Sunday, June 28, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 5 - වාසෙක්තමි,අක්කා කෙල්ල සහ බලු පොරය.


ඇය සම්බන්ධයෙන් කතා නොකරම භීෂණ සමයේ  ක්ෂේත්‍රයේ මගේ මතක සටහන් අවසන් කරන්නට මෙතෙක් උත්සාහ කළද එය අසීරු කටයුත්තක් බව පෙනී යයි.අත්දැකීම් අතුරින් ඇය එළියට එන්නට තතනන්නේ මුල පටන්ම වුවද මෙතෙක් දවස් හිතාමතාම ඇයව මගහැර හෙවත් බයිපාස් කර ගියෙමි.මගේ ඒ ව්‍යායාමය සාර්ථක නොවන බව දැන් සිතෙයි.ඇය යනු අපේ  අල්ලපු වැටේ කෙල්ලයි.අල්ලපු වැට යනු බෙන් ෆිල්ම්ස් එකට අල්ලපු වැටයි.මෙය ඉතා කෙටි පෙම් පුවතක් වුවද එයින් මා ලද අත්දැකීම් අතිවිශාලය.අක්කා කෙල්ල සමග පවත්වන්නට යෙදුන කෙටි කාලීන සම්බන්ධය අතහැර දැමු පසුව නැවතත් කෙල්ලන් සමග බැඳීම් ඇතිකර නොගනිමි'යි දැඩි අධිෂ්ඨානයක සිටියේ අක්කා කෙල්ලගෙන් මා ලද අමිහිරි අත්දැකීම් නිසාය.අක්කා කෙල්ල සමග මගේ හුටපටය ඇතිවුණේ මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට එන්නට පෙර ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ සේවය කළ සමයේදීය.එකල අප කාර්යාලය පිහිටා තිබුණේ ඩීන්ස් පාරේ ඇස්වාට්ටුව හන්දියේය.දැන් එය සුවසිරිපාය'යි නම්කර සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා තිබුණත් එම ගොඩනැගිල්ල ජර්මන් රජයෙන් පරිත්‍යාග කර තිබෙන්නේ ලංකාවේ ක්‍ෂයරෝග මර්දන වැඩසටහනටය.බිත්තියටම ඔබ්බවා තිබු සමරු පලකය ඉවත්කර නැත්නම් තාම එහි එම විශේෂිත කාරණය සඳහන්ව තිබෙනු ඔබට දැකබලාගත හැක."ජර්මන් රජයෙන් ලංකාවේ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයට පරිත්‍යාග කරනලද මෙම ගොඩනැගිල්ල සෞඛ්‍ය ඇමති එම් ඩී එච් ජයවර්ධන විසින් විවෘත කරන ලදී"යනුවෙන් දිනයද සහිතව එහි සඳහන්වේ.දිනය මට මතක නැත.ගොඩනැගිල්ල මට මතක හැටියට තට්ටු තුනකි.බිම් මහලේ ළය චිකිත්සාගාරයද පළවෙනි මහලේ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයද පිහිටා තිබු අතර විද්‍යාගාරයද වෛද්‍ය සංඛ්‍යා ලේඛන අංශයද සෞඛ්‍ය අමාත්‍යංශයේ අභ්‍යන්තර විගණන අංශයද ජලභීතිකා රෝග මර්දන ව්‍යාපාරය සහ ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයද ඉතිරි කොටස්වල පිහිටා තිබුණි.එවකට සෞඛ්‍ය අමාත්‍යාංශය පිහිටා තිබුණේ කොටුවේ දේශීය ආදායම් ගොඩනැගිල්ලේ තුන්වන මහලේය.පසුකලෙක සෞඛ්‍ය බලධාරීන් විසින්ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාර ගොඩනැගිල්ලේ තිබු සියලුම ආයතනයන් තැනින් තැනට එලවා දමා ගොඩනැගිල්ල තනි සම්බුද්දියට ගෙන සුවසිරිපාය යනුවෙන් නමක්ද දමා තවමත් ප්‍රයෝජනයට ගනිමින් සිටිති.

මගේ මිත්‍ර වොලිබෝල් පිස්සෙකුවූ රත්තා  මා සමග කලින් වැලිසර ළය රෝහලේ වැඩකරමින් සිටියදී වොලිබෝල් ගහන්නට නෝපේ ගොස් සේවය අත්හැරියා සේ සලකා ඉවත්කර සිටියදී මම ඌව අපේ ගමේ උපසේන විෂ වෙදමහතා ලඟට එක්කරගෙන ගොස් නයෙක් කෑවා කියා හොර වෛද්‍ය සහතික හදාදී නැවත රස්සාවට යන්නට සැලසුවෙමි.රත්තාට නැවත රස්සාව ලැබුණේ ජලභීතිකා මර්දන ව්‍යාපාරයටය.රත්තා මට සැරින් සැරේට පිස්සුබලු රෝගයට බල්ලන්ට විදින  එන්නත් කුප්පි  දෙකතුනක් හා සිරින්ජර දෙකතුනක් දෙයි.ඒ බේත් අධිශීත තත්වයේ තැබිය යුතු නිසා අල්ලපු ගෙදර ශීතකරණයේ තබමි.එක නිවාඩු දවසක උදේ මම අපේ ගෙදර ඉන්න ජිමියාටත් අල්ලපු ගෙදර බුලට්ටත් පිස්සු බලු එන්නත දුන්නෙමි.ටිකකින් සුමිත් කළු සුදු බුල් කඩා හැලෙන ලස්සන බල්ලෙක් අරං ආවේය.බැලු බැල්මට පෙනුනේ බල්ලාට එතරම් වයස නැති හැඩකි.මම ටිකක් කල්පනා කර ලොකු බල්ලන්ට දෙන  මාත්‍රාවෙන් බාගයක් මේ බල්ලාට විද්දෙමි.බල්ලාට ප්‍රයෝජනයක් වුනාද නැද්ද නොදනිමි.මන්ද යත් මාත්‍රාව වැඩි වූණොත් වැඩේ හබක්ය.අල්ලපු ගමේ එකෙක් එන්නත් කුප්පි ගෙනැත් සිරින්ජර පුරවා බල්ලන්ට විද ඇත.ඌ විද්ද සියලුම බල්ලන් කොස්ගෙඩි වැටෙන්නාක් මෙන් මැරී වැටුනෝය.ඒ කතාව මම අසා තිබුණ නිසා නියමිත මාත්‍රාව අහගෙන ඇවිත් ප්‍රවේශමෙන් මාත්‍රාව මැන විදපු හේතුවෙන් එක බල්ලෙක් වත් නොමළ අතර මගේ නම්බුවද බේරුනි.සුමිත් බල්ලාව ආපසු ගෙනගොස් විනාඩි පහක් යන්නට ඇත.විවිධාකාර බල්ලන් පෝලිමක් මිදුලට පැමිණෙන්නට ගත්තෝය.වල් බල්ලන්ද රට බල්ලන්ද බූල් බල්ලන්ද කුරු බල්ලන්ද ආදී වශයෙන් ගමේ ඉන්න සියළුම බල්ලන් ලණු වලින් ගැට ගහගෙන ආවේ ගෑනු රොත්තකි.මිදුලේ එකම බලු පොරයකි.මේ සිද්ද වුන නස්පැත්තිය කුමක්දැයි මම තුෂ්නීම්භූතව බලා උන්නෙමි.ගෑනු ඇවිත් මට නොකියා කිව්වේ මම මගේ බල්ලා පරිස්සම් කරගත්තා වගේම ඔවුන්ට ඔවුන්ගේ බල්ලන්වද පරිස්සම් කර දෙන ලෙසය.දැන් කරන්නට දෙයක් නැත මට බල්ලන් කෑවත් ඉල්ලීම ඉෂ්ට කළයුතුය.බල්ලන් කෑම ගැන කියනවිට මට තව කතාවක් මතක්වේ.

දැන් අපේ ගෙට පාරෙන් ඉස්සරහ ගෙදර ඉන්න ලොකු මල්ලී පශු වෛද්‍යවරයෙකි.ඒ ගෙදරටද නිතරම බල්ලන්ද බළලුන්ද බේත් කරන්නට ත්‍රීවීල් වලින් අරං එනවා මම ගෙදර ඉන්නාවිට දකිමි.හරකුන්ට අසනීපවූ විට ලොකු මල්ලි කාරෙකේ නැගී හරක් බලන්නට යයි.ඌ බල්ලන්ට පණ බයය,එන්නත් දෙන හැටිද  බලන්නට ලස්සනය.බල්ලා ගේ ඉස්සරහ ඇහැළ ගහේ ගැට ගසා අයිතිකාරයාටද ලඟින් ඉඳ අල්ලා ගන්නට කියා පිටිපස්සෙන් පැමිණ සිරින්ජරය දික් කරන්නේ අඩි දහයක් විතර ඈතින් ඉඳගෙනය.වැරදිලාවත් බල්ලා ආපහු හැරී බිරුවොත් මූ සිරින්ජරයත් අතැතිව පස්ස නොබලා දුවයි.ආපහු එන්නේ අයිතිකාරයාට බලු බැනුම් බනිමිනි.බලු අයිතිකාරයාද කුකුල් කේන්තිකාරයෙක් නම් ඌද බනින්නට ගනී.මේ වැඩේ බලා ඉන්නටම වටී හරියටම විනෝද සමය මෙනි.ගෙදර ඉන්නා බොහෝ දිනවල ඉස්තෝප්පුවේ වාඩිවන මා මේ නාටකවල රසය නොමඳව විඳගනිමි.මු විසින් කරන ලද ශල්‍යකර්මයක් ගැන මගෙත් එක්ක කිව්වේ උගේද මගේද බාප්පාගේ දුවය. දැන් ඇය පදිංචිවී සිටින්නේ අමෙරිකාවේය.දවසක් අපි ඇගේ  ගෙදරට නෑගම් ගිය වෙලාවක ලංකාවේ ඕපාදුප කතා කරමින් සිටියදී ඇය හිනාවෙමින් මූ ඇගේ බැල්ලියට පැටව් හම්බ නොවෙන්නට කරන ලද සැත්කම ගැන කීවාය. සැත්කම සාර්ථකව සිදු කරන ලද නමුත් පොඩි පරහකට තිබුණේ බැල්ලියට ඊළඟ මුරයේ පැටව් හතර දෙනෙක් ලැබීමය.බැල්ලිගේ කතාව කියනවිට මීට සමාන තවත් කතාවක් මට සිහිවේ.ඒ කතාවත් එතැන ළඟ පාතම ගෙදරක සිදුවූවක් නිසා කතාවෙන් ටිකක් කියමි.

