (1934)
පසන් නිවස (1936)
ඉෂ්ඨ දෙවියා (1936)
මහේෂ්වරී හෙවත් වික්‍රමපාලගේ පස්වෙනි වික්‍රමය (1936)
පළමුවන පාසල (1938)
අන්තිම කැමැත්ත හා ඩෙබර කෙල්ල හෙවත් වික්‍රමපාලගේ හයවෙනි වික්‍රමය (1944)

1875 අගෝස්තු 11 වැනි දින ඉඳුරුව අතුරුවැල්ලේදී උපන් පියදාස සිරිසේනයන්ගේ මුල් නම පේදිරිස් සිල්වාය.අනගාරික ධර්මපාල තුමන් විසින් එය පියදාස සිරිසේන යනුවෙන් වෙනස් කරන ලදී.සේවාව ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ විහිදයයි.ඒනම් නවකතාව,පද්‍යය,දේශන,පුවත්පත්-සඟරා යන සතරයි.පියදාස සිරිසේන තම පුවත්පත් කලා ජීවිතය ආරම්භ කළේ අර්වින් ගුණවර්ධන සංස්කරණය කළ සිතුමිණ(1895) සඟරාවෙනි.මුලින් ඊට කවි ලියු හෙතෙම පසුව එහි උප කර්තෘවරයෙකු වශයෙන් සේවය කළේය.ඒ වන විට ඔහු කොළඹ ලී බඩු සාප්පුවක ලිපිකරුවෙකු වශයෙන් සේවය කර ඇත.සිතුමිණෙන් ඉවත්වූ සිරිසේනයන් පසුව එච් එස් පෙරේරා කර්තෘ ධුරය දැරූ සරසවි සඳරැස පත්‍රයට උප කර්තෘ වරයෙකු ලෙස සම්බන්ධ වුයේය.තම පුවත්පත් කලා ජීවිතයේ ගුරුවරයා ලෙස සිරිසේන සැලකුවේ එච් එස් පෙරේරාය.ඔහු දිනමිණ පත්‍රයේ ආරම්භක කතුවරයාද විය.

පියදාස සිරිසේනයන්ගේ කෘති මාලාව දෙස විචාරශීලීව බැලීමේදී පෙනෙන දෙයක් නම් ඔහු යටත්විජිතවාදයට විරුද්ධත්වය පළකලේ අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් නොවන බවයි.ඔහු සුද්දාටද බටහිරටද ක්‍රිස්තියානි ආගමටද නිර්දය ලෙස පහර දුන්නේය.යටත්විජිතවාදය හා සුදුහම අතර නෛසර්ගික සම්බන්ධතාවක් නැති බව ඔහු නොදකී.ඒ නිසා ලෝකයේ උසස්ම ආගම බුද්ධාගම ලෙසත් උසස්ම ජාතිය සිංහල ලෙසත් ඔහු අතින් උත්කර්ෂණය විය.

සිරිසේනයන්ගේ නවකථා පුළුල් වස්තු විෂයයකින් සමන්විතය.ඔහු මුළු මහත් සමාජයම තම කෘතීන්ට ආශ්‍රය කොට ගත්තේය.සමාජයේ හැම පංතියක්ම හැම ජන කොට්ඨාශයක්ම කෙරෙහි ඔහුගේ අවධානය යොමුවිය.හැම සමාජ මට්ටමකම හැම තරාතිරමකම චරිත ඔහු අතින් නිරුපනය විය.නාගරික සමාජය මෙන්ම ගැමි සමාජයත් ඉහළ සමාජය මෙන්ම පහළ සමාජයත් කුලීන සමාජය මෙන්ම කුලහීන සමාජයත් ඔහුගේ සැළකිල්ලට භාජනය විනි.   මුදලිවරුන්,මුහන්දිරම්වරුන්,රටේ මහත්තුරුන්,ආරච්චිවරුන්,විදානෙවරුන්,ඒජන්තවරුන්,කොස්තාපල්වරුන් වැනි ආණ්ඩුවේ නිලධාරීන්ද පෙරකදෝරු,අද්වකාත්,ආදී නීතිඥ වරුන්ද, රදළවරුන්,නිලමෙවරුන්,තෝල්කවරුන්,දොස්තරවරුන්,වෙදවරුන්,ගුරුවරුන්,ලිපිකරුවන්,කම්කරුවන්,ගොවීන් ආදීන්ද බෞද්ධ හා ක්‍රිස්තියානි පූජකවරුන්ද ඔහුගේ නවකථාවල දැක්ක හැකිය.ඔහු දෙමළ, මුස්ලිම්,ලංසි,ඉංග්‍රීසි චරිතද බාල තරුණ මහලු චරිතද නිරූපණය කළේය.සමාජ සේවකයන්,පරාර්ථකාමීන්,සුශීල    භික්ෂුන්,රහස්පරීක්ෂකයන්,උපාසක උපාසිකාවන්,ඥානවන්තයින්,සොරුන්,කපටින්,කෛරාටිකයන්,කුහකයන්,වංචාකාරයන්,මෝඩයන්,බේබද්දන්,සල්ලාලයන්,
ගණිකාවන් ආත්මාර්ථකාමීන්,කුම්මැහියන්,දුශ්ශීල භිකෂුන්,සිවුරළුවන් ආදී නොයෙක් චරිත ඔහුගේ නවකථාවල හමුවේ.

