අද සැප්තැම්බර් මාසයේ අවසාන දවසයි.සාහිත්‍ය මාසය වෙනුවෙන් කතා කීපයක් ලියන්නට සිතා සිටියත් මාසය අවසන් වනතුරු එයට අවස්ථාව නොවීය.කෙසේ හෝ එක කතාවක් වත් සාහිත්‍ය මාසය තුළට ඔබා ගැනීමට වූ බලවත් ආශාව නිසා මෙම කතාව අදදින පළකරමි.
පියදාස සිරිසේන (1875-1946) සිංහල නවකතාවේ මුල්යුගයේ අවසාන භාගයේ පහළ
වූවෙකි.ඔහු අවුරුදු හතළිහක පමණ දීර්ඝකාලයක් මුළුල්ලේ නොකඩවාම නවකථාකරණයෙහි
යෙදී සිටියේය.එකී කාලය ඇතුළත ඔහු අතින් ලියැවුණු කතා ප්‍රමාණය විස්සක් පමණ
වේ.ඔහුගේ නවකථාවලින් සමහරක් පහත පරිදිය.
වාසනාවන්ත විවාහය හෙවත් ජයතිස්ස සහ රොසලින් (1906)
අපට වෙච්ච දේ (1909)
මහා වියවුල (1909)
තරුණියකගේ ප්‍රේමය (1910)
අෂ්ටලෝක ධර්ම චක්‍රය (1916)
ඩිංගිරි මැණිකා හෙවත් වික්රමපාලගේ පළමුවෙනි වික්‍රමය (1918)
විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය හෙවත් වික්රමපාලගේදෙවෙනි වික්‍රමය (1919)
වලව්වක පලහිලව්ව හෙවත් වික්රමපාලගේ තුන්වෙනි වික්‍රමය (1921)
ශ්‍රී ලංකා මාතා (1922)
ඉෂ්ට දෙවියා හෙවත් වික්රමපාලගේ හතරවෙනි වික්‍රමය (1925)
සුචරිතාදර්ශය (1926)
අද්භූත ආගන්තුකයා (1928)
චින්තාමාණික්‍ය රත්නය (1930)
අන්තිම කැමැත්ත (1930)
යන්තම් ගැලවුණා (1934)
පරිවර්තනය (1934)
පසන් නිවස (1936)
ඉෂ්ඨ දෙවියා (1936)
මහේෂ්වරී හෙවත් වික්රමපාලගේ පස්වෙනි වික්‍රමය (1936)
පළමුවන පාසල (1938)
අන්තිම කැමැත්ත හා ඩෙබර කෙල්ල හෙවත් වික්රමපාලගේ හයවෙනි වික්‍රමය (1944)
1875
අගෝස්තු 11 වැනි දින ඉඳුරුව අතුරුවැල්ලේදී උපන් පියදාස සිරිසේනයන්ගේ මුල්
නම පේදිරිස් සිල්වාය.අනගාරික ධර්මපාල තුමන් විසින් එය පියදාස සිරිසේන
යනුවෙන් වෙනස් කරන ලදී.සේවාව ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ විහිදයයි.ඒනම්
නවකතාව,පද්‍යය,දේශන,පුවත්පත්-සඟරා යන සතරයි.පියදාස සිරිසේන තම පුවත්පත් කලා
ජීවිතය ආරම්භ කළේ අර්වින් ගුණවර්ධන සංස්කරණය කළ සිතුමිණ(1895)
සඟරාවෙනි.මුලින් ඊට කවි ලියු හෙතෙම පසුව එහි උප කර්තෘවරයෙකු වශයෙන් සේවය
කළේය.ඒ වන විට ඔහු කොළඹ ලී බඩු සාප්පුවක ලිපිකරුවෙකු වශයෙන් සේවය කර
ඇත.සිතුමිණෙන් ඉවත්වූ සිරිසේනයන් පසුව එච් එස් පෙරේරා කර්තෘ ධුරය දැරූ
සරසවි සඳරැස පත්‍රයට උප කර්තෘ වරයෙකු ලෙස සම්බන්ධ වුයේය.තම පුවත්පත් කලා
ජීවිතයේ ගුරුවරයා ලෙස සිරිසේන සැලකුවේ එච් එස් පෙරේරාය.ඔහු දිනමිණ පත්‍රයේ
ආරම්භක කතුවරයාද විය.