ඒ ගෙදර ජෝඩුවට හිටියේ එක පිරිමි දරුවෙකි. අවුරුදු දොළහක් පමණ වයස මේ ළමයා උදේ හවස පාසල් යන්නේ පා ගමනිනි.හදිසියේම ළමයා මළේය.මැරුණේ පිස්සු බලු විෂෙනි.පසුව හොයාගත් කරුණු කාරණා අනුව දවසක් ළමයා ඉස්කෝලෙ ඇරී ආපහු එනවිට කාලකණ්නි පෙනුමක් ඇති බල්ලෙක් හපන්නට පැනගෙන ඇවිත් ඇති ඇති අතර ළමයා දුවගොස් බේරුනේය.නමුත් බල්ලාගේ නියපොත්තකට හෝ දතකට ළමයාගේ කකුල සීරී ඇත.මේ සිද්ධිය කවුරුවත් එපමණ ගණන් ගෙන නැති අතර තුවාලය නිකංම සනීපවිය. නමුත් ශරීරයට ඇතුළු වුන පිස්සුබලු විෂ මාස කීපයකට පසු ක්‍රියාකාරී වීම හේතුවෙන් ළමයා මළේය.තවත් මාස කීපයක ඇවෑමෙන් ගෙදර කාන්තාවට තව දරු සම්පතක් ලැබෙන ලකුණු පහළ විය.එය ඉතා හොඳ ආරංචියකි.මන්ද යත් එකම දරුවා නැතිවූ ශෝකයෙන් සිටින දෙමව්පිය යුවළකට දරුවෙක් ලැබෙන ලකුණු පහළවීම කෙතරම් වාසනාවක්ද? නමුත් පොඩි කොස්සකට තිබුණේ ගෙදර මනුස්සයා අවුරුදු දෙක තුනකට පෙර රජයේ රෝහලකින් වාසෙක්තමි සැත්කම කරවා ගෙන රුපියල් පන්සීයක්ද අරං තිබීමය.සිද්ද උනේ වෙන මිනිහෙක් නම් ළමයෙක් නැතිවීම පැත්තක තියෙද්දී ගෑනිට ගුටි ගසා ගෙදරින් එළවන තරමට කේන්ති ගන්නා විච්චුම්බරයක් වුවද මූ එකහඬින් කියා සිටියේ දරුවා උගේ බවය.කවුරු මොන තර්ක ගෙනාවත් වචනය වෙනස් කරන්නට උගේ කැමැත්තක් නැත.දරුවා උගේමය කියමින් පරසක්වළ ගසයි. දෙන්න දෙමාල්ලන්ට  ප්‍රශ්නයක් නැත්නම් වෙන උන්ට ඇති පුකේ අමාරුව මොකක්ද කියා ගමේ උං සද්ද නැතිව සිටියෝය.නමුත් මට ප්‍රශ්නයක් ඉතුරුවිය.මේකා කියන ආකාරයට දරුවා උගේනම් වාසෙක්තමි සැත්කම අසාර්ථකය.සැත්කම සාර්ථක නම් දරුවා කාගේද?මේ ආකාරයට අසාර්ථක සැත්කම් සිදුවන්නේ නම් පැමිණිලි කළ යුතුය.මාද එවකට සේවය කළේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ බැවින් මේ ප්‍රශ්නය මට පුද්ගලිකවද හොඳින් දැනින.නමුත් උත්තර නැත.ගමේ උංද කිව්වේ ඔන්න ඉස්පිරිතාලවල වැඩ 'යි කියාය.දරුවාගේ පියා යැයි කියන තැනැත්තාට මෙය විසඳාගන්නට කිසිම උවමනාවක් නොවීය.ප්‍රශ්නය ගෙඩි පිටින්ම ඉතුරුවුයේ මටය.මේ උහතෝකෝටිකය පසු කලෙක අහම්බෙන් වගේ අපට විසඳා දෙන ලද්දේද ඒ යුවළ සහ තවත් පින්වතෙකි. ඒ කතාවත් මී මෙන් රසවත් නමුත් ඉතා දිගය.එබැවින් ඒ කතාව කීම පසුවට තබමි.මේ මා කියූ දේවල් සිද්ද උනේ දැනට කාලයකට පෙර අසූ ගණන්වල වාගේය.දැන් ජීවතුන් අතර ඉන්නේ ඒ කාන්තාව පමණකි.ළමයාද රස්සාවක් කරයි.මම ලංකාවට ගොස් ආපහු එනවිට මට ගේන්නට දෙන්නට කැවුම් කොකිස් ආදී රසකැවිලි බිරිඳ පිළියෙළ කරවාගන්නේ  ඒ කාන්තාවට කියාය.

නැවතත් අපේ කතාවට එමු.මිදුලේ පිරී සිටින බල්ලන් දුටුවිට බල්ලන්ට නොව මට පිස්සු නොහැදුනා පමණය. බල්ලෝ එකිනෙකාගේ මූණ බලාගෙන ගොරවා ගනිති.බෙල්ලේ මවිල් පුම්බති.බැල්ලියන්ව ඉවකරති.වටේටම මුත්‍රා කරති.ගෑනු නොඉවසිල්ලෙන් බලා සිටින්නේ ඉක්මනට බල්ලාව එන්නත් කරවාගෙන ගෙදර යන්නටය.දැන් ප්‍රශ්නයට මුහුණදිය යුතුය.අපි දෙතුන්දෙනා එකතුවී ආ පිළිවෙලට බල්ලන් පෝලිම් ගැස්සුවෙමු.මා ගෑනුන්ට කතාකර කිව්වේ බේත් ගෙනාවේ ගෙදර අහළ පහළ බල්ලන් කීපදෙනාට විදින්නට පමණක් නිසා බලු රංචුවටම විදින්නට බේත් මදි වෙන්නට හැකි බවත් විදින්නට බැරිවෙන බල්ලන්ට  නැවත දවසක බේත් ගෙනැවිත් විදින බවත්ය.කොහොම නමුත් පෝලිමෙන් බාගයකට පමණ එන්නත් කරන විට එන්නත් අවසාන විය.ඊට මාස දෙකතුනකට පසු රත්තාගෙන් ආයෙමත් එන්නත් ඉල්ලාගෙන විත් අනික් බල්ලන්ට වූ පොරොන්දුව ඉටු කළෙමි.

මා වැලිසර රෝහලේ ඉන්නා නාහෙට අහන්නෙ නැති උංගෙන් එකෙක් යැයි කියා හැඳල ලාදුරු රෝහලට මට ස්ථාන මාරුවක් ලබාදෙන ලදී.තරුණ වයසේ සිටි මට වැලිසරද හැඳලද යනුවෙන් ප්‍රශ්නයක් නොවීය.කොහෙත් පඩිය ලැබේ.ලාදුරු රෝහලද වරදක් නැත.ඇලකන්ද හංදියට අතේ දුරය.ඇලකන්ද හංදියේ පොල් රාද ඉස්සෝ කකුලුවෝද හරක් මස් ඌරු මස් ආදී ගොඩ මස්ද මදි නොකියන්නට තිබුණි.මිනිස්සුත් සුහදය.නමුත් මට ගෙදර සිට රස්සාවට එන්නට තරමක් කරදරය.කෝච්චියේ එඬේරමුල්ලට පැමිණ බස් දෙකක එන්නට වෙයි.මම මාස දෙකක් වත් ඒ රෝහලේ නොසිටියෙමි. වැඩිදුර අධ්‍යාපනයට අදහසක් තිබෙන බවත් කරදරයක් නැතුව අධ්‍යාපන කටයුතු කරගන්නට කොළඹට මාරුවක් ලැබුණොත් හොඳ බවත් සෞඛ්‍ය අමාත්‍යංශයට පැමිණ කීවිට මට ස්ථාන මාරුව ලබාදෙන ලද්දේ ක්‍ෂයරෝග මර්දන ව්‍යාපාරයටය.ඒ කාර්යාලයේ  අපි කොල්ලන් කෙල්ලන් විනෝදයෙන් විහිළු කරමින් සතුටින් රාජකාරි කරමින් සිටිනා සමයේ එය බලාසිටිනු නොහැකි අක්කා කෙල්ල අහිංසක මට කොක්ක ගැසුවාය.අක්කා කෙල්ලගෙ උපන් ගම දකුණේය.නමුත් රැකියාව හේතුවෙන් ඇය ඒ වනවිට නැවතී සිටියේ වැල්ලවත්තේ නෑදෑ ගෙදරකය.නෑදෑ ගෙදරක් වුවද ඒ ගෙදර තමන්ගෙ ගෙදරට වඩා ඇයට සැපපහසු විය.ගෙදර හිටියේ තරුණ ජෝඩුවක් සහ වැඩට ඉන්න කාන්තාවක්ය.අක්කා කෙල්ල උදේ නැගිට සුදානම් වී එළියට බසින විට කෑම පාර්සලය අතට ලැබේ.බෝඩින් ගාස්තු ආදී කිසිවක් නැත.වියදම් වන්නේ බස් එකට සහ ඇඳුම් පැළඳුම් වලට පමණය.මෙසේ සැම අතින්ම සැප පහසුව විඳිමින් සිටියද ඇය  තවමත් අවිවාහකය.කොහොමින් කොහොමින් හෝ විවාහ වන තරුණ වයසද ගෙවීගොස් ඇත.දැන් ඇයගේ එකම බලාපොරොත්තුව මොකෙක් හෝ සමග විවාහය පොතේ ලියවා ගැනීමය.මා ඇයගේ කාර්යාලයට ස්ථාන මාරු ලබා පැමිණියේ ඔන්න ඔවැනි තත්ත්වයක් තිබියදීය ෴

Sunday, June 21, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 4 -ආවෝ ගියෝ සමග පැමිණි තරුණිය.


ඇය ගැන අප සිත්තුළ තිබු ප්‍රතිරූපය වුයේ රෙද්ද හැට්ටය හැඳි ගැමි කාන්තාව හෝ ඔසරිය හැඳි වලව්වක ළමාතැනියකගේ රූපයයි.නමුත් දැන් රථයෙන් බසින්නේ ඩෙනිම් ජීන්ස් එකක් සහ බ්ලවුසයක් හැඳි කාන්තාවකි.සැබෑ ජීවිතය මෙසේ යැයි අපේ සිත් පිළිගන්නේ මදක් ප්‍රමාද වෙලාය.සෝමලතා සුබසිංහ මහත්මිය සමග එවකට ඇගේ ශිෂ්‍යයෙක් වුද පසුකාලීනව ඇගේ ලොකු බෑනා වන්නට නියමිතව සිටියාවුද චන්දන අලුත්ගේ(පසුව ආචාර්ය චන්දන අලුත්ගේ) සහ වික්‍රම සෙනෙවිරත්නද විය.පසුපස ඉදිරි අසුනේ සිට බිමට බැස්සේ අඩි හතක් පමණ උසැති කෙට්ටු විදේශිකයෙකි. සෝවියට් සංගමයේ ඈත පෙරදිග හෝ මධ්‍යම ආසියානු රටක වැසියෙක් වූ ඔහු බොහෝ සුහදශීලී තරුණයෙක් වූ අතර චිත්‍රපට කලාව පිලිබඳ උපාධිධාරියෙක් විය.අවෝ උගෝ නම්වූ ඔහුට අප සමග මිතුරුවූ පසු  ආවෝ ගියෝ යනුවෙන් ඇමතුවෙමු.

වෑන් රථයේ පසුපස අසුනේ සිට අවසානයට බිමට බැස්සේ දෙවඟනක් බඳු රුපශ්‍රීයෙන් යුත් නවයොවුන් වියේ වූ රූමත් විදේශික යුවතියකි.ඇත්දළ පැහැති ඇගේ වතට ගෙල තෙක් කෙටිවූ රන්වන් කෙස් කළඹෙන් වැටුනේ අමුතු ආලෝකයකි.නිල් පැහැති දෙනෙත් කාන්තියෙන් දිලිසෙමින් තිබිණි.කෙටි ස්කර්ට් එකක් සහ වර්ණවත් බ්ලවුසයක් හැඳ සිටි ඇය උසින් අඩි හයකට මඳක් අඩුය.අපි ඉහළට ගත් හුස්ම පහළට හෙලන්නට අමතකව අහසින් බට සුරංගනාවක් බඳුවූ මේ රූමතිය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියෙමු.