පියදාස සිරිසේන නවකතාවේ පරමාර්ථ පිලිබඳ පැහැදිලි දෘෂ්ටියක පිහිටා සිටි කතාකරුවෙකි.නවකතාවක මුඛ්‍ය පරමාර්ථය කතා රසය ඇතිකිරීමටත් වඩා අර්ථවත් පණිවිඩයක් ප්‍රකාශ කිරීම බව ඔහු පිළිගත්තේය.කථා රසයට බාධා කරමින් වුවද තම සංදේශය පල කිරීමට ඔහු පසුබට නොවීය.කතාකරුවාගේ දර්ශනය මගින් සමාජය යහමගට යොමුකළ යුතු බවත් සමාජය සංශෝධනය කිරීම තුලින් අවුල් වියවුල් වලින් ගහන සමාජය සුවපත් කළ යුතු බවත් ඔහු විශ්වාස කළේය.විදේශීය ආධිපත්‍යය හේතුකොට ගෙන මුළු මහත් සමාජයම පරිහානියට පත්වී ඇති බව ඔහු කියා සිටියේය.රටත් ජාතියත් ආගමත් විපතින් බේරා ගැනීම කථාකරුවාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු යැයි කී සිරිසේනයන් සිංහල සංස්කෘතියේ අනන්‍යතාව රැක ගැනීම පිණිස නවකථා මාධ්‍යය උපයෝගී කර ගත්තේය.කතුවරයාගේ හැම නවකතාවකම පාහේ ප්‍රධාන කතාවට අමතරව තවත් අතුරු කථාද ඇතුළත්වේ.මෙකී අතුරු කථාවල මුඛ පරමපරාගත කථා,ජන කථා කෙටි කථා බණ කථා ආදිහි ලක්ෂණ දැක්ක හැක.පර ස්ත්‍රී සේවනයෙහි අනිෂ්ට විපාක දක්වනු වස් කතුවරයා විසින් ගොතන ලද කතාවක් පහතින් දැක්වේ.මෙය උපුටාගත්තේ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය නවකතාවෙනි.

"මාතරට නුදුරු ගමක මුලාදෑනියෙක් සිටියේය.ඔහු නිතරම පර ස්ත්‍රීන් කරා යන ජඩයෙකි.එක් රාත්‍රියෙක ඔහුගේ මිත්‍ර ස්ත්‍රියෙක් නිසා ඇගේ ගෙදරට ගියේය.ඔහු යන වෙලාවට ගෙදර මිනිස්සු යම් කටයුත්තක් නිසා ලාම්පු දල්වාගෙන කතා කරමින් උන්හ.මුලාදෑනියා ගෙයි පහන් නිවන තුරා ගෙට පැත්තකින් තිබුන කුඩා මැටි වලට බැස නිසොල්මනේ උන්නේය.මේ අතර ගෙදර වැඩකාර ස්ත්‍රිය ශරීර කෘත්‍යයක් සඳහා මැටිවල ඉවුරේ සිට කරුවලේ වුන් ඔහු නොදැක ඔහුගේ හිසට සුළුදිය වක් කරන්නට පටන් ගත්තේය.මෙය ඉවසාගත නොහැකි නමුත් හෙලවුනොත් තමාගේ සොරකම අසුවේය බයින් නොසෙල්වී ඉඳ ඒ ස්ත්‍රියගේ සුළුදියෙන් නාගෙන ගෙදර ගියේය"

මෙයින් කිසියම් හාස්‍ය රසයක් ජනිතවේ.එය ග්‍රාම්‍ය හාස්‍ය රසයකැයි කෙනෙකුට තර්ක කළ හැකිය.මනුෂ්‍ය දුර්වලකම් නිර්දය උපහාසයට ලක්කෙරෙන මෙබඳු හාස්‍යජනක පුවත් රචනා කිරීමට කතුවරයා තුළ විශේෂ දක්ෂතාවක් තිබු බව පෙනී යයි.පියදාස සිරිසේනගේ නවකථා තුළ කැපී පෙනෙන ලක්ෂණ කීපයකි.සුදන දුදන චරිත සුලබ වීමත් හැමවිටම දුදනා පරාජය වීමත් ඔහුගේ කතාවල සැකිල්ලයි.ප්‍රධාන චරිතය දේශනයකට හෝ විවාදයකට යොමුකර සමාජ විචාරයේ යෙදීම තවත් ලක්ෂණයකි.ඔහු එබඳු කතා කලාවක් ගොඩනංවා ගත්තේ සමකාලීන සමාජයේ අවශ්‍යතාව උදෙසාය.කෝන්ගොඩ වික්‍රමපාල පමණක් නොව වාසනාවන්ත විවාහයේ ජයතිස්ස,පළමුවන පාසලේ වසන්ත චන්ද්‍ර ආදීහු දුම්රිය ස්ථානය,දුම්රිය මැදිරිය,නවාතැන් ගන්නා හෝටලය,තානායම,භෝජන සංග්‍රහය සඳහා ඇරැයුම් ලබන නිවස මේ කොතැනක වුවද සමාජ විචාරයේ යෙදෙති.

