Wednesday, May 27, 2015

අලුත් ගහේ අඹ 2

අළු පැහැ ගත් වලාකුළු කැදලි නිල් අහස පුරාම විසිරී තිබෙනු හිසට ඉහළින් ඇති මල් පිරි වැල් වියන අතරින් සිරියාවතී දුටුවාය.කෙටි තණපත් පහස සිරුරට සුවදායක වුවත්  විටින් විට පිටේ ඇනෙන නිදිකුම්බා මුල ඇයට තරමක  අපහසුවක් විය.සිදුවුයේ සිතාසිටි දෙයක්ද?මොකද නැතුව!ඇය අනික් අතට තර්ක කළාය.ගුණපාල ඇගේ හිතේ හොල්මන් කරන්නට වුයේ මීට පෝය දෙකකට පමණ ඉහත සිට නොවේද?ඇය මහළිඳේ නාන්නට ගිය දිනෙක ගුණපාලද ළිඳේ නාමින් සිටියේය.සිරියාවතී දියරෙද්දද ඇඳගෙන ළිං මිදුලට බැස්සත් නාන්නට කම්මැලිය, මහළිඳේ වතුර බෙහෙවින් සීතලය.ළිඳේ නාන්නට හිටියෙ උන් දෙන්නා පමණකි.ගුණපාල තමන්ගේ ඇඟට වතුර ටිකක් විසිකර විහිළුවක් කරනු ඇතැයි ඇය සිතුවද ඌ එහෙම කලේ නැත.සිරියාවතී සමග වචන දෙකතුනක් කතාකළ ගුණපාලයා අත ඉක්මන් කර නාගෙන යන්නට ගියේය.සිරියාවතීට එවෙලේ බලාපොරොත්තු කඩවුනාක් වැනි හැඟීමක් ඇති නොවුයේද?කෙසේවුවද කාරණා කටයුතු මේ ආකාරයට සිදුවීම එක අතකට හොඳ යැයි ඇය සිතුවාය.යකෙක් වගේ හිටියට ගුණපාල ගම තුළ නම කැත කරගත් එකෙක් නොවේ.අනික් අතට ගමේ පිරිමි කීප දෙනෙක්ම ඇගේ පහස බලාපොරොත්තුවෙන් සිටියත් සිරියාවතී උන්ට කිසිම අනුකුලතාවක් දැක්වුයේ නැත.ඇගේ සිත ගියේ තම පහස නොපැතූ ගුණපාලටය.ජීවිතය හරිම පුදුමාකාරය. මේ ප්‍රහේලිකා විසඳන වෙලාවක්දැයි  ඇය කල්පනා කළේ මදහසකිනි.

තියෙන හදිස්සියට ගුණපාලයා හැට්ටය ඉරාදමනු ඇතැයි ඇය බියපත් වුවාය.ඉරුවොත් තව කරදරයකි.කටු ටික ගලෝනකං ඉඳපං දඟලන්නෙ නැතුව!සිරියාවතී කටු ගලවනතුරු සුනංගු නොවූ ඒකා වදෙන් පොරෙන් තනයක් එළියට පන්නවා ගත්තේය. මූට තියෙන තදියමක් අම්මප!සිරියාවතී ගුණපාලයාට රැව්වේ හිත යටින් හිනා වෙමිනි.ගුණපාලයා  මුහුණ සිය ළමැද ඔබාගෙන ආදරය පාද්දී රැවුල් කොට ළමැදේ ඇනී ඇයට සියුම් කිතියක් දැනුණි. ඇය සොම්නසින් නෙත් පියාගෙන විටින් විට බඳ ඔසවා පෑවේ නිරායාසයෙනි. ගුණපාල තෘප්තියෙන් කෙඳිරි ගෑවේය. ඒ ඇය බොහෝකලෙකින් අත්විඳ නොතිබූ ආදරණීය ආලිංගනයකි. එය අතහරින්නට ලොබින් සිරියාවතී ගුණපාලයාව බදාගත්වනම පසුවූවාය.ඇගේ කෙස් වැටිය ලිහී  විසිරී යන්නට ඇත්තේ  ගුණපාලයාගේ අතින් විය යුතුය.

සිරියාවතීගේ ගන කළු කෙස්කළඹින් හමන තණපත් සුවඳ ගුණපාල ආඝ්‍රාණය කලේ  දෑස් පියාගෙනය.ඇගේ සිහින් නැමෙනසුලු පිරිපුන් සිරුර ඔහුගේ ආශාව මුවහත් කරයි.ඒ තුරුණු  සිරුරේ අව්වට නිරාවරණ වූ තැන් මදක් දුර්වර්ණ වුවද ආවරණය වී තිබී ඇති තැන් මොන තරම් පැහැපත්ද.ඇගේ උස්වූ  දැඩි පියයුරු යුවළ ඔහුගේ පපුව තෙරපයි. සුමට පැතලි කුස මත නැබ වටාවූ රන්පැහැ ගත් සියුම් රෝම ඉන් ටිකක් පහළට වනවිට ඝන කළු තත්කෙඳි වන් රෝම කැටියක් වෙයි.මෙතෙක් කල් තමන් හැසිරුනේ අන්ධයෙක් මෙන් නොවේදැයි ඔහු කල්පනා කලේය.

කලෙකින් නොදැනුනු සැහැල්ලුවක් සිරුර පුරා විසිරී යනු ඇය අත්වින්දාය. සිරියාවතී මිටිකරගත් අතින් ගුණපාලයාගේ පිටට තහ්  තහ්  ගා දෙකක් තැලුවේ නිකමටය.ඌට වගේ වගක් නැත.චීත්තයේ ඇලුණු තුත්තිරි ගලවා දමන්නට දවසක් වත් ගතවනු ඇතැයි එකවරම ඇයට සිහිවිය.හදිස්සියෙ කවුරුහරි ආවොත් කුමක් වේවිද?ඇතිවන  තත්වය ඇය සිහිපත් කළේ සිනාවකිනි.කවුරු එන්නද?චන්දරේ උදේට මීහරක් රැළ වෙළට දැක්කාන ඇවිත් ගියාට පසු ආපහු එන්නේ හවසටය.ඉස්සර නං ඉස්කෝලෙ ළමයි උදේටත් දවල්ටත් නියර දිගේ ඉස්කෝලෙට ගියත් වෙල්යාය පාළුවී නියරවල් කැඩී ගිය පසු කවුරුවත් නියරෙන් ඉස්කෝලෙ යන්න එන්න අපොරොන්දුය. ඊටමත් තාම ඉස්කෝලෙ ඇරී නැත.ඉස්කෝලෙ බැල් එක වදිනවා මෙතනට ඇහෙන්නේ කණේ තිබ්බාක් මෙනි.පාඩමක් අවසානයේ බැල් තුනකි ටිං ටිං ටිං ,විවේක කාලයේ බැල් එක ටිකක් දිගය,ඉස්කෝලෙ ඇරෙනවිට ගහන බැල් එක ඊටත් දිගය.ටිං ටිං ටිං ටිං ටිං ටිං ගහගෙන ගහගෙන යයි.හරියට ගුණපාලයා වගේම  නොවේදැයි සිතූ ඇයට බකස් ගා පිටවූ සිනාව නවත්වා ගත්තේ බොහෝ වෑයමෙන් ගුණපාලයෑ උරිස්සේ මුව සඟවාගෙනය.අසළ අකුළේ රැහැයියෝ වැරදමා කෑගසති. ඌයි, ගෙළ මුල සියුම් වේදනාවක් දැනී ඇය ඇසැර බැලුවාය.ගුණපාලයාගේ දත් පහරක් වෙන්නට ඇත.ඌ  සිය ආවේගයන් තම සිරුර මත සිත්සේ පිටකරහරී .