ලස්සන කෙල්ල නේදැ'යි සෝමලතා සුබසිංහ මහත්මිය ඇස් ඉඟිමරමින් කීවේ කෙල්ල දෙස වශීවී බලාසිටි අපට ඔලොක්කුවටත් එක්කය.මෙයා රුසියාවෙ,ලංකාවෙ නාට්‍ය ගැන පර්යේෂණයක් කරනවා.මේ දවස්වල අපිත් එක්ක ඉන්නෙ' යි ඇය වැඩිදුරටත් පැවසුවාය.ඇය එම තරුණියගේ නමද කියූ මුත් දැන් මට අමතකය.සිහි එළවාගත් අපි ඔවුන් සියලුදෙනාම ආදරයෙන් පිළිගෙන ගෙතුළට කැඳවාගෙන ගියෙමු.'කෝ බෙනට් නැද්දැ'යි අසමින් වාඩිගත් ඇය තමන් අලුතින් නාට්‍යයක් කරන්නට පටන්ගත් බවත් විශේෂය වන්නේ මෙවර නාට්‍යය පුහුණුකරවන්නේ ගොළු බිහිරි ළමුන්ට වීම බවත් කීවාය.  පටන්ගනිද්දී කරන්නට පුළුවන් වේවිදැයි සැකයක් තිබුනද ඉතා ඉක්මනින් ඒ සැකය නැතිවූ බවද ඇය පැවසුවේ දැඩි උද්යෝගයකිනි.'මෙහෙම වැඩක් කරන්නත් පුළුවන් වුනානං මීට පස්සෙ දර කෑලි එක්ක වුනත් නාට්‍යයක් කරන්න පුළුවනි කියල මට හරිම ආත්ම විශ්වාසයක් ඇතිවුණා 'යි ඇය කීවාය.

නාට්‍යයේ පුහුණුවීම් කරන ආකාරය සහ නාට්‍ය දර්ශනයක් යූ මැටික් වලින් වීඩියෝ කරවා ගැනීම ඇයගේ අභිප්‍රාය විය.ඇයගේ කැමරා ශිල්පියාවූ අවෝ උගෝ හෙවත් ආවෝ ගියෝ කැමරා උපකරණ පරීක්ෂා කරමින් සිටි අතර සෝමලතා මහත්මිය ඇයගේ අලුත් නාට්‍යය ගැන නොනවත්වා කතාකළාය.ඒ කරුණු දෙක ගැනම කිසි  උනන්දුවක් නොදැක්වූ අපි ගෙදරට පැමිණි රූමත් තරුණිය කෙරෙහි බොහෝ උනන්දු  වූවද එදිනට පසු නැවත ඒ තරුණිය දැකගැනීමේ වාසනාව නොලදිමු. එහෙත් අප මිත්‍ර ආවෝ ගියෝ පමණක් නිතරම බෙන් එකට ආවේ ගියේ කැමරා උපකරණ ගෙනයාමට සහ ආපසු ගෙනැවිත් දීමටය.

මට නැවතත් සෝමලතා සුබසිංහ මහත්මියව  හමුවන්නේ ඊට අවුරුදු දහයකට හෝ එකොළහකට පමණ පසුව චෙන්නායි නුවරදීය.ඒ වනවිට මගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් ඇතිවී තිබිණි.තැන තැන රස්තියාදු ජීවිතය අතහැර පිළිවෙලක් වී සිටි මම ඒ වනවිට විප්‍රවාසය අරඹා තිබුනෙමි. විප්‍රවාසයේ ප්‍රථම නැවතුම් පොළ වූ චෙන්නායි නුවරට පැමිණ අවුරුදු කීපයක් ගතවන විට සෝමලතා සුබසිංහ මහත්මිය සිය නාට්‍ය කණ්ඩායමත් සමග එහි පැමිණියේ එනුවර සිය නාට්‍යවල දර්ශන කීපයක් වේදිකාගත කිරීම සඳහාය.ඇය රැගෙන විත් තිබුණේ තොප්පි වෙළෙන්දා සහ විකෘති යන නාට්‍ය ද්විත්වයය.අපි තුන්දෙනා නාට්‍ය ද්වයම නරඹා සතුටු වූයෙමු.නිල්මිණි සිගේරා සහ චාන්දනී සෙනෙවිරත්න කලක් රඟපෑ විකෘති නාට්‍යයේ ප්‍රධාන චරිතය එවකට රඟන ලද්දේ නදී කම්මැල්ලවීර විසිනි.ඇය ප්‍රකට ලේඛකයෙකු සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ජයතිලක කම්මැල්ලවීරයන්ගේ දියණියයි.මගේ මතකය නිවැරදි නම් නදී පසුකලෙක කසුන් කල්හාර සමග විවාපත් වුවාය.කෞශල්‍යා ප්‍රනාන්දු සහ ප්‍රසන්නජිත් අබේසුරියද කණ්ඩායමේ සිටි බව මට මතකය.නාට්‍ය කණ්ඩායම වෙනුවෙන් සංවිධානය කර තිබු රාත්‍රී සාදයකදී මම පිංතුර ගත්තෙමි.ඊට පසුදින චෙන්නායිහි සමාජ සංවිධානයක් විසින් ඔවුන්ට හරසර දැක්වීම පිණිස තවත් සාදයක් සංවිධානය කර තිබිණි.එම සාදයට මට ආරාධනාවක් නොතිබූ බැවින් ගෙදරට වී සිටියෙමි. හවස්වරුවේ සෝමලතා සුබසිංහ මහත්මිය මට කතාකලාය.ඇය කීවේ සමරු සටහන් වශයෙන් මෙම සාදයේ පිංතුර ටිකක් ගැනීම අත්‍යවශ්‍ය බව හා යන වියදමක් ඇය විසින් දරන බවත් මේ හදිසියට ඡායාරුප ශිල්පියෙක් සොයාගැනීමට නොහැකි නිසා සාදය ඡායාරුපගත කරදෙන ලෙසත්ය.පිංතුර ගැනීමේ හෝ වියදමේ ප්‍රශ්නයක් නැති වුනත් ආරාධනයක් නොමැතිව එම සාදයට සහභාගී වන්නට මට නොහැකි බව ඇයට කීවෙමි.හවස් වෙද්දි ආරාධනා පත්‍රයක්ද සමග සාදයට යන්නට වාහනයක්  ගෙදරට එවන්නට ඇය විසින් කටයුතු සලසා තිබුණි.ඒ සෝමලතා සුබසිංහ මහත්මියගේ හැටිය.සාදයේදී ඇය සහ නාට්‍ය කණ්ඩායම ගීත ගයමින් සතුටුවන ආකාරය මම ඡායාරුපගත කරදුනිමි.

මෙය පසුගියදා ජීවන රඟමඬලෙන් සදහටම සමුගත් සෝමලතා සුබසිංහ මහත්මිය පිලිබඳ කෙටි මතක සටහනකි.ක්ෂේත්‍රයේ මගේ අත්දැකීම් ලියන විට ඇය ගැනද මතක මා සතුව පවතින බව පෙනුන හෙයින් මෙම සටහන තැබුවෙමි.එදායින් පසු ඇය නැවතත් මට මුණගැසුනේ නැත.මා ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටියානම් සමහරවිට මේ මතකයන් මීට වඩා වැඩිවන්නට ඉඩ තිබුණි. නමුත් විවාහයෙන් පසු මා ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන බිරිඳගේ කිසිම මනාපයක් නොවීය.'ඔයාට කරන්න රස්සාවක් තියෙනවනෙ ඕවට යන්නෙ මොකටද,රස්සාවක් නැත්නං තව කමක් නෑ' ආදී වශයෙන් ඇය තම අකමැත්ත පළකලාය. බිරිඳගේ අකමැත්ත හේතුවෙන්  විවාහයෙන් පසු ලංකාවේ ගතකළ අවුරුදු දෙක තුන ඇතුළත කිසිම නිෂ්පාදනයකට සම්බන්ධ වීමට හැකිවුයේ නැත. ඊට පසුකාලීනව ජීවිතයෙන් වැඩිහරිය විප්‍රවාසව ගතවුන බැවින් අදාළ ප්‍රශ්නය නැවත පැන නැගුනේද නැත. ඉදිරියටද ක්ෂේත්‍රයට සම්බන්ධ වනු ඇතැයි නොසිතෙන්නේ වර්තමානයේ කෙරෙන නිෂ්පාදන සිදුවන්නේ අප කර පුරුදු දැක පුරුදු ක්‍රමයට නොව අමුතුම ක්‍රමයකට බැවින් අප යල් පැන ගිය භාණ්ඩ වීමට ඉඩ ඇති බැවිනි. 

Tuesday, June 16, 2015

භීෂණය මැදින් ටෙලිනාට්‍ය සමග ජීවිතය 3 - නෙලන්න බැරි මල් පොලුකාරයෝ සහ සෝමලතා සුබසිංහ.


අප බෙන් ෆිල්ම්ස් හි ගතකළ කෙටි කාලය තුල ආයතනයෙන් පිටත නිෂ්පාදන කීපයකටද සහභාගී වන්නට හැකිවුන බව කිවයුතුය.බාහිර නිෂ්පාදනවලට අප සම්බන්ධ වන්නේ කාර්මික ශිල්පින් කණ්ඩායම ලෙසිනි. ඒ නිෂ්පාදන කණ්ඩායම බෙන් ආයතනයෙන් කැමරා සහ කාර්මික උපකරණ කුලියට ගන්නා බැවිනි. මට නිවාඩු ඇති  සති අන්තවල මා ඔවුන් සමග එකතුවුනෙමි. මෙම බාහිර නිෂ්පාදන අතුරින් මා වඩාත්ම රස විඳි එක් නිෂ්පාදනයක් මගේ මතකයේ තදින් ඇඳී පවතී.අදද   එම නිෂ්පාදනය මගේ මතකය අලුත් කරන්නේ එයට සම්බන්ධවූ එක් අයෙකු මේ දිනවල රුපවාහිනී නාලිකා කීපයකම විකාශය වන ටෙලිනාට්‍ය වල රඟපානු දකිනවිටය.අප සමග ඇසුරු කරන විට මැදි වයසට ආසන්න වෙමින් සිටි ඔහු දැන් හොඳටම වයසට ගොස් ඇති බැවින් රඟපාන්නේ මහලු චරිතයන්ය.මෙහිදී ඔහු විල්සන් ජයමාන්න යනුවෙන් හැඳින්වීමට කැමැත්තෙමි.ඔහු එම නිෂ්පාදනයේ නිෂ්පාදන කළමනාකරු විය.අධ්‍යක්ෂ වරයා වුයේ රටේ ප්‍රසිද්ධ සහ සම්මානලාභී ළමා චිත්‍රපට හා නාට්‍ය අධ්‍යක්ෂවරයෙකි.අපි ඔහුට විදානගේ යයි කියමු.කෙතරම් ප්‍රසිද්ධ වුවද ඒ දිනවල ඔවුන් දෙදෙනාගේම ආර්ථික තත්වය ඉතා කණගාටුදායක විය.එදා වේල සොයා සපයා ගත්තේද අසීරුවෙනි.වෘත්තීය කලාකරුවන්වූ ඔවුන් දන්නා වෙනත් ශිල්පයක්ද නොවීය.ලිඳේ වැටුන එකා ළිං කටින්ම ගොඩ ආ යුතු බැවින් ඔවුන්ටද ගොඩ එන්නට තිබුනේ දන්නා ශිල්පයමය.මොවුන් කළේ නිෂ්පාදකයෙක් සොයාගෙන ටෙලි නාට්‍යයක් ආරම්භ කිරීමය.