සිරිසේනගේ ප්‍රබන්ධකතාවල එන පන්සිල් නොරකින දුෂ්ට චරිත ඇත්තන්ට කතාව අවසානයේ නිත්‍ය පරාජය හිමිවෙයි.සිරිසේනයන්ගේ ඒ උපක්‍රමයෙන් මිනිසුන් ගලවා ගැනීමේ උපරිම පලය නම් 'අද්භූත ආගන්තුකයා'හි කතා නායකයා වන ඒබ්‍රහම් ය.බුද්ධාගම්කාරයාය කියන්නේ මල් පූජා කරන,පන්සල් යන කෙනාට යැයි සිතා සිටින ඒබ්‍රහම් වනාහි රහමෙර පානයේ යෙදෙමින්, සිය නැගෙනිය සමග කාමයේ හැසිරෙමින්, සතුන් මරමින්,දෙමාපියන්ට නිගරු කරමින් සිට මියගොස් ප්‍රේතාත්මයේ ඉපිද තමන් කළ දුසිරිත් පිළිබඳව පාපෝච්චාරණයක යෙදෙන චරිතයකි.ඔහු කරන පාපෝච්චාරණය සිංහලයාට එවැනි නරක ක්‍රියාවන්හි යෙදෙනවාට කරන පාඩම් ඉගැන්වීමක් බඳු වෙයි.ඔහුගේ දර්ශනයේ තවත් අභිප්‍රායක් වුයේ සමාජ වැසියා මත්පැන් පානය ආදී දුරාචාරවලට පෙළඹීම වැලැක්වීමයි.අද්භූත ආගන්තුකයාහිදී මත්පැන් පානයේ ආදීනව දැක්වෙයි.

"ඉතින් ශරීරගත සියලුම ලොකු කුඩා නහරවල මත්පැන් විෂ මිශ්‍රවූ අපිරිසිදු ලේ දිවීමට පටන් ගැනීමෙන් ඒ සියලුම නහර දුර්වල බවට පැමිණේ.මත්පැන් බීම අවුරුද්දක් විතර කරගෙන ගිය පුද්ගලයාගේ මොළේ පවතින ලක්ෂ ගණන් වූ සුළු නහර වියලේ.පෙනහැල්ල නරක්ව තැම්බී දුෂිතවේ"

නිරපරාද අහිංසකයන්ට වදහිංසා කරන රජයේ නිලධාරීන්ට පැහැර ගැසීම සඳහා ගෙතුණු පහත සඳහන් පුවත වලව්වක පලහිලව්ව නොහොත් වික්‍රමපාලගේ තුන්වන වික්‍රමයෙන් උපුටා ගත්තකි."වත්තේ දොළොස් දෙනෙකුත්,හාමුත්,ඉන්ස්පැක්ටරත්,කොස්තාපලුත්,විදානේත් යන දාසය දෙනා සුවාරිස් අප්පු අල්ලා මාංචු දැමීමට සැරසෙන බැව් දුටු ඒ අසරණයා වෙව්ලමින් අඬමින් මෙසේ කියන්නට පටන් ගත්තේය.'අනේ හාමු මහත්තයෝ,මගේ අඹුවත් පාවාගෙන ඒත් මදිව ඈත් සමග එකතුව මාව හිරේ දමන්ට හදන එක යුතුදැ'යි කීය.මේ වචනය කියනවාත් සමගම හාමුට කේන්ති ඇවිත් සුවාරිස්ට කම්මුලට එකක් ගැසීය.ඉන්ස්පැක්ටර්ද ඒ අසරණයාට හත අටක් ඇන්නේය.ළඟම සිටි කොස්තාපල් මේ අසරණයා බිම පෙරළාගෙන ඉල බල බලා අනින්ට පටන් ගත්තේය.දුර්වලවූ නාකි විදානේටත් අතේ හිරි ඇරගන්ට හොඳ ප්‍රස්තාව වූ බැවින් තුන හතරක් අනින බව පෙනුණේය.සුවාරිස්ගේ සහකාර කිසිවෙක් මේ අධමයන්ට තලනවා තබා මොවුන්ගේ තැලීම නවත්වන බවක්වත් නොපෙනුන බැවින් මට දරාගත නොහැකිවිය.මගේ ඇඟේ ශක්තියට වඩා හිතේ ශක්තිය වැඩිකරගෙන ඉදිරියට අවුත් සුවාරිස් අප්පුට අනිමින් සිටි කොස්තාපල්ගේ කණ හරහා වදින්ට තදින් පහරක් බෙදුවෙමි.ඔහු ඒ පාරෙන්ම සිහිසන් නැතුව වැටුනේය.ඒ ළඟම සිටි නාකි විදානේට පයින් එකක් දුනිමි.ඇත්තෙන්ම නාකියා මලමුත්‍ර වගුරුවමින් මරහඬ දෙන්ට පටන් ගත්තේය.එවිට මා දෙසට එමින් සිටි ඉන්ස්පැක්ටර්ගේ මුණට හෙණ පහරක් වන් පාර තුනක් ඇන්නෙමි.ඔහු බදා බිම හෙලා මුර්ජා වනතුරු අනිනු දුටු හාමු වටපිට බලන බව දුටු බැවින් ඉන්ස්පැක්ටර් එතනම සිටියදී දුවගෙන ගොස් හාමුව අල්ලා පොළොවේ ගැසීමි.වෙරිමත්ව සිටි ඒ කාලකන්නියාට පාර පහක් පමණ අනිනකොට මලමුත්‍ර වගුරුවන්නට පටන් ගත්තේය.වත්තේ මිනිසුන් ගෙන් කීප දෙනෙක්ම බංගලාව අයිනට වුන මුත් නවත්වන්නට කිසිවෙක් ඉදිරියට නාහ.මගෙන් පහර කෑ හතර දෙනාම ඒ ඒ තැන වැටී සිටියදී වත්තේ කොන්දොස්තරගේ පිටිකරට හත අටක් ඇන 'එම්බා ජඩය,තගේ ආරක්ෂාවේ උන් නිර්දෝෂ මිනිහා පාවා දුන් තා වැනි ජඩයෙකුට මිනිසුන් හත් අට දෙනෙක්වත් පාලනය කරන්ට ඉඩ ඇරීම අපරාධයකි.තා නොමරා මරමි'යි ඔහු බිම දමාගෙන මලමුත්‍ර නික්මෙන තුරුම ඇන්නෙමි..."

