Tuesday, October 28, 2014

අමරෙගෙ කඹ ඇදිල්ල අපේ බෝල පිට්ටනිය සහ ටැප් එක ළඟ ක්‍රිකට් කණ්ඩායම.

අමරෙගෙ ගේ තියෙන්නෙ අපුරු තැනක,පැත්තකින් වෙල්යාය අනික් පැත්තෙන් දෙපා ඇළ, ඒ දෙපැත්තෙන්ම සිසිල් සුළං රැළි හමාඑද්දී දෙකක් දාගෙන දවල්කෑම කන අමරය වඩුමඩුවේ බුරු ඇඳේ ඇලවෙලා සරම අස්සට හමන සුළං පහස විඳගනිමින් නින්දක් නිදාගෙන ආපහු ඇහැරෙන්නෙ හවස්කරේ බඩුමිටියක් ගේන්න ජිනාගෙ ගෙදරට යන්නයි.මිටියත් ඔතාගෙන ගහල රෑට කෑම කාල එහෙම රෑ දෙගොඩහරියක් වෙනකල් වඩු මඩුවෙ වැඩ කරනවා.ඔන්න දවසක් මරු වැඩක් උනා.

ඒ දවස්වල අපි ප්‍රථම වතාවට ලංකාවෙ පවත්වපු සාක් සම්මේලනයට පණ දාගෙන වැඩ කරනවා.වීරෙයි සුමනෙයි මමයි ඇතුළත් වෙලා තිබ්බෙ ෆුඩ් කමිටි එකට හෙවත් සාගිනි කමිටුවටයි.අපේ ප්‍රවාහන කටයුතු වලට සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ගනිපු පැජරෝ එකකුයි රියදුරෙකුයි වෙන්කරල තිබුණා.උදේ පාන්දර ඔය පැජරෝ එකේ කොළඹ යන අපි ගෙදර එන්නෙ මහ රාත්තිරියෙ යක්කු ගස්යන වෙලාවටයි.රෑ එකොළහට විතර කොළඹින් පිටත්වෙන වාහනේ ඉස්සෙල්ලම වීරෙව උඩුගම්පොලින් බස්සවල ඊට පස්සෙ මාව ගෙදරින් දාල අන්තිමට සුමනෙ බස්සන්න ඌරපොල යනවා.එදා වීරෙව බස්සල අපි ඇවිත් ටවුමෙ රෑ කඩෙන්  සුදුආප්පයි ලුණුමිරිසුයි කෑවා.ඒ වෙනකොටත් අපි පාවිච්චි කරමින් ආපු බෝතලේ කාලකට පොඩ්ඩක් විතර අඩුවෙන් ඉතුරුවෙලා තිබුනට ආප්ප කෑමෙන් පස්සෙ ආපහු බොන්න කවුරුවත් කැමති උනේ නැති නිසා ඉතිරිටික අපේ පාරෙ ඇහැරලා ඉන්න කාට හරි දෙමු කියල එන්න පිටත්වුනා.

පාරෙ එක ගේකවත් එළියක් දකින්නට තිබුනෙ නෑ. ඒ මහ රාත්‍රියේ හෙවල්වල එළි නැතිවීම පුදුමයක් නෙවෙයි,ඊටමත් රාත්‍රියේ එන පැජරෝවක් ගම්වල මිනිස්සු දැක්කෙ මරණයේ පණිවිඩය රැගෙන එන වාහනයක් හැටියටයි.රට මහා අඳුරු සමයක් පසුකරමින් උන් ඒ අවදියේ මිනිසුන්ගෙ සිත් තුලට භීෂණයේ රුදුරු අත්දැකීම් තදින් කාවැදී තිබුණා.ඒ නිසා පැජරෝවක හඬ රාත්‍රියේ ඇහෙන විට තියෙන එළියත් නිවා දමන්නට මිනිසුන් පෙළඹීම පුදුමයක් නොවෙයි.

බලුකපුටෙක්වත් පේන්න නැති අන්ධකාර පාරදිගේ වාහනය වේගයෙන් ඇදී එද්දී ඉදිරියෙ ඇති වෙල අයිනෙ එළියක් දකින්නට තිබුණා.ඒ වෙන කවුරුවත් නොවෙයි,රෑ නිදිමරාගෙන  වැඩකරන අමරෙගෙ වඩුමඩුවෙ එළියයි.

අන්න සුමනෙ අමරයද කොහෙද ඇහැරලා ඉන්නව ඉතුරුටික මිනිහට දෙමු...

කියමින් මම බෝතලේ ඉතුරු හරිය වීදුරුවට වක්කරද්දීම වාහනේ අමරෙගෙ වඩුමඩුව ළඟ ක්‍රාස් ගාල නැවැත්තුවා.

අමරේ...

කියල මම කතාකරද්දි ඕඕ කියමින් අමරෙ එක තප්පරෙන් වාහනේ ළඟ පෙනී සිටියා.

ආ..මේ .....මහත්තයනේ...

කියමින් ක්ෂණයකින් මාව අඳුනාගත් අමරෙට

මෙන්න මේක බීල දානවා...

කියල  මගේ අතේ තිබුණ වීදුරුව දුන්නා.වීදුරුව අතට ගත් සැණින් ගුඩු ගුඩුස් හා වීදුරුවෙ තිබූ ටික එක උගුරට ගිලදැම්ම අමරෙගෙන් සමුගෙන අපි එන්නට පිටත්වුණා.මේ සිද්ධියේ පසුවදන හෙවත් අමරේ මෙය අර්ථකථනය කර තිබූ ආකාරය මට දැනගන්නට ලැබුණේ ඊටත් මාස ගාණකට පසුවයි.ඒ ගමේ තරුණයන් කීප දෙනෙක් සමග එක් සවසක සතුටු සාදයකට හවුල් වෙමින් සිටි අවස්ථාවෙයි.

අමරෙ අයියට මරු වැඩක් කලාලු නේද...

එක කොල්ලෙක් මගෙන් ඇහුවම මේ කිසිදෙයක් නොදැන සිටිය මම වැඩි විස්තර ඇහුවා.අමරෙ ඔහුට  සිද්ධිය කියපු  ආකාරයට කතාව මෙහෙමයි.

එදා රාත්‍රියේ පැජරෝව වඩුමඩුව ළඟ නවතද්දී අමරෙ හිතා සිටියේ  එය ඔහුව මරන්න ගෙනයන්නට පැමිණි වාහනයක් බවත් ඒ රාත්‍රිය අමරෙගේ අවසන් රාත්‍රිය බවත්ය.වාහනය තුළ මා හිඳිනු දැකීම ඔහුට මහත් අස්වැසිල්ලක් සහ සැනසිල්ලක් වී තිබෙනවා.

වීදුරුවකින් පුරෝල එකක් දුන්න බං,තියෙන්නෙ මොනවද කියලවත් බැලුවෙ නෑ පණ බයට එක හුස්මටම ගිලල  දැම්මා.එච්චරම තමා මතක ගිහිං ඇඳේ වැටුනා මතකයි ඇහැරුනේ පහුවදා...

මේ ආයෙම දවසක වෙච්ච දෙයක්.අපේ ගමේ එක අවුරුදු උත්සවයක හවස්වරුවේ පැවැත්වෙන කාන්තා කඹ ඇදීමේ තරඟය ජයටම පැවැත්වෙමින් තිබුණා.තරඟ විනිශ්චයට මාත් සම්බන්ධවී සිටි නිසා තරඟය පැවැත්වෙමින් තිබියදී දෙපැත්තෙම තරඟකාරියන් කඹ අදින ආකාරය පරීක්ෂාවෙන් බලාගෙන මම කඹේ එක කොණක ඉඳන් අනික් කොනට ඇවිදගෙන ආවා.එක පැත්තක වැර දමා කඹය අදින සායවල් ගවුම් අතරේ සරමක් දැක්ක මම උඩගියෙ නැතුවා විතරයි.බලපුවම සරමත් පිටපොට ගහගෙන වලිකමින් අමරය හොඳ සීරුවට කඹේ අදිනවා.

නීති විරෝධී බව හොඳටම  දැන දැන අමරය කරන මේ වැඩේ දැක්කම මට කේන්ති ගියා,ඒත් එක්කම නවත්ත ගන්න බැරි හිනාවකුත් ආවා.එදා විතරක් නෙවෙයි ගෑනු ගොඩේ අමරය කඹේ ඇදපු ඇදිල්ල මතකවෙනකොට අදත් මට හිනාව නවත්ත ගන්න බෑ.හිනා ගියාට මු කරන වැඩේ නවත්තන්න එපායැ.මම විසිල් එක ගහන්න හදනකොටම පෙරළෙන රෝල්වෙන ගෑනු ගොඩ එක්කම අමරයත් අනිත් පැත්තට ඇදිල යන්න යනකොට පොර කඹේ අත ඇරල අහකට පැන්නා.ඒ නිසාම අප්සැට් එකක් නැතුව වැඩේ බේරගත්තා.පහුවදා හවස මීවිතකට හවුල් වෙන ගමන් මම මේ කතාව හිනාවෙවී අනික් කොල්ලන්ට කිව්වට උන් ඒක එච්චර ගාණකට ගත්තෙ නෑ.

ඔය යකා හැම අවුරුද්දෙම ඔය වැඩේ කරනවා.හැබැයි ඇදල දෙන්නෙ කොස්ගහ සයිඩ් එකට එන ගෑනුන්ට විතරයි.අනික් පැත්තෙ පිලට උගෙ ගෑණි ඇද්දත් අමරය කොස් ගහ පැත්තට එන පිලට අදිනවා,ඒ උගෙ හැටි ...

ඒකත් එහෙමද කියල මම නිකං හිටියා.අපි දන්නා කාලෙක ඉඳන් අපේ ගමටය කියල සෙල්ලං කරන්න පිට්ටනියක් තිබුනෙ නෑ.මුලදී අපි පොඩි කාලෙ නාරංවත්තෙ පිට්ටනියෙ සෙල්ලං කළා.ටිකක් දුර යන්න තියෙන නිසා පස්සෙ කාලෙක නාරංවත්තෙ පිට්ටනියට යාම නැවතිලා පෝටවත්තෙ සෙල්ලං කරන්න ගත්තා.අයිතිකාරයො පෝටවත්ත බෙදාගත්තට පස්සෙ සෙල්ලං කරන්න අවුරුදු උත්සව තියන්න තැනක් නැති  අපට යන එන මං නැතිවුනා.එහෙමයි කියල අපි නිකං හිටියෙ නෑ ගොයං කපපු වෙලේ අවුරුදු උත්සව තිබ්බා.වෙලේ වතුර කාලෙට පාරෙ අවුරුදු උත්සව තිබ්බා.අපි පාරෙ වෙලේ එහෙම අවුරුදු උත්සව තියද්දි අමරය පුදුමාකාර සහයෝගයක් දුන්නා.වෙන්දේසිකාරයෙක් අලවත්ත ඉඩම අරගෙන කෑලි කඩල විකුණන්න සුදානං වුණේ ඔය කාලෙදියි.

බොහොම දිග කතාවක් කෙටියෙන් කිව්වොත් ලොකු අරගලයකින් පස්සෙ අපේ ගමට පිට්ටනියක් සඳහා ඉඩම් කෑල්ලක් අලවත්තෙන් ලැබුණා.ඡන්දයක් අත ළඟ තිබුණු නිසා බොහොම ඉක්මනට පස් කපල සමතලා කරල පිට්ටනියත් හදල දුන්නා.අලුතෙන් ලැබුණු පිට්ටනියෙ ගමේ කොල්ලො බොහොම සතුටින් ක්‍රීඩා කළා.ඔන්න ඔය විදියට කාලය ගෙවිල යද්දි රැකියාවෙ අවශ්‍යතාව අනුව මට විදේශගත වන්නට සිදුවුනා.පිටරට ගියත් නිවාඩුවට ගෙදර ආවහම පිට්ටනියට ගිහිං සෙල්ලං කරන්න මම අමතක කලේ නෑ.මේ වෙද්දි අපේ පිට්ටනිය අවටපිට බොහොම ජනප්‍රිය වෙලා තිබුණා වගේම සෙල්ලං කරන්න අහළ පහළ ගම්වලින් ළමයි එන්න පටන් අරගෙන තිබුණා.මැච් ගහන්න ටුනමන්ට් තියන්න මේ එන සෑම සියලු දෙනාම පිට්ටනියට ආවෙ අපේ ක්‍රීඩා සමාජයේ ආරාධනයෙන් හෝ එහි අනුදැනුම ඇතිවයි.

මෙන්න මේ පිළිගත් ආකාරයට විරුද්ධව පිට්ටනියෙ සෙල්ලං කරන්නට ආව කණ්ඩායමකුත් හිටියා.මේ අය ටවුමෙ පල්ලිය ආසන්නයෙ  ටැප් එක ළඟ කියන සුප්‍රසිද්ධ තැන තිබුණ නගර සභා නිවාස හරියෙ පදිංචිවෙලා හිටපු කණ්ඩායමක්.(මෙතන ටැප් එක කිව්වෙ පාර අයිනෙ තිබ්බ පොදු ජල කරාමයක්.පැය විසිහතරෙම වතුර ගලාගෙන ගියපු මේ ටැප් එක ළඟ කාන්තා පාර්ශවය පැය විසිහතර පුරාම නෑවා සහ රෙදි හේදුවා.)චණ්ඩි උණ සෑහෙන්න ගහල තිබ්බ මේ අය ළඟ විකට් බැට් බෝල මොකුත්ම තිබුනෙ නැති නිසා ඒවා ඔක්කොමත් බලෙන් වගේ ගත්තෙ අපේ ක්‍රීඩා සමාජයෙනුයි.අනුන්ගෙ ක්‍රීඩා උපකරණ වලින් තමන්ගෙ වගේ අපේ පිට්ටනියෙ ඕනෑ ඕනෑ වෙලාවට ඇවිත් සෙල්ලං කරන මේ අයට විරුද්ධව අපේ ගමේ කවුරුවත් කිසිදෙයක් කියන්න නොගියෙ ටවුමෙ චණ්ඩි එක්ක හැප්පිලා අන්තිමේ ටවුමටවත් යන්න නැතිවෙයි කියල බයටයි.ඊට පස්සෙ මේ අය එක එක ටීම් වලට චැලේන්ජ් කරල මැච් ගහන්න අපේ පිට්ටනියට එක්කං එනවා.ඒ ඇවිත් මැච් ගහන්නෙත් අපේ බැට් බෝල වලින්මයි.ඒ මදිවට සයිකල් පැදගෙන පිට්ටනිය ඇතුළටම එනවා.අපි ඒ දවස්වල සයිකල් පදිනව තියා පිට්ටනියෙ සයිකලයක් තල්ලු කරන්නවත් දුන්නේ නෑ.

පිටරට රාජකාරි කාලය ඉවර කරල මම ලංකාවට එද්දී තිබුණ තත්වය ඔන්න ඔහොමයි.නමුත් මම මේ කාරණා කිසිදෙයක් දැනගෙන හිටියෙ නෑ.එක නිවාඩු දවසක උදේ මම කඩේ පැත්තෙ ගිහිං ආපහු ගෙදර එද්දි පිට්ටනියෙ බොහොම ජයට ක්‍රිකට් මැච් එකක් යනවා.අපේ අය මැච් එකක් ගහනව නං මම නොදැන ඉන්න විදියක් නෑ.අනික කණ්ඩායම් දෙකේම ඉන්න ක්‍රීඩකයන් දැකල පුරුදු අයත් නෙවෙයි.මේ වැඩේ මොකද්ද බලන්න මම පිට්ටනියට ගොඩවුනා.ගමේ කොල්ලො කීප දෙනෙක් පිට්ටනිය අයිනෙ ඉඳන් මැච් එක බලනවා.පිට්ටනිය අයිනෙ සයිකල් දහයක් විතර ගොඩගහල.

මේ මැච් එක මොකක්ද ටුනමන්ට් එකක්ද? මං ඇහුවා.

නෑ අර ටැප් එක ගාව කට්ටිය මැච් එකක් ගහනව...

මම වැඩිදුර විස්තර අහපුවම ඔය විස්තර ටික කියල ගමේ කවුරුවත් බය නිසා මේ වැඩේට විරුද්ධව කතා කරන්නෙ නැහැ බලාගෙන ඉන්නව ඇරෙන්න අපටත්  වෙන කරන්න දෙයක් නෑ කියලත් කිව්වා.කොල්ලො කියාපු කතාවට මට දුක හිතුණා.ටැප් එක ළඟ නෙවෙයි අඟහරු ලෝකෙ ඉඳන් ආවත් වැරදි වැඩේ වැරදිමයි,ඒ නිසා මේ කරන නිග්‍රහය සහ මදිපුංචිකමට විරුද්ධව මමවත් කතා කරනව කියල හිතාගෙන ගිහිං ටැප් එක ළඟ ටීම් එකේ අයගෙන් මේ ගැන ඇහුවා.ටැප් එක ළඟ ක්‍රීඩකයන් සහ මා අතර ඇතිවුන සුහද සංවාදය මේ විදියයි.

තමුසෙ කවුද ඕයි පිට්ටනියෙ අයිතිකාරයද?

අපට මෙහෙ නෙමෙයි ඕයි ඕනැ තැනක ගිහිං මැච් ගහන්න කාගෙන්වත් අහන්න ඕනැ නෑ දන්නවද?

මේ ඕයි...මීට වඩා හොඳ පිට්ටනිවලට අපට එන්න කිව්ව හරිද අපි ගියෙ නැතුවට තමුසෙ දන්නවද?

ඇයි තමුසෙ අපට මොනව කරන්ඩද?

අඩෝ මේ...නිකං...දෙන්නෙ නැතුව පලයං යකෝ ආව මෙතන අපේ ....අරින්න ..

අපේ ආදරණීය සංවාදය උස් හඬින් දිගින් දිගටම ඇදී යනකොට පිට්ටනියෙ සෙල්ලං කරමින් හිටපු අයත් සංවාදයට එකතු වුණා.පන්දුවට පහර දෙමින් හිටපු පල්ලිය ගාව  ත්‍රීවීල් එකක් එලවන ටැප් එක ළඟ තට්ටයා කියන සුරතල් නමින් හැඳින්වෙන ක්‍රීඩකයා බැට් එක දෝත බදල උස්සගෙන දුවගෙන ආවෙ කෙලින්ම මිඩ් විකට් හරහා ඇදී යනසේ මගේ ශීර්ෂයට දැවැන්ත හයේ පහරක් එල්ල කරන්නටයි.

අඩෝ දැනගනිං තොපි ලුණු කන්න හරි ටවුමට එන්න ඕනෑ හරිද එතකොට බලාගන්නං...

මොනවද ඩෝ එතකොට, බලාගන්න දෙයක් දැන් බලාගනිං...

මේ වෙනකොට පිට්ටනියෙ ගෝසාවට ගමේ ගොඩක් දෙනෙක් එතෙන්ට පිරුණා.දැන් වැඩේ නැගලම යනවා, වලිබර අමරයත් එතනම පහළ තියෙන වඩුමඩුවෙ ඉඳල කුරුල්ල වගේ පිට්ටනියට දුවගෙන ආවෙ දැඩි චිත්ත ප්‍රීතියෙන් යුතුවයි.මෙච්චර කල් බයට කවුරුත් කටවහගෙන හිටපු ටැප් එක ළඟ කණ්ඩායමට මම අභියෝග කිරීම ඔහුගෙ සිත අමන්දානන්දයට පත්කිරීමට හේතුවී තිබුණා.මම තියන අඩියක් ගානේ ධෛර්ය වඩවන වචන කියමින් හෙවනැල්ල වගේ අමරය මගෙ පස්සෙන්ම හිටියා.

කෙළල දාමු මහත්තයො ඔවුන්ට මොකට බයවෙන්ඩද? මම ටවුමට යනකොට නියන ඉනේ ගහගෙන යනව.වරෙන්කො ගහන්ඩ,ඇරල දාන්නෙ බොකු බඩවැල් එලියට එන්න...

කොහොමහරි අපිට කෙළගන්න ලැබුනෙ නෑ කට්ටිය වටවෙලා දෙගොල්ල දෙපැත්තට කළා.තවත් පැයක් විතර බැනගෙන ටැප් එක ළඟ කණ්ඩායම පහුබැහැල යන්න ගියා.ගහගන්න කොහොමත් බනින්න නං උන් හරි දස්සයි කියෝනව කියෝනව ගෑනු වගේ.මට බැනිල්ල බෑ එක්කො ගහනව නැත්නං ගුටිකනව එච්චරයි.පිට්ටනියෙ මම ගහගන්නව කියල ගෙදරට ආරංචි උනොත් ඊට හපන් බැනුම්.අන්තිමට වැඩේ ඉවර උනේ පොලිසියටත් ගිහිං.ඒක වෙනම කියන්න ඕනැ තව ලස්සන කතාවක්. ටැප් එක ළඟ ටීම් එක පොලිසියෙදි අපෙන් සමාව ගත්තා.පොලිසියෙ ඉඳන් ආපහු එද්දි අපි ටැප් එක ළඟ නැවතිල එතන තියෙන චෙරි ගහේ ගෙඩි කැඩුවෙ කන්න නං නෙවෙයි.ඔන්න ඔය විදියට ඒ වැඩේ ඉවර උනා.ඊට පස්සෙ ටැප් එක ළඟ ටීම් එක කවදාවත් අපේ පිට්ටනියට ආවෙ නෑ.හැබැයි අපි එන්න එපා කිව්වෙ නෑ. කිව්වෙ සෙල්ලං කරනවනං නිසි පරිදි අවසර ඇතුව සෙල්ලං කරන්න කියලයි.

ඊට පස්සෙ අවුරුද්දෙ මට ආපහු විදේශගත වෙන්නට උනා.ඒ ඇවිත් අවුරුද්දක් ගියෙ නෑ අමරෙ හදිසියෙන්ම මළා.මරණෙ සිද්ද උනේ මෙහෙමයි.යලට වපුරන්න ගෙවල් ළඟ කුඹුර කොටමින් හිටපු අමරෙට එක පාරටම උණ ගත්තා.පැනඩෝල් බිබී දවස් දෙකක් හිටියට උණ බැස්සෙ නැතිතැන ගිහිං බේත් ගත්තා.හවස බේත් අරං ගෙදර ඇවිත් බේත් ටික හෙට ඉඳල බොනව අද අරක්කු ටිකක් බොනව කියල කසිප්පු ගෙනත් බීල තියෙනව.මී උණට අරක්කු වහ වගේලු.පහුවදා උදේ හොඳටම අමාරුවෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්චා.ආපහු ගෙදර එන්න උනේ පෙට්ටියක.මට අමරෙගෙ වල කපන්නත් ලැබුනා෴

Sunday, October 19, 2014

අපේ කඨින පිංකම විලියොංගෙ රස්සාව ජොලාගේ ඕවරේ සහ පොඩීගෙ ලව් එක.

  

අහම්බෙනුත් බ්ලොග් පෝස්ට් ලියවෙනවලු.මොනා හරි ලියන්න දැන් සති දෙකක ඉඳන් තටමනවා.කොටස් දෙකක් ලියපු මගෙ සලාලා සංචාරක සටහනේ ඉතුරු හරිය ලියන්න ගත්තා,බාගයයි.ඊඩ් නිවාඩුවට ගියපු ඩුබායි සංචාරෙ ගැන ලියන්න ගත්තා,බාගයයි.ලියවුනේම නෑ ඉතිං මොකද කරන්නෙ කියල හිත හිතා ඉද්දි කඨින පෙරහැරක් ගැන තුශානි ලියපු මෙන්න මේ  සටහන දැකපුවම කඨින පිංකම් ගැන හිතේ තිබ්බ මතකයන් රාශියක් අවදි වුණා.ඒ වගේම මේ වස් පවාරණ කාලෙ කඨින පිංකම් ගැන ලිවීමත් පිනක් නොවැ.ඒ නිසා කඨින පිංකම් සම්බන්ධ ටීකාවත් පොඩ්ඩක් කියලම ඉමු.

වස් කාලය කියන්නෙ වැහි කාලය,වැහි කාලෙ එක්තැන් වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා වස් කාලය අවසන ලොකු පිංකමක් පවත්වල වස් පවාරණය කරනවා.ඒ වස් පිංකමට අමතරව වස් කාලය පුරාම පන්සලේ පිංකම් රාශියක් පැවැත්වෙනවා.පංසලේ සහ දායක සබාවේ හයි හත්තිය අනුව විවිධාකාරයේ පිංකම් පවත්වනවා.ඒ කියන්නෙ හොඳට ඇති පැති පන්සල් හැම සතියකම අලංකාර මල් පෙරහැරවල් පවත්වනව සහ කඨින පෙරහැර සහ පිංකම ඉතාම අත්‍යාලංකාරයෙන් පවත්වනවා.එතකොට නැති බැරි පන්සල් කරන්නම අවශ්‍ය නිසා නොකර බැරිකමට කඨින පෙරහැර සහ පිංකම පවත්වනවා.මොන ආකාරයට කලත් කඨින පිංකම මහත්පල මහානිසංස ගෙන දෙන පිංකමක් බව හාමුදුරුවරු දෙසා වදාරනවා මම අහල තියෙනව.

කඨින පෙරහැරේ සහ පිංකමේ අර්ථයත් එය පවත්වන ආකාරයත් ඔයගොල්ලො හොඳින්ම දන්න නිසා මම ඒ ගැන වැඩිදුර විස්තර කරන්නට යන්නෙ නෑ.ඒ වෙනුවට මට මතක ඇති කාලෙ ඉඳන් අපේ පංසලේ කඨිනෙ පවත්තපු හැටි ගැන පොඩි විස්තරයක් කරන්නං.අපි තරුණයො සන්දියෙදි කාලයක් කඨින පිංකම බොහොම ජයට කෙරුනෙ පංසලේ හිටපු අරියසෝබන පොඩි හාමුදුරුවන්ගෙ උනන්දුවත් අපේ තරුණ විසේත් හින්දමයි.එක අවුරුද්දක මල් පෙරහැරකට අපි කට්ටිය ලී කෙළි නැටුමක් කළා.පුරුදු කෙරෙව්වෙ ගුණපාල අපි කොල්ලො අටදෙනෙක් සාරිවලින් අන්දන ඇඳුම් ඇඳගෙන තුප්පොට්ටි බැඳගෙන බොහොම ජයට ලීකෙළිය කරමින් පෙරහැරේ නැටුවා.ආ තව එකක් අමතක වුණා මල් පෙරහැරවල් ඉවර වෙලා ගෙදර එන ගමන් කරපු තවත් පිංකමක් ගැන මම ගිය අවුරුද්දෙ ලියපු කොන්ත්‍රාත්තුව  කතාවෙ ලිව්වා.අදාළ කොටස මම එතනින් උපුටල දක්වන්නම්.

"අබේ කියන්නෙත් අපේ කණ්ඩායමේ හිටපු හොඳ හිත ඇති කොල්ලෙක්,කඩවසම් හොඳ උස මහත,ඕනැ දේකට පස්සට අදින්නෙ නෑ.

අබයටත් විලියොංගෙ පවුල එක්ක පොඩි තරහක් තිබුණා.මොකක්ද විලියොංගෙ කොල්ලො දෙන්නා,ඒ කියන්නෙ පකඩයයි,සඳුවයි දවල් තිස්සෙ සෙල්ලං ගෙයක් හදනව.මේක අපි උඹල හදපු සෙල්ලං ගෙවල් වගේ නෙවෙයි,වරිච්චි බැඳල මැටිගුලි තියල පොල් අතු බැඳල,උං ලස්සන බලනව.  පන්සලේ මල් පෙරහැර ඉවරවෙලා මහරෑ ගෙදර එන ගමං අබයයි මමයි මුංගෙ සෙල්ලං ගේ පයිං ඇනල කඩල දානව.අනේ ඉතිං පහුවදා උදෙත් අරුං දෙන්න අඬ අඬා ආපහු සෙල්ලං ගේ හදනව එදා රෑටත් ඒ සෙතේමයි.



අනේ ඒ ඒ... මේ පොඩිඋං දෙන්න වේයො හුඹහ බඳිනව වගේ හදන සෙල්ලං ගේ මේ පාහරයො රෑට කඩල දානවනෙ...කිය කියා දෙස් දෙවොල් තියමින් හිටපු විලියොංගෙ පවුල දවසක් රෑ සෙල්ලං ගේ ලඟ හැංගිලා රැකල ඉඳලා.ඕකෙ වගක් දන්නෙ නැතුව එදත් අබයයි මායි රෑ එනගමන් සෙල්ලං ගෙට වැදිල බිත්තිවලට පයිං අනින්න ගත්තා.



හාආආ...තොපි අල්ලගන්න තමයි මමත් රැකල හිටියෙ හිටපියවු වල් පාහර බල්ලො,තොපේ හතර හන්දි කැඩෙන්න ඕනැ මේ පොඩි උංගෙ සෙල්ලං ගේ කඩනවට....

කොහෙද අකුලක හැංගිලා හිටපු විලියොංගෙ පවුල කෑ ගහගෙන මාරාවේශයෙන් වගේ අපේ පැත්තට දුවගෙන එනවා.අබයටයි මටයි දැං කරකියාගන්න දෙයක් නෑ.අපි දෙන්නා ඔලුව හැරුණු අතේ දිව්වෙ කෙහෙල් පඳුරු දෙබෑ කරගෙන.



දිව්වට වැඩක් නෑ,ගෑණි අපිව අඳුන ගත්ත,කිරිසුදු හඳ එලියනෙ දවල් වාගෙ.මේ ගැනත් පහුවදා හා හෝවක් ගියාට වැඩේ එච්චර දිග දුර ගියෙ නෑ,දෙගොල්ලො බැණගෙන නිකං හිටිය."

මේ වැඩෙත් හිතේ තියං හිටපු අබයා පස්සෙ දවසක විලියොංගෙ ගෑනිට හුජ්ජ ගහල වයිරෙ පිරිමහගත්තා.විලියොං ගෙ පවුලත් වැඩිකල් ජීවත්වුණේ නෑ ඊට අවුරුදු කීපෙකට පස්සෙ මැරිල ගියා.රෙදිමෝලේ රස්සාව කරගෙන හිටපු විලියොං රස්සාවෙන් පැන්ෂන් අරං ටික කාලෙකට පස්සෙ ඔත්පොළ වෙලා ඇවිදගන්න බැරුව ගිහිං කාලයක් අර වෝකර් එකක් පාවිච්චි කරමින් ඇවිද්දා.පහුගිය අවුරුද්දෙ මැද බාගෙ වගේ මිනිහත් මළා කියල මට දැනගන්න ලැබුණා.

විලියොං රස්සාවකට යන්න ගිය හැටි ගැන තවත් කතාවක් තියෙනව,මිනිහ කොල්ල කාලෙ  ගෙවල් ළඟ හිටපු හෙන්දිරික් රස්සාව කළේ කොටුවෙ මහ තැපැල් කන්තොරුවෙ,හරියටම කිව්වොත් හෙන්දිරික් පෝස්ට් මාස්ටර් ජනරාල් ගෙ ඔපිස් පියන්.තැපැල් කන්තෝරුවෙ රස්සාවක් හොයල දෙන්න කියල විලියොං හැම තිස්සෙම හෙන්දිරික්ට කන් කෙඳිරි ගානවා.ඒ කාලෙ මැති ඇමතිල පස්සෙ නොගියට ආයතනයකට සුළු සේවකයෙක් ගන්න ප්‍රධානියාට පුළුවන්කම තිබුණා.ඒ වුනාට ඉතිං රජයේ රස්සාවක් දෙන්නත් මනුස්සයෙකුට අකුරක් ඉලක්කමක් පුළුවන් වෙන්න එපායැ.ගොන් බඳින කණුවක් වෙච්චි විලියොං තමන්ගෙ ලොක්ක ලඟට එක්ක ගිහිං සවුත්තු වෙන්න බෑ කියල හෙන්දිරික් වැඩේ මග අරිමින් හිටියට විලියොංගෙ අම්මල තාත්තලත් වද කරන නිසා දවසක් විලියොංව කන්තෝරුවට එක්කරගෙන ගියා.

උඹ ඔතනින් ඉඳගෙන ඉඳිං, මං රාජකාරි ටික ඉවර කරලා උඹව මහත්තය ලඟට එක්ක යන්නං...

හෙන්දිරික් එහෙම කියල විලියොංව බංකුවක ඉන්දවල ඇතුළට ගියා.පැයක් දෙකක් ඔහොම ඉඳගෙන ඉද්දි එකපාරටම හෙන්දිරික් සුදු කෝට් එකක් ඇඳල නැමි පනාවක් ඉහේ ගහගෙන හිටපු තවත් මනුස්සයෙක් එක්ක ඇවිත් විලියොං ඉදිරියෙ පෙනී හිටියා.

විලියොං, වටීස් යුව නේම් විලියොං...

අර මනුස්සය විලියොං ගෙන් එහෙම අහපුවම විලියොං පණ බයේ ගැහෙන්න ගත්තා.විලියොං උඩ බිම බලද්දි ආපු මනුස්සය අවඥාවෙන් කට ඇද කරල හෙන්දිරික් එක්ක ආපහු යන්න ගියා.ටිකකින් හෙන්දිරික් ආපහු  ආවා.විලියොං තාම දියෙන් ගොඩට ගත්ත මාළුවා වගේ ගඩ ගඩ ගගා ගැහෙනවා.

අනේ බං අයියෙ මාව ආපහු එක්ක පලයං...

ඇයි බොල හරකො කට වහගෙන හිටියෙ,මොනව හරි කිව්ව නං රස්සාව අතේනෙ...

අනේ බං මම  ඉංගිරිස් දන්න එකක්යැ,ඉතිං මොකවත් කියන්නෙ කොහොමද?

යමං යමං උඹයි මායි කොරන ආණ්ඩුවෙ රස්සාවල්...

හෙන්දිරික් විලියොංව කොටුවෙන් කෝච්චියෙ පටෝල ගෙදර එව්වා,අර වැඩේ විලියොං රස්සාවල් ඉල්ලන එක එපා කරවන්න හෙන්දිරික් කරපු උප්පරවැට්ටියක් කියල දැනගෙන හිටියෙ හෙන්දිරික් විතරයි.පස්සෙ කාලෙක රෙදිමෝල හදද්දි ඒකෙ සිල්ලර වැඩට ගියපු විලියොංට  රෙදි මෝල හැදුවට පස්සෙ සිවිල් අංශයෙ රස්සාවක් ලැබුණා.

ඔය රෙදි මෝලෙ ඒ කාලෙ හිටපු මිල් මැනේජර් පෙරේරගෙ පුතා ජොලනන්දන හෙවත් ජොලා රාජගෙ මල්ලි සුදු ගෙ ක්ලාස් මේට් නිසා අපේ සැට් එකත් එක්ක සෙල්ලං කරන්න වල බහින්න එහෙම අපේ ගමට එනවා.

ඔන්න දවසක් අපේ ටීම් එක සික්ස් අ සයිඩ් ටුනමන්ට්  එකක් ගහන්න රාගම ගියා.ටීම් එකට කට්ටිය හදිසියෙ හොයාගන්න ලැබුනෙ නැති නිසා මම ටක් ටක් ගාල ඇහින්දාස් ටීම් එකක් හැදුවා,ක්‍රීඩකයෝ ටික මෙහෙමයි මම,වෙනුජ,ජොලා,එතකොට බී රෝඩ් එකේ එකම වෘත්තීය ක්‍රීඩකය වුන පියසිරියි තව පොලු කඩල යන්න බෝල් කරන කොල්ලෙක් හිටිය, ඔය පස්දෙනයි මාත් එක්ක ඉස්පිරිතාලෙ වැඩකරපු පොඩීයි,හයදෙනා ඔහොමයි.කට්ටිය කෝච්චියෙ ගිහිං රාගමින් බැහැල ටූනමන්ට් එක තිබ්බ මහර හිරගෙදර පිට්ටනියට ගියා.

අපේ මැච් එක තිබුනෙ කඩවත ටීම් එකක් එක්ක.අපි ඉස්සෙල්ල බැට් කරල අවුලක් නැතුව පනස් ගාණක් ගහගත්තා.ඔන්න කඩවත ටීම් එක බැට් කරන්න බැස්සා.අපේ දෙන්නෙක් දාපු ඕවර් දෙකට හිරවෙලා හිටිය බැට්ස්මන්ලට පහළොවක් වත් ගහගන්න ලැබුනෙ නෑ.තුන්වෙනි ඕවරේ දාන්න ජොලා බෝලෙ ගත්ත.මූ හොඳටම කොටයි.ස්පීඩ් කරන්න යන්න ඕනෑ නෑ ගානට පිච් කරල බෝලටික දාගනින් කියල මම ඌට වැඩි හොඳට කිව්වා.ජොලා දුවගෙන ගිහිං පළවෙනි බෝලෙ දානකොටම අම්පයර් නෝ බෝල් කියල කෑගැහුව.බෝලෙ ට්‍රැක් එකේ මැද පිච්වෙලා ගානට ඉස්සිලා ආවා.බැට්මන් අත දිග ඇරලා දුන්න පාරක් බෝලෙ ජිල්බෝලෙ වෙන්න,රූං ගාල විදිල්ල වගේ තිතක් වෙනකං උඩගිය බෝලෙ ගිහිං වැටුනෙ පිට්ටනියෙනුත් එහා පැත්තෙ කණාටු රබර් කෑල්ලෙ.හයයි.ඊළඟ බෝලෙටත් ඒ සෙතේමයි.ජොලා ඕවරේට බෝල දහයක් හෝ එකොළහක් දැම්මා.උගෙ ඕවරෙන් පස්සෙ මැච් එකත් ඉවරයි.

අපි මැච් එක පැරදුනාට වැඩියම සතුටු වුනේ අපේ පොඩී,ඒ මොකද කිව්වොත් උගෙ කෙල්ල වැඩ ඇරිල ස්ටේෂන් එකට එන වෙලාවට ආපහු යන්න ලැබුන නිසා.ඒකත් තරමක් දිග දුර ගිය කතාවක්.පොඩී යාලුවෙන්න කළින් ඔය කෙල්ල ඔබ පෙම් කරනා ඔබේ කුමාරී වගේ මටත් ආදරෙයි කියල තිබුණා.ඒ කතාවෙ කොටසක් මම මෙන්න මෙතන ලිව්වා.ආයෙම ඒ කතාව ලියන එකේ තේරුමක් නෑනෙ.ඉතිං අපේ ආදර ගීතය ඉවර උනායින් පස්සෙ පොඩී ඒ කෙල්ලත් එක්ක අලුත්ම ආදර ගීතයක් ගයන්න පටන් ගත්තා.කෙල්ල උසට මහතට පෙනුමට හිටියට පොඩී නං කැහැටු කොල්ලෙක්, හරියට දැති ගොයියෙක් වගේ.දෙන්නගෙ ගැලපීම ඉස්පිරිතාලෙම හිටපු ගෑනු කෙනෙක් දැක්කෙ මේ විදියටයි.

අපොයි,ලොරියට බයිසිකළේ හේත්තු කළා වගේ...

ඔය වගේ එක එකා කියපු කට කැඩිච්ච වරත්තු කතා නං උන් දෙන්න පයිසෙකටවත් ගණන් ගත්තෙ  නෑ,තමන්නෙ පාඩුවෙ ලව් එක ඇදගෙන ගියා.ඒ උනාට දැන් වෙලා තියෙන්නෙ ඊට හපන් වැඩක්නෙ, මුන් දෙන්න ලව් කරන තැන මටත් ඉන්න වෙලා.බොලාට හොඳ නං මටත් මොකද කියල අපි කට්ටියම රාගම ස්ටේෂන් එකට ආවා.ඔන්න කෙල්ලත් වැඩ ඇරිල වෙලාවට ස්ටේෂමට ආවා.මාත් හිටපු නිසා දෙන්න ඉස්ටේසමේ ලව් කරන්න ගියෙ නෑ, ඇඹරි ඇඹරි ඉඳල කෝච්චිය ආපුවම උන් දෙන්න එක පෙට්ටියකට නැග්ග අපි කට්ටිය වෙන පෙට්ටියකට නැග්ග.වැඩේ ගොඩ දාගත්තෙ ඔන්න ඔහොමයි.ඔය විදියට ලව් කළාට මොකද උන් දෙන්නට එකතු වෙන්න ලැබුනෙ නං නෑ.මොන ආකාරයෙන් හෝ ඒ ලව් එකත් කැඩිල ගියා.පස්සෙ කාලෙක පොඩී උන්නෙ ගමේම දීගෙ අත් ඇරිච්ච ගෑනු කෙනෙක්ව බැඳගෙන හොඳට සතුටින් සමාදානෙන්  පවුල් කෑවා.ඒ කාලෙ වෙනකොට පොඩී වැලිසර ඉස්පිරිතාලෙ ඉඳල ගෙවල් ළඟ තිබ්බ ග්‍රාමීය ඉස්පිරිතාලෙකට මාරුවක් අරං තිබ්බා.පොඩීගේ ආරාධනයෙන් දවසක්දා අපි යාළුවො හත් අට දෙනා දවල් කෑමකට පොඩීලගෙ ගෙදර ගියා.

රස්සාවට අමතරව පොඩීගෙ තව ඉඩම් කෑල්ලක අන්නාසි දාල තිබුණා,ඒ ඉඩමෙම කිකිළියො තුං හාරසීයක කොටුවක්  තිබුණා.පොඩීගේ බිරිඳ බොහොම ධෛර්ය සම්පන්න කාන්තාවක් බව බැලු බැලු හැමතැනම පෙනෙන්නට තිබුණා.අන්නාසි වලිනුත් බිත්තර වලිනුත් මාසෙකට සෑහෙන ආදායමක්  ලැබෙනවා කියල පොඩී අපිත් එක්ක කිව්වා.පොඩී මනුස්සයෙක් වගේ ඉන්න එක ගැන අපටත් හරිම සතුටුයි.දීපු අන්නාසිත් අරං අපි ගෙදර ආවා.නමුත් මේ සමෘද්ධිමත් භාවය තිබුනෙ බොහොම ටික කාලයයි,තදින්ම බීමට ඇබ්බැහි වුන පොඩී රස්සාවට යන්නෙත් නැතුව දවස පුරාම බීමතින් ගමේ රස්තියාදු ගහමින් ඉන්නව කියල මට ආරංචි වුණා.ඔය කාලෙ වෙද්දි මාත් ඉස්පිරිතාලෙන් මාරුවෙලා වෙන රස්සාවකට ගිහිං හිටියෙ.

එක නිවාඩු දවසක අපි කට්ටිය ඒ කිව්වෙ මමයි කුවින්ටසුයි, පෝටයයි අපේ ගේ ඉස්සරහ මායක්කලගෙ වත්තෙ ගල උඩ පොඩි කර්තව්‍යයක් කරමින් ඉද්දි එකපාරටම පොඩී ඔතෙන්ට කඩා පාත් උනා.ඒ ගමන පොඩීටත් වැඩේට සම්බන්ධ වෙන්න කිව්වම  චුට්ටක් වීදුරුවට දාගෙන කට ඇඹුල් කරමින් හිටිය මිසක බිව්වෙ නෑ.අපි මොකද කියල ඇහුවම.

මට මෙව්ව හරියන්නෙ නෑ බං,සුදුව නැද්ද?

ඒ ගමන ඌට සුදුව බෝතලයක් ගෙන්නල දුන්නම බොහොම සතුටින් බිව්වා.හැබැයි දෙක දානකොට කට් වගේ පෙනුන නිසා ගිහිං මගෙ කාමරේ ඇඳට දාපං කියල කුවින්ටස්ට බාරදුන්නා.අපේ වැඩේ ඉවරකරල කෑමට යනකොටත් පොඩී නිදි.කන්න කිව්වට කන්නත් බෑ ගෙදර යන්න ඕනැ කිව්වම කොල්ලෙක් අතේ සයිකලේක පොඩීව ගෙදරට පිටත් කරල අපි දෙතුන් දෙනා දවල්ට කෑවා.කෑවට මොකද කුවින්ටස්ගේ මුණ හරි නෑ.මම ඒ ගැන උගෙන් ඇහුවා.

මාර වැඩේනෙ උනේ,අර යාළුවව නිදාගන්න ඇඳට දාල ගිහිං ටිකකින් මම ආපහු බලන්න ආවා.ඇවිත් බලනකොට මූ ඇඳේ හුජ්ජ කරලනෙ."පොඩි පම්ප් එකක් දැම්ම මචං ගාණක් නෑ නේද කියල" පොර මගෙන් අහනව.

ගිහිං බලනකොට ඇඳ වැවක් වගේ, හුජ්ජ පදාසයයි.ඒ ගමන කුවින්ටස්ල බෙඩ් ෂීට් එකයි මෙට්ටෙයි දෙකම ගෙනිහින් හෝදල අව්වට දැම්මා.හොඳ වෙලාවට ඒ කාලෙ අපි තනිකඩ කොල්ලො.බොන එකට ගෑනු බනින්නෙ ඔන්න ඔය වගේ කබල් වැඩ සිද්දවෙන නිසා වෙන්න ඇති.බනිනව කිව්වම මට තවත් කතාවක් මතක් උනා.ඒකත් කියලම ඉන්නං ඈ. එක්කොත් කම්මැලියි ඔච්චර කොටන්න,ඒ කතාව වෙනම පෝස්ට් එකක් හැටියට ලියන්නං.෴