අප අත්දැක ඇති නිෂ්පාදනයන් වර්ග දෙකකි.එකක් නම් අවශ්‍ය වියදම් නොපිරිහෙලා කරමින් නිපදවන්නාවූ ටෙලි නාට්‍ය සහ අත්‍යාවශ්‍ය දේට පමණක් බොහෝ සීමාසහිතව වියදම් කරමින් නිපදවන්නාවූ ටෙලි නාට්‍යයි. ඒවා කොස්ට් කටිං හෙවත් බජට් ප්‍රොඩක්ෂන් විය.බෙනට් කළ නිෂ්පාදනය බජට් ප්‍රොඩක්ෂන් එකක් නොවුන අතර මෙම දෙපොළ කරන්නට යෙදුනු නිෂ්පාදනය බජට් ප්‍රොඩක්ෂන් එකේත් අන්තයට ගිය නිෂ්පාදනයකි.අපි එය එදාවේල ප්‍රොඩක්ෂන් නමින් හැඳින්වූයෙමු.මක්නිසාද කිවහොත් ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් වල මුඛ්‍යාර්ථය වුයේ අධ්‍යක්ෂ වරයාගේ සහ නිෂ්පාදන කළමණාකරුගේ එදාවේල සපයා ගැනීම වීම නිසාය.දවස අවසානයේ කෙසේ හෝ බෝතලයක් අත්පත් කරගැනීමට ඔවුන් දෙදෙන සමත්වුවෝය.දවසක් හෝකන්දරට කිට්ටුව පාරක රූගත කිරීම් සිදුවෙමින් තිබුන අතර වෙලාව ඇඳිරිය වැටීගෙන එන ගොම්මන් යාමය විය.මේ දෙදෙනා හවසට සප්පායම් වෙන්නට ගෙනත් තිබු බෝතලය බොහෝ ප්‍රවේසමෙන් අසල අගලක තණකොළ සහ වැල් ගොල්ල අස්සේ සඟවා තබා තිබුණි.මෙය දුටු තක්කඩි කොල්ලෙක් අරක්කු බෝතලය ගල් කරලාය.රූගත කිරීම් අහවරවූ පමාවෙන් දෙදෙනාම අගලට බැස පයින් තණකොළ මඩිමින් බෝතලය සොයන්නට වුයේ හිස ගිනි ගත්තවුන් ලෙසිනි.සොයන්නේ කුමක්දැයි අපි නිකමට ඇසුවෙමු.'නෑ මේ පොඩි බඩුවක්' යි  කියූ ඔවුන් නැවතත් තණකොළ අවුස්සන්නට වුවෝය.අපි බඩුත් පටවාගෙන එන්නට ආවෙමු,

විදානගේ අධ්‍යක්ෂණය කලේ කුලසේන පොන්සේකා විසින් රචනා කරන ලද නෙලන්න බැරි මල් නම් නවකතාවෙන් ලියු තිර නාටකයකි.ඔවුන්ගේ නිෂ්පාදකයා වුවේ නුවරඑළිය හෝ වැලිමඩ ප්‍රදේශයේ තරුණයෙකි.ටික දවසක් රූගත කිරීම්වලට සහභාගී වන ඔහු එක්වරම අතුරුදහන් වෙයි,කාශ්‍යප ලයිට්ස් හි කාර්මිකයන් විහිලුවට කීවේ නිෂ්පාදකයා වැලිමඩ අල ව්‍යාපාරිකයෙක් බවත් ගෙනා මුදල් අවසාන වනවිට අල විකුණා මුදල් ගෙනෙන්නට ගමට යන බවත්ය. ඔවුන් නිෂ්පාදනය හැඳින්වුයේ අල ප්‍රොඩක්ෂන් යනුවෙනි. බෙනට්ගේ නිෂ්පාදනයේ රූගත කිරීම් සියල්ලම මේ වනවිට අවසන්ව තිබු අතර ඊට බොහෝ කලින් ආරම්භ කළ මෙම නිෂ්පාදනයේ රූගත කිරීම් අඩක්වත් අවසන්ව නොතිබුණි. රූගත කිරීම් බොහෝවිට අඩාල වුයේ මුදල් හිඟකම නිසාය.එක් දවසක නළු නිළියන් ශිල්පීන් සියල්ලෝම රැගෙනවිත් රූගත කිරීම් ආරම්භ කර ටික වෙලාවකින් පටිගත කරන යූ මැටික් කැසට් අවසන් විය.නිෂ්පාදනය සතුව අලුත් කැසට් නොතිබුණි.විල්සන් දුවගෙන විත් මට කීවේ බෙන් එකේ අමතර කැසට් තිබේ නම් එකක් දෙකක් ණයට දෙන ලෙසත් ඉක්මනින්ම ණය ආපසු ගෙවන බවත්ය.ඔහු වැටී සිටි අසීරුතාව මා හොඳින් තේරුම් ගත්තත් ඒ වන විට අප සතුව වැඩිපුර කැසට් නොතිබිණි.රූපගත කිරීම් එතැනින් නවත්වන්නට සිදුවිය.සියලුම දෙනා ඉදිරියේ මෙවැන්නක් සිදුවීම නිෂ්පාදනයට විළි ලැජ්ජාවකි.ඔය ආකාරයට වැටි වැටී ඇදගෙන ගිය නිෂ්පාදනයේ එක ෂෙඩුල් එකක් අවසන්වී ගනුදෙනු බේරාගෙන විසිර යන්නට සියලුම දෙනා පැමිණියේ බෙන් එකටය.

කැමරා උපකරණ වෙනුවෙන් ලොකු මුදලක් අයවන්නට තිබුනද බෙනට් ඒ මුදල් ගන්නට කරදර කළේ නැත.නිෂ්පාදනයේ බැරි අමාරුකම් ගැන දැනුවත්ව සිටි ඔහු කීවේ තම මුදල් ගැන කරදර නොවන ලෙසත් ආයතනයේ කාර්මික ශිල්පීන්ට ගෙවිය යුතු මුදල් පමණක් හරියට බේරුම් කරන ලෙසටය.බෙනට් තම නිෂ්පාදනයේදීද සියළුම දෙනාට ගෙවන්නට තිබුන මුදල් කලට වේලාවට ගෙවා දැම්මේය.වෙනත් පහසුකම් වෙනුවෙන්ද අපට මුදල් නොමසුරුව ලබා දුන්නේය.එය බොහෝවිට නියම මුදලට වඩා වැඩි මුදලකි. නමුත් අප එම මුදල් නිසි පරිදි කළමනාකරණය කරන බව ඔහු විශ්වාස කළේය.අපිද ඉතුරුවුන මුදල් නිෂ්පාදනයේ අවශ්‍යතාවන් සඳහාම යොදවන්නෙමු.කෙසේ වුවද අවශ්‍ය වුණහොත් කියා හැම දිනකම ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය පිලිබඳ දළ සටහනක්ද තබා ගැනීමට අමතක නොකළෙමු.නමුත් ඒ සටහන් ඔහුට පෙන්වා විස්තර කිරීමක් අවශ්‍ය වුයේම නැත.සමහර විට අපේ වාචික පැහැදිළි කිරීම් වලින් ඔහු සෑහීමකට පත්වන්නට ඇත.එමෙන්ම නිෂ්පාදනයේ යම් යම් අවශ්‍යතාවන් සඳහා අප පිට පළාත්වලට ගියවිට විනෝද වීමට හෝ  අඩි ගැසීමට වියදම් කිරීමටද තහංචියක් නොවීය.එවැනි නිෂ්පාදනයක වැඩකර පුරුදු අපට විල්සන්ලාගේ නිෂ්පාදනය ගැන ඇතිවුනේ මහ පුදුමයකි.ඔවුන් වියදම් කරන ආකාරය බොහෝවිට අපේ සිනාවට ලක්විය.කෙසේ වුවද රූගත කිරීම් අවසන්වූ දිනට පසුදින උදයේ සියලුම ශිල්පීන් බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණියේ තමන්ට ලැබිය යුතු මුදල් ලබාගැනීමටය.

බෙන් ෆිල්ම්ස් ආයතනයේ කීප දෙනාද කාශ්‍යප ලයිට්ස් කණ්ඩායමද වෙනත් වෙනත් වැඩවල යෙදුන අයද ආදී වශයෙන් දොළහකට කිට්ටු පිරිසක් එදා එකතුවී සිටිය බව මට මතකය.අපි සියලුදෙනාම විහිලුකර ගනිමින් නිෂ්පාදනයට මඩ ගසමින් සතුටින් සිටියෙමු.ඒ වන විටද නිෂ්පාදන කණ්ඩායමේ කිසිකෙනෙක් පැමිණ සිටියේ නැත.කාශ්‍යප ලයිට්ස් හි ප්‍රධාන කාර්මිකයා වූ සෝමේ මා ලඟට කිට්ටුකර බොන්නට යමක් නැද්දැයි ඇසීය.කලින් දවසක වරායේ රූගත කිරීමකදී නැවක කපිතාන් වරයෙකු මට දුන් චෙරි බ්‍රැන්ඩි බෝතලයක් තිබිණි.ගෙනත් බොන්නට බලනවිට එය තරමක් පැණි රසය. ඒ නිසා නොබී පැත්තකට දමා තිබු ඒ බෝතලය සෝමේට දුනිමි.ඔවුන් දෙතුන්දෙනා එය බොහොම රස යැයි කියමින් බොන්නට වුහ. තව ටිකක් වෙලා ගතවන විට විදානගේ සමග විල්සන් පැමිණියද නිෂ්පාදකයා සිටියේ නැත. කණ්ඩායමට ගෙවන්නට මුදල් ඔවුන් දෙදෙනා ලඟද නැත.නිෂ්පාදකයා පැමිණි පසු මුදල් ගෙවන බවද එතෙක් කීප දිනක් ඉවසන ලෙසද ඔවුන් කියා සිටි විට අද යන්නට මුදල් අවශ්‍යම යයි කියමින් කාශ්‍යප ලයිට් කණ්ඩායම රණ්ඩු කරන්නට වුවෝය.මාසයක් පමණ වැඩකර හිස් අතින් ගෙදර යන්නට කැමතිවන්නේ කවුරුන්ද?අපේ කණ්ඩායමටද මුදල් නොලැබෙන බව නිසැක වුනත් අපි එකතුවී  මේ සිදුවීම් සියල්ලම ඉතා සතුටෙන් රස වින්දෙමු. අන්තිමේ විල්සන් ගෙදර ගොස් HSBC චෙක් පොතක් රැගෙන ආවේය.සියලු දෙනාටම ගෙවන්නට තිබු මුදල් සඳහා ඔහු විසින් චෙක් ලියා ගාම්භීර අත්සනක්ද ගසා ලබාදෙන ලදී.  එදා දවසේ ප්‍රශ්නය එලෙස බේරාගන්නා ලදී. චෙක්පත මාරුවුනේ නැත්නම් හොඳ පාඩමක් උගන්වන බව කියමින් කාශ්‍යප ලයිට්ස් කණ්ඩායමද පිටත්ව ගියෝය. අපේ අය නියමිත දිනයේ චෙක්පත මාරුකරන්නට ගියද බැංකුව විසින් චෙක්පත  ප්‍රතික්ෂේප කරන ලදී. ආපසු පැමිණි අපි කතාකරමින් සිටින විට බලාපොරොත්තු වූ පරිද්දෙන්ම කාශ්‍යප ලයිට්ස් හි සෝමේ ප්‍රතික්ෂිප්ත පුස් චෙක් එකද රැගෙන බෙන් එකට ආවේ යක්ෂයා ආරූඪ කරගෙනය. අපි ඔහුව ගෙනගොස්  විල්සන්ගේ නිවස පෙන්වුයෙමු. එහි ගොස් කුමක් කරගත්තාදැයි අපි හොයන්නට ගියේ  නැත. කෙසේ වුවද මාසයක් පමණ කැපවීමෙන් වැඩ කළ බෙන් ෆිල්ම්ස් හි කණ්ඩායමට සත පහක්වත් ලැබුනේ නැත.