ගුණපාලගේ ග්‍රහණය දැඩිවනවාත්  සමගම ඇගේ යටිකය තුළට උණුසුමක් දැනුණි. එතෙක් දැඩිව තිබු ගුණපාලගේ ග්‍රහණය ටිකින් ටික බුරුල්වී අවසන ඌ සිරියාවතී අතහැර ඇගේ පසෙකින් බිම වැතිරී හැති හලන්නට විය,අවකාශයට විවෘතවූ නිරාවරණ කය වසාගන්නට කඩිනම්වූ සිරියාවතී බිම අතගාමින් චීත්තය සෙව්වාය.ගැලවී,කැඩී,ලිහී,පොඩිවී,විසිරී ඇති සියල්ලම සකසා පිළිවෙලක් කර ඇඳගත යුතුය.ගුණපාලයාට නම් එච්චර කරදරයක් නැත.යකිනාරං පඳුර පාමුල තිබු සරම සොයාගත් ඌ එය ගසා ඇඳගෙන සිරියාවතී ඇඳුම් සකසා ගන්නා තුරු ඉවසිල්ලෙන් බලා සිටියේය.මේ තියෙන්නෙ හපංකම! සිරියාවතී හැට්ටය මඳක් මෑත්කර රත්පෑ වූ තැනක් ගුණපාලට දැක්වූවාය.කෝ බලන්න!ගුණපාල නැගිට සිටියේ එතැන හොඳින් බලාගනීමටය. නෑ නෑ ඔය ඇති මොකෝ බලල බේත් කරන්නයැ !ඇය ගුණපාලට රැව්වත් දෑසේ සිනාවක් විය.බොහෝ වේලාවකට පසු හමුවූ දෙදෙනාගේ දෑස්  එකට පැටලී කියාපෑවේ එය දෙදෙනාටම ඉතා සොඳුරු හෝරාවක් වූ වගකි.නැගී සිටි ඌ සිරියාවතීගේ හිසකෙස්වල පැටලී තිබූ පරඬැලක් අතින් පිස හැරියේය. 

හ්ම්...එහෙනං මම යන්නද?

පොඩ්ඩක් ඉඳිං...සිරියාවතී  එක්වරම ගුණපාල දෙස හැරී බැලුවාය.

උඹට තාම කරදරයි නේද?

ඒව නං මොකට කියනවද? ඇය කතාකළේ බිම බලාගෙනය.

ඉතිං ඔච්චර දුක් විඳින්නෙ අහවල් එකකටද? වරෙං මගෙත් එක්ක යන්න,උඹට දාල යන්න බැරි දෙයක් නෑනෙ ...ගුණපාලට සිරියාවතී ගැන මහත් ස්නේහයක් හා දුකක්ද එකවර දැනුණි.

කොහෙ යන්නද?

හත්කෝරළේ, අපේ ගමේ...

ගිහිං...

වත්තක මුර වැඩක් වත් හොයා ගන්න බැරුවයැ,දැන් ඒ වගේ රස්සාවල් හරියට තියෙනවා...

කතා කරන්නට පෙර සිරියාවතී බලාගත් අත බලාගත්වනම බොහෝ වේලාවක් සිටියාය.

ඔය ජිනදාස උඹ වගේ ඇහුරුම්පැට්ටුමට වැඩ කටයුතු කරන්න දන්න එකෙක් නෙවෙයි,අඩු තරමෙන් ඌ වතුර කේතලයක් පස්සගන්න වත් දන්නෙ නෑ!ඇගේ කටහඬ බරවී තිබුණි.

මම ගියොත් ඌ සුදහගින්දරේ,අනික මගේ පව් උඹ කරගහන්නෙ අහවල් එකකටද? මට පුලු පුළුවන් වෙලාවට මේ වගේ උඹව හම්බවෙන්න එන්නං... සිරියාවතී කතාකළේ ඈත බලාගෙනය.ගුණපාල නිහඬව අසාසිටී. දඩාං හඬින් අසළ ගසකින් කුරුම්බාවක් බිම ඇදවැටී හතරට පහට පැලී වතුර විසිවනු ඌ බලාසිටියේය.

මං යනවා...සිරියාවතීගේ කටහඬ ඔහුට ඇසුනේ ඈත ලෝකයකින් එන හඬක් මෙනි.  ඈ පොල්ලතු මිටියත් ඇදගෙන වත්ත කෙළවරේ අඩි පාරේ වංගුවෙන් හැරී නොපෙනී යන තුරුම ගුණපාල බලා සිටියේය෴

ප.ලි.
පසුගිය පෝස්ටුවට මවිසින් පළකරන ලද පිංතුරය ගැන කීප දෙනෙක්ම ප්‍රශංසා මුඛයෙන් කතා කර තිබුණි.එම පිංතුරය මවිසින් ගන්නා ලද්දේ බිරිඳගේ සුන්දර ගමේදීය.ඇත්ත වශයෙන්ම එය ඔවුන්ගේ වත්තේ කෙළවරය.වත්ත කෙලවර වන තැන අලංකාර ගල්තලාවක්ද ගල මත බෝ ගසක්ද ගලට පහළින් සිලි සිලි ගාමින් ගලා බස්නා දොළ පහරක්ද වෙයි.දොළ පහරට ඔබ්බෙන් වෙල්යායය.වෙල්යායට ඔබ්බෙන් ඈත පෙනෙන නාන ළිඳකි.ඇගේ නිවසට ගිය සෑම දිනෙකම එම ගල මත හිඳගෙන දොළ පහරට දෙපා ඔබාගෙන ඒ සුන්දර පරිසරයේ රස විඳගන්නට මම  අමතක නොකරමි.

පසුගිය දවසක බිරිඳගේ නිවෙසට ගිය විට මම හැලපැට්ටාද කැටුව වත්ත පහළට ගොස් පිංතූර රැසක් ගත්තෙමි.හැලපැට්ටා විසින් ගන්නා ලද අපූරු පිංතූර බොහොමයක් පළකිරීමට අපහසුවී ඇත්තේ ඒවායේ මා පෙනීසිටින බැවිනි.ආපසු එමින් ගමන අපි දෙදෙනා වත්ත පහළ කැලෑවට වැවී ඇති ගස්වලින් ඇඹුල් පේරද ගස්යට වැටී පැළවුනු පැළකජුද රස වින්දෙමු.හිඹුටු වැල් ඌ දැක්කේද එදාම විය යුතුය.මේ සුන්දර පරිසරය තව කෙතෙක් කල් ආරක්ෂාවී තිබේදැයි මට කීමට නොහැක.කෙසේ වුවද ඒ සුන්දරත්වය හැලපැට්ටාට නොමඳව අත්විඳගැනීමට සලස්වන්නට හැකිවීම ගැන මා බොහෝසේ සතුටුවෙමි.කෙසේවුවද පිංතූර වලින් ඒ සුන්දරත්වය දැක වර්ණනා කළ ඔබද ඒ පරිසරය අත්විඳීම මට ඊටත් වඩා සතුටකි.

