Monday, August 25, 2014

149.වමට බර වීමේ විපාකය හෙවත් වමත් කරුවෙකුගේ අභාග්‍යය.



අද මේ කතාව ලියන්න හේතුව උනේ සහෝදර ලියපු වම කතාවයි.මම මේ කතාව ලියන්න ගොඩක් කල් ඉඳන් පෙරුම් පුරාගෙන හිටියට මොන මොන හේතූන් නිසා හෝ ලියවුනේ නෑ.ඒ නිසා කතාව ලියන්න මග පාදපු සහෝදරට මුලින්ම ස්තූති කලයුතුයි.

සහෝදර වගේම මාත් උපන් ගෙයි වමත් කාරයෙක්.හැබැයි සහෝදර ඉපදුනු කාලෙ වගේ නෙවෙයි මම ඉපදුන කාලෙ වමත් කාරයෙක් වෙලා ඉපදීම විශාල අපරාධයක්.පවුලෙ සියලුම දෙනා දකුණත් කාරයො වෙද්දී වමත් කාරයෙක් බිහිවීම පවුලට වස විළි ලැජ්ජාවක්.අනික් අය ඔක්කොම අගේට දකුණෙන් වැඩ කරද්දි මම විතරක් නුහුරට වැඩ කටයුතු කිරීම ගැන ගමේ රටේ වැඩිපුර ප්‍රචාරෙ වෙන්න කලින් වමත් කාරයව දකුණතට හරවන්න පවුලෙ දන්න කරන අය ඔක්කොම වගේ බොහොම වලිකෑවා.

මුලින් මුලින් හොඳින් කියල දකුණ හුරු කරන්න හැදුවා.අපේ සුදුමාම හිටියනෙ අම්මගෙ මල්ලි මේ මෑතකදී මළා.සුදු මාම කොල්ල කාලෙ ඒ කියන්නෙ රස්සාවක් නොකරන කාලෙ අපේ ගෙදර ආවොත් ආපු වේලේ ඉඳන් මට දකුණු අත හුරුකරන්න හදනවා.සුදු හුණු කෑල්ලක් අරං ගල්ලෑල්ලේ අකුරු ලියවනවා.

හා පුතා දැන් හුණු කෑල්ල අතට ගන්නකො,චී චී ඔය අතට නෙවෙයි දකුණු අතට ගන්න හා දැන් මෙන්න මෙහෙම ලියන්නකො...

මාත් ඉතිං දිවත් එළියට දාගෙන කට වටේට කරකව කරකවා මේ මහා අසීරු කර්තව්‍යය කරන්න හදනවා,දිව කරකෝනවා කීවහම ඔන්න මට මීහයිල් ෂෝලහොව්ගෙ පෙරලූ නැවුම් පස පොතේ ඒ ගැන තියෙන අපූරු කතාවක් මතක් වුනා ඒකත් කියලම ඉන්නං.

"නොයෙක් පැහැති හිස් ඩෙස් උඩින් පහත් කරගෙන ලියන ළමයින් දෙස බැලු ඔහුට ගැඹුරු සතුටක් ඇතිවිය.පෙදොත්කා ළඟ සිටි කුඩා දරුවා මෙන් තමාද කුඩා කල අකුරු ලියන අතර ඩෙස් එකේ ගෑවෙන තරමට හිස පහත් කොට,දිව දොට්ට දමා කරකැව්වේ ඉන් අකුරු ලිවීමේ අසීරු කටයුත්ත පහසු කළ හැකි වූවාක් මෙනි."(235 පිට,පෙරලූ නැවුම් පස ,2000 මාර්තු මුද්‍රණය)

දිව කැරකෙව්වට මට නං දකුණෙන් අකුරු ලියවුනේම නෑ.ලියන්න පුළුවනි අත දුවන්නෙ නෑ එක තැනමයි.වමතින් නං කිසි කිසි ගෑවිල්ලෙ ලියවෙනවා.

ඕං චුටි අක්කෙ මම පුළුවන් තරං දහිරිය දැම්ම ඒ උනාට මේ ළමය මක්කොරලවත් දකුණට හුරු කරන්න බැරිඋනානේ...

මොනව කරන්නද සුදු මල්ලියෙ ඒ ළමයගෙත් කරුමෙ අපෙත් කරුමෙ...

මම කොහෙහරි රටක ඉඳල නිවාඩුවට ගෙදර ගිහිං හිටපු දවසක සුදුමාම මාව බලන්න අපේ ගෙදර ආ වෙලේ අපේ අම්මට හොරෙන් සුදුමාමට විස්කි ෂොට් එකකුත් දීල එහෙම පරණ ගම්මැදි හෑලි කියා කියා ඉන්න අතරෙ  මට දකුණතින් අකුරු ලියවන්න හදපු හැටි මතකද කියලත් මම සුදුමාමගෙන් ඇහුවා.එයාට ඒ වගක් මතක තිබුනෙ නෑ.ඒ වෙනුවට වෙන කතාවක් කිව්වා.

පුතේ මගෙ අතේ බැන්ද ඔරලෝසුව කැඩිල හුඟක් කල්, පුලුවන්නං එන වෙලාවක මට ඔරලෝසුවක් ගෙනත් දෙන්ඩකො...

ඊළඟ  සැරේ ලංකාවට යද්දිං මම සුදුමාමට ඔරලෝසුවක් ගිහිං දුන්නා.ඔහොම දේවල් ඒ ගොල්ලන්ට හරි ලොකුයිනෙ රටින් ගෙනල්ල දුන්න එකක් කියල පුරාජේරුවත් කියන්න පුළුවන්නෙ.රටින් ඔරලෝසුවක් ගේනව කිව්වහම මට තව කතාවක් මතක් උනා ඒ කතාව තිබුණේ පී ඇම් ජයතිලක මහතා ලියූ බමර සර පොතෙයි.ඒකත් කියලම ඉන්නංකො.

"එදින රාත්‍රී මා හමුවීමට මගේ කාමරයටම පැමිනියේ විජේසිරිය.

'අන්න අරූ ඉකි ගගහ අඬනවා'

කව්ද?

'සත්‍ය ප්‍රේමයා...පේමරත්න ...' විජේසිරි උපහාසාත්මක සිනාවක් නගාගෙන කියාගෙන ගියේය.'කාරනේ බොහොම සීරියස්'

මම සයනයෙහි වාඩිගෙන සවන්දී සිටියෙමි.

'මිනිහට හම්බවෙච්ච තෑග්ග දන්නව නේද?අරගැජට් බැජට් දාපු අත් ඔරලෝසුව?රුසියාවෙද චීනෙද යාලුවෙක් එව්ව කීවෙ...'

'ඒක නැති වෙලාද?' මම විමසුවෙමි.

'නැති වෙලානන් ඌ ඔච්චර අඬන එකක් නෑ...මිනිහ ඒක බැඳගෙන ගිහිල්ල අද කෙල්ල බලන්න...ඉතින් කෙල්ලත් එක්ක පාක් එකේ ඉඳගෙන ඉන්නකොට ඌ කෙල්ලට කියල තියෙනවා...ඔයා දන්නවද ඩාලිං...මේක හරි පුදුම ඔරලෝසුවක්...කන්‍යාවක් මේක අතින් ඇල්ලුවොත් මේකෙ ලස්සන බෙල් එකක් වදිනවා...'

මගේ සිත පුරාද මහත් විශ්මයක් පැතිරින.

'ඇත්තමද විජේ...'

'හනේ හැබෑට උඹත් ඔච්චර බුරුවෙක්ද?පේමය කෙල්ලට එහෙම කියල තියෙන්නෙ විහිලුවට...එහෙම කියල ආදරේ උතුරා යන හැඟීමෙන් කෙල්ලට කීවලු ඔරලෝසුව අල්ලන්න කියලා...'

'ගොනී පැනල ඇල්ලුවද?'

'ආන්න වැඩේ අප්සෙට් ගිය තැන.කෙල්ල ඔරලෝසුව අල්ලන්නෙම නෑලු...එක පාරටම බොරු හදිසියක් දාල ආපහු යන්නම කතා කරනවලු.පේමයට දුකට වැඩිය කේන්තිය...අන්තිමට ඇහුවලු කෙල්ලගෙන්...ඔයා මේක අල්ලන්නෙම නැද්ද...කියලා.කෙල්ල ටක් ගාලා නැගිට්ටලු...වස කේන්තියෙන් පේමයත් නැගිට්ටලු...'