එකල සිටි පාඨකයන් පවා මෙබඳු විස්තර කියවා මුවගට සිනාවක් නගා ගන්නට ඇතැයි සිතිය හැකිය.කෙසේ වුවද මෙය කතුවරයාගේම නිර්මාණයක් විනා ඉංග්‍රීසි නවකතා අනුකරණය කිරීමේ ප්‍රතිපලයක් නොවන බවද කිවයුතුය.

නවකථාව ප්‍රබල මාධ්‍යයක් ලෙස අවුරුදු හතළිහක පමණ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යාම අතින්ද මුළු මහත් සමාජයම වස්තු විෂයය කොට ගැනීම අතින්ද පොදු ජන ව්‍යවහාරය පදනම් කොට ගත්තාවූත් නවකථා කරණයට යෝග්‍ය වුත් භාෂාවක් ගොඩනැගීම සඳහා මාර්ගය පෑදීම අතින්ද පාඨකයන් අතර නවකථා කියවීමේ රුචිය වර්ධනය කිරීම අතින්ද පියදාස සිරිසේනයන්ගෙන් සිදුවුයේ අගනා සේවයක් බව අවධාරණයෙන් කිව යුතුය.සිංහල නවකථා ඉතිහාසයෙහි ඔහුට හිමි වනුයේ වැදගත් ස්ථානයකි෴

(මහාචාර්ය ආරිය රාජකරුණා,සෝමවීර සේනානායක, ආචාර්ය ලියනගේ අමරකීර්ති,චාමර මලින්ද විජේසේකර, සුනිල් මිහිඳුකුල යන වියතුන්ගේ ලිපි ඇසුරින් සකස්කළෙමි)

67 comments:

  1. පියදාස සිරිසේන කියපු ගමන් මට මතක් වෙන්නෙ අඹු සැමියන්ට මාසෙකට දවසක්ද දෙකක්ද කොහෙද අහවල් වැඩේ කලාම ඇති කියල කියවෙච්ච නවකතාව ලිව්ව රචකය විදියට.
    සිංහල නවකතාව ලදරු කාලෙ ඒ වෙනුවෙන් යම් සේවයක් සිදුවුනා මිස කතන්දර විදියට ගත්තම ඔහුගේ ගතයුත්තක් නෑ කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. විචාරකයින් කියන්නෙත් එයමැයි රාජ්.එවකට සිංහල නවකතාව තිබුනේ ළදරුවියේ.ඒ ළදරුවා හදාවඩා ගැනීමට ඔහුගෙන් සිදුවූ සේවය අගය කලයුතුයි.

      Delete
  2. රාජ් කිව්වත් වගේ.. ඒක නිවරැදි කතාවක්. ඒත් මුල පාදගන්න එක තමා අමාරු...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මුල පාදාගැනීමේදී ඔහුගෙන් සිදුවූ මෙහෙය ගැන කතාකළ යුතුයි.

      Delete
  3. පියදාස සිරිසේනල ඒ කාලෙ තිබ්බ සමාජ ක්‍රමය විවේචනය කරමින් ලියන්න උත්සුක වුනේ ඒ කාලෙ තිබ්බ සමාජ වටපිටාව අනුව කිලයි මට හිතෙන්නෙ ඇත්තටම බැලුවොත් භාෂාත්මක ලක්ෂණ අතින් වුණත් යම් තරමක දුර්වල තත්වයක් තියෙනව. කතා ගොඩනැංවීම නං කෝමත් දුරුවලයි
    නමුත් ඒ කාලෙ හැටියට ඔහු බලාපොරොත්තු වුණ දේ ඉෂ්ට වෙන්ට ඇති කියා හිතනව.
    හොද විස්තරයක් හැලපය්යෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මෙතනදී ඔහුගේ ලේඛනය දෙස බැලිය යුත්තේ සාපේක්ෂවයි මහේෂ්.නමුත් ඔහුගේ බලාපොරොත්තුව වුනේ රසවත් කතා ලිවීමට වඩා සමාජ ශෝධනයයි.

      Delete
  4. හෆොයි මන් හිතුවේ මේක ඔහේගේ පෝස්ට් එකක් කියලා. බලනකොට කොපියක් නේ. ඔහේ දන්නේ ඔහේගේ ගමේ බඩු ගැහිලි පෝස්ට් ලියන්න විතරනේ

    ReplyDelete
    Replies
    1. පිස්සුද බං.අපි කවද ලියපුවද මේවා,ඔන්න බඩුවක් ගැහිල්ලක් නං ලියයි.

      Delete
  5. සාහිත්‍ය මාසයේ අවසානයට මත්තෙන් ලියවුනු වටිනා සටහනක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තුශානි.

      Delete
  6. //සුදන දුදන චරිත සුලබ වීමත් හැමවිටම දුදනා පරාජය වීමත් ඔහුගේ කතාවල සැකිල්ලයි.//
    ඩිකන්ස් ගෙ කතාවලින් ආභාශයක් ආවද දන්නෙ නෑනේද? Bronte sisters?