Sunday, May 24, 2015

අලුත් ගහේ අඹ



අව් රැල්ලක් වැටුණේ දවස් තුන හතරකට පසුව නොවේදැයි ඇළ පහළට යන ගමන් සිරියාවතී කල්පනා කළාය.සිරියාවතී ඇළට ආවේ පොඟන්නට දමා තිබු පොල්ලතු ටික ගොඩදමන්නට වුවත් පහුගිය ටික දොහේදී ඇලේ ගළාගිය මහ වතුර කඳ නිසාවෙන් පොල්ලතු මිටිය  බැඳ තිබු ලනුවත් කඩාගෙන ගහගෙන ගිහිල්ලාය.ඇළ අයිනේ තැනින් තැන රැඳී තිබුන පොල්ලතු ටික ඔක්කොම එක දෙක හොයාගෙන එක තැනකට ගොඩ ගැසූ සිරියාවතී ඒ පොල්ලතු  වැලකින් ගැට ගසාගෙන නියර දිගේ උඩට ඇදගෙන එන්නට ගත්තාය.ඇලේ දාගෙන ඇදගෙන එන්නට තිබුනා නම් වඩා පහසුය.ඒත් පහුගිය වතුරට ඇලේ තැන තැන ගොඩ ගැසී ඇති වැලි කඳු නිසා අඩිය තියා ඉහළට එන්නට අමාරුය.

ගොඩදාගන්න තිබුන නං අපූරු වැලි ටික!සිරියාවතී හිතුවාය.ලෑම් මාස්ටර් දෙක තුනක් කිසි කරදරයක් නැතුව ගොඩ දාගන්න පුළුවනි!ඒත් කුසිකර්මයා ?ඇයට ගමේ කෘෂිකර්ම සහකාරයා සිහිවිය.පහුගිය සුමානේ සිරිපාල ගොඩ දමා තිබු වැලිගොඩ  කුසිකර්මයා ඇවිත් පයින් ඇන සීසීකඩ විසිරෙව්වේ හරක් වටයක් පැන්නාහේය. ඌට සීල් බෝතලයක් දුන්නනං බැරි අමාරු තහනං වැඩ ඔක්කොම කරගන්න පුළුවන්!සිරියාවතී කල්පනා කළාය.

විනෝදයට වගේ ජාරුවේ වී කුරුණි හත අටක කුඹුරක් වැඩකරන අනුර මහත්තයා හොඳ බෝතලයක් අතටදී අයියාව කුසිකර්මයාගේ ගෙදරට පිටත් කළේ පෝර පෝමිට් එකක් හදාගන්නටය.අනුර මහත්තයාගේ කුඹුර කුසිකර්මයාගේ වසමේ පොතේ රෙජිස්ටර් උන කුඹුරක් නොවේ.අයියා යනවිට කුසිකර්මයා මිදුලේ මල් පැළවලට වතුර දමමින් සිටියේය.පලබරවූ මාළුමිරිස් පාත්ති දෙකතුනක්ද කරල් එල්ලා හැලෙන වැටකොළු  හා මෑ පන්දලම් කීපයක්ද ගෙට පැත්තකින් විය.

ආ අයියේ, මොකෝ උදේම මේ පැත්තෙ...

මෙන්න මේ අපේ අනුර මල්ලිගෙ පණිවිඩේකට ආවා...

ගෙනාපු සීල් බෝතලේ සාලේ ටීපෝවක් උඩින් තියමින් අයියා කීවේය.ගෙට ආ කුසිකර්මයා කාරණය අසා  උගේ වසමට අයිති වැඩ නොකරන අක්කර දෙකක කුඹුරකට පෝර පෝමිට් එකක් ලියා සීල් ගසා එවෙලේම අයියා අතට දුන්නේය. අනුර මහත්තේල යමක් කිව්වහම අපි සලකන්න එපායැ! යි කියූ කුසිකර්මයා මෙන්න මේකත් මං දුන්න කියල මහත්තෙයට ගිහිං දෙන්නකො! කියමින් මිදුලේ ගහෙන් කඩාගත් රතු ජම්බෝල ගෙඩියක්ද අයියා අතට පත්කළේ ආයෙම උවමනාවක් උනොත් ඇවිත් කියන්න ඕනෑ!යි කියමිනි.එදා කන්නේ කුඹුරට දෙසැරයක් පෝර ගසාත් කුණු කොල්ලෙට ලැබුණු පෝර තව මහගොඩක් ඉතුරු වුනි.ඉතුරුඋන පෝර වත්තේ වෙනත් ගස්කොළන් වලටත් කොහිල කොටුවටත් දැම්මේ කුසිකර්මයාගේම උපදෙස් අනුවය.මේ කතාව හාල්  පොලන්නට අනුර මහත්තේලෑ ගෙදර ගියපු සිරියාවතීට කිව්වේ අනුර මහත්තෙයාගෙ නෝනාය.

ඡන්ද කාලෙදී පළාතේ දේශපාලකයා  දීපු ජනාදිපති සම්බන්දීකරන ලේකම් කියා උගෙ පින්තුරෙ අලෝපු අයිඩින්ටියකුත් කුසිකර්මයා ළඟ ඇති නිසා ඌ පොලීසියට තියා කාටවත් බය නැත.කට්ටිය එකතුවෙලා බොද්දි බඩු මදි උනොත් ගේන්න යන්නට ඉදිරිපත් වෙන්නෙත් කුසිකර්මයා ය.කොල්ලන් එකතුකර දෙන මුදල සාක්කුවේ දාගන්නා කුසිකර්මයා හිස් බෝතලද මල්ලකට දාගනී.ලැයිසන් ඉන්සුරන්ස් කොළ මොකුත් නැති සයිකලයක් සැර දාගන්නා ඌ හෙල්මට් ද නැතුව ටවුම මැදින් ගොස් බාර් එකෙන් අරක්කුද මුස්ලිම් හෝටලෙන් වඩේද අරගෙන කිසි කරදරයක් නැතුව ආපහු පැමිණ මල් මල් හිනාවක්ද පාන්නේ ඔන්න අපේ වැඩ බලපල්ලා! කියන විලාසයෙනි.රටේ තැනින් තැන ඡන්ද තියන කාලයට උන් කාණ්ඩයක් ඒ ඒ පළාත්වලට යන්නේ පළාතේ දේසපාලකයාගේ වචනයටය. ඒ ගිහිං ඇවිත් ඡන්ද තිබ්බ පැත්තේ කරපු රාජකාරි බඩු බෙදපු හැටි දේසපාලකයා උන්ට සලකපු අපූරුව අනුර මහත්තෙයා එක්ක උජාරුවෙන් කියනු සිරියාවතී අනුර මහත්තේලෑ කුස්සියේ සිට අසා සිටියේ වරක් දෙවරක් නොවේ.