මට එම දර්ශනය මැවී පෙනින.

'කව්ද දන්නෙ ඕක කැඩිලද කියලා...කෙල්ල කීවලු...'

පුදුමය ප්‍රේමරත්න ඉකි බිඳිමින් වැලපීම නොව සත්‍ය ප්‍රේමයේ අල්තාරය අබියස මල් පහන් පිදු ඔහුගේ හදවත පැලී සුනු විසුනු නොවීමය."
(34 පිට,බමර සර,පී ඇම් ජයතිලක.1998)

ඉතිං ඔය ආකාරයට හොඳින් කියල තරවටු කරලා ගහල බැනල මොන විදියකින්වත් මම වමතින් අකුරු ලියන එක වෙනස් කරන්න බැරි තැන උඹ වමතින් බැරිනං කකුලෙන් අකුරු ලිව්වත් අපට මොකද කියල අත ඇරලා දාපු තැන ඉඳන් මම සදහටම වමත් කාරයෙක් උනා.

මම ගැන කිව්වොත් කන්නෙ දකුණු අතින් බෝල ගහන්නෙ එහෙමත් දකුණු අතට අනික් වැඩ කටයුතු ඔක්කොම වමතට.කුවින්ටස් අපේ චම්පික එහෙමනං කන්නෙත් වමතින් ඔන්න කුවින්ටස් උගෙ මගුල දවසෙ මංගල සභාව මැද වමතින් කන්න බෑ ලැජ්ජයි කියල බොහොම අමාරුවෙන් දකුණු අතින් කාල කෑම මේසෙන් එළියට ඇවිත් "කෑවෙ නෑ වගේ " කිව්වලු.වමතා කියල අපහාසෙට කිව්වට රජගෙදර මුළුතැන්ගෙයි උයන්න බඳවා ගත්තෙත් වමතින් ආයුධ හසුරුවන අයයි කියල මම කොහෙහරි දැකපු කවියක "වමතින් අවි දරන"කියල තිබ්බ මතකයි.ඉතිං වමත් කාරයෙක් වීමේ ගුණ අගුණ හෙවත් හොඳ සහ නරකත් සලකල බලමු.

හොඳ පැත්ත ගත්තොත් මට නං දකුණු අතින් කන නිසා කෑම කමින් ඉන්න වෙලාවක අතේ ඉඳුල් ගාගෙන හිටියත් වමතින් ලිපි කටයුත්තක් කරගන්න පුළුවනි අස්සනක් ගහනව වගේ.එතකොට කෑම මෙසෙකදී එහෙම කමින් හිටපු කවුරුහරි ඉඳුල් තැවරුන දකුණු අතින් බොහොම අමාරුවෙන් කෑම බෙදාගන්න උත්සාහ කරනවනං ටක් ගාල බෙදල දෙන්න මට පුළුවනි.ඊට අමතරව නං කිව යුතු හොඳක් නෑ.

නරක පැත්ත ගැන කිව්වොත් පේලියට ඉඳගෙන ලියන වෙලාවක මගේ අත ළඟ ඉන්න එකාගෙ ඇඟේ හැප්පීම,රටේ තියෙන තරං සෑම සියලු උපකරණයක්ම දකුණත් කරුවන් සඳහා නිර්මාණය කර තිබීම,මම අපේ අම්මලගෙ ගමේ ගිහිං හිටපු සංදියේ හරියට කුඹුරු වැඩ කළා.ගොයං කපන්න යද්දි  දෑකැති ඔක්කොම දකුණු අතින් කපන අයට හදපුවා,එකම එක වමත් දෑකැත්තක් අපේ එගොඩහ මහප්ප ළඟ තිබුණා ලෙව්ව වගේ මුවත් තියාගෙන හිටපු ඒ දෑකැත්ත මහප්ප කාටවත් දෙන්නෙ නෑ.ගොයං කපද්දි මහන්සි ඇරගන්න මහප්ප ගොඩ ආපු වෙලාවට මම ඒ දෑකැත්ත අරං වෙලට බහිනවා.තණකොළ කපන දෑකැත්ත ඊටත් වෙනස්.ඒ දෑකැත්තෙ මිට ලඟින් යටට නැම්මක් තියෙනව ඊට පස්සෙයි වක.ඔය දෑකැත්ත නුහුරට අල්ලල තණකොළ කපන්න සෑහෙන මහන්සියක් ගන්න වෙනවා.ඔය නුහුරට හදපු දෑකැත්තයි ගෝනියකුයි කර තියාන වෙලේ නියරෙ එහෙම නැත්නං රෙදිමෝලේ වත්තෙ කරක් ගහල ගෝනිය පුරව ගත්තෙ නැත්නං රෑට වැස්සි බඩගින්නෙ,එහෙම උනොත් පහුවදාට කිරි අඩුයි.හරක් පට්ටිය ගැනයි කිරි ගැනයි ආයෙම දවසක කියන්නං,අද කතාකරන්නෙ වමතින් වැඩ කරන එක ගැන නොවැ.

පස්සෙ කාලෙක මම කම්කරු දෙපාර්තමේන්තුවෙ ටික කලක් වැඩ කළා,එහෙ නං වමතින් ලියන ගෑනු ළමයි දහ පාළොස් දෙනෙක්ම මාත් එක්ක වැඩ කරපු නිසා මං තනිවෙලා නෑ කියල හරි සතුටක් දැනුනා.ඕනැනං වමත් කරුවන්ගේ සංගමයකුත් පිහිටුවා ගන්න තිබ්බා.ඒ කාලෙ වමත් නිසා අපහාස උපහාස විඳින්න උනාට දැන් නං කෙනෙකුට එහෙම වෙන්නෙ නෑ.ඒ වෙනුවට වමත් කාරයෙක් දිහා යම්කිසි පැහැදීමකින් බලනව කියලත් කියන්න පුළුවනි.ඇත්තටම වෙන්නත් ඕනෑ එහෙමනෙ.හැම කෙනාටම වමතින් වැඩ කරන්නට බැහැනෙ නේද?෴
(ප.ලි :ඊළඟ පෝස්ටුව මම ලියන එකසිය පනස් වැන්නයි.එකසිය පනහට පස්සෙ ලියන පෝස්ටුවල මාතෘකාව නොම්මර කරන එක නවත්තන්න මම තීරණය කළා.ඊට පස්සෙ පෝස්ට් ගණන බලාගන්න පුළුවන් වෙන්නෙ මට පමණයි.එහෙම නැත්නං මේ ගැන උනන්දු වෙන කෙනෙකුට විතරයි.හරියට ප්‍රසන්න වගේ.ප්‍රසන්න මේ බ්ලොගේ ගැන කොච්චර උනන්දුද කිව්වොත් පෝස්ටුවල තියෙන කතා මට වඩා හොඳට මතකයි.ඒ නිසා මම කතා හෝ පොස්ට් ගැන මතක තියාගන්න උනන්දු වෙන්නෙ නෑ ප්‍රසන්නට කියපු ගමන් ටක් ගාල හොයල දෙනව) 

Tuesday, August 19, 2014

148.පාලු කැපීම හෙවත් වල් නෙලීම.



අදත් ලියන්න හදන්නෙ පරණ ජන කතාවක්, ඒ මොකද කිව්වොත් මට අලුත් කතාවක් හදාගන්න විවේකයක් නැතිව ගියා.අලුතෙන් කතාවක් ලියනවනං හිත ගත බොහොම සාමකාමීව සන්සුන්ව තියෙන්න එපැයි නිසල විල වගේ.අන්න ඒ සාමකාමී සන්සුන්බව මට පහුගිය සතියටම තිබුණේ නෑ.ඉතිං අලුතෙන් හොඳ කතාවක් ලියනකල් මොකක් නමුත් ලියන්න හිත හිතා හිටියට වැඩේ නොකෙරුණ නිසා මේ වගෙ වෙලාවට මට කවදත් පිහිටවෙන කෝකටත් තෛලය හෙවත් ඩී පී වික්‍රමසිංහ මහත්තයගෙ මග දිගට ජනකතා පොතෙන් කතාවක් දාල මේ වෙලාවෙ තියෙන අවශ්‍යතාව පිරිමහගන්නං කියල හිතාගත්තා.මීට වෙනස් මාදිලියෙ කතාවක් මගෙන් බලාපොරොත්තු වෙන අයට මේ නිසා තරමක බලාපොරොත්තු කඩවීමකුත් ඇතිවෙන්න පුළුවනි.මට බනින්න දොස් කියන්නත් පුළුවනි.ඒත් ඉතිං මමයි කියල මොනා කරන්නද?තව ටික දවසකින් හොඳ කතාවක් ලියන්නං.එතකං ඔන්න එහෙනං සාවධානව කතාව අහගන්නකො.