    //ප්‍රධාන චරිතය දේශනයකට හෝ විවාදයකට යොමුකර සමාජ විචාරයේ යෙදීම තවත් ලක්ෂණයකි.//
    පසුව ආ ඩබ්ලියු ඒ සිල්වාගේනම් එපා වෙන තරමට දේශන දෙන චරිත ඉන්නවනේ?ඒත් ඔහුගේ ලිවීමේ ශයිලිය සිරිසේනට වඩා උසස්. ඒ වෙනස කාලයේ වෙනස නිසා වෙන්නත් පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඩබ්ල්යු ඒ සිල්වගෙ කතා සමහරක, එයාටම මුහුණ දෙන්න වෙච්ච විවේචන වලට පිළිතුරු තියෙනවා. ඒ කියන්නෙ යථාර්ථවාදයද, රොමෑන්ටික ශෛලියද වඩා හොඳ කියන එකට උත්තරේ...

      ලක්ෂ්මි හෙවත් නොනැසෙන රැජින සැරයක් කියනවා, පිරිමින්ට හොඳ යුරෝපීය ඇඳුමලු. ගැහැණුන්ට සාරිය හොඳයිලු.

      Delete
    2. පියදාස සිරිසේන ඉංග්‍රීසි නවකතා වලින් ආභාෂය ලැබුවේ නැති බව කියවුණත් ඔහුගේ ලිවිසැරිය ගැන බලන විට ආභාෂය ලබා ඇති බව පෙනෙනවා ප්‍රා.ඩබ්ලියු ඒ සිල්වාට වඩා දේශනා ගද්‍යයෙන්ද පද්‍යයෙන්ද සිරිසේනයන් ලිව්වා.කොහොමත් සිල්වාගේ ශෛලිය සිරිසේනයන්ට වඩා දියුණු බව කිවහැකියි.

      Delete
    3. ඩ්‍රැකී,
      ඩබ්.ඒ සිල්වා මහතා නිතරම ඇන්දේ යුරෝපීය ඇඳුමයි.ඒ නිසා එහෙම කියන්න ඇති.

      Delete
  7. පියදාස සිරිසේනත් අයියෝ සි... වගේ වගේද කියලත් හිතෙනවා.

    උඹෙ පරන පෝස්ටි එකට අපිදැමිම කොමන්ටු වලට උඹ රිප්ලයි කරලා නැ.උඹව බරපතල වැඩ ඇතිව තුන් මාසේකට එල්ලුමි ගස් යවනවා ආයේ එහෙම රිප්ලයි නොකලොත් හරිය.
    මෙන්න මෙකත් බලාගෙන වරෙන්කෝ සුදෝ
    http://manomandira.blogspot.com/2015/09/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. එල්ලුම් ගස් යවන්න එපා.රිප්ලයි කරමි.ඒ පැත්තෙ ගිහිං ආවා බං.

      Delete
  8. පියදාස සිරිසේන මහත්මයගෙ පොත් මම කියවල නෑ, ( පොතක අවසානය දක්වා කියවල නෑ ) ඒ රචනා විලාශය කියවගෙන යන්ඩ තරම් ඇල්මක් ඇතිවෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. පොත් ටිකෙන් වැඩි හරියක් කියවල තියෙනවා වගේ මතකයි.හැබැයි කියවන්නට හරිම අමාරුයි.තියෙන හෑලි සහ කවි අයින් කරලයි ඒත් කියෙව්වේ.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අන්තිම දවසේ හරි එකක් දාගත්තනේ හිටං. ඒ මදැ.

    ReplyDelete
    Replies
    1. අන්තිම මොහොතෙ දාන එකේත් පොඩි ලල් එකක් තියෙනවා මට හිතෙන හැටියට.

      Delete
  11. ඒ කාලෙ මිනිස්සු මළ මුත්‍රා වලින්ම හැදිච්ච මලු වගේ Full of shit අද වගේ ලේ එන්නේ නෑ. ඒකනෙ පාරවල් කීපයක් ගැහුවම මළ මුත්‍ර වගුරුවන්නේ.

    >>මෙය කතුවරයාගේම නිර්මාණයක් විනා ඉංග්‍රීසි නවකතා අනුකරණය කිරීමේ ප්‍රතිපලයක් නොවන බවද කිවයුතුය.<<

    ඔය කිව්වට Beat the shit out of him කියන එක තමයි ඔය කියන්නෙ මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔය නෑ කිව්වට මමත් හිතන්නෙ එහෙමයි.ඒ කාලෙ සිංහල නවකතා නොතිබුන නිසා මග පෙන්වීම් ගන්නට ඇත්තේ ඉංග්‍රීසි නවකතා පමණයි.

      Delete
  12. අන්තිමට හරි එකක් දාගත්ත එක මදැයි.
    දැං ඒක හරිනෙ. කලින් පෝස්ට් එකේ කොමෙන්ට් වලට රිප්ලයි කළොත් නරකද?

    ReplyDelete
    Replies
    1. කොරයි කියල තමයි බය. රෙද්ද ගැලෙව්වා වගේ උන නිසා ඒක වහගන්න මේක දැම්මා.

      Delete
    2. කොරනවා කොරනවා රෙදි ගලෝගෙන හරි.ඇවිත් බලපංකො.

      Delete
    3. ප්‍රසන්න,
      දැන් හරි කමෙන්ට් වලට රිප්ලයි කරමි.