ඔය ආකාරයට පොලු තැබූ අය ගැන කියන්නට ගියහොත් වෙනම පොස්ටුවක් ලියන්නට හැක.කරන්නට දෙයක් නැත ඒ ක්ෂේත්‍රයේ හැටිය.බෙන් ෆිල්ම්ස් එකට ඇනවුම් ලැබෙන මංගල උත්සව, උපන්දින සාදයන් සහ වෙනත් උත්සව අවස්ථාවන් ආදිය වීඩියෝ ගතකිරීමෙන් මටද අමතර ආදායමක් ලැබෙන්නට විය.එවැනි උත්සව ලැබෙන විට කණ්ඩායම කොහේ හෝ රූපගත කිරීමකට ගොස් සිටී නම් වැඩේ කරන්නට යන්නට වෙන්නේ මටය.මම තවත් කෙනෙක් සමග ගොස් උත්සවය වීඩියෝ කරමි. අයිටීඑන් ආයතනය අතළඟ තිබු බැවින් බොහෝවිට අප සේවය ලබා ගන්නේ එහි ශිල්පියෙකුගෙනි.සතියේ දවසක නම් නිවාඩුවක් දමා ගියත් පාඩුවක් නැත.ඒ අයගේ හැකියාව අනුව තරු පංතියේ හෝටලයක  උත්සව ශාලාවක හෝ සමහර උත්සව නිවසේද පැවැත්වේ.කොතැනක කෙරුණද අපි නිතරම හොඳ සේවයක් ලබාදෙන්නට උපරිම උත්සාහය යෙදුවෙමු.මෙවැනි වැඩවලදී හොඳ ආහාර වේලක් සමග වැඩේ අවසාන වුවිට පොරොන්දු වූ මුදලද ලැබේ.මා ඉතා කැමැත්තෙන් මෙවැනි වීඩියෝ කිරීම් වලට සහභාගී වුනෙමි. 

ලැබෙන සුළු වැටුපෙන් ජීවිතය ගෙනයාමේ  අරගලයක යෙදී සිටි මට මේ වැඩවලින් උපයන අමතර මුදල්වල වටිනාකම හොඳින් දැනිණි. ඇඳුමක් පැලඳුමක් ගන්නටද මා ඉතා ප්‍රියකරන චිත්‍රපට නාට්‍ය ආදිය නරඹන්නටද පොත් ගන්නටද ඒ මුදල් වියදම් කළෙමි.මාසයකට කොහොමත් මඟුලක් දෙකක් ලැබේ.සමහර මාසවල කරගන්නට බැරි තරමට වැඩ ලැබේ.එවැනි මාසවල රැකියාවෙන් ලැබෙන වැටුපට වඩා වැඩි මුදලක් මඟුල් වීඩියෝ කිරීමෙන් මට ලැබුණි. මුදල් වලටත් වඩා මා බෙහෙවින් අගය කලේ එවැනි වැඩවලදී ලැබෙන අත්දැකීම්ය.අදද මම ඒ සුන්දර අත්දැකීම් වලට ආදරය කරමි.එමෙන්ම පෝරුවේ චාරිත්‍ර මුලසිට අගටම කට පාඩම් විය.සමහර මඟුල්වල පොඩි සහ ලොකු ප්‍රමාණයේ ගෝරිද විය.මේ සියල්ල සමසිතින් විඳදරා ගනිමින් සතුටින් වැඩකලෙමි. මෙසේ එදිනෙදා දවස් ගතකරනු හැරෙන්නට ජීවිතය පිලිබඳ වෙනත් අනාගත බලාපොරොත්තු මවාගන්නට හැකි නොවූ අතර ජීවිතය බොහෝ වෙහෙසකර විය.දවසක්දා සවස ගෙදර යමින් සිටි බෙනට් පාරේ කාරෙක නවත්වා බෙන් එකට ගොඩවැදුනේය.

මල්ලි හෙට අනිද්දා දවසක සෝමලතා සුබසිංහ එයි මම නොහිටියත් කියන දෙයක් අහල බලල උදව් කරපල්ලා...කියා බෙනට් පිටත්ව ගියේය.

සෝමලතා සුබසිංහ චිත්‍රපට ටෙලි නාට්‍ය ආදියෙහි දැක තිබුනත් ඇයව හැබැහින් ඒ වෙනතුරු දැක නොතිබුනෙමි.ඊළඟ ඉරිදා දහවල් සුදු පැහැති කැරවැන් වාහනයක් සෙමින් සෙමින් විත් බෙන් ෆිල්ම්ස් ඉදිරිපිට නවත්වන ලදී. තරුණයන් එකල බියවුයේ පැජරෝ වලට බැවින් සුදු වෑන්වලට බියවන්නට අපට අවශ්‍යතාවක්  නොවීය. එබැවින් අපි බලා සිටියෙමු රථයෙන් බසින්නට වූයේ සෝමලතා සුබසිංහ මහත්මිය ඇතුළු කණ්ඩායමකි෴

Sunday, June 7, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය 2 - අහම්බෙන් රජවූ මිතුරා.


අද වන විට බෙන් ෆිල්ම්ස් හි ගතකළ ජීවිතය පිලිබඳ මගේ සිත තුළ තිබු විවිධාකාර මතකයන්හි මකුළුදැල් බැඳී දුර්වර්ණ වෙමින් පවතින්නේ කාලයාගේ බලපෑම නිසාවෙනි. නමුත් මතකයන්හි එක කොණක් ආයාසයෙන් එළියට ඇද්ද විට බොහෝ මතකයන් ඒ සමග පැටලී එයි. බෙන් ෆිල්ම්ස් මතකයන් මා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ගතකළ කාලය සහ ටෙලි නාට්‍ය වලට සම්බන්ධවෙමින් ගතකළ ජීවිතයේ මතක  වෙන්කර ගැනීමට නොහැකි තරමට එකිනෙක එකට පැටලී පවතී.ඒ හේතුවෙන්ම කතාවක් එක දිගට නොලියා හුදෙකලා සිද්ධීන් වශයෙන් මතකයන් එළියට දැමීමට මා පෙළඹෙමි.තවද මේ කතා ලියන්නේද මගේ සුපුරුදු භාෂා විලාසයෙන් නොව ලිඛිත භාෂාවෙනි.එම භාෂාව මේ කතා ලිවීමට ගැලපේ යැයි මා සිතමි.

මා බෙන් ෆිල්ම්ස් ආයතනයට නවතින්නට පැමිණියේ මගේ හිතවතෙකු වූ දේශාගේ අනුග්‍රහයෙනි.එවකට බෙන් ෆිල්ම්ස්හි වැඩ කලේ දේශාත් රුවන් සහ ප්‍රභාත් යන දෙදෙනාත්ය.රුවන් සහ ප්‍රභාත් බෙන් ෆිල්ම්ස් හි නැවතී සිටි අතර විවාහකයෙකු වූ දේශා අරංගල ඔහුගේ නිවසේ සිට උදේ පැමිණියේය.ඇත්ත වශයෙන්ම ඔහු විවාහ වුයේ මා  බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණි පසුවය.එතෙක් ඔහු සිය පෙම්වතිය වූ රංජනීගේ බත්තරමුල්ලේ නිවසේ සිට පැමිණියේය.තුෂාර ආයතනයට එකතු වුයේ බොහෝ පසු කලෙකය.හිරිමල් තරුණ වියේ පසුවූ රුවන් සහ ප්‍රභාත් තියෙන වැඩක් අවසන් කර කුමක් හෝ කඩෙන් ගෙනවිත් හෝ උයාගෙන හෝ කා බී ඉතා නිහඬ ජීවිතයක් ගතකලෝය.එයට ප්‍රධාන වශයෙන්ම හේතුවන්නට ඇත්තේ අහළ පහළ අය සමග නොගැටී නිහඬව ජීවත්වන ලෙසට බෙනට් විසින් කරන ලද්දාවූ අවවාදය විය යුතුය.තවද ඔවුන් දෙදෙනාම මත්පැන් හෝ දුම් පානය නොකළහ.මා ඊට හාත්පසින් වෙනස් වයසින්ද ඔවුන් දෙදෙනාට වඩා මුහුකුරා ගිය රැඩිකල් චරිතයක් වීමි.මේ සම්බන්ධයෙන් තව බොහෝ තොරතුරු ඉදිරියට ලියැවෙනු ඇත.

භීෂණ සමයේ රූගත කිරීම් ආරම්භ කළ ටෙලි නාට්‍යයේ කැමරාව මෙහෙයවීම සිදුකලේ කේ ඒ ධර්මසේන විසිනි.නමුත් මුළු චිත්‍රපට ක්ෂේත්‍රයම ඔහු හැඳින්වුයේ කිචි ධර්මේ නමිනි.එසේ නොමැති නම් කිචියා විය.රූපගත කිරීම් අවසන්වන්නට ප්‍රමාදවූ බොහෝ දිනවල ධර්මේද අප සමග නවතින්නට බෙන් ෆිල්ම්ස් එකට එයි.අපි හතර දෙනාගේ රෑ කෑම සඳහා නිෂ්පාදනයෙන් අපට රුපියල් දාහක් හෝ එක්දාස් පන්සීයක් ලැබේ.බොරැල්ලට අවුත් පළමුවෙන්ම රිට්ස් සිනමා ශාලාවට පහළින් ඇති වයින් ස්ටෝස් එකෙන් බෝතලයක් මිළදී ගන්නෙමු.රාත්‍රියට කෑම මිලදී ගන්නට හෝටලයකට යන්නට සුදානම්වූ විට ධර්මේ එයට එරෙහි වෙයි.'ඔය කඩවල ජරාව කනවට වඩා ඒ සල්ලිවලින් අඩුම කුඩුම ටික අරං ගිහිං අපි උයාගෙන කමු' යි ඔහු කියයි.ධර්මේ රසට ඉවීමෙහි සමර්ථයෙකි.බෙන් එකට එන ඔහු ඇඳුම් මාරුකර කුස්සියට වැදී උයන්නට පටන් ගනී.මම ඔහුට සහාය වෙමි.එකල මට ඉවීම තබා හට්ටියක් වළඳක් අල්ලන්නට තරම්වත් දැනුමක් නොවීය.පසුකලෙක කණ්ඩායමකට වුවත් උයා දෙන්නට තරම් ශාස්ත්‍රය ප්‍රගුණ කරගැනීමට මුල් ආරම්භය වුයේ කිචි ධර්මයා සමග උයා දමාගත් අඩිතාලමයි.ධර්මේ බත් මුට්ටිය ලිප තබා පරිප්පු උයන්නේ නිවිති කොළද එකතු කරමිනි.නිවිති කොළ නැති දවසක පරිප්පුවලට දැමීමට මොනවා හෝ කොළ වර්ගයක් ගෙනෙන ලෙස ඔහු මට කීවේය. මම ලිඳ ළඟ වැවී තිබු වැල් පෙනෙල පඳුරක් ගලවා ගෙන ගොස් දුන් විට ධර්මේ එහි කොළ කඩා සෝදා පරිප්පු හැලියට දැම්මේය.කරවල සුද්ද කර ලූනුද කපා තෙල් දමයි.තවත් මොකක් හෝ එළවළුවක් උයයි.කෑම සුදානම් කර අවසන්වූ පසු රුවන්ටත් ප්‍රභාත්ටත් කන්නට කියා ධර්මේ ඇඟ සෝදන්නට යයි.උන් දෙන්නාද නිදිමත පෙරමින් ඇවිත් කෑම කා ආපසු නින්දට යති.මමත් ධර්මේත් බෝතලයටද වග කියා කෑම කා නිදාගනිමු.