සිංහල රජවරු අප්‍රසිද්ධ වේශයෙන් ගම්බද හැසිරීම ප්‍රිය කළෝය.රජවරුන් පිළිබඳව බොහෝ ජනකතා ඇතිවුයේ මෙසේ අප්‍රසිද්ධව හැසිරුණු අවස්ථාවලදීය.රාජාධිරාජසිංහ රජද දෙවන රාජසිංහ රජු මෙන් නිතර නිතර අප්‍රසිද්ධව හැසිරුණු කෙනෙකි.

දිනක් මෙම රජතුමා අප්‍රසිද්ධ වේශයෙන් පේරාදෙනි පෙදෙසෙහි සංචාරය සඳහා යන්නේ දැන් දෙයියන්නේවෙල යයි ප්‍රසිද්ධ කුඹුරු ප්‍රදේශයට පැමිණියේය.දෙපැත්තකින් මහ වනාන්තරයෙන් වටවූ මෙම කුඹුරුයාය එකල පැසී නැවුන රන්වන් කරලින් බරව තිබුණේය.කුඹුර වැඩකළ ගොවියාගේ දියණිය වූ රූපත් තරුණ කාන්තාවක් කුඹුරෙහි පැල් රකිමින් සිටියාය.ඈ වරින්වර ටකය සොලවමින් ශබ්ද කළාය.ඒ අතර පැල් කවි හා වෙනත් සීපදද,තමන් ගොතාගත් කවිද කියමින් විනෝද වුවාය.පැසී තිබුන වී කරල් කෑමට එන ගිරා,වී කුරුළු ආදී පක්ෂීන්ද රිළා, වඳුරු ආදී සිව්පාවුන්ද,භයකර පන්නා හැරීම ඇගේ මෙහෙය විය.ටකය වරින් වර සෙලවුයේ සතුන් භයකර යැවීම සඳහාය.

මේ තරුණ කාන්තාව ඉතා දක්ෂ කවිකාරියකි.ඇගේ කටහඬ ද ඉතා මිහිරි විය.මිහිරි හඬින් වෘතය නොබිඳ කියන ඇගේ කවියට මිනිසුන් පමණක් නොව සිව්පාවෝද වශී වුහ.සිය මෑණියන්ගේ උපදෙස් පරිදි කවියට පුහුණුවූ ඈට ඉතා හදිස්සි අවස්ථාවකදී වුවත් යම් කරුණක් මුල් කොට කවියක් ගොතා කීම එතරම් අසීරු කාරියක් නොවීය.අවස්ථානෝචිතව සිව්පද ගොතා හිටිවනම කීමට දක්ෂ උඩරට කාන්තාවෝ බොහෝ වුහ.ගොයම් පැළ සිටුවීම,වල් නෙලීම,කුරහන් කැපීම ආදී ස්ත්‍රීන් විසින් කළයුතු ගොවිතැන් වැඩෙහි යෙදෙමින් තරඟයට කවිකීම උඩරට ස්ත්‍රීන් අතර ඉතා මෑතක් වනතුරුම පැවැත්තේය.

මෑතකදී වූ සිද්ධියක් මෙසේය.ප්‍රසිද්ධ වලව්වකට අයිති කුඹුරක වල් නෙලීම සඳහා ඈත ගමකින් ස්ත්‍රීන් සමුහයක් කැඳවන ලද්දෝය.එම ස්ත්‍රීන් වල් නෙලන අතර කුඹුර හිමි වලව්වේ මැණිකේ ඇවිත් නියරක් පිට සිටගෙන බලා සිටියාය.මේ අතර වල් නෙලූ ස්ත්‍රියක් තමා නෙලූ වල් අතෙහි මඩ ඈතට ගසා දැමුවාය.ඉන් නික්මුණු වතුර සහිත මඩපිඬක් නියර පිට බලාසිටි මැණිකේගේ ඔසරියෙහි වැටුණේය.මෙයින් මැණිකේගේ මුහුණ ඇඹුල් විය.ඈ කෝපයටද පත්වුවාය.

මෙය දුටු වල් නෙලමින් සිටි එක් කවිකාර ස්ත්‍රියක් ඒ සිද්ධිය මුල්කොටගෙන කවියක් ගොතා සුමිහිරි තාලයෙන් කීවාය.ඒ ඇසු වලව්වේ මැණිකේගේ කෝපය දුරුවිය.ඈ ප්‍රීතියට පත්ව අත් පොළසන් දුන්නාය.කවියෙන් ඉල්ලා සිටි පරිදි ඈ වහා වලව්වට ගොස් නිලමේටද ඒ බව කියා ප්‍රීති වුවාය.

"ඈත සිටන් ආවෙමු අපි නෙලුමක         ට
මැණිකේ ඇවිත් සිට ගත්තයි නියර පි     ට 
වතුර පොදක් වැටුනයි නෙරි කැරැල්ල    ට 
මැණිකේ ඉතින් යනවාකෝ වලව්ව       ට"

මෙපරිද්දෙන් ස්ථානෝචිතව සිටිවන කවි කීමට දක්ෂ උඩරට කාන්තාවෝ තවමත් සිටිති.දෙයියන්නේවෙල නම් දැනට මහනුවර දුම්රිය ස්ථානය වෙනුවෙන් ඇරී තිබෙන භූමි ප්‍රදේශයයි.එකල එය වෙල්යායකි.බෝගම්බර වැවේ ජලයෙන් පෝෂිතවූ එම කුඹුරුයාය රජයට අයත්වුවකි.අවට ගොවියෝ එය කොටස් වශයෙන් බෙදාගෙන අඳේට වැඩ කළෝය.එවැනි අඳ ගොවියෙකුගේ තරුණ දියණියකි,එම පැල් රැක්මේ යෙදී සිටියේ.

තරුණිය රජු විසින් දකිනු ලැබුවාය.නමුත් තරුණිය විසින් රජු නොදක්නා ලද්දේය.තරුණියගේ රූප ශෝභාවත්,ලපටි වයසත්,සිවුමැලි ගතත් දුටුවිට රජුට ඈ ගැන කවියක් නොකියාම බැරිවිය.අලංකාර ශුභ දර්ශනයන්ගෙන් උද්දාම වීම කවියාගේ සිරිතකි.සිත උද්දාම වූ පමණට කවියට අවශ්‍යවූ වචන ගලා ඒමද සිදුවේ.ඒ නිසා රජතුමා පහත දැක්වෙන කවියෙන් ඈට ආමන්ත්‍රණය කලේ පඳුරකට මුවාවී ඈට නොපෙනෙන සේ සිටිමින්ය.

"ලස්සන හිමවතේ පැලපිට සිටින        ලඳේ 
දුක්දෙන වල්සතුන් පන්නා හරින         ලඳේ 
රැක්මෙන වෙලේ ඉඳ වෙල්බත් බුදින  ලඳේ 
දුක්දෙනු සරිද ඔබ සිව්මැලි ගතට         ලඳේ"

මෙය ඇසුන කාන්තාව එම ගැඹුරු පුරුෂ කටහඬින් වශීවුවාය.සුමිහිරි ස්ත්‍රී ශබ්දයෙන් පුරුෂයන්ද ගැඹුරු පුරුෂ ශබ්දයෙන් ස්ත්‍රීන්ද වශීවීම ස්වභාවික ගතියකි.රුක්ගොමුවෙහි සැඟවී සිටි බැවින් පුරුෂයා කෙබඳු කෙනෙකුදැයි ඈ නුදුටු නමුත් තමාගේ කටහඬින් හා රූපයෙන් වශීවූ යම්කිසි තරුණ කිවියෙකු විසින් ආමන්ත්‍රණය කරන ලදැයි ඈ සිතුවාය.කවුරු හෝ වේවා ඊට පිළිතුරු දීම තමාගේ යුතුකම යයි සිතූ තරුණිය

"ලස්සන හිමවතේ මාවී පැසෙ             න්නේ
දුක්දෙන වල්සතුන් පන්නා හරි            න්නේ 
රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදි      න්නේ
දුක්පත් කම නිසයි මා පැල් රකි           න්නේ"

යන කව මිහිරි හඬින් කීවාය.එවිට රජ තරුණියගේ රූප සම්පත්තිය වර්ණනා කරන අදහසින් පහත දැක්වෙන කව කීවේය.

"වෙලක මහිම බල මාවී පැසී              ලා 
පැලක මහිම බල බටකොළ සොයා    ලා 
මලක මහිම බල අතු අග පිපී              ලා 
ලියක මහිම බල ගෝමර ඉසී             ලා"

එවිට කාන්තාවද රජු කී කවෙහි විරුද්ධාර්ථය පෙන්නුම් කිරීමේ අදහසින්

"වෙල හොඳ මොකද යලමහ පාලුවේ             නම්
පැල හොඳ මොකද පොද වැස්සට තෙමේ       නම් 
මල හොඳ මොකද අතු අග පරවී යා               නම් 
ලිය හොඳ මොකද ඉසි ගෝමර මැකේ           නම්"

යන කව කීවාය.මෙය ඇසු රජ ඇගේ දුක පහකොට සිත සැනසීමේ අදහසින්

"යල මහ පාලුවෙන්නට ඉඩදෙන්ට               එපා 
දුක් දෙන සතුන් පන්නා වෙහෙසෙන්ට         එපා
ලැම බඳ ඉසුන ගෝමර වැනසෙන්ට            එපා 
දුක් පත් කමින් මින්මතු දුක් විඳිනු                එපා"

යන කවිය කියමින් ඈට පෙනෙනසේ නිලීන ස්ථානයෙන් එළියට බැස්සේය.ඒ දුටු තරුණිය මේ තැනැත්තා තමා සිතූ අන්දමේ තරුණයෙකු නොවන බවත්,කවදා කොතැනකදී හෝ මේ මහේශාක්‍ය තේජවන්ත පුරුෂයා දැක තිබෙන බවත් කල්පනා කළාය.අතීත දර්ශනයන් ගැන සිහි එලවූ ඈට මේ පුරුෂයා කවුද යනු වැටහුනෙන් ඇගේ සර්වාංගය දවෙන්ටත් හෘදය "ටික් ටික්"අනුකරණයෙන් ගැහෙන්ටත් විය.මේ අනෙකෙකු නොව ත්‍රීසිංහලාධීශ්වර මහරජු බවත් ඇසළ පෙරහැර සමයේ දැක ඇති බවත් අවබෝධවූ ඈ භයින් ත්‍රස්තව පැන දිව්වාය.තමා ඇඳිනගෙන බියට පත් තරුණිය පලායන බව දුටු රජතුමා ඈ සනසන අදහසින් පහත දැක්වෙන කව කීවේය.

"ඇනලා මරන කුළු මීමෙකු නොවේ        නම් 
විකලා දමන සිහ රදෙකුත් නොවේ          නම් 
විදලා මරන වැදී රජෙකුත් නොවේ          නම් 
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්"

ඒ ඇසු කාන්තාව මඳක් බිය දුරුකරගෙන නැවතී සිට 

"රෑන පිට රෑන තුඩු රෑන දී                   යන්
ඇදලා ඇටෙව් දුන්නෙන් අගට ඊ        යන් 
බළලුන් දුටුවාම බියනැද්ද මී              යන් 
දුටුවම බිය නැද්ද රාසිං දෙයී              යන්"

යන පිළිතුරු කව කියා තුරු වදුලෙහි සැඟවී පලාගියාය.

පසුදින හන්තානේ කඳු පාමුල ගෙයක් පාසා ඇවිදින රාජ පුරුෂයෙකි.පෙරදින සන්ධ්‍යාවෙහි රජු සමග තරඟෙට කවි කී කාන්තාව සොයමින් ඔහු ඇවිදියි.රාජකීය කුඹුරුයාය වැඩකළ ගොවියන් සියලු දෙනාගේ ගෙවල් සෝදිසි කිරීමට ඔහුට සිදුවිය.අන්තිමේදී රජ කී ලකුණු අනුව කාන්තාවක් ඔහුට දකින්නට ලැබුණි.ඇගෙන් මේ ගැන ප්‍රශ්න කළ විට ඈ භයින් ගෙට වැදුනාය.රාජපුරුෂයා දෙමාපියන්ගේ මාර්ගයෙන් රජු හා තරඟයට කවි කී තැනැත්තිය ඈ බව දැනගත්විට ඈ කැඳවා ගෙන යන සේ රජු නියෝගකර තිබෙන බව පැවසුවේය.

රජු මා කැඳවන්නේ කුමක් නිසාද?මින් මට යහපතක් වේද?අයහපතක් වේද?යන සැකයෙන් මෑණියන්ද සමග රජවාසල කරා ඈ ගමන් කළාය.

කාන්තාව දුටු රජ ඈ ගැන ඉතා ප්‍රසන්නව ඇගේ කවිත්වයට ගරු කිරීමක් වශයෙන් ඈ සිටි කුඹුරු යායම සන්නසක් සහිතව ඈට හිමිකර දී "දුක්පත්කමින් මින්පසු දුක්වන්ට එපා"යයි තමා කී බස ඉෂ්ට කළේය.එදා පටන් ඒ වෙල්යාය දෙයියන්නේ වෙල නමින් ප්‍රසිද්ධ විය.දැනුදු ඒ ප්‍රදේශය ඒ නමින්ම ව්‍යවහාරයෙහි පවතී෴

("ගෙවිලියක් රජු හා තරඟෙට කවි කියයි." මග දිගට ජනකතා, ඩී.පී වික්‍රමසිංහ 1998)

Sunday, August 10, 2014

147.චොකලට් පැක්ටරිය ස්කොට්ලන්ඩ් යාඩ් සහ ෂර්ලොක් හෝම්ස්.


අපි යමක් කිව්වොත් ඒ දේ ඉෂ්ට කරන්න ඕනෑ.එහෙම නැත්නං නොකිය නිකං ඉන්න ඕනෑ.කෙනෙක් තමන්නෙ වචනයේ වහලෙක් විය යුතුයි කියල කතාවකුත් මම අහල තියෙනවා.අද මම හදන්නෙ කියපු වචනය ඉස්ට කරන්නටයි.මේ වගේම මම තවත් වචනයක් කියල තියෙනවා,ඒ කෙටිකතාව ගැන විග්‍රහයක් ලියනවා කියල පොරොන්දුවක් දීමයි.නමුත් තාම ඒ පෝස්ටුව ඉවර කරගන්නට බැරිවුනා,නමුත් නොලියා ඉන්නෙ නැහැ කවදාහරි ලියනවා හැමදේම මතකයි  කිසිදෙයක් අමතක නෑ.

මගෙ පහුගිය පෝස්ටුව පටන් ගත්තෙ චොකලට් පැක්ටරියක් බලන්නට ඔයාලව එක්කං යනවා කියලනෙ නමුත් යන්න උනේ වෙන දිහාවක.එදා බැරිවුන වැඩේ අද කරමු බෙටර් ලේට් දෑන් නෙවර් කියලත් කතාවක් තියනවනෙ.පහුගිය කතාවෙදි මම ආරම්භය ගත්තනෙ.මම කිව්වෙ රට ජර්මනිය ස්ථානය කොලෝන් නගරය කියල නේද,ඉතිං අපි තාලිස් හෙවත් තැලිස් දුම්රියෙ ජර්මනියට ගියා.ජර්මනියට ගියා කිව්වම ජර්මනියෙ ඉඳන් මේ කතාව කියවන හිතවතුන්ට හිනා යයි ඇයි අපේ රංජන් වගේ හිතවතුන් ඩසල්ඩෝප් නගරයේ ඉඳන් මේ බ්ලොගේ කියවනවනෙ.මම නං ජර්මනියට ගිහිං තියෙන්නෙ තුන් සැරයයි මාහිතේ.ට්‍රාන්සිට් වලට එක වලියක් ෆ්රැන්ක්ෆර්ට් වලින් බැස්ස එයාපෝර්ට් එකෙන් එළියට ගියෙ නෑ ඒකත් රටට ගිය හැටියට ගණන් ගන්නව නං හතරයි.

ජර්මානු සංචාරය ගැන වෙනම ලියන්නං මේ ලියන්නෙ චොකලට් පැක්ටරිය ගැන නිසා වෙන අනං මනං මේකට ඈඳා ගන්න එකේ තේරුමක් නෑ නොවැ.පහුගිය වතාවෙ පිංතුර දැම්මෙ නෑ කියල කට්ටිය නෝක්කාඩු කිව්ව විතරක් නෙවෙයි දාන්න දාන්න කියා කියා පොර ගැහුවනෙ ඒ නිසා මෙදා සැරේ පිංතුර දාඤ්ඤං.පිංතුර දාන නිසා එච්චර ලියන එකෙත් තේරුමක් නෑ නිකං කැප්ෂන් එකක් ලිව්වත් ඇතියි කියල හිතෙනවා.පිංතුර දැමීමෙදී මගෙ ප්‍රතිපත්තිය මෙහෙමයි.මම පෙනී සිටින පිංතුර අයින් කරල දානවා ගෙදර අය පුළුවන් තරං අඩුවෙන් ඉන්න පිංතුර තෝරාගන්නවා.මම පුද්ගලිකව ගනිපු පිංතුර කියල පෙනෙන්න ගෙදර කෙනෙක් ඉන්න පිංතුරයක් දානවා.එහෙම නැත්නං පිංතුර ටිකක් නං ගූගල් වලිනුත් හොයාගන්න පුළුවන්නෙ.හැබැයි ඔව්ව කරන්න ගිහිං මේ බ්ලොග් අවකාශෙ ඉන්න විශේෂඥයන්ගෙන් බේරෙනව බොරු මේක අහවල් තැනින් ගත්ත පිංතුරයක් කියල ටක් ගාල කියාවි.මේ මම හෙඩිමට දාල තියෙන්නෙ චොකලට් පැක්ටරියේ පිටපැත්තේ හෙවත් ඇතුල්වෙන තැන පිංතුරයකුයි හොඳට බැලුවොත් පින්තුරෙ පැත්තකට අහුවෙලා ඉන්න හැලපැට්ටත් දැකගන්න පුළුවනි.චොකලට් පැක්ටරිය ඇතුලේ චොකලට් ගැන කෞතුකාගාරයකුත් ඇති නිසා නාම පුවරුවේ කෞතුකාගාරය ගැන සඳහන් වෙනවා.

පහුගිය සියවසේ ජීවත්වුණු විශිෂ්ට සිනමාකරුවෙක් වන ඇල්ෆ්‍රඩ් හිච්කොක් ඔහුගෙ චිත්‍රපටවල හිච්කොක් මුද්‍රාව තිබ්බෙ අමුතු විදියකටලු.ඒ හිච්කොක්ගේ පිංතුරයක් චිත්‍රපටයේ කොතැනක හෝ දැමීමෙනුයි.එක් චිත්‍රපටයක(චිත්‍රපටයේ නම මට මතක නෑ)බෝට්ටුවක යන මගියෙක් කියවමින් ඉන්න පුවත්පතක හිච්කොක්ගේ පින්තූරයක් තිබුනලු.හිච්කොක්ගේ මයිලක් තරංවත් වටිනාකමක් නැති මාත් ඔහුගෙ මුද්‍රාව තැබීමේ ක්‍රමය යම් තරමකට අනුගමනය කරනවා.මයිලක් කිව්වම මට එකපාරටම මතක් උනේ අර යකාට ගම හාමිනේ වැඩක් පවරපු ආකාරය.මං ඒ කතාව කොහේ හරි ලිව්වනං  මතකයි ඒ වුනාට මේ තදියමට හොයාගන්න බෑ ප්‍රසන්නට  පුලුවන්නං ලින්ක් එකක් දානවද.

ඉතිං මම කියා කියා ආවෙ මොකද්ද ආ පිංතුර නේද හොර පිංතුර දාල මේ බ්ලොග් අවකාශෙ ඉන්න අයට අහුවෙනවා කියලනෙ.රහස් පරීක්ෂාව සම්බන්ධයෙන් ස්කොට්ලන්ඩ් යාඩ් එකට උපදෙස් දෙන්නට තරං හැකියාවක් තියෙන අයත් අපි අතර ඉන්නවා,ඔන්න ස්කොට්ලන්ඩ් යාඩ් කිව්වම මට ෂර්ලොක් හෝම්ස් මතක් වුනා ෂර්ලොක් හෝම්ස් හැම තිස්සෙම ස්කොට්ලන්ඩ් යාඩ් එක තුට්ටු දෙකට දාලනෙ කතාකලේ මට මතකයි එක කතාවක(කතාවෙ නම මට මතක නෑ බොහොම කණගාටුයි)ෂර්ලොක් හෝම්ස් මෙන්න මෙහෙම කියනවා...

මෙතන අපිට අතගහන්න තරම් දෙයක් නෑ වොට්සන් මේක මේ ස්කොට්ලන්ඩ් යාඩ් එකටත් විසඳන්න පුළුවන් ගැටලුවක්නේ...

ඔන්න ඔය වගේ ලැබෙන හැම තැනදීම හෝම්ස් ස්කොට්ලන්ඩ් යාඩ් එකට අපහාස කළා.හෝම්ස් පදිංචි වෙලා හිටියයි කියන බේකර් වීදියෙ අංක 221 බී කියන ස්ථානයේ දැන් තියෙන ෂර්ලොක් හෝම්ස් කෞතුකාගාරෙ ඉස්සරහත් පොලිස් භටයෙක් ඉන්නව හැබැයි ඇත්ත පොලිසියේ නෙවෙයි කොල්ලෙක්ට ඒ විදියට අන්දවල තියල තියෙනව.ඒ විස්තර ඔක්කොම ෂර්ලොක් හෝම්ස් ගැන ලියද්දි ලියන්නං.ස්කොට්ලන්ඩ් යාඩ් එක ගැන තව අපේ ලේඛකයෙකුත් ලියල තිබුණා ඒ ලේඛකයා නම් නවකතා පොත් හා පරිවර්තන කෘති ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ පී ඇම් ජයතිලක මහතායි.

පී ඇම් ජයතිලක මහතා ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගතකළ 1960-1963 කාල සීමාව පාදක කරගෙන "මල් මාවත" "බමර සර " "හන්තානේ ගීතයක්" යනුවෙන් එකිනෙක ඈඳුණු රසවත් කතා පොත් තුනක් ලියා තිබෙනවා.වැඩි බරක් නැති ඉතා සැහැල්ලු රසාස්වාදයක් ගෙනදෙන මේ පොත් තුන මා කියැවූ වාර ගණන මටවත් මතක නැති තරමයි.ඔන්න ඔය පොත් තුනෙන් එක පොතක ඔහු පේරාදෙනියෙ සරසවියේ ඉන්න රහස් පරීක්ෂකයන් ගැන කියමින් ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසියටද උපදෙස් දෙන්නට තරම් හැකියාවක් ඇතියවුන් සරසවියේ ඉන්න බව සඳහන් කර තිබෙනවා මට මතකයි.රසවත් ග්‍රන්ථ ගණනාවක් සිංහල සාහිත්‍යයට දායාද කළ අධිනීතීඥයෙකු වූ පී ඇම් ජයතිලක මහතා දැනට අවුරුදු කීපයකට පෙර මෙලොවින් සමුගත්තත් සාහිත්‍ය කරුවෙකුට ලැබිය යුතු ගෞරවය හෝ ඔහු කළ සාහිත්‍ය සේවයට නිසි තක්සේරුව හෝ ඇගයීම ජීවතුන් අතර සිටියදී හෝ මියගිය පසු ඔහුට ලැබුනාදැයි මට ඇත්තේ ප්‍රශ්නාර්ථයක් පමණයි.

පඳුරු තැලීම අවසානයි.දැන් තියෙන්නෙ චොකලට් පැක්ටරියේ පිංතුර පෙන්වීමයි.අපිට පෙන්නුව හරියෙ සහ මට පළකරන්නට හැකියාව තියෙන පිංතුර තියෙන්නෙ මෙපමණයි.














 
මෙන්න මෙතන රත්තරං කොකෝ ගෙඩි තියෙන ගහක් වගේ භාජනයේ යට තැටියෙ උණු චොකලට් දියරය පුරවා තියෙනවා.ඒ ළඟ ඉන්නසුදු ඇඳගත් තරුණිය එතනට එන අයට ඇගේ අතේ තියෙන විස්කෝතුවක් උණු චොකලට් දියරයේ බහා කන්නට දෙනවා.එවැනි චොක්ලට් තැවරූ බිස්කට් දහයකින් පමණ සප්පායම් වූ හැලපැට්ටා චොකලට් වලින් තෘප්තිමත් වී කැමරාවට මුහුණ දුන්නේ මේ ආකාරයටයි.


Tuesday, August 5, 2014

146.කුකුල් හොරු චොකලට් පැක්ටරිය සහ නාසා හි ගල් විශේෂඥයා.



එක සැරේ කතා දෙකක් මතකෙට ආවා.එකක් නං හිරුගෙ බ්ලොගේ රෙහානි ලියපු කමෙන්ට් එකක් දැකල මතකෙට ආපු කතාවක්,ඒක මේ ගංවල කුකුල් හොරු බොහොම ඈත කාලෙක කරපු ක්‍රියාවක් ගැන මතක් කිරීමක්. නමුත් ඒ කියාපු දේ ගැන කාගේවත් අවධානය එහෙමකට යොමුවෙලා තිබුනෙ නෑ,එහෙම උනානං රසවත් කතා ගොන්නක්ම අපට අහගන්න තිබ්බා.ඇත්තටම මට රෙහානි ලියපු එක කියවද්දී හිනාගියා අම්බ කුකුල් හොරු කරපු වැඩ කටයුතු රෙහානි කොහොමද  දන්නෙ කියල.

අනික් කතාව මල්මි  චාලිගෙ චොකලට් පැක්ටරිය  ගැන මතක් කරල තිබුණ නිසා මමත් දවසක චොකලට් පැක්ටරියක් බලන්න ගියපු හැටි මතක් වුනා.චොකලට් පැක්ටරියේ කතාව තරමක් පරණ නිසා ඉස්සෙල්ල ඒ කතාව කියල ඉන්නං.ඇත්තටම කිව්වොත් කියන්න කතාවක් නෑ පින්තුර වලින් බලාගන්න එකයි.කාලය මීට අවුරුදු අටකට හෝ නවයකට පෙර ස්ථානය  ජර්මනියේ කොලෝන් නගරය.බ්‍රසල්ස් සිට කොලෝන් වලට දුර කිලෝමීටර් 213 ක්,ඇම්ස්ට්ර්ඩෑම් සිට බ්‍රසල්ස් හරහා කොලෝන් බලා යන තාලිස් දුම්රිය මේ දුර පැය දෙකකුත් විනාඩි පහළොවකට ආසන්න කාලයකදී ගෙවා දමනවා.

කොලෝන් කිව්වහම ඔයාලට එකපාරටම මතක් වෙන්නෙ ඕඩිකොලෝන් නේද?ඕඩිකොලෝන් කියන එකේ තේරුමත් කොලෝන් නගරයේ වතුර කියන එකයි.ප්‍රංශ බසින් ඕ කියල කියන්නෙ වතුර වලට නොවැ.හැබැයි ජර්මනියේදී වතුර ඕනෑනං වස කියල ඉල්ලන්න ඕනෑ.ඔය යුරෝපා රටවල කෑමෙන් පස්සෙ අපිවගේ වතුර බොන සිරිතක් නෑ නොවැ.කද්දි වයින් බොනවා එක්කො බියර් බොනවා එහෙමත් නැත්නං කෝපි බොනවා හැබැයි තේ බොනව බොහොම අඩුයි කියන්නෙ බොන්නෙම නැති  තරං, මිසක වතුර බීමක් නෑ වතුර ඕනෑනං ඉල්ලන්නම වෙනවා.වතුර බොනව කියද්දි ඔන්න මට කතාවක් මතක්වුණා.

දැනට අවුරුදු කීපෙකට ඉස්සෙල්ල අපි ගමේ කට්ටියක් අනුරාධපුරේ ගියා වෙන මොහොකටවත් නෙවෙයි අභයගිරි දාගැබේ ප්‍රතිසංස්කරණ අවස්ථාවෙ ශ්‍රමදානෙකට,උදේ පාන්දර පිටත්වෙලා අනුරාධපුරේට ළඟාවූන කණ්ඩායම ශ්‍රමදානෙටත් සහභාගිවුණා.ඒ වැඩේ වරුවකින් ඉවරකරල දවල්ට කන්නත් උයාගෙන වැවකින් නාගෙන එහෙම කමු කියල ගෙදර යන ගමන් එකෙන් බෝතල් පෙට්ටියකුත් ගෑණු කාගෙ කාගෙත් ඇස් වහල බස් එකට පටෝගත්තා.ඒ වැඩේ නං සම්පූර්ණ ගෞරවය එහෙම්පිටින්ම මට අයිති වෙන්න ඕනෑ.නැත්නං බස්සෙකේ හිටපු උන්ට වේලි වේලි ගෙදර එන්න වෙනව.වැවකට ගිහිං කට්ටිය වැවට දාල අපි ටික එතන කරුමාන්තෙ කරගන්න හදද්දි එතන වැඩේ කරන්න ගත්තොත් පොලිසියෙන් අල්ලං යයි කියල හිටපු උන් කියපු නිසා වැඩේ පස්සට කල්දාල නාගෙන බස්සෙකට නැගල කෑමට සහ බීමට සුදුසු තැනක් සොයමින් හැතැප්මක් දෙකක් එද්දී වැඩේටම ගැළපෙන තැනක් දැකපු නිසා බස්සෙක එතන නවත්තල පාරෙන් මෙහා පැත්තෙ තිබුණු පිට්ටනි කෑල්ලෙ ගෑණුන්ට සහ ළමයින්ට කන්න කියල අපි සැට් එක බෝතල් පෙට්ටියත් අරගෙන පාරෙන් එහා පැත්තෙ තිබ්බ ගොයං කපපු ලියැදි ටිකට  පල්ලම් බැස්සා.

අලුත් ඉපනැල්ලේ සුවඳ හමන ලියැද්දෙ නියරෙ සිනිඳු තණ නිල්ලෙ ඉඳගෙන ජයටම කරුමාන්තෙ යෙදුනු අපි කට්ටියගෙ කටවල් සැරවෙලා කංපෙති රතුවෙලා කෑමට එද්දිං අනික් උන් කෑම අහවර කරල ගොඩක් වෙලා ගිහිං.අපට ඉතිං මොන හදිස්සියක්ද, එතන ඉඳගෙන  උයා පිහාගෙන ආපු කෑම ටික බොහෝම නිවී සැනසිල්ලෙ රස බලමින් ඉද්දි පාරෙන් ඇතුළට හරවපු වෑන් එකක් අපි කමින් හිටපු තැන නැවැත්තුවා.නවත්තපු වාහනෙන් බැහැල ආවෙ විදේශිකයෙක් කොල්ලෙක්.පැය බාගෙන් ඉංග්‍රීසි කතා කරවන කෙනා බඩේ හිටපු නිසා ඔහු එක්ක කතා කරන්න ඉංග්‍රීසි කතා කරන අය ඕනෑපදං, මම පැත්තකට වෙලා මගෙ පාඩුවේ බත්කමින් හිටියා.කොහොම උනත් අන්තිමේ විදේශිකයා කියන දේත් අපේ මිනිස්සු කියපු දේත් එකිනෙක නොපෑහෙන හින්දද මංදා ඔන්න කට්ටියම මගෙ ලඟට ආවා.

අහල බලපුවම කාරණේ හරිම සරලයි,අපි එතන කෑම කනව දැක්කම ඒ තරුණයටත් එතන වාඩිවෙලා ඒ විදියට ලංකාවෙ කෑම කන්නට ආසාවක් ඇතිවෙලා වාහනේ නවත්තල බැහැල ඇවිත්.හැබැයි වාහනේ හිටපු රියදුරයි මග පෙන්වන්නෙක් විදියට මට පෙනුණු අනික් තරුණයයි වාහනෙන් බැස්සෙවත් නෑ එහෙමම හිටියා මේ විදේශිකයා කරපු වැඩේට ලජ්ජාවෙද මංදා.මේ තරුණයාගේ අවශ්‍යතාව අපේ බවලතුන්ට කියපුවම ශ්‍රී ලාංකිකයන්ට උරුම ආගන්තුක සත්කාරයේ අග තැන්පත් අපේ කාන්තාවන්  ඉතා උනන්දුවෙන් කොත ගහල බෙදපු බත් පිඟානක් අරං ඇවිත් බොහොම ආචාරශීලීව මේ විදේශිකයට පිළිගැන්නුවා.

අපට කන්න හදන් ගිහිං තිබුණු ගමේ අච්චාරු ආදී මිරිස් සැර සහිත ඒ කෑම පිඟාන හිනා පිරි මුහුණින් යුතුව කන්න සුදානම්වෙන මේ තරුණයට මම පොඩි අනතුරු ඇඟවීමක් කළා.ඒ මොකක්ද කිව්වොත් පිඟානෙ තියෙන සමහර කෑම රස බැලීම අනතුරුදායක බව දැනුම් දීමයි.මගෙ ඒ කතාවටත් සිනාමුසු මුහුණින් උත්තර දුන්න ඔහු ශ්‍රී ලාංකික කෑම ඔහුට පුරුදු නිසා ඒ සම්බන්ධයෙන් බිය නොවන ලෙස කියා සිටියා.බොහොම සතුටින් දවල් ආහාරය අවසන් කරපු මේ විදේශිකයා අත සෝදාගත්තත් කාන්තාවක් බොන්න ගෙනත් දුන්න වතුර වීදුරුව ප්‍රතික්ෂේප කලේ යුරෝපීයයන්ගේ වතුර බීම ගැන අගක් මුලක් නොදත් ඇගේ මුහුණේ දැඩි ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරමිනුයි.අපිත් එක්ක පින්තුරයකටද මුහුණ දුන් සංචාරක තරුණයා සියල්ලන්ටම ස්තූති කර යන්නට ගියා.

කෑම කමින් සිටියදී ඔහුත් සමග පොඩි සංවාදයක යෙදෙන්නට මට අවස්ථාව ලැබුණු නිසා අපේ සුපුරුදු ශ්‍රී ලාංකික ගතිය විදහා පාමින් මම ඔහුගේ වාස දේස අහපුවම රට එංගලන්තය සහ පදිංචිය ලංඩන් බව ඔහු කියා සිටියා. ඒ කතා දෙකම අසත්තක බොරු බව මට බැලු බැල්මටම පෙනුනත් කියපුදේ අහගෙන හිටිය මිසක මම ඔව්ව හගිස්සවන්න ගියෙ නෑ .සරමකුත් ඇඳගෙන කෑම කාල ඉවරවෙලා  බුලත්විට හපමින් හිටපු මේ ගොඩයා එංගලන්තයත් ලංඩන් නගරයත් ඇරෙන්නට වෙනත් රටක් ගමක් අහල නැහැ කියල ඔහුට හිතුනා නං ඒකත් අසාධාරණ නැහැ.සුද්දො මිරිස් සැරට බයයි කටදනවා රතු වෙනවා කියල කිව්වට දැන් ඉන්න සුද්දො නං කිසි ගනිච්චියක් නැතිව මිරිස් සැර කෑම අපුරුවට කනව මම තව කතාවක් කියන්නං.

ඒ තවත් විදේශිකයෙක් ගැනයි ඔහු ඇමෙරිකානුවෙක්.ශ්‍රී ලංකාවේ රාජ්‍ය අමුත්තෙක් හැටියට ලංකාවට පැමිණි  හුස්ටන්හි නාසා ආයතනයේ ගල් සහ අභ්‍යවකාශ පාෂාණ පිලිබඳ ප්‍රධාන විද්‍යාඥයා වන ආචාර්ය මයිකල් සොලොන්ස්කි.ඔහුගෙත් මගෙත් මුණගැසීම වුනේ මෙහෙමයි.මගෙ මතකය නිවැරදිනම් කාලය 2008 වසර විය යුතුයි.ඒ අවුරුද්දෙ යෙදුනු ආතර් සී ක්ලාක් මහතාගේ 90 වන ජන්ම දිනය ඉතා ඉහලින් සමරන්නට අපි කටයුතු කළා.ප්‍රධාන උත්සවය පැවැත්වුවේ මහ බැංකුවේ ජෝන් එක්ස්ටර් ශාලාවේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආරාධිතයන්ගේ සහභාගිත්වයෙනුයි.උත්සවයේ දේශන පැවැත්වීමට ශ්‍රී ලංකා රජයේ ආරාධනාව අනුව රාජ්‍ය අමුත්තන් ලෙස විදේශවලින් පැමිණි විද්‍යාඥයන් හත්දෙනා අතර ආචාර්ය මයිකල් සොලොන්ස්කිද සිටියා.ඊට අමතරව පළමුවරට අභ්‍යාවකාශයේ ඇවිදපු රුසියන් ජාතිකයත් සිටියා මට මතකයි.මේ උත්සවයෙදි ගනිපු පිංතුරයක් මගෙළඟ තිබුනත් ඒ පින්තූරෙ පෙනී ඉන්න අයගෙ බරසාරකම හේතුකොටගෙන තරමක නයෙක් වගේ පෙනෙන්න පුළුවන් නිසා එය පළකිරීමෙන් වැළකී ඉන්නං.අනික් කාරණේ ආතර් සී ක්ලාක් මහතා උපන් දින උත්සවේ තියල සති දෙකකටද තුනකටද පස්සෙ ස්වර්ගෙට ගියානෙ.ඒ දුකට අපේ හිතේසිවන්ත මිත්‍රයො ටික ගහපු කාඩ් ගැන නං වෙනම පෝස්ට් එකක් ලියන්න පුළුවනි.

පළවෙනි වතාවට ලංකාවට ආපු ආචාර්ය සොලොන්ස්කිට ලංකාව ඇතුළට ගිහිං රට තොට  දැකබලා ගන්න ආසයි කියපු නිසා උත්සවයට පසුවදා ඔහු වෙනුවෙන් චාරිකාවක් සංවිධානය කර තිබුණා ආචාර්ය සොලොන්ස්කිත් සමග මේ චාරිකාව ගිහිං එන්නට පැවරුනේ මටයි.ගමන් මාර්ගය මෙහෙමයි,කොළඹ ගෝල්පේස් හෝටලයෙන් අරඹා පින්නවල අලි අනාථාගාරය,පේරාදෙණිය උද්භිද උද්‍යානය,දළදා මාළිගාව නුවරින් දවල් කෑම සහ ආපසු පැමිණීම.ගමනට වෙන්කර තිබුණ ලොකු වාහනයේ අපි දෙන්නට විතරක් යන්න ටිකක් කම්මැලි නිසා  හැලපැට්ටත් එයාගෙ ඥාති සොහොයුරත් ගමනෙදි අපේ තනියට එකතුවුනා.අපේ අමුත්තව ගෝල්පේස් හෝටලෙන් වාහනේට දාගෙන උදේ පාන්දරින්ම අපි ගමන පිටත්වුනා.

ටික දුරක් නිදි කිරමින් ගියපු අපි නුවර පාරෙ කැලණිය පහුකරද්දී කතාවට වැටුණා.මම සුපුරුදු සම්ප්‍රදායික විදියට ආචාරශීලීව ඩොක්ටර් මයිකල් කියල කතාව පටන්ගන්න හදනකොටම නෝ කියල ඔහු වහාම මාව නැවැත්තුවා.
"මයික්"
ඔහු කීවා,එතැන් සිට පින්නවලට යනතුරු රට ගැනත් අපි පසුකරගෙන යන ගම් ගැනත් ඔහුට විස්තර කරන්නට මට සිදුවුනා.පින්නවලදී වාහනෙන් බැහැපු තැන ඉඳන් ගල්වලට ඔහුගෙ තිබුණු කෑදරකම මම හොඳටම දැකගත්තා.අලින්ට වඩා ඔහුගෙ උනන්දුව තිබුනෙ ගල්වලටයි.අලි නාවන තැන බලන්නට යද්දි කඩයක්ද ගෙයක්ද හදන්න ගෙනත් බාල තිබුණු කළුගල් ගොඩක් ළඟ මයික් නැවතුනා.ගල් දිහැ ටික වෙලාවක් බලං ඉඳල කිලෝ හත අටක පැතලි ගල් කෑල්ලක් අතට අරං මේ ගල මම ගත්තට කමක් නැද්ද ඇහුවම මාත් වටපිට බලල කමක් නෑ ගන්න කිව්වෙ ගල්ගොඩ මගෙ වගෙයි.ඒ සැනින්ම මයික් මැණික් ගලක් ලැබුනට වඩා ආසාවෙන් කළුගල් කෑල්ල බෑග් එකට දමා  ගත්තා.ඔය මම දාලතියෙන පින්තුරෙත් ඔහු අලි දිහා බලනවට වඩා උනන්දුවෙන් බලන්නෙ ගඟේ තියෙන කළුගල් දිහාවෙයි.

ඊළඟට ගියපු පේරාදෙනියෙ ගාඩ්න් එකේ නං ගල් තිබුනෙ නෑ ඒකෙදි මයික්ගෙ අවධානය වැඩිපුර යොමුවුණේ ජීවත්වෙන ගස්වලට වඩා මැරිච්ච ගස්වලටයි.ගාඩ්න් එක ඔහුගෙ හිතට ඇල්ලුවද නැද්ද කියල මට තේරුණේ නැතත් මාව මෙතෙන්ට එක්ක ආවට ඔබට ස්තූතියි කියල නං ඔහු කිව්වා.නුවරට ගියපු අපි ස්විස් හෝටලේ සුදානම් කර තිබුණු දවල් ආහාරයත් අහවර කරලා දළදා මාළිගාවට යද්දි මාළිගාවේ පරිපාලන නිලධාරියා ඔහුව පිළිගන්නට සැරසී සිටියා.

පරිපාලන නිලධාරියා විස්තර කරපු මාළිගාවෙ අතීතයත් ප්‍රෞඪත්වයත් මයික් අහගෙන හිතට ගත්ත කියල මට තේරුණේ නැතත් නිධානයක් දැක්ක කෙනෙක් වගේ ඔහු සතුටට පත්වුණේ මාළිගාවෙ ඇති විශාල ගල් කුළුණු දැකපු වෙලාවෙදියි.ඒ දැවැන්ත ගල් කණු හැම එකක්ම පාහේ මයික්ගෙ තියුණු පරීක්ෂාවට ලක්වුනා විතරක් නෙවෙයි ඒ සම්බන්ධයෙන් පැයක් විතර ඔහු කරන්නට යෙදුනු විශේෂඥ විස්තරයට කන් දෙන්නට ගල් කපනව ඇරෙන්නට ගල් ගැන මෙලෝ දෙයක් නොදන්න මට සිද්දවුනා.ඒ ඒ ගල් කණුවල ඇති කළු පැල්ලම්ද දුඹුරු පැල්ලම්ද මට පෙන්වමින් මීට අවුරුදු ලක්‍ෂ ගණනකට පෙර ඒ ගල් මුහුදෙන් යට තිබුනු බව මයික් පැහැදිලි කළා.

කොහොම හරි ගොම්මන් කළුවර බිමට පාත්වෙද්දි මයික්ව දළදා මාළිගාවෙන් එළියට ගන්නට මට හැකිවුනා. නොයෙක් වර්ගවල තිරිවාන ගල් සහ කළුගල් කැබලි පිරී තිබුණු බෑගයක් තුරුල් කරන් හිටපු මයික් සමග අපි නුවරින් පිටත්වුනේ ගොඩක් රෑ බෝ වෙන්නට පෙර කොළඹට එන්නට හිතාගෙනයි.කරුවල නිසා අතරමග ගල් බලන්නට නතරවෙන්නට සිද්දවුනේ නෑ.ඒ වෙද්දි කට්ටියම ගොඩක් තෙහෙට්ටුවෙන් හිටපු නිසා තේ එකක් බොන්නට නිට්ටඹුව පහුවුන ගමන් පොල්ලතු කඩේ නතර කරන්න කියල මම රියදුරුට කිව්වා. පොල්ලතු කඩේ ඉස්පැෂල් රළුවට කපල තෙල් දාපු රටලූණු බැදුම එක්ක සුදු ආප්ප අපට කන්න ගෙන්නෙව්වම ආප්ප කන්නෙ කොහොමද කියල මයික් මගෙන් ඇහුවා.

ඒ වෙනකොටත් කෑම පටන් අරං හිටපු ඩ්‍රයිවර්ව පෙන්නපු මම ඔහු ආප්ප කන  දිහා බලල  කන්න කියල මයික්ට කිව්වත් එක්කම පොඩි අවවාදයකුත් දුන්නා.ඒ මිරිස් සැර සහිත රටලූණු බැදුම කෑම ඔහුට අහිතකර වන්නට පුළුවන් බවත් හොඳම දේ කෙසෙල් ගෙඩි සමග ආප්ප කෑම බවත් මම කියාසිටියා.කෙසෙල්ගෙඩි කෑම තරයේම ප්‍රතික්ෂේප කළ ඔහු මිරිස් සැර ප්‍රශ්නයක් නොවන බවත් කොකාකෝලා බෝතලයක් ගෙන්වා දීම  ප්‍රමාණවත් බවත් කිව්වා.

මිරිස් සැරට ඉස්සෙකුසේ රතුවෙමින් සැරෙන් සැරේ කෝක් බොමින් අපිත් එක්ක හරි හරියට රටලූණු බැදුම සමග ආප්ප කාපු මයික්ව කොළඹින් බස්සල මම ගෙදර ආවෙ ආතර් සී ක්ලාක් මහතාගේ අස්සන අරං ඔහුට ආපසු එවන්න යයි මට දීපු පොත් මිටියකුත් අරගෙනයි.එකතු කරපු ගල් තොගෙත් අරගෙන පහුවදා මයික් ගුවන්ගත වුනා.ඊට දවස් දෙකකට පස්සෙ ආතර් සී ක්ලාක් මහතා මුණගැසී පොත් ටික අස්සන් කරවාගන්නට ලැබීම වාසනාවක් වුනේ ඊළඟ සතියෙ ආතර් සී ක්ලාක් මහතා  දෙවියන් වහන්සේ බැහැදකින්නට ගිය නිසායි.

අවුරුදු ගතවෙලා ගියත් අපේ හිතවත්කම නැතිවුනේ නෑ.මෑතකදී අපේ කන්තෝරුවෙ අයගෙ අතර ලොකු වාදයක් ඇතිවුණා.ඒ පහුගිය කාලෙ ඉතාම ආන්දෝලනාත්මක මාතෘකාවක් වෙලා තිබුණ මායාවරුන්ගේ කැලැන්ඩරය ගැනයි.2012 දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාශය වෙනවාමයි කියල දෙතුන් දෙනෙක් තදින්ම කියා හිටියා.වැඩේ ගෝරියක් බවට පත්වෙන්නට ඉස්සර මේ ගැන නාසා ආයතනයේ මගෙ යාළුවෙකුගෙන් අහල කියන්නං කියල මම රණ්ඩුව බේරුම් කළා.ඒත් එක්කම මයික්ට මේලක් යවා මේ ගැන ඇහුවා.ඔහු ඒ සැනෙකින්ම උත්තර ඒවා තිබුනා.ලෝක විනාශයක් ගැන ඔහුට කිසිම ආරංචියක් නැති බව වචන කීපයකින් ලියා තිබු  මයික් මේ රටේ ඇති විවිධාකාර ගල් වර්ග ගැන දීර්ඝ විස්තරයක් කර කවදා හෝ ඒ ගල් බලා ගන්නට එන බවද වැඩිදුරටත් කියා තිබුනා.