Sunday, March 22, 2015

මගේ සමීක්ෂණය කූඩැල්ලෝ සහ මහප්පගෙ කුළුමීමා



අපූරු සමීක්‍ෂණයක් කිරීමේ අවස්ථාව මට පසුගියදා අහම්බෙන් ලැබුණි. මා සාමාන්‍යයෙන් ලංකාවේ සති අන්ත දිනවල බ්ලොග් ලිපි ප්‍රකාශයට පත් නොකරමි. ඒ මක්නිසාද කිවහොත් සති අන්ත දිනවල පාඨක පැමිණීම බෙහෙවින් අඩු අගයක් ගන්නා බව අත්දැකීමෙන් දන්නා නිසාය. එහෙත් සඳුදා දින ප්‍රසිද්ධ කරන්නට සිටි ලිපියක් ඉරිදා දිනයේ ප්‍රසිද්ධ කරන්නට මට සිත්වූයේ එදින මා තව අවුරුද්දකින් වියපත්වූ දිනය නිසාය. ලිපිය පළකලද සිතා සිටි පරිදිම පාඨක පැමිණීම ඉතා දුර්වල වුයේ සති අන්ත නිවාඩුව නිසා වෙන්නට ඇත.

පැමිණීම සම්බන්ධව තවදුරටත් පරීක්ෂා කර බලද්දී විදේශගත පාඨකයන්ගේ පැමිණීමේ කිසි අඩුවක් නොපෙනෙන බව හා පැමිණීම පැහැදිලිවම පහත වැටී ඇත්තේ ශ්‍රී ලංකාවේ පාඨකයන්ගේ බවද නිරීක්ෂණය කළෙමි. මේ අනුව මට පෙනීගිය කරුණ වුයේ සිංහල බ්ලොග් කලාව රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවල කාරුණික අනුග්‍රහය මත බවයි.මෙය මීට පෙරද අපේ බ්ලොග්කරුවන් තුඩ තුඩ කතාවූ කරුණක් වුවද එම කරුණ සැබෑයැයි තහවුරු කරගන්නට මට අහම්බෙන් ලැබුණු මේ අවස්ථාව ඉතා ප්‍රයෝජනවත් විය.  නිවාඩු දින පළකල ලිපියේ මා තව අවුරුද්දකින් වයස්ගතවූ බව නොලීවේ එය ලිවීම අනවශ්‍ය යැයි මා සිතූ බැවිනි. තම උපන් දවස තමා විසින්ම කියාපෑම තරමක ලැජ්ජාවක් ලෙස මට සිතේ.

කොහොමටත් මම උපන් දවස සමරන්නෙක් හෝ ඒ වෙනුවෙන් උත්සව පවත්වන්නෙක් නොවෙමි.  මගේ උපන් දවස ද සාමාන්‍ය දිනයක් මෙන් විශේෂත්වයකින් තොරව ගෙවීයයි.එසේ වුවද බිරිඳ නම් මීට වෙනස් ආකාරයකින් කල්පනා කර එදින උදෑසන අවදිවී මට කන්නට කිරිබතක් ලුණුමිරිසක් පිළියෙළ කළාය.  වැඩට යනවිට ගෙනයන්නට පෙරදින සකස්කර තිබූ කජු අලුවා පාර්සලයක්ද මා අත තැබුවාය.  ඒ කන්නට දෙයක් නොමැති  වුවොත් කාර්යාලයේ අය මා කන්නට සැරසෙන බව ඇය දන්නා නිසාය.  ලංකාවේ සිටියානම් ඇගෙන් මට වටිනා තෑග්ගක්ද ලැබේ. එහෙත් ඇය විප්‍රවාසයේ ගතකරන මේ දිනවල යැපෙන්නේ මගෙන් බැවින් තෑගී ගැනීමට මිළ මුදල් ඇය අත නොමැත. එදිනට දින කීපයකට පෙර ඇයගේ උපන් දවස යෙදුනත් ඇයට දීමට තෑග්ගක් මා ගෙන නොතිබිණි.  ඒ වෙන කිසිවක් නිසා නොවැ ගෑණුන්ට තෑගි තේරීම පණයන වැඩක් නිසාය.  එදා සවස් අතේ ගෙදරට බඩු ගන්නට කඩේ යද්දී ඒ ළඟ තිබු රෙදි සාප්පුවකටද ගොඩවීමු.  එහි බොහෝ වේලාවක් ගතකළ බිරිඳ ඇඳුම් කීපයක් තෝරාගත්තාය.එය ඇගේ උපන් දවසට මගෙන් අහම්බෙන් ලැබුණු තෑග්ගකැයි මා ඇයට කීවෙමි.

පසුගිය ලිපියෙන් මා අපේ ලොකු අම්මලාගේ ගෙදර ගතකළ සමය ගැන ලියන්නට පටන් ගත්තෙමි.  ඒ කාලය තුල කතාද අතුරු කතාද බොහෝය. ලියන විට එකිනෙක මතක්වේ.  මතක්වන ආකාරයට ලියැවේ.  එගොඩහ මහප්පා උදේට ගහගන්නා අමුඩය ගලවන්නේ රාත්‍රී නින්දට යාමේදීය. මහප්පා උදේම තේ එකක් බී විටක් හප හපා කුඹුරු පැත්තේ රවුමක් යයි. ආපසු එන්නෙ උදේ හීලටය.  ඔහුට අයිති කුඹුරුද අඳයට කළ කුඹුරුද වශයෙන් බොහෝ කුඹුරු ඔහු විසින් අස්සද්දන ලදී.  ඔවුන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගය වූයේ වී විකිණීමයි. එබැවින් සියළුම කුඹුරු කලට වේලාවට වැඩ කිරීම අත්‍යාවශ්‍ය විය.  එමතුද නොවැ එකළ ඔවුන් අවුරුද්දකට කන්න තුනක් වැඩ කළෝය. ඒ කාලයේ අපේ ගම්වල ගොවියන් වැඩ කළේ එක් කන්නයකි.   පැසීමට හය මසක් ගතවෙන මාවී වපුරා අස්වනු කපාගත් පසුව ඉතිරි කාලයේ  කුඹුරු හරකුන්ට ඇරුණි. එහෙයින් ගොවියන්ට  විවේකය බොහෝ විය. කුඹුරු වැඩ නොමැති කාලයට අපේ ගමේ ගොවියෝ හරක් මේච්චල් කරති.  සැන්ටින් මුදලාලිගේ කඩේට එකතුවී කයිය ගසති.  එක්කෝ කඩේ පිටුපස වෙද මහත්තයගෙ ඉඩම් කෑල්ලේ  බුරු ගසති.  හැන්දෑවට කසිප්පු බී මහ හයියෙන් කෑ ගසා ගනිති.

ඒත් බෝතලේ යායේ ගොවියන්ට හෝ මී හරකුන්ට එහෙම විවේකයක් නොමැත.  අද අස්වනු කපා ගෙට ගත්තද හෙට සිට නැවත බින් නැගුම හාන්නට පටන් ගත යුතුය.  නැත්නම් කන්න තුනක් කරගන්නට කාලය මදිවේ.  ගොවීන්ට විවේකයක් ලැබෙන්නේ වෙල් වපුරන්නට තරම් වතුර ඇළවල්වල  නොමැති නියඟයකදීය.  මහප්පා චන්දරේ අයියා සමග පස්සෙන් වැටී  මමද කුඹුරට යන්නට පටන් ගත්තෙමි.  මහප්පලාගේ ගෙට අල්ලපු වත්ත බෝතලේ කනිෂ්ඨ විද්‍යාලයයි. පල්ලම බැහැගෙන ඉස්කෝල වත්ත පසුකළ ගමන්ම පොදු ලිඳය. එතනින් පහළට පේන තෙක් මානයේ වෙල්යායයි.  අපි මී හරක් දක්කාගෙන නගුල් වියගස් කරතබාගෙන කුඹුරට යන්නෙමු. මී හරක් බාන වියගහේ බැඳීමට, අමුතු බාන සකස් කර නගුල ඈඳීමට උදව් දෙමින් ටික ටික කුඹුරු වැඩ ඉගෙන ගන්නට වුයෙමි.  එහෙත් තවම හීයකදී  තනිවම හරක් බාන දක්කාගෙන යන්නට නොලැබුණි. කුඹුරු වැඩ කරනවා යැයි කියමින් හීයකදී කුඹුරට පැන ඇඟේ මඩ තවරා ගැනීමත් ගොයම් කපන කාලයට ඉපනැල්ල කපා නලා හදාගෙන පිඹීමත් හැරෙන්නට ගමේදී මා කළ කුඹුරු වැඩක් නොමැති වුවත් බෝතලේ යායේදී ප්‍රායෝගිකවම කුඹුරු වැඩට බසින්නට සිදුවිය.

බෝතලේ වෙල්යායත් අපේ ගමේ වෙල් යායත් අතර තිබූ කැපී පෙනෙන වෙනස්කම් වුයේ ගමේ වෙල්යාය කළු මඩ සහිත බොහෝ එරෙන සුළු එකක් වුවද බෝතලේ වෙල්යාය කහ පැහැති මඩ සහිත නොඑරෙන එකක් හෙවත් ගොවියන් කියන පරිදි ගොඩ කුඹුරු වර්ගයේ යායක් වීමය.අපේ කුඹුරු බොහෝ දුරට දණක් හෝ ඉණක් එරෙන කුඹුරු වුවද බෝතලේ යායේ කුඹුරුවල සාමාන්‍ය පරිදි ඇවිදගෙන යන්නට හැකි විය.අපේ ගමේ කුඹුරුවල බොහෝ කූඩැල්ලන් වූ අතර දිය කූඩැල්ලන් පොල්ලෙලි කූඩැල්ලන් හා මීහරක් කූඩැල්ලන් යනුවෙන් වර්ග කීපයක් විය. කුඹුරකට බැස ටික වේලාවකින් කූඩැල්ලන් තුන් හතර දෙනෙක් කකුලේ එල්ලීම සාමාන්‍ය දෙයක් විය.  පොල්ලෙලි හෝ මීහරක් කූඩැල්ලන් එල්ලුනු කළ උන් ලේ විශාල ප්‍රමාණයක් උරාබී බට්ටක් මෙන් මහත්ව එල්ලී සිටිනු හෝ ලේ බී අවසන්ව බිමට වැටෙනු දැකිය හැක. කකුලේ කූඩැල්ලන් එල්ලී සිටීම අපි එතරම් ගනිච්චියකට නොගත්තත් කුඹුරුවල කූඩැල්ලන් නොසිටි බෝතලේ ගොවියන් කූඩැල්ලන්ට පණ බයය.කූඩැල්ලෙක් දැක්ක දුටු විට කුඹුර පළාතකවත් නොඉඳ දිවයන්නේ භයානක රකුසකු දැක්කාක් මෙනි. මෙය මට මහත් විනෝදයක් විය. කූඩැල්ලෙක් එල්ලුන විට කන හුණු ටිකක් හෝ සබන් ස්වල්පයක් තැබුවිට කූඩැල්ලා ගැලවී වැටේ.  දුම්කොළ ඉස්මද හොඳය. එසේ ගැලවී වැටෙන කූඩැල්ලන්ට එකළ අපි නොදැනුවත්කමට දස වද දුන්නෙමු. 

හීයක් හෑමේ දී පෙරමුණේ ගමන් කරන්නේ හීයෙහි කෙළ පැමිණි දක්ෂයාය. කුඹුර හෑමේ සාර්ථකත්වය ඔහු මත රඳා පවතී.   මී ගොන් බාන දක්කාගෙන පෙරමුණේ ගමන්  කරන හී කරුවා හී විට තනි කෙලින් ඇඳිය යුතුය.එය කරන්නේ ඉදිරි නියරේ ඇති යම් ඉලක්කයක් දෙස බලාගෙනය. හාන්නට ඉන්නා හරක් බාන් ප්‍රමාණය අනුව වරකට හාන ප්‍රමාණය සලකුණු කර ගත යුතුය. නගුල උවමනාවට වඩා තදකළහොත් ඇවුලුම වැඩිවී ගොන් බානට නගුල ඇදගන්නට බැරිව යයි.ප්‍රමාණවත් පරිදි තද නොකළහොත් නගුල පස උඩින් දුවයි.ඒ නිසා නිසි ප්‍රමාණයට ඇවුලුම සකස් කර ගත යුතුය.  හරියට සී සා නැති කුඹුරකට බසින මහප්පා වැනි පළපුරුදු ගොවියෝ "හාලයැ පහුරු ගාලනේ"යනුවෙන් උපහාස මුඛයෙන් කියති. චන්දරේ අයියා කඩේ අයියා වැනි සී සෑමේ දක්ෂයෝ බොහෝ විට ඉදිරියේ ගමන් කරති.  