බෙන් ෆිල්ම්ස් හි උදේට කෑම පිළියෙළ කිරීමක් නැත.හැමදාම උදේ කෑම කඩෙන්ය.රූපගත කිරීම් තිබෙන දවසට උදේට කණ්ඩායමක්ම එන බැවින් කෑම වැඩිපුර අවශ්‍යවේ.වියදම් සියල්ල නිෂ්පාදනයෙන් බැවින් අත දිගහැර වියදම් කරන්නට මා පැකිළෙන්නේ නැත..එවැනි දිනවල බොහෝ විට මම උදේ කෑම සඳහා ඉඳිආප්ප ඇනවුම් කරමි.අපට ඉඳිආප්ප සැපයු ආච්චිලා දෙන්නෙක් ඒ ළඟ පාත සිටියෝය.  මේ දෙදෙනා අතර තරඟයක් ඇතිවුනේ බෙන් එකට ඉඳිආප්ප සැපයීමේ ඉතා වාසිදායක ඇණවුම ලබාගැනීම සඳහාය.මම දෙදෙනාටම අසාධාරණයක් නොවන පරිදි මාරුවෙන් මාරුවට ඔවුන් දෙදෙනාට ඇණවුම් ලබාදීමට වගබලාගත්තෙමි.එමෙන්ම ඉඳිආප්ප විශාල තොගයක් අවශ්‍ය වන දිනවලදී දෙදෙනාගෙන්ම මිලදී ගනිමි.මේ ආච්චිලා දෙන්නාද  ඉතා ඕනෑකමින් අපට ඉඳිආප්ප සැපයුවෝය.ඒ දෙන්නාගේ නම් දැන් මට මතක නැතිවීම කණගාටුවට කරුණකි.ඔවුන් අපට ඉඳිආප්ප දෙන්නේ පරිප්පු හෝ අලහොදිද පොල් සම්බෝලද සමගය.දවසක් එක් ආච්චි කෙනෙකුගෙන් ලැබුණු පොල් සම්බෝලය කටට ගන්නට බැරි තරම් ඇඹුල් රසැති විය.මම මේ ගැන සොයා බැලුවිට ඒ දිනවල දෙහි ඉතා මිළ අධික නිසා ඇය දෙහි වෙනුවට පොල් සම්බෝලයට විනාකිරි මිශ්‍රකර ඇති බව දැනගතිමි.දෙන්නාම භාජන සමග මුදල් ගෙනයන්නට හවස පැමිණෙති.ඒ ආවිට මම ඇයට අවවාද කර නැවත එවැනි දෙයක් කලොත් ඉඳිආප්ප ගැනීම නවත්වන බව කීවෙමි.ඉන්පසුව ඇය එම වැරැද්ද නොකලාය.
එක් සති අන්තයක අප රූපගත කිරීමකට ගියේ දළුගම සරසවි චිත්‍රාගාරයටය.එදින උදේ සිට නන්දා මාලිනිය ගයා තිබු 'මංගලම් සුබ මංගලම් සුහදානනේ' යන ගීතයේ රූපගත කිරීම කරන්නට යොදාගෙන තිබුණි.තිර පිටපතට අනුව ප්‍රධාන නිළිය මේ ගීතය ගයමින් සිය සැමියා වන රජු ඉදිරියේ රැඟුම් දක්වයි.ඒ අනුව රැජින සෙල්වනායගම් කලායතනයට ගොස් අදාළ නර්තනය පුහුණු වන ලෙස බෙනට් ප්‍රධාන නිළියට කීප වතාවක්ම දැන්වුවත් ඇය කම්මැලිකමට ඒ කීම  ගණනකට නොගැනීම හේතුවෙන් නැටුම කරන ලද්දේ ඇය නොමැතිව රැජින සෙල්වනායගම් කලායතනයේ ශිෂ්‍යාවන් විසිනි. ප්‍රධාන නිළිය විසින් කරන්නට තිබු නර්තනය කලායතනයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක් විසින් ඉදිරිපත් කරන ලදී.ගීතයේ කියැවෙන්නේ සුහදානනේ යන්නයි.එය දේවියට කීමට හැකිවෙතත් නාටිකාංගනාවක්  රජුට සුහදානනේ යනුවෙන් ආමන්ත්‍රණය කරන්නේ කෙසේද?නමුත් දැන් කරන්නට දෙයක් නැත.ගීතය පටිගත කරන්නට පෙර මේ වග දැනසිටියා නම් රජිඳානනේ හෝ නිරිඳානනේ යනුවෙන් වෙනස් කරන්නට තිබිණි.

කෙසේ වුවද එය සංකීර්ණ රූගත කිරීමක් විය.රැජින සෙල්වනායගම් සමග ඇගේ කලායතනයේ රංගනය හදාරන උදේ පිපුණු මල් වැනි සුන්දර ශිෂ්‍යාවන් විස්සක් පමණ සිටියෝය.ඔවුන් දුටුවිට රැජින මොන තරම් ප්‍රවේශමකින් ටෙලියේ නැටුමට ශිෂ්‍යාවන් තෝරා තිබුනිදැයි මට සිතුනි.සියලු දෙනාගේම පාහේ දෙමව්පියන්ද පැමිණ සිටි බැවින් ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදෙන්නට අපට අවස්ථාවක් නොවීය.දෙගොඩහරි වයසට පැමිණ සිටියද රැජින ඇගේ ශිෂ්‍යාවන්ටත් වඩා පියකරු යැයි විනෝද් මා සමග කීවේ ඇය දුටු පමණින්මය.මමද එය එකහෙළා අනුමත කළෙමි. රෑ වුනොත් ළමයින්ව ගෙදර එක්කරගෙන යන්නට පැමිණි දෙමව්පියන් පිරිසක්ද නිෂ්පාදන හා කාර්මික කණ්ඩායමද එකතුවූ කළ සෑහෙන සංඛ්‍යාවකි.මේ සියළු දෙනාගේම කෑම බීම අවශ්‍යතා සහ ප්‍රවාහනය අපේ උර මත පැටවී තිබිණි.පැමිණ සිටි අයට උදේ කෑම ලබාදී ධර්මේත් මමත් නුවර පාරේ තිබුන පොඩි කඩයකට ගියේ ප්ලේන්ටියක් බී දුමක් අදින්නටය.

අප තේ බී ආපසු එමින් සිටිනවිට සයිකලයක් පැදගෙන ගිය කෙනෙක් නැවතී ධර්මේට කතා කළේය.ඔහු ධර්මෙගේ හිතවතෙකි.ඒ ළඟපාත පදිංචි කරුවෙකි.නිවාඩු දවසේ උයන්නට ගෙදරට එළවළු මාළු ටිකක් ගෙනියන්නට මාකට් එකට ගිය බව ඔහු කීවේය.අපි රූගත කිරීමක් කරන බව දැනගත් ඔහුටද ෂූටිං බලන්නට එන්නට උවමනාවක් ඇතිවිය.අපි දෙදෙනා ඔහුද සමග චිත්‍රාගාරයට ගියෙමු.දැන් රූගත කිරීම් සඳහා දර්ශන තලය කඩිමුඩියේ සුදානම් කෙරෙයි.ආලෝකය නිසි පරිදි සකසයි හැඳ පැළඳගෙන සිටි නාටිකාංගනාවන්ගේ මුහුණු හැඩ ගන්වයි.ට්‍රැක් එලා ඩොලිය නිසි පරිදි ධාවනය වන්නේදැයි බලයි.ධර්මේට වැඩ ගොඩකි.මේ අතර රජුගේ චරිතයට පෙනී සිටින්නට තෝරාගත් පුද්ගලයා පැමිණ නැත.බෙනට් මුණ රතුකරගෙන යටි රැවුල කසමින් සිටී.'රජාට වාඩිකරවන්න කවුරු හරි හොයපල්ල මල්ලි' ඔහු කියයි.අපි හැම තැනම රජෙක් සොයමු.මේ අතර ධර්මෙගේ හිතවතා බෙනට්ගේ ඇස ගැටිණි.ඔහුගේ අවාසනාවට ඔහු දේහධාරී පැහැපත් පුද්ගලයෙකි.ඒ පුද්ගලයාගේ වං හුං හොයාගත් බෙනට් ධර්මෙ කැඳවා 'ධර්මෙ උඹේ යාළුවව රජාට ඉන්දවන්න පුළුවන් වෙයිද අහල බලපංකො' යි කිවේය.අපි ගොස් ඔහුට කතාකළෙමු.ඔහු එක්වරම අකමැති විය.පසුබට නොවූ අපි ඔහුට රඟපාන්නට දෙයක් නොමැති බවත් කරන්නට ඇත්තේ රජාට ඇඳගෙන සිහසුනේ වාඩිවී විටින් විට හිස සලමින්ද හිනාවෙමින්ද  ඔහු ඉදිරිපිට රැඟුම් දක්වන්නාවූ කෙල්ලන්ගේ රංගනය දෙස බලා සිටීම බවත් මිහිබට සුරංගනාවන් බඳු වූ මේ නවයොවුන් රූමතියන්ගේ ගැස්සෙන නැලැවෙන අඟ පසඟ දෙස හිතේ හැටියට බලා සිටින්නට ලැබීමම වුවත් කෙනෙකුට කලාතුරකින් ලැබෙන වාසනාවක් නොවේදැයි කියා ඔහුගේ හිත හැදුවෙමු.අවසානයේ ඔහු කැමති විය.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ කලිසම් කමිස ගලවා රජ ඇඳුම් අන්දවන ලදී.මාල වළලු පළඳවා වේෂ නිරුපණය කර සර්වාභරණයෙන් සරසා හිසට ඔටුන්නක්ද දමා ගෙනවුත් දර්ශන තලයේ ඉන්දවුයෙමු.රූගත කිරීම් ආරම්භ විය.අපි සැනසුම් සුසුම් හෙලා පසෙකට වී බලා සිටියෙමු.දර්ශන එකින් එක රූගත කෙරෙමින් පවතී.මධ්‍යාහනයද ලඟාවිය.දැන් දැන් රජතුමා වෙතින් මඳ නොසන්සුන් ගතියක් පලවන බව මම නිරීක්ෂණය කළෙමි.රූගත කිරීම මඳකට නවත්වන විට ඔහු නැගිට ගොස් කැමරාව පිටුපස සිටින ධර්මේට යමක් කියයි.දෙතුන් වරක් මෙසේ සිදුවන විට මම මේ ගැන ධර්මෙගෙන් ඇසුවෙමි.'ඌට ගෙදර යන්න ඕනැ කියන්නෙ,උයන්න බඩු ගේනකල් ගෙදර බලාගෙන ඉන්නවලු.දැම්මම ඉවරවෙන්නෙ නැද්ද අහනවා' ධර්මෙ කියයි. රජාගේ කතාව ඇත්තය. ගෙදරට එළවළු රැගෙන පාරේ යමින් සිටි එකාව අපි රජාට ඇන්දුවෙමු. ඔහු අපේ ප්‍රශ්නය විසඳුවේය.දැන් අපි ඔහුගේ ප්‍රශ්නය විසඳිය යුතුය.එසේ නොමැතිව ඔහු ගැන නොසලකමින් අපි  අපේ කාර්යය පමණක් සපුරා ගන්නා විට ඔහු නැගිට රජ ඇඳුම් ගලවාදමා යන්නට ගියොත් කුමක් කරන්නද? නැවත මුල සිටම රූගත කරන්නට සිදුවේ.මෙවැනි සුළු දේවල් නොසලකා හැරීමෙන් බරපතල පාඩු හෝ විනාශයන් සිදුවන බව මා අත්දැකීමෙන් දනිමි.කාරණය බැරෑරුම්ය.