පියදාස සිරිසේනයන්ගේ කෘති මාලාව දෙස විචාරශීලීව
බැලීමේදී පෙනෙන දෙයක් නම් ඔහු යටත්විජිතවාදයට විරුද්ධත්වය පළකලේ
අධිරාජ්‍යවාදී දේශපාලන ව්‍යාපෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් නොවන බවයි.ඔහු
සුද්දාටද බටහිරටද ක්‍රිස්තියානි ආගමටද නිර්දය ලෙස පහර
දුන්නේය.යටත්විජිතවාදය හා සුදුහම අතර නෛසර්ගික සම්බන්ධතාවක් නැති බව ඔහු
නොදකී.ඒ නිසා ලෝකයේ උසස්ම ආගම බුද්ධාගම ලෙසත් උසස්ම ජාතිය සිංහල ලෙසත් ඔහු
අතින් උත්කර්ෂණය විය.
සිරිසේනයන්ගේ නවකථා පුළුල් වස්තු විෂයයකින්
සමන්විතය.ඔහු මුළු මහත් සමාජයම තම කෘතීන්ට ආශ්‍රය කොට ගත්තේය.සමාජයේ හැම
පංතියක්ම හැම ජන කොට්ඨාශයක්ම කෙරෙහි ඔහුගේ අවධානය යොමුවිය.හැම සමාජ මට්ටමකම
හැම තරාතිරමකම චරිත ඔහු අතින් නිරුපනය විය.නාගරික සමාජය මෙන්ම ගැමි
සමාජයත් ඉහළ සමාජය මෙන්ම පහළ සමාජයත් කුලීන සමාජය මෙන්ම කුලහීන සමාජයත්
ඔහුගේ සැළකිල්ලට භාජනය විනි. මුදලිවරුන්,මුහන්දිරම්වරුන්,රටේ
මහත්තුරුන්,ආරච්චිවරුන්,විදානෙවරුන්,ඒජන්තවරුන්,කොස්තාපල්වරුන් වැනි
ආණ්ඩුවේ නිලධාරීන්ද පෙරකදෝරු,අද්වකාත්,ආදී නීතිඥ වරුන්ද, රදළවරුන්,නිලමෙවරුන්,තෝල්කවරුන්,දොස්තරවරුන්,වෙදවරුන්,ගුරුවරුන්,ලිපිකරුවන්,කම්කරුවන්,ගොවීන්
ආදීන්ද බෞද්ධ හා ක්‍රිස්තියානි පූජකවරුන්ද ඔහුගේ නවකථාවල දැක්ක හැකිය.ඔහු
දෙමළ, මුස්ලිම්,ලංසි,ඉංග්‍රීසි චරිතද බාල තරුණ මහලු චරිතද නිරූපණය කළේය.සමාජ සේවකයන්,පරාර්ථකාමීන්,සුශීල භික්ෂුන්,රහස්පරීක්ෂකයන්,උපාසක උපාසිකාවන්,ඥානවන්තයින්,සොරුන්,කපටින්,කෛරාටිකයන්,කුහකයන්,වංචාකාරයන්,මෝඩයන්,බේබද්දන්,සල්ලාලයන්,
ගණිකාවන් ආත්මාර්ථකාමීන්,කුම්මැහියන්,දුශ්ශීල භිකෂුන්,සිවුරළුවන් ආදී නොයෙක් චරිත ඔහුගේ නවකථාවල හමුවේ.
