Sunday, September 14, 2014

මගේ මුල් පොත, ලින්ඩ්බර්ග් ,ඩීමන් ආනන්ද සහ රංසිරිගේ සංග්‍රාමය.


අබියෝග කොහොම උනත් මේ සාහිත්‍ය මාසෙ මම හිතං හිටියෙ පොත් ගැන පොතක් දාන්නමයි.සැප්තැම්බර් මාසෙ කියන්නෙ පොත් කියවන නොකියවන සැම සියලුම දෙනාම පොත් ගන්න පොත් ගැන කතාකරන පොත්වලින් සපිරුණු මාසයක් නොවැ.සාහිත්‍ය උත්සවය එතකොට පොත් ප්‍රදර්ශනේ ඔක්කොම පැවැත්වෙන්නෙ මේ පොත් මාසෙමයි.මේ සෑම සියලු සුබ කරුණක් නිසාම පොත් ගැන අපිත් යමක් ලිවිය යුතුමයි.

හැබැයි මම ලියන්න හදන්නෙ මා කියවූ හොඳම පොත් දහය නොවෙයි.මම කියවල තියෙන පොත් සම්භාරය දහයකට ලඝු කරන්න කිව්වොත් අවංකවම මට ඒ වැඩේ කරන්න බැහැ සහ ඒ හේතුවෙන් තවත් පොත් රාශියකට අසාධාරණයක් වෙනවා කියල මට හිතෙනවා.ඒ නිසා මම පොත් කියවන්න පෙළඹුන ආකාරයත් මා කියවූ සහ රස විඳි පොත් සමහරකුත් ඔබත් එක්ක බෙදාගන්නට මා බලාපොරොත්තු වෙනවා.

කොළඹ පොත් ප්‍රදර්ශනේ මෙවර පැවැත්වෙන්නෙ පාළොස්වැනි වතාවට උනාට පොත් ප්‍රදර්ශනේට මමනං දෙතුං සැරේකට වඩා ගිහිං නෑ.රටේ හිටියේ නැතිවීමමත් නෙවෙයි රටේ හිටපු අවුරුදුවලත් සමහර වෙලාවට මම ප්‍රදර්ශනේට ගියෙ නෑ.ඇත්තටම කිව්වොත් පොත් ප්‍රදර්ශනේ සෙනග පිරුණු මහ කලබලකාරී තැනක් කියල මට හිතෙනවා.හොඳ වෙළඳ කුටිවල ඇඟිල්ලක් ගහන්න ඉඩ නෑ සෙනග ඊස්මීස් නැතුව පොරකනවා තෙරපෙනවා  සාහිත්‍යය කොහොම වෙතත්  ඇතිවෙන්න තෙරපිලා හිරවෙලා ගෙදර එන්න පුළුවනි.ඇත්තටම මට එහෙම වෙලා තියෙනවා.පොත් ගන්නකොට මහා ලොකු ලාබෙකුත් ලැබෙන්නෙ නෑනෙ.සීයට විස්සක ඩිස්කවුන්ට් එකක් ලැබේවි.මරදානෙ පොත් ප්‍රකාශකයින්ගේ කඩවල ඔය සියේට විස්ස හැමදාම ලැබෙනවා.සූරිය ප්‍රකාශකයන්ගේ පොත් සාප්පුවෙ ළමයා මට සියේට තිහක ඩිස්කවුන්ට් එකක් දෙනවා.ඉතිං  නිවාඩු වෙලාවක මරදානට ගිහිං නිවී සැනසිල්ලෙ අලුත් පොත්වල සුවඳ විඳිමින් පොත් ගන්න එන සැබෑම සාහිත්‍ය රසකාමීන් එක්ක කතාබහක යෙදෙමින් තමන්ට ඕනෑ කරන පොත් තෝරගන්න පුළුවන් එකේ විලාසිතාවක්  හැටියට ගිහිං පොත් ප්‍රදර්ශනේ හිරවුණේ තෙරපුනේ නැතුවට මක්වෙනවද?

දැන් පොත් ගැන කතාකරමු.මට පොත් ගුල්ලෙක් වෙන්නට අපේ ගෙදර වැඩිහිටියන්ගෙන් නං අනුබලයක් ලැබුණය කියන්න බෑ.කිව්වහම මොකද අපේ තාත්තල අම්මල පොත් ගෙදර ගෙනත් කියවපු සාහිත්‍ය රසකාමියෝ නෙවෙයි.මං පොඩි කාලෙ අපේ ගෙදර තිබුනෙ උම්මග්ග ජාතකෙයි,සතිපට්ඨාන සුත්‍රයයි,සිතුවම් සහිත ස්ත්‍රී චිකිත්සාවලියයි කියන පොත් තුන විතරයි.හැබැයි මම ඉස්සෙල්ලම කියෙව්වෙ අපේ අයියගෙ පොත් ගොඩේ තිබුන විජයබා කොල්ලයයි.ඒ පොත්වල තිබ්බ  විස්තරවලින් හතරෙන් තුනක්වත් තේරුණේ නැතුවට අයියට ඒ කාලෙ විභාගෙට නියමවෙලා තිබ්බ පොත් වෙච්ච ජීව භාෂාව,බිම්ගෙයි සිරකරුවා එහෙමත්  කියවල ඉවරකළා.අර මුලින් කියපු පොත් තුනත් කියෙව්වයි කියල අමුතුවෙන් කිවයුතු නෑනෙ.

ඔන්න ඔය ආකාරයට මගේ කියවීම ගෙදරින් පටන්ගත්තා.ඔය මං ප්‍රාථමික විද්‍යාලයට යන කාලෙ.මං ගිය ගමේ  ඉස්කෝලෙ පුස්තකාලයක් තිබුනෙ නෑ.හයවෙනි පංතියේ ඉඳල යන්න ගනිපු සෙන්ට්‍රල් එකේ නං පොත්වලින් පිරුණ බොහොම ගාම්භීර පුස්තකාලයක් තිබුනා හැබැයි අපට ඒ පුස්තකාලෙට යන්න ලැබුනෙ අටවෙනි පංතියට පාස්වූනාට පස්සෙයි.සාපෙළ ලියද්දි මම ඒ පුස්තකාලෙ පොත් සියල්ලම වගේ කියවල ඉවරකරල දැම්මා.ෂර්ලොක් හෝම්ස්ව මම මුල්වරට රසවින්දේ ඉස්කෝලෙ පුස්තකාලෙනුයි ෂර්ලොක් හෝම්ස්ගෙ කතා හයක් හෝ හතක් තිබුණු පොතක් පුස්තකාලයෙ තිබුනා.ඊට අමතරව රයිඩර් හැගාඩ්ගෙ ඇලන් ක්වාටමන් පොතත් මම කියව්වා හොඳට මතකයි.එතකොට කාඕ යු පාඕ ලියු මගේ කුමර දිවිය එහෙම හැබැයි කියවපු වෙනත් පොත් ගැන විශේෂ මතකයක් නෑ.

ඊට අමතරව අපේ පංතියේ සියලු දෙනාම පාහේ කිසිම භේදයක් නොමැතිව ඩීමන් ආනන්ද ලියූ ජේම්ස් බොන්ඩ් පොත් සහ මාරක කතා පොත් හවුලේ බෙදාගනිමින් රසවින්දා.මගේ කියවීමේ රුචිය දියුණු තියුණු කරන්නට ඩීමන් ආනන්ද ලියූ ජේම්ස් බොන්ඩ් පොත් බෙහෙවින් ඉවහල් වුනා කිව්වොත් එය නිවැරදියි.මේ ගැනත් මට වැඩිපුර යමක් කියන්න තිබෙනවා.

අපේ ටවුමෙ තොරොම්බල් කඩවල සහ පෙට්ටි කඩවල ඉදිරිපස වහලේ එල්ලා ප්‍රදර්ශනය කර තිබූ ඩීමන් ආනන්දගේ පොතක මිළ සත හැත්තෑපහයි.ඉන්ටවල් එකේදී ඉස්කෝලෙ ටක්ෂොප් හෙවත් ටක් එකෙන් දවල්ට යමක් කන්නට ගෙදරින් දෙන සුළු මුදලෙන් කීයක් හරි ඉතුරුකරගෙන දුකසේ එකතුකරගන්නා සත හැත්තෑපහක් ටවුමෙ කඩේට දීල අලුතින්ම පිටවුන  ජේම්ස් බොන්ඩ් පොතක් අයිතිකරගන්නෙ හරිම ආඩම්බරයකිනුයි.පංතියේ බොහොම දෙනෙක් ඔය විදියට පොත බැගින් ගත්තු පොත් විස්සක් විසිපහක් පංතියේ කොල්ලන් අත නිතරම ඉතාම රහසින්  පරිහරණය වුනා.අපි නොදන්නව උනාට අපේ පොත් කෙරුවාව ගැන බොහොම තියුණු විමසිල්ලකින් හිටපු අපට සිංහල උගන්නපු පන්තිය බාරව හිටපු ගුරුතුමා වන ජයවර්ධන සර් එක දවසක හදිසියෙන්ම පොත් දඩයම පටන් ගත්තා.ඩෙස්ක් යටින් වේගයෙන් අතින් අතට පොත් හුවමාරු උනත් පොත් විසිගානක් විතර සර් පහසුවෙන්ම අත්අඩංගුවට ගත්තා.සියලු දෙනාටම පොදුවේ කළ බැන වැදීමකින් දඬුවම අවසන්වුනත් අත්අඩංගුවට ගත්ත පොත් ටික කවදාවත් ආපහු ලැබුනෙ නෑ.ජයවර්ධන සර් පොතක් සත විසිපහ ගානෙ පොත් ටික ටවුමෙ කඩේට දීල දැම්ම කියල කොල්ලො විහිලු කරගත්තා.සර් පොත් මිටියත් අරං ටවුමෙ කඩේට යනව දැකපු උනුත් ඔය අතර හිටියා.

ඩීමන් ආනන්දගෙ පොත් ලිවිල්ල ගැන රසවත් කතාවක් මේ මෑතකදී කියවන්නට ලැබුණා.මේ රසවත් කතාව තිබෙන්නේ චින්තන ජයසේනගේ චින්තන කතා පොතෙයි.ඔයගොල්ලන්ගෙ රස වින්දනය සඳහා ඒ කතාවත් මෙතනම ලියන්නං.

"ඩීමන් ආනන්ද සහ ඔහුගේ මාරක කතා ගැන මගෙ සිත් ඇද බැඳ ගත් තවත් සිදුවීමක් විය.ඔහු උදේට කැප්ටන් මුද්‍රණාලයට එයි."ලේ මාපිලා" පිටු කීපයක් ලියාදෙයි.ඊළඟට යන්නේ චන්ද්‍රාලෝක මුද්‍රණාලයට ය.එතැනද "007 ජේම්ස් බොන්ඩ්"පිටු කීපයක් ලියා දෙයි.එමෙන් ම තවත් මුද්‍රණාලයකට ගොස් මාරක කතාවක තවත් පිටු කීපයක්  ලියා දෙයි.ඩීමන් ගේ පොත් සැට් එකම සතියකින් ඉවර වෙයි.ඔහුගේ ප්‍රකාශකයා වුයේ මරදානේ සුරුට්ටු කඩේ ලිංගම් මුදලාලිය.ලිංගම් මුදලාලි සයිකලයකින් පැමිණ මුද්‍රණය කරන ලද පෝරම රැගෙන යයි."

මේ අපි එකල බොහොම ආශාවෙන් රස විඳපු පොත් ගණනාවක උපතයි.මේ කතාව දැනගන්නට ලැබුනෙ නම් ඊට බොහෝ කාලයකට පසුවයි.

ඩීමන් ආනන්ද ගෙ පොත් වලට අමතරව පංතියේ කොල්ලන් අත ඉතාම රහසිගතව හුවමාරුවූ තවත් පොත් වර්ගයක් තිබුණා.දැන් වැල පොත් යයිද එදා වල්පොත් යයිද හඳුන්වපු සරණ වැනි වැල පත්තර වෙළඳපොළට එන්නට පෙර යුගයේ තරුණයන් කියවූ මකුණා,රති රහස්,මඟුල්දා රෑ වැනි පොත් බොහොම විශ්වාසයෙන් යුතුව පංතියේ කොල්ලන් එකිනෙකා අත හුවමාරු වුනේ ඒ පොත් ඉස්කෝලෙට හෝ ගෙදරට අහුවුනා නං ලැබෙන්නට තිබු දඬුවම ඉතාම බරපතල එකක් වීම නිසයි.

එතකොට අපේ ගමේ සිසිර ප්‍රජාමණ්ඩලේ සාමාජිකයෙක් වෙලා ඒ පුස්තකාලයත් පරිහරණය කරන්නට ලැබුණා. පියසේන නිශ්ශංක මහතාගෙ වදුල, ගිනිසිසිල වැනි පොත්  පළමුවරට රස විඳින්නට ලැබුනෙ ප්‍රජාමණ්ඩලේ පුස්තකාලයෙනුයි.ඊට අමතරව ඒ පුස්තකාලයෙන් කියවන්නට ලැබුණු තවත් විශේෂ පොතක් ගැන මගෙ මතකය අවදිවෙනවා.එනම්   "ලින්ඩ්බර්ග් ගේ වීර ගමන" නම් පරිවර්තන කෘතියයි.චාල්ස් ඒ ලින්ඩ්බර්ග් විසින් ලියාතිබු පොත සිංහලට පෙරලූ  පරිවර්තකයාගේ නම මට දැන් මතකයක් නෑ.විශේෂය වන්නේ එදා කියවූ ඒ පොත ඉන්පසුව අද මේ වනතෙක් කිසිම දිනෙක මට නැවත දකින්නට ලැබී නොතිබීමයි.පොතෙන් කියැවෙන්නේ තැපැල් ගෙනයන ගුවන් නියමුවෙකු වූ චාල්ස් ඒ ලින්ඩ්බර්ග් (ස්ලිම්) (1902-1974)Spirit of st. Louis නම් තනි එන්ජිමේ කුඩා ගුවන් යානය පදවාගෙන  ඇමෙරිකාවේ නිව්යෝක්හි ලෝන්ග් අයිලන්ඩ්  සිට ප්‍රංශයේ ල බුර්ජේ  දක්වා නොනැවතී ගිය වික්‍රමාන්විත ගමනේ විස්තරයයි.අද නම් මෙය ඉතා සාමාන්‍ය ගමනක් වුවත් එදා 1927 ට පෙර කිසිවෙකු ඇමෙරිකාවේ සිට ප්‍රංශය දක්වා එක එල්ලේ පියාසර කර නැහැ.ගමන වෙනුවෙන් ඔර්ටීග් ත්‍යාගය දිනාගත් ලින්ඩ්බර්ග් ඇමෙරිකාවේ ජාතික වීරයෙකු වශයෙන් සම්මානයට පාත්‍රවුනා.

අපේ ලොකුඅම්මා කෙනෙක් හා සමග විවාහවී සිටි ප්‍රාචීන භාෂා පඬිවරයෙක් වූ අලුත්ගම මහප්පා සතුවද ඉතා හොඳ පොත් එකතුවක් තිබුනා.මගේ පාසැල් මිතුරන්වූ රණසිංහ හා ඉලංගසිංහ නවාතැන් ගෙන සිටියේද ඒ නිවසේම නිසා ඔවුන්ගේ කාමරයට වදින මා වැඩි කලක් යන්නට පෙරම මහප්පාගේ පොත් එකතුව කියවා අවසන් කර දැමුවා.1955 දී පළමුවරට එවරස්ට් කඳු මුදුන තරණය කළ එඩ්මන්ඩ් හිලරි(1919-2008) සහ ටෙන්සිං නෝර්ගේ දෙපළගේ කණ්ඩායම් නායකයාවූ කපිතාන් ජෝන් හන්ට් විසින් රචිත  "හිමගිර තරණය" පොත හා කපිතාන් ජිම් කෝබට් (1875-1955) ලියූ "කුමාඕන් හි මිනී කන ව්‍යාඝ්‍රයෝ" යන පොත් දෙක එහිදී කියවූ අමතක නොවන පොත් දෙකක්.මෙයින් හිමගිර තරණය පොතද ඉන්පසුව කිසිදිනෙක මට ආපසු දකින්නට ලැබී නැහැ.




















ළිහිණි පොත් ගණනාවක්ද සමන් මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද ටී බී ඉලංගරත්නයන් ගේ විලම්බීත,තිලක,තිලක හා තිලකා ඇතුළු ඔහුගෙ අනෙක් පොත් ද වැවදෙනියේ ඇල් ඩී මැන්දිස් මහතාගේ පොත් සියල්ලමද පාසැල් ගුරුවරියක්වූ අපේ පෝටවත්තෙ නැන්දා ගේ ගෙදරදී කියවූවා.අපේ අල්ලපු වත්තේ හිටපු මායක්කගේ නංගිල දෙන්න වෙච්ච ශාන්ති අක්කා සහ මාලා අක්කාත් කියවීමේ රුසියන් වූ නිසා ඒ දෙන්නා ගෙනත් කියවන පොත්ද කියවීමේ අවස්ථාව මට ලැබී තිබුනා.

ඉන්පසු යෞවන වයසේදී රුසියන් සාහිත්‍යය සහ සෝවියට් සාහිත්‍යය අඩුවක් නොමැතිව ඇසුරු කරන්නට ලැබුනේ ඉතා අනර්ඝ නිමාවකින් යුත් සිංහල පරිවර්තන කෘති සෝවියට් සංගමයේ මුද්‍රණය කර වටිනාකමට බොහෝ අඩු එනම් නාමික වටිනාකමකට ලංකාවේ අලෙවි කළ නිසයි.නම් වශයෙන් කියන්නට අපහසු තරම් පොත් ප්‍රමාණයක් මේ හේතුව නිසා කියවන්නට ලැබුණා.

මේ මා ඉතා කෙටියෙන් ලියුවේ කුඩා අවදියේ මගේ කියැවීමේ ආරම්භයත් එය වැඩි දියුණුවූ ආකාරයත් ගැනයි.උසස් අධ්‍යාපනය ලැබූ අවදියේත් රැකියාව කරද්දි හා කොළඹ මහජන පුස්තකාලයෙනුත් කියැවූ පොත් සංඛ්‍යාව ගණන් කරන්නට බැරිතරම්.මා පොත් මිලදීගෙන එකතුකරන්නට වුනේ විවාහ වුවාටත් පසුවයි.ඒ සම්බන්ධයෙන් වෙනම පෝස්ටුවක් හෝ එසේ නොමැතිනම් මා ලියන වෙනත් කතා තුළ වරින්වර ලියැවේවි.කෙසේ වුවත්  ජීවිත කාලය තුළ මා කියැවූ නොගිණිය හැකි පොත් කන්දරාව මගේ ජීවිතය එළිය කළ  ආලෝක ධාරාවක්ම  වූ  බව නම් කිව යුතුමයි.

ලියාගෙන යද්දී විවිධ අතුරු කතා ගණනාවක් මතක්වුනත් අතුරුකතා ලිවීම හෙවත් වටේ යෑම හෙවත් පඳුරු තැලීම ප්‍රස්තුතයට බාධාවක් නිසා බොහොම ඉවසිල්ලෙන් අදාළ මාතෘකාව ගැන ලිව්වත් කතා දෙකක් නම් නොලියාම බැහැ.එකක් තිලක හා තිලකා කතාවට සම්බන්ධයි.

ටී බී ඉලංගරත්නයන් ගේ තිලක හා තිලකා නවකතාවෙන් 1976 දී නිෂ්පාදනය වූ අමරනාත් ජයතිලකයන් අධ්‍යක්ෂණය කළ තිලක හා තිලකා චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකවූ තිලක හා තිලකා ලෙසින් රඟපෑවේ කරුණාරත්න හඟවත්ත සහ වජිරා නිර්මලී යන නළු නිළි දෙපළයි.පසුකලෙක රසාදරී පොන්සේකා සමග විවාහවූ කරුණාරත්න   හඟවත්තයන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්ථිර පදිංචියට ගියා.              2008 දී පමණ මාද සම්බන්ධවුන ආතර් සී ක්ලාක් මහතාගේ 90 වන උපන් දින සැමරුම සඳහා ශ්‍රී ලංකා රජයෙන් ආරාධනා කරන ලද විද්‍යාඥයන් කිහිප  දෙනා අතර මහාචාර්ය කරු හඟවත්ත මහතාද සිටියා.ගුවන් තොටුපොළේදී ආරාධිතයන් පිළිගෙන ඔවුන් නවාතැන් ගත් හෝටලයට රැගෙන ඒමෙන් පසුව හෝටලයේ ලොබියේදී මට මහාචාර්ය කරු හඟවත්ත මුණගැසුනා.ආගිය කතාබහ අතරතුරදී මා තිලක හා තිලකා චිත්‍රපටය ගැනද ඔහුගෙන් විමසා සිටියා.

"හැබැයි එදානං අපි දැක්කෙ කරුණාරත්න හඟවත්ත කියල නළුවෙකුයි...

"ඔව් ඔව් ඒ මම තමයි...

සුහද සිනහවක් පාමින් ඔහු කියාසිටියා.ඉන් වසරකට පමණ පසු ලොස් ඇන්ජලීස්හි පන්සලකදී මහාචාර්ය කරු හඟවත්ත මට නැවත මුණගැසුණා.අද ඔහු ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයායි.

දෙවෙනි කතාව හැටියට බස්සි ඇය කියැවූ පොත් ගැන ලියූ පෝස්ටුවක දැකපු පොතකින් මගේ පැරණි මතකයක් අවදිවුනා.කමෙන්ටුවක් හැටියට ඇයගේ බ්ලොගයේ නොලියා මේ කතාව මගෙ පෝස්ටුවටම එකතුකරන්න හිතුවෙ මෙයත් යම් පමණකට පොත් ගැන කතාවක් නිසායි.

කාලය 1989 වසර විය යුතුයි.ඒ මා බෙන් ෆිල්ම්ස් ආයතනයේ නැවතී සිටිමින් රැකියාවට ගිය සමයයි.නිවාඩු දවස්වලට පන්නිපිටිය නිවසේ සිට බෙන් ෆිල්ම්ස් ආයතනයට පැමිණෙන කුලසේන පොන්සේකා බෙනට් සමග සාකච්ඡා කරමින් ඔහුගෙ සිරියහන නවකතාවෙන් ටෙලි නාට්‍යයකට තිර පිටපතක් සකස් කරමින් සිටියා.( පසුව මෙය කලු හංසයෝ නමින් ටෙලි නාට්‍යයට නැගුණා) ඒ කුලසේන පොන්සේකාගේ රංසිරිගේ සංග්‍රාමය නම් යොවුන් නවකතාව මුද්‍රණය වෙමින්  තිබූ කාලයයි.දිනක් කුලසේන බෙනට්ගෙන් උදව්වක් ඉල්ලුවා.බෙනට් ඒ මොහොතේම එතන සිටි රුවන්ටත් මටත් කතාකර වැඩේ බාරදුන්නා.

මල්ලි මෙන්න මේ කුලේ අයියගෙ පොතක් ගහල තියෙනවලු කැලණියෙ, හවසට උඹල දෙන්නට කැළණි ගිහිං ඒ පොත් ටික  පන්නිපිටියට  ගෙනත් දාන්න පුළුවන් නේද?

රුවන්ට ලයිසන් තිබුනට පාරෙ එලවල පුරුද්දක් නෑ.එදා හවස පාරෙ එලවන්න පණ බයේ කකුල් දෙකත් ගැහෙමින් හිටි රුවනුත් මාත් බෙන් එකේ ලයිට්ඒස් වාහනෙන් කැලණියට ගියා. තැන් දෙක තුනකින් පාර අහගෙන පොත් ගහපු ප්‍රෙස් එකට ගියාම පොත් ටික ගබඩා කර තිබුන තැනට අපිව එක්කං ගියා.පොඩි කන්දක් උඩ වගේ තිබුන වහල තිබ්බ කඩ කෑල්ලක පොත්ටික අහුරල තිබුනා.එතන වාහනේ හරවන්න ඉඩ නැති නිසා දොරකඩට රිවස් කරන්නට උනා.අමාරුවෙන් රිවස් කරද්දි තැන තැන වැදිල වාහනේ ඉස්සරහයි පස්සයි දෙකම පොඩ්ඩ පොඩ්ඩ තැලුනත් කරදරයක් නැතුව පොත් ටික පටවගෙන එතනින් පිටවෙන්න අපට පුලුවන්වුනා.

කිසිම අතුරු ආන්තරාවක් නැතුව පන්නිපිටියට ඇවිත් කුලසේනගෙ ගෙදරට පොත්ටික බාරදීල අපි පිටත්වෙද්දි කුලසේන පොත් දෙකක අස්සන් කරල අපි දෙන්නට දුන්නා.

..........සොයුරාට කර්තෘ ගෙන් තුටු පඬුරකි.
කුලසේන සාන්සේකා.

කියල පොතේ ලියා තිබුණා.රුවන් පොත පැත්තකට දාල නිකං හිටියට මම නං එදා රාත්‍රියෙ ම පොත කියවල ඉවරකළා.අමුතු විදියක ලස්සන කතාවක්, පොතේ තියෙන සිද්ධීන්වල රූප මට මැවිලා පෙනුනා.

රුවන් අපි කුලයට කියල මේ පොත ගම්මු බං,පුළුවන් වෙච්ච කාලෙක ටෙලියක් ගහගන්න බැරුවයැ,බැරිවුණොත් විකුණන්න හරි පුළුවන්නෙ...

පොතේ යමක් දැකපු මම රුවන්ට එහෙම කිව්වෙ පොතේ රූපගතකිරීමේ අයිතිය තනියම ගන්න තරං වත්කමක් මට තිබ්බෙ නැති නිසා රුවන්වත් හවුල් කරගෙන පොතේ අයිතිය ලබා ගන්නටයි.

වැඩක් නෑ බං,ඔය පොතෙන් ටෙලියක් කරන්න බෑ.වෙන පොතක් හොයාගන්න බලපං...

රුවන් ඒ විදියට මගෙ අදහස එතනම නිෂ්ප්‍රභා කලහම මටත් කරගන්න දෙයක්  නැතිවුනා,පොත ගැනීමේ අදහස එහෙමම යටගියා.

ඊට අවුරුදු දෙක තුනකට පස්සෙ ජයලත් මනෝරත්න ඒ පොතේ අයිතිය අරං ජගත් බෙනරගම රංසිරි හැටියට දාල කරපු රංසිරිගේ සංග්‍රාමය ටෙලිනාට්‍යය රටේම ජනප්‍රිය වෙද්දි රුවන්වත් මමවත්  බෙන් ෆිල්ම්ස් එකේ හිටියෙ නෑ. කුලසේන දීපු රංසිරිගේ සංග්‍රාමය සිහිවටනයක් හැටියට මම අද තව වෙනකං ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා෴


84 comments:

  1. හැලපෙට මතකද ඔය මේසේ යට හංගගෙන බලන පොත් අතරේ තිබුනා මධුසමය ගත කරණ හැටි ගැන ලිය උන අපූරූ කවි පොතක්. මම නම් කියන්නේ ඒ කවි පොත සිංහළ සාහිත්‍යයට එකතු වියම යුතු කාව්‍ය සංග්‍රහයක්ම කියලා.. කව්දෝ එකෙක් මගේ පෝස්ට් එකක ඔය කවි සෙට් එක දාලා තිබුනා. අහු උනොත් ලින්ක් එකක් දාන්නම්..

    මම නම් කැමතියි, පඳුරකුත් තලාගෙන මාසෙම පෝස්ට් කීපෙකින් ඇද්දා නම්, හැලපේ ඉට්ටයිල් කියන්නේ ඒකටනේ..

    ReplyDelete
    Replies
    1. ඔය කියල තියෙන්නෙ ....සරා.....

      Delete
    2. ලිව්වෙ කේයස් කියලයි කතාව තිබ්බෙ. වෙන්නත් පුළුවන් ඒකෙ කවි සාමන්‍ය කවියෙකුට ලියන්න බැහැ. ඒ තරම් අපූරුයි.. අපි කැම්පස් එන්න කාලෙ එකෙක් ඔය පොත ගෙනත් කපුටෙක් වගෙ අඬගහලා කියවන්න දුන්න. උගෙ නීතිය හැටියට ජොක්ලස් සරම ඇඳන් උගෙ බූරු ඇඳේ උඩුබැලි අතට නිදාගන්නකල් පොත දෙන්නෙ නෑ කියවන්න.

      Delete
    3. ඔය කවි සෙට් එක අපේ තාත්තගෙ ඩයරියක තිබිල හම්බු උනා. මම හිතුවෙ බොසා ලියල කියල ඒ කාලෙ. පස්සෙ තමා දැනගත්තෙ බොස් කොළු කාලෙ කොපියක් ගහගෙන කියල. දැන් තාත්තට හැත්ත අටයි. හිතාගතෑකිනෙ කවියෙ වයස.

      Delete
    4. කෝ අපේ තාත්තල ඕව අපිට ලැබෙන්න සැලැස්සුවෙ නෑනේ.. :D අපිම අපේ දුක් මාංසියෙං මිනිහෙක් උනා මිසක්කා … චැහ්

      Delete
    5. බස්සා ගේ බ්ලොග් එකේ දාලා තිබුණා නේද ඔය වගේ කවි සෙට් එකක්.

      Delete
    6. මේං මෙතනින් බාගන්ටලා..

      මධුසමය

      Delete
    7. දැන් නං ලිවිල්ලටත් කෙළවෙන්න එන්නෙ මචෝ බොහොම අවිවේකයි.
      ඔන්න මධුසමය කවිපෙලත් ලැබුනනෙ.

      Delete
    8. සරත්,
      කේයස් දෙආකාරයකට කවි ලිව්වය කියල මම අහල තියෙනවා.කලාත්මක සෞන්දර්යාත්මක කවිත් කීයක් හරි හොයාගැනීම සඳහා මෙවැනි කවිත් ලීවාලු.

      Delete
    9. ඉන්දික,
      ගොඩක් ඔවැනි කවි ලියවුනේ දෙවැනි ලෝක යුද සමයේ සෙබළුන්ගේ රසාස්වාදය සඳහාලු.

      Delete
    10. මටත් ඔය කවි ටික කියවන්න ලැබුණා මගෙ මහප්පගේ පොත් අතර තිබිලා ඒ ඔය කවිම වෙන්න ඕන මම හිතුවේ මහප්ප ලියපුවා කියලා ඒ කාලෙ .
      ඉතාමත්ම ලස්සන විදිහට පද ගලපලා තිබ්බා එය හැබෑවක් වන තරමටම
      මගෙ මතකය හැටියට ඒක ⁣මොනිටර් පොතක් පිරෙන්න ලියා තිබුනා එක් පිටුවක කවි තුනක් විතර ප්‍රමාණයට
      ආයෙ ඉලඟ නිවාඩුවේ මම එහෙ ගියාම ඒ පොත එතනින් අතුරු දහන්වෙලා ..🤪මහප්පා දැනගන පුතන්ඩියගෙ තරම

      Delete
  2. හැලපෙට තියෙන්නේ මාරු අත්දැකීම් නේ බෙන් ෆිල්ම්ස් එකෙත් වැඩ කරලා කුලසේන ෆොන්සේකාවත් ආස්සරේ කරලා ආතර් සි කලාක් ගේ උපන්දිනේටත් ගිහිල්ල ඩීමන් ආනන්දගේ පොතුත් බලල තියෙන මාරු ලයිෆ් එකක් .. හෙහ් හෙහ්

    පොත් ගැන පෝස්ට් ලිවිම නැගල යනවා සැහෙන විස්තර එලියට එනවා නේ ..

    ReplyDelete
    Replies
    1. පැතුම්ට වගේම තමයි.විදුසරට ලිපි ලියලා පොතක් පළ කරලා ආතර් සී ක්ලාක් මුණගැහිලා ගොඩක් ලොකු වැඩ කරපු ලයිෆ් එකක් පැතුම්ටත් තිබිල තියෙනවනෙ.

      Delete
  3. කියවලම එන්නං මචං ....

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=mLXQltR7vUQ
      http://www.youtube.com/watch?v=mLXQltR7vUQ

      Delete
    2. තෑන්ක්ස් මචං.ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝ කියපුවම ඉස්සල්ලම මතක් වෙන්නෙ මේ වාදනයයි.මම කතාව ලිව්වෙත් මේ මියුසික් එක දාගෙන.

      Delete
  4. පොත් මේ දවස් වල ගිණි ගණං...
    ඊයෙ කරුමෙට වගේ මටත් පොත් පොදර්සනේට යන්න චෑංස් එකක් ආව... හය්යෝ සල්ලි ඇතිග්ගක් නෙවී මයිල් ගහක් ගහන්න ඉඩ නැ කියන්නකො.. සැක් ඉතරක්... කෝම හරි පොත් ටිකක් උස්සං ආව. වැඩක් නෑ ගොඩගේ එක සරසවි සූර්ය සුරස දයාවංස හරියට බලන්නත් බැරි වුණා නෙව..

    හැබැයි හැලපෙ නං අත්දැකීං වට්ටෝරුවක්...ලියනව නං මං හිතන්නෙ දවසට 1 ගාන ලීවත් ඉවරකරන්න බැරිවෙයි

    ReplyDelete
    Replies
    1. පොත් ප්‍රදර්ශනේ ගැන මම කියාපු දේවල් ඇත්ත කියල දැක්කනෙ.අත්දැකීම් නං අනන්තයි,ටික ටික ලියමුකො.

      Delete
  5. මා හැදී වැඩුන පරිසරය පොත් කියවීමට තියා නියම වෙලාවට පාසලකට යන්නවත් සුදුසු නැතෙයි කියන එකයි මට නම් මතක. නමුත්, හැට ගනන් වල අපේ තාත්තාට රස්සාව නැතිවෙලා ආච්චිලා දිහා ඉන්නකාලේ, මාස දෙකතුනකට සැරයක් කොළඹ ඉඳන් එන කඩිබාප්පා, සැමදා යතුරුලා තියෙන ඉස්සරහා කාමරය ඇර එහි තිබූ ඔහුගේ පුස්තකාලයෙන් පොත් ගෙනත් ඉස්තෝප්පුවෙ සිට කියවන අයුරු මා බලාසිටිනවා දැක, එක ඉරිදාවක කොළඹ පිටත්වීමට කලියෙන් කාටත් හොරා මට කාමරයේ යතුර දී එක එක පොත කියවාපන් යයි කියා ඔලුව අතගාපු හැටිත්, ඉන් පසු ඉඩ ලැබුන හැමවෙලේම කාටත් හොරා ඔහුගේ පුස්තකාලය රස වින්ද හැටිත් තාම මතකයි.
    අද මා සිටින තැනට එන්නට පාරකැපුනේ ඒ පොත් අල්මාරි තුලින් ලද පන්නරය නිසාම නොවේද? පොත් දහයක් මට මතක නැත..හැම පොතකම තිබුනේ මා නොදත් දේවල් දස දහසකි...
    ඊයේ BMICH එක පැත්තට යන්න ගිහින්, ඉන්න පිරිස් කන්දරාව දැක්කාම හිතුනා, හැලපේ කියනවා වගේ පහු වෙලා පාඩුවේ ගිහින් පොත් කඩේකින් පොතක් දෙකක් ගන්නවාය කියලා...

    ReplyDelete
    Replies
    1. මේ ලඟදි සුජීව කොකාවල බුකියෙ අහල තිබ්බ ඔටාරා ගුණවර්ධන ජාතික වීරයෙක් නොවෙන්නෙ ඇයි කියල. ඔටාර ජාතික වීරවරියක් නම් තව ගොඩක් එහෙම වෙන්න ඕන, ඒ අතරට උඹවත් දාන්න ඕන.

      Delete
    2. මෙන්න මගේ සුපියල

      Delete
    3. අනේ මාවත් බැරි වෙයිද ?? :D මොකෝ අපි කියල මොනවයිං අඩුවක්දෑ ??

      Delete
    4. මාවත් දාපාන් අයියනඩි මොකා් අපි කැත මදිද?

      Delete
    5. තොපිවත් දාන්න තිබ්බ අඩු ගානෙ ඉතාලියෙ කකුස්සියක්වත් හැදුවනං.

      Delete
    6. මගේ පොත් කියවීමත් ඔබේ අත්දකීමටම සමානයි චෙපාකි.ජීවිතයෙන් බිඳක් ලිවීම ගැන බොහොම ස්තූතියි.

      Delete
  6. හැලපතුමා නරකද සාහිත්‍ය මාසෙට පොත් කතා සීරීස් එකක් ලිවුවොත්?

    ReplyDelete
    Replies
    1. හොඳයි හොඳයි වෙලාව තියෙන විදියට ලියාගන්න බලමු.

      Delete
  7. හැලපෙගෙ ගාම්හීර පුස්තකාලෙ පොත් කියවන්න මට 8 වසරෙදි අවසර ලැබුන, ඒ මාර්ටින් වික්‍රමසිංහගෙ පොත් 7වසරෙදි කියවල ඉවර වෙලා තිබුන හන්ද අපේ සිංහල උගන්නපු අතාවුද සෝමරත්න ගුරුතුමාගෙ පිහිටෙන්.
    අපි වැල පත්තර බලද්දි ( ලෝහ වැඩ කාමරය පිටිපස්සෙ ) ගුරුවරු ඇම්බුශ් එකක් දැම්ම. වදුරව අන්තයෙන් කොලපාට උන පදුර ගාවින් ගිහින් මතු උනේ රජ වත්තෙන්.

    ReplyDelete
    Replies
    1. රජවත්ත පාරෙන් පැනල කොලපාට උනපඳුර ලඟින් ඇවිත් වදුරව ස්ටේෂන් එකට ආව හැටි මතක් උනා කම්මලේ.

      Delete
    2. කොලපාට උනපදුර තියෙන්නෙ අපේ අම්මලගෙ මහගෙදර වත්තෙ. දැන් නම් ඒ ගේ කඩල.

      Delete
  8. ඇත්තටමයි හැලපයියේ රුවන් අයියා අරහෙම කියුවේ

    ReplyDelete
    Replies
    1. ඇත්තටමද කටට ආවට කිව්වද කියල දන්නෙ නෑ බං,නමුත් කිව්වා.

      Delete
  9. අහා.... තවත් පියසේන නිස්සංක රසිකයෙක්....

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම,මම ඔහු ලියු කතාවලට වශීවූ රසිකයෙක්.

      Delete
  10. රන්සිරිගේ සංග්‍රාමයේ මතක හැටියට ජගත් බෙනරගම තමයි රන්සිරිට රඟපෑවේ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි තිසර, හැදුවා.මට රොමාගේ වාසනාවත් එක්ක පැටලුනා.

      Delete
  11. බැළුවම හැලපෙගෙ කියවීම් නාමාවලිය මගෙ එකට සමානයි.. ඩීමන්ගෙ පොත් කියවන්න මට නම් සල්ලි ගියේ නෑ. අපේ අය්ය කාරයා ඔව්ව හොයන් ඇවිත් මිනිහගෙ මේස ලාච්චුවේ දාල ලොක් කරලා ඉස්කෝලෙ යන්නෙ.මං හොර ලෙඩක් අරං ගෙදර හිටියාම මට නොමිලෙ කියවන්න ලැබුණා.. ඒ කාලෙ කතාවක් තිබ්බ ඩීමන් එක සිගරට් පෙට්ටියකට එක කතාව ගානෙ ලිව්වා කිය්ලත්. එතකොට වැලිහිඳ මුනිරත්න කියල කෙනෙකුත් ල්ව්වා. සිරිසේන මාඉටිපෙත් ලිව්වා.
    ජීවභාෂාවෙ තිබ්බ රොමාගෙ වාසනාවෙ කෑල්ලක්.. ඕක කියවලා රොමාගෙ වාසනාව කියවන්න ආසාවක් ආවත් පොත් හම්බ උනේ නෑ. පස්සෙ ටෙලි නාට්‍යය බැළුවා. මනෝත් පුතාත් අපූරු රංගනයක් දුන්නා..

    ReplyDelete
    Replies
    1. සරත්,
      වැලිහිඳ මුනිරත්න ආදර කතා සහ සිරිසේන මාඉටිපේ රහස් පරීක්ෂක කතා ලිව්ව වගේ මට මතක තියෙන්නෙ.දෙන්නගෙම කතා කියවල තියේ.
      මමත් ජීව භාෂාව ආසාවෙන් බැලුවෙ රොමාගේ වාසනාව නිසයි.මමනං පස්සෙ රොමාගේ වාසනාව පොත ගත්තත් එක්ක.ඇයි සරත් යකාගෙ ලියුම.ඒකත් තිබ්බෙ ජීව භාෂාවෙ නේද?

      Delete
  12. ඇත්තටම හැලපෙ අයිය අත්දැකීම් ගබඩාවක්නෙ!!

    වැල පත්තර අපේ කාලෙ වෙත්දි අතුරුදහන් වෙලානෙ. ඔය පරණ ඒවායෙ පිටු දෙක තුනක් නම් හම්බ උනා ඒ කාලෙ කොල්ලන්ගෙන්.

    ඔය මතක් වෙච්චි කතාත් එවලෙම කියලා දැම්මනම් අහවරයි හැලප අයියෙ. පඳුරු තැලිල්ලට කැමති අපිත් ඉන්නවා නොවැ!!

    ReplyDelete
    Replies
    1. අත්දැකීම් ටිකක් නං තියෙනව තමයි ප්‍රියා මතක්වෙන හැටියට ලියන්නං.අපි කියවන්න ගත්තු කාලෙ වැල පත්තර ඇවිත් තිබ්බෙ නෑ.රස්සාවට යනකොට දකින්න ලැබුණා.හැබැයි කියවන්න උනන්දුවක් නං ඇතිවුනේ නෑ.

      Delete
  13. තව ඩොලර්.... පොත නං නියමයි හැලපෙ. වැලකතා සාහිත්‍යත් නොකියවපු කෙනෙක් නෑ බැලුවම

    ReplyDelete
    Replies
    1. ඔය ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝ කියන ගොපළු චිත්‍රපටයයි. ක්ලින්ට් ඊස්ට්වුඩ් රඟපෑ චිත්‍රපට සියල්ලමත් ෂෝන් කොනරි රඟපෑ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටත් ඩීමන් ආනන්ද අතින් පොත බවට පත්වුනා.

      Delete
  14. Mr.Halapa,Oya "Himagira Tharanaya" isthirawama,lankawe inna magemawa langa thiyenawa.Mama dinapatha wage lanka welawen 5.30-6.00 eyata kathakaranawa. ethkota pariwarthakage nama ahala liyannam.ema kandayame samagikayakuwu Tom bordiland nama hondata matakai.(Ranjan-Düsseldorf)

    ReplyDelete
    Replies
    1. දැනගන්නට ලැබීම ගැන බොහොම සතුටුයි රංජන්.ඔය පොත නැවත මුද්‍රණයක් කරන්නට සතුටු නැද්ද?මට මේලක් එවනවද?
      helapakade@gmail.com

      Delete
  15. අපිනං වැල පත්තර බැලුවෙ ඉස්කෝලෙ පිට්ටනිය අයිනෙ තියෙන මාරගස් වල බෙනවල හංගගෙන.
    රන්සිරිගෙ සංග්‍රාමය මගෙත් ආසම කතාවක්. කුලසේන පොන්සේකගෙ හැම යොවුන් නවකතාවකටම වගේ මම ආසයි.
    මට කල්පනා වෙන්නෙ පඳුරු තලන්නෙ නැතුව මේ පෝස්ට් එක ලියන්න හැලපෙ කොච්චර කැප කිරීමක් කරන්න ඇත්ද කියලයි. :D

    ReplyDelete
    Replies
    1. මහන්සියෙන් කැපකිරීමෙන් ලියපුවාම මහන්සියක් නැතුව කියවන්නට පුළුවනි කියල ප්‍රසන්න අහල තියෙනව නේද?

      Delete
  16. මට කියවිම පුරුදුවුනෙ තාත්ත ගුරුවරයෙක් නිසා ඉස්කොලෙ පුස්ථකාලෙන් පොත් ගෙදරට ගෙනා එකෙන්.චිත්‍රකතා පත්තරත් හරියට උපකාර කලා.පස්සෙ කාලෙක වැල පත්තර සපොට් එක ගත්ත.මට මගෙ ක්ලාස්මෙට්ල කියන කතාවක් තමයි මම පුස්ථකාලෙ ඔක්කොම පොත් කියවලයි කියනෑක.

    ReplyDelete
    Replies
    1. ඉස්සෙල්ල අතට අහුවෙන හැමදේම කියවන්න පුරුදු උනාම පස්සෙ රසවත් හරවත් දෙ තෝරාගෙන කියවීමේ පළපුරුද්ද අත්දැකීමෙන්ම ලැබෙනවා දමිත් හරියට හංසයා දියෙන් කිරි වෙන්කර ගන්නාසේ.

      Delete
  17. මාත් පරණ සිංහල පොතක තිබ්බ කතාවකින් තමයි ටෙංසිං නෝර්ගේව අඳුන ගත්තෙ. ඒ ලිපිය පටං ගත්තෙ "තුජිචෙ චොමලුංමා...තුජිචෙ චොමලුංමා" කියල නෝර්ගේ කඳු මුඳුනට නැංගම කියපු ස්තූතියකින්.

    ජිම් කෝබට්ගෙ "දි මෑන් ඊටින්ග් ලෙපර්ඩ් ඔෆ් රුඩ්‍රප්‍රයාග්" තමයි කෙනෙක් කපටි සහ දරුණු සතෙක්ව දඩයම් කරනකොට කොයි තරම් ඉවසිල්ලක්, පෙර සැලැස්සමක් තියෙන්නඕනද කියල ජීවිතේ වටින පාඩමක් කියල දුන්නෙ.

    මට ඩීමන් ආනන්දගෙ පොත් හම්බු උනේ අපේ තාත්තගෙ පෙට්ටි පෙට්ටගං අස්සෙන්. හයේ පන්තියට යනකල් ඒව කියවන්න දෙන්නෙ නෑ කියල තාත්ත ඒව ආයි හැංගුව. ඒත් මම හොයාගෙන හොරාට කියවල, හයෙන් පස්සෙ ප්‍රසිද්ධියෙ කියෙව්ව.

    ටී බී ඉලංගරත්නගෙ තිලක හා තිලකා කියන්නෙ ටී බී සහ තමරා දෙන්නගෙ ජීවිත කතාව කියන එක අද නං වැඩිය දන්නෙත් නැතුව ඇති. ඉස්සර නියම අවංක දේශපාලකයො හිටිය කියල සතුටු වෙන්න හදන හැමෝම ඉස්සර අය්යලගෙ ගේම් මතක් කරගන්න කියවිය යුතුම පොතක් තමයි තිලක හා තිලකා.

    ReplyDelete
  18. ඩීමන් ආනන්දගේ පොත් නම් කියවලා නැත. රන්සිරිගෙ සංග්‍රාමය මගෙත් ආසම කතාවක්.

    ReplyDelete
    Replies
    1. උඹටම හරියන කතා ඒවයේ තියෙන්නේ.. හොයාගෙන කියවපං. ගන් පයිට් හෝ ගාලා, මර්ඩර් එහෙම වැහි වැහලා..

      Delete
    2. මාතා.... හෙක්...හෙක්....+++++++++++++++++++++++++++++++=

      Delete
  19. පොඩ්ඩි නම් පොත් කියෙව්වේ බත් අම්මා බත් කවන කාලේ ඉඳලලු. පොඩ්ඩි පොඩි කාලේ කන්ට හොරයි කියලා අම්මාගේ වැඩේ පොත්වල තියෙන කතා රඟපාලා පෙන්නපු එක. Tawny scrawny lion කියන කතාවේ කෙට්ටු සිංහයාට කන්ට බැරි වුනාම අනෙක් සත්තු එකතු වෙලා එලවලුවලින් ස්ටූ හදලා දෙනවලු. ඉතින් ඔහොම කියනකොට බත් එකේ තියෙන කැරට් කෑලි, අනෙක් එලවලු කෑලි නොදැනිම බඩට යනවලු. හොඳම දේ ඒත් එක්කම අර කතාව පාඩම් වීම. ඒ වගේ කතා ගොඩක් තිබුණා. Hansel and Gretel ඒකේ ගෙවල්වලට අම්මා කරපු ජාති. වහලවල් කේක් වලින් හදනවා. ජනෙල්වලට සීනිබෝල දානවා. දොරවල්වට චොක්ලට්. අනේ ඉතින් අව්ව ආවාම ඔව්වා දියවෙයි කියලා ඒ කාලේ හිතුණේ නෑනේ.

    ඉස්කෝලේ වැඩ අතපහු කරලා රෑ එලිවෙනකල් 'ටොම් සෝයර්' කියෙව්වා. Dracula බලලා අම්මට කියලා දොරේ යතුර අයින් කරවලා නිදාගත්තා. පොත් කියන්නේ පොඩ්ඩිට කෑම වගේම ඇඟට ඕනි කරන දෙයක්ලු. ඒ කාලේ පටන් ගත්තු කියවිල්ල තාමත් ඉවර නෑ.

    කියන්ට කතා ගොඩයි. ඔක්කොම ලියන්ට වෙලා නෑලු. :D

    ReplyDelete
    Replies
    1. ටොම් බ්‍රවුන්'ස් ස්කූල්ඩේස් කියෙව්වෙ නැද්ද?


      කියන්ට කතා ගොඩයි. ඔක්කොම ලියන්ට වෙලා නෑලු. :D

      Delete
    2. ඔව් මැකුවා,මේ බ්ලොගයේ තුන්වෙනි පාර්ශවයකට අපහාස කරන්නට දෙන්නෙ නැති බව උඹ දන්නවනෙ.පොඩ්ඩි එක්ක ඇරියස් එකක් තියේනං ඒක එයාගෙ බ්ලොගේදී බේරගනින්.මෙතන බෑ.

      Delete
    3. හැලපෙ ඔහොම මකල බැන්නහම අහක ඉන්න මගෙ කමෙන්ට් එකේ කෑලි මැකුවයි කියල මිනිස්සු හිතයිනෙ. කාගෙ මොකක් මැකුවද කියල නෑ නෙ.

      Delete
    4. සොරි ප්‍රා,මෙතන තිබ්බ ඇනෝ කමෙන්ට් එකක් මම මැකුවා.ඒ ගැන ප්‍රාගෙ සම්බන්ධයක් නෑ .

      Delete
    5. හරි හරි බන් මම ඉතින් වෑරදි දෙයක් කිව්වෙ නෑනෙ මුන්ගෙ ලොකු නරිවදන් ගෑනනෙ කිව්වෙ

      Delete
  20. හැලප කඩේ පටන් ගත්තට පස්සේ වැදගත් එකක් ලිව්වමද මන්දා මේ... උඹ ගැන හොද කතා ටිකක් අහන්න ලැබුනා.. චික් කියල හිතුනා ඔව් ඉදගෙන... හැක් හැක්..

    රංසිරිට හිටියේ අර බෙනරගම කොලුවා නෙව බං..

    ReplyDelete
  21. ඩීමන් ආනන්දගෙ පොත් වලින් මට මතක තියෙන්නේ "බදුලු කෝච්චිය"පොත තමයි.

    කුලසේන පොන්සේකාගේ තුන් යහළු වික්‍රමය,සෝමපුර වීරයෝ,කල්ලන්දුවේ මුතු කොල්ලය වගේම රංසිරිගේ කතාවත් කියවා තිබෙනවා.වැඩියෙන්ම කැමති ඒ පොත් වලින් මම තුන් යහළු වික්‍රමයට..:)

    //සිතුවම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය//කියන්නේ කවර පොතක්ද හැලපයියේ ?

    ReplyDelete
    Replies
    1. ඔන්න පොත් ප්‍රදර්ශනයේ තිබිලා කට්ටිය අරගෙන ෆොටෝ දාලා තිබ්බා..

      Delete
    2. කෝ ඉතින් එහෙමනම් අපිටත් බලාගන්නත් එක්ක එකක් දැම්මානම් තමයි වටින්නේ.

      Delete
  22. මමත් ඇවිත් කියවලා ගියා.

    ReplyDelete
  23. ඔය පින්තූරෙ එක වගේ අනිත් ක්ලින්ට් ඊස්ට්වූඩ් ඒවගෙත් සිංහල පොත් ආනන්ද ලිව්වනේ?

    ReplyDelete
  24. නියමයි, ඒ කාලේ ඉන්ටර්නෙට් අනම් මනම් tv තිබ්බ නැති නිසා ළමයින්ට සෑහෙන්න කියවන්න ඉඩ තියෙන්න ඇති, ඒත් හැමෝම එහෙම කියවන්න යොමු වෙන්නෙත් නැහැ,, ඔයා මට එවනවා කියපු පොත් කෝ :(

    ReplyDelete
    Replies
    1. ඒකත් පොතක්ද දන්නේ නෑ..

      Delete
    2. ඔයා බදින්න පෙර කස්ටිය දීපු පොරොන්දු ගැන වැඩිය නොසිතන්න අනී ......
      සම හරක් බැදලත් පොරොන්දු කඩ කොරන කාලෙ නෙ ..... සත්තලන්..... හෙක්...හෙක්....

      Delete
    3. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  25. ඔය විලම්බීත , තිලක ,තිලක හා තිලකා පොත් තුන නම් කියවලා තියෙනවා , ඩීමන් ආනන්ද ගේ පොත් නම් එකක්වත් කියවලා නෑ අප්පා .

    ReplyDelete
  26. අපි පොත් කියවන්න පටන් ගන්න කාලෙ වෙද්දි ඩීමන් ආනන්දගෙ යුගය ඉවර වෙලා. ෂර්ලොක් හෝම්ස් පොත් වල පරිවර්තන ඇවිල්ල තිබ්බ නිසා පිස්සු හැදිල වගේ කියෙව්වෙ ඒව.

    ReplyDelete
  27. ඔය පොත් ගැන කියද්දි "ඉලපොත සහ කොලපොත " යනුවෙන් කතන්දරයක් මතක් උනා පුළුවන් උනොත් සාහිත්‍ය මාසෙට ඒක දාන්න බලන්නං.. (වැල කථා එව්වට ඉතිං අකමැති කවුද නේය්...)

    ජ ය වේ වා!!!

    ReplyDelete
  28. Ane apith mehema poth kiyawala thibunanam kiyala hithuna. Harima sundara mathakayan.
    Halapegen illagena kiyewuwa LOVEENA pothen passe pereda pothak kiyewuwa. ( kellage English literature walata one. Ekay. ... :-) )

    ReplyDelete
  29. හැලපයියාට හෝ දන්න කෙනෙක්ට හරි හරන්ගේ lady කියන සින්දුවේ පදමාලාව හෝ සිංහල පරිවර්තනය දන්න කෙනෙකුට පළ කරන්න පුළුවන්ද?

    ReplyDelete
  30. චාල්ස් ලින්ඩ්බර්ග් තව විදිහකින් ලෝක ප්‍රසිද්ධ උනා. ඔහුගේ වසර දෙකක් කුඩා පුත්‍රයා කප්පම් ලබාගැනීමේ අදහසින් පැහැරගෙන ගොස් මරා දමනු ලැබුවා. නමසිය විසි ගණන් වල වෙච්චි මේ සිද්ධිය ලෝකෙ කප්පම් ගැනීමේ අදහසින් කල පලවෙනි පැහැරගෙන යෑම කියල කියනව. ලින්ඩ්බර්ග් මැරුනෙ 75 වගෙ. මට මතකයි දිනමිණේ මුල පිටුවෙම ඔහුගෙ පින්තූරයක් දාල ඔය විස්තරේ තිබ්බ.

    පණංගල අයියා නම් කියල වැඩක් නෑ. පොඩි කාලෙ ඉඳලම මගෙ ගජ යාලුව.

    ඩීමන් ආනන්දගෙ කතාවල හිටියෙ මචං ජේම්ස් බොන්ඩ් 007 නෙවෙයි නේද? ජේම්ස් බණ්ඩා 019.

    ඩීමන්ගෙ කතාවල හිටපු තව චරිතයක් මතකද? ඉන්ස්පෙක්ටර් ඩිකී වීරකෝන්...

    ඒ කාලෙ කියෙව්වෙ නැද්ද බං ඩබ්ලිව්. එල්.ඒ. දොන් පීටර් පියතුමාගෙ පොත්..වනගත ළමෝ, හොල්මන් දූපත.... තව එකක් තිබ්බ මට මතක නෑ දැං....

    ReplyDelete
    Replies
    1. මටත් නම අමතක වෙලයි තිබ්බෙ.. ඔය අර බූරුවාගෙ කතාව නේද? ඩිංකි ද උගෙ නම?

      Delete
    2. කෝරලේ,

      අන්න හරි බං ඩිංකි තමයි...නම සිය හැටගණංවල ශාන්ත ජෝශප් විද්‍යාලෙ ඩිංකි කියල ඇත්තටම බූරුවෙක් හිටියයි කියනව. ඔය දොන් පීටර් පියතුමා ඒ දවස්වල සෙන්ට් ජෝශප් ප්‍රින්සිපල්. ප්‍රින්සිපල් කිව්වට සෙන්ට් ජෝශප් සෙන්ට් පීටර්ස් ඉස්කෝල වල ඒ තනතුරට කියන්නෙ Rector කියල. ඉතිං අර ඩිංකි මේ ෆාදර් එක්ක හරිම එකතුයිලු. ඒ ඩිංකිට කතාකරන්න පුලුවන් නම් එයාගෙ කතාව කොහොම කියයිද කියල හිතල තමයි දොන් පීටර් පියතුමා මේ කතාව ලියල තියෙන්නෙ.

      ඩිංකි කලින් හිටියයි කියන්නෙ පුත්තලමෙ පොල් වත්තක. බූරුවො කෑගහන සද්දෙට පොල් කුරුමිණි වඳ වෙනවයි කියල විස්වාසයක් තියනව. අන්න ඒ නිසයි මන්නාරමේ ඉපදිච්ච ඩිංකි පුත්තලමෙ පොල් වත්තට ගෙනල්ල තියෙන්නෙ. එතනිනුයි සෙන්ට් ජෝසප් එකට ඇවිල්ල තියෙන්නෙ. ඩිංකි කතාවෙ ඔය ඔක්කොම තියනව.

      Delete
  31. පොත් ගැන ලිව්වා වගේම, හැලපතුමා මේ දේවල් තමන්ගේම පොතකට ගත්ත නම් තවත් වටිනවා..

    ReplyDelete
  32. මේ පොත් විස්තරේ එක්ක බැඳිලා තියෙන අනිත් වගතුග පොතක ලියන්ට තරම් වටිනා දේවල් හැලපේ . කරුණාරත්න හඟවත්ත මතකයේ රැඳුන නමක් . ඩීමන් ආනන්දගේ පොත් දාපු ලී පෙට්ටියක් තිබ්බා අපේ අයියාගේ ඇඳ යට . ලෙයට ලෙය, පලියට පලිය, දිවි මකුළුවා වගේ නම් තිබ්බේ ඒවාට. මේ පොත් පෙට්ටියම තාත්තාට අහු උනාට පස්සේ ගිනි තිබ්බා.

    ReplyDelete
  33. අපේ පොත් කියවන කාලෙ උදා වෙද්දි ඩීමන් ආනන්දලගෙ යුගය ඉවර වෙලා තිබුනෙ...90 දශකයෙ මුල් භාගයෙම යොවුන් වීර කථා උන්මාදයක් පැතිර ගිහිල්ලා තිබුනා...මම ඉස් ඉස්සෙල්ලාම කියෙව්වෙ නෙල්ලි කැලේ වීරයෝ කියන පොත....ඒක මට උපන් දින තෑග්ගක් හැටියට ලැබුනෙ...ඊට පස්සෙ ඒකෙ දෙවෙනි කොටසත් කියෙව්වා. වදුල කියන පොත මම පාසල් පුස්තකාලෙදි කියෙව්වා...මේ පොත දැන් නම් හොයාගන්න ඉතාම අපහසු එකක් විය යුතුයි. ඒ වගේම කුලසේන ෆොන්සේකා තමයි අපේ කාලෙ ජනප්‍රියම යොවුන් වීරකථා ලියපු රචකයා...එතුමාගේ බොහෝ පොත් මම කියවලා තියෙනවා...ඒ අතරින් ඔබ කියපු පොත් වලට අමතරව සෝමපුර වීරයෝ මම ඉතාම ආශාවෙන් කියවපු පොතක්...

    ReplyDelete
  34. හැලපයියා ගේ පොත් කතා ! මාත් ඉස්කෝලෙ යන කාලෙ නම් පොත් පිස්සෙක්. ඒ ගැන පෝස්ට් එක දාන්න කියල හිතුවත්, මට පොත් වල නම්, ලියපු අයගෙ නම්, ඒ විතරක් නෙවෙයි චරිත වල නම් වත් හරියට මතක නැති නිසා නිකං හිටියා..
    කවුරු කවුරුත් ලියපු මේ පොත් පෝස්ට් ටික නම් බොහොම හොඳයි, කියවන්නන්ට.

    ReplyDelete
  35. තිලක හා තිලකා චිත්‍රපටියේ තිලකාට විරුද්ධව ජන්දේ ඉල්ලපු ඇතාගල නම් චරිතය රඟපෑවේද වේදිකාවේ සිටි දක්ෂ නලුවෙනකුද වූ මෑතකදී මියගිය ඩැනියෙල් මුතුමාල මහතාය.

    ReplyDelete

ඔබේ අදහස්