      Delete
  13. සිංහල නවකතාව පියදාස සිරිසේන යුගයට වඩා බොහෝ සෙයින් විකාශය වී ඇති බව තමයි මටනම් පෙනෙන්නේ, ඒ නිසා ඒ ගැන විවරණයක් අදට සාපේක්ෂව කිරීමේදී බොහෝ අඩුලුහුඬුකම් පේන්නට පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඉවාන්ගෙ කතාව හරි.අපි මේ දෙස බැලිය යුත්තේ ඔහු ජීවත්වූ යුගයට සාපේකෂවයි.

      Delete
  14. පියදාස සිරිසේන ගේ කතා වලින් වික්‍රමපාල ගේ කතා 3 ක් කියවලා තියනවා. (ඩිංගිරි මැණිකා, වලව්වක පලහිලව්ව, ඩෙබර කෙල්ල). විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය ඉවර කරගන්න බැරි උණා. එතකොට චින්තාමානික්‍ය රත්නයත් කියෙව්වා වගේ මතකයි. කවි වලින් පිරිලා තියන හින්දා පුරුදු විදිහට නම් කියවන්න ටිකක් අමාරු උනා. ඒත් වික්‍රම පාල ගේ පොත් නම් ආසාවෙන් කියෙව්වා. හැබැයි පියදාස සිරිසේන ගේ මතය ගැන නම් මට ලොකු ගැටළු තියනවා. බුදු දහම ගැන මෙච්චර තදියමෙන් කතා කරන මනුස්සයා ජෝතිෂ්‍යය ඊටත් වඩා ඉහලින් තියා ගෙන ඉදලා තියෙන්නේ. ඔන්න ඔහේ ඒක කමක් නෑ කියමු.
    ඒත් ගැහැණු ළමයෙක් ගේ බ්ලවුස් එකේ කර පොඩ්ඩක් පළල් වැඩි උණා කියන එකට බලු කතා කියන මනුස්සයා ජෝතිෂ්‍ය ලොකු කරන්න ගිහිල්ලා අන්තිම මෝඩ විදිහේ කතා ගොතනවා. එක තැනක තියනවා (මම හිතන්නේ වික්‍රමපාල ගේ කතාවක් ම වෙන්න ඕනේ) එක කෙල්ලෙක් වැස්සට ගොඩ වෙන්න ගෙදරකට යනවා. ඒ ගෙදර හිටපු මනුස්සයා කටුවට ගහපු හදහනක් දැකලා මේ ඉන්නේ මගේ අනාගත මනුස්සයා කියලා ඒ ගෙදර නතර වෙනවා. ඇයි යකෝ මේ ලංකාව නෙවේද? ඇමරිකාවේ උනත් රෑකට රාත්‍රියකට සෙට් වෙන කෙල්ලෙක් උනත් පහුවදා පාන්දර ගෙදර යනවා. එහෙම තියෙද්දී සේරම පැත්තක දාලා හදහනක් දැකලා කවදාවත් දැකපු නැති මිනිහෙක් ගේ ගෙදර නතර වෙනවා.
    ඔය වගේ ආතල් වැඩ තියනවා. තව තැනක තිබ්බා පීනසේ තියනවා නම් කසාද බදින්න එපා කියලා. ගැහැණු කෙනා සතුටු කරන්න බෑ කියලා.
    ඔය අතින් බලද්දී වෙනම ගතියක් තියනවා මේ පොත් කියවන කොට

    ReplyDelete
    Replies
    1. වෙනම ගතියක් තියෙනවයි කියන එකට නම් මාත් එකඟයි.

      Delete
    2. විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය ඉවර කරන්න බැරිවුනේ වියදන් කරලද හොරකන් කරලද මචෝ.

      Delete
    3. එවැනි එකකට එකක් නොගැලපෙන සහ අතාර්කික සිද්ධීන් සිරිසේනගේ කතාවල බහුලව හමුවෙනවා.ඒ උනාට ඉතිං කියවගෙන යනකොට තරමක ගතියකුත් තියෙනවා තමයි.

      Delete
  15. ගොඩක් ඉස්තූතියි හැලපයියෙ, මේ විස්තරේට. පියදාස සිරිසේන නවකථාකාරයෙක්ට වඩා, සමාජ ශෝධකයෙක් කියල හඳන්වන්න පුළුවන්. ආදි කාලෙ බණකතා, ජාතක කතා වුණත් කියලා තියෙන්නෙ ඒ අරමුණින්ම තමා.

    ඒ වගේම එයාගෙ කතාවල අමුතු ගතියකුත් තියෙනවා අපිව අල්ලගන්න පුළුවන් විදිහෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒ කාලෙ තිබුන තත්වයත් එක්කයි අපිට මේව බලන්න වෙන්නෙ. සිංහල ජාතිකවාදි හැඟීම් තිබුන එ් කාලෙ නෙව. අද හිටිය නං නලින් බොසා අමරසේකර මහත්තය වගේ මාධ්‍ය නිවේදන නිකුත් කර කර (සහ ඔය දොරමඬලාව වගේ ප්‍රෝග්‍රෑම්) ඉන්න තිබුන නැද්ද?

      Delete
    2. කතාව වෙනම අරගෙන කියෙව්වා නම් කරදරයක් නෑ.රටේ නැති බණත් කවිත් කියවන්නෙ නැතුව අතඇරල දාන්න තමා තියෙන්නෙ.