පියදාස සිරිසේන නවකතාවේ පරමාර්ථ පිලිබඳ පැහැදිලි දෘෂ්ටියක පිහිටා සිටි කතාකරුවෙකි.නවකතාවක මුඛ්‍ය පරමාර්ථය කතා රසය ඇතිකිරීමටත් වඩා අර්ථවත් පණිවිඩයක් ප්‍රකාශ කිරීම බව ඔහු පිළිගත්තේය.කථා රසයට බාධා කරමින් වුවද තම සංදේශය පල කිරීමට ඔහු පසුබට නොවීය.කතාකරුවාගේ දර්ශනය මගින් සමාජය යහමගට යොමුකළ යුතු බවත් සමාජය සංශෝධනය කිරීම තුලින් අවුල් වියවුල් වලින් ගහන සමාජය සුවපත් කළ යුතු බවත් ඔහු විශ්වාස කළේය.විදේශීය ආධිපත්‍යය හේතුකොට ගෙන මුළු මහත් සමාජයම පරිහානියට පත්වී ඇති බව ඔහු කියා සිටියේය.රටත් ජාතියත් ආගමත් විපතින් බේරා ගැනීම කථාකරුවාගේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු යැයි කී සිරිසේනයන් සිංහල සංස්කෘතියේ අනන්‍යතාව රැක ගැනීම පිණිස නවකථා මාධ්‍යය උපයෝගී කර ගත්තේය.කතුවරයාගේ හැම නවකතාවකම පාහේ ප්‍රධාන කතාවට අමතරව තවත් අතුරු කථාද ඇතුළත්වේ.මෙකී අතුරු කථාවල මුඛ පරමපරාගත කථා,ජන කථා කෙටි කථා බණ කථා ආදිහි ලක්ෂණ දැක්ක හැක.පර ස්ත්‍රී සේවනයෙහි අනිෂ්ට විපාක දක්වනු වස් කතුවරයා විසින් ගොතන ලද කතාවක් පහතින් දැක්වේ.මෙය උපුටාගත්තේ විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය නවකතාවෙනි.
"මාතරට නුදුරු ගමක මුලාදෑනියෙක් සිටියේය.ඔහු නිතරම පර ස්ත්‍රීන් කරා යන ජඩයෙකි.එක් රාත්‍රියෙක ඔහුගේ මිත්‍ර ස්ත්‍රියෙක් නිසා ඇගේ ගෙදරට ගියේය.ඔහු යන වෙලාවට ගෙදර මිනිස්සු යම් කටයුත්තක් නිසා ලාම්පු දල්වාගෙන කතා කරමින් උන්හ.මුලාදෑනියා ගෙයි පහන් නිවන තුරා ගෙට පැත්තකින් තිබුන කුඩා මැටි වලට බැස නිසොල්මනේ උන්නේය.මේ අතර ගෙදර වැඩකාර ස්ත්‍රිය ශරීර කෘත්‍යයක් සඳහා මැටිවල ඉවුරේ සිට කරුවලේ වුන් ඔහු නොදැක ඔහුගේ හිසට සුළුදිය වක් කරන්නට පටන් ගත්තේය.මෙය ඉවසාගත නොහැකි නමුත් හෙලවුනොත් තමාගේ සොරකම අසුවේය බයින් නොසෙල්වී ඉඳ ඒ ස්ත්‍රියගේ සුළුදියෙන් නාගෙන ගෙදර ගියේය"
මෙයින් කිසියම් හාස්‍ය රසයක් ජනිතවේ.එය ග්‍රාම්‍ය හාස්‍ය රසයකැයි කෙනෙකුට තර්ක කළ හැකිය.මනුෂ්‍ය දුර්වලකම් නිර්දය උපහාසයට ලක්කෙරෙන මෙබඳු හාස්‍යජනක පුවත් රචනා කිරීමට කතුවරයා තුළ විශේෂ දක්ෂතාවක් තිබු බව පෙනී යයි.පියදාස සිරිසේනගේ නවකථා තුළ කැපී පෙනෙන ලක්ෂණ කීපයකි.සුදන දුදන චරිත සුලබ වීමත් හැමවිටම දුදනා පරාජය වීමත් ඔහුගේ කතාවල සැකිල්ලයි.ප්‍රධාන චරිතය දේශනයකට හෝ විවාදයකට යොමුකර සමාජ විචාරයේ යෙදීම තවත් ලක්ෂණයකි.ඔහු එබඳු කතා කලාවක් ගොඩනංවා ගත්තේ සමකාලීන සමාජයේ අවශ්‍යතාව උදෙසාය.කෝන්ගොඩ වික්රමපාල පමණක් නොව වාසනාවන්ත විවාහයේ ජයතිස්ස,පළමුවන පාසලේ වසන්ත චන්ද්‍ර ආදීහු දුම්රිය ස්ථානය,දුම්රිය මැදිරිය,නවාතැන් ගන්නා හෝටලය,තානායම,භෝජන සංග්‍රහය සඳහා ඇරැයුම් ලබන නිවස මේ කොතැනක වුවද සමාජ විචාරයේ යෙදෙති.