උන් එක්ක හැප්පෙන්න අපි කවුද? සිරියාවතී සිතුවාය.බෝතලයක් ගන්න සල්ලිවලින් ගෙදර උන්ඩ දෙවේලක් කන්න දෙන්න පුළුවනි! නියර ඉහත්තට ආ සිරියාවතී පොල්ලතු මිටියද ඇදගෙන ඇළෙන් මෙගොඩට පැන ගහක් මුල ඉඳගත්තේ හැතිය නිවෙනතුරුය.තරමක වතුර තිබහක්ද දැනුනත් ගෙදර ගොහින් බීවොත් මිසක බොන්නට වතුර උගුරක් හොයාගන්නට තැනක් මේ සාවියේ නොමැත.සීතල සුළඟක් වෙල්යාය පැත්තෙන් හමා ආවේ දාහය නිවන්නට මෙනි.මුදුන්වෙන්නට ආසන්න ඉරද වලාකුළු වලින් වැසී ඇත.අදත් හවසට වහීවි යැයි ඇය සිතුවාය.ඇළ ඉහත්තාවේ දෙපස පිහිටි ගහල ගොල්ල සෙලවෙන හඬ ඇසී ඒ දෙස හැරී බැලු ඇයගේ මුවගට සිනාවක් නැගුණි.ගහල ගාල පසාරු කරගෙන පහළට එන්නේ ගුණපාලයාය.

මුහුණ පුරා බාගෙට වැඩුණු දැලි රැවුල් ඇති හැඩිදැඩි ගුණපාලයා රස්සාවට පොල් ලී පැලුවේය.රස්සාව නොකරන වෙලාවට ඇළ ඉවුරු දෙකේ සරුවට වැඩී ඇති ගහල කොළ ගාලෙන් කොළ කඩා මිටි බැඳ ටවුමේ මස් කඩයටද මාළු ලෑල්ලේ වෙළෙඳුන් කීප දෙනාටද සැපයුවේය.ලැබෙන මුදලට අමතරව  මස් මාළු ටිකක්ද ඒ තැන්වලින් ඔහුට ලැබුණි. මුවහත් උල් පිහියක් ඉණේ ගසාගෙන සිටියද ගුණපාල කොළ කැඩුවේ අතින්ය.ඔහුගේ අත් දෙකම ගහල කහටින් රත්පැහැ ගැන්වී තිබුණි.ගහල කොළවලට අමතරව ඔහු ඇළ දෙපස වැවී ඇති කොහිල දළු මුවහත් පිහියෙන් සීරුවට කපා මිටියකට බැඳගනී.එය කාගේ හෝ ගෙදරකට විකුණා ලබාගන්නා මුදලින් හවසට කසිප්පු අඩියක් ගැසීම ඔහුගේ සිරිත විය.පොඩි අඩුපාඩුවකට තිබුනේ ගහල පඳුරු තරම් ඉක්මනින් කොහිල පඳුරු නොවැවෙන එකය.ඒ හේතුවෙන් ගුණපාලට හැමදාම කපාගන්නට තරම් කොහිල දළු ඇළ දෙපස නොතිබුණි.

තව ටික වෙලාවකින් ගුණපාලයා මෙතන පහුකරගෙන ඇළ පහළට යනු ඇත, ඌ තාම තමන්ව දකින්නට නැතැයි සිරියාවතී කල්පනා කළාය.ඒ සමගම ඇයගේ සිතට නැගුනේ මීට ටික දවසකට පෙර සිදුවූ සිද්ධියකි.දවල් කෑමට මැල්ලුමකට ගොටුකොළ මිටක් කඩාගන්නට වත්තට දිව ආ සිරියාවතී ඇළ අයිනේ ගොටුකොළ නෙලමින් සිටියදී ගහල කොළ කඩමින් ඇළදිගේ පහළට ආ ගුණපාලයාව ඇය එක්වරම දුටුවේ නැත.

පළා කඩනවද බං...

සිරියාවතී තිගැස්සී පසුපස බැලුකල සිනාවෙමින් මහබඹා සේ හිටගෙන සිටියේ ගුණපාලයාය.වටපිට බැලු ඌද එතැනම හිඳගෙන ගොටුකොළ කඩන්නට විය.

උඹටත් මැල්ලුම් කන්න හිතිල වගේ...

නෑ නෑ මං මේ උඹට දෙන්න කැඩුවා...

පළා මිටියද රැගෙන ආපසු යන්නට සැරසුන සිරියාවතීට අසල අගලක තිබී අවුලාගෙන  ඇවරි ගසා එකට ගැටගැසූ පොල්ගෙඩි දෙකක්ද  ගුණපාල විසින් ලබා දෙන ලදී.සිරියාවතිට ගුණපාල කෙරෙහි මහත් පැහැදීමක් ඇතිවුනේ එදිනය.යකා වගේ හිටියට මනුස්සකං දන්න එකා! සිරියාවතී හිතුවේ එහෙමය.ඒකට අපේ ජිනදාසයා,සිරියාවතීට මතක්වුයේ ඇගේ මිනිහාය.ඌ රෑ දෙගොඩහරියක් වනතුරු කසිප්පු පොලේ වැටී කණමදයා මෙන් බීගෙන ගෙදරවිත් දොරට තඩිබායි.දොර හැර ජිනාව ගෙට ගන්නා සිරියාවතී ආපහු පැදුරේ වැතිරී නිදන්නට ගනී.මොන නින්දක්ද?ජිනා  බිම නිදන සිරියාවතීට පයින් ඇන ඇහැරවා ඇඳ උඩට ගෙන පාන්දර ජාමය වෙනතුරු දසවද දෙයි.ඌට බඩගිනි වෙන වෙලාවට කෑම ඉදී නොතිබුනොත් සිරියාවතීට දෙයියන්නේම පිහිටය.බලු බැනුම් බනිමින් දිවඑන ජිනා සිරියාවතීගේ කොණ්ඩ වල්ලෙන් අල්ලා එළියට ඇදගෙන ඇවිත් මිදුලට විසිවන්නට පයින් ගසයි.සිරියාවතීගේ කල්පනාව බිඳුනේ ගුණපාල ඇළෙන් ගොඩ එන හඬින්ය.

මොකෝ බං බාවනාවක් වගේ මං ඈත ඉඳන්ම බලං හිටියෙ...

මොන බාවනාද මං මේ පොල්ලතු ටික ඇදන් ඇවිත්  දාඩිය නිවෙනකල් ඉඳගෙන හිටියා...

අතේ තිබු පිහියෙන් පිට කසමින් මොහොතක් ගතකළ  ගුණපාල කනේ ගසාගෙන තිබු බීඩියක් අවුලාගෙන නිවී සැනසිල්ලේ දුම් අදින්නට විය.වත්ත ඉහත්තාවේ ඇළ අයිනේ ඇති අඹගස ඔහුට පෙනේ.ගහේ තැන තැන අඹ  පළගෙන වලු එල්ලී  ඇත්තේ බල්බ් එල්ලුවාක් මෙනි.පොල්ලක් ගැහුවොත් ගෙඩි තුන හතරක් බිම වට්ටවා ගත හැක.එක්වරම තීරණයක් ගත්තාක් මෙන් ගුණපාල නැගිට සිටියේය.

මං යනව බං...

ඒ කොහෙද?

අඹ ගෙඩියක් කඩාගන්න යනවා...