      Delete
    3. රාජ් ඔය සමහර අය ජාතිකවාදය කියල කියන්නෙ ජාතිවාදය කියන නම කෙලින්ම නොකියා නේද?උදාහරණයක් හැටියට බොහෝ ජාතිවාදීන් ඔවුන්ගේ ස්ථාවරය ජාතිකවාදය කියල සාධාරණීකරණය කරනවා මම දැකල තියෙනවා.

      Delete
  16. ඒ යුගයට ගැලපෙන්න ලියපුවා නිසා වෙන්නැති හැලපේ දැන් මෙලෝ රහක් නැත්තේ ඔය පොත් වල.
    සිරිසේන මහත්තයා ලියපු පොත් ලිස්ට් එක දාපු එකනං වටිනවා.
    //අවුල් වියවුල් වලින් ගහන සමාජය සුවපත් කළ යුතු බවත් ඔහු විශ්වාස කළේය
    මේ 1944ට ඉස්සෙල්ලා, අද කාලේ උන්නැහේ හිටියනං?

    ReplyDelete
    Replies
    1. අද කාලෙ හිටිය නං මේ තියෙන අවුල් වියවුල් දැකල එතුමා බෙල්ලෙ වැල දාගනී.

      Delete
  17. ඔය ලිස්ට් එකෙන් දෙක තුනයි කියෝලා තියෙන්නේ.. එකෙත් ජයතිස්ස හා රොසලින් තමයි වැඩියෙම මතක..
    අර මුදලි ජඩයාගේ ඔලුවට ස්ත්‍රියක් මුත්‍රා කරන එකනම් හැලපේ අයියගෙන් කොපි කරලා ලියපු එකක්ද කොහෙද.. හැක හැක..
    පියදාස සිරිසේනගේ නවකතා මට පෙන්නේ දෙමල ෆිල්ම් වගේ.. සමාජයේ ඉල්ලීමට සරිලන විදියට ලියපුවා වගේ.. සාහිත්‍ය මාසේ ඉවර වෙනකම් ඉන්නේ මාත් පොත් ගැන කතා කරන්න..

    ReplyDelete
    Replies
    1. නියමයි.මාත් පටන් ගත්තෙ මාසෙ ඉවර වෙද්දි.අපි ලබන මාසෙ සාහිත්‍යය ගැන ලියමු.සාහිත්‍යය රස විඳින්න මොන මාසෙ උනාම මොකද නේද බං.

      Delete
  18. //මේ අතර ගෙදර වැඩකාර ස්ත්රිය ශරීර කෘත්යයක් සඳහා මැටිවල ඉවුරේ සිට කරුවලේ වුන් ඔහු නොදැක ඔහුගේ හිසට සුළුදිය වක් කරන්නට පටන් ගත්තේය.//

    මේක නම් කොහොමවත් හිතාගන්ට බැරි දර්ශනයක් නේ?

    ReplyDelete
    Replies
    1. ඇයි මතක නැද්ද එකෙක් "ගුන්ථනරකය" වැනි කක්කුසි වලකට වැටිච්ච හැටි විස්තර කරපු කත‍ාව?

      Delete
    2. ඔයවගේ අභව්‍ය දේවල් ඔහුගේ කතාවල නිතරම තිබෙනවා පොඩ්ඩි.

      Delete
    3. ඒ වැසිකිළි වලට වැටුන කතාවත් එන්නෙ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය කතාවෙ නේද රාජ්.

      Delete
  19. එක්දහස් නවසීයෙන් මෙහා අවුරුදු විස්සක් තිහක් ගිහිල්ලත් (පියදාස සිරිසේන මහත්තයගෙ කාලය ගැන මේ කියන්නෙ) නවකතාව මෙච්චර ප්‍රාථමික ලෙවෙල් එකක තිබුනෙ මොකද කියල හිතාගන්න බෑ නේද? ඒ කාලෙ ලියූ බොහොමයක් කතන්දර (පළමු නවකතාවේ ඉඳල) ඔහේ කතන්දරයක් කියනව වගේ ලියවුනා මිසක නවකතාවක ආක්‍යානයෙන් නොලියවෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද? යුරෝපයේ-ඇමරිකාවේ නවකතා මෙහාට ඇවිල්ලනෙ තිබුනෙ ඒ වෙද්දි?

    ReplyDelete
    Replies
    1. ඒ කාලයේ ඔවුන් සිංහල නවකතාව යනු කුමක්දැයි සොයමින් සිටියා වෙන්නට පුළුවනි.අනික යුරෝපයේ හෝ ඇමෙරිකාවෙ කතාවලින් ලබන ආභාෂය සිංහලකමට නොගැලපෙන බව හිතන්නට ඇති නේද.

      Delete
  20. වික්‍රමපාලගේ වික්‍රම කතා ටික නම් කියවලා තියෙනවා. ඒ කාලෙ හැටියට නම් හොඳ මට්ටමක තිබුන පොත් ටිකක් වෙන්න ඇති කියලා හිතෙනවා. දැන් කාලෙ බැලුවාම නම් ඒ තරම් දෙයක් නෑ කියන්න පුළුවන්. ඒත් ඉතින් අද කාලෙ ලියැවෙන ගොඩක් පොත් උනත් වැඩකට නෑ තමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිං අදත් සිරිසේනයන්ගේ පොත්වල අලුත් මුද්‍රණ නිකුත් වෙනවා නේද ශ්‍රීනාත්.ඒ කියන්නෙ ඔහුගේ පාඨකයන් තවම ඉන්නවා කියන එකයි.