සිරිසේනගේ ප්රබන්ධකතාවල එන පන්සිල් නොරකින දුෂ්ට චරිත ඇත්තන්ට කතාව අවසානයේ නිත්‍ය පරාජය හිමිවෙයි.සිරිසේනයන්ගේ ඒ උපක්‍රමයෙන් මිනිසුන් ගලවා ගැනීමේ උපරිම පලය නම් 'අද්භූත ආගන්තුකයා'හි කතා නායකයා වන ඒබ්‍රහම් ය.බුද්ධාගම්කාරයාය කියන්නේ මල් පූජා කරන,පන්සල් යන කෙනාට යැයි සිතා සිටින ඒබ්‍රහම් වනාහි රහමෙර පානයේ යෙදෙමින්, සිය නැගෙනිය සමග කාමයේ හැසිරෙමින්, සතුන් මරමින්,දෙමාපියන්ට නිගරු කරමින් සිට මියගොස් ප්‍රේතාත්මයේ ඉපිද තමන් කළ දුසිරිත් පිළිබඳව පාපෝච්චාරණයක යෙදෙන චරිතයකි.ඔහු කරන පාපෝච්චාරණය සිංහලයාට එවැනි නරක ක්‍රියාවන්හි යෙදෙනවාට කරන පාඩම් ඉගැන්වීමක් බඳු වෙයි.ඔහුගේ දර්ශනයේ තවත් අභිප්රායක් වුයේ සමාජ වැසියා මත්පැන් පානය ආදී දුරාචාරවලට පෙළඹීම වැලැක්වීමයි.අද්භූත ආගන්තුකයාහිදී මත්පැන් පානයේ ආදීනව දැක්වෙයි.
"ඉතින් ශරීරගත සියලුම ලොකු කුඩා නහරවල මත්පැන් විෂ මිශ්‍රවූ අපිරිසිදු ලේ දිවීමට පටන් ගැනීමෙන් ඒ සියලුම නහර දුර්වල බවට පැමිණේ.මත්පැන් බීම අවුරුද්දක් විතර කරගෙන ගිය පුද්ගලයාගේ මොළේ පවතින ලක්ෂ ගණන් වූ සුළු නහර වියලේ.පෙනහැල්ල නරක්ව තැම්බී දුෂිතවේ"
නිරපරාද අහිංසකයන්ට වදහිංසා කරන රජයේ නිලධාරීන්ට පැහැර ගැසීම සඳහා ගෙතුණු පහත සඳහන් පුවත වලව්වක පලහිලව්ව නොහොත් වික්රමපාලගේ තුන්වන වික්‍රමයෙන් උපුටා ගත්තකි."වත්තේ දොළොස් දෙනෙකුත්,හාමුත්,ඉන්ස්පැක්ටරත්,කොස්තාපලුත්,විදානේත් යන දාසය දෙනා සුවාරිස් අප්පු අල්ලා මාංචු දැමීමට සැරසෙන බැව් දුටු ඒ අසරණයා වෙව්ලමින් අඬමින් මෙසේ කියන්නට පටන් ගත්තේය.'අනේ හාමු මහත්තයෝ,මගේ අඹුවත් පාවාගෙන ඒත් මදිව ඈත් සමග එකතුව මාව හිරේ දමන්ට හදන එක යුතුදැ'යි කීය.මේ වචනය කියනවාත් සමගම හාමුට කේන්ති ඇවිත් සුවාරිස්ට කම්මුලට එකක් ගැසීය.ඉන්ස්පැක්ටර්ද ඒ අසරණයාට හත අටක් ඇන්නේය.ළඟම සිටි කොස්තාපල් මේ අසරණයා බිම පෙරළාගෙන ඉල බල බලා අනින්ට පටන් ගත්තේය.දුර්වලවූ නාකි විදානේටත් අතේ හිරි ඇරගන්ට හොඳ ප්‍රස්තාව වූ බැවින් තුන හතරක් අනින බව පෙනුණේය.සුවාරිස්ගේ සහකාර කිසිවෙක් මේ අධමයන්ට තලනවා තබා මොවුන්ගේ තැලීම නවත්වන බවක්වත් නොපෙනුන බැවින් මට දරාගත නොහැකිවිය.