මම බෙනට්ටද කතාකර දැන්මම එන්නට නොහැකි වන බවට රජාගෙන් පණිවිඩයක්ද සහිතව බඩු මල්ල චන්දරේ අතේ රජාගේ ගෙදරට පිටත් කෙරුවෙමි.චන්දරේ සිය වාහනය හයර් කරමින් අපේ නිෂ්පාදන කණ්ඩායමට එකතු වූ විනෝදකාමියෙකි.මෙවැනි කුණු කොන්ත්‍රාත් කළමනාකරණය කර ගැනීමෙහි ගජ හපනෙකි.චන්දරේටද වූ අකරතැබ්බයක් ඇත එය පසුව කියමි.චන්දරේ පිටත්වී ගොස් ආපසු පැමිණියේ බාරදුන් රාජකාරිය අකුරටම කල බවට ආඩම්බරයෙන් කයිය ගසමිනි.විස්තරය ඇසු රජු මදක් සන්සුන් විය.එතැන් පටන් එක දිගටම කරගෙන ගිය ගීතයේ රූගත කිරීම අවසන් වුයේ එදින මැදියම් රාත්‍රියේය.එතෙක් රජා ඉවසිල්ලෙන් වාඩිවී සිටියේය. රෑ කෑම ලබා දෙනවිට රජාට අඩියක්ද ගැස්සුවේ උගේ හිතේ අමාරුව පහව යන්නටය. මුළු දවසක් පුරාවටම නටා මහන්සිවී සිටි රැජින සෙල්වනායගම් කලායතනයේ සුන්දරියන් කණ්ඩායම වෙහෙසට පත්ව මැලවුණු මල් මෙන්  වැටුණු වැටුණු තැන්වල හිඳගෙන සිටියෝය. නාටිකාංගනාවන් මෙන්ම අපිද බොහෝ වෙහෙසට පත්ව සිටියෙමු.'එක දවසකට හරි උඹව රජ කෙරුවෙ මමනෙ යකෝ' යි කියමින් ධර්මේ රජාට විහිලු කළේය.මුහුණේ පාට සෝදාගත් රජු අපෙන් සමුගෙන සයිකලයේ නැගී ගෙදර ගියේය.පැමිණ සිටි සියලු දෙනාටම ගෙවල්වලට යන්නට පහසුකම් සැලසු අපි සුපුරුදු පරිදි බෙන් එකට ගියෙමු. ධර්මේ සමග ඉන්පසුවදටෙලි නාට්‍ය කීපයකට සහභාගී වන්නට ලැබුණද මා බෙන් ෆිල්ම්ස් ආයතනයෙන් සමුගැනීම හේතුවෙන් අපේ ආශ්‍රය දුරස් විය.මම පෞද්ගලික ජීවිතයේ කාර්ය බහුල වීමි.  ධර්මේ ඊට අවුරුදු පහළොවකට පමණ පසුව මා නොසිතු විලස අකාලයේ අවසන් ගමන ගියේය.එකල මා ශ්‍රී ලංකාවේ නොසිටියෙමි. ඔහුගේ අවසන් කාලය ගැන මට කීවේ සරත් අයියාය.සරත් අයියා අදටත් චිත්‍රපට හා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ වැඩකරන ප්‍රවීණ නිෂ්පාදන කළමනාකරුවෙකි.


Thursday, June 4, 2015

භීෂණය මැදින් ටෙලි නාට්‍ය සමග ජීවිතය



ඒ මා බෙන් ෆිල්ම්ස් ආයතනයේ නැවතී හිඳිමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රැකියාවට ගිය සමය විය.උදේට හැඳ පැළඳගෙන සුදානම්වී ගේ  ඉදිරිපිටින් බසයට ගොඩවී බොරැල්ලට ගොස් එතනින් 154 බසයක නැග සේවා ස්ථානයට යන්නට මම පුරුදුව සිටියෙමි.කාලය අසූව දශකයේ අග භාගයයි.දේශප්‍රේමීන් රට අනියම් ආකාරයෙන් පාලනය කළෝය.ආණ්ඩුවේද දේශප්‍රේමීන්ගේ සියඹලාණ්ඩුවේද යන නීති දෙකටම යටත්වී සිටි හුදී ජනයන් වූ අපි මේ දෙපැත්තේම වැඩ නිසා බොහෝ දුක් වැළඳුවෙමු.සමහර දිනෙක උදෑසන අවදිවී බලනවිට ගේ ඉදිරිපිට පාරේ බස් ධාවනය නොවේ.දේශප්‍රේමීන් ඇඳිරි නීතිය පනවා ඇති බව දැනගන්නට ලැබෙන්නේ එවිටය.බොහෝ දිනවල තුණ්ඩු කෑල්ලක දැනුම් දීමෙන් කඩ සාප්පු,හෝටල,වෙළෙඳසල් සියල්ල වසා දමන බැවින් තේ කෝප්පයක් හෝ බොන්නට තැනක් නොමැතිවී යයි.එක් දිනෙක උදේ කෑමට පාන් ගෙඩියක් මිලදී ගැනීමට යාම සඳහා පාරට පැමිණ සයිකලයට ගොඩවුනා පමණකි.පැලවත්ත පැත්තේ සිට ඉතා වේගයෙන් පැමිණි වෑන් රථයක් පාරේ මට ඉදිරියෙන් සයිකලයක් පැදයමින් සිටි තරුණයා ඉදිරිපිට නවත්වා එක්වරම ඔහුගේ බෙල්ලෙන් අල්ලා ඇතුළට දමාගෙන ටයර් කෑගස්සවමින් පිටත්වී ගියේය.පාරේ අතහැර දමා ගිය සයිකලයේ රෝද කැරකෙමින් තිබුණි.මම ගල්ගැසී බලා සිටියෙමි.තවත් දවසක කිඹුලාවල හරියේ වෙල්යායක් අද්දර මරා බාගෙට පුළුස්සා දැමු තරුණයන් කීප දෙනෙකුගේ මළසිරුරු විය. කුප්‍රසිද්ධ හෝකන්දර මිනීවලද පුරවන ලද්දේ මේ දවස්වලය.මුළු රටම තුන්බියෙන් ඇලලී ගිය විසාලා නුවර මෙන් විය.නීතිය නිහඬවූ අතර පාලනය බිඳවැටී තිබිණි.

අපි රැකියාවලට ගියේ ඇඳිරි නීතිය නොමැතිනම් පමණකි.මා නැවතී සිටි තැනත් රාජකාරි කළ තැනත් අතර එපමණ දුරක් නොවූ නිසා මට කෙසේ හෝ රැකියාවට යාගන්නට හැකිවුවත් දුර බැහැර සිට සේවයට පැමිණෙන අයට ප්‍රවාහන පහසුකම් නොවූ බැවින් රාජකාරි ස්ථානය බොහෝවිට පාලු ස්වභාවයක් ගත්තේය.දීර්ඝ නිවාඩුවක් බඳු මේ කාලය ප්‍රයෝජනයට ගනිමින් බෙනට් ඔහුගේ අලුත්ම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් ආරම්භ කිරීමට තීරණය කළේය.ආචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියන ලද ටෙලි නාට්‍යයේ තිර පිටපත දිනක් බෙනට්ට අමතකව දමාගොස් තිබියදී සොයාගෙන මහ පාන්දර වෙනතුරු කියවා අවසන් කළෙමි.ටෙලි නාට්‍යයට ගීත හතක් හෝ අටක් ඇතුළත්වූ බව මගේ මතකයයි.ආචාර්ය සුනිල් ආරියරත්නගේ මිහිරි පදවැල්  සියල්ලම ගායනා කරන ලද්දේ නන්දා මාලිනිය විසිනි.යුග ගීත දෙකක්වූ අතර ඒවා බී වික්ටර් පෙරේරා සහ කීර්ති පැස්කුවල් නන්දා මාලිනිය සමග ගායනා කළෝය.මේ ගීත සියල්ලම ඇතුළත් කැසට් පටය දවසක් බෙනට් විසින් අපටද අසන්නට දුන්නේය.කැසට් පටයේ වූ සියලුම ගීත රසවත්වූ අතර නන්දා මාලිනිය බී වික්ටර් පෙරේරා සමග ගායනා කළ කුසිනාරා නම් නගරේ නම් ගීතයට මා ඉතා ප්‍රිය කළෙමි.පසු දිනෙක දළුගම සරසවි චිත්‍රාගාරයේ දර්ශන තලයක ඒ ගීතය රූපගත කරන ලද අවස්ථාවටද මට සහභාගී වන්නට ලැබුණි.රූපගත කිරීමේදී ගීතය ගායනා කරන්නට පෙනීසිටියේ වසන්ති චතුරානි සමග වින්සන්ට් වාස්ය.ගීත රූපගත කිරීමේදී සිදුවූ ඉතා රසවත් කතා පසුවට කියමි.