සිරියාවතීටත් අඹ කන්නට ආසාවක් ඇතිවිය.අඹගහ ඇත්තේ ගල ඉදිරිපිටය.ඒ කළුගලත් සමග බැඳුනු බොහෝ අතීත මතකයන් සිරියාවතී සතුය.කුඩාකල සිරියාවතීගේ වයසේ සිටි කොළු කෙල්ලන් හැමෝම  සෙල්ලමට එකතු පහද උනේ ගල ළඟය.බොහෝ කලෙකට ඉහතදී බෝර ගසන්නට තැත්කළ සලකුණු කීපයක් කළුගලේ විය.ඒ තැන්වල ආසනවල මෙන් වාඩිගන්නට හැක.ගල ඉහත්තාවේ ඇති මහ හුඹහට ඔවුන් ලංවුනේ වත් නැත.ගල ඉදිරිපිට ඇළ අයිනේ ඇති කොට්ටං ගහේ බිම වැටී ඇති ගෙඩි අවුලා ගවුම බොක්ක ගසා පුරවා ගෙනැත් ගල උඩ තබා තලා මද කෑ හැටි ඇයට සිහිවිය.දැන් එය අතුපතර නමා වැටී ඇති දැවැන්ත කොට්ටං ගසකි. බලු දං,කොහුකිරිල්ල පමණක් නොව සරුවට හැදී තිබු ඇඹුල් පේරද ඔවුහු සිත් පුරා කෑවෝය.ඒත් මෙතන අඹ ගහක් තිබුනාදැයි ඇයට මතකක් නැත.පැළයක් තියෙන්නට ඇති!කාගේවත් ඇල්මක් බැල්මක් නොමැතිවීමෙන් ගල අවටපිට වල් වැදී ඇත.ගල නොපෙනෙන්නටම වැඩුණු මහ නාඹිරිත්තා ගාළකි.සරුවට වැඩුණු නාඹිරිත්තා වැල අහළ පහළ ගස්වැල් සියල්ලම පරදවා ඉහළට විහිදී අඹ අතුවලද කොට්ටං අතුවලද වෙළී ඇත්තේ වියනක් බැන්දාක් මෙනි.කොට්ටං ගහේ සිට ඇදී ආ දෙමළ වැල් ගොන්න ඊට ඉහළින් විහිදී යැයි.රතු පැහැ ගත් නාඹිරිත්තා මල්ද සුදු පැහැ දෙමළ වැල් මල්ද සුළඟට සෙලවෙන විට මල් වියනක් බැන්දාක් මෙනි.වෙලේ උලාකන හරකුන් ඇළෙන් ගොඩට එන මංකඩ උමගක් මෙන් විවරව ඇත.ඇත්තෙන්ම එය අපුරු හෙවනක් සහිත බිංගෙයක් මෙනි.

අඹ ගෙඩි දෙකතුනක් ගෙනිච්චොත් වෑංජනයක් හදාගන්නට සෑහේ! සිරියාවතී නැගිට ගත්තාය. ගුණපාලයා ඈත සිට සිරියාවතී එන දෙස බලා සිටියේ අඹ වල්ලට ගහන්නට වැටමාර පොල්ලක් කඩමින්ය.දැන් ගෙඩි දෙක තුනක් කඩා මදිය, ඒකිට දෙන්නත් එක්ක යහමින් කඩන්නට වෙයි.ඌ පොලු කැඩිල්ල අතහැර දමා අඩියට දෙකට ගහට නැගගත්තේය.අඹගහ වැඩිය මහත දෙහෙත නැති ලාබාල ගසකි.පීදෙන්නට ඇත්තේ පහුගිය වාරයේ හෝ ඊට එපිටින් අවුරුද්දේය.සිරියාවතීට මෙන් මේ ගස්වල අක් මුල් ගැන දැනීමක් හෝ අතීතයක් ගුණපාලයාට නැත. 

අතු අග අඹ වලුබරවී පළගෙන තිබුනත් හීන් අතු දිග යන්නට බැරිය.ගුණපාල අඹ අත්තකට පයින් අනිමින් හොලවන්නට විය.නැට්ටෙන් ගිලිහුණු අඹ දඩ දඩස් හඬින් නාඹිරිත්තා වැල් ගොල්ලටද කොට්ටං ගහමුලටද ඇළටද පතිත වන්නට විය.සිරියාවතී දුව පනිමින් අඹ අහුලන්නට වුවාය.තවත් අත්තකට පයින් ඇන පැහුණු අඹ වල්ලක් බිම දැමු ගුණපාල ගසෙන් බසින්නට විය.ගහමුල වැටී තිබූ අඹගෙඩියක් අහුලා ගන්නට බිමබලාගෙන දිව ආ  සිරියාවතී එකෙනෙහිම බිමට පය තැබූ ගුණපාලගේ ගැටී විසිවී වැටෙන්නට යත්ම වහා නැඹුරුවූ ගුණපාල සිරියාවතී අල්ලා වත්තම් කරගත්තේය.උගේ දෑත් යකඩ බඳු යැයි සිරියාවතී සිතුවාය.අතේ වත්තම්වී හිටගන්නට තැත් කරමින් හිස ඔසවා ගුණපාලගේ දෑස් දෙස බැලු ඇය එක්වරම බිම බලාගත්තේ උගේ ඇස් දිහා කෙලින්  බලන්නට බැරිකමක් ඇතිවූ නිසාය.කෙළින් හිටගෙන ඉන්නට බැරි පණ නැති ගතියක් දනිස්වලට දැනෙන්නට ගත්විට  ඇය ගුණපාලයාගේ ඇඟටම වාරුවුවාය.එක්වරම අතේ තිබූ අඹ පැත්තකට වීසිකළ ගුණපාලයා සිරියාවතීගේ අවනත සුමුදු බඳ වැළඳ ගත්තේය෴

වැඩේ ටිකක් දිග දුර ගියා තවත් කොටසකට යන්න වෙයි වගේ.....

Wednesday, May 6, 2015

අපේ වෙසක් සැරසිල්ල, හැංගිමුත්තං, නම් පටබැඳීම සහ තවත් කතා



අවුරුදු ඉවරවෙලා  වෙසක් මාසෙත් ආපි.අවුරුදු මාසෙ පුරහම කොහායි,කජු වලුයි,ඔන්චිල්ලායි පෙන්නපු ටී වී චැනල් මැයි මාසෙ ආ ගමන්ම වෙහෙරක් හරි බෞද්ධ කොඩියක් හරි අටපට්ටමක් හරි බුදු පිළිමයක් හරි මල් වට්ටියක් හරි දාගන්නවා.ඉතිං වෙසක් සමය කියන්නෙ බුද්ධාලම්බන ප්‍රීතිය ඉස්මතු වෙන පරාර්ථකාමය ඉහවහ යන කාලසීමාවක් නිසාවෙන් වෙසක් සම්බන්ධ මගෙ අත්දැකීම් කීපයකුත් ලියන්න හිතුනා.ආ ඊට කලින් තවත් දෙයක් කියන්න තියෙනවා.වෙසක් උත්සවයට බෙග් මාස්ටර්ගේ බුද්ධං සරණං ගච්ඡාමී සිංදුව වගේ අනන්‍ය වෙන වෙනත් සිංදුවක් ගැන හිතලවත් තියෙනවද?ඒ සිංදුව ඇහෙද්දී නිකං වෙසක් ගතිය ඇඟට එනව නේද?අනික ඒ සිංදුව නැති වෙසක් නිකං වෙසක් නෙවෙයි වගේ නේද?පොඩ්ඩක් හිතල බලන්නකො.

අපි තරුණයො කණ්ඩායම ඉස් ඉස්සෙල්ලම විශාල ප්‍රමාණයේ වෙසක් සැරසිල්ලක් හැටියට සිරීපාද ආකෘතිය  හදපු කතාව මම මීට කලින් ලිව්වා.ඊට පස්සෙ අවුරුද්දෙ අපි හැදුවෙත් සිරීපාදෙ ආකෘතියක්මයි.කලින් සැරේ අපේ වෙසක් සැරසිල්ල බලන්න ආපු සෙනග කන්දරාව දැකල හුල්ලපු ගමේ කීප දෙනෙක් ගහගෙන යන වතුරෙන් දිය දෝතක් ගන්න කියල හිතාගෙන තුංමං හංදියේ කොස් ගහ යට හා ඩේවිට් අයියගෙ පොඩි ඉඩම් කෑල්ලෙ මඩුවක් ගහල ඇටසැකිලි රංගනයක් පෙන්නුවා.මේ ඇටසැකිලි රංගනයට නම දාල තිබ්බෙ ෂැඩෝස් ඔප් ද වයිට් මෑන් කියලයි.සිරීපාදෙ පෙන්නපු අන්තිම දවසෙ ඔය ඇටසැකිලි මඩුවෙ විසාල ගෝරියක් ඇතිවුනා.මඩුව ඇතුලෙ කෙල්ලෙක්ගෙ අතින් ඇද්දද මොකද්ද සිද්දියකට පිටින් ආව කට්ටියක් මඩුවත් කඩල මඩුවෙ සංවිධායකයන්ටත් ඇතිවෙන්න නෙලල ගිහිං තිබුනා.ඒ නිසාම අපි එදාසැරේ  ඔය මඩුව තිබ්බ තැන සිරීපාදෙ කාර්යාලය ඉදිකළා.

දෙවෙනි සිරීපාද ආකෘතියත් කරදරයක් නැතුව පෙන්න ගත්තා.කියන්න විශේෂත්වයක් ඇත්තෙත් නෑ.හැබැයි පළවෙනි එක තරම්ම සකිලයක් නෑ.මොකද කිව්වොත් අපි හැදුවට කොච්චර හොඳ උනත් එකම දේ දිගින් දිගටම බලන්න මිනිස්සු කැමතිත් නෑනෙ.ඒ නිසා ඊළඟ අවුරුද්දෙ වෙනස්ම මාදිලියක වෙසක් සැරසිල්ලක් හදල පෙන්නමු කියල කට්ටියම සිරීපාද ආකෘතිය ගලවන ගමන් කතාවුනා.එදා ඉඳන් සති ගණනාවක් යනතුරු කට්ටිය එකතු වෙලා නිල සහ නිල නොවන සාකච්ඡා වට ගණනාවක් පැවැත්තුවා.ඒ ඊළඟ අවුරුද්දෙ හදන වෙසක් සැරසිල්ල කුමක් විය යුතුද ගැන තීරණයක් ගන්නයි.අවුරුදු දෙකක්ම සිරීපාදෙ පෙන්නල ලාබෙ හැටියට එකතු වුන යම්කිසි මුදලකුත් අතේ තිබුන නිසා ප්‍රාග්ධනය සම්බන්ධයෙන් කලින් වගේ කරදර වෙන්න තත්ත්වයක් ඇතිවුනෙත් නෑ.සාකච්ඡා කරල, තර්ක කරල, රණ්ඩු වෙලා, බැනගෙන,තරහවෙලා,යාලුවෙලා අන්තිමට වෙසක් සැරසිල්ල ගැන එකඟතාවකට ඇවිත් ඊළඟ අවුරුද්දෙ යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාකරන අපාය ආකෘතියක් ඉදිකරන්නට  ඒකමතිකව  තීරණය වුනා.

තීරණේ ගත්තට මදි.එවෙලෙ ඉඳන් පෙන්නන දවස වෙනතුරු එක හා සමානවම කට්ටියම මහන්සි වෙන්නට වෙනවා.නැත්නම් වෙලාවට වෙසක් සැරසිල්ලේ වැඩ ඉවර කරන්නට ලැබෙන්නෙ නෑ.අනික සිරීපාදෙ ගහනව වගේ නෙවෙයි මේ අපායෙ කරන්නට වැඩ අටෝරාසියකුත් තවත් ටිකක් තියෙනවා.මූලිකවම  ඉස්තානයක් හොයා ගන්න,මඩුවක් හදන්න පුවක් ගස් හොයන්න පොල්අතු හොයන්න ගමේම ගෙවල්වල තියෙන පරාල ටික එකතු කරගන්න ආදී වශයෙන් වැඩ ගොඩයි.සුබ නැකතක් බලල සරසපු කිරි අත්තක් පොල් ගෙඩි දෙකක් එක්ක හිටවල පොඩි මහින්දලගෙ කඩේ ඉස්සරහ කෑල්ල ඒ කියන්නෙ පෝටවත්තෙ විනී මහත්තයගෙ කොටසෙ අපේ වැඩේ පටන් ගත්තා.එතන හැම අතින්ම ලේසියි.සමබිම ඒ වගේම ජයබිමක් කියලත් පස්සෙ දැනගත්තා.දැන් කට්ටිය කණ්ඩායම් වශයෙන් බෙදිලා වැඩ කරගෙන යනවා.එක කණ්ඩායමක් මඩුව හදනව තවත් කණ්ඩායමක් අවශ්‍ය රුප හදනව තවත් ටිකදෙනෙක් රූප වැඩකරවන්නට අවශ්‍ය තාක්ෂණය ආදී වශයෙන් මුලික වැඩ පටන් ගෙන තිබුණා.

 ඒ වෙනකොටත් මාව අපේ තරුණ සංගමයේ නිවේදකයා වශයෙන් ඒකමතිකව පත්කරගෙන තිබුණ නිසා මම මේ එක කණ්ඩායමකටවත් අයිති උනේ නෑ.ඒකමතිකව පත්කරගත්ත කිව්වෙ ඇත්තටම මේ වැඩේට කරගහන්න වෙනත් කෙනෙක් හිටියෙම නෑ.ගමේ  එල්ලේ මැච්වල නිවේදනය කරල ඊළඟට සිරීපාද දෙකකත් නිවේදන කටයුතු කරපු නිසාම වැඩේට මාව කලින්ම පත්කරගෙන තිබුණා.ලූලා නැති වලේ කනයා පිනුම් ගහනව වගේ මමත් ලැබුණ තනතුර සතුටින් බාරගත්තා.ඉතිං මුලිකවම මගෙ වගකීම උනේ වෙසක් සැරසිල්ලට අවශ්‍ය කරන ප්‍රචාරය ලබාදීමත් සැරසිල්ලේ නිවේදන කටයුතු කිරීම නිසාත් ඒ වැඩවලට තව සෑහෙන කලක් තිබුණ නිසාත් මම තියෙන හැම වැඩකටම පාහේ උදව් කළා.අපි වැඩියම කැමති උනේ එක තැනකට වෙලා වැඩ කරනවට වඩා වැඩට අවශ්‍ය බඩු බාහිරාදිය සපයන්නටයි.

සැරයක් රීප්ප හොයන්න යනවා තව සැරයක් ඇණ ගේන්න යනවා ඔය විදියට එක සැරේ කරගෙන එන්න තියෙන වැඩ දෙකකට දෙසැරයක් යනවා.බ්රේක් නැති මළකඩ කාච්ච කබල් සයිකල් වල නැගල රූං ගාගෙන එහෙට මෙහෙට යද්දි ගමේ කෙල්ලො වීරයො දිහා බලනව වගේ අපි දිහා බලන්න පටන්ගෙන තිබුණා.ඒ දවස්වල පැඟිරි වයසෙ කෙල්ලො සැට් එකකුත් ගමේ හිටියනෙ.ඔවුන් ටික අපි එකිනෙකාව බෙදාගෙන තිබ්බ කියලත්  පස්සෙ දැනගත්තා.එහෙම තමයි කෙල්ලන්ගෙත් කසන වයසනෙ.අනික අපි ඔය කෙල්ලොත් එක්ක සෙල්ලං කරන්නත් ගිහිං තියෙනවනෙ.වැඩිපුරම කරන්නෙ හැංගිමුත්තං සෙල්ලම තමා.ඕ දහය විස්ස තිහ හතළිහ කියල හැංගි මුත්ත හැංගියෝ නොපෙනෙන තැනක හැංගියෝ කියල එහෙම හොයන එකාව තෝරගෙන හැංගෙන්න දුවනවා.හදිස්සියට හැංගෙන්න තැනක් නැතුව වටපිට බලන කෙල්ලෙක් එහෙම හිටියොත් අහුවෙන්නෙ නැතුව මෙන්න මෙහෙට එනවා කියල බොහොම බැරෑරුම් විදියට කියල කෙල්ලවත් ඇදගෙන රෝල් කරල තියෙන පැදුරු ගොඩක් අස්සට හරි මාගලක් අස්සට හරි රිංගගත්තම ආයෙ හොයනව බොරු.කෙල්ලත් අහුවෙයි කියල බයේ ඇදගෙන යන තැනට නිකම්ම එනවා.ඔය වගේ හැංගිමුත්තං සෙල්ලම කරපු එවුන් නං විස්තරේ දන්නවා ඇති.සෙල්ලම ඉවරවෙලා එළියට ආවට පස්සෙ කෙල්ල සැරින් සැරේ විදුලි කොටන්නා වගේ අර්ථ පූර්ණ බැලුම් හෙලනවා.සමහර කෙල්ලො කසාය බීපු ගොළුවො වගේ බැලුම් හෙලනවා.

කසාය බීපු ගොළුවො බලන හැටි දන්නවද?ඔන්න ගොළුවට අසනීප වෙලා කසාය බොන්න දුන්න කියමුකො.කසාය පට්ට තිත්තයි.කසායේ තිත්ත භාවය ගොළුවට කියාගන්න බෑ.ඒ වෙලාවට ගොළුවගේ මුණ කොහොම ඇද්ද?කසාය බීපු ගොළුව වගේ කියන්නෙ අන්න ඒකයි.ඒ උනාට සමහරවෙලාවට හැංගි මුත්තං සෙල්ලම නිසා කෙල්ලො කෙල්ලො නොරොක් වෙනවත් එක්ක.තෝ මොකටද බොල එයත් එක්ක හැංගෙන්න ගියෙ මමනෙ හැමදාම එයා එක්ක හැංගෙන්නෙ බොල පරට්ටියෙ තෝ ඒක දන්නැද්ද කියල එකියක් කියනකොට, හෑ තොගෙන් අහල හැංගෙන්න බලං හිටියෙ බැල්ලියෙ කියල අනික් එකී හැරෙන තැපෑලෙන් උත්තර බඳිනවා.එහෙම කොකු පටලෝ ගන්නත් ඔවුන් හරි දස්සයි.ඒ වෙලාවට ඔය රණ්ඩු අපට අදාළ නැති නිසා අපි හිමීට එතනින් මග ඇරල මාරු වෙනවා.කවුරු එක්ක හැංගුනාම මක්වෙනවද නේද?සෙල්ලං කරල රණ්ඩු වෙන්නෙ ගහගන්නෙ මොකටද නේද?අනික ඔය අපේ රණ්ඩු අපි හැංගෙන ගෙවල්වල වැඩිහිටියෙක් එහෙම දැක්කොත් දුවපියව් යන්ඩ ආව මෙතන අහුමුලු අස්සෙ රිංගන්ඩ,මුංඩ කාල තෙලේ වැඩිවෙලා.දුවපියව් ගෙවල්වලට කියල එලව ගන්නව නොවැ.ඒ සෙල්ලමේ තියෙන ගතිය උන් දන්නවැයි.

ඔය පරණ වැඩිහිටියොත් ඔහොම කියනව නොවැ.ඒ ගොල්ල සෙල්ලං ගමන් යනවා,සෙල්ලමේ යනවා කියන්නෙ විනෝද ගමන් වලටයි.මං හවස්කොරේ සෙල්ලමටත් එක්ක ඒ පැත්තෙ එඤ්ඤංකො කියල සීයල කියන්නෙ හවසට මම ජොලියටත් එක්ක එහෙ එන්නං කියන එකනෙ.සෙල්ලං නිරිඳු කියල රජ කෙනෙකුත් ඉඳල තියෙනව නොවැ.ඇයි සෙල්ලං නිරිඳු වඩිනා කුණ්ඩසාලේ කියල කවියකුත් තියෙන්නෙ.දැන්නං ඔය සෙල්ලම කියන එකට විවිධ අර්ථකතන දීල තියෙන නිසා කියවෙන්නෙම නැති ගානයි.අපි රාජ්‍ය පරිපාලනේ වැඩ කරන කාලෙ අපේ අංශෙ හිටපු වීරක්කොඩි කෙල්ලො ලඟට ගිහිං මම හවහට ඒ පැත්තෙ එන්නංකො සෙල්ලමටත් එක්ක කියනවා.කෙල්ලොත් අරින්නෙ නෑ,අනේ එහෙනං ආවෙ නැතුවට කමක් නෑ කියනවා.

ඉස්සර අපේ සීය මාත් එක්ක හවසට රජවත්ත පැත්තෙ යනවා.සීයගෙ මී හරක් බාන් කීපයක් මේච්චල් කරන්න වත්තෙ සීයගෙ හිතවත් කෙනෙකුට දීල තිබ්බා.හීයකට මැඩවුමකට හරක් උවමනා උනහම පණිවිඩේ කියන්න ගිහිං මැංගුස් කොටුවෙන් ගෙඩිත් කාල එහෙම ආපහු එනවා.එමින් ගමන කුරුළු පිහාටු අහුලන්න කොක්මොට කඩන්න එහෙම රජවෙළට පනින්න හැදුවට සීය බනිනවා.කූඩැල්ලො එල්ලගන්නෙ නැතුව මෙන්න මේ නියරට වරෙන් කියනවා.කූඩැල්ලන්ට නං මම කොහොමටත් බය නෑ.ඕක මොකද්ද සබන් පොත්තක් තියපු ගමන් වැටිල යනවනෙ.ඒ උනාට සමහරු නං වල් අලින්ට වඩා කූඩැල්ලන්ට බයයි.

ඔන්න දවසක්දා අපි වෙලේ එල්ලේ ගගහ ඉද්දි දරදරාං ගාල මහා සද්දක් ඈතින් ඇහුනා.හරියට පිට සක්වළ යානාවක් ඇවිල්ල වගේ.සද්දෙ ඇහුනෙ රජවෙළ පැත්තෙන් නිසා අපි කට්ටියම මෙලෝ සිහියක් නැතුව හැති මුනින් දාගෙන ගමේ එහා කෙරෝලේ රජවෙළට දිව්වා.සෙනග ඊස් මීස් නැතුව නියර දිගේ වෙලේ උඩහට දුවනවා.බැලින්නං කොල්ලෙක් වෙල හරහට යන 33000 ලයිට් ලයින් එකේ කණුවක උඩ එල්ලිලා ඉන්නව.එල්ලිලා කිව්වට වැටිල කණුවේ යකඩ කඳන් අතරෙ ඔලුව පහළට හිටින්න  හිරවෙලා,කොල්ලට සිහිය නෑ අත පය එහෙට මෙහෙට වනනකොට කරන්ට් කම්බිවල වදී කියල පහළ ඉන්න අම්මල  එපා කියල කෑ ගහනව,එක කම්බැල්ලෑවයි.වෙලා තියෙන්නෙ මොකක්ද කියල හොයල බලපුවම කොල්ලො කීප දෙනෙක් සරුංගල් අරින්න වෙළට ඇවිත් එකෙක්ගෙ සරුංගලේ ලයිට් කණුවේ පැටලිලා ඒක බේරගන්න කොල්ල ලයිට් කණුවට නැගල තියෙනව.සරුංගලේ ගන්න අත දික්කරද්දී ලයිට් කම්බියට අත ලංවෙනකොටම මහා සද්දෙකුත් එක්ක කොල්ල විසික්වෙලා ගිහිං කණුවේ පැටලිලා.කොල්ලට කරන්ට් වැදිල නෑ වැදුන නං ඌ එතනම අඟුරු වෙනවා.පස්සෙ විදුලිබල මණ්ඩලේට පණිවිඩ යවල ලයින් එකේ කරන්ට් කපල කණුවට නැගල කොල්ලව බේරාගත්තා.හොඳටම පිච්චිලා තිබුණ කියලයි විදුලිබල මණ්ඩලේ වැඩකරන සෝමෙ එහෙම කිව්වෙ, ඉස්පිරිතාලෙ ටික දවසක් තියල පස්සෙ ගෙදර ගෙනත් කෙහෙල් කොළ උඩ නිදිකරවල සිංහල බේත් කරල සනීප කළා.

ඌ එදා ඉඳන් කෙහෙල්කොළයා උනා.ඔහොම නං වැටුණු තව කීප දෙනෙක් වත්තෙ හිටියා.වත්තෙ කොණ්ඩ සාපින් මාමගෙ බාල කොල්ලට පොළොං තෙලිස්සෙක් කාල බොහොම අමාරුවෙන් ගොඩ දාගත්තා.එදා ඉඳල කොල්ලට පොළොංතෙලිස්සා කියල නම වැටුනා.තව පොඩි එකෙක් හිටිය මූ කළුම කළුයි.සුදු වෙන්න ගාන දෙයක් නැද්ද කියල ඔක්කොගෙන්ම අහනවා.කොල්ලො සොලිග්‍රෑම් ගාපිය කියල කළු දර්මයා කියපුහම  මු මුණේ පැත්තක සොලිග්‍රෑම් ගෑවා,සොලිග්‍රෑම් කියන්නෙ ලී වලට ගුල්ලො ගහනවට ගාන සැර බේතක් නොවැ.කොල්ලගේ මුණේ පැත්තක්ම හමගියා.එදා ඉඳල ඌ සොලිග්‍රෑම්. ඔය වගේනෙ අපේ කුවින්ටස් ට නම වැටුනෙත්.යකෝ මුට තාම නමක් දාගන්න බැරි උනානෙ කිය කියා හිටපු කොල්ලො දවසක් මොකද්ද එකකට කුවින් කුවින් කිවා.කුවින් හරියන්නෙ නෑ බං කුවින්ටස් කියපල්ල කියල මම කිව්වා.එච්චරයි.ඔන්න ඊට කාලාන්තරේකට පස්සෙ මම ටවුමෙ ඉඳන් ත්‍රීවීල් එකක ගෙදර එනවා.දහඅටේ කන්ද උඩදි මල්ලි ඔය තිලකෙගෙ  වැඩපොළ ළඟින් වමට හරවන්න කියපුවම  ත්‍රීවීල් කොල්ල මගේ මුණ දිහා බැලුවා.කවුද අයියෙ තිලකෙ කියන්නෙ?කොල්ල මගෙන් අහනවා.ඇයි මල්ලි ඔය වැඩපොළ දාගෙන ඉන්නෙ!ඒ කුවින්ටස් අයියනෙ! ගෙදර යනකල්ම  මට තනියෙන් හිනා.ආයෙ ඔන්න දවසක් අපි මැච් එකක.අපේ පැත්තෙ පොඩි එකෙක් ටොප් එකට සෙල්ලං කරනවා.මේ කොල්ලගෙ ළඟින් එහාට බෝලෙ යන්නෙම නෑ.මේකා ටොප් කොල්ලෙක්නෙ වෙනුජ හරියට මාලන් වොන්හාට් වගේ ෆීල්ඩ් කරනවනෙ.මම වෙනුජට කිව්වා.වෙනුජත් මගේ කතාව ඉතසිතින් පිළිගත්තා.කොල්ලගෙ නම රංජිත්.අපි ඒ වෙලාවෙ විහිලුවට ඌට මාලන් කීවා.කියල ඒ කතාව එතනින් අමතක කළා.ඒ සිදුවීමෙන් කාලාන්තරයකට පස්සෙ ඒ කියන්නෙ අවුරුදු විස්සකට විසිපහකට විතර පස්සෙ මම ඉන්දියාවෙ චෙන්නායි වල වැඩ කරන කාලෙ මට මංගල ආරාධනා පත්‍රයක් ලැබෙනවා.බලපුවම මේ අපේ කතානායකයාගෙ මගුල් කාඩ් එක.කාලෙ ගෙවිල ගිහිං පොඩි එකා තරුණයෙක් වෙලා දැන් රෙදිමෝලෙ වැඩ.කසාදයකුත් කරගන්න යනවා.මගුල් කාඩ් එක මෙහෙමයි. 
             
              සුමඟුල් ඇරයුමයි 
..........මහතාගේ සහ එම මහත්මියගේ දෙටු පුත් 
               රංජිත්(මාලන්)


වැඩපොළේ කිසි කෙනෙක් රංජිත් කිව්වට මේ කොල්ලව දන්නෙ නැතිලු.ඒ  නිසා මගුල් කාඩ් එකට පටබැඳි නම දාන්න උනා කියල මම ආරංචි කරල බලපුවම දැනගන්නට ලැබුණා.ඉතිං කතාවෙන් කතාවෙන් වෙසක් කතා ගොඩක් ලියවුනා.නවත්තන්නත් වෙලාව හරි.තවත් වෙසක් කතා ටිකකුයි දන්සල් කතා ටිකකුයි ආයෙම ලියන්නංකො.

සියලු දෙනාටම මෝහාන්ධකාරය දුරුවූ සුබ වෙසඟක් වේවා!!!