මගේ ඇඟේ ශක්තියට වඩා හිතේ ශක්තිය වැඩිකරගෙන ඉදිරියට අවුත් සුවාරිස් අප්පුට අනිමින් සිටි කොස්තාපල්ගේ කණ හරහා වදින්ට තදින් පහරක් බෙදුවෙමි.ඔහු ඒ පාරෙන්ම සිහිසන් නැතුව වැටුනේය.ඒ ළඟම සිටි නාකි විදානේට පයින් එකක් දුනිමි.ඇත්තෙන්ම නාකියා මලමුත්‍ර වගුරුවමින් මරහඬ දෙන්ට පටන් ගත්තේය.එවිට මා දෙසට එමින් සිටි ඉන්ස්පැක්ටර්ගේ මුණට හෙණ පහරක් වන් පාර තුනක් ඇන්නෙමි.ඔහු බදා බිම හෙලා මුර්ජා වනතුරු අනිනු දුටු හාමු වටපිට බලන බව දුටු බැවින් ඉන්ස්පැක්ටර් එතනම සිටියදී දුවගෙන ගොස් හාමුව අල්ලා පොළොවේ ගැසීමි.වෙරිමත්ව සිටි ඒ කාලකන්නියාට පාර පහක් පමණ අනිනකොට මලමුත්‍ර වගුරුවන්නට පටන් ගත්තේය.වත්තේ මිනිසුන් ගෙන් කීප දෙනෙක්ම බංගලාව අයිනට වුන මුත් නවත්වන්නට කිසිවෙක් ඉදිරියට නාහ.මගෙන් පහර කෑ හතර දෙනාම ඒ ඒ තැන වැටී සිටියදී වත්තේ කොන්දොස්තරගේ පිටිකරට හත අටක් ඇන 'එම්බා ජඩය,තගේ ආරක්ෂාවේ උන් නිර්දෝෂ මිනිහා පාවා දුන් තා වැනි ජඩයෙකුට මිනිසුන් හත් අට දෙනෙක්වත් පාලනය කරන්ට ඉඩ ඇරීම අපරාධයකි.තා නොමරා මරමි'යි ඔහු බිම දමාගෙන මලමුත්‍ර නික්මෙන තුරුම ඇන්නෙමි..."
එකල සිටි පාඨකයන් පවා මෙබඳු විස්තර කියවා මුවගට සිනාවක් නගා ගන්නට ඇතැයි සිතිය හැකිය.කෙසේ වුවද මෙය කතුවරයාගේම නිර්මාණයක් විනා ඉංග්‍රීසි නවකතා අනුකරණය කිරීමේ ප්‍රතිපලයක් නොවන බවද කිවයුතුය.
නවකථාව ප්‍රබල මාධ්‍යයක් ලෙස අවුරුදු හතළිහක පමණ කාලයක් මුළුල්ලේ පවත්වාගෙන යාම අතින්ද මුළු මහත් සමාජයම වස්තු විෂයය කොට ගැනීම අතින්ද පොදු ජන ව්‍යවහාරය පදනම් කොට ගත්තාවූත් නවකථා කරණයට යෝග්‍ය වුත් භාෂාවක් ගොඩනැගීම සඳහා මාර්ගය පෑදීම අතින්ද පාඨකයන් අතර නවකථා කියවීමේ රුචිය වර්ධනය කිරීම අතින්ද පියදාස සිරිසේනයන්ගෙන් සිදුවුයේ අගනා සේවයක් බව අවධාරණයෙන් කිව යුතුය.සිංහල නවකථා ඉතිහාසයෙහි ඔහුට හිමි වනුයේ වැදගත් ස්ථානයකි෴
(මහාචාර්ය ආරිය රාජකරුණා,සෝමවීර සේනානායක, ආචාර්ය ලියනගේ අමරකීර්ති,චාමර මලින්ද විජේසේකර, සුනිල් මිහිඳුකුල යන වියතුන්ගේ ලිපි ඇසුරින් සකස්කළෙමි)