ටෙලි නාට්‍යයේ ප්‍රධාන දර්ශන තලය ලෙස බෙනට් තෝරාගෙන තිබුනේ සඳලංකාවේ සුන්දර ගමක පිහිටි පැරණි විශාල වලව්වකි.එය කිසිම ගෘහ භාණ්ඩයක් නොතිබූ හිස් වලව්වකි.රූපගත කිරීම් ආරම්භ කරන්නට පෙර අවසන් කල යුතු  බොහෝ වැඩකටයුතු විය.නිෂ්පාදන කණ්ඩායම හා කැමරා කණ්ඩායමද නැවතී සිටීමට නියමිත වුයේ වලව්වේම බැවින් මුලික ගෘහ උපකරණ සපයා ගැනීම අත්‍යවශ්‍ය විය.අපි ඇඳන් පුටු මේස ආදිය බාල ලී වලින් සාදවා වලව්වට ගෙනගොස් දැම්මෙමු.තවද කුස්සියට අවශ්‍ය හිරමනා මිරිස් ගල් මන්නා පිහි කැති ආදියද මිළට ගත්තෙමු.රූගත කරන කාලය තුළ අහාර පිසීම සඳහා අරක්කැමියකුද අප විසින් සොයා ගන්නා ලදී.ආහාර ද්‍රව්‍ය කණ්ඩායම පැමිණෙන විට ගෙනඒමට නියමිත විය.යකුන් බැඳගත්තාක් මෙන් රෑ දවල් නැතුව මහන්සිවී සියලුම වැඩ රාජකාරි ඉවර කර කොළඹට පැමිණියෙමු.රූපගත කිරීම් ඊළඟ සතියේ පටන් ගැනීමට නියමිත විය.රූගත කිරීම්වලට දින කීපයකට පෙර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපෑම සඳහා ගිවිසුම් අස්සන් කර අත්තිකාරම් මුදල්ද ලබාදී තිබු නිහාල් සිල්වා කිරුළපන හමුදා මුරපොළකදී වෙඩි වැදී මියයෑම නිෂ්පාදන කණ්ඩායමට වැදුණු මරු පහරක් විය.

නිහාල් සිල්වාට වෙඩි වැදී තිබුනේ රාත්‍රියේය.පසුදා පාන්දරම බෙනට් අපත් සමග කිරුළපනට ගියේ ආරංචිය ඇත්තදැයි බලාගැනීම සඳහාය.නිහාල් විසින් පදවාගෙන එන ලද වාහනයේ රෝදයක් කාණුවට වැටී නැවතී තිබු අතර රියැදුරු අසුනේ ලේ පැල්ලමක් විය.අපි ඒ දෙස හිස් බැල්මෙන් බලා සිට ආපසු පැමිණියෙමු.ඒ දිනවල නිතරම පාහේ බෙන් ෆිල්ම්ස් හි ගැවසුණු ඔහුට සිදුවූ විපැත්තිය අපට අදහාගත නොහැකි විය.නිහාල් සිල්වාගේ අභාවයෙන් හිස්වුනු ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට කෙනෙක් සොයාගැනීම එතරම් අපහසු නොවුයේ හිස්වුන ප්‍රධාන චරිතය ඉල්ලා බෙනට් හමුවීමට නළුවන් පෝලිමේ පැමිණි නිසාය.රූගත කිරීම් ආරම්භ කිරීමට නියමිත දිනයද ළඟ ලඟම එයි.දිනක් මා රැකියාවට ගොස් හවස ආපසු එනවිට බෙන් ෆිල්ම්ස් හි අමුත්තෙක් වාඩිවී සිටියේය.අසල මේසය මත තිබු කැසට් රෙකෝඩරයේ ටෙලි නාට්‍යයේ ගීත වාදනය වෙයි.ගීත පිලිබඳ අවධානයෙන් නොසිටි  ඔහු බර කල්පනාවක පසුවනු  මම දැක්කෙමි.දොර හැරගෙන මා ඇතුල්වන ශබ්දය ඇසී හැරී බැලු ඔහු මා වෙත අඩමානයට සිනාවක් පෑවේය.මමද සිනාසී ගෙට ඇතුල්වුන මොහොතේම ඔහු හඳුනා ගතිමි.ඒ ප්‍රසිද්ධ ටෙලි හා වේදිකා නළුවෙකු වූ ග්‍රැන්විල් රුද්‍රිගු ය .නාට්‍යයේ චරිතය ඉල්ලාගෙන ඔහු බෙනට්ව හමුවන්නට ඇවිත් ඇති බව මට සිතුනද බෙනට් විසින් ග්‍රැන්විල්ව ප්‍රධාන චරිතයට තෝරාගෙන තිබුන බව පසුව දැනගතිමි.රූපගත කිරීම් ආරම්භ කළ පසු ඔහු අපත් සමග ඉතා හිතවත් විය.

රටේ ප්‍රසිද්ධ වේදිකා සහ ටෙලි නළුවෙක් වුවද ඔහු ඉතා සරල සහ නිරහංකාර මිනිසෙක් විය.බොහෝ අය මෙන් මත්පැන් හෝ දුම්වැටි පානය නොකළ ග්‍රැන්විල් දර්ශන තලයේදී විශේෂ ආහාරද ඉල්ලා නොසිටියේය.නිෂ්පාදන කණ්ඩායම ලබාදෙන බත්පත සතුටින් අනුභව කරන ඔහු රූපගත කිරීම් නොමැති වේලාවල හිතවතුන් සමග විහිළු තහළු කරමින් පසුවිය. කිසිවිටෙක නිෂ්පාදන කණ්ඩායමට කරදරයක් නොවූ ග්‍රැන්විල් අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වන දෙයට වැඩියමක් තමාගෙන්ද එකතුකර තම රඟපෑම ඉතා හොඳින් කරන්නට නිතරම උත්සාහ කළේය.සඳලංකාවේ රුගත කිරීම් අවසන්කර කොළඹට පැමිණි පසු මා කීප වතාවක්ම ඔහුගේ නිවෙසට ගියෙමි.ඒ බෙනට්ගේ ඇනවුමෙන් ග්‍රැන්විල්ට අවශ්‍යවූ යම්කිසි මුදලක් ලබාදීම පිණිසය.බොහෝවිට සවස්කාලයේ මා හමුවන්නට එන බෙනට්,

මල්ලි මෙන්න මේ සල්ලි ටික ග්‍රැන්විල්ට දීල වරෙන්කො 'යි පවසා යම්කිසි මුදලක් මා අත තබයි. මාදම්පිටිය සුසාන භුමිය පසුකරමින් මෝදර පැත්තට යනවිට ඔහුගේ නිවෙස පිහිටියේය. එය වහලට සිංහල උළු සෙවිලි කල ඉස්තෝප්පුවේ විශාල කණු තුන හතරක්ද  සහිතව පඩි දෙක තුනක් නැග ගෙට ගොඩවන්නට ඇති පැරණි පන්නයේ නිවෙසක් විය.මා යනවිට ග්‍රැන්විල් ඉස්තෝප්පුවේ යම්කිසි වැඩක් කරමින් පසුවෙයි.එසේ නැත්නම් එදින රාත්‍රියේ ප්‍රදර්ශනය කරන නාට්‍යයක රඟපාන්නට යන්නට සුදානම්වී සිටී.මා දෙන මුදල අතට ගන්නා ඔහු බොහෝ වෙලාවක් මට ස්තුති කරයි.මට ස්තුති කිරීම අනවශ්‍ය බවත් එම මුදල්  ටෙලි නාට්‍යයේ රඟපෑම වෙනුවෙන්  ඔහුට දෙන්නට පොරොන්දුවූ  මුදල් වලින් කොටසක් බවත්  මා කීවිට ඔහු සිනාසෙයි.ඔහුට වැඩක් නොතිබූ දිනෙක සවසක අපි දෙදෙන බොහෝ වේලා කතා කරමින් සිටියෙමු.ශ්‍රී ලංකාවේ වෘත්තීය නළුවෙකුට විඳින්නට වන ආර්ථික දුෂ්කරතාද පෙළන්නාවූ දරිද්‍රතාවද  ඔහු මට විස්තර කළේය.එය මට අදහාගත නොහැකි තරම් කර්කශ විස්තරයක් විය.මමද එකල බොහෝ ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙමින් ජීවත් වුනෙමි.මා තනිකඩයෙක් වුවද රජයේ රැකියාවෙන් ලැබෙන සොච්චම් වැටුප යන්තම් මාසය ගතකරන්නට පමණක් ප්‍රමාණවත් වන නොවන තරමක විය.සාපේක්ෂව බලනකල  ඒ ජීවිතය තුලද යම් තරමක සුරක්ෂිතතාවක් විය.එනම් දවසේ තුන්වේල කන්නට ලැබෙන බව මා දැන සිටියෙමි.එහෙත් ග්‍රැන්විල් තම පවුල ජීවත් කරවන්නට අනුභව කරන්නාවූ දුක් ගැහැටද ජීවත් වන්නට දරන ආයාසයද ඇසු මට මා බොහෝ සැප පහසුවට ජීවත් වන බව සිතුනි.

ටෙලි නාට්‍යය රූපගත කිරීමේදී ග්‍රැන්විල් සම්බන්ධ තව සිදුවීමක් පවසා කතාවේ මේ කොටස අවසාන කළයුතු යැයි සිතේ.එක්තරා දිනෙක රූපගත කිරීම් කරන ලද්දේ මීගමුව පොලීසියේය.තරුණයන් පිරිසක් සමග ගෝරියකට පැටලෙන ග්‍රැන්විල් පොලීසියෙන් අල්ලා ගෙනවුත් කූඩුවේ දමා සිටින දර්ශනයක් සහ ඔහුගේ බිරිඳ ලෙස රඟපාන වසන්ති පොලීසියට විත් ස්ථානාධිපති වරයාට කතාකර සැමියාට ඇපදී රැගෙන යන දර්ශනයක්ද රූගත කිරීමට නියමිතව තිබිණි.රූගත කිරීම් ආරම්භ කරන ලද්දේ සැන්දෑවේය.එදින ටෙලි නාට්‍යයේ වේෂ නිරුපනය කළ වසන්ත විට්ටච්චි විසින් ග්‍රැන්විල්ට කර තිබු සංකීර්ණ වෙස් ගැන්වීම හේතුවෙන් ඔහු කිසි දෙයක් කන්නට බොන්නට නොහැකි තත්වයක පසුවිය.සවස තේවලට ටී බනිස් සහ කෙසෙල්ගෙඩිද කිරි තේද රැගෙන එන ලදී.රූගත කිරීම් නවතා ග්‍රැන්විල් හැරෙන්නට සියලු දෙනාම බනිස් කන්නට වුවෝය.ග්‍රැන්විල් බංකුවක වාඩිවී දුකෙන් බලා සිටියේය.ඔහුට බනිස් කන්නට තදින්ම අවශ්‍යතාවක් තිබු සෙයකි.තවත් ටිකකින් ඔහු හිමිහිට මගේ ලඟට කිට්ටු කළේය.

මචං,උඹට කරදරයක් නැත්නං මට බනිස් ගෙඩියක් කවන්න පුලුවන්ද? ග්‍රැන්විල් හෙමිහිට මගෙන් විමසා සිටියේය.මම ඔහුට බනිසයක් සහ කෙසෙල් ගෙඩියක් කවා කිරි තේ කෝප්පයක්ද පෙව්වෙමි.ඔහු බනිස් කා තේ බීවේ ජයග්‍රාහී සිනාවක් පාමිනි.මෙවන් සිදුවීම් මැදින් ගළාගිය ටෙලි නාට්‍යය රූගත කිරීම් ඉතා සුන්දර විය.නාට්‍යය අවසන් කර ටික කලෙකින් රිය අනතුරකට මුහුණ පෑ ග්‍රැන්විල් රෝහල්ගත කර සිටියදී ලේ විෂවීමකින් ඉතා අවාසනාවන්ත ලෙස මෙලොවින් සමුගත්තේය.