Saturday, February 28, 2015

යිටි වෙරළේ සැන්දෑව



අද සංචාරක සටහනක් ලියන්නට හිතුණා.කාලෙකින් එහෙම කතාවක් ලිව්වෙත් නෑනෙ.අපි අඳුනන ජෝඩුවක් දවල් කෑමකට ආරාධනා කළා.මේ දවල් කෑම ලෑස්ති කරලා තිබුනෙ මුදු වෙරළක, කෑම කිව්වට මුදෙ නෑමක් බාබකිව් එකක් සහිත දවල් කෑමක්.කෑම අවසන් කරලා ගෙදර එද්දි හවස හය විතර උනා.හරි මහන්සියි තෙහෙට්ටුයි රෑට පළතුරු මොනා හරි කාල ඉක්මනට නිදාගමු කියල කතාවෙලා ටී වී බල බලා ඉද්දි පරණ ෆිල්ම් එකක් තියෙනව දැකල බැලුවා.විරාගය කියන චිත්‍රපටය 1987 තිරගත උන එකක්.පට්ට නිදිමතයි ඒ උනාට තිබුන ආසාවටම ඉවර වෙනතුරු බැලුව.ඉවරවෙද්දි රෑ දොළහමාර විතර උනා.ඒ නිදාගත්ත ගමන උදේ නවය විතර වෙනකං නින්ද ගියා.නැගිටලා උදේට හදල තිබුන මු ඇට කිරිබත් සහ ලුණුමිරිස් කාල එහෙම තමා ඊයෙ ගිය ගමනෙ විස්තරේ ලියන්න පටන්ගත්තෙ.

මස්කට් අගනුවරින් කිලෝමීටර් 40ක් පමණ දුරින් පිහිටා තිබෙන යිටි කියන මුහුදු වෙරළ මේ රටේ තියෙන ලස්සන වෙරළ තීර වලින් එකක්.ගල් කඳු වැලි කඳු ගල් ගුහා වලින් පිරුණ ස්වභාවික ඒ වගේම කිසිම ආකාරයකින් වාණිජකරණයකට ලක් නොවුන ශාන්ත සුන්දර වෙරළක්.මුහුද පොඩ්ඩක්වත් සැර නැහැ.කොහොමත් මේ අරාබි මුහුද අපේ ඉන්දියන් සාගරය තරම් ප්‍රචණ්ඩ නැහැ.එපමණට ඉහළ යන්නෙ නැති රැල්ල අපේ දණක් තරම්වත් උස නැහැ.මේ දිනවල පවතින ඉතා තදබල සුළං ප්‍රවාහය හේතුවෙන් ඊයෙ නම් එක පිට එක රැළි ඉක්මනින් එනු දකින්නට ලැබුණා.
අපි යිටි වෙරළට යද්දි වෙලාව දවල් දොළහ විතර වෙන්නට ඇති.ඒ වෙද්දි අපේ සංග්‍රාහකයින් ඇවිත් වැඩ පටන්ගෙන හමාරයි.අපි ඉක්මනටම ගිහිං මුදට පැනල නාගත්තා.ඊට පස්සෙ පැළහු මස් මාළු සහ එළවලු පලතුරු වලින් සමන්විත දිවා ආහාරය.බයිට් එකට හුරුබුහුටි පොඩි උන් තුං හතර දෙනෙක් හිටියා.මේ අය අතර ගෙවුන දවස සැබවින්ම සුන්දරයි.ලියන්න එච්චර දෙයක් නෑ පිංතුර වලින්ම බලාගන්න.


 ඊටත් වඩා මගෙ හිත ගත්තෙ අපි හිටපු තැනට එහා පැත්තෙ වාහන කීපයකින් ආපු කණ්ඩායමක් පුටු මේස තියල භෝජන සංග්‍රහයකට සුදානම් වීමයි.ඔවුන් සීසන් කරපු එළුවෙක් එහෙම පිටින්ම ඊයම් කොළවල ඔතල පලහන්නට පටන් ගත්තා.මෙන්න මේ ආකාරයට.


මෙතන ඉන්න පිළිස්සීමේ විශේෂඥයා පිටුපස තිබෙන්නේ ඔවුන් බොන්නට ගෙනා ගඩුගුඩාවයි.එවැනි ගඩුගුඩා දෙකක් තිබෙනු මා දුටුවා.මේ අයගේ වැඩ කටයුතු දැක්ක මට මොවුන් කවුද මොන රටකද කෑම බීම පිළියෙළ කරන ආකාරය කෙලෙසදැයි විමසා බැලීමට විශාල කුතුහලයක් ඇතිවුනා.දෙතුන් සැරයක්ම යන්නට හදන විට 

ඔයා ඒ ගොල්ල අස්සට රිංගන්න යන්නෙ කොහොම මිනිස්සුද මොන රටේද කවුද දන්නෙ පිට අය යනවට ඒ ගොල්ල කැමති නැතුව ඇති බැනල එලවගනීද දන්නෙ නෑ යන්න එපා...

බිරිඳ විරෝධය පළකලා.නමුත් ඒ සියල්ලටම වඩා මගෙ කුතුහලය වැඩිවුනා.මේ ක්‍රියාවල සුලමුල දැනගන්නට මට තිබුන නොසංසිඳෙන ආසාව ඒ විරෝධය ඉක්මවා ගියා.

මොක්කු උනත් කමක් නෑ මේ ලෝකෙ මිනිස්සුනෙ.මම ගිහිං කතාකරනවා බැන්නොත් ආපහු එනවා...

කැමරාවත් අතට ගත්ත මම ඔවුන් සිටි තැනට ගියා.ගිහිං ඉතාම ආචාරශීලීව බාධාවක් කරනවා නං සමාවෙන්න කියල එහෙම මේ එළුවා පැලහීමේ විස්තරය අසා සිටියා.මා බලාපොරොත්තු නොවූ ආකාරයට ඔවුන් මා සමග ඉතා සුහදව කතා කළ අතර කීප දෙනෙක්ම මා ඇසු විස්තරය කියන්නට ඉදිරිපත් වුණා.ඔවුන කී ආකාරයට කුළුබඩු තුනපහ ලුණු ආදිය යෙදු එළුවා ඊයම් කොළවල ඔතා පැය තුන හමාරක් හතරක් පමණ පලහා ගන්නවා.මිරිස් යොදන්නෙ නැති බවත් ඒ වෙනුවට ගම්මිරිස් කූඩු පාවිච්චි කරන බවත් ඔවුන් වැඩිදුරටත් කියා සිටියා.

ඔවුන් මේ රටේ ජීවත් වන සිරියන් ජාතිකයන් පිරිසක්.මා දන්නා ආකාරයට සිරියානු ජාතිකයන් ඉවුම් පිහුම් වලට අති දක්ෂයන් පිරිසක්.සිරියානු ජාතිකයන් කීවිට පහුගිය අවුරුද්දෙ මා මුහුණ දුන් තවත් අත්දැකීමක් මට මතක් වුණා.ඒ අපි පහුගිය කරීප් සමයේ සලාලා වල කළ සංචාරය අතරතුරදී සිදුවූ දෙයක්.

දිනක් රාත්‍රියේ අප නතරව සිටි දොෆාර් හෝටලයට පැමිණි හිතවතුන් පිරිසක් සමග රෑ කෑමට පෙර බීමක් පාවිච්චි කරමින් සතුටු සාමීචීයේ යෙදන විට බීමට කටගැස්ම ගැන ප්‍රශ්නයක් ඇතිවුනා.කටගැස්ම හොයාගෙන එන්න එළියට බැස්ස කීපදෙනා සමග මාත් එකතුවුනා.බොහෝ අවන්හල් වසා තිබුන ඒ මහ රාත්‍රියේ විවෘත කර තිබු අවන්හල් සොයමින් අපි කිලෝමීටර් ගණනාවක් ඉදිරියට ගියා.අවසානයේ විවෘත කර තිබු එක් අවන්හලක සිටි සිරියන් ජාතිකයන් දෙදෙනෙක් අපේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්නට ඉදිරිපත් වුණා. අධි ශීතකරණයේ  ශුද්ධ කර පුරවා තිබු මාළු අතරෙන් කිලෝ දෙකක පමණ මාළු කුරියන් දෙන්නෙක් තෝරාගෙන අප ඔවුන්ට බාරදුන්නා.පලහන්නට පෙර කුළුබඩු ආදිය යොදන විට ඔවුන් අප කියූ ආකාරයට මිරිස් සාන්ද්‍රණය සහ ගම්මිරිස් අතවැඩියෙන් පාවිච්චි කළා.අවන් එකේ විනාඩි විස්සක් පමණ පුළුස්සා ගත් මාළු කුරියන් දෙදෙනා පාර්සල් කරන විට ඒ මාළුන්ගෙන් විහිදුන සැර ඔවුන්ගෙ දෑසට කඳුළු නංවන්නට සමත් වුණා.

මේ මාළු අපි කෑවොත් එහෙම කෙලින්ම මැරිල වැටෙයි...

හිනාවෙමින් එහෙම කියූ සිරියන් ජාතිකයන් දෙදෙනා අපට සමුදුන්නා.ඔවුන් කියපු ආකාරයටම මාළුවල සැර තරමක් වැඩියි. නමුත් ඉතාම ප්‍රනීත ලෙස ඔවුන් ඒ මාළු කුරියන් දෙදෙනා පුළුස්සා දී තිබුණා.ඔබට මෙතන ඒ මාළු පෙන්නන්නට තිබුන නං හොඳයි.නමුත් ඒ වෙලාවෙ කැමරාව මගෙ අතේ නොතිබුන නිසා පිංතුරයක් ගන්නට ක්‍රමයක් තිබුනෙ නෑ.හෝටලයට ආපුවමත් පින්තුරෙ ගන්න මතක් වෙද්දි ඉතුරු වෙලා තිබ්බෙ මාලුවගෙ කටු ගොඩ පමණයි.කොහොම උනත් ඒ කටු ගොඩේ පිංතුරයක් මම ගත්තා.
දැන් ආපහු සලාලා ඉඳන් යිටි වෙරළට ආවොත් මේ වෙනකොට අර එළුවා පදමට පළහලා හමාරයි.මෙන්න මේ ආකාරයට.

මෙතන එළුවා පදමට පිළිස්සී අවසන් වනවිට ඊටම එහායින් මේසයක තවත් උදුනක රත්කරගත් පිලව් බත් විශාල තැටියක් සුදානම් කර තිබුණා.ඒ සමග දෙආකාරයකට සැකසු කොළ සලාදද බැදගත් මස්ද මේසය මත තබා තිබෙනු දක්නට ලැබුණා.





අනතුරුව පළහාගත් එළුවා පිලව් බත් මත තබා කැබැලි කඩාගෙන ආහාරයට එකතු කරගත්තා.

අවසානයේදී මටත් එළුමස් සමග රසවත් විශාල බත් පිඟානක් ඔවුන් පිළිගැන්වූවා.ඉතිං මේ අත්දැකීම ඔබට ගෙන එන්නට මට සහයෝගය දුන් උණුසුම් හදවත් ඇති ඒ සිරියානු ජාතිකයන් පිරිසට මගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතරම මනුෂ්‍යත්වය ඉදිරියේ ජාතිය ආගම හෝ භාෂාව කිසිම වැදගත්කමක් නොමැති බව මා නැවත වරක් ඔවුන්ගෙන් ඉගෙන ගත්තා.අප හැමදාම ගරුකරන්නේත් හිස නමන්නේත් ලෝකය පුරා සීමා මායිම් නොමැති ඒ මනුෂ්‍යත්වයට බව මා පසක්කළ ඒ සැන්දෑව සැබවින්ම අතිශය සුන්දර සැන්දෑවක් වුණා෴

Sunday, February 22, 2015

සංහිඳියාව සහ බඩාගෙ ආදර කතාව



අපේ ගමට අල්ලපු වැටේ රෙදි මෝල හැදුවට පස්සෙ රටේ නොඑක් පළාත් වලින් විවිධාකාර පුද්ගලයො රෙදි මෝලේ වැඩට එන්න ගත්තා.එහෙම උනේ රටේ හැම පළාතකින්ම සාධාරණ ආකාරයට රෙදි මෝලේ වැඩට බඳවාගත්ත නිසා නොවෙයි.සිද්ද වෙන්නෙ අදාළ කාලය තුල පේෂකර්ම ඇමති සහ නියෝජ්‍ය ඇමති වශයෙන් පත්වෙන අයගෙ ඡන්ද කොට්ඨාශ වලින් රෙදි මෝලේ වැඩට කට්ටිය ගන්න එකයි.ඇමති නියෝජ්‍ය ඇමති වෙනස් වෙනකොට වැඩට ගන්න පළාත වෙනස් වෙනවා.උදාහරණයක් හැටියට පේෂකර්ම ඇමති වෙන්නෙ මයියංගනේ මන්ත්‍රී වෙච්ච කැප්ටන් සෙනෙවිරත්න නං මයියංගනේ බිබිලෙ හසලක ආදී පළාත්වලින් කට්ටිය මෝලට පුරවනවා.ඊට පස්සෙ පේෂකර්ම ඇමතිකම කටානෙ මන්ත්‍රී විජේපාල මැන්ඩිස් ට ගියාම මීගමුව හලාවත වෙන්නප්පුව වගේ පැතිවලින් මෝලට සෙනග දානවා.ඔය වගේ ගාල්ල මාතර අම්බලන්ගොඩ වගේම නුවර ගම්පොල පැත්තෙන්ද ඈත රූණේ මුල්කිරිගල වීරකැටිය පැත්තෙන්ද විවිධාකාරයට සිංහල බාසාව වහරන විවිධාකාර ගති පැවතුම් සිරිත් විරිත් ඇති විවිධ පුද්ගලයන් එක කාමරේ නැවතී ඉඳගෙන එක බත්පත කමින් ලොක්කයියගේ කසිප්පු බෝතලේ එකට ගහගෙන එකට රෙදිමෝලේ වැඩකළා.

එහෙම බැලුවම සංහිඳියාව කියන වචනය අහලවත් තිබුනෙ නැති කාලෙක අපට අපේ ගමේම ඇතිවෙලා තිබුන අපූරු සංහිඳියාව ඒ කාලෙම අත්දකින්නට ලැබුණා.වැඩ ඇරිල ගෙදර ආපු හැන්දෑවක ගාල්ලෙ තිලක් අයියයි මයියංගනේ ආරියි බිබිලෙ රසාකුයි නුවර ගුරුගෙයි අම්බලන්ගොඩ මායාදුන්නෙයි හලාවත ෂෙල්ටනුයි එකතුවෙලා අපේ මිදුලෙ චෙරි ගහ යට බරපතල සාකච්ඡාවක්.මොකද්ද කියල ඔලුව දාල බලපුවම බෝතලයක් ගහන්න ගාන හොයාගන්නෙ කොහොමද කියල අහස පොළොව ගැටලන්න තර්ක විතර්ක කරනවා.එකෙක් ළඟවත් සතපහ අතේ නෑ.

ඕයි පඩියට සල්ලි දෙනකං ලොක්කයියගෙන් බෝතලයක් ඉල්ලල දෙනවකො...

අන්තිමට දුස්රා පන්දුව එල්ල වෙන්නෙ මට,ඒ කාලෙ හොර පොට් දෙකක් තිබුණා එකක් අපේ ගෙවල් ලඟම ලොක්කයියගෙ, අනික එහා ගොඩේ වතුරවලේ ඇඩ්ඩිංගෙ.අපි කොල්ලො කට්ටිය ගෙවල්වලට නෝන්ඩි වෙන නිසා ලොක්කයියගෙ පොට් එකට යන්නෙ නෑ ටිකක් දුර උනත් ඇඩ්ඩිංගෙ ගෙදරට යනවා.අනික අපේ අතමිට හිඟනිසා යන්නෙත් කවුරුහරි අනුග්‍රාහකයෙක් ලැබුණොත් පමණයි.මේ ගමනට බොහෝ වෙලාවට අනුග්‍රාහකත්වය දරන්නෙ බඩ මුණේ.රෙදිමෝලෙ වැඩකරපු බඩ මුණයගෙ අතමිට සරුයි ඒ කාලෙ කසාද බැඳල හිටියෙත් නැති නිසා පවුල් බරකුත් නෑ.අපි හත්අටදෙනෙක් මුණයත් එක්ක ගිහිං ඇඩ්ඩිං අයියගෙන් බෝතලයක් දෙකක් අරං බොනවා.බයිට් එකට ඇඩ්ඩිං අයියගෙ පවුල කීරමිං කරෝල කූරි දෙතුන් දෙනෙක් ලිපට අල්ලල පුස්සල දෙනවා.කොච්චි කරලක් ළූණු ගෙඩියක් එක්ක පුස්සපු කරෝල කූරියෙක් හපනකොට මාර රහයි.අවුරුදු තිහකට තිස්පහකට පස්සෙ බඩ මුණය මට ගිය අවුරුද්දෙ හම්බ උනා.

ඒ කියන්නෙ මුණය පූගොඩ පැත්තට බින්න බැස්සට පස්සෙ මට මුණ ගැහිලම නෑ.අන්තිමට දැක්කෙ මුණයගේ මඟුල් ගෙදරදි ඕං.මුණය අපේ ගමේ රෙදි මෝලෙ ඉඳල ප්‍රමෝෂන් එකකුත් එක්ක පූගොඩ රෙදි මෝලට මාරු කරපු නිසා ඌ පූගොඩ පැත්තට සැට් වුනත් එක්ක අපේ බඩ බැඳගෙන තිබුන ආස්සරේ ටික ටික අඩුවුනා.ගිය අවුරුද්දෙ මුල මම ලංකාවට ගියවෙලේ දවසක් දා හවස්වරුවේ අපේ ගේ ඉස්සරහින් බොහොම හිමිහිට ත්‍රී වීල් එකක් යනවා.ඒකෙ හිටපු කෙනා කොක් කරක් වගේ බෙල්ල දික් කරගෙන අපේ ගෙවල් පැත්ත බලමින් එනවා.මම ටක් ගාල මුණයව අඳුනගෙන ඉස්තෝප්පුවට ගිහිං බලං හිටිය. ඒ ගමන මිනිහ අපේ ගේට්ටුව ඉස්සරහ ත්‍රී වීල් එක නවත්තල මගෙ නම කියල මේ ඒ ගෙදරද කියල ඇහුවා.ඇයි මාව අඳුනගන්න බැරිද? එන්න එන්න කියපුවම පොර මාව අඳුනගෙන බැහැල ගෙට ආවා.

ඉතිං අපි දෙන්න ඒ හැන්දෑවෙ පැය ගාණක් පරණ තොරතුරු විස්තර කතා කරමින් හිටියා.මුණේට දුවලම දෙන්නෙක් ඉන්නව දෙන්නම දැන් රස්සාවල් කරනවා එක්කෙනෙක්ගෙ මගුලත් ලඟයි කියල කිව්වා.රෙදි මෝල වැහුවට පස්සෙ මුණේට කොළඹ මහත්තයෙක් ළඟ රස්සාව හම්බවෙලා තියෙනව.බොහොම වෙලා කතා කරමින් ඉඳල රෑ වෙන්න කළින් ගෙදර යන්න ඕනෑ කියල මුණේ අපෙන් සමුගෙන යන්න ගියා.ඒ වෙලාවෙ පුතා අපි දෙන්නගෙ පිංතූර වගේකුත් ගත්තා.

ඉතිං මම කියමින් හිටියෙ ඇඩ්ඩිං අයියගෙ ගෙදර මධු පානොත්සවය ගැන නොවැ.නිතර නිතර ගෙදර යනඑන බඩ මුණයත් එක්ක ඇඩ්ඩිං අයියගෙ පවුල බොහොම හිතවත් උනා.දරුවො දෙතුන් දෙනෙක් ලැබිල හිටියට මොකද ඇඩ්ඩිං අයියගෙ පවුල බොහොම හැඩකාර කාන්තාවක්. රතු සිහින් ඉඟත් පුළුල් උකුළත් රෙද්ද හැට්ටෙ ඇඳපුවම කැපී පෙනුනා.හැට්ටෙන් එළියට පනින්න බලන පිරිපුන්  පියයුරු.අගින් උඩට වක්වුන සුමට නහයත් සිහින් රත් දෙතොලුත් මුහුණට එක්කලේ අමුතුම අලංකාරයක්.සිහින් දිගු දෑත් දෙපා ආදී පිරිපුන් නැමෙනසුලු අඟපසඟ සපිරි රූපශ්‍රීයෙන් යුත් මේ කාන්තාව බඩ මුණයට නං නේත්‍රාංජනයක්ම උනා.ඇයට ගමේ කොල්ලො කෙල්ලො කිව්වෙ රතු අක්ක කියලයි.බඩා වැඩිපුරම ඇඩ්ඩිං අයියලගෙ ගෙදර ගියෙ රතු අක්කත් එක්ක කදේ දාගෙන ඉන්න මිසක බොන්න තියෙන පෙරේතකමකට නෙවෙයි.රතු අක්කත් බඩාගෙ බලාපොරොත්තු කඩ කළේ නැහැ.බඩා වැඩිපුරම කළේ ඇයගේ ගතින් නට නටා කඩාහැලෙන රූසිරිය ඇසින් උරා බොමින් ඇසිපිය නොහෙලා ඇය දෙස බලා ඉඳීමයි.බඩාගෙ මේ හැසිරීම  ඇයගෙත් ඇස නොගැටුනා නොවෙයි.

මොකද මල්ලියෙ ගිලින්න වගේ මයෙ දිහෑ බලං ඉන්නෙ?

බඩාගෙ හිත මන්මත් කරවන සුළු හිනාවක් පාමින් ඇය ඇහුවෙ සැරයක් දෙසැරයක් නොවෙයි.රතු අක්කට මුණයගේ තියෙන වැඩි ඇඟෑලුම්කම ඇඩ්ඩින් අයියට ඉව වැටුණොත්  මූණය වැටෙන අමාරුව ගැන අපි කීප සැරයක්ම ඌට අනතුරු ඇඟෙව්වා.

ඔය වැඩේ නං  එච්චර සුබ නෑ මුණේ.ඇඩ්ඩිං දෙකටම නැති සතෙක් වගේ මිනිහා,ඉනේ තියෙන පිහියෙන් උඹේ බඩ කොස්ගෙඩිය හාරනව වගේ හාරල දාවි...

ගෑනු ඕනනං රතු අක්ක විතරද  ඉන්නෙ වෙන කෙනෙක් හොයාගන්න බැරුවයැ...

අපි මොන ආකාරයට අනතුරු ඇඟෙව්වත් වැඩේ අතඇරල දාන්න මුණය කැමති උනේ නෑ.ඒ විතරක් නෙවෙයි රතු අක්කත් එක්ක යහන්ගත වෙන්නට බඩාගෙ හිතේ තියෙන නොසංසිඳෙන ආසාව ඌ අපේ මූණටම කියල දැම්මා.

මට රතු අක්කමයි ඕනෑ,වෙන ගෑනු එපා...

බඩ මුණයගෙ හිතේ ඇතිකරගෙන තිබුන දැඩි අධිෂ්ඨානය ඌ කියපු වචන වලින් අපට තේරුණා.දිගින් දිගටම මුණයට විරුද්ධකම් පාන්න ගියොත් අපිවත් මුණේගෙ හතුරො ගානට වැටෙයි.මොන වැරැද්ද උනත් උන් දෙගොල්ලම තම තමන්නෙ මිනිස්සු.අපි පිට එව්වො,ඌට පුළුවන් දෙයක් ඌ කරගනී. ඒ නිසා මෙතැනදී අපි අයින් වෙලා බලාගෙන ඉම්මු කියල අපි කතිකා කරගත්තා.යාළුකං දිගටම පවත්වාගෙන යන්නට තිබුන එකම ක්‍රමය ඒකයි.

ඔය විදියට මුණය තමන්ගෙ ක්‍රියා කලාපය සුපුරුදු ආකාරයට කරගෙන ගියා.මේ ජෝඩුව ඉඩ තිබුන හැමවෙලාවකම කයිය ගහගෙන හිටියා.එහෙම ඉඩ හසරක්  නැති වෙලාවට ඇස්වලින් කතාකරගත්තා.මේ දෙපොළගේ වැඩ කටයුතු ගැන හොයා බලන්න වෙලාවක් ඇඩ්ඩිං අයියට තිබුනෙ නෑ.ඔහුගෙ අරක්කු වෙළඳාම සරුවට කෙරුණා.අරක්කු තොග වෙලාවට සපයා ගන්නත් ඒ තොග පොලිසියට අහු නොවී සුරක්ෂිතව හංගල තියාගන්නත් තොග වෙළෙන්දන් එක්ක පොලිසිය එක්ක ගනුදෙනු කරන්නටත් ආදී කටයුතු රාශියක කරවටක් එරිල හිටපු ඇඩ්ඩිං අයියා ගෙදර දොර එදිනෙදා වැඩ, සිල්ලරට අරක්කු වෙළඳාම ආදී කටයුතු සම්පූර්ණයෙන්ම රතු අක්කට බාරදී තිබුණා.දවසකට සෙනග පණහක් සීයක් බොන්නට  එන ගෙදර බඩ මුණේත් ඒ  අය අතර කෙනෙක් ලෙස ඔහු දකින්නට ඇති.අරක්කු ව්‍යාපාරයෙන් අතට සල්ලි ගලන්නට පටන් ගත්තට පස්සෙ ව්‍යාපාරය වැඩි දියුණු කරගන්නට තව තව හම්බ කරන්නට වෙහෙසුනා මිසක බිරිඳ දරුවො ගැන සොයා බලන්නට වෙලාවක් ඔහුට තිබුනෙ නෑ.ඔහුගේ මේ ක්‍රියා පිළිවෙල බඩ මුණයටත් රතු අක්කටත් ආශීර්වාදයක්ම උනා.ඉඳල හිටලා මුණයව හම්බ වෙන වෙලාවට අපි රතු අක්ක ගැන උගෙන් අහනවා.

දැන් උඹේ වැඩේ කොහොමද ?

තාම නං මොකුත් උනේ නෑ යනව එනව විතරයි...

ඔහොම හිටියොත් නාකි වෙනකං යන්න එන්න විතරයි වෙන්නෙ.එහෙම නෙවෙයි වෙලාවක වචනයක් දාල බලපං...

 බෑනෙ අහන්න ගට නෑ ,බැනල එළවගත්තොත් එහෙම කියල බයයි...

යකෝ ගට ගන්න තියෙන්නෙත් රතු අක්කගෙන්ම තමා,කාලක් ගහල බලපංකො එතකොට ගට එයි...

එහෙම නෙවෙයි වෙලාවක අපි කට්ටියම යමු.යාළුවො ඔක්කොම ඉද්දි මගෙ හිතටත් හොඳයිනෙ...

ඒ ගමන මූ හදන්නෙ අපි ඔක්කොටොම කෙළවන්න,හා හා යමංකො. කල් ඇර ඇර ඉන්නෙ නැතුව හෙටම යමු,හැබැයි අපි බෝතලයක් ගහගෙන එළියෙ ඉන්නව උඹ ඕනෑ මඟුලක් කතා කරගනිං...

කතාවුන විදියටම පහුවදා රාත්තිරියෙ අපි කට්ටිය බඩාත් එක්ක ඇඩ්ඩිං අයියගෙ පොට් එකට ගියා.ගිහිං කියාපු  විදියට මුණය ගේ ඇතුළේ ඉද්දි අපි බෝතලේකුත් අරගෙන එළියට ආවා.ඇඩ්ඩිං අයියගෙ ගේ තියෙන්නෙ වලක. ඊට උඩින් පාර, පාර කඩාගෙන යනවට හදල තිබ්බ සිමෙන්ති බැම්ම උඩ වාඩිවුන අපි බෝතලේ හිස්කරන්න ගත්තා.රාත්‍රියේ සීතල පරදමින් අපේ හිත් ටික ටික උණුසුම් වෙමින් තිබුණා.මිතුරු කතාබහ සිනා මැදින්  ගලා යමින් තිබියදී එදා අපිත් එක්ක ගිහිං හිටපු ඩෙනිස් උගුර කට තෙමාගෙන සිංදුවක් පටන් ගත්තා.


ඩෙනිස්ට තිබුනෙ දෝංකාර දෙන  ගීතවත් කටහඬක්.ගීතයක් ඔහුගෙ මුවින් පිටවෙන්න කරුණු කාරනා ගණනාවක් සම්පූර්ණ වෙන්න ඕනෑ.එහෙම නැතුව කවුරු කොහොම කිව්වත් ඩෙනිස් සිංදුවක් කියන්නෙ නෑ ඒ නිසාම කවුරුත් කිසිම සද්දයක් නැතුව නිහඬ රාත්‍රිය විනිවිදගෙන රැව්දෙන ඩෙනිස්ගෙ මිහිරි හඬ අහගෙන හිටියා...

ළහිරු පුරහඳ පතන්නේ නෑ උවන සිරියා දකින්නේ...
පවුරු වැටකොටු තිබේ වටකොට කෙලෙස ළංවී ඉඳින්නේ...

ඩෙනිස් දෑස පියාගෙන ගීතවත් වෙද්දී ගේ ඇතුලෙ රතු අක්කත් එක්ක නෙත් හී සැර හුවමාරු කරගනිමින් ඉන්න මුණයගෙ හදවත ළා දල්ලක් වගේ ගැහෙන්න ගත්තා.ළඟ තිබ්බ වීදුරුව අතට අරං එකපාරටම උගුරට හලාගත්තෙ ඒකයි.මේක දැකපු රතු අක්ක මුණ නරක් කර ගත්තා.

ඇයි මල්ලියෙ ඔය ගිනිවතුර බොන්නෙ...

දුවගෙන ආපු රතු අක්ක  එහෙම ඇහුවෙ බඩාගෙ අතකිනුත් අල්ලාගෙන,රතු අක්ක බඩාගෙ ළඟ හිටගත්තම බෝනික්කෙක් වගේ.බඩා උසයි මහතයි කොණ්ඩෙ පොලිස් කට් කපල.හැම තිස්සෙම කාකි කොට කලිසමයි  සුදු ෂර්ට් එකයි ඇඳල බඩත් ඉස්සරහට දාගෙන ඉන්නකොට පොලිස් කාරයෙක් කියල නොදන්න අය රැවටෙනවා.සැරයක් මරු වැඩක් උනා.අපි කොල්ලො කාලෙ ඔය කොටි කලබල පටන් ගන්න හෙම ඉස්සර සමුපකාර සමිතියෙ බස් එක කතාකරගෙන නැගෙනහිර පළාතේ ට්‍රිප් එකක් ගියා.

අම්පාර කන්තලේ වාලච්චේන මඩකලපුව ත්‍රිකුණාමලේ වගේ පළාත්වල රවුමක් ගහල ආපහු ආව ඒ ගමනෙ පළවෙනි දවසෙ රෑ අපි කන්තලේ පන්සලක නැවතුනා.රෑට උයල තියල එහෙම හීනියට කර්තව්‍යයක් කරගෙන එන්න කියල කට්ටියක් ටවුම පැත්තට ගියා.ඒ අය ආපහු ඇවිත් ගිය තැන්වල අයුරු අපට කිව්වා.අපි කට්ටිය එක්ක බඩ මුණයත් ගියා.බඩු තියනව කියපු තැනට ගිහිං වාඩිවෙලා බෝතලයක් දෙන්න කියල ඉල්ලුවට දුන්නෙ නෑ.

බඩු නෑ මහත්තයො...

 ඔන්න ඔහොම කිව්වා,බලපුවම පොලිස්කාරයෙක් කියල බඩාට රැවටිලා.මොන ආකාරයකට වත් දුන්නෙම නෑනෙ.මොනව කරන්නද මුණයගෙ මව්ගුණ ගායනා කරමින් ආපහු ඇවිත් අමුවෙන්ම රෑට කාල නිදාගත්තා.ඊට පස්සෙ නං ගමන ඉවර වෙනකං හොර පොට් එකකට තියා වයින් ස්ටෝස් එකකටවත් මුණයට යන්න දුන්නෙ නෑ.අන්තිම දවසෙ ත්‍රිකුණාමලේට හැතැප්මක් ඇති නැති ගානට තියෙද්දී බස් එක කැඩුනා.හදාගන්න ලැබුනෙම නෑ.අපි නඩේ පයින්ම ත්‍රිකුණාමලේට ඇවිත් විශ්‍රාම ශාලාවකට ගිහිං පිටිපස්සෙ තිබ්බ ලස්සන කලපුවෙ පැය ගාණක් නාල ගොඩ ඇවිත් දවල්ට කාල එහෙම රෑ වෙනකල් ඉඳල රෑ කෝච්චියෙ ගෙදර ආවා.මේ ළඟදී අපි ට්‍රින්කෝ ගිය වෙලේ එදා අපි හිටපු විශ්‍රාම ශාලාවත් නාපු කලපුවත් හොයාගෙන ගියා ඒක පැත්ත පලාතකටවත් යන්න දැන් බෑ හමුදා කෑම්ප් එකක්.

ආපහු ඇඩ්ඩිං අයියලගෙ ගෙදරට ආවොත් මේ වෙලාවෙ බඩා සහ රතු අක්ක යුවළ මිහිරි පෙම් වදන් හුවමාරු කරගන්නවා.දාපු ෂොට් එකේ පවර් එකට බඩාට ගට්ස් ඇවිත් රතු අක්කගෙ කණට කරලා තමන්ගෙ දුක කිව්වා.

මම ගිනිවතුර බිව්වෙ ඔයා නිසා...

රතු අක්ක ඇස්ගෙඩි දෙක උඩ තියාගත්තා.

ඇයි දෙයියනේ මම ඔයාට මොනා කළාටද?

ආපුදා ඉඳලම මගෙ හිතේ හිටියෙ ඔයයි,නමුත් ඔයා බනී කියල මට කිසි දෙයක් කියාගන්න බැරුව හිටියා...

බිම බලාගෙන හිටපු රතු අක්කගෙ නිකටෙන් අල්ලල මුහුණ උඩට උස්සපු බඩා හැඟීම්බරව කිව්වා,බඩා දාපු ෂොට් එකේ පිහිටෙන් දැන් දැන් හොඳට වචන කියවෙනවා.

ඇයි මල්ලියෙ එහෙම කියන්නෙ?ඔයා වචනයක් කිව්ව නං මං බෑ කියනවද?

රතු අක්ක අහක බලාගෙන කිව්වා.රතු අක්කගෙ වචන බඩාට ඇහුනෙ වෙනත් ලෝකෙකින් පාවෙලා ඇවිත් කණට ඇතුල්උනා වගෙයි.බඩාගෙ හිතේ සතුට බුබුළු දමමින් නටන්නට පටන් ගත්තා.පාරෙ සිමෙන්ති බැම්ම උඩ හිටපු උන් ටික දෙවෙනි බෝතලෙත් බොනවා .ඩෙනිස් තව ගීතයක් කියන්න පටන් ගන්නව  බඩාට ඇහුණා.

රතු අක්කා බඩාගෙ ඇඟේ වෙලිල හිටියෙ ගේ ඉස්සරහ අඹ ගහේ වෙලිල තිබුන මල් පිරුන මල් වැල වගෙයි.සතුටින් ඉපිලෙමින් හිටපු බඩාට වට පිටේ සිද්දවෙන කිසි දෙයක් ගැන ගනිච්චියක් තිබුනෙ නෑ.බඩා තමන්නෙ හිතේ දෝර ගලමින් තිබුන දුක ඔක්කොම රතු අක්කගෙ කණට කරල කියල දැම්මේ එක හුස්මටමයි.

ඉතිං මගෙ වැරද්දක්ද?ඔයානෙ ඔක්කොම හිතේ තියාගෙන දුක්විඳල තියෙන්නෙ...

එදා මේ දෙන්න සමුගනිද්දී හඳත් අහසෙ බැසගෙන යමින් තිබුණා.දෙන්න කතිකා කරගත්ත විදියටම බඩා ඊළඟ සතියෙ දවසක මහ රාත්තිරියෙ ඇවිත් රතු අක්කගෙ කුස්සියෙ දොරට තට්ටු කළා.චීත්තෙකුත් පොරවාන දොර ඇරපු රතු අක්කව බඩාට පෙනුනෙ සුදුපාට වීනස් ප්‍රතිමාවක් වගෙයි.කුප්පි ලාම්පුවේ එළියෙන් බඩාව ගෙට ගත්ත රතු අක්ක එතනම කුස්සියෙ තිබුන බංකුවක බඩාව වාඩි  කෙරෙව්වා.

බඩාගෙයි රතු අක්කගෙයි ආදර කතාව ඉවරවෙන්න තව ගොඩක් ලියන්න තියෙනවා.දැනටමත් සෑහෙන්න ලියපු නිසා අදට ඇති ඇති කියල හිතෙනවා෴

Sunday, February 15, 2015

මගේ පාන් කෑම සිරාගෙ ප්‍රැක්ටිකල් එක සහ ඩොල්පින් කොත්තු.

අපි ලංකාවට ගියෙ අපූරු කාලෙක.මාස ගාණක් තිබ්බ වැස්ස ඉවරවෙලා හොඳට අව්ව පායලා තිබුණට ගොවි බිම් ඔක්කොම කුණුවෙලා විනාස වෙලා ගිහිං එළවලු එහෙම නිකිණි වගේ ගණන්.කොච්චරද කිව්වොත් ඔය මම උඩින් දාල තියෙන්නෙ මීරිගම ගෙදර යන ගමන් එකේදී මම ගත්ත පිංතූරයක්.මේ රටට පහුගිය අවුරුද්දටම වැස්සෙ දවස් දෙකයි.ඒකත් වැස්සක් කියන්න බැරි තරං විනාඩි පහක දහයක විතර කෙටි වැස්සක්.ඉතිං අවුරුද්දකින් විතර වැස්සක් දැක්කෙ නැති නිසාම ලංකාවෙ ඉද්දි වැස්සක් බලාගන්න පුළුවන් වේවි කියල බලාපොරොත්තුවක් හිතේ  තිබුණා.නමුත් වැඩක් උනේ නැහැ මම හිටපු මුළු කාලෙම හොඳට අව්ව පායලා තිබුණ මිසක වැහි බින්දුවක් වත් වැටුනෙ නෑ.වැඩේ කියන්නෙ මම ලංකාවෙ ඉන්න කාලෙ දවසක් මේ රටට ගලන්න වැස්සක් වැහැල තිබුණා.කොච්චර තද වැස්සක්ද කිව්වොත් පාරෙ නවත්තල තිබුන කාර් හිට ගහගෙන ගියාලු.එතකොට කන්දෙ තිබුන විශාල ගල් පර්වත පාරෙ ගහගෙන ගියෙ බැලුම් බෝල වගේලු.මට ඒ වැස්සත් බලාගන්න ලැබුනෙ නෑ.හැබැයි මම ලංකාවෙන් පිටත් වෙච්ච දවසට පහුවදා ගලන්න වැස්සා කියල ආරංචි උනා.

ඉතිං මම ලංකාවට ගිහිං මුලින්ම කළේ හිතේ පෙරේතකම යන්න ඇතිවෙන්න පාන් කන එකයි.පාන් ගන්න දැන් ඉස්සර වගේ ටවුමට ගිහිං කරදර වෙන්න අවශ්‍ය නෑ.ගේ ඉස්සරහින්ම දවසට දෙසැරයක් චූං පාන් ත්‍රී වීල් එකක් යනවා.අපේ ගෙදරත් මිනිහගෙ හොඳ ගනුදෙනු කාරයෙක්.ඉතිං අපි උදේට කන්න රෝස් පාන්,තැටි පාන් එතකොට ළමයින්ට සොසේජ් බන් හරි ෆිෂ් බන් හරි ආදී වශයෙන් ගත්තම බිල රුපියල් තුං හාරසීයක් වෙනවා.ඒ නිසාම මිනිහ අපේ දානෙට එයා ගානෙ බටර් කේක් තැටියකුත් ගෙනැත් දුන්නා.මනුස්සයගෙ ත්‍රී වීල් එකේ තියෙන්නෙත් දර පෝරන් පාන්.ගෑස් පාන් නං මම කන්නෙම නෑ.නිකං පුම්බල විතරයි කිසිම රහක් නෑ.කාපු වෙලේ ඉඳන් වතුර තිබහයි බඩ දැවිල්ලයි.අපේ චූං පාන් මනුස්සයගෙ ත්‍රී වීල් එකේ පිංතූරයක් මම එන්න කලින් දවසෙ හැන්දෑවෙ අපේ ගේ ඉස්සරහදී ගත්තා.


 ඉතිං චූං පාන්  කරත්තෙන් ගන්න පාන් මම එක එක ආකාරයට කාල බැලුවා.මිරිසට උයාපු මාළු හොදි,පරිප්පු, අලහොදි ආදිය එක්ක වගේම පොල් සම්බෝලත් එක්ක රෝස් පාන් දිව්‍ය බෝජනයක් වගේ.හැබැයි සම්බෝලෙ හරියට හදාගන්න ඕනෑ.ඒ කියන්නෙ අමු පහේ පොල් ගෙඩියක පොල් ළූණු මිරිස් උම්බලකඩත් එක්ක ගලේ අඹරගෙන පදමට දෙහි ඇඹුල් මිශ්‍ර කරලා අනනකොට සුවඳක් එනවා මොකුත් නෑ උදුරගෙන කන්න හිතෙනව.හැබැයි ඉතිං ඔය ක්‍රමේටම සම්බෝලෙ තනාගන්ට ඕනෑ.එහෙම නැතුං අපි මෙහෙ කරනව වගේ වේලිලා කරකුට්ටන් වෙච්ච ගෙඩිවල පොල් අරං කළමනා ටිකත් එක්ක ග්‍රයින්ඩරේ දාල අඹරල අරං සුවඳවත් රසවත් නෑ කියල මට බනින්න එපා.ගලේම තලාගන්න ඕනෑ හොඳද?ඒ උනාට විප්‍රවාසෙ ඉන්න අපට නං මිරිස් ගල්, ගහෙන් කඩාපු ගමන් පොල් එහෙම හීනයක් පමණයි.

ගලේ අඹරනවා කියද්දී මට කතාවක් මතක් උනා.අපේ ගෙවල් ළඟපාත පදිංචි වෙලා හිටිය සිරා හොඳ විනෝදකාමියෙක්.දවල්ට අඩියක් එහෙම ගහල ඇවිත් කුස්සියෙ උයන පවුලට විහිළු කරමින් ඉන්න එක සිරාගෙ පුරුද්දක්.ඒ කාලෙ දැන් වගේ කඩෙන් මිරිස්කුඩු අරං මාළු පිනි වලට දැම්මෙ නෑ.තමන්ට අවශ්‍ය මිරිස් තුනපහ ගෙදර ගෘහිණිය මිරිස් ගලේ අඹරාගත්තා.සිරාගෙ පවුල ගලේ මිරිස් අඹරනකොට සිරා කුස්සියෙ පිල්කඩ උඩ පඩියෙ ඉඳගෙන ඒ දිහා බලාගෙන ඉන්නව.අත්ගල එහාට මෙහාට යන ගානෙ ලතාවකට නැටවෙන පවුලගෙ නිතඹ දිහා බලාගෙන ඉන්න සිරාගෙ ඉවසීමෙ සීමාව පනිනව.මූ මොකද කරන්නෙ හිමීට පවුල ලඟට කිට්ටුවෙලා සෙලවෙන නැළවෙන නිතඹට මුගෙ අවයවේ හේත්තු කරනවා.

අනේ අම්මපල්ල මේ මිනිහට තියන විසයක්,මං ඕකෙ මිරිස් ගුලියක් අතුල්ලනව ඕං...

පවුල කොච්චර බැන්නත් සිරාට ගාණක් නෑ.බැන්නට මිරිස් අතුල්ලන්නෙ නෑ කියල සිරාට ෂුවර්.හිනාවෙවී ඉන්නව මිසක සිරා පහු බහින්නෙ නං නෑ.සිරා රස්සාවට එගොඩහ ගොඩේ හකුරු මඩුවෙ වැඩ කළා.වැඩිහිටියො වෙච්ච සිරාල හකුරු මඩුවෙ බාස්ල වෙද්දි අනික් වැඩ කරන්න හිටියෙ ගමේ කෙල්ලො කට්ටියක්.කෙල්ලො කිව්වට ඔක්කොම වගේ අවුරුදු දාසයේ දාහතේ ළමිස්සියො,මේ කෙල්ලො රෑන උදේට කිචි බිචි ගගා කැකිරි පලමින් හිනාවෙවී හකුරු මඩුවෙ වැඩට එන හැටි බලන්න ලස්සනයි.කෙල්ලන්ගෙත් ඉතිං විසේකාර කසන වයසනෙ.මේ කොල්ලො කණ්ඩායම සිරා සහ අනික් අයත් එක්ක සහයෝගයෙන් හකුරු මඩුවෙ වැඩකළා.බාස්ල පැණි උනුකරල හකුරු හදද්දි කෙල්ලො ටික හකුරු කෑලි කපල සීයෙ පැකට් කරල අලවල ලේබල් ගහල අලෙවියට සුදානම් කළා.

එකට වැඩ කරද්දි මේ දෙගොල්ල අතර කතාබහ විහිළු තහළු ඇතිවෙන එක ඉතාම සාමාන්‍ය දෙයක්නෙ.ඔය කතාබහ අතරෙ සිරාල මේ කෙල්ලන්ට වගේම හකුරු මඩුවෙ මුදලාලිගෙ දුවරුන්ටත් ලිංගික අධ්‍යාපනය නොඅඩුව ලබා දුන්නා.ඒ වගේම ළඟ අහළ පහලින් යද්දි කෙල්ලන්නෙ මුදු මොළොක් ප්‍රදේශවල  රස පහස සොයන්නටත් පසුබට වුනේ නෑ.බැන්නට එපා කිව්වට මේ වැඩේට කෙල්ලන්ගෙ එච්චර අකමැත්තක් තිබුනෙත් නෑ.දිගින් දිගටම මුං කියන කරන කියන දේ ගැන කෙල්ලන්නෙ විශාල කුතුහලයක් තිබුණා.ඉතිං ඔහොම දවස් ගතවෙද්දි කියපු දේවල් ප්‍රායෝගිකව අත්හදා බලන්න සිරා ඇහැට කනට පේන්න හිටපු  එක  කෙල්ලක්ව කැමති කරව ගත්තා.වැඩි වයසක් නැති උනාට හොඳට ඇඟපත හැදිල තිබුන මේ කෙල්ලගෙ නැමෙන සුළු අඟපසඟ ඇස් කොණකින් බලල නගන හිනාව එහෙම සිරාගෙ හිතට අමුතුම මිහිරියාවක් ගෙන ආවා.හැම කෙනා එක්කම කට කමිසිරියාවක් නැතුව කියෙව්වට මොකද රැවටිලි කපටිකම් එහෙම කෙල්ල දැනං හිටියෙ නෑ. මෝල් අමාරුව ඉහට ගහල තිබුන සිරා කල් යල් බලල කරපු යෝජනාවට කෙල්ල වැඩියෙ හිතන්නෙ නැතුව කැමති උනේ  කුතුහලය නිසාමයි.

ඔන්න එක දවසක ගොම්මනේ හකුරු මඩුවෙ වැඩ කටයුතු අහවර වුනාම අනික් කෙල්ලන්ට වහං වෙලා මේ කෙල්ල සිරාත් එක්ක හකුරු මඩුව පිටිපස්සෙ හේත්තු කරලා තිබ්බ ටකරමක් අස්සට රිංග ගත්තෙ මෙතෙක් දවස් කට වචනෙන් ලබාදුන්න ලිංගික අධ්‍යාපනයේ ප්‍රායෝගික පැත්ත අත්හදා බලන්නටයි.සිරා නොඉවසිල්ලෙන් බලං හිටියෙ මේ හුරුහුහුටි කෙල්ලගෙ නොඉඳුල් සුකොමළ නාරි දේහයේ සියුමැලි පහස ලබන්නටයි.කුතුහලයත් ආසාවත් නිසා සිරාත් එක්කං ටකරම අස්සට රිංගුවට මේ වගේ අත්දැකීමක් කළින් ලබල තිබුනෙ නැති කෙල්ල ඇස් දෙකත් ලොකු කරගෙන ගල්බීත වෙලා සිරාගෙ අතේ එල්ලිලාම හිටියා. 

ගොම්මන් කළුවර ටිකින් ටික පාත්වෙද්දි ඒ දුරුතු හැන්දෑවෙ සීතල මකාගෙන  කෙල්ලගෙ සරීරෙ පුරහම දාඩිය ගලන්න ගත්තෙ හිතේ ඇතිවෙච්ච බයටමයි.නමුත් සිරා ඒ ගැන පොඩ්ඩක්වත් කලබලයට පත්වුණේ නැහැ. කෙල්ලව බය නොකර මේ ලැබුන අනගි අවස්ථාව ප්‍රවේශමෙන් පාවිච්චියට ගන්න කලාව  මේ වගේ වැඩට පළපුරුදු කාරයෙක් වෙච්චි සිරා හොඳට දැනගෙන හිටියා.ඒ නිසා ඇඳුම් ගලවන්න වත් හදිස්සි නොවී බයෙන් චකිතයෙන් දියෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ  ගැහි ගැහි හිටපු කෙල්ලව තුරුල් කරගෙන  බය ඇරෙන්න චාටු කතා කණට කර කියමින් දරදඬු වෙලා තිබුන කෙල්ලගෙ සරීරෙ ආපහු සැහැල්ලු බවට පත්වෙනකල් ඉවසිල්ලෙන් ටිකක් වෙලා කාලය ගතකලා.

ගල්ගැහිලා තිබ්බ කෙල්ලගෙ සරීරෙ ටිකින් ටික නම්‍යශීලී තත්වයට පත්වෙන්න සාපේක්ෂව පණුවෙක් වගේ ඇකිලිලා තිබුන සිරාගෙ අවයවේට ලේ පුරල එහෙම පිම්බිලා ටිකින් ටික දරදඬු වෙන්නට ගත්තා.සරීරෙ කෙංචියට තිබුනට සිරාගෙ අවයවේ නං එහෙම කෙංචි නෑ.ලොකු වෙනිවැල් ගැට දැකල තියනවද? කිව්වට ඇස්වහක් කටවහක් වදින්න එපා අන්න ඒ වගෙමයි.

වෙනිවැල් ගැට මං ගෙදරදි බේත් කඩේදී එහෙම දැකල තිබ්බට වෙනිවැල් දැක්කෙ ඔන්න ඔය නාඩියලගෙ ගමේදියි.අපේ සුදු මාමට නැන්දව ගෙනාවෙ නාඩියලගෙ ගමෙන් නොවැ.මඟුල් කාල ඉවරවෙලා ජෝඩුව ආපහු මනමාලිගෙ ගෙදර යන දවසෙ ඒ එක්කල මමත් නාඩියලගෙ ලස්සන ගමට ගියා.දැන්නං එහෙම සිරිතක් තියෙනවද දන්නෙ නෑ ඒ කාලෙ ජෝඩුවක් ගෙදර යද්දි පොඩි ළමයෙකුත් එක්කගෙන යන සිරිතක් තිබ්බා.මාව එක්කං ගියෙ එහෙමයි.ගිහිං උදේ තේ එහෙම බීල ගෙදර අය දවල්ට කෑම ලෑස්ති කරනකල් තිබ්බ දිග වෙලාව ප්‍රයෝජනයට අරගෙන අපි ගමට යාබදව තිබ්බ දර්ශනීය කැලෑවෙ ඇවිදින්නට ගියා.ඒ කැලේ ගන සැරේට තිබුන වේවැල් ආදී එක එක වැල් අතරෙ වෙනිවැලුත් ඕසෙට තිබුණා.පැය ගාණක් කැලෑවේ කරක් ගහල අපි ගෙදරට ආපහු ආවෙ ඉර හැරිලත් පැයක් හමාරක් ගියාට පස්සෙයි.දැන්නං වෙනිවැල් තියා ඒ කැලේවත් තියෙනවද දන්නෙ නෑ මොකද එදා මෙදාතෙක් මම ආයෙ කවදාවත් නැන්දලගෙ ගමට ගිහිං නෑ.ආයෙම යන්න ලැබෙයිද කියන එකත් කිසිම විශ්වාසයක් නෑ මොකද නැන්දා මීට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල නොඑන ගමන් ගියනිසා.නැන්ද මැරුණ එක ගැන බොහොම හිත් වේදනාවෙන් හිටපු සුදුමාමත් ඊට අවුරුදු දෙකකට පස්සෙ මැරුණා.නැන්දගේ මරණෙට ලංකාවෙ ඉන්න ලැබුනට මාම මැරෙද්දි මම ලංකාවෙ හිටියෙ නෑ.

අම්මෝ පාන් ගැන කියන්න ගිහිං කොහෙ කොහෙ ගියාද.ඉතිං ත්‍රී වීල් එකේ පාන් ගේන පාන් අයිය එන්නෙ නැති දවසට රසට තැටි පාන් කන්න ටවුමෙ බෙන්තර හෝටලේට යන්න වෙනවා.ටවුමට යනවා කියද්දී මට තව වැඩක් මතක් උනා.ඔය අපේ බල්ලට කෑම දෙනකොට අපි කන දේවල් හරියන්නෙ නැති නිසා වෙනම වට්ටෝරුවකට කෑම වේලක් හදනව රතු බත්, වට්ටක්ක, කොළ ජාති, සාලයො  එහෙම එකට දාල.ඉතිං පහුගිය දානෙ ගෙවල් දවස්වල තිබුන වැඩ නිසා දවස් දෙකක් මේ කෑම වේල හදාගන්න බැරුව ගියා.ඒ නිසා ගෙදර අය කාපු කෑමම බල්ලටත් දුන්න.තෙල් බැදුම් ආදිය යහමින් තිබ්බ ඒ කෑම කාල බල්ලට ඉවරයක් නැතුව බඩයන්න ගත්තා.ඒ ගමන හැලපි ඩොක්ටට කතා කරල කිව්වම පෙති වගයක් ගෙනත් දෙන්න කියල පෙත්තෙ නම කිව්වා.එවෙලෙ පෙති ගේන්න ටවුමට යන්න ක්‍රමයක් තිබ්බෙම නැති නිසා මම ත්‍රී වීල් එකකට කතා කරගෙන සීයක් දීල ටවුමට ගියා.ෆාමසියට ගිහිං පෙති දහයක් ගත්තා, ගාන රුපියල් හතයි.ආපහු ත්‍රී වීල් එකකට සීයක් දීල ගෙදර ආවා.

බෙන්තර හෝටලේ ළඟ වහපු කඩයක් ඉස්සරහ බෝඩ් එකක් තිබිල මම ඒකෙ පිංතූරයක් ගත්තා.මේ තියෙන්නෙ ඒ පිංතූරෙ.


 ඉතිං මට තියෙන ප්‍රශ්නෙ මේ ඩොල්පින් කොත්තු කියන්නෙ මොනවද කියලයි.මම නං එහෙම කොත්තු වර්ගයක් උපන් හඳවියකට කාල නෑ.ඩොල්පින් මාළු දාල හදන කොත්තුද?ඒ උනාට ඩොල්පින් මාළු අල්ලන්න විකුණන්න තහනම් නොවැ.තහනම් මාළු ජාතියකින් කොත්තු හදන නිසාම කඩේ වහන්න උනාද දන්නෙ නෑ නේද?මට ඇතිවුන ප්‍රශ්න ඔන්න ඕවයි.ඉතිං දන්න කෙනෙක් ඉන්නව නං කිව්වොත් ලොකු පිනක්.ලියාගෙන ලියාගෙන ගියා වැල් වටාරං වැඩි උනාද මංදා.ආයෙම ගම්මැදි හෑල්ලක් හොයාගෙන එන්නංකො෴

Wednesday, February 11, 2015

වතුර කප්පාදුව ඡන්ද කතා සහ රන්දුනු වන්නියගෙ ඩෙනිම.


 අපි ආපහු ඇවිදිල්ලත් සති දෙකක් විතර උනා,අපි කිව්වෙ මමයි බිරින්දැයි.උන්දැත් මගෙත් එක්ක එල්ලිලා ආවනෙ.ආපුදා ඉඳන්ම යමක් ලියන්න උත්සාහ කළා නමුත් වැඩේ හරිගියෙ නෑ.දවස් කීපයක්ම ලියන්න බැලුව ලියවුනේ නෑ ඊට පස්සෙ නං අවංකවම කාර්ය බහුල වුනා.වැඩවලින් හරියටම ඉස්පාසුවක් ලැබුනෙ ඊයෙ පෙරේදයි.අවස්ථාවක් ලැබුන වෙලේ ඉන්නවද මළාද කියලවත් කියන්න එපායැ. මේ ලියන්නෙ ඒකයි.

අදත් පහළ ඉන්දියන් කඩෙන් ප්ලේන්ටියක් බීලා වැඩට ආවා.කඩෙන් තේ බොන්නෙ මොකද කියල දන්නවද?මේ අපි ඉන්න ටවුමට එන වීක් එන්ඩ් එකේ වතුර කපනවලු.ඉතිං ඔය කතාව අහපුදා ඉඳල අපේ ගෙදර උන්දැ ගෙදර තියන හැම බාජනයකම වතුර පුරෝල තියාගෙන ඉන්නව.වතුර පිරෙව්වේ මෙහෙමයි.ඉස්සෙල්ලම බාත් රූම් එකේ තියෙන ටබ්, බේසම්,බාල්දි හැම එකකටම වතුර පිරෙව්වා.ඊට පස්සෙ කුස්සියෙ තිබ්බ සාස්පාන් හැලි වලං ඔක්කොටමත් වතුර පිරෙව්වා.ඊටත් පස්සෙ ගෙයි තිබ්බ ජෝගු කේතල කෝප්ප ආදියටත් වතුර පිරෙව්වා.ඊයෙ උදේ බලද්දීං මම තේ බොන මග් එකටත් වතුර එකක් පුරවල තිබුණා.

මෙන්න මේ වතුර එක විසික්ක කරල මට තේ එකක් හදල දෙනවද, වැඩට යන්ඩ පරක්කු වෙනවා...

ඔයා තේ බිව්ව වාගෙයැ හෙට අනිද්දා වතුර කැපුවම,නාන්නෙ රෙදි හෝදන්නෙ නෑ කියමුකො කන්නෙ බොන්නෙ ටොයිලට් යන්නෙ නැතුවද?ඒකටම කොච්චර වතුර ප්‍රමාණයක් යනවද?ඔන්න ඔහෙ කඩෙන් තේ එකක් බීල වැඩට යන්ඩකො...

ඉතිං මමත් ඉන්දියන් කඩේට ගිහිං ඒක් චායි කියපුවම කොල්ලෙක් උණු වතුරයි ටී බෑග් එකකුයි කිරි ටිකකුයි සීනි ටිකකුයි දාපු කඩදහි කෝප්පයක් මට දුන්නා.මමත් ඒක කලවං කරගෙන බීල කෝප්පෙ විසිකරල වැඩට ගියා.අදත් එහෙමයි.තව වතුර කපලත් නෑ.වතුර කපල ආයෙම  එනකං මේ දුක විඳින්න වෙනවා මොනව කරන්නද?

ඉතිං චන්දෙ ගැන බොලා විතරක් ලියල හරියනවයැ,මටත් ලියන්න දේවල් තියෙනවනෙ.වැඩේ නං ටිකක් අවුට්ඩේටඩ් තමයි ඒත් ඉතිං මම ආවෙ ඡන්දෙත් ඉවරවෙලා ඊයෙ පෙරේදා නොවැ.ටිකක් පිළුණු රහ උනත් මොනා කොරන්නද?මට කියන්න තියෙන හරියත්  කියාගන්න තිබුණොත් මදැයි.මම ලිව්වෙත් දේශපාලනය නොවෙන ඡන්ද කතා නොවැ එව්ව තව ටිකක් මෙදා සැරේ ලංකාවෙන් හොයාගත්තා,මොකෝ අපි කවුරුත් දේශපාලන සත්වයො නෙ.

ජනාධිපතිවරණ ඡන්දය දවසෙ මමත් උදේම නා කියා ගෙන හැලපැට්ටයි හැලපියි දෙන්නත් එක්ක ගිහිං ඡන්දෙ දාල ආවා.හැලපැට්ට නමෝ විත්තියෙන් කුලුඳුලේ දාන ඡන්දෙ නිසා එක්කං ගිහිං ඡන්ද පොළේ ගහල තියෙන ආදර්ශ ඡන්ද පත්‍රිකාව ඉස්සෙල්ලම පෙන්නුවා.පෙන්නල පුතේ මේක තමයි ඡන්ද කොළේ,මෙන්න මෙතන තියන හංසයට ඉස්සරහින් කතිරයක් ගහන්න කියල පෝලිමට එක්කං ගියා.තුන්දෙනාම ඡන්දෙ දාල එළියට ආවා.

වරදී කියල මම හංසය ඉන්න තැන ගැනගෙන ගියෙ  හංසය තිබුනෙ දහවෙනියට ...

හැලපැට්ට කිව්වා.

ඇයි ළමයො මම කිව්වෙ ඡන්ද කොළේ ඒකමයි කියල,ගනින්න දෙයක් තියෙනවයැ...

කියන්න බෑනෙ මීට කළින් මම ඡන්දෙ දාලත් නැති නිසා බයටම ගැනගෙන ගියා...

අපි තුන්දෙනා හිනාවෙවී ගෙදර ආවා.ඡන්දෙ ඉවරවෙලා දවස් හතර පහකට පස්සෙ මම අපේ ඔෆිස් එකට ගිහිං එන්න ගියා.යාළුවො කණ්ඩායමක්ම මුණ ගැහිලා කතා කර කර ඉන්න ගමන් තේ එකක් බොමු කියල කට්ටියම කැන්ටිමට ගියා.තේ බොන ගමනුත් අපේ කතාව වුණේ ඡන්දෙ ගැනයි.කට්ටියම වගේ ඡන්ද රාජකාරිත් කරලයි ඇවිත් තිබ්බෙ.

මගෙ ඡන්ද පොළේ මරු වැඩක් උනානෙ අයියෙ...

සිසිර කතාව පටන් ගත්තා.

ඔන්න ඇවිදගන්න බැරි වයසක ගෑනු කෙනෙක් හරිද.හෙන මහතයි.කොල්ලො තුන්දෙනෙක් මේ ගෑනු කෙනාව බැරි මරගාතෙ උස්සගෙන ආවා.ඡන්ද පොළ ඇතුළට ඇවිල්ල ගෑනු කෙනාව පුටුවක ඉන්දවපුවම කොල්ලො තුන්දෙනාට එළියට ගිහිං ඉන්න කියල ඊට පස්සෙ මේ මනුස්සයට ඡන්ද කොලයක් එහෙම දීල ඡන්දෙ ලකුණු කරල දෙන්න කියල මම කිව්වා.

අනේ මහත්තයො මගෙ ඇස් පේනවත් හොරයි,මහත්තයම ඡන්දෙ දාල දෙන්නකො...

ඒ ගමන මම ජේ පී ඕ නෝනවත් ලඟට කතාකරගෙන එහෙම අම්මට ඡන්දෙ දෙන්න ඕනැ කාටද කියන්නකො කියල කිව්වා...

මහත්තයො,මාව එක්කං ආපු එවුවො  ටික කිව්වෙනං බුලත් කොළේට කතිරෙ ගහන්න කියල.ඒ උනාට මටනං ඡන්දෙ දාන්න ඕනෑ හංසයට...

එහෙනං හංසයට කතිරෙ ගහන්නද අම්මේ...

හොඳමයි මහත්තයො...

කතිරෙ ගහල ඡන්දෙත් දම්මවල එළියෙන් හිටපු කොල්ලො ටිකට කතාකරල ගෑනිව බාරදුන්නා,අනේ උන් ටික ආයෙම ගෑනිව කරගහගෙන ආපහු ගියා...

ඉතිං උඹ හිනාවෙවී බලං හිටියා...

හිනා යන්නෙ නැද්ද බං අයියෙ අරුං ටික ගෑනිව කරතියාගෙන යන හැටි දැක්කහම,ගෑණි උන් ඔක්කොම ටික අන්දවල හංසයට කතිරෙත් ගහල ගියානෙ...

බූරුවන්ගෙ කරපිට ගිහිං ඡන්දෙ දාල ආව කියල ගෑණි ගෙදර ගිහිං කියන්න ඇති...

ඔය අපේ ගෙවල් ළඟ පාත කට්ටියක්,දන්න දා ඉඳලම අතට,පුටුවට,බුලත්කොළේට ඡන්දෙ දුන්නෙ ආයෙ අම්මෙ මුත්තෙ කිව්වත් වෙනස් වෙන්නෙ නං නෑ.ඒ උනාට මෙදා සැරේ සම්පුර්ණයෙන්ම අනික් පැත්ත හැරිල මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දුන්නලු.ඒ විතරක් නෙවෙයි ඔට්ටුවකුත් අල්ලල පනස්දාහක් දිනුම්.දිනල පාටියකුත් දුන්නා.මේ ගෙදර කොල්ලට අපි සුදත් කියමුකො.සුදත්ට ටවුමෙ ලොකු සිල්ලර කඩයක් තියෙනව.එක ඉරිද දවසක කොල්ලො කට්ටිය ඔක්කොම අපේ ගෙදරට එකතු පහද වෙලා තරමක කර්තව්‍යයක් කරද්දි ඔතෙන්ට මනුස්සයත් ආවා.අපි කතාබහ කරමින් ඉන්න ගමන මගෙ හිතේ තිබ්බ ලොකුම ප්‍රශ්නෙ මම සුදත්ගෙන් ඇහුවා.

මොකද මේ සැරේ ඔයගොල්ල ඔක්කොම අනික් පැත්ත හැරුනෙ...

බෑ අයියෙ කරන්න,දවස ගානෙ කඩේට පනිනවා මොකක් හරි මගුලක් හොයාගෙන දඩ ගහනව.ගහන්නෙත් ලේසි පාසු දඩ නෙවෙයි මට ඇතිවෙලා හිටියෙ,ඒකයි අපි ඔක්කොම මේ සැරේ හංසයට දුන්නෙ...

සුදත්ගෙ ප්‍රශ්නෙ රජයේ නිලධාරිනුත් එක්කයි.නිලධාරි කරන වැඩේට ආණ්ඩුව මොනව කරන්නද කියල අහන්න මගෙ කටට ආවත් ඇහුවෙ නැතුව නිකං හිටියා.

මාත් එක්කං ඉස්පිරිතාලෙ වැඩකරපු අපේ ගුණේ ඉන්නවනෙ.දැන් ගුණේ මීරිගම පාරෙ කඩයක් කරගෙන ජයපහට ඉන්නව.හැමතැනම හොයාගන්න නැති ගොඩේ කෑම ජාති එහෙම ගුණේගේ කඩේ වරදින්නෙ නෑ.අපි ඔය හැලපිලගේ ගෙවල් පැත්තෙ එහෙම යද්දිං නෙවැරදීම ගුණේගේ කඩේ නවත්තල බොහොම රසට කාල බීල යන්න පුරුදුවෙලා ඉන්නෙ.අපේ දානෙ ගෙදර ගුණයටත් මතක් කරපු නිසා දානෙ දවසෙ උදේ පත ආස්මී පෙට්ටියකුත් කරගහගෙන ගුණේ අපේ ගෙදර ආවා.

තේ බිබී කතා කරමින් ඉන්න ගමන ඡන්දෙ ගැනත් අපි කතා උනා.මෙදා සැරේ මෛත්‍රීපාල මහත්තයට ඡන්දෙ දුන්න කියල ගුණේ ඒ වෙලාවෙ මගෙත් එක්කං කිව්වා.ගුනේලත් මං දන්න කාලෙ ඉඳල බුලත් කොළේට ඡන්දෙ දීපු කට්ටිය.

ඒ මොකද අප්පා,මෙදා සැරේ ලොකු ලොකු බුලත් කොළත් අනික් පැත්ත හැරිල තියෙන්නෙ...

මං ඇහුවම ගුණේත් සුදත් කියාපු කතාවම අකුරක් ඉස්පිල්ලක් නෑර මාත් එක්කං කිව්වා.

උන් එක්ක කඩ තියා මොකුත් කරන්න බෑ.තමන්නෙ පාඩුවෙ වෙළඳාමක් කරගෙන ඉන්න මිනිහගෙ රීරි මාංසෙ උරා බොනකොට කඩ කරන්නෙ කොහොමද?ඒකමයි මං අනික් පැත්තට ඡන්දෙ දුන්නෙ...

ගුණෙත් එහෙම කිව්වහම මේ වැඩේට ආණ්ඩුවෙත් යම්කිසි සම්බන්ධයක් තියෙන්න ඇතියි කියලයි  මට හිතුනෙ.

දැන් දවස් දෙක තුනකට ඉස්සෙල්ල  යාලුවෙක් අපට රෑ කෑමකට ආරාධනා කළා.කෑම දුන්නෙ ලංකාවෙ ඉඳන් ආව ඔහුගෙ යාලුවෙකුටයි.යාළුවා පුවත්පත් කලාවේදියෙක් හෙවත් මාධ්‍යවේදියෙක්.කෑමට පෙර පිරිමි කට්ටියම මීවිතකට වටවෙලා කරමින් හිටපු කතාවත් අලුත් ආණ්ඩුව ගැනයි.ඇතිවෙලා තිබුන වෙනස ගැන හිටිය කවුරුත් ගොඩක් උද්දාමයෙන් කතාබහ කළා.සිනා මැදින් ටිකින් ටික කතාව උණුසුමෙන් උණුසුමට ඇදී යද්දි මේ ආණ්ඩුව විතරක් නෙවෙයි මීට කළින් තිබ්බ ආණ්ඩු ගැනත් සංසන්දනාත්මකව කතාබහ ඇතිවුනා. දැන් කතාකරන්නෙ සුනාමිය සහ සුනාමිය වෙලාවෙ ලංකාවට ලැබිච්ච ආධාර ගැනයි.

සුනාමියට ලැබිච්ච ආධාර ගැන නං කියල වැඩක් නෑ.කාටද ආධාර ලැබුනෙ සුනාමියක් කියල දෙයක් අහලවත් තිබුනෙ නැති අයටනෙ...

කෙනෙක් කිව්වහම හා මම ටොප් කතාවක් කියන්නං කියල මාධ්‍යවේදියා ඉදිරිපත් උනා.

ඔය කාලෙ කීප සැරයක් මම දඹානට ගියා.මට උවමනා උනේ වැද්දන්ව ඉන්ටවිව් කරලා ආටිකල් එකක් ලියන්න.එදත් මම ගියෙ ආටිකල් එකේ වැඩකට.ඔය මිනිස්සු හම්බවෙන්න දවල්ට ගිහිං වැඩක් නෑ දවල් දවසෙම ඒ ගොල්ල ගස් ගල් උඩ ඉඳල ගෙදර එන්නෙ හැන්දෑවෙ.හවස් වෙලා මම යද්දි පාරේ කෙනෙක් එනවා.ඇඳල හිටියෙ ඩෙනිම් කලිසමකුයි ජැකට් එකකුයි කැත්තකුත් කරේ තියාගෙන, වාහනේ මිනිහව පහුකරන කොට මම අඳුනා ගත්තා.ඒ ගමන හෝව් හෝව් කියල වාහනෙත් නවත්තගෙන බැහැල කතාකළා.

අප්පට සිරි මේ රන්දුනු වන්නියා නොවැ.ජැන්ඩියට ඇඳගෙන එහෙම කොහෙද ගියෙ...

කොහෙවත් නෙවෙයි මහත්තයො මං මේ හේනට ගිහිං එන ගමන්, ඇඳුම ලස්සනද?

ලස්සනදත් අහනව,මොකද හදිසියෙම ඩෙනිම් ගහගෙන හේනට යන්න හිතුනෙ...

මේවා කඩෙන් ගන්න කාසි පනං අපට කොහෙන්ද මහත්තයා,අපි ඔක්කොටොම මේ ඇඳුම් ගෙනත් දුන්නෙ සුමේධා නෝනා,සුනාමිය වෙලාවෙ හම්බු වෙච්චි ආධාරලු...

ඉතිං සුනාමියට හම්බ වෙච්චි ආධාර බෙදුවෙ ඔන්න ඔහොමයි...

මේවට හිනාවෙනවද අඬනවද කියල අපට නං තේරෙන්නෙ නෑ,හිතේ අමාරුව යන්නත් එක්ක තව ෂොට් එකක් ගම්මු...

කට්ටිය කතාවුනා.ඉතිං ඡන්ද කතා ඔන්න ඔහොමයි.තව මම ලංකාවෙන් හොයාගෙන ආපු කතා කීපයක්ම ලියන්නත් තියෙනවා.ඉඩ ලැබෙන ලැබෙන හැටියට ලියන්නං.ඒක නෙවෙයි තව දෙයක් කියන්න තියෙනවා.ඔක්කොම බොහොම බලාපොරොත්තු තියාගෙන හිටපු හංසයා අපට හීනියට අරිනව වගේ මටනං තේරෙනව හා නැද්ද? මොකද උඹල කියන්නෙ෴