      Delete
  21. meke Sunil ariyarathnage pothakin ussapu kallak thiyenawa

    ReplyDelete
    Replies
    1. මම නං සුනිල් ආරියරත්නගේ පොතක් පරිශීලනය කළේ නෑ.එහෙම තියෙනවා නං මම මේ කොටස් උපුටාගත්ත අය ඒ පොතෙන් ගන්න ඇති.

      Delete
  22. පියදාස සිරිසේන යුගය කියන්නේ නවකථාව කියන සාහිත්‍යාංගය සිංහල ජන සමාජය වෙත හඳුන්වාදුන් කාලය කියලයි කියන්න පුළුවන්. ඒ කාලයේ එහි ආකෘතිය, අරමුණ, වූයේ, කියවන්නාට, ආදර්ශවත් කථාවක් මගින් අවවාදයක් දීමයි. ඒ ආකෘතිය බින්දේ මාර්ටින් වික්‍රමසිංහයි.

    පියදාස සිරිසේන යුගයේ සිංහල පාඨකයා, නවකථාව හඳුනාගත්තෙත්, ආදර්ශවත් කථාවක් කියාදෙන, පොත් වර්ගයක් හැටියටයි. පාඨකයන්ට, සංසන්දනාත්මකව බලන්න, වෙනත් නවකථා තිබුනේ නැති තරම්. ඩබ්ල්යු. ඒ. සිල්වා, බටහිර ආකෘතිය හඳුන්වාදීමෙන් පසු, පාඨක රුචිය වෙනස්වුනා.

    මතකද පියදාස සිරිසේන යුගයේ පොත්වල, එය කියවන්නාට, 'මෙම පොත් කියවන හිතවත පාඨකය, ඉදින් යුෂ්මතා බෞද්ධයකු නම්............' ආදී වශයෙන් කෙලින්ම අවවාද දෙනවා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ මේ කමෙන්ට් එකෙන් හැමෝගෙම තිබ්බ කුකුස දුරු වුණා. මිනිහා සම්ප්‍රදාය කඩන්න උත්සාහ නොගත්ත කෙනෙක්.

      Delete
    2. නවකතාව ළදරු අවදියේ හෙවත් නවකතාවට අමුතු කතා කියා හඳුන්වා දෙන කාලයේ නවකතාව කුමකටදැයි නියතයක් තිබුණේ නෑ.ආදර්ශවත් කතාවක් කියා එයින් සමාජය යහමගට ගන්නට පියදාස සිරිසේන නවකතාව උපයෝගී කරගත්තා කියල කියන්නට පුළුවනි විචා.

      Delete
    3. සුදීක,
      ඔහු සම්ප්‍රදාය කඩන්න නොව සම්ප්‍රදාය රකින්නට කැපවුණා.

      Delete
  23. අපට වෙච්ච දේ, අද්භූත ආගන්තුකයා පොත් දෙක කියෙව්වා මතකයි පොඩිම කාලෙ. අැත්තටම ඒ ලිවීමේ ශෛලියට හිනා යනවා ඒ කාලෙත්. හෙන දිග බිල් ලියලා ඒවායෙ රිකන්සිලේෂන් එකකුත් කරනවා.
    මේ විචාරය ඇත්තටම සිත්ගන්නවා හැලපයියෙ.

    ReplyDelete
    Replies
    1. ඔහු නවකතා ලිව්වේ කතාව කීමට වඩා සමාජ සංශෝධනයකටයි.ඒ නිසා විශාල දිග වට්ටෝරුද කවි දෙතුන් සීයක්ද ඔහුගේ පොත්වල බහුලව දකින්නට ලැබෙනවා.
      ස්තුතියි මදාවියෝ.

      Delete
  24. පොඩි කාලේ කියවපු පොත් සෙට් එක. දහම් පාසලේ පුස්තකාලෙන් අරගෙන. මතක් කලාට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තියෙනවනං ආයෙම කියවමු බලන්න.

      Delete
  25. http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/989-2015-09-30-21-53-08

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අජිත්.

      Delete
  26. පියදාස සිරිසේන ජාතික වීරයෙක් කියලා උගන්වලා තියෙනවා මතකයි.එහෙම එතුමා ජාතික වීරයෙක් කියලා පාසල් පෙළ පොත් වල හඳුන්වන්න ඇත්තේ ඔය සුද්දන්ට විරුද්ධව ලිව්ව නිසා වෙන්ට ඇති.මම නම් එතුමාගේ පොත් කියවා තිබෙන බවක් මතක නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔහු සුද්දන්ට බැන වැදුනේ කිසිම තර්කානුකුල භාවයකින් තොරවයි.

      Delete
  27. පියදාසද සිරිසේනද, පොතක් දෙකක් හොයන් කියවන්න ඕනෑ....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔහුගේ ශෛලිය ගැනත් දැනගන්න පොත් දෙකතුනක්වත් කියවන්න වටිනවා.

      Delete
  28. පිහදාස සිරිසේන නැතිව මාර්ටින් වික්ර්මසිංහ කෙනෙක් බිහිවෙයි ද

    ReplyDelete
  29. මම තන්හාව උපාදානය කියන එක අනන්ත බන අහලා දැනගන තිබුනා . නමුත්.තෙරුම්..ගිියා ජසතිස්ස කියවන විට.

    ReplyDelete

ඔබේ අදහස්