මෙතැනදී මට තවත් කතාවක් මතක්වේ. මහප්පා සතුව එක් විශේෂිත මීමෙක් විය. විශේෂිත උනේ ඌ කුළු මීමෙකු බැවිනි. වෙනත් මී හරකුන් අළු පැහැති මවිල් වලින් ගහණ සතුන් වුවද මූ තද කළු පැහැති ඇඟේ ඈතින් තැන තැන මවිල් ඇති බොහෝ රෞද්‍ර සතෙකු විය. නුපුරුදු කෙනෙක් ලඟට ගියොත් පිඹගෙන අනින්නට එයි. ඌ ආන්බාන් කළ හැකි වුයේ මහප්පාට පමණි. අනික් සියළුම සතුන්ට වඩා මහප්පා කුළු හරකාට ආදරේය. දවස පුරාවටම ගේ ළඟ පොල් ගහක දිගේලි කර සිටින කුළු හරකාට මහප්පා උදේම කෙසෙල් කඳක් පෙතිගසා කන්නට දෙයි. හවසට ලොකු තණකොළ ගෝනියක් නියරෙන් කපාගෙනැවිත් කන්නට දමයි. ඒ අතරතුර කොස්කටු කෙහෙල් ලෙලි ආදී රසවත් කෑමද දෙයි. මේ සියල්ලම කා දමා බඩ පුරවාගන්නා කුළු හරකා නිවී හැනහිල්ලේ වමාරා කමින් එතැන ලැග දවස ගෙවයි. 

ලඟට දෙන කෑම කමින් කිසිම ව්‍යායාමයක් නොමැතිව එකතැන ලැග සිටීම හේතුවෙන් කුළු හරකා කෙමෙන් කෙමෙන් තර වන්නට විය.දවසක් මහප්පා කුඹුර  හාන්නට මේ උස මහත තෙල් පාට වැටී ඇති කුළු හරකා රැගෙන ගියේ ආඩම්බරයෙනි. කුඹුරට ගිය අපි හරක් බාන් වියගහේ ගැටගසා නගුල් ඈඳා හීය පටන් ගතිමු.  හීය පටන්ගෙන රවුමක් දෙකක් යද්දී කුළු මීමාගේ ගමන් වේගය බාලවිය.  ඌට ඒ ටිකට හැති වැටිලාය.මහප්පා ආදරයෙන් කතාකර බැලුවේය.  කෝටුවෙන් දෙකක් තැලුවේය.  වෙනසක් නැත.  පැටියා කාලයේ සිටම කඩේ අයියා ආදරයෙන් හදාගත් හුරුබුහුටි මී වැස්සියද මේ හීයට බැඳ සිටියාය. වෙලේ නියරේ හැම තැනම ඇවිද නිල් තණ උලාකා පස්ස උඩ දමමින් සෙල්ලම් කරන මේ ලස්සන මී වැස්සිය කකුලේ රෝද සවිකර ඇතුවාක් මෙන් කුලුමීමාද පහුකරගෙන නගුලත් ඇදගෙන වේගයෙන් යන විට මහප්පාගේ කේන්තිය ඉහවහ ගොස් කෝටුව කැඩෙනකල්ම කුළු මීමාට තැලුවේය. බැරිතැන ඒ අහිංසක සතා දෙදන නමා වෙලේ ලැග්ගේය.  ඒ හරක් බාන අපි හීයෙන් ඉවත් කළෙමු.  ඇවිදගන්නට බැරිවුන වැරැද්ද මීමාගේ නොව මහප්පාගේය.  බඩපිරෙන්නට කෑවත් දවසට අඩි දහයක් ඇවිදින්නට නැති සතා එක පාරටම නගුලත් ඇදගෙන කුඹුරේ ඇවිදින්නේ කෙසේද? තමන් කළ වරද තේරුම්ගත් මහප්පා මීමාගේ කෑම වේල සංශෝධනය කර ප්‍රමාණවත් ව්‍යායාම ලබාදී නොබෝ දිනකින් කුළු මීමා ආපසු වැඩගන්නට හැකි තත්වයට පැමිණියේය.

උදේ දහය පමණ වන විට ලොකු අම්මා ඇඹුලද රැගෙන වෙලට පැමිණෙයි. ඇඹුල බොහෝවිට කිරිබත් හෝ ඉඹුල් කිරිබත් සහ හකුරු සහිත කහට තේය. අහල පහළ තනිවම කුඹුරේ වැඩකරන ගොවියෙක් සිටීනම් ඔහුටත් කතාකර ඇඹුල බුදින්නෙමු. බින් නැගුම හා දෙහියෙන් පසුව පෝරුව අල්ලා කැට පොඩිකර වතුර බැඳගත් පසු වපුරන්නට කාලයයි.

වපුරන්නට හොඳ වියක් මඩබාවිට තිබෙන බවත් මඩබාවිට ගොස් බිත්තර වී වලට පණිවිඩය කියා එන්නට යැයි දවසක මහප්පා චන්දරේ අයියාට කීවේය.මඩබාවිට යනු මහප්පාගේ අක්කා දී ඇති ගෙදරය.එනම් චන්දරේ අයියලාගේ නැන්දාගේ ගෙදරය.බයිසිකලයක නැග විනාඩි පහළොවකින් මඩබාවිටට යාගතහැක. මඩබාවිට ගමනට චන්දරේ අයියා මටද කතාකළවිට මමද කැමති උනෙමි. උදේ ගිහිං ආපසු එතැයි මා සිතා සිටියද අයියාගේ අදහස ඊට වෙනස් විය.ඔහුට අවශ්‍ය වුනේ හවස ගොස් රාත්‍රිය නැන්දලාගේ ගෙදර නැවතී සිට පසුවදා උදේ ආපසු එන්නටය. පණිවිඩය කියන ගමන්ම නෑගම් යන්නටත් චන්දරේ අයියා කල්පනා කර ඇත.එහෙත් මගේ තත්ත්වය ඊට වෙනස් විය.කවදාවත් ගොස් නොමැති නාඳුනන ගෙදරක රාත්‍රිය නවතින්නට මම අදිමදි කළෙමි. ඒත් මගේ අකමැත්ත කතාවෙන් ජයගත් චන්දරේ අයියා පසුවදා හවස මාද කැටුව මඩබාවිට බලා පිටත්විය. ගිය පණිවිඩය කතා කරගන්නට ගත උනේ සුළු වේලාවකි.නැන්දාගේ පුතා මඩබාවිට අයියාද එකල දීගයක යන්නට සූදානමින් සිටි අක්කාද චන්දරේ අයියාත් මාත් සමග කදේ වැටී කතා කරමින් සිටියෝය.ඒ ගෙදරට කවදාවත් ගොස් නැතත් ඥාතියෙකු වූ මාව චන්දරේ අයියා විසින් නැන්දාට සහ ගෙදර අයට හඳුන්වා දෙනලදී.කතා කළා යැයි කතාවට කීවාට මම කළේ අනික් අය කතා කරන දේ අහගෙන සිටීමය.කොහොමටත් මම කතාකාරයෙක් නොවෙමි.  එහෙත් කතා කරන අයගේ කතා සාවධානව අසා සිටින්නෙක්මි

එසේ කීවිට මේ මෑතකදී සිදුවුන දෙයක් මතක්වේ.දැනට අවුරුද්දකට දෙකකට ඉහත සලාලා බලා ගිය චාරිකාවකදී අපේ කණ්ඩායමේ සගයෙක් විසින් සලාලාවල සිටින ඔහුගේ ශ්‍රී ලාංකික යහළුවෙකුට කතා කළේය. යහළුවා අපේ හෝටලයට පැමිණ මුලින්ම අප දෙදෙනා සලාලාවල රවුමක් රැගෙන ගොස් ඊළඟට ඔහුගේ ගෙදරට කැටුව ගියේය.  මේ යහළුවා සලාලාවල රජයේ ගොවිපළක කෘෂි විද්‍යාඥයෙකි.ගෙදරට අපව රැගෙන ගියවිට ඔහුගේ බිරිඳ නිවසේ සෑදු කැවිලිද තේද අපට පිළිගැන්වූවාය. ඇය අපට පිළිගැන්වූ කැවිලි ඉතා රසවත් ඒවා විය. අපි කැවිලි කමින් තේ බොමින් කතාබහ කළෙමු.  කෘෂිකර්මය මගේද සිත්ගත් විෂයයක් බැවින් ගොවිපොළේ වවන බෝග වර්ග ගැන හා  පටක රෝපණය ගැනද මා ඔහුගෙන් විමසීමි.  ඔහු මා පැත්තකට කරගෙන බෝගවල ප්‍රභේද හා පටක රෝපණය ගැන පාරිභාෂික වචන බහුල දීර්ඝ විස්තරයක් කළ අතර සමහර තැන් කොහෙත්ම නොතේරුණත් ඔහු විසින් කරන්නට යෙදුණු පැය බාගයක පමණ විස්තරයට  වචනයකින්වත් බාධාවක් නොකළ මා ඔහුගේ කතාව සාවධානව අසා සිටියෙමි. ඉන්පසුව අපව හෝටලයට ඇරලවූ ඔහු මා එතන දමා මගේ සගයා සමග පල්ලියට ගියේ හවස යාඥාවට සහභාගී වීමටය. ආපසු අප දෙදෙනා මුණ ගැසුනේ රාත්‍රී කෑම මේසයේදීය.

අප කෑම ගනිද්දී මගේ මිතුරා කෘෂිකර්මය ගැන මගේ ඇති දැනීම සම්බන්ධයෙන් විමසා සිටියේය. ගම්වල කෙරෙන සාම්ප්‍රදායික කෘෂිකර්මය හැරෙන්නට විද්‍යාත්මක කෘෂිකර්මය ගැන මගේ දැනීමක් නොමැති බවත් පොත්පත් සඟරා වලින් ඉඳහිට යම් යම් දේ කියවන්නට ලැබෙන බවත් මා ඔහුට පැවසුවෙමි. එවිට මඳක් කල්පනා කරමින් සිටි ඔහු  මට කීවේ මා කෘෂිකර්මය පිලිබඳ ප්‍රාමාණික විද්වතෙක් සහ ඉතාහොඳ පිළිසඳර කතාකරන්නෙක් යැයි  මිතුරා පල්ලියට යන ගමනේදී ඔහුට කියූ බවයි.

මේ මෑතකදී මා බෝතලේ ගොස් ආපසු එන ගමන අප එකල කුඹුරු වැඩ කළ වෙල්යාය බලන්නට ගියෙමි.වෙල්යාය මැදින් වැටී ඇති ගුරු පාරේ ගිය මා  වෙල මැද නැවතී කුඹුරු යාය දෙස බොහෝ වේලා බලා සිටියෙමි. හැලපිටද හැලපැට්ටාටද පරණ කතා කියා දුන්නෙමි.වෙල්යාය පෙරදා මෙන්ම තරුණ වුවද යාය මැද තිබු වැස්සට අව්වට අපි ගිය අම්බලම බොහෝසේ අබලන් වී කඩා වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබුණි.    මහප්පාද චන්දරේ අයියාද සදහටම අප හැර ගොස් බොහෝ කල්ය. අසනීපයෙන් සිටින කඩේ අයියා හිටියත් නැති ගානය.   මට මහත් පාළුවක් දැනෙන්නට විය. හැලපැට්ටා පිංතුර වගයක් ගන්නවාද දැක්කෙමි.  දෑස් තෙත්වී වෙල්යායේ දර්ශනය බොඳ වන්නට විය. මම වෙල්යායෙන් නික්මුනෙමි෴


Wednesday, March 18, 2015

ජීසස්ගෙ පවුල අලි බිත්තරේ සහ තවත් කතා.


අද යාන්ස් ටිකක් කියන්නං.මෙව්වා නං මම කාලෙකට ඉස්සෙල්ල අහපු කතා සමහරවිට ඔයගොල්ල කලින් අහලත් ඇති.කොහොම උනත් කියවල නැති අයගෙ ලාම්පු කණගාටුව උදෙසා පළකරන්නට කැමතියි. කියවල තියෙන අය බනින්න එපා.

ඉස්සෙල්ලම කියන්නෙ නන් කෙනෙක් හෙවත් කන්‍යා සොයුරියකගේ කතාවක්.මෙයා ඉන්න කොන්වන්ට් එක ඉස්සරහ විශාල බිල්ඩිමක් හදනවා.කම්කරුවො සිය ගාණක් එතන වැඩ.මේ අයටත් දේව වචනය කියල දෙන්න ඇහැක් නං මොන තරම් අපූරුද කියල මේ සොයුරියට කල්පනා උනා.ඒ වැඩේ ටිකක් නිර්මාණාත්මක ආකාරයකට කරන්න හිතපු කන්‍යා සොයුරිය දවසක්දා කම්කරුවො දවල් කෑමට වැඩ නවත්තපු වෙලාවෙ තමන් දවල්ට කන සැන්ඩ්විච් එකත් ඔතාගෙන මේ කම්කරුවො අතරට ගියා.කම්කරුවො රංචු ගැහිල තැන තැන කෑම කනවා.කන්‍යා සොයුරියත් ඔවුන් ළඟ වාඩිවෙන අතරම කතාව පටන් ගත්තා.

ඔය ගොල්ල ජීසස් කියල කෙනෙක් ගැන අහල තියෙනවද?

කෑම කමින් හිටපු කම්කරුවන්  මූණෙන් මූණ බලාගත්තා.ටිකක් දැනුමැති කම්කරුවෙක් ඊට එහායින්  හිටපු අයට උස් හඬින් කතාකළා.

මේ ඔතන ජීසස් කියල එකෙක් ඉන්නවද? ඉන්නවනං උගෙ පවුල දවල් කෑම එක අරං ඇවිත්   කියපල්ලා...

+++++++++++++++++++++++++++++++++++++++++

ලංකාවෙ සංචාරයක යෙදමින් සිටි එක් විදේශික කාන්තාවක් තිබහට තේ එකක් බොන්න පාර අයිනෙ තිබ්බ ගම්බද තේ කඩේකට ගොඩවුනා.ඇය තේ බොමින් සිටියදී කරත්තයක් ඇවිත් කඩේ ළඟ නතරකරල කරත්ත කාරය කඩේ ඇතුළට ගියා.ගොනෙක් බැඳපු කරත්තයක් කවදාවත් දැක නොතිබුන මේ කාන්තාව ඒ දෙස විමතියෙන් බලද්දී එසැනින් ගොනා චොර චොර හඬින් පාර මැද විනාඩි පහක් විතර මූත්‍රා කළා.කාන්තාව මේ දර්ශනය දිහා ගල් ගැහිල බලං හිටියා.තේ බී අවසන්කළ කරත්ත කාරය කඩෙන් එළියට එනව දැක්ක කාන්තාව තමන්ගෙ මාර්ගොපදේශකයට කතාකළා.

මෙයාගෙද මේ වාහනේ?

ඔව්...

එයාගෙ ගමන ගිහිං ඉවරයි කියන්න, ඔන්න ටැංකියෙ පැට්‍රෝල් ටික ඔක්කොම ලීක් වෙලා ගියා...

+++++++++++++++++++++++++++++++++++

ලංකාවෙ සංචාරයකට පැමිණ සිටි එක විදේශීය යුවළක් කඩේක විකුණන්නට තියල තිබ්බ ලෙලි ගහපු පොල් දැකල ඒ මොනවද කියල කඩකාරයගෙන් ඇහුවම අලි බිත්තර කියල කඩකාරය උත්තර දුන්නා.බිත්තරෙන් අලි පැටව් හදාගන්නෙ කොහොමද කියල අහපුවම බිත්තරේ අරං ගිහිං කිකිළියො බිත්තර රකිනව වගේ රකින්න ඕනෑ කියපු කපටි කඩකාරය පොල් ගැන දන්නෙ නැති මේ යුවළට පොල් ගෙඩියක් විකුණලා ලොකු මුදලක් කඩාගත්තා.

මේ දෙන්නා ලාබෙට අලි පැටියෙක් ලබාගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුවෙමින් නවාතැනට ගියා.ගිහිං ඉස්සෙල්ලම කාන්තාව බිත්තරේ රකින්න පටන් ගත්තා.පැය හතර පහක් බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නකොට ඇයට ඇතිවෙලා දැන් ඔයා රකින්න කියල මනුස්සයට වැඩේ බාරදුන්නා.දැන් මිනිහා බිත්තරේ උඩ ඉඳගෙන ඉන්නව.තවත් පැය කීපයක් ගියාම මේ මිනිහටත් වැඩේ ඇතිවෙලා කාන්තාවට කතාකළා.

මේ දැන් මාත් පැය ගාණක් රැක්කනෙ අලි පැටිය දැන් නං එළියට ඇවිත් ඇති නේද?පොඩ්ඩක් ඇවිත් බලන්නකො...

කාන්තාව ඇවිත් බිත්තරේ රකින අස්සට අතදාල බලල සතුටින් කෑ ගැහුවා.

දැන් නං එනව, දැන් නං එනව, මේ බලන්නකො මේ හොඬවැල, අනේ පව් චූටි හොඬවැල.
++++++++++++++++++++++++++++++++++

ඔන්න අහුලන් කන කිකිළියෝ දෙන්නෙක් දවසක් ලොකු ඕපාදූප කතාවක්.එකෙක් වයිට් ලැගොන් අනිකා නිකං ගං කිකිළියක්.

අපට තමයි හොඳට ඉල්ලුම තියෙන්නෙ බලන්නකො අපේ බිත්තරත් ඔයාලගෙ බිත්තරවලට වඩා ලොකුයි.ගාණත් වැඩියි...

වයිට් ලැගොන් කිකිළි ලොකුකම කිව්වා.ගං කිකිළිට හරි තරහයි.

ඔයාලගෙ බිත්තරේකට කීයක් හම්බවෙනවද?

ගං කිකිළි නුරුස්නා විලාසයෙන් ඇහුවා 

සත දොළහක් හම්බෙනවා.ඇයි අපේ බිත්තරේ ඔයාලගෙ ඒවාට වඩා ලොකුයිනෙ, අනික ඔයාලගෙ බිත්තරේකට හම්බෙන්නෙ සත දහයයි නේද?

වයිට් ලැගොන් කිකිළි හොට උල් කර කර කිව්වා.

අනේ අපට ඕනැ නෑ,අපට ඔය හම්බවෙන සත දහය ඇති. ඇයි සත දෙකේ වාසියට පුක ඉරා  ගනිල්ලකො ... 

එහෙම කියපු ගං කිකිළි ගස්සගෙන යන්න ගියා ෴

Saturday, March 14, 2015

රස්තියාදුකාර ජීවිතය බෝතලේ ගමන සහ රැවුලාගේ රාජධානිය.



අප කැමති වුවද අකමැති වුවද ජීවිතය අපට ලබාදෙන දේ අප බාරගත යුතුය.බොහෝ විට අපට ලැබෙන්නේ අප ආශාවෙන් බලාපොරොත්තු වී සිටි දෙය නොවුවද ඒ අපට හිමි දේය.ජීවිතය විප්ලවීය ලෙස වෙනස්වේ යැයි ද ඒ තුල ජයග්‍රාහකයෝ අප විය යුතු යැයි ද සිතා සිටි කාලයක් විය.ජීවිතය වෙනස් විය  ඒ අප සිතා සිටි ආකාරයට නොවේ.කැමති වුවද අකමැති වුවද ලැබුණේ අපට උරුම දේය.මේ ඒ ගැන මගේ මතකය අවදි කිරීමකි.

එය අපොස සාමාන්‍ය පෙළ අවසන් කර හිතේ කිසිම බරක් නොමැතිව ඉතා සතුටින් රස්තියාදු වූ කාලයයි.උදේ රස්තියාදුවට වැටෙන අප කණ්ඩායමට ආපසු ගෙදර එන්නට වෙලාවක් කලාවක් නොවීය.බොහෝ විට පසුදා මහ පාන්දර ගෙදර දොරට තට්ටු කළවිට දොර නොඇරෙන දවස්ද පැමිණිය විට රෑ වුන තැනක නිදාගන්නට පුරුදු වූයෙමු.කාලය වේගයෙන් ගලා ගියේය.මේ කියන කාලයේ අපේ ගෙදර නැවතී සිටි අමුත්තියක්ද විය.ඇය අපේ ලොකු අම්මා හෙවත් මවගේ වැඩුමල් සහෝදරියගේ දෙවෙනි දියණිය හෙවත් චූටි අක්කා යැයි අප විසින් අමතන ලද සොහොයුරිය වුවාය.මොරටුවේ වෙලෝනා ආයතනයේ කෙටිකාලීන පුහුණුවකට තේරී සිටි ඇයට පුහුණුව අවසානයේ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබෙන්නට නියමිතව තිබිණි.සිය උපන් ගම හෙවත් මගේ මවගේ සුන්දර ගම් පියස වූ බෝතලේ සිට දිනපතා උදේ පාන්දර මොරටුවට යන්නට පහසුකම් මඳ වුයෙන් ඇය අප නිවසේ නැවතී සිට  උදේ හවස දුම්රියේ මොරටුවට ගමන් ගත්තාය.කෙමෙන් කෙමෙන් ඇයගේ පුහුණු කාලය අවසන්ව ආපසු බෝතලේට යන්නට ලක ලෑස්ති වන විටත් අපේ රස්තියාදුව සරුවට කෙරෙමින් තිබුණි.දිනක් හවස සුපුරුදු රස්තියාදුව සඳහා මා නිවසින් එළියට බසින විට මිදුලේ සිටි චූටි අක්කා මට කතාකලාය.

මල්ලියෙ මං හෙට ආපහු යන්න කියල...

පුහුණුව අවසානයේ චූටි අක්කා ආපසු යන්නට නියමිත වූ නිසාවෙන් එය මට අලුත් ආරංචියක් නොවූ අතර ඒ ගැන මගේ කිසිදු සැළකිල්ලක්ද නොවීය.සිනාවකින් ඇගේ වචනය පිළිගත් මම මගේ ගමන යන්නට වීමි.

ගෙදර නිකං ඉන්න එකේ මල්ලිත් මගෙත් එක්ක ආවනං නරකද ...

නැවතත් ඇය අසයි.

කොහෙද බෝතලේද?

ඔව් ගිහිං ටික දවසක් ඉඳල එන්න බැරුවයැ...

චූටි අක්කලාගේ ගෙදරද අපේ ගෙදර මෙන්ම මට  පුරුදු තැනක් බැවින් බෝතලේ යෑම මට අමුතු  කාරියක් නොවීය.පසුවදා චූටි අක්කා සමග මා බෝතලේ බලා පිටත්වුයේ ඒ නිසාය.එහෙත් ඇයට මා කැටුව යන්නට කිසිදු විශේෂ අවශ්‍යතාවක් නොවූ අතර ඇයගේ ඉල්ලීම පිටුපස මගේ රස්තියාදු ගැසීමට සම්පූර්ණයෙන් විරුද්ධ වුවත් කිසි දෙයක් කරගැනීමට හැකියාවක් නැතිව සිටි අපේ අම්මාගේ උවමනාව තිබුණේයැයි පසු කලෙක මට තේරුම් ගියේය.කෙසේ වුවද මම කැමැත්තෙන්ම චූටි අක්කාත් සමග බෝතලේ ගියෙමි.

අපේ අම්මාගේ වැඩුමල් අක්කාවූ ලොකු අම්මාටත් මහප්පාටත් දරුවන් තිදෙනෙකි.ලොකු අක්කා චූටි අක්කා සහ චන්දරේ අයියා යනුවෙන් අපි ඔවුන් හැඳින්වුයෙමු.ගෙදරට වී සිටි ලොකු අක්කාට දීග යන්නට මනමාලයන් සෙවීම ඒ දිනවල ජයටම කෙරෙමින් තිබුණි.සෑම සති අන්තයකම පාහේ ලොකු අක්කා බලන්නට මනමාලයන් ගෙදරට එන්නට වූ බැවින් රසවත් කෑම බීමවලින් අපට කිසි අඩුවක් නොවීය.චූටි අක්කා මා පෙර කියූ පරිදිම කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටි අතර පවුලේ බාලයා වූ චන්දරේ අයියා කුඹුරු ගොවිතැන් සහ වත්ත පිටියේ ගොඩ ගොවිතැන් කළේය.මේ සියළු දෙනා පදිංචිව සිටි මහප්පලාගේ පවුලේ මහගෙදර අඩියක් පමණ පළල ඉතා උස බිත්තිවලින්ද කාමර දෙකකින් හා කරුවල කාමරයකින්ද මැද මිදුලකින්ද දික් ගේකින්ද සිංහල උළු සෙවිල්ලන ලද වහලකින්ද විශාල කණු හතරකින් යුත් ආලින්දයකින්ද සමන්විත පැරණි පන්නයේ නිවසකි.අපි ඒ ගෙදර එගොඩහ ගෙදර යනුවෙන් හැඳින්වුයෙමු.ඒ අපේ අම්මලාගේ මහගෙදර තිබුණේ වෙළෙන් එගොඩ බැවිණි.

මහප්පලාගේ ගෙදර අය බොහෝදුරට ස්වයංපෝෂිත ජීවිතයක් ගතකලෝය.අවුරුද්ද කෑමට පමණක් නොවැ විකිනීමටද වී කුඹුරුවලින් ලැබිණි.වත්තේ පොල් උවමනා පමණට තිබු අතර පොල් මුරය කොප්පරා කිරීම සඳහා පොල් මැස්සක්ද ගේ පිටුපස විය.ඔවුන්ට මුදල් ලැබුණේ වී විකිණීමෙන් සහ කොප්පරා විකිණීමෙනි.කෑමට එළවළු පළතුරු අල බතල ආදියද වත්තේ වගාවන්ගෙන් ලැබුණු අතර කඩෙන් මිලදී ගන්නට අවශ්‍ය වුයේ ලුණු තුනපහේ සහ කරෝල ආදී ද්‍රව්‍ය  ස්වල්පයක් පමණි.ගෙදර තුන් වේලටම අපට කන්නට ලැබුණේ බත්ය.කලාතුරකින් ගෙදර වංගෙඩියේ කොටන ලද පිටිවලින් සෑදු පිට්ටු හෝ රොටී කන්නට ලැබිණි.එසේ නොමැතිනම් කටදන  රතුපාට ලොකු ලුණුමිරිස් ගුලියක් සමග සුවඳ හමන කිරිබතකි.උදේට ලොකු බත් හැලියක් උයා කිරිහොදි හෝ පොල් සම්බෝල සමග කොතගසා බත් පිඟානක් අපට කෑමට ලැබුණි.අපේ ලොකු අම්මාට ඉතා රසට උයන්නට පුළුවන.දවල්ට එළවළු දෙකතුනක් මැල්ලුමක් සමග බත් ලැබුණි.ගෙදරදී නිතරම කන්නට ලැබුණු මස් මාළු හෝ බිත්තර මෙහිදී ඉතා කලාතුරකින් ලැබෙන දේවල් විය.ගමේ සමුපකාරයට කරෝල ලැබුණොත් ගෙදර අපටද කරෝල කන්නට ලැබේ.කොස් හෝ දෙල් වාරයට කොස් තම්බා හෝ මැල්ලුම් ද කිරිකොස්ද බතට සමෝසමේ කෑමට ලැබුණි.පදමට තුනපහ සහ පොල්කිරි දමා අබ කුඩුද ඉස ලොකු අම්මා පිළියෙළ කරන දෙල් වෑංජනය බත් බෙහෙවින් බඩට ඇදගන්නට සමත්වේ.මා වැඩිපුරම ආසාකලේ දෙල් ඉවූ ඇතිළිය බොරය පිසගෙන බත් කෑමටය.කිසි රසක් නැති පුහුල් පවා ඇය ඉවූ විට මස් මෙන් රසවත්ය.

අදද කොහේදී හෝ කිසිම ලුණු ඇඹුල් රසක් නොමැති වෑංජන අහාරයට ගනිද්දි ලොකු අම්මා සිහියට එන්නේ නිතැතිනි.මැල්ලුමක් නැතුව බත් කන්න අමාරුයි හෝ මැල්ලුමක් නැතුව බත් කෑවත් වැඩක් නෑ යනුවෙන් බොහෝවිට ඔවුන් පවසති.ඒ සිරිත මටද පුරුදුවී අද පවා මගේ ආහාරයට බත් සමග කුමන හෝ මැල්ලුම් හෝ කොළ වර්ගයක් ඇත්නම් ඉතා ප්‍රිය වෙමි.එබැවින්ම හැම වේලටම ගෙදර කෑමට මොනවා හෝ මැල්ලුමක් විය.ඒ කියන මැල්ලුම අද අප දකින කොළ මැල්ලුම පමණක්ම  නොවැ කොස්, දෙල්, කොස් මැල්ලුම්, පොලොස් මැල්ලුම් කොළ මැල්ලුම්,කොහිල ආදී විවිධාංගයන්ගෙන් සමන්විත විය.කොහිල දළු කඩාගන්නට ලිඳට පහළ කොහිල කොටුවක් විය.එසේ නොමැතිනම් මහප්පා උදේම  කුඹුරේ වටයක් ඇවිද එනවිට ඇළ අයිනේ සරුවට හැදී ඇති කොහිලදළු  මිටියක් කපාගෙන එයි.එසේ නොමැති නම් කමතෙන් පිදුරු හතු හෝ හීල් හෙවන ඇති තැන්වල හැදෙන ඉඳලෝලු හතු ගොඩක් කඩාගෙන එයි.මේ කොහිල හෝ කැලෑ හතු තෙල් පෑදෙන්නට උයා ගත්විට බතට දිව්‍ය ව්‍යංජන මෙනි.

අද නම් බොහෝ විට කන්නට ලැබෙන්නේ මහත කඳකින් යුත් රට කොහිල කියන වර්ගයයි.එහි එපමණ රසක් නැත.එහෙත් මේ මෑතකදී අපට හොඳ කොහිල ටිකක් කන්නට ලැබුණි.රැවුලා අපේ දානෙ ගෙදර එනවිට ඔහුගේ කොටුවෙන් කොහිල කිලෝ හතරක පහක මිටියක් අරගෙන ආවේය.එහි මට හුරු පැරණි රසය විය.එදා දවල්ට කෑම කනවිට මම රැවුලාගෙන් මේ ගැන ඇසුවෙමි.එදා අපට දවල් කෑමට කොහිලවලට අමතරව ගම්මිරිස් සහ ඉඟුරු මිශ්‍ර කහපොල් දමා සැරට සාදාගත් කොස් මැල්ලුමක්ද කරෝල හොදි සහ වැල්අල වැංජනයක් විය.අප කිහිප දෙනාටම මේ සරල ආහාරය ඉතා රසවත් විය.ලොකු කොහිල කොටු දෙකක් ඇති බවත් දළු කපා විකුණන බවත් ගස් මේරූ විට අල ගලවා ගැනීම සඳහා කොටු බදු දෙන බවත් රැවුලා අප සමග කීවේය.කොහිල පමණක් නොවැ කොම්පෝස්ට් පෝර සහ කොළ පෝර යොදා වැවු එළවළු කොටුවක්ද වැල්අලද ඇතිබවත් මේ සියල්ලම රසායනික පෝර හෝ තෙල් නොයොදා කාබනික ක්‍රමයටම වවන බවත් පසුගිය ගංවතුරට යටවී එළවළු කොටු විනාශවී ගිය බවත් අපේ කෑම මේසයේ සිටම රැවුලා විසින් නිවේදනය කරන ලදී.තවද වත්ත පහළ ඇති අක්කර හතර පහක කුඹුරද කාබනික ක්‍රමයට වවන බවත් රැවුලා වැඩිදුරටත් පැවසීය.

රැවුලා කියූ විස්තර ඇසු මොහොතේ සිටම එළවළු කොටුව බලන්නට යාමට අපට ආසාවක් පහළවිය.නමුත් ඒ සඳහා ඉතිරිවී තිබු දින ගණන ඉතා සීමිත විය.

මේ අපි වෙලාවක උඹේ කොටුව බලන්න එන්නදැ...යි ඇසූවිට

කලින් කියල ඕනෑ දවසක වරෙල්ලා...යයි රැවුලා කීවේය.

බොහෝ අමාරුවෙන් දිනයක් වෙන්කරගෙන අපි රැවුලලාගේ ගෙදර ගියෙමු.එදා උගේ කුඹුරේ ගොයම් කපන දිනයයි.

රැවුලාගේ පවුල උදේ ඇඹුලට හැදු  ඉඹුල් කිරිබත්ද හකුරු සමග කහට තේද අපට කන්නට බොන්නට දුන් අතර කෑමෙන් පසු කට පුරා විටක්ද හපා රැවුලා සමග එළවළු කොටුව හෙවත් රැවුලාගේ රාජධානියට ගියෙමු.රැවුලා අපට එලවළුද හිඟුරල ද කුකුළල ද දුන්නේය.රැවුලාගේ රාජධානියේ වැල්අලවලට අමතරව මෑ,දියලබු,බැටළු මිරිස් ආදිය වවා තිබුණි.සරුවට වැඩී තිබුන දියලබ්බක් අපට දෙන්නට රැවුලාට උවමනාව තිබුණත් අපිට වැඩක් නොමැති නිසා බාර නොගත්තෙමු.
හිඟුරල එපමණ අස්වැන්නක් නොමැතිවුයේ කළින් සිටවූ තැනම නැවතත් සිටුවා තිබු හෙයිනි.එහෙත් කුකුළල අස්වැන්න ඉතා සරුවිය.රා මදින ලද අතහැර දැමු කිතුලක්ද විය.පීදෙන්නට ඔන්න මෙන්න වූ තවත් කිතුලක් වූ අතර මල ඉඳුන පසු එයටද බෙහෙත් තබන බව රැවුලා පැවසීය.මම ලංකාවේ හිටියානම් රැවුලා මට කිරිබත් කන්නට උගේ කුඹුරේ අලුත් හාල්ද දෙයි.ඒවා කඩේ තියෙන පිදුරු හාල් මෙන් නොවැ තෙල් රසැති උයනවිට සුවඳ හමන හාල්ය.
කොහොමත් අපි කුඩා කාලයේ සිටම කෑවේ අපේ කුඹුරුවල පැසෙන හාල්ය.කුඹුරු වගා නොකරන අද පවා මම කඩේ හාල් කන්නට කැමැත්තක් නොමැති  අතර කන්නට කුඹුරු හාල් ටිකක් කොහෙන් හෝ සොයාගමි.බොහෝ විට අපට වී දෙන්නේ බිරිඳගේ ලොකු අයියාය.අයියා හොඳ ගොවියෙකි.ඉඳහිට එහි යන මට හරි ආදරේය.අයියාගේ ගේ පිටිපස වවා තිබු  මඤ්ඤොක්කා වගාව බෙහෙවින් සරුසාරය.මම එහි පිංතුරයක්ද ගත්තෙමි.මඤ්ඤොක්කා වගාවෙන් දානෙට තම්බන්නට ගලවා ගෙන ආ අල අපේ බත්කෙන්ද තරම මහත සරුවට බැස තිබු අල විය.දානෙන් පසුව කන්නට  මඤ්ඤොක්කා බෙදාගත්තද සීතලව තිබු  මඤ්ඤොක්කාවල කිසිම ප්‍රිය උපදන රසක් නොවීය.

 


 


මා මඤ්ඤොක්කා කන ආකාරය මෙයට වෙනස්ය. අලුත්  මඤ්ඤොක්කා තම්බා ගලේ තලන ලද පොල් සම්බෝල හෝ ලුණුමිරිස් සමග හෝ මිරිසට පිසන ලද ඌරුමස් හෝ හරක් මස් සමග උණු උණු මඤ්ඤොක්කා බෙහෙවින් ගිල දැමිය හැකිය.ඒ ආකාරයට මඤ්ඤොක්කා කන්නට මෙදා කිසිම අවස්ථාවක් ලැබුනේ නැත.එමෙන්ම රැවුලා මට දුන් කුකුළල පොදිය ලංකාවේදී කෑමට වෙලාවක් නැතිවිය.දමා එන්නටද නොහැකිය.අපි නැතිවිට අල ටික නරක්වී යනවා මිසක තම්බා කෑමට ගන්නා කෙනෙක් නැත.එහෙයින් අල ටික රැගෙන ඇවිත් තම්බා දවස් දෙකක් උදේට කෑවෙමි.කුකුළල තම්බන්නේ පොත්ත පිටින්ය.කනවිට පොතු ඇර කෑ යුතුය.අල කොපමණ රස උනත් පොතු ඇර ඇර කන්නට ටිකක් කම්මැලිය.ඒ නිසා තැම්බූ කුකුළල බාජනය බිරිඳට දුන්නෙමි. පිඟාන මා තබාගත්තෙමි.බිරිඳ පොතු ඇර ඇර මගේ පිඟානට දමන අල මම ගාපු පොල් සමග කෑවෙමි.එතකොට නම් කිසිම කම්මැලිකමක් නැත.තැම්බූ කුකුළල  දිව්‍යලෝක රසය෴

Wednesday, March 11, 2015

රේඩියෝ යුගය,හුළුඅතු බැඳගෙන චිත්‍රපට බලන්නට පැමිණීම සහ අපේ කැපවීම.


අතීතය විටෙක් සිහින සිතුවමක් මෙනි.අතීත මතකයන් අවදිවන විට සිත ප්‍රහර්ෂයෙන් ඇළලී යයි.බොහෝ විට අප සියල්ලන්ම අඩු වැඩි වශයෙන් සිතින් අතීතය ස්පර්ශ කරමින් රස විඳින්නමෝ වෙමු.තවද සමහර මතකයන් බොහෝ අපැහැදිලි වන විට සමහර මතකයන් කෙතෙක් පැරණි වුවද ඉතා පැහැදිලිව මතකයේ රැඳී තිබීම විශ්මජනකය.එය බොහෝවිට අප එම මතකයන්ට දක්වන ලැදියාව මත සිදුවන දෙයකැයි මට සිතේ.එනම් යම් රසවත් අත්දැකීමක් අප මතකය තදින් බදා සිටින අතර අප්‍රසන්න අත්දැකීමක් ඉක්මනින් අමතක වී යයි.කෙසේ වුවද අප බොහෝ විට මෙනෙහි කරන්නට කැමති වන්නේ හා මෙනෙහි කරන්නේද අතීතයේ රසබර අත්දැකීම් පමණක් වීම කොයි කාටත් සාධාරණයැයි මට සිතේ.මේ එවැනි මතකයන් පොකුරක් නැවත ආවර්ජනය කරන්නට මා ගත් උත්සාහයකි.

එය අප යොවුන් විය පසු කරමින් තාරුණ්‍යයේ එළිපත්ත මත සිටි සමය විය.අද මෙන් ලෝකය කුඩා ගම්මානයක් නොවූ එකල පුවත්පත් කියවීමත් චිත්‍රපට නැරඹීමත් රේඩියෝවට සවන් දීමත් අපගේ ප්‍රධාන විනෝදාංශයන් විය.රේඩියෝවේ ස්වදේශීය සේවය හා වෙළඳ සේවය යනුවෙන් සේවා  දෙකක් ක්‍රියාත්මක වූ අතර සන්ධ්‍යා සේවය යනුවෙන් විකාශයක් තිබුණත් එය වැඩිකල් නොතිබුන බව මගේ මතකයයි.අප දිගින් දිගටම ඇසුවේ වෙළඳ සේවයේ වැඩසටහන්ය.චිත්‍රපට බෙදාහැරීම සඳහාද තිබුනෙ සමාගම් දෙකකි.එය සිලෝන් තියටර්ස් හා සිනමාස් යනුවෙන් හැඳින්වින.සිලෝන් තියටර්ස් සමාගම බහුල වශයෙන් කලාත්මක චිත්‍රපට නිපදවීමට මුල් තැන දුන් අතර සිනමාස් සමාගම වාණිජමය වශයෙන් මහත් ලාභ ඉපයූ හා තරුණයන් බොහෝසේ ආකර්ෂණය කළ ක්‍රියාදාම සහ සටන් ඇතුළත් චිත්‍රපට නිපදවීම සිදුකළේය.සිනමාස් මණ්ඩලයට අයත් සිනමා  ශාලාවල සිලෝන් තියටර්ස් නිපදවන චිත්‍රපට හෝ සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලාවල සිනමාස් චිත්‍රපටද ප්‍රදර්ශනය නොවිණි හෝ එසේ ප්‍රදර්ශනය වූවානම් ඉතා කලාතුරකින් පැරණි සිංහල චිත්‍රපටයක් විය.

අප නගරයේ තිබූ සිනමා හලද සිලෝන් තියටර්ස් ප්‍රදර්ශන මණ්ඩලයට අයත් වුවක් වුවද එය බී ශ්‍රේණියේ සිනමා ශාලාවක් වීම හේතුවෙන් අලුතින් ප්‍රදර්ශනයට නිකුත් කළ චිත්‍රපට හෙවත් මුල් වටයේ චිත්‍රපට ප්‍රදර්ශනය නොවීය.ඉතා කලාතුරකින් එසේ චිත්‍රපටයක් ප්‍රදර්ශනයට ලබාදුන් අවස්ථාද විය.මගේ මතකය අනුව මහගම සේකරයන්ගේ තුංමං හංදිය මුල් වටයේ ලැබුණු එවැනි චිත්‍රපටයකි.එකල අලුත්ම අලුත් චිත්‍රපටයක් සිනමා ශාලාවේ ප්‍රදර්ශණය කරන විට සිනමා ශාලාව ඉදිරිපිට පාර හරහට චිත්‍රපටයේ නම සඳහන් බැනරයක් දැමීමේ සිරිතක් විය.තම චිත්‍රපටය ප්‍රදර්ශණය වන සිනමා ශාලාවල තත්ත්වය පරීක්ෂා කර බැලීමේ චාරිකාවක නිරතවූ තුංමං හංදිය නිෂ්පාදක චිත්‍රා බාලසුරිය මහතා විසින් සිනමා ශාලාව ඉදිරිපිට බැනරය නොතිබීමෙන් මහත්සේ කෝපයට පත්ව චිත්‍රපටය ශාලාවෙන් ගලවාගෙන යන ලදී.කෙසේ වුවද සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලාවල මුදුන් මල්කඩ බඳු වූ කොටුවේ රීගල් සිනමා හලේද තුංමං හංදිය දින දෙක තුනකට වඩා ප්‍රදර්ශණය කරන්නට නොහැකි වුයේ නරඹන්නන් නොමැතිකම හේතුවෙනි.එලෙස අසාර්ථකවූ චිත්‍රපට කීපයක් මගේ මතකයට නැගෙන අතර ඒ සියල්ලම කලාත්මක බවින් අනූන අදාළ වසරේ සම්මාන දිනාගත් චිත්‍රපට වීම විශේෂයකි.සත් සමුදුර,නිධානය,තුංමං හංදිය,කළුදියදහර,මහගෙදර මගේ මතකයට නැගෙන එවන් චිත්‍රපට කිහිපයකි.

එහෙත් අතිශය කලාත්මක හා සම්මානනීය චිත්‍රපටයක් වූ තිස්ස අබේසේකරයන් විසින් අධ්‍යක්ෂණය කරන ලද විරාගය චිත්‍රපටය  1987 වර්ෂයේ ආදායම් වාර්තා බිඳ හෙලමින් ප්‍රදර්ශණය විය.මාතලන් වැනි පැරණි චිත්‍රපට නැවත පෙන්වීමේදී සිනමාහල හැමදාම හවුස්ෆුල් වූ අතර දඹදිව සිද්ධස්ථානවල දර්ශන ඇතුළත් හතර පෙරළිය චිත්‍රපටයද බෙහෙවින් නරඹන්නන් ආකර්ෂණය කළ චිත්‍රපටයක් විය.හතර පෙරළිය නරඹන්නට පවුල් පිටින් පැමිණි උපාසිකාවන් දඹදිව සිද්ධස්ථාන දර්ශන නැරඹුයේ බුද්ධාලම්බන ප්‍රීතියෙන් කඳුළු වගුරවමිනි.අජාසත්ත චිත්‍රපටයද එකල ඉතා ජනප්‍රිය වූ අතර නරඹන්නන් බෙහෙවින් සිනමාහල් වලට අද්දවා ගැනීමට සමත්විය.මේ චිත්‍රපටවල හැම දර්ශනයක් සඳහාම සිනමාහල ඉදිරියේ ඉතා දිග පෝලිම් තිබූ අතර චිත්‍රපටය නැරඹීම සඳහා ටිකට් ලබාගැනීමට නොහැකිවූ අය ඊළඟ දර්ශනයට ටිකට් පතක් ලබාගැනීම සඳහා පෙළගැසී සිටියෝය.සතියේ දිනවල සවස 6.30 ට සහ රාත්‍රී 9.30 ට දර්ශණ දෙකක් වූ අතර සති අග ඊට අමතරව උදේ 10.30 සහ දහවල් 2.30 දර්ශන විය.වර්තමානයේ රාත්‍රී 9.30 දර්ශනය හැලී ගොස් ඇති අතර දිනපතා 2.30 දර්ශනයක් එකතු කර ඇත්තේ ඒ වෙනුවට විය හැකිය.අප බොහෝවිට නැරඹුයේ 6.30 හෝ 9.30 දර්ශනයයි.මීට අමතරව නගරවලට විශාල වශයෙන් ජනතාව රැස්වන වෙසක් උත්සවය වැනි දිනවල රාත්‍රී 12.30 ටද දර්ශනයක් පැවැත්වුනි.එක් අවුරුද්දක වෙසක් බලන්නට මීරිගම ගිය අපි මිහිර සිනමා හලේ රෑ 12.30 චිත්‍රපට දර්ශනයද නරඹා පාන්දර කෝච්චියේ නැග බිමට එළිය වැටෙද්දී  ආපසු ගෙදරට පැමිණියා මට මතකය.

කලාත්මක සිංහල චිත්‍රපට සම්බන්ධයෙන් එසේ වුවද සිංහල චිත්‍රපට නොමැතිවිට ප්‍රදර්ශණය කරන්නට යෙදුනු පැරණි ඉංග්‍රීසි දෙමළ හා හින්දි චිත්‍රපට ශාලාවෙන් ගලවන තුරුම ඉතා හොඳින් ප්‍රදර්ශණය කෙරිණි.ඉංග්‍රීසි චිත්‍රපටවල බිහිසුණු ක්‍රියාදාමයන් දෙමළ චිත්‍රපටවල සටන් ජවනිකා සහ හින්දි චිත්‍රපටවල මධුර මනෝහර ගීත අප සිත්ගත් අංගයන් විය. විශේෂයෙන්ම ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ ගොපළු චිත්‍රපට සහ ෂෝන් කොනරි රඟපෑ ජේම්ස් බොන්ඩ් වර්ගයේ රහස් පරීක්ෂක කතා ඇතුළත් චිත්‍රපට අපි උමතුවෙන් මෙන් තුන් හතර වර නැරඹුවෙමු.එකල රැකියා නොකල අප චිත්‍රපට නැරඹීමට විවිධාකාරයෙන් මුදල් සොයා ගත්තෙමු.චිත්‍රපට නැරඹීමට ගෙදරින් මුදල් නොලැබෙන අතර ඉල්ලා සිටියහොත් කණ පිරෙන්නට බැණුම් අසා ගත හැකිවිය.එබැවින් වෙනත් ක්‍රමයකින් මුදල් සොයා ගැනීම අත්‍යාවශ්‍ය විය.

සතියකට දෙකකට වරක් කදක් කර තබාගෙන ගමට එන එක් ඇසක් සහිත වෙළෙන්දෙක් විය.අපි ඔහු කණා වෙළෙන්දා යනුවෙන් හැඳින්වූයෙමු.ඔහු පරණ පත්තර,බෝතල්,ඇලුමිනියම්,යකඩ,බෙලෙක්ක ආදියද කෝපි පුවක් ගොරක ආදියද කුණු කොල්ලයට මිලට ගත්තේය.අපි ගෙදර වත්තේ කෝපි ගස්වලින් කෝපිද පුවක්ගස්වලින් පුවක්ද කඩා කණා වෙළෙන්දාට විකුනුවෙමු.ගොරක වාරයට ගොරකද විකුණා ලද මුදල් සියල්ලම චිත්‍රපට නැරඹීමට වියදම් කළෙමු. කාර්යාලයෙන් පරණ පත්තර තොග ගණන් කුනුගොඩට වැටෙනු අද දකිනවිට එකල පරණ පත්තර රාත්තලක් සොයාගැනීමට දරන ලද වෙහෙස නිතැතින්ම සිහියට එයි.මීට අමතරව ගෙදරින් තම්බාපු වී ගෝනිය කරතියාගෙන වී මෝලට ගොස් කොටාගෙන එනවිට ජූලිස් මුදලාලිගේ කඩේට  සම්බා හාල් සේරුවක් රුපියල් 1.50 බැගින් වික්කෙමි.මෙම වංචාව වැඩිකල් කරගෙන යන්නට නොහැකිවූයේ අම්මාට ඉව වැටුන නිසාය.මෙලෙස අමාරුවෙන් අසීරුවෙන් උපයා සපයා ගත් මුදල් සියල්ලම වියදම් වුයේ කඩචෝරු කෑමටත් චිත්‍රපට නැරඹීමටත්ය.එකල අපි දුම් පානය හෝ මත්පැන් පානය නොකළෙමු.ගැලරියේ චිත්‍රපටයක් නැරඹීමට වියදම් වුයේ ශත පනස්පහකි.දෙවෙනි පංතිය රුපියල් එකයි ශත දහයක් වූ අතර පළවෙනි පංතියේ නැරඹීම සඳහා රු. දෙකයි විස්සක් වියදම් විය.ඕ ඩී සී හෝ බැල්කනි එම සිනමා ශාලාවේ නොවීය.අපි බොහෝවිට චිත්‍රපට නැරඹුයේ ගැලරියේ බංකුවලය.ගැලරිය පිරී තිබුණහොත් දෙවෙනි පංතියට ගියෙමු.බොහෝ වියදම් සහිත පළවෙනි පංතියට නම් කිසිදිනෙක ගියා මට මතක නැත(පසුගිය ජනවාරි විසිහයවෙනි දින මම බිරිඳ සමග ගොස් මෙම සිනමා හලේ මහරජ ගැමුණු බැලුවෙමි. ඉස්සර පළවෙනි පංතිය දැන් ඕ ඩී සී වී තිබු අතර එදා නොතිබූ බැල්කනි පහසුකමද විය.බැල්කනියේ ටිකට් දෙකකට මට වියදම් වූ මුදල රුපියල් හයසියයකි)

සත පනස්පහක්දී ටිකට් එකක් ගෙන සිගරැට් දුමින් සහ ගෝසාවෙන් පිරි සිනමා ශාලාවට ඇතුල් වන්නෙමු.ශාලාව පුරා පැරණි පන්නයේ විදුලි පංකා කැරකෙමින් තිබු අතර වායු සමීකරණ පහසුකම ගැන එකල අප දැනුවත්ව නොසිටියෙමු. එහි බංකුවල වාඩිගන්නා අපි චිත්‍රපටය පටන්ගන්නා තුරු කඩල රටකජු ගොටු නවා සාදා ගන්නා රොකට් ඉහළට යැව්වෙමූ. සිවිලිම වෙනුවට ගෝනි ගසා තිබු ශාලාවේ ඉහළට යන රොකට්ටුව පහසුවෙන් ගෝනියට ඇමිනේ.එවැනි රොකට් සිය ගණනක් සිවිලිමේ රැඳි තිබෙනු දකින්නට හැක.වේගයෙන් කරකැවෙන විදුලි පංකාවේ පෙති අතරින් රොකට්ටුව ඉහළ යැවීම එදා අපි වීරකමක් ලෙස සැලකුවෙමු. චිත්‍රපටය ආරම්භ වනතුරු වාදනය කිරීමට සිනමා ශාලාවේ තිබුණේ එකම එක හින්දි ගීත තැටියකි.තොරතෝංචියක් නැතිව අසා තිබු එම තැටියේ ගීත සියල්ලම අපට කටපාඩම්ය.ශාලාව අඳුරු කළ පසු කකුල් දෙක ඔසවා ඉදිරිපස බංකුවේ තබාගෙන චිත්‍රපටය නැරඹීම ඉතා පහසු විය. විවේක කාලයට කැන්ටිමෙන් ටොපි  බැදපු කඩල හෝ ටේස් පරිප්පු කන්නට හැකිවිය.අතමිට වැඩිපුර තිබේනම් ශීතකළ අලියා ඔරේන්ජ්බාර්ලි පානය කළෙමු.කොකාකෝලා ෆැන්ටා හෝ පෙප්සිද කුඩා කුඩා බෝතල්වල එන පළතුරු බීමද  එකල අපරටේ වෙළඳපොළ ආක්‍රමණය කර නොතිබිණි.විවේක කාලයෙන් පසු තරමක් වෙලා යනතුරු චිත්‍රපටය නැරඹීම තබා සිනමා ශාලාවේ ඇස් ඇරගෙන සිටීමද අපහසු වන්නේ සිගරැට් දුම නිසාය. දුම්පානය ගැන අදමෙන් තහංචි පනවා නොතිබුණු එකල දුම්බීම කළ අය පාරේද කඩපිලේද දුම්රියේද බසයේද කාර්යාලයේද යනුවෙන් වෙනසක් නොමැතිව දුම් පානය කළෝය.එබැවින් මනාව ඇවුරුණු ස්ථානයක් වූ සිනමා ශාලාව තුළ තිබූ දුම්කඳ දුම් කෝච්චියකින් පිටවූ දුම්කඳ සිහිපත් කළේය.

දිනක් අප දහදෙනෙක් පමණ උදේ දහයයි තිහ දර්ශනය බලන්නට ගියෙමු.එදා නැරඹු චිත්‍රපටයේ නම  මට අදද මතකය.ඒ ෂෝන් කොනරි රඟපෑ ඩයමන්ඩ්ස් ආ ෆෝ එවර් නම් ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයයි.සුපුරුදු ලෙස ගැලරියට වැදුන අපි චිත්‍රපටය නැරඹුයේ කකුල්ද ඉදිරිපස බංකුවේ තබාගෙනය.චිත්‍රපටය අවසානයේ බිම තිබු සෙරෙප්පු කුට්ටම ආපසු දමාගනිද්දී අමුත්තක් දැනුනත් ඒ අවස්ථාවේ බලන්නට අපහසු නිසා එළියට පැමිණ බලනවිට මා සිනමා හලට පැළඳගෙන ආ අලුත්ම ඉලාස්ටෝ සෙරෙප්පු කුට්ටම වෙනුවට දමාගෙන සිටියේ හද්ද පරණ පටි කැඩී හරනෙල් කටු ගසා තිබුන කබල් සෙරෙප්පු කුට්ටමකි.මා දෙපා උඩ තබාගෙන චිත්‍රපටය බලද්දි පසුපස සිටි එකෙක් උගේ සෙරෙප්පු කබල් දෙක මගේ අලුත් සෙරෙප්පු කුට්ටමට මාරු කරලාය.එවෙලේ මට දැනුන කේන්තිය සහ දුක කොතරම්ද කිවහොත් ඇස්දෙකෙන් කඳුළු පිටවිය.ආපහු කාලයකට අලුත් සෙරෙප්පු දෙකක් ලැබෙන්නේ නැත.එහෙත් කේන්තියටම කබල් සෙරෙප්පු දෙක ඒ අසළ බාලොලි අකුලකට විසිකර ගෙදර ආවෙමි.

දිනෙන් දින ගෙවී යද්දී චිත්‍රපට බැලීමේ රුචිය වැඩිවන්නට විය.අලුත්ම අලුත් චිත්‍රපට පිටවූ දවසේම බැලීමට සමහර විට අපි දුම්රියේ ගොඩවී ගම්පහ ජයන්තා සිනමාහලට ගියෙමු.එවකට ජයන්තා සිනමාහල පිහිටා තිබුණේ ගම්පහ දුම්රියපොළ ඉදිරියේමය.අද එතැන ඇත්තේ බහුමහල් සුපිරි වෙළඳ සැළකී. එන එන හැම චිත්‍රපටයම බැලීමට බොහෝවිට අතමිට හිඟපාඩුය.කාගේ හෝ මිත්‍රයෙකුගේ අනුග්‍රහයක් නොලැබුණොත් චිත්‍රපට බැලීම අතහැර දමන්නට සිදුවන අවස්ථාද හිඟ නොවීය.එකල සාමාන්‍යයෙන් ගම්වල ඇති  සෙනග ගැවසෙන තේ කඩ ඉදිරියේ චිත්‍රපට දැන්වීම් පුවරුවක් එල්ලා තැබීම සිරිතක් විය. එයට ගෙවීම වුයේ කඩ හිමියාට නොමිලේ චිත්‍රපට නැරඹීම සඳහා ලැබෙන බලපත්‍රයකි.මෙය පාස් එක යනුවෙන් හැඳින්වින.අලුත් චිත්‍රපට සිනමාහලට පැමිණි විගස මේ පාස් වලංගු නොවේ.පාස් සහ පහසුකම් අත්හිටුවා ඇත යනුවෙන් දැන්වීමක් සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කරන්නේ ඒ නිසාය.දින කීපයක් ගියපසු පාස් එක පාවිච්චිකර චිත්‍රපට බැලීමට අවස්ථාව ලැබේ.කඩ හිමියන්ගෙන් පාස් ලබාගෙන අපි චිත්‍රපට නරඹන අවස්ථාද හිඟ නොවීය. තේ කඩ කාරයන් චිත්‍රපට බලන්නට කරදර නොවෙන බැවින් ඉල්ලු විගස අපට පාස් ලැබුණි.

කාටත් නොදැනී කාලය වේගයෙන් ගලා ගියේය. අප තරුණ කණ්ඩායමේ සිටි එකා දෙන්නා රැකියාවලට යන්නට වුවෝය.අවසානයේ මටද රජයේ රැකියාවක් ලැබුණි. අලුතින් ලැබුන රැකියාව නිසා චිත්‍රපට බැලීමේ වපසරිය පුළුල් විය.එමෙන්ම චිත්‍රපට බැලීමට මා සමග එකතුවන අයද වෙනස් විය.රුපවාහිනිය නම් යන්ත්‍රයක් රටේ සැමතැනම නිවෙස්වල  සාලය සරසන්නට පටන් ගත්තේ මෙන්න මේ වකවානුවේදීය.මුලින්ම පැටියා විසින් රූපවාහිනියක් මිලදී ගන්නා ලදී. පැටියා අප රැකියාවට යන්නට අවුරුදු හතර පහකට පෙර රෙදිමෝලේ රස්සාවට ගොස් මේ වනවිට යමක් කමක් හරිහම්බ කරගෙන විවාහයක්ද කරගෙන සිටියේය. රූපවාහිනිය පැමිණි පසු පැටියාගේ නිවසේ සාලය අපේ නිවෙස මෙන් විය.විකාශය අවසන් වන තුරු අප එහි පදිංචිව සිටියෙමු.රූපවාහිනී විකාශනය මුල් කාලයේ බහුලව තිබූ විදේශීය වැඩ සටහන් අතර සිංහල වැඩ සටහන් කීපයක්ද විය. අනතුරුව සිකුරාදා දිනවල සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශණය කරන්නට පටන් ගැනිණි.මෙන්න මේ චිත්‍රපටය බලන්නට ගම හැම තැනම අය රුපවාහිනී තිබු නිවෙස් දෙක තුනට ඇදෙන්නට වීමත් සමග සිකුරාදා රාත්‍රිය පැටියාගේ නිවසේ සාලය හවුස් ෆුල් වන්නට පටන් ගත්තේය. මෙතෙක් කලක් නිවෙස්වල මුළු ගැන්වී සිටි කෙල්ලන්ද වැඩිහිටියන් සමග චිත්‍රපට බලන්නට පැමිණීම තරුණ කොල්ලන් වූ අපගේ සිත් අමන්දානන්දයට පත්කළ කරුණක් විය. පැටියාගේ නිවසේ අයිතිකාරයන් මෙන් සිටි අප චිත්‍රපට බලන්නට එන කෙල්ලන්ගේ සුව පහසුව සැලසීමට නිතරම උත්සුක වූයෙමු.රාත්‍රී නවය හමාරට පටන් ගන්නා සිංහල චිත්‍රපටය අවසන් වනවිට පසුදා පාන්දර වෙයි.බලන්නට පැමිණි අය ගෙවල්වලට ඇරලවීම ආදී යහපත් කටයුතු අපි කිසිදු මැසිවිල්ලක් නොනගා ඉටුකළෙමු. සිකුරාදා දිනයේ රෑ එළිවෙනතුරු වුවද නිදිමැරීම කිසිදු ප්‍රශ්නයක් නොවුයේ පසුදා සති අන්ත නිවාඩු දිනයක් බැවිනි.

චිත්‍රපට බැලීමට ගමේ වැඩිහිටි කාන්තාවන් හුළුඅතු පත්තුකරගෙන සිය පවුල් පිටින් පැමිණියේ පැටියාගේ සාලයේ බිම එළා වාඩිගන්නට අවශ්‍ය පැදුරුද කිහිළි ගන්නාගෙනය.සමහර අය ලැබෙන විවේකයේ හපන්නට බුලත්විටද සකස් කරගෙන පැමිණියාහුය.විවේකය යනු චිත්‍රපටය අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය වන වෙලාවයි. ආපසු යනවිට දල්වාගෙන යාම සඳහා අමතර හුළුඅත්තක්ද සමහරුන් අත විය. අමතර හුළුඅතු නොතිබූ අයට චිත්‍රපටය අවසානයේ හුළුඅතු සකස් කර දල්වා දීමද අපේ රාජකාරියක් විය. 

චිත්‍රපටය පෙන්වද්දී කෙල්ලන්ව ගෙයින් එළියට ගන්නට සමහර කොල්ලන් නොදැරූ තැතක් නැත.එසේ වතුදු ඔවුන් ගැන  වැඩිහිටි කාන්තාවන්ගේ දැඩි අවධානය යොමුවී තිබු හෙයින් එය එතරම් පහසු කටයුත්තක් වුයේ නැත. එහෙත් සියල්ලන්ගේම ඇස් වසා ගෙයින් එළියට පැනගන්නට සමත්කම් දැක්වූ කෙල්ලන්ද නොසිටියේ නොවේ. එවන් අවස්ථාවල ඔවුන් සිය සිත් දිනා සිටි කොල්ලන් සමග අට්ටලාගේ මිදුලේ බැඳපු නැති ළිඳ අද්දර තිබූ නාම්බන් පොල් පැළයට හේත්තුවී චිත්‍රපටය අවසන් වනතුරු මිහිරි රහස් හඬින් පෙම්බස් දොඩමින්ද සිප වැළඳ ගනිමින්ද සිටියෝය. මේ පෙම්කෙළි අවසන් වනතුරු කිහිප දෙනෙකුට අවට පිට මුර කරන්නට සිදුවුයේ හදිසියේවත් වැඩිහිටියෙක් පැමිණියහොත් යයි තිබු බය නිසාය. මෙවැනි හමුවීම් ඉතා රසවත් සිද්ධීන් සහ අවස්ථා ගණනාවකින් යුක්ත හෙයින් ඒ ගැන වෙනම ලිපියක් ලිවීම කළයුතුය෴

මේ දිනවල මා සමග විප්‍රවාසයේ ගතකරන මගේ ආදරණීය බිරිඳගේ ජන්ම සංවත්සරය අදට යෙදී ඇත. උපන් දිනය යනුවෙන් වැහැරීම වැරදි බවත් ජීවිතයටම ඇත්තේ එක උපන් දිනයක් බවත් හැම අවුරුද්දේම එළැඹෙන්නේ ජන්ම සංවත්සර බවත්  සිංහල පණ්ඩිතයෙකු වූ මා හිතවත් කාරියකරවන මැතිතුමා මේ ළඟදී පවසා තිබුණි.එය නිවැරදි යැයි මටද සිතෙන බැවින් එසේ සඳහන් කලෙමි. බිරිඳගේ ජන්ම සංවත්සරය වෙනුවෙන් මේ ලිපිය ඇයට පිරිනමමි.ඔබට සුබ ජන්ම සංවත්සරයක් වේවා!!!

Sunday, March 8, 2015

රොසන්ටගෙ රන් එක අම්බ කුකුල් හොරු සහ ඌරන් හුළුගෑම.


අද කතාව මම කලින් ලියපු කතාවට සම්බන්ධයි.ඒ කොහොමද කිව්වොත් ගහට නගපු ලොකු කෙල්ලට බික් රේසරයක් ගන්න කියල රහුමාන් මාස්ටර් කිව්වනෙ.එතකොට මට තව කතාවක් මතක් උනා.

අපේ ගමේ හිටපු ඉතාම හිත හොඳ කාන්තාවක් වෙච්ච රොසන්ටා ගැන මම කලින් කතාවක් ලිව්වා.රොසන්ටගේ ගනුදෙනු කාරයෙක් වෙච්ච ඇන්සා මේ කතාව දවසක්දා මගෙත් එක්ක කිව්වා.ගනුදෙනු කාරයෙක් කියල මම කතාවට කිව්වට උන් නං ගනු විතරයි දෙනු තිබුනෙම නෑ.දෙනව තියා අහුවුනොත් එහෙම රොසන්ට රෙද්දෙ ගැටගහගෙන ඉන්න තුට්ටු දෙකත් ලෙහෙල අරගෙන කසිප්පු ගහන ජාතියෙ අපතයො රැළක් ඒ කාලෙ රොසන්ට පස්සෙන් වැටිල හිටියා.

ඉතිං රොසන්ටා තමුන් කලින් යොදාගත්ත වැදගත් හමුවීම් වලට රාත්තිරියෙ යද්දි මග රැකල ඉන්න මේ අපතයො රැල රොසන්ටගේ පස්සෙන් පන්නනවා.හැබැයි ඒ වෙලාවට රොසන්ටා උන්ට අහුවෙන්නෙ නෑ හාවෙක් වගේ එහෙට මෙහෙට පැනල දුවල බේරෙනවා.ඇයි අප්පා මේ වගේ අතේ තඹේ නැති නිකමුන්ට පිනට දීල ඇති පලක් තියෙයියැ.මුන් කොහෙන් හරි ගාණක් හොයාගෙන සුරුට්ටුවක් ඔතාගෙන ගහල අරකත් යගදාව වගේ කෙලින් කරගෙන රුදාව ඇරගන්න මේ මනුස්සයව අල්ලගන්න බලං ඉන්නෙ.කොහොමින් කොහොමින් හරි රොසන්ට මුංට අහු නොවී මාරු වුනාම මොකද කරන්නෙ රස්සාව ඉවරවෙලා ගෑනි ආපහු එනතුරු වත්තෙ ගස්යටට වෙලා රැකල ඉන්නව.

ඒ දවස්වල ඇන්සා පොඩි මහින්දලගෙ ඉස්තෝප්පු කාමරේ කුලියට අරගෙන පදිංචි වෙලා හිටියා.ඒ ගෙදර ඉස්තෝප්පුවෙ කොට බිත්තිය උඩට නැග්ගම රොසන්ටා ආපහු එන පාර හොඳට පේනවා.ඔන්න දවසක් ඇන්සා ඔයවගේ කොට බිත්තිය උඩ වාඩිවෙලා රොසන්ටා එනතුරු කල් මරමින් ඉන්නවා.මේ මාත් එක්ක ඇන්සා කතාව කියාපු විදිය.

වෙලාව රෑ දොළහත් පහුවෙලා හුළඟට මගෙ ඇස් පියවෙනවා.එක පාරට මහින්දලගෙ ලිඳ පැත්තෙන් සරස් ගාල හීන් සද්දක් ආවා.මම බිත්ති කන්ඩියෙන් බැහැල බිත්තියට හේත්තු වෙවී හෙමිහිට හෙමිහිට සද්දෙ ආපු පැත්තට ගිහිං එබිල බැලුවා.අප්පට හුඩු මෙන්න එකෙක් කෙක්කක් වගේ ලීයක් උස්සගෙන උඩ බලාගෙන පිටිපස්සෙ ලාවුලු ගහේ එල්ලල තිබ්බ කුකුල් කූඩුව යට.කවුද කියල හොඳට බැලින්නං ටියුඩා.මූ ලීයේ අගට පොල්ලෙල්ලකුත් ගහල ඒක කුඩුවට තියාගෙන ඉන්නව.මට හිනාත් යන්න එනවා,කට තදකරගෙන මූ මොකද කරන්නෙ කියල බලාගෙන හිටියා.ඔය අම්බ කුකුල් හොරු පොල්ලෙල්ලක් රත් කරල ලීයක ගහල කුකුල් කුඩුවට තිබ්බම පොල්ලෙල්ලෙ  රස්නෙට කුකුළෙක් ඒකට නගිනව.ඊට පස්සෙ බිමට ගන්න එක විතරයි.ටිකකින් පොල්ලෙල්ලට කුකුළෙක් නගින්න ඇති මූ හිමිහිට ලීය බිමට අරං කුකුළත් කිහිල්ලෙ ගහගෙන යන්න හදනව.මම පස්සෙන් ගිහිං කතාකළා.

ඒයි ඔහොම හිටපං...

ටියුඩා උඩ ගිහිං අනික් පැත්ත හැරුණා.

එතකොට උඹ රෑට කරන අනික් ජොබ් එක මේකයි එහෙනං...

අනේ සොයිසා කියන්න නං එපා සොයිසා...

(මුන් දෙන්නම රෙදි මෝලේ කැන්ටිමේ එකට වැඩ කරන්නෙ.ඇන්සාට ටියුඩා කතා කලේ සොයිසා කියල වාසගමෙන්.)

කියන්න,කියන්න නෙවෙයි තෝ තියන්න වටින්නෙ නෑ යකෝ තෝ තමන්ගෙ මිනිස්සුන්ට නේද බලු වැඩ කරන්නෙ...

අනේ සොයිසා මට යන්න දීපං බං...

එහෙනං කුකුළව ගෙනිහින් ආපහු කුඩුවට දාපං...

ඒ ගමන මූ කුකුල ගෙනිහින් පොල්ලෙල්ලේ තියල උස්සල ආපහු කුඩුවට දැම්මා.දැන් මටත් හදිස්සියි මුත් එක්ක තර්ක කර කර ඉන්න අව්අස්සෙ අර ගෑණි යන්න ගියොත් නිදි මරාගෙන බලං හිටපු එකේ ප්‍රයෝජනයකුත් නැති වෙනවනෙ.

හ්ම් පලයං යන්න.මම මේ කාමරේ ඉන්නකං ආයෙ මෙහෙට කුකුල් හොරකමේ එනව එහෙම නෙවෙයි.ආපහු  ඇවිත් මට අහු උනොත් එහෙම යාළුකං බලන්නෙ නෑ හොඳ වැඩක් කරනවා.

ටියුඩ යන්න ගියා මම ආපහු ඇවිත් බිත්ති කණ්ඩිය උඩට නැගල බලං ඉන්න ගත්තා.වැඩි වෙලා ගියෙ නෑ පාරෙ ඈත කොණෙන් අඳුරු රූපයක් මතුවෙලා ටික ටික ඉස්සරහට එන්න ගත්තා.හැබැයි ගොඩක් වෙලාවට ඔයවගේ රූප එනව පෙනුනට හැබැහින් වෙන දෙයක් නෙවෙයි බලාගෙන ඉන්න අපට පෙනෙන මායාවක්.මම ඇහැ පිහදාල හොඳට බලං හිටියා.ඔව් රොසන්ට තමා මම ඉක්මනට ගිහිං මග රැකල  අල්ලගත්තා.

මේ මොකද මේ  කවුද කියල මම බයවුණා,මං මේ හදිස්සියට ගෙදර යන්නෙ අනේ...

ආ මම ඔයා එනතුරු පැය ගාණක් ඇහැරගෙන බලං හිටිය,දැන් මෙයාට යන්න හදිස්සිය...

අනේ හරි මහන්සියි අනේ මම යන්නං...

ටික වෙලාවනෙ ඔන්න ඔහෙ යමු...

මං අතින් අල්ලගත්තම රොසන්ටා වැඩි පෙරැත්ත කිරිල්ලක් නැතුවම මගෙ පස්සෙන් කාමරේට ආවා.ඇත්ත තමා මහන්සිත් ඇති.මහ පාන්දර වෙනතුරු තුං හතර දෙනෙක් එක්කවත් ඇයි හොඳයි කියන්න ඇතිනෙ.ඇඳට අරං ටිකක් වෙලා හුරතල් කර කර හිටියා.අප්පට සිරි ගජ කිව්වලු,මේ පහුගිය සතියෙත් තත් කෙඳි වගේ බූටෑවට වැවිල  තිබුන එක අද මොකුත් නෑ තට්ටෙ වෙන්නම බූ ගාලා,මං වටේම අතගාල බැලුවා සිනිඳුම සිනිඳුයි.

ඔය මොකද කරන්න හදන්නෙ, මොකක් කිව්වා?  ඈයා මට නං බෑ...

ඈ...මොකද අප්පා මේ කරල තියෙන්නෙ...

රොසන්ටා මගෙ උරිස්සට ඔලුව තියාගෙන හිනාවෙනවා.දැන් යන්න තිබ්බ හදිසියත් නෑ තුරුල් වෙලා හුරතල් වෙවී ඉන්නෙ ගෙදර යන්න ඕනැකමක් නැති ගානටයි.කොහොමත් පාන් කළුව තියෙද්දි ගෙදරට යාගත්ත නං මදැයි.

මොකද කපල දැම්මෙ...

මම ආයෙම ඇහුවා.

කරදරයි අනේ ඒ හින්ද කපල දැම්මා...

රොසන්ට හුරතලේට කට හදමින් කිව්වා.

හෑ...මොකෙන්ද කැපුවෙ...

බෝදිගෙ  රේසරෙන්...

බෝදි කිව්වෙ රොසන්ටගේ ලොකු කොල්ලා.ඒකට මට ඊට වැඩිය හිනා.බෝදියගෙ මුණ මතකද හඳ වගේ.ඌ මැරෙනකල්ම අඩු තරමෙන් මූණෙ කුරුලෑවක් වත් ආවෙ නෑනෙ.ඔන්න රහස.

ඇන්සා කතාව ඉවර කළා.අපට බඩ අල්ලගෙන හිනා.

ඉතිං රොසන්ටා කළුවරේම ගියාද...

නැතුව,මොකෝ මං හුළුඅතු බැඳල දෙන්නයැ.වැඩේ අහවර උණ ගමන්ම ගෙදෙට්ට  පිටත්කරල ඇරියා.පිහදාන්නවත් පරක්කු උනේ නෑ.යන ගමන් රෙද්දෙන් පිහදා ගන්න නැතෑ.ඒ වගේද මහන්සියට එතනම නින්ද ගියානං එහෙම එළිවෙලා තමා ඇහැරෙන්නෙ...

ඇන්සගෙ හුළු අතුබඳින කතාව මතක් වුනාම මට හිතුනෙ හුළු අත්තක් දැකපු කාලයක් මතක නෑ කියලයි.අපි පොඩි කාලෙ රෑ ගමනක් බිමනක් යනව නං හුළුඅතුමයි.එහෙම නැත්නං ඉටිපන්දමක් පොල්කට්ටක ගහල පත්තු කර ගන්නව.ඒ කාලෙ දැන් වගේ ටෝච් ආදී විදුලි එළි තිබුනෙම නෑනෙ.අනික දැන් හැම පාරකම වාගෙ වීථි ලාම්පු පත්තුකරල තියෙනව.ඒ කාලෙ රාත්‍රියට එකම ඝනාන්ධකාරයකින් වැහිල යන ගමේ පාරවල්වල අඳුර මකාලන්න හුලුඅත්ත අත්‍යාවශ්‍යම අංගයක් උනා. හුලුඅත්ත කියන්නෙ වේලිච්ච පොල්අතු අග්ගිස්සක් එකට කැටි කරලා ඒ පොල්කොළේකින්ම බැමි දෙක තුනක් දාල හදාගන්න පන්දමටයි.සමහරු ගින්න සරුවට ඇවිලෙන්න තව කෙටි පොල්ලතු අගිස්සක් මැදටත් තියනවා.ඒ උනාට රෑට ගෙදර යන වෝල්ටර් පත්තු කරගෙන යන හුළුඅත්ත නිකං හුලුඅත්තක් නෙවෙයි කාල පන්දමක්.ඔළුව කඩා දාපු පොල්ලත්තකටම බැමි ගහල පත්තු කරගෙන සැරයක් උස්සල පාත්කරපුවම පැත්ත පළාතම එලිය වැටෙනවා.පාරෙ ඈතින් මහා ගිණි මැලයක් ඇවිලෙමින් ඉදිරියට එනව දකින ගමේ කවුරුත් ඔන්න වෝල්ටර් ගෙදර යනව කියල දන්නවා.

අන්ධකාරය මකනවා ඇරෙන්න මේ හුළුඅත්ත තවත් දේකදි ප්‍රයෝජනවත් උනා.ඒ ඌරො හුළුගාන්න.අපි පොඩි කාලෙ අලුත් අවුරුද්දට නත්තලට එහෙම ගමේ කීප දෙනෙක් එකතුවෙලා ඌරෙක් ගේනවා.අපේ ගං පළාත්වල ඌරො ඇතිකළේ නැහැනෙ.ඒ නිසා බහුලව ඌරො ඇතිකරපු මීගමුව ජාඇල කඳාන වගේ පැත්තක තියෙන ඌරු කොටුවකින් හොඳ තර ඌරෙක් සල්ලිවලට අරං මරෝගෙන සයිකලේක බැඳන් ගමට ගේනවා.ඊට පස්සෙ සැන්ටින් මුදලාලිගෙ කඩේ පිටිපස්සෙ වෙද මහත්තයගෙ කෑල්ලෙ තියාගෙන මස් කරන්න පටන්ගන්නවා.මස් කරන්න ඉස්සෙල්ල ඌර සුද්ද කරගන්න එපායැ.කකුල් ගැට ගහල අස්සෙන් ලීයක් යවල ගස් දෙකක බැඳල  හුළුගානවා.ඒ කිව්වෙ ලොකු හුළුඅත්තක් බැඳල ඌරගෙ මවිල් සම්පූර්ණයෙන්ම පුළුස්සනවා.ඊට පස්සෙ පුළුස්සපු හරිය වීදුරු කට්ටකින් පෙරන් ගාල ඇඟ හැමතැනම ඌරු ලේ තවරනවා.ඌරගෙ මවිල් ඉක්මනට ඇදෙනවලුනෙ ඌරුමස් හොද්ද ලිපේ තියෙද්දිත් කෑලිවල මවිල් ඇදෙනව කියල කතාවට කියන්නෙ ඒකනෙ.

ලේ ගාල අරං ඌරව කෑලිවලට කපල මස් ගොඩවල් ගහනව.කිරුවත් බර සමාන වෙන ආකාරයට ඔය මස් ටික ගොඩවල් ගහන්න දස්සයෝ හිටියා.එහෙම දාට ගමේ හැම ගෙදරකම වගේ කුස්සියෙ ලිපේ ඌරු මස් හොද්ද වරදින්නෙ  නෑ. ගෙදර ගෙනිච්ච ගමන්ම උයාගන්න එපෑ මොකෝ ගෙවල්වල අද වාගෙ අයිස් පෙට්ටි හෙවත් ෆ්‍රිජ් තිබ්බ එකක්යැ.වැඩිපුර තිබ්බොත් කහ ලුණු ගම්මිරිස් අතගාල තම්බල අරං පහුවදාට ගන්න වහල තියනවා.එහෙම හදපු ලුණු ඌරුමස් බැදපු තුනපහේ දාල ආටෝපෙට රතුවට හොද්ද හදල ගත්තම ඒ කාලෙ අපේ ගෙවල්වල තිබුන උයනකොට සුවඳ ගහන කුඹුරු හාලෙ සම්බා බතුත් එක්ක ගෑවුන තැන කන්න පුළුවනි.ඌරුමස් හරක්මස් උයනව තියා අද කාලෙ ගෙවල්වලට ගන්නෙත් නෑනෙ.කුකුල් මස් විතරයි.එදා අද වගේ ආගිය අතේ බ්‍රොයිලර් කුකුල්ලු විකුණන්න තිබුනෙ නෑ.ගං කුකුල්ලු විතරයි කුකුළෙක් ගෙනාවෙත් මඟුල් ගෙයක් වගේ උත්සවයක් වෙලාවට රෝස් කරලා තියන්න.කොටින්ම එදා කුකුළා කියන්නෙ ඉස්සරහ කෑමක්.මඟුල් ගෙවල්වල එදා හට්ටි පුරෝල ඉව්වේ හරක්මස් සහ ඌරුමස් අද ඒකෙ අනික් පැත්ත.

ඉතිං රොසන්ට ගැන ලියන්න ඇවිත් කොහෙද ගියෙ බලමුකො.එහෙනං අදට ඔය මදැයි෴

Tuesday, March 3, 2015

මුජීබ්ගෙ කෝස් එක අල්ලපු ගෙදර කෙල්ල සහ රහුමාන් මාස්ටර්


අද රහුමාන් මාස්ටර්ගේ කතා ටිකක් හොයා ගත්තා.දැන් ඉතුරු වෙලා තියෙන්නෙ එහෙන් මෙහෙන් තේරිච්ච කතා ටිකක්.මම යාලුවගෙන් රහුමාන් මාස්ටර්ගේ කතා ඉල්ලුවම මිනිහත් මට හැකි විදියට කතා දෙනවා.හැබැයි මේවට හිනා යයිද කියන්න නං මට තේරුමක් නෑ.සමහර වෙලාවට රහුමාන් මාස්ටර්ගෙ කියල වෙන අය හදපු කතාවලටත් රහුමාන් මාස්ටර්ගේ නම ගහල දෙන්න පුලුවන්නෙ.ඔන්න ඔය වගේ ප්‍රශ්න වලටත් මුහුණ පාන්නට සිදුවෙනවා.අනික් බාධකය තමයි භාෂාව.ඔය සියළුම කතා ඉස්සෙල්ලම කියන්නෙදෙමළෙන්.බොහොමයක් වෙලාවට විහිළුව ඒ භාෂාව එක්ක ගහට පොත්ත වගේ සමීපයි.ඉතිං දෙමළ නොදන්නා අයට මේ විහිළු පරිවර්තනය කරදෙන්න ගියාම ඒකෙ තියෙන රසය ජීව ගුණය සියල්ලම හැලිලා යනවා.මට  සිංහල දෙමළ භාෂා දෙකේ ප්‍රශ්නයක් නැතිවුනාට අපේ බොහෝ අය දෙමළ භාෂාව නොදන්නා නිසාවෙන් මේ ප්‍රශ්නය වඩාත් උග්‍ර වෙනවා.

රහුමාන් මාස්ටර්ට පුත්තු දෙන්නෙක් හිටියා කියල අපි කලින්ම දන්නවනෙ.ලොකු පුතා ජමාල්දීන් පොඩි පුතා මුජීබ්.ජමාල්දීන් ඉගෙනගෙන එහෙම තාත්ත වගේ ගුරු පත්වීමක් අරං කින්නියාවෙ ඉස්කෝලෙම උගන්නන්න ආවා.හැබැයි පොඩි පුතා මුජීබ් එහෙම නෑ මිනිහා බොහොම උන්නතිකාමී තරුණයෙක්.කින්නියා දූපතට කොටුවෙලා ඉන්න මුජීබ්ගෙ කිසිම කැමැත්තක් තිබ්බෙ නෑ.මිනිහ කොළඹ ඇවිත් එක එක කෝස් ෆලෝ කරන්න ගත්තා.කොළඹ යන්න එන්න ලේසියට කුරුණෑගල නැන්දලගෙ ගෙදර නැවතුනා.එහෙ ඉඳන් මුජීබ් කෝස් කරනවා.මේ ඉවරයක් නැති කෝස් කිරිල්ල ගැන ගමේ අය වගේම රහුමාන් මාස්ටරුත් උපහාසයෙන් කතා කලාට මුජීබ් ඒ කිසි දෙයක් ගණන් ගත්තෙ නෑ.මෙහෙම ටික කලක් ගතවුනා දැන් මුජීබ් ගෙදර එන්නෙත් නෑ.මිනිහා කුරුණෑගල පැත්තෙන් පවුලක් වෙලා කියල ආරංචියකුත් ගමේ පැතිරුනා.දවසක් ගමේ තේ කඩේදී රහුමාන් මාස්ටර්ගේ යාලුවෙක් මාස්ටර්ගෙන් මේ ගැන ඇහුවා.

ඈ මාස්ටර් දැන් මුජීබ් ගමේ එන්නෙත් නෑ නේද?මිනිහ කෝස් කරල ඉවරයිද?

ආ ඔව් ඔව් කෝස් කිරිල්ල ඉවරයි,දැන් මිනිහ කුරුණෑගලට වෙලා ඉන්ටර්කෝස් කරනව...

මාස්ටර් ඇඟට නොදැනී උත්තර දුන්නා.
+++++++++++++++++++++++++++++
මේක රහුමාන් මාස්ටර් කින්නියාවෙ ඉස්කෝලෙට මාරුවෙලා ආපු අලුත සිද්දවෙච්ච දෙයක්.ඔන්න රහුමාන් මාස්ටර් වැඩ බාර අරගෙන පහුවදා උදේ ඉස්කෝලෙට ගිහිං ප්‍රින්සිපල්ගෙ කාමරේට ගියා.

ආ මාස්ටර් උදෙන්ම ඇවිත්,හොඳ ළමය වගේ ඔන්න ඔය මේසෙ උඩ තියෙන පෑනත් අරගෙනම එන්නකො...

ප්‍රින්සිපල් කිව්වා.රහුමාන් මාස්ටර් පෑන කටින් අරගෙන ගිහිං ප්‍රින්සිපල් ගෙ මේසෙ උඩට දැම්මා.

මේ මොකද මේ...

තෝන්තු වෙච්ච ප්‍රින්සිපල් ඇහුවා.

ඇයි ළමයෙක් වගේ පෑන ගේන්න කිව්වා නේද?ඉතිං මම එහෙම ගෙනාවා...

රහුමාන් මේ කෝලං නං කරන්න එපා.තාම පන්තියක් නෑ නේද?ගිහිං ඕ ලෙවෙල් ගෑනු ළමයින්ගෙ පන්තිය බලාගන්නකො...

රහුමාන් මාස්ටර් පංතියට ගියා.

දැන් ඔය ළමයින්ට මොනවද තියෙන්නෙ?

ගණිතය...

මේ දවස්වල ගණිතය මොනවද කරන්නෙ?

තොඩෙෙ(කුලක)...

ගෑනු ළමයි එකහඬින් කිව්වා.දෙමළෙන් කලවයේ ඉහළ කොටසටත් තොඩෙෙ කියනවා.

ෂාහ් මරුනෙ ළඟටම ඇවිත් හොඳා හොඳා මම ඉතුරු ටික බලන්නං...

+++++++++++++++++++++++++++++++++++++++++++++++ 
දවසක් හවස රහුමාන් මාස්ටර් මිදුලෙ චෙරි ගහ යට පුටුවක් තියාගෙන පත්තරේ කියවනවා.එකපාරටම චෙරි ගෙඩියක් පත්තරේ උඩට වැටුනා.මාස්ටර් උඩ බැලුවා.අල්ලපු ගෙදර පොඩි කෙල්ල ගහ උඩ.කෙල්ලට බහින්න කියල මාස්ටර් අතින් සන් කළා.කෙල්ල බැහැල ආවහම මාස්ටර් කෙල්ලට රුපියල් පණහක් දුන්නා.

ළමයෝ මේකෙන් ජංගියක් ගන්න...

කෙල්ල පනහත් අරං සතුටින් ගෙදර ගියා.නංගි අතේ පණහක් තියෙනව දැකපු අක්කා විස්තර ඇහුවම කෙල්ල සිද්ද වෙච්ච දේ කිව්වා.

මමත් හෙට යනවා...

එහෙම හිතාගත්ත ලොකු කෙල්ල පහුවදා හවස ගිහිං රහුමාන් මාස්ටර් පත්තරේ බලන්න ගහ යටට එන්න කළින් චෙරි ගහට නැගගත්තා.රහුමාන් මාස්ටර් පත්තරෙත් අරගෙන ඇවිත් ගහයට වාඩිවෙලා කියවන්න ගත්තම කෙල්ල චෙරි ගෙඩියක් කඩල පත්තරේ උඩට දැම්මා. රහුමාන් මාස්ටර් උඩ බලල කෙල්ලට පහළට බහින්න අතින් සන් කළා.

පහළට බැස්ස කෙල්ල රහුමාන් මාස්ටර් ලඟට ගියාම මාස්ටර් කෙල්ලට රුපියල් පහක් දුන්නා.

අනේ අංකල් ඊයෙ නංගිට පණහක් දීල තිබුනනෙ.මට පහක් ඇයි?

ඔය ළමය බික් රේසර් එකක